Saturday 30 May 2015

බ/ කිරඹඔය විද්‍යාලයේ නව විදුහල් පති සහ අපි.



බ/ කිරඹ ඔය විද්‍යාලයට නව විදුහල් පති කෙනෙක්.



පසුගිය සතියේ මා කණ වැකුණු ආරංචියක් නිසා මට මුලින් සතුටකුත් දෙවනුව කනගාටුවකුත් ඇති වුවා මතකය.  මගේ අපමණ සතුටට  කාරණය  වුයේ කුඩා කාලයේ අපත් සමග එකට පාසැල් ගිය සරණ සිරි අය්යා නව විදුහල් පති ලෙස කිරඹ ඔය විද්‍යාලයට  පත්වීමයි.

ඒ කාලේ සරණ සිරි අය්යා පාසැල් ගියේ මාත් සමන්ත අය්යාත් සමග එකම පාසැල් බසයෙනි.

දඹදිව විසු අසිත තවුසාට සිදුවුවා මෙන් එකවරම කනගාටුවකුත් මා සිතට පැන නැගුණි.

එයට හේතුව වුයේ සරණේ පාසැලට පත්වූ දිනයේම ගම් වාසී ගුරුවරයෙක් ඇතුළු පිරිසක් එයට විරුද්ධව පෙත්සමක් ඉදිරි පත් කිරිමයි.

සරණේ ගමේ එකා නිසා ගම්මු අකමැති වුවා වත්ද?

කෙසේ වෙතත් විරුද්ධ වුවන් අතර විශ්‍රාම ගිය රජතුමා නැවත ගෙන්වන්නට වලිකන පිරිස් ප්‍රමුකත්වය ගෙන ඇති බවයි ආරංචි වන්නේ.

සරණේ අය්යාත් අපේ සමන්ත අය්යාත් එකම උපන් දිනයකට හිමිකම් කියන්නෝ වෙති.

අපේ අම්මා සමන්ත හම්බ වෙන්න රෝහලේ ඉඳිද්දී එහා ඇඳේ හිටියේ සරණේ අය්යලා අම්මා බව මා අසා තිබේ.

එලෙස එකට උපන් මේ දෙදෙනා  පසුකාලීනව එක ළඟ පන්ති දෙකක ඉගෙන ගත් අය වෙති.  එකම පන්තියේ නොවී එක ළඟ පන්ති වලට වැටුනේ කෙසේදැයි අයෙකුට ප්‍රශ්නයක් ඇති විය හැකිය.

සමන්ත කිරඹඔය විද්‍යාලයට ඇතුල් වූ හැටි


ඒ කාලේ කිරඹ ඔය විද්‍යාලයේ විදුහල් පති තුමා ලෙස සිට ඇත්තේ රණසිංහ මහත්තයාය.  ඔහු පසු කලෙක කණිස්ටයෙදී චමින්දත් මමත්  වේවැල් පහරට බදුන් කල විදුහල්පති වරයාය.

රණසිංහ මහතා අපේ සමන්ත අඩු වයසින් කිරඹ ඔය  ඉස්කෝලේ හෝඩියේ පන්තියට  බාර ගත් දිනය  ගැන අම්මා සිහි කරයි.

 ඒ එදිනම සරණ සිරි අය්යාද රැගෙන ඔවුන්ගේ දෙමාපියන් ඉස්කෝලෙට පැමිණීම නිසාවෙනි.

රණසිංහ මහත්තයා සමන්ත බාර ගත්තත් සරණ සිරි බාර ගෙන තිබුනේ නැත.

එමෙන්ම අද මෙන්ම එදත් පොත පතේ වැඩ වලට දක්ෂයෙකු වූ  සමන්ත double promotion ලබා සරණ සිරිට වඩා එක පන්තියක් ඉහලට ගිය බව මා අසා තිබේ.

කෙසේ වුවත් අද සමන්ත වත් මම වත් මල්දෙණිය-කිරඹඔය පළාතකවත් නැත.

එහෙත් සරණ සිරිට ස්වර්ණමය අවස්ථාවක් උදා වී තිබේ. ඒ අපි සැම මුලින්ම අකුරු කල පාසලේ විදුහල් පති වීමේ අවස්ථාවයි.

සිසුන් නොදැන සිටියත් දෙමව්පියන් විසින් ඇති කල සිසු අරගල


අපේ අම්මලාට සමන්ත වගේම සරණේ ගේ දෙමව්පියන්ට ඔහු උගතෙක් කිරීමේ අවශ්‍යතාවය තදින්ම තිබෙන්නට ඇත.

සරණේ අය්යාගේ තාත්තා අපි බන්ඩේ මාමා ලෙස හඳුනා ගෙන සිටියෙමු. ඔහු අපේ අසල්වැසි ජේන් අක්කා ගේ බාල මලණුවන්ය.

බන්ඩේ මාමා ජේන් අක්කා වගේම කාටත් ඉතා ලෙන්ගතු මනුස්සයෙකි. ඒ කාලේ අම්මත් මමත් ඉරිදා පොලේ ගිය විට අරලගංවිල දී අපට හමුවන හිතවතෙකි.

"ආ..විමලා නංගි කොහොමද ?" බුලත් කහට පෙන්වමින් කට පුරා හිනාවෙන   ඔහු අසයි.   "ඔහේ ඉන්නවා අය්යා.." අපේ අම්මා කියයි.

" මේ චුටි පුතත් ඇවිත් ඉන්නේ සන්දේ පොලට..."  "යමුද තේ එකක්  බොන්න? " ඔහු අපට ආරාධනා කරයි.
අරලගංවිල "හිදායා" හෝටලයට  ගොඩවෙන අපි  සීනි බනිස් සහ කිරි කහට වලින් සප්පායම් වන්නෙමු. ඒ හිතවතාගේ  අනුග්‍රහයෙනි.


අද වගේ කාලෙක නම් ඔහුගේ බිරිඳ ඔහුට මහා ගෝරනාඩුවක් නගනු ඇත.  එහෙත් ගමේ ගොඩේ ඒ කාලේ හිතවත් කම් හරි පිරිසිදු ඒවා විය.


" අම්මා .. කවුද ඒ අපිට තේ අරන් දුන්න මාමා ?" මම අම්මාගෙන් ඇසුවෙමි. "ඒ බන්ඩේ මාමානේ පුතා . ජේන් අක්කගේ මල්ලි" අම්මා පිළිතුරු දෙයි.

මෙවැනි අව්‍යාජ ගතිගුණ පිරුණු අයෙක් වුවත් බන්ඩේ මාමාත්  ඔහුගේ බිරිඳත්  අපේ සමන්ත ත් සමග හරි හරියට තරඟ කරන්නට  සරණසිරිව පොළඹවා තිබේ.

ආරම්භය වන්නේ සමන්ත පාසැල් ගිය මුල් දිනයයි.  සමන්ත ඉස්කෝලෙට භාර දුන් වග කණ වැකුණු සැනින් සරණ සිරිවත් පාසැලට ගෙනෙන්නේ ඒ අනුවයි.

පසුකාලීනව සමන්තට වඩා පන්තියක්  පහලින් සිටි සරණ සිරි අය්යා ඉගෙනීමට ඉතා උනන්දු වූ අයෙකි.

විද්‍යා විෂයයන් වලින් උසස් පෙළ හැදෑරු ඔහු විශ්ව විද්‍යාලයට යනු ඇතැයි ගැමියන් බොහෝ දෙනෙක් සිතුහ.

අවාසනාවකට ඔහු විශ්ව විද්‍යාලයට තේරුණේ නැත. එහෙත් ගුරු වරයෙක් ලෙස සේවය ඇරඹු ඔහු අද අපේ ගමේ ඉස්කෝලේ විදුහල් පති වරයාය .

මේ පත්වීම ගැන ඉමහත් සතුටට පත් සමන්ත අය්යාත් මමත් සරණසිරි අය්යට උණුසුම් සුභ පැතුම් පිරිනැමුවෙමු.

ඒ ඉදිරියේදී කිරඹ ඔය විද්‍යාලය අරලගංවිල තිබෙන හොඳම ඉස්කෝල වලින් එකක් කරන්නට ඔහුට සහය වන පොරොන්දුවද සමගිනි.

සරණේ ටත් හිටපු රජුගෙන් උපදෙස්


දැන් නව විදුහල් පති තුමා මගෙන් ඉස්කෝලෙට නව ගේට්ටුවක් තැනීම සඳහා උදව් ඉල්ලයි.

මල්ලි මිනිස්සුන්ට ඕනේ ෂෝ .. එක  නේ ඔහු කියයි.


ෂෝ .. එක නෙවෙයි වැඩ පෙන්නන්න යැයි මම ඔහුට යෝජනා කලෙමි.

 ළමුන් අටක් ඉන්නා පහේ පන්තියේ දෙදෙනෙක් වත් ශිෂ්‍යත්වයෙන් සමත් කර දෙන ලෙස ඉල්ලා සිටියෙමි.

එය එසේ වුවහොත් රුපියල් 75000 ක් වැය කර ඉස්කෝලෙ ගේට්ටුව හදා දීමට මට සිදුවේ.

මම මගේ  බ්ලොග් රසිකයන්ටත් අවස්ථාවක් දෙන්නට අදහස් කරගෙන සිටිමි. අපි ශිෂ්‍යත්වයෙන් පසු කතා කරමු.

3 comments:

  1. සරණ සිරි අය්යා කිව්වා මේ පාර ශිෂ්‍යත්වයෙන් එක ළමයෙක් වත් සමත් වුනේ නෑ කියලා.. වැඩිම ලකුණු ගත්තු ළමයට තිබිලා තියෙන්නේ ලකුණු 146 යි.. අපිට දැන් කල් තියෙනවා අ. පො. ස. (සා. පෙ.) දක්වා.. මම කිලින් කිව්වා වගේම අධ්‍යාපන කටයුතු වලින් වැඩ පෙන්වන තෙක් අපි කිරඹ ඔය විදුහලේ බාහිර අලංකාරය ගැන බලන්නේ නෑ..

    ReplyDelete
  2. සරණ සිරි අය්යා කිරඹඔය විද්‍යාලයෙන් අරලගංවිල සුජාතාවට උප විදුහල්පති ලෙස මාරුවක් ලබා ගෙන ගිහිල්ලා... මේ පාර හෝඩියේ පංතියට ළමයි 7 දෙනෙක් අතුලුවුනා කිව්වා.. දෙමල ළමයයි, මුස්ලිම් ළමයයි , සිංහල ළමයි 5 යි.

    ReplyDelete
  3. දැන් පාසල්, පන්සල් හැම තැනම ෂෝ විතරයි. වෙන්න ඕන වැඩේ වෙන්නෙ නෑ.

    ReplyDelete