Saturday, 9 July 2016

ඔබේ මනුස්සකමට සහ හිතවත් කමට ස්තුතියි


සමන් පාලිත වෙදගේ  හෙවත් සමන් අය්යා  අපේ  කෙමිස්ට්‍රි ගුරුවරයාය.  ඔහු තම කාලය , ශ්‍රමය වසර තිස්තුනක් තිස්සේ කැපකලේ වෛද්‍යවරුන් , ඉංජිනේරුවන් සහ  අනෙකුත් උසස්පෙළ විද්‍යා අංශයෙන් තම විශ්ව විද්‍යාල  පදනම හෝ රැකියා පදනම සකස්  කර ගත් මිනිසුන්  බිහිකරන්නටය.

පසුගියදා  සමන්  අය්යා හදිසියේ  රෝගාතුර වූ අවස්ථාවේ  ඉදිරියට  ආවේ  එසේ ඔහුගෙන් අකුරුකල සිසු සිසුවියන්ය. ඒ අතර සිටියේ දොස්තරවරු ඉංජිනේරුවරු පමණක් නොවේ . සමාජයේ  විවිධ ක්ෂේත්‍ර වල රැකියා කරන්නන් ඔහුට තම හිතවත්කම , ලෙන්ගතුකම  ප්‍රදර්ශනය කලහ.  ඒ ඔහුගේ  හදවත්  සැත්කමට අවශ්‍ය මුදල්  ප්‍රතිපාධන  රැස් කර ගන්නට  සහය වීම මගිනි.

ඒ වෙනුවෙන් ලොව පුරා විසිරි  සිටින ඔහුගේ ගෝලබාලයන්  සහය දැක්වුහ .  සමහරු මුදලින් සහය දැක්වූ අතර තවකෙක්  මේ ආරංචිය පැතිරවීම මගින් හෝ  ඔහුගේ රෝහල් ගත වීමේ කටයුතු සංවිධානය  කිරීමෙන් සහය වූහ.

මට සමන් අය්යාගේ හර්ද රෝග තත්වය ගැන කිව්වේ අපේ පංතියේ සිටි හිතවතෙක් මෙන්ම  වර්තමානයේ  බණ්ඩාරවෙල ප්‍රදේශයේ   වෛද්‍යවරයෙක් ලෙස සේවය කරන සාගර රත්නායක විසිනි . මිට අමතරව කැනඩාවේ සිට කතා කල අබේරත්න අය්යාද මේ සම්බන්ධයෙන් මා දැනුවත් කළා මතකය.

සමන් අය්යා ගේ චරිතය අළලා බ්ලොග් පොස්ට් එකක් ලිවිය යුතු යැයි මා තීරණය කරන්නේ ඒ අනුවයි.

සමන් අය්යා සම්බන්ධයෙන් බ්ලොග් පොස්ට් එකක් ලිවීමට පෙර  මම ඔහු හා දුරකතනයෙන්  සම්බන්ධ  වීමි.

"හලෝ සමන් අය්යා මම කවිඳු ... මට සාගර කිව්වා   සමන් අය්යට නුවර යන්න වෙනවා ස්ටේන්ට්ස්  දා ගන්න කියලා ?  දැන් ගොඩක් කල්ද රෝග ලක්ෂණ මතුවෙලා ?"

" හලෝ කතා කරාට ස්තුතියි.. ඔව් .ඔව් දැන් ටික කලක් වෙනවා .

මේ ළමයින්ගේ  විභාගේ ළඟ එන හින්දා  නුවර ගිහින්  ඇන්ජියෝග්‍රෑම් එක කර ගන්න එක කල් දදා හිටියා.

 මේ ළමයි ටික කොහොම හරි තල්ලු කරන්න එපැයි.."

සමන් අය්යා තවමත්  1989 -90 අපිට ඉගැන්වූ සමන් අය්යාමය.

ඔහුට තම හර්දය වස්තුව නැවතුනත්  කමක් නැත. ඔහුගේ පංතියට එන ළමයි ටික උසස් පෙළ විභාගයෙන් ගොඩ දැමීම  ඔහුගේ පළමු පරමාර්ථයයි.

මට ඔහු 1989 අගභාගයේදී  අපේ පංතිවල සිටි සිසුන්ට  උගන්වමින් සිටිද්දී  ( එදා මා එම පංතියේ සිටියේ නැත ) සිදු වූවායයි කියන සිද්ධියක්  සිහියට නැගිණි.

ඒ සමන් අය්යා තමන්ගේ පන්තියේ ඉගෙන ගනිමින් සිටි සිසුන් පිරිසක් හමුදාව විසින් පංතියේදී ම අත්අඩංගුවට  ගැනීමට විරුද්ධ වූ කථාවයි.

ඒ සම්න්ධයෙන් මා ඔහු ගැන ලිවූ  අනෙක් පෝස්ටුව  මෙතැනින් කියවන්න.

ඒ සිද්ධිය අවසානයේ සිදුවුයේ  කිසිදු දේශපාලනයක් නොකළ සමන්  අය්යා තමන්ගේ සිසුන් වෙනුවෙන් ඉදිරිපත් වීම නිසා රජයේ හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමයි.

ඔහු එදා තම සිසුන් වෙනුවෙන් ඉදිරිපත් වුයේ එසේය. අද තම සිසුන්ගේ විභාගය වෙනුවෙන් තමන්ගේ  ශරීර සොක්‍යය  පරදුවට තබන්නට හදන්නේය .

"ඒ කියන්නේ ඇන්ජියෝ  එක කලේ පරක්කු වෙලා?"

"ඔව්  ගිය සතියේ ඒකට  නුවර ගිය වෙලාවේ ඩොක්ටර් දීප්ති  හම්බවුනා  . එයා තමයි සාගරට  කියලා තියෙන්නේ . එයාගේ ඩොක්ටර් සාගරගේ   බාප්පාගේ පුතානේ ?"



සමන්අය්යාගේ සිසුන් වෙනුවෙන් ඇති මේ කැපවීම නිසාම  ඔහුගේ මනුස්සකම හඳුනන  බොහෝ පිරිස් තවමත් ඉතිරිව සිටිති.

එවැනි පිරිස් එක් රැස් කර  සමන් අය්යාගේ  ශල්‍යකර්මයට උදව් කරන්න ට තීරණය කලෙමි.

ඊට පෙර ඔහුගේ අදායම් තත්වය ගැන විමසිය යුතුයැයි සිතුවෙමි .

මා දන්නා හැටියට සමන් අය්යා දැනට අවුරුදු තිස්තුනක්  ටියුෂන් ගුරුවරයෙක්  ලෙස තම සේවය ඉටුකරන්නෙකි.

"දැන් කොහොමද සමන් අය්යා අදායම එහෙම?  ගොඩක් ළමයි එනවද ඉස්සර වගේ ?"

"නෑ.. නෑ.. දැන් ගොඩාක් ළමයි එන්නේ නෑ.. තව කෙමිස්ට්‍රි පංති තියෙනවනේ මේ පැත්තේ  එවාටත් කට්ටිය  බෙදිලා යනවා . මගේම ගෝලයෝ  කිහිපදෙනෙක්  දැන් මෙහෙ පංති කරනවනේ "

"ඒ කියන්නේ සර්ජරි  එකට  උදව් ඕනෑ  වෙනවා ?"

"ඔව්..ඔව්  තිබුනා නම් ලොකු උදව්වක් .. මට ඩොක්ටර් දීප්තිත් කිව්වා කට්ටියට  කියලා සහයෝගයක් අරන් දෙන්නම් කියලා "

මා සමන් අය්යා ගේ ශල්‍ය කර්මයට  උදව් ඉල්ලා බ්ලොග් පොස්ට් එකක් ලියන්නේ ඒ අනුවයි.

ඒ පණිවිඩය සමන් අය්යාගේ ගෝලයින් කරා රැගෙන ගියේ අපේ පාසලේ සහ ඔහුගෙන් ඉගෙන ගත් සිසුන් වූ රවින්ද්‍ර බණ්ඩාර, සාගර   වැනි අයගේ මුහුණු පොත් හරහාය .

එසේ එකතුවූ අයගේ සහභාගිත්වයෙන්   සමන් අය්යාගේ ශල්‍යකර්මය  සාර්ථකව අවසන් වුයේ  ජුලි මස පළමුවැනිදාය.

මේ වනවිට  සමන් අය්යා නැවතත්  තම රාජකාරියේ  ( කෙමිස්ට්ට්‍රි ඉගැන්වීමේ ) නියැලෙයි..

ඔහු පළාතේ අනෙක් ටියුෂන් ගුරුවරුන් මෙන් තවදුරත්  ජව සම්පන්න තරුණයෙක්  නොවේ.  ටියුෂන්  ගුරුවරු  විශ්‍රාම වැටුප් ලබන්නෝද නොවෙති.


අනාගතය වෙනුවෙන් යෝජනා.





















ඉහතින් සඳහන් කල කරුණු කාරනා සලකා බැලීමෙන් පසු  සමන් අයියාගේ  අනාගත සැලසුම් කෙසේ විය යුතු දැයි සිතන්නට වීමි. 


1. සමන් අය්යාගේ පංති ඇසුරෙන් බිහිවූ සිසුන් ගෙන් මේ වන තෙක් ඔහුට සහයෝගය පළකරන්නට  නොහැකිවූ එහෙත් ඒ වෙනුවෙන් තම සිත් යෙදු අය බොහෝය . ඒ අය වෙනුවෙන් මේ යෝජනාව ඉදිරිපත් කරමි. 
මෙතෙක්  සමන් අය්යට සහය දීමට අපොහොසත්වූ  අයට කැමති නම්  ඒ වෙනුවෙන් යමක් කල හැකිය. ශ්ලයකරමයට පෙර සහය දෙන්නට බැරිවූ එහෙත් එසේ සිතු අය ඔහුගේ ගිණුමට තම සහය පළකරන්න.


0773104355 හෝ 0711187791 අංක මගින් ඔහු හා සම්බන්ධ විය හැකිය.

මෙන්න ගිණුමේ විස්තර:



Account Name: W. S. Palitha

Account Number: 79279434

Bank: Bank of Ceylon

Branch: Ella Branch 



2. සමන් අය්යා වර්තමාන තරඟකාරී  සමාජයේ  උඩුගං බලා පිහිනන්නෙකි. ඔහු තම පංති රටාව  ෆේස් බුක් හරහා  හෝ වර්තමාන තරුණ පරපුර ආකර්ෂණය කරන ආකාරයේ දැන්වීම් හරහා හෝ ප්‍රසිද්ධ කරන්නේ නැත.  
එහෙත් ඔහුගේ ගෝලයින් ලෙස අපට කල හැකි දෙයක් තිබේ. ඒ අප දන්නා කියන අයගේ දුවා දරුවන් ඔහුගේ පංති වලට යොමු කිරීමයි. 
ඔහුගේ පංති වල අදටත්   නොමිලයේ ඉගෙනීම ලැබීමට අවස්ථාව ලද සිසුන් පිරිසක් සිටිති . ඔවුන්ටද මේ ප්‍රචාරක කටයුත්තට දායක විය හැකිය. ඒ ඔවුන්ගේ සම වයසේ අනෙක් සිසුන් දැනුවත් කිරීම මගිනි. 


3. මේ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇත්තේ සමන් අය්යා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අතේය.  ඒ ඉදිරියට ඔහුගේ පංති වලින් ලැබෙනා අදායම්  අරපරිස්සමින් පාවිචිචි කිරීමත්  ඒවා  අනාගතය වෙනුවෙන් ඵලදායි  ලෙස ආයෝජනය  කිරීමත්ය. ඒ  සම්බන්ධයෙන්  ඔහුගේ පවුලේ  උදවිය  දැනුවත්  වී  කටයුතු කරනු  ඇතැයි  බලාපොරොත්තු වෙමි.


අනාගත  යෝජනා ඉදිරිපත් කරමින් සිටිනා අතරේ මේ  බ්ලොග් පෝස්ටුව ලිවීමේ ප්‍රධාන අරමුණ මා හට අමතක වෙයි දෝ කියා සිතිණි.

ශල්‍යකර්මයෙන් පසු සමන් අය්යා සමග නැවතත් දුරකථනයෙන් සම්බන්ධ වූ අවස්ථාවේ  ඔහුගේ හර්දයාංගම ස්තුතිය  ඔබ සැ ම හට පිදෙන බව සඳහන් කරන මෙන් ඉල්ලීමක් කළේය.

මේ පෝස්ටුව  ඒ වෙනුවෙනි.  මනුස්සකම සීග්‍රයෙන් වඳවී යන කාලයක් වූ වර්තමානයේ  සමන් අය්යා වෙනුවෙන්  ඉදිරිපත් වූ  ඔබටයි මේ ප්‍රණාමය.

සමන් අය්යා සහ ඔහුගේ පවුල වෙනුවෙන් ඉදිරිපත් වූ ඔබේ   මනුස්සකමට  සහ හිතවත් කමට ස්තුතියි



Friday, 8 July 2016

කල දුටු කල වල වල ඉහගත් කුමාරලා



මේ 1989 වසරේ   මැද  භාගයේ  සිදුවූ  සිදුවීමක්.  මම ඒ කාලයේ 13 වසර විද්‍යා පංතිවල ශිෂ්‍යයෙක්.

ඒ වන විට අපේ අය්යා හිටියේ වෙද විදුහලේ පළමු වසරේ ඉගෙනගනිමින්. එහෙත්  ඒ දිනවල ඔහුත් ගෙදරට වී සිටියේ  සරසවි වැසී තිබු නිසා .

මේ කතාව මට මතක් වුයේ  සමන් අය්යා හමුදාව විසින් අත්අඩංගුවට පත්වූ හැටි විස්තර විස්තර කරද්දී  මගේ සිත ඒ කාලයේ අපි මාරගස් වැල්ල කුඹුරේ රාත්‍රිය ගත කල ආකාරය වෙත ගමන් කල නිසයි.




මට මතක හැටියට අපේ අම්මා ඒ කාලයේ මමත් අපේ අය්යත් රෑ කාලයේ ගෙදර සිටිනවාට වැඩි කැමැත්තක් දැක්වුයේ නෑ.

ඒ කාලයේ ඈ අප ගෙදරට වී පොත් පාඩම්  කරනවාට වඩා  මාමලා සමග පැලට වී සිටීම ගැන කැමැත්තෙන් සිටියා කිව්වොත් නිවැරදියි .

එයට ආසන්නම හේතූ ලෙස මා දකින්නේ  පැවති කලබල කාරී වාතාවරණයත්,  ගමේ අයගේ ඇහැට උල් අණින්නක් වැනි කාරණයක් වූ  එවකට පළාතේ  උගත්කමින් ඉහළම පිරිමි ළමුන් දෙදෙනා ඇයගේ නිවසේ සිටීමත්ය.

ඒ කාලේ ගම් ගොඩේ තිබු දේශපාලන භේද සහ ඉරිසියාව හා කුහකකම් වල ප්‍රතිඵලයක් ලෙස අප දෙදෙනාද රජයේ හමුදාවන්ගේ බිලි දෙකක් බවට පත්වනු ඇතැයි යන සාධාරණ බියක් ඈ සිත තුල විය.

එහෙත් අප  පැල් රැකීමට ගියේ ඒ හේතුව නිසාම පමණක් නොවේ.

මේ කාලය වනවිට  අය්යත් මමත්  අපේ මාමලා දෙන්නා සමග හරි හරියට වැඩ කරමින් සිටි එළවලු ගොවින් වී සිටියහ.

 ඒ වන විට  මාරගස්වැල්ල  කුඹුරු යායේ තිබු එළවලු කොටු අතර අපේ තක්කාලි කොටුවත් අර්තාපල් වගාවත්  ප්‍රධාන තැනක විය.






අපේ රාත්‍රී පැල් සංචාරයේ  ප්‍රධාන අරමුණ ඒ කොටු දෙක මුරකිරිම  වූ අතර අපේ හිත්වල තිබු  යටි අරමුණ වුයේ රාත්‍රී කාලයේ ගෙදරින් පිටත ගත කිරීමයි.

මේ කාලයේ කුඹුරු යායේ  "අපේ අයගේ " කොටසේ පැල් තුනක් තිබු අතර  එකක් අපේ තක්කාලි කොටුව අසන්නයේත්  අනෙක් පැල් දෙක යායේ පහළට වන්නටත් පිහිටා තිබිණි.

මේ කියන දවසේ මමත් සමන්තත්  පුරුදු පරිදි පැලේ ගොස් සිටියෙමු.

 සාමාන්‍යයෙන් අපි දෙදෙනා අපේ පැලේ රැය ගතකරන අතර අපේ  ලොකු මාමා සහ අංජු මාමා ඔවුන්ගේ අර්තාපල් වගාවන්  මුර කරමින් පහළ පැත්තේ තිබෙන ඔවුන්ගේ  පැල් කොටවල සිටිති.

මේ වන විට අපේ තක්කාලි කොටුවේ ගෙඩි කැඩෙමින් තිබු නිසා  අපේ ලෑලි ඇඳ යට නිතරම තක්කාලි ගොඩගසා තිබුණේ එහිදීම   පෙට්ටි වලට පටවා කොළඹ යැවීමේ අරමුණෙනි.









සමන්තගේත් මගෙත් රාජකාරිය වුයේ  එසේ ගොඩ ගසා ඇති තක්කාලි මුර කිරීමත් , කොටුවේ ඇති අල සහ තක්කාලි සත්තුන් ගෙන් සහ සොරුන්ගෙන් බේරා ගැනීමත් ය.

ඊට අමතරව කාලීන අවස්‍යතාවයක් ලෙස අප සියළු දෙනාගේ පණ බේරා ගැනීමද අපේ රාත්‍රී රාජකාරියට එකතු වී තිබිණි.



පැල් රකින  අතරේත් ආරක්ෂිත  උපක්‍රම




මේ සිදුවීම වූ රාත්‍රියේ ද  අපේ පැලේ තක්කාලි ගොඩක් සහ රට වට්ටක්කා තොගයක් ගොඩ ගසා තිබිණි.

 කුඹුරු යායේ පැල් තුන හතරකම මිනිසුන් වූ අතර  අපේ කොටු වල දෙකෙලවරේ  වූ අපේ පැලත් "ගොඩ ගෙඩිය " නම් වූ කුඹුර මැද වූ උස් පස් ගොඩැල්ලේ පිහිටි ලොකු මාමාගේ පැලත් යන දෙකේ ඒ  රාත්‍රිය ගත කරන්නට අපි හතර දෙනා තීරණය කළෙමු.

අපේ පැල් කොටය පිහිටියේ කුඹුරු යායේ ඉහළම වූ ගොඩ ඉඩම් කොටසකයි. ඊට යාබදව තිබුණේ විශාල පාළු ඉඩමකි .  පුනාගල පැත්තේ තේ වත්තක සිටි වත්තේ මහත්තයෙකුට අයත් ව තිබු ඒ ඉඩමේ පැරණි ගෙයක්  තිබුනා මතකය.

මේ කියන දිනවල ඔහු විසින් ඒ නිවසේ දෙමළ පවුලක් නතර කර සිටියේය.  එහි සිටි කුඩා ළමුන් තිදෙනෙකි. ලොකුම ළමයා " කුමාර " අපේ කුඹුරට නිතර පැමිණෙන කෙනෙකි.  

මුලින් ම කුඹුරු යායේ  ඉහළ කෙළවරේ වූ අපේ පැලට රැස් වූ හතරදෙනා රාත්‍රී ආරක්ෂක  උපක්‍රම  සාකච්චා කරන්නට වූයෙමු.

"මේ දවස් වල රෑ තිස්සේ  පාරේ හමුදා වාහන යනවා වැඩියි. ඊයේ රෑත් මට ට්‍රක් එකක සද්දේ ඇහිලා ඇහැරුණා "   ලොකු මාමා තම හඬ අවදිකළේය.

"ලොකු අක්කා හැමදාම අපිට කියනවා උඹලා දෙන්නා ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න කියලා . අහුවුනොත් නම් පුතෝ  ආපහු ගෙදර එනවා බොරු "

"අද රෑ එහෙම සද්දයක් ආවොත් මම උඹලට  කතා කරන්නම් . තේ කෑල්ලට  ගිහිල්ලා හැන්ගෙමු"

ඔහු රාත්‍රියේ ඇති බැරෑරුම් කම මටත් සමන්තටත් ඒත්තු ගන්වන්නට උත්සාහ කළේය. 

මම පැලේ ගිණි මැලය පට පට ගා පුපුරණ වියළි මල්කොල  කෝටු වලින් පුරවමින් සිටියෙමි .  

ඒ වටා හිඳගෙන සිටිනා රාජුමාමා ගේ සහ ලොකු මාමා ගේ මුහුණු ලිපේ  එළියෙන් ඒකා ලෝක වී තිබේ.

පැලේ කණුවකට හේත්තු වී සිටි සමන්ත  මල් කෝටු හීනියට කඩමින් ගිනි මැලයට  විසි කරයි. බර කල්පනාවක  නික්මුණු  මුහුණක් ඔහුගෙන් දිස්වේ.

සභාවේ සිටි බාලයා වූ මා රාත්‍රියේ භයානක කම තේරුම් ගත්තේ ඉතාම අඩුවෙනි.  

රාත්‍රියේ පමණක්ඒ නොව  ඒ කාලයේ තිබු  බැරෑරුම් කම වුවද මා සිතට එතරම් බරක් එක් කලේ නැත.  

එසේ වූවානම්  මා සුරංජිත් , සුගත්  වැනි අය  සමග  සමීප ඇසුරක් පවත් වන්නට  තරම් එඩිතර වන්නට හැකියාවක්  නැත. 

මට වඩා දැනුම් තේරුම් ඇති සමන්ත ලොකුමාමා කියනා වචනයක් වචනයක්  පාසා දරකෝටු කැඩුවේ රාත්‍රියේ ඇති බියකරු බව හොඳින්ම වටහා ගෙනයි.

මේ අතර ලිපේ තබා තිබු වතුර මුට්ටිය  ගොජ ගොජ  ගා  බුබුළු දමයි. මම අංජු  මාමා දෙස බැලුවෙමි. 

"හරි හරි ඉස්සෙල්ලා හොඳ කහට එකක් බිලා ඉමු. චුටි පුතා ඔය  සීනි තේ කොළ ටික ගණින් මෙහාට "

කතාව වෙනතකට හැරෙව්වේ  කිරඹඔය පවුලේ බාලයා අංජු  මාමා විසිනි.

පවුල් දෙකේම වැඩිමහල්  දෙදෙනා තත්වයේ බැරෑරුම් කම ගැන සිතනා අතර බාලයන් වූ රාජුමාමාත්  මමත් එය එතරම් ගණනකට ගත් බවක් පෙනුනේ නැත.

ලොකුමාමා ටත්  සමන්තටත්  මරණ භිය  අප දෙදෙනාට වඩා  වැඩියෙන් දැනෙන්නට හේතුවක්  තිබිණි.

ඒ වනවිට  ලොකු මාමා  නාවික හමුදාවෙන් ඉවත් වී සිටි නාවික සෙබළෙකි.  අපේ  අය්යා පළමු වසරේ විශ්ව විද්‍යාල සිසුවෙකි.

මේ තත්ත්ව දෙකම 1988-1990  කාලයේ මරණ වරෙන්තුව අතින් ගෙන සිටියා වැනි තත්වයකට  මිනිසෙකු පත් කරන්නේ ඉබේටමය.


අංජු මාමාත්  මමත්  කහට  කෝප්ප  හතරක් සහ අම්මා දුන් ක්‍රීම් කැකර්  සහ කෙසෙල් ගෙඩි හතර  දෙනා අතර බෙදා හැරියෙමු.

තේ බීමෙන් අනතුරුව  එළැඹියේ එදා රැය ගත කරන අකාරය ගැන වූ සකච්චාවයි.

"උඹලා දෙන්නා  මේ පැලේ  ඉන්න එක එච්චර  හොඳ නෑ  . අංජු යි  චුටිපුතයි  උඩහ පැලේ ඉඳපල්ලා සමන්ත  උඹ  මාත් එක්ක  පල්ලැහැ  පැලේ ඉඳපන් "

" මම කොහොමටත්  රෑ එළිවෙනකන් පාරේ ඇහෙන සද්ද බද්ද ගැන කණ දාගෙන ඉන්නේ මොනවා හරි වුනොත් තේ වත්තට පනිමු."

ලොකුමාමා  නැවතත් කතාව පටන් ගත්තේය.

ලොකුමාමා  අප දෙදෙනා ඉහළ පැලේ නවත්වන්නට සිතුවාට අපේ අය්යා ඒ යෝජනාවට කැමති වුයේ නැත.

 ලොකුමාමා මෙන් ලොකු විශ්වාසයකින් අප දෙස නොබැලු  සමන්ත අංජු මාමා ගේ සහ මගේ  "භීම සමය" ගැන තිබු අදහස් දෙස තරමක් සැකයෙන් බලන්නට පුරුදු වී සිටියේය.

"මට හිතෙන්නේ අපි හතර දෙනාම එකම පැලක ඉමු කියලයි. අනික් පැලේ ලාම්පුවක් පත්තු කරලා තියමු.  උඹලා දෙන්නත් අපිත්  අපිත් එක්ක ගොඩ ගෙඩිය උඩට වරෙල්ලා "

යැයි ඔහු කිවේ එබැවිණි.

"එතකොට  මේ තක්කාලි ගොඩ ?  හොරෙක් එහෙම ආවොත්  ? " මම හඬ අවදි කළෙමි.

"යකෝ හොරෙක් ඇවිත් තක්කාලි ගෙනියනවා වගේ ද තොපි දෙන්නට  කළුකුඩු භෂ්ණේ
හම්බවුනොත්?

ලොකු අක්කාගෙන්  විසුමක් වෙන්නේ නෑ .. 

පල්ලැහැ පැලට වගේ නෙවෙයි මෙතෙන්ට  ඕනෑ කෙනෙකුට එන්න ලේසියි "


ලොකුමාමා පැවසුවේ ඇත්තකි.  අපේ පැල පිහිටියේ තේ වත්තේ පාරට  ළඟාවිය හැකි පැත්තේය .

ගොඩගෙඩිය  උඩ පැල වෙත බුට්ස් කාරයෝ රැලක් එන්නේ නම්  කොයි පැත්තෙන් ආවත් කුඹුරු යාය මැදින් පැමිණිය යුතුය. 

ඉහළ පැල  තේ වත්තේ  පාරට අසන්න  වීමත් , හතරදෙනා වෙන වෙනම සිටීමත් අනතුරුදායක කමින් වැඩි යැයි හැමෝගෙම අදහස විය.

 හතරදෙනාම  පහල පැලේ  ( ගොඩගෙඩිය උඩ පැලේ ) සිටිය යුතු යැයි වූ සමන්ත ගේ යෝජනාව ඒකච්චන්දයෙන්   සම්මත වුයේය. 

උඩහ පැලේ ගිණිමැලයත් ලාම්පුවත් දල්වා තැබූ අප සියළු දෙනා ලොකුමාමා ගේ පැල වෙත ගමන් කළෙමු.

ටෝර්ච්  සහ හුළු අතු බැඳගෙන  නියර දිගේ පල්ලහැට යන ගමන මහපාරේ සිටි ඕනෑම කෙනෙකුට  පැහැදිලිව පෙනෙන්නට ඇත.

හතරවටින් තේ යායත් දෙපැත්තකින්  අපේ ගමට සහ දෙමළ ලැයිම් දෙසට යන  ප්‍රධාන පාරවල් දෙකත් අතර මැද  පිහිටි ද්‍රෝනියක කුඹුරු යාය පිහිටා තිබිණි.

අපේ මුත්තාට පරම්පරාවෙන් හිමිවූ මේ කුඹුරු යාය

පළාතේ සියළු ඉඩම් තේ වැවීමට යොදාගත්   සුද්දන්

 විසින්  ද්‍රෝණියේ පිහිටි කිරඹඔය "ඔය "  නිසා ඉතිරි කල ඉඩම් කොටසක  පිහිටා තිබිණි.

කුඹුරු යාය දෙකට බෙදමින් ගලා ගිය "ඔය"   හේතුවෙන්  ගොඩ ගෙඩියේ පිහිටි පැලට තවත් ආරක්ෂාවක් එකතු වුවේය.

පාරේ සිට ඒ පැල වෙත එන  කෙනෙක් අනිවාර්යයෙන්ම ඔයෙන් එකන් වී පැමිණිය යුතු වීම ලොකු මාමගේ  පැල  ආරක්‍ෂිත මර්මස්ථානයක් ලෙස සැලකීමට  තවත් හේතුවක් විය.

ලොකුමාමා ගේ පැලට  ළඟාවූ සමන්ත මම ඇතුළු පිරිස රෑ දොළහ පමණ වෙද්දී නින්දට වැටුනෙමු.

උඩහ පැලේ ලාම්පු එළියත් ගිනි මැලයත් තිබුනද මේ පැලේ එවැනි  කිසිවක් නැතිව අන්ධකාරයේ ඉන්නට  තීරණය කර තිබුණේ තවත් ආරක්ෂක උපක්‍රමයක් ලෙසිණි.

ලොකුමාමා සහ සමන්ත කෙසේ වෙතත් මාත්  අංජු  මාමත් පුරුදු පරිදි තද නින්දට වැටුනෙමු.

රාත්‍රිය ගත වෙද්දී ඔවුන් දෙදෙනාගේ ද ඇස් පිය වෙන්නට ඇත.

"ඒයි  අංජු  ... නැගිටපන් නැගිටපන්  ... පුකට ඉළිය වැටෙනකන්  බුදිය ගෙන පුළුවන්ද  යකෝ පැල්  රකින්න  ?  තුන්දෙනාම  නැගිටපල්ලා   "

ලොකුමාමා ගේ  කටහඬ අපව අවදිකළේ උදේ පහහමාර පමණ වන විටයි.

 ඒ වනවිටත්  පැලේ ළිප ගිණි මෙලවූ ඔහු තේ මුට්ටියක්ද  රත් කර තිබුණේය.

"චුටි පුතා උඹයි  සමන්තයි දෙන්නා ගිහිල්ලා  අල කෑල්ලයි  තක්කාලි කෑල්ලයි වටේ රවුමක්  ගහලා වරෙල්ලා
මම තේ පෙරලා තියන්නම් එනකොට"

ඔහු නින්අදේ සිටි අපේ   කශේරුකා වලට  තම කකුලේ මහපට ඇඟිල්ලෙන් අනින්නට විය.

මේ වනවිට අප තිදෙනාම සිටියේ දයන්නක් මෙන් වක ගැසුණු ඉරියව්වකයි.

ඒ ඉහේ සිට  දෙපතුල් දක්වා පොරවාගෙන හුන් "බුලන් කෙට්ටු" වලින් වැසි සිටිනා ගමන්ය.



සමන්තගේ  සිහිනය සහ  කලදුටු කල වල ඉහ ගැනීම





ආ... ආ .. ආ... අත් දෙක දෙපසට විහිදමින්  ඇඟ මැලි  කඩන්නෝ තිදෙනෙකි.  

ඒ  අංජු  මාමා සහ  මල්දෙණියේ  අය්යා මලෝ දෙදෙනාය. 

"ඊයේ රෑ මොකුත් කලබලයක් වුණේ නෑ නේද?   මම හීනෙන් භයවුනා නේ  ඊයේ රෑ " සමන්ත කතාව පටන් ගත්තේය . 

"ඇයි ඇයි .. උඹ දැක්කද  කාට හරි කළු කුඩු භෂ්ණේ හම්බවෙනවා? "  ලොකු මාමා හීනේ විස්තර අහන්නට විය. 

" නෑ .. කවදාවත් නැතුව මම අපේ හින්නි මාමා හීනෙන් දැක්කනේ . පොර මගේ ඔළුවට මිටියකින් ගහනවා දැකලයි මම ඇහැරුණේ"

සමන්ත පැවසුවේ ඒ කාලේ ගමේ ප්‍රසිද්ධ වඩු බාස් කෙනෙක් වූ හින්නිමාමා  ඔහුගේ ඔළුවට අඬු මිටියකින් ගැසූ බව හීනෙන් දුටු බවයි. 

"හරි හරි ඒකෙන් කමක් නෑ ගිහිල්ලා තම තමන්ගේ කොටු බලලා වරෙල්ලා  "
ලොකුමාමා නැවතත් ගෝරනාඩු කරන්නට වුයෙන් අප තිදෙනා උදෑසන මුර සංචාරය පටන් ගත්තෙමු. 

"චුටිපුතා වරෙන් අපි  උඩහ පැලට ගිහින් එමු . උඹලා ගේ  තක්කාලි ටික බලලා එන්න. " 

අංජු මාමා මා  කැඳවුයේ  ලොකු අක්කගේ  තක්කාලි ආරක්ෂා කිරීමේ වගකීම  තමා සතු බව සිහිවීමෙන් විය යුතුය. 

මම දනිපනි ගා  ගොඩ ගෙඩියෙන් පහළට  බැස්සේ රාජුමාමා ගේ  පස්සෙන් වැටුනෙමි.  

නියර දිගේ අපේ පැල දෙසට යද්දී  උඩහ වත්තේ වූ කුමාරලා  නිවස  අප නෙත් ගැටුනේ  එහි කුස්සියෙන් පිටවන දුම් රොටු නිසාය.  

ඒ දෙස නෙත් යොමමින්  කුඹුරේ  ඉහළට ගමන් කල  අප පැල්  කොටය වෙත ලඟා වූයෙමු.

"දෙය්යනේ අද  අපි  ඉඳලා  ඉවරයි" අංජු  මාමා කෑ ගසන්නට විය.  

"ඇයි  ඇයි  මොකද මොකද ? "  මමත් යුරියා බෑග් වලින් වටකර තිබු පැලේ ඇතුළට එබුනෙමි.  

"මේ බලපන් උඹලාගේ තක්කාලි ගොඩටයි  වට්ටක්කා ගොඩටයි  කවුරු හරි වැඩේ දීලා. එක ගෙඩියක් නැති වෙන්න සුද්ධ  කරලා "

අංජු  මාමා  වෙවුලන කටහඬකින් කියාගෙන ගියේ තම ලොකු අක්කා (අපේ අම්මා ) ගේ තරම දන්නා නිසාය. 

සිද්ධිය සමන්තට සහ ලොකු මාමාට ද සැලවිමට වැඩි වෙලාවක් ගියේ නැත..  


"ඒක තමයි හින්නා මගේ ඔළුවට  මිටියකින්  ගැහුවේ . අපේ තක්කාලි හොරු ගෙනියනවා කියලා මට කියන්න "
සමන්ත තම  සිහිනය අර්ථ දක්වන්නට විය.

මේ භීෂණ සමයේ  තක්කාලි හොරකම් කරන්නට කිසිවෙක් ඒ තරම් දුරක සිට පැමිණිය නොහැකි බව ලොකු මාමාගේ අදහස විය.

"ඒකත් එකටම ඕක  කුමාරයලා තාත්තගේ වැඩක්. ඔය මිනිහගේ මුණ දැක්කම තේරෙනවා  මිනිහා ලෝක හොරෙක් බව  " 

ලොකුමාමා අපේ ප්‍රධාන සැකකරුවා හඳුනාගත්තේ එසේය.

"උඹලා කවුරු හරි තේ කොළ ටිකක් ඉල්ලගන්න  කියලා කුමාරලා ගෙදරට පලයල්ලා . හොඳට වට පිට බලපල්ලා මොකක් හරි හෝඩුවාවක් තියෙන්න බැරි නෑ.."

ලොකුමාමා ගේ උපදෙස් පරිදි රාජුත් මමත් කුමාරලා අම්මා සොයාගෙන ඔවුන්ගේ කුස්සියට ගියෙමු .

ඇය තේ කොළ සොයනා අතර අපේ උකුසු ඇස් ඒ මේ අත දිව ගියේය..

අපට කතාකරමින් ලිපේ තිබු හැලියේ පියන ඉවත් කල කුමාරලා අම්මා  ලොකු මාමාගේ  සැකය ස්ථිර කළාය.

කුමාරලා ලිපේ දුම් දමමින් තැම්බෙන රට වට්ටක්කා  හැලියකි...ඒ එකත් එකටම ඊයේ රෑ අපේ පැලෙන් පැන්නු වට්ටක්කා විය යුතුය. 

ඔවුන්ගේ ගෙවත්තේ කිසිවක් වගා නොකරන කුමාරලා වට්ටක්කා දළු කඩාගන්නේද අපේ කුඹුරු වලිනි. 

එහෙත් ඒ මොහොතේ  තක්කාලි ඇඹුලක් නම් ලිපේ  අහලක  වත් තිබුණේ  නැත..




Friday, 1 July 2016

සමන් අය්යා ගේ රෑ පංතිය


ඒ 1989 මැද  භාගයයි . ඇති හැකි පවුල් වල  සිසුන් ( අපේ කණ්ඩුල සද්ධා මංගල  වගේ )  සහ තම නෑදෑයින් හිතවතුන් කොළඹ හෝ නුවර සිටි ( අපේ රුවන් ආටිගල වගේ )  සිසුන්  වැඩි හරියක් කොළඹ හෝ නුවර ගොස් සිටියහ. 

මා අසා ඇති පරිදි මේ දෙදෙනාම කොළඹ ගියේ තම අධ්‍යාපන කටයුතු  බාධාවකින් තොරව කරගෙන යෑමටයි. 

ඔවුන් මෙන්ම අනෙකුත් බොහෝ සිසුන් මේ තීරණය ගැනීමට පෙළඹුනේ අරලගන්විල  පාසැල් නිතර වැසි පැවතීමත් අපේ දෙමව්පියන් අපේ ජිවිත ආරක්ෂාව සලකා සමන් අය්යලාගේ සහ පතිරණ සර්ලා ගේ පංති වලට යෑමට ඉඩ නොදීමත් හේතු කොටගෙනයි.

මේ අතර රටපුරා පැතිරුණු කලබලකාරී වාතාවරණය අරලගන්විලටද  පැමිණ තිබිණි. 

 කලබල වැඩි වීමත් සමගම අපේ උපකාරක පංතිද එකින් එක වැසි යන්නට විය. 

මුලින්ම නැවතුනේ පතිරණ සර් ගේ  physics පංතියයි . සිසුන්ගේ සහ තමාගේ ආරක්ෂාව පතා ඔහු ඒ තීරණය ගෙන තිබිණි.  

එහෙත්  ඒ වන විටත් සමන්  අය්යාගේ රසායන විද්‍යා පංතියත්  අධිකාරි සර්ගේ  සත්ව සහ උද්භිද විද්‍යා පංති දෙකත්  තවදුරටත් කරගෙන යමින් තිබිණි. 

අරලගංවිල ට වී සිටි තාරක , ලසන්ත ලාල්  , වැල්ලවායේ සුගත් ලසන්ත සහ  මා වැනි  අයට  ඉතිරිව තිබු එකම උපකාරක පංති දෙක වුයේ මේ පංති දෙකයි. 


සත්ව විද්‍යාව සහ උද්භිද විද්‍යාව මෙන් නොව රසායන සහ  භොතික විද්‍යා විෂයයන්  තනියම ඉගෙන ගැනීමට අපහසුය. 

ඒ  නිසා කෙසේ හෝ ඒ දෙදෙනාගේ  පංති වලට දිගටම සහභාගී වුයෙමි.


චමින්ද රාජපක්ෂ සහ සුරාජ් බණ්ඩා වැඩියම ප්‍රිය කලේ   අධිකාරී සර්ගේ පංතියටයි.

ඒ  වැඩිපුර  වල බසින්නට ලැබෙන්නේ ඒ පන්තියේදී  නිසාය.  

එහෙත්  අදිකාරී සර්ගේ පංතියට  මා සහභාගී වුයේ මුල් මාස දෙකේදී පමණි. 

 මාස දෙකක් පංති ගොස්  අධිකාරි සර්ට පොල්ලක් තැබූ මා නැවත ඔහුගේ පංතියට ගියේ නැත. 


සිසුන් වෙනුවෙන්  ඉදිරිපත් වීම  පුනරුත්ථාපනය  වීමට හේතුවක් වූ හැටි

සමන් අය්යා දිගටම පංති කරගෙන ගියද  නගරයට කිලෝමීටර් පහක් පමණ දුරින් සිටි අපට  ඔහුගේ පංතියට යාමද නවතා දමන්නට වුයේ අම්මාගේ බල කිරීම උඩයි.  

මේ වනවිට  අපේ ලඟම හිතවතුන් වූ  $%#@ රත්නායක   , සුරංජිත් රත්නායක  වැනි අය  අත්අඩංගුවට පත්වී හෝ අතුරුදහන් වී හෝ සිටියහ. 

මේ නිසාම  1989 මැදභාගය වෙද්දී මම කිසිම පන්තියකට සහභාගී වුයේ නැත.   එහෙත්  සුරාජ් හෝ චමින්ද රාජපක්ෂ  මුණ ගැසීමේ හැකියාවක්  පැවතියේ ඒ දෙදෙනා සිටියේ කිරඹ ඔයේ ( අපේ අල්ලපු ගමේ) නිසාය.

එහෙත් ගමේ බොහෝ දෙනෙක් එකිනෙකා ගැන කිසියම් හෝ සැකයකින් පසු වූ මේ කාලයේ  ඔවුන් දෙදෙනාද මට හමුවුයේ ඉතා කළාතුරකිනි.

මේ  කාලයේ මමත් විශ්ව විද්‍යාලය වසා දමා තිබුණු නිසා අපේ අය්යත්  වැඩිපුරම කාලය ගත කලේ කිරඹඔයේ  අපේ මාමාලා සමග එළවලු වගාවට සම්බන්ධ වෙමිනි.

ඒ දහවල් කාලයේ  කුඹුරු වැඩ කරමිනුත් රාත්‍රී  කාලයේ  මාරගස්වැල්ල කුඹුරේ  පැල් රකිමිනුත්ය.

කිසියම් හේතුවක් නිසා අප දෙදෙනා ගෙදර ඉන්නවාට වඩා මාමලා සමග පැල් වලට වී සිටීම ආරක්ෂා සහිත යැයි අම්මා තීරණය කර තිබිණි.

රෑ නමය දහය වෙද්දී පැලට වී තේ බොමින් , සිංදු  කියමින් කල්ගෙවන අපි  තව තව රෑ බෝ වෙද්දී නින්දදත් නොනින්දත් අතර පසු වන්නෙමු.

ඒ  උඩහ තේ වත්ත පාරේ හමුදා හෝ පොලිස් වාහන ගමන් කරන්නේ දැයි කල්පනා කරන අතරයි.

"ඒයි ඒයි  චුටි පුතා.. නැගිටපන් නැගිටපන්  "

රාජු මාමා හෝ  ලොකු මාමා  එක් වරම හඬ අවදි කරයි .

"පාරේ ජීප් එකක් යනවා . වරෙන් යන්න"

වෙලාව රෑ දොළහ  -එක පමණ වන්නට ඇත.   කම්මැලි කර කර  මාමලා පස්සේ වැටෙන  මමත් සමන්තත්  ඔවුන් අනුගමනය කරමින් ඇලෙන් එගොඩ වන්නෙමු.

අපේ රාත්‍රියේ ඉතිරි හරිය ගත වන්නේ ආණ්ඩුවේ තේ වත්තේ තේ  කාණුවක්  තුලයි.  නැවත වටින් ගොඩින් එලිය වැටෙද්දී පැල්  කොටය වෙත  ලඟා වෙන අප සැනසුම් සුසුම් හෙලන්නෙමු.

ඒ අපි උසස් පෙළ  විභාගයට  ( පළමුවෙනි වර ) සුදානම් වූ  ආකාරයයි.  

මෙසේ  කාලය ගෙවෙද්දී   මට අහම්බෙන්  හමුවූ හිතවතුන් දෙදෙනෙකි.  ඒ  සුරාජ්  සහ චමින්ද රාජපක්ෂ යන දෙදෙනාය.

"මචං කවිඳු  ... කොහොමද බං  .. උඹලා දැන් පේන්න වත් නෑනේ  "

"ඔහේ ඉන්නවා මචං ලා.. උදේ ඉඳන් රෑ වෙනකන් ඉතින් කුඹුරේ තමයි.

අලයක් කොලයක් වවාගෙන ඉන්නවා ඔහේ..   රෑටත් කුඹුරේම තමයි.. ජීප් සද්දයක් හෙම ඇහුනොත් ඉතිං..... තේ ගහක් යට තමයි රැය පහන් වෙන්නේ."

"අඩේ උඹලා ජිවත් වෙන්නෙත්  තේ වත්තේ පිහිටෙන්ද ? අපි දෙන්නත් සද්දයක් ඇහුනොත් ටක් ගාලා  ගෙට උඩහ තියෙන තේ වත්තට පනිනවා."

සුරාජ්  අසල ඇති රජයේ තේ වත්ත අප දෙගොල්ලන්ගේම  පිහිටට එන හැටි විස්තර කරන්න විය.





"කොහොමද දන්නේ නෑ ටවුන් එකේ පංති එහෙම ? " මා විමසුවේ  මේ දෙදෙනා බොහෝ විට පයින් හෝ  සමන් අය්යලගේ පංති යන්නට ඉඩ ඇති යැයි සිතුන නිසාය.

" ආ .. උඹ දන්නේ නැද්ද  අළුත්ම ආරංචිය..?  දැන් අරලගංවිල  පංති ඔක්කොම නැවතිලා .  සමන් අය්යයි අධිකාරි සර් දෙන්නත්  කොබෝදයිෂි  කැම්ප් එකට ගෙනියලා ලු "

" නෑ.. ඒ කියන්නේ සමන් අය්යත්  දේශපාලනය  කරලද?" මම විමසුවේ  එවනි කිසිදු හෝඩුවාවක් අපට ලැබී නොතිබූ බැවිණි.

" නෑ  ... නෑ  .. කොල්ලෝ වගයක්  ගෙනියන්න හමුදාවෙන්  සමන් අය්යියගේ  පන්තියට ඇවිල්ලා . එයා කොල්ලෝ පංතියේ ඉඳිද්දී ගෙනියන්න දෙන්න බෑ  කියලා .. චමින්ද  මට සිද්ධිය සම්පුර්ණයෙන් විස්තර කරන්නට විය..

මචං  සමන් අය්යා ආමි කාරයින්ට මෙන්න මෙහෙම  කිව්වලු..

මේ ළමයි  දැන් ඉන්නේ මගේ භාරයේ  . මට එයාලා ගැන වගකීමක් තියෙනවා .. මගේ පංතියේ  ඉඳිද්දී  කිසිම කෙනෙක් අත්අඩංගුවට  ගන්න දෙන්න බෑ  ....

ඒ කතාව අහපු  හමුදාවේ ලොක්කාට  කේන්ති ගියාලු. මිනිහා කිව්වලු

 හරි තමුන්ට  ළමයි නේ ගෙනියන්න  දෙන්න බැරි..එහෙනම්   ළමයි වෙනුවට සර් යමු අපිත් එක්ක   

  එච්චරයි .. දන්නවනේ ඉතින් අද කාලේ හැටි .

 එයාලගේ  නීතියනේ  සමන් අය්යා  කැම්ප් එකේ නවත්තගෙන.


හැබැයි   මචෝ  කතාවක්  තියෙනවා  ඇත්තද දන්නේ නෑ..

කැම්ප් එකේ ඉන්න කොල්ලොන්ට  විභාගෙට  ලෑස්ති වෙන්න..

....උන්ට   උගන්වන්න   සමන් අය්යලා  අරන් ගියා කියලත් "

චමින්දගේ  කතාවට හූමිටි තිබ්බේ සුරාජ් විසිනි.

කෙසේ වෙතත් මෙසේ අත්අඩංගුවට පත් සමන් අය්යා  නැවත නිදහස්  කෙරුනේ  මාස තුනක පමණ කාලයකට  පසුවය.

පාසැල්  පමණක් නොව පුද්ගලික උපකාරක පංතිද  වැසි ගියේ  අපේ උසස් පෙළ ලියන්න ඔන්න මෙන්න කියා තිබියදීය.

රට සමාන්‍ය අතට


ඒ 1990 වසරේ  අප උසස්පෙළ විභාගයට  සුදානම්  වූ  කාලයයි.   ඒ වන විට 1989 දෙසැම්බර්  මාසයේ පැවති උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී  තිබුණි.

උසස්පෙළ ප්‍රථම වතාවට ලියු අයගෙන් 1989 භීෂණ සමයේ කොළඹ  පංති ගිය අයවූ  කණ්ඩුල සද්ධාමංගල , තිලාන් හේවගේ  වැනි අයත්  කොළඹ නොගොස් අරලගංවිල  නැවතී කෙසේ හෝ පාඩම් වැඩ කල සමහර අයත්   අගෝස්තු මාසේ නොතබා දෙසැම්බර් වලට කල දැමු විභාගය සමත් වී සිටියහ.

මේ අතර  කරඹේ , සිසිත වැනි අය  සිටි බව  මාගේ මතකයයි.   එහෙත් කදුරුගමුවේ තාරක, ඇත්තලපිටියේ  ලසන්ත  ලාල් සහ  මා වැනි  අරලගංවිල ම නැවතුනු අය එතරම්  ඉහළ  සාමාර්ථ ලැබුවේ නැත.

 තාරක සහ මම   සි දෙකයි එස් දෙකයි   වැනි  සාමාර්ථ ලබා ගත්තෙමු. ලසන්ත ලාල් සහ සුගත් ලසන්තත් ඊට තරමක් පහළ සාමාර්ථ ලැබුවෝය.

අප කල ලොකුම වැරැද්ද වුයේ  උසස්පෙළ විභාගයක්  1989 පැවැත්වෙන්නේ  නැති වේවි යැයි උපකල්පණය කිරීමයි.

එසේ උපකල්පණය කරන්නට හේතුවක් වුයේ මුළු රටම අරාජික වී කොයි මොහොතේ හෝ රජයේ පාලනය බිඳ වැටෙනු ඇතැයි යන මතයක් අපට හිතවත් සිසුන්  විසින් විශ්වාස කිරීමයි.

මේ කියන කාලය වන  විට 1988 -1989 භීම සමය අවසන් වී අරලගංවිල තත්ත්වය සැහෙන්න සාමාන්‍ය අතට හැරී තිබිණි.

රජයේ හමුදා භාරයට පත්වී මෙලොව ජිවත් වීමට වාසනාව තිබු   තරුණ තරුණියන් පිරිසක්  දවුලගල  තේ කර්මාන්ත ශාලාවේ පැවති  කොබෝදය්ෂි පුනරුත්ථාපන කඳවුරේ   සිට නිදහස් වී පැමිණ සිටියහ.

ඒ අතර  කිසි වරදක් නොකොට තිබියදී   මාස කිහිපයක් එහි රඳවාගෙන සිටි අපේ කෙමිස්ට්‍රි ගුරුතුමා වූ සමන් අය්යා සහ අරලගංවිල ස්ත්වවිදයාව සහ උද්භිද විද්‍යාව ඉගැන්වූ අධිකාරි  ගුරුතුමාද වූහ.

අපි දෙවන වර විභාගය සඳහා මුළු වැර  යොදා වැඩ කරන්නට තීරණය කළෙමු.

නැවතත්  සමන් අය්යා  , පතිරණ සර්  සහ අධිකාරි සර්ලා  පංති ආරම්භ කළහ.



මගෙන් පළමුවර විභාගයට පෙනී සිටිද්දී මුදල් නොගත් සමන් අය්යා සහ පතිරණ සර් ( මා සමන්ත නාමරත්නගේ මල්ලී නිසා )  දෙවන වර විභාගය කරද්දී  මුදල් අවශ්‍ය බව පවසා තිබිණි.

එළවලු  වගාවත්  දෙමළ ඉස්කෝලේ  සාමාන්‍ය පෙළ සිසුන්ට  උපකාරක  පංති කිරිමත් නිසා දැන් මගේ අතේද  යහමින් මුදල් ගැවසෙන කාලයකි.

ඊට  අමතරව චමින්දලා බාප්පලා ගෙදර  ගොස්  කමල් මල්ලි , නංගි සහ චන්ඩි මල්ලිට  ඉගැන්වුවේද  මේ දිනවලය. 

ඒ නීසා  පතිරණ සර්ට  සහ සමන් අය්යාට  පංති ගාස්තු ගෙවීම  මට ගැටළුවක් වුයේ නැත.   

සමන් අය්යා ගේ  රෑ  පංතිය


දෙවන වර විභාගය කරද්දී  චමින්ද  සහ සුරාජ් ගේ සම්බන්ධය  බොහෝ දුරට අඩු කළ මම වැඩිපුරම ගැවසුණේ තාරක,  ලසන්ත ලාල්  සහ ඇත්තලපිටිය  පන්සලේ නැවතී  අපත් සමග  විභාගයට  සුදානම් වූ වැල්ලවායේ  සුගත් ලසන්ත සමගය.

අපට වඩා අවුරුදු හත අටක් වැඩිමහල් වූ සමන් අය්යා  මේ වනවිට  අප කල්ලියේ  ලඟම  හිතවතෙකු වී සිටියේය.  

මේ අතර  කදුරුගමුවේ තාරක  සහ  ලසන්ත ලාල් ඇතුළු පිරිසක් එක් වී  සමන් අය්යා රෑ පන්තියකට  කැමති කරගෙන තිබිණි.

"මචන් කවිඳු  සමන් අය්යා  අපි ටිකට  හැමදාම  රෑට  උගන්වනවා කිව්වා  . ගෘප් ක්ලාස් එකක් දාලා  උඹත් එනවද ? "

තාරකයා මගෙන් විමසා සිටියේ මේ අතරය.  

"රෑ  හතේ ඉඳලා නමය වෙනකන් කරනවා ලසන්ත ලාල් ,  සුගත් ලසන්ත එහෙමත් එනවා .. උඹත් වරෙන්.. කොහොම හරි මේ පාර කෙමිස්ට්‍රි ගොඩ දාගන්න  පුළුවන් එහෙම වුනොත් "

අපේ ගම පැත්තට යන අන්තිම බස් එක තිබුනේ රෑ හතටය.  මේ දෙගොඩහරි  ජාමේ  පංති ඉවර කර ගෙදර යන්නේ කෙසේ දැයි  මම තාරක ගෙන් ඇසුවෙමි. 

ඔහුට නම්  කොළඹ බස් වල  යා හැකිය.  අපේ පැත්තට  රෑ  හතෙන් පසු කිසිම වහනයක්  යන්නේ නැත.. මම මගේ ප්‍රවාහන ප්‍රශ්නය  ඉදිරිය දැම්මෙමි.

" ඇයි  යකෝ  .. ලසන්ත  ලාල්  ඇත්තලපිටියට යනවා .. සුගත් ලසන්තයා  ඊටත් ටිකක් එහා තියෙන ඇත්තලපිටිය පංසලට  යනවා උන් දෙන්නා එක්ක පයින් යන්න පුළුවන් නේ  උඹට?"

තාරක මගේ රාත්‍රී පංතියෙන් පසු ප්‍රවාහන සැලසුම ඉදිරි පත් කළේය. 

මම රාත්‍රී පන්තියට සහභාගී වුයෙමි.  සමන් අය්යා හතට පටන් ගන්නා පංතිය සමහර විට  නමය හමාර දහය දක්වාද  ඇදගෙන යයි.  ඒ අපිත් සමග පොඩි කයිවාරු වකට  ද  සෙට් වෙන නිසාය.

මම නැවතත්  නිශාචර පංති සංචාරය පටන් ගත්තෙමි.

මට අපි අ. පො. ස.  සා.පෙළ  කරද්දී ගිය අමුනුදෝවේ  ගාමිණී සර්ගේ  රෑ ඉංග්‍රීසි පංතිය  මතක්  විය.

ඒ ගමනට නම්  අපේ අය්යත් සඳතැන්නේ සෝමසිරි අය්යත් සිටියහ

ඒ ගමනේදී මෙන්ම ඇත්තලපිටිය දක්වා අපි තුන් දෙනෙක් එන මේ ගමනද ඉතා විනෝද ජනක එකක් විය.

අපි තුන්දෙනා විවිධ මාතෘකා  ගැන කයිවාරු ගසමින් එන නිසා කිසි කාන්සියක් දැනුණේ නැත.

අරලගංවිල ඩිපෝව පසු කර මදක් දුර ගිය තැන අපේ මුල්ම සගයාගේ නිවස හමුවේ . 

ඒ අනුව මුලින්ම  ලසන්ත ලාල්  අපගෙන් සමුගනියි .

 ඉතිරිවන්නේ පන්සලේ නැවතී සිටි සුගත් ලසන්තත් මාත්ය.  තව මිටර් හය හත් සියයක් ගිය තැන  ඇත්තලපිටිය පන්සල් හමුවේ.  එහිදී සුගත් මා ගෙන් සමුගනී. 

සමහරක් දිනවල  මම පන්සලෙන්  ගිලන්පස සංග්‍රහයක් ද ලබා ගන්නෙමි. 

අනතුරුව එළඹෙන්නේ  මා තනියෙන් යන ගමෙන් ඉතිරි කොටසයි. එය කිලෝමීටර් එක හමාරක් දෙකක් පමණ දුරකින් යුක්තය.

කුඹුරු යායක් මැද වූ පන්සලේ සිට අපේ ගම දෙසට එද්දී  කුඹුරු යාය අවසන් වූ සැනින් හමුවන්නේ සොහොන් බිමකි .

ඒ මගේ  ගමනේ හමුවන ප්‍රථම සොහොන් බිමයි.  අතේ ඇති ටෝර්ච්  එක සොහොන දෙසටත් සමහර විට පිටු පසටත් ගසමින් බියෙන් සැකෙන් සොහොන් බිම පසු කරන්නෙමි. 



බියෙන් සැකෙන් ප්‍රථම සොහොන් පොළ පසු කරන  මා  අපේ ගම අසලට එද්දී දෙවැනි සොහොන් පිටිය හමුවේ .

ඒ අපේ ගමේ උඩ පැත්තේ ඇති සොහොන් කන්දයි.  නැවතත්  ටොර්ච්  එක පිටුපසට එල්ල  කරන  මම  අපේ ගම කෙලවරේ වූ මගේ ගමෙන් දෙවැනි  සොහොන්  බිම පසු කරන්නෙමි.  

කෙසේ  හෝ  සමන් අය්යාග්  කැපවීමත්  මගේ  නිර්භය  රාත්‍රී සංචරයේත්  ප්‍රතිඵලයක්  ලෙස  මම දෙවැනි වර  විභාගයෙන් ඉහලින් සමත් වුයෙමි .

මා පමණක් නොව අපේ රාත්‍රී පංති සගයින් සියලු දෙනාම 1990 උසස්පෙළ  සමත් ව  විශ්ව විද්‍යාලයට  තේරුණු අය අතර වුහ. 

මේ අය අතරින්    තාරක සහ මා  ව්‍ය්දය විද්‍යාලයටත්  , සුගත්  ලසන්ත  දන්ත වියිද්‍යා  විද්‍යාලයටත් , ලසන්ත  ලාල් ජපුරේ  විද්‍යා  පාටමාලාවටත් තේරුණේ  සමන් අය්යාගේ  රාත්‍රී  පංතියෙන්  ලැබුණු  නොමද සහයේද  ප්‍රතිඵලයක්  ලෙසයි .

නිමිත්ත : සමන්  අය්යාගේ  ශල්‍යකර්ම කර්මය  සාර්ථකව  නිම වීම.


සමන් අය්යාගේ ශල්‍යකර්මය සාර්ථකව අවසන්වූ බව තාරක සහ රවී දැනුම් දුන්නා.. තාරකගේ නෑදෑයෙක් වූ දොස්තර දීප්ති රත්නායක මහනුවර හර්ද රෝග ඒකකයේ වැඩ කිරීම එයට සෑහෙන පිටිවහලක් වූ බවත් ආරංචියි.. මේ වන විට සමන් අය්යාගේ ප්‍රධාන අදායම් මාර්ගය වූ අතිරේක පංති යන සිසුන් කිසියම් අනවශ්‍ය  බියකින්  පෙළෙන බවක් ආරංචියි....

සමන් අය්යා අප වෙනුවෙන් කල රාත්‍රී පංතියත් .... ඔහු භිෂණ සමයේ සිසුන්වෙනුවෙන් පෙනීසිටි අයුරුත් මෙහි  සඳහන්  වී  තිබෙනවා

සමන් අය්යා   1990 සිටි  අප මෙන් 2016 උසස්පෙළ සිසුන්ද උසස්පෙළ  විභාගයෙන් ගොඩ  දමනු ඇත ....




Sunday, 19 June 2016

ණය ගැනීම සහ ණය පියවීම



පුවක් බාස්  තෙසක් රියක් ගැනීමට මගෙන් උදව්  ඉල්ලා දින කිහිපයක්  ඇතුලත දී  මට නැවතත්  රටෙන් පිටවී යාමට නියමිතව තිබුණි.

ඒ මගේ පශ්චාත් උපාධිය  සඳහා  වූ  දුෂ්කර දිවිය ආරම්භ කිරීමටයි. එසේ යාමට  දින කිහිපයක් තිබියදී  අපේ තාත්තා  මාවනැල්ලට  ආවේ මගේ ගමනට සුභ පැතීම සඳහාය.

මා නෙදර්ලන්තයට නොයා වෙනත් රටකට   යන ගමන ගැන ඔහු බොහෝ සෙයින් සතුටට පත් වී සිටියේය.

හේතුව මා එම රටට   ගොස් ටික කලකින් ඔහුගේ බෑනලාට ද එහි යාමට උදව් කරනු ඇති බවට ඔහු තුල තිබු විශ්වාස යයි.

ඒ වන විට තම බිස්නස් වැඩ පාඩු වීම නිසා  අපහසුවෙන් සිටි විපුල් ගේ ( අපේ නංගිගේ මහත්තයගේ ) ආර්ථික තත්වය ඉහළ නැංවෙන යමක් මා අතින් සිදුවනු ඇති  බව ඔහු උදක්ම විශ්වාස කළේය.

මේසේ මාවනැල්ලට පැමිණි තාත්තාට මම මාස තුනකටත් අඩු කෙටි කාලයකදී සමීපවූ  එහෙත් කිසිදු නෑදෑ  සබඳතාවයක්  නැති  පුවක් බාස් හට ගෙඩි පිටින් රුපියල් ලක්ෂයක් දෙන්නට යන බව ආරංචි විය.

"චූටි පුතා ඇත්තද  ඔයා අර පුවක් ට සල්ලි වගයක් දෙන්න යනවා කියන්නේ ? "

"ඔව් තාත්තා මිනිහා වාහනයක්  ගන්න උදව් ඉල්ලුවා . මට ටික ටික ගෙවන පොරොන්දුව පිට."

"ඉතින් ඔයා ලබන සතියේ රටින් පිට යනවනේ ?  මිනිහා සල්ලි නොදුන්නොත් එහෙම  කොහොමද  ගන්නේ ?"
" නෑ පුවක් වචනෙට ගරු කරන මිනිහා. මාසෙකට  දහ දාහා  ගානේ  මාස  දහයෙන් ගෙවයි  ඕක.

අනික මිනිහගේ දවසක අදායම  රුපියල්  දාහකට  වැඩියි කිව්වා "

" මොනවා ?  පොල් පලලා  එච්චර හොයනවා ? "

"ඔව් .. ඔව්   පුවක් ගේ නෝනත් හරි සකසුරුවම්  කමටයි වැඩ.  මට විශ්වාසයි  ඔය මිනිස්සු ඕක  ගෙවයි කියලා. "

"ඒ  වුනාට පුතා නොදන්නා මනුස්සයෙකුට  එහෙම නිකන් සල්ලි දෙන්න එපා . අඩුම  ගානේ  ලෝයර්  කෙනෙක් ළඟ  ලියලා දෙන්න ".

මේ හදිස්සියේ ලෝයර්ලා හොයන්නේ කෙසේද ?  මම කල්පනා කළෙමි.  අත්තනායක  මාමලා ගේ  ඉඩම් වල  අවුල් නිරවුල්  ගැන හොයන්නට  මා අල්ලා ගත්  නොතාරිස්  මහතා මගේ සිහියට නැගුණේ නිතැතිනි.

" මම දන්නා නොතාරිස් කෙනෙක් ඉන්නවා මාවනැල්ල ටවුන් එකේ.  එහෙමනම් මම ලෙනදොර එක්ක  ගිහින්   මේ ලියුමේ විස්තරේ එයත් එක්ක කතා කරගෙන එන්නම් "

තාත්තා නිවසේ නැවතූ මා ලෙනදොර සමග නොතාරිස් හමුවීමට ගියේ  රට හැර යන ගමනට තිබෙනා වැඩ අස්සේ වැටුණු මේ  ලියුම් ගණුදෙනුව එකලාසයක්  කර ගැනීමටයි .

පුවක් බාස් ට ණය දීමේ විස්තරය ඇසු  නොතාරිස් මහතා.  " මේකේ නීතිමය  තත්වෙට  වඩා ඔය මනුස්සයා පොඩ්ඩක් භය කරන්න නේ ඕනෑ  වෙලාවට  ණය ගෙවන්න. අපි පොඩි ලියුමක් ගහමු මහත්තයා  . හෙට උදේ දහයට එන්නකෝ  එයත් එක්කම ඒක අත්සන් කරන්න "

යැයි පවසා මා අස්වැසුවේ සරල ලියුමක් මගින් සියල්ල කල හැකි බව පවසමිනි.

හවස  පුවක් බාස් හමුවූ මා "අපේ තාත්තා මෙන්න  මෙහම වැඩක් කියනවා  .  නොතාරිස් කෙනෙක් ළඟ ලියලා ණය දෙන්න කියලා . ඒකට  කමක් නෑ නේද ?" කියා ඇසුවේ  ලියකියවිලි වල අවශ්‍යතාවය ඇත්තටම තිබුනේ මට නොවූ බැවිණි.

" හ්ම්.  හ්ම්  . ගානක් නෑ . අපි එහෙම කරමු . අද හෙටම  රට යන්නත් තියෙනවා නේද එහෙනම්  ඉක්මන්   කරන්න වෙයි ඔය ලියුම් වැඩේ "

කියමින් පුවකාද   එම අදහසට එකඟ වුවේය.

" අපි ඔක්කොම කතා කරගෙන ආවේ . හෙට උදේ දහයට  නොතාරිස් ලඟට එන්න කිව්වා .  ඒ ගමන්ම  මම බැංකුවෙන් සල්ලි අරන් දෙන්නම් "

මම පැවසුවෙමි.

පසුදා තාත්තා මා සහ පුවක් තෙසක් රියක නැගී මාවනැල්ලට ගියෙමු.

නොතාරිස් ළඟ ලියුමට පුවක් සහ මා අත්සන් තැබුවේ මාසයකට රුපියල් දස දහස බැගින් මගේ සම්පත් බැංකු ගිනුමට මුදල් බැර කරන්නට  පුවකා පොරොන්දු වන බවට වූ ලියවිල්ලකටයි.

නොතාරිස් මහතා අපට ඇසක් ගසා ලියුමේ ඇති  සරල බව හැඟවූවද  තාත්තා සිතු පරිදිම පුවක් බාස් වැඩේ බරපතලව  සිතට ගන්නට ඇත.

ඇත්තම කියනවා නම්  පුවක්  ගැන තද බල විශ්වාසයකින්  උන් මට ඒ ලියුමේ කිසිදු වැදගත් කමක් පෙනුනේ නැත.

නොතාරිස් කාර්යාලයෙන්  පිටතට පැමිණි මම පොරුන්දු  වූ පරිදිම  සම්පත්  බැංකුවට ගොස්  රුපියල් ලක්ෂයක්  ගෙන පුවකා  අත තැබුවෙමි.

"බාසුන්නැහැ  එහෙම නම්  මාස්  පතා මෙතෙන්ටම  ඇවිල්ලා මහත්තයගේ  අකවුන්ට්  එකට සල්ලි දාන්න  ".

මුදල් මිටිය දෙස තරමක ගිජු බැල්මක් හෙලු තාත්තා පැවසුවේ තම ආරථික අපහසුකම් ඇති බෑනාට  නොදෙන සල්ලි  අහක යන බාස් කෙනෙකුට යන හැටි නිරීක්ෂණය  කරන අතරමය.

"හරි  හරි  මට මාස් පතා මගේ අකවුන්ට් එක නෙට් බෑන්ක්  චෙක්  කරන්න පුළුවන් නේ "

 යැයි  මා පැවසුවේ  තාත්තා අස්වසන අතරම  මුදල් මාස් පතා වැටිය යුතුය යන්න පුවකාට ද  දැනෙන පරිද්දෙනි.



පුවක් බාස්  ණය ගෙවූ  හැටි 


දෙදාස්  හයේ  පෙබරවාරි  මාසේ දහසය වෙනිදා නිම්මි , සුපුන් සහ මම ඔස්ට්‍රේලියාව  බලා පිටත් වුයේ  අනාගතය පිලිබඳ දහසක් පැතුම්   අප සිත්හි දරාගෙනයි .

ඒ පිටත් වන දිනයේ අප සමග ගුවන් තොටුපළට  පැමිණි අය අතර තාත්තා , ලෙනදොර සහ විපුල්ද විය.

ගුවන් තොටුපළ පර්යන්තයේ දී  තාත්තා හඬනු ඇතැයි  මා සිතුවද  ( අය්යා රට හැර යන වෙලාවේ තාත්තා  ඉකිගසා අඬපු බව මා අසා තිබේ )  ඔහු පසුවූයේ සැහෙන සතුටකිනි. 

ඒ තම දියණියන් තිදෙනා ඇතුළු සිය පවුලම  ගොඩ දමනු ඇතැයි  යන බලාපොරොත්තුව  පිරි සතුටයි. 

ඒ බව මා තේරුම් ගත්තේ මගේ අත්දෙක අල්ලා ගත්  ඔහු පැවසු දෙයත් සමගයි . 

"චූටි පුතා  පුළුවන් ඉක්මණින්  මේ විපුල් පුතාටත්  ඔහෙට එන්න උදව්  කරන්න " යන ඉල්ලීම තාත්තා අතින් කෙරුනේ  මම පිටත් වන්නට  ඔන්න මෙන්න කියා තිබියදීය.

එමෙන්ම මා වැළදගෙන කඳුලක් හෙලු විපුල්  නොකියා කිව්වේ " අපි ගැනත් බලන්න "  යන ඉල්ලීම යැයි  මම අදටත් විශ්වාස කරමි.

කෙසේ හෝ මේ රටට    පැමිණි මුල් කාලයේ මට ජිවන වියදම් දීමනාවක් ලැබුණේ නැත.  

ඒ මගේ  මහාචාර්ය තුමා විසින් මගේ විශ්ව විද්‍යාල  ගාස්තු  පමණක් ගෙවන්නට පොරොන්දු වී සිටි නිසාය. 

නෙදර්ලන්තයේ   කලින් ගෙව්වා මෙන් දෙගුණයක් ගෙවන සිස්යත්වය  පසෙක දමා මම ඔස්ට්‍රේලියාවට   එන්නේ ඇත්ත  වශයෙන්ම  විපුල්  ලා වෙනුවෙනි. 

ඒ  බව මම තාත්තා සමග පැවසුවේ  මාවනැල්ලේ නිවසේදීය.  

ඒ වන විට මට නෙදරලන්තයෙන් අවුරුදු හතරක සම්පුර්න ගෙවීම් සහිත ශිෂ්‍යත්වයක්  සහ මේ රටෙන්  විශ්ව විද්‍යාල  ගාස්තු  පමණක් ගෙවන එහෙත්  විශ්ව විද්‍යාලයේ  ඉගැන්වීම  කර මුදල්  ඉපයීමට  ඉඩ ඇති ක්‍රමයේ ශිෂ්‍යත්වයක්  යන දෙකටම ආරාධනා  ලැබී තිබිණි.

"තාත්තා මම නෙදර්ලන්තේ ගියොත් ලංකාවට  එන්නේ කෝටිපතියෙක් වෙලා හැබැයි විපුල් ට වත් ලෙනදොරට වත් එකෙන් ලොකු දෙයක් වෙන්නේ නෑ.

  ඒත් මම  අරහේ  ගියොත් මට එච්චර  සල්ලි හම්බ වෙන එකක් නෑ හැබැයි  එයාලගේ  උනන්දුව තිබුනොත් විපුල් විතරක් නෙවෙයි ඔය මස්සිනා ලා හතර දෙනාම  ගොඩ දැම්මහැකි"

ඒ  පවුලේ අය ගොඩ දැමීමේ මගේ අනාගත බලාපොරොත්තුව සහ ඊට අදාල පොරොන්දුව තාත්තා  හට මා ලබා දුන් ආකාරයයි .



ඉන්පසුව ඒ වෙනුවෙන් සිදුවූ  දැවැන්ත  වැඩ පිළිවෙල ඉදිරියේදී බලා පොරොත්තු වන්න . දැන් අපි නැවතත්  පුවකාගේ  ණය  පියවීම දෙසට හැරෙමු.

අළුත් රටක කාත් කවුරුත් නොමැතිව  ගත වූ මුල්ම මාසය අතිශය දුෂ්කර එකක් විය.  

අපේ වියදම් අපිම පියවා ගැනීමට සිදුවීම.  අවුරුදු දෙකක දඟ මල්ලක් වූ සුපුන් සහ තවමත් කුලෑටි ගතියෙන් පසුවන නිම්මි නිවසේ දමා මුදල් සෙවීමේ  කාර්යය මටම කිරීමට සිදුවීම  මේ අතර ප්‍රධාන විය.

නෙදර්ලන්තයෙන්  ඉතිරි කරගෙන පැමිණි ඩොලර් විසිපන්දහසක් මගේ හිතේ ආරක්ෂාවට  තිබුණත්  එය වියදම් කිරීමේ බලාපොරොත්තුවක්  මා තුළවත් නිම්මි තුල වත් තිබුනේ නැත.

වදෙන් පොරෙන් මාසයක් ගතවූ තැන මම මගේ සම්පත් ගිණුම පරික්ෂා කළෙමි  හරියට  10  වෙනිදා වන විට පුවකා ගේ මුදල් මගේ ගිණුමට වැටි තිබිණි.

දුෂ්කර මාසයක් අවසානයේ මගේ සිතට සැනසීමක් ගෙන දෙන්නට පුවකා සමත් වී තිබේ.  ඒ මා හොඳ මිනිහෙක් යැයි ඔහු ගැන තිබු විශ්වාසය අකුරටම රැකීම  මගිනි.

දෙවැනි තුන්වැනි මාස ගත වන විට අපේ ජීවන රටාව කෙමෙන් කෙමෙන්  පිළිවෙලක් වන්නට විය.

ඒ අපේ අතිරේක අදායම් මාර්ගද  සෙමෙන් සෙමෙන් ඉහල යාමත් සමගයි.  පුවකාද හරියටම  මාසේ දහවෙනිදා  වන විට මගේ ණය  වාරිකය  සම්පත්  බැංකුවේ තැන්පත් කළේය.  

හරියටම  මාස දහයක් ගතවූ තැන  පුවක් තම තෙසක් රිය වෙනුවෙන් ගත් සම්පුර්න  ණය මුදලම ගෙවා දැම්මේය.

 මගේ මහාචාර්ය තුමාද  මට සුභ ආරංචියක්  ලබා දුන්නේය  .  ඒ මා පී. එච්. ඩි  සිසුවෙකු ලෙස ඇතුලත් කර  ඔහු ලියු රිසර්ච්  ග්‍රාන්ට් එක  ඔහුට ලැබී ඇති බවයි.. 

පුවකා  ණය පියවන අතරේ මම මගේ නෑදෑයින්  වෙනුවෙන් ගත්  "ණය"  පියවුනේ  එලෙසය. 


Sunday, 12 June 2016

ටින් ටුං ටින් මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි



පසුගිය  දින කිහිපයේ පළවූ  කල්‍යාණ මිත්‍රගේ  මඩ ගුවන් විදුලි ප්‍රචාරයත්

රසිකලොගිස්ට්  යන්තමින් ගුවන් විදුලි ගැන කියා නැවතත්  ඔහුගේ මොබයිල් ෆෝන් සාකච්චාවට  පැමිණි මේ පොස්ට් එකත් දැක  හැත්තෑව- අසුව දශකයේ  ගුවන් විදුලිය  මා සිතේ අවදි වන්නට විය .

උදේ පාන්දර අවදිවන අපේ අම්මා ළිප ගිනි මොලවද්දී අපට රේඩියෝවේ හඬ ඇසේ .

ඒ ඇය කුස්සියට යද්දී සාලයේ වූ  සත පහේ බැටරි දමනා රේඩියෝවද  දමා යන බැවිණි.

ඈ එසේ කරන්නේ  ඉස්කෝලේ යන්නට ඉන්නා  අපව අවදි කරවන්නටයි.

පන්සිල් සහ සෙත් පිරිත් අවසානයේ විනාඩි  පහක "ධර්ම චින්තාවට " ට සවන් දෙමින් අවදිවන මා අම්මා තේ හදන තෙක්  කුස්සියේ ලිප් බොක්කේ හිඳ ගන්නෙමි.

අද උදැසන ධර්ම චින්තාව  පවත්වන්නේ පානදුරේ අරියධම්ම  ම හිමි පාණන් විසිනි

විනාඩි පහ අවසානයේ "දවසේ සිතුවිලි"  ආරම්භ වේ  සතියේ දවස් හයක්  ක්‍රිස්තියානි  පුජකයෙකු විසින් පවත්වන මෙය  සිකුරාදා  දිනවලට  වෙනස් ආරක්   ගනී

 "අස්ස්ලාම් අලෙයික් කුම්  ... ව්හම්තුල්ල්යි වබර කාතහුම් ... අසීමිත  දයාවන්ත  වුද.. අපරිමිත  කරුණාවන්ත  වුද .. අල්ලාහ් තාලා  ගේ  නාමයෙන් ආරම්භ කරමු.. "

අනෙකුත් ආගමික පුජකයින්ගේ වාග්  මාලාවන්ට  වඩා මේ වාග් මාලාව  මගේ සිත් ගත්තේ  එය මට අලුත්ම අද්දැකීමක්  නිසා විය යුතුය .

අනතුරුව "මොහම්මඩ් සල්ලල්ලාහු අලෙයිවසම් තුමා" ගැන කියන කතාවද මගේ සිත් ගත් යෙදුමකි.

ඉන් පසුව උදා ගී ඇරඹෙයි.



විල්බට් ඇන්තනීගේ "හිරු පායා එන." ඒ  කාලේ  එහි නිතර  වාදනය වන ගීතයකි.

වික්ටර් රත්නායකගේ  රුවන් නිදන  තවත් එවැනිම  ගීතයකි.


ආර්ථික  වශයෙන්  ඉහළම තත්වයක  නොවූ ඒ කාලේ අපේ ජිවිත  ගැට ගහගන්න  අම්මා විඳිනා දුක ඉතා ලඟින්ම   දැනුණේ මටයි.

ඒ නිසාම  උදා ගී වල ඇසෙනා සුනිල් එදිරිසිංහගේ  මේ ගීතය  මගේ සිතට තදින්ම  කා වැදුනා කිව්වොත් එය අතිශෝක්තියක් නොවේ. 

චමින්ද රාජපක්ෂ  ඇතුළු  සහචර කල්ලියත් එක්ක ගැවසුණු මගේ හිතට  නැවතත්  අධ්‍යාපනයේ වටිනාකම කියා දුන්   මේ  ගීතය පොඩි කාලේ  මගේ  ආදර්ශ  ගීතයයි. 

 මෙන්න ඒ  ගීතය.





මම අපේ සුපුන්ට  මේ ගීතය කට පාඩම් කරවුවේ  වයස මාස පහේ සිටම රටෙන් පිට ජිවත්හ වූ ඔහුට  යන්තම් අවුරුදු  පහක් -හයක් වෙද්දීය.

සුනිල් ශාන්තයන් ගේ  ගීතද  මේ උදා ගී වල  නිතරම  වාදනය වුවා මතකය.

මේ ඒවා අතරින් මා ජීවිතය හැඩ ගස්වන්නට බොහෝ සේ බලපෑ  එක ගීතයකි.



සුනිල් ශාන්තයන්ගේ  තවත්  මා කැමති  ගීත දෙකක්   එකල ඇසුනේ  මෙසේය







ජාතික හැඟීම් පිබිදුනු  ගීත  මා නොඅසුවා  කිවොත් එය ලොකු මුසාවදයකි. මේ උදා ගී වලින් මා සිතට තදින් කා   වැදුණු එවැනි ගීතයකි.



නන්දා  මාලනිය  ගැයූ  මේ ගීතය  අපට ඒ දිනවල උදා  ගී වල නිතර ඇසුණු තවත්  ගීතයකි.


මේ මෑතකදී   ( 2013 ) අපේ  හාදයා  බුද්ධානු  භාවෙන  කියූ ආකාරයයි.





උදා  ගී  අවසාන වෙද්දී   වදෙන් පොරෙන් මුහුණ කට සෝදා ගන්නා අපට පාසැල් බසයට  දිව යා යුතු යැයි සන් කරන්නේ   මෙන්න මේ තාලයයි.

"ඩඩ්ලි ඩඩ්ලි ගෙදර ගෙදර

ඩඩ්ලි ඩඩ්ලි ගෙදර ගෙදර

ඩඩ්ලි ඩඩ්ලි ගෙදර ගෙදර

ඩඩ්ලි ඩඩ්ලි හූ හු......."

මේ ශ්‍රී ලංකා  ගුවන් විදුලි සංස්ථාවයි  උදෑ සන ප්‍රවුර්ති  ප්‍රකාශය  දැන්..

මේ තේමා වාදනය පසු කාලීනව

ඇන් ඇම්ට  පුළුවන්ද අලි ඇත්තු  එලවන්න

කොල්වින්ට  පුළුවන්ද අලි ඇත්තු පෙරලන්න

සිරිමාට  පුළුවන්ද අලි  ඇත්තු එලවන්න

සිරිමාට  පුළුවන්ද  අලි ඇත්තූ තූ... එලවන්න  යනුවෙන් වෙනස් විය ...

මේ වාදනය පැමිණීමෙන් පසු ගැයුණු තවත්  උදා ගීතයක්  මගේ සිත් ගත්තේ එහි රචකයා  රණසිංහ ප්‍රේමදාස අගමැති තුමා බව දැන දැනමය.

එච්. ආර්. ජෝතිපාල ගේ සමනළ මුදුණින්  ..ඒ  ගීතයයි.




Monday, 6 June 2016

අපේ කෙමිස්ට්‍රි ගුරුතුමා - සමන් අය්යා



ඒ  1987  වසරේ මුල්භාගයයි.  අප අ. පො.ස.  ( සා. පෙ. ) සමත්ව  උසස් පෙළ  පංති ආරම්භ වෙනතෙක්  ගෙදර ට වී සිටි කාලයකි .

අපේ හිතවතුන් වූ  සොමිල  කරඹවත්ත  සහ කදුරුගමුවේ  තාරක ඇතුළු අය  මේ වන විට  අළුතින් ආරම්භ වන උසස්  පෙළ  අතිරේක  පංති ගැන අවධානයෙන් පසුවුහ.

දිනක් මට කතා කල තාරක

"මචං  කවිඳු  කැබිල්ලෙවෙල  පන්සලේ අලුත් කෙමිස්ට්‍රි පංතියක් පටන් ගන්නවා මේ සෙනසුරාදා ඒකට යන්න වරෙන් "

යැයි පැවසීය.

මේ  ආරංචිය  කටින් කට පැතිරී අපේ අනෙක් හිතවතුන් වූ සද්දේ , ගැට්ටා  , තිලාන් හේවගේ ,  කමල්  ඇතුළු අපේ කල්ලියම   මේ පංතිය යන්නට තීරණය කලෝය.

මේ බව  අපේ සමන්ත  හා පැවසූවෙමි.

 සමන් අය්යාගේ  පංති  වලට  ඔහු සහභාගී  නොවූ  බවත් එහෙත් පාසැල් කාලය  අවසන් වී  ගෙදර සිටි කාලයේ  (විශ්ව විද්‍යාලයට යාමට පෙර )  ඔහු සමන් අය්යාට නිබන්ධන  ලියා දීමෙන් උදව් කල නිසා සමන් අය්යා  ඔහුව හොඳින් අඳුනන බවත් සමන්ත මා හා පැවසීය.

"හොඳ මනුස්සයා හැබයි  ටිකක් කේන්ති යනවා පරිස්සමින් හිටපන්."

යැයි  සමන්ත  මා හා  පැවසුවේ  සමන් අය්යාගේ පන්තියේ කලබල නොකර ඉන්නා ලෙසයි.

පළමු හමුවීම.


අදාළ සෙනසුරාදා උදා විය  . උදේ එකොළහට ආරම්භ වීමට තිබු පංතියට  අප පැමිණියේ නමය හමාර දහය වෙද්දීමය.

අප එහි  යන විටත්  උදේ පංතිය ආරම්භ වී තිබිණි.

පන්සලේ බණ මඩුවේ   කළු හීන්දෑරි මනුස්සයෙක්   කළු ලෑල්ලේ  යමක්   ලියමින් උගන්වනු පෙනේ.

ඒ 1986  උසස් පෙළ පටන්ගත්  ශිස්‍ය  කණ්ඩායමටය.

1986 කණ්ඩායමේ අබේරත්න , හේම ප්‍රියන්ත , ප්‍රසන්න  ඇතුළු පිරිස අප දෙස බලා සිනාසුනා මතකය.

"මචං .. ඔය ඉන්නේ සමන් අය්යා තමයි " කරඹේයා අපට  අපේ ගුරුතුමා හඳුන්වා දුන්නේය.

අපි කොට බිත්ති වලින් පෙනෙන  පංතිය පසුකර ගොස් පන්සලේ ගන්ටාර කුළුන ලඟ නැවතුනෙමු.

පන්තියේ දෙසීයක පමණ පිරිසක් සිටි වග මතකය.

ගන්ටාර කුළුන ලග රැස් වූ අප එකිනෙකාගේ බැගී ෂර්ට් , ෆ්ලිට් තුනේ කලිසම් ආදිය ගැන සුරාජ්  කියන ඇද කුද වලට සවන් දුන්නෙමු.

හා හා පුරා පංතිය ගිය ගමනට  මම ඇඳගෙන ගියේ  රාජුමාමාගේ නිල්පාට "හාරා" කලිසමක් සහ ඊටම
ගැලපෙන ලානිල් පාට කමිසයකි.



කමිසය සමන්තගේය.  එය යටින් හැඳි මේස් බැනියම පෙනෙන වර්ගයේ දුහුල් කමිසයකි .

සුරාජ් නිතරම් ඇන්දේ මෙවැනි කමිසයි.

සුරාජ් වැනි මොඩ් පොරවල් අතර මමද යන්තම් නොකැපී සිටියේ   රාජුමාමා සහ සමන්තට පින්සිදු වන්නට කිවොත් නිවැරදිය .

මගේ ඇඳුම උස කෙට්ටු ශරීරයට ගැලපෙන ලෙස තිබුණ බැවින් සහ සුරාජ්  මගේ අතිජාත මිත්‍රයෙකු බැවින් එම සභාවේ මමද පොරක් වීමි.

ඇඳුම් කතා අවසානයේ කෙල්ලෝ ගැන කතා කරන්නට පටන්  ගැනුනි.

ඒ වනවිටත් පැමිණ සිටි සිසුවියන් අතර සිටි තරමක් උසින් වැඩි කෙල්ලෙක් සහ මිටි කෙල්ලෙක් එක පොදීයට සිටිනු පෙන්වූ සුරාජ්....

"මචං අර බලපන් .. අර කෙල්ලෝ ටික දිහා ..

එතන ඉන්න උසම එකියි මිටීම එකියි හරියට ගලිවර් සහ ලිලිපුට්ටි වගේ "

ඇත්ත  නේන්නම්..  අනික් කොල්ලෝ හූමිටි තබති.

"හරි මචං  ...ඒ නම් දෙක උන් දෙන්නට නියමෙට ගැලපෙනවා එහෙනම් අපි ඒ දෙක අදම   ස්ථිර කරමු. "

මම යෝජනා කලෙමි .

එදා සිට මේ සිසුවියන් දෙදෙනා අප හැඳින් වුයේ "ගලිවර් සහ ලිලිපුට්" යන නම් වලිනි.

අප ගලිවර්ලා දෙස බලමින් සිටීනා අතර  උදේ පංතිය නිමා විය.

කොල්ලෝ කෙල්ලෝ එකා දෙන්නා බණ ශාලාව ඇතුළට ගමන් කරති.

අපේ ගැන්සිය  පන්තියේ මැද හරියට ගොස් වාඩිවූ අතර  කමල් සසරසිංහ , පොඩි රසික වැනි උනන්දුවෝ ඉස්සරහම  පේලි වල වාඩි වූහ  .

ඒ අසල සිටි ආටියා , සිසිත ඇතුළු පිරිසද මගේ උකුසු ඇසට අසුවිය.


පංතිය පටන් ගැනිණි. කබෝහය්ඩ්රේට් ගැන සමීකරණ ඉගැන්වූ සමන් අය්යා පොඩි පොඩි ප්‍රශ්න ඇසිය.

ඒ හැම එකකටම වගේ පැන පැන උත්තර දුන්නේ අපට පිටුපස පේලියේ සිටි චන්දිම නාමරත්න විසිනි.

අපි වරින් වර පිටිපස්සට හිස් හරවමින් නාමරත්නගේ  හරඹය රස වින්දෙමු.

" මේවා දැක්කම අපි මෙන්ස්ට්රුවලි  වැටෙනවා මචං".

"තොපිට නම්  කිසි ගානක් නෑ වගේ  .."

 සුරාජ්  අපේ ළඟ සිටි කුණු කුණු ගාන්නට විය.

ඒ අපි නොදන්නා කෙමිස්ට්‍රි  නාමයා  දැනගෙන සිටි බව දැකීමෙන් විශ්මයට පත් වීම නිසාය.

"ගණන් ගන්න එපා බං "

 අද පළවෙනි දවසනේ  මම වීරයා සේ පවසා කළුලෑල්ල දෙස නෙත්  යොමු කලෙමි.






යමක් තවදුරටත් පැහැදිලි කල සමන් අය්යා එක්වරම ප්‍රශ්නයක් ඇසුවේ මා දෙස බලමිනි .


"නාමරත්න  මම මේ අහන්නේ ඔයාගෙන් "

ඔහු මා දෙස චෝක් කෑල්ල දික් කරයි.

මම උඩ බිම බැලුවෙමි. කොල්ලෝ සමග  කයිවාරුවක සිටීමට  එකවරම  පිළිතුරක් හිතට  ආවේ නැත.


"මට අය්යා කිව්වා ඔයා එන බව.... සමන්ත නාමරත්න ඔයාගේ අය්යා නේද? "


ඔහු මා හඳුනාගත් බව මට ඒත්තු ගැන්වූයේය.

අපේ සමන්ත මට කිවූ දෙය යලි මතක් වුයේ එවිටය.

වැඩිය දඟලන්නේ  නැතිව ඉන්න ඕනෑ.

මම හිතහදා ගත්තෙමි.

මම වාසගම ලෙස පාවිච්චි කලේ ජයසිංහ නාමය වුවද අපේ අය්යා සමන්ත තම නමේ අගට  යෙදුවේ  අපේ තාත්තගේ නමයි .


ඒ නිසා එදා සිට අද දක්වාම සමන් අය්යා මා අමතන්නේ නාමරත්න යන නමිනි.

එහෙත් මගේ උප්පැන්නයේ  පියාගේ නම කියන තැන හැර කිසිම තැනක එවැනි නමක් සඳහන්ව නැත.

එදා සිට හැමදාම සමන් අය්යාට පෙනෙන වෙලාවට  මා හැසිරුනේ නියම නාමරත්න කෙනෙක් ලෙසිනි.

සමන් අය්යා අපේ සමහර පංති සගයින්ගෙන් මෙන්  මගෙන් ද  පංති ගාස්තු ගත්තේ නැත.

එය මගේ හිතට එක්කළේ සහනයකට වඩා ලොකු බරක් කිවොත් නිවැරදිය.

මොනවා නැතත් කෙමිස්ට්‍රි හොඳටම කලයුතු යැයි යන අභියෝගය මා හට ලැබුනේ මේ සිද්ධිය හේතු කොටගෙනයි.


පසු සටහන :


සමන් අය්යා ගැන මගේ මතකය අවධි කරන්නට හේතු වුයේ පසුගියදා  අපේ හිතවත් ව්‍යිදය  සාගර රත්නායක (තාරක )  මට එවූ ෆේස් බුක් පණිවිඩයකි.  

"සමන් අය්යාගේ  කිරීටක ධමනි දෙකක් හොඳටම බ්ලොක් වෙලා . 

ලඟදි නුවර ඉස්පිරිතාලේ කරපු  ඇන්ජියෝ එකකින් හොයාගෙන තියෙන්නේ . 

අඩුම  ගානේ ස්ටෙන්ට් දෙකක් වත් දාන්න  ඕනෑලු  ඉක්මනින්ම . මචං මේ පණිවිඩේ හැමෝටම යවපන් . 

ලක්ෂ   හත අටක් යන වැඩක්ලු. සමන් අය්යා කී දෙනෙකුට නොමිලේ ඉගැන්නුවාද? 

උඹ , මම , කරඹේ  අපි දන්නා  අය. තව නොදන්නා දොස්තරලා ඉංජිනේරුවෝ කොච්චර ඇත්ද ? "

තාරකයා දිගින් දිගටම  පණිවිඩ එවන්නට විය. 

"හරි .. හරි මම මොනවා හරි කරන්නම්.  අනික් එවුන්ටත් කියන්නම්  "  මම තාරක අස්වැසුයෙමි.

අනතුරුව පටන්ගත් ෆේස්බුක් පණිවිඩ හමුවේ උනන්දු වූ 86 කණ්ඩායමේ අබේරත්න අය්යා  ( දැනට කැනඩාවේ සිටින ) සමන් අය්යා සමග සම්බන්ධ වී තිබිණි. 

එහි ප්‍රතිඵලයක් ලෙස මමද සමන් අය්යා හා කතා කලෙමි.  ටියුෂන් එච්චරම සරු නැති බවත් ලක්ෂ ගණනක් හොයාගැනීම ප්‍රශ්නයක් බවත්  එහා අන්තයෙන් කියවිණි.



මිතුරු මිතුරියනි :



මේ අපේ කලගුණ සැලකීමේ අවස්ථාවයි.  මුදලට  වඩා  තමන් කරනා සේවය ගැන සිතු සමන් අය්යා නිසා බිහිවූ  දොස්තරවරු , ඉංජිනේරුවරු අද ලොව පුරා විසිරි සිටිති.

ගුරුවරු , බැංකු කරුවෝ , දත් දොස්තරවරුද  රාශියකි. 

කරුණාකර  හැකි ඉක්මනින්  පහත බැංකු ගිණුමට ඔබේ සහය පලකරන්න .  

එසේ කල පසු සාගර  , අබේරත්න  යන දෙදෙනාට  හෝ ඉඳුනිල්ට  ඔබේ  සහය ගැන විස්තර දන්වන්න . 

මගේ  මුහුණු පොතේ  පණිවිඩයක් මගින්ද  අපට දැන්විය හැකිය.

සමන් අය්යාද  ඔහුගේ බැංකු ගිණුමේ ප්‍රගතියඅපහට පවසනු ඇත.  

...................... අංක මගින් ඔහු හා සම්බන්ධ විය හැකිය.

මෙන්න ගිණුමේ විස්තර:



Account Name: W. S. Palitha

Account Number: 79279434

Bank: Bank of Ceylon

Branch: Ella Branch 








Saturday, 4 June 2016

අපේ ගමේ පශු සම්පත්



ඒ 2007  වසරේ ආරම්භයයි .   මා  උසස් අධ්‍යාපනයට  මෙරටට පැමිණ ගතවී තිබුණේ අවුරුද්දකටත් අඩු කාලයකි.

එතෙක්  මගේ   පුද්ගලික  වියදමින් ඉගෙන ගත් මට   අපේ  ලැබ්  එකෙන්  ජිවන වියදම් දීමනාවක්ද ගෙවන්නට  පටන් ගත්තේ   ඒ කාලයේමය.

හේතුව  ඔවුන්ට  ලැබුණු  රිස්ච්ජ් ග්‍රාන්ට්  එකේ  පි. එච්. ඩි. අයදුම්කරු ලෙස මටත් ගානක් වෙන්කර තිබීමයි. 

නිම්මිට තවමත්  වාහන  පැදවීමට  නොහැකිවීම  අපේ අතිරේක  අදායම්  මාර්ග වලට  සෑහෙන බලපෑමක් විය.
තාත්තා වත් ගෙන්වා ගත්තා නම් ඇයට  රියදුරු බලපත්‍රය පමනක් නොව රැකියාවක් ආරම්භ කිරීමටද ඉඩකඩ සැලසෙනු ඇත. 

මාසික ගෙවීම්  ආරම්භ වීමත් සමග  අපේ  අදායම  තරමක්  ඉහළ ගිය බැවින් මගේ හිතට  තවත් සැලසුමක් පැමිණියේය.

"දැන් වෙලාව හොඳයි  අපේ මස්සිනාලා  ටිකට එහෙම උදව් කරන්න. ඒත් ඉංග්‍රීසි බැරුව  එකෙකුට වත් මෙහෙ එන්න බෑනේ . 

මුලින් තාත්තා ගෙන්න ගන්නවා  මෙහාට . ඊට පස්සේ එයා ලව්වා අනිත් අයව  ( මස්සිනාලා ටික) ෆෝම්  කරවනවා. " .

මේ සිතිවිල්ලේ ප්‍රතිඵලයක් ලෙස අපේ තාත්තා අප සිටි රටට   පැමිණියේය. 

 ඒ සමගම  මම විශ්ව විද්‍යාලයට  ගිය පසු ඔහුට  එන කම්මැලිකම  / ලංකාව ගැන මතක් වෙන එක  ආදිය මග හරවන්නට  වැඩ පිළිවෙලක් අවශ්‍ය විය.

ඒ වෙනුවෙන්  තාත්තාගේ හිත  ගමේ නිතර ගැවසෙන අන්දමේ  ව්‍යාපෘතියක් ගැන සිත යොමු කලෙමි.

ඒ අනුව  අපේ  නෑදෑයින්ට  උදව්  කළහැකි යමක්  සහ  අනෙකුත් ගම්  වැසියන්ට  උදව්  කල හැකි අයුරක් ගැන සිතන්නට අවශ්‍ය විය.

නෑදෑයින්ට  උදව් කිරීම  තාත්තා  මා සමග සිටිද්දීමත්  ගම හැදීමේ  වැඩකටයුතු  ඒ කාලයේදී ඔහු සමග සකච්චා  කරමින් සිටීමත් පමණක් කිරීමත් මගේ අදහස විය.
(ඇත්තම කිව්වොත් අප ජීවත්වන් ඔස්ට්‍රේලියාවේ මිනිස්සුන්ගේ ජීවන රටාව ගතවෙන පහසුව සහ ලංකාවේ අපේ නෑදෑ හිතවතුන්ගේ ජීවන රටාවල ඇති අපහසුව තාත්තා හොඳින්ම ග්‍රහණය කරගත්තා. ඒ නිසා ඔහුත් සමඟ මෝටර් රථයේ එහාමෙහා යද්දි අපේ මිනිස්සු මේ තත්ත්වයට ගේන්න අපිට කළහැකි දේවල් ගැන මම ඔහුත් එක්ක නිතර නිතර සාකච්චා කලා  ඒ අනුව අපිට ලංකාවේ කරන්න පුලුවන් වැඩපිළිවෙලක් ගැන අපි අදහසකට ආවා)


මේ ක්‍රියාදාමය  අවසානයේ  බිහිවූ මූලික  ව්‍යපෘති  දෙකකි. 

1.  ලෙනදොර සහ අපේ නංගිලා බැඳපු  මස්සිනාලා  ටිකට  ඉංග්‍රීසි (  IELTS සඳහා )  සහ මේසන් වැඩ  ( Brick Layering )  ඉගැන්වීම ඉන් එක් ව්‍යාපෘතියකි.

මෙය මගේ පුද්ගලික වියදමින් සිදු කෙරුනේ තාත්තා මේ රටේ සිටියදීමය. ( මේවෙනුවෙන් අප ගිය දිගු ගමනේ  කතාව ඉදිරියේදී බලා පොරොත්තු වන්න) .

එය කොටස් කිහිපයකින් යුත් මෙගා  බ්ලොග් පොස්ට් එකක්  වනු නොඅණුමානය.



2.  අපේ ගමේ  (කිරිඔරුව මාරබැද්ද ගම්දෙකේ)   සමාජ සංවර්ධන  ( ග්‍රාමීය සංවර්ධන ) ව්‍යාපෘතියක්  ආරම්භ  කිරීම ඒ අනෙක් වැඩ පිළිවෙලයි.

 එය ආරම්භ වුයේ තාත්තා නැවත ලංකාවට ගියාට පසුවයි. 


තාත්තා මෙහි සිටි මාස දහය ( අවුරුද්දකට  විසා ගෙන පැමිණියද  මාස දහයකින් පසු ඔහු නැවත ලංකාවට  යන්නට තීරණය කළේය ) තුල ක්‍රියාවට  නැංවුයේ  ලෙන්දොරලා ට  ඉංග්‍රීසි , පරිගණක සහ මේසන් වැඩ ඉගැන්වීමයි. 

කිරිඔරුව මාරබැද්ද ගම්දෙකේ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය  ආරම්භ වුයේ 2008 ජුලි අගෝස්තු කාලයේ තාත්තා නැවතත් ලංකාවට ලඟා වීමත් සමගයි. 

එහෙත් තාත්තා මෙහි සිටි මුළු කාලයේම ඔහුගේ හිසට එකිනෙකට වෙනස් සංවර්ධන සැලසුම් යෝජනා කරමින්  ඔහු අපේ ගමේ හිතින් ජිවත් කරවීම දිගටම කරගෙන ගියෙමි.

ඒ සඳහා  මේ ග්‍රාමීය සංවර්ධන  යෝජනාව  මට මහත් සේ ප්‍රයෝජනවත් විය.


මේවා තාත්තා සමග සාකච්චා කරමින් කාලය  ගත කරන අතරේ  විශ්ව විද්‍යාලයේ  වැඩත් , අතිරේක රැකියාත්  කරමින් නිම්මිට  රියදුරු  බලපත්‍රයක්  සහ ඇයට   වැඩිහිටියන්ට  සැලකීමේ හෙද  පාඨ මාලාවක් කරවුයෙමි.

ඒ සඳහා තාත්තගේ  ආගමනය මහත් පිටිවහලක් වුයේ  ඔහු  අප දෙදෙනා නිවසේ නැති අතරේ සෑහෙන  චන්ඩියෙකු වූ අපේ සුපුන්  ( එවිට ඔහුගේ වයස  අවුරුදු  3කි ) බලාගැනීම  නිසයි.. 

ගම ගොඩනැගීමේ  යෝජනා 







මෙහිදී  මගේ ප්‍රධානම  බලාපොරොත්තුව වුයේ  ගමේ  ළමයින්ට හොඳ අධ්‍යාපනයක්  ලබා දෙන අතරම ඔවුන්ගේ දෙමව්පියන්ට හොඳ අදායම් මාර්ග ඇති කිරීමයි.


ඒ වෙනුවෙන්  තාත්තා සහ මා එකතුව සකස් කල සැලසුමට අනුව පහත සඳහන්  යෝජනා ඇතුලත් විය .



1. කිරිඔරුව, මාරබැද්ද , අසල ඇති කේෂන් වත්ත  යන ගම්මාන වලින් එන ප්‍රාථමික වයසේ සිසුන්ට ( 11 වසර දක්වා ) නොමිලේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම ( සති අන්තයේ පැවැත්වෙන පන්තියක් මගින්)

2. එම සිසුන්ට නොමිලේ පරිගණක පුහුණුව ලබා දීම.( සති අන්තයේ පැවැත්වෙන පන්තියක් මගින්)

3. කිරිහරක්  හැදීමට කැමති පවුල් තෝරා ඔවුන්ට නොමිලයේ  උසස් තත්වයේ  කිරි හරක් ලබා දීම.

4. ඒ  හරක් ගෙන් ලැබෙන  ගොම සහ  ගෙවල් වලින් ඉවතලන  කුණු යොදාගෙන  නිවෙස් වලම  කොම්පෝස්ට්  නිපදවීම.

5. මීමැසි පාලනයට  කැමති පවුල් වලට තම ගෙවත්තේ  තැබීමට  නොමිලේ  මීමැසි පෙට්ටි ලබා දීම. 

6.  හැම නිවසකම  කෙසෙල් ගස් දෙක බැගින් සහ කොස් පැලය මගින් සිටුවීම.

7. හැම නිවසකම  කුඩා ගෙවතු වගාවක් පවත්වාගෙන යෑමට  ගැමියන් උනන්දු කිරීම 

8  නොමිලේ  වුෂු  පාඨ මාලාවක් (අපේ පොඩිම මස්සිනා ස්වෙච්චා වෙන් ඉදිරිපත් වීම නිසා.  සති අන්තයේ පංති වලට  නොමිලේ  වුෂු  පාඨ මාලාවක්ද  එකතුවිය)

9. ඉගෙනීමට දක්ෂ එහෙත් ආර්ථික හැකියාවක් නැති ගැමි දරුවන්ට මාසික සිශ්‍යත්ව ලබාදීම



මේ යෝජනා මාලාව  ක්‍රියාත්මක කිරීමේ වගකීම  තාත්තා ට  නොදී අපේ  ගමේ තවත් සමාජ සේවයට කැමති  අයෙක් වූ  සුවඳරත්න  අය්යාට දීමට  තීරණය  කලෙමි. 

 ඔහු තාත්තට  වඩා  වයසින් අඩු වීමත් , මා විශ්වාස කළ පරිදි ගමට යම්සේවයක් කරන්නට ඔහු කැමැති බව පෙනීමත්   ඒ තීරණය  ගැනීමට  හේතු පාදක විය.

මෙහිදී මට අවශය වුයේ  ශ්‍රී ලංකා යුඇන්පී  ලෙස බෙදී වෙන් වී තිබු අපේ ගම් දෙකේ පක්ෂ භේදයකින් තොරව  කාර්යය  සිදු කිරීමයි.

තාත්තලා සුවඳේ ලා හොඳ වැඩ කලා වුවද  ඔවුන් ශ්‍රී ලංකා කාරයින් වීම  මේ වැඩේ හොඳකමට  බලපෑමක්  කරනු ඇතැයි මා සිත තුල වූ බිය ඊට හේතුවයි.

ඒ ඔවුන් තමන්ට පක්ෂ මිනිසුන් තෝරා ගනු ඇතායි යන සැකයටත්  වඩා ගම් තුලානේ අයගේ චින්තන රටාව දන්නා බැවිනි.

ගැමියන්බොහෝ විට සිතන්නේ
"මියක් කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි  නේ , මේකේ මොකක්හරි වාසියක් ඇති මෙයාලට......, සමහරවිට සුවඳේ හරි කවිඳුගේ වෙන නෑදෑයෙක් හරි මෙහෙන් චන්දේ ඉල්ලයි.... "
යන අර්ථය ඇතිව බව මා හොඳින් දන්නා කාරණයකි.

අප කල දේවල් වල  එවැනි ලාභ ප්‍රයෝජන කිසිවක් ගැන සිතේ නොතිබුනත් ගැමියන් එවැනි දේ සිතිය හැකි බැවින් පක්ෂ පාට පමණක් නොව ජාති භේද ද නොසලකා මෙය සිදුවිය යුතූ බව මාගේ අදහස විය.

ඒ නිසාම ශ්‍රී ලංකා , යු ඇන් පි  දෙපැත්තේම ඉන්න අයට වගේම නිර්පාක්ෂික අයටත්,   ඔවුන්ගේ  ආර්ථික තත්ත්වයත්  ඊට අමතරව හරකෙක් හැදීමට ඇති කැමැත්තත්  සලකා බලා  සතුන් ලබා දෙන ලෙස ඉල්ලා සිටියෙමි.

ඊට අමතරව අසල පිහිටි තේ වත්තේ ලැයිම් කාමර වල සිටිනා ද්‍රවිඩ පවුල් කිහිපයකටද (සිංහල අයට පමණක් නොව ද්‍රවිඩ ජාතිකයින්ටත් )  හරක් ලබා දෙන ලෙස උපදෙස් දුන්නෙමි.

එපමණක් නොව හරකෙක් ලබා දීමේදී හෝ මීමැසි පෙට්ටි ලබා දීමේදී   අප ඔවුන්ට  උදව්වක් උපකාරයක්  කරනවා කියා කිවයුතු නැති බව මගේ අදහස විය.

ඒ වෙනුවට එවා ලබන්නා අපේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක  කීරීමට දක්වන්නේ  මහත් උපකාරයක් බව මතක් කරන්නැයි මම සුවඳේ අය්යට පැවසුවෙමි.

ගමේ සියළුම ළමුන් ඉංග්‍රීසි , පරිගණක සහ  වුෂු පංතියට  යොමු කරවන ලෙසද  ඉල්ලා සිටියෙමි.

පංතිය ආරම්භක අවස්ථාවේදී සිසු සිසුවියන් හැත්තා පහක් එයට සහභාගී වූහ. ඒ අතර මල්දෙණිය සහ කිරඹ ඔය ගම් දෙකේ සියළුම නිවෙස් වල ළමුන්  වූහ.

ඉංග්‍රීසි ඉගැන්වූ ගුරුතුමා ( ඔහු අසල රජයේ පාසැලක ඉංග්‍රීසි ගුරුවරයෙකි ) මාසික දීමනාවක් ( රුපියල් 3000ක් ) ගෙවූ අතර එය පසුකාලීනව පන්දහස දක්වා වැඩි කළෙමු.

අනෙක් ගුරුවරුන් දෙදෙනා ඉදිරිපත් වුයේ ස්වෙච්චාවෙනි .

රුපියල් 29500 ක්  ගෙවා  පරණ ලැප්ටොප්  පරිගණයක්  රැගෙන දුන්නේ පරිගණක පංතිය වෙනුවෙනි.

හරක් ව්‍යාපෘතියේ මුල් සතුන් පස් හයදෙනාම ලබා දෙන්නට සිදු වුයේ මගේ පුද්ගලික මුදල් වලිනි .






මුල්ම හරකා 


ඉහත  යෝජනා මාලාවේ  එක ප්‍රධාන  යෝජනවක්  වූ පශුසම්පත  දියුණු කිරීමේ  වැඩ  පිළිවෙල මුලින්ම  ආරම්භ කලෙමි.  

මට  ස්ථිර මාසික අදායමක්  ලැබීමේ  ප්‍රීතිය  නිමිත්තෙන් වෙන් කල රුපියල්  පනස්  දාහක  මුදල  ඒ වෙනුවෙන්  මුලින්ම  වැය කලෙමි.



මුල්ම  හරකා  අපේ ගමේ  සිරිසේන අය්යාට  දෙන්නට  තීරණය  කලේ  සුවඳේ අය්යා , තාත්තා ඇතුළු පිරිසක් විසිනි. සිරිසේන අය්යා  අපේ  ගමේ හංදියේ කඩයක්  කල බුරුස්  මාමාගේ  පුතෙකි.

                                චමින්දගේ  මාමා  ( නම නොදනිමි )  තම  තාවකාලික  ගාල අසල 













අපට නෑදෑ කමක් නැති අයටත් , සුවඳේ අය්යා කැමති අකමැති හැමෝටමත්   ( ශ්‍රී ලංකා යුඇන්පී භේදයකින් තොරව) කේෂන් වත්තේ  දෙමළ කම්කරුවන්ටත්  හරක්  ලබා දෙන ලෙස මා ඉල්ලීමක් කලේ  සුවඳේ අය්යා සහ තාත්තා  වැඩිපුර  නෑදෑයින්ට  අදිනා බවක් දැනුණු නිසාය.

මුල්ම  හරක් ලාභියා ලෙස   අපේ ලොකු තාත්තගේ  දුවෙක් හා විවාහ වී සිටි  සිරිසේන තෝරා ගැනුනේ ඔහු දැක්වූ අධික උනන්දුව නිසා බව කියවිණි.

සිරි සේන අය්යා හරකා හදන අතර ලැබෙන කිරි  මිල්කෝ හෝ නෙස්ලේ වෑන් වලට නොදී ගමේ අයටම බෙදා දෙන්නයි ( මුදලට)  මම ඉල්ලීමක් කලෙමි.

කිරි බෙදා දීම සඳහා ජේන් අක්කලා මැණිකේ සහ තවත් කාන්තාවක්  යෙදවුයෙමි. ඒ සුවඳේ සහ අපේ තාත්තගේ  මැදිහත් වීමත් ඇතිවය.

දවස්  කිහිපයක්  ගමේ කිරි විකිණීම ජයටම කෙරීගෙන ගියේ අප කුඩා කාලේ මෙන් නැවතත්  නැවුම් කිරි විදුරුවක රස ගමේ කැමති කෙනෙකුට  ලබා ගන්නට ඉඩ සලසමිනි.

එහෙත් හිටි හැටියේම සිරිසේන ගමට කිරි විකිණීම  නවතා දැමිය.

ඒ වෙනුවට  ඔහු මිල්කෝ වැන් එකට කිරිදෙන්නට  පටන්ගෙන තිබුණි

ගමට කිරි විකිනීමේ අදහසට  සිරිසේන නම්මා ගැනීමට සුවන්දෙට  නොහැකි වූ අතර මට දුරකථන ඇමතුම් හරහා සිරිසේන ට මෙය පැහැදිලි කරන්නට සිදු විය.

"මල්ලී ගමේ ගෑනුන්ට කිරි දුන්නේ දවස් පහයි . වැස්සිගේ කිරි බුරුල්ල පුපුරලා ගියා ඇස්වහ  කටවහ වැදිලා  "
සිරි සේන අය්යා තම හදිසි වෙනස් වීමට  හේතුව ලෙස මට පැවසුවේය.

"කිරි බුරුල්ල පුපුරලා නම්  පශුවෛද්‍යවරයා ලඟට යන්න. ගමට කිරිදෙන එක නවත් වන්න එපා "

මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි.

පසුකලෙක  සිරිසේන අය්යා  සුවඳේ සමග විරසක වූ අතර  අපේ හරකා නැවත  සංවිධානයට  ලබාදෙන්නට  ද වග බලාගත්තේය.

අද වනවිට  ඊට කලින් හරක් නොහැදු  සිරිසේන අය්යා  සාර්ථක  කිරි ගොවියෙකි. ඒ  අප පෙන්වා දුන් පාරේ  තමා තනිවම ගමන් කිරීමේ  ප්‍රතිඵලයක්  වශයෙනි.

දෙවන  සහ තුන්වන කිරි ගොවියෝ 


අපේ  දෙවන හරකා ලබා දුන්නේ  ජයසිංහ නමට  කිසිදු සම්බන්ධයක්  නැති  අපට  දුරින් හෝ නෑදෑකමක් නැති අයෙකුටයි.

ඒ ගමේ අහිංසක පවුලක කෙනෙක්  වූ  චමින්ද විජේසේකරටයි .











මේ වනවිට  අපේ තාත්තා කෙලින්ම  ව්‍යාපෘතියට  සම්බන්ධ නොවූ බැවින් සියළු තීරණ ගැනුනේ සුවඳේ අය්යා  මගිනි.
  

අපේ ව්‍යාපෘතියේ තුන්වන හරක්  ලාභියා   @#$%  නම් වූ අයෙකි.    ඔහුට එක හරකෙක් නොව හරක් තිදෙනෙක්ම  ලබා දීම සිදුවිය.

 ඒ මගේ  එතරම්ම  කැමැත්තක් නැතිව තිබියදීයි.

"@#$%  මල්ලි දක්ෂයා . එයාට රස්සාවකුත් නැති නිසා මේ වැඩේ හොඳින්ම කරනවා කියලා කිව්වා "

සුවඳේ මා අස් වැසුවේ @#$%   ව්‍යාපෘතියේ සාර්ථකම  කිරි ගොවියා විය හැකි බව කියමිනි.


@#$% ඒ වනවිට උතුරු නැගෙනහිර යුද්ධය අතර තුර සිදුවූ  කිසියම් අකටයුත්තකට  වැරදි කරු වී වැඩ තහනම් වී සිටියේය.

ඔහු ඒ වන විට  විශේෂ කාර්ය බලකායේ සාජන්  වරයෙකි.   මා දන්නා පරිදි ඔහු නැවතත් පොලිසියේ  සේවයේ පිහිටුවා තිබේ

ඒ  අදාළ    සිද්ධියට  ඔහුගේ  සම්බන්ධයක්  නැති  බව පරීක්ෂණ වලින් සනාථ වීමෙන් පසුවය


මා පවුලට සම්බන්ධ අයට  සතුන් දිය යුතු නැති බව කියද්දීත් සුවඳේ අය්යා @#$%ට හරක් තුන්දෙනෙක්ම දුන්නා මතකය.

ඒ මේ හරක් වෙනුවෙන් වැය වන්නේ මගේ පුද්ගලික මුදල් බව හොඳින් දන්නා නිසා විය හැකි යැයි මා අනුමාන කලෙමි.

"අපේ එකාගේ සල්ලි අපේ එකෙකුට දෙනවා " යන සිතිවිල්ල ඔහු තුල තිබෙන්නට ඇත.

ඒ නිසාමදෝ  ඔහු @#$%ට නිව් ජර්සි වර්ගයේ හොඳම හරක්  දී චමින්දට  දුන්නේ දුඹුරු පැහැති දෙමුහුන් වර්ගයක එකෙකි.

මා කොතරම් ගමේ අනික් අයට  හරක් දීපන් කීවද සුවඳේ අය්යා  කැරකි ගොස් නැවතුනේ  නෑදෑයෙක් ළඟමය.

නෑදා කම් පක්ෂ සබඳකම් නැති දෙදෙනෙක් ලෙස මගේ පෙරැත්තය නිසා හරක් ලාභීන් වූ  චමින්දත් ඔහුගේ පුංචි අම්මාගේ මහත්තයත්  තවමත් සාර්ථක කිරි ගොවින් ලෙස අපේ ගමේ සිටිති.


එහෙත් ඉහත කී @#$%  හරක් ට වල් කැපීමට අමාරු බවත් , වල් ඇදීමට ලෑන්ඩ් මාස්ටරයක් අවශ්‍ය බවත් කියා සුවඳේ ට කරදර කරන්නට  වැඩි කාලයක් ගියේ නැත.

එසේ නොවුනොත් හරක් තිදෙනා විකුණා දමන බවටද ඔහු තර්ජනය කරන්නට විය.

පසුව ඔහුගෙන් සිදුවූ කරදර ඉවසුනු බැරි වූ සුවඳේ අය්යා මට කරදර කරන්නට වුයේ

"චුටි මල්ලි මේකට මොකක් හරි පිලියමක් යොදන්න" කියමිනි.

එපා කියද්දී අහක යන නයි රෙද්ද පල්ලේ දාගත් සුවඳේ සහ අපේ තාත්තලා ගැන දුක් වූ මා

"එහෙනම් @#$%ට කියන්න හරක් ටික විකුනලා මුදල් සුවඳේ අය්යාගේ  අරමුදලට දෙන්න කියලා "

 යැයි පැවසුවෙමි .

අවසානයේ  මගේ මුදල් වලින් රැගෙන දුන් හරක් තිදෙනා විකුණා ලැබුණු මුදල ලෙස ඔහු සුවඳේ අය්යාට රුපියල්  හතලිස් දාහක්  ලබා දී තිබුණි.


එහෙත්  චමින්ද ඇතුළු අනික් කිරි කරුවන්ට  කිරි වෑන් එක ලඟදි ආරංචි වී  තිබුණේ  විකුණු මුදල රුපියල් හැටදහසක්  බවත්  ඉන් විසිදහසක්  @#$%  ලබාගෙන ඇති බවත්ය.




චමින්ද  විජේසේකර - 2008 සිට අද දක්වාම  තම  කිරි කර්මාන්තය  සාර්ථකව  කරගෙන  යයි.  




චමින්දගේ  ගාල අසල ඇති ගොමගොඩ 


පසුකාලීනව  අප සිටි ප්‍රාන්තයේ නවක සංක්‍රමණික ශ්‍රී ලාංකිකයින්  පිරිසක්  එකතු කරගෙන  සංවිධානයක් පිහිටුවා ගත්තේ  මේ ව්‍යපෘති  ඉදිරියට  කරගෙන  යෑමට මගේ මුදල් පමනක්     ප්‍රමාණවත්  නොවන බැව් තේරුන නිසයි.


එයට නම ඉදිරිපත් කලේ  මගේ උදව්වෙන් තාවකාලික රැකියාවකට  ගිය නිසා අප සමග අත්වැල් බැඳගත්  "විස්කම්  "  විසිනි.  

විස්කම් ආදී ආනන්දියෙකු  බව පැවසුවා මතකය.  ඒ අනුව අපේ සංවිධානය  " Friends in Need  Adelaide 
" ලෙස නම් කෙරිණි. 

එහි සාමාජිකයින්  ( වැඩි පිරිසක්  අප මෙන් වැඩිදුර  අධ්‍යාපනය  ලැබීමට  මෙරටට  පැමිණි ශිෂ්‍ය පවුල් විය )  එකතු වී  ලබා දුන්  ඉවතලන බෝතල් සහ  කෑන්  ප්‍රතිචක්‍රීය කිරීමෙන් ලැබෙන  මුදල  අපේ  අරමුදලට  යොදා ගත්තෙමි.

එමෙන්ම මේ සමාජිකයින් බොහෝ දෙනෙක් මගේ උදව් උපකාර ඇතිව තාවකාලික රැකියා ආදියට  ගිය අය වූහ.

 මුලදී   බෝතල් , කෑන්  එතරම් ලොකු  ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීය  කරණය සඳහා     එකතු වුණේ නැති බැවින් මාසික වියදම් සහ  හරක් මිලදී ගැනීම සිදු කෙරුනේ  මගේ පුද්ගලික  මුදල් වලිනි.



එහෙත් අපේ නෑදෑයින් ගෙන්  බේරීම සඳහා ඒ  මුදල් එවුයේ මා පුද්ගලිකව නොව සංවිධානයකින් යැයි කියන ලෙස සුවඳේ අය්යාට උපදෙස් දුන්නෙමි.

පසු කලෙක අපේ බෝතල් අදායම වැඩිවන්නට විය. ඒ  අළුත පැමිණි ශිෂ්‍ය යුවලක් මගේ ව්‍යායාමයේ අගය සත්‍ය ලෙසම තේරුම් ගැනීමත් සමගිනි.

ඔවුන් විවිධ  සුපර් මාර්කට් පිරිසිදු කර නැවත නිවසට එද්දී ( රෑ දෙකට තුනට පමණ) අපේ යුනිට් එක පිහිටි කොටසේ මගේ මෝටර් රථය අසලින් බෝතල් තිහ හතලිහක  පමණ බෑග් එකක් දමා යන්නට පුරුදු වූහ.

ටින් බෝතල් සියයක් යනු ඩොලර් 10කි  . ඒ අනුව ඒ දෙදෙනා සිටි කාලයේ  සංවිධානයේ අදායම  සීග්‍රයෙන් ඉහළ ගියේය  

මේ සියල්ල සුවඳේ අය්යට  පවසා  නිතර නිතර දුරකථන ඇමතුම් ගත්තෙමි .

ඒ අප ගමේ අයගේ සුභ සෙත වෙනුවෙන් කරන්නාවූ මේ ක්‍රියාව එතරම්  ලෙහෙසි පහසු නැති බවද මතක් කර දෙමිනි.

එහෙත් ඔහු ව්‍යාපෘතිය  ආරම්භ කලේ  ගම පුරා ලොකු ප්‍රචාරයක්  කරමිනි.

සමහර විට @#$% ලාට  එහෙම මේ නිසා අප අධික අදායමක් ලබනා සංවිධානයක් යැයි වැරදි වැටහීමක් ඇතිවන්නට ඇත.

ටින් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කර මුදල්  එකතු කල අපගෙන් ලෑන්ඩ් මාස්ටර් ඉල්ලන්නට ඔහු පෙළඹෙන්නට ඇත්තේ එබැවින් විය යුතුය. 

සුවඳේ අය්යා  අප ව්‍යාපෘතිය වෙනුවෙන්  සකස් කල පොත් පිංචක්  මා අතට  පත්වී තිබේ .

එහි කියනා හැටියට අප විද්වත් සංවිධානයකි.  

ලොකු අදායමක්  උපයන  සංවිධානයක් විය හැකි බවට ඉඟි පළකර තිබුණේ නැත්තේද නොවේ.

(විස්කම් ආර්තිකව ශක්තිමත් වීමත්, මම රටේ වෙනත් ප්‍රාන්තයකට මාරුවී යාමත් , අපට බෙහෙවින්ම උදව්කල තරුණ යුවල නැවත ලංකාවට යෑමත් සමඟ අප ගොඩනැඟූ ෆ්‍රෙන්ඩ්ස් ඉන් නීඩ් සංවිධානය බිඳවැටී ගියේ දෙදහස් නවය -දහය කාලයේදීය )

ඒ කාලේ  අපේ  ගමේ නියෝජිතයා  වූ සුවඳේ අය්යා   පසුකාලයක   අපේ වැඩ වලින්  ඈත්  වී ගියේය . එහෙත් චමින්ද  සහ  ඔහුගේ    බාප්පා ළඟ තවමත්  අපදුන් පශු සම්පත් රැඳී පවතී.   

සිරිසේන  අය්යා තමාගේම  වූ  කිරිහරක්  ටිකක් බලාගෙන  සාර්ථකව  රටේ සංවර්ධනයට  දායක වෙයි. 

අපේ  හරක්  විකුණා දැමු @#$% නැවතත්  විශේෂ කාර්ය බලකායේ සේවයට එක් වී  සිටි. 

මුලින්ම පරිගණක පංතියත්, දෙවනුව වූෂු පංතියත් නැවතී ගියේ ඒවායේ ඉගැන්වූ ස්වෙච්චා ගුරුවරුන් ඉවත්වීම සහ ඒකාලයේ රටේ කොහේ හෝ තැනක වූෂු ගසා පාසැල් ශිෂ්‍යයෙක් මිය යෑමත් නිසයි. 

ඉංග්‍රීසි පංතියේ කිරිඔරුව කොටස මුලින්ම කැඩී ගියේ ගමේ ප්‍රභූ වරයෙක් "ඕවා එන් ජී ඕ, ඔයාලගේ ලමයින්ගේ ෆොටෝ පෙන්නලා කවිඳු මහත්තයලා සල්ලි හොයාගන්නවා ඇති එහේ " කියමින් ඔහුගේ ආයතනයට එන මව්වරු පියවරු භයකල නිසා යැයි රාවයක් පවතී. මාරබැද්ද කොටස තව වසර කිහිපයක් ඇදගෙන යෑමෙන් පසු ඉංග්‍රීසි ගුරුවරයා විසින්ම නවත්වනු ලැබූවේ  වැටුප් දෙන්නේ මගේ පෞද්ගලික මුදලින් බව ආරංචී වීමත් සමඟයි. 

අප තවමත් හෙමින් හෙමින් මී මැසි පාළනය සහ පශු සංවර්ධනය අපේ ගම් පළාතේ ප්‍රචලිත කරමින් පසු වන්නෙමු