Sunday, 20 September 2015

මුදු තුනක් සහ මාලයක් දෙවන කොටස - අංජු මාමගේ විවාහය



අපේ අංජු මාමා   මට වඩා  වැඩි මහලු  වුයේ අවුරුදු අටකින් පමණි.

ඒ නිසා අපි දෙදෙනා එකට අලකොටු තක්කාලි කොටු කළා සේම  තරුණයින් කරන බොහෝ දේවල් වලට එකටම සහභාගී වූයෙමු.

අංජු අත මට වඩා මුදල් යහමින් ගැවසුන  කාලයකි ඒ.   ඔහු විවිධ මෝස්තරයේ ඇදුම් පැළදුම් මිලදී ගත්තේ  මුදල් ඔහුට ලොකු ප්‍රශ්නයක් නොවූ බැවිනි.

පොඩි එළවලු ගොවියෙකු වූ මට එතරම් පොහොසත් කමක් තිබුනේ නැත. මම බොහෝ විට ඔහුගේ අලුත්ම කමීස , කලිසම්  මගේ වගේ ඇන්දේ මේ වකවානුවේදීය.


ඔහුද අළුතින් මිලදී ගත් කමීස කලිසම් මට අදින්නට දුන්නේ  කිසිම ලෝභ කමක් නැතිවයි.

ඒ කාලයේ   උදේ කුඹුරේ වැඩ කරන අප දෙදෙනා සමහරක්දාට හවස 2.30 ට හපුගසත්ලාවට යන්නෙමු.

 එහි යන අපේ ප්‍රධාන අරමුණ වැඩිහිටියන්ට පමණයි වර්ගයේ චිත්‍රපටයක් නැරඹීමයි.

ඒ කාලේ හපුගස්තලාවේ රීගල් සිනමා හලේ බොහෝ විට පෙන්වුයේ ඒ  වර්ගයේ ඉංග්‍රීසි චිත්‍රපටයි.

මෙයට ආසන්නම  හේතුවක් වුයේ හපුගස්තලාවේ තිබුණ යුද, ගුවන් , නාවික යන බල ඇණි සියල්ලෙන් සමන්විත වූ හමුදා පුහුණු පාසැලයි.

මට මතක හැටියට රීගල් එකේ අපි දෙදෙනා මුලින්ම බැලුවේ "The Ten" නමැති ඉංග්‍රීසි සිනමා පටයයි.

ඒ කාලේ අංජු මාමා අරලගංවිල තිබු රජයේ  ඇඟලුම් කර්මාන්ත ශාලාවේද අර්ධ කාලින සේවකයෙක් ලෙස වැඩ කළේය.

එහි ඔහුට හිතවත් මිතුරියක්ද සිටි බව මාගේ මතකය කියයි. ඒ ගනු දෙනු පිළිබද බොහෝ රහස් ඔහු මා හට පැවසීය.
එමෙන්ම මේ වන විට මගේ තිබු හිතවත් කම් ගැනද අප දෙදෙනා නිදහසේ අදහස් හුවමාරු කර ගත්තෙමු.


අංජු මාමාට ගේ විවාහ යෝජනාවක් 



මේ කරුණු වලින් සමහරක් පමණක් දැන සිටි අපේ අම්මා ඇතුළු කිරඹඔයේ කට්ටිය අංජුට මංගල යෝජනාවක් ගෙනාවේ මේ අතරයි.

අර්තාපල් අස්වැන්න ලැබීමෙන් පසු ඔහුගේ විවාහ මංගල්‍යය ගැනීමට තීන්දු විය.  මේ වන විට අපේ තුන් හවුල් තක්කාලි කොටුවද මගේ සහ රාජුගේ වැයමෙන් හොඳ අස්වැන්නක් ලබා දෙමින් තිබුණි.

අංජු විවාහ වුයේ පරණගම ප්‍රදේශයේ හොඳ අර්තාපල් ගොවි පවුලක දියණියක් සමගයි.

අවශ්‍ය ආභරණ ආදිය මිලදී ගත්තේ  එකල ඔහු අත යහමින් ගැවසුන අල විකුණා ගත් මුදල් වලිනි.

අපේ අම්මා මේ විවාහයට අතම්මාට වඩා උනන්දු වුවා යැයි කිවොත් නිවැරදිය. ඇය ආභරණ තේරීමේ සිට මගුල් ගෙදර ආරාධනා කටයුතු ආදී සෑම දෙයකටම සහභාගී වුවාය.

පරණගම කට්ටිය අපේ පොඩි මාමාට පවුම් එක හමාරක පමණ මුද්දක් දී ඇති බව මට කිව්වේද අම්මා විසින්මය.


අවුලක් වූ තුන් හවුලේ හවුල් බෙදීම


අළුත ගෙනා මනමාලී මේ වන විට සිටියේ කිරඹ ඔයේ මහා ගෙදරයි.  නව යුවල විවාහයෙන් පසු මුල් දින කීපය ගත කල මේ සමයේ මගේත් රජුමාමා ගේත් ගනු දෙනු බොහෝ ලෙස අඩු වී ගියේය. 

මේ අතර උදාවුයේ තක්කාලි අස්වැන්නේ අදායම් බෙදීමේ දිනයයි.  ඒ කාලයේ අපි තක්කාලියැව්වේ කොළඹ මැනින් මාර්කට් එකටයි.   

අම්මා ගනන් හදා ගෙන තිබු පරිදි කොටුවේ සම්පුර්ණ අදායම රුපියල් විසි දහසක් පමණ විය.  

තුන් හවුලේ පොරොන්දු ප්‍රකාරව නම් අම්මාට දහදාකට ආසන්න මුදලකුත් රාජුටත් මටත් පන්දහස බැගිනුත් ලැබිය යුතු විය.

කිසියම් හේතුවක් නිසා අදායමෙන් භාගයක් තමන්ට හිමි විය යුතු බව රාජු මාමා කියා සිටියේය.ඒ අනුව අම්මා ට ලැබිය යුතු දහදාහක මුදලද අයින් කල පසු මට කිසිවක් නොලැබෙන ලකුණු පහල විය.

ඇත්ත වශයෙන්ම කිව්වොත් මේ කොටුවේ වැඩිම ශ්‍රම දායකත්වය ලබා දුන්නේ මා විසිනි.

"මට මගේ හතරෙන් එක ඕනෑ"  " මම මේ කොටුවට සැහෙන්න මහන්සි වුනා "....මම අම්මාට ගෝරනාඩු කලෙමි.
 දැන් හවුල අවුලක් වෙමින් පවතී.  වගා වැඩට කෙලින්ම සම්බන්ධ නොවූ අපේ තාත්තාද මේ අවුල දෙස උනන්දුවෙන් බලා සිටියි.

මේ අතර විසඳුමක සේයාවක් මතුවිය..




තමාට සියයට පනහක් අවශ්‍ය බව රාජු මාමා තරයේ කියා සිටියේය.

මම අම්මාගේ පුතා නිසා අම්මාටත් මටත් ඉතිරි භාගය බෙදා ගන්නා ලෙස නව යෝජනාවක්ද ගෙනාවේ ඔහු  විසිනි.
මෙම යෝජනාව  අපේ අම්මා  අවසානයේ පිළිගත් බව මාගේ හැඟීමයි. 

එහෙත් තාත්තා ගේ අදහස වුයේ වෙනකකි. 

" චුටි පුතා අපේ ගෙදර එක්කෙනා .. එයාට හවුලක් අවශ්‍ය නැහැ."  තාත්තා තම මතය ඉදිරිපත් කලේ එලෙසයි.
මේ අතර කිසිම රන් ආභරණයක්  පළඳින්නට අවසථාවක් නොලද මා සිහිනයක් දකිමින් සිටියි.

ඒ කිරඹ ඔයේ අමල් රාජපක්ෂ හෙවත්  තවලම්පොළ වත්තේ " දොකන්ගේ  " මෙන් මගේ ගෙල වටත් රන් මාලයක්  වැටෙන සිහිනයයි.  

අමල් හෙවත් දොකන් ඒ කාලේ අපේ අල කොටුවට අල්ලපු කොටුවේ අල වගා කල තරමක් ලාමක  ගොවි තරුණයෙකි.
උදාහරණයක් ලෙස අපි ගුණදාස කපුගේ ඇතුළු සම්භාව්‍ය ගායකයන්ගේ ගීත ඇසු ගැයූ ඒ කාලයේ දොකන් ඇසුවේ " බඹර පහස " වැනි ගීතයි.
ඒ කිරඹ ඔය දෙවනත් කරමින් සිය කැසට් යන්ත්‍රයේ ශබ්දයද වැඩි කරමිනි.





මගේ බලවත් ඉල්ලීම නිසා අම්මා අවසානයේ තුන් හවුල අංජුටත් මටත් දෙදෙනාටම සතුටු විය හැකි ලෙස බෙදුවාය.
සති අන්තයේ අරලගංවිල ඝාන්ධිමති ජුවෙලර්ස්  එකට ගිය අම්මා රුපියල් පන්දාහක් ( මගේ තුන් හවුල් කොටස) ඔවුන්ට දුන්නාය. 

ඒ හරියටම පවුම් එකකින් යුත් මගේ පළමු සහ අවසාන රන් මාලය සාදා දීමටයි. 

පවුම් එක්ක මාලයක් යනු එහි තිබෙන ගාන්චුවක්  මගින් බෙල්ල මුලටම වැටෙන ලෙස සවි කල යුතු දිගින් ඉතා  අඩු මාලයකි.


මාලය රැගෙන ගෙදර  ආ දවසේ මගේ ඉහේ මලක් පිපුනා වැනි විය.  


කන්නාඩිය ලඟට ගිය වාර ගණන අපේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ  භාෂාවෙන් කිවොත් 
 " අන්නන්තයි .. අප්‍රමාණයි පිංවතුනි" මෙන් විය.

මේ අහු අස්සේ අපේ තාත්තා කිසියම් තීරණයක් ගෙන තිබුනේය.


ඒ  මාලය ගෙනා දින සිට දින හතක් යන තෙක් මට කථා නොකර සිටීමේ තීරණයයි.

ඒ තාත්තා තම හිතේ අමාරුව පිට කල ආකාරයයි.

ඔයින් මෙයින් මගේ හිතෙත් අංජුමාමා මගේ හවුලට අයිති වාසි කම් කීම ගැන පොඩි හිතේ අමාරුවක් හට ගත්තේය.

කොතරම් හිතේ අමාරු ඇති වුවත් කෙනෙකුට වැරද්දක් ප්‍රාර්ථනා කිරීම කවිඳු ගේ සිරිත නොවේ.

එය එදත් පැවති, අදටත් , හෙටටත්  වලංගු ධර්මතාවයකි.

ඒ කෙසේ වුවත් ස්වභාවධර්මයා  යමක් කළහොත් අනේ අපොයි කියනවා හැරන්නෙට මට කල හැකි වෙන යමක් නැත.

මා අදටත් විශ්වාස කරන පරිදි  ස්වභාවධර්මයා විසින් අංජුමාමාට එරෙහිව ඒ තීරණය ගත්තේ ඔහුගේ විවාහයෙන් පසු ගතවූ මුල් සතියේදිමය.

හරියටම කිව්වොත් අපේ හවුල් අවුල සිදුවී දින දෙකක් ගතවූ තැන්හිදීය.

" අංජුගේ මගුල් මුද්ද නැති වෙලා... " ආරංචිය ගම පුරා වේගයෙන් පැතිර ගියේ  ඒ අයුරිනි.

එය අද වන තෙක් හමු වුනේ නැත.

හොරකම් කලාද, කොහේ හරි තිබ්බද කියා දන්නේද දෙවියන්ම පමණි.

8 comments:

  1. .ගැමි රස වෑහෙනවා මචෝ මේ කතාව කියවගන යද්දි. හුගක් අය කියන්නේ ගැමි සුවඳ කියලනේ කවුරුවත් ගැමි ගඳ ගැන නිර්මාණවලින් කියන්නේ නෑ. ඒ ගඳ සුවද දෙකම එකතුව තමා නියම ගැමි කම. මම මේ සටහන් වලින් ඒ නියම ගැමි කම දකිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. මම මුලින්ම ලියන කොට මේ ගැමි ගඳ සහිත කෑලි අමු අමුවේ වගේ දැම්මා... එකෙන් සංයමයට පොඩි බාධාවක් වුනා වගේ තේරුණා.. මගේ ලියුම් ගුරුහරුකම් දෙන අයත් මේ ගැන ඉඟි පල කළා..
      මේ පොස්ට් එකට පොඩ්ඩක් හරි ඒ ගඳකම් එකතු කරන්න හිතුව.. කියවන්නාගේ හිතේ සංයමය නොබිඳෙන පරිදි... සත්‍යට සමීප වෙන්නයි බැලුවේ..

      Delete
  2. මේ "නියම ගැමි කමෙන් " හොඳම බැටකෑම මෙන්ම ඒකම උපාය ශීලීව යොදාගත් කතාවක් තියෙනවා . මම ඒක යොදාගත්තේ කෑගල්ලේ අපේ නැන්දම්මලා ගෙදරට පාරක් හදන්න ගිය වෙලාවේ 2005 දී. බ්ලොග් පොස්ට් කීපයක් ඒ වටා ලියන්නයි ඉන්නේ...

    ReplyDelete
  3. Another lovely episode...!!! What is the story about this 3 rings... It was talking only about the wedding ring... Did I miss anything...?

    ReplyDelete
  4. another one to come soon.. third ring and the connection to the first necklace

    ReplyDelete
  5. දැන් හැමෝටම ගැමි සුවඳ දැනෙනවා නේද . අපි කොයි රටේ හිටියත් ඒ සුවඳ මනසින් වත් ස්පර්ෂ කරන්න ආසයි. හැබැයි එක විඳින last generation එක අපි. අපේ රටේ ළමයි මහා භයානක විදිහට පරිසරයෙන් ඈත් වෙලා පහ වසර ශිස්යත්වයෙන් පටන් ගත්තාම ඒ ළමයි පොතටම කොටුවෙලා ඒ වගේම ලනකවේ ළමයි පුදුම විදිහට ෆෝන් වලට ගමේ වලට set වෙලා ඒ ගොල්ලන්ට සොබාදහම දැනෙන්නේ නෑ . හැබැයි එකට අපිත් අඩු වැඩි විදිහට දායක වෙලා තියෙනවා. මේ පාරිභෝගික සමාජයේ තමන්ගේ තැන හොයාගන්න දෙමව්පියොත් ළමයින්ව යොමුකරනවා. විකල්පයකුත් නෑ.
    ඒ රසය නිරන්තරයෙන් මතුකිරීම ගැන ඔබට ස්තුතියි.
    මමත් තාමත් හරකුන්ගෙන් ගොයම් පාගපු හැටි, පිනි වැටිච්ච තණකොළ පාගාගෙන කුරුල්ලෝ එලවන්න ගිය හැටි මනසින් විඳිනවා....( අපේ හිතවතෙක් වර්තමාන ළමයින්ට මේ අවකාශය නැති වීම ගැන කනගාටු වූ හැටි..)

    ReplyDelete
  6. මෙව්වා අපිටත් සමීපයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේනක.. අපේ පළාත් වල කතා ඔක්කොම මේ වගේ තමයි නේද ඉතිං.. දන්සිරියගේ කිතුලට සමීප මගේ කිතුල් කතාවක් තියෙනවා "වනසා මුත්තාගේ කිතුල් මල් බෙහෙත් තැබීම" කියලා

      Delete