ඒ එක් දහස් නමසිය අසු ගණන් වල මුල් හරියයි.
මේ වනවිට අපේ ගමේ වැඩි හරියක් ම හිටියේ පැවති රජයට (යුඇන්පී) පාක්ෂික මිනිසුන් ය.
විශේෂයෙන් කිරඹඔය- මල්දෙණිය ගම් දෙකේ කිරඹ ඔය කොටස කවදත් යුඇන්පී ගුහාවකි.
මල් දෙණිය කොටසේ යුඇන්පී කාරයන් සිටියා වුවද අපේ තාත්තලා ඇතුළු ප්‍රගතිශීලි පවුල් ගණනාවක්ම එහි විසු නිසා ඒ කොටසේ යුඇන්පී ගතිය එතරම්ම කැපී පෙනුනේ නැත.
එහෙත් හැත්තෑ හතේ මැතිවරණයෙන් පසු මල්දෙණියේ වුවද වැඩි පුර බර තිබුණේ යුඇන්පියටයි.
ඒ සිරිතක් ලෙස බලය තියෙන පක්ෂයට තමන් පක්ෂපාති බව කියන්නට බොහෝ ගැමියන් කැමති වූ බැවිනි.
එහෙත් මුළු පළාතම ආණ්ඩුවට පක්ෂ වූ ඒ කාලේ පවා ජයසිංහ පවුලේ කට්ටිය සහ ඔවුන්ට හිතවත් පවුල් කිහිපයක් දිගටම ශ්‍රී ලංකා එක සමග සිටියහ.
ඒ කාලේ ගමේ ප්‍රසිද්ධ ජ.වී. පෙ. සාමාජිකයා ( දැනටත් සිටින) පාලමළඟ ගෙදර මානික්කේ අය්යා 1971 සිපිරිගෙයි සිට පැමිණි අයෙකි.
නිල් සහ කොළ වශයෙන් බෙදී සිටි අපේ ගමේ බොහෝ අය මානික්කේ ගැන දැන සිටියේ ගමේ සිටි එකම සමාජවාදියා වශයෙනි.
මේ අතර මල්දෙණියේ බාස් මාමගේ පුතා අමරේ අය්යා , කිරඹඔයේ දයා මාමා , අපේ පල්ලැහැ බාප්පා සහ කිරඹ ඔයේ සමරසිංහ මාමා යන හතරදෙනා ඒ කාලේ වෙනමම කල්ලියක් හදා ගෙන සිටියහ.
පංසලේ, ඉස්කෝලේ සහ ගමේ අනෙකුත් පොදු වැඩ වලදී එකට සිටි මේ හතරදෙනා අපේ තාත්තලා සමගද හොඳින් ගණුදෙනු කලහ.
මේ හතරදෙනා අතරින් අපේ පොඩි බාප්පා සහ කිරඹ ඔයේ දයා මාමා ඒ වන විටත් විවාහ වී දරු සුරතල් බලමින් සිටි අයයි.
එහෙත් සමරසිංහ මාමා ( උක්කු පුංචිගේ අය්යා ) සහ බාස් මාමලා අමරේ අය්යා ඒ වනවිට සිටියේ අවිවාහක තරුණයින් ලෙසයි.
ඒ කාලේ අමරේ අය්යා බැංකුවක වැඩ කල අතර සමරසිංහ මාමා රත්නපුර පැත්තේ ඉස්කෝලෙක වැඩ කළේය.
ඔහු එකල කිරඹ ඔයේ සිටි එකම උපාධිධාරී ගුරුවරයාය.
මේ නම් සඳහන් කල ප්‍රගතිශීලින් අතරින් සමරසිංහ මාමා හැර සියළු දෙනාම උග්‍ර ශ්‍රී ලංකා කාරයෝ ලෙස හංවඩු ගැසී සිටියද සමරසිංහ මාමා මොන පාක්ෂිකයෙක් දැයි ගමේ කවුරුත් දැන සිටියේ නැත.
ඉතා නිහඬ චරිතයක් වූ ඔහු පන්සලේ වැඩ වලදී මෙන්ම ගමේ අනෙකුත් පොදු වැඩ වලදී කැපී පෙනෙන වැඩ කොටසක් කලේ මල්දෙණියේ අයගෙන් පිරිණු ඒ තැන්වල සිටි එකම කිරඹ ඔය සාමාජිකයා ලෙසයි.
අපේ සුභේරත්න මුත්තාගේ අය්යා ( බෝගොන් මුත්තා ) සමරසිංහ මාමගේ "අපුච්චා " ය.
ඒ වනවිටත් බෝගොන් මුත්තා සිටියේ සිය අසුවන දශකයේ බව මාගේ හැඟීමයි.
බෝගොන් මුත්තා මිය යයි.
දිනක් අපේ ගෙදරට දුව ආ හෙලගෙදර බණ්ඩාරේ ( බෝගොන් මුත්තාගේ ලොකු පුතාගේ පුතා ) තම මුත්තා මිය ගිය බව අපේ අම්මාට සැලකර සිටියේය.
මගේ සමවයසේ සිටි අයෙකු වූ බණ්ඩාරේ ඇතිමලේ බාප්පා ගේ මරණය දැනුම් දුන් දිනයේ තරම් කලබලයක් මේ පුවත අපේ අම්මා තුල ඇති කලේ නැත.
හේතුව බෝගොන් මුත්තා ඒ වන විටත් තම සැඳා සමය පසු කරමින් සිටීම විය යුතුය.
ආරංචිය රැගෙන ආ බණ්ඩාරේ සමගම කිරඹ ඔයට ගිය මම නැවත ගෙදර ආවේ බෝගොන් මුත්තා ගේ හත් දවසේ දානයටත් සහභාගී වීමෙන් අනතුරුවයි.
බෝගොන් මුත්තා ගේ මිනිය ගෙට ගෙනා වෙලාවේ සිට බණ්ඩාරේ ටත් මටත් රජ මගුල් මෙන් විය.
තැඹිලි පාට ඔරේන්ජ් බාර්ලි සහ කොළ පාට අලියා බීම බොමින් මන්චි නයිස් බිස්කට් කමින් අපි ඔහු මිය ගිය එක ගැන ශෝක වුනෙමු.
උක්කු පුංචි අප දෙදෙනාට කිසියම් වැඩක් පැවරුවේ නැතිනම් බිම බොමින් උදේ එසේ සිට රෑ වෙන තුරු ඔහුගේ මිනිය අසල ගැවසීම අප දෙදෙනා ගේ ප්‍රධාන රාජකාරිය විය.
මෙසේ මළ ගෙදරම අපේ කාලය ගතවෙද්දී බෝගොන් මුත්තා භූමදාන කරන දවසද ලඟාවිය,
බණ්ඩාරේ සහ මා හටද ඇති පදම් බිම සහ නයිස් බිස්කට් රස විඳීමේ අවස්ථාව ලැබුනේ එදාය.
ගමේ ගොඩේ මිනිසුන් මෙන්ම බෝගොන් මුත්තාගේ පුත්තු තිදෙනා ගේ හිතවතුන් ද මරණ ගෙදරට ඇදී ආහ.
කලබල අස්සේ අප දෙදෙනා අමතන උක්කු පුංචි
"ඒයි බණ්ඩාරේ උඹලා දෙන්නට පුළුවන් ද සොහොනේ වැඩ කරන මිනිස්සුන්ට තේ අරන් යන්න " යැයි ඇසුවාය.
"චුටි පුතා... ඉඳා මෙන්න මේක ගෙනියපන් උඹ" කියමින් පාන් මල්ලක් සහ පොල් සම්බෝල භාජනයක් මා හට දුන් ඈ..
"බණ්ඩාරේ උඹ ගනින් මේ තේ පෝච්චිය" කියමින් අප දෙදෙනා සොහොන වෙත පිටත් කළාය.
සාමාන්‍ය යෙන් සොහොනේ වැඩ කරන්නේ ගමේ මරණාධාර සමිතියේ සාමාජිකයින් විසින්.
මට මතක හැටියට සමරසිංහ මාමා ඒ කාලේ ඒ සමිතියේ ලේකම් හැටියටයි හිටියේ.
ඒ නිසාම බණ්ඩාරේ සහ මම සොහොන වෙත යන් විටත් සෑහෙන සෙනගක් සොහොනේ සහ සොහොනට යන පාරේ ගොක්කොළ සැරසිළි කරමින් සිටියා මතකයි.
මේ අතර දුටු යම්කිසි අමුත්තක් දුටු මා එය බණ්ඩාරේ ටද පෙන් වූවෙමි.
"බණ්ඩාරේ ..ඒයි අර මොක්කුද බන් ?
අපේ ගමේ කට්ටියත් එක්ක හරිහරියට සොහොනේ වැඩ කරමින් සිටි "රතු කමිස කාරයින්" පිරිස දුටු මම බණ්ඩාරේ ගෙන ප්‍රශ්න කලෙමි.
"ආ .. ඔය පොඩි බාප්පා ගේ පක්ෂේ කට්ටියනේ .
කොමියුනිස්ට් ද මොකක්ද එකක්.
ඒක නෙවෙයි.
මම අහගෙන අපේ බාප්පා ඒ ගොල්ලන්ට කතා කරන්නේ සහෝදරයා කියලා බං "
ඒ රතු කමිස කාරයන් බොහෝ දෙනෙක් රැවුල වවා සිටියහ .
සොහොනේ සිටි දහයක් දොළහක් පමණ වූ ඒ කට්ටිය අතර සිටි පුරුදු මුහුණක් දුටු මා තරමක් විමසිල්ලෙන් බැලුවෙමි.
මුහුණ පුරා ගැන රැවුලක් වවා සිටි ඔහු ගේ පැහැපත් සම නිසා ඔහුට නියමම විප්ලවවාදියෙකුගේ පෙනුමක් ලැබී තිබිණි.
මට එක් වරම හතරේ පන්තියේ සිටි මගේ යහළුවා චන්න ද සිල්වා සිහි විය .
චන්නයා වරක්
"මචං කවිඳු අපේ තාත්තා තමයි බං කොමියුනිස්ට් එකේ බදුල්ල ප්‍රධාන සංවිධායක "
කියලා ඔහුගේ පියා හඳුන්වා දුන් හැටි මා මතකයට නැගිණි.
හරියට හරි ඒ ඉන්නේ බදුල්ලේ සිල්වා අංකල් ය.
සිල්වා අංකල් ඒ කාලේ බදුල්ල ඩිපෝවේ වැඩකළ අයෙකි .
ඔහුගේ පුතා චන්න ද සිල්වා එවකට හතරේ පංතියේ සිටි මගේ හොඳ ගජයෙකි.
කොමියුනිස්ට් කාරයන් ගැන අපේ සමන්ත ගෙනෙනා "සෝවියට් දේශය " සඟරා වලින් කියවා තිබු මම ඔවුන් හොඳ මිනිසුන් සමුහයක් ලෙස වටහාගෙන සිටියෙමි.
දැන් දැන් මට සිද්ධියේ "පරිවර්තනයක්" දැනෙමින් පවතී.
එකත් එකටම අපේ සමරසිංහ මාමා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙකි.
චන්නලා තාත්තා එහෙම ඇවිත් බෝගොන් මුත්තාගේ මළ ගෙදර හරි හරියට වැඩ කරන්නේ ඒ නිසාය.
නිශ්ශබ්ධ චරිතයක් ලෙස සිටිනා අතරේ අපේ සමරසිංහ මාමා කිසියම් සමාජ පරිවර්තනයක් වෙනුවෙන් වැඩ කල බවක් පෙනෙන්නට තිබේ.
මම සිල්වා අංකල් ට කතා කලෙමි.
"අංකල් මම චන්න ගේ යාළුවෙක් . අංකල් ලා බිඳුණු වැවේ නේ කොහොමද අපේ පොඩි මාමා අඳුරන්නේ ?"
"පුතා සමරසිංහ සහෝදරයා ඉස්සර ඉඳන් අපිත් එක්ක වැඩ කරනවා.
එයාගේ තාත්තා වෙනුවෙන් එන්නේ නැත්නම් අපෙන් ඇති වැඩේ මොකක්ද?
හරි මම චන්නට කියන්නම් කෝ ඔයා හම්බවුණා කියලා "
තම පුතාගේ හිතවතෙක් හමුවීම ගැන ඔහු හදවතින්ම සතුටු වන බව පෙනෙන්නට තිබිණි.
විප්ලවීය ආචාරය
සොහොනේ වැඩ වලින් ඉවත්ව නැවතත් බෝගොන් මුත්තාගේ මිනිය තිබු නිවසට පැමිණි බණ්ඩාරේත්
මමත් සුපුරුදු පරිදි අලියා බිම බොමින් සිටියෙමු.
දැන් මිනිය ඔසවන වෙලාවත් පැමිණ තිබේ.
මළ ගෙදර ගුණකථන ආදිය සංවිධානය කලේ හරස්ගෙදර අමරේ මාමා විසිනි.
"ශෝකාකුල මෑණි වරුනි , පියවරුනි සහෝදර සහෝදරියනි..
මියගිය සත්ගුණවත් ටිකිරිබණ්ඩාර රාජපක්ෂ මහතා ගේ කනිෂ්ට පුත්‍ර රත්නය ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රභල සාමාජිකයෙක් .
ඒ කාලේ ගමේ ලොකුම යුඇන්පී කාරයෙකු වූ අමරේ මාමා කිසි කලබලයක් නැති ගානය.
"අවමංගල සභාව අමතා වචන ස්වල්පයක් පැවසීමට මේ ආරාධනය ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන සංවිධායක කේ. පී . සිල්වා මහතාට"
අමරේ මාමා චන්නගේ තාත්තාට මයික්‍රෆෝනය දුන්නේ පක්ෂයේ සහ සමරසිංහ මාමගේ සම්බන්ධය ගැන හොඳ විස්තරයක් අහගන්න විය යුතුය.
සැහෙන වෙලාවක් සමරසිංහ මාමගේ සමාජවාදී අදහස් සහ වැඩ ගැන සඳහන් කල සිල්වා අංකල් එවැනි පුතෙක් කිරඹඔය වැනි ප්‍රදේශයකින් බිහි කිරීම ගැන බෝගොන් මුත්තට ස්තුති කළේය.
අනතුරුව පැමිණියේ මිනිය සහිත දෙන සොහොන දක්වා රැගෙන යාමයි.
නැවතත් මයික්‍රෆෝනය අතට ගත් සමරේ මාමා
"දේහය සහිත දෙන නිවසේ සිට රැගෙන යන්නේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයයි.
අනතුරුව එය කිරඹඔය මරණාධාර සමිතියේ සාමාජික මහතුන් විසින් සුසාන භුමිය ආසන්නයේදී භාර ගන්නවා ඇත ."
යනුවෙන් නිවේදනය කළේය.
උක්කු පුංචි , බණ්ඩාරේ ලා අම්මා ඇතුළු ගැහැණුන් මරහඬ දෙද්දී රතූ කමිස සහ කළු කලිසම් හැඳ හිසේ පැත්තකට වන්නට තොප්පි දමා සිටි හය දෙනෙක් බෝගොන් මුත්තා ගේ මිනියට කර ගැසුහ.
ඉදිරියෙන් "යන් යන් රන්කඳ .." යන අනුසාරයෙන් වැයුනු දවුල් සහ තම්මැට්ටම් හඬ මධ්‍යයේ අවමගුල් පෙරහැර ගමන් ඇරඹුහ.
සිල්වා අංකල් ප්‍රමුඛ සමරසිංහ මාමගේ රතු සහෝදරයෝ බෝගොන් මුත්තා ගේ මිනිය රැගෙන තේවත්තේ ඉහලට ගමන් කරති.
ඔවුන් පසු කර ගිය බණ්ඩාරේත් මමත් අවමංගල පෙරහරේ ඉදිරියට ගමන් කළෙමු.
අවමංගල්‍ය පෙරහරේ මුලින්ම ගමන් කලේ රතිඤ්ඤ පත්තු කරමින් ගිය කොළු රෑනයි.
බණ්ඩාරේත් මමත් හිමින් සීරුවේ ඒ කොළු රෑනට එකතු වීමු.
"සාදුකින් පෙළෙන උන්- දැන් ඉතිං නැගිටියව් !!
අන්තිම සටනට සැරසියව්!!! අන්තිම සටනට , අන්තිම සටනට ...
අන්තිම සටනට සැරසියව්!!! "