"හැමදාම කාගේ හරි ගෙවල් හැදිල්ලක් , වහල ගැහිල්ලක් ගැන ලියනවා මිසක් කෝ ආදර කතාවක් වත් ලියන්නේ නෑනේ "
අපි බ්ලොග් රසික රසිකාවියන්ගෙන් ලැබුණු පණිවිඩ වල තිබුනා මතකයි.
ඒ නිසා මෑතකදී මා අත්දුටු මෙන්න මේ සිද්ධිය අද ඔබ වෙත ගෙන එන්න හිතුවා.
අපි ගමේ ඇවිත්
වර්ෂය දෙදහස් දාහතර. ලංකාවවට ඇවිල්ලා ගෙවී යන අන්තිම සතිය.
අරලගංවිල මහ ගෙදර කට්ටිය බලන්න දෙවැනි වතාවටත් එහෙ ඇවිත් හිටී ගමන්.
රටින් පිටත් වෙන්න තිබුණෙත් තව දවස් කිහිපයක් විතරයි වගේ.
මම මහගෙදරට වී සුපුන් සහ නංගිලාගේ ළමයි සමග දොඩමළු වෙමින් සිටියෙමි.
"ඒයි අපේ දැන් මෙහෙ හිටියා ඇති නේද ? අපි හෙටවත් අපේ දිහා යමු.
ගෙනියන්න බඩු ලැස්ති කර ගන්නත් තියෙනවනේ " යෝජනාව නිම්මි ගෙන්.
"ඔව් ඔව් මටත් කැම්පස් එක පැත්තේ යන්නත් බැරිවුණා .
දවසක් දෙකක් තියා ඔයාල දිහා ගියොත් මගේ ගමන් ටිකත් කර ගත්තහැකි.
එහෙනම් හෙට එහෙ යන්න ලෑස්ති වෙමු" ගමේ හිටියා ඇති යැයි සිතු මම නිම්මිගේ යෝජනාව අනුමත කලෙමි.
අපි නැවතත් තුන්දෙනාගේ ගමන් බෑග් සකස් කරන්නට ගත්තෙමු. හවස් වෙද්දී අපේ ලොකු නංගි අපව බලන්නට ආවාය.
"ආනේ අක්කලා ආපහු යන්නද යන්නේ?
මම හිටියේ අක්කා කේ. අයි. බී . එකට එක්කන් යන්න ලස්සන රෙදි තියෙනවා අක්කා ඒකෙ.
අපරාදේ කාලෙකින් ආපු එකේ එතෙන්ට ගොඩ වෙලා යන්න තිබුණා නම් වටිනවා. "
"ඇත්තද නංගි ? ඒයි අපි තුන්දෙනා ටක් ගාලා ටවුන් එකට ගිහිල්ල එමුද ඒ කඩේ බලලා ? "
ගමේ යන්න රෙදි අස්කර කර සිටි නිම්මි නැවතත් රෙදි සාප්පු යන්නට සුදානම්ය .
"පිස්සුද ඔයාට ? මේ රෑ වෙලා මාවනැල්ලේ වගේ නෙවෙයි මෙහෙ කඩවල් කලින්ම වහනවා. හෙට උදේ පාන්දරින්ම ගෙදරින් පිටත් වුනොත් කේ. අයි. බී එකටත් ගොඩ වෙලා යන්න පුළුවන් වෙයි.
මම රෙදි සාප්පු බලන්න යෑම පසුදාට කල් දැමුවෙමි.
ඒ පසුදාට හිමින් සීරුවේ කේ. අයි. බී එක පැත්තෙන් නොයා අනික් පැත්තෙන් අරලගංවිල නගරය පසු කර යන අදහසද ඇතිවයි.
රැයක් ගෙවී තවත් නැවුම් දවසක් උදාවී තිබේ .
උදා හිරු නැග එද්දී නිම්මි සහ මා ගමනට අවශ්‍ය බෑග් ආදිය සකස් කරමින් සිටියෙමු.
අපේ නංගිලා අක්කලා පවුල් වල අයද අපට සමුදෙන්නට නිවසට පැමිණෙමින් සිටිති.
සුපුන් තවමත් ලංකාවේ අක්කලා මල්ලිලා එක්ක සෙල්ලමේය.
තාත්තා සුපුරුදු පරිදි අපේ ගමන ගැන වෙහෙසෙයි.
ඒ අපි සකස් කරනා ගමන් මළු එකින් එක වාහනයට පටවන්නට මට උදව් වෙමිනි.
"පැය ගානක් එලවන්නත් තියෙනවා නේද ? උදෙන්ම පිටත් වෙනන්නයි තියෙන්නේ " ඔහු පාන්දරින් පිටත් වීමේ වටිනාකම අපට මතක් කර දෙයි.
කෙසේ හෝ එදා අප ගෙදරින් පිටත් වෙද්දී අට - නමය පමණ වී තිබු බව මතකය.
මම රියදුරු අසුනට බර දුන්නෙමි. තේ වත්ත පාරේ උදා හිරු නිසා යන්තමින් මැකීයන මිහිදුම කපාගෙන වාහනය පැදවුයෙමි.
යාබද අසුනේ සිටින නිම්මි කඳු මුදුනේ මිදුම් අතරින් එන හිරු රැස් වල පහස විඳියි.
ඇගේ වුවනත තැඹිලි පැහැයෙන් දිළිසෙයි.
මෙවැනිම සුසිනිදු මුහුණක් හිමි "ඇය" මා ඉදිරියේ මැවී නොපෙනී යයි .
ඒ කාලේ මට කාර් තිබුණේ නැත.
එදා පසළොස්වක පොහොය දවසකි. මගේ දකුණු පසින් සිටියේ ඒ මුහුණේ හිමි කාරියයි .
296 බසය වංගුවක් ගන්නා වාරයක් පාසා ඇය මගේ දකුණත තදින් අල්ලා ගනියි.
ඔව් එදා අපි මුතියංගනය වඳින්නට ගියෙමු.
ජයංගනී. දැන් එයා මොනවා කරනවා ඇද්ද ?
එයාටත් මාව මතක් වෙනවා ඇති මේ වගේම
"ඒයි . ඒයි ...අර බලන්න. තේ වත්ත මීදුමෙන් වැහිලා ඒ අතරින් ඉර පායාගෙන එනවා.
හරි ලස්සණයි නේද"
ඒ හඬත් සමග මම දැහැණෙන් මිදුනෙමි.
ඔව් මම වසර විසි ගණනක් පිටුපසට ගොස් නැවත වර්තමානයට ආවෙමි .
ඔය පරණ දේවල් දැන් හිතලා වැඩක් නෑ .
වෙන්න ඕනෑ විදිහට තමයි වැඩ සිද්ධ වෙලා තියෙන්නේ
සියල්ල අමතක කරන අටියෙන් මම යටි හිතට පැවසුවෙමි.
එසේ ටික වෙලාවක් නිම්මි සමග කතා බහේ යෙදෙමින් නගරය බලා රිය ධාවනය කලෙමි.
නගරයෙන් දකුණට නිම්මිලා නිවස දෙසට යන පාරය.
කේ. අයි. බී . එකට යන්න නම් නගරය පසු කර වම් පැත්තට ගොස් තෙළුල්ල පාරට දැමිය යුතුය.
"ටවුන් එකට යන්න ඕනේ නෑනේ .
එහෙනම් මම මේ පැත්තට හරවනවා.
දකුණු පසට වාහනය හරවන්නට සිගනල් දමමින් නිම්මි දෙස බැලුවේ කේ. අයි. බී . අමතක වී ඇතැයි සිතමිණි.
"අනේ ටක් ගාලා අර කඩේට ගිහින් එමුකෝ මෙයා.
ඔයාලට කම්මැලියි නම් තාත්තයි පුතයි ජීප් එකට වෙලා ඉන්නකෝ මම රෙදි බලලා එන්නම් "
ඔන්න ඔහේ රෙදි කඩේටත් ගිහිල්ලම යනවා .
කලින් ගියා කියලා ලෙනදොරත් එක්ක මොනවා කතා කරන්නද ?
මම වාහනය වමට හැරවුයෙමි .
"අන්න අර තියෙන්න මහා ලොකු කේ. අයි. බී . එක.
ඉක්මණට ගිහින් එන්න ඕනේ හැබැයි. එතන පැල වෙන්නේ නැතිව.
අම්මා ඉතින් කඩවල් වල ගියොත් පැල වෙනවනේ නේද සුපුන්? "
නිම්මි කඩයට යැවූ මම සුපුනුත් ජීප් එකට වී සිටියෙමු.
සුපුරුදු මුහුණක්
රියදුරැ අසුන පිටුපසට කර එහි ඇලවූයෙමි.
ඉදිරියෙන් ඇති තෙළුල්ල පාර මට පැහැදිළිව පෙනේ .
නොයෙක් ආකාරයේ ගැහැණුන් හා මිනිසුන් බස් වලින් බැස හෝ , ත්‍රී විල් වලින් හෝ තම පුද්ගලික වාහන වලින් විත් කේ. අයි. බී . එක වෙත පිය මනිති.
මේ අතර කිසියම් හුරු පුරුදු බවක් ඇති කාන්තා රුවක් මට ඉදිරියෙන් ඇති පාරේ කේ. අයි. බී . එක දෙසට ඇදේ.
මම ඉදිරිපස වීදුරුව පහත් කලෙමි.
උදේ තේ වත්ත හරහා රිය ධාවනය කරද්දී දුටු රුවට සමාන කමක් ඒ මුහුණෙන් දිස්වේ .
පැහැපත් රුව වසා ගත් තැඹිලි පැහැති සාරියකි.
එයට කැපෙන වර්ගයේ කළු පැහැති හැට්ටයක් හැඳ සිටි මේ ලලනාව මට සිහි ගැන්වුයේ පාසැල් ගුරුවරියකි.
එක් වරම ඒ හුරුපුරුදු මුහුණ අප දෙසට හැරවූ ඈ පාර පැන මගේ රියදුරු අසුන ළඟටම පැමිණියාය.
"දෙය්යනේ කවිඳු අය්යා දැක්ක කාලයක් .
මම මේ අය්යා වාහනේ ඉන්නවා දැකලා ආවේ .
කෝ නෝනා පේන්න නැද්ද ?"
ඇය එක වරම මගේ වාහනය අස්සට එබුණාය .
"කෝ අය්යා පුතා ? මම පුතා බලන්නත් හිතා ගෙනමයි මේ පැත්තට ආවේ "
" මම මේ කව්ද බැලුවා . අපේ රත්නා ලාලනී නංගි නේ ?
අක්කා ගියා නංගි කේ. අයි. බී . එකට .
ඔය පිටිපස්සේ ඉන්නේ අපේ පෝරිසාදයා.
ඔයාට බලන්න ඕනෑ කිව්වේ එයානේ ඔන්න ඉන්නවා ඇති තරම් බලා ගන්න "
ඇය වාහනයේ පිටුපස දොර විවුර්ත කලේ සුපුන් හොඳ හැටි බලා ගන්නටය .
"ආනේ අය්යා කොල්ලා ඔයා පොඩි කාලේ වගේමයි.
පස්සේ කාලෙක කෙල්ලෝ පිස්සු වට්ටයිද දන්නේ නෑ ඔයා වගේම ?
ජයංගනී මෙන් නොව ඇගේ අක්කා රත්නා ලාලනී හරි කටකාරය .
මා මුල් කාලයේ ලියු බ්ලොග් සටහන් වල සඳහන් කල අයුරින්ම ඒ පවුලේ හැමෝම මට සමීපය.
අක්කලා නංගිලා මෙන්ම එකම මල්ලී ජානක ද මට සැලකුවේ තමන්ගේම සහෝදරයෙකුට මෙනි.
ඒ ලෙන්ගතු කම නැවතත් මට හමුවී තිබේ.
ඒ කේ. අයි. බී . එකට අහම්බයෙන් පැමිණි මේ ගමන නිසාය.
මම වහනයෙන් බැස ඈ හා දොඩමළු වුයෙමි.
"ඔයා කොහේ යන ගමන්ද නංගි ? "
"මමත් මේ කේ. අයි. බී . එකට යන ගමන් අය්යා "
"චුට්ටක් ඉන්නකෝ පුතත් එක්ක කතා කර කර "
කියමින් මම වාහනයේ පිටුපසට ගියේ නිම්මිගේ තෑගි මල්ලක් විවුර්ත කාරනා අටියෙනි.
නිල් පාට මල්ලක් තුල තිබු චොක්ලට් පොදිය වෙත ලංවූ මම එහි ඇති ලොකු ටෝබ්ලරෝන් එකක් ගෙන රත්නා ලාලනී අත තැබුවෙමි.
"ආ මේක ගන්න . ලොකු තෑග්ගක් දෙන්න ඕනේ හරිනම් කවුද දන්නේ ඉතිං හම්බවෙයි කියලා?"
චොක්ලට් එක අතට ගත් ඈ ටික වෙලාවක් එක එල්ලේ මගේ මුහුණ දෙස බලා සිටියාය .
"ඒක නෙවෙයි දැන් මේක දුන්නේ මටද ? නැත්නම් නංගිටද ? "
මම තරමක් අපහසුවට පත්වූයෙමි.
"හරි හරි ඉතිං දෙන්නම බෙදා ගන්නකෝ එහෙනම් "
අපහසුව ඇයට නොපෙන්වා කියාගෙන ගියෙමි. මට හදිසියේම යමක් මතක් විය.
"ආ. ඒක නෙවෙයි . අපිට යන්න පුළුවන් වෙයිද නංගි බලන්න ? "
"මොකෝ බැරි යන්න . යන්න එයා සන්තෝෂ වෙයි ඔයා දැක්කම. ඇවිල්ල ඉන්න බව ආරංචි වෙලා ඇත්තේ"
රත්නා ලාලනී කතා කරන්නේ කිසි බරක් පතලක් නැති ගාණටය. මෙයා ඒ කාලෙත් එහෙමනේ මම අපේ පාසැල් කාලය සිහි කළෙමි.
"අය්ය එයා දැන් ළමයි දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් .
බයවෙන්න එපා ගිහිල්ලා කතා කරලා යන්න.
ඒ මල්ලිත් හරි හොඳයි . එයා බැංකුවක වැඩ කරන්නේ. අද ඉරිදා නිසා මල්ලිත් ගෙදර ඇති.
හරි එහෙමනම් මම යනවා අය්යා . දැක්කට සන්තෝෂයි . මම නංගිට කියන්නම් ඔයා හම්බවුණා කියලා .
යනවා පුතා. "
ඈ සුපුන්ටත් මටත් සමුදී කඩේ පඩිපෙළ නගින්නට විය.
යළිහමුවීම
නිම්මි තවමත් එන පාටක් නැත. දැන් රත්නා ලලනිත් නිම්මිත් සිටින්නේ එකම කඩයක් තුලයි.
සුපුනුත් සමග මමත් කේ. අයි. බී . එක වෙත පියමැන්නෙමි . ඒ ලොකු සැලසුමක් හිතේ ඇතිවයි.
ඒ නිම්මි සමග රෙදි තෝරන අතරේ අහම්බෙන් මෙන් රත්නා ලාලනී මුණගැසීමත් , අනතුරුව ඇය හා නිම්මි එකිනෙකාට හඳුන්වා දීමත් යන අරමුණ සාක්ෂාත් කර ගැනීමේ සැලැස්මයි.
හිතුවාටත් වඩා පහසුවෙන් සැලසුම සාර්ථක වුයේ නිම්මි සහ මා දුටු රත්නා ලාලනී නංගි අප දෙසට පිය මැනීමත් සමගයි.
"කොහොමද කවිඳු අය්යා ? මේ ඔයාගේ නෝනද? "
"ඔව් . ඔව් මේ නිම්මි " මම ඇයට උත්තර දෙන අතරේ නිම්මිට රත්නා හඳුන්වා දුන්නෙමි.
"මෙයාගේ නංගි තමයි අර.... ...... "ජයංගනී කියන්නේ " මම කියන්නටත් පෙර රත්නා ඉස්සර වුවාය .
"නංගි කොහෙද ඉන්නේ ? "
මම නොදන්නා ආකාරයෙන් රත්නා ගෙන් ඇසුවෙමි.
"එයාල ඉන්නේ මේ පාර අයිනෙමයි තව කිලෝ මිටර් 10 - 12ක් ඇති වැඩිම වුනොත් .
රත්නා ගෙන් සමුගත් අපි රෙදි බෑග් කිහිපයකුත් රැගෙන වාහනයට ආවෙමු.
ටෝබ්ලරෝන් දුන් කතාවක් නිම්මිට නොකියන්නට සුපුන් වග බලාගත්තේය.
"ඒක නෙවෙයි නිම්මි අපි අරහේ ගිහින් එමුද? "
"කොහෙද අනේ දැන් පරක්කු වෙනවා කියා කියා දැඟලුවා නේද?
දැන් ඔය කියන තැනට යන්න තව කිලෝ මීටර් ගානක් අනික් පැත්තට යන්නත් එපැයි."
"කමක් නෑ අම්මා ටක්ක ගාල ගීහිල්ල එමු".
අලුත් තැනකට යන බව දැනගත් සුපුන්ද මගේ අදහසට පක්ෂව කතා කළේය.
වයස අවුරුදු එකොළහක් වුවත් කොල්ලා මගේම පුතෙක් බව නැවතත් සනාථ කළ තවත් අවස්ථාවකි.
"හා.. හා එහෙනම් ගිහිල්ලා එමු.
මහා උන්දැලා දැනගත්තනම් එහෙම හිනා වෙයි තවමත් පරණ ගර්ල් ෆ්‍රෙන්ඩ් බලන්න යනවා කියලා.
නිම්මිලා ගෙවල් පැත්තට ප්‍රති විරුද්ධ දිශාවට වාහනය පැදවූ මා අදාළ නිවස ඉදිරිපිට වාහනය නතර කළෙමි.
ඉදිරිපස දොරටුවට තට්ටු කරත්ම ජයංගනී ගේ සැමියා විත් අපට දොර හැර දුන්නේය .
එන්න ඇතුළට ඔහු අප ජයංගනී සිටි දෙසට රැගෙන ගියේය.
නිම්මිත් කිසි ගානක් නැතිව වට පිට බලමින් ජයන්ගනී සමගම කුස්සියට ගියාය.
"එන්න වාඩි වෙන්න . අපි තේ එකක් බොමු නේද ? "
නිම්මිත් මමත් තේ මේසයේ රැන්දුනෙමු
මේ අතර පුරුදු කාරයෙක් මෙන් නිවස තුලට දිව ගිය සුපුන් නිවසේ උඩ තට්ටුවටද ගොස් හමාරය.
නිම්මිටත් මටත් තේ හදන අතරේ දෙනෙතට දෙනෙතක් නිමේෂයකින් එකිනෙක ගැටී නැවතත් ඉවත් විය.
ඒ නිමේෂය ඒ නෙත් පියවෙන තෙක්ම මතකයේ රැඳෙනු නොඅනුමානය .