මගේ සිත තැන්පත්ය, තැන්පත්ය තැන්පත්ය
දයා කරුණා සිතින් පිරුණු සිත් පිරිසිදුය
පරිසරය මා රකී රකිමි මා පරිසරය
පාසලේ මව් දකින හොඳම දරුවා මමය
ඒ එක්දාස් නමසිය අසූ ගණන් වල මුල් හරියේ . හැත්තෑ හතේ රාජ්‍ය පාක්ෂික මිනිසුන් විසින් රට පුරා මැරකම් හොරකම් ස්ත්‍රී දූෂණා ආදිය සිදුකර අවසන නැවත රටේ ධාර්මික බව , නීතිගරුක බව , විනය සංහිදියාව ඇතිකරන්න උත්සාහා කරන කාලයක්. මේ කාලේ රාජ්‍ය පක්ෂයේ දේශපාලකයෝ , අළුත් අළුත් පූජක වරු , රාජ්‍ය නොවන සංවිධාන ආදී විවිධ කණ්ඩායම් තරුණ තරුණියන්, පාසැල් ශිෂ්‍යයින් අවිහිංසාවට යොමුකරවන්න උනන්දුවෙමිනුයි හිටියේ . උදාහරණයක් විදිහට පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ බණ්ඩාරවෙල නගරසභා ශාලාවේ අතුරුසිදුරු නැතිව පිරුණු උපාසක උපාසිකාවන්ට බණකිව්වේ මේ දවස්වලම තමයි
මේ කාලේ මමත් අපේ යාළුවෝ කල්ලියත් හිටියේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ පොඩිපංති වල . මේ වෙනකොට අපේ තාත්තලා , බාප්පලා ඇතුළු එකල විරුද්ධ පාක්ශිකයින්ගෙන් හොඳටම පළිගන්න, ඔවුන් ඈත ප්‍රදේශ වලට මාරුකරන්න එහෙම පියවර ගත් පාලක පක්ෂයේ නායකයා අතිගරු ජනාධිපති ජේ ආර් ජයවර්ධන උතුමාණෝ ධර්මිෂ්ඨ සමාජයක් බිහිකරන්න වෙහෙසෙනවා..
එතුමාගේ අමාත්‍ය මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිතුමා විදිහට හිටියේ ගරු සමරවීර වීරවන්නි මැතිතුමා. එතුමා ඒ දවස්වල අපේ ඉස්කෝලෙට නිතර ආව ගිය කෙනෙක්
මම මේ කාලේ කිරිඔරුවේ එළවළු කොටුවල හදන එළවළු එහෙම විකුණන්නත් ඒවා විකුණලා අම්මා කියන බඩු ගෙනෙන්නත් ඉරිදට පොළේ එහෙම යන කොළුගැටයෙක් .
එහෙම පොලේ යන සමහරක් දවස්වලට අම්මා මට කියනවා
" චූටිපුතා එනකොට මාර්කට් එකේ මැද තියෙන මුස්ලිම් මස් කඩෙන් මස් රාත්තලක් අරන් වරෙන් .. හැබැයි මතක ඇතිව තනිමස් ඉල්ලන්න ඕනේ නැත්නම් උන් කටු තියෙන මස් දානවා" කියලා
අපේ ගෙදර හරක්මස් කන්නේ අක්කයි ,මායි තාත්තයි විතරයි . අය්යටයි අනික් නංගිලා දෙන්නටයි කරප්පන් දානවා මස් කෑවම. අම්මා මස් කන්නෙත් නෑ ඒ වුණාට අපිට හරි රසට මස් උයලා දෙනවා. මම ඒ කාලෙත් මිල මුදලට , සකසුරුවමට කැමතියි වගේම සල්ලි හොයාගන්න එක එක ක්‍රම පාවිච්චි කරනවා.
ඒ වගේ එක උපක්‍රමයක් තමයි අම්මාට තනි මස් රාත්තලක් ගේනවා කියලා ගිහින් තම්බි මුදලාලිගෙන් කටුමස් රාත්තලක් අරන් එන එක . ඉතිරිවෙන රුපියල් කිහිපය මගේ මුදල් එකතුවට යනවා හැම සතිඅන්තයේම වගේ
ඔයකාලේ සමරවීර වීරවන්නි මැතිතුමා ඊ ඩබ්ලිව් අධිකාරම් නම් මහත්මයෙකුත් එක්කරගෙන අපේ ඉස්කෝලෙට එනවා . ඇවිල්ලා ඔය ඉහතින් කියපු සිංදුවත් අපිට පුරුදු කරනවා .ඒ ඉස්කෝලේ ස්වෙච්චාවෙන් එයාලා ඇති කරපු අමධ්‍යප සංවිධානයත් , බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නිර්මාංශ සංගමයටත් සාමාජිකයින් ලෙස අපේ පංතිවල හිටපු ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගැනීමෙන් අනතුරුව ..
මමත් හා හා පුරා කියලා ඉස්කෝලේ නිර්මාංශ සංගමයට බැඳුනා .. අමධ්‍යප සංවිධානයටත් එකතු වුණා . සතියේ දවස්වල " මගේ සිත තැන්පත්ය , තැන්පත්ය කිය කියා වීරවන්නි මහත්තයාලා එක්ක කිය කියා ඉඳලා සති අන්තෙට අම්මා උයලා දෙන හරක්මස් එහෙම රස විඳිනවා නිර්මාංශාහාර සංගමයේ සාඩම්බර සාමාජිකයෙක් විදිහට .
මට මේ වැඩේ වැරැද්දක් කියලා හිතුණේ නෑ. ඇයි ඉතිං...... අපිට ඒ දවස් වල ආදර්ශමත් චරිත ලෙස පෙනුණු වීරවන්නි මහත්තයයි එයාලගේ නායකතුමයි දෙන්නත් ධර්මිෂ්ඨ සමාජයක් බිහිකරමු කියලා කියමින් කරේ ඊට ටිකක් පරස්පරතාවයක් දක්වපු වැඩමනේ.
හොඳවෙලාවට මම අමධ්‍යප සංවිධානයේ විධිවිධානවලට නම් තවමත් ගරුකරනවා.. ඒ නිසාමදෝ කොල්ලෝ ටික එක පැත්තකට වෙලා බි බී ඉන්න .. කෙල්ලෝ ටික අනික් පැත්තට වෙලා බීල බීලා වාතවෙන තමන්ගේ කුඩා කල පාසැල් මිතුරන් සහ ඔවුන්ගේ දුවා දරුවන් ගැන දුක්වෙන පංති සගයන්ගේ "ගෙට්ටු ගෙදර්" සාද වලට එන්නත් පොඩි මැළිකමක් තියෙනවා
අපිත් අමද්‍යප විරෝධී සංවිධානයේ සාමාජිකයන්.....
ReplyDelete