Saturday, 22 September 2018

බුද්ධියට ඉඩ දෙන්න අවස්ථාවක්

වල් ඌරන්, වැලි මුවන් , මොණරුන් වගේම මෑතකදි අධික ලෙස තම ගහණය වැඩි කරගත රිලවුන් නිසා ගහක කොළක කිසිවක් බේරා ගත නොහැකි බව බණ්ඩාරවෙල සහ කෑගල්ලේ අපේ ගෙවල් වල කට්ටිය කියනවා. අප අදහන ආගමක් ඉස්සරහට දමා මිනිසුන්ගේ ජීවනෝපායට වින කරන සතුන් රැකිය යුතු යැයි නියමයක් නෑ. ක්‍රමානුකූල සතුන් දඩයමක් මඟින්(mass killing / culling රජය මඟින් කරනවා නම් වඩාත් හොඳයි)  එය පාලනය කලයුතුයි. විශේෂයෙන් රිලා වසංගතය තුරන් කල යුතුයි. බුද්ධියට ඉඩ දිය යුතු තැනුත් තියෙනවා හැම දේටම ආවේගශීලී නොවී...
කඩපිළ් ගානේ රස්තියාදු ගගහා හිටපු අපේ ගම්වල අය්යලා දඩාවතේ යන බල්ලන්ගේ කරේ රෙදිපටි ගහපු හැටි මට මතක් වෙනවා සෞඛ්‍ය අමාත්‍යාන්ංශයේ අදහසක් අනුව දඩාවතේ යන බල්ලන් විනාශ කරන්නට එන බලුවෑන් එක එනකොට අසූගණන් වල අපි පොඩි කාලේ .. පිස්සු බලු රෝගය Rabies  ගැන ඒ ගමේ අය්යලා දැනගෙන ඉන්න නැතිව ඇති.. රිලවුන් වගේ සතුන්ගෙනුත්   Rabies බෝවෙනවා

Wednesday, 29 August 2018

කසාය එහෙම නැද්ද ?


පසුගිය ලිපියෙන් අපේ පුතා අම්මා සමඟ හෙමිබිරිස්සාව ගැන වාද කල හැටි ලිව්වා .

මේ පාර ලියවෙන්නේ එතැනින් පස්සේ සිදු වෙච්ච දේවල්.

මට හොඳටම හෙම්බිරිස්සාව නිසා ගෙදරට වී විවේක පාඩුවේ හිටියට අපේ පුතා එක්ක ඒ වැඩ හරියන්නේ නෑ. එයාට යාළුවොත් එක්ක ටෙනිස්, ටේබල් ටෙනිස් හෝ බැරිම වුණොත් බැඩ්මින්ටන් ගහන්න හරි යන්න ඕනෑ.

නිම්මී නම් ඒකට කියන්නේ  "කහඹිලියා ගාය"  කියලා.

 නැත්නම් " මෙයාට පොඩ්ඩක් ගෙදර පුටුවකට වෙලා වාඩිවෙලා ඉන්න එහෙම බෑ ඇයි එයාගේ ඇඟ කහනවා නේ ඇඟේ පතේ හිරි ඇරගන්න බැරිවුණොත්"  කියලා විහිළු කරනවා.

කොහොමින් කොහොම හරි ඒ සෙනසුරාදාත් ඉරිදාත් දවස් දෙකේම සුපුන්ට බැඩ්මින්ටන් ගහන්න යන්න ඕනෑ වුණා. මමත් බැරි මර ගාතේ ජර්සි ජැකට් ඇඳගෙන ඉහේ ඉඳන් පොරවාගෙන හරි ගිහින් එයාව බැඩිමින්ටන් ගහන ගෘහස්ථ ක්‍රීඩාංගනයට එයා ගිහින් දානවා.
ලොකු පොඩි හැමෝමත් එක්ක එයාට සෙල්ලම් කරන්න හැරලා ගෙදර ඇවිත් ආපහු ගිහින් එක්කං එනවා.

එන යන ගමන් අපි ලංකාවේ දේශපාලනය ගැන, ආර්ථිකය  ගැන , දුප්පත් කම තුරන් කරන්න සුපුන් කරන යෝජනා ගැන වගේම ඉස්කොලේ යාළුවෝ , කෙල්ලො ඉන්න කොල්ලෝ ආදී වැදගත් අවැදගත් සියළු දේවල් කතා කරනවා.

අපේ ගෙදරත් ක්‍රීඩාංගණයත් අතර දුර කිලෝමීටර් දහයක් විතර වෙන නිසා මේ ටික යන්න වාහනයට ගතවෙන කාලය අනුව අපේ සාකච්චා සම්මන්ත්‍රණ වලට සැලකිය යුතු ඉඩක් එනවා.

 මේ වතාවේ මට හෙම්බිරිස්සාව හැදී සිටි නිසා මම ඉන්න ගමන් අපේ හාදයට එයාගෙම අදහස් මතක් කරලා අනතුරු හඟවනවා.

"හරි දැන් ඔයා මාවත් ඇදගෙන කාර් එකේ එහා මෙහා යන්නකෝ ඔයාටත් ලඟදීම බෝගේ එයි"

(අපි හෙම්බිරිස්සාවට බෝගේ කියන්නේ අපේ අම්මාගේ වචනයක් කුලියට අරං එයා පොඩි කාලේ මට කියනවා

"පලයංකෝ ඔය එක එක ගෙවල් වල රිංගන්න. උන් ගේ ගෙදර ඔක්කොටම හෙම්බිරිස්සාවලු . උඹටත් බෝගේ දෙයි ඔවුන්" කියලා )

"තාත්තා හිතන්නේ කාර් එකේ එකට යන ටිකෙන් විතරයි කියලද හෙම්බිරිස්සාව බෝ වෙන්නේ? ඔයා ගෙදර ඉද්දි දොරවල් අල්ලනවා . කෑම මේසේ අත ගෑවෙනවා. කුස්සියේ ගිහින් තේ හදද්දි මගේ කෝප්පෙ අල්ලනවා. වලං පිඟන් අතපත ගානවා . ඔය හැමවෙලාවේම  බෝගය පැතිරෙණ වෛරස් එක කෙනෙක් ගෙන් කෙනෙක්ට මාරුවෙන්න පුළුවන් "

අපේ හාදයා මට හෙම්බිරිස්සාව බෝවෙන ක්‍රම ගැන උගන්වනවා.

" හරි හරි ඒක තමයි කෑම කන්න, කෑම හදන්න ඉස්සෙල්ලා වගේම ටොයිලට් ගියාට පස්සේ හෙම්බා හැදිලා නම් නහය හීරුවට පස්සේ එහෙම හොඳට සබන් දාලා අත හෝදන්න කියන්නේ. ඔයා දන්නවද අත් හේදීම මගින් ගොඩාක් ලෙඩ වර්ග බෝවෙන එක නවත්තන්න පුළුවන් "

මමත් මගේ "දොස්තර තොප්පිය දාගන්න ගමන්" සුපුන් ට ලෙක්චර් එකක් දුන්නා.

සති අන්තය ගෙවිලා සඳුදාට එළිය වැටිලා . මම තවමත් ලෙඩ නිවාඩු පිට නිසා ඇඳට වෙලා ඉන්නවා. අම්මයි පුතයි දෙන්න කුස්සියේ . ඇයි ඉස්කෝලෙ දවසක් නේ සුපුන්ට.

ඔන්න සඳුදා උදේ පාන්දරම කුස්සිය පැත්තෙන් සද්දයක් එනවා. නිම්මියි අපේ පුත්‍රයයි අතර සාකච්චාව පටන් අරන්. නිම්මි සුපුන්ටයි මටයි උදේට කෑම හදන අතරේ සුපුන් එයාට ඉන්න තැනට ඉස්සරහ තියෙන මේසේට වෙලා තේ එක බොනවා.  ඒ අතරේ හුස් හුස් ගාමින් නහයත් ඉහළට අදිනවා.

"අම්මා කසාය එහෙම නැද්ද ගෙදර ? "



ඇයි මොකද? එපා කියද්දි තාත්තත් එක්ක කාර් එකේ රවුම් ගහලා ඔයත් බෝගේ හදා ගත්තද?"

(අපි නිතරම කියන වචන  අහලා නිම්මිත් තම නැන්දම්මාගේ වචනේ භාවිතයට අරන්)

"කසාය ගෙදර  නෑ නේ පුතා අපිට ලඟකදි සිංහල කඩේ යන්න බැරිවුණානේ තාත්තට දිගටම වැඩනිසා"

එහෙනම් පැනඩෝල් එකක් දෙන්න. සුපුන්ට හෙම්බිරිස්සාව දරුණු වෙන්නට ඉස්සෙල්ලා කඩා ගන්න ඕනෑවෙලා බව හොඳට තේරෙනවා. එයා එක එක ප්‍රතිකාර නිම්මිගෙන් ඉල්ලනවා.

නිම්මි සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික හෙදියක් වගේමයි.

" එච්චර පැනඩෝල් බොන්න හොඳ නෑ ළමයෝ චුට්ටක් ඉන්නවා ලෙඩේ ඇත්තටම එනකම්" කියමින් සුපුන්ව  බේත් හේත් වලින් ඈත් කරන්න බලනවා.

"ඒක නෙවෙයි හෙම්බිරිස්සාව වගේ නම් ඉස්කෝලේ නොයා ඉන්න තියෙන්නෙ අද , මොකද අනික් කොල්ලොන්ටත් ඇතිනේ ඕක මේ දවස්වල ? "

නිම්මි සාම්ප්‍රදායික ලාංකික මවකගේ චරිතය රඟ දක්වනවා.

"හහ් හහ් හා .. අම්මා මොක්ක්ද මේ කියන්නේ? මම ගෙදර හිටියත් බෝගේ එනවා. ඉස්කොලේ ගියත් බෝගේ එන්න පුළුවන් ඇයි තාත්තටත් හෙම්බිරිස්සාව නේ ? ඔන්න ඔහේ මම ඉස්කෝලේ යනවා "

සුපුන් නැවතත් තමන්ට ඕනි දේ කරගන්නේ කොහොමද යන්න මටත් පෙන්වා දෙමින් පැවසුවා.


හරි හරි ඔයා ඉස්කෝලෙ යන්න මම තාත්තත් එක්ක මෙල්බන් ගිහින් හාල් තුනපහ බඩුත් අරගෙන ඔයාට බොන්න කසායත් අරගෙන එන්නම්කෝ නිම්මි තම පුත්‍රයාට නැවතත් වරක්  ජයගන්නට ඉඩ හරිමින් පැවසුවා.

මේ අතරේ ලිපේ ඉඟුරු , සුදුළුණු , කොත්තමල්ලි සහ වෙනිවැල් ගැට සහිත කසාය මුට්ටියක් තැම්බෙනවා මට පෙනෙනවා ( පස් පංගුව පැකට් ගෙදර නැතිනිසා නිම්මි ගෙදර හැදූ කසායක් තම්බනවා ) .

ඔන්න ඕකයි කසාය  මුට්ටිය පිලිබඳ අපේ කතාව

Friday, 20 July 2018

ඔයා සෙල්ලම් කරන්නේ ඒ ළමයාගේ ජීවිතෙත් එක්කයි ඒක අමතක කරන්න එපා ( අවවාද සහ අනුශාසනා දෙවෙනි කොටස)


පසුගිය වතාවේ තාත්තා සමඟ මගේ කාමරය අමුත්තෙක් පැමිණුනා ඔබට මතක ඇති. ( ඒ කතාව මෙතැනින් ) 

ඒ ආවේ කවුද ඔහු කීවේ මොනවාද යන්න දැනගැනීමට කවුරුත් කැමැත්තෙන් පසුවන බව දනිමි. ඒ නිසාම වැඩ රාජකාරි අධික වුණත් මේ කතාවේ ඉතිරි ටික කියන්න ඕනි කියලා හිතුණා .

එදා මා ඇඳේ වැතිරී සිටිද්දී මා දෙස්ට පැමිණි තාත්තා  "චූටිපුතා.. මෙන්න දියකඩිත්ත ලඟ ගෙදර බාප්පා ඇවිල්ලා ඔයා හම්බවෙන්න.." කියලා කිව්වා. මම "එයා මේ වෙලාවේ මොකද මාව හම්බවෙන්න එන්නේ? " කියලා හිතුණත් ඒ බවක් තාත්තාට නොපෙන්වා අමුත්තා  සමඟ කතා කරන්නට මා  කැමති බව  හැඟවූවා.

කොහොමද අද ඉස්කෝලේ ගියාද?  කියමින් බාප්පා මා සමඟ කතාව  ආරම්භ කලා . තරමක ආඩම්බරකාරී , රාජකාරී ස්වරුපයෙන් කතාබහකරන්නෙකු වූ ඔහු ( ඒ දවස් වල අසල ගමක ග්‍රාම සේවක ලෙසයි ඔහු සේවය කලේ) මට පුතා කියා ඇමතුවේ නැහැ.

අමුත්තා කතාව පටන්ගනිත්ම අප දෙදෙනා කාමරයේ තනිකල තාත්තා නැවත සාලය පැත්තට ගියා.

මම හිටියේ ඔලුවට යටින් අතක් තියාගෙන සැතපෙන පිළිමයක් තියෙනවා වගේ ඇඳේ හාන්සිවෙලා  සාලයට දිවෙන දොර දෙස බලාගෙන .

දිය කඩිත්තේ සෝමසුන්දර බාප්පා මගේ පාඩම් මේසය ලඟ තිබුණ පුටුව ඇදලා අරන් මගේ ඇඳ අසලින් වාඩි වුණා.

අනතුරුව ඔහු "මට ඔයත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා" කියමින් මාතෘකාවට පිවිසුණා.

"මොකක් ගැනද බාප්පා ? " කියා මා අසන්නටත් පෙරම  "ඔයාගෙයි අර පල්ලැහැ විමලා ටීචර් ගේ දුවයි අතර තියෙන සම්බන්ධය ගැන තමයි කතා කරන්න ඕනේ" කියලා ඔහුගේ මුවින් පිටවුණා.

"ඔයා දන්නවා මේ වැඩේට ඔයාලා අම්මලා තාත්තලා කොහොමත් කැමති නෑ කියලා .

අනික  ඔයලා වගේ ඉගෙනීමට දක්ෂ ළමයි ගැන උනන්දුවෙන් බලා ඉන්න අපි වුණත් එහෙම දෙයක් වෙනවාට කැමති නෑ.
අද හවසත්  පුංචියි මායි  කතා වුණේත් ඔයාලා අය්යයි ඔයයි ගැන ... මේ ගමේ  එකම ගෙදරකින් දොස්තරලා දෙන්නක් බිහිවෙන පළමුවෙනි අවස්ථාව මේ  කියලා .."

සෝමසුන්දර බාප්පා "පුංචී කියා" කියන්නේ මාත් , පල්ලැහැ විමලා අක්කාත් (ජයංගනීගේ අම්මා ) සමඟ සඳතැන්න විදුහලේ එක ම ගුරුමණ්ඩලයේ සේවය කරන අපේ ගමේ ඉන්න තුන්වන විමලාවතී ගැනයි. දියකඩිත්ත ලඟ ගෙදර විමලා පුංචිත්  (සෝමසුන්දරගේ බිරිඳ) ඒ කාලේ සඳතැන්න විද්‍යාලයේ උපගුරුවරියක්.

"මෙහෙම කවුරුත් කැමති නැති වැඩක් දිගටම කරන්න ඕනේ කියලා ඔයාට හිතුණේ ඇයි?

ඔයා මේ ගැන ඒ ළමයා එක්ක කතා කරාද?

එයා මොකද කියන්නේ?

ඔයලා දෙන්නා අනාගතේට මුහුණ දෙන්නේ කොහොම කියලද කතාවුණේ?"

බාප්පා දිගින් දිටගටම මහා බරපතළ ප්‍රශ්න වැලක් මා වෙත යොමුකලා.

යකෝ මුන් හැමෝටම පිස්සු,  
ඕ ලෙවල් වත් නොකරපු අවුරුදු පහලොවක කෙල්ලෙකුයි , කැම්පස් යන්න බලන් ඉන්න අතරේ වුණත් දහඅතේ මහින්සි වෙවී ගෙදරටයි , පවුළේ හැමෝටමයි උදව්කිරීම ගැනම හිතහිතා ඉන්න අවුරුදු විස්සක කොල්ලෙකුයි මොනවද කතා කරන්නේ , පැනලා යන්නද ? 
අනේ මුන් වගේ මී හරක් රැළක්? 

අපේ වැඩිහිහිටියන්ට සිදු වී ඇත්තේ කුමක්ද

මගේ යටි හිත මට පවසනවා .  

මෙයාලා හිතන් ඉන්නේ ජයංගනී මාව සම්පූර්ණයෙන් රවට්ටලා  දැලේ දාගෙන කියලද? 

මොකක්ද මෙයාලට තියෙන මේ හුඹස් භය?  

මට තේරෙන්නේ නෑ මේ කට්ටියට ඕනේ මොනවගේ උත්තරයක්ද කියලා ?

මම කිසිවක් නොකියා දිය කඩිත්ත ලඟ බාප්පාට තම අදහස් ප්‍රකාශ කරන්නට ඉඩ හරිමින් ඔහේ බලා ගෙන හිටියා.

තාත්තා ගේ අනුදැණුම ඇතිව මට අවවාද දෙන්නට ආ දෙවැනියා ( එදා අම්මා එක්ක ජයංගනී ලා ගෙදර ගිය ආතම්මා ගේ දෙටු පුත්‍ර රත්නය) දැන් දැන් මගේ කටින් වචනයක් පිටවෙතැයි බලන් ඉන්නවා..

ඉබ්බා ගෙන් පිහාටුවක් ගන්නවා වැනි වැඩකටත් වඩා අසීරු වැඩකට අතගසා සිටි දිය කඩිත්ත ලඟ ගෙදර බාප්පා පැයක දෙකක දේශනාවකින් පසුව වත් තම අරමුණු සඵල නොවන බව තේරුම් ගත්තා.

"මම මීට වඩා යමක් ඔයත් එක්ක කතා කරන්නේ නෑ මේ ගැන . ඔයාලට හොඳයි නම් කරගෙන යන්න ඉස්සරහට  හැබැයි අමතක කරන්න එපා ඔයා මේ කරන වැඩෙන් වෙන්නේ ඒ ළමයාගේ අනාගතය අඳුරු වෙන එක විතරයි. "

"ඔයා සෙල්ලම් කරන්නේ ඒ ළමයාගේ ජීවිතෙත් එක්කයි. ඒක අමතක කරන්න එපා"

 යනුවෙන් පවසා ඔහු මගෙන් සමුගත්තා..

ඊලඟ කොටසින් ....ඇත්තද මේ කියන්නේ?

Saturday, 14 July 2018

අවවාද සහ අනුශාසනා



මා ගමේ සිටියදී යාළු වූ පළමු සහ එකම ගැහැණු ළමයා ගැන ඔබට කිව්වේ මීට වසර දෙක-තුනකට පෙර. ඒ සම්බන්ධ කතා මෙතැනින් බලන්න.

නැවත ඒ කතාවේ ඉතිරි කොටස් වලට පිවිසුමක් ලෙස තමයි මට වැල්ලවායට යන්න උවමනාව තිබෙද්දී බුත්තල දක්වා කැස්බෑවා ගසන්නට වූ කතාව පටන් ගත්තේ. මේ ලියවෙන්නෙත් එදා යොවුන් ප්‍රේමවන්තයින්ට මුහුණදෙන්න වූ තවත් අත්දැකීමක්

වෙන්ඩ නැන්දම්මාගේ අවවාදය


ජයංගනීගේ අම්මා ( අක්කා නැන්දා ) අපේ අම්මාට කල යෝජනාවත් සමඟ අපේ ගෙදර මහ කළබලයක් ඇති වුණා.
මමවත්  ජයංගනීවත් හීනෙකින් වත් නොහිතූ "එකලාසයක් වෙන" කතාවක් අපේ අම්මාගේ ඔළුවට වැටීම නිසා ඉන්ප්සු දිනවල මෙසේ සිදුවෙන්නට ඇති කියලා තමයි මට හිතෙන්නේ.
එදත් මම සුපුරුදු පරිදි සඳතැන්නේ ඉස්කෝලේ වැඩට යන්නට යන ගමන් . වෙනදාවගේම මඟක් හරියේදී පල්ලැහැ විමලා අක්කා ( ජයංගනීගේ අම්මා ) මා යන ගමනාත්තය දක්වා යන්නට එකතුවුණා.
මේ කාලේ එයාගේ හැසිරීම , කතා බහ බලලා ඔවුන්ගේ නිවසේ ජයංගනීට සහ මට බලපාන තත්ත්වයේ සිදුවීම් සිදුවෙනවා දැයි සොයා බැලීමේ පුරුද්දක් මට තිබුණා.
"ගුඩ් මෝනිං"  වෙනදා වගේම ඇයට  සුභ උදෑසනක් පතමින් මම  විමලා අක්කා  සමඟ ඉස්කොලේ පැත්තට යන්නට එකතුවුණා
මගේ සුභපැතුමට ප්‍රතිචාර දක්වන්නට මෙන් මා වෙත හැරුණු  විමලා අක්කා " ගුඩ් මෝනිං " කියනු වෙනුවට  තරමක් කේන්ති සහගතව මා දෙස බැලූ බවක් මට පෙනුණා.
"ඒකත් එකටම මොකක් හරි බාල්දියක් පෙල්ලිලා වෙන්න ඕනි" මම ඉදිරියට අහන්නට ලැබෙන්නේ කුමක්දැයි යන්න ගැන විමසිලිමත් වුණා.
"මහ ලොකු ගමේ වැදගත්ම කට්ටිය , කටේ සද්දේ තිබුණට තනියෙන් එන්න බය ඇති . ඒකනේ අර කට හැකර අම්මන්ඩිත් එක්ක ආවේ. "

"ඇයි ඇයි මොකෝ මේ තරහෙන් වාගේ ? මොකක් ගැනද මේ කියන්නේ?"

මම මගේ දෙසට එකවරම කඩා පනින්නාවාගේ සැර වාග් මාලාවක් එල්ල කල විමලා අක්කා ගෙන් ඇහුවා.

ඇත්තටම ඇය කියන්නට හදන්නේ කුමක් ගැනදැයි මම දැනගෙන හිටියේ නෑ

"ඒ අම්මණ්ඩිත් ඒකටම හරියන එක්කෙනා . මහලොකු උපාසකම්මා, හතර පෝයට ම සිල් ගන්නවා, ඒ වුණාට අහිංසක මිනිස්සුන්ට ගිනිගෙඩි දෙන්න නම් ඕන වෙලාවක එකතුවෙනවා."

"මොකක්ද මේ හතර බීරි කතාව ? මටනම් මොකවත් තේරෙන්නේ නෑ. ඔයා හරියට කිව්වේ නැතනම් මම දන්නේ කොහොමද කව්ද , මොකක්ද කියලා?"
"ඇයි අම්මා කිව්වේ නැද්ද එයා කරපු වීරක්‍රියාව ගැන ?

එයා ඊයේ හවස අපේ ගෙදර ආවනේ අර දියකඩිත්ත ලඟ ගෙදර මහ අම්මණ්ඩිත් එක්ක, අපේ පොඩි දුවට අවවාද කරන්න.
එයාගේ නල්ලමලේ පුතාට පාඩුවේ ඉගෙන ගන්න දෙන්නලු. පොඩ්ඩිට වෙන අතක් බලාගන්නලු.
විමලා නැන්ද විතරක් ආවනම් මට ඉවසුවහැකි, අර වයසක අම්මණ්ඩිත් එක්කං ආවන ? දැන් ගම ගිනිතියය . අපි කෙල්ලෝ බලෙන් ඔයාගේ ඇඟේ ගහනවා කියලා."

විමලා අක්කා සාධාරණ කේන්තියකින් යුතුව මට පවසයි. කතාවේ හැටියට පෙරදා සවස් යාමයේ අපේ අම්මා ජයංගනීලාගේ ගෙදර ගොස් තිබේ . ඒ මා හා ඇති සම්බන්ධය නවතා දමන ලෙස ඇයට අවවාද කරන්නටය. විමලා අක්කා කළබල වී ඇත්තේ අම්මා තනියෙන් ඔවුන්ගේ නිවසට පැමිණෙනවා වෙනුවට පන්සලේ සිල් කණ්ඩායමේ , කුළඟන සමිතියේ ආදී තැන්වල ඕපාදූප වපුරවන කෙනෙක් වූ දියකඩිත්ත ලඟ ගෙදර ආතාත් ඇදගෙනම එහි පැමිණීම ගැනයි.

අපේ අම්මලාත් කරන වැඩ . ඇත්තටම අරුන්දෑ එහේ ගෙනිච්චේ මොකටද . මමත් කල්පනා කරන්නට වුණේ අපේ අම්මා කල " වීර ක්‍රියාව" ගැන.

කොහොමින් කොහොම හරි පෙරදා සිදු වූ අවාවාදාත්මක සිද්ධියත් අසාගෙන  විමලා අක්කත් ශේප් කරගෙන මම ඉස්කෝලට සේන්දු වුණා.

ඊලඟ රසවත් සිද්ධිය සිදු වුණේ එදාම රාත්‍රීයේ හෝ ඊට පසුදා රාත්‍රියේදී.

අනුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කිරීම

මේ කියන දවසේ රෑත් මම පුරුදු පරිදිම මගේ කාමරයට වෙලා ඇත්තටම කියනවා නම් ජයංගනී සහ මාගේ අනාගතය  ගැන සිතමින් කල්පනා ලෝකයේ සැරිසරමිනුයි හිටියේ. 
කොට්ට දෙකක් උඩ හාන්සිවෙලා තව රෝසපාට උරයක් දැමූ කොට්ටයක් බදාගෙන මා ඇඳේ වැතිරී සිටි විලාශය දුටු ඕනෑම කෙනෙක් ( විශේෂයෙන් අපේ නිම්මි නංගී වගේ කෙනෙක් නම්  ) අනිවාර්යයෙන් මා සිතමින් ඉන්නට ඇත්තේ එවැන්නක් බව උපකල්පනය කරනවා.

කල්පනා ලෝකයේ ඈතට ඈතට මා සිතින් ගමන් කරද්දී මගේ දැහැන බිඳුනේ  "චූටි පුතා......"
 යන ඇමතුමත් සමඟ පැමිණි අපේ තාත්තා ගේ සැර පරුෂ, රළු පරළු කටහඬ්ත් සමඟයි.

කොට්ටය පැත්තකට විසිකල මම තිගැස්සී නැගිට්ටේ
 "ඇයි තාත්තා?" කියමින් කාමරයේ දොරදෙසට හැරෙන ගමන්.
අඩවල් කර තිබූ දොර සහ දොර රෙද්ද මෑත් කරමින් තාත්තා මා දෙසට එනවා. එන්නෙත් තනියම නෙවෙයි තවත් අමුත්තෙක් එක්ක.

එදා තාත්තා සමඟ මගේ කාමරයට ආවේ කවුද?         කියවමු ඊලඟ කොටසෙන් 

Wednesday, 11 July 2018

බුත්තලට ගිය කැස්බෑ ගමන


කාලෙකට ඉස්සර වෙලා ලියලා භාගෙට නවත්තපු අපේ ඉස්කෝලෙ කාලේ ආදර කථාවේ කණගාටුදායක හරියෙන් ආපහු පටන්ගන්න හිතුවා.   


මා ඉබ්බා ගැසීම හෝ කැස්බෑවා ගැසීම කර ඇත්තේ ඉතාම අඩුවෙන්. ඒ නැතිවම බැරි මොහොතක් උදාවූ විටකදීය. ඒ කාලේ එහෙම නැතිවම බැරි අවස්ථා කිහිපයක්ම උදාවී තිබූ නිසා කිහිප වතාවක් එසේ ගමන් කරන්නට ඇතැයි අනුමාන කලාට වරදක් නැත. අද කියන්නට යන්නේ කිසිවක්ම කර කියාගත නොහැකි වූ අවස්ථාවක එසේ සිදු වූ කැස්බෑ ගමනක් ගැනයි.

මේ වෙනකොට මම විශ්ව විද්‍යාල ප්‍රවේශය සමත් වෙලා හිටියේ. ඒත් නිකම් ගෙදරට වෙලා ඉන්න චාන්ස් එකක් ලැබුණේ නෑ මොකද මම එතකොට වැල්ලවාය ප්‍රදේශයේ ඉස්කෝලෙක ගුරුවරයෙක් ලෙස සේවය කරනවා.

සතියේ දවස් වල වෙහෙරයායේ සුද්දි අක්කලා ගෙදර බෝඩිමේ ඉඳලා ගෙදර එන්නේ සිකුරාදා හවසට. මේ ගමනේදී එවකටමගේ ජීවිතයේ වැදගත්ම කොටස්කාරිය වූ ජයංගනී හමුවීම හෝ ඇය හා සම්බන්ධ මොනයම් හෝ සිදුවීමක් සිදු නොවුනානම් ඒක ලෝක පුදුමයක්.


ගෙවී යමින් තිබුණේ අපි දෙන්නාට හරි වැදගත් කමක් තිබුණු කාලයක්. ඒ ජයංගනීගේ උපන්දිනය යෙදිලා තිබ්බ දවස්වලට කිට්ටු කාලයක්. රෝසපාට පුංචි කොටු කොටු ලේන්සුවකුත් එක්ක ජයංගනීට දෙන්න කියලා ගෙනැත් තිබ්බ උපන්දින කාර්ඩ් එක මගේ පොත් මේසේ තැනක හංගලා තිබ්බා මතකයි. අපේසම්බන්ධයට ගෙදරින් කචල් පිට කචල් වැටුණ කාලයක් නිසා හැමදේම හංගලා තමයි තිබ්බේ ඉතිං.

මම සෙනසුරාදා උදේ එයා පංති යද්දී එයාගේ අතට මේ දෙක දෙන්න කියලා තමයි හිතන් හිටියේ. මගේ පණිවිඩ කාරිය වුණේ උඩහ ලැයිමේ හිටපු සැම්සන්ගේ නංගී කූජනා. එයත් ජයංගනී ක්ලාස් ගිය සුදර්ශීයට තමයි යන්නේ ඒ දවස්වල.

අතුරුදන් වූ සුභපැතුම

උදේ පාන්දරම නැගිටලා කිරි තේ එකක් එහෙම බීලා දවසේ වැඩ අරඹන්න කියලා හිතුවා විතරයි. හිමින් හිමින් පොත් ගොඩ ඇවිස්සුවේ බර්ත්ඩේ කාඩ් එක හොයා ගන්න.
මල කෙළියයි කාඩ් එක තිබ්බ තැන නෑ.
දෙය්යනේ කාඩ් එක අම්මා ගත්තා වත්ද?

ඒකේ ලියලා තිබ්බ ඒවා එහෙම (නිල්පාට පෑනෙන්මුතු කැට අකුරින්) එයා කියවව්වා නම් මං ඉවරයි.

දැන් උදේ පාන්දරම මගේ ඔළුව යකාගේ කම්මල වගේ. කොයිදේටත් ඉස්සෙල්ලාම අල්ලාගන්න අපේ නිම්මි ( අපේ පොඩි නංගී) පිටවරද පටවන මුවාවෙන් මම කෑ ගැහුවා.

"නිම්මී නිම්මි මෙහෙ එනවා තමුසේ මගේ මේසේ ඇද්ද නේද?"

"ඔයාට පිස්සුද චූටි අය්යා? මම ඔය කාමරේ පැත්තටවත් ආවේ නෑ.  මෙන්න වැඩක්. මෙයාගේ මේස අදින්නේ මට වෙන වැඩ නැතිවටද? එන්න එපා ඕවට. මොකක් හරි හොර වැඩක් කරලා ඒක අහුවෙලාද කොහෙද එනවා මෙතන මාව අල්ලගන්න ඒවට. "

නිම්මි දිවැස් අත්තියකසේ සිදුවන්නට ඇති දෙය පිළිබඳ ඉඟියක්ද මට ලබා දෙමින් පැවසුවා.

මගේ ගෝරනාඩුව ඇහුණ තාත්තා ඒ පැත්තට ආවේ ඔන්න ඔය වෙලාවේ.

"චූටිපුතා මොකද මේ කෑ ගහන්නේ?
අහක යන උඩිච්චියෝ ලොකු වෙලා මදිවට තව ගෙදර ඉන්න කෙල්ලටත් සද්ද කරනවද?
ඔන්න බලපන් මම උඹේ ප්‍රියම්බිකාවට කරන දේ"

එසේ කියමින් මගේ පර්ස් එකේ තිබුණ ජයංගනීගේ තැපැල් හැඳුනුම් පතට ගත් චායාරූපය අතට ගත් තාත්තා එය කීතු කීතුවලට ඉරා දැම්මේ කිසිම අනුකම්පාවකින් තොර අයෙක්වගෙයි.

මගේ ඇස් ඉදිරිපිට මම ආශාම කරන රූපයක් ඉරා දමද්දී වුවත් හිස පහත් කරගෙන මොකුත් නොවුන ආකාරයෙන් ඉන්නට තරම් ආත්මශක්තියක්මට ලැබුණේ කෙසේදැයි අදහාගන්නත් අමාරුයි.

මගේ නොසැලෙන ඉරියව්ව දුටු තාත්තා තවතවත් කේන්ති ගත්තා.
"උඹ කාටද උපන්දින කාඩ් දෙන්න හැදුවේ. කියන දේ අහන්න බැරිදරුවන්ගෙන් මට වැඩක් නෑ. මගේ දෑහට නොපෙනී පලයන් යන්න. "
එකින් එක මගේ ටසෝ කලිසම්, සුදු කමිස, වැල්ලවායේ බෝඩිමේ ඉද්දි අඳින ඉරි ඉරි සරම් ආදි රෙදි පෙරෙදි සියල්ල මිදුලට ගෙනැත් දමමින් තාත්තා කෑ ගහනවා.
"උඹට ඒ ගැනිම නම් ඕන, මෙහේ ඒවා කරන්න බෑ, උඹට ඕනා දිහාකට ගිහින් ඒවා කර ගනින්"
එසේකියමින්අන්තිමටම එයා මම ගමන් යන්න අරන් යන නිල්පාට ඩෙනිම් රෙද්දෙන් මහපු මල්ලත් ගෙනැත් ඩොග් ගාලා මිදුලට අත් හැරියා.

මුහුණේ කිසිදු ඉරියව්වක් වෙනස් නොකල මම ඔහේ බලාගෙන ඉන්නවා. තාත්තට තවත් කේන්තියි.

මේ අතරේ හිතයටින් මට හිනා.

යකෝ මට යන්න බෝඩිමක් තියෙනවා. අනික මාසේ පඩියක් ලැබෙන රස්සාවකුත් තියෙනවා. මොන මගුලක්ද   අද සෙනසුරාදානම් තමයි වැඩිම වුනොත් සුද්දි අක්කා අහයි "මොකෝ මේ බණ්ඩාරවෙල මල්ලි ගිය පයින්ම ඇවිත් ? "කියලා.

මම හෙමින් හෙමින්  මිදුලේ තැන තැන විසිරිලා තිබුණ රෙදි ටික අර ඩෙනිම් බෑග් එක ඇතුලට ඔබා ගත්තා. ඔන්න දැන් ඒක බෙර ගෙඩියක් වගේ වෙන්න පිරිලා.

මල්ල දොර ලඟින් තියලා  ගෙට ගිහින් කලිසමකුයි ටී සර්ට් එකකුයි දා ගත්තා ..ලොක්කා වගේ පර්ස් එක පස්ස පැත්තේ සාක්කුවට ඔබන ගමන්  අම්මාලඟටගියා  ගිහින්  මම යනවා යන්න කියලා පාරට බැස්සා.

නිම්මී, චූටි නංගී අක්කා වගේම අම්මත් හොල්මන් වෙලා වගේ බලා ඉන්නවා. කිසි කෙනෙක් මීක් ගෑවේ නෑ තාත්තට බයේද කොහෙද මම ඔක්කොම එහෙම ඉද්දි පාරට බැස්සා.

බයක්, සැකක් දුකක් ඒ කිසිම හැඟීමක් මගේ ඔලුවට ආවේ නෑ. යන්නේ කොහේද කියලා හරියට හිතුවෙත් නෑ.

මල්වත්තට ගිහින් බස් එකකට ගොඩවෙනවා යන්තම් මතකයි. දැන්මම නගරයට ඇවිත්. ඔන්න තියෙනවා බුත්තල හරහා කතරගම කියලා ගහපු මාර්ග අංක 29 කියන බස් එක මම ඔන්න ඕකට ගොඩවුණා. තවම උදේ පාන්දර මේකේ ගිහින් බෝඩිමට ගියොත් සුද්දි අක්කා සැකහිතන්න පුළුවන් මොනවා වුණත් මගේ අතේ තිබ්බෙත් ඉතාම සුළු මුදලක් මාසේ පඩියෙන් භාගයක් ගෙදරට හාල් මිටියක් ගෙනැත් දාන්නයි ඉතිරි භාගේ සීට්ටුවකටයි යට කරලා තිබ්බ නිසා අතේ තිබුණේ හරියටම බෝඩිම පැත්තට යන්න අවශ්‍යමුදල විතරයි

"මට වැල්ලවාය ටිකට් එකක් දෙන්න.. "

මම මගේ සැලැස්ම ක්‍රියාතමක කරන්න තීරණය කලා. ඒ කිව්වේ වැල්ලවායට ටිකට් අරන් බුත්තලට හරි කතරගමට හරි කැස්බෑවා ගහන්න. ඊට පස්සේ ටිකක් රෑවෙනකන් ඒ ටවුන් එකේ කරක් ගහලා සුද්දි අක්කාට සැක නොහිතෙන විදිහට රෑ වෙන්න කිට්ටුව බෝඩිමට එන්න.



Saturday, 30 June 2018

මනෝ චිකිත්සක අවවාදය:


අපි කිසිදු හිතවත් කමක්, ලොකු දැනහැඳුනුම් කමක් නැති මිනිසුන් වෙනුවෙන් නිවාස හදාගන්න පටන් අරගත්තේ 2014 දි. ඒ මුල්ම නිවස හදද්දී නිවස් හිමියා ( ගෙදර පිරිමියා) සමඟ නිතර නිතර දුරකථන සංවාද කරන්නට මට සිදුවුණා . ඒ වගේම "ක්ෂුද්‍ර මූල්‍යමය ව්‍යාපෘතියක්" (Microfinance project ) ලෙස පටන් ගත් එයට මගේ පෞද්ගලික මුදල් වගේම හිතවතුන් /හිතවතියන් ගෙන් ලැබෙන උපකාරත් යොදාගන්නට සිදුවුණා. එවන් සමහර අය "ආධාරයයි" කියා ලියමින් මගේ ගිණුමට ඩොලර් පණහ , සියය වගේ මුදල් යොමු කලා නිතර නිතර මම මුහුණු පොතට ගියේ මේ වැඩේ කොහොම හරි කරගන්න ඕනා නිසා... ඔන්න ගෘහස්ත පොලීසිය කලබල වුණා .
"අහවල් දානපතියා කමෙන්ට් දානව වැඩියි"
"කෝ අද ඔයා ගේ .....පුතා කතා කරේ නැද්ද?
ඔයාට ඒ අහක යන මිනිස්සු ලොකුයි තමන්ගේ එවුන්ට වඩා"
".... මොනවා කරත් කමක් නෑ අපේ ගිණුම් වලට ආධාර කතා ගන්න එපා"
වගේ දෝස්මුර ආවා..
මට විශාල මානසික ආතතියක් ලැබුණා අහක යන පවුලක දුක බලන්න ගිහින් ( මේ වෙනකොට ඒ අය ඉතා දියුණුවෙන් දියුණුවට පත් වී අප වැනි මිනිසුන් අනවශ්‍ය තත්වයකට පත් වී සිටිනවා)
කෙසේ හෝ මගේ මානසික ආතතිය නැති කරන්නට මට ඔන්ලයින් සයිකොලොජිස්ට් කෙනෙක් ගෙන් අවවාද ගන්නට සිදුවුණා... අවවාදය තමයි
"ඔහොම තමයි ගැහැණු කට්ටිය,ගැහැනු කට්ටිය එක්ක ගණුදෙනු අමාරුයි.
තමන් , තමන්ගේ සැමියා , දරුවා ඇරෙන්න වෙන කවුරුවත් ගැන එයාලට හිතන්න ඕනේ නෑ.. නිතර එයා ලඟ ඉන්න.
ඔයා කැමති දේවල් වලට එයා අකමැති නම් ඒවා නොකර ඉන්න, හැබැයි එයා කැමැති දේවල් වලට ඔයා කැමැති වෙන්න පටන් ගන්න "
කියලා.
මම ඒ අවවාදය සියයට හැත්තෑපහක් පිළිගත්තා. ඒ කියන්නේ එයා කැමති දේවල් වලට කැමතිවෙන්න පටන් ගත්තා වගේම එයා අකමැති දේවල් එයාට නොදැනී යන ලෙස කරන්න ( මේ අපේ සමාජ සත්කාර සහ ඒවාට අදාල මිනිසුන් සමඟ දුරකතන සංවාද පැවැත්වීම පමණමයී, මේ දවස්වල කරන්නේ එසේ නොදැනෙන ලෙස කල පස් වෙනිවැඩේ)..
අන්තිමට සයිකොලොජිස්ට් කිව්වා වගේ පොලෝසියේ නම් ලොකු වෙනසක් වුණේ නෑ😛😜🤣 .

හැබැයි මම නම් දැන් නොවරදවාම "සිදූ " සහ "දෙවැනි ඉනිම " බලනවා..