Thursday, 3 May 2018

මේ එලවළු ලාභ කාලේ.. වැඩිපුර එලවළු කමු රාලේ.. (බර ,බඩ අඩු කරගන්නේ කොහොමද?)



වෛද්‍යවරුන් විදිහට අප සැම දෙනාම අපේ ලෙඩ්ඩුන්ට කියන දෙයක් තමයි
1. ඔබේ බර අඩු කරගන්න නම් දවසකට අඩුම ගානේ පැය භාගයක් හෘදස්පන්ධනය වැඩි වෙන ලෙස ව්‍යායාම කරන්න (දිවීම, බයිසිකල් පැදීම වේගයෙන් ඇවිදීම වාගේ)
2.ඔබේ ආහාරයේ ඇති කාබෝහයිඩ්‍රෙට් ප්‍රමාණය අඩු කරන්න (බත්, පාන්,පීට්සා වගේ කෑම ප්‍රමාණය ) අඩු කරන්න
කියලා කියන එක.
ඒත් මේ වැඩේ අපිම කරන්න ගියාම තමයි රඟේ තේරෙන්නේ. පසු ගිය මාස තුනක කාලයක් මේ විදිහට බර/බඩ අඩු කරගන්න ගිහින් මම ඉගෙන ගත් දේ මේකයි. වැඩේ කරන්න පුළුවන් ලේසියෙන්ම. මම පහුගිය මාස තුන ඇතුලත කිලෝ පහක් අඩු කරගත්තේ ඒ විදිහට
1. හැමදාම හෝ අඩුම ගානේ සතිය ට දවස් පහක් කඳු නැගීම , බයිසිකල් පැදීම , ශීතල දවසක නම් ට්‍රෙඩ් මිල් එකේ දිවීම හෝ මේ දවස්වල වැඩි පුරම කරන්නාවාගේ වේගයෙන් ඇවිදීම කරා.
2. කෑම වේලකට ගන්නා කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ( මම බත්ගුල්ලෙකුගේ නිසා බත් ප්‍රමාණය) පිඟානේ මුළු ප්‍රමාණයෙන් තුනෙන් එකකට සීමා කරා. ඉතිරි හරිය එලවළු සහ මස්,මාළු, සැමන්, බිත්තර වැනි ප්‍රෝටීන් වලින් පිරෙව්වා.
වැඩේ සාර්ථකයි. 
ලංකාවේ එලවළු ගණන් අඩු කාලේ මේ ක්‍රමේ අත්හදා බලන්න. අත්දුටුවයි , සත්‍යයි. ප්‍රතිඵල සැණෙකින්..

Wednesday, 11 April 2018

ටිප් එක




"මෙයාට ඉතිං කොහේ ගියත් සත්ත්ව කරුණාව වැඩියිනේ? ඒ මනුස්සයා කලේ එයාගේ රස්සාව"

"ඒ වුණාට බලන්න කෝ ඒ ළමයා හරි උනන්දුවෙන් කිසිම පැකිලීමක් වාරාවක්  නැතිව, ඔක්කොම වැඩ තනියෙන් කරන්න බෑ වගේ හැඟීමක් නැතිව  අපට සලකපු හැටි? ...... මම නම් හරි ආසයි එහෙම හිතලා වැඩ කරන අයට.."

මේ සාකච්චාව ඇතිවුණේ අපේ නෝනයි මායි අතර  පසුගිය පාසැල් නිවාඩු කාලේ දවසක.

අපි ඒ නිවාඩුවට තස්මේනියාවේ සංචාරයකට ඇවිත් හිටියේ.

කතාවට අදාල සිද්ධිය ඉතා කුඩා එකක් වුණත් ඔබ අප සැමට  සිතන්නට යමක් එහි ඇති නිසා කියන්න ඕනි කියලා හිතුවා.

මේ වෙනකොට අපි හිටියේ තස්මේනියාවේ උල්වස්ටර්න්  කියන නගරයේ.

ඊට පසුදා උදෙන්ම මෙල්බන් බලා පිටත්වන ස්පිරිට් ඔෆ් තස්මේනියා ෆෙරී එකේ ආපහු එන්න එන ගමනේ.

මොටෙල් එකක නැවතිලා ඉන්න අතරේ  රාත්‍රී කෑම ගන්න තැනක් හොයමින් ඇවිදින ගමන් .

"මෙහේ ශ්‍රී ලන්කන් හරි ඉන්දියන් හරි රෙස්ටූරන්ට් එකක් නැද්ද දන්නේ නෑ. "

කියමින් මම නිම්මි සහ සුපුන් සමඟ නගරයේ වීදී දිගේ ඇවිදිනවා.

"තාත්තා අපි යමු චයිනීස් එකකට "

සුපුන් තමන්ගේ ප්‍රියතම කෑම චයිනීස් නුඩ්ල්ස් හෝ ෆ්‍රයිඩ් රයිස් ගැන හිතමින්ද කොහෙදෝ මට චයිනීස් කඩ ගැන කියනවා.

"මෙන්න මෙයාට ඉතිං අර ඩිම් සිම් සූප් එකයි , නුඩ්ල්ස් එකයි ගැන මතක් වෙලා අරබලන්න කියන කොටත් තොලකට ලෙවකනවා මෙයා" නිම්මී අපේ පුත්‍රයා ගේ චයිනීස් කෑමට ඇති ලොල්බව මට නැවතත් මතක් කර දුන්නා.

"හරි හරි ඊලඟට අහුවෙන චයිනීස් එකට යමු එහෙනම්  ලංකාවේ වගේමයි මෙහෙත් චීනේවත් නැතිව ඇති මෙච්චර චයිනීස් රෙස්ටුරන්ට්ස්"

පුතා විතරක් නෙවෙයි අම්මත් ප්‍රයිඩ් රයිස් වගේ කෑම ගන්න කැමති බව දන්නා මම ඒ අදහසට එකඟ වුණා.

ඔහොම කතාකර කර යද්දී පාර අයිනේ චයිනීස් කඩයක් දැකපු අපේ සුපුන් කඩිමුඩියේ ඒ පැත්තට ඇදුනා. ඒ පිටිපස්සෙන් අපි දෙන්නත් ඒ භෝජනශාලාව වෙත ඇදුනේ ඉබේටමයි.

රෙස්ටුරන්ට් එක චයිනීස් එකක් වුවත් එයට ගොඩවදින අමුත්තන් පිළිගන්නටත් ඔවුන් හට රාත්‍රී ආහාරයට ගත හැකි දේවල් අඩංගු මෙනු පත දෙන්නටත් සිටියේ  සුදු ජාතික තරුණියක්

"කෑම මෙහෙදි අර ගන්නද ? එහෙම නැත්නම් අරගෙන යන්නද? "


අපව පිළිගනිමින් කලමණාකාරි මේසයේ සිටි ඒ සුදු  තරුණිය ඇසුවා.

"අපි මෙහෙදිම කෑම ගන්නවා ."

 ඉදිරියට පැනපු සුපුන් උත්තර දුන්නා.

අලංකාරව මේස රෙදි ආදිය දමා සකසා තිබු මේසයක් වෙත අප කැඳවා ගෙන ගියේ ඒ  තරුණ කළමනාකාරිනිය විසින්මයි.

ලා කොල පැහැති අත් දිග කමිසයකින් සහ කළු කලිසමකින් සැරසී සිටි ඇය වෙතින් දිස්වූයේ දඟකාර ඔසී තරුණියකගේ පෙනුමට වඩා අපට හුරු පුරුදු ලාංකික තරුණියකගේ හැඩරුවක්.

ඒ නිසාමදෝ ඇය කරන කියන දේවල් දෙස ඉතා උවමනාවෙන් බලා සිටින්නට අප තිදෙනාම පෙළඹුණා කිව්වොත් නිවැරදියි.

අප යන විටත් එහි මේස කිහිපයකම රාත්‍රි ආහාරය ගන්නට එහි පැමිණි කණ්ඩායම් දක්නට ලැබුණා. ටික වෙලාවකින් අප සිටි මේසය වෙත පැමිණි ඇය අප තිදෙනාට වතුර වීදුරු තුනක් සහ වතුර බෝතලයක් ලබා දුන්නා .

නිම්මී සහ සුපුන් මෙනූ එකේ අකුරක් නෑර සාකච්චා කරන අතර වතුර වීදුරුවක් තොලගාමින් මම වටපිටාව දෙස නෙත් යොමුකලා.

අපේ කතානායිකාව ඉතා හුරුබුහුටි කඩිසර කෙනෙක් බව වටහා ගන්නට  මට ගතවූයේ ඉතාම සුලු වේලාවක්.

රෙස්ටූරන්ට් එක ඇතුලේ සිදුවන සියලු කටයුතු දෙස හොඳින් බලා සිටි මට වරෙක ඇය  ටේක් අවේ ඔඩර් එකක් දෙමින් එන දුරකතන ඇමතුමකට පිළිතුරු දෙන හැටිත්  ඒ අතර තුර කුස්සියෙන් එන සීනු හඬ දෙස සවන් යොමා සිට පිළියෙල කර අවසන් වූ කෑම අදාල මේස වෙත ගෙන එන හැටිත්   හොඳින් දැකගත හැකි වුණා.

අප මෙන්ම තවත් මේස කිහිපයකම කෑම ගන්නට පැමිණි පිරිස් රැඳී සිටියත් සියලු දෙනාටම  අදාල සත්කාර කිරිමට සිටියේ මේ තරුණිය පමණයි.

ඉතා සිනාමුසු මුහුණින් අමුත්තන්ට සංග්‍රහ කල ඈ වරෙක ඉඳුල් වූ පිඟන් ගොඩක් අත් දෙකේම රඳවා ගෙන කුස්සිය වෙත යනවා.

තවත් වරෙක කුස්සියේ සිට සකස් කර දුන් ටේක් අවේ කෑම පෙට්ටි ටිකක් අදාල පාරිභෝගිකයා වෙත ගෙන යනවා.

ඒ අතරේ අප සිටි මේස වලට පැමිණ ඒවායේ  ඇති උවමනා එපාකම් ගැන හොයනවා.


"මොනාද අනේ ඔයා ඔච්චර උවමනාවෙන් බලා ඉන්නේ ?  "

"අර බලන්නකෝ අර කෙල්ල කරන වැඩ ගොඩ?

මුළු හෝටලේම වැඩ ටික තනියම කරන්නේ එයානේ ?

අපේ එකෙක් එහෙමනම් මේ වෙනකොට එහෙන් මෙහෙන් ඇඹරෙන්න අරන් වැඩ වැඩියි කියලා."

"එහෙම තමයි මෙහේ අය වැඩ නම් වැඩ මොන රස්සව කලත් ආයි වාරාවට වැඩ නෑනේ? "

"ආ  ඔය කියන්නේ ඕගොල්ලන්ගේ වැඩ පොළේ අය ගැනනේ ?

මම ඒ වුණාට මේ ළමයාගේ මොකක් හරි විශේෂයක් දකිනවා. "

"ඒ කිව්වේ?"

"එහෙම මත් නෙමෙයි මට පෙණෙන විදිහට මේ ලමයා හරි ආශාවෙන් වගේම හරි උනන්දුවකින් වැඩ කරන කෙනෙක්.

තමන් කරන රස්සාව ගැන අභිමානයක් ඇතුව වැඩ කරන කෙනෙක්.

මම නම් හරි කැමතියි එහෙම වැඩ කරන අයට මොන රටේ , මොන ජාතියේ වුණත් මෙහෙම මිනිස්සු හින්ද තමයි ආයතන , ව්‍යාපාර වගේම පොදුවේ ගත්තම රටක් වුණත් දියුණු වෙන්නේ."

"ඔන්න ඔන්න පුතා තාත්තා කෑම කන්න ආපු තැනත් බණ කියන්න ගත්තා.

ඉස්සෙල්ලා චයිනීස් කඩ වලට එන්න බෑ කියපු මිනිහා දැන් කඩේ දාලා යන එකක් නෑ වගේ."

කතාවෙන් කතාවෙන් අපේ රාත්‍රී කෑම වේලත් සම්පුර්ණ වුණා . කට්ටිය දැන් එළියට යන්නයි ලෑස්තිය.
මම බිල ගෙවන්නම් නිම්මී වීසා කාඩ් එකත් අරන් කවුන්ටරය වෙත ගියා.

ඇය බිල ගෙව්වේත් අපේ කතානායිකාව වෙතටමයි.

මේ අතරේ සුපුන් මට යමක් පෙන්වනවා.   TIPS කියලා ලියූ වීදුරු බෝතලයක් ඇයගේ කවුන්ටරය අසල මේසයේ කොනකට වෙන්නට තියලා තිබුණා.

"මට මේකට කීයක් හරි දාන්නමයි හිතෙන්නේ"  මම කටහඬ අවදි කලා.

"හා හා මෙයාගේ සත්ත කරුණාව වැඩි වෙලා මෙන්න.

ඔන්න ඔහේ කීයක් හරි දාන්න තියෙන්නේ. "

මම මුදල් පසුම්බිය ඇද එහි තිබූ ඩොලර් දහයේ කොළයක්  බෝතලයතුලට දැම්මා.

 ඒ වෙනකොට එහි තිබුණේ ඩොලරයේ සහ ශත පණහේ කාසි කිහිපයක් පමණයි.

රෙස්ටුරන්ට් එකෙන් එළියට පැමිණි අප තිදෙනා නැවතත් අපේ වාහනය දෙසට යන ගමන්. මෙතෙක් වේලා වැඩි කතා බහක් නැතිව සිටිසුපුන් තම හඬ අවදි කලා.

"තාත්තා .... මෙහේ මිනිස්සු ටිප් එකට දෙන්නේ ඩොලරයක් හරි දෙකක් හරි.  ඔයා දහයක්ම දුන්නනේ ? "

"හරි හරි පුතා  මම ඒ ක දන්නනවා

ඒ අක්කා හරි උවමනාවෙන් වැඩ කරනවනේ .

ඒක දැකලා තමයි මට ටිකක්වැඩි පුර දෙන්න හිතුණේ".


Monday, 29 January 2018

රියැදුරු කීර්ති බණ්ඩාර මතකද?



පසුගිය ඔක්තෝබර් මාසයේ පළමුවෙනිදා හපුතලේ බෙරගල පල්ලමේදී අනතුරට පත් බස් රථය ඔබට මතකද? එහි රියැදුරු කීර්ති බණ්ඩාර මහතා බසයේ ගමන් කල සියළුම මගීන් ගේ පණ බේරාදෙන්න තමනගේ ජීවිතය කැපකලා .
ඔහු මිය ගිහින් මාස තුනක් ගතවුණේ ජනවාරි මාසේ පළමුවෙනිදා . ඒ වෙනුවෙන් දානමය පිංකමක් ඔහුගේ ඌව කොස්ගම නිවසේදී පැවැත්වුණා.

කීර්ති ගේ පාසැල් යන වයසේ සිටින දරු දෙදෙනා ( පුතා මෙවර අපොස සා. පෙළ ලියනවා , දුව දෙක වසරේ ) වෙනුවෙන් උපකාර කරන්නැයි කියා මා ලියූ බ්ලොග් ලිපියට සැලකිය යුතු ප්‍රතිචාරයක්  ලැබුණා ( කීර්තිගෙ බිරිඳ විජය නිල්මිණි මහත්මියගේ  ගිණුමට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් එක් කර තිබුණා අපේ හිතවතුන් විසින්) .

ඔහු තම නිවස ගොඩ නගන්නට ගත් බැංකු ණයක් තිබෙනවා රුපියල් ලක්ෂ අටක  එහි මාසික වාරිකය රුපියල් 16000 ක් . නිල්මිණි මහත්මිය අප එකතුකර දුන් මුදලෙන් රුපියල් 50000 ක් ඒ ණය පියවීමට යොදාගෙන තිබෙනවා.  ඉතිරි මුදල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට යොදාගන්නා අතරේ.

මෙතෙක් කීර්ති සිදු කල පරාර්තකාමි ක්‍රියාව අගය කරනු වස් සුළු හෝ උදව්වක් කල නොහැකිවූ ඔබටයි මේ අවස්ථාව.

බැංකු ණය වාරියකය ගෙවන්නට නිල්මිණි මහත්මියට සහයවෙමු. පහත සඳහන් බැංකු ගිණුමට මුදල් බැර කරලා..


ගිණුමේ නම:  T.M. P.W. Nilmini Tennakoon


බැංකු ශාඛාව: ලංකා බැංකුව, හල්දුම්මුල්ල


ගිණුම් අංකය: 81720917

ඌව කොස්ගම කියන්නේ දුෂ්කර ගම්මානයක්  . එහි සිට බදුල්ල-කොළඹ පාරට කිලෝමීටර් පහක් පමණ දුරයි. කීර්තිගේ මරණයෙන් පසු ගමට ගිය බස් එක නැවතිලා. දැන් ගමේ අය ( නිල්මිණි  මහත්මියද ඇතුලුව) කොහේ හරි යන්න නම් මේ කිලෝමීටර් පහ ත්‍රී වීලර් එකක යායුතුයි රුපියල් 350 ක් ගෙවලා . ඒ නිසා අත්‍යවශ්‍ය කාරණයකට හැර කෙනෙක් පාරට එන්නේ නෑ

Friday, 26 January 2018

බණ්ඩාරවෙල පූනාගලින් බිහිවු සැබෑ මානවහිතවාදියා සෙල්වා ( කිට්නන් සෙල්වරාජ්)



සෙල්වා හෙවත් කිට්නන් සෙල්වරාජ් අපට හමුවන්නේ පසුගිය වතාවේ අප ලංකාවට පැමිණ සිටි අතරයි.  බදුල්ලේ පැවති පොත් බෙදා දීමේ උත්සවයකදී මා අසලට පැමිණි සෙල්වා ඊට දින කිහිපයකට පෙර අප දෙදෙනා දුරකතනයෙන්  සම්බන්ධ වූ බව මට මතක් කර දුන්නේය . ඒ නිම්මිලා ගේ අම්මාගේ උදව්වට ඔහු දන්නා කෙනෙක් සම්බන්ධ කරදීම සම්බන්ධයෙන් සිදු කල දුරකතන සංවාදයක් ගැනයි.

ආරෝහ පරිණාහ දේහයකින් යුත්  සෙල්වා කොයි වෙලේත් සිනහ මුසු මුහුණින් සිටින  අයෙකි.   සෙල්වා යමෙක් හා කතා කල සැණින්  ඔහු හෝ ඇය තම වසඟයට ගන්නට සමත්කම් ඇත්තෙකි.

ඌව පළාතේ සිටින මෙවැනිම තවත් චරිතයක් වන්නේ අප හිත මිතුරු සමන්ත විද්‍යරත්නයන් බව මම ඔබට මෙයට කලින් පවසා ඇත්තෙමි.

සෙල්වා හඳුන්වා දිය හැකි අනෙක් හොඳම ක්‍රමය වන්නේ  සමන්ත විද්‍යාරත්නගේ ද්‍රවිඩ භාෂාව කතාකරන අනුවර්තනයක් ලෙසයි.
ඌවේ සිංහල කතා කරන පිරිස අතර සමන්තට ඇති ලෙංගතු කම  හා කැමැත්තට සමාන ලෙංගතු කමක් ඌවේ ද්‍රවිඩ භාෂාව කතා කරන පිරිස අතර සෙල්වාට හිමිව තිබේ.

ඒ ඔහුගේ ප්‍රියමනාප භාවයත්, චතුර කථිකත්වයත්  අසා සිටින්නන්ගේ සිත් ඇදබැඳ තබා ගනිමින් තම පණිවිඩය ඔවුන් වෙත ගෙනයන්නට ඇති හැකියාවත් නිසාය.

සෙල්වා ගැන මේ මෑතක අප ඇසූ කතා දෙකකින් ඔහුගේ මේ ගුණාංග පිලිබඳ  ඔබ අපට හොඳ අදහසක් ලබාගත හැකියැයි සිතුණි.


පළමු කතාව:

 මේ වනවිට බණ්ඩාරවෙල අපේ ගම් ප්‍රදේශයේ නිතරම කතාවෙන මාතෘකාවක් තිබේ . ඒ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සහ ඒ හේතුවෙන් බණ්ඩාරවෙල සහ අවට ගම්මාන වලට  සිදු වී ඇති අලාභහානි ගැනයි.

ව්‍යාපෘතියෙන් පළාතට සිදුවිය හැකි හානි ගැන ජනතාව දැනුවත් කල කණ්ඩායමට සෙල්වාද ඇතුලත් වී සිටින්නේ ඔහු හා සමන්ත විද්‍යාරත්නයන්  එකම වර්ගයේ අදහස් දරන්නන්ද වන නිසයි.

සමන්තලා සිංහල බසින් ජනතාව දැනුවත් කරද්දී උමා ඔයේ ඇති අනිසි බලපෑම් ගැන මුස්ලිම් සහ ද්‍රවිඩ ජනතාව දැනුවත් කිරීමට සෙල්වා ගෙන් සෑහෙන කාර්ය භාරයක් සිදු වූ බව නොරහසකි.

මේ ඒ බව සනාථ කෙරුණු එක් අවස්ථාවකි.

පසු ගියදිනෙක අපේ ගම් පළාතේ උමා ඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණෙන් ඉදිරිපත් කල ස්වාධීන කණ්ඩායම චන්ද ව්‍යාපාර කටයුතු කරමින් සිටියේය.


මේ කියන අවස්තාවේ ඔවුන් අපේ ගමට යාබද තේ වත්තේ ද්‍රවිඩ කම්කරු කාන්තාවන් දැනුවත් කරන්නට පැමිණ සිටියහ.  පළාතේ චන්ද අපේක්ෂිකා සුජීවා රත්නසිංහ සහ තව පිරිසක් සමඟ ඒ සඳහා පැමිණ සිටියේ අපේ කථානායක සෙල්වරාජ් ය.

සුජීවා උමාඔය ව්‍යාපෘතිය නිසා හානියටපත් නිවාස, ඉඩම් ආදියට වන්දි ලබාගත හැකි ආකාරය ආදිය ගැන වතුකරයේ ජනතාව දැනුවත් කලාය. ඊලඟට එලැඹුණේ සෙල්වාගේ වාරයයි




සෙල්වා කතාව පටන් ගත් තැන සිටම වතු ජනතාවගේ අවුරුදු 150 ක් පැරණි අතීතයේ සිට අද දක්වා ඔවුන් විඳිනා දුක් ගැහැට වෙත ඔවුන්ගේ අවධානය යොමු කලේය. එතෙක් මෙතෙක් පරම්පරා තුනක් හතරක් රට වෙනුවෙන් තම ශ්‍රමය වැගිරූ වතුකරයේ ජනයාට තවමත් බොන්නට වතුර, සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් වැසිකිළියක් තනාගන්නට වත් ඉඩකඩක් වත් සපයා දෙන්නට අපොහොසත්වු පාලකයින් ගැන කතා කලේය..


සෙල්වාගේම වචන වලින් කිව්වොත් "ශුද්ධ දෙමළෙන්"  තම ජනයා වැටී ඇති දුක්බර තත්ත්වය ඔවුන්ට පහදා දුන්නේය.

පැයක් එකහමාරක් නොසෙල්වී සෙල්වාගේ පැහැදිලි කිරිමට සවන්දුන් කම්කරු කාන්තාවෝ සෙල්වා වට කර ගත්හ

"අපි මෙච්චර කාලයක් මුට්ටි කාසි දිදී පාර්ලිමෙන්තු යවපු තොන්ඩමන් ලා , සච්චිලා අපි ගැන් බැලුවේ නෑ .. අපිට මේ වගේ අපේජීවිත වල හැබෑ තත්ත්වේ පැහැදිලි කලෙත් නෑ. අපේ චන්ද අරන් එයාලා හැදුනා විතරයි"

"අපි මේ පාර ඔයාලාට චන්දේ දෙනවා.. චන්දෙන් පස්සේ අපේ ගෙවල් වල එන්න ."

ඔවුන් සෙල්වාට ආරාධනා කලහ.

ටික දිනකට පසු අයිස්ලෙබි වතුයායේ පහළ ලැයිම් පේලියේ ඉන්න මල්ලී කෙනෙක් සමඟ සෙල්වා පැමිණි රැස්වීම ගැන කතා කලෙමි.

 "අප්පා සෙල්වා අන්නෙයි මාර කථිකයා . වත්තේ කට්ටිය කියනවා ඒ ගොල්ලෝ ජීවිතේ පළමුවෙනි වතාවට තමයි ඒ තරම් උනන්දුවෙන් දේශපාලකයෙක් කතාකරන හැටි බලන් හිටියේ කියලා.

ඒ විතරක් යැ එක අම්මා කෙනෙක් සෙල්වා ගේ අත අල්ලාගෙන කතා කර කර හිටියා පුතා ඔයාලා වගේ මිනිස්සු තමයි අපිට ඕනෑ අපි ගැන ආණ්ඩුවට කියන්න, අපි වෙනුවෙන් පෙනී හිටින්න   කියලා"

යැයි ඒ මල්ලී මා හා පැවසුවෙ සෙල්වා එදා පැමිණි සියලු වතු කම්කරු කාන්තාවන්ගේ පැහැදීමට ලක්වූ බවයි.




දෙවන කතාව ඊලඟ කොටසින්


පසු සටහන: කිට්නන් සෙල්වරාජ් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති වරයා වන අතර මෙවර ප්‍රාදේශීය සභා මැතිවරණයට හල්දුම්මුල්ල ප්‍රදේශයේ කණ්ඩායම් නායකයා ලෙස ඉදිරිපත් වී සිටි.

Sunday, 31 December 2017

ලංකාව හදන්නේ කොහොමද ? (දහතුන් වියැති ශ්‍රී ලංකික ළමයෙකුගේ යෝජනාවක්)


ලැබුවාවූ 2018 වසර අපේ හිතවතුන් සියළු දෙනාගේම සිතුම පැතුම් සඵල වන යහපත් වසරක් වේවායි පතමු.

ඊයේ හවස ලැබුණු ආරංචියක් නිසා ගමේ සිදුවූ පොඩි දේශපාලන අලකලංචියක් ගැන ලියන්නට සිදුවුණා . එහි පළවූ කමෙන්ටුවක්  මේ සිදුවිම මගේ සිහියට නැගෙන්නට හේතුවක් වුණා.

එදා  2017 ජනවාරි මුලම දවසක්. ඊට දින කිහිපයකට පෙර ලංකාවට  ලඟා වූ අපි කෑගල්ලේ සිට බණ්ඩාරවෙල දක්වා යමින් සිටින මොහොතක්.

මම  මාසික කුළියකට මලිකි එකෙන් ගත හොණ්ඩා වෙස්ල් එක මගේ වගේ එලවන ගමන්.

අපේ සුපුන්  එහා පැත්තේ නිම්මි පිටිපස්සේ.

අපේ වාහනේ නුවර සිට රන්දෙණිගල පාරෙන් ඇවිත් බදුල්ල  හරහා බණ්ඩාරවෙලට එන ගමන්.

කෑගල්ලේ සිටම පාර දෙපස ඇති ගස්වැල්,  කඩපිල් , හරකබාන , කොල්ලෝ කුරුට්ටෝ , එහාට මෙහාට දුවන බල්ලෝ බළල්ලු දෙස බලමින් එන  අපේ සුපුන්  යමක් කියන්නට මෙන් සුදානම් වුයේ  ඇල්ල ප්‍රාදේශීය සභාවට අයත්   හෙල හල්පේ හරියේදී.

මාත් එක්ක දිගටම කතා බස් එකේ ආපු ඔහු වැදගත් කියා කිව හැකි  යමක් කියපු එක අවස්ථාවක් නිසා මේ සිද්ධිය මට හොඳට මතකයි.

අප මෙන් නොව තමා  පසු කර යන  ජීව , අජීව වස්තු ගැන ඉතා හොඳ කල්පනාවකින් ගමන් කල ඔහු  මෙය අප දෙදෙනාටවත් කිව යුතුයි කියා සිතන්නට ඇති.

රට හදන හැටි 

"පුතා මොකෝ කල්පනාව ඔස්ට්‍රේලියාව වගේ නෙවෙයි ලංකාව හරි ලස්සනයි නේද ? " 

විමතියෙන් මෙන් වට පිට සිදුවන හැමදේම නිරීක්ෂණය කරනා සුපුන් ගෙන් මම ඇසුවේ ඔහුගේ කට අවුස්සා ගන්නා රිසියෙන්.

"ලංකාව හොඳයි . හරි ලස්සනයි  හැබැයි පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න "

අපේ ලොක්කා දේශනාව පටන් ගත්තා .

"හරි හරි කියමුකෝ බලන්න මොනාද කරන්න ඕනේ කියලා ? " නිම්මි පිටිපස්සේ ඉඳන් කතාවට එකතුවුණා.

" මේ පාරේ හැමතැනම කුණු දාන එකයි,  හරක් පාරට එවන එකයි නවත්තලා පාරේ එහාට  මෙහාට දුවන බල්ලෝ පූසෝ ගෙවල් වල තියාගන්න ක්‍රමයක් හැදුවානම් ලංකාව මීටත් වඩා ලස්සණයි"

මගේ වාහනය හෙල හල්පේ හරියෙන් යද්දී සුපුන් තම ගම නගරය හදන යෝජනා මාලාවෙන් කොටසක්  අප දෙදෙනා හමුවේ තැබුවේ එලෙසයි. 




Saturday, 4 November 2017

බාලගිරි අදත් නොවේ.. හෙටත් නොවේ ..ලබන සතියේ





පසු ගිය කළාපයෙන්



අපේ අක්කාගේ කීම අසා පාරේ වැඩ නවත්වා දැමූ මම ටික කාලයක් වෙන වෙන වැඩ වලට යොමුවුණා.

අපේ ගමේ සහ අවට පවුල් දෙකකට නිවාස හදාගන්න සහයෝගය දෙන්න ගත්තේ මෙන්න මේ දවස් වල .


ඔහොම  ටික කලක් ගත වෙද්දී අපේ තාත්තාත් නිතර නිතර  ප්‍රාදේශීය සභා සභා ලොක්කට කතා කරලාම ඇති වෙලයි හිටියේ.

මේ අතර එතෙක් තුන් පැත්තකට පමනක් බෙදී තිබුණ පාරේ කෙලවරින් තවත් පැත්තකට පාර ගෙනයන්න අපේ ගෙට පහළ පැත්තේ කට්ටිය අලුතින් පාරක් කැපුවා.

ඒ නිසා එකම මගක යන පිරිසට තවත් පවුල් තුනක් එකතු වුණා.

අපේ තාත්තත් අලුතින් පත්වුණ මහඇමති තුමා වෙතටත් පාරේ කතාව අරන් ගියා.


මේ කිසි උත්සාහයකින් ඔහුට   තමන්ට අවශ්‍ය දේ කර ගන්න බැරිවුණා.

දැන්පාරේ ගමන් කරන පවුල් ගණන දහයකටත් වැඩියි.

මම පාරවල් සම්බන්ධ ආයතනයක ඉහළ නිලයකට කතා කලා.

" ඒක නෙවෙයි ඔයා අහවල් ආයතනයේ නේද දැන්ඉන්නේ ?

"ඔව් අය්යා මෙහාට ඇවිල්ලා දැන් අවුරුද්දකට වැඩියි "

 "අපේ ගමේ පාරක් තියෙනවා කවුරුත් බලන්නේ නැති .... ඒක ගැන පොඩ්ඩක් බලන්න බැරිද?"

"පුළුවන් අය්යා මොකක්ද කෙරෙන්න ඕනේ ?"

" මේක මේ අපේ  තාත්තයි අහල පහල ගෙවල් වල අයයි අවුරුදු ගාණක් තිස්සේ කර ගන්න දඟලන එකක්  .

කිසිම දේශපාලකයෙක් ඒ ගැන බලන්නේ නෑ . මේ පාර කරලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් "

"හරි අය්යා පවුල් හත අටකට වඩා යන පාරක් නම්  අපිට කරන්න පුලුවන්  .

ඒ පාරේ යන සියලුම දෙනා අත්සන් කරලා ඉල්ලීමක් කලොත් "

 ඒ අනුව මුලින්ම  අදාළ රාජ්‍ය ආයතනයට ලිපියක්  යොමුකලා  මේ මාර්ගය තම නිවාස වලට ප්‍රවේශ මාර්ගයක් ලෙස පාවිච්චි කරන හැමෝම එකතු කරගෙන.

සියලු දෙනාගේ  අත්සන් සහිත  ඒ ලිපිය අදාල කාර්යාලයට ලැබුණු පසු  එය ඔවුන්ගේ සහය ලැබිය යුතු ව්‍යාපෘතියක් ලෙස අනුමත වුණා.

ප්‍රධාන කාර්යාලයේ  මගේ පුද්ගලික හිතවත් කමක් තිබීම  මෙහිදී සැහෙන්න ප්‍රයෝජනවත් වුණා කීවොත් නිවැරදියි.

අනතුරුව  ඔවුන්ගේ   අනුදැනුම මත අපේ නගරයේ පිහිටි අදාළ රාජ්‍ය ආයතන සමගත්  සබඳතා ගොඩ නගා ගත්තා


ඒ  මමත් තාත්තත් දෙදෙනාම ඒ ඒ ආයතන වල නිලධාරීන් නිලධාරිනින්  හා කෙලින්ම කතා කිරීම මඟින්.

මේ සියලු කටයුතු කෙරුණේ අපේ ප්‍රදේශයේ දේශපාලකයින් හෝ ඔවුන්ගේ අපේ ගමේ සිටින අනුගාමිකයින්ට නොදැනෙන අයුරින්.

ඒ සඳහා ඉමෝ , ව්‍යිබර් , මුහුණු පොත ආදිය හරහා කාර්යාල තුනක සිටි අදාළ නිලධාරින්සමඟ ගනු දෙනු කරන්නට මට සිදුවුණා.

සති දෙකක් වැනි කෙටි කාලයක් තුල ව්‍යාපෘතියට අදාළ ඇස්තමේන්තුව සකස් වී අනුමත වීම අප ලැබූ ලොකු ජයග්‍රහණයක්.

ප්‍රධාන කාර්යාලයේ වගේම බණ්ඩාරවෙල පිහිටි අනෙකුත් කාර්යාල /ආයතන වල නිලධාරි මහත්ම මහත්මීන් බොහෝ දෙනෙක් මේ වෙනුවෙන් සහයෝගය දුන්නා.

කොන්ත්‍රාත් කරුවන් සෙවීම 




ව්‍යාපෘතිය අනුමත වීමෙන් පසු එළැඹියේ එය කිරීමට කැමති කොන්ත්‍රාත් කරුවෙක් සොයාගැනීමයි. බාලගිරි දෙවැනි වතාවට  අප සොයා ආවේ මේ අවධියේදී. 

මා දන්නා මිතුරු මිතුරියන් ගෙන් මෙන්ම තාත්තා දැන සිටි අයගෙන් ලැබුණු අවවාද ඔස්සේ කොන්ත්‍රාත් කරුවන් කිහිප දෙනෙකුටම කතා කලා.

එහෙත් පාර බලන්නට පැමිණි බොහෝ කොන්ත්‍රාත් කරුවන් කියා සිටියේ අදාළ ව්‍යාපෘතිය ප්‍රාදේශීය සභාව හරහා ලැබෙන්නේ නම් තමන් එය කරන්නට කැමති බවයි.

එහෙත් ව්‍යාපෘතිය අනුමත වී තිබුණේ මාර්ග සංවර්ධන අධිකාරය හරහා කෙරෙන ව්‍යාපෘතියක් ලෙස.

එයට හේතුව ලෙස ඔවුන් පැවසුවේ මාර්ග සංවර්ධන අධිකාරය සමඟ ගණුදෙනු එතරම පහසු නැති බවත් විශේෂයෙන් මුදල අනුමත වෙන්නට මාස ගණනක් වුව ගතවිය හැකි බවත්ය.

මේ අතර මා හා තාත්තා වරින් වර සෙවූ කොන්ත්‍රාත් කරුවන් හෙමින් හෙමින් මග හැර යද්දී එක් අයෙක් ගැන තාත්තාගේ අවධානය යොමුවුණා. මමත් මෙහි සිටි කිහිප වතාවක්ම ඔහුට දුරකතයෙන් කතා කලා.

"ඩොක්ටර් RDA එකේ ප්‍රොජෙක්ට් කරලා සල්ලි ගන්න අමාරුයි හැබැයි"

ඔහුත් පරණ කතාවම කියන්න ගත්තා.

"හරි හරි මම කොහොම හරි ඉක්මනට සල්ලි අරන් දෙන්නම් .

ඔයා හිරවුනොත් අපි උදව් කරනවා බය වෙන්න එපා .

වැඩේ පටන් ගන්න  "

මම ඔහුව උනන්දු කෙරෙව්වා.

එසේ කීමෙන්  මම අදහස් කලේ වැඩ ඉවර කරලත් ඔහුගේ මුදල් නොලැබුනොත් ඔහු ට ඉදිරියට කර ගන්නට ඇති වැඩ වෙනුවෙන් ණයක් වුනත් දෙන්නට මා සුදානම් බවයි.



දුරකථන ඇමතුම් දහයක් පහළොවක් දුන් පසු සති දෙක තුනක්ම ගතවුණා.

වැඩේ පටන් ගන්න පාටක් නෑ.

මම තාත්තාටත්  කොන්ත්‍රාත් කාරයටත් මාරුවෙන් මාරුවට කරදර කලා .


 අවසානයේ  පාරේ මුලික පස් සකස් කිරිමට පස් කපන යන්ත්‍රයක් එවන්න කොන්ත්‍රාත් කරු තීරණය කලා.




මේ තියෙන්නේ පාරේ වැඩ කෙරෙන මුල් අවස්ථාවේ ගත් චායාරූප ...





















දවස් දෙකක් ඇතුලත පාර මට්ටම් කල කොන්ත්‍රාත් කරු තාත්තට අළුත් යෝජනාවක් කලා.

" මේ දවස් වල මගේ අතේ සල්ලි නෑ. RDA වැඩ කරාම තවත් සල්ලි හිරවෙනවා .


 කියුබ් එකක් අහවල් ගාන ගානේ කොන්ක්‍රීට් ගෙනැත් දෙන කම්පැනියක් තියෙනවා.

 මේ මීටර් ගාන කරන්න ලක්ෂ හයක විතර කොන්ක්‍රීට් ඕනේ .

දොස්තර මහත්තයට කියන්න කොන්ක්‍රීට් වලට යන සල්ලි මට ලෝන් එකක් විදිහට දෙන්න කියලා

එහෙම වුනොත් සතියෙන් දෙකෙන් මේ පාර ඉවර කරලා දෙන්න පුළුවන්"


තාත්තා යෝජනාව මා වෙත ගෙනාවා.

"අපි සල්ලි දානවා නම් අපිටම කොන්ත්‍රාත් එක ගන්න තිබ්බනේ

මට නයට සල්ලි දෙන්න විදිහක් නෑ .

එයා ගේ අනික් වැඩ ඉවර වෙලා කරන්න කියමු "

 ඒ අනුව අපේ වැඩේ නතර කල කොන්ත්‍රාත් කරු තව මාසයක් ඒක හමාරක් යන තෙක්ම වැඩේ කල් දමමින් හිටියා.

"තව පොඩි වැඩ ටිකක් තියෙනවා . ඉවර කරලා එන්නම් "

 හැමදාම තාත්තා කතා කරද්දී යන පිළිතුර ඔහු දෙන්නට පුරුදු වුණා.


මම නිතර නිතර තාත්තාගෙන් අහනවා කවද්ද කොන්ත්‍රාත් කාරය ආපහු එන්නේ කියලා

"එයාට තව පොඩි වැඩ ටිකක් තියෙනවලු . ඉවර කරලා අද හෙටම එයි "

ඔහු බලාපොරොත්තු සහගතව පවසනවා.

මෙහෙම මාසයකට ආසන්න කාලයක් ගෙවී ගියා ..

මගේ පැත්තේ ඉවසීමේ සීමාවත් ඉක්මවා යන්න ලඟයි.

මම තවත් වතාවක් කොන්ත්‍රාත් කාරයට කතා කලා

" ඒක නෙවෙයි . තාත්තා කියනවා ඔයා තව සතියකින් එනවා,  දෙකකින් එනවා කියලා ඇත්තටම කවද්ද එන්නේ ?

මට කෙලින්ම ඇත්ත කියන්න ඔයා මේ වැඩේ කරන්න අකමැතියි නේද ?"

"නෑ ඩොක්ටර් මට පොඩි වැඩ වගයක් තිබුණා. "

ඔහු තව තවත් වැඩේ කල් දාන අරමුණෙන් වගේ කතා කරනවා.

"හරි ඒකට කමක් නෑ .

මම ළඟ මිනිහෙක් ඉන්නවා .

ඔයා භාගෙට කරපු ටිකට පස්සේ සල්ලි දෙන්නම් අපි ඒ මනුස්සයා දාල වැඩේ කරන්නද ?"

"හරි ඩොක්ටර් කමක් නෑ . එයා දාලා කරවන්න . මට ඩෝසර් කරපු සල්ලි පස්සේ ගන්න බැරියැ"

ඔහු ඒක පයින්ම මගේ යෝජනාවට කැමති වුණා.

මේ වෙනකොට අපේ අම්මලා ගෙදර තාප්පයක් බඳින්න මේසන් බාස් කෙනෙකුට දීලා තිබුනා

ඔහු අසල ලැයිමක ජිවත් වූ රාමන් නමැති  තරුණ මේසන් කෙනෙක් .


මම මේ මේසන් බාස් එක්ක කතා කරලා ඔහු වැඩේට කැමතිද ඇසුවා.


"රාමන් ඔයා මේ කොන්ත්‍රාත් එක බාර ගන්න හදිස්සියක් වුනොත් මම උදව් කරනවා "

ඒ අනුව රාමන් වැඩේ පටන් ගත්තා .

මමත් , අපේ අය්යා , අක්කා ඇතුළු හැමෝමත් එකතු කරගත් තාත්තා  රාමන් ට සිමෙන්ති, වැලි සහ කළුගල් වලට ගිය මුලික වියදම ණයක් ලෙස ලබා දුන්නා.

ඒ මුදල  රුපියල් ලක්ෂ හය හමාරක් හතක් විතර වුණා.


අවසානයේ  දවස් දහයක් වැනි කාලයකින් පාරේ වැඩ ඉවර කරන්නට මේ තරුණ මේසන් වරයා සහ ඔහුගේ සගයින් සමත් වුණා.


RDA එකේ තාක්ෂණික නිලධාරීන් , ඉංජිනේරුවන් ඇතුළු සියලු දෙනා ඔහු ඉතාම ඉහල ප්‍රමිතියකින් යුතුව පාර නිමකර ඇති බව සනාථ කලා.



මේ තියෙන්නේ ඒ දෙවන පියවරේදී ගත්  චායාරූප

















රාමන් ඇතුළු පිරිස පාරේ වැඩ කරමින්