Saturday, 2 May 2015

මා සූදු අන්තුවෙක් වූ හැටි







සිංහල භාෂාවේ අගය.





දැන් අපි නමයේ පන්තියේ ඉන්නා නාඹර ඉලන්දාරියෝ වෙමු. 

අපේ පන්ති භාර ගුරුතුමා ජයසේකර නම් අයෙකි.  

ඔහු පන්තිභාර  ගුරුකමට අමතරව අපට සිංහල භාෂාවද ඉගැන්වුවේය.  ඒ නිසා කොල්ලෝ ඔහු සිංහලයා යන නමින්ද හඳුන්වන්නට
රුදු වී සිටියහ.

ජයසේකර මහතා පිළිබඳව අපේ මතක සටහන් රාශියකි.  ඒ අතර මගේ ඔහු ගැන ඇති මතකය නම් ඒ තරම් හොඳ එකක් වුයේ නැත.

ඔහු මාගේ රචනා ලිවීමට දිගටම දුන්නේ අඩු ලකුණු වන අතර ඒ නිසාමදෝ මගේ සිංහල භාෂාවට තිබු උනන්දුවද ඉතා අඩු විය.

අපොස සාපෙළ විභාගයේදී මට  සිංහල සඳහා සම්මානයක් පමණක් ලැබීමට මේ උනන්දුව අඩු කමද හේතු වන්නට ඇත.

ලාලනී ටීචර්ලා මෙන් නොවූ ඔහු මා ගැන එතරම් විශේෂයක් නොදැක්වූ ගුරුවරයෙකි.

ගුරුවරයාගේ ළමුන් කෙරෙහි ඇති බැඳීම අඩුවූ තැන ළමුන් ඔහුගේ ඉගැන්වීම් ගැන යොදනා අවධානයද අඩුවේ.  

හොඳම උදාහරණය අපේ සිංහල සර් හා අප අතර තිබු ගණුදෙනුවයි.

කරුණු එසේ වුවද ඔහුට සිටි දියණියන් දෙදෙනා ගැන නම් අපි හොඳින් දැන සිටියෙමු. 

ලොකු දුව ඉස්කෝලේ සැවොම දන්නා තරම් රූ සපුවකින් හෙබි අයෙකි.

ඇය අපේ පන්තියේ සිටි සෙව්වන්දි, සුජීවා වැනි අය මෙන් ඉනෙන් ටිකක් පහළට වෙන්නට රැලි ඇල්ලු සුදු ගවුමක් ඇන්දාය. 

ලොකු දුව අපට ඉහළ පන්තියේ සිටි අතර එවැනිම රැලි දැමු ගවුමකින් සැරසුණු කුඩා සිංහල දියණිය අපිට පන්ති දෙක තුනක් පහලින් වාසය කලාය.

තම සිංහල නොහැකියාවට ජයසේකරත් හේතුවක් බව සිතු අපේ පන්තියේ සිටි රංගජීව අය්යා ඔහුට ලියු කවියක් මට යන්තමින් මතකය. 

රංගේ එම පන්තියේම වරක් අසමත්ව සිටි අයෙකි. 

දෙවන වාරය අවසානයේ අප සිංහල ප්‍රශ්න පත්‍රයේ රංගජීව ලියා තිබු සිවුපදය අවසාන කර තිබුනේ 

“ දුන්නා දොඹෙන් කැර කෙන්නට සිංහලයා “ 

යන පදයෙනි.

තරමක නිහඬ චරිතයක් වූ අපේ සිංහල ගුරුතුමා ඔහේ කාලය ගෙවන්නට කැමති වර්ගයේ ගුරුතුමෙක් බව මගේ මතකය පවසයි. 



සංගීතයට හිත ඇදී ගිහින්




අටේ පන්තියේ සිටි අවසාන කාලයේ මම පාසැල් ගියේ අපේ ගෙදර සිට නොව කිරඹ ඔයේ අම්මලා මහා ගෙදර සිටයි. කලතුරකින් අම්මා හැරදා ගෙදරින් පිටතට යන මම මේ පියවර ගැනීමට හේතුව කිරඹ ඔයේ මල්කා පුංචිත් මමත් එකට පාඩම් කල යුතු යැයි සුභේරත්න මුත්තා තීරණය කිරීමයි.  

 මල්කා සිටියේ මට එක පන්තියක් පහලින් වූ අතර ඇය ගියේ අරලගංවිල කණිෂ්ඨ විදයලයටයි . 

මේ වනවිට කණිෂ්ඨය බිම්බිසාර මහා විද්‍යාලය ලෙස අලුත් නමක් ලබා තිබුනේය.

පුංචි කෙනෙකුයි පුතෙකුටයි වඩා සම වයසේ යහළුවන් ලෙස හැසිරුණු අප රාත්‍රියට පාඩම් කරේ එකම මේසයකයි. අතම්මලා ගෙදර මම අකමැතිම සිද්දිය වූ පරක්කු වී රාත්‍රී ආහාරය ලබා දීම මට තාමත් මතකය. 

මේ හේතුවෙන් මල්කාත් මමත් ගණන් හැදීම , සිංහල ලිවිම ආදිය මදකට නවතා සංගීතයට සිත යොමු කරන්නේ මේ දෙගොඩහරි ජාමයටයි.



“මල නොතලා රොන් ගන්නා.... බඹර කැලා බල රඟමේ
ගුම් ගුම් නාදෙන් නලවා .. මලේ රසය බොයි බඹරා
හොඳ පාඩමකි අප හට තිරිසන් වූ මේ බඹරා
අපිද අපේ සැම වැඩ පල කරමු අනුන් සිත නොතලා.”



අපි දෙදෙනා මහා හඬින් මේ ගීත කණ්ඩය ගයනා කරන්නේ  බිලාවල් රාගය පුරුදු වීමටයි . 

මෙය ඇසෙන අතම්මත් මුත්තත් කෑ ගසන්නේ 

"... ඒයි මල්කා.. ඒයි චුටි පුතා... උඹලා දෙන්නා සින්දු කිය කිය ඉන්නේ පාඩම් කරන්නේ නැද්ද? "

යනුවෙනි.


එය ගණන් නොගන්නා අපි  



“ජනක බිලාවල හැම ස්වර සුදුවේ ... ග ප ධ නි ස යන ස්වර සන්ගත් වේ..ද්යිවථ වාදී... ගා සංවාදී.....”  



යනුවෙන් දිගින් දිගටම බිලාවල් රාගය පුරුදු වූයෙමු.



ආශාවන් ඇත හැරීම



අප නාමයේ පන්තියට පැමිණීමත් සමග එතෙක් විෂයයන් නවයක් හැදෑරු අපට එක් විෂයයක් අත හරින්නැයි උපදෙස් ලැබුණි. ඒ තාක්ෂණික විෂයයක් හෝ  සවුන්දර්ය විෂයක් යන දෙකින් එකක් පමණක් තෝරා ගැනීමෙනි. 

උ.පෙ විද්‍යා විෂයයන් හැදෑරීමේ බලා පොරොත්තුවෙන් උන් මා එකල සිතුවේ සංගීතය තෝරා ගතහොත් උසස් පෙළට කලා විෂයන් කරන්නට සිදුවනු ඇති බවයි. 


එම නිසා මාගේ ප්‍රියතම විෂයයක් වූ සංගීතය අත්හල මා විද්‍යාව යන වචනය අඩංගු කෘෂි විද්‍යාව තෝරා ගත්තේ එමගින් මට උසස් පෙළ විද්‍යා කිරීමේ අවස්ථාව ලඟා කර ගැනීමටයි. 



 මාමලා සමග සුදුවේ හිනි පෙත්තට.





කිරඹ ඔයේ මල්කා සමග පාඩම් කල ඒ කාලේ සමහර දිනවල මට ඈ සමග පාඩම් වැඩ කිරීමට බැරි වෙයි. 


ඒ අපේ රාජු මාමත්, ලොකු මාමත් අල්ලපු ගෙදර සමරේ මාමත් නිසාය.

අල්ලපුගෙදර සමරසිංහ මාමා අපේ මාමලා දෙන්නා සොයාගෙන රෑ හතට අටට පමණ අම්මලා මහ ගෙදරට පැමිණේ . 

ඒ කාඩ් අතක් ගැහීම සඳහාය.  ඔවුන්ගේ කාර්ඩ් සෙල්ලමට හතර දෙනෙක් අවශ්‍ය වේ. 

ඔවුන් කරන්නේ ඕඹි ක්‍රීඩාවයි.හතර වන ක්‍රීඩකයා ලෙස මාව තෝරාගන්නා මේ මාමලා ටික නිසා  කුඩා මම සුදු අන්තුවෙකු වෙන්නට වැඩි කලක් ගත වුයේ නැත. 

හේරා සිලෙක්කේ... හාරත බුරුවා ආදී පද මාගේ ව්‍යවහාර භාෂාවට එකතු වන්නේ මේ දින වලය. 

මාස කීපයක් ගතවත්ම  මා පළපුරුදු බුරු කප්පිත්තෙකු වුයේ මාමලා තිදෙනාද පුදුමයට පත් කරවමිනි.


වගා සටනත් හෙමින් හෙමින් ඉදිරියට



මේ කාලයේ අපි එළවලු හැදුවේ කිරඹඔයත් මල්දෙනියත් බෙදෙන සිමාවේ තිබු කන් කුන් ආතලාගේ දනක් මඩේ එරෙන කුඹුරේය.  

මේ දිනවල මම සතියේ හැමදාම මල්කලා ගෙදර නොසිටි යෙමි.  එබැවින්  මා අපේ ගෙදර සිටි දිනවල හවස් කාලයේ අම්මාත් අක්කත් සමග කුඹුරේ වැඩ කලා මට මතකය. අපි මේ කුඹුරේ අල, තක්කාලි, බෝංචි සහ තක්කාලි වගා කළෙමු. පොඩි ගෝවා පාත්ති දෙකක්ද තිබුනා මට මතකය. 

අපේ කිරඹ ඔයේ මුත්තා මෙහි අසවනු නෙලන කාලයේ අම්මලාට හොරෙන් සියළුම එළවලු වර්ගවල සාම්පල  මා ලවා ගෙන්වා ගත්තේය. 

ඒ  අරලගංවිල නගරය කිට්ටුව විසු ඔහුගේසුදු දුවට යැවීමටයි. 

මමද මුත්තාගේ උපදෙස් පරිදි අම්මලාගේ අනුදැනුමක් නැතිව වුවද සියළුම එලවලු වර්ග සතිපතා මුත්තාට ගෙනත් දුන්නෙමි.

මේ කාලයේ කුඹුරේ අල රකින්නට ගියේ මමත් එකල නැවතත් අප නිවසේ සිටි සමන්ත අය්යාත්ය. අපේ තනියට පැලේ ගිය අනිත් සගයා වුයේ අපේ ටොමියාය.


ටොමියා නෑවීම




අපේ අල ලියැද්ද තිබුණේ කුඹුරේ උඩහ කෙලවරට වන්නටය. ඒ කන්දේ ගෙදර බණ්ඩාරේලාගේ කුඹුරට පහලිනි. 

හැමදාම පැලේ යන අපි මුණ ගැසෙන්නට  එන මිතුරන් පිරිසකි. 

ඒ  දෙහිවත්තේ සුජිත් , හෙළ තැන්නේ චුට්ටි, කන්දේ ගෙදර බණ්ඩාරේ ඇතුළු අසල පැල්වල සිටින කොල්ලෝ කල්ලියයි. 

ඔවුන්   සමග අපේ පැලේ උණුකරන තේ බී කයිවාරුවක් ගසන අපි පැය දෙකක් එසේ ගත කොට නින්දට වැටෙන්නෙමු. 

ඒ අපේ ටොමියා පැලේ මැද කණුවේ ගැට ගැසීමෙන් අනතුරුවයි. 


ටොමියාට චුටිටිලා, බණ්ඩාරේලා ඔරොත්තු දුන්නද සුජිත්ව පෙන්නන්න බැරිය. 

ඌ හව්.. හව් ... ගාමින් සුජිත්ට කඩා පනින්න්නේ තිදෙනාගෙන් අහිංසකම සගයා සුජිත් බව නොදැන විය යුතුය.


හැමදාම උදේ පාන්දරින් නැගිටින සමන්තත් මමත් කුඹුර වටේ ඇවිද බලන්නේ රාත්‍රියේදී සොර කමක් හෝ ඌරන් හාවුන් වැනි සතුන්ගෙන් වගා හානියක් සිදු වී ඇත්දැයි කියාය.

දිනක් අප දුටු දෙයින් හොඳටම කේන්ති ගත්තේ සමන්ත අය්යාය. 

උඩහ කෙලවරේ අල පාත්තියේ කොනකට ඌරෝ ගසා තිබුණි. ටොමියා වාත පිටකරමින් නිදියව්වේ යැයි බනිමින් උදේ පාන්දරම ටොමියාට කෝටු පාර දුන්අපි සිද්දිය අම්මාට අහු වෙන තුරු ඒ ගැන කතා නොකළෙමු.   

අපි දෙන්නා පැලේ එද්දී ටොමියා දම්වැල කින් ගැට ගසා රැගෙන එන්නේ මා විසිනි.  

කුඹුරට ඌරෝ ගැසූ දින පසුවදා මල්දෙණිය-සිරිමල්වත්ත පාර දිගේ පැමිණුන අප චමින්දලා කුඹුරේ නියර දිගේ ඉහලට එමින් සිටියෙමු. 

ටොමියා ගැන තවමත් තරහින් පසුවූ සමන්ත අය්යා මට යෝජනාවක් කළේය. 

"චුටි පුතා.. මේකා අපේ ගිනි මැලේ රස්නෙට හොඳට නිදියන්න පුරුදුවෙලා ...


" හොඳ වැඩක් කරමු අද.. මෙතන ඉඳන් තියෙන හැම වතුර වලකින්ම අපි ටොමියා නාවාගෙන යමු " 

ඒ කාලේ අපි ජේන් අක්කට අක්කා කිව්වේ අපේ අම්මලා කියන නිසාය .. ඒ වගේම අපේ අය්යලා මට චුටි පුතා කිව්වෙත් අම්මලා මට  කියන්නේ චුටි පුතා කියා නිසාය. 

මම ටොමියා පස්සා ගාතෙන් බිම වාඩිවී බෙල්ල පස්සට අදිමින් අදි මදි කරද්දී ඌ දන් වැලෙන් එල්ල එල්ලා වතුරට දමන්නෙමි.  


ටොමියා සට සට ගාමින් කන් පට සලන්නේ අපි දෙන්නාටද ජල බින්දු විසි කරවිමිනි. 


අවසානයේ පැලට ලඟා වූ අප ටොමියා කණුවේ ගැට ගසා  එදින ඌ අඩුවෙන් නිදා ගනීවි යැයි සිතා සිටියෙමු. 

එහෙත් ටොමියා පැලට ලඟා වූ වහාම සුපුරුදු පරිදි වක ගැසි නිදා ගත්තේ තම හොම්බ වලිගයේ සඟවා ගනිමිනි.





1 comment:

  1. සුපුන් මම සහ නිම්මි තුන්දෙනා ඊයේ 27/09/16 "හත් වාසි" කාර්ඩ් ගේම් එක සෙල්ලම් කළා ඒ වෙලාවේ මේ අතීත සිද්ධිය මතක් වුණා.

    ReplyDelete