Friday 4 September 2015

උසස් පෙළදී චමින්ද නැවත හමුවෙයි.

උසස් පෙළ විද්‍යා පන්තිය.

අපි අරලගංවිල මහා විදුහලේ උසස් පෙළ විද්‍යා පංතියට එන්නේ 1987 වසරේ මැද භාගයේදීය. මමත් , කදුරුගමුවේ තාරකත් ඇතුළු මගේ සා. පෙළ සගයින් කිහිප දෙනෙක්ම මා සිටි 12 වසර සී  පංතියට තේරී සිටියහ.

මේ අතර බොට්ටා , වන්නි , ගැට්ටා ඇතුළු පිරිසක්  12 ඊ  කොටසේ පංති සගයින් බවට පත් වුහ. 12 ඊ කොටසට පැමිණි තවත් නවක සිසුවෙක් ගැන මෙහි සඳහන් කල යුතුමය.

 ඒ අවුරුදු දෙකක උසස් පෙළ කාලයේ මාත් කිරඹ ඔයේ චමින්දත් සමග නිතරම ගැවසුන අනිත් පුද්ගලයා ඔහු වන බැවිනි. නමින් සුරාජ් බණ්ඩා නම් වූ ඔහු පැමිණියේ වැලිකන්දට  මදක් ඔබ්බෙන් තිබු බෝගහ මඩිත්ත ප්‍රදේශයෙනි.

චමින්ද නැවතත් හමුවීම

මා අරලගංවිල මහා විද්‍යාලයේ උසස් පෙළ පන්තියට යත්දී ඊට සමගාමිව  චමින්ද යෝධ ඇල මහා විද්‍යාල තෝරා ගෙන තිබුණි.  එකල අප ප්‍රදේශයේ උසස් පෙළ සඳහා කෘෂිකර්ම විෂය ඉගැන්වූයේ යෝධ ඇල මහා විද්‍යාලයේ පමණි.  චමින්ද උසස්පෙළට තෝරා ගෙන තිබුනේ කෘෂිකර්ම ධාරාවයි.

සෙනසුරාදා ඉරිදා උසස් පෙළ අමතර පංති වලට යන මට චමින්ද නැවතත් මුණ ගැහෙන්නේ සමන් අය්යාගේ රසායන විද්‍යා පන්තියේදිය.  සුරාජ් බන්ඩා චමින්දත් සමගම ගැවසෙන අයුරුක්ද දක්නට ලැබිණ.

"හලෝ කිටී.. කොහොමද මචං .. ගොඩ කාලෙකින් අපි හම්බ වුනේ නේද..?"  චමින්ද අසයි..

"හොඳින් ඉන්නවා මචං ... උඹ කොහොමද බන්ඩාව අඳුරන්නේ .. ? මම අසන්නෙමි.  "

"මුද...? මේකා මග අරින්නේ කොහොමද?  මු ඉන්නේ අපේ ගෙදරනේ...?  චමින්ද කියයි.


"බන්ඩෝ.. මේ මගේ පොඩි කාලේ ඉස්කෝලේ යාලුවෙක්.. කවිඳු... අපි ඒ කාලේ ඉඳන් මූට කියන්නේ කිටී කියලා..  අපේ නෑදෑයොත් වෙනවා..මුන්ගේ අම්මාත් කිරඹ ඔයේ රාජපක්ෂ කෙනෙක් තමයි"

චමින්ද තම පරම්පරා සම්බන්දයත් සමගම මාව තම සගයාට හඳුන්වා දුන්නේය.

"අපෝ මම කිටියව  දන්නවා ... මේ අපේ 12  සී එකේ හොඳ නොම්බරයක් තමයි.. "

සුරාජ් බණ්ඩා මගේ අරලගංවිල ඉස්කෝලේ ඇඳුනුම් කම චමින්දට හෙළි කලේ එලෙසයි.

පසුව මා ඔවුන්ගෙන් අසා දැන ගත් පරිදි බණ්ඩා යනු චමින්දලා අම්මලා පැත්තේ නෑදෑයෙකි.  බණ්ඩා චමින්දගේ  මාමගේ පොඩි පුතා බව මම දැන ගත්තේ එදිනයි.

එතැන් සිට ගතවෙන වසර දෙකක කාලය චමින්දත් , මමත් ,සුරාජ් බණ්ඩාගෙනුත් යුත් තුන්  දෙනාගේ කල්ලියක  වැඩ වලින් පිරී පවතී.

පාසැලේදී  බොට්ටා ඇතුළු කල්ලිය සමග ගැවසෙන මා පාසැල් බසයේදීත් උපකාරක පංති යන අතරත් ගැවසුනේ චමින්දත්  සුරාජ් බණ්ඩාත් සමගයි.

අප උසස් පෙළ කල 1989- 90 කාල වකවානුව අරලගන්විලට මෙන්ම මුළු ලංකාවම  භීතියෙන් ඇලලී ගිය කාලයක් විය

එහෙත් ඒ කාලයේ හිරිමල් යොවුන් වියේ පසු වූ අප කල නොයෙකුත් කෙලි කවට කම්  රාශියකි.

අප වයසේ සිටි සගයින් අතර සිදුවූ මතක හිටින වර්ගයේ කෙළිලොල් වැඩ  වැඩි හරියකම  ප්‍රධාන චරිත බවට පත්වුයේ   අප තිදෙනාය.

සමන් අය්යාගේ රසායන විද්‍යා පංතිය

එදා සෙනසුරාදා උදේ  උතුරු කිරිල්ලවල පන්සලේ චමින්දත් , බණ්ඩාත් සමග සාකච්චාවෙන් පසු මම ධර්ම ශාලාවේ පැවති පන්තියේ වාඩිවී සිටියෙමි.

සිගරට්ටුවක් හෙම පානය කිරීමෙන් පසු පන්තියට පැමිණි සමන් අය්යා ඉගැන් වීම ආරම්භ කලේ  පරමාණු සහ අණු යන මාතෘකාව යටතේය.

චමින්දත්, මමත් , බණ්ඩාත් එකම බන්කුවක වාඩිවී සිටියෙමු.  යමක් පැහැදිලි කල සමන් අය්යා "නාමරත්න ... කියන්න බලන්න. උත්තරේ .." යැයි මා දෙසට ඇඟිල්ල දිගු කරයි..

මම උඩ ගොස් බීම වැටුනේ.. අපේ පේලියට ඉස්සරහින් සිටි චන්දිම නාමරත්න (හතරේ පන්තියේදී මගේ තරඟකාරයා) සමන් අය්යාගේ පැනයට උත්තර දීම නිසාම නොවේ.

සමන් අය්යා කවිඳු යනු " සමන්ත නාමරත්නගේ  මල්ලී" බව දැන ගෙන සිට තිබේ. ජීවිතේට නාමරත්න යන නාමය පාවිච්චි නොකළ මා අන්දුන් කුන්දුන් වූ බව  තේරුම් ගත් ඔහු...

"මොකද ගැස්සුනේ මේකේ දඟලන්න බෑ හරිද.. ? මට සමන්ත කිව්වා ඔයා පන්තියට එන බව.." යැයි පවසමින් මගේ සැකය දුරු කළේය.

එදා සිට හැම දවසකම සමන් අය්යා මගෙන් පන්තියේදී ප්‍රශ්න අසන්නට අමතක කලේ නැත..

ඒ පන්තියට ගිය කවුරුත් දන්නා පරිදි මුල් සති කීපයේදී අප සැවොම භීතියට පත් කරමින් ඔහුගේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ  චන්දිම නාමරත්න  විසිනි.

ටික කලක් ගත වෙද්දී මාත් , කණ්ඩුල ඇතුළු අනික් බොහෝ දෙනෙකුත් ඔහුගේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයු අය අතර වුහ.
එහෙත් කල් ගත වෙත්ම මුල් කාලයේ අප මවිත කල අපේ පංතියේ නාමරත්න වැඩි පුර ශබ්ද කලේ නැත

30 ශ්‍රී 3869 සහ  314 ,බෙලගන්වැව පාසැල් බස් රථ

උසස් පෙලදී පාසල නිමවූ පසු නිවසට එන්නට 318 ගල් ඒදණ්ඩ බසය යට වඩා අප යොදා ගත්තේ 320 අම්පිටිය බසයයි.

එහි ලියාපදිංචි කල අංක වුයේ 30 ශ්‍රී 3869 යි.  පොඩි පංතිවල ඉන්නා කාලයේදී මෙය සින්නකර ලියාගෙන තිබුනේ ජලියලා සහ ගැට්ටලා ඇතුළු පාරේ අම්පිටිය පැත්තට කිට්ටුවෙන් ජිවත් වූ අය විසිනි.

සිරිමල්වත්තෙන්  බසයෙන් බැසයන  අපට උරුමවී තිබුනේ තරමක් අබල දුබලවූ වූ සහ හෙමින් ගමන් ගිය 318 බසයයි.

කුඩා කාලයේ සිල්වා අංකල් ධාවනය කල 320 න් සිරිමල්වත්තෙන් එහා අය විතරක් නගින්න කියමින් අප ප්‍රතික්ෂේප කෙරිණි.

එවිට බෙලිගහ දක්වා යන ගැට්ටා , ජාලිය වැනි අය අපිට ඔලොක්කුවට මෙන් හිනහ වුහ.

 ඒ  ඔවුන්ගේ පාසැල් බසයෙන් පන්තියේ අන්ඩපාලලා  වූ අප එලවා දැමු බැවිනි.

දැන් අපිත් උසස් පෙළ කරන අය්යලා වන්නෙමු.

ඒ බව හොඳින් දත්  320 රියදුරුවත් , කොන්දොස්තරවත් කර දඬු උස්වූ කොල්ලන් සමග ගැටුම් ඇති කර ගන්නට තරම් මෝඩ නොවුහ.

එබැවින් 12 පංතියට පැමිණි පසු අපට රිසිසේ 30 ශ්‍රී 3869 /320 අම්පිටිය බසයේ ගමන් කිරීමට ඉඩ ලැබුණි.

බසයේ පසු පසම අසුනට යන සුරාජ් සහ මම ගැට්ටලා, ජලියලා ඇතුළු බොහෝ අය අතර විහිළුතහළු කරමින් ගමන් කළෙමු. මේ සමාගමේ චමින්ද නොසිටියේය . හේතුව යෝධ ඇල මහා විද්‍යාලයට  අපේ ඉස්කොලේ සිට  සැහෙන දුරක් තිබීමයි.







13 comments:

  1. ඔය චන්දිම නාමරත්න පොඩ්ඩක් මෙන්ටල් කේස් එකක්. දැන් මිනිහ ඉංග්‍රිසි ගුරු උපදේශකවරයෙක්. හැබැයි ඒකත් දේශපාලන පත්විීමක්. මිනිහා සා.පෙ වලදී D7ක් ගත්තා කියලා තාම අධි මාන්නයකින් ඉන්නේ. ඇඟ නම් තියනවා අලියෙකුට වගේ. හැබැයි ඇඟේ තරමට මොලේ නෑ. මිනිහා ඉදිමිලා ඉන්න තරමට කවිඳුලා කොච්චර ඉදිමෙන්න ඕනිද? ඒක තමයි නියම උගත්කමේ වෙනස..කවිඳුලා මුල් කාලේ දුක් විඳපු බව තාම එයාලට මතකයි. ඒත් අපිත් එක්ක හිටපු සමහරු අද ඉන්නේ අපි එක පන්තියේ ඉගෙන ගත් බව පවා අමතක කරලා. කවිඳුලා අදත් දුප්පත් මිනිසුන්ට ගෙයක් හදලා දෙන්න වෙහෙසෙනවා..නාමරත්නලා මේ ලිපි කියවන්නේ වත් නැතිව ඇති. කවිඳුලා දිහා බලලා නාමරත්නලා දැන්වේ හැදෙනවා නම්..

    ReplyDelete
  2. නාමරත්නගේ දියුණුව ගැන දැන ගන්න ලැබීම සතුටක්. මිනිහා සමන් අය්යාගේ පන්තියට ගිය මුල්ම දවසේ චමින්ද රාජපක්ෂගේ ගේ සහ අපේ වචන වලින් කිව්වොත් අපිව මාර විදිහට MENSTRUALLY වැට්ටුවා. අපි භය වුනා මෙහෙම ගියොත් අපිට උසස් පෙළ කරගන්න බැරිවෙයි කියලා.
    ඒ මුල් සති කීපයේ අපට තිබුනා නාමරත්න භීතිකාවක්. කට උල් කරමින් ඔහු සමන් අය්යාගේ ප්‍රශ්න වලට උත්තර දුන් හැටි මතක් වෙන කොට අර භිතිකාවත් චුට්ටක් එනවා එනවා වගෙයි.
    අපේ රට දැන් ගමන් කරමින් තියෙන දිශාවට තමයි නමරත්නත් ගිහින් තියෙන්නේ. "අන් හැමෝටම පෙර මම...." මට මතක හැටියට එයාට තිබුනේ ඩි හයයි.

    ReplyDelete
  3. මේ කතාව මීට වඩා වේගයකින් අලුත් වෙනවා නම් හොඳයි කවිඳු. මම හරි ආශාවෙන් කියවන සටහන් හින්දා කීප සේරයක්ම හැරි හැරි ආවා අලුත් වෙලාද කියලා බලන්න.
    බිසි නම් සමාව දිය හැකියි;)

    ReplyDelete
    Replies
    1. ලියන්න වෙලාවත් ටිකක් අඩුවුණා තමයි....

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. චන්දිම නාමරත්න තනිකරම අනුකම්පාව ලැබිය යුතු පුද්ගලයෙක්.
    ඒ කෙසේ උනත් කවිදු B පන්තිය MATHS එකක් බව අමතක කරලා...

    ReplyDelete
    Replies
    1. හැදුවා.. මෙච්චර වත් මතක තිබුනා මදිද?

      Delete
  6. නොදැනීම මමත් උසස් පෙළ කාලයට ඇවිදන් ගියා මේ සටහනත් එක්ක. අදයි මේ ඉසව්වට ආවේ බ්ලොග් රෝලට දාගත්තා මේකත් දැන්මම.

    ReplyDelete
  7. සතුටුයි අහන්න.. උසස් පෙළ නියම වැඩ එන්නේ ඉදිරියට... ලියන්න හිතෙනවා කට්ටිය මෙහෙම කියන කොට..

    ReplyDelete
  8. චන්දිම නාමරත්න ලා කොහෙත් ඉන්නවා.. :) කවිඳු ල නම් අඩුයි.

    ReplyDelete
    Replies
    1. ලෝකේ හැටි එහෙම තමයි.. හොඳයි ටිකයි...

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. kavidu onna mamath oyage saddawantha wadeta yam pramanayakin dayaka una.

    බොහොම ස්තුතියි .. වැඩි වැඩියෙන් ලැබේවා.. !! කරන කියන දේවල් සාර්ථක වේවා. !!

    ReplyDelete