Sunday, 31 December 2017

ලංකාව හදන්නේ කොහොමද ? (දහතුන් වියැති ශ්‍රී ලංකික ළමයෙකුගේ යෝජනාවක්)


ලැබුවාවූ 2018 වසර අපේ හිතවතුන් සියළු දෙනාගේම සිතුම පැතුම් සඵල වන යහපත් වසරක් වේවායි පතමු.

ඊයේ හවස ලැබුණු ආරංචියක් නිසා ගමේ සිදුවූ පොඩි දේශපාලන අලකලංචියක් ගැන ලියන්නට සිදුවුණා . එහි පළවූ කමෙන්ටුවක්  මේ සිදුවිම මගේ සිහියට නැගෙන්නට හේතුවක් වුණා.

එදා  2017 ජනවාරි මුලම දවසක්. ඊට දින කිහිපයකට පෙර ලංකාවට  ලඟා වූ අපි කෑගල්ලේ සිට බණ්ඩාරවෙල දක්වා යමින් සිටින මොහොතක්.

මම  මාසික කුළියකට මලිකි එකෙන් ගත හොණ්ඩා වෙස්ල් එක මගේ වගේ එලවන ගමන්.

අපේ සුපුන්  එහා පැත්තේ නිම්මි පිටිපස්සේ.

අපේ වාහනේ නුවර සිට රන්දෙණිගල පාරෙන් ඇවිත් බදුල්ල  හරහා බණ්ඩාරවෙලට එන ගමන්.

කෑගල්ලේ සිටම පාර දෙපස ඇති ගස්වැල්,  කඩපිල් , හරකබාන , කොල්ලෝ කුරුට්ටෝ , එහාට මෙහාට දුවන බල්ලෝ බළල්ලු දෙස බලමින් එන  අපේ සුපුන්  යමක් කියන්නට මෙන් සුදානම් වුයේ  ඇල්ල ප්‍රාදේශීය සභාවට අයත්   හෙල හල්පේ හරියේදී.

මාත් එක්ක දිගටම කතා බස් එකේ ආපු ඔහු වැදගත් කියා කිව හැකි  යමක් කියපු එක අවස්ථාවක් නිසා මේ සිද්ධිය මට හොඳට මතකයි.

අප මෙන් නොව තමා  පසු කර යන  ජීව , අජීව වස්තු ගැන ඉතා හොඳ කල්පනාවකින් ගමන් කල ඔහු  මෙය අප දෙදෙනාටවත් කිව යුතුයි කියා සිතන්නට ඇති.

රට හදන හැටි 

"පුතා මොකෝ කල්පනාව ඔස්ට්‍රේලියාව වගේ නෙවෙයි ලංකාව හරි ලස්සනයි නේද ? " 

විමතියෙන් මෙන් වට පිට සිදුවන හැමදේම නිරීක්ෂණය කරනා සුපුන් ගෙන් මම ඇසුවේ ඔහුගේ කට අවුස්සා ගන්නා රිසියෙන්.

"ලංකාව හොඳයි . හරි ලස්සනයි  හැබැයි පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න "

අපේ ලොක්කා දේශනාව පටන් ගත්තා .

"හරි හරි කියමුකෝ බලන්න මොනාද කරන්න ඕනේ කියලා ? " නිම්මි පිටිපස්සේ ඉඳන් කතාවට එකතුවුණා.

" මේ පාරේ හැමතැනම කුණු දාන එකයි,  හරක් පාරට එවන එකයි නවත්තලා පාරේ එහාට  මෙහාට දුවන බල්ලෝ පූසෝ ගෙවල් වල තියාගන්න ක්‍රමයක් හැදුවානම් ලංකාව මීටත් වඩා ලස්සණයි"

මගේ වාහනය හෙල හල්පේ හරියෙන් යද්දී සුපුන් තම ගම නගරය හදන යෝජනා මාලාවෙන් කොටසක්  අප දෙදෙනා හමුවේ තැබුවේ එලෙසයි. 




Saturday, 4 November 2017

බාලගිරි අදත් නොවේ.. හෙටත් නොවේ ..ලබන සතියේ





පසු ගිය කළාපයෙන්



අපේ අක්කාගේ කීම අසා පාරේ වැඩ නවත්වා දැමූ මම ටික කාලයක් වෙන වෙන වැඩ වලට යොමුවුණා.

අපේ ගමේ සහ අවට පවුල් දෙකකට නිවාස හදාගන්න සහයෝගය දෙන්න ගත්තේ මෙන්න මේ දවස් වල .


ඔහොම  ටික කලක් ගත වෙද්දී අපේ තාත්තාත් නිතර නිතර  ප්‍රාදේශීය සභා සභා ලොක්කට කතා කරලාම ඇති වෙලයි හිටියේ.

මේ අතර එතෙක් තුන් පැත්තකට පමනක් බෙදී තිබුණ පාරේ කෙලවරින් තවත් පැත්තකට පාර ගෙනයන්න අපේ ගෙට පහළ පැත්තේ කට්ටිය අලුතින් පාරක් කැපුවා.

ඒ නිසා එකම මගක යන පිරිසට තවත් පවුල් තුනක් එකතු වුණා.

අපේ තාත්තත් අලුතින් පත්වුණ මහඇමති තුමා වෙතටත් පාරේ කතාව අරන් ගියා.


මේ කිසි උත්සාහයකින් ඔහුට   තමන්ට අවශ්‍ය දේ කර ගන්න බැරිවුණා.

දැන්පාරේ ගමන් කරන පවුල් ගණන දහයකටත් වැඩියි.

මම පාරවල් සම්බන්ධ ආයතනයක ඉහළ නිලයකට කතා කලා.

" ඒක නෙවෙයි ඔයා අහවල් ආයතනයේ නේද දැන්ඉන්නේ ?

"ඔව් අය්යා මෙහාට ඇවිල්ලා දැන් අවුරුද්දකට වැඩියි "

 "අපේ ගමේ පාරක් තියෙනවා කවුරුත් බලන්නේ නැති .... ඒක ගැන පොඩ්ඩක් බලන්න බැරිද?"

"පුළුවන් අය්යා මොකක්ද කෙරෙන්න ඕනේ ?"

" මේක මේ අපේ  තාත්තයි අහල පහල ගෙවල් වල අයයි අවුරුදු ගාණක් තිස්සේ කර ගන්න දඟලන එකක්  .

කිසිම දේශපාලකයෙක් ඒ ගැන බලන්නේ නෑ . මේ පාර කරලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් "

"හරි අය්යා පවුල් හත අටකට වඩා යන පාරක් නම්  අපිට කරන්න පුලුවන්  .

ඒ පාරේ යන සියලුම දෙනා අත්සන් කරලා ඉල්ලීමක් කලොත් "

 ඒ අනුව මුලින්ම  අදාළ රාජ්‍ය ආයතනයට ලිපියක්  යොමුකලා  මේ මාර්ගය තම නිවාස වලට ප්‍රවේශ මාර්ගයක් ලෙස පාවිච්චි කරන හැමෝම එකතු කරගෙන.

සියලු දෙනාගේ  අත්සන් සහිත  ඒ ලිපිය අදාල කාර්යාලයට ලැබුණු පසු  එය ඔවුන්ගේ සහය ලැබිය යුතු ව්‍යාපෘතියක් ලෙස අනුමත වුණා.

ප්‍රධාන කාර්යාලයේ  මගේ පුද්ගලික හිතවත් කමක් තිබීම  මෙහිදී සැහෙන්න ප්‍රයෝජනවත් වුණා කීවොත් නිවැරදියි.

අනතුරුව  ඔවුන්ගේ   අනුදැනුම මත අපේ නගරයේ පිහිටි අදාළ රාජ්‍ය ආයතන සමගත්  සබඳතා ගොඩ නගා ගත්තා


ඒ  මමත් තාත්තත් දෙදෙනාම ඒ ඒ ආයතන වල නිලධාරීන් නිලධාරිනින්  හා කෙලින්ම කතා කිරීම මඟින්.

මේ සියලු කටයුතු කෙරුණේ අපේ ප්‍රදේශයේ දේශපාලකයින් හෝ ඔවුන්ගේ අපේ ගමේ සිටින අනුගාමිකයින්ට නොදැනෙන අයුරින්.

ඒ සඳහා ඉමෝ , ව්‍යිබර් , මුහුණු පොත ආදිය හරහා කාර්යාල තුනක සිටි අදාළ නිලධාරින්සමඟ ගනු දෙනු කරන්නට මට සිදුවුණා.

සති දෙකක් වැනි කෙටි කාලයක් තුල ව්‍යාපෘතියට අදාළ ඇස්තමේන්තුව සකස් වී අනුමත වීම අප ලැබූ ලොකු ජයග්‍රහණයක්.

ප්‍රධාන කාර්යාලයේ වගේම බණ්ඩාරවෙල පිහිටි අනෙකුත් කාර්යාල /ආයතන වල නිලධාරි මහත්ම මහත්මීන් බොහෝ දෙනෙක් මේ වෙනුවෙන් සහයෝගය දුන්නා.

කොන්ත්‍රාත් කරුවන් සෙවීම 




ව්‍යාපෘතිය අනුමත වීමෙන් පසු එළැඹියේ එය කිරීමට කැමති කොන්ත්‍රාත් කරුවෙක් සොයාගැනීමයි. බාලගිරි දෙවැනි වතාවට  අප සොයා ආවේ මේ අවධියේදී. 

මා දන්නා මිතුරු මිතුරියන් ගෙන් මෙන්ම තාත්තා දැන සිටි අයගෙන් ලැබුණු අවවාද ඔස්සේ කොන්ත්‍රාත් කරුවන් කිහිප දෙනෙකුටම කතා කලා.

එහෙත් පාර බලන්නට පැමිණි බොහෝ කොන්ත්‍රාත් කරුවන් කියා සිටියේ අදාළ ව්‍යාපෘතිය ප්‍රාදේශීය සභාව හරහා ලැබෙන්නේ නම් තමන් එය කරන්නට කැමති බවයි.

එහෙත් ව්‍යාපෘතිය අනුමත වී තිබුණේ මාර්ග සංවර්ධන අධිකාරය හරහා කෙරෙන ව්‍යාපෘතියක් ලෙස.

එයට හේතුව ලෙස ඔවුන් පැවසුවේ මාර්ග සංවර්ධන අධිකාරය සමඟ ගණුදෙනු එතරම පහසු නැති බවත් විශේෂයෙන් මුදල අනුමත වෙන්නට මාස ගණනක් වුව ගතවිය හැකි බවත්ය.

මේ අතර මා හා තාත්තා වරින් වර සෙවූ කොන්ත්‍රාත් කරුවන් හෙමින් හෙමින් මග හැර යද්දී එක් අයෙක් ගැන තාත්තාගේ අවධානය යොමුවුණා. මමත් මෙහි සිටි කිහිප වතාවක්ම ඔහුට දුරකතයෙන් කතා කලා.

"ඩොක්ටර් RDA එකේ ප්‍රොජෙක්ට් කරලා සල්ලි ගන්න අමාරුයි හැබැයි"

ඔහුත් පරණ කතාවම කියන්න ගත්තා.

"හරි හරි මම කොහොම හරි ඉක්මනට සල්ලි අරන් දෙන්නම් .

ඔයා හිරවුනොත් අපි උදව් කරනවා බය වෙන්න එපා .

වැඩේ පටන් ගන්න  "

මම ඔහුව උනන්දු කෙරෙව්වා.

එසේ කීමෙන්  මම අදහස් කලේ වැඩ ඉවර කරලත් ඔහුගේ මුදල් නොලැබුනොත් ඔහු ට ඉදිරියට කර ගන්නට ඇති වැඩ වෙනුවෙන් ණයක් වුනත් දෙන්නට මා සුදානම් බවයි.



දුරකථන ඇමතුම් දහයක් පහළොවක් දුන් පසු සති දෙක තුනක්ම ගතවුණා.

වැඩේ පටන් ගන්න පාටක් නෑ.

මම තාත්තාටත්  කොන්ත්‍රාත් කාරයටත් මාරුවෙන් මාරුවට කරදර කලා .


 අවසානයේ  පාරේ මුලික පස් සකස් කිරිමට පස් කපන යන්ත්‍රයක් එවන්න කොන්ත්‍රාත් කරු තීරණය කලා.




මේ තියෙන්නේ පාරේ වැඩ කෙරෙන මුල් අවස්ථාවේ ගත් චායාරූප ...





















දවස් දෙකක් ඇතුලත පාර මට්ටම් කල කොන්ත්‍රාත් කරු තාත්තට අළුත් යෝජනාවක් කලා.

" මේ දවස් වල මගේ අතේ සල්ලි නෑ. RDA වැඩ කරාම තවත් සල්ලි හිරවෙනවා .


 කියුබ් එකක් අහවල් ගාන ගානේ කොන්ක්‍රීට් ගෙනැත් දෙන කම්පැනියක් තියෙනවා.

 මේ මීටර් ගාන කරන්න ලක්ෂ හයක විතර කොන්ක්‍රීට් ඕනේ .

දොස්තර මහත්තයට කියන්න කොන්ක්‍රීට් වලට යන සල්ලි මට ලෝන් එකක් විදිහට දෙන්න කියලා

එහෙම වුනොත් සතියෙන් දෙකෙන් මේ පාර ඉවර කරලා දෙන්න පුළුවන්"


තාත්තා යෝජනාව මා වෙත ගෙනාවා.

"අපි සල්ලි දානවා නම් අපිටම කොන්ත්‍රාත් එක ගන්න තිබ්බනේ

මට නයට සල්ලි දෙන්න විදිහක් නෑ .

එයා ගේ අනික් වැඩ ඉවර වෙලා කරන්න කියමු "

 ඒ අනුව අපේ වැඩේ නතර කල කොන්ත්‍රාත් කරු තව මාසයක් ඒක හමාරක් යන තෙක්ම වැඩේ කල් දමමින් හිටියා.

"තව පොඩි වැඩ ටිකක් තියෙනවා . ඉවර කරලා එන්නම් "

 හැමදාම තාත්තා කතා කරද්දී යන පිළිතුර ඔහු දෙන්නට පුරුදු වුණා.


මම නිතර නිතර තාත්තාගෙන් අහනවා කවද්ද කොන්ත්‍රාත් කාරය ආපහු එන්නේ කියලා

"එයාට තව පොඩි වැඩ ටිකක් තියෙනවලු . ඉවර කරලා අද හෙටම එයි "

ඔහු බලාපොරොත්තු සහගතව පවසනවා.

මෙහෙම මාසයකට ආසන්න කාලයක් ගෙවී ගියා ..

මගේ පැත්තේ ඉවසීමේ සීමාවත් ඉක්මවා යන්න ලඟයි.

මම තවත් වතාවක් කොන්ත්‍රාත් කාරයට කතා කලා

" ඒක නෙවෙයි . තාත්තා කියනවා ඔයා තව සතියකින් එනවා,  දෙකකින් එනවා කියලා ඇත්තටම කවද්ද එන්නේ ?

මට කෙලින්ම ඇත්ත කියන්න ඔයා මේ වැඩේ කරන්න අකමැතියි නේද ?"

"නෑ ඩොක්ටර් මට පොඩි වැඩ වගයක් තිබුණා. "

ඔහු තව තවත් වැඩේ කල් දාන අරමුණෙන් වගේ කතා කරනවා.

"හරි ඒකට කමක් නෑ .

මම ළඟ මිනිහෙක් ඉන්නවා .

ඔයා භාගෙට කරපු ටිකට පස්සේ සල්ලි දෙන්නම් අපි ඒ මනුස්සයා දාල වැඩේ කරන්නද ?"

"හරි ඩොක්ටර් කමක් නෑ . එයා දාලා කරවන්න . මට ඩෝසර් කරපු සල්ලි පස්සේ ගන්න බැරියැ"

ඔහු ඒක පයින්ම මගේ යෝජනාවට කැමති වුණා.

මේ වෙනකොට අපේ අම්මලා ගෙදර තාප්පයක් බඳින්න මේසන් බාස් කෙනෙකුට දීලා තිබුනා

ඔහු අසල ලැයිමක ජිවත් වූ රාමන් නමැති  තරුණ මේසන් කෙනෙක් .


මම මේ මේසන් බාස් එක්ක කතා කරලා ඔහු වැඩේට කැමතිද ඇසුවා.


"රාමන් ඔයා මේ කොන්ත්‍රාත් එක බාර ගන්න හදිස්සියක් වුනොත් මම උදව් කරනවා "

ඒ අනුව රාමන් වැඩේ පටන් ගත්තා .

මමත් , අපේ අය්යා , අක්කා ඇතුළු හැමෝමත් එකතු කරගත් තාත්තා  රාමන් ට සිමෙන්ති, වැලි සහ කළුගල් වලට ගිය මුලික වියදම ණයක් ලෙස ලබා දුන්නා.

ඒ මුදල  රුපියල් ලක්ෂ හය හමාරක් හතක් විතර වුණා.


අවසානයේ  දවස් දහයක් වැනි කාලයකින් පාරේ වැඩ ඉවර කරන්නට මේ තරුණ මේසන් වරයා සහ ඔහුගේ සගයින් සමත් වුණා.


RDA එකේ තාක්ෂණික නිලධාරීන් , ඉංජිනේරුවන් ඇතුළු සියලු දෙනා ඔහු ඉතාම ඉහල ප්‍රමිතියකින් යුතුව පාර නිමකර ඇති බව සනාථ කලා.



මේ තියෙන්නේ ඒ දෙවන පියවරේදී ගත්  චායාරූප

















රාමන් ඇතුළු පිරිස පාරේ වැඩ කරමින්















Sunday, 8 October 2017

ජිවිත රැසක් බේරන්නට දැන දැනම දිවි පිදු සොඳුරු මිනිසෙක්


දිනය ඔක්තෝබර් දෙවැනිදා.  කීර්ති බණ්ඩාර තම සුපුරුදු රැකියාවට ( බණ්ඩාරවෙල ඩිපෝවේ බස් රථ රියදුරු)  පිටත් වුණේ තම දරු දෙදෙනා සහ ආදරණීය බිරිඳව දකින්නට නිවසට එන බලාපොරොත්තුවෙන්.

කීර්ති වැඩ කලේ බණ්ඩාරවෙල සිට හපුතල හරහා "ඌව කොස්ගම" දක්වා ධාවනය කෙරෙන බස් රථයේ.

මේ කියන වෙලාවේ  මගින් විස්සත් -තිහත් අතර පිරිසක් රැගත්  බස් රථය කීර්ති විසින් කොළඹ - බදුල්ල මාර්ගයේ ඌව කොස්ගම දෙසට ධාවනය කරමිනුයි සිටියේ.

බසය තිබුණේ හපුතලත් බෙරගල හන්දියත් අතර දැඩි වංගු සහිත කවුරුත් බෙරගල පල්ලම ලෙස හඳුන්වන කොටසේ.

වම් පසින් හපුතල කඳු බෑවුමත් (කොස්ලන්ද දෙසට ඇති)  දකුණු පසින්  උස වේල්ලත් තිබෙන කොටසක්.

මගීන් බොහෝ දෙනෙක් තම දවසේ වැඩ නිමවී ගෙදර යමින් සිටියේ ප්‍රිය අඹු දරුවන් දැක බලා ගන්නටයි.

කීර්ති වුණත් ඉන්නට ඇත්තේ "ටර්න්" එක ඉවර වී බසය නවතා දමා නිවසට යන බලාපොරොත්තු වෙන්මයි.

බසය ඇතුළේ තිබු සාමකාමී වාතාවරණය බිඳ හෙලමින්  යමෙක් උස්හඬින් කෑ ගසනු ඇසුණා.


"බස් එකේ බ්රේක් නෑ.. හැමෝම පිටිපස්සට යන්න .. හැමෝම පිටිපස්සට යන්න "


කියමින් රියදුරු කීර්ති බණ්ඩාර  කෑ ගසනවා.

 පල්ලැහැහින් පෙනෙන  පල්ලම දකින ඕනෑම කෙනෙකුට දෙවියන් සිහිවෙන මොහොතක්.

සියළුම මගීන් බස් රථයේ පිටිපස්සටම ඇදුනා.

ඒ අතරේ බසය අධික වේගයෙන් බෙරගල පල්ලමේ පහළට ඇදෙනවා.

රියදුරු කීර්ති බණ්ඩාර  බසය   පල්ලම දෙසට යන්නට නොදී   පාලනය කර ගන්නට උපරිම වෙර දරනවා.

අවසානයේ අධික වංගු සහිත මාර්ගයේ බසය පල්ලමට යා නොදී වලක්වන්නට ගත හැකි හොඳම ක්‍රියා මාර්ගය ගන්නට කීර්ති තීරණය කරනවා.

ඒ බසය රියදුරු අසුන පැත්තේ ( දකුණු පැත්තේ ) වූ වේල්ලට අල්ලා නවත්වන්නට තීරණය කිරීමෙන් .

අනිවාර්යයෙන් තමන්ගේ ජීවිතය අනතුරේ බව දැන දැනත් ඔහු මේ තීරණය ගන්නේ බසය අනික් පස පල්ලමට අල්ලා දකුණු පස රියදුරුට ඇති "හදිසි දොරටුවෙන්" පැනගන්නට  තමාට හැකි බව හොඳින් දැනගෙනමයි.

මේ වෙලාවේ කීර්ති බණ්ඩාරට තම දහය වසරේ ඉගෙන ගන්න වැඩිමහල් දරුවත්  දෙක වසරේ සිටිනා බාල  දියණියත්  සිහිවන්නට ඇති.

එහෙත්  තමාගේ  ජීවිතය පරදුවට තබන  මේ සොඳුරු මිනිසා තව ජිවිත විසි ගණනක් බේරා අපෙන් සමු ගන්නවා.

ඒ තම රාජකාරිය දේව කාරියක් ලෙස ජිවිතයේ අවසානය දක්වා ඉටු කරමින්.

"ජිවිත රැසක් ඔබ අතේය " අපි පාසැල් යන කාලේ බණ්ඩාරවෙල ඩිපෝවේ බස් වල රියදුරු  පිටුපස බලන කණ්නාඩියේ  ගසා තිබුණා මට මතකයි.

අපි පාසැල් ගියේ  මාර්ග අංක 320 ඇටම්පිටිය -බණ්ඩාරවෙල බස් රථයෙන්

අධික කඳු බෑවුම් සහිත බණ්ඩාරවෙල- ඇටම්පිටිය මාර්ගයේ  මේ 320 බස්රථය වංගුවක්   ගන්නා වාරයක් පාසා  "ජිවිත රැසක් ඔබ අතේය " කියන  වාක්‍යය ඛණ්ඩය රතු පැහැයෙන් වර්ණ ගැන්වෙනවා.

කීර්ති බණ්ඩාර පැදවූ බස් රථයේ එවැනි වාක්‍යයක් ලියා තිබුණත් නැතත් ඔහු එදා  ක්‍රියාකර තිබුණේ ජිවිත රැසක් ඔබ අතේය යන්න  ඔහුගේ හදවතේම සටහන් කර තිබු පරිද්දෙන්.

කීර්ති බණ්ඩාරගේ මේ පරාර්ථකාමීත්වය අගය කරමින් පසුගියදා මම මුහුණු පොතේ කෙටි සටහනක් දැම්මා.

එය දුටු අපේ ගමේ මල්ලී කෙනෙක්

"අය්යා මේ මගේ පංතියේ ඉන්න ළමයෙක් ගේ තාත්තා .

 දන්නා හැටියට පෙන්ෂන් එකකුත් නෑ.. 

ඉස්කෝලේ යන ළමයි දෙන්නෙකුත් ඉන්නවා ... 

අපි මොනවා හරි කරමු"  

කියලා පණිවිඩයක් එව්වා..

හරි මල්ලි අපි මොනවා හරි කරමු මට අකවුන්ට් නම්බර්ස් එවන්න 

මම පිළිතුරු දුන්නා

අපේ කාර්ය භාරය

දැන් එළැඹි තිබෙන්නේ අපට කල හැක්කේ කුමක්ද යන්න සිතීමේ වෙලාවයි.  

මා හා මගේ බිරිඳත් .. මුහුණු පොතේ හා බ්ලොග් කියවන අපේ හිතවතුනුත් එකතු කරගෙන අප මින් පෙර සිදු කලාක් මෙන් හැකි උපකාරයක්  කිර්තිගේ පවුලට කලයුතු යැයි හිතුණා. 

ගමේ හිතවතා කිර්තිගේ ළමයෙකුගේ පංති භාර ගුරුවරයා ද වන නිසා  ඔහු හරහා  අපේ සහය  කීර්ති බණ්ඩාරගේ පවුලේ අයට ලැබෙන්න සැලස්විය හැකියි.


ඔබ කිසියම් මුදලක් බැර කළහොත් ඒ බව මගේ මුහුණු පොතෙන්  හෝ මේ බ්ලොග් පොස්ට් එකෙන් දන්වන්න....


කීර්ති බණ්ඩාර මහතාගේ බිරිඳ නිල්මිණි තෙන්නකෝන් මහත්මිය ගේ බැංකු ගිණුමේ විස්තර



මේ අතර බණ්ඩාරවෙල රජ යේ රොහලේ සේවය් කරන අපෙ හිතවත් වෛද්‍යවරයෙක් මේ සිදුවීම ගැන උනන්දු වුණා.
ඔහු තමා හඳුනන  බණ්ඩාරවෙල ඩිපෝවේ සේවක මහතෙකුගෙන්  කීර්ති බණ්ඩාර පවුලේ විස්තර විශේෂයෙන් ඔවුන්ට උදව් කල හැකි ආකාරය ගැන විස්තර අසා තිබුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස කීර්ති බණ්ඩාර මහතාගේ බිරිඳ නිල්මිණි තෙන්නකෝන් මහත්මිය නමට හල්දුමුල්ල
ලංකා බැංකුවේ ඇති ගිණුමක විස්තර අපේ හිතවතාට ලැබී තිබුණා.


දැන් අප සියලු දෙනාට නිල්මිණි මහත්මියගේ නමට ඇති මේ බැංකු ගිණුමට අපේ සහයෝගය පළ කරන්න පුලුවන්.


ගිණුමේ නම:  T.M. P.W. Nilmini Tennakoon

බැංකු ශාඛාව: ලංකා බැංකුව, හල්දුම්මුල්ල


ගිණුම් අංකය: 81720917


රුපියල් සියයකින් හරි කමක් නෑ උදව් කරමු.

මේ මිනිසා කල වීර ක්‍රියාව ඇගයීමට. අපි හැමෝම සුලුවෙන් හෝ උදව් කල විත් ඔහුගේ දරුවන් දෙදෙනාටත් බිරිඳටත් එය ලොකු උදව්වක් ලෙස දැනේවි.


 බැංකු විස්තර මුලින්ම ලබා දුන් බණ්ඩාරවෙල රෝහලේ වෛද්‍ය "සරණ පෙරේරා අය්යා" ටත් ස්තුතියි.

2017/11/22...

දැන් අප සියලු දෙනාට නිල්මිණි මහත්මියගේ නමට ඇති මේ බැංකු ගිණුමටත් අපේ සහයෝගය පළ කරන්න පුලුවන්.





Monday, 18 September 2017

ස්වර්ණා ගේ අමුතු හිසේ කැක්කුම




ස්වර්ණා විවාහක කාන්තාවකි. මැදිවියේ පසු වූ ඇය පාසැල් වයසේ වු දරුවන් දෙදෙනෙකු ගේ මවකි.

ස්වර්ණාගේ සැමියා මෑතක රජයේ රැකියාවකට ඇතුල් වූයේ තරඟ විභාගයකින් සමත් වීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

රැකියාව ලැබීමට  පෙර නිවසේ අසලම පිහිටි කුඹුරු යායේ වගා කටයුතු කල ඔහු රජයේ රැකියාවක නිරත වූ ස්වර්ණාගේ ගේ දොර වැඩ වලටද  උදව් කලේය.

සැමියාගේ නව රැකියාව කාර්යාලයක ලිපිකරු තනතුරකි.

එතෙක් ඇඟ පත වෙහෙසා වැඩ කරමින් සිටි ස්වර්ණාගේ සැමියා බලා ඉඳිද්දී තරබාරු වන්නට පටන් ගත්තේ අලුත් රැකියාවේ තිබූ වැඩ අධික කමත් , රෑ බෝ වන තුරු අතිකාල සේවයේ යෙදීමත් නිසා ඉස්සර මෙන් අත පය වෙහෙසා කරන කිසිදු වැඩක් කරන්නට ඔහු හට වෙලාවක් නැති නිසා විය යුතුය.

එමෙන්ම ඉස්සර මෙන් තම බිරිඳගේ ඉවුම් පිහුම් වලට තබා ලමයින්ගේ වැඩ කටයුතු ගැන  හොයා  බලන්නට වත් ඔහුට වෙලාවක් නොතිබිණි.

සැමියාගේ නව රැකියාවත් ළමුන්ගේ අධ්‍යාපන කටයුතුත් නිසා ස්වර්ණාගේ ජීවිතය  ඉස්සරට වඩා කාර්යබහුල වන්නට විය.

"ඔයා අදත් වැඩ ඇරෙද්දි රෑ වෙනවද?  "

"ඔව් ඔව් මට අද පැය දෙක තුනක් ඕ ටී කරන්න වෙනවා. "

"අද මම පොඩිදුව පන්ති ගෙනියන්නත් ඕනේ.

ලොකුදුවගේ ඉස්කෝලෙ රැස්වීමට යන්නත් තියෙනවා අද"

"හරි හරි ස්වර්ණා  මටත් කන්තෝරුවේ වැඩ ගොඩගැහිලා ඔයා කොහොමහරි යන්න බලන්නකෝ"

සැමියා නව රැකියාව ඉතා උවමනාවෙන් කරන්නෙකි.

ඒ නිසාම  මෑතක සිට ස්වර්ණා කලයුතු වැඩ රාජාකාරි අධික වී ඇති බවවත් ඔහුට නොවැටහේ.

වෙනදාට වඩා වෙහෙස වී  වැඩ කිරීමටත් කිසිවකුගේ උදව්වක් නැතිව ගේ දොර වැඩ කිරිමටත් දැන් ස්වර්ණා ට සිදු වී තිබේ.

අම්මලා තාත්තලා නිතර නිතර ඈ හා කතා කළත් මෙවැනි දුෂ්කරතාවයක් ඇති බවක් ඇය ඔවුන් සමඟ වත් පැවසුයේ නැත.

කාලය හෙමින් හෙමින් ගලා ගියේ ස්වර්ණා  සහ පවුලට තවත් ගැටලුවක් ඇති කරමිනි.

මෙතෙක් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කල ඇයගේ සැමියා හදිසි හෘදය ආබාධයකට ගොදුරු වන්නේ මේ අතරයි.



ස්වර්ණා ගේ ප්‍රශ්න ගොන්නට සැමියා ගේ අනාගත හෘදයාබාධ ඇතිවීමේ අවධානමද එකතු විය.


සැමියාගේ හදිසි රෝගී තත්ත්වය නිසා ඔහුට සතියක් පමණ රෝහල් ගතවී සිටින්නටද සිදු විය.

වෛද්‍ය ප්‍රතිකාර ලබා නිවසට පැමිණි සැමියා පුරුදු පරිදි තම රැකියාව පටන් ගත්තේය.

ලමයින් දෙදෙනා ද ඉගෙනීමේ වැඩ හොඳින් කරගෙන යති.

 ස්වර්ණා ගේ නිවසේ කටයුතු නැවතත් සාමාන්‍ය අතට හැරෙමින් පවතී.

එහෙත් ස්වර්ණාට කිසියම් අමුත්තක් දැනෙන්නට විය.

හිසේ ඇතුලින් ඇති වූ කැක්කුමක් ම යැයි කිවනොහැකි අමුතු ගතියක් ඇයට දැනෙන්නට ගත්තේ මේ අතරයි.

"මගේ ඔලුව රිදෙනවා ඒයි. කැක්කුමකටත් වඩා නිකන් බර ගතියක් වගේ තමයි දැනෙන්නේ . "

ඇය තම හිසේ කැක්කුම ගැන සිය ස්වාමියාට සැලකර සිටියාය.

"පැනඩෝල් දෙකක් අරන් බැලුවේ නැද්ද ? හෙම්බිරිස්සාව වත් හැදෙන්න එනවද දන්නේ නෑ?"

  ඔහු ඇයට යෝජනා කලේ මේ පොඩි ඔලුවේ කැක්කුමක් විය යුතු යැයි සිතමිනි.

"පැන්ඩෝල් , ඩිස්ප්‍රීන් හැම එකම ගත්තා .

දැන් සෑහෙන දවසක් වෙනවා මේ කැක්කුමට.

ඔයාට වැඩත්  වැඩියි , ක්ලිනික් යන්න අරවා මේවා කරදරත් වැඩි නිසා මම කියන්නැතුව හිටියා. "

"එහෙම නම් බලා ඉඳලා හරියන්නේ නෑ ස්පෙෂලිස්ට් කෙනෙක් වත් අල්ලමු.

මම ආරෝග්‍යා එකේ වෙලාවක් ඉල්ලගන්නම්"

මුලින්ම කායික රෝග විශේෂඥයෙක් දෙවනුව ස්නායු රෝග ආදි වශයෙන් බොහෝ වෛද්‍ය වරුන් චැනල් කෙරිණි.

එහෙත් ස්වර්ණා ගේ හිස් කැක්කුම එසේමය.

මේ අතර ඇගේ හිතවත් නැන්දා කෙනෙක් මේ හිසේරදය ගැන දැන ගත්තාය.

ඇයගේ පුතා වෛද්‍යවරයෙකි.

"ඉන්නකෝ දුවේ මම අපේ පුතාගෙන් අහලා බලන්න කවුද මේකට අල්ලන්න හොඳම ස්පෙෂලිස්ට් කියලා ?

 ඔයාලා හොයන්නේ ඊඑන් ටී සර්ජන් කෙනෙක් ගැන් කිව්වා නේද?

මම  අපේ පුතාගෙන් අහලා බලන්නම්කෝ කවුද මේ හිස් කැක්කුම ගැන බලන්න හොඳ කියලා"

මේ ආකාරයට ස්වර්ණා ගේ හිසේ කැක්කුම  ඇගේ හිතවත් වෛද්‍යවරයෙකු  අතට පැමිණියේය.

ඔහු තම මවට පැවසුවේ තමාට  ස්වර්ණා  අක්කා සමඟ පෞද්ගලිකව කතා කල යුතු බවත්, ඉන් අනතුරුව ඇය යායුතු  විශේෂඥ වෛද්‍යවරයා ගැන තීරණය කල හැකි බවත්ය.

මේ වනවිටත් ඈ යායුතු වන්නේ මානසික රෝග විශේෂඥයකු වෙත විය හැකි බවට ඔහු තම මවට ඉඟි පලකලේය.

අනතුරුව එළැඹියේ මේ නෑදෑ දොස්තර මල්ලී සහ ස්වර්ණා අක්කා අතර ඇතිවූ කතා බහයි.

"අක්කේ කොහොමද?

අපේ අම්මා කිව්වා ඔයාට කාලෙක ඉඳලා අඩුවෙන්නේ නැති හිසේ කැක්කුමක් තියෙනවා කියලා?

ඩොක්ටර්ස්ලා කිහිප දෙනෙක් ගාවටම ගියාලු නේද?"

"ඔව් මල්ලී දැන් සෑහෙන කාලයක් වෙනවා. අය්ය ලෙඩ වුණ දවස් වල වගේ තමයි තදටම දැනුණේ."

ඔහුට තමා මවට කල ඉඟිය හරි විය හැකි බව වැටහෙන්නට විය . කෙලින්ම කතාවට බැසිය යුතු යැයි ඔහු තීරණය කලේ ඒ අනුවයි.

අක්කේ මේ කෝල් එකෙන් කතා කරන දේවල් දන්නේ අපි දෙන්නා විතරයි.

අපි කතාකරන දේවල් කිසි දෙයක් මම අම්මාට වත් වෙන කාට වත් කියන්නේ නෑ.

ඔයාගේ හෝ වෙන කෙනෙකුගේ ජීවිතයට අනතුරක් වෙන දෙයක් කියවුණොත් විතරයි මට මේ ගැන තව කෙනෙකුට කියන්න වෙන්නේ .

දැන් මම අහන ප්‍රශ්න වලට ඇත්තම උත්තර දෙන්න ඔයාගෙ ඩොක්ටර්ට කියනවා වගේ හිතලා.

"ඔයාට ඔළුවේ මේ අමුතු ගතිය දැනෙන්න පටන් අරන් කොච්චර කල් වෙනවද?  "

"මාස දෙක -තුනක් විතර"

"ඒක කක්කුමක්ම නෙවෙයි කිව්වනේ? එහෙමනම් මොනවගේද ඔයාට දැනෙන්නේ? "

"කියන්න තේරෙන්නේ නෑ මල්ලී  හරි අමුතු ගතියක් "

"එහෙමනම් මම මෙහෙම ඇහුවට කලබල වෙන්න එපා මට ඇත්තටම ඔයාට දැනෙන දේ දැනගනන ඕනෑ . ඒකයි මම මේ ප්‍රශ්න අහන්නේ."

"ඔයාට තද කණගාටුවක් ඔක්කොම එපාවෙලා වගේ හැඟීමක් දැනෙනවාද? "

" ඔව් මල්ලි මට එහෙම දැනෙනවා "

" භය හිතෙන දේවල් දැනෙනවද? මෙහෙම ඉන්නවට වඩා හොඳයි මැරිලා ගියානම් වගේ කියලා එහෙම හිතෙන ගතියක් ?"

"ඔව් ඔව් එහෙමත් හිතෙනවා . කිසිදෙයක් කරන්න හිතෙන්නේ නෑ . ඔක්කොම එපා වෙලා වගේ හිතෙනවා. "

"මම මෙහෙම ඇහුවට මොකුත් හිතන්න එපා මම හිතන රෝග තත්තවයද තියෙන්නේ කියලා දැනගන්නයි අහන්නේ
මහත්තයා එක්ක එකතු වෙන්න වත් වැඩි කැමැත්තක් නෑ වගේද හිතෙන්නේ "

" හරියට හරි මල්ලී ඒකටත් මේ මාස දෙක තුන පුරාම කිසි කැමැත්තක් නැති ගතියක් තමයි දැනුනේ "

"ඔයා කිව්වනේ මැරිලා ගියා නම් හොඳයි කියලා හිතුණා කියලා  ඒක කරන්නේ කොහොමද කියලා හිතල බැලුවද ? සැලසුම් මොනවා හරි සකස් කරනවා වගේ ?"

" නෑ .. මට නිතර නිතර එහෙම හිතෙන කොට භය හිතුණා . ඒකයි මම අය්යට කිව්වේ මගේ ඔලුවේ අමුතු ගතියක් තියෙනවා කියලා "

"මට හිතෙන්නේ ඔයාට විශාදය (depression ) කියන තත්ත්වය වගෙයි ඇතිවෙලා තියෙන්නේ .

ඒක මොළයේ රසායනික ද්‍රව්‍ය වල වෙනස් කමක් සිදුවිමෙනුයි ඇතිවෙන්නේ .

මේකත් අපිට ශරීරයේ ඇති වන ලෙඩ වගේම එකක් .

හැබැයි රසායනික වෙනස් කම බලපාන්නේ අපේ මනසට .

ඒ නිසා තමයි ඔය ඔයාට ඔය අධික කණගාටුවක් , හැමදේම එපා වෙලා වගේ දැනීමක් වගේම  සියදිවි හානි කරගන්න එක වඩා හොඳයි වගේ දේවල් දැනෙන්නේ .

මේකට  මානසික රෝග විශේෂඥකෙනෙක් මුණ ගැහෙන ඒකයි කරන්න ඕනේ .

මම දන්නා කෙනෙක් ඉන්නවා .

 එයා කෙලින්ම ගිහින් හම්බවෙලා කතා කරන්න .

එයා ඔක්කොම කරලා දෙයි.

තව දෙයක්,  ඔය වගේ  ලෙඩක් තියෙනවා කියලා අනික් අයට කියන්න  ගොඩක් මිනිස්සු කැමති නෑ.

ඒත් ඔයාට සමීප කිහිප දෙනෙක් මේක දැනගන්න එක හොඳයි.

 විශේෂයෙන් ඔයාගේ මහත්තයයි අම්මා තාත්තා දෙන්න වගේ "

මේ සාකච්චාවෙන් පසුව  ස්වර්ණා මානසික යෙකු වෙත යොමු වූ අතර ඇයගේ  මගපෙන්වීම යටතේ  ප්‍රතිකාර පටන් ගැනුණි.

ඇයගේ සේවා ආයතනයෙන්   ස්වර්ණාට නිවාඩු ලබා ගැනීමට අවසර ලැබුණි ( වැළඳුන රෝගය කුමක්දැයි ඔවුන්ට පැවසීමට අවශ්‍ය වුයේ නැත ).

සති කිහිපයක් ප්‍රතිකාර ලබද්දී ඇයගේ හිසේ තිබු අමුතු ගතිය අඩු වූ අතර ඇය නැවතත් පුරුදු පරිදි වැඩට ගියාය .


විශාදය ඇති බව දැනගන්නේ කොහොමද  ( ඊළඟ කොටසින්) 

Wednesday, 30 August 2017

සුවබර හෙටක් සොයනා දිරිය මවක්



මම ඇය හඳුනන්නේ නැත. කාගේ කවුරුදැයි යන්න දන්නේද නැත. ඈ ගැන දැන්ගත්තේ මෑතකදී අපේ ගමේ කෙනෙක් සමග කතා කරද්දීය.

එයත් ගමේ මිනිසුන් නිතර ගැවසෙන  තැනක සිදු වූ කතාවක් හරහාය.

"දන්නවද අහවලා? 

මම හරි කැමතියි එයාට ඔයාලට පුලුවන්ද අඩුම ගානේ පුවක් කොටයක් හරියට පාගගන්න? 

ඒකට අහවලා? 

උදේ පාන්දර බෙහෙත් ටැංකිය පිටේ බැඳන් කුඹුරට යනවා. 

බෙහෙත් ගහලා ඇවිත් ළමයි තුන්දෙනා ලෑස්ති කරලා ඉස්කෝලෙ යවනවා.ඊට පස්සේ කුඹුරු ගානේ ඇවිදලා පළා ජාති, අල කොල, වට්ටක්කා දළු වගේ දේවල් හොයාගෙන එනවා. 

ඒවා හන්දියට ගෙනිහින් තියාගෙන විකුණනවා. 

ඔයාලත් ගෑණු නේ බලන්නකෝ ඒකෙන් සීයට පහක් වත් ඔයාලා අතින් කෙරෙනවද කියලා? 

මම නම් හරි කැමතියි එයාට. 

අන්න ගෑණු."

අදහස් දැක්වීම ගමේ වැදගත් තැනක් "හිමි" අයෙකු අතින් සිදු වූවකි.

අනවශ්‍ය ඕපාදූපයක් මෙන් හැඟුනද  අවංකවම කිව්වොත් මා වුවද ඔහුගේ කීම අනුමත කරමි.

ඒ එවැනි කාන්තාවක් සිටින පවුලක් අනිවාර්යයෙන්ම දියුණුව කරා පිය නඟන බව හොඳින් දන්නා නිසයි.

අපේ අම්මා








දිරිය කාන්තාවක් සිටිනා පවුල දියුණුවෙන් දියුණුවට පත්වන බව  ක්‍රියාවෙන් පෙන්වූ හොඳම චරිතය මට ඉතාම සමීප  එකකි.  

එක් දහස් නමසිය අසූ ගණන් වල කුඩා දරු දැරියන් පිරිසක් සමඟ මේ කතාවේ එන කතා නායිකාවට සමාන භූමිකාවක් ඉටු කල ඒ චරිතය අන් කවරකුගේ වත් නොව අපේ අම්මාගේය.

"හේස් ප්‍රේ" ටැංකිය පිටේ බැඳන් කුඹුරට බැස්ස ඈ ඉතා ඉක්මණින් මා සහ අපේ අක්කා  ඒ රාජකාරියට පුහුණු කළාය. 

මේ කතාවේ එන නැඟණිය ද ඒ චරිතයෙන් පාඩමක් ගනු ඇතැයි සිතමි. 

ඒ අනුව ඇයගේ දරු දැරියන්ද අප මෙන් හැඩ ගස්වණු ඇතැයි බලාපොරුත්තුවක් මා තුල ඇතිවෙයි.

මේ නැඟණිය මෙන් පාර අයිනේ වෙළඳාමට  නොගියද අපේ අම්මා මා සහ අපේ අය්යා හරහා තමා නිපදවූ එළවලු වර්ග බණ්ඩාරවෙල සතිපොළට යවන්නට වග බලා ගත්තාය. 

එසේ සොයාගත් මුදල් අර පරිස්සමින් වියදම් කර තම දරුවන් ගේ අධ්‍යාපනයත් , ගේ දොර අලංකාරව තබා ගැනීමත්  , අවශ්‍ය ගෘහභාණ්ඩ  මිලදී ගැනීම පමණක් නොව මසකට වරක් හෝ දෙවරක් ළමයි ටිකත් රැගෙන එත්විල් එකට හෝ සීගිරියට ගොස් චිත්‍රපටියක් බලන්නටත් ඇයට මුදල් හදල් මෙන්ම වෙලාවද ඉතුරු වී තිබිණි.

මේ කියන කාලය වනවිට අපේ අම්මා වයස තිස් පහ -හතලිහ අතර වයසක පසු වූවාය.

මේ කතාවට පාදක වන අපේ ගමේ සිටිනා වර්තමාන දිරිය කාන්තාවද එවැනි වයසක පසුවන්නියක් බව මට ඈ ගැන තොරතුරු ලබා දුන් අය පවසා සිටී.

අපේ ගමේ වර්තමාන දිරිය මව සහ අපේ කාර්යභාරය





 ගමට යන හන්දියේ ඇති අපේ කතානායිකාව ගේ එලවළු තට්ටුව.



අපේ අම්මා අසූ ගණන් වල මදි නොකියා මහන්සි වීමේ ප්‍රතිඵල අද සැනසිළි සුවයෙන් භුක්ති විඳිමින් සිටියි. 

ඇයගේ දූ දරුවන් සියළු දෙනා අද තම තම රැකියා අංශ වල හිණිපෙත්තටම ගොස් හෝ ඊට ආසන්නයේ පසුවෙති. 

ගමක්,රටක් වෙනස් කළ හැකි තත්ත්වයේ දරු දැරියන් ඒ අතර සිටී.

 එදා අසූ ගණන් වල අම්මා සමඟ එක් වී දුටු සිහිනය මෙන්  අදටත්  (සැමදාමත්) මා දකිනා සිහිනයක් තිබේ . 

ඒ අපි සහ අපේ අම්මා  එකතු වී කල වික්‍රමය කල හැකි තව තව පවුල් අප උපන් ගම් ප්‍රදේශය පුරා බිහිවනු දැකීමේ සිහිනයයි.

එවිට තම අසල්වැසියාගේ බෙල්ල කපා හෝ පොඩි පොඩි දේශපාලකයින්ට ගැතිකම් පා  කේලාම් කියා යමක් කමක් උපයා ගන්නා ගැහැණුන් හා මිනිසුන් වෙනුවට අභිමානයෙන් ලෝකයට මුහුණ දිය හැකි ජනතාවක් අපේ ගම් වලද බිහිවනු ඇත.

ඒ සිහිනය සිත් හි රඳවා ගෙන කටයුතු කරද්දී හැකි පමණින් එවැනි නැඟී එන පවුල් සොයා ගොස් ඔවුනට නැගිටින්නට අතදීම මාගේ යුතුකම යැයි මට සිතේ.

මේ කතාවේ කතානායිකාවට සහ ඇගේ දරු දැරියන්ටද කිසියම් හෝ ආකාරයකින් අතදීමක් කල යුතුය. 

දැනට මම ඒ ගැන සිතමින් පසුවෙමි. 

 ස්වයං රැකියාවකට හෝ ඇය දැනට කරනා පාර අයිනේ වෙලඳාම දියුණු කර ගැනීමට හෝ උදව් උපකාර කල යුතු යැයි මට සිතේ .


අපේ බ්ලොග් පොස්ට් කියවන ඔබගේ අදහස් ද මේ සඳහා ප්‍රයෝජනවත් විය හැකිය.

ඔබේ අදහස් මෙහි පළ කරන්න.

ඉදිරි පොස්ට් එකකින් කළ හැකි/කලයුතු දේ මෙන්ම කල නොහැකි දේවල් ගැනත් කතා කරමු.

Wednesday, 5 July 2017

වසන්තයේ පුරවර වෙනුවෙන් සටන් කරන කවුද මේ වසන්ත



"වසන්තයේ පුරවර" එහෙම නැත්නම් බණ්ඩාරවෙල අපි කවුරුත් ආශා කරන නගරයක්.

වසර පුරා පැතිරුණු සෞම්‍ය කාලගුණයත්, පළාතේ ජීවත් වන මිනිසුන්ගේ කලබළ කාරී නොවන ජීවන රටාවත්, දේශිය විදේශීය සංචාරකයින් බණ්ඩාරවෙලට ඇදී එන්නට ප්‍රධාන හේතුවක්.




බණ්ඩාරවෙල රටටම එළවළු සහ මල් සපයන පළාත් අතරින් ප්‍රධානයි.

ශීතල දුරුතු මාසයේ සුදෝ සුදු මීදුම් වළාවෙන් වැසී යන බණ්ඩාරවෙල අවට ඇති කඳු මුදුන් එයට අමුතු චමත්කාරයක් එක් කරනවා.

බණ්ඩාරවෙල අවටින් ගලා යන දිය කඳුරු එක් වී වැලිමඩ සානුවෙන් පහලට වැටෙද්දී බිහිවන රාවණා , දුන්හිඳ සහ දියළුම දිය ඇලි හරිම සිත්ගන්නා සුළුයි.






මෙවන් සුන්දර දසුන් වලට උරුමකම් කියන බණ්ඩාරවෙල ප්‍රදේශය අද පවතින්නේ ඉතාම අවිනිශ්චිත සහ ශෝචනීය තත්ත්වයක.

වසර සිය ගනණක් පැරණි බණ්ඩාරවෙල නගරයට හරියටම යටින් දිවෙන උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතියේ උමං පද්ධතිය නිසා බණ්ඩාරවෙලට ඇතිවිය හැකි අහිතකර බලපෑම් ඉතා දරුණු විය හැකි විම ඊට
හේතුවයි.

මේ වනවිටත් බණ්ඩාරවෙල ප්‍රධාන පාසැල් හතරක්, පන්සල් , පල්ලි මෙන්ම ගෙවල් දහස් ගණනක් පුපුරා ඉරිතලා ගිහින්.


 දෙදහස්  අටේ ශ්‍රී ලංකා රජය සහ ඉරාන රජය අතර ඇති වූ ගිවිසුමක්  සහ  ඉරාන රජයේ ආධාර මත ආරම්භ වූ උමාඔය ව්‍යාපෘතිය මගින්  වැලිමඩ ප්‍රදේශයෙන් ගලායන උමා ඔය බණ්ඩාරවෙලට යටින් දිවෙන උමගක් තුළින් වැල්ලවායේ අලිකොට ආර දෙසට හැරවෙනවා.

මෙහිදී බණ්ඩාරවෙල අවට පරිසරයට විය හැකි තදබල හානි ගැන මුලසිටම විශාල ආන්දෝලනයක් ඇති වුණා.

විශේෂයෙන් "උමා ඔය සුරැකීමේ සංවිධානය"  නමින් පළාතට ලැදි පරිසර හිතකාමී පිරිසක් එක් වී පිහිටුවා ගත් සංවිධානයකින්  මේ ව්‍යාපෘතියේ ඇති අහිතකර බලපෑම් ගැන රජයට දන්වා සිටියේ ව්‍යාපෘතිය ආරම්භ වීමටත් පෙර ( 2007 ) සිටයි.

අපේ කථානායකයා  වසන්ත සංජීව කරළියට එන්නේ මේ උමා ඔය සුරැකීමේ සංවිධානය පිහිටුවීමත් සමග.

වසන්ත උමා ඔය සුරැකීමේ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්.

උමා ඔය සුරැකීමේ සංවිධානයේ සභාපති වරුන් වූයේ කුරුකුදේ ජිනානන්ද හිමි සහ  කොටවර  කස්සප හිමියි.

මෙහි කැඳවුම් කරු වූයේ අද උමා ඔය සටනෙන් වෙන් කල නොහැකි ලෙස බැඳුනු චරිතයක් වූ සමන්ත විද්‍යාරත්නයි.

වසන්ත සංජීව එම සංවිධානයේ හොබවන්නේ සම ලේකම්  තනතුරයි.

වසන්ත සංජීව උමාඔය සුරකීමේ සටනේදී  එහි කැඳවුම්කරු  සමන්ත විද්‍යාරත්න තරමටම  ක්‍රියාකාරී සාමාජිකයෙක් .


එදා 2007 මෙම ව්‍යාපෘති යෝජනාව කඩිමුඩියේ රැගෙන එද්දී බණ්ඩාර වෙල සිටියේ රාජාභිෂේක අපේක්ෂාවෙන් සිටි රාජපක්ෂ වරු කියු ඕනෑම දෙයක් හිස් මුදුනෙන් පිළිගන්නා ජනතාවකි.


2007 දී උමා ඔය ව්‍යාපෘතිය පරිසරයට ඉතා හානිකර විය හැකි බවත් විශේෂයෙන් එය බණ්ඩාරවෙල නගරය අවට ප්‍රදේශයට බරපතල තර්ජනයක් විය හැකිබවත් කියමින්  බණ්ඩාරවෙල ජනතාව දැනුවත් කරන්නට සමන්ත සමග මුලින්ම පාරට බැස්සේ වසන්ත සංජීව සහ තවත් පරිසර හිතකාමීන් පිරිසකුයි.

එදා වසන්ත , සමන්ත සහ පෙරකී හිමිවරුන්  ජනතාව දැනුවත් කරන්නට මිරහවත්ත ප්‍රදේශයට යද්දී

" මෙන්න ජේ. වී. පී . කාරයෝ ඇවිල්ලා . මුන් සංවර්ධනයට කැමති නෑ . එලවපියව්!!! "

කියමින් මිරහවත්තේ ජනතාව වසන්තලාට බෝලත්තෙන්  පහර දෙන්න හැදුවාලු.

මේ ලියන දිනය වනවිට වසන්ත ලා ඒ අප්‍රසන්න අත්දැකීමට මුහුණදීලා අවුරුදු දහයක්  ගතවෙලා.

දැන් බණ්ඩාරවෙල මිනිස්සුන්ට වතුර බෙදන්නේ බවුසර් වලින්, ඇලවල්, දොලවල් , ලිං පොකුණු , කුඩා වැව්  ඔක්කොම හිඳිලා ගිහින්.

එදා රාජාභිශේක ලබන්නට සිටි අයට බණ්ඩාරවෙල මිනිස්සු දැන් හෙණ ඉල්ලනවා.

සමන්තලා වසන්තලා 2015 හොල්ලපු ගහෙන් ගෙඩි අහුලාගත් හරීන්ලා කොළඹට මාරුවෙලා එහෙ ඉඳන් ප්‍රකාෂ නිකුත් කරනවා.

ව්‍යාපෘතිය නැවතත් යහපාලන ආණ්ඩුවෙන් දිගටම කරගෙන යද්දි හරීන් , චමින්ද,චාමර,  ඇතුළු යහපාලන කණ්ඩායම් සද්ද නැතිව ඉන්නවා.

දැන් සමන්ත බණ්ඩාරවෙල මිනිස්සුන්ගේ ගැලවුම්කරුවා වෙලා.

අපේ ගමේ අය වුණත් වසන්ත ගැන එහෙම කතා කරන්නේ හරි ගෞරවයකින් .

බණ්ඩාරවෙල මිනිස්සු වසර දහයක් තුල අංශක 180 කින් හැරුනත් වසන්ත සංජීවලා දිගටම එම අදහසේම සිටිමින් උමා ඔය අහිතකර බලපෑම් ගැන කතාකලා.

ගමින් ගමට ගියා. රැස්වීම්, පෙළපාලි,  උද්ඝෝෂණ සංවිධානය කලා.

ඒ හරහා ව්‍යාපෘතියෙන් අගතියට පත්වුණ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටියා.

2017 ජුලී 28 වෙනිදා බණ්ඩාරවෙල මිනිසුන් එකාවන්ව වසන්ත සන්ජීවලා සමන්තලා ගෙනගිය සටන හරි බව පිළිගත්තා.

වසර දහයක් තිස්සේ සමන්තලා , වසන්තලා ඇතුළු උමා ඔය සුරකීමේ සංවිධානය ඉතා කැපවීමෙන් සහ විශ්වාශ කල නොහැකි තරමේ ඉවසීමකින් කරගෙන ගිය අරගලය තමන් වෙනුවෙන් කල උතුම් කැපවීමක් බව එදා බණ්ඩාරවෙල නගරයට රැස් වූ මහා ජනකායක් පිළිගත්තා.

දැන් අපේ ගම් වල මිනිස්සු, අපේ නෑදෑ හිතවත්තු වසන්තලා ගැන් අපෙන් අහනවා. මේ ඉටු කරන්නේ ඒ අයගේ ඉල්ලීම.

එහෙනම්  අපි බලමු කවුද මේ වසන්ත සංජීව කියන උමා ඔය සටනේ නොසැලෙන පුරුක කියලා.



කවුද මේ වසන්ත 



වසන්ත සංජීව බණ්ඩාරවෙල හීල් ඔය එගොඩගම ප්‍රදේශයේ උපන් අයෙක්. වසන්තගේ අම්මලා තාත්තලා පාරම්පරික එලවළු ගොවියෝ. 

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වූ වසන්ත කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්. 

බණ්ඩාරවෙල ධර්මපාල මහා විද්‍යාලයේ චිත්‍ර කර්මය සහ සන්නිවේදනය පිලිබඳ ගුරුවරයා ලෙසයි වසන්ත සේවය කරන්නේ. 

ඔහු ජීවත් වෙන්නේ උමා ඔය ව්‍යාපෘතියෙන් වැඩිපුරම බලපෑමකට ලක්වූ හීල් ඔය ප්‍රදේශයේමයි. 

එදා වසන්තලාගේ විරෝධය මැද ආරම්භවූ උමා ඔය ව්‍යාපෘතිය නිසා වසන්තලා ගමේ එලවළු වගාවටත් කණකොකා හඬලා.  

හීල් ඔය හිඳිලා . ඒ පැත්තේ ලිං හිඳිලා , ගෙවල් පුපුරලා. මේ ව්‍යසනය ගැන බණ්ඩාරවෙල දැනුවත් කරන්න වෙහෙසෙන වසන්තලත් මේකේ බලපෑමෙන් බැට කනවා. 

ඒ මොනවා වුණත්  වසන්ත  තවමත්  2007 ආරම්භ කල ජවයෙන්ම උමාඔය සටන වෙනුවෙන් කැපවෙනවා.

බණ්ඩාරවෙල ඉන්නා අපේ හිතවතුන් කියනා හැටියට උමා ඔය සටනේ වසන්තගේ කාර්ය භාරය දෙවැනි වුණොත් දෙවැනි වන්නේ සමන්තට පමණයි .


2007 වසන්තලා , සමන්තලා කල අනතුරු ඇඟවීම් ගණනකට නොගත් බණ්ඩාරවෙල ජනතාවත්  දැන් අවධිවෙලා.

අපේ ගම්වල අපිත් සමග මුහුණු පොතේ ගණුදෙනු කරන මිනිස්සු දිනපතා අපට වත්මන් තත්වය ගැන දැනුවත් කිරීම් කරනවා.

ඒත් මේ වෙනකොට  උමාඔය ව්‍යාපෘතියේ වැඩ සියයට අසූවක්ම වාගේ අවසන්.

එදා කලින්ම අනතුර දැක්ක වසන්තලා තමන් කී දේ නෑසූ ජනතාව වෙනුවෙන් තවමත් පෙනී සිටිනවා.

ඒ උමා ඔය ව්‍යාපෘතියෙන් තම ජීවිත උඩු යටිකුරු වූ ජනතාවට ලැබිය යුතු දේවල් ලබා ගැනීමට සටන් කරමින්.

මේ කෙටි ලියවිල්ල ඒ  නොනිමි කැපවීම  වෙනුවෙන් ලියවුණු සුළු සටහනක් පමණයි.  

උමා ඔය සටන මිරහවත්තේ ජනතාව වසන්තලා ලඟටම ගෙනාවා සේම  මුලු රටම ඔවුන්ට ඇහුන්කම් දෙන තැනකට ගෙනෙනු ඇත. 


එදාට අපි වසන්තලා ගැන ගැන නැවතත් කතා කරමු.