උසස් පෙළ පංති පටන් ගෙන මාස කීපයක් ගත වී ගොසිනි. දැන් බණ්ඩා , චමින්ද , කවින්දු ත්‍රිත්වය එකිනෙකාට නැතිවම බැරි ගානට සමගි වී සිටියි.
මෙය තවත් තීව්ර කරන යෝජනාවක් ගෙනාවේ චමින්ද විසිනි.
තදබලම බ්‍රයිට් කේස් එකක් නොවූ ඔහු පාඩම් කිරීම සාකච්චාවෙන් සහ සම්ම්න්ත්‍රණයෙන් කිරීමේ ආදීනව හොඳින් දැන සිටි අයෙකි.
ඒ අනුව දිනක් " මචං කිටී .. බන්ඩත් ඉන්න එකේ උඹ අපේ ගෙදර වරෙන්කො බන් පාඩම් කරන්න " යැයි මට යෝජනා කළේය.
මම අදහස අම්මාට කීවෙමි. "ඔය ගෙදර ලමිස්සියෙකුත් ඉන්නවා නේද ?" " උඹ මොකටද එහේ රිංගන්න යන්නේ ?" අම්මා චමින්දගේ අදහසට වැඩි කැමැත්තක් නැති සෙයකි
අම්මා ඒ කිව්වේ චමින්දගේ අක්කා නිම්නා ගැනයි.
."නිම්නා අක්කා හිටියට අපි එයාගෙත් එක්ක ගනු දෙනුවකට යන්නේ නෑනේ අම්මා.. තව එකක් සුරාජ් අපේ ඉස්කෝලේ එකා.."
මම අම්මා මගේ අදහසට නම්මා ගත්තෙමි.
ත්‍රි පුද්ගල කමිටුවේ අධ්‍යාපන කටුයුතු සහ සුජාතාවේ විස්තර
අපි පාසැල් බසයේ දඟයින් වුවා සේම එකට එකතු වී පොත් පාඩම් කරන්නටද තීරණය කළෙමු. ඒ වැඩ වැඩි හරියක් කෙරුනේ චමින්දලා ගෙදර වූ කිරඹ ඔයේ පිහිටි මැද පුරණ නිවසේදීය.
පාසැල් ඇරී නිවසට එන මම දවල් කෑම ආදියෙන් අනතුරුව චමින්දලා ගෙදර පැත්තට යන්නෙමි.
බොහෝ විට මේ ගමන් මග වැටි ඇත්තේ කිරඹ ඔයේ පිහිටි අපේ මුත්තලා ගෙදර හරහායි.
මුත්තලා ගෙදර සිටි ඇතිමලේ බාප්පාගේ දූවරුන් දෙදෙනාද ( රන්දු සහ චන්දි) මුණ ගැසී යන මේ ගමනෙන් වැඩ දෙකක් සිදුවේ.
සුජාතාවේ අපේ යෙහෙලියන් පිලිබඳ තොරතුරු හුවමාරුවත් චන්දිලාට පාඩම් වැඩ පිලිබඳ උපදෙස් දීමත් යන වැදගත් කරුණු දෙක මා අතින් සම්පුර්ණ වන්නේ මෙහිදීය.
යෙහෙලියන් ගැන විස්තර ගැනීමේදී මා ඔවුන්ට ඉතා හිතවත් බවක් පෙන්නුවද පාඩම් වැඩ නොකරන්නේ නම් ඒ යහළුකම් අඩුවන බව ඇතිමලේ නංගිලා හොඳින් දැන සිටියහ.
ඒ නිසාම මා ඔවුන්ගේ කාමරයට එබෙන ඕනෑම මොහොතක රන්දුත් , චන්දිත් පොතක් අතේ ඇතිව සිටිනු දැකිය හැක.
මෙසේ මා චමින්දලාගේ ගෙදරට ලඟා වීමෙන් අනතුරුව අපි පොත පතේ වැඩට යොමු වන්නෙමු. ඒ සීනි බනිස්ලා ආදිය ගැන මා විසින් සොයාගත් විස්තර ඇතුලත් කෙටි පිලිසඳරකින් පසුවයි.
අපි මැද පුරණේ පාඩම් කරනා බොහෝ දිනවල දිවා , රාත්‍රී ආහාර යද තේ පැන් සංග්‍රහද නොඅඩුව ලැබේ.
කිසි ලෝභ කමක් නැතිව ඒවා සපයන්නේ මැදපුරණේ නැන්දා විසිනි.
ඇය බොහෝවිට කෑම හෝ තේ රැගෙන චමින්දලා කඩේට යයි.
එවැනි අවස්ථාවක බණ්ඩා , මම සහ චමින්දගේ ආහාර පිළියෙළ කර දෙන්නේ නිම්නා අක්කා විසිනි.
වට්ටක්කා දළු මැල්ලුම
මැද පුරණේ නැන්දා උයන කෑම හරි රස බව නොකියාම බැරිය.
අපේ අම්මා සහ කිරඹ ඔයේ අතම්මාද එවැනිම දක්ෂ සූපවේදිනියන් දෙදෙනෙකි.
එහෙත් චමින්දලා අම්මා උයන වට්ටක්කා දළු මැල්ලුම ගසන්නට මැල්ලුමක් හදන්නට මේ බවලතුන් දෙදෙනාටම බැරි බව කිව යුතුය.
ඇය එය ඒ තරම් රසට එය පිළියෙළ කල බව මගේ හැඟීමයි..
වට්ටක්කා දළු අප ප්‍රදේශයේ යහමින් සොයා ගත හැකි එළවළුවකි.
අපේ දළු කෑදරකම දන්නා මැදපුරණේ නැන්දා ඒවා බොහෝ දිනවල අප ආහාරයට එකතු කලාය.
අදටත් මා අරලගංවිල එන බව කිව් සැනින් අපේ අක්කා මහ ගෙදරට වට්ටක්කා දළු මිටියක් එවන්නිය.
ඒ මම වට්ටක්කා දළු මැල්ලුමට ඉතාම කෑදර බව ඇයද හොඳින් දන්නා බැවිනි.
මගේ මේ සදාකාලික වට්ටක්කා දළු දොළ දුකට හේතුව චමින්දලා අම්මා කිව්වොත් නිවැරදිය.
චමින්දගේ මව මැල්ලුම් වලට පමණක්ම ප්‍රසිද්ධ ගෘහනියක් නොවේ.
තවත් රස කෑමක් වන්නේ ඇය විසින් පිළියෙළ කරනා තක්කාලි බැදුමයි.
යහමින් කරපිංචා , අමු මිරිස් ආදිය දමා සකස් කරන මෙය තවත් රසවත් කරන්නේ තෙලෙන් බැදීමේදී ඈ යොදා ගන්නා අබ අහුරයි.
මෑතකදී පළමු ලෝකයේ රටක වෙසෙන චමින්දත් මමත් මුණ ගැහුනේ මැද පුරණේ නැන්දාද එහි සිටි දිනයකයි.
එදා අපගේ දිවා ආහාරය සැපයුනේ චමින්දලා ගෙදරිනි.
පරණ පුරුදු වර්ගයේ තක්කාලි ඇඹුලක් එහි තිබුන බව කාට නැතත් මට හොඳින් මතක තිබේ.
"ඒයි.. අර තක්කාලි ඇඹුල නම් නියමයි නේද?"
ආපසු නිවස බලා වාහනය පදවද්දී එහි රස තමාටද දැනුනු බව අපේ මාය්යා මට මතක් කර දුන්නාය.
මම මැදපුරණේ නැන්දගේ ඉවුම් පිහුම් කෙරුවාවල් ගැන ටීකා ටිප්පනි සහිතව මාය්යටද කියා දුන්නෙමි.
දැන් දැන් ඇයගේ ඉවුම් පිහුම් ලිස්ට් එකට (මට උයා දෙන කෑම එකට) අබ යහමින් දැමු තක්කාලි බැදුමක් ද එකතු වී ඇති බව කියන්නේ හද පිරි සතුටකිනි.
චමින්දගේ ක්‍ෂණික ආහාරය හෙවත් "ගොඩ හොද්ද"
සතියේ දිනවල මෙන් නොව සෙනසුරාදා ඉරිදා අපේ පාඩම් වැඩ වැඩි වෙලාවක් සිදුවෙයි .
උදේ ඉඳන්ම චමින්දලා ගෙදර රැස්වෙන අප තිදෙනා ඔවුන්ගේ මිදුලට වී රසායන විද්‍යාව සහ ජීව විද්‍යා විෂයන් සාකච්චා කළෙමු.
දහවල් එකට තිබෙන සමන් අය්යාගේ පන්තියට පිටත් වන්නේ චමින්දලා ගෙදර සිටි ගමන් මය.
වෙනත් අයුරකින් කියනවා නම් .. මේ වන විට සුරාජ් මෙන්ම මාද ඒ නිවසේ නිතර ගැවසෙන චරිතයක් බවට පත්වී හමාරය.
ත්‍රී පුද්ගල උසස් පෙළ අධ්‍යාපන කමිටුව සැපයුම් මාර්ග වල ඌන තාවයකට මුහුණ දුන්නේ මේ අතර වාරයේදීය.
චමින්දලා අම්මා, අක්කා ඇතුළු පවුලේ සැම දින කිහිපයකට බෝගහ මඩිත්තේ නෑයින් බලන්නට යෑම එයට හේතුවයි.
ඒ දින කිහිපයේ අප තිදෙනා හැර කිසිවෙක් මැද පුරණ නිවසේ සිටියේ නැත.
උදේ , දවල් මෙන්ම රෑ කෑම පිළියෙළ කර ගැනීමද අපටම පැවරිණි.
දිනක් උදේම අවදිවූ චමින්ද බණ්ඩාටත් මටත් පහලට කථා කළේය. " මචංලා වරෙල්ලා තේ බොන්න"
සොල්දරයේ පාඩම් කාමරයෙන් පහලට බැස ගිය අප දෙදෙනා උගුරට දෙකට තේ බිව්වෙමු.
" ඒක නෙවෙයි.. උදේටත් දවල්ටත් කන්න එළවළුවක් හදා ගන්න ඕනෑ" චමින්ද ඔහුගේ ඊළඟ අවස්‍යතාවය අප හමුවේ තැබුවේය.
මා මෙන්ම බණ්ඩා ද මේ ඉවුම් පිහුම් වැඩේට එච්චර උනන්දුවක් දැක්වුයේ නැත.
ඒ බව චමින්දටද වැටහී ඇත.
" තොපිට බැරිනම් හිටපියවූ ...මම මොකක් හරි හදනවා" චමින්ද වැඩේට සුදානම්ය.
කුස්සියේ ලිප ලඟට වූ තුන්දෙනා පරිප්පුවක් හදන්නට තීරණය කළහ..
ඇත්ත වශයෙන් කියනවානම චමින්ද පරිප්පුවක් හදන්නට පටන් ගත්තේය. අපි අඩුම කුඩුම ලං කර දුන්නෙමු.
යහමින් තුන පහ, කුරුදු පොතු ගොඩක් සහ සුදුළුනු මහා තොගයක් හෙම දමා විශාල පරිප්පු හොද්දක් නිර්මාණය කිරීමට චමින්ද සමත් විය.
දැන් උදා වන්නේ පරිප්පු සමග පාන් කන වෙලාවයි.
"කිටියෝ කොහොමද මගේ හොද්ද? හොඳද ? " චමින්ද මගෙන් ඇසුවේ පරිප්පු හැලිය පෙන්වමිනි.
" මේ මොකක්ද බන්..? ගොඩ හොද්දක් වගේ නේද? " යැයි මම පෙරලා ප්‍රශ්න කළේ බණ්ඩා ගෙනි.
"හ්ම් .. හ්ම්.. ගොඩ හොද්දක සුවඳත් එන්නේ ඔය " බණ්ඩා හුමිටි තිබ්බේය.
පතල් ජිවිතේ දුකයි රංජනී කියන්නේ ඔන්න ඕක තමයි.
දැන් ඉතින් පාන් කාපන්කෝ මුගේ ගොඩ හොද්දත් එක්ක.
බන්ඩා කියාගෙන යයි. ...
බණ්ඩා අඳුරන අපේ සගයෝ මෙහිදී බණ්ඩාගේ හැසිරීම මනසේ හැඳ ගනු නොඅනුමානය.
"...මිටි ජිවිතයක්... අත් දෙක පිටි පසට බැඳගෙන.. පුසෙක් මෙන් ඉව කරමින්.."
ඒ ඔවුන්ගේ මනසේ ඇඳෙන චිත්‍රයයි.
"තොපි දෙන්න පස්සට අව්ව වැටෙනකම් බුදියනවා මදිවට මගේ හොද්දට ඇද කරන්නත් එනවාද බොලව්?"
හොද්ද හැඳි ගාමින් සිටි හැන්ද ලෙලවමින් චමින්දයා අප පස්සේ පැන්නුවේ හොඳකට නම් නොවේ..
පසු කලෙක ගොඩ හොද්ද අපගේ ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වුයේ නිරායාශයෙනි.
අපේ සමරු පොත් තුන හොයා ගත හොත් ඒ හැම එකකම.
" ගොඩ හොද්ද" " පුස් පාර්ට්" "සීනි බනිස්" " යන්න එපා අය්යේ" වැනි යෙදුම් පිරි තිබෙනු දැකිය හැකි වනු ඇත.
මදි මදි කියවගෙන එනකොට හොදම හරියේ නවත්තලා
ReplyDeleteඅන්න දැන් හරි ඔය දාල තියෙන්නේ. යසට
ReplyDeleteතව පාරක් ඇවිල්ල බලන්න තරම් අපි ගැන විශ්වාසයක් තියෙනවා එහෙනම් ඈ....
Deleteඔය වට්ටක්ක දළු මැල්ලුම මගෙත් ප්‍රියතම ආහාරයක් . ඒත් කවිඳු ඒ කාලේ මතක රහට දැන් කාටවත් උයන්න බෑ. අපේ අම්මා හැදුවත් මට ඉස්සර රහ දැනෙන් නෑ . ලෝකේ පුරා අනම් මනම් කාලා අපේ දිවේ නැවුම් ගතිය ගිහිල්ලද මන්දා. මැල්ලුම වගේම කතාවත් රහයි
ReplyDeleteස්තුතියි... ඒක නම් ඇත්ත තමයි.. මේ පින්තූරය අපේ වත්තේ ( වර්තමාන) වට්ටක්කා වැලක. ගිම්හාන, වසන්ත කාල වලට මෙහේ වට්ටක්කා හොඳට හැදෙනවා.. මම වට්ටක්කා දළු උයන්නේ චමින්දලා අම්මගේ ක්‍රමේට .. අතින් කඩලා... වියලි මිරිස් කඩලා දාලා තෙම්පරාදුවක් විදිහට.. ගෙදර උන්දැ උයන්නේ පොල් දාලා මැල්ලුමක් විදිහට... එයාලා ගමේ ක්‍රමයට.. ඒකෙත් අමුතු රසයක් තියෙනවා..
ReplyDeleteවට්ටක්කා දළු මැල්ලුම එක්ක හාල්මැස්සන් හොද්දක්.. මගෙත් ප්‍රියතම..
ReplyDeleteOMG ... I am hungry now ...
ReplyDeleteimagination2003.blogspot.com.au is the next blog to follow
ReplyDeleteමාත් උයන සමහර කෑම වෙලාවකට ගොඩහොදි වෙනවා
ReplyDeleteඑහෙම ගොඩ හොදි වෙච්ච අලකොල වයන්ජනයක කතාව මම දැම්මා මුහුණු පොතේ ඔන්න..
ReplyDelete