Follow by Email

Sunday, 13 March 2016

අප්පච්චි මුත්තාගේ කිතුල් මල් කැපීම


අප්පච්චි මුත්තා හෙවත් වනසා අප නිවසට එන්නේ එහි අළුතින් පීදුණු කිතුල් මලට බෙහෙත් තියන්නටයි.  ඒ පිලිබඳ විස්තරය පසුගිය බ්ලොග් පොස්ට් එකේ සඳහන් කළා. 


 එය කියවන්න  මෙතනින්




"කොහොමද විමලා දුවේ? "  කියාගෙන  අප නිවසට  පැමිණි අමුත්තාට තේ පැන් සංග්‍රහයක් දීමට අම්මා අමතක කලේ නැත.

දවසේ මැද හරියේ වෙලාවක් නිසා අප්පච්චි මුත්තා රා  කට්ටක්  ගසා තිබුණු බවක් පෙනෙන්නට තිබුනේද නැත.

"කහට ටිකක් වැඩියෙන් දාලා තේ එක පෙරාපන් "කියමින්  ඔහු අපේ කුස්සියේ මිරිස්ගල ළඟ බන්කුවේ ඈඳී ගත්තේ එබැවිනි.

කිතුල් මල පරික්ෂා කර බැලු වනසා එදා හවස් වෙද්දී  අපේ මුත්තා හදා තිබු කහ උණ  පඳුරෙන්ම උණ ලී කපාගෙන විත් "හැර "  බැන්දේය.

හැර බඳින්නට උපයෝගී කර ගත්තේ හණ වේලා  සකස් කර තිබු රැහැන්ය. ඒ සඳහා හරි නම් ඔහු කිරඹ ඔය පැත්තට  ගෑටිය යුතු වුවද  ඒ පැත්තේ නිතර යන එන අපේ අම්මා ඇති පදං වියළුණු හණ  කොළ අපේ ගෙදර ගෙනැත් ගොඩගසා තිබුණි.

මල් බෙහෙත් තැබීමට ඔහු ගෙනා අඩුම කුඩුම සියල්ල මට නිච්චියක්  නැතත් ගැට අන්නාසි ගෙඩියක් සහ ගම්මිරිස්  සහ කොච්චි ඒ අතර තිබුනා මතකය.

අළුතින් පිදුණු  මලේ  මුලට වන්නට කිතුල් ගහේ  කඳ  හෑරූ   අප්පච්චි මුත්තා ඒ තුලට බෙහෙත් කොටා රෙදි කඩමාල්ලකින් වසා දැම්මේය.

දින කිහිපයක්  ගතවූ පසු නැවත කිතුලට නැගි ඔහු මේ වන විට  දුන්නක් මෙන් නැමී තිබු කිතුල් මලේ අග භාගය කපා දැම්මේය.

"අප්පච්චි බාප්පා,  කිතුල් මල   මට දෙන්න මම මැල්ලුමක් හදන්නම් ඒකෙන් " කියමින් අපේ අම්මා  මල් භාගය ඉල්ලා ගත්තාය.

"ඔව් .. ඔව් මේ හිච්චි එවුන්ට මැල්ලුමක් හදලා දීපන් ඕකෙන්  .. ඕවා හරි ගුණයි හැදෙන එවුන්ට "

අප්පච්චි මුත්තා මගේ ඔළුව අතගාමින් පැවසුවා මට මතකය.

අම්මා කිතුල් මල් රැහැන් කපා උණුවතුරේ තම්බා  අනතරුව   ඒ තැම්බූ මල් රැහැන්  මිරිස් ගලේ අඹරා  රසවත් මැල්ලුමක්  හැදුවාය.

එදා රෑ කිතුල් මලෙන් හැදු මැල්ලුමක්   අපේ ආහාරයට එක් වුණේ එලෙසිනි.

වසර තිස් ගණනක් ගතවී ඇති අද දිනයේ එහි රස මට හරියට මතක නැතත් මා එතෙක් මෙතෙක් රස විඳි මැල්ලුම් වලින් රසම එකක් ලෙස ඒ කිතුල් මල් මැල්ලුම සඳහන් කල හැකිය.

මල කැපු හැටි 



එදා  සිට දින පතා උදේ හවස අපේ කිතුල  බඩගාන වනසා මුත්තා  වරකට මලෙන් හීනි පෙත්තක් කපා ඉවත් කරමින් මල් කැපීම කරගෙන  ගියේය.

මල  පදම් වෙන තුරු රා හැදීම කල යුතු යැයි  තාත්තා සමග පැවසුයේ අපට ඈල් තෙලිජ්ජ ලබා දෙන්නට පරක්කු වේවි යැයි කියමිනි.

මෙසේ දින ගණනාවක්ම  මල් කපමින් සිටි වනසා මුත්තා උදේ හවස කිතුලේ බඩගා හොර පාරෙන්ම යන්නට පුරුදු විය.

මෙය නොරිස්සු අපේ තාත්තා  දිනක් ..

"අප්පච්චි මාමා  තවම මලේ තෙලිජ්ජ වැටෙනවා මදිද ?"  " තවම  අපේ තෙලිජ්ජ කොටස ගන්න බැරිද ? "

කියමින්  වනසා මුත්තා හොරෙන් හොරෙන් මල් කපා යන පාර ඇහිරුවේය.

"තවම මදිනේ දොරේ පුතා..."

කියමින් වනසා මුත්තා  තව ටික දවසක් රා මැදිය යුතුයැයි තාත්තාට පැවසීය.

අපේ ගම්වල කිතුල් මල් කැපීමේ සාමාන්‍ය ක්‍රමය වන්නේ උදේ තෙල්ලිජ්ජ ටික කිතුල් ගස් හිමියාටත් හවස තෙලිජ්ජ මුට්ටිය  මල කපන්නාටත් ලබා ගැනීමයි.

එහෙත් මේ වන විට තවමත් තෙලිජ්ජ  වැටෙනවා හොරයි කියමින් වනසා මුත්තා දෙවේලේම  වැටෙනා තෙලිජ්ජ රා බවට හරවමින් සිටියේය.

මෙලස තවත් දින කිහිපයක් ගත විය.  තාත්තා ගේ ඉවසීමේ සීමාවද ඉක්ම ගොස් තිබිණි.

දිනක් අපේ ගෙදර ගස් වල අතු පාහින්නට  ආ  පල්ලැහැ  ගාමිණි අය්යා අල්ලා ගත්  තාත්තා

"පුතා  කිතුලට නැගලා අර මුට්ටිය අරණ එන්න කෝ  කොච්චර රා  තියෙනවද  බලන්න "

යැයි පැවසීය.

ගාමිණී අය්යා ගෙනා රා  මුට්ටිය  ( හවස තුන පමණ වනවිට ) බෝතල් තුන හමාරක්  දක්වා පිරී තිබිණි.

රා  එකට වැටී සිටි මී මැස්සන් අයින් කරමින්  මුට්ටිය දෙස  බැලු අම්මා

"පේනවා නේද මේ මිනිහා අපිට බොරු කියා කියා දිගටම  රා බීලා තියෙන හැටි "

කියමින්  වනසා මුත්තා ට බනින්නට පටන් ගත්තාය .

අසල නිවසක අය්යා කෙනෙකු වූ වික්‍රමේ ද ඒ වෙලාවේ අප  නිවසේ සිටියේය.

තාත්තා , ගාමිණී අය්යා හා   වික්‍රමේ අය්යා සමග එක්වී  රා  මුට්ටිය ඉවර කළහ .

මේ වන විටත්  නමුණුකුල රංජි අය්යා  ගේ අනුග්‍රහයෙන් කිතුල් රා රස බලා සිටි මට රා ගැන හොඳ අවබෝධයක් තිබුණ බව තාත්තලා දැන සිටියේ නැත.

අනතුරුව මුට්ටිය නවතා ගහේ එල්ලූ ඔවුන් කිසිත් නොවූ අයුරින් අප්පච්චි මුත්තා මල් කපන්න එන තෙක්  බලා සිටියහ.

වෙනදා මෙන් මල් කපන්නට ආ  අප්පච්චියා  කිසි කතාවක් බහක් නැතිව ආපසු යන අයුරු අප බලා සිටියෙමු.

එසේ පිටත් වූ අප්පච්චි මුත්තා  නැවත මල් කැපීම සඳහා  අපේ ගෙවල් පැත්තේ ආවේ නැත.

තමා තෙලිජ්ජ වැටෙන්නේ නැතියි කියා කියූ බොරුව අතටම අහුවීමේ ලැජ්ජාව එයට හේතු වන්නට ඇත.

පසුදා උදෑසන අප්පච්චි මුත්තා මල් කපන්නට නොපැමිණි නිසා තාත්තා ඔහු වෙනුවට අපේ කිතුලේ මල් කපන්නට භාර දුන්නේ තවත් නැගී එන මල් කපන්නේකුටයි.

ඒ අන්නාසි වත්තේ ජයරත්න මාමාටය. ජයරත්න මාමා අපේ අංජු  මාමගේ වයෙසේම පසු වූවෙකි.

එනම් ඒ වන විට අවුරුදු විසි දෙකක පමණ වයසේ පසු වූ වෙකි.

එදා උදේ අපේ ගෙදර පළමු වතාවට ඇල් තෙලිජ්ජ තාච්චියක් උණු කෙරුනේය.

අම්මා උණු කරමින් තිබු තාච්චියට බෙලෙක් ජෝග්ගුවක් ඔබා පළමු ඇල් තෙලිජ්ජ කෝප්පය රස බැලු හැටි මට තාමත් මතකය.

එදා සිට දිනපතා අපට අපේ තෙලිජ්ජ කොටස ලැබුණු අතර පිරිසිදු කිතුල් හකුරු හැදීම  ජයටම කෙරුනේ අපේ අම්මා අතිනි.

එය  අපේ ගෙදරට වටිනා අමතර අදායමක්  ද එක්කළේය.


පිහි ඇනුම  සහ ගුටි කෙලි


මේ කාලේ අපේ තාත්තා උඩහ කඩේ පුංචිරාළ  මාමලාගේ  නිල්පාට ඩෙලිකා  එකේ  රියදුරා ලෙස වැඩ කළේය.

ගම මැදින් දවසට දෙතුන් වතාවක් එහා මෙහා යන "අපේ තාත්තගේ වෑ න්  එක "  සුලබ දසුනක් වුයේ වත්තේ දෙමළ මිනිසුන් ඒ වාහනය නිතර හයර් වලට ගන්න බැවිනි.

විශේෂයෙන් අරලගංවිල එත්විල් , සීගිරි  හෝ මොඩර්න්  සිනමා ශාලා වලිනි එකකට ප්‍රසිද්ධ  දෙමළ චිත්‍ර පටයක්  පැමිණි දිනවල තාත්තා ට හයර් දෙක තුනක් වදින්නේ ඒවා බැලීමට යන වතු කම්කරුවන් නිසාය.


වනසා අපේ මල් කැපීම නවතා  ගතවුයේ  දින කිහිපයක් පමණි.  

දිනක් තාත්තා වෑ න් එකත් රැගෙන කිරඹ ඔය පාරෙන්  එද්දී  වනසා වාහනය නවත්වා  තාත්තා සමග බහින් බස් වීමක් සිදුකර ඇත.

"අඩෝ දොරෙයා .. උඹ මන් ලව්වා මල් බෙහෙත් තියාගෙන දැන් වෙන එවුන් ලව්වා මල් කපාගන්නවා නේද යකෝ ?"

කියමින් වනසා පියුම් මාමලා කඩේ ලඟදි රියදුරු අසුනේ සිටි තාත්තාට  කෑ ගැසුවේය.

"අඩෝ අප්පච්චියා  උඹ අපි රවට්ට රවට්ට රා  බිව්වා කියලා අපි දැන ගත්තා ඩො " 

කියමින් වෑන් එකේ ජනේලයෙන් තම අත "වනසා"  ගේ බොටුව දෙසට දික්කල තාත්තා ඔහුගේ කමිස කොලරයෙන් අදින වාත් සමගම ...

"චිරිස්... "හඩින් යමක්  එහි වැදී  තාත්තගේ දකුණු බාහුවෙන් ලේ ගලන්න ට පටන් ගත්තේලු .

වනසා තම මල් පිහිය තාත්තගේ දකුණු අත කපමින් ඇද්ද බව කඩ පිලේ සිටි අනික් මිනිසුන් දැක තිබේ.

අසල සිටි මිනිසුන් වනසා එතැනින් ඉවත් කර තාත්තගේ අතට බෑන්ඩ් ඒජ්  එකක්  දමා වාහනයට නග්ගා ඇත.

වැඩ ඇරී නිවසට එන තාත්තා අම්මා සමග විස්තරය කියමින් සිටින අතර  අපේ ගෙදරට දුවගෙන  අපේ පුංචි අම්මා "වනස්" නස්පැත්තියේ ඉතිරි හරිය විස්තර කළාය.

තාත්තා ගේ අත කපා පැයක් යන්නට මත්තෙන්  පියුම් මාමගේ කඩේ ළඟ පුරසාරම් දොඩමින් සිටි වනසා ලඟට පැමිණි තරුණයින් දෙදෙනෙකි.

එක් අයෙක් ඒ වන විට කරෙයිනගර්  නාවික කඳවුරේ සෙබළෙක් වූ අතර ඔහු කරාටේ කළුපටි ධාරියෙක් ද විය. 

ඔහුගේ බාල සොහොයුරා වූ  අනෙකා  මට වඩා අවුරුදු අටක් දහයකින් වැඩි මහළු   ගමේ එලවලු හදමින් සිටි තරුණයෙකි.

"අඩෝ අප්පච්චි ... ත්තා .. තෝ නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා කියලා හිතා ගනින්.. "

අප්ච්චියා මේ දෙදෙනාට තරමක් දුර නෑදෑ කමකින් "බාප්පා "කෙනෙකි. 

"ඇයි ...ඇයි...  අංජු  පුතා මොකද මේ කලබලේ ?"

"අඩෝ තෝ අපේ අක්කලාගේ කිතුලේ තෙලිජ්ජ හොරකම් කරා කියලා කිව්වා කියලා අපේ එගොඩ අය්යට අංචි අද්දා කියලා ආරංචියි...."

"උඹේ ඔය මල් පිහි කෙරුවාවල් අපිට ලොකු නෑ ඩො"

ලොකුමාමා අප්ප්ච්චියට දුන් පා පහිරින්  අතේ තිබු මල් පිහිය විසිවී ගියේය...

කොටියෙක් මෙන් අප්පච්චියා වෙත කඩා පිනු "අංජු  මාමා "  වනසා වැනසෙන්නට ගුටි බැට දුන්නේලු.

කඩේ ළඟ සිටි කිසිවෙක් අප්ප්ච්චියා බේරන්නට පැමිණ නැත්තේ අදනම් මිනිහා හොඳ පාඩමක් ඉගෙන ගත්තා කියමිනි. 

කොටි දත් පෙන්නා ගම හොල්ලන් සිටි අප්පච්චි මුත්තා ගේ චන්ඩි කම් බිංදුවට  බැස්සේ එදාය. 





37 comments:

  1. ජීවිතය තුලට කිඳා බැසීමක් ; ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රුවන්.... අපේ ගෙදර මේ දවස් වලත් කිතුල් මලක් කපනවා කියලා තාත්තා කිව්වා ඊයේ...

      Delete
  2. රා වගේම රසවත් කතාවක්. කොහොමටත් ඔය කිතුල් මදින ප්‍රදේශවල පොඩි පොඩි ගැටුම් ඇතිවනවා. අදටත් අවුරුද්දකට දෙවතාවක් විතර මට මහනුවර දිගන ප්‍රදේශයෙන් ඉස්තරම් කිතුල් රා ලීටර් 4 කෑන් දෙකක් ලැබෙනවා. බෙදා හදාගෙන රස විඳින්න. :D

    ReplyDelete
    Replies
    1. අන්න ඒ දවස් බලලා අපිටත් ආරාධනාවක් කරන්න..

      Delete
    2. එහෙනම් එහෙනම් .. කට ගැස්මට තම්බපු කොස් සහ පොල් දෙනවලු..

      Delete
    3. කමියට තනි හිතුනොත් එහෙම.. විචා මාමට උදව්වටත් එක්ක මටත් කිව්වනං... හෙහ් හෙහ්

      Delete
    4. ඩෙෆිනීටලී, ඩෙෆිනීටලී

      Delete
    5. වනසා මුත්තා හැමදාම හවසට රා කට්ටක් ගහලා ජාතිය අමාතන හැටි ලියවුනේ නෑ මේකේ..

      Delete
  3. ස්තුතියි.. අපේ ගෙදර කිතුලේ හකුරු විතරයි හදන්නේ දැන්.. අපේ තාත්තත් දැන් විශ්‍රාම සුවයෙන් ඉන්න ගමන් පෝයට සිල් එහෙම ගන්නවනේ .. එයා අමද්‍යප දැන් අවුරුදු ගණනාවක්ම

    ReplyDelete
  4. කිතුල් රා බීපු කාලයක් මතක නැහැ.. අක්කර දෙකක විතර කිතුල් හිටවල කිතුල් හකුරු හදවන්න ඕන රට පටවන්න.. හැක්..
    ඇත්තටම කිතුල් ගහක් පලවෙනි වතාවට පීදෙන්න අවුරුදු දහයක් විතර යනවා ඇති නේද..

    ReplyDelete
    Replies
    1. අපේ වත්තේ තියෙන කිතුල් ගස් මණ්ඩිය හැදුවේ අපේ අය්යා සමන්ත එයා ඒ ලෙවල් කරන කාලේ ... පහුගිය අවුරුදු දහයක විතර කාලයේ ඒක මල් කපන්න පුළුවන් තත්වේ තියෙනවා.. මේ කිතුල් මන්ඩියටත් රසවත් කතාවක් තියෙනවා ඒක අනාගත පොස්ට් එකකට ගන්නම්..
      ඔවු අවුරුදු දහයක් විතර යනවා . හැබැයි ඔය කිතුල් වගා වැඩේ ගැන මමත් හිතලා තියෙනවා සිරාවටම ...

      Delete
  5. කිතුල් මල් මැල්ලුම කාලා නෑනේ බං , චක් දුකේ බෑ

    ReplyDelete
    Replies
    1. ඔය මැල්ලුම හදද්දී ගලේ අඹරන බව මට කිව්වේ අප්පච්චි මුත්තටයි අපිටයි නෑදෑයෝ වෙන මෙල්බන් නුවර ඉන්න රාජපක්ෂ අක්කා කෙනෙක්... ඒ මැල්ලුම හරිම රහයි කියලා එයත් කිව්වා..

      Delete
  6. කිතුල් මල් මැල්ලුම ගැන අදමයි ඇහුවෙ.
    හොරෙන්වත් රා ෂොට් එකක් ගහන්න චාන්ස් එකක් ආවෙ නැද්ද?

    අන්තිමට චණ්ඩිය නොන්ඩිය කරලම දාලනෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. මල කපද්දී කපලා අයින් කරන අග භාගේ තමයි කිතුල් මල් මැල්ලුමට ගන්නේ.. හරිම රස කෑමක්.. චන්ඩියා නොන්ඩි වුනා තමයි .. අදත් මම වියිබර් වලින් කතා කරද්දී තාත්තා මම කියපු මේ කතාව අනුමත කාලා පිහි පාර කාලා එයා ගෙදර එන ටිකට රජුමාමයි ලොකුමාමයි වනසා මට්ටු කරලා.

      Delete
  7. කිතුල් මල් මල්ලුමකට ගන්න බවක් ඇහුවෙත් අද.. කිතුල් මලේ ඇට ගෑවුනොත් කසනවා නේද? අපිනම් ඉතින් කිතුල් රා/ හකුරු සහ කිතුල් පිටි වලින් හදන කැවිලි විතරයි කාලා තියෙන්නේ.

    ඒ දවස්වල නාවික හමුදාවේ ඉන්නවා එහෙම කියුවම හෙන පොරවල් නේද? ඇත්තටම හමුදාවල ඒකාලේ හිටපු උන්ට හොඳ පෞරුෂයක් තිබ්බ.. සමහරවිට අනිත් වෘත්තියන් අද වගේ ඉහලට කැපිල පේන මට්ටමට ඇවිත් තිබුනේ නැති නිසාවත්ද මන්ද.. දැන්නම් හමුදාවල ඉන්නවා සමහර පඟර නැට්ටෝ අලකොලයක් හිල්වෙන්න හුජ්ජ කර ගන්න බැරි. දැක්කම දුකයි අප්පා..

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ හමුදාවේ වැඩ කරනවා කියන එක හරි ගරු ගාම්හිර දෙයක් තමයි . අපේ ගමේම හිටියේ දෙන්නයි හමුදාවල එක්කෙනෙක් අපේ බාප්පා කෙනෙක් යුධ හමුදා රියය්දුරු (කෝප්‍රල්) අනෙක් එක්කෙනා ලොකුමමා නේවි එකේ හිටපු ..

      Delete
    2. කිතුල් ඇට තලලා තරහ කාරයන් ගේ නාන ලිං වලට දානවලු ඒ කාලේ ඔය ඇඟ කසන කතාව නිසා

      Delete
    3. කවුද දන්නෙ තලන්න ඕන කියල. අහලටම තිබ්බ එකම කිතුල් ගහේ ඇට ටිකක් පොලු ගහල ගහල බිම හලාගෙන ළිඳට දැම්ම කියහංකෝ
      කිසි දෙයක් වුනේ නෑ.. සැක් ඉතරක්
      වුණ එකම දේ බඩු මාට්ටු වුණ එක විතරයි
      හැක්

      Delete
  8. මෙන්න කතා !! කොයිතරම් කිතුල් ගැන දැනන් උන්නත් කිතුල් මල් මැල්ලුම ගැන ඇහුවේ අදමයි . කතා කොටස් දෙකම කියෙව්වා. රසවත් අතීතයකට ගොඩ වුනා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තිලකේ අය්යා.. කිතුල් මල් මැල්ලුම අපේ ගම පැත්තේ ප්‍රසිද්ධයි.... අපේ ගෙදරට කිතුල් පැල ගෙනත් සිටවූ හැටි තවත් රසවත් කතාවක් .. ඒක පස්සේ වෙලාවක ලියන්න ඕනේ..

      Delete
  9. කිතුල් මල් මැල්ලුම නම් කාලා නෑ.
    තෙලිජ්ජ ලිපේ තියන්න කලින් නම් බීලා තියනවා..
    තාම බ්ලොග් එකේ සියලුම කතා කියවලා ඉවර කරන්න බැරි උනානේ..

    ReplyDelete
    Replies
    1. මීරා හෙවත් තෙලිජ්ජ හරි රස බීමක් නේද? ඉතිරි කතා ටිකත් හෙමින් හෙමින් කියවන්නකෝ...

      Delete
  10. ඉස්සර අපේ අම්මලාගෙ ගමේ ඔහොම මල් කපන සීයා කෙනෙක් හිටියා. හැබැයි චණ්ඩියෙක් නෙවෙයි. ඒ ගෙදර උදේ හවස හකුරු හදනවා ලොකු දොදොල් තාච්චි වල. අපේ සීයලාගෙ තේ කෑල්ලක් තිබුනා ඒ ගෙදරට උඩින්. ඒකෙ දළු කඩන දාට කදු බඩගාගෙන තේ ගෙනියන රාජකාරිය අපි කැමැත්තෙන් බාරගන්නවා. ඊට පස්සෙ අර ගෙදර ගාවට යනකොට අපිට වතුර තිබහ හැදෙනවා. මොකද වතුරත් එක්ක අග්ගලයක් වගේ ලොකු හකුරු බෝලයක් අපිට නොවරදීම ලැබෙන බව දන්න නිසා.
    දැනටත් අපි එකතු උනාම අපි අපිටම හිනාවෙන කාරණයක් තමයි ඒක. මේ කතාව කියෙව්වම ඒ සිද්දිය මතක් උනා

    ReplyDelete
    Replies
    1. වනසා මුත්තා ඔය වගේ චන්ඩි කම් කලාට ගමේ හිටපු තනිකඩ මනුස්සයෙක් හැටියට වෙන කිසි කරදරයක් තිබුණේ නෑ. ඔය අග්ගලා වගේ හකුරු බෝල වලට අපිත් හරි ආසයි. ඒවා හදන්නේ පදමට උණු කරගත් පැනි පොල් කට්ටකට වක් කරාට පස්සේ ( හකුරූ ඇස්ස වල් හදන්න ) අන්තිමට තාච්චියේ ඉතිවෙන කොටස හුරලා අරන්.

      Delete
  11. අපේ පැත්තෙත් කිතුල් හකුරු හැදුවා...කෑගල්ල දිස්ත්‍රික්කයේ කිතුල්ගල ..

    ReplyDelete
    Replies
    1. අර ගම නැගුමට වැඩ කරද්දී. නිම්මිලා වත්ත පහළ තියෙන කිතුල් මණ්ඩිය බෙහෙත් තියවන්න සැහෙන උත්සාහයක් ගත්තා මම . කෑගල්ලේ (නිම්මිලා ගමේ ) හිටපු කිතුල් මදින්නා ටිකක් "කුහක " ගති ඇත්තෙක් ..මිනිහ අපිට උදව් කලේ නැහැ.

      Delete
    2. දැං තියනවා කැස්පර් කියල බෙහෙතක්

      Delete
    3. අපි 2005 හොයලා බලන්න්කොට තිස්ස විතාරණ ඇමතිතුමාගේ අමත්යන්සෙන් ඔහොම බෙහෙතක් බෙදා හරිනවා කියල කිව්වා

      Delete
  12. කිතුල් ඇට කසනවා කියල දැනන් උන්නට කිතුල් මැල්ලුම් ඇහුවමයි.. ඔව් ඉතින් කිතුල් කියන්නෙ හොඳ ගුණ කෑමක් නෙ.නිකමට බලන්නකො අලි ඇත්තුන්ගෙ උනත් සයිස් එක..
    හෙහ් හෙහ්
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු .. පින්නවල ඇලි ඇත්තුන්නට කිතුල් කොළ සැපයුවා අපි අර ගම නැගුමට මාවනැල්ලේ වත්ත එලි පෙහෙළි කරද්දී. අලින්ගේ සයිස් එකෙන්ම ගුණ පෙනෙනවා නේද ?

      Delete
  13. කිතුල් හකුරු කාල තිබ්බට කිතුල් මල් මැල්ලුමක් ගැන අහව්වෙම අද කියන්නකො. විලි ලැජ්ජයි කලාත්මකයි.
    කිතුල් රා තියා පොල් රා වත් බීල නෑ. අප්පමාදෝ අමත පදං කියනව නෙ. ඒ හිංද වෙන්ටැ. හිහි.
    අනික මෙහෙ අම්බානක් පොල්වතු තිබ්බත් මල් මදින්න බෑ. වතු වල නෙ වත්තෙ මහත්තුරු දැක්කොත් විනාසයි. මොකද වත්තෙ වැඩ කරන අයට ගෙවල් දීල තියෙන්නෙත් වත්තෙන්මනෙ. හිහි
    කවිඳුව මං ෆලෝ කලා වගෙ මතකයි. ඒත් අප්ඩේට් නොවෙන එක නං හිතාගන්න අමාරුයි...
    ආයෙ රිමූ කරල ෆලෝ පාරක් දාල බලන්න වෙනව

    ReplyDelete
  14. ස්තුතියි මහේෂ්... මගේ බ්ලොග් එකේ නම http://helmalu.blogspot.com.au/ කියල් වෙනස් කරලා තියෙන්නේ දැන් එකයි මග හැරෙන්න ඇත්තේ .. ආයිත් ෆලෝ පාරක් දාන්න

    ReplyDelete
  15. කතුල් මලෙන් මැල්ලුම් හදන්න පුලුවන් කියලා දැනගත්තේ අද..

    ReplyDelete
  16. ඒකනේ කියන්නේ කිතුලුත් පොල්, තල වගේ ගොඩක් ප්‍රයෝජන තියෙන ගහක්.. කිතුල් පිටි වලින් හදන තලප හරි රසයි..

    ReplyDelete
  17. ammooo kithul raaaa ......thalapa ....maru thamaa mata podikale mathk unaaa

    ReplyDelete