Follow by Email

Saturday, 14 November 2020

පිරිත් සාජ්ජය

 



අපේ අය්යා ලංකාවෙන් යන දවසේ අම්මයි තාත්තයි දෙන්නම හෝ ගාලා ඇඬුවා .. ඒ කාලේ කෙනෙක් පිටරටකට යනවා කිව්වහම තමන් අතහැරලා යනවා වගේ හැඟීමක්නේ එන්නේ.. ඒ නිසාද එහෙමත් නැත්නම් තමන්ගේ බලාපොරොත්තුව , තමන් ගැන හොයාබලන්න ඉන්න ලොකුපුතා තමන්ගෙන් දුරස්වෙලා යන නිසා ඇඬුවද කියලා දන්නේ ඒ දෙන්නම තමයි  .. 

මම ලංකාවෙන් යනවා කිව්වහම අම්මලා හඬුවේ නෑ සන්තෝෂ වුණා . ලංකාවේ හිටියානම් එතෙක් ගත්තාවගේ දඩබ්බර තීරණ තවත්ගනියි කියලා හිතිලද  , මෙයා රටගියොත් අපේ අනික් දරු දැරියන්ට සහ ඔවුන්ගේ ස්වාමි පුරුෂයින්ට සහ ඒ පවුල්වල දරුවන්ට හොඳක් වෙයි කියලා හිතලද , එහෙමත් නැත්නම් මම ලංකාවෙන් ගියේ අය්යා රට හැරගිය කාලේම නොව  අවුරුදු පහකට පස්සේ  නිසාද යන්නත් දන්නේ ඒ දෙන්නම තමයි.. කොහොමවුණත්  මම  වැඩිදුර අධ්‍යාපනය සඳහා නෝර්වේ රාජ්‍යට යන්න යනවා කියන්න මමත් නිම්මිත්  බණ්ඩාරවෙල ආ අන්තිම  වතාවේ එයාලා හොඳ  වැඩ සටහන් ටිකක් ලෑස්ති කරලා තිබ්බා .මේ කතාව ඒ ගැනයි.

මේ වෙනකොට මට විදෙස්ගත වෙන්න අවශ්‍ය සියළු කටයුතු සූදානම් වී තිබිණි. විශ්ව විද්‍යාලයේ නිවාඩු අනුමැතියේ සිට නොර්වේ දේශයෙන් ලැබිය යුතු විද්‍යුත් තැපැල් පණිවිඩ , ලියුම් කියුම් සියල්ලද  ලැබී තිබිණි.. එද හවස වැඩ ඇරිලා ඇවිත් ගෙදර ඉද්දී එන දුරකතන ඇමතුමකි ..

"චුටි පුතා , මේ සති අන්තේ මේ පැත්තේ එන්නද ඉන්නේ ?"  තාත්තා අහන්නේ මම ගෙදර එන දවසක් වෙලාවක් නොකියා හිතුණ ගමන් ගෙදර එන්නට පුරුදු වූ සිටි කෙනෙක් බව ඔහු පලපුරුද්දෙන්ම දන්නා නිසයි .." යන්න ඉස්සෙල්ලා ගෙදර එන අන්තිම පාරනේ කලින් කියලා එන්න.." .. "ඇයි ලොකු පාටියක් වත් සෙට් කරනවද තාත්තලා ? " " නෑ පාටියක්ම නෙවෙයි නෑදෑයෝ ටිකට ඔයාට කතාකරන්න වැඩක් ලෑස්ති කරා  . රටින් පිටත්වෙන්න ඉස්සෙල්ලා එහෙම කරන එක හොඳයිනේ? " අම්මයි තාත්තයි කිසියම් හෝ වැඩකට අර  අදිති. දෙන්නාට දෙන්නා තම තම නෑදෑ පරපුර අපට මුණගස්වන්නට යමක් සංවිධානය කරණු පෙනේ..

 "ඒයි ඒක නෙවෙයි අන්න කට්ටිය දවසක් දෙකක එහේ ඉඳලා නෑදෑයෝ එක්ක කතා කරන්න ලෑස්තිවෙලා එන්න කියනවා " මම නිම්මීට කීවෙමි.. "ලොකුතැන මොනවද දන්නේ නෑ ලෑස්ති කරන්නේ පුතණ්ඩියට? හරි එහෙනම් යමුකෝ බලන්න"  නිම්මිත් ඔල්ලොකුවට මෙන් කියයි..

අපේ දාහත ශ්‍රී ටොයෝටා ඩීඑක්ස් වැගන් එ  බණ්ඩාරවෙල යන්නට අවශ්‍ය බඩු පුරවා ගත්තෙමි.. රන්දෙනිගල රජමාවත හරහා ගමන ආරම්භ කලෙමු. මුළින්ම නුවර ආසන්නයේම තිබෙන රජයේ පශු ගොවිපොළේ කිරි කඩයෙන් මී කිරිත්  ඉන් පසු මග දිගට හමුවණ ඉරිඟු , අඹ , දෙල් , පළාවර්ග , එළවළු ආදිය විකුණන ළමා සහ ගැහැණු වෙලඳ  සමූහයාගෙන් බඩු ගැනීම නිම්මිගෙත් මගෙත් ගමන් චර්යාවේ ප්‍රධාන අංගයකි .. මහියංගණට ආසන්න වෙද්දී කොට්ට පුළුන් විකුණන වෙලඳුන් ගෙන් කොට්ට පුළුන්ද වරක් රැගෙන ගියේ අම්මලාට කොට්ට හදාගන්නයි.. බණ්ඩාරවෙල පැත්තට යද්දී එහේ අයටත් නුවර පැත්තට එද්දී කෑගල්ලේ අයටත් දෙන්නට මාර්ගස්ථ වෙලඳුන්ගෙන් එළවළු පළතුරු හා වෙනත් බඩු ගැනීමේ අපදෙදෙනාම ඉතා ආශාවෙන් කල දෙයකි. 

මග දිගට තාත්තාගෙන් දුරකථන ඇමතුම් එයි "දැන් කොහෙද? දවල්ට උයලා තියන්නද? මොනවද හදලා තියන්නේ?"  ඔවැනි ප්‍රශ්න රැළකි . මඥඥොක්කා කොළ කිරිහොදිත් එක්ක  , කොස්, වට්ටක්කා දළු , අළකොළ මගේ ලිස්ට් එකේ උඩින්ම තියෙන කෑම වර්ග බව  අම්මා සහ තාත්තා හොඳින් දනිති.

හවස්වෙද්දී නිම්මිත් මමත් බණ්ඩාරවෙල නිවසට ලඟා වීමූ .. හාත්පස මීදුමෙන් වැසුණු තේවතු පාරේ වාහනයෙන් වගේම පයින් යන්නත් අප දෙදෙනාම දැක්වූවේ දැඩි කැමැත්තකි .. ගෙ උඩහා පාරේ ( ඒ කාලේ අපේ නිවසටම යන්නට පාරක් තිබ්බේ නැත , පසු කලෙක පාර හැදුවේද මගේ  අනුග්‍රහයෙනි ) වාහනය දමා තේවත්තේ නෙත්ති කාණුව දිගේ පල්ලැහැහට බහින ටිකට එන ශීතලත් , හාත්පස වෙලාගන්නා මීදුමත් අප නුවර කොළඹ ආදී ප්‍රදේශ වල අප විඳි පරිසරයට හාත්පසින්ම වෙනස් පරිසරයක් අපට මවාපායි.

ගෙදරට එන විටත් සාළයේ මුල්ලක එක විස්තරයකි. තාත්තගේ අක්කගේ පුතා පණ්ඩිතේ අය්යා මනරම් පිරිත් මණ්ඩප්පයක් හදමින් සිටියි .. තාත්තා , මේ මොකද මේ? නෑ ඔයා රට යන එකටයි , ඔයදෙන්නට සුභ පතන්නයි පොඩි පිරිතක් ලෑස්ති කරා . හම්බවෙන්න ඉන්න දරුවටත් හොඳයි නේ .. ඒ වනවිට අපේ පුතා සුපුන් මාස හතරක පහක කළලයකි තාත්තා කියන්නේ ඔහුට ආශිර්වාදයක්වෙන්නත් එක්ක පිරිතක් කියවන බවයි. 

අපේ නැන්දගේ පුතා වන පණ්ඩිතේ අය්යා පළාතේම ඉන්න දක්ෂම කළාකාරයෙකි , චිත්‍ර , මූර්ති , පිරිත් මණ්ඩප වගේම තොරණ් ඇතුළු ආගමික වැඩසටහන් වලට ඔහු ප්‍රසිද්ධය.. ඒ වගේම පළාතේ හොඳම කැටයම් ශිල්පියා ලෙසද ඔහු ප්‍රසිද්ධියක් උසුළයි.

"ආ...චූටි මල්ලී දැන්ද ආවේ? "කියමින් පණ්ඩිතේ අය්යාද කතාවට එක් වෙයි . ඔහු තාත්තලා පැත්තේ කෙනෙකි . එහෙත් අපේ ගෙදර වැඩවල වැඩි ඉඩකඩ ලැබෙන්නේ කිරිඔරුවේ අම්මගේ පැත්තේ කට්ටියටය කුස්සිය පැත්තට යද්දී ලොකු මාමා , පොඩ්ඩේ මාමා , පොඩි පුංචී සහ අපේ පොඩිම මාමා ඇතුළු  බජාර් එකම එහි පැමිණ සිටියහ . 

නිම්මිත් අම්මලාත් ගේ ඇතුළෙ ඉද්දී මම එළියට ගියෙමි  ලොකු මාමත් පොඩ්ඩේ මාමත් මාත් සමඟ කතාවට එක්වූහ .. "නියමයිනේ රට යන්න තියෙන එක ? කොච්චර දෙයක්ද  මේවගේ වැටිලා ඉන්නවට වඩා ? "  ලොකුමාමා කියයි .. පොඩ්ඩේ මාමා ඊට වඩා එහාට කල්පනා කර තිබිණි .. " දැන් ගියාම ඉස්සර පැල්වල ගිය ඒවා එහෙම අමතක වෙයිද දන්නේ නෑ? "

" මොන පිස්සුද?  ඕවා හැමදාම මතක තියනවා  .. මතකද පන්සල පහුවෙච්ච ගමන් තියෙන හරස්ගෙදරවත්ත මැදින් යද්දී බීඩියක් පත්තු කරගන්න හැටි .. මේ උඹ මේවා ගිහින් ලොකු අක්කගේ කණේ එහෙම තියෙනවා නෙමෙයි කියකියා ?  මම පොඩ්ඩෙ මාමාට ඔහුගේ තරුණ කාලයේ දඩබ්බර වැඩ මතක්කර දුන්නෙමි.. පොඩ්ඩේ මාමා කිරිඔරුවේ මහගෙදර දඩබ්බරම චරිතයයි.. බීඩී බීම , ගෙදරින් හොරෙන් පැනලා ගිහින් මැණික් ගැරීම,මැණික් සල්ලි වලින් කිරිඔරුවට මුලින්ම කැසට් රේඩියෝවක් ගෙන ඒම , මල්වත්තේ සැළුන් එකට ගිහින් කොණ්ඩේ ක්‍රේල් කිරීම  වගේ ඒ කාලේ අපිට පෙනුණ අළුත් දේවල් වැඩිපුර කලේ  පොඩ්ඩේ මාමාය. 

"කොහොමද වතුරට ෆයිට් කරගත්ත හැටි ? " මම ලොකු මාමාට අපි එළවළු හදද්දී සිදු වූ වතුර ගැටුම් මතක් කර දුන්නෙමි. පොඩි පොඩි සිද්ධි තිබුණාට කිරිඔරුවේ මාමාලා සෙට් එක  අපේ ළමා හා තරුණ කාලයේ අපේ ලොකුම ශක්තියයි.. අපි හැදී වැඩුණේ ඔවුන් ඇසුරේය .. පොඩ්ඩේ මාමා බීඩි බිව්වට අපිට බීඩි  පෙව්වේ නැත .. 1989 රැඩිකල්  දේශපාලනයට අපි ඔවුන්ගෙන් සමහරෙක් ඇදගත්තා මිස ඔවුන් අපිව කිසිම අනතුරුදායක දෙයකට යොමුනොකලේ ලොකු අක්කාට ඔවුන්ගේ තිබුණ බලවත් ගෞරවයත් භයපක්ෂපාත කමත් නිසාය.. 

අද අප මෙන්ම ඔවුනුත් ජීවිතයේ ලබාගත යුතු දේවල් සියල්ලක් ලභා සැනසීමෙන් කල් ගෙවන්නේ 1989/90 භීමසමයේ රාත්‍රී ගණන් කිරිඔරුවේ හූරියගස්වැල්ල කුඹුරු යායේ පැල්වල ,භියෙන් , සැකයෙන් ජීවත්වූ අතීතයකටද හිමිකම් කියමිණි . පොඩ්ඩේ මාමා මට මතක් කර දෙන්නේ  තම අක්කා විසින් කොල්ලෝ දෙන්නා බේරාදෙන ලෙස සියළුම වගකීම් ඔවුන්ට පවරාදී තිබූ ඒ කාළය ගැනයි .

කතාබස් එකෙන්ම වෙලාව ගතවී ගෙන යයි  රෑ අට අටහමාර වෙද්දි කිරිඔරුවේ සියල්ලෝමත් මාරබැද්දේ සහ කොළතැන්නේ පවුල්වල අයත් වරින්වර අපේ ගෙදරට ලඟාවෙති. 

ඒ අතරේ  පුදුමයක් සිදුවෙයි අපේ ජීවිත කාලෙටම අපේ ගෙදරට පය තබා නොතිබූ පිරිසක්ද ඒ අතර සිටිති .. ඒ ගමේතිබූ ප්‍රධාන ගිහි පිරිත් කණ්ඩායම් දෙකක් එකක සාමාජිකයින්වන කිරිඔරුවේ සමරේ මාමා දඹකොටේ  සිරිසේනමාමා , පල්ලැහැ විළියොන් මාමා ඇතුළු එම කණ්ඩායමේ නායක එස් ආර් කිරිබණ්ඩේ මාමා ඇතුළු පිරිසයි.. 

මේ අය අපේ තාත්තා නායක්ත්වය දැරෑ ගිහි පිරිත් කණ්ඩායමට ආරාධනානොකරන තැන්වල ( විශේෂයෙන් කිරිඔරුවේ ) පිරිත් කියන කණ්ඩායමයි..  තාත්තලා කණ්ඩායම ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා කාරයන්ගෙන් සමන්විත් වූ එකකි කිරිබණ්ඩේ මාමලා කණ්ඩායම ඒ කාලේ තද යූඑන්පී එකකි ( දැන් නම් සමරේ මාමා ඇතුළු බොහොදෙනෙක් පොහොට්ටු කරුවන් වී සිටිතී.

  අර ඉංග්‍රීසියෙන් "ෆිටින්ග්ලි "  කියලා කියන්නා වගේ  මේ අය සැපත්වී තිබුණේ අපේ ගෙදර ඉන්නා  පක්ෂ, පාට , ලොකු පොඩි උස්පහත් භේද කිසිවක් නොසළකන , පසුගිය අමනාපකම් කිසිවක් හිතේ තියාගෙන ඒවා පස්සේ පන්නන්නේ නැති එකම සාමාජිකායාගේ ආශිර්වාද පිරිත් සජ්ජායනයටයි .. ඒ බව හැඟවෙන හරබර අනුශාසනාවක්  එස් ආර් කිරිබංඩේ මාමා  අතින් කෙරුණේ ඒ නිසා විය යුතුය.. 

තාත්තලා ගේ වැඩ වලට සාමාන්‍යෙන් විරුද්ධ වෙන ගතියක් මගේ තිබුණත් එදා පිරිත් මුළු පැය දහයම නිදි නොලබා අසන්නට මම තීරණය කළෙමි. නිම්මීද මුළු රෑම පිරිත් කොටුවේ දොර ලඟම මා අසලින් වාඩිවී සිටියාය. 

  මව් කුසේ සිටම පිරිත් ඇසූ පුරුද්දට දෝ මන්දා වයස දාහතක් වෙලත්, උපන්දා සිට වැඩි හරියක් ලංකාවෙන් පිට ජීවත් වෙලත් අපේ සුපුන් තවමත් නිදාගන්නේ මහපිරිත අසමිනි

11 comments:

  1. ගිහි පිරිත ගොඩක් ප්‍රසිද්ද උනා , ඒකට සමහර හිස උදුම්වාගත් හාමුදුරුවන්ගේ ක්‍රියාකලාපයත් හේතු වෙන්න ඇති..

    ReplyDelete
    Replies
    1. අපේ ගමේ ගිහි පිරිත් කණ්ඩායම් දෙකක් තිබ්බා .. තාත්තා නායකත්වය දරපු එකයි . එස් ආර් කිරිබණ්ඩේ මාමා නායකත්වය දරපු එකයි . අපට ආශිර්වාද කරන්න ආවේ අනික් කණ්ඩායමේ කට්ටිය .. තාත්තත් ඒ කණ්ඩායමත් එක්ක එකතු වෙලා "අයං යක්ඛෝ වා.. වා.. යක්ඛොවා , යක්ඛ පෝතිකෝ වා .. " කිය කියා මහප්‍රාණ කෑලී සද්ද කර කර සජ්ජායනා කලා එදා..

      Delete
    2. Lalith ලියන්නේම නහ නේද

      Delete
  2. අතීතය මතක හැටි අගෙයි

    ReplyDelete
    Replies
    1. රස වින්දාට ස්තුතියි ..

      Delete
  3. අතීතය මතක හැටි අගෙයි

    ReplyDelete
    Replies
    1. රස වින්දාට ස්තුතියි ..

      Delete
  4. Replies
    1. ස' දරයෙන් පිළිගනිමු

      Delete