Monday, 18 September 2017

ස්වර්ණා ගේ අමුතු හිසේ කැක්කුම




ස්වර්ණා විවාහක කාන්තාවකි. මැදිවියේ පසු වූ ඇය පාසැල් වයසේ වු දරුවන් දෙදෙනෙකු ගේ මවකි.

ස්වර්ණාගේ සැමියා මෑතක රජයේ රැකියාවකට ඇතුල් වූයේ තරඟ විභාගයකින් සමත් වීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

රැකියාව ලැබීමට  පෙර නිවසේ අසලම පිහිටි කුඹුරු යායේ වගා කටයුතු කල ඔහු රජයේ රැකියාවක නිරත වූ ස්වර්ණාගේ ගේ දොර වැඩ වලටද  උදව් කලේය.

සැමියාගේ නව රැකියාව කාර්යාලයක ලිපිකරු තනතුරකි.

එතෙක් ඇඟ පත වෙහෙසා වැඩ කරමින් සිටි ස්වර්ණාගේ සැමියා බලා ඉඳිද්දී තරබාරු වන්නට පටන් ගත්තේ අලුත් රැකියාවේ තිබූ වැඩ අධික කමත් , රෑ බෝ වන තුරු අතිකාල සේවයේ යෙදීමත් නිසා ඉස්සර මෙන් අත පය වෙහෙසා කරන කිසිදු වැඩක් කරන්නට ඔහු හට වෙලාවක් නැති නිසා විය යුතුය.

එමෙන්ම ඉස්සර මෙන් තම බිරිඳගේ ඉවුම් පිහුම් වලට තබා ලමයින්ගේ වැඩ කටයුතු ගැන  හොයා  බලන්නට වත් ඔහුට වෙලාවක් නොතිබිණි.

සැමියාගේ නව රැකියාවත් ළමුන්ගේ අධ්‍යාපන කටයුතුත් නිසා ස්වර්ණාගේ ජීවිතය  ඉස්සරට වඩා කාර්යබහුල වන්නට විය.

"ඔයා අදත් වැඩ ඇරෙද්දි රෑ වෙනවද?  "

"ඔව් ඔව් මට අද පැය දෙක තුනක් ඕ ටී කරන්න වෙනවා. "

"අද මම පොඩිදුව පන්ති ගෙනියන්නත් ඕනේ.

ලොකුදුවගේ ඉස්කෝලෙ රැස්වීමට යන්නත් තියෙනවා අද"

"හරි හරි ස්වර්ණා  මටත් කන්තෝරුවේ වැඩ ගොඩගැහිලා ඔයා කොහොමහරි යන්න බලන්නකෝ"

සැමියා නව රැකියාව ඉතා උවමනාවෙන් කරන්නෙකි.

ඒ නිසාම  මෑතක සිට ස්වර්ණා කලයුතු වැඩ රාජාකාරි අධික වී ඇති බවවත් ඔහුට නොවැටහේ.

වෙනදාට වඩා වෙහෙස වී  වැඩ කිරීමටත් කිසිවකුගේ උදව්වක් නැතිව ගේ දොර වැඩ කිරිමටත් දැන් ස්වර්ණා ට සිදු වී තිබේ.

අම්මලා තාත්තලා නිතර නිතර ඈ හා කතා කළත් මෙවැනි දුෂ්කරතාවයක් ඇති බවක් ඇය ඔවුන් සමඟ වත් පැවසුයේ නැත.

කාලය හෙමින් හෙමින් ගලා ගියේ ස්වර්ණා  සහ පවුලට තවත් ගැටලුවක් ඇති කරමිනි.

මෙතෙක් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කල ඇයගේ සැමියා හදිසි හෘදය ආබාධයකට ගොදුරු වන්නේ මේ අතරයි.



ස්වර්ණා ගේ ප්‍රශ්න ගොන්නට සැමියා ගේ අනාගත හෘදයාබාධ ඇතිවීමේ අවධානමද එකතු විය.


සැමියාගේ හදිසි රෝගී තත්ත්වය නිසා ඔහුට සතියක් පමණ රෝහල් ගතවී සිටින්නටද සිදු විය.

වෛද්‍ය ප්‍රතිකාර ලබා නිවසට පැමිණි සැමියා පුරුදු පරිදි තම රැකියාව පටන් ගත්තේය.

ලමයින් දෙදෙනා ද ඉගෙනීමේ වැඩ හොඳින් කරගෙන යති.

 ස්වර්ණා ගේ නිවසේ කටයුතු නැවතත් සාමාන්‍ය අතට හැරෙමින් පවතී.

එහෙත් ස්වර්ණාට කිසියම් අමුත්තක් දැනෙන්නට විය.

හිසේ ඇතුලින් ඇති වූ කැක්කුමක් ම යැයි කිවනොහැකි අමුතු ගතියක් ඇයට දැනෙන්නට ගත්තේ මේ අතරයි.

"මගේ ඔලුව රිදෙනවා ඒයි. කැක්කුමකටත් වඩා නිකන් බර ගතියක් වගේ තමයි දැනෙන්නේ . "

ඇය තම හිසේ කැක්කුම ගැන සිය ස්වාමියාට සැලකර සිටියාය.

"පැනඩෝල් දෙකක් අරන් බැලුවේ නැද්ද ? හෙම්බිරිස්සාව වත් හැදෙන්න එනවද දන්නේ නෑ?"

  ඔහු ඇයට යෝජනා කලේ මේ පොඩි ඔලුවේ කැක්කුමක් විය යුතු යැයි සිතමිනි.

"පැන්ඩෝල් , ඩිස්ප්‍රීන් හැම එකම ගත්තා .

දැන් සෑහෙන දවසක් වෙනවා මේ කැක්කුමට.

ඔයාට වැඩත්  වැඩියි , ක්ලිනික් යන්න අරවා මේවා කරදරත් වැඩි නිසා මම කියන්නැතුව හිටියා. "

"එහෙම නම් බලා ඉඳලා හරියන්නේ නෑ ස්පෙෂලිස්ට් කෙනෙක් වත් අල්ලමු.

මම ආරෝග්‍යා එකේ වෙලාවක් ඉල්ලගන්නම්"

මුලින්ම කායික රෝග විශේෂඥයෙක් දෙවනුව ස්නායු රෝග ආදි වශයෙන් බොහෝ වෛද්‍ය වරුන් චැනල් කෙරිණි.

එහෙත් ස්වර්ණා ගේ හිස් කැක්කුම එසේමය.

මේ අතර ඇගේ හිතවත් නැන්දා කෙනෙක් මේ හිසේරදය ගැන දැන ගත්තාය.

ඇයගේ පුතා වෛද්‍යවරයෙකි.

"ඉන්නකෝ දුවේ මම අපේ පුතාගෙන් අහලා බලන්න කවුද මේකට අල්ලන්න හොඳම ස්පෙෂලිස්ට් කියලා ?

 ඔයාලා හොයන්නේ ඊඑන් ටී සර්ජන් කෙනෙක් ගැන් කිව්වා නේද?

මම  අපේ පුතාගෙන් අහලා බලන්නම්කෝ කවුද මේ හිස් කැක්කුම ගැන බලන්න හොඳ කියලා"

මේ ආකාරයට ස්වර්ණා ගේ හිසේ කැක්කුම  ඇගේ හිතවත් වෛද්‍යවරයෙකු  අතට පැමිණියේය.

ඔහු තම මවට පැවසුවේ තමාට  ස්වර්ණා  අක්කා සමඟ පෞද්ගලිකව කතා කල යුතු බවත්, ඉන් අනතුරුව ඇය යායුතු  විශේෂඥ වෛද්‍යවරයා ගැන තීරණය කල හැකි බවත්ය.

මේ වනවිටත් ඈ යායුතු වන්නේ මානසික රෝග විශේෂඥයකු වෙත විය හැකි බවට ඔහු තම මවට ඉඟි පලකලේය.

අනතුරුව එළැඹියේ මේ නෑදෑ දොස්තර මල්ලී සහ ස්වර්ණා අක්කා අතර ඇතිවූ කතා බහයි.

"අක්කේ කොහොමද?

අපේ අම්මා කිව්වා ඔයාට කාලෙක ඉඳලා අඩුවෙන්නේ නැති හිසේ කැක්කුමක් තියෙනවා කියලා?

ඩොක්ටර්ස්ලා කිහිප දෙනෙක් ගාවටම ගියාලු නේද?"

"ඔව් මල්ලී දැන් සෑහෙන කාලයක් වෙනවා. අය්ය ලෙඩ වුණ දවස් වල වගේ තමයි තදටම දැනුණේ."

ඔහුට තමා මවට කල ඉඟිය හරි විය හැකි බව වැටහෙන්නට විය . කෙලින්ම කතාවට බැසිය යුතු යැයි ඔහු තීරණය කලේ ඒ අනුවයි.

අක්කේ මේ කෝල් එකෙන් කතා කරන දේවල් දන්නේ අපි දෙන්නා විතරයි.

අපි කතාකරන දේවල් කිසි දෙයක් මම අම්මාට වත් වෙන කාට වත් කියන්නේ නෑ.

ඔයාගේ හෝ වෙන කෙනෙකුගේ ජීවිතයට අනතුරක් වෙන දෙයක් කියවුණොත් විතරයි මට මේ ගැන තව කෙනෙකුට කියන්න වෙන්නේ .

දැන් මම අහන ප්‍රශ්න වලට ඇත්තම උත්තර දෙන්න ඔයාගෙ ඩොක්ටර්ට කියනවා වගේ හිතලා.

"ඔයාට ඔළුවේ මේ අමුතු ගතිය දැනෙන්න පටන් අරන් කොච්චර කල් වෙනවද?  "

"මාස දෙක -තුනක් විතර"

"ඒක කක්කුමක්ම නෙවෙයි කිව්වනේ? එහෙමනම් මොනවගේද ඔයාට දැනෙන්නේ? "

"කියන්න තේරෙන්නේ නෑ මල්ලී  හරි අමුතු ගතියක් "

"එහෙමනම් මම මෙහෙම ඇහුවට කලබල වෙන්න එපා මට ඇත්තටම ඔයාට දැනෙන දේ දැනගනන ඕනෑ . ඒකයි මම මේ ප්‍රශ්න අහන්නේ."

"ඔයාට තද කණගාටුවක් ඔක්කොම එපාවෙලා වගේ හැඟීමක් දැනෙනවාද? "

" ඔව් මල්ලි මට එහෙම දැනෙනවා "

" භය හිතෙන දේවල් දැනෙනවද? මෙහෙම ඉන්නවට වඩා හොඳයි මැරිලා ගියානම් වගේ කියලා එහෙම හිතෙන ගතියක් ?"

"ඔව් ඔව් එහෙමත් හිතෙනවා . කිසිදෙයක් කරන්න හිතෙන්නේ නෑ . ඔක්කොම එපා වෙලා වගේ හිතෙනවා. "

"මම මෙහෙම ඇහුවට මොකුත් හිතන්න එපා මම හිතන රෝග තත්තවයද තියෙන්නේ කියලා දැනගන්නයි අහන්නේ
මහත්තයා එක්ක එකතු වෙන්න වත් වැඩි කැමැත්තක් නෑ වගේද හිතෙන්නේ "

" හරියට හරි මල්ලී ඒකටත් මේ මාස දෙක තුන පුරාම කිසි කැමැත්තක් නැති ගතියක් තමයි දැනුනේ "

"ඔයා කිව්වනේ මැරිලා ගියා නම් හොඳයි කියලා හිතුණා කියලා  ඒක කරන්නේ කොහොමද කියලා හිතල බැලුවද ? සැලසුම් මොනවා හරි සකස් කරනවා වගේ ?"

" නෑ .. මට නිතර නිතර එහෙම හිතෙන කොට භය හිතුණා . ඒකයි මම අය්යට කිව්වේ මගේ ඔලුවේ අමුතු ගතියක් තියෙනවා කියලා "

"මට හිතෙන්නේ ඔයාට විශාදය (depression ) කියන තත්ත්වය වගෙයි ඇතිවෙලා තියෙන්නේ .

ඒක මොළයේ රසායනික ද්‍රව්‍ය වල වෙනස් කමක් සිදුවිමෙනුයි ඇතිවෙන්නේ .

මේකත් අපිට ශරීරයේ ඇති වන ලෙඩ වගේම එකක් .

හැබැයි රසායනික වෙනස් කම බලපාන්නේ අපේ මනසට .

ඒ නිසා තමයි ඔය ඔයාට ඔය අධික කණගාටුවක් , හැමදේම එපා වෙලා වගේ දැනීමක් වගේම  සියදිවි හානි කරගන්න එක වඩා හොඳයි වගේ දේවල් දැනෙන්නේ .

මේකට  මානසික රෝග විශේෂඥකෙනෙක් මුණ ගැහෙන ඒකයි කරන්න ඕනේ .

මම දන්නා කෙනෙක් ඉන්නවා .

 එයා කෙලින්ම ගිහින් හම්බවෙලා කතා කරන්න .

එයා ඔක්කොම කරලා දෙයි.

තව දෙයක්,  ඔය වගේ  ලෙඩක් තියෙනවා කියලා අනික් අයට කියන්න  ගොඩක් මිනිස්සු කැමති නෑ.

ඒත් ඔයාට සමීප කිහිප දෙනෙක් මේක දැනගන්න එක හොඳයි.

 විශේෂයෙන් ඔයාගේ මහත්තයයි අම්මා තාත්තා දෙන්න වගේ "

මේ සාකච්චාවෙන් පසුව  ස්වර්ණා මානසික යෙකු වෙත යොමු වූ අතර ඇයගේ  මගපෙන්වීම යටතේ  ප්‍රතිකාර පටන් ගැනුණි.

ඇයගේ සේවා ආයතනයෙන්   ස්වර්ණාට නිවාඩු ලබා ගැනීමට අවසර ලැබුණි ( වැළඳුන රෝගය කුමක්දැයි ඔවුන්ට පැවසීමට අවශ්‍ය වුයේ නැත ).

සති කිහිපයක් ප්‍රතිකාර ලබද්දී ඇයගේ හිසේ තිබු අමුතු ගතිය අඩු වූ අතර ඇය නැවතත් පුරුදු පරිදි වැඩට ගියාය .


විශාදය ඇති බව දැනගන්නේ කොහොමද  ( ඊළඟ කොටසින්) 

Wednesday, 30 August 2017

සුවබර හෙටක් සොයනා දිරිය මවක්



මම ඇය හඳුනන්නේ නැත. කාගේ කවුරුදැයි යන්න දන්නේද නැත. ඈ ගැන දැන්ගත්තේ මෑතකදී අපේ ගමේ කෙනෙක් සමග කතා කරද්දීය.

එයත් ගමේ මිනිසුන් නිතර ගැවසෙන  තැනක සිදු වූ කතාවක් හරහාය.

"දන්නවද අහවලා? 

මම හරි කැමතියි එයාට ඔයාලට පුලුවන්ද අඩුම ගානේ පුවක් කොටයක් හරියට පාගගන්න? 

ඒකට අහවලා? 

උදේ පාන්දර බෙහෙත් ටැංකිය පිටේ බැඳන් කුඹුරට යනවා. 

බෙහෙත් ගහලා ඇවිත් ළමයි තුන්දෙනා ලෑස්ති කරලා ඉස්කෝලෙ යවනවා.ඊට පස්සේ කුඹුරු ගානේ ඇවිදලා පළා ජාති, අල කොල, වට්ටක්කා දළු වගේ දේවල් හොයාගෙන එනවා. 

ඒවා හන්දියට ගෙනිහින් තියාගෙන විකුණනවා. 

ඔයාලත් ගෑණු නේ බලන්නකෝ ඒකෙන් සීයට පහක් වත් ඔයාලා අතින් කෙරෙනවද කියලා? 

මම නම් හරි කැමතියි එයාට. 

අන්න ගෑණු."

අදහස් දැක්වීම ගමේ වැදගත් තැනක් "හිමි" අයෙකු අතින් සිදු වූවකි.

අනවශ්‍ය ඕපාදූපයක් මෙන් හැඟුනද  අවංකවම කිව්වොත් මා වුවද ඔහුගේ කීම අනුමත කරමි.

ඒ එවැනි කාන්තාවක් සිටින පවුලක් අනිවාර්යයෙන්ම දියුණුව කරා පිය නඟන බව හොඳින් දන්නා නිසයි.

අපේ අම්මා








දිරිය කාන්තාවක් සිටිනා පවුල දියුණුවෙන් දියුණුවට පත්වන බව  ක්‍රියාවෙන් පෙන්වූ හොඳම චරිතය මට ඉතාම සමීප  එකකි.  

එක් දහස් නමසිය අසූ ගණන් වල කුඩා දරු දැරියන් පිරිසක් සමඟ මේ කතාවේ එන කතා නායිකාවට සමාන භූමිකාවක් ඉටු කල ඒ චරිතය අන් කවරකුගේ වත් නොව අපේ අම්මාගේය.

"හේස් ප්‍රේ" ටැංකිය පිටේ බැඳන් කුඹුරට බැස්ස ඈ ඉතා ඉක්මණින් මා සහ අපේ අක්කා  ඒ රාජකාරියට පුහුණු කළාය. 

මේ කතාවේ එන නැඟණිය ද ඒ චරිතයෙන් පාඩමක් ගනු ඇතැයි සිතමි. 

ඒ අනුව ඇයගේ දරු දැරියන්ද අප මෙන් හැඩ ගස්වණු ඇතැයි බලාපොරුත්තුවක් මා තුල ඇතිවෙයි.

මේ නැඟණිය මෙන් පාර අයිනේ වෙළඳාමට  නොගියද අපේ අම්මා මා සහ අපේ අය්යා හරහා තමා නිපදවූ එළවලු වර්ග බණ්ඩාරවෙල සතිපොළට යවන්නට වග බලා ගත්තාය. 

එසේ සොයාගත් මුදල් අර පරිස්සමින් වියදම් කර තම දරුවන් ගේ අධ්‍යාපනයත් , ගේ දොර අලංකාරව තබා ගැනීමත්  , අවශ්‍ය ගෘහභාණ්ඩ  මිලදී ගැනීම පමණක් නොව මසකට වරක් හෝ දෙවරක් ළමයි ටිකත් රැගෙන එත්විල් එකට හෝ සීගිරියට ගොස් චිත්‍රපටියක් බලන්නටත් ඇයට මුදල් හදල් මෙන්ම වෙලාවද ඉතුරු වී තිබිණි.

මේ කියන කාලය වනවිට අපේ අම්මා වයස තිස් පහ -හතලිහ අතර වයසක පසු වූවාය.

මේ කතාවට පාදක වන අපේ ගමේ සිටිනා වර්තමාන දිරිය කාන්තාවද එවැනි වයසක පසුවන්නියක් බව මට ඈ ගැන තොරතුරු ලබා දුන් අය පවසා සිටී.

අපේ ගමේ වර්තමාන දිරිය මව සහ අපේ කාර්යභාරය





 ගමට යන හන්දියේ ඇති අපේ කතානායිකාව ගේ එලවළු තට්ටුව.



අපේ අම්මා අසූ ගණන් වල මදි නොකියා මහන්සි වීමේ ප්‍රතිඵල අද සැනසිළි සුවයෙන් භුක්ති විඳිමින් සිටියි. 

ඇයගේ දූ දරුවන් සියළු දෙනා අද තම තම රැකියා අංශ වල හිණිපෙත්තටම ගොස් හෝ ඊට ආසන්නයේ පසුවෙති. 

ගමක්,රටක් වෙනස් කළ හැකි තත්ත්වයේ දරු දැරියන් ඒ අතර සිටී.

 එදා අසූ ගණන් වල අම්මා සමඟ එක් වී දුටු සිහිනය මෙන්  අදටත්  (සැමදාමත්) මා දකිනා සිහිනයක් තිබේ . 

ඒ අපි සහ අපේ අම්මා  එකතු වී කල වික්‍රමය කල හැකි තව තව පවුල් අප උපන් ගම් ප්‍රදේශය පුරා බිහිවනු දැකීමේ සිහිනයයි.

එවිට තම අසල්වැසියාගේ බෙල්ල කපා හෝ පොඩි පොඩි දේශපාලකයින්ට ගැතිකම් පා  කේලාම් කියා යමක් කමක් උපයා ගන්නා ගැහැණුන් හා මිනිසුන් වෙනුවට අභිමානයෙන් ලෝකයට මුහුණ දිය හැකි ජනතාවක් අපේ ගම් වලද බිහිවනු ඇත.

ඒ සිහිනය සිත් හි රඳවා ගෙන කටයුතු කරද්දී හැකි පමණින් එවැනි නැඟී එන පවුල් සොයා ගොස් ඔවුනට නැගිටින්නට අතදීම මාගේ යුතුකම යැයි මට සිතේ.

මේ කතාවේ කතානායිකාවට සහ ඇගේ දරු දැරියන්ටද කිසියම් හෝ ආකාරයකින් අතදීමක් කල යුතුය. 

දැනට මම ඒ ගැන සිතමින් පසුවෙමි. 

 ස්වයං රැකියාවකට හෝ ඇය දැනට කරනා පාර අයිනේ වෙලඳාම දියුණු කර ගැනීමට හෝ උදව් උපකාර කල යුතු යැයි මට සිතේ .


අපේ බ්ලොග් පොස්ට් කියවන ඔබගේ අදහස් ද මේ සඳහා ප්‍රයෝජනවත් විය හැකිය.

ඔබේ අදහස් මෙහි පළ කරන්න.

ඉදිරි පොස්ට් එකකින් කළ හැකි/කලයුතු දේ මෙන්ම කල නොහැකි දේවල් ගැනත් කතා කරමු.

Wednesday, 5 July 2017

වසන්තයේ පුරවර වෙනුවෙන් සටන් කරන කවුද මේ වසන්ත



"වසන්තයේ පුරවර" එහෙම නැත්නම් බණ්ඩාරවෙල අපි කවුරුත් ආශා කරන නගරයක්.

වසර පුරා පැතිරුණු සෞම්‍ය කාලගුණයත්, පළාතේ ජීවත් වන මිනිසුන්ගේ කලබළ කාරී නොවන ජීවන රටාවත්, දේශිය විදේශීය සංචාරකයින් බණ්ඩාරවෙලට ඇදී එන්නට ප්‍රධාන හේතුවක්.




බණ්ඩාරවෙල රටටම එළවළු සහ මල් සපයන පළාත් අතරින් ප්‍රධානයි.

ශීතල දුරුතු මාසයේ සුදෝ සුදු මීදුම් වළාවෙන් වැසී යන බණ්ඩාරවෙල අවට ඇති කඳු මුදුන් එයට අමුතු චමත්කාරයක් එක් කරනවා.

බණ්ඩාරවෙල අවටින් ගලා යන දිය කඳුරු එක් වී වැලිමඩ සානුවෙන් පහලට වැටෙද්දී බිහිවන රාවණා , දුන්හිඳ සහ දියළුම දිය ඇලි හරිම සිත්ගන්නා සුළුයි.






මෙවන් සුන්දර දසුන් වලට උරුමකම් කියන බණ්ඩාරවෙල ප්‍රදේශය අද පවතින්නේ ඉතාම අවිනිශ්චිත සහ ශෝචනීය තත්ත්වයක.

වසර සිය ගනණක් පැරණි බණ්ඩාරවෙල නගරයට හරියටම යටින් දිවෙන උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතියේ උමං පද්ධතිය නිසා බණ්ඩාරවෙලට ඇතිවිය හැකි අහිතකර බලපෑම් ඉතා දරුණු විය හැකි විම ඊට
හේතුවයි.

මේ වනවිටත් බණ්ඩාරවෙල ප්‍රධාන පාසැල් හතරක්, පන්සල් , පල්ලි මෙන්ම ගෙවල් දහස් ගණනක් පුපුරා ඉරිතලා ගිහින්.


 දෙදහස්  අටේ ශ්‍රී ලංකා රජය සහ ඉරාන රජය අතර ඇති වූ ගිවිසුමක්  සහ  ඉරාන රජයේ ආධාර මත ආරම්භ වූ උමාඔය ව්‍යාපෘතිය මගින්  වැලිමඩ ප්‍රදේශයෙන් ගලායන උමා ඔය බණ්ඩාරවෙලට යටින් දිවෙන උමගක් තුළින් වැල්ලවායේ අලිකොට ආර දෙසට හැරවෙනවා.

මෙහිදී බණ්ඩාරවෙල අවට පරිසරයට විය හැකි තදබල හානි ගැන මුලසිටම විශාල ආන්දෝලනයක් ඇති වුණා.

විශේෂයෙන් "උමා ඔය සුරැකීමේ සංවිධානය"  නමින් පළාතට ලැදි පරිසර හිතකාමී පිරිසක් එක් වී පිහිටුවා ගත් සංවිධානයකින්  මේ ව්‍යාපෘතියේ ඇති අහිතකර බලපෑම් ගැන රජයට දන්වා සිටියේ ව්‍යාපෘතිය ආරම්භ වීමටත් පෙර ( 2007 ) සිටයි.

අපේ කථානායකයා  වසන්ත සංජීව කරළියට එන්නේ මේ උමා ඔය සුරැකීමේ සංවිධානය පිහිටුවීමත් සමග.

වසන්ත උමා ඔය සුරැකීමේ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්.

උමා ඔය සුරැකීමේ සංවිධානයේ සභාපති වරුන් වූයේ කුරුකුදේ ජිනානන්ද හිමි සහ  කොටවර  කස්සප හිමියි.

මෙහි කැඳවුම් කරු වූයේ අද උමා ඔය සටනෙන් වෙන් කල නොහැකි ලෙස බැඳුනු චරිතයක් වූ සමන්ත විද්‍යාරත්නයි.

වසන්ත සංජීව එම සංවිධානයේ හොබවන්නේ සම ලේකම්  තනතුරයි.

වසන්ත සංජීව උමාඔය සුරකීමේ සටනේදී  එහි කැඳවුම්කරු  සමන්ත විද්‍යාරත්න තරමටම  ක්‍රියාකාරී සාමාජිකයෙක් .


එදා 2007 මෙම ව්‍යාපෘති යෝජනාව කඩිමුඩියේ රැගෙන එද්දී බණ්ඩාර වෙල සිටියේ රාජාභිෂේක අපේක්ෂාවෙන් සිටි රාජපක්ෂ වරු කියු ඕනෑම දෙයක් හිස් මුදුනෙන් පිළිගන්නා ජනතාවකි.


2007 දී උමා ඔය ව්‍යාපෘතිය පරිසරයට ඉතා හානිකර විය හැකි බවත් විශේෂයෙන් එය බණ්ඩාරවෙල නගරය අවට ප්‍රදේශයට බරපතල තර්ජනයක් විය හැකිබවත් කියමින්  බණ්ඩාරවෙල ජනතාව දැනුවත් කරන්නට සමන්ත සමග මුලින්ම පාරට බැස්සේ වසන්ත සංජීව සහ තවත් පරිසර හිතකාමීන් පිරිසකුයි.

එදා වසන්ත , සමන්ත සහ පෙරකී හිමිවරුන්  ජනතාව දැනුවත් කරන්නට මිරහවත්ත ප්‍රදේශයට යද්දී

" මෙන්න ජේ. වී. පී . කාරයෝ ඇවිල්ලා . මුන් සංවර්ධනයට කැමති නෑ . එලවපියව්!!! "

කියමින් මිරහවත්තේ ජනතාව වසන්තලාට බෝලත්තෙන්  පහර දෙන්න හැදුවාලු.

මේ ලියන දිනය වනවිට වසන්ත ලා ඒ අප්‍රසන්න අත්දැකීමට මුහුණදීලා අවුරුදු දහයක්  ගතවෙලා.

දැන් බණ්ඩාරවෙල මිනිස්සුන්ට වතුර බෙදන්නේ බවුසර් වලින්, ඇලවල්, දොලවල් , ලිං පොකුණු , කුඩා වැව්  ඔක්කොම හිඳිලා ගිහින්.

එදා රාජාභිශේක ලබන්නට සිටි අයට බණ්ඩාරවෙල මිනිස්සු දැන් හෙණ ඉල්ලනවා.

සමන්තලා වසන්තලා 2015 හොල්ලපු ගහෙන් ගෙඩි අහුලාගත් හරීන්ලා කොළඹට මාරුවෙලා එහෙ ඉඳන් ප්‍රකාෂ නිකුත් කරනවා.

ව්‍යාපෘතිය නැවතත් යහපාලන ආණ්ඩුවෙන් දිගටම කරගෙන යද්දි හරීන් , චමින්ද,චාමර,  ඇතුළු යහපාලන කණ්ඩායම් සද්ද නැතිව ඉන්නවා.

දැන් සමන්ත බණ්ඩාරවෙල මිනිස්සුන්ගේ ගැලවුම්කරුවා වෙලා.

අපේ ගමේ අය වුණත් වසන්ත ගැන එහෙම කතා කරන්නේ හරි ගෞරවයකින් .

බණ්ඩාරවෙල මිනිස්සු වසර දහයක් තුල අංශක 180 කින් හැරුනත් වසන්ත සංජීවලා දිගටම එම අදහසේම සිටිමින් උමා ඔය අහිතකර බලපෑම් ගැන කතාකලා.

ගමින් ගමට ගියා. රැස්වීම්, පෙළපාලි,  උද්ඝෝෂණ සංවිධානය කලා.

ඒ හරහා ව්‍යාපෘතියෙන් අගතියට පත්වුණ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටියා.

2017 ජුලී 28 වෙනිදා බණ්ඩාරවෙල මිනිසුන් එකාවන්ව වසන්ත සන්ජීවලා සමන්තලා ගෙනගිය සටන හරි බව පිළිගත්තා.

වසර දහයක් තිස්සේ සමන්තලා , වසන්තලා ඇතුළු උමා ඔය සුරකීමේ සංවිධානය ඉතා කැපවීමෙන් සහ විශ්වාශ කල නොහැකි තරමේ ඉවසීමකින් කරගෙන ගිය අරගලය තමන් වෙනුවෙන් කල උතුම් කැපවීමක් බව එදා බණ්ඩාරවෙල නගරයට රැස් වූ මහා ජනකායක් පිළිගත්තා.

දැන් අපේ ගම් වල මිනිස්සු, අපේ නෑදෑ හිතවත්තු වසන්තලා ගැන් අපෙන් අහනවා. මේ ඉටු කරන්නේ ඒ අයගේ ඉල්ලීම.

එහෙනම්  අපි බලමු කවුද මේ වසන්ත සංජීව කියන උමා ඔය සටනේ නොසැලෙන පුරුක කියලා.



කවුද මේ වසන්ත 



වසන්ත සංජීව බණ්ඩාරවෙල හීල් ඔය එගොඩගම ප්‍රදේශයේ උපන් අයෙක්. වසන්තගේ අම්මලා තාත්තලා පාරම්පරික එලවළු ගොවියෝ. 

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වූ වසන්ත කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්. 

බණ්ඩාරවෙල ධර්මපාල මහා විද්‍යාලයේ චිත්‍ර කර්මය සහ සන්නිවේදනය පිලිබඳ ගුරුවරයා ලෙසයි වසන්ත සේවය කරන්නේ. 

ඔහු ජීවත් වෙන්නේ උමා ඔය ව්‍යාපෘතියෙන් වැඩිපුරම බලපෑමකට ලක්වූ හීල් ඔය ප්‍රදේශයේමයි. 

එදා වසන්තලාගේ විරෝධය මැද ආරම්භවූ උමා ඔය ව්‍යාපෘතිය නිසා වසන්තලා ගමේ එලවළු වගාවටත් කණකොකා හඬලා.  

හීල් ඔය හිඳිලා . ඒ පැත්තේ ලිං හිඳිලා , ගෙවල් පුපුරලා. මේ ව්‍යසනය ගැන බණ්ඩාරවෙල දැනුවත් කරන්න වෙහෙසෙන වසන්තලත් මේකේ බලපෑමෙන් බැට කනවා. 

ඒ මොනවා වුණත්  වසන්ත  තවමත්  2007 ආරම්භ කල ජවයෙන්ම උමාඔය සටන වෙනුවෙන් කැපවෙනවා.

බණ්ඩාරවෙල ඉන්නා අපේ හිතවතුන් කියනා හැටියට උමා ඔය සටනේ වසන්තගේ කාර්ය භාරය දෙවැනි වුණොත් දෙවැනි වන්නේ සමන්තට පමණයි .


2007 වසන්තලා , සමන්තලා කල අනතුරු ඇඟවීම් ගණනකට නොගත් බණ්ඩාරවෙල ජනතාවත්  දැන් අවධිවෙලා.

අපේ ගම්වල අපිත් සමග මුහුණු පොතේ ගණුදෙනු කරන මිනිස්සු දිනපතා අපට වත්මන් තත්වය ගැන දැනුවත් කිරීම් කරනවා.

ඒත් මේ වෙනකොට  උමාඔය ව්‍යාපෘතියේ වැඩ සියයට අසූවක්ම වාගේ අවසන්.

එදා කලින්ම අනතුර දැක්ක වසන්තලා තමන් කී දේ නෑසූ ජනතාව වෙනුවෙන් තවමත් පෙනී සිටිනවා.

ඒ උමා ඔය ව්‍යාපෘතියෙන් තම ජීවිත උඩු යටිකුරු වූ ජනතාවට ලැබිය යුතු දේවල් ලබා ගැනීමට සටන් කරමින්.

මේ කෙටි ලියවිල්ල ඒ  නොනිමි කැපවීම  වෙනුවෙන් ලියවුණු සුළු සටහනක් පමණයි.  

උමා ඔය සටන මිරහවත්තේ ජනතාව වසන්තලා ලඟටම ගෙනාවා සේම  මුලු රටම ඔවුන්ට ඇහුන්කම් දෙන තැනකට ගෙනෙනු ඇත. 


එදාට අපි වසන්තලා ගැන ගැන නැවතත් කතා කරමු.






Monday, 5 June 2017

කොච්චරක් බොනවද? (පවුලේ වෛද්‍යවරයා ගේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යභාරය)



පහුගිය දවස් ටිකේම  බ්ලොග් පැත්තට එන්න බැරි වුණා.

හේතු කිහිපයක්ම තිබුණා එහෙම වෙන්න. එකක් තමයි රාජකාරිය (දින කිහිපයක් එක දිගට වැඩ කරන්න වුණාම බ්ලොග් කියවන්න , ලියන්න , කමෙන්ට්ස් ලියන්න වෙන්නේ හරිම අඩුවෙන්) .

තවත් හේතුවක් තමයි අපි හැමෝගෙම සිත් සසල කරමින් , ජීවිත දේපල හානි කරමින් සිදුවු ගංවතුරක් කල විනාශය.

තවත් හේතුවක් තියෙනවා . ඒක නම් පෞද්ගලික හේතුවක් . ඒ පවුලේ වෛද්‍ය වරයකු  ලෙස ඔස්ට්‍රේලියාවේ සේවය කරන්නට සිතූ නිසා සිදූ වූ දෙයක්.

ඒක තමයි  අපේ වෘත්තියට අදාල පොත්පත් වල වැඩ කටයුතු වලට ඉස්සරට වඩා කාලයක් යොමුකරන්නට සිදු වීම.

ඒ පොත් කියවීම නිසාම තමයි අද මේ ලියන බ්ලොග් පොස්ට් එක ලියවෙන්නේ.

අද උදේ පාන්දර ඇඳට වෙලා ඉස්සරහ කාමරේ පෙනෙන පරිගණකයෙන්  මුහුණු පොත් ගත නොවී කියවු කාරනා ඔස්ට්‍රේලියාවේ පමණක් නොවෙයි ශ්‍රී ලංකාවේ පවුලේ වෛද්‍යවරුන් ( සමහරුන් කියන විදිහට පී පී කරන අපේ වෘත්තිකයන්) ටත් වැදගත් වෙයි කියලා හිතුණා.

මාතෘකාව - පී පී එකේදී සෞඛ්‍යානූකූල ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම  ( Promoting healthy life style in General Practice) 







මේ ගැන කියවන් යද්දී මම ලංකාවේ ඉද්දි කල පී පී කෙරුවාවත් මතකයට නැගුනා. 

මිනිස්සුන් ගේ ජීවන රටාව ගැන ඔවුන් සමග පුද්ගලික බෙහෙත් ශාලාවේදී කතා කිරීම හරි පරිස්සමින් කල යුතු දෙයක් . 

මට මතකයි මම බෙහෙත් ශාලාව පවත්වාගෙන ගිය පළාතේ තිබුණ "කසිප්පු සහ හෙරොයින්" උවදුර ගැන මට මගේ හිතවත් සේවාදායක/දායිකාවන් විසින්ම පවසා තිබුණා. 

මේ මත් ද්‍රව්‍ය උවදුර නිසාම  මගේ බෙහෙත් ශාලාව තිබූ මේ පළාත (පේරාදෙණියට ආසන්න ප්‍රදේශයක් වුනත්)   තරමක නරක නාමයක් තමයි අරන් තිබුණේ.

කසිප්පු විකුනණ තැනැත්තාගේ පවුලේ අයත් , කුඩු විකුනණවා යැයි ප්‍රසිද්ධ පුද්ගලයාගේ පවුලේ අයත් මගේ ගනු දෙනු කරුවන් (කසිප්පු කරුවා පළාතේ නමගිය සිංහල බෞද්ධ දායකයෙක් වූ අතර කුඩු මුදලාලි ඒ ගමේම අනික් පැත්තේ ජීවත් වූ මුස්ලිම් හාදයෙක් ).

මේ දෙන්නාගෙන්ම තමන් කරන රැකියාව කුමක්ද යන්න එහෙම මම කලින්ම අහලා තිබුණා. 

කසිප්පු මුදලාලි ගොවි තැන් කිරීමත්  කුඩු මුදලාලි හරක් බැලීමත් තමයි තමන්ගේ ප්‍රාතමික රැකියාව විදිහට කලේ .

ඒ වගේ ඇඟපත වෙහෙසා කරන රැකියා ඉතා හොඳ බවත් සමහරුන් ඉතා පහසුවෙන් දියුණු වෙන්නට සිතා මත්ද්‍රව්‍ය විකීනීම වැනි දේවල් කරනා බවත් , එවැනි දේවල් නිසා දරු පවුල් අනාථ වෙන බවත් ආදී කරුනු ටිකෙන් ටික මේ දෙදෙනාටම කියන්නටත් මම අවස්තාවන් උදාකර ගත්තා. 

එහෙත් පළාතේ මත්ද්‍රව්‍ය උවදුර නම් අඩු වෙන පාටක් පෙනුණේ නෑ. 

හවස් වෙද්දී මගේ බෙහෙත් ශාලාව ඉස්සරහම වාගේ තිබුණ ගෙදරක ( මගේ ගනුදෙණු කරුවන් නොවන පවුලක්) එකම පිරිමි දරුවා  ( හෙරොයින් වලට ඇබ්බැහි වී සිටි කෙනෙක්ලු ) පාර මැදට වී හතර අතට වඳිමින් "සූර්ය වන්දනාව " කරනවා.

රෑ නමය දහය වෙද්දී ගමේ පංසල පැත්තෙන් කසිප්පු පදම වැඩිවීම නිසා සුද්ධ සිංහලෙන් ජාතිය අමතන කෙනෙක් ගේ හඬ ඇහෙනවා. 
මේ දිනවල මා නතර වී සිටියේ ඒ ගමේම තිබු විශ්ව විද්‍යාලයේ සරප් වරයෙකුගේ නිවසේ ඇනෙක්ස් එකේ. 

පහුවදාට සරප් මහත්තයා ලැජ්ජාවෙන් වගේ මා දිහා නොබලා වැඩට යන්නේ රාත්‍රී "ජාතිය ඇමතීම" මටත් ඇසෙන්නට ඇති බව දැනුන නිසාමයි.

මෙහෙම ටික දවසක් ගත වුණා. බෙහෙත් ශාලාවෙදි ගමේ බවලත් උදවිය අරක්කු/කසිප්පු බොන ස්වාමි පුරුෂයින් ගැන කියනවා. ගම්පොල පැත්තේ මන්ත්‍රී කෙනෙක් ගෙන් ගෙනත් ගමේ කුඩු විකුනණ හරක් බලන්නා ගැන කියනවා.

මම අපේ ගෙදර අයිති සරප් මහත්තයාට කතා කලා.

"ගුඩ් මෝනිං මිස්ට සුනන්ද"

"ගුඩ් මෝනිං ඩොක්ටර් කොහොමද විස්තර ? දැන් ක්ලිනික් එකට කට්ට්ය හොඳට පුරුදු වෙලා නේද?"

"ඔව් ඔව් දැන් දවසට පහලොවක් විස්සක් විතර වගේ කට්ටියක් එනවා මාව හම්බවෙන්න."

"ඒක නෙවෙයි සුනන්ද මහත්තයා. මේ ගමේ පංසල කොහෙද තියෙන්නේ?"

"මට පංසලේ ලොකු හාමුදුරුවෝ හම්බවෙන්න ඕන වෙලාවක."

"නියමයි ඩොක්ටර් අපි යමුකෝ වෙලාවක පංසල පැත්තේ .

ලොකු හාමුදුරුවොත් හරි සතුටින් ලු ඉන්නේ ඩොක්ටර්  කෙනෙක් අපේ ගමේම පදිංචි වෙලා ඉන්න එක ගැන."

කොහොම හරි ඒ දිනවල යෙදී තිබුණු වෙනත් වැඩ රාජකාරි නිසාම  මට පංසල පැත්තේ යන්න වෙලාවක් ලැබුණේ නෑ .

ඒ අතරේ දවසක් සුදෝ සුදු ඇඳුමක් ඇඳගත් උපාසක මහත්තයෙක් මගේ ඩිස්පැන්සරියේ පඩිපෙළ නගිනවා.

ඒත් එක්කම වඩින්නේ මැදිවියේ පසු වන හාමුදුරුවන් වහන්සේ කෙනෙක්.

මම ඉක්මණින්  මගේ  කබඩ් එක ඇතුලේ තිබුණු සුදු රෙද්දක් අරන් මා ලඟ ඇති රෝගීන්ට වෙන් කල පුටුවට දැම්මා.

"අපේ මහත්තයා කොහොමද? "

"හොඳින් ඉන්නවා ලොකු උන්නැහේ. මේ අපේ පංසලේ ලොකු හාමුදුරුවෝ වෙන්ඩ ඕනේ?"

"එහෙමයි එහෙමයි උන්නාස්සේට උණ හෙම්බිරිස්සාව හැදිලා බෙහෙත් ටිකක් ගන්ට කියලා එක්කන් ආවා."

"හාමුදුරුවනේ මෙහෙන් වාඩි වෙන්නකෝ .

අපි හම්බවෙන පලමුවෙනි වතාව මට හිතෙන හැටියට.

මම සුනන්ද මහත්තයා එක්ක කිය කිය හිටියේ පංසල පැත්තේ එන්න ඕනේ කියලා.

කොහෙද තවම වෙලාවක් හොයා ගන්න බැරි වුණානේ."

"ඒකට කමක් නෑ මහත්තයා . අපිට හරි සන්තෝශයි මහත්තයා වගේ කෙනෙක් ලඟ ඉන්න එක ගැන .

ගම්මු හැමෝම සුනන්ද මහත්තයාට පිං දෙනවා දොස්තර කෙනෙක් ගමටම ගෙනාවා කියලා."

"ඒක නම් ඇත්ත අපේ හාමුදුරුවනේ දැන් රාත්තිරි ජාමේ හදිස්සියක් වුනත් බය නෑ ගමේම දොස්තර මෙනෙම් ඉන්නවා නේ . "

උපාසක තැනත් ලොකු හාමුදුරුවන්ගේ කතාවට හූමිටි තිබ්බා.

මේ අතරේ මගේ සිත මම මුලින්ම පංසල ට යන්න හිතූ කාරණය වෙත ඇදී ගියා.


කසිප්පු , කුඩු සහ ඉන් මගේ සේවාදායක පවුල් වලට ඇතිවන අහිතකර බලපෑම්. 


මම සැනෙකින් අදාල මාතෘකාවට අවතීර්ණ වුණා.

"හාමුදුරුවනේ ගමේ  ඉන්න තියෙන එක නම් හොඳ දෙයක් තමයි ඒ වුණාට මත්කුඩු , මත්පැන් වගේ දුරාචාර වලට මිනිස්සු පෙළඹිලා නේ.

මේ ඊයේ පෙරේදත් මට ඇහුණා පංසල පැත්තේ බීපු මනුස්සයෙක් කෑ ගහනවා  මහා රෑ ජාමේ?

ඔය කසිප්පු විකුණන එක්කෙනා පංසල ලඟමලු නේද ඉන්නේ?"

"කසිප්පු කාරයෝ ඉන්නවා නම් තමයි ඒ හිටියට පංසලට නම් එයාලගෙන් කිසි කරදරයක්  නෑ මහත්තයෝ"

කියමින් හාමුදුරුවන්ට පෙර මට උත්තර බැන්දේ උපාසක තැන විසිණි.

"එහෙම කියලා හරියනවද නේද අපේ හාමුදුරුවනේ  පංසල කියන්නේ ගමේ මූලිකම ස්තානය ගමේ අකටයුතුකම් සිද්ද වෙනවා නම් දුරාචාර සිද්ධ වෙනවා නම් පංසලෙන් ඒවා නැති කරන්න ක්‍රියා මාර්ග ගැනෙන්න ඕනේ .

පළාතේ මිනිස්සුගේ වෛද්‍යවරයා ලෙස මටත් වග කීමක් තියෙනවා මේ ගැන මිනිස්සු දැනුවත් කරන්න.

ඔය කාරෙනෙත් හිතේ තියාගෙන තමයි මම පංසලෙට එන්න හිතුවේ.

ලොකු හාමුදුරුවෝ අවවාදයක් දුන්නම ගමේ මිනිස්සු ඒක පිළිගන්නවා.

ඒක නිසා ඔය කසිප්පු වෙළදාම කරන අයට ඔබ වහන්සේ අවවාද කරන්න.

ගමේ දුසිරිත් අඩුවෙන එක ගමටත් පංසලටත් දෙකටම හොඳයිනේ "

මම කියාගෙන ගියා.

"ඔව් ඔව් මහත්තයා කියන එක හරි අපි බලමුකෝ මොකද මේ ගැන කරන්න පුලුවන් කියලා. "

එසේ කියමින් මගෙන් සමුගන්නට සැරසුන පංසලේ ලොකු හාමුදුරුවෝ  රුපියල් අසූවක් වු මගේ ගාස්තුව මාවෙත ගෙවන්නට හැදුවේය.

මම එයෙ කාරුණිකව ප්‍රතික්ෂේප කලේ හාමුදුරුවන් ගෙන් ගාස්තුවක් අය කිරීමට මම කැමති නැති බව කියමිනි.

එදා මගෙන් බෙහෙත් රැගෙන ගිය පංසලේ හාමුදුරුවෝ නැවත වතාවක් අසනීප නොවූ නිසාදෝ යලි කිසි දිනක මගේ බෙහෙත් ශාලාවට වැඩම කලේ නැත.

මම මට හැකි පමණින් ගමේ සිදුවන අයහපත් ක්‍රියාකාරකම් ගැන පංසලේ හාමුදුරුවන් දැනුවත් කිරීමට හැකි වීම ගැන සතුටු වූයෙමි.

ඒ එදා මම ගමේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට පංසලේ හාමුදුරුවන් ගේ සේවය ලබා ගන්නට උත්සාහ කලහැටි.





අපි දැන් බලමු ඔස්ට්‍රේලියාවේ පවුලේ වෛද්‍යවරුන්  සෞඛ්‍ය ප්‍රවර්ධනය කල යුතු ආකාරය ගැන කියාදෙන හැටි.

මෙහි   ජනගහණයෙන් සියයට අසූවක් වසරකට එක් වතාවක්  වත් පවුලේ වෛද්‍ය වරයෙකුට ලඟට යනවා.

සාමාන්‍යක් ලෙස එක්කෙනෙක්වසරකට පස් වතාවක් පමණ තම වෛද්‍යවරයා හමුවෙනවා. ඒ නිසා ජනතාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා විශාල කාර්ය භාරයක් වෛද්‍යවරයාට කරන්න පුළුවන් .

වෛද්‍යවරයා ජනතාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා තමන්ට කලහැකි දේවල් ගැනත්, ඒ ගැන සාකච්චා කරන්නට තමන්ට උදාවෙන අවස්ථා ගැනත් සෑහෙන අවදියකින් ඉන්න ඕනේ.

මේ අවස්ථා උදාවෙන්නේ රෝගියා සමඟ තමා  පැමිණි කාරනය ගැන කතා බහ කරන අතරතුරමයි.

පවුලේ වෛද්‍යවරුන්ට මේ සම්බන්ධව තීරණ ගැනිමෙදී ප්‍රයොජනවත් වෙන ලියවිල්ලක් තමයි සෞඛ්‍ය ප්‍රවර්ධන  අරමුණු සහ ඉලක්ක  ගැන රජයෙ කමිටුවකින්  සකස් කර ඇති ලියවිල්ල.

ප්‍රධාන සෞඛ්‍ය ප්‍රවර්ධන  අරමුණු සහ ඉලක්ක කෙලින්ම යොමුවන කාරණා කිහිපයක් මීට ඇතුලත්.

ඒවා කෙටියෙන් මෙලෙස දැක්විය හැකියි.

1. ජනගහණයේ ගති ලක්ෂණ




ඔබේ සේවාදායකයා ( රෝගියා) කුමන සමාජ ආර්ථීක පසුබිමකින් එන කෙනෙක්ද ? 

ඔහු සමාජ වශයෙන් අවාසි සහගත කණ්ඩායමට අයත් කෙනෙක්ද? 

වැනි කාරණා පවුලේ වෛද්‍යවරයා සැලකිල්ලට ගන්න ඕන.

ගැමියෙක්ද? වතු කම්කරුවෙක්ද, පැල්පත්/මුඩුක්කු වාසියෙක්ද? යන කරුණු අපට සෞඛ්‍ය ප්‍රවර්ධන්යෙදී ඉතා ප්‍රයෝජනවත්.

ඔබේ රෝගියාගේ වයස, ගැහැණු - පිරිමි, බාල-මහළු ආදී ජීවිතයේ විවිධ අවස්ථාද ඔබට ප්‍රයෝජනවත් වෙනවා ඔවුන්ගේ සෞඛ්‍යය ඉහළ නැංවීමේදි. 


2. රෝගී වීමට හෝ මරණය ඇති කිරීමට ප්‍රධාන හේතු



හෘදරෝග සහ අංශභාග තත්වයන්, පිළිකා රෝග ( මුඛ, ස්වසන, පියයුරු, ගැබ්ගෙල,මහාඅන්ත්‍රය, සමේ), හදිසි අනතුරු සහ ආපදා, බෝවන රෝග, දියවැඩියාව,ඇදුම සහ මානසික රෝග( විශාදය, සියදිවි නසා ගැනීම්)


3. අනතුරුදායක තත්ත්ව සහ ගතිසිරිත් 



පෝෂණතත්ත්වය ( ඔබේ සේවාදායකයාට ප්‍රමාණවත් පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාරයක් ලැබෙන්නේද? )

ශාරීරික (ක්‍රියාකාරකම් ඔහු/ඇය ප්‍රමාණවත් ලෙස ව්‍යායාම වල යෙදෙයිද?),

අධි රුධිර පීඩනය, ලේ වල අධික කොලෙස්ටරෝල් තිබීම

ඔහුගේ/ඇයගේ ලිංගික ක්‍රියාකාරකම් (අනාරක්ෂිත  ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙයිද?) 

මත් පැන් සහ මත් ද්‍රව්‍ය භාවිතය (සිගරට්, දුම්කොළ, අරක්කු අවභාවිතය , කසිප්පු, වයින්, බියර් ආදියේ අවභාවිතය, ගංජා/මරිජුවානා, අයිස් වැනි නීත්‍යානූකූල නොවන ද්‍රව්‍ය භාවිතය)







ඔබ හමුවට එන සේවාදායකයා සමඟ මෙම කරුණු සාකච්චා කිරීමත් ඉන් අනතුරුව ඔහුගේ/ඇයගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමට ඔබට ඇති අවස්තා/ ප්‍රවර්ධනය විය යුතු පැති ගැන සිතාගැනීමත් පවුලේ වෛද්‍ය වරයා ලෙස ඔබේ/ අපේ වගකීමයි. 

මේ එක් එක් මාතෘකා ගැඹුරින් සලකා බැලෙන තවත් කොටසක්  ඉදිරියේදී