1. කුඩා බණ්ඩාර මාමා සහ බෙස්ට් සිලෙක්ෂන්
2. බෙස්ට් සිලෙක්ෂන් -පළමු කොටස
3. බෙස්ට් සිලෙක්ෂන් - දෙවන කොටස
4. මා ලියු ප්‍රථම නිසදැස
5. වෙන්ඩ නැන්දම්මා හෙවත් අක්කා නැන්දා
6. පුෂ්ප රාජා සහ අපේ කතාව
7. පුංචි අම්මාගේ විවාහය සහ අම්මාගේ යෝජනාව -එක
8. පුංචි අම්මාගේ විවාහය සහ අම්මාගේ යෝජනාව-දෙවන කොටස
9. පුංචි අම්මාගේ විවාහය සහ අම්මාගේ යෝජනාව- අවසාන කොටස
10. සමුගන්නට අවසරයි
යලි හමුවෙමුද අපි...
ජයංගනී නංගිට සමුගැනීමේ ලිපිය දී ගතවුයේ එක රැයක් පමණි. මම පසුදා පාන්දර සුපුරුදු පරිදි සඳතැන්න පාසැල වෙත ගියේ පෙරදින කිසිවක් සිදු නොවූ පරිද්දෙනි.
එහෙත් උදේ කාලයේ විමලා අක්කා මග හැර සිටින්නට උත්සහ කලේ මගේ සිත කිසියම් දෙගිඩියාවකින් පෙළුණු නිසාය.
ඒ අන් කිසිවක් ගැන නොව සමුගැනීමේ ලිපිය ලද "අපේ නංගි" ගෙදරදී කල කී දේවල් විමලා අක්කා දැනගෙන ඇතැයි යන දෙගිඩියාවයි.
තේ වෙලාවේ ඇය මුණ ගැසුනද අනෙක් ගුරුවරුන් සිටින තැන මේ මාතෘකාව ඇදෙන්නට විදිහක් නැත.
එහෙත් විමලා අක්කා මා දෙස බලමින් ඇයට හිතවත්ම ගුරුවරියන් දෙදෙනෙකු සමග කතා කරමින් සිටිනු මගේ විපරම් ඇසට නොගෑටුනා නොවේ.
එදත් පාසැල නිමවුයේ වෙනදා පරිදිමය. මගේ සිත බරපතල ගැටළු රැසක මැදිවී තිබුනද සඳතැන්නේ එදිනෙදා කටයුතු වලට එය එතරම් බලපෑවේ නැත.
හැමදෙයක් ම සාමාන්‍ය පරිදි සිදුවූ දිනයක මගේ නිවස බලා යන ගමන පමණක් වෙනස් කල නොහැකිය.
මම වෙනදා මෙන් විමලා අක්කා සමගම නැවත නිවස බලා එන්නට පිටත් වුනෙමි.
වෙනදා ඇය කතා කරන "දූ දරුවෝ " ටෙලි නාට්‍ය සහ එහි සම්පත් ගේ භූමිකාව වැනි මාතෘකා අදත් පැන නගිනු ඇතැයි බලාපොරොත්තු වුනෙමි.
තේ වත්ත මැදින් ටික දුරක් ගමන් කළෙමු. වෙනදා මෙන් නොව අද විමලා අක්කා කිසි හා හුවක් නැත.
මගේ සිතේ ඇති දෙගිඩියාවද දෙගුණ තෙගුණ වෙයි..
" ජයංගනී ඊයේ ගෙදර ගිහින් මොනවා කරන්නට ඇත්ද ? " මට පිළිතුරක් අවශ්‍ය වී තිබේ.
" මොකද අද කතාවක් නැත්තේ ? " ඉවසීමේ සිමාව ඉකමවන්නට ඔන්න මෙන්න සිටි මම නිහඬතාවය බින්දෙමි.
" කතා?.. මොනවා කතා කරන්නද ඔයත් එක්ක??.. අර පොඩි කෙල්ල අමාරුවේ දාලා .. ඔයාට දැන්ද එයා පොඩි වැඩියි කියලා තේරුණේ??.. "
විමලා අක්කා එක්වරම මා වෙත කඩා පනින එහෙත් හඬාවැ ටෙන ස්වරයෙන් පැවසුවාය.
"මම තමයි වැරැද්ද කරේ ගින්දරයි පුළුනුයි ලංකරලා .. මම පොඩි දුවව ඔයාගේ පන්තියට එවුව එකයි වැරැද්ද "
ඇය මට පමණක් නොව ඇයටමත් අවලාද කියා ගත්තේ තම පොඩි දුව තදබල හිතේ අමාරුවක දැමීමට අප දෙදෙනාම වග කිවයුතු බව මතක් කරමිනි.
" ඔයාට ඕක මගේ දුවගේ ඔළුව නරක් කරන්න ඉස්සර වෙලා හිතන්න තිබුනා.. " විමලා අක්කා නතර කරන පාටක් නැත.
තරහක් නැති තරහ වීම
ජයංගනි ට සමුගැනීමේ ලිපිය දෙන්නට පෙර ගත වී ගිය සති දෙක තුනක පමණ කාලය නැවතත් ම සිතේ ඇඳුනේ සිතුවමක් මෙනි..ඇත්තෙන්ම මට ජයංගනී ගෙන් හැබැවටම සමුගන්නට තරම් හිතේ හය්යක් තිබුනේ නැත.
විමලා අක්කා අපේ ගෙදරට ඇවිත් කල යෝජනාව නිසා අපේ අම්මලා හොඳටම කලබලවූ බවද දුටුවෙමි.
පුද්ගලිකව මගේ වැඩිදුර ඉගෙන ගැනීමේ ආශාවද ජයංගනී නිසා වැඩි වුවා මිස අඩුවක් වී තිබුනේද නැත.
කවදා හෝ දොස්තර කෙනෙකු වී ජයංගනී ලඟට ගැනීම ඉතාම පහසු කර ගැනීමේ බලාපොරොත්තු ව මා තුල දිගටම තිබුණු දෙයකි.
එය ලඟා කර ගැනීමට ඇය ගෙන් සමුගත යුතු යැයි මා කවදාවත් සිතුවේ නැත.
ජයංගනීට සමුගැනීමේ ලිපියක් දුන්නේ මේ සියල්ල තරයේ සිත්හි දරා ගෙනයි.
එහෙත් හිත ඇතුලෙන් ඇත්තටම මට අවශ්‍ය වුයේ කාටත් හොරා අපේ සම් බන්ධය ඉදිරියට ගෙන යාමටයි.
මේ සියල්ල විමලා අක්කාට කියනවාද ? නැද්ද? .. මම විපිළිසර වීමි.
සමහර විට මෙයා අපි දෙන්නට උදව් කරයි . මම මගේ යටි අදහස කිව්වොත්..මම තවමත් දෙගිඩියාවෙන්මය.
විමලා අක්කලා සම්බන්ධයට කැමති බව පෙනෙන එකේ ඔන්න ඔහේ කියල දානවා මම හිත හදා ගත්තෙමි.
" නෑ.. නෑ.. කළබල වෙන්න දෙයක් නෑ.. මම ඇත්තටම මේක නවත්තන්න හිතුවේ නෑ "
"එහෙනම්. ? ඔයා අර පොඩි ළමයා එක්ක සෙල්ලම් කරනවද? .. ඔහොම බරපතල ලියුම් දෙන්නේ ..?"
"හරි හරි මං ඒක එයත් එක්ක කතා කර ගන්නම් කෝ. ඔයා කලබල නොවී ඉන්න.. "
මම විමලා අක්කාව අස්වැසුවෙමි.
"මොනවා උනත් ඔයාට කල්පනා කරන්න තිබ්බා ඉගෙන ගන්න ළමයෙකුට ඔහොම හිත් වේදනා නොදී ඉන්න .. "
ඇය තව තවත් කියවයි.
" දැන් තම තමන්ම බේරාගන්න එකයි ඇත්තේ.. මොකද අපෙන් අහලායැ ඕවා පටන් ගත්තේ ?"
කතාව අවසානයේ මා තේරුම් ගත්තේ විමලා අක්කා තම දියණිය අත හරිනවාටද අකමැති බවයි.
මේ යන ක්‍රමේ හොඳයි .. දැන් මෙයාල මට සම්පුර්ණ සහයෝගය දෙයි වගේ . එහෙම වුනොත් මට අපේ ගෙදරට නොදැනෙන්න මේක ඇදගෙන යන්න පුළුවන් වෙයි.
මා උපකල්පනය කලේ විමලා අක්කා ගේ ක්‍රියා කලාපය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිතා බැලීමෙන් අනතුරුවයි.
යලි හමුවීම
එදා හවස සඳතැන්නේ සිට ආ සැණින් අරලගංවිල බලා යන්නට තීරණය කලෙමි.
"චුටි පුතා උඹ කොහේ යන්නද ලෑස්ති වෙන්නේ .. තවටිකකින් පුෂ්ප රාජා එයි කුඹුරේ යන්න.." අම්මා ගේ සුපුරුදු හඬ මා වලක්වන්නට උත්සාහ කරයි.
"මම ටවුමට ගිහිල්ලා එන්නම් .. මං ආපහු එන්න ඉස්සෙල්ලා පුෂ්පේ ආවොත් තනියෙන් කුඹුරේ යවන්න .. මම තේත් අරගෙන පස්සේ යන්නම්.."
"හරි හරි ඉක් මනට ගිහින් වරෙන් එහේ පැලවෙන්නේ නැතුව " අම්මා කියන්නේ මම කරන්නට යනදේ හරියටම දන්නවා වගේය.
පාසැල් ඇරී එන අපේ නංගි නගරයේදී හමුවූ මා ඈ සමග නැවත පාසැල් බසයෙන් පැමිණියෙමි.
ඒ එන අතර වාරයේ කිසි වෙනසක් නැතිව පුරුදු පරිදි ඈ හා කතා කලෙමි.
ලියුමේ සඳහන් කර තිබු සියල්ල අමතක කරන ලෙසද පැවසූ වෙමි.
මෙතැන් පටන් අපේ නෑදෑයින්ට නොපෙනන ලෙස මුණගැසීමටත් කිවයුතු දේවල් ලියුම් වලින් කතා කර ගැනීමටත් යෝජනා කලෙමි.
විමලා අක්කා මට කිවූ දේවල් ද ඇය හා පැවසුවේ මෙතැන් පටන් ඔවුන්ගේ ගෙදරින් අපට බාධා එල්ල වනු නැති බවද ඇයට ඒත්තු ගන්වමිනි.
ජයංගනී නංගිද කිසිවක් සිදු නොවූ පරිද්දෙන් මා හා දොඩමළු වුවාය.
"අම්මා මොකද කිව්වේ ..? ඔයා අම්මාට ලියුම ගැන කිව්වද ? "වැනි ප්‍රශ්න වලට මට පිළිතුරු ලැබුනේ නැත.
ඇයට එසේ හැසිරෙන ලෙස ඇගේ මව උපදෙස් දුන්නාද නැතිනම් ඇය විමලා අක්කාට ඇගේ දුක කීවාද යන්න තවමත් මා හට නම් නොවිසඳුණු පැනයකි.