Friday, 8 November 2024

වත්තේ පඩිපොළට අළුත් වෙලෙන්ඳෝ දෙන්නෙක් ඇවිත්

 





මේ වගේ තැනක ඒ කියන්නේ අයිස්ලෙබි වතුයායේ කේෂන් කොටසේ  දළු මඩුව ලඟ  තමයි ඒ කාලේ " පඩි පොළ " තිබුණේ .. පඩිපොල තියෙන්නේ හැම මාසෙම දහවෙනිදා  හවස් වරුවට .. දවෙනිදා විශේෂ දවසක් . එදාට තමයි වත්තේ කට්ටියට පඩි දෙන්නේ .. දළු කඩන නැන්දලාට අක්කලාට ( අපේ ගෙවල් ලඟ හිටපු මල්ලිකා අක්කා , ඥාණ්ක්කා , කුසුමක්කා , බේබි නැන්දා වගේ අයට ) වගේම සොරඬි ගාණ කාණුකපන අය්යලාට , කංකාණිලාට  මේ හැමෝටම "පඩි දාන්නේ" එදාට ... අපේ ගෙවල් ලඟ හිටපු බණ්ඩේ අය්යා , විල්සන් අය්යා , සිරිසේන මාමා වගේ අයටත් එදාට සරුයි . සිරිසේන මාමායි විල්සන් අය්යයි දෙන්නා ඒ කාලේ වත්තේ කංකාණිලා , බණ්ඩේ අය්යා වත්තේ සාමාන්‍ය වැඩ ( සොරඬි ගාණ ) කම්කරුවෙක් .. 

මේ හැමෝම එන පඩිපොලට මටත් යන්න අවස්ථාවක් ලැබුණා 1982 -83 කාලේ .. ඒ බාස් මාමලා ගෙදර වල් කපපු නඩරාජා ගේ යෝජනාවකට අනුව .. නඩරාජයි මමයි ඒ කාලේ හොඳ යාළුවෝ  බණ්ඩාරවෙල කණිෂ්ඨයේ ඉස්කෝලට ගිහිල්ලා හවස්වරුවේ නඩරාජා වල් කපන තැන්වල ඉඳන් එයත් එක්ක කයිවාරු ගහණ කාලයක් තමයි ඒ කාලේ  .. ඔය දවස්වල කිරිඔරුවේ ඉස්කෝලේ තිබුණ නාට්‍යක ටොෆි , වේෆස් සහ සිගරට් විකුණලා මමත් පොඩි මුදලාලි කෙනෙක් වෙලා හිටියේ.. ඒ දවස්වල ඇඟේම තිබුණේ බිස්නස් , ඒ කියන්නේ සල්ලි හොයන්න උවමනාව.. 

අපි ඒ දවස්වල හිටියෙත් පල්ලැහැ පොඩි බාප්පලාගේ ගෙදර ,ඒ වෙනකොට අපේ සාත්තුවත් එක්ක ඒ වත්තේ ඔහේ තිබුණ කෙසෙල් පඳුරු එහෙම පිබිදිලා ඇවිත් ලොකු කෙසෙල් කැන් වැටෙනවා.. ඔය අතරේ මට  කෙසෙල් බිස්නස් එකක් කරන්න හිතක් පහළ වුණා.. මුලින්ම බැලුවේ පහසුම ක්‍රමේ , ඒකියන්නේ ලඟම තිබ්බ විද්දි අය්යලා කඩේට කෙසෙල් කැන් විකුණලා ගාණක් ගන්න එක.. දවසක් මම විද්දි අය්යා එක්ක මේ ගැන කතා කරා මට මතකයි 

"විද්දි අය්යා "

" කොහොමද චූටි මල්ලී "

" හොඳින් ඉන්නවා අය්යා,   ඒක නෙවෙයි මේ කෙසෙල් ගෙඩියක් කීය ගාණෙද ඔයා විකුණන්නේ  ? "

"සීනි කෙසෙල් ගෙඩියක් ශත තිහයි මල්ලී ඇම්බුන් නම් ශත පණහ ගානේ තමයි දෙන්නේ .. මල්ලිට මොනවයින්ද ඕනේ ? සීනි කෙසෙල් ඇවරියක් කපන්නද? "

"  නෑ අය්යා මට කෙසෙල් ගන්න ඕනේ නෑ නිකං දැනගන්න ඇහුවේ ..  අපි ගාව  කෙසෙල් කැන්  දෙක තුනක් තියෙනවා  . බිස්නස් එකක් කරන්න හිතාගෙන ඇහුවේ .."
"
" හරි හරි මල්ලි අරන් එන්නකෝ කැන බලලා ගාණක් කතාකර ගමුකෝ 

විද්දි අය්යා කෙසෙල් ගන්න කැමැත්ත පළකිරීමත් සමඟම ක්‍රියාත්මක වූ මම හවස් වෙද්දී මගේ සගයා කේෂන් වත්තේ ලැයිමක ඉඳන් ගමේ වල් කපන්න එන නඩරාජාට කතා කලෙමි..

" මචං  හෙට පොඩි වැඩක් තියෙනවා උඹට එන්න පුළුවන්ද? "
" හවස්වෙලා අපේ ගෙදර පැත්තේ වරෙන් කෙසෙල් කැන් දෙක තුනක් කපාගන්න තියෙනවා .. විද්දි අය්යාවට විකුණන්න... "

කතාකරගත් පරිදිම නඩා මම ඉස්කෝලේ ඇරිලා ඇවිත් සුළු මොහොතක් යද්දීම අපේ ගෙදරට ඇවිත් හිටියේ මගේ බිස්නස් එකට සහය වෙන්න .. දෙන්නත් එක්ක එකතුවෙලා කෙසෙල් කැන් තුනක් ( සීනි දෙකයි ඇම්බුන් එකයි  ) කපාගත්තා . ඒ ගමන්ම ඊට මීටර් දෙසීයක් විතර දුරින් තිබ්බ විද්දි අය්යාගේ කඩේට  කෙසෙල් කැන් ටික අරන් ගියා , නඩරාජා ගේ කරේ කෙසෙල් කැනයි   මගේ කරේ කෙසෙල් කැන් දෙකයි .. කඩේට ගියාම තමයි   හරි වැඩක් වුණේ.. 

"ආ මල්ලිලා බඩු ගෙනැල්ලා තියෙන්නේ .."

" විද්දි අය්යා මේ ටිකට කීයක් දෙන්න පුළුවන්ද බලන්න .."

" මල්ලී සීනි කෙසෙල් ගෙඩියකට ශත පහලොව ගාණෙයි ඇම්බුන් ගෙඩියකට ශත විසිපහ ගානෙයි දෙන්නම් .. හැබැයි මල් ඇවරිය අතෑරලා තමයි ගණන් කරන්නේ "


"ශත පහළොවට අරන් තිහට විකුණන්න "  ඒක හරි නෑනේ අය්යා ශත විසි පහ ගාණේ දෙනවා නම් දෙන්නම් නැත්නම් මම කෙසෙල් කැන් ටික ආපහු අරන් යනවා .."

 එකට එකක් ලාභ තියාගෙන විකුණන වැඩේට මගේ වැඩි කැමැත්තක් නැතිබව මම විද්දි අය්යාට හැඟවූවා .. 
" බෑ මල්ලි එහෙම කරොත් මට පාඩුයි , අවුලක්  නෑ චූටි මල්ලී එහෙනම් මල්වත්තේ කඩවලිනුත් අහලා බලන්නකෝ"

  බිස්නස් එක නොවුණාට විද්දි අය්යගෙයි අපෙයි යාළුකම් වලට පාඩුවක් නොවෙන බව හඟවමින් විද්දි අය්යා කියනවා.. 

"මචං නඩා , වරෙන් මේටික  අපි ආපහු ගෙදර අරන් යමු.. ඊට පස්සේ බලමු මොකද කරන්නේ කියලා .. "

  කොල්ලෝ දෙන්නා ආපහු අපේ ගෙවල් පැත්තට ඇදෙන්නේ කෙසෙල් කැන් ටිකත් ඔවුන් ගේ කරමත දරාගෙනය .. 
"ඒක නෙවෙයි මචං ඔය ටික අරන් යමුද මේ මාසේ පඩි පොළට ? "
 යෝජනාව නඩරාජා ගෙනි.. 
"තව දවස් කීපයක් තියෙනවානේ සපුකොළ ටිකක් එහෙම දාලා දුම් පාරක් දෙකක් ගැහුවා නම් ගාණට ඉදෙයි දහවෙනිදා වෙනකොට...  භයවෙන්න එපා මම උදව් කරන්නම් "


දහවෙනිදා උදාවිය. විද්දි අය්යාගෙන්ම ඉල්ලා ගත් ලොකු කාඩ්බෝඩ් පෙට්ටි දෙකකට  සීරුවට කෙසෙල් ඇවරි අසුරණ යහළුවන් දෙදෙනෙකි..  හවස එකවෙද්දී පඩිපොළට ලඟවීම අරමුණු කරගත් යහළුවෝ දෙදෙනා යුහුසුළුව  වෙලඳාමට සූදානම් වෙති .  

අපේ අම්මත් තාත්තත් දෙදෙනාම  මගේ වැඩකිසිවකටත් විරුද්ධව නොවුණු කාලයක් නිසා වැඩේ තවත් පහසු විය .. අම්මා මටත් නඩරාජාටත්  දහවල් කෑම බෙදා දුන්නාය..   

දිවා අහාරයෙන් පසු මමත් නඩරාජත්  මුල්ලේගෙදර , උඩුවර ගෙදර , බුරුස් මාමලා කඩේ , පණ්ඩිතේ අය්යලා ගෙදර , ප්‍රේමදාස මහත්තයලාගේ බංගලාව අදිය පසු කරමින් ගමන් කළෙමු .. ලොකු කාඩ්බෝඩ් පෙට්ටි දෙකක් හිසෙහි දරාගත් ගමේ සිංහල කොල්ලයි වත්තේ දෙමළ කොල්ලයි දෙදෙනාගේම බලාපොරොත්තුව විද්දි අය්යාට යන්න ගිය ලාභය මට ලබා ගැනීමය .. නඩරාජාට අතට ගාණක් දියයුතු බව මම කොහොමත් හිතාගෙන සිටි දෙයකි.. 
 
දවල්  එක වෙද්දී කේශන් එකේ දළු මඩුව ලඟ එකම කාලගෝට්ටියකි , සාරි ,  පවුඩර් , වළළු , ක්‍රීම් ජාති සබන් ආදිය විකුණන වෙලෙන්දන් වගේම  මනිබඩු කාරයින් පිරිසක්ද පාර අයිනේ තම තමන්ගේ වෙලඳාම පටන්ගෙන ඇත .. නඩාත් මමත් පුල්ලේ කාමරේ පැත්තේ බෝක්කු ගලක් ලඟ අපේ කෙසෙල් වෙලඳාම පටන් ගත්තෙමු ..

 "ලාභයි ලාභයි කෙසෙල් ලාභයි ..  

වාලපලම් වාලපලම් ,"

බිස්නස් එක නැගලා  යයි.. හවස තුන තුනහමාර වෙද්දී කෙසෙල් පෙට්ටි දෙකම හිස් වන බව දුටු  නඩරාජත් මමත් අපේ ගෙවල් බලා පල්ලම් බැස්සෙමු.

 ඒ සීනි කෙසෙල් ගෙඩියක් ශත තිහ ගාණෙත් ඇම්බුන් ගෙඩියක් ශත් පණහ ගානෙත් විකුණා ලැබූ අධික ලාභයත්   පළමුවෙනි වරට කේශන් පඩිපොලේ  බිස්නස් එකෙක් සාර්ථකව  අවසන් කිරීමෙන්  ලැබුණු අප්‍රමාණ ප්‍රීතියත්  යන දෙකම හරි හරියට බෙද හදාගනිමිනි  


Friday, 18 October 2024

ජයංගනී ගමේ ඉද්දී මම විශ්වවිද්‍යාලයට

 කාලයකට කළින් ඔබ වෙත ගෙන ආ අපේ ආදර කතාවේ ඉතිරි කොටස ලියන්නයි කියා ගොඩක් ඉල්ලීම් ආවා .. මේ ඉටු කරන්නේ ඒ ඉල්ලීම

ජයංගනී ගමේ ඉද්දී මම විශ්වවිද්‍යාලයට


සඳතැන්න විද්‍යාලයේ ගුරුවෘත්තියත් හවස් වරුවේ සහ සති අන්තයේ කිරිඔරුවේ කල එළවළු වගාවත් ප්‍රධානම රාජකාරී වූ මේ කාලයේ ජයංගනී සහ මා අතරට තවත් අභියෝගයක් ඇවිත්.. ඒ තමයි අවුරුදු තුනක් ආරම්භ වීම ප්‍රමාද වී තිබු අපේ වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු 1992 වසරේ සැප්තැම්බර් වල පටන්ගන්න බව අපට දැනුම් දීම.. 

මේ වෙනකොට ජයංගනී නගරයේ ප්‍රධාන මිශ්‍ර පාසලක උසස්පෙළ ශිෂ්‍යාවක් ..  බාලිකාවේ සිට ගණකාධිකරණය හදාරන්න ඒ පාසලට ගිය ඇයට නවකවදය එහෙම අවම කරගන්න මට පුළුවන් වුණා .. ඒ ඊට ඉහළ පංතිවල හිටපු බොහොඅ අය්යලා මගේ හිතවතුන් වීම  ප්‍රයෝජනයට අරන් .. එහෙත් වතාවක් දෙවතාවක් ඒ අයගෙන් සමහරක් ඇය ලවා ගීතයක් දෙකක් එහෙම ගායනා කරගෙන තිබුණා .. ඔවුන් මට කියූ ආකාරයට ඈ වැඩි පුරම ගායනා කර තිබුණේ .. " රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ ... " යන ගීතයයි .. හවසට බස් හෝල්ට් එකේදී කටුගහ පැත්තේ මගේ හිතවතෙක් " කවිඳු  ඔයාගේ නංගී නිතරම අර මාලනී බුලත්සිංහලගේ සින්දුව කියනවා  අපේ කොල්ලෝ කියන කොට "  යැයි කියමින් මා හා ඒ ගැන පැවසූ අයුරු මට සිහි වෙයි.

මා ඔවුන්ගේ පාසැලේ සිශ්‍යයෙක් නොවුණත් , චමින්ද, සුරාජ් සහ මම ඒ කාලේ අපේ පැත්තෙන් ගිය පාසැල් බස් රථයේ ( අංක 320 බස් රථයේ ) ගිය නමගිය කල්ලියක සාමාජිකයෝ වීම ඒ පාසැලේ සිසුන් පවා අපිත් එක්ක හිතවත් වීමට තව හේතුවක් වුණා..

1992 සැප්තැම්බර් මාසය එන්න එන්නම ලං වෙනවා . ඔය අතරේ මා හා ජයංගනී අතරත් ඒ වගේම අපි දෙන්නා ගැන තීරණ ගන්න සිතූ අනික්  අය අතරත් තීරණාත්මක කතා බහවල් ඇතිවෙනවා ... ඒ අතරින් අපේ පවුළේ අය විශේෂයි ..

" චූටි පුතා දැන මොකක්ද උඹේ කල්පනාව? අර කන්දේගෙදර කෙල්ලත් එක්ක දිගටම ගණුදෙනු කරන්නද උඹ හිතාගෙන ඉන්නේ ?" 

මම විශ්වවිද්‍යාලයට යන්න ආසන්න කාලයේ දවසක අපේ අම්මා මගෙන් අහනවා ..

 "හරි උඹ පලයංකෝ කැම්පස් .. අපි මෙහෙන් බලාගන්නම් ඉතිරි හරිය ..  උඹට කීයටවත් ඔය මංගල්ලේ කරගන්න අපි ඉඩ තියන්නේ නෑ.. නේද චූටි ?"   කියමින් අම්මා අපේ අක්කාද ඒ වැඩේට සම්මාදම් කරගන්නා බව මට පවසනවා.


කැම්පස් යන්න ලඟ නිසා  අපේ නෑදැ හිතවතුන්ටත් ඒ වගේම මම ගණුදෙනු කල ප්‍රධානම පන්සලක් වූ ඇත්තලපිටියේ පන්සලටත් ඒ බව දැනුම් දෙන්න ගියෙමි . 

කැම්පස් යන්න ලඟ නිසා  අපේ නෑදැ හිතවතුන්ටත් ඒ වගේම මම ගණුදෙනු කල ප්‍රධානම පන්සලක් වූ ඇත්තලපිටියේ පන්සලටත් ඒ බව දැනුම් දෙන්න ගියෙමි . පංසලේ ලොකු හාමුදුරුවෝ  ගිලන් පසින් එහෙම සංග්‍රහ කරලා  " පොඩිනම මේ කවිඳු  ළමයට විශ්වවිද්‍යාලයට යද්දී උවමනා වෙන අඩුම කුඩුම මොනවා හරි දෙන්න  යැයි කී සැනින් ක්‍රියාත්මක වූයේ අපේ ඒ කාලේ හිතවතා  ගොවුස්සේ පොඩි හාමුදුරුවන් වහන්සේය .. 

ටූත් පේස්ට් , රෙක්සෝනා කෑලි කිහිපයක් , දත් බුරුසු , තනිරූල් පොත් ආදිය අතරේ ලස්සනට  මල් මසා සකස් කල  තැඹිලි පාට කොට්ට උරයක් ද මට දුන් තෑගි වලට එක් කරන්නට උන්වහන්සේ  අමතක නොකලසෙයකි ..

ඒ සති අන්තයේ ජයංගනී පංති යන අතරේ මුණ ගැසෙන්නට  යොදාගත්තෙමි.. ඈත් සමඟ කතා කලයුතු කාරණා රාශියකි.. අපේ අම්මාගේ  සහ අක්කාගේ තර්ජනය ගැන ඈ හා දොඩමළු නොවන්නෙමියි සිතා ගත්තෙමි..  දෙය්යනේ තව සතියයි .. ඊට පස්සේ හිතුණ හිතුණ වෙලාවට ජයංගනී මුණගැහෙන්නට  විදිහක් නෑනේ.. මගේ හිත ලොකු කණස්සල්ලකින් පෙලෙයි..සතියකට සැරයක් වත් ලියුමක් එවන්න කියන්න ඕනේ .. ඒ කාලේ අපිට තිබූ එකම විකල්පය  වූ ලියුම් කරදහිය ගැන වැඩි බරක් යොදන්නට සිතා ගත්තෙමි..

 ඒ සෙනසුරාදා උදා වූයේ වෙනදා වගේම හිමිදිරියේ නගරයට ගොස් ජයංගනී සමඟ සීවලිය පැත්තේ ඇවිදින්නට යන්නට මා කල සැලසුමත් සමඟය..

උදේ පාන්දර මල්වත්ත බස් හෝල්ට් එක ලඟට යනවිටත් ලාකොළ පාට ගවුම් පොඩියකින් සැරසුණු තරුණියක් මා එන පෙර මඟ බලමින් උන්නාය .. ඇයේ ලයට තුරුළු කරගත් පොත් මිටියකි , අනෙක් අතේ කුඩා ලේන්සුවකි .. මා ඈ වෙත සමීපවත්ම මුව පුරා සිනාසුණු ඈ .. අතේ රැඳි ලේන්සුව කරකවමින් සිටියි .. 

"අද කොහෙද යන්නේ ? ඇඩිසම් වත් යමුද? "

මම යෝජනා කළෙමි .. 

"බෑ එච්චර ඈත යන්න බෑ පංති ඉවර වෙද්දි ගෙදර එන්නත් එපැයි ?"

 ජයංගනී වැඩිපුර  දුර ගමන් වලට   එච්චර කැමති නැති පාටයි..

 "හරි හරි එහෙමනම් සීවලිය පැත්තේන් රවුමක් ගිහින් එමු "..  "ආයි අපි හම්බවෙන්නෙත් කාලෙකින් නේ ? "

මම ඇයගේ අදහසට ඉඩ දුන්නෙමි 

තැපැල් කන්තෝරුව ලඟින් බස් එකෙන් බැස්ස අපි දෙන්නා හිමින් හිමින් සුජාතා එක පැත්තෙන් කන්ද නඟින්නට පටන් ගත්තෙමු .. 

අපි එකිනෙකාට සමාන්තරව ගමන් කරමින් සිටියෙමු .. ජයංගනී මාත් එක්ක කිසිවක් නොකියාම බිම බලාගෙන ගමන් කරයි .. ඇගේ සිත ශෝකයෙන් බරවී ඇති සෙයකි.. මටත් ජීවිතයේ තවත් වැදගත් පියවරක් ඉදිරියේ  වුවද විශ්ව විද්‍යාලය බලා යන එක අතිශය සතුටු දායක එකක් නොවීය ..ඊට හේතුව අවුරුදු තුනක් මාත්තෙක්ක දුක සැප බෙදාගත් මගේ ලඟම හිතවතිය  තාවකාලිකව හෝ තනිකර දමා යන්නට සිදුවීමයි.. මම හිතට  දිරිය උපදවා ගත්තෙමි..

" ඉතිං මොනවා හරි කියන්නකෝ"

 ."මොනා කියන්නද  ඉතිං  දැන් ඔයා මාව දාලා කැම්පස් යනවනේ?"

 ..හරි හරි ඉතිං ගියාට සැරින් සැරේ ඔයා බලන්න එන්න පුළුවන් නෙ ?

 " ඒක නෙවෙයි ගියාට පස්සේ අපි මොකද කරන්නේ ? ඔයා මට ලියුම් එවන්න මම ගිය ගමං බෝඩිමේ ඇඩ්‍රස් එක එවන්නම් "..

මම ජයංගනී සමඟ ඇති  කරගත් සබඳතාවය   විශ්වවිද්‍යාලයට ගිය පසුවත්  නොනවත්වා කරගෙන යන හැටි සාකච්චා කරගත්තෙමි .. 

මා  එසේ සිතුවද අපේ අම්මලා ගේ තිබුණේ වෙනත් අදහසකි .. ඒ මා නැති අතරේ ජයංගනී බියවද්දා , ඈ මාගෙන් වෙන්කරවන බලාපොරොත්තුවයි ,ඒ වෙනුවෙන් අපේ අම්මා  මෙන්ම අක්කා සහ නංගිලා දෙදෙනාත් සහභාගී වූ බව පසුකලෙක මා හා පැවසුවේ ඒ කාලේ අපේ කට්ටියත් , ජයංගනිත් සමඟ එකටම පාසැල් ගිය අපේ ගමේ තවත් නංගී කෙනෙක් විසිනි ..

 " කවිඳු අය්යා.. පව් අර අක්කා ,, දවස්ක් ඔයාලා නිම්මි අක්කා  (මගේ පොඩි නංගී ) ජයංගනී අක්කට බැන්නා බැනිල්ලක් .. එයා කිසිදෙයක් කියන්නේ නැතිව බිම බලාගෙන හිටියා ,, අනේ පව් අනේ එයා " 

ඒ සියළු කරදර හිරිහැර තනිවම විඳ දරාගත් ජයංගනී කිසිදු විටෙක අපේ අය ඇයට කලකී දේවල් මා සමඟ නොකියා සිටින්නට වග බලාගෙන තිබිණි .. 

සුජාතාව පැත්තෙන් කන්ද නැග්ග දෙදෙනා දැන් සීවලී හන්දියට ලඟා වී සිටිති.. ඒ පැත්තෙන් පල්ලම් බැස නැවත නගරයට එන ගමනේ අතර මැද පැමිණ සිටියෙමු .. එක්වරම තම ලයට තුරුළු කරන් සිටි පොත් මිටියට අතදැමූ ජයංගනී පොත් අතරේ තිබූ යමක් ගෙන මා අත තැබුවාය .. 


"මෙන්න ඔයාට තෑග්ගක් , හැමදාම නිදාගනිද්දි මාව මතක්වෙන්න"..ජයංගනී   එසේ කියමින්  එක්කොනකට වෙන්නට ලස්සන මල්පොකුරක් මසා ඇති රෝසම රෝස පාට කොට්ට උරයක් මාවෙත් දිගු කලාය.. 


 හරි ලස්සනයි .. ඇත්තටම නිදාගන්න යන හැමවෙලේම මට ඔයාව මතක් වෙයි .. ඉස්සරත් එහෙම තමයි.. ඉස්සරහටත් එහෙම වෙයි .. මම ජයංගනීට පැවසූවෙමි.. 

ඇය කියූ පරිදිම විශ්වවිද්‍යාලයේ සිටි මුළු කාලයේම මම ඇය මසා දුන් කොට්ට උරය දැමූ කොට්ටයක හිස තැබූවෙමි . ඒ කොට්ට උරය හෝදන දවස්වලට  ගෝවුස්සේ හාමුදුරුවෝ දුන්න තැඹිලි පාට කොට්ට උරය පාවිච්චි කළෙමි .. 


හාමුදුරුවන් දුන් කොට්ට උරයත්  උන්වහන්සේට ඉතාම සමීප කෙනෙක් තෑගි දුන් එකක් බව මට දැනුනේ කොට්ට උර දෙකම ඉතා ඕනෑ කමෙන් නිමකර තිබූ කොට්ට උර නිසාමය