Wednesday 10 August 2016

ආණ්ඩුවට අබ සරණයි !!!



පසුගිය කලාප වලින්


මගේ ශිෂ්‍යත්වය  සහ ටෙලිනාට්‍ය.


අවේලාවේ හමුවූ හිතවතා.


පාර කැපුණේ මෙහෙමයි 



ඒ දෙදහස්  හය වසරේ ආරම්භයයි.  මේ වන විට ශ්‍රී ලංකාවට  නව නායකයෙක් පත්වී  ගතවී තිබුණේ සති කිහිපයක් පමණි.

මේ වන විට මම ලෙනදොරලා  සමග සිදු කල  ගම නැගුම  සහ මග නැගුම වැඩ  අවසන් අදියරට පැමිණ තිබිණි.

නැවත නෙදර්ලන්තයට  යෑමට  ඉල්ලුම්පත් දමා තිබුනද   මගේ අදහස වූයේ හැකිනම් ඔස්ට්‍රේලියාවට   යාමටයි

මේ කියන දිනවල දී  ගමනැගුමේ  වැඩ වල යෙදෙන අතරම  ඕස්ට්‍රේලියා ගමන සඳහා අවශ්‍ය  ඉල්ලුම් පත් ඇතුළු ලියකියවිලි වල  වැඩ  කරමින් සිටියෙමි.



මේ මා පමණක් නොව මුළු රටේම  ජනතාව නව  රජය  සහ එහි නායකයා  ගැන  ඉතා බලාපොරොත්තු සහගතව සිටි කාලයකි.

ඔහු පත්වීමට  පෙර යුඇන්පී  ගුලාවක් වූ අපේ දෙපාර්තමේන්තුව    තුල   නව නායක මහින්ද වෙනුවෙන් හඬක් නැගුවේ  මාත්  තව එක කථිකාචාර්ය වරයෙකුත් පමණි.

විශේෂයෙන් අපේ මහාචාර්ය තුමිය  සහ අනෙකුත් කථිකාචාර්ය වරියන්   සියල්ලෝම  යුඇන්පී අදහස් දැරූ අය වූහ.

අප දෙදනාම  ටිකක්  ප්‍රගතිශීලි අදහස් ඇති අය බව   අධ්‍යන  මෙන්ම  අනධ්‍යන කාර්ය මණ්ඩලයද  හොඳින් දැන  සිටියහ.

 හේතුව මහින්ද  රාජපක්ෂගේ  ගුණ වර්ණනා  කරමින්  සිටි අපි ඔහු ජනාධිපති කීරීමට  සහය වන ලෙස හැකි සෑම  අවස්ථාවකම   ඔවුන්ගෙන් ඉල්ලා  සිටීමයි.

දහවල් ආහාරය  ගන්නා වෙලාව  අධ්‍යන කාර්ය මණ්ඩලය ඇල්ලීමට වෙන් කරගත් අප  පියතිලකලා ඇතුළු අනධ්‍යන කාර්ය මණ්ඩලය ඇල්ලුවේ  ප්‍රයෝගික පංති හෝ  ටියුට් එකක් සුදානම් කිරීම වැනි වෙලාවකයි.

"කවිඳුලා  සංජිව   ලා  ඉතින්  1989  කලබල  කාලේ  කට්ටියනේ.


ඒකනේ  තමන් ගේ යාළුවන් වෙනුවෙන් කතා කරපු මහින්ද ට කැමති. "

කියමින්  සුරේඛා  වැනි කථිකාචාර්ය වරියන් අප  මහින්ද පසුපස යෑම  සිනහවට   ලක් කළහ.

සුරේඛා කෙලින්ම නොකිව්වද ඈ එයින් අදහස් කලේ  සංජිව සහ මම ජ.වී. පෙ. හිතවාදී කථිකාචාර්යවරුන් දෙදෙනෙක් බවයි .

ඇත්තටම අප ජ.වී. පෙ. ට ලැදි එහෙත් ඒ කාලයේ හැටියට මහින්ද රාජ්‍ය නායකයා විය යුතුයි යන බලාපොරොත්තුවෙන් සිටි දෙදෙනෙකි.


"අපි නුවර අපි නම් ඩොක්ටර්  ඉතින් කැපුවත්  කොළ තමයි"

එසේ කිවේ චිරාත් කාලයක් දෙපාර්තමේන්තු ලේඛන වැඩ කල සුරංගනී  සහ  පිළිමතලාවේ   නම් ටෙක්නිෂන් මහතා ඇතුළු අනධ්‍යන කාර්ය මඩුල්ලේ අයයි.

එමෙන්ම ඉරුගල්බණ්ඩාර   වැනි  අප හා සම වයසේ වූ   එහෙත් පරම්පරාවෙන් යුඇන්පී හිතවාදී වූ  කථිකාචාර්යවරු   එළිපිටම  රනිල්ගේ  ගුණ ගයමින් සිටියහ.

ඔබ අප කවුරුත් දන්නා පරිදි ඒ කාලේ නුවර  ප්‍රදේශය මෙන්ම  අපේ විශ්ව විද්‍යාලයද යුඇන්පී බලකොටුවකි.

මා හා සංජීව  වැනි අතලොස්සක් හැරෙන්නට  අප මණ්ඩපයේ  මහින්ද වෙනුවෙන්   කතා කරන්නට කිසිවෙක් නොසිටියහ.

අවසානයේ නුවරින් ලොකු චන්ද ගණනක් නොලැබුවත් දකුණෙන් සහ අපේ පළාත්වලින් සැලකිය යුතු ජයක් ලැබූ මහින්ද  රටේ ජනාධිපති වුයේය.

  මා මෙන්ම සංජිව ඇතුළු  මහින්ද වෙනුවෙන් විශ්ව විද්‍යාලයේ හඬක් නැගු පිරිසද  නව නායකත්වය  සහ රටේ අනාගතය ගැන සුභ සිහින දකින්නට ඇත.


මහා ශ්‍රමදානය සහ  ශ්‍රී. ලං. ග. ම. 






එදා  සතියේ මැද දවසකි.

මම   කොළඹ යන්නට තීරණය කලේ  ඕස්ට්‍රේලියානු  ගමනට   සුදානමක් වශයෙනි.


මතක හැටියට  මා ගියේ බ්‍රිටිෂ් කවුන්සිල්යටයි.

ඒ IELTS විභාගය  සඳහා  අයැදුම් පත් බාරදීමේ අරමුණිනි.


එදා පාන්දරම  නිම්මි සකස් කර   පොල්සම්බෝලය සමග බත් කටවල් කිහිපයක් ගිල දැමු මම කොළඹ  යන්නට පාරට බැස්සෙමි.

පුවක් බාස් , ලෙනදොර ඇතුළු අප එක්වී සකස් කල   නව මාවත  මා  මාවනැල්ල වෙත රැගෙන යයි.

නිම්මිලා ගේ ගමේ නව පිබිදීමත් නව නායකයෙක් ලැබුණු රටේ වෙන්නට යන පිබිදීමත් ගැන සිහින දකිමින් කොළඹ- නුවර පාරට ලඟාවුනෙමි.

මේ වන විටත් " රජයේ වැඩ වෙනුවෙන් අන්තිම සතේට උදව් කරන්නෙමි" යන යහපත් සිතිවිල්ල මගේ ලේ නහර සියල්ලටම  කා වැදී තිබිණි.

හැකි සෑම විටම රාජ්‍ය ආයතන සමග ගණුදෙනු කරන්නට මා සිත පොලඹ වන්නේ ඒ  රාජ්‍ය හිතකාමී සිතිවිල්ලයි.

අනාගතය ගැන සිහින දකිමින් බ්‍රිෆ් කේස යත් දකුණතින් ගෙන පාරට වී සිටියෙමි.

නුවර - කොළඹ ඒ සි. බස් කිහිපයක්ම

"සර් කොළඹ ට සිට් තියෙනවා "

කියමින් මා බස් වලට ඇදගන්නට  වළි කෑහ.

ලංගමයක්  එනකන් ඉන්නවා . මම මටම පිළිතුරු දුන්නෙමි.

රතුපාට  අලුත්ම අලුත් ලංගම බසයක්  මා අසල නතර කෙරුනේ  මගේ බලාපොරොත්තුව සෆල  කරමින්ය.

රියැදුරාට මද සිනහවක් පෑ  මම  ඔහුගේ බසයට ගොඩ  වුයෙමි.





නිවසේ සිට කොළඹ ගිය ගමනේ විශේෂයක්  නොවිය.

බසය වැඩි ප්‍රමාදයකින් තොරව මා කොළඹට රැගෙන ගියේය.

මතක හැටියට එය යටිනුවර  ඩිපෝවේ බසයකි.

අදාළ වෙලාවට බ්‍රිටිෂ් කවුන්සිලයට ගොස්  ගිය කාර්ය  අවසන් කර ගත්තෙමි.

දැන් නැවතත්  නිම්මිලා ගම බලා පිටත් වෙන වෙලාවයි.

138 බසයකට  ගොඩවූ  මා  දහවල් දොළහ පමණ වෙද්දී පිටකොටුවට   ලඟා වුයෙමි.

නැවතත් මගේ රාජ්‍ය හිතවාදී බව පුද්ගලික බස් නැවතුම පසු කර මා රැගෙන ගියේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ වෙතයි.









ඉක්මනින්  ගෙදර යෑමට අදහස් කරගෙන සිටියේ ලෙනදොර පුවක් ඇතුළු පිරිස ඒ වන විටත් අපේ පොල් සහ කෙසෙල් වගා වැඩ වල නිරත වී සිටි නිසයි.

ඔවුන් හා එකතු වී වැඩ කිරීමටත් ඒ අතර අල්ලාප සල්ලාපයේ යෙදීමටත් ඒ දිනවල  මා දැක්වුයේ දැඩි කැමැත්තකි.

බස් නැවතුමේ නුවර පෝලිම තරමක් දිග එකකි.

අළුත් ආණ්ඩුවෙන් දැමු අලුත්ම  අලුත් රතු පාට බස් නුවර -කොළඹ  දුවනා බව මේ මගීන් දනිති.

පුද්ගලික බස් මෙන් කොට- කොටා ගමන් නොකරන නිසා ඉක්මනින් ගමනාන්තයට  යන්නට ද පුළුවන.

ලංගම බස් වෙත මේ තරම් සෙනගක් එන්නට ඇත්තේ ඒ නිසා විය යුතුය.

හිස පහත්කරගෙන පෝලිම වෙත ලඟා වූ මම එයට එකතු වුයෙමි .

මතකයේ හැටියට මා එන්නට ඇත්තේ පෝලිමේ විසි - තිස් ගණන් අතරටයි.

 මේ අතර  මා ඉදිරියෙන් පෝලිමේ සිටි මැදිවියේ  වූ මහතෙක්  මා දෙස බලා  මද සිනහවක් පෑවේය.

ඒ කාලේ නිම්මි බැබළෙන්නට සෝදා ඉස්ත්රික් කර දෙන යුරෝපිය ඇඳුම හැඳ  මනාව හිස පීරා  සිටි මට ලැබී තිබුණේ    කඩවසම් තරුණයකුගේ පෙනුමකි.

එමෙන්ම අතේ රැඳී විශ්ව විද්‍යාලයෙන් දුන් බ්‍රිෆ් කේසයත්  ( මෙහි වටිනාකම  අපේ වැටුපෙන් අඩු කරගන්නා ලදී )  මා සැලකිය යුතු රැකියාවක්ද කරන්නෙක්බව පෙන්නුම් කළේය.

දකින හැම කෙනෙකුටම මුව පුරා සිනාසීමේ අපේ අම්මා ගෙන් මා ලද පුරුද්ද   විසින් අදාළ මගියා හා මා අතර සතුටු සාමීචියකට මග පෑදුවේය.

මා දොස්තර වරයෙකු බවත් එමෙන්ම විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙකුද  බවත් ඒ හරහා ඔහුට සංනිවේදනය වන්නට ඇත.









අප දෙදෙනා අතර කතා බස් එක සැහෙන්න දුර ගියද  නුවරට යන බසයක් එන පාටක් නැත.

මා  බස් නැවතුමට ලඟා වී විනාඩි විස්සකට ත් වැඩිය.

සාමාන්‍යයෙන් නුවර -කොළඹ  බස් සේවය එකක් යන විට එකක් එන තරම් ඉක්මන් සේවයකී. එහෙත් මේ කියන දවසේ කිසියම් වෙනසක් සිදු වී තිබේ.

අප  සිටිනා පෝලිමේ අනෙක් පස එක එල්ලේම  ඇත්තේ  ටයිම් කීපර් කුඩුවයි.

එහි සිටි නිල් පැහැති කමිසයක් සහ කළු කලිසමක් හැඳි  මිනිසෙක් වරින් වර අපේ පෝලිම දිගුවන දෙස බලමින් සිනාසෙයි.

පොතේ හැටියට නම්  ඒ වේලා සටහන්කරු  හෙවත් ටයිම් කීපර් මහතාය.

ඒ නිසාම  අපේ  බස්  එකේ ප්‍රමාදයට හේතුව ඔහු දැනගෙන සිටිය යුතුය.

අප  බස් නැවතුමේ සිටිනා අතර මා නෙත ගැටුණු තවත් දසුනකි.

රතු කමිස සහ කළු කලිසම් හැඳි තරුණ පිරිසක්  බස් නැවතුමේ වට පිටාවේ ඇති කලි කසල ඉවත් කරමින්  , අසල ඇති කොට්ටම්ම්බා  අතු කපමින්  සිටිනා දසුනයි ඒ .

මමත් මගේ හිතවත් මගියාත් වරින් වර ටයිම් කීපර් දෙස බැලුවේ බස් එකක් එන පාටක් නැති බැවිණි.

එක් වරම  බස් නැවතුමේ ඇති   මහජන ඇමතුම් යන්ත්‍රය ක්‍රියාත්මක විය.

"කාරුණික නිවේදනයයි... 

අද දින ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ  රියදුරු සංගමය විසින් පිටකොටුව බස් නැවතුම පිරිසිදු කිරීමේ මහා ශ්‍රමදාන යක් පැවැත්වෙයි"

තරමක නිහැඬියාවකී.

ඒ අතර  මගී ජනයා අර රතු කමිස කාරයෝ කවුරුන්දැයි හඳුනාගනිති.

දැන්  නිවේදනයේ ඉතිරි කොටස කියවෙයි.

"අද දින කොළඹ සිට නුවර බලා යන බස් රථවල ප්‍රමාද වීමක් තිබේ . 

ඒ පිලිබඳ අපගේ බලවත් කණගාටුව.. ස්තුතියි ඔබ සැමට සුභ ගමන් !!"



නිවේදනයට සවන් යොමුකල මා නෙත අහම්බයෙන් මෙන් නතර වුයේ  දහඩියෙන් තෙත්වී කළු ගැසුණු මුහුණින් අප දෙස බලා සිනාසෙන නිල් පාට කමිස කාරයෙක් ලඟයි.

ඒ අර වේලා සටහන් කරුවාය.

ඇත්තටම මේ නිවේදනය කරන්නේ එතුමාය.

හැබැයි නිවේනදය නිකුත් කර අවසන් වූ ඔහුගේ  සිනහවේ කිසියම් හාස්‍ය ජනක ගතියක් තිබුනා කිවොත් නිවැරදිය.

පළමු නිවේදනය නිමවී තවත් පැය භාගයක් පමණ ගතවන්නට ඇත.

 තවමත් නුවර බසයක් එන ලකුණක් වත් නැත.


 අපට ඉදිරියෙන් පෝලිමේ සිටි විස්සක්- තිහක් වූ මගෙන් ගෙන දැන් ඉතිරිව ඇත්තේ දෙදෙනෙක් පමණි.

අපේ පිටුපසින් සිටි පිරිස්ද   පුද්ගලික බස් සොයාගෙන ගොසිණි.

අප දෙදෙනාත් තව කිහිප දෙනෙකුත් හැරෙන්නට පෝලිම දැන් හොඳටම අඩු වී තිබේ.

නැවතත්   වේලා සටහන් කරු මයික්‍රෆෝනය  අතට ගනියි.

"කරුණාවෙන් සවන් දෙන්න . අද දින කොළඹ - නුවර බස් සේවය ප්‍රමාද බව දන්වන්න කැමතියි.  

ඒ නිසා මගීන්ට සිදුවන අපහසුව ගැන අපේ බලවත් කණගාටුව "

නැවතත්  අඟුරු ගොඩක් මැද ඇති පොල් කෑල්ලක් වැනි මුහුණක්  ටයිම් කීපර් කුඩුවේ සිට අප දෙස බලයි.

දැන් නිවේදනයේ ඉතිරි හරියයි .

"අද දින පිටකොටුව  බස් නැවතුම් පොලේ මහා  ශ්‍රමදානයක් පැවැත්වේ.   

එය සිදු කෙරෙන්නේ  ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ලං. ග. ම . සේවකයින්ගේ   සහභාගිත්වයෙනි"

අප දෙස  උපහාසාත්මක බැල්මක් ද ඔහු වෙතින් එල්ල වනු මා හොඳින් නිරික්ෂණය කල දෙයකි. 



මේ අතර අප දෙදෙනාත් කිහිප දෙනෙකුත් හැර පෝලිමට එන බොහෝ දෙනෙක් ටික වෙලාවකින් පසු   පුද්ගලික  බස් නැවතුම වෙත ඇදී යති. 

ඒ නිකම්ම නොව 

"අළුත් ආණ්ඩු තියා මොනවා ආවත් මෙයාලා නම් හැදෙන්නේ නෑ"

 කියමින් ලංගමයට  බණිමිනි .

මුලින් සඳහන් කළා වැනි නිවේදන දහයක් පහළොවක් වත් ප්‍රචාරය වන්නට ඇත. 

තවමත් නුවරට බසයක් නැත. 

මගීන්ගේ  සුව පහසුව සහ කලට වෙලාවට බස් සැපයීම තම රාජකාරිය වූ වේලා සටහන් කරු නුවර බස් නැතිවීමත්  සමගාමිව පැවැත්වෙන  ශ්‍රමදානයත් ගැන නිවේදන නිකුත් කරමින් විනෝද වෙයි.

මම මගේ හිතවත් මගියාට කතා කළෙමි.

"මහත්තයා අරයා නේද ටයිම් කීපර් ? එන්න.. අපි ගිහිල්ලා අහමු ඇයි නුවර බස් නැත්තේ කියලා "

"ඒකනේ සර් බලන්නකෝ මේ යක්කු බස් එකක් දාන්නේ නෑ . දැන් අපි මෙතනම පැය දෙකකට වැඩියි.  යමු යමු මාත් එන්නම් "

මේ වන විටත් ටයිම් කීපර් ගේ නුවරට බස් නැති වීම නිවේදනය කාරනා විසුළු කාරී ස්වභාවය නිසා මා පසුවූයේ කේන්තියෙනි.

මගේ යටි හිත කතාවේ අවස්ථා සම්බන්ධය හොඳින්ම තෙරුම් ගෙන තිබිණි.  

ශ්‍රමදානයට සභාගි වන්නෝ බොහෝ දෙනෙක් නුවර - කොළඹ බස් වල රියදුරැ , කොන්දොස්තරවරුන්  විය යුතුය.  ඔවුන් ජ. වී. පෙ සමාජිකයින් ය.   

ටයිම් කීපර් හොඳ ශ්‍රී ලංකා කාරයෙක් විය යුතුය. ඔහු මේ ශ්‍රම දානයට  කැමති නැති පාටය.  

ඒ නිසා ඔහු නුවර -කොළඹ බස් ධාවනය නවතා ඒ  බව මගීන්ට දැනෙන්නට සලස්වයි. 

අපි ටයිම් කීපර් කුඩුවට කිට්ටු කළෙමු.

"මහත්තයා ඔයා නේද ටයිම් කීපර්?  අපිට කියන්න පුළුවන්ද ඇයි නුවර යන්න බස් එකක් දාන්නේ නැත්තේ ? "
මම සාකච්චාව  ආරම්භ කලෙමි.

කිසි බරක් පතලක් නැති විසුළු මුහුණකින් අප දෙස බැලු ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

"නුවර- කොළඹ බස් වල ඩ්‍රයිවර් ලා අද ශ්‍රමදානයක් . ඒක හින්දා නුවර බස් ගෙනියන්න කෙනෙක් නෑ."

"ඉතින් මහත්තයා එහෙම කියලා හරියනවද ? අපිට නුවර යන්න බස් එකක් දාන එක ඔයාගේ රජකාරියනේ ?"

මම නැවතත් ඔහුට තම රාජකාරිය මතක් කර දුන්නෙමි. 

"මගෙන් අහන්න එපා . ශ්‍රමදාන කරන අයගෙන් අහන්න කීයටද  නුවර බස එන්නේ කියලා ?" 

ඔහු තම රාජකාරිය අප පිට පටවන්නට හදයි.

"එහෙම කියලා හරියනවද ? අපි ගෙවල් දොරවල් වලට යන්නේ නැද්ද ?"

මගේ මිතුරු මගියාද සංවාදයට එකතු වුවේය. 


"ඉතින් බස් නෑ කියලා දැන් සෙනග පිරිලා  ඉන්න එපැයි .  

එතකොට   අර අනික් කට්ටිය කොහොමද ගියේ? ඒ වගේ ඕගොල්ලන්ටත් යන්න තිබ්බනේ ? "



ටයිම් කීපර් නැවතත් තම රාජකාරිය විහිළුවකට ගෙන කතා කරන්නට විය. 

දැන් නම් මගේ සැකය හොඳටම තහවුරු වෙයි. 

මේ තම දේශපාලන පිල ගැන විතරක් සිතමින්  රාජකාරිය  පැහැර හරිනා තවත් ලංගම සේවකයෙකි.



"මේ මහත්තයා මේ ආණ්ඩු හදන්න මහන්සි වෙච්ච මිනිස්සු තමයි අපිත්.   

අපි බලාපොරොත්තු වුණේ ඔය දෙගොල්ලොම  එකතුවෙලා  මහින්දට රට ගොඩ නගන්න උදව්  කරයි කියලා . 

මෙහෙම ගියොත්  ඔයාලගේ   ආණ්ඩුවට  අබසරණයි තමයි  ඉතින් ". 

"හරි හරි අපි ඒක බලාගමුකෝ ඉස්සරහට  තවම මහින්ද මහත්තයා  ආණ්ඩුව ගත්තා විතරයිනේ?"


තවමත් මේ  ලංගම සේවකයාට තමන් සේවය හරියට නොකරොත් එහි පාඩුව ආණ්ඩුවට බව තේරුම් ගොස් නැති සෙයකි.  

ඒ නිසාමදෝ  අපට ඔලොක්කුවට මෙන් සිනාසෙයි . 

ඒ අතරම  නුවර  පාරට බසයක් දෙන පාටක් පේන්නට වත් නැත . 


පැය දෙකකටත් වඩා රජයේ ප්‍රවාහන සේවයේ බසයක් වෙනුවෙන්  බලා සිටි මගේ  ඉවසීමේ සීමාවත්  ඉක්මවා යන්නේ ඉබේටමය. 


ඔහොම  බකන් නිලාගෙන  ඉන්නවා . 

තමුසෙලාගේ ආණ්ඩුවට  හෙණ ගහයි   !!!


මා පැවසුවේ ඇතිවූ අධික කේන්තිය නිසාමය

එය ඇසු ටයිම් කීපර් බෙහෙවින් කලබල විය. 

"මොනවා එහෙම කියන්න හොඳද   මේ අලුත් ආණ්ඩුවක් ආපු ගමන් ?  

අපේ මහින්ද මහත්තයගේ ආණ්ඩුවට බනින්න ඔයා කවුද ?  "


ටයිම් කීපර් තැන  තමන් ගේ දේශපාලන ගැතිකම මොනවට ප්‍රදර්ශනය කලේ,  

තමන්ගේ ආණ්ඩුවට   හෙණ ගහයි කියූ සැණින්  ඔහු හුන් අසුනෙන් නැගිට්ටුනේය.

"මේ  මහත්තයා විශ්ව විද්‍යාල කථිකාචාර්ය තුමෙක්. එයා කියන කථාවේත් ඇත්තක් තියෙනවා  " 

අනෙක් මගියා මා කවුදැයි ටයිම් කිපර්ට හඳුන්වා දුන්නේය. 

එවිට තම සැර තරමක් බාල වේලා සටහන් කරු

"විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරු ඔහොම නරක කතා කියනවද මන් අහන්නේ?

 මේ නමෝ විත්තියෙන් වැඩ පටන් ගත්ත  ආණ්ඩුවකට? "

අප දෙදෙනා දෙසම බලමින් ඇසුවේ සාකච්චාව ආරම්භ වීමට හේතුව ඔහුගේ වරද බව සම්පුර්ණයෙන් අමතක කරමිනි.







30 comments:

  1. //අවසානයේ නුවරින් ලොකු චන්ද ගණනක් නොලැබුවත් දකුණෙන් සහ අපේ පළාත්වලින් සැලකිය යුතු ජයක් ලැබූ මහින්ද රටේ ජනාධිපති වුයේය.//

    උතුරේ ඡන්ද ටික ? හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. //උතුරේ ඡන්ද ටික ? හෙහ් හෙහ්ඒ// ඒ ගැන දන්නෝ දනිති. ඒත් "වැඩිපුරම සහ හරියටම දන්නෝ" දැන් වලපල්ලේය...

      Delete
  2. කෙනෙක්, යමක් දිහා පාක්‍ෂික ආගමික හෝ 'අපි සියල්ල​ ලාංකිකයෝ' යන මනසෙන් බැහැර, වෙන මොනම ඇසකින් බලයි නම්, ඔහු තුල ලාංකීයත්වය හීනයි, රටේ උන්නතිය ගැන ඔහුට/ඇයට සැබෑ තැකීමක් නැත. ලිපියට ආදාල නොවෙයි නම්, ලිපිය කියවීමෙන් මගේ සිතට නැගුනු දෙයක්, මෙය මගේ පෞද්ගලික අදහසක්

    ReplyDelete
  3. //කෙනෙක්, යමක් දිහා පාක්‍ෂික ආගමික හෝ 'අපි සියල්ල​ ලාංකිකයෝ' යන මනසෙන් බැහැර, වෙන මොනම ඇසකින් බලයි නම්, ඔහු තුල ලාංකීයත්වය හීනයි, රටේ උන්නතිය ගැන ඔහුට/ඇයට සැබෑ තැකීමක් නැත. ලිපියට ආදාල නොවෙයි නම්, ලිපිය කියවීමෙන් මගේ සිතට නැගුනු දෙයක්, මෙය මගේ පෞද්ගලික අදහසක්// ස්තුතියි අපේ අදහසත් ඒකමයි . රටක් ලෙස ඉදිරියට යනවා මිස පක්ෂයක් විතරක් ඉදිරියට යායුතු යැයි සිතන්නේ මෙහි කියැවෙන ටයිම් කීපර් වැනි අයයි.. ශ්‍රමදානය කරද්දී රතු කමිස කාරයෝ සිතුවේ කුමක්දැයි මා දන්නේ නැත . එමෙන්ම මෙහි සඳහන් ප්‍රධාන දේශපාලන පක්ෂ තුනේම අය සිතත්නේ කෙසේ දැයි ඒ ඒ අය දනිති . මා දන්නා පරිදි රටට දැයට හිතැති මිනිසුන් අඩු වැඩි වශයෙන් මේ පක්ෂ තුනේම සිටිති .. මගේ පෞද්ගලික අදහස වන්නේත් අපේ මිනිස්සුන්ට ( සියළුම ප්‍රදේශ වල සිටින, විවිධ ජාති ,ආගම් සහ දේශපාලන කණ්ඩායම් වලට අයත් ) හැකි සෑම අයුරකින්ම සේවයක්, උදව්වක් සහ හරිමග යන්නට මග පෙන්වීමක් හැකි සෑම විටම අප විසින් කලයුතු බවයි

    ReplyDelete
  4. me yaka kara nagga inimagata payin gahapu eka.. oka ayeth karanne e tikama thama.
    kimisima gunayak nathi awasthaawadee ballek.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. රන්සකු, කිව්වේ කවුරු ගැනදැයි පැහැදිලි නෑ.. කවුරුවුනත් උදව් කරපු අය අමතක කරපු කෙනෙක් වග පැහැදිළියි...ජයවේවා !!!

      Delete
    2. mama kiwwe MR gana .. 2005 ekata posterayak Gahanna ekek hitiye bara adde JVP, mangala , Shripathi,, wage ewun okkotama dunna wade puiruwe wadi una gaman,,

      Wimaltath kelioya eeta passé .

      issarahaatath ehema thamayi

      Delete
    3. ස්තුතියි මගේ සැකය දුරු කලාට.. //උදව් කරපු අය අමතක කරපු කෙනෙක් වග පැහැදිළියි// ...නැග්ග ඉණිමගට පයින් ගහපු කෙනෙක් ආයිත් වැටුනොත් නැගිටිනවා බොරු.. මුල අමතක නොකරන් කියන්නේ ඒකනේ..

      Delete
  5. ජනතා මුදලින් පඩි ලබන සේවකයෙකු වශයෙන් තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම ඉටු කරන්නෙ නැතුව එක එක දේශපාලන පක්ෂ ඔළුවෙ දාගෙන රැකියාව පැහැර හරින ඔය වගේ අය ඉන්නකල් කොයි ආණ්ඩුවටත් අබ සරණයි තමයි ඉතිං.

    ReplyDelete
  6. //ජනතා මුදලින් පඩි ලබන සේවකයෙකු වශයෙන් තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම ඉටු කරන්නෙ නැතුව එක එක දේශපාලන පක්ෂ ඔළුවෙ දාගෙන රැකියාව පැහැර හරින ඔය වගේ අය ඉන්නකල් කොයි ආණ්ඩුවටත් අබ සරණයි තමයි ඉතිං.// ස්තුතියි ප්‍රසන්න.. කොමෙන්ට් කරන්නන් හට දෙන සම්මානය අද දෙන්න තිබුනා නම් මම ඔබට එය නිර්දේශ කරනවා ආයිත් වතාවක්.. මේක තමයි මගේ මුළු පොස්ට් එකේ සාරාංශය .. මෙන්න මේ අදහස තමයි අපි කියවන අය ඔළුවට ගනියි කියලා බලාපොරොත්තු වෙන්නේ.. තමන්ගේ පක්ෂය කුමක් වුවත් තිබෙන ආණ්ඩුවත් එක්ක රට වෙනුවෙන් වැඩ කරන එක..

    ReplyDelete
  7. අපි නම් දේසේ හටියට වාසේ...

    ReplyDelete
    Replies
    1. දේසේ හැටියට වාසේ ... කළොත් නේද සංතෝශේ .... ස්තුතියි මාතලන් ..

      Delete
    2. හුඟක් දේශපාලකයොත් එහෙම තමයි. මේ රටේ වරප්‍රසාද වැඩියෙන්ම ලබන්නේ ඔවුන් නිසා මේ රටට (දැනට තියන විදිහේ රටට ) වැඩියෙන්ම ආදරේ ඔවුන් තමයි

      Delete
    3. //හුඟක් දේශපාලකයොත් එහෙම තමයි. මේ රටේ වරප්‍රසාද වැඩියෙන්ම ලබන්නේ ඔවුන් නිසා මේ රටට (දැනට තියන විදිහේ රටට ) වැඩියෙන්ම ආදරේ ඔවුන් තමයි// ස්තුතියි ප්‍රා ජේ. කතාව ඇත්ත.. හුඟක්දේශපාලකයොත් තමන්ගේ රාජකාරිය , "දේශපාලනය" හරියට කරනවා කරනවා වෙනුවට මල ගෙවල් , මගුල් ගෙවල් , ආගමික සිද්ධස්ථාන වඳිමින් ඉන්නවා වගෙයි නේද?

      Delete
  8. බස් එකක් එනතුරු පැය ගණනක් බකං නිලා සිටීම මෝඩකමකි.


    ReplyDelete
    Replies
    1. //බස් එකක් එනතුරු පැය ගණනක් බකං නිලා සිටීම මෝඩකමකි.// එය ඔබේ අදහසයි. මම බස් එකක් එනතුරු බලා සිටියේ ඇයි දැයි පැහැදිලව කියාතිබේ. අළුත පත්වූ රජයට අන්තිම ශතය දක්වා සහය වීමක් ලෙස ( ඒ කාලේ මට හිතුන හැටියට) රජයේ ආයතනයකටම මුදල් දෙන්නයි අවශ්‍ය වුණේ..

      Delete
  9. ඔබේ මේ කතාවේ ටයිම්කීපර්ට වරද පටවන්නේ ඇයි කියා මට නම් නොතේරේ. ඔය කියන පරිදි අදාල ශ්‍රමදානය සංවිධානය කළ ජේවීපීකාර ඩ්‍රැයිවර්ලා එය කළ යුතුව තිබුණේ තමන්ගේ රාජකාරී වෙලාවේ (පඩි ලැබෙන) ද, නැති නම් රාජකාරිය හමාර කර තමන් ගේ නිවාඩු වේලාවේද?

    තරිදු කළාය කියන ගම නැගුම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවය කළ යූතු වේලාවේ දී, ඒ වැඩ අත පසු කරළා ද කළේ, නැති නම්, ඔබේ විවේක වේලාවේ ද?

    ReplyDelete
    Replies
    1. මම විශ්ව විද්‍යාලයේ සේවයෙන් නිවාඩු ලබාගෙනයි සිටියේ..

      Delete
    2. ස්තුතියි රසික.. ඔබ ඇතුළු බොහෝ අයට එක් එක් පක්ෂ මතවාද හෝ එක් එක් පක්ෂ සමග අමනාප කම් තිබිය හැකිය . එවිට වැරද්ද වැඩිපුර පෙනෙන්නේ තමන් වැරදි යැයි සිතන අයගේයි. මෙතැන ටයිම් කීපර් ජනු ජේවිපිකාර හෝ ඕනෑම ආකාරයක බස්ඩ්‍ ඩ්‍රයිවර්ලා හසුරුවන්නාය. එය ඔහුගේ රාජකාරියයි. ඒ නිසයි ඔහුගේ වැරද්දක් මම දැක්කේ..
      ශ්‍රමදානය සංවිධානය කලේ හෝ ඊට අනුමැතිය දුන්නේ මගින් වන අප නොවන බව ඔබට පැහැදිලි ඇතැයි සිතමි..

      Delete
    3. මම හිතුවා මුල් අකුරු ලැපටුනා කියලා...හි. හි..

      Delete
    4. මට කිසිදු පක්‍ෂයක් හෝ කණ්ඩායමක් සමග අමනාපයක් නැත. මා දන්නා පරිදි දොස්තරලා පවා ස්ට්‍රයික් කරන විට දී වුව ඕපීඩිය වසා දැම්මද, හදිසි අනතුරු අංශයේ සේවය කරති.

      මේ ස්ට්‍රයික් එකක් නොවේ. ශ්‍රමදානයක් යැයි පැවසෙන නමුත් මට පෙනෙන හැටියට ඩ්‍රැයිවර් බඩිය ලබමින් ඊට වඩා අඩු පඩියකට ලබා ගත හැකි පිරිසිදු කිරීම් වැඩක යෙදීමේ සේවා අපයෝජනයකි. ඉන් මගීන්ට සිදුවෙන හිරිහැරය ගැන ජවිපෙ පිරිසට හැඟීමක් තිබී නැහැ වගෙයි. මට 1989 ජූලි බස් වැඩ වර්ජනය සිහිවුණා!

      Delete
    5. //ශ්‍රමදානයක් යැයි පැවසෙන නමුත් මට පෙනෙන හැටියට ඩ්‍රැයිවර් බඩිය ලබමින් ඊට වඩා අඩු පඩියකට ලබා ගත හැකි පිරිසිදු කිරීම් වැඩක යෙදීමේ සේවා අපයෝජනයකි. ඉන් මගීන්ට සිදුවෙන හිරිහැරය ගැන ජවිපෙ පිරිසට හැඟීමක් තිබී නැහැ වගෙයි.// එය සිහිකර දීම සහ ඒ ගැන සාකච්චා කර මගීන්ට සේවය සැලසීමේ ක්‍රමයක් සකස් කර තබන්නයි තිබුණේ ලංගමයේ අයට මම අත්දැකපු දේ තමයි ලියවුනේ .. අනෙක් කණ්ඩායම ශ්‍රමදාන කරන නිසා උඹලට බස් නෑ වැනි අදහසක් කීයමින් ඔලොක්කුවට සිනාසුන නිසයි අපි ටයිම් කීපර් ගේ වැරද්දක් දුටුවේ..

      Delete
  10. සීටීබී වැඩකරපු කෙනෙක් කාලයක් ඇවිත් ගස්ලබ්බලාගෙ සයිට් එකේ ගස්ලබ්බත් එක්ක වැඩ කලා... ඔහු කලේ කයිවාරු ගැසීම,කෙටවීම,කේලාම් කීම කරමින් වැඩ මඟ හැරීම සහ කෙසේ හෝ දිවාකාලයේ මත්පැන් පානය කිරීමයි.මහා කන්දොස්කිරියාවක් සහ වාතයක් උනා අන්තිමට.සේවක අයිතිවාසිකම් කටපාඩම් කරන වගකීම් අමතක කරන නිකමෙක්.ඔහුගේ කතා අනුව සීටීබියේ සේවකයින් 3/4ක් ඉවත් කලත් මේ තියන මට්ටමට වඩා හොඳින් සේවය සැපයිය හැකියි.
    පෙට්‍රෝලියම් එකේ පුහුණුව ලබන්න අනුයුක්තවූ මිතුරෙක් සති කීපයකින් තම පුහුණු ආයතනය වෙනස් කරගත්තා හැමදාම දවල්ට බොන්න බැහැයි කියලා.
    ඔන්න ආයතන වල හැටි.
    ජයවේවා..!!

    ReplyDelete
  11. ස්තුතියි ගස්.. //ඔහුගේ කතා අනුව සීටීබියේ සේවකයින් 3/4ක් ඉවත් කලත් මේ තියන මට්ටමට වඩා හොඳින් සේවය සැපයිය හැකියි.// මේක සම්පුර්න ඇත්ත කතාවක් තමයි. ලංගම, විදුලි බල මණ්ඩලය, රෝහල් වල කම්කරු රැකියා වැනි දේවල් ඇමති වරු මාරුවෙන මාරුවෙන වාරයක් පාසා රස්සා ලබා දෙන තැන් බවට පත්වෙලා තියෙන්නේ ඒ නිසා ඒ තැන්වල අතිරික්ත සේවකයින් සිටීම පුදුමයට කාරණයක් නෙවෙයි.. මේ අයත් එයාලගේ නෑදෑයින් හැමෝමත් මැරෙන තුරුම රස්සාව දුන් මන්ත්‍රී තුමාට චන්දෙ දෙන නිසා එයාලටත් සතුටුයි. රටක් හැටියට රටේ හැමෝටම මේ නිකන් පඩි ලබන්නන්ගේ බර දරන්න වෙනවා හැබැයි. එවැනි සේවකයින් සමහරක් රාජකාරි වෙලාවේ ත්‍රී විල් දිවීම වැනි වැඩ කරනවා.. අර බස් රියදුරන් පඩි ලබමින් ශ්‍රමදාන කිරීම වගේම මේ වැඩත් හරි නැති වැඩ තමයි...

    ReplyDelete
  12. එතන තනිකරම අපේ රටේ ජාතිකභාවය හෙවත් කුහක කමනෙ මතුවෙලා තියෙන්නෙ. "අන්න අරුං බස්ටෑන්ඩෙකේ ශ්‍රමදානයක්" කියනවා. ආයි "බස් ධාවනය කරන්න විදිහක් නෑ" කියනවා. මිනිස්සුන්ට ඒ දෙක සම්බන්ධ කරන්න පාර කපලා දෙනවා. මට තියෙන ප්‍රශ්ණේ නුවර පාරෙ දුවන බස්වල සේවකයො සේරම ජවිපෙද? යූඇන්පී, සන්ධානෙ අය හිටියෙම නැද්ද? මං හිටියනං ඕකට දෙකක් කතා කරන්නෙ ඩිපෝ අධිකාරිට. ඔය වගේ තප්පුලන හරක් නිසා තමයි මහින්ද මහත්තයා ඔය තරං ඉක්මනට දොට්ට විසික් වුනේ. අන්තිමට අබත් සරණ වුනේ නෑ. පිටුපෑවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුරංග ..//එතන තනිකරම අපේ රටේ ජාතිකභාවය හෙවත් කුහක කමනෙ මතුවෙලා තියෙන්නෙ. "අන්න අරුං බස්ටෑන්ඩෙකේ ශ්‍රමදානයක්" කියනවා. ආයි "බස් ධාවනය කරන්න විදිහක් නෑ" කියනවා. මිනිස්සුන්ට ඒ දෙක සම්බන්ධ කරන්න පාර කපලා දෙනවා// හරියටම හරි මටත් එදා තේරුණේ අර ටයිම් කීපර් එහෙම අදහසකින් වැඩ කරනවා කියලා තමයි.. මේක ඇත්තටම අපේ රටේ "ජාතිකභාවය" බව මෙහෙ ඉන්න සමහර ශ්‍රී ලාංකිකයින් තුලිනුත් (සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව) දකින්න පුළුවන්.. //නුවර පාරෙ දුවන බස්වල සේවකයො සේරම ජවිපෙද? යූඇන්පී, සන්ධානෙ අය හිටියෙම නැද්ද? // මේ ප්‍රශ්නෙම තමයි මටත් ආවේ.. හැබැයි වෙන්නත් පුළුවන් ඒ දවස් වල නුවර බස් දිව්වේ ගොඩක් තරුණ අය.. එතකොට ජවිපෙත් පහරි ජනප්‍රියයි නේ.. 2005- 2006 ඔය දැන් කැඩිලා තියෙන කල්ලි ( මහින්දත් සම්බන්ධයි මේ කැඩීමට මන් හිතන්නේ ) ඒ කාලේ එකටනේ හිටියේ..ඇත්ත.. මේ වගේ තපුල්ලන හරක් ඉන්නා ඕනෑම කණ්ඩායමක නායකයාට අබ වත් සරණ වෙන්නේ නෑ අන්තිමට ..ජ.වී. පෙ. , යුඇන්පී අයට වුනත් වෙන්න පුළුවන් දෙයක්.. පහළ සාමාජිකයෝ ජනහිතවාදී වෙලා තමන්ගේ සේවය හරියට කරනවා නම් ඒ වගේ ව්‍යාපාර වල නායකයෝ තව තව සරණ වල් ලබනවා... මුළු ජවිපෙ කෙසේ වෙතත් බදුල්ලේ සමන්ත සහ ඔහු වටා මෙවැනි ධනාත්මක රැල්ලක් අපට පෙනෙනවා.. පාක්ෂිකයින්ට හරිදේ කියාදීම ඒ ඒ පක්ෂයට මෙන්ම.. අවසානයේ රටටම හොඳක් වෙන දෙයක්...

      Delete
    2. ඔය "අබසරණයි !!" කතාව අපේ අම්මා ඉස්සර අපිට කියනවා.. එයාගේ අපුච්චා ත් ( අපේ මුත්තා) ත් කියනවා . පියාගෙන් දියණියට ඒ හරහා මුණුබුරාට.. ගලගොඩඅත්තේ හිමි තමයි මෑතකදී ඔය යෙදුම ජනප්‍රිය කලේ...

      Delete
  13. කවිඳුගේ මම කැමති ගුණයක් තමයි අතීත මතක සටහන් ලියද්දී පුළුවන්තරම් අවංක වීම . ඒ කාලේ හිතපු විදිහයි දැන් හිතන විදිහයි වෙනසක් තයෙනවා හැමෝගෙම. ඒ නිසා අතීත දේශපාලන කතා හරි ජීවිත කතා ලියද්දී බොහෝ දෙනෙක් ල්යන්නේ දැන් හිතන විදිහට ඒ කාලෙත් හිතුව වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තිලකේ අය්යා.. //ඒ කාලේ හිතපු විදිහයි දැන් හිතන විදිහයි වෙනසක් තයෙනවා හැමෝගෙම. ඒ නිසා අතීත දේශපාලන කතා හරි ජීවිත කතා ලියද්දී බොහෝ දෙනෙක් ල්යන්නේ දැන් හිතන විදිහට ඒ කාලෙත් හිතුව වගේ// ඔව් ඔව් අපේ ගොඩක් දෙනෙක් අළුතින් චරිත මවලා තමයි ලියන්නේ.. ඒ කියන්නේ තමන් කවදාවත් වැරදි නොකළ හෝ වැරදි වචන පාවිච්චි නොකළ "බෝ පැල " වගේ.. මිනිහෙකු අත්දැකීම්. අධ්‍යාපනය හරහා සම්පුර්ණයෙන් වෙනස් වෙන්න පුළුවන් කාලයත් සමග.. අපේ කතා කියවන අය ඒ පැත්ත හිතයි කියලා තමයි ලියන්නේ... ඒත් සමහරු නගන ප්‍රශ්න අනුව හිතෙන්නේ වෙන දෙයක්.. "මේ අවංක ලිවිම" එයාලාට තේරෙනවා අඩුයි..

      Delete