Sunday 19 March 2017

අපේ බිග් මැච් එක සහ postive advocacy



ඊයෙයි පෙරේදයි බණ්ඩාරවෙල පැත්තේ හැමෝම බොහොම සතුටින් ගත කරපු දවස් දෙකක්.

ප්‍රදේශයේ ජනප්‍රියම පාසැල් දෙකක් අතර  වාර්ෂික මහා ක්‍රිකට් තරඟය  පැවැත්වුණේ පහුගිය දවස් දෙකේ.

අපේ පාසැල් යාළුවෝ  වගේම නෑදෑ හිතවතුන් බොහෝ දෙනෙකුත් බිග් මැච් බලන්න ගොස් සිටි බව මුහුණු පොතේ  පෙනෙන්නට තිබුණා.

පාසැල් දෙකේ පාට ටී ෂර්ට් ඇඳලා  අවු කණ්නාඩි එහෙම දාලා කට්ටිය විනෝදෙන් ඉන්නවා දකිනකොට පොඩි ඉරිසියාවකුත් හිතට ආවේ නැත්තේම නෑ.

ඇත්තටම සතුටුයි ඒ කාලේ අපිත් එක්ක පාසැල් ගිය යාළුවො දැන් පළාතේ වග කිවයුතු නිලතල දරමින් ඉන්නා අතරේ මෙහෙම විනෝද වෙනවා දකින්න ලැබීම ගැන.

ඒ කාලේ පොඩියට හිටිය සමහරු දැන් හමුදාවේ ඉහළම නිලතල දරන අය, ඒ වගේම තවත් සමහරෙක් පළාතේම සේවය කරන ප්‍රසිද්ධ වෛද්‍යවරු , ඉංජිනේරුවරු, ලොකු ලොකු මුදලාලිලා වෙලා.

ඒ විතරක් නෙවෙයි පළාතේ දේශපාලනය කරන්නෙත් ( ප්‍රධාන පක්ෂ තුනෙන්ම )  අපේ පාසැල් දෙකේ ආදී ශිෂ්‍ය  පිරිසක් විසින්මයි .

පළාතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වර්තමාන මහා ඇමති වගේම වර්තමාන පළාත් සභා මන්ත්‍රී වරු කිහිප දෙනෙක්ම මේ පාසැල් වල ආදී ශිෂ්‍ය යින්.



සියල්ල සතුටු දායකව අවසන් වන්නට ඇති බව මගේ විශ්වාස යයි. ආරංචියේ හැටියට තරඟය ජය පරාජයෙන් තොරවයි නිමා වෙලා තිබුණේ. 

ආරාධිත අමුත්තන් අතර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් වගේම  මම මුලින් කී දේශපාලක ආදී ශිෂ්‍ය භවතුන් ද ඉන්නවා දක්නට ලැබුණා. 


බිග් මැච් කතාව මෙසේ සිදු වෙද්දී මුහුණු පොතේ පහත චායාරුපය පලවී තිබුණා . ඒ  සමාරම්භක උළෙලේ චායාරුපයක් හැටියට . 

මුහුණුපොත් ගිණුමේ හිමිකරු එක විද්‍යාලයක ප්‍රභල ආදී ශිෂ්‍යයෙක් වගේම  වත්මන් බණ්ඩාරවෙල පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ සහ හිටපු මහා ඇමතිතුමාගේ ලඟම හිතවතෙක්.  ඒ වගේම  අපේ නෑදැයෙක්. 



මෙය දුටු අපේ තවත් හිතවතෙක් ඒ චායාරුපය ගැන අදහස් පළකර තිබුණේ ක්‍රීඩා පිට්ටනියේ තිබු අඩු පාඩු නිරීක්ෂණය කරමින් .

''හරිම සතුටුයි මේක දකිනකොට,ඊටත් වඩා දුකයි ග්‍රවුන්එක දකිනකොට, වලවල් හැම තැනම, ජනාධිපති වැල්ලවායට ආ‌පු උත්සවය කෝටි ගානක් වියඳම් කරනව, දරැවනේ කල්පනා කරපල්ල මේ පාලකයො උඹලට සෙල්ලම් කරන්න සුදුසු පිට්ටනියක් දෙන්නවත් උනන්දුවක් නැහැ.

 හැබැයි ඌ‌වෙ මහ ඇ‌මතිතුමා පාසැල්වලට ගිහිල්ල පොර ටෝක් නම් දෙනව.මේ ක්‍රමය වෙනස් නොකරොත් හැමදාම මෙහෙම තමයි. ක්‍රිකට් ගහන්න වෙන්නෙ වලවල් වල තමයි" 

මෙය මගේම අදහසක් නොවෙනමුත් ඒ තුලින් කියවෙන බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනයේ වත්මන් තත්වය ගැන නම් මටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි.

වසරක් පාසා පළාතේ සියළුම ඉහල නිලතල දරන්නන් ඇතුළු ප්‍රභූවරු එක් රොක්වෙන ස්ථානය ඇත්තටම පවතින්නේ හරිම දුක්බර තත්වයක.

ඒ එක් එක් ප්‍රභූවරයා තම තම හැකි පමණින් ඉහළ දේශපාලනයට බලපෑම් කලා නම්  මේ ක්‍රීඩාංගනය මිට වඩා හොඳ තත්වයකට ගන්නට ඉඩ තිබුණ බව මගේ හැඟීමයි.

විශේෂයෙන්  බිග්මැච් බලන්නට එන පළාත් මන්ත්‍රීවරු , ඇමතිවරු ආදීන්ට  මේ වලවල් නොපෙනවා විය නොහැකියි.

ඒ අය සමග  ක්‍රීඩකයින් හඳුනාගන්නට යන අතරදී හෝ විශේෂ නැරඹුම්  මැදිරියේ සිට තරඟය නරඹන අතරේදී හෝ කතා කළහැකි/ කතා කල යුතු  මාතෘකාවක් සංවිධායක මඩුල්ල අතින් ගිලිහි ගොස් ඇති සෙයකි.


Positive advocacy





advocacy යන්නෙන් අදහස් වන්නේ  යම් කිසි දෙයක් කරවා ගැනීමට දේශපාලන හෝ බලය හිමි පිරිස් පොළඹවන  එකයි.

මා පෙර සඳහන් කල මුහුණු පොත් පොස්ට් එක දැමු මල්ලි වගේම  අනෙකුත් බොහෝ ඉහල තනතුරු දරන ආදී ශිෂ්‍ය පිරිස්  සිටින්නේ ඉතා පහසුවෙන්  අදාළ බලධාරින් පෙළඹවිය හැකි ස්ථාන වලයි.



අපේ ශ්‍රී ලාංකික හිතවතුන්  negative advocacy  වලට නම් ඉතාම ප්‍රසිද්ධ අයවළුන් වෙති.

විරුද්ධ දේශපාලන අදහස් දරන පිරිසකට ලැබෙන්නට යන  පාරක් හෝ  විදුලිබල සැපයුමක් වැනි දෙයක් නවතා දමන්නට ඔවුන්ට ගතවන්නේ ඉතා සුළු වේලාවකි.

අපේ ගමේ එදා මෙන්ම අදත් සිදුවන සිදුවීම්  දෙස බැලු විට අපේ අය තවමත් negative advocacy වල පෙරමුණේම සිටිනා බව පෙනෙන්නට තිබේ.

පවතින රාජ්‍ය පාලනය ප්‍රධාන පක්ෂ දෙකේම එකතුවක් වීම වත් ඊට බාධාවක් කර නොගන්නට තරම්  අපේ අය ඒ අතින් ඉදිරියට ගොස් සිටිති.




අවසානාවකට  positive advocacy  පැත්ත ඒ තරම්ම ඉදිරියට ගොස් නැත.

 එසේ වූවානම්  බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනය තවමත් වැස්සට වතුර පිරෙන/ වල ගොඩැලි පිරුණු තැනක් නොවනු ඇත.

අපේ විවෘත ආරාධනය ඉහතකී  පළාතේ යමක් කල හැකි පිරිසටයි.





කරුණාකර ඊළඟ වසරේ බිග් මැච් එකට පෙර තම තමන්ගේ positive advocacy  හැකියාව පෙන්වන්න.

බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණය ඒකට කියාපුම තැනයි...


11 comments:

  1. ඔය පිට්ටනිය වටේ කඩ පේලියක් අටවන්නත් එක්ක සංවර්ධන ව්‍යාපෘතියක් ඉදිරිපත් කරානං ඔය වැඩේ කෙරෙයි. බණ්ඩාරවෙල බස් නැවතුම හැදුනෙත් එහෙමනෙ.

    බදුල්ල දිස්ත්‍රික්කයෙ දුෂ්කර පැති වලත් පිට්ටනි හැදෙද්දි මෙතන නොහැදෙන්න හේතුව මොකක් හරි දේශපාලනික මත ගැටුමක් වෙන්න පුළුවං.

    ReplyDelete
    Replies
    1. එතන පිටිපස්සෙ හැදෙන එලවළු තොග කඩ හැදුනම ඔතන අපායක්ම වෙයි.

      Delete
    2. ඔය පැත්තේ දේශපාලන මතගැටුම් ඉතිං සාමාන්‍ය දෙයක් නේ. අපේ කට්ටිය දන්නවද දන්නේ නෑ. බණ්ඩාරවෙල නගරයේ තියෙන අධික වාහන තදබදය මග හරවන්න යෝජනාවී ඇති නගර මධ්‍යයේ සැදීමට නියමිත උමං මාර්ගය ( පදිකයින් සඳහා / මහනුවර ඔරලෝසු කණුව ළඟ ඇති උමං මාර්ගයට සමාන ඉදිකිරීමක් ) ක්‍රියාවට නොනැගෙන්නේ ප්‍රදේශයේ ප්‍රභල දේශපාලන හස්ත දෙකක කඹ ඇදීම නිසා බව

      Delete
  2. දේශපාලකයෝ ගැන කවර කතා ද

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුමුදු.. ඒත් එහෙම කියලා හරියන්නේ නෑ අපි ඒ අය පත්කරගන ඉන්නේ මේ වගේ දේවල් ගැන හොයා බලන්න තමයි. අඩුම ගානේ මධ්‍යම රජයෙන් හෝ පළාත් සභාවෙන් මේක අලුත්වැඩියා කරලා නගර සභාවට බලා ගන්න වත් දුන්නනම් නේද?

      Delete
  3. ඇත්තටම බණ්ඩරවෙල ක්‍රීඩාංගණය දැන් වෙලක් වගේ.පහුගිය සතියෙ ඒක දැක්කම ඇත්තටම දුක හිතුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපි අවුරුදු තිස්ගනනකට ඉස්සෙල්ල දැක්ක ක්‍රීඩාංගණය මිට වඩා හොඳයි කිව්වහැකි. එතෙක් මෙතෙක් මම ඉහලින් කිව්වා වගේ ඒ කාලේ කුඩාවට හිටි මිනිස්සු දැන් ලොකු තනතුරු දරන්නන් වෙලා . අවු කන්නාඩි කාරිය දාගෙන බිග් මැච් බලද්දී පිට්ටනිය එදාටත් වඩා අන්තෙට මඩ වලක් වෙලා. මිනිස්සු තනි තනිව දියුණු වුනාට සාමුහිකව එක් වී දියුණු කල යුතු දේවල් ගැන හිතන එකත් මග ඇරිලා වගේ නේද?

      Delete
  4. කාටහරි ලැබෙන්න යන දෙයක් නොලැබෙන තැනට වැඩකරන්න කට්ටිය හිටියට ගොඩ දෙනෙකුට ප්‍රයෝජනයක් වෙන වැඩක් කරන්න කට්ටිය පෙළඹෙන එක බොහොම අඩුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Praසන්ன, ඔව් ඔව් අපේ අය බොහෝවිට එහෙම තමයි. ඒත් බහුතරයකට වැඩක් වෙන දේවල් ගැන උනන්දු වෙන්න හැමෝම පෙළඹවෙනවානම් ගම, රට , නගරය මිට වඩා ලස්සන වෙයි.

      Delete
  5. හොඳ ලිපියක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. රිසිසේ බෙදා හරින්න මුහුණුපොත් පිටුවල එහෙම

      Delete