Friday, 5 February 2021

අපේ කාලයේ ගණිතඥයා ලලිත් සර්








 1980 ගණන් වල අප සිටියේ  බණ්ඩාරවෙල මහවිද්‍යාලයේ  ද්විතීයික පංතිවලයි. එවකට බණ්ඩාරවෙල කණිස්ඨ විද්‍යාලයෙන්  (දැන් ධර්මාශෝක විද්‍යාලය ) පහ ශ්‍රේණිය දක්වා ඉගෙන ගෙන ආ කොල්ලෝ ගැංසියක්  ඒ පංතිවල ප්‍රමුඛ චරිතවුණා . මම , සාලිය , කටුගහ , වීරවන්නි ඇතුළු පිරිසක් පහේ ශිෂ්‍යත්වයෙන් සමත්ව මහවිද්‍යාලයට ගිය අතර අපත් සමඟ කණ්ෂ්ඨයේ සිටි බොහෝ පිරිසක් මහා විද්‍යලයට ඇතුළ් වුණේ ඒ සඳහා තිබූ ඇතුළ් වීමේ පරීක්ෂණයකට (තවත් විභාගයක්)  සහභාගී වීමෙන් අන්තුරුවයි. අපි හයේ , හතේ පංතිවල ඉද්දී අපට ගණිතය ඉගැන්වූයේ කාන්ති ටීචර් (අපේ චන්දලා අම්මා ) සහ ප්‍රෙඩී සිල්වා ලෙස අපි හැඳින්වූ රත්නායක සර් යන දෙදෙනායි .

හයේ දී ඉගෙනීමට විශාල උනන්දුවක් දැක්වූ පිරිසක් ලෙස එකට සිටි සාලිය , කට්ටා , වීරවන්නි ඇතුළු පිරිසෙන් විශේෂයෙන් සාලිය කැඩී ගියේ අපේ අටේ පංතියට යන කාලයේදී. ඒ වෙනකොට සාලියට උපුල් ලා දෙන්නෙක් එකතු වී සිටියා මතකයි ඒ හයේ සිටම අපත් සමඟ එකට සිටි උපුල් රුවන් කෝණාරත් , අටේ පංතියට දියතලාවේ  ජනානන්දයෙන් පැමිණි උපුල් සිරිවර්ධනත්ය . 

මේ වෙනකොට එතෙක් සිටි සියළු ගණිත ගුරුවරුන්ට අභියෝග කරමින් තමා සිටි පංතියට වඩා පංති දෙක තුනක් ඉහළ පංතිවල ගණන් හැදූ ශිෂ්‍යයෙක් වන මලීන් ප්‍රේමරත්න ( දැන් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්යවරයෙක්) අපේ පංතියට ඇවිල්ලා . එතෙක් "ගණන් " කාරයන් වූ  කට්ටලා , සාලියලා ඇතුළු අපි හැමෝටම අභියෝගයකුත් බවට පත්වෙලා.

මීට සමකාලීන කාලයේ බණ්ඩාරවෙල ප්‍රසිද්ධම ගණිත ගුරුවරයෙකු වූ ලලිත් සර් බණ්ඩාරවෙල ලංකා බැංකුවේ උඩ තට්ටුවේ ගණිත පංතියක් කලා මතකයි . ඔහු ඒ වෙනකොට හිටියේ බණ්ඩාරවෙල ධර්මාශෝක ( කළින් කණිස්ඨ ) විද්‍යාලයේ ගුරුවරයෙක් විදිහට . ලලිත් සර්ගේ පංතියට මා  සමඟම සිටි තවත් හිතවතෙක් වූ සාගර , තෙන්නකෝන් ඇතුළු පිරිසක් යන්න පටන්ගත්තේ මේ ප්‍රේමරත්න හරහා ඇතිවුණු ගණිත ප්‍රබෝධයත් එක්කමයි. මමත් දවසක් දෙකක් ඒ පංතියට ගියා වුණත් පසුකාලීනව අපේ ගමේ සිටි තවත් දක්ෂ ගණිත ගුරුවරයෙක් වූ මළිත්තේ විජේරත්න ගුරුතුමා ( අපේතාත්තගේ අය්යගේ පුතා) නිවසේම කළ පංතිය ගිය නිසා මම ලලිත්සර් ගේ පංතිය නතර කරා. 

අපි සාගරලා එහෙම ගණිතය වෙනුවෙන් මහන්සිවෙද්දී ඔය නම් කිවූ අයගෙන් සමහරු ඩබ්ලිව් ඕ ටී ප්‍රනාන්දුගේ ගණිත පොත් එහෙම ගෙනැත් වැඩ පටන්ගත්තා. එවැනි එක් අයෙකුට ( නම දන්නෝ දනිති ) "පයිතගරස්" කියලා නමකුත් පටබැඳුනා .

අටේ පංතිය තමයි අපිත් එක්ක සිටි දෙවර්ගයේම ගණන් කාරයින් එළියට බැස්ස කාලේ. ඔය කාලේම පල්ලැහැ ඉස්කෝලෙ හිටපු ලලිත් සර් අපේ ඉස්කෝලෙට ආවා.  අපේ ගමේ සිටි තවත් ගණිත ගුරුවරයෙකු වූ රාජපක්ෂ සර් ( අපේ ගමේ සුදු බණ්ඩාරේ මාමා /නිළමේ මාමා ) , මෙයා අපේ අම්මගේ පැත්තෙන් අපේ ලඟම නෑදෑයෙක් අපේ ඉස්කෝලට ආවා ලළිත් සර් ඇවිත් කාලෙකට පස්සේ , මට මතක විදිහට.

මලීන් බොහෝ ගණිත ගුරුවරුන්ට අභියෝග එල්ලකළත් ( විශේෂයෙන් කාන්ති ටීචර්ට සහ අටේ නමයේ පංතිවලත් අප සිටි පංති කොටසට  ගණන් ඉගැන්වූ  රත්නායක සර්ට ) අටේ පංතියේදී සාලියලා , උපුල් ලා ඇතූළු පිරිසට ගණන් ඉගැන්වූ ලලිත් සර්ට එතරම් අභියෝග කරන්න ගියේ නෑ. 

ඒ කාලේ ලලිත් සර් ගැන මගේ මතකය නම් ආරෝහ පරිණාහ දේහ ලක්ෂණ ඇති පුද්ගලයෙක් මෙන්ම කොල්ලොන්ටත්  ටිකක් සැර වැර  කරන කෙනෙක්..  එක දවසක් අපි කට්ටලා ඇතුළු කට්ටිය පාසැල් නිමවී ගෙදර යන ඇටම්පිටිය බස් එකට  පස්සෙන් දුවගෙන ඇවිත් ෆුට්බෝඩ් එකේ එල්ලෙන්න ගිය ලලිත් සර් බස් එකෙන් වැටුණා මට මතකයි . 

ඒ වගේම සර් කොච්චර සැර වුණත් අටේ පංතියේ සිටි සර්ගේ "අනික් පැත්තෙන් ගණන් කාර "ගෝලයෝ (සාළිය සහ උපුල් යුගලය ) 

"ඌවේ  ශ්‍රී ගණිත ඥාණ ලලිත් මිස්ට තෙන..... යනුවෙන් ආරම්භ වන කවියක් එහෙම හදලා තිබ්බා. මම හිතන විදිහට කවියේ රචකයා සාළිය නැත්නම් උපුල් රුවන් කෝණාර.

ඔය කාලේ තමයි සාළියලා කට්ටිය 

" බැහැපං දේවා මනුස්සයෙක් එනවා -මං හිතන්නේ අරූ වගේ ,

 ආ ඕකා මොන සොත්තියෙක්ද බං ? මම බෲස් ගාලා බැහැලා එන්නම් " 

කියමින් මංගල සූත්‍රයේ 

 "බහූ දේවා මනුස්සාච - මංගලානී අචින්තයුං , 

ආකංක මාන සොත්ථානං - භෲහි  මංගල මුත්තමං"  

යන කොටසට නව අර්ථකථන දුන්නේ

මේ කතා ටික ඔක්කොම කිව්වේ ලලිත් තෙන්නකෝන්  හෙවත් ඒ කාලේ "ඌවේ ශ්‍රී ගණිත ඥාණ" නමින් අපේම හිතවතුන් හැඳින්වූ දක්ෂ ගණිත ගුරුතුමා මේ දවස්වල පත්වෙලා ඉන්න තත්ත්වය ගැන කියන්න ප්‍රවිශ්ඨයක් විදිහට. 

අපේ ඉස්කෝලේ හිටපු ලලිත් සර්  පසුගිය කාලේ ජීවත්වුණේ කොළඹට ආසන්න ප්‍රදේශයක . බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ කොළඹ ආදි ශිෂ්‍ය සංගමයේ වැඩ කටයුතු හැම එකකටම ක්‍රියාකාරීව සහභාගී වෙමින්. කොළඹ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වන වන අපේ උපුල් සිරිවර්ධන(අටේ පංතියෙදි ලලිත් සර් මුළින්ම පිළිගත්තු කට්ටිය )  එහෙම ලලිත් සර් එක්ක ලඟින්ම වැඩ කරමින් හිටියේ..  

මෑතකදි  කොළඹ පැත්තේ අපේ ආදි සිසුන්ගෙන්  ආපු පණිවිඩ කිහිපයකින් ලලිත් සර් ගැන ඉතා කණගාටුදායක ආරංචියක් තමයි ආවේ . ඒ ලලිත් සර් බරපතළ ලෙස රෝගාතුර වී ඇතිබවත් දැනට ඒ සඳහා කෙරෙන ප්‍රතිකාර වෙනුවෙන් ලොකු වියදමක් යන බවත් ඉන් කියැවුණා. ඒ සඳහා සහය වෙන්න ඔවුන් ආරම්භ කල අරමුදලකට අපේ ආදි සිසුසිසුවියන්ගේ සහය ලබාදෙන ලෙසත් ඉල්ලීම් කෙරුණා.



හිතවතුනි දැන් ලලිත් සර්ට ඔබේ අපේ සහයෝගය අවශ්‍යම මොහොතක් . මේ ලියැවිල්ල අවසානයේ තිබෙන ගිණුම් අංක හරහා ඔබේ සහය ඒ වෙනුවෙන් දෙන්න පුළුවන්.. අපි හැකි පමණින් අපේ පාසැලේ හිටපු දක්ෂම ගණිත ගුරුවරයෙකු වූ ලලිත් සර්ට සහය වෙමු .

ඔබ අපේ උපුල් සිරිවර්ධන ලා කරන කොළඹ එකතුවට  (*බණ්ඩාරවෙල ම.ම.වි විද්යාර්ථීන් ගේ සංගමය-කොළඹ.*

) එකතුවන්නේ නම්  මේ ගිණුමට මුදල් බැර කරන්න 

𝐀𝐂𝐂𝐎𝐔𝐍𝐓 𝐍𝐎. :0218-6000-0129

BANK : 𝐒𝐀𝐌𝐏𝐀𝐓𝐇 𝐁𝐀𝐍𝐊 𝐒𝐔𝐏𝐄𝐑 𝐁𝐑𝐀𝐍𝐂𝐇 𝐎𝐅 𝐁𝐎𝐑𝐄𝐋𝐋𝐀

𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐂𝐈𝐀𝐑𝐘 :

𝐀𝐋𝐔𝐌𝐍𝐈 𝐀𝐒𝐒𝐎𝐂𝐈𝐀𝐓𝐈𝐎𝐍 𝐎𝐅 𝐁𝐀𝐍𝐃𝐀𝐑𝐀𝐖𝐄𝐋𝐀 𝐌𝐀𝐃𝐘𝐀 𝐌𝐀𝐇𝐀 𝐕𝐈𝐃𝐘𝐀𝐋𝐀𝐘𝐀 𝐂𝐎𝐋𝐎𝐌𝐁𝐎)

බණ්ඩාරවෙල ම.මවි 1989 උසස්පෙළ කණ්ඩායම තවත් ගිණුමක් දුන්නා කැමතිනම් ඒකට සහය වෙන්නත් පුළුවන් . දෙකෙම්ම කෙරෙන්නේ ලලිත් සර්ගේ ප්‍රතිකාර වෙනුවෙන් සහය වෙන එකයි

ACC No :100270719854

BANK : National Savings Bank , Homagama

ACC NAME: BMMV 1989 batch

Monday, 1 February 2021

බලහරුවේ ඉංග්‍රීසි ටීචර් සහ චොක්ලට්



මා ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස  රජයේ සේවයට එක්වන්නේ 1991-92 කාලයේදීය . ඒ විශ්ව විද්‍යාලයට යන්නට උසස්පෙළ සමත්වී වසර  තුනක් , හතරක් බලාගෙන ඉන්නට සිදුවූ වකවානුවකි. මා මෙන්ම මගේ පංතියේ සිටි බොහෝ මිතුරු මිතුරියන් රජයේ රැකියාවලට ඉල්ලුම් කල හැකි තරඟ විභාග වලට ඉදිරිපත් වූයේ එසේ නිකං කල්ගත කරන අවුරුදු තුනේ කිසියම් ආදායමක් උපයාගන්නා බලාපොරොත්තුවෙනි.  මේ වනවිට ආබෲ සර්ගේ ඉංග්‍රීසි පංතියේ යාව ජීව සාමාජිකයින් වූ බොහෝ දෙනෙක් ඩෙලික් එක්සෑම් එකට පෙනී සිටියේ ඒ තුලින් ඌව පළාතේ දුෂ්කර පාසැල් වල ඉංග්‍රීසි ගුරුපත්වීම ලබාගන්නට අවස්ථාව සැලසී තිබුණ නිසයි.

ඩෙලික් විභාගයෙන් ඉහළ ලකුණු ගන්නා අය  සති දෙකක ප්‍රී සර්විස් එකකින් පසු කෙලින්ම ගුරුවරුන් බවට පත්කල (ඩිරෙක්ට් පත්වීම්) අතර තරමක් අඩු ලකුණු ගත් අයට මාස තුනක  දිගුකාලීන පුහුණුවක් දී ගුරුපත්වීම්දෙනු ලැබීය .

 බණ්ඩාරවෙල  ප්‍රදේශයේ මේ මාස තුනේ ඩෙලික් කෝස් එක පැවැත්වුණේ  අපේ ඉස්කෝලෙමයි . හැමදාම හවස දෙකට (පාසැල් වෙලාවෙන් පසු ) ආරම්භවෙන මේ   ඉංග්‍රීසි ගුරු පුහුණුව සතියේ දවස් පහේම තිබුණු බවයි මට මතක.  මේකට බණ්ඩාරවෙලින් ඩෙලික් තේරුණ අපේ ඉස්කෝලේ අය වගේම නුවර , කොළඹ , ගාල්ල ආදි ප්‍රදේශවලින් විභාගයට පෙනී ඉඳලා ඌව පළාතේ ඉස්කෝලවලට අනුයුක්ත කරන්න තෝරාගත් අයත් එනවා ඒ දවස්වල

කොහොමහරි 1991 /92 තිබ්බ ඩෙලික් විභාගෙට අපිත් එක්ක ආබෲ සර්ගේ ක්ලාස් ගිය කීපදෙනෙක්ම පෙනී හිටියා ඒ අතරින් මම , තාරක සහ ලංකා මල්ලී යන තුන්දෙනා ඩෙලික් පුහුණුවෙන් තොරව ඩිරෙක්ට් පත්වීම් ලබන්නට සුදුසුකම් සපුරලා තිබ්බා .

මටයි ලංකාටයි ප්‍රී සර්විස් තිබුණේ එකට , ඒ සතිදෙක අපි හිටියේ හාළිඇළ ගුරු විද්‍යාලයේ ( මහා විද්‍යාලයට එහා පැත්තේ තිබුණු ගොඩනැඟිල්ලේ ) ඒක ඩෙලික් කෝස් එකවගේ දිනපතා ගෙදර ඉඳන් එන පාඨමාළාවක් නෙවෙයි නේවාසික පාඨමාළාවක් . අපි රෑ නවතැන්ගත්තෙත් ඒ  ගුරුවිද්‍යාලයේමයි. 

බණ්ඩාරවෙලින් ආපු අපිදෙන්නට අමතරව  කොළඹ, නුවර , ගාල්ල ආදී අනික් පළාත්වලින් ඩිරෙක්ට් පත්වීම් ලබන තවත් තරුණ තරුණියන් 30 ක පමණ පිරිසක් අපිත් එක්ක පුහුණුවට හිටියා .. 

අපි ඩෙලික් විභාගේ පාස්වෙලා ආවට ඉංග්‍රීසි කතා කරලා ලොකු හුරුවක් තිබුණේ නෑ . ඒ නිසා තමයි අපිට ඩිරෙක්ට් ගුරුපත්වීම් හම්බවෙලා ඒ බව ආබෲ සර්ට කියන්න ගියාම එයා අපිට කිව්වේ  " බලන්න, ඔයාලා දැන් ඉංග්‍රීසි ගුරුවරු , සබකෝළය අතහැරලා ඉංග්‍රීස් කතාකරන්න පටන්ගන්න. මම හැමදාම කියනවා වගේ මාත්තෙක්ක ඉංග්‍රීසියෙන්ම කතා කරන්න " කියලා 

අපේ ප්‍රී සර්විස් එකේ හිටපු අයගෙන්මීගමුවේ ආවේ මරියා කන්‍යාරාමයෙන් ආපු චූටි ටීචර්ලාට තමයි හොඳට ඉංග්‍රීසි කතාකරන්න පුළුවන් . හැබැයි එයාලා අපිවගේ කැම්පස් තේරිලා ඉන්න අතරේ තාවකාලිකව ගුරුසේවයට ආපු අය නෙවෙයි දිගටම ගුරුවරු විදිහට වැඩ කරන්න ආපු අය 

උදේපාන්දර හාළිඇල මහාවිද්‍යාලයේ ක්‍රීඩා පිටියට ගිහින් ශරීර සුවතා කරලා එන අපිට උදේ ආහාරය දෙනවා . ඊට පස්සේ අපි එක්කෙනා ලව්වා අනික් ගුරුසිසුවියන්ට උගන්වන වැඩසටහන් කරනවා. 

ඔන්න මගේ වෙලාව ආවා උගන්වන්න . මට මතක හැටියට තිබ්බේ හතේ හෝ අටේ පංතියේ ඉන්ග්‍රීසි පොතෙන් පාඩමක් කරන්න. මම ඒකේ තිබ්බ වචන ලිස්ට් එක කළු ලෑල්ලේ ලියළා අනික් ගුරුසිසුන් ලවා කියවනවා මම කිව්වට පස්සේ  ටේබල් , බුක් වගේ දේවල් කියවලා එකපාරම  "Chocolate" කියන වචනේ කියන්න තිබුණා  මම "චොකොලට්" කියලා කියනවත් එක්කම ආවේ මරියා එකෙන් ආපු චූටි ටීචර්ට බකස් ගාලා හිනාගියා .මම හිතන්නේ "චොක්ලට්" නොකියා "චොකොලට්" කියලා කියපු නිසා වෙන්න ඕනේ . 



එදා හවස වැඩ ඉවරවෙලා කට්ටිය කය්යක් ගහගෙන ඉන්නකොට  එක එක්කෙනා යන ඉස්කෝල ගැන කතා කරනවා . මම තේරිලා තිබුණේ වෙහෙරයාය  කණිස්ටෙට  , බණ්ඩාරවෙල ඉඳන් යනකොට වැල්ලවායට කිට්ටු තැනකට. ආවේ මරියා එකේ ටීචර් තේරිලා තිබුණේ බලහරුව විද්‍යාලයට . ඒක කුඩාඔය , තණමල්විළ අතර තිබෙන ඉස්කෝලයක්. ඒ දවස් වල මේ ඉස්කෝල දෙකටම ජල පහසුකම් , වැසිකිළි පහසුකම් එහෙම තිබුණේ නෑ.  

මම නම් අවුරුද්දක් වෙහෙරයායේ ඉඳලා වෛද්‍ය විද්‍යාලයට ගියා . අර ටීචර් දිගටම ගුරු වෘත්තියේ ඉන්න ඇති  .නමක් ගමක් මොකුත් මතක නෑ .චොක්ලට් කතාව විතරයි මතක  

මට ඔය වගේම වැඩක් වුණා අටේ නවයේ පංතිවල ඉගෙන ගන්න කාලේ. අපි මුල් කාලේ ඉංග්‍රිසි ඉගෙනගත්තේ තනියම . හවසට  ගුවන්විදුළියේ ඉංග්‍රිසි සේවේ අහනවා . ඊටපස්සේ අපිට උගන්වන්න ආපු ආබෲ සර් කිව්වා ඩේලි නිව්ස් පත්තරේ අරන් එඩිටෝරියල් එක කියවන්න ගොඩක් අළුත් වචන ඉගෙනගන්න පුළුවන් කියලා . ඊට පස්සේ මම මාසෙකට සැරයක් දෙසැරයක් ඩේලිනිව්ස් එක ගන්නවා .පත්තරේ සම්පූර්ණයෙන්ම කියවන්න (ඔක්ස්ෆර්ඩ්සහ මළලසේකර ඩික්ෂණරි එක්ක ) මාසයක් විතර යනවනේ. 

ඔන්න දවසක් මම බණ්ඩාරවෙල ජයසිංහ ස්ටෝර්ස් එකට ගිහින්  පත්තරේ ගන්න . "මට ඩේලිනිව්ස් එකක් දෙන්න.." මම මුදලාලිට කිව්වා .එදා හිටියේ කඩේ අයිතිකාරයාමයි 

"What did you say? do you want a daily news or the Island news paper ? which one you want ? " කියලා එයා අහනවා මගෙන් ඉංග්‍රීසියෙන් උත්තර බලා පොරොත්තුවෙන් . මම උත්තර දුන්නේ සිංහලෙන් ."මට ඕනේ ඩේලිනිව්ස් එක" කියලා ඊට පස්සේ එයා කියනවා ළමයෝ ඉංග්‍රීසිපත්තරේ බලනවානම් ඉංග්‍රීසියෙන් කතාකරන්න පුළුවන් වෙන්න එපැයි කියලා  . මම හිනාවෙලා පත්තරේ අරන් යන්න ගියා ,මොකද මම ඒ දවස්වල  තනියෙන්ම මහන්සිවෙලා ඉංග්‍රීසි ඉගෙනගන්න උත්සාහ කල පොඩි කොල්ලෙක් නේ