Monday, 18 September 2017

ස්වර්ණා ගේ අමුතු හිසේ කැක්කුම




ස්වර්ණා විවාහක කාන්තාවකි. මැදිවියේ පසු වූ ඇය පාසැල් වයසේ වු දරුවන් දෙදෙනෙකු ගේ මවකි.

ස්වර්ණාගේ සැමියා මෑතක රජයේ රැකියාවකට ඇතුල් වූයේ තරඟ විභාගයකින් සමත් වීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

රැකියාව ලැබීමට  පෙර නිවසේ අසලම පිහිටි කුඹුරු යායේ වගා කටයුතු කල ඔහු රජයේ රැකියාවක නිරත වූ ස්වර්ණාගේ ගේ දොර වැඩ වලටද  උදව් කලේය.

සැමියාගේ නව රැකියාව කාර්යාලයක ලිපිකරු තනතුරකි.

එතෙක් ඇඟ පත වෙහෙසා වැඩ කරමින් සිටි ස්වර්ණාගේ සැමියා බලා ඉඳිද්දී තරබාරු වන්නට පටන් ගත්තේ අලුත් රැකියාවේ තිබූ වැඩ අධික කමත් , රෑ බෝ වන තුරු අතිකාල සේවයේ යෙදීමත් නිසා ඉස්සර මෙන් අත පය වෙහෙසා කරන කිසිදු වැඩක් කරන්නට ඔහු හට වෙලාවක් නැති නිසා විය යුතුය.

එමෙන්ම ඉස්සර මෙන් තම බිරිඳගේ ඉවුම් පිහුම් වලට තබා ලමයින්ගේ වැඩ කටයුතු ගැන  හොයා  බලන්නට වත් ඔහුට වෙලාවක් නොතිබිණි.

සැමියාගේ නව රැකියාවත් ළමුන්ගේ අධ්‍යාපන කටයුතුත් නිසා ස්වර්ණාගේ ජීවිතය  ඉස්සරට වඩා කාර්යබහුල වන්නට විය.

"ඔයා අදත් වැඩ ඇරෙද්දි රෑ වෙනවද?  "

"ඔව් ඔව් මට අද පැය දෙක තුනක් ඕ ටී කරන්න වෙනවා. "

"අද මම පොඩිදුව පන්ති ගෙනියන්නත් ඕනේ.

ලොකුදුවගේ ඉස්කෝලෙ රැස්වීමට යන්නත් තියෙනවා අද"

"හරි හරි ස්වර්ණා  මටත් කන්තෝරුවේ වැඩ ගොඩගැහිලා ඔයා කොහොමහරි යන්න බලන්නකෝ"

සැමියා නව රැකියාව ඉතා උවමනාවෙන් කරන්නෙකි.

ඒ නිසාම  මෑතක සිට ස්වර්ණා කලයුතු වැඩ රාජාකාරි අධික වී ඇති බවවත් ඔහුට නොවැටහේ.

වෙනදාට වඩා වෙහෙස වී  වැඩ කිරීමටත් කිසිවකුගේ උදව්වක් නැතිව ගේ දොර වැඩ කිරිමටත් දැන් ස්වර්ණා ට සිදු වී තිබේ.

අම්මලා තාත්තලා නිතර නිතර ඈ හා කතා කළත් මෙවැනි දුෂ්කරතාවයක් ඇති බවක් ඇය ඔවුන් සමඟ වත් පැවසුයේ නැත.

කාලය හෙමින් හෙමින් ගලා ගියේ ස්වර්ණා  සහ පවුලට තවත් ගැටලුවක් ඇති කරමිනි.

මෙතෙක් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කල ඇයගේ සැමියා හදිසි හෘදය ආබාධයකට ගොදුරු වන්නේ මේ අතරයි.



ස්වර්ණා ගේ ප්‍රශ්න ගොන්නට සැමියා ගේ අනාගත හෘදයාබාධ ඇතිවීමේ අවධානමද එකතු විය.


සැමියාගේ හදිසි රෝගී තත්ත්වය නිසා ඔහුට සතියක් පමණ රෝහල් ගතවී සිටින්නටද සිදු විය.

වෛද්‍ය ප්‍රතිකාර ලබා නිවසට පැමිණි සැමියා පුරුදු පරිදි තම රැකියාව පටන් ගත්තේය.

ලමයින් දෙදෙනා ද ඉගෙනීමේ වැඩ හොඳින් කරගෙන යති.

 ස්වර්ණා ගේ නිවසේ කටයුතු නැවතත් සාමාන්‍ය අතට හැරෙමින් පවතී.

එහෙත් ස්වර්ණාට කිසියම් අමුත්තක් දැනෙන්නට විය.

හිසේ ඇතුලින් ඇති වූ කැක්කුමක් ම යැයි කිවනොහැකි අමුතු ගතියක් ඇයට දැනෙන්නට ගත්තේ මේ අතරයි.

"මගේ ඔලුව රිදෙනවා ඒයි. කැක්කුමකටත් වඩා නිකන් බර ගතියක් වගේ තමයි දැනෙන්නේ . "

ඇය තම හිසේ කැක්කුම ගැන සිය ස්වාමියාට සැලකර සිටියාය.

"පැනඩෝල් දෙකක් අරන් බැලුවේ නැද්ද ? හෙම්බිරිස්සාව වත් හැදෙන්න එනවද දන්නේ නෑ?"

  ඔහු ඇයට යෝජනා කලේ මේ පොඩි ඔලුවේ කැක්කුමක් විය යුතු යැයි සිතමිනි.

"පැන්ඩෝල් , ඩිස්ප්‍රීන් හැම එකම ගත්තා .

දැන් සෑහෙන දවසක් වෙනවා මේ කැක්කුමට.

ඔයාට වැඩත්  වැඩියි , ක්ලිනික් යන්න අරවා මේවා කරදරත් වැඩි නිසා මම කියන්නැතුව හිටියා. "

"එහෙම නම් බලා ඉඳලා හරියන්නේ නෑ ස්පෙෂලිස්ට් කෙනෙක් වත් අල්ලමු.

මම ආරෝග්‍යා එකේ වෙලාවක් ඉල්ලගන්නම්"

මුලින්ම කායික රෝග විශේෂඥයෙක් දෙවනුව ස්නායු රෝග ආදි වශයෙන් බොහෝ වෛද්‍ය වරුන් චැනල් කෙරිණි.

එහෙත් ස්වර්ණා ගේ හිස් කැක්කුම එසේමය.

මේ අතර ඇගේ හිතවත් නැන්දා කෙනෙක් මේ හිසේරදය ගැන දැන ගත්තාය.

ඇයගේ පුතා වෛද්‍යවරයෙකි.

"ඉන්නකෝ දුවේ මම අපේ පුතාගෙන් අහලා බලන්න කවුද මේකට අල්ලන්න හොඳම ස්පෙෂලිස්ට් කියලා ?

 ඔයාලා හොයන්නේ ඊඑන් ටී සර්ජන් කෙනෙක් ගැන් කිව්වා නේද?

මම  අපේ පුතාගෙන් අහලා බලන්නම්කෝ කවුද මේ හිස් කැක්කුම ගැන බලන්න හොඳ කියලා"

මේ ආකාරයට ස්වර්ණා ගේ හිසේ කැක්කුම  ඇගේ හිතවත් වෛද්‍යවරයෙකු  අතට පැමිණියේය.

ඔහු තම මවට පැවසුවේ තමාට  ස්වර්ණා  අක්කා සමඟ පෞද්ගලිකව කතා කල යුතු බවත්, ඉන් අනතුරුව ඇය යායුතු  විශේෂඥ වෛද්‍යවරයා ගැන තීරණය කල හැකි බවත්ය.

මේ වනවිටත් ඈ යායුතු වන්නේ මානසික රෝග විශේෂඥයකු වෙත විය හැකි බවට ඔහු තම මවට ඉඟි පලකලේය.

අනතුරුව එළැඹියේ මේ නෑදෑ දොස්තර මල්ලී සහ ස්වර්ණා අක්කා අතර ඇතිවූ කතා බහයි.

"අක්කේ කොහොමද?

අපේ අම්මා කිව්වා ඔයාට කාලෙක ඉඳලා අඩුවෙන්නේ නැති හිසේ කැක්කුමක් තියෙනවා කියලා?

ඩොක්ටර්ස්ලා කිහිප දෙනෙක් ගාවටම ගියාලු නේද?"

"ඔව් මල්ලී දැන් සෑහෙන කාලයක් වෙනවා. අය්ය ලෙඩ වුණ දවස් වල වගේ තමයි තදටම දැනුණේ."

ඔහුට තමා මවට කල ඉඟිය හරි විය හැකි බව වැටහෙන්නට විය . කෙලින්ම කතාවට බැසිය යුතු යැයි ඔහු තීරණය කලේ ඒ අනුවයි.

අක්කේ මේ කෝල් එකෙන් කතා කරන දේවල් දන්නේ අපි දෙන්නා විතරයි.

අපි කතාකරන දේවල් කිසි දෙයක් මම අම්මාට වත් වෙන කාට වත් කියන්නේ නෑ.

ඔයාගේ හෝ වෙන කෙනෙකුගේ ජීවිතයට අනතුරක් වෙන දෙයක් කියවුණොත් විතරයි මට මේ ගැන තව කෙනෙකුට කියන්න වෙන්නේ .

දැන් මම අහන ප්‍රශ්න වලට ඇත්තම උත්තර දෙන්න ඔයාගෙ ඩොක්ටර්ට කියනවා වගේ හිතලා.

"ඔයාට ඔළුවේ මේ අමුතු ගතිය දැනෙන්න පටන් අරන් කොච්චර කල් වෙනවද?  "

"මාස දෙක -තුනක් විතර"

"ඒක කක්කුමක්ම නෙවෙයි කිව්වනේ? එහෙමනම් මොනවගේද ඔයාට දැනෙන්නේ? "

"කියන්න තේරෙන්නේ නෑ මල්ලී  හරි අමුතු ගතියක් "

"එහෙමනම් මම මෙහෙම ඇහුවට කලබල වෙන්න එපා මට ඇත්තටම ඔයාට දැනෙන දේ දැනගනන ඕනෑ . ඒකයි මම මේ ප්‍රශ්න අහන්නේ."

"ඔයාට තද කණගාටුවක් ඔක්කොම එපාවෙලා වගේ හැඟීමක් දැනෙනවාද? "

" ඔව් මල්ලි මට එහෙම දැනෙනවා "

" භය හිතෙන දේවල් දැනෙනවද? මෙහෙම ඉන්නවට වඩා හොඳයි මැරිලා ගියානම් වගේ කියලා එහෙම හිතෙන ගතියක් ?"

"ඔව් ඔව් එහෙමත් හිතෙනවා . කිසිදෙයක් කරන්න හිතෙන්නේ නෑ . ඔක්කොම එපා වෙලා වගේ හිතෙනවා. "

"මම මෙහෙම ඇහුවට මොකුත් හිතන්න එපා මම හිතන රෝග තත්තවයද තියෙන්නේ කියලා දැනගන්නයි අහන්නේ
මහත්තයා එක්ක එකතු වෙන්න වත් වැඩි කැමැත්තක් නෑ වගේද හිතෙන්නේ "

" හරියට හරි මල්ලී ඒකටත් මේ මාස දෙක තුන පුරාම කිසි කැමැත්තක් නැති ගතියක් තමයි දැනුනේ "

"ඔයා කිව්වනේ මැරිලා ගියා නම් හොඳයි කියලා හිතුණා කියලා  ඒක කරන්නේ කොහොමද කියලා හිතල බැලුවද ? සැලසුම් මොනවා හරි සකස් කරනවා වගේ ?"

" නෑ .. මට නිතර නිතර එහෙම හිතෙන කොට භය හිතුණා . ඒකයි මම අය්යට කිව්වේ මගේ ඔලුවේ අමුතු ගතියක් තියෙනවා කියලා "

"මට හිතෙන්නේ ඔයාට විශාදය (depression ) කියන තත්ත්වය වගෙයි ඇතිවෙලා තියෙන්නේ .

ඒක මොළයේ රසායනික ද්‍රව්‍ය වල වෙනස් කමක් සිදුවිමෙනුයි ඇතිවෙන්නේ .

මේකත් අපිට ශරීරයේ ඇති වන ලෙඩ වගේම එකක් .

හැබැයි රසායනික වෙනස් කම බලපාන්නේ අපේ මනසට .

ඒ නිසා තමයි ඔය ඔයාට ඔය අධික කණගාටුවක් , හැමදේම එපා වෙලා වගේ දැනීමක් වගේම  සියදිවි හානි කරගන්න එක වඩා හොඳයි වගේ දේවල් දැනෙන්නේ .

මේකට  මානසික රෝග විශේෂඥකෙනෙක් මුණ ගැහෙන ඒකයි කරන්න ඕනේ .

මම දන්නා කෙනෙක් ඉන්නවා .

 එයා කෙලින්ම ගිහින් හම්බවෙලා කතා කරන්න .

එයා ඔක්කොම කරලා දෙයි.

තව දෙයක්,  ඔය වගේ  ලෙඩක් තියෙනවා කියලා අනික් අයට කියන්න  ගොඩක් මිනිස්සු කැමති නෑ.

ඒත් ඔයාට සමීප කිහිප දෙනෙක් මේක දැනගන්න එක හොඳයි.

 විශේෂයෙන් ඔයාගේ මහත්තයයි අම්මා තාත්තා දෙන්න වගේ "

මේ සාකච්චාවෙන් පසුව  ස්වර්ණා මානසික යෙකු වෙත යොමු වූ අතර ඇයගේ  මගපෙන්වීම යටතේ  ප්‍රතිකාර පටන් ගැනුණි.

ඇයගේ සේවා ආයතනයෙන්   ස්වර්ණාට නිවාඩු ලබා ගැනීමට අවසර ලැබුණි ( වැළඳුන රෝගය කුමක්දැයි ඔවුන්ට පැවසීමට අවශ්‍ය වුයේ නැත ).

සති කිහිපයක් ප්‍රතිකාර ලබද්දී ඇයගේ හිසේ තිබු අමුතු ගතිය අඩු වූ අතර ඇය නැවතත් පුරුදු පරිදි වැඩට ගියාය .


විශාදය ඇති බව දැනගන්නේ කොහොමද  ( ඊළඟ කොටසින්) 

17 comments:

  1. නියමයි කීර්ති.. මෙන්න ප්‍රේක්ෂක ඉල්ලීම් ඉටුවෙනවෝ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලක්සිරි..ඉදිරියේ එන කොටස් වලින් තව විස්තර දෙන්න බලන්නම්

      Delete
  2. නියමයි නියමයි...ඊලග කොටස එනකන් බලාන ඉන්නව

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ..ඉදිරියේ එන කොටස් වලින් තව විස්තර දෙන්න බලන්නම්

      Delete
  3. මේ හැරුණුකොට තවත් සෑහෙන පිරිසක් තමුන්ට මේ රෝගය තියෙන බව නොදැන විඳවනවා. ඔවුන් තමුන්ට මේ රෝගය තියෙන බව නොදන්නා එකයි අවුල.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මේ රෝගය ගැන වැඩිපුර කතානොවීමත් , සමාජයට එලිවේවි යැයි බියවී සඟවා ගෙන සිටීමත් නිසා සියදිවි හානි කර ගැනිම් ආදියෙන් බොහෝ ජීවිත අපට අහිමි වී යනවා.. ඔබ කිව්වා හරි මේ තත්ත්වයයෙන් පෙලෙන "රෝගින්" ප්‍රතිශතය හරි වැඩියි . රෝග විනිශ්චයක් තෙක් ඉදිරියට යැවෙන්නේ හරි අඩු ප්‍රතිශයක් ( මිනිසුන් දැනුවත් කිරීමයි අපි කරන්න ඕනේ)

      Delete
  4. ඔව් ඔව් මේ රෝගය ගැන වැඩිපුර කතානොවීමත් , සමාජයට එලිවේවි යැයි බියවී සඟවා ගෙන සිටීමත් නිසා සියදිවි හානි කර ගැනිම් ආදියෙන් බොහෝ ජීවිත අපට අහිමි වී යනවා.. ඔබ කිව්වා හරි මේ තත්ත්වයයෙන් පෙලෙන "රෝගින්" ප්‍රතිශතය හරි වැඩියි . රෝග විනිශ්චයක් තෙක් ඉදිරියට යැවෙන්නේ හරි අඩු ප්‍රතිශයක් ( මිනිසුන් දැනුවත් කිරීමයි අපි කරන්න ඕනේ

    ReplyDelete
  5. විශාදය ඇති බව දැනගන්නේ කොහොමද????????????

    ඒක වැදගත්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... ඊළඟ ලිපියෙන් උත්තර ලැබෙයි

      Delete
  6. අගෙයි.
    මුල හරිය කියවගෙන එනකොටම වෙන්නෙ මොකක්ද කියල ඉවෙන් වගේ තේරුනා.

    ReplyDelete
  7. ස්තුතියි අදහස් දැක්වීමට මුල හරියේ කියවෙන විස්තර ටික කතා කරගන්න දොස්තරවරයා සමත් වේ නම් රෝගය කුමක්ද කියලා එයාත් තේරුම් ගන්නවා..නැත්නම් ලොකු ලොකු ස්කෑන් බ්ලඩ් ටෙස්ට් එහෙම කර කර ඉන්න වෙනවා තේරුමක් නැතිව

    ReplyDelete
  8. වටිනවා සැබැවින්ම වටින පෝස්ට් එකක්

    ReplyDelete