Showing posts with label පාසැල් සමය ( ප්‍රාථමික පංති). Show all posts
Showing posts with label පාසැල් සමය ( ප්‍රාථමික පංති). Show all posts

Friday, 24 April 2015

දිනක් පාසැල අවසන් වීමෙන් පසු...



එදා අඟරුවාදා හෝ සිකුරාදා දිනයකි. අපි  සුපුරුදු පරිදි  318 වරකාදණ්ඩ බසයෙන්  නිවෙස් බලා එමින් සිටියෙමු. මේ කාලය  වෙද්දී අප කා අතරත්  ඉලන්දාරි ගති මතු වෙමින් එන ගතියක් ද තිබුණේ නැත්තේ නොවේ.  

මේ වන විට මල්වත්තෙන් බසයෙන් බැස මාරබැද්ද දෙසට ගමන් කරනා කොල්ලෝ කුරුට්ටෝ සමූහයක් මේ වන විට මල්වත්තෙන් බසයෙන් බැස මාරබැද්ද දෙසට ගමන් කරනා කොල්ලෝ කුරුට්ටෝ සමූහයක්අතර එක්තරා ආකාරයක අණ්ඩපාල සංගමයක් ද ගොඩනැඟෙමින් පැවතිනි. .

 මෙහි මුලිකයන් අතර වුයේ මමත්, මගේ සම වයසේ වූ කයිවාරු මාමලා බින්දුත් .. ඒ වගේම අපට වඩා අවුරුදු කිහිපයකින් වැඩි බින්දු ගේ අය්යා උපනන්දත් ඒ වගේම  පල්ලැහැ පීල්ල ලඟ ගෙදරක විසූ රත්නපාල අය්යත් ය. හවසට මෙසේ අපත් සමඟ ගමනේ යෙදෙන රත්නපාල අය්යා උදේට තට්ට ප්‍රේමේ ගේ බසය චණ්ඩිකම් කරමින් අපට ගැම්මක් ලබාදුන් අයෙකි

සොහොනේ ගහෙන් අඹ කැඩීමේ මෙහෙයුම.



මල් වත්තේ සිට අපේ ගම දෙසට එද්දී අප මුලින්ම පසු කරන්නේ චමින්දලා බාප්පලා කඩේ , බාබර් සාප්පුව ඇතුළු ප්‍රධාන කඩ පේලියයි. ඉන් අනතුරුව වත්තේ ලයින් කාමර පේලියට යටින් දිවෙන තැනිතලා ගුරු පාර එක් වරම නැග්මක් බවට පත්වේ. එතැන පාරෙන් පහළ පැත්තේ ඇත්තේ ඉන්ජින් ඩ්‍රයිවර ගේ කඩයයි.

අපේ කල්ලියේ ගුරා රත්නපාල  අය්යා එදා මල්වත්තේ කඩ පේලිය පසුකරද්දී අලුත් යෝජනාවක් ගෙනාවේය.

"මල්ලිලා... අද අපි ගෙදර යන ගමන් කරන වැඩේ දන්නවද?  අපි අද අම්බලම ළඟ සොහොනේ ගහෙන් අඹ කඩමු".

"රත්නපාල අය්යා  .. මමත් ඔය ගහ දිහා ඇහැ ගහගෙන හිටියේ  බන් .. උදේ මම දැක්ක හැටියට නම් එකේ අඹ ඉදිලා නැනේ."

රත්නපාල   අවුරුද්දකින් දෙකකින් බාල වුවත්  බින්දුලට අපිට ඔහු වැනිම තවත් අය්යා කෙනෙකු වූ. උපනන්ද අය්යා කියයි..

"කමක් නෑ මං ගාව ප්‍රතිකරමය්ක් තියෙනවා..අපි අපේ වැඩේට බහිමුකෝ" යැයි  රත්නපාල අය්යා ස්ථිර සාරවම පැවසීමත් සමගම ඒ යෝජනාවට එක පයින් කැමති වූ අපි එකිනෙකාගේ රාජකාරී තම තමන්ට පැවරෙන තෙක් බලා සිටියෙමු.

"මල්ලිලා මේකයි ප්ලෑන් එක. 

මුලින්ම අඹ කන්න අවශ්‍ය අඩුම කුඩුම ටික ලෑස්ති කර ගන්න ඕනේ.. යසේ මල්ලි .. ඔයා ඉන්ජින් ඩ්‍රයිවර ගොය්යා එක්ක කතාවක්  පටන් ගන්න .. කවිඳු මල්ලියි බින්දු මල්ලියි හිමිහිට ලුණු ටික ටික බක්කියෙන් අරන් සාක්කු වලට දාගන්න ඕනේ හරිද?.. ඒ අතරේ මම හිමිහිට මිරිස් කරල් ටිකක් පන්න ගන්නම්."

අපේ ගම් බිම් බලා යන කල්ලියේ ලොක්කා  රත්නපාල අය්යා තම සැලසුම අපට හෙළි කළේය.

ගුරුපාරෙන් පරණ ටයර් තුනක් දමා සාදා තිබු පඩි පෙලින් ඉන්ජින් ඩ්‍රයිවර  ගේ කඩයට ගොඩවූ අප අතරින් .. කපටි හිනාවකින් දමමින් මුලින්ම ඔහු දෙසට ගිය යසනන්ද අය්යා " හා.. මුදලාලී.. කොහොමද අද ගන දෙනු කාරිය.? " යයි ඔහුව සාකච්චා වට කැඳවූ යේ පසු පසින් ආ අපට ඇස කොනකින් සන් කරමිනි.

ආ ගිය තොර තුරු කතා කරමින් සිට විනාඩි දෙක තුනක් ඇතුලත  අපේ ප්‍රති සන්නිවේදන හරහා ..අදාළ රාජකාරිය ඉටුවූ බව දැන ගත්  යසේ අය්යා.." එහෙනම් අපි ගිහින් එන්නං කෝ මුදලාලි"  කියමින් ඉන්ජින් ඩ්‍රයිවර ගෙන් සමු ගත්තේය.


ප්‍රහාරය ඇරඹෙයි


දැන් අපි නැවතත් ගුරු පාරේ අම්බලම දෙසට කන්ද නගිමින් පසු වෙමු. බස් එකේ ගෙදර කඩේද පසු කිරීමෙන් පසු කන්දේ මැද හරියේදී හමුවන තුන් මං හන්දියේ එක පැත්තක සොහොනත් .. අනික් පැත්තේ තාමත් "ජුලි මහා වැඩ වර්ජනය" යනුවෙන් කලුතෙලින් ලියා ඇති අම්බලමත් අපට හමුවේ.

 තම පොත් ටික සොහොන් පිටියේ තණකොළ ගොඩක් මත තැබූ නන්දි පාල අය්යා දනි පනි ගා අඹ ගහට නැග්ගේය.  ගස් නැගීමට බැරි මමත් .. බිංදුත් සොහොනේ එහේ මෙහෙ ගියේ ගල් කෑල්ලක් හෝ පොළු කෑල්ලක් හොයා ගන්නටයි.

මේ වන විට අපේ සිංහල පොතේ තිබු " පාවෙන හිස" සෑහෙන වතාවක් කියවා තිබු මම  හොල්මන් අවතාර ගැන මර බියකින් පසු වුවෙකි. එසේ වුවද අපේ කල්ලියේ චන්ඩි වැඩ නිසා  ලොකු කොල්ලෙකු වූ මම මේ වෙලේ  සිංහාරුඩ වී සිටියා යැයි කීවොත් නිවැරදිය.
ගලක් පෙනෙන සීමාවක නැති බව දැනගත් බිංදු පසු බසිනු දුටු මා .. "බිංදු මල්ලි බිය නොවන්න පොලු හොයනා හැටි මාමා පෙන්වන්නම්" කියන්නාක් මෙන් .. ඔබ මොබ බලන විට දුටුවේ ලඟදි වත්තේ දෙමළ මනුස්සයෙකුගේ මිනියක් වලලා පස්ගොඩ කර තිබු තැනක මුදුනේ තිබු  ලී වලින් කල කුරුසයකි...

මගේ සුමිතුරා  .. එපා.. එපා.. කවිඳු .. කියද්දි කුරුසය ගලවාගත් මා එය රැගෙන කෙලින්ම  ගුරු පාර පැන්නේ එය අම්බලමේ කොට බිත්තියේ ගසා කඩා ගැනීමටයි.
අනතුරුව  පොලු කෑලි හතර පහකින් සන්නද්ධ වූ අපි තරඟයට අඹ ගහට ගල් ගැහුවේ නන්දිපාල අය්යලට උදව්වක් හැටියටයි.

දැන් දැන් අඹ ගෙඩි සොහොනේ  හැම තැනම විසිරී ගොසිනි සමහරක් අලුතින් මිනියක් වල දමා තිබු අර පස් ගොඩ උඩටද වැටී ඇත. කිසි බියක් සැකක් නැතිව ඒවා එකතු කර ගත් අය්යලා මල්ලිලා ලුණු මිරිස් සමග අඹ කෑම ඇරඹුවේ අම්බලමේ කොට බිත්තිය තම සිංහාසන කර ගනිමිනි.

දෙමළ ඉස්කෝලෙට ගල් ප්‍රහාරයක්



අම්බලමෙන් පිටත් වූ අප අත තවමත් ගලේ ගසා කඩා ගත් අමු අඹ කැලිත් ලුණු කැටත් සුරක්ෂිතව පවතී. දැන් අපි ඒවා මාරුවෙන් මාරුවට හපමින්. Dunlop වත්ත දෙසට ගමන් ගනිමින් සිටිමු. අඩි 100ක්-200ක් පහළින් රතුපාට ටකරන් වසා තිබු .. සුවඳේ අය්යලාගේ දියවන්නා ශෝකය හා නයනා රඟ දැක්වූ රඟහල , දෙමළ ඉස්කෝලේ එකම ශාලාව පෙනේ..

ගුරුපාරෙන් ගල්කැටයක් අහුලා ගත් අපේ කල්ලියේ දෙවෙනියා යස නන්ද අය්යා එය රතට රතේ දිලිසෙමින් තිබු වහළයට දමා ගැසුවේ .. ටාන්... යන හඬක් මතු කරවමිනි.. එක අතකින් තම නිල් කලිසම අල්ලා ගෙන අනික් අතින් වෙර දමා ගලක් විසි කලේ ඔහුගේම මල්ලි වූ  බිංදු විසිනි.

 මෙසේ අඩි පනහක් හැටක් ඉස්කෝලෙට සමාන්තරව ගමන් කල අපි.. තව තව දේවල් කරමින් පැමිණ නිවෙස් කරා ලඟා වන විට බොහෝවිට හවස හතර පහ  පසුවී හමාරය.


කවිඳුට තරු පෙනුණු හැටි.


ගෙදර අය්යලා අක්කලා සමග පන්සිල් අරන්  පොත් පත් වල වැඩ නිමා කල මා එදින රාත්‍රියේ කිසියම් වූ හිතේ දෙගිඩියාවකින් පසු වුයේ අපේ දවල් කාලයේ වීර ක්‍රියා සිහියට නැගීමෙන් වත්දෝයි මට නිකමට සිතේ. රෑ කෑමෙන් පසු අටුව තිබු මැද කාමරයේ තිබු ඇඳට වැටුනා මතකය.

මුළු ඇඟම දාඩියෙන් වැසි .. පපුව ඩිග්.. ඩිග්.. ගා ගැහෙමින් මා අවදි වුයේ අම්බලම ළඟ සොහොනේ සිට කරේ කුරුසියක් දරා ගෙන .. ඉදිරියට යන්න දඟලද්දී..දඟලත්දී  ඉදිරියට යා නොහැකිව එකම තැන රැඳෙමින් උන් මාවෙත බුරා ගෙන පැන ගෙන එන තඩි කළු බල්ලෙකු දැකීමෙනි.

"මම.... බොහොම බයවුණා .. මගේ පන එපා වුනා ... රෑ දොළහට හොල්මනකට .. මාව අසුවුනා...."
ගී පද මගේ හිතේ රැව් පිළිරැව් දුන්නා දැයි මට හරියටම නිච්චියක් නැත...



"මේ ළමයින්ට හැමදාම පන්සිල් අරන් නිදා ගන්න කියනවා.. චුටි පුතා අද උඹ පන්සිල් ගත්තේ නෑ නේද? " කියමින් අම්මා මගේ පපුවේ සිද්ධාර්ථ තෙල් ගල්වයි...

හේතුව ,... බුදු අම්මෝ... කියමින් බරට බරේ කර මත කුරුසියක්ද ගෙන ගල් ගැසී සිටි මා වෙත දත් විලිස්සන් ආ තඩි.. කළු බල්ලා දැක මා තැබූ විලාපයයි.

Monday, 13 April 2015

මං පුංචි වෙළෙන්දා



අටේ පංතිය සහ වන්නිගම ටීචර්  



අපේ යාළුවා වූ වන්නි ගේ අම්මා (පාසලෙන් පිටත දී වන්නි ඇන්ටි) ඒ කාලේ අටේ පන්තියට බුද්ධ ධර්මය ඉගැන්වූ ගුරුතුමියයි.

මේ කොල්ලෝ කෙල්ලෝ අපි හැමෝම තවත් වසරකින් තිරිහන් වී සිටින කාලයයි.

මේ කාලයේදී අපේ පන්තියට ළඟ තිබු හමුදා කඳවුරේ නිල නිවාසයේ සිට එන අලුත් කොල්ලෙක් එකතු වුවා මතකය.

ඔහු නමින්සුපුල් චන්දික නම් විය .

ඔහුගේ ආගමනයට  කලින් අපත් සමග සිටි දඹ ගල්ලේ  සුපුල් නුවන් කෝනර සමග දැන් පන්තියේ සුපුල් ලා දෙදෙනෙකි.

ලෝක අන්ඩයෙකුගේ පෙනුමෙන් හෙබි මේ අලුත් සුපුල් පරණ සුපුල් හා ජාලිය සමග එකතු වී නියමම වල ගැන්සියක් පන්තියේ නිර්මාණය කළේය.

ඇත්ත වශයෙන් කිවහොත් පහේ පන්තියේදී දක්ෂයෙකු වූ ජාලිය වල දෙසට ඇදීමේ යම් වගකීමක් මේ සුපුල් ලා දෙදෙනා පිට පැටවේ.

කොල්ලන් ටිකෙන් ටික දඟ වැඩ වලට යොමුවෙනවා දුටු වන්නි ඇන්ටි ( වන්නිගම ගුරුතුමිය) තම පුතාද මේ  බලපෑම් වලට ලක්විය හැකිබව දැන් සිටින්නට ඇත.

සුපුල් චන්දික ලා හා අප මෙන් විශ්ව විද්‍යාල වල නොගියද ඒ කාලේ සිටම  ඇයගේ පුත් "වන්නියා"   හෝදලා බොන්න පුළුවන් තරම් වර්ගයේ හොඳ එකෙකි.


ළමයින් හැදෙන වැඩෙන කාලේ



දැන් දැන්  ගැහැණු පිරිමි මල් පලතුරු  අපි හැමෝටම යම් යම් කුතුහලයන් වෙනස්කම් ඇතිවන කාලයයි.

මේ නිසා ළමයින් අතර සවිස්තරාත්මක පෙම් හසුන් හුව මාරු විය හැකි වන අතර ගැන්සි වලද සමාන්තර දේ සාකච්චා වෙයි.

එපමනක් නොව 318 බසයේද මෙය සිදුවිය හැකිය.

318 ට බසයට අලුතින් එකතු වූ අප වැනිම කොට ජාතිකයෙක් වූ රසිත චමින්ද මා හා තව දෙතුන් දෙනෙක් සමග ජය්ව විද්‍යාත්මක සංසිද්දියක් ගැන අපට  පැවසුවේය.

එයට සමාන්තර දිනකදී සුපුල් කණ්ඩායමේ ද එම මාතෘකාව සාකච්චා වී තිබුණි.

ව්‍යිදය විද්‍යාව හැදෑරීමෙන් පසු ළමයින්ගේ හෝමෝන වල වෙනස් කම් වෙන කාලය ගැන දන්නා මට මෙහි විමතියක් නැති වුවද අපේ ගමේ අම්මා කෙනෙකුට කිවා නම් මේවා අනේ අපොයි.. කියවෙන කතාය.

කෙසේ වුවත් රසිත අපට දුන් උපදෙසට සමාන උපදෙසක් ලැබූ ජාලිය පසුදා පන්තියට ආවේ සහලවලා උණ ගත් අයෙක් ලෙසිනි.

සුපුල් නුවන් ගේ සරල ප්‍රතිකර්මය අඩංගු උපදෙස  වුයේ  ...

 "ඉතින් ඔය වෙලාවට අපට උගන් වන කරුණු විතරක් හිතලා මදි .. උගන්වන ගුරුවරුන්වත් මතක් කර ගත්තා නම්  උණ ගන්නේ නෑ යනුවෙනි"

 එසේ කිවේ වන්නිගම ටීචර් ගැන නම් නොවේ.




ජයසිංහ න්‍යාය සහ විජේවීර අය්යාගේ පෙම් හසුන




කන්දේකුඹුර ගේ "ආදරය ප්‍රකාශ කිරීම" ජනතා මතකයෙන් ඈත්ව ගිය පසු  මගේ සඳා ගැන තිබු උවමනාව අටේ පන්තියේදී නැවතත් මතු වුයේ "සරණපාල න්‍යායේ" ව්‍යුත්පන්නයක් ලෙසිනි.

කොල්ලෝ සඳමාලි අපේ පන්තියේ කොට බිත්තිය  පසු කර යන හැම වාරයක් පාසාම  කවිඳු.. කවිඳු යැයි හය්යෙන් කා ගහන්නට පටන් ගත්හ.

ඒ  ඇත්ත වශයෙන්ම මගේ පුර්ණ ආශීර්වාදය මැදය.

සඳමාලි දිනකට දෙතුන් වතාවක් ලජ්ජාවෙන් ඇඹරි ඇඹරි අපේ පන්තිය ඉස්සරහින් ආවේ ගියේ මේ ජයසිංහ  න්‍යායට පින් සිදු වන්නටය.

මෙය දින කීපයක් සාවධානයෙන් බල සිටි වන්නිලා අම්මා අවසානයේදී

"තොපිට .... .. කිරි එරෙන්න ඉස්සෙල්ලා ගෑනු ඕනෑ වෙලා "

යනුවෙන් අපේ පන්තියට පැමිණ තම හඬ අවදිකළේ දින කීපයකින් පසු ඇයට කාන්තා පාර්ශ්වයේ සිද්දියක්ද අසුවීමට නියමිත බව නොදැන විය හැකිය.

අරලගංවිල නගරයේ මහා විදියේ තිබු විදුලි උපකරණ කඩයේ මුදලාලිගේ දියණිය වූ නෙළුම් සිටියේද මෙම පන්තියේමය.

ඔබට මතක ඇත්නම්  පහළ ඉස්කෝලෙදි හපුගස් තැන්න  වත්තේ ප්‍රියංක ගේ බැල්ම වැටුනේද මැයටමය.

නෙළුම් ගැන අවධානෙන් පසුවූ විජේවීර අය්යා ලියු පෙම් හසුනක් නෙලුම්ගේ පොතක් ඇතුලේ තිබී වන්නිගම ටීචර්ට අසුවූ දිනය උදා වුයේද අපි අටේ ඉන්නා දිනවලමය.





වෙළදාමෙන් තවත් පියවර කීපයක් ඉදිරියට







සැඟවුණු දය්වයෙන් ව්‍යාපාරික ලෝකයට අවතිර්න වූ මා ඉන් ඉදිරියට තවත් බිස්නස් කටයුතු වල නිරත වුයෙමි. බාප්පලා ගෙදර පුරා තිබු සීනි කෙසෙල් කැන් කපා ඒවා ගුණදාස මාමා ගේ කඩේට දීම ඉන් එකකි. 

එසේ දෙන්නට පෙර එක් දිනක් මම විද්දී අය්යා  (ගුණදාස මාමගේ පුතා)  සමග වැදගත් ව්‍යාපාරික සාකච්චාවක් පැවත්වුයෙමි.

"විද්දීඅය්යා... මේ කෙසෙල් ගෙඩියක් විකුනන්නේ කීයටද?"....

 "සත තිස්පහයි මල්ලි"...

"මම කෙසෙල් ගෙනත් දුන්නොත් එකකට කියක් දෙනවද? "

"සත විස්ස ගානේ දෙන්න පුළුවන් මල්ලී"

"එහෙම නෙවෙයි මට සත විසිපහ ගානේ දෙන්න .... ඔයාටත් ලාභයක් තියෙනවනේ...."

සකච්චාව සාර්ථක විය එහෙත් මගේ හිතට හරි නැත.

 මම දහ අතේ කල්පනා කර අලුත් නිගමනයකට ආවෙමි.


කවිදු මුදලාලියි ... නඩරාජා  ගෝලයයි.




මල්දෙනිය කිට්ටුව තියෙන ආණ්ඩුවේ වත්තේ "පඩි පොළ" මගේ සිහියට නැගිණි.

විද්දී අය්යාට දෙන සත 15ත් මටම තියා ගත හැකි ක්‍රමයක්.... 

අපේ ගමේ ඉන්නා මල්ලිකා අක්කා   සැම්සන් අය්යා... සූරී අය්යා වගේ  දෙතුන් දෙනෙක් හැරෙන්න වත්තේ වැඩි හරියක් ඉන්නේ දෙමළ මිනිසුන්ය.

එසේ   වීම මට නම් ජාතික ගැටළුවක්  නොව  වෙළඳ ගැටළුවකි..

උත්තරය? දෙමළ  සිංහල දෙකම දන්නා කොල්ලෙක් හොයා ගත යුතුය.

පල්ලැහැ බාස් මාමලාගේ  වල් කපන කොල්ලා මගේ හිතවත් නඩරාජා සිහියට නැගුනේ එවිටයි.

 වත්තේ පඩි දාන්නේ මාසේ 10 වෙනිදාටය.

මම කල් ඇතුව නඩාට මතක් කර තිබ්බේ මේ පාර පඩි දවසේ අපි වැඩට බහිමු යනුවෙනි.

කෙසෙල් කැන් තුන හතරක් කපා වලේ දැමු මා  දිනපතා දුම් ගසමින් ඒවා දහවෙනිදාට සුදානම් කලෙමි.

උඩහ මඩුව ලඟ පඩි පොලේ නඩාගේ  භාසා දැනුමත් මගේ ව්‍යාපාරික දැනුමත් මිශ්‍ර වුයේ කිසිම ජාති ආගම් කුල බේදයකින් තොරවයි.

මම ගුණදාස මාමාගේ ලාභයත් මගේ සාක්කුවට දමා ගත්තේ නඩාටත් රුපියල් කීපයක් මිට මෙල වීමෙන් පසුවයි.

ඊලග වෙළඳාම එච්චරම සාර්ථක වුයේ නැත.

එදා මම කැපුවේ මලු කෙසෙල් කැනකි. ඇවරි ගසා පෙට්ටියක දමා පාර අයිනේ තිබු මලු කෙසෙල් කිසිවකු ගන්න පාටක් තිබ්බේ නැත.

මා ව්‍යාපාරික ලෝකයේ පසු බසිනු දුටු තාත්තා යෝජනා කලේ  ගමේ ගෙයක් ගෙයක් ගානේ පෙට්ටිය අරන් ගියොත් විකුණා ගන්න පුළුවන් වෙයි කියාය.


ඇවරි කිහිපයක් බාබර් අය්යලා ගෙදර හා හාලි ඇල මාමලා ගෙවල් වලින් ගත්තත් කෙසෙල් කැනම විකුණා ගන්න මට හැකි වුයේ නැත.


කපටි ව්‍යාපාරිකයා




ඒ කාලයේ රට පුරා පුවක් හිඟයක් තිබුණු කාලයකි.

 දිනක් මගේ තියුණු ඇස්වලට හමු වුයේ කිරඹ ඔයේ අතම්මල ගෙදරට අල්ලපු ගෙදර තිබු වෙළඳ අවස්ථාවකි . එහි සිටියේ අපේ මුත්තාගේ තව අය්යා  කෙනෙක් වූ බෝගොන් මුත්තාය.

මේ ගෙවල් දෙකම එක වහලයකින් සම්බන්ද කර තිබු අතර ගමේ අය පොදුවේ පහළ ගෙදර නමින් හැඳින්  වුයේ මෙම ගෙවල් දෙකමය.

උදාහරනයක් ලෙස අපේ අම්මා පහල ගෙදර විමලා අක්කා විය. 


බෝගොන් මුත්තත් අතම්මත් මිය ගොස් සිටි ඒ දිනවල ගෙදර හිටියේ උක්කුන් පුංචි හා එකල ගුරුවරයෙකු වූ සමරේ මාමාය.


මම උන්කුන් පුංචිට වචනේ දැම්මෙමි.

"පුංචි.... පුවක් වලු දෙක විකුණනලා දෙන්නද?  "

 විද්දී අය්යලා කඩේ පුවක් වල ගනන් දන්නා මා ලොකු ලාභයක් ගැන කෙළ හලමින් පුංචි දෙස බලා සිටියෙමි..

"චුටි පුතා කීය ගානේ දෙනවද?..."

".සත විස්ස ගානේ දෙන්නම්".

මම නොපැකිලව උත්තර දුන්නේ විද්දියා  පුවක් ගෙඩියක් විකුනන්නේ සත පනහ ගානේ බැවිනි.


මම මේ වතාවේ උදව්වට ගත්තේ නඩා නොව හෙළ ගෙදර බණ්ඩාරේය.

 පුවක් ගස් නගින්න දෙමල දෑන ගන්න ඕනි නෑනේ.... බණ්ඩාරේ මගෙන් සල්ලි නොගෙනම වැඩේ කර දුන්නේ ඔහු මගේ කිරඹ ඔය පැත්තේ සෙල්ලම් සගයෙකුද වන  නිසයි.

මම පුවක් ගෙඩි දෙසිය ගණනක් මල්ලක දමාගෙන විකුණලා සල්ලි ගෙනත් දෙන පොරොන්දුව පිට උක්කුන් පුන්චිගෙන් සමුගත්තෙමි.  

එහෙත් මට  දවල් තරු පෙනුනේ විද්දී අය්යා ලඟට ගිය විටයි.

හෙට්ටු කරලා කරලා අන්තිමටම ඔහු එකඟ වුයේ සත විස්ස ගානේ පුවක් ගොඩම ගන්නටයි..

"මාර වැඩේ මෙහෙම ගියොත්මට සතයක්  වත් ලාභනෑනේ "

උක්කුන්ගේ හැටි දන්නා මම මල්දෙනියේ කඩේට පුවක් ටික නොදී ගෙදර ආවෙමි...
"මේ වෙළඳාම මලු කෙසෙල් වගේ ගෙන් ගෙට ගිහින් කරන්නත් බෑ"

මොකෝ එක ගෙදරට පුවක් ගෙඩි දෙක තුන ගානේ ගෙවල් කීයක කියලා අවිදින්නද...

ම‍ගේ ව්‍යාපාරික මොලය තදින් භ්‍රමණය වෙයි...

අතදිග හැර වියදම් කිරීමට මිසක් මා අද පවා පිළිගන්නා  හැටියට කිසිම අයුරකින් සට කපට ව්‍යාපාරික වැඩ නොදන්නා අපේ තාත්තා අයෙත් මගේ පිහිටට ආවේය.

"පුතා බාස් මාමා නම් බුලත් විට  කනවා. මිනිහා ඔය ටික ඔක්කොම වුනත් එක පාර ගනියි". තාත්තා මාව දිරිමත් කළේය.

මම පුවක් දෙසියම බාස් ලොක්කට දුන්නේ යන්තම් රුපියල් පනහකටය.

දැන් ගණිත මොලය භ්‍රමණය වන වෙලාවයි.

මම උක්කුන් වෙත ගියේ.. " පුංචි හරි වැඩේ තමයි.. විද්දී අය්යා සත දහ අට  ගානේ තමයි පුවක් ගත්තේ... රුපියල් තිහක් ඔයාට දෙන්නම් .  ඇති නේද..." කීයා  ගෙනයි. 

කාගෙන් ගැලවුනත් උක්කුන්ගෙන් බේරෙන්න බැරිය...

" ඒ වා හරියන්නෑ  පුතා .

උඹ කිව්වේ විස්ස ගානේ දෙනවා කියලනේ මට රුපියල් හතළිහක් දියන්."

අවසානයේ හිත හදාගත් මා ඇයගේ මුදල අය අත තබා රුපියල් 10 ක් ලාභ ලැබූ මුදලාලි කෙනෙක් ලෙස මල්දෙනිය දෙසට පිය මැන්නේ එතරම් හිත සතුටකින් නොවේ.


නැවතත් ගැනුම් කරු හමුවට




තවමත් මගේ  ව්‍යාපාරික හිත තවමත් සන්තෘප්ත වී නැත.

කිරඹ ඔයේ සිට මල්දෙනිය දෙසට එද්දී නැවතත් බාස් මාමලා ගේ පසුකල යුතුය. මම පාරෙන් හැරී නඩරාජා ගේ ගාල පසුකර බාස් මාමලා දිහාට පල්ලම් බැස්සෙමි.

"මාමා හරි වැඩේනේ පුවක් ගෙනාවේ උක්කුන් පුන්චිලා ගෙදරින් එයා සත හැට ගානෙම ඉල්ලනවා .. මාව බේරා ගන්න මාමා " මම පින්සෙන්ඩු වුයෙමි.  

ඒකත් එහෙමද පුතා ...මෙන්න මේක එයාට ගිහින් දෙන්නකෝ..

බාස් උන්නැහේ ලෝස් නැතුව රුපියල් දහයක් ඇද මා අත තැබුවේය. මම ඒ රුපියල් දහය උක්කුන්ට දුන්නේ නැත.


උක්කුන්ට පිටි පස්සෙන් හිනා වෙමින් මම රුපියල් විස්සක ලාභයක් ලබා ගෙදර ගියෙමි.
ගියෙමි.
මෙසේ  අටේ පන්තියේ කොල්ලෝ සමග මුසු වෙමින් ඔහේ ඉන්නා අතර අපේ අම්මාට සමරේ මාමා කියූ දෙයකින් උඩ ගොස් බිම වැටුනා යයි කිවොත් නිවැරදිය.



"ලොකු අක්කා සමන්ත පුතා වගේම  පොඩි පුතා ඉගෙන ගන්න දක්ෂයි නේද?

 මිනිහා ඉගෙන ගත්තොත් ඉහලටම යයි ...

හැබැයි සමන්ත වගේ අහිංසකයෙක් නෙවෙයි මෙයා..  

හෙන කපටි හාදයෙක්.. ඉගෙන නොගත්තත් හොඳ කපටි මුදලාලියෙක් වෙන ලකුණු තියෙනවා. "




බාස් උන්නැහේ සමරේ මාමත් එක්ක තව දුරටත් පුවක් ගනුදෙනුව සාකච්චා කරනු ඇති බවක් නොසිතීමේ වරදට මට දඬුවම් ලැබී ඇත.


Sunday, 12 April 2015

ඇතිමලේ බාප්පා

බණ්ඩාරේ දුන් පණිවිඩය

එදා සෙනසුරාදා හෝ ඉරිදා දවසකි. අපි අලුතින් ලැබුණු සරු සාර ගෙවත්තේ (පොඩි බාප්පලා ඉඩමේ) වැඩ කරමින් සිටියෙමු. දිවා  ආහාරය පසුවී ටික වෙලාවක් වන්නට ඇත. අම්මා , මම, අක්කා ඇතුළු පිරිස ගෙට උඩහ තේ කෑල්ලේ උදළු ගෑම, පස් දැමීම වැනි යමක්  කරමින් සිටි වෙලාවයි.

හාත්පස මූසල ගතියක් තිබිනා දැයි මට හරියටම මතක නැත. එක් වරම මහ පාරේ බුරුස් මාමලා කඩේ පැත්තෙන් නොව කිරඹ ඔය ඉස්කෝලේ පැත්තෙන් ඇසුණු කට  හඬකි..

"විමලා නැන්දා... විමලා නැන්දා... "

මගේ සම වයසේම වූ කිරඹ ඔය ආතලාගේ ගෙදරදී මට නිතර හමුවන යහළුවෙකු වූ හෙළ ගෙදර බණ්ඩාරේ ගේ හඬයි ඒ..

අම්මා ඇයි පුතා කියා අසන්නටත් පෙරම

" ඇතිමලේ මාමා මලා කියලා කියන්න කිව්වා"

යැයි බණ්ඩාරේ එක හුස්මට කියාගෙන ගියේය.


අම්මාට සිහි නැති වුවා දැයි මට නිච්චියක් නැත. එහෙත් ඇය සිහි විකල් වූ පරිදි බණ්ඩාරේ පනිවිඩ කරු ලෙස එවූ අපේ ආත්තම්මලාට දොස් කියූ අයුරු නම් මට මතකය.

එදා හෙළ ගෙදර බණ්ඩාරේ රැගෙන ආවේ  අපේ පවුලේ කිරඹ ඔය පැත්තේ හිටපු හොඳම නෑදෑයා  වූ ඇතිමලේ  බාප්පා අකල් මරණයකට ගොදුරු වූ සෝචනීය පුවතයි.

කවුද මේ ඇතිමලේ බාප්පා ?


ඒ වන විටත් අප ජිවත් වූ  පැරණි නිවසට   (අපේ පොඩි බාප්පා ගෙන් අලුතින් අපට ලැබුණු  සශ්‍රික නිවසට)  අලුත්  අංගයක් එකතු වී තිබුණි.

ඒ කිකිළියන් දෙදෙනෙක් සහ පැටවුන් ගනනාවකින් යුත් කුකුල් කුඩුවයි.

මෙහි සිටි වයසකම කිකිළිය සහ පැටවුන් දෙදෙනෙකු මුලින්ම අපට තෑගි දුන්නේ ඇතිමලේ බාප්පා විසිනි.


ඔහු ගැන වචන කිහිපයක් මෙහි නොලියාම බැරි යැයි මට සිතුනේ බාප්පා සිටියානම් යැයි අදටත් සිතෙන වාර ගනන අනන්ත අප්‍රමාණ වන බැවිනි.

බාප්පා ඇතිමලේ ප්‍රදේශයේ ඇති මානන් පතන කනිෂ්ට විද්‍යාලයේ විදුහල් පති වරයා විය.

වනසිංහ මුදියන්සේලාගේ  ජනදාස යන මුල් නම ඔහුට තිබුනද  ඔහු පා විච්චි  කලේ  ඇම්. ජනදාස කියාය.   ඇම්. ජනදාස  යනු  මානං පතනේ ජනදාස යන නම කෙටිකර ලිවීමකි.

අපි ඒ කාලේ බාප්පට ලියුම් යවන්නේ "  ඇම්. ජනදාස  , මො/ මානන්පතන කනිෂ්ට විද්‍යාලය. ඇතිමලේ " යන ලිපිනයටයි.

ඒ අපේ මාසික වාර ප්‍රවේශ පත්‍ර ගැනීමට හෝ පොත් පත් ගැනීමට හෝ මුදල්අ ඩුපාඩුවක්  ඇති බව බාප්පට දැන්වීමටයි.

බාප්පා ඇතිමලේ ඉපදුනු කෙනෙකු නොවේ.

ඔහු  තම ප්‍රථම රැකියාව සඳහා කැලෑබද ප්‍රදේශයක් වූ ඇතිමලේ පැත්තේ ගුරු සේවයට  ගොස්  විශාල කැලෑවක් එළිකර එහි පදිංචි වූ පුද්ගලයෙකි.

ඇතිමලේ බාප්පා විවාහ වී සිටියේ අපේ අම්මාගේ තුන්වැනි නංගි සමගය.

හැත්තෑ ගණන්ඒ වල ජිවත් වූ ප්‍රගතිශිලියෙකු වූ ඔහු ඒ  කාලේ  අපේ තාත්තාට කතා කලේ "සහෝදරයා" යන නාමයෙනි.

මට මතක හැටියට අපේ පල්ලැහැ ගෙදර ජේන් අක්කගේ මහත්තයා  වන සිරිසේන මාමා තාත්තාට කීවේද සහෝදරයා කියලයි.

සිරිසේන මාමා හා අපේ තාත්තාගේ සහෝදරත්වය කෙසේ වුවත් ඇතිමලේ බාප්පානම් නියම සහෝදරයෙකුගේ ලක්ෂණ පෙන්නුම් කල අයෙක්  විය.

එහෙත්  අප සැමගේ නරක වෙලාවට  ඇම්. ජනදාස අපට අකාලයේ අහිමි වී ගියේය.

ගුරුවරයෙකු වූ බාප්පා ඒ කාලේ  ඉස්කෝලේ ඇරී ගෙදර ආ විගසම යන්නේ ඔහු කැලය එළිකර අලුතින් අස්වද්දන කුඹුර වෙතටයි.

හවස දෙක තුනේ සිට රෑ කළුවර වැටෙන තෙක් එක සීරුවට වැඩ කරන ඔහු අක්කර ගණනාවක් වූ ඉඩමේ එක පැත්තක කුඹුරක් ද  අනෙක් පැත්තේ දෙහි, දොඩම් , පොල් ,අන්නාසි , දේශ අල  ආදියෙන් පිරී ගොඩ වගාවක්ද පවත්වාගෙන ගියේය.

 දිනපතා කැලය එළිකරමින් .. වතුර බන්ට් හදමින් කුඹුරේ වපසරිය වැඩි කල ඔහු  වැඩිපුරම කාලය ගත කලේ කුඹුරේ හෝ වත්තේ මිස ගේ ඇතුලේ නොවේ.

අද අප දකින ගොවිතැන් සහ රජයේ රැකියා යන දෙකම කරන සමහරක්  අය මෙන් නොවූ අපේ බාප්පා ගම්  හත අටකට කට කන්න දෙන්න තරම් වැඩ කලා කිව්වා නම් නිවැරදිය.

අරලගංවිල භූතයෝ

 බාප්පා  ඉතාම කඩිසර මිනිසකු වූ අතර ඔහුට අලසකම පෙන්නන්න බැරි විය.

එවැනි අලස අය හඳුන් වන්නට ඔහු යොදා ගත්  වචනය වුයේ "භූතයා" යන්නයි.

කම්මැලියන් පෙන්නන්නට බැරි ඔහු කිරඹ ඔයේ අපේ පවුලේ හැමෝටම කිවේ  "කිරඹඔයේ භූතයෝ " කියලයි.

ඔහුගේ  තුන්මාසේ දානයට ඇතිමලේට යන තෙක්ම ඔහුගේ වැඩ දැක නැති මා .. ( ඇත්ත වශයෙන් ඔහු සමග වැඩකර  නැති මා) ඔහුගෙන් මේ ආමන්ත්‍රණය කෙදිනක වත් ලබා නැත.

මෙය හොඳින්ම දැන සිටියේ  ... 77න් පසු නිතර දෙවේලේ ඇතිමලේ ගිය අපේ අය්යාත්... ඇතිමලේ නැවතී බාප්පාගේ කෘෂි  කර්මාන්තයට ගොඩක්   උදවු කල රාජු මාමත් ය.

එසේ අපිට බනින ඔහු සති අන්තයක අප බලන්නට අපේ ගමටආවොත් එන්නේ හැම ගෙදරටම හාල් කිලෝ 10-15ක මල්ලක්. පොල්, ඉරිඟු, කෙසෙල්, දෙහි දොඩම් ආදී සකලමනාවම  ඉහින් කටින් දාඩිය දා ගෙන ඔසවා ගෙනයි.

අප ගමේ ටික දිනක් ගතකර ආපසු යන ඔහු අපෙන් සමු ගන්නේ සීසන් ටිකට් එකට මේක තියා ගනින් යනුවෙන් රුපියල් 5ක්-10ක් අප අත  තැබීමෙන් පසුවය.

බාප්පාට භූතයා යන අන්වර්ථ නාමය පාවිච්චි කල අපේ අය්යාත් රාජු මාමත් කිවේ

 " මෙහෙම භූතයෝ නම් හැමදාමආවත් මොකද?  " කියලයි.

මා ඇතිමලේ නොයන්නට හේතුව මා දෑන ගත්තේ බාප්පා මිය ගිය පසු අම්මා කියූ කතාවකිනි.

 "චුටි පුතා ඔය ඇතිමලේ අය්යා  උඹව හදා ගන්න ඉල්ලුවනේ ...

පේනවා නේද අර මනුස්සයා නැතිවුනාට පස්සේ කෙල්ලොන්ට යන කල දසාව ..

හොඳ වෙලාවට මන් පොඩි එක දුන්නේ නැත්තේ .....

ඇතිමලේ අය්යා මෙහේ අවොත් මට කියන්නේ ...

"චුටි පුතා මට දීපන් විමලා නංගියේ....මම උඹලට කොල්ලව  හොඳට හදලා දෙන්නම්"

 කියලමනේ..."

බාප්පා ගේ මරණයෙන් පසු දිනක ඇතිවූ මේ කතා බහ අවසානයේ  මා දෙසට හැරුණු අම්මා කිව්වේ ...

"ඔන්න දැක්කද  ඒ  කාලේ උඹ එහේ ගියා නම් දැන් ඉතින් උඳු කුඩු තමයි"..... යනුවෙනි.

අපේ ගමේ තවත් නාට්‍යයක්


සැඟවුණු දය්ව්‍ය  අති සාර්ථකව නිම වීමෙන් පසු ටික කලක ගෙවී ගිය තැන ප්‍රදේශයේ තරුණ කැල තවත් නාට්‍යයකට අත ගැසුහ.

මෙහි තිබු ප්‍රධාන වෙනස් කම් වුයේ තිර රචකයා සිරිමල්වත්තේ විමලේ අය්යා වීමත් .. ප්‍රධාන භූමිකා වල  රඟ පෑ තරුණයින්  හේරත් අය්යලා කුමාර අය්යාලට වඩා අවුරුදු අටකින් දහයකින් වැඩි මහල් අය වීමත්ය.

නාට්‍යයේ නම " දියවන්නා ශෝකය හා නයනා " විය.

ප්‍රධාන නළුවා දැනට අරලගංවිල නගරයෙන් භාගයක්ම හිමි ලොකු මුදදලි කෙනෙකු වූ.. එකල ගෝනියක් කරේ ගෙන අපේ පැති වල සිය පියා සමග එළවලු එකතු කල. වෙනුර හෙවත් විජේසේකර අය්යාය.

වෙනුර අය්යා කතාවේ පෙම්වතා වූ නයනානන්ද කුමාරයා විය.   පෙම්වතිය වුයේ නයනා කුමරියයි.

කතාවේ දුෂ්ටයා ගේ චරිතය ලෙස තිබුණේ මේ දෙදෙනාගේ ප්‍රේමයට අකුල් හෙලමින් වැඩ කල තවත් රජ කුමරකුගේ චරිතයයි.

කතාව අවසන් වන්නේ  ඒ  දුෂ්ට කුමාරයා කඩු පාරකින් මරණයට පත් වීමත් සමගය.

එය පෘතුගීසින් ලංකාව ආක්‍රමණය කල කාලයට සම්බන්ධ රජ කතාවකි.

 "නයනානන්ද කුමරුවනේ .... නයනා කුමරියනේ.. මට සමා වෙන්න" යනුවෙන් තමාගේ අවසන් හුස්ම පොද වා තලයට යොමු කරමින් අන්තිම දෙබස් ටික පැවසුයේ  කථාවේ දුෂ්ටයා වූ සුවඳේ අය්යා විසිනි.

නාට්‍යයේ  එන විනෝද ජනක අවස්ථාවක එන ගීත කණ්ඩයක් තවමත් මා සවනේ රැව් පිළිරැව් දෙයි.. මී වදයකි ජිවිතේ ... යන ගීතයේ තනුවට ගැයුණු මෙය...

" ගෝවේ පෘතුගීසියෝ .... ලක් වැසියාගේ මාරයෝ... අල්ලා ගන්නට මේ පොඩි සරු රට කෙළ ගිල ගිල ආවෝ"

යනුවෙන් ගයමින් නැටුවේ පෘතුගීසි කාරයන් ලෙස හැඳ ගත් පැහැපත් සමකින් යුත් තරුණයින් හතර දෙනෙකු විසිනි.

ඔවුන් ගෙන් එක් අයෙක් අසල තිබු ආණ්ඩුවේ වත්තේ නිල නිවසක සිටි අයෙක් බව මගේ මතකය කියයි. මේ අය අතර  මැලේ ජාතිකයින් හෙවත් ජා කොල්ලෝ දෙදෙනෙක්ද වූහ.


"දියවන්නා ශෝකය හා  නයනා"  නාට්‍යය  රඟ දැක්වුයේ කිරඹ ඔය විද්‍යාලයේ නොවේ.

 එය රංග දැක්වුයේ තව කිලෝමීටර තුන් කාලක් පමණ සිරිමල් වත්ත පැත්තට වෙන්නට තිබු පළාතේ දෙමළ විද්‍යාලයේය.



ඇතිමලේ බාප්පාගේ මරණින් පසු


ඇතිමලේ භූතයා මා පොඩි භූතයෙකු කරන්නට උත්සාහ කර තිබුණු හේතුව පැහැදිලි වුයේ ඔහුගේ මරණින් පසුවය.

 අපේ තාත්තා මරණයේ සියලු වැඩ කරට ගෙන කලා මතකය.  ඇතිමලේ බාප්පාගේ ළමයින්ගේ ඉදිරි අධ්‍යාපනය තමන්ගේ වගකීමක් ලෙස සලකා වැඩ කරන්නට ඔහු තීරණය කරන්නට ඇත.

 හත්ද වසේ දානයෙන් පසු අපේ තාත්තා අරල්ගන්විලට  ආවේ තවත් කෙල්ලෝ දෙදෙනෙක්  එකතු කරගෙනය.

සිවු දෙනෙක් සිටි අපේ පවුලට  තවත් සාමාජිකාවන් දෙදෙනෙක් එකතුවුයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.

ලොකුම නංගි අපේ ලොකු නංගිගේ වයසේ වූ අතර දෙවැනියා  මට වඩා අවුරුදු 5 කින් බාල අයෙකි.

දෙවැනි  පසු කලෙක මගේ " බ්‍රෝකර්" ලෙසද කටයුතු කලාය.

ඒ ඇයත්  පසුකලෙක  මගේ හිතවතිය වූ ජයන්ගනිත්  එකම පාසැලේ එකම පන්තියේ සිටි සිසුවියන් වූ බැවිණි.

 පොඩිම නංගි ඉපදීමම බාප්පාට අපලයක් වූ බව අම්මලා කිවේ ඇය ඉපදී මාස කීපයකින් බාප්පා අප හැර ගිය නිසාවෙනි.

අත දරුවෙකු වූ ඇය ඇතිමලේ පුංචි ලඟම රඳවා එන්නට තීරණය කර ගෙන තිබුණි.

ඒ කාලේ හයේ හතේ පංතිවල සිටි මම ඇතිමලේ බාප්පා මෙන්ම කඩිසර අයෙකි.

පාසල් ඇරී නිවසට ආ  වෙලාවේ සිටම වත්තේ එලවලු වගාවට සාත්තු කිරීමත් දවස අවසානයේ ලිඳෙන් වතුර ඇද වගාවට දැමීමත් මගේ රාජකාරියයි.

මා දවසේ වැඩ නිමාකරන විට බොහෝ විට රෑ හතහමාර හෝ අට වන බව මාගේ මතකයයි.

පල්ලැහැ බාප්පලා වත්තත්  විමලේ ලොකු තාත්තලා වත්තත් බෙදෙන තැන තිබු  ලිඳෙන් වතුර ටිකක් නා ගන්නේ මෙන්න මේ වෙලාවටයි.

 ඇතිමලේ බාප්පා සමග  ජීවිතේට එකට වැඩ කර  නැතත්  ඇතිමලේ නංගිලා තුන් දෙනා අපේ ගෙදර ආපු ගමන්ම ඔවුන්ව හසුරුවන වැඩේ භාරගන්නට තීරණය කලෙමි


වත්තේ පහල ලස්සනට පේලි දමා  කූර කොළ  පාත්ති 2 ක් හැදු මම  ඒවායේ  වල් ගලවන්නට  අකමැත්තෙන් වුවත් එහි ආ ඇතිමලේ දෙවැනි ව යොදවා ගත්තෙමි.

දෙවැනි මෙන් නොව ලොක්කි එතරම් වගාවට උනන්දුවක් දැක්වුයේ නැත.

ලොක්කි හිටපු ගමන් "ඔන්න තාත්තගේ ගඳ එනවා " කියමින් රාත්‍රියට අප බය කළා මිසක් තාත්තා ගිය පාරේ යන්නට උනන්දු වුයේ නැත.

මෙසේ මගේ වගා වැඩ වලට ඇතිමලේ නංගිලා යොදවා ගනිමින්  සිටිනා අතර ඇතිමලේ බාප්පා ගේ තුන්මාසේ දානය ළඟ බව අම්මා මා සමග පැවසුවාය.

බාප්පා මිය යන තෙක්  මා ඇතිමලේ රැගෙන නොගිය අපේ  අම්මා  මා තුන් මාසේ දානෙට ඇතිමලේ රැගෙන යන බවද සඳහන් කළාය.

තුන් මාසේ දානෙට ඇතිමලේ ගිය මා  දුටු දෙයින් විශ්මයට පත්වූයෙමි.

බලන බලන අත  දෙහි , දොඩම්, පැපොල්, කෙසෙල්, කොහිල පොල් ආදී වගාවන්ගෙන් පිරී ඉතිරී ගිය ඉඩමකි.

ගොඩ ඉඩමේ කෙළවරටම ගිය මට දක්නට ලැබුනේ  එක යායට  අස්වද්දා තිබු ඇතිමලේ බාප්පාගේ  කුඹුරු යායයි .

ඇතිමලේ වත්තේ ඔබ මොබ ඇවිදිමින්  අපරිමිත සතුටක් වින්දෙමි.  බාප්පා නෑ නේදෝ  කියා ඇතිවූ දුකකට වඩා ඔහුගේ මහන්සියේ ප්‍රතිඵල දුටු මා සිතට ඇතිවුයේ බලවත් සතුටකි.

 අක්කර ගණනාවක් විශාල ගොඩ ඉඩමත්  බාප්පා තම අකල් මරණය තෙක්ම අලුතින් කොටස් එකතු කරමින් අස්වද්දමින් තිබු කුඹුරු යායත් දුටු විට මට සිතුනේ ..

"දෙවැනි නංගිට  බැන බැන වල් ගලවවව්වේ මා සිත තුලට හදිසියේ ඇතුළුවූ ඇතිමලේ බාප්පාගේ භූත ආත්මය වත්දෝ"..... යන්නයි.

මුත්තාගෙන් මුණුබුරාට


ඇතිමලේ නංගිලා අපේ ගෙදරට පැමිණිම හොඳ දෙයක් ලෙස පෙනුනේ මට පමණක් විය.

මා මෙන් නොව බාප්පාගේ භූත ආමන්ත්‍රණයෙන් කිරඹ ඔයේ පුංචි මාමා හොඳට බැට කෑ හැටි දැක  තිබු අපේ අය්යත් අක්කත් භූත කතාව ඔවුන්ගේ  සිතේ හොඳින්රැදුණු බව මොනවට පෙන්නුම් කළහ.

අය්යලා සෙල්ලම් කරද්දී අලුත් සින්දුවක් කියන්නට පටන් ගත්හ.

" ඇතිමලේ භූත පැටව්... අරලගන්විලයන්ගේ  මාරයෝ... අල්ලා ගන්නට මේ පොඩි සරු බිම .... කෙල ගිල ගිල ආවෝ.....

යන්න ඒ  ගීතයයි.

මේ ගීතයත් සුවඳේ අය්යලා  දෙමළ ඉස්කෝලේ රඟ දැක්වූ දියවන්නා ශෝකය නාට්‍යයේ   ගීතය මෙන් ගැයුනේ .

සි. ටි  ප්‍රනාන්දු ගේ  "මි වදයකි ජිවිතේ "  ගීතයේ  තාලයටමය...


Friday, 10 April 2015

මා කුඩා ව්‍යාපාරිකයෙක් වූ හැටි...



ඒ වනවිට   මම  මහා විද්‍යාලයේ හතේ පන්තියට පැමිණ සිටියෙමි. 

අප සිටියේ ලෝහ වැඩ හා වඩු වැඩ පන්ති කාමර අසල ගොඩනැගිල්ලකයි. එබැවින් අපට දින පතාම කෙට්ටු කළු මනුස්සයෙකු වූ "ලොඩ්ඩා"  හෙවත් ලෝහ වැඩ ගුරු තුමත් .. කලිසම පහලට එල්ලේන්න අදින එම නිසා කොයි වෙලෙත් කම්සයෙන් භාගයක් එළිටට වැටෙන "වඩ්ඩා" හෙවත් වඩු වැඩ ගුරුතුමාද නෙත ගැටෙයි. 

මේ අතර මගේ පන්තියේ සිටි මා හා ගණුදෙනු කල පංති  සගයින් සංක්‍යාවද ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙයි.

කිරිකැටියන්ගේ   ආදර හසුන්.


එකල මගේ මහා විදුහලේදී හඳුනාගත්  "නව සගයෙක්" වූයේ දෙහි ගස් වත්තේ සිට පැමිණි  යෝෂිත කන්දේ කුඹුරයි. 

කන්දේ කුඹුර ගේ තාත්තා පාසැල්ගු රුවරයෙකි. ඔහුගේ අය්යා සිටියේද අපට පංති දෙකක් ඉහළිනි.

 ඒ කාලේ යන්තම් අවුරුදු 11 -12 වයස් සපුරා  සිටි අප  සම වයසේ කෙල්ලන් ගැනද උනන්දුවක් දක්වුයෙමු. 

පන්තියේ සිටි ඇහැට කනට පෙනෙන කෙල්ලක් වූ  ඈන් නිලන්ති පීරිස්  ඉන් එක් අයෙකි.

ඈන්  මා දෙසද ඉඳ හිට ඉඟි බිණි කල කෙල්ලන්  ගෙන් කෙනෙකි. 

ඒ කාලයේ හැටියට පොඩි පන්ති වල නංගිලා ලොකු පන්ති වල අය්යලා දෙස බලනවා මිසක් සම වයසේ අය ගැන සිතන වාර අඩුය.  

මේ තත්ත්වය හොදින් වටහාගෙන සිටියේ වුවද මා හට ද නිකමට වාගේ ඈන්  ගැන කිසියම් උවමනාවක් ඇතිව තිබු බව නොකියාම බැරිය.

හතේ පන්තියේ කාලය සෙමින් ගලා යයි.. මේ අතර දවසක් පන්තියේ මහා කසු කුසුවකි.  

කන්දේ කුඹුරගේ පොත් නම ලියන කොටසේ ඇති අකුරු තුනක් දෙස කොල්ලෝ උනන්දුවෙන් බලා සිනා සෙති. 

මමත් ඔලුව දමා බැලුවේ මේ සිද්ධිය තරමක් රසවත් බව වැටහුන නිසයි.

 දුටු දෙයින් මා සිත අධික කම්පනයකට පත්විය. 

කන්දෙයා  මගේ සියලු බලා  පොරොත්තු සිඳලමින් ඔහුගේ පොතේ  A. N. P. යනුවෙන් සටහනක් දමා තිබේ. 

තවත් මෙවැනිම ශෝක ජානක සිද්ධියකට  සහභාගි වන්නට මා අවාසනාවන්ත වූ  බව ඔබට කියන්නේ හද පිරි ශෝකයෙනි.

ඒකටත් මගේ මිතුරු කනේදෙකුඹුර  සම්බන්ධය. 

ඒ කතාව මෙසේය...

ඈන් නිලන්ති මෙන්ම සුදෝ සුදු නොවුවත් දැකුම් කළු පෙනුමකින් යුත් තවත් කෙල්ලෙක් අප පන්තියේ සිටියාය. 

A.N.P.  ගනු දෙනුව හිතින්ම කන්දෙට බැහැර කල මම කළු නිසා කන්දේ හෝ වෙන කිසිවෙක් හෝ ඇය දෙස නො බලාවි යැයි සිතුවෙමි.

ඒ  අදහස ඇතිව මේ දැකුම් කළු හතේ පන්තියේ ගැනු ළමයා ගැන සිතන්නට පටන් ගත්තෙමි. 

ඇය නමින් සඳ මාලි විය. සඳමාලි පාසැලට පැමිණියේ 79 වැලිකන්ද බසයෙනි. 

සඳා ඇත්තටම මා දෙස බලනවාද නැද්ද වත් පැහැදිලි නැති කාලයේ කන්දේ කුඹුර නැවතත් මගේ සතුරාගේ භූමිකාව රඟ දැක් වුයේ  මා නැවතත් ශෝක සයුරේ ගිල්වමිනි. 

ඒ අප දුටු කෙටිම කෙටි වුවත් අදහස ඉතා පැහැදිලි ආදර හසුනක් ඉදිරිපත් කරමිනි. 

මෙය පන්ති භාර වන්නිගම ගුරුතුමියට හසුවූ පසු සිදුවූ අකර තැබ්බය තවත් එකකි.  

කන්දේ එවර ලියා තිබුනේ " සඳ මාලි .. අප දෙදෙනාගේ ආදරය ප්‍රකාශ කරමු" යනුවෙනි.  

මෙවර ලියවුනේ ඔහුගේ පොතේ පිට කවරයේ නොව සඳ මාලිගේම  පොතේ කවරයේය.

මම  කන්දෙයා කන්න තරම් කේන්තියකින් පසු වුවත්  තනි හිතින්ම එයත්  විඳ දරා ගෙන අනාගතයට මුහුණ දෙන්නට හිත හදා  ගත්තෙමි.





අපේ ගමේ නාට්‍යයක්




මේ  කාලය ජාතික තරුණ සේවා සභාව ගම් වල තරුණ තරුණියන් අතර පැතිරුණ කාලයයි. 

අපේ ගමේ අය්යලා අක්කලාද  ශ්‍රී සිද්ධාර්ථ එකමුතු කලා හවුල නමින් තරුණ සන්විධානයක් පිහුටුවා ගත්හ. 

ඔවුන් අතර කුමාර අය්යා , විද්දී අය්යා , හේරත් , චුට්ටි , තෙලිහා වැවේ කරුණේ අය්යා වැනි අය්යලා පෙරමුණේ වුහ. 

එකමුතු කලා හවුලේ මුල්ම කලා කටයුත්තට දායක වූ අය අතර ඒ වනවිට අවුරුදු හැට පහක පමණ  'තරුණයෙකු"  වූ ගුණදාස මාමාද විය.

එයට නම තැබුවේ "සැඟවුණු දෛවය" යනුවෙනි. 

සැඟවුණු දෛවය නාට්‍යයේ දෙබස් හා තිර රචනය ගුණදාස මාමා ගෙනි. 

ඔහු ඒ දින වල අපේ ගමේ තිබු කඩය කල මුදලාලිද විය. 

ඔහුගේ කඩේට  දාන්  අදින්නට එන හේරත් අය්යලා කුමාර අය්යලා අල්ලා ගෙන ගුණදාස මාමා නාට්‍ය සකස් කලා විය යුතුය.

 දිනපතා හවසට පුහුණු වීම් කෙරුනේ කිරඹ ඔය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ දිය.

මමද නාට්‍යයේ භූමිකාවක් නැතත්හේරත් අය්යලා සමග එහි ගැවසීමට පුරුදු වී  සිටියෙමි.


නාට්‍ය යේ චරිත වලින් මට මතක චරිත කිහිපයක් මෙසේය.   එහි සිටි පෝසතා ධනවර්ධන මුදලාලි ලෙස රඟපෑවේ  අපේ කුමාර අය්යා ය.  

මුදලාලිගේ ගෙදර සේවකයා ලෙස චුට්ටි අය්යා රඟපෑවේ ය.  

මේ මුදලාලි  පපුවේ අමාරුවකින් මියයයි.  ඉන් පසු ඔහුගේ සියළු ධනය  සේවකයාට හිමිවේ . 

මුදලාලි ලෙඩවූ වෙලාවේ  ඔහුට බෙහෙත් කරන දොස්තර මහතා තෙලිහා වැවේ  කරු අය්යා ය.  

කරු අය්යා ඒ කාලේ ගමේම සිටි කඩවසම් තරුණයන්ගෙන් ගෙන් මුල් තැන සිටි අයෙකි. 


මේ අතර රැකියාවක් නැති තාත්තට ඉල්ලමක් පෑදුනේ අපේ බාප්පා ගම අතහැර පුංචි අම්මලාගේ ගමට යෑමෙනි. 

බාප්පා අපේ තාත්තා ට ඔවුන්ගේ නිවසත් වත්තත් බලා ගැනීම භාර කළේය.අප දැන් සිටින්නේ තාත්තලාගේ මහා ගෙදරයි. 

එහි වත්තේ නැති දෙයක් නොමැත .. කිතුල්, පොල්, තේ , එනසාල්, කෙසෙල් මෙන්ම .. මම චමින්දලා ගෙදරදී රස විඳි ජෑම් පේර ද එහි විය. 

මෙය අප මුලින් සිටි අපේ ගෙදර මෙන් නොව බැලු බැලු අත මුදල් සෙවීමේ මාර්ග වලින් පිරුණි සරු සාර ගෙවත්තකි. 

බාප්පලා ගෙදර සිට නාට්‍ය පුහුණු වන තැනට ඇත්තේ මීටර සියත් -දෙසියත් අතර දුරකි.


බාප්පලා ගෙදර මුදල් උල්පත්


අම්මා තේ වත්තේ දළු වලින් අලුත් අදායමක් ලබා ගත්තේ එහි නිවසට ඉහලින් තිබු තේ කෑල්ලේ දුළු ටික කඩා පියර පන් දෝවේ දළු එකතු කරන තැනට දීමෙනි. 

මේ අතර තාත්තත් මමත් අත ගැහුවේ වත්ත එලි පෙහෙළි කරන ව්‍යාපෘතියටයි.

තාත්තා මේ මුවාවෙන් ලොකු ගස් වල අතු කප්පවා දර යාර ගසා විකුණුවා මට මතකය.

කුඩා මමද ව්‍යවසයක්ත්වයේ මුල් පියවර තැබුවෙමි. ඒ ජෑම් පේර ගසෙනි.




නංගිලට ගහ ලඟට වත් එන්නට ඉඩ නොදුන් මා පේර හුන්ඩුවක් සත විසි පහ ගානේ ගමේ ජෑම් හැදු පොරෝලිස් මහත්තයට විකුණු වෙමි. 

පොරෝලිස් ඒ මුදලට අමතරව මාසේ අන්තිමට නොමිලයේ ජෑම් හෝ කෝඩියල් බෝතලයක් ලබා දුන්නේ ව්‍යාපාරයෙන් ඔහුටද හොඳ ලාභ තිබු නිසා විය යුතුය. 

පොරෝලිස්ගේ බිරිඳ එකල කිරඹ ඔය විද්‍යාලයේ ගුරුවරියකි.




ඊට අමතරව බාප්පල වත්තේ තිබු ගිරා අඹ ගසද , අලි ගැට පේර ගස්ද අපට ලොකු ආදයමක් ලබා දුන් බව මෙහිදී සිහිපත් කරමි. 

ඇයි කිතුල් ගහ.... ලොකු කිතුලේ පලවෙනි මල පීදුනේ අප එම නිවසේ පදිංචි කාලයේදීය. 

අම්මා පැණි උණු කර හකුරු හදා විකිණීමෙන්ද අදායමක් ඉපයුවාය.

මේවා මෙසේ වෙද්දී මම වත්තේ පහල කොටසට සිත යොමු කලෙමි.  

අම්මලාද ඒවාට හවුල් වූ අතර මම ඒ කොටස මගේ ප්‍රධානම රාජකාරිය කර ගත්තේ පාසල් ඇරී නිවසට ආ වෙලාවේ සිට   ගොම්මන් කළුවර වැටෙන තෙක් එහි වැඩ කිරීමෙනි. 

අප  ඒ කොටසේ හැදු එළවළුවලට බප්පලාටත් ලොකු තාත්තටත් පොදු වූ ළිදෙන් වතුර ඇද දැම්මේ ද මා විසින් මය.

දවසේ වැඩ නිම වී ඒ ලිදෙන්ම නා ගන්නා මා පසු කර හවස හත අට අතර වගේ වෙලාවක ගමන් ගන්නා ලොකු තාත්තා දිනක් මා හට පැවසුයේ 

"තමුසේ මාර ළමයෙක් නේ අයිසේ මට නෑනේ ඔය වගේ එකෙක්" යනුවෙනි.

මෙවැනි විශාල වාසි තිබුනද කුඩා අපට මේ නිවසේ  තිබු එකම ප්‍රශ්නය වුයේ සුවඳේ අය්ය විසින් ඇඳ තිබු මුත්තගේත් අතම්මගේත් සුවිශාල පින්තුර දෙකයි.. 

ඒවා විශාල ඈස් වලින් අප දෙස බලා සිටිනවා යැයි මට සිතුනු වාර අනන්තය. 

බාප්පලා ගෙදර තිබූ  අත්තම්මගේත්  මුත්තගේත් සුවිශාල පින්තුර දෙකට බයවූ අය්ය මේ වන විට අප සමග එහි නොරැඳී  මොනරගම මාමලා ගෙදරට ගොස් සිටියේය. 

මා වුවද රාත්‍රියට සාලයෙන් ගමන් කලේ ඒ පින්තුර දෙක දෙසවත්  නොබලා බිම බල ගෙනය. 

හැබයි අක්කා මම ඔය කිසි කෙනෙකුට  බය නෑ කියමින් ඉස්සරහම තිබු මුත්තාගේ කාමරය ඇයට වෙන් කර ගෙන සිටියාය.



ව්‍යාපාරික ලෝකයේ තව පියවරක්






දැන් සැඟවුනු  දෛවය තිර ගත වෙන දිනයත් ළඟා වෙමින් පවතී. 

හේරත් අය්යලා බරටම පුහුණු වීම් වලය. 

මේ අතර තාත්තා මට වැදගත් යෝජනාවක් කළේය.


" චුටි පුතා පොඩි බිස්නස් එකක් කල හැකි ඔය නාට්‍ය දවසට .. හේරත්  අය්යාගෙන් අහල බලන්න කවුරු හරි ඉන්නවද ටොෆි සිගරට් විකුනන්න නැත්නම් ඔයාට එක කරන්න පුළුවන් "


මම හේරත් අය්යාට මෙය කියූ පමණින් අවශ්‍ය අවසරය ලබා දීමට ඔහු සංවිධායක  මඩුල්ලට දැනුම් දී තිබුණි. 

තාත්තා මොණර ගම මාමාගෙන් මට රුපියල් දෙසිය පනහක් අරන් දුන්නේ වැඩේට අවශ්‍ය මුලික ප්‍රාග් ධනය වශයෙනි.

මම බර්නි ටොෆි, 555 සිගරට් (මේ බ්‍රිස්ටල් .. ත්‍රී රෝසස් හිඟ කාලයයි) සහ වේඵස් යන වර්ග තුන සැඟවුණු ද්‍ය්වය අතර තුර විකුණන්නට තීරණය කලෙමි.

ඔයින් මෙයින් නාට්‍ය දිනයද උදා විය ..එය සෙනසුරාදාවකි.  මම ටකරන් පෙට්ටියක මගේ විකුණුම් භාණ්ඩ පුර වා ගෙන , එකතු වන සල්ලි දැමීමට PVC මල්ලක්ද සහිතව  වේදිකාව අසලට වී සිටියෙමි. 

හේරත  අය්යා  දිනයේ ප්‍රධාන සංවිධායක තනතුරට අමතරව මගේ මග පෙන්වන්නාද විය.

"ශ්‍රී ලංකා මාතා" පොල් තෙල් පහන, පිලි ගැනීමේ කතා ආදියෙන් අනතුරුව දර්ශන ආරම්භ විය. 

කිරඹ ඔය විද්‍යාල ශාලාව අතුරු සිදුරු නැතිව පිරි ගොසිනි.  

නාට්‍ය ජයටම යයි .. හිත හොඳ මුදලාලිට රඟ පෑවේ කුමාර අය්යා ය.  ඔහුට  පපුවේ අමාරුවක්  හැදෙන්නේ  ඒ හේතුවෙන් ම  ලය පැලි  මිය යයි. 

මිය යන්නට පෙර   සියළු සේසත  ඔහුගේ  කීකරු ගෝලයාගේ  නමට ලියන්නේ  ගෝලයාගේ "සැඟවුනු  දෛවය" එය බව අපට පෙන්වමිනි. 

නාට්‍ය  අතරමැද ක්‍රීං ගමින් සීනුවක් නාද විය. 

දැන් පළමු විවේකයයි. මිනිස්සු තරඟයට මගෙන් බඩු ගනියි.  

"ටොෆි මල්ලී  සිගරට් එකක් " අයෙක් කෑ ගසයි.  

කිරවනා  බිස්සේ කෙල්ලෝ  පොදියක් ඇවිත් මගෙන් වේඵස් අරන් ගියේ හීනියට නක්කලයක්ද දමමිනි.   

"ටොෆි මල්ලී වේදිකාව අසලට එන්න" 

හේරත් අය්ය යකඩ කටින් කෑ  ගසයි. 

ඒ අතර ගෙදරින් ගෙනා තොගද ඉවර වී ගොසිනි. 

මම PVC මල්ල (සල්ලිත් එක්ක)  හෙළ තැන්නේ බණ්ඩාරේ අතට දුන්නේ ගෙදර ගොස් ඉතිරි බඩු අරන් එන අටියෙනි.

දෙවන දර්ශනය 6.30 ට. මම නැවතත් බඩු තොග අර ගෙන වැඩට බැස්සෙමි. වැඩි පුර විකිනුනේ 555 වුනත් මගේ බිස්නස් එක නැගලා යයි.

ඉරිදා උදෙන් මොනරගම මාමා ගෙන නැවතත්  නයක් තාත්තා අරන් දුන්නේ පළමු වැනි දිනයේ ලාභ ගනන් කරන්නට වෙලාවක් නොතිබූ නිසා විය යුතුය.  

හෙළ තැන්නේ බණ්ඩාරේ (අපේ නැන්දගේ පුතා) මගේ විශ්වාසය කඩා කල බව තේරුම් ගන්න තරම් මට ශක්තියක්  නොතිබූ එකද මිට හෙතු වන්නට ඇත.

සත 16ක තොග මිලට ගෙනා බර්නි ටොෆියක් මම විකුණුවේ සත 30 කටයි. සත 75 ට ගෙනා 555 එකක් රුපියල් 1.50 ගානේ විකුණලත් මට ලැබුණු ලාභය  එතරම් නොවුයේ  ඇයි දැයි තේරුම් ගන්නට මගේ ව්‍යපාරික නුවන දියුණු වී නොතිබිණි.

අවසානයේ මොනරගම මාමගේ නය පියවා ඉතිරි වූ ලාභය මට ප්‍රමාණවත් වුයේ ඉස්කෝලෙට අදින්න නිල් පාට කොට කලිසම් 2 ක් මහ ගන්නට පමණි.




අපේ ගෙදරට නයෙක් ඇවිත්...



පසුගිය සතියේ දිනක මගේ හිතවත් අයෙකුගෙන් ලැබුන කෙටි පණිවිඩයක සඳහන් වුයේ "  මට ගොඩාක් සමීපව හිටපු මගේ ආච්චි අම්මා නැතිවුණා. 

මම හරි කණගාටුවෙන් ඉන්නේ මේ දවස් වල.. තව ටික දවසක් යනකන් අන්තර් ජාලයේ කතා බලන්න වෙන්නේ නෑ....ඒත් ලියල තියන්න " යනුවෙනි. ඇයට ඇයගේ ආත්තම්මා බොහෝ ආදරය කල සෙයකි.

...ඒකට අපේ ආත්තම්මා....මට අපගේ ආත්තම්මලා සිහි වෙයි.  අම්මලා පැත්තේ  ආත්තම්මා නම් අප කුඩා කල ජිවතුන් අතර සිටියාය. නමුත්  අපේ තාත්තගේ අම්මා මා උපදින විටත් මෙලොව හැර ගොසිනි.

ඇය දැකුම් කළු පැහැයකින් යුතු වූ අතර අපේ අම්මලා පැත්තේ  මුත්තා අපට නිතර මතක් කරන "මොර ගෙඩි" වැනි ඇස් අපට ලැබුනේ ඇයගෙන් විය යුතුය.  

මා එසේ සිතුවේ පොඩි බාප්පලා ගෙදර තිබු..සුවඳේ  අය්යා විසින් අදින ලද ඇයගේ චායා රුපයක් දුටුවාට පසුවයි.



කනිෂ්ටයෙන් ජෙස්ටයට


මේ එක්දාස් නමසිය අසු ගනන් වල මුල් භාගයයි. 

මම කනිෂ්ටයෙන්  මධ්‍ය මහා විදයලයට පැමිනෙන්නේ මේ දිනවලයි..  

ශිස්‍යත්වයෙන් සමත්  ගැට්ටා, ජාලිය, වන්නි වැනි අය උඩහ පාසැලට ගොස් ජෙෂ්ටයින් බවට පත්වී සිටි.

මහා විද්‍යාලයේ  ඇතුල් වීමේ විභාගය නොලියා  ශිස්‍යත්වයෙන්ම එහි යාමට සිටි මට පත්වීමේ ලිපිය ලැබෙන්නේ සති කීපයකට පසුවයි. 

වම්බොට්ටලා  උහනේ  පුතාලා වගේ උන්ට නවක  සංග්‍රහ ලැබෙද්දී.. මම පන්ති ලඟින් යනවිට ජාලිය , ගැට්ටා ආදීහු මචන් අපේ පන්තියට වරෙන් කියමින් මට අඩ ගසති.

මේ වනවිට අපේ  තාත්තා ලිපිකරුවෙක්  හෙවත් ලියන්නෙකි.

අලුත් ඉස්කෝලේ උප විදුහල් පතිතුමා අපේ තාත්තා මෙන්ම පළාතේ රිදී සීනුවකි.  

එමෙන්ම ඔහුගේ  දේශපාලන බලය තිබු කාලයේ හොඳ ගජයෙකි.


මම අම්මා සමග නිල්පාට බෑග් එකත් පිටේ එල්ලගෙන අලුත් ඉස්කෝලෙට ඇවිත් උප විදුහල් පති ළඟය. 

අම්මා තාත්තා විසින් ඔහුට ලියු ලිපියක් ඔහු අත තබයි.

 " හිතවත් උප විදුහල් පතිතුමනි.. 

මම මල්දෙනියේ නාමරත්න .. දන්නවා ඇති නේ.  මෙය රැගෙන එන මගේ පුත්‍රයාට පුටුවක් ලබා දෙන ලෙස කරුනාවෙන් ඉල්ලා සිටිමි"

උප විදුහල් පති "හිල් පනාවක්" දමා අම්මා දෙසට හැරී.. 

"මේ කවුද? මෙයා මම දන්නේ නැ.. 

ලියුම් වලින් කමක් නෑ  පුටුවක් ගෙදරින් ගෙනාවේ නැත්නම් ළමයට හිටගෙන ඉන්න වෙයි "



කියමින්  ලිපිය පසෙකට දැමීය.


මේ උප විදුහල් පති තුමා ඒ කාලේ සුදු සරම් ඇඳ යමහා මෝටර් ස්යිකලයක් පැද්ද කෙනෙකි.

ඔහුගේ පුතාද අපට සම වයසේ වූ අතර පාසැල් ගියේ  ප්‍රදේශයේ තිබු  ගෙවන පාසැලක්  වූ  ශාන්ත  පීතර විද්‍යාලයටයි. 

එහෙත් අම්මාට  ඉහත වාක්‍ය  කියමින් උපහාසයෙන්   මා දෙස බැලු එතුමා නොදැන සිටි කාරණය වුයේ පන්ති හතරේම බාගෙට බාගයක් හිටියේ මගේ සගයින් බවයි.

මුල්ම දිනයේ  ජාලිය ගේ පුටුවෙන් බාගයක්.. දෙවැනි දිනයේ ගැට්ටා ආදී වශයෙන් කොල්ලෝ මගේ පුටු බාගයේ ප්‍රශ්නය විසඳා දුන්හ.

නව මිතුරන් පිරිසක් දා හඳුනා ගන්නා මට මෙතැන් සිට  මට චමින්ද නිතර මුණ ගැසෙන්නේ නැත්තේ අපි පාසැල් දෙකක ඉගෙන ගන්නා සිසුන් බැවිනි.


නිවසට ආ අමුත්තා


අපේ නිවසේ කාලයද සෙමින් ගලා යයි..මේ අතර එක් දිනක් අම්මා සහ අක්කා නිවසේ ගේ දොරකඩට වී කතා කරමින් සිටින මොහොතකි . මමත් මිදුලේ කුමක් හෝ කරමින් සිටියෙමි.

 "අම්මා.. මෙන්න ගැරඬියෙක්" කියමින් අක්කා මිදුලේ කෙලවර වූ කොස් ගහ දෙසට ඇත දිගු කරයි... අම්මා ඒ දෙස විමසිල්ලෙන් බලා ඒගැරඬියෙක් නොව පෙනේ නොකරන නයෙක් හෙවත් හැපින්නක් බව හඳුනා ගනියි.

කලබගැනිය ඇසුණු පල්ලෑහැ ගෙදර ජේන් අක්කාද දැන් එතනය.

 " මෙතන කිරි සප්පයෝ ඉන්න තැනක් නේ.. නයි හාමි කරුණා කරලා මෙතනින් යන්න." ජේන් අක්කා පින් සේන්ඩු වෙයි.




හැපින්න නොවේ අඟලක් වත් හෙලවුනේ....එදින රැබෝවී අප නිදා ගන්නා තුරුම ඇය එතන රැදුන බව මගේ මතකය කියයි.

 පසුදා දහවල් කෑමෙන් පසුවද අපට අමුත්තා දර්ශනය විය ඒ නිවසේ දොරකඩ ළඟය.

මෙසේ කාලය ගත වෙද්දී  ඇය අපේ නිවසේ පල පදියම් වුයේ වරෙක වහලේ යට ලියෙන්ද තවත් වරෙක කුස්සියේ වහලයෙන්ද ආදී වශයෙනි.

 අම්මා අමුත්තා එලවීමේ සරල ක්‍රම වූ  භුමි තෙල් හැලීම, වැලි මතුරා දැමීම හා බිත්තර තැබීම වැනි  ඒවා ඵල රහිත වූ තැන හැරුනේ මෑතක ශ්‍රී ලංකාවේ ඉහලම තැන් වල පවා සැලකුම් ලත් සාස්තර කලාව වෙතයි.

අපේ ගමේ සාස්තර කලාව

අම්මා උදැසනම  ජේන් අක්කා සමඟ බුලත් හුරුල්ලක්ද රැගෙන පිටත් වුයේ අමුත්තා කවුද... ඇය අපේ නිවසට එව්වේ කව්ද?  වැනි දැවෙන ප්‍රශ්න වලට ටක්කෙටම විසදුම් සොයා ගන්නා අටියෙනි...

මේ අතර අමුත්තා තවමත් කුඩා ළමයින් පිරිසක් ගැවසෙන මේ නිවස අවට හැමදාමත් අපට පෙනෙන තෙක් මානයේ ගැවසෙයි.

දවල් වෙද්දී අම්මා හති දමමින් කන්ද නැග පැමිණ නයා එන පැත්ත දෙසට ගියේ.....

" කෝ ඕකි.. කවුරු හොයා ගෙනද  දැන් මෙතන ඇවිත් මගේ දරුවෝ ටික බය කරනවා .. මනුස්සයත් නැති ගෙදර " කියමින් කෑ ගසමිනි.

මෙතෙක් අපට නොපෙනෙන තැනක සිටි නයා එක වරම කොස් ගස දෙසින් මතු වන්නට විය.

අම්මා සාස්තර කාරයාගේ කතාව තරයේම විශ්වාස කරයි..ඒ අනුව මේ ඉන්නේ අපේ පල්ලහැ අත්තම්මාය.

රාජපක්ෂ වරුන් සාස්තර පිට සාස්තර අහන මේ සමයේ  අපේ අම්මා ද රාජපක්ෂ කෙනෙක් බව අප අමතක නොකලයුතු වෙමු.

තවත් දිනයක අපේ ගෙදර ලොක්කා වූ අපේ අය්යා නයාට අභියෝගය කල හැටි මට තාමත් මතකය.

අම්මා , අක්කා ඇතුළු අපි හැමෝම ගෙදර සිටි වෙලාවක 

" උඹ එච්චර ලොකු නයෙක් නම් දැන් කක්කුස්ස්සි වල ලඟින් මතු වෙයන් "යැයි අය්යා කිවේ නයාගේ සාමාන්‍ය ගමන් මග වුයේ කොස් ගහ ලඟින් මිදුලේ ඉහලට ඇවිත් ඉස්සරහ දොර ලඟට එන එක වීම නිසාය.

 නයාද අප වැනිම අයෙකි. අභියෝගය බාර ගැනුනේ කිසි සද්දයක් නැතිවයි.  

හිනා වෙමින් සිටි  අය්යාගේ සහ අපේ ඇස් උඩ ඉන්ඳ වුනේ වැසිකිලියේ ප්ලේට් එක ළඟ ගුලකින් මතුවන නාග රාජයා දැකීමෙනි.

නයත් අපිත් නිතර දකින ජේන් අක්කද සාස්තරය  විස්වාස කරමින් පැවසුයේ

 " නංගි මෙයා මේ ළමයින්ට හරි ආදරෙයි එකයි මෙහෙම ළඟටම ඇවිත් බලන් ඉන්නේ" යනුවෙනි..

ජේන් අක්කගේ කතාවට හොඳම සාක්ෂිය සැපයු දවස අද වාගේ මතකය. ඒ වන විට වයස අවුරුදු 2-3 අතර සිටි අපේ  පොඩි නංගි මිදුලේ සෙල්ලම් කිරීමට පැදුරක් මත තබා අම්මා ඇය බලා ගැනීම අක්කට බාර කර තිබුණි. 

කෙසේ හෝ අක්කා මම ඇතුළු අප මොහොතකට නංගි තනි කර දමා එතනින් එහා මෙහා වී තිබුණි. අප එක වරම ඒ දෙසට දිව ගියේ අක්කාගේ කැ ගැසීමත් සමගිනි

 " අම්ම මෙන්න නයා පොඩි නංගි ළඟ."  අම්මා කෑ ගසමින් එතැනට  පැමිණ නැවතත් නයාට බනින්නට වුවාය. "අපිට කරදර නොකර පලයන්.. උඹලගේ කවුරුවත් දැන් මෙහෙ නෑ... මායි මගේ දරුවෝ ටිකයි විතරයි ඉන්නේ... අනිත් අය කොළඹ"

ඔබ මෙය විශ්වාස නොකරන බව මම දනිමි එහෙත් මුළු රටක් පහු ගිය වකවානුවේ විස්වාස කල සාස්තර කලාව අවිශ්වාස කරන්නේ කෙලෙසද?
නයා හින් සීරුවේ එතනින් ඉවත් වුයේ නංගි ගේ නිය පොත්තකටවත් හානියක් නොකරමිනි.


අපේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ලැබෙයිද?

මේ වන විට තාත්තා ගම පැත්ත පළාතක හිටියේ නැත. දරුවන්ට කොයි මොහොතේ හෝ අනතුරක්  සිදු විය හැකි යැයි ඉවෙන් මෙන් වටහා ගත් අම්මා හොඳින් හෝ නරකින් හෝ නයා එළවීම ඉක්මන් කල යුතු යැයි තීරණය කලාය.

විසඳුම සොයා යන ගමනට මමද එක් වුයෙමි. අප ගියේ ගලෙන් බිඳුණු වැව පහත් බිමක තිබුණ තැනකටයි. කට්ටඩියා ජාතික ඇඳුම හැඳි තලත්තැනී මහත්මයෙකි. ඇත්ත වශයෙන්ම පාසල් ගුරුවරයෙකි.

ඔහුගේ පුත්‍රයා එකල කැලණිය ව්‍යිද්‍ය පිඨයේ සිස්යයෙක් බව එතැනදී අම්ම සමග  ඇතිවූ සුහද කතා බහේදී ඔහු සඳහන් කළේය. "මලින් උපන් කුමරා" යැයි නමකින් යුතු මේ පුත්‍රයා නමට හෝ අප ප්‍රදේශයේ  ජනතා සේවයට යොමු වන්නට ඇත්තේ ඒ තාත්තගේ අභාෂය නිසා විය යුතුය.

අම්මා අපට තිබුණු ප්‍රධාන ප්‍රශ්ණ දෙකම ගුරුතුමා  ඉදිරියේ තැබුවාය. ඔහුගේ විසඳුම් සෙවීමේ මාර්ගය පිළිබඳව සාකච්චාව මට අද වගේ මතකය.

" නයා එලවන්න පුළුවන් හැබැයි එකෙන් ඔයාලට අවාසියි. මහත්තයා ගෙදරට ගෙනල්ල දෙන්නත්  පුළුවන් ... හැබැයි එතනත්  පොඩි කොස්සක් තියෙනවා... එයාගේ රස්සාව නැති වෙන්න ඉඩ තියෙනවා" .

අම්මා මේ දෙකටම එකඟ වුයේ  කොල්ලන්ගේ තාත්තගේ රස්සාව නැති වුනත් අපේ ගැටළු විසඳා ගැනීම ඊට වඩා වැදගත් බව පසක් වූ නිසාවෙන් විය යුතුය.


මහා දෙහි කැපීමේ මංගල්ලය




කට්ටඩි ගුරුතුමා කියූ පරිදිම වැඩ කරන්නට අම්මා තීරණය කලාය. දෙහි ගෙඩි 7 බැගින් නිවසේ සියලු දෙනාගේ හිස සිට දෙපතුල දක්වා ස්ථාන හතක තබා කපන්නටත්. තාත්තට මේ කිසිවක් නොදැනෙන ලෙස කරන්නටත් ඔහු උපදෙස් දුන්නේය.

තාත්තට හොරෙන් ඔහුගේ කොට්ටය යට යමක් තබන්නත් උපදෙස් ලැබුණි. රුපෙට රුපයක් ඉල්ලුවාදැයි මට මතක නැත.
දෙහි කැපීම සිදු වුයේ අපේ නෑදෑයින්ටත් නොදැනෙන පරිද්දෙනි.

අම්මාගේ අත් උදව්වට එනම් දෙහි සැපයීමේ සිට ඒ දිනයේ සිදු විය යුතු සියලු ආව තේව කිරීම සඳහා කාටත් හොරෙන් අපේ ගෙදරට ආවේ  අපේ පවුල් දෙකෙන්ම මාගේ බලවත් අගය කිරීමට කවදත් පාත්‍ර වූ  ඊට ටික කලකට පසු අවාසනාවන්ත ලෙස අපෙන් වෙන් වූ  ඇතිමලේ බාප්පාය.

සීරුවෙන් සිට ගෙන සිටි මා ඉදිරියේ දෙහි ගෙඩි හතක් ගිරයෙන් පුවක් කපන්නා සේ  කැපු ඇතිමලේ බාප්පා මගේ වස් දොස්දුරු කිරීමට අමතරව ඔහුගේ ආත්මීය ගුණාංග ද මට ලබා දුන්නා  යැයි මම අදටත් විශ්වාස කරමි.

අපේ බලවත්ම ගැටලුවට විසඳුම්

දෙහි කැපීමෙන් පසු ගත වුයේ දින කීපයකි. තාත්තා වැ. ත. ලිපිකරු වී (වැඩ නැතිවී ) ගෙදර ආවේය. 
කාලෙකින් පසු ගෙදර සියලුම දෙන සිටි  එදා මගේ කකුලේ තිබුණ ඉදිමිමකට  "මැග් සල්" බදින්නට අම්මාත් තාත්තාත් එක්වී වැඩ කරනු මට තාමත් මතකය.  

ඒ  දුටු මට සුළු තරහකින් පසු යාලු වී සිටින මගේ බිරිඳත් මාත් දැකීමෙන් සුපුන්ට පහල වන සතුට වැනිම සතුටක් දැනුනා යැයි කිවොත් නිවැරදිය.

අපි නිදහස් බව දත් නිසාදෝ නාග රාජ තොමෝ නැවතත් අප බලන්නට අවේ නැත. මුදලින් අඩු පාඩු වුවත් අපේ ආසන්නම ප්‍රශ්න විසඳි ඇත. 

සමහර රාජපක්ෂලා තවමත් සාස්තර විශ්වාස කරන්නේ ඇයි දැයි ඔබට දැන් වැටහෙනු ඇත.