Sunday, 31 December 2017

ලංකාව හදන්නේ කොහොමද ? (දහතුන් වියැති ශ්‍රී ලංකික ළමයෙකුගේ යෝජනාවක්)


ලැබුවාවූ 2018 වසර අපේ හිතවතුන් සියළු දෙනාගේම සිතුම පැතුම් සඵල වන යහපත් වසරක් වේවායි පතමු.

ඊයේ හවස ලැබුණු ආරංචියක් නිසා ගමේ සිදුවූ පොඩි දේශපාලන අලකලංචියක් ගැන ලියන්නට සිදුවුණා . එහි පළවූ කමෙන්ටුවක්  මේ සිදුවිම මගේ සිහියට නැගෙන්නට හේතුවක් වුණා.

එදා  2017 ජනවාරි මුලම දවසක්. ඊට දින කිහිපයකට පෙර ලංකාවට  ලඟා වූ අපි කෑගල්ලේ සිට බණ්ඩාරවෙල දක්වා යමින් සිටින මොහොතක්.

මම  මාසික කුළියකට මලිකි එකෙන් ගත හොණ්ඩා වෙස්ල් එක මගේ වගේ එලවන ගමන්.

අපේ සුපුන්  එහා පැත්තේ නිම්මි පිටිපස්සේ.

අපේ වාහනේ නුවර සිට රන්දෙණිගල පාරෙන් ඇවිත් බදුල්ල  හරහා බණ්ඩාරවෙලට එන ගමන්.

කෑගල්ලේ සිටම පාර දෙපස ඇති ගස්වැල්,  කඩපිල් , හරකබාන , කොල්ලෝ කුරුට්ටෝ , එහාට මෙහාට දුවන බල්ලෝ බළල්ලු දෙස බලමින් එන  අපේ සුපුන්  යමක් කියන්නට මෙන් සුදානම් වුයේ  ඇල්ල ප්‍රාදේශීය සභාවට අයත්   හෙල හල්පේ හරියේදී.

මාත් එක්ක දිගටම කතා බස් එකේ ආපු ඔහු වැදගත් කියා කිව හැකි  යමක් කියපු එක අවස්ථාවක් නිසා මේ සිද්ධිය මට හොඳට මතකයි.

අප මෙන් නොව තමා  පසු කර යන  ජීව , අජීව වස්තු ගැන ඉතා හොඳ කල්පනාවකින් ගමන් කල ඔහු  මෙය අප දෙදෙනාටවත් කිව යුතුයි කියා සිතන්නට ඇති.

රට හදන හැටි 

"පුතා මොකෝ කල්පනාව ඔස්ට්‍රේලියාව වගේ නෙවෙයි ලංකාව හරි ලස්සනයි නේද ? " 

විමතියෙන් මෙන් වට පිට සිදුවන හැමදේම නිරීක්ෂණය කරනා සුපුන් ගෙන් මම ඇසුවේ ඔහුගේ කට අවුස්සා ගන්නා රිසියෙන්.

"ලංකාව හොඳයි . හරි ලස්සනයි  හැබැයි පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න "

අපේ ලොක්කා දේශනාව පටන් ගත්තා .

"හරි හරි කියමුකෝ බලන්න මොනාද කරන්න ඕනේ කියලා ? " නිම්මි පිටිපස්සේ ඉඳන් කතාවට එකතුවුණා.

" මේ පාරේ හැමතැනම කුණු දාන එකයි,  හරක් පාරට එවන එකයි නවත්තලා පාරේ එහාට  මෙහාට දුවන බල්ලෝ පූසෝ ගෙවල් වල තියාගන්න ක්‍රමයක් හැදුවානම් ලංකාව මීටත් වඩා ලස්සණයි"

මගේ වාහනය හෙල හල්පේ හරියෙන් යද්දී සුපුන් තම ගම නගරය හදන යෝජනා මාලාවෙන් කොටසක්  අප දෙදෙනා හමුවේ තැබුවේ එලෙසයි. 




Saturday, 4 November 2017

බාලගිරි අදත් නොවේ.. හෙටත් නොවේ ..ලබන සතියේ





පසු ගිය කළාපයෙන්



අපේ අක්කාගේ කීම අසා පාරේ වැඩ නවත්වා දැමූ මම ටික කාලයක් වෙන වෙන වැඩ වලට යොමුවුණා.

අපේ ගමේ සහ අවට පවුල් දෙකකට නිවාස හදාගන්න සහයෝගය දෙන්න ගත්තේ මෙන්න මේ දවස් වල .


ඔහොම  ටික කලක් ගත වෙද්දී අපේ තාත්තාත් නිතර නිතර  ප්‍රාදේශීය සභා සභා ලොක්කට කතා කරලාම ඇති වෙලයි හිටියේ.

මේ අතර එතෙක් තුන් පැත්තකට පමනක් බෙදී තිබුණ පාරේ කෙලවරින් තවත් පැත්තකට පාර ගෙනයන්න අපේ ගෙට පහළ පැත්තේ කට්ටිය අලුතින් පාරක් කැපුවා.

ඒ නිසා එකම මගක යන පිරිසට තවත් පවුල් තුනක් එකතු වුණා.

අපේ තාත්තත් අලුතින් පත්වුණ මහඇමති තුමා වෙතටත් පාරේ කතාව අරන් ගියා.


මේ කිසි උත්සාහයකින් ඔහුට   තමන්ට අවශ්‍ය දේ කර ගන්න බැරිවුණා.

දැන්පාරේ ගමන් කරන පවුල් ගණන දහයකටත් වැඩියි.

මම පාරවල් සම්බන්ධ ආයතනයක ඉහළ නිලයකට කතා කලා.

" ඒක නෙවෙයි ඔයා අහවල් ආයතනයේ නේද දැන්ඉන්නේ ?

"ඔව් අය්යා මෙහාට ඇවිල්ලා දැන් අවුරුද්දකට වැඩියි "

 "අපේ ගමේ පාරක් තියෙනවා කවුරුත් බලන්නේ නැති .... ඒක ගැන පොඩ්ඩක් බලන්න බැරිද?"

"පුළුවන් අය්යා මොකක්ද කෙරෙන්න ඕනේ ?"

" මේක මේ අපේ  තාත්තයි අහල පහල ගෙවල් වල අයයි අවුරුදු ගාණක් තිස්සේ කර ගන්න දඟලන එකක්  .

කිසිම දේශපාලකයෙක් ඒ ගැන බලන්නේ නෑ . මේ පාර කරලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් "

"හරි අය්යා පවුල් හත අටකට වඩා යන පාරක් නම්  අපිට කරන්න පුලුවන්  .

ඒ පාරේ යන සියලුම දෙනා අත්සන් කරලා ඉල්ලීමක් කලොත් "

 ඒ අනුව මුලින්ම  අදාළ රාජ්‍ය ආයතනයට ලිපියක්  යොමුකලා  මේ මාර්ගය තම නිවාස වලට ප්‍රවේශ මාර්ගයක් ලෙස පාවිච්චි කරන හැමෝම එකතු කරගෙන.

සියලු දෙනාගේ  අත්සන් සහිත  ඒ ලිපිය අදාල කාර්යාලයට ලැබුණු පසු  එය ඔවුන්ගේ සහය ලැබිය යුතු ව්‍යාපෘතියක් ලෙස අනුමත වුණා.

ප්‍රධාන කාර්යාලයේ  මගේ පුද්ගලික හිතවත් කමක් තිබීම  මෙහිදී සැහෙන්න ප්‍රයෝජනවත් වුණා කීවොත් නිවැරදියි.

අනතුරුව  ඔවුන්ගේ   අනුදැනුම මත අපේ නගරයේ පිහිටි අදාළ රාජ්‍ය ආයතන සමගත්  සබඳතා ගොඩ නගා ගත්තා


ඒ  මමත් තාත්තත් දෙදෙනාම ඒ ඒ ආයතන වල නිලධාරීන් නිලධාරිනින්  හා කෙලින්ම කතා කිරීම මඟින්.

මේ සියලු කටයුතු කෙරුණේ අපේ ප්‍රදේශයේ දේශපාලකයින් හෝ ඔවුන්ගේ අපේ ගමේ සිටින අනුගාමිකයින්ට නොදැනෙන අයුරින්.

ඒ සඳහා ඉමෝ , ව්‍යිබර් , මුහුණු පොත ආදිය හරහා කාර්යාල තුනක සිටි අදාළ නිලධාරින්සමඟ ගනු දෙනු කරන්නට මට සිදුවුණා.

සති දෙකක් වැනි කෙටි කාලයක් තුල ව්‍යාපෘතියට අදාළ ඇස්තමේන්තුව සකස් වී අනුමත වීම අප ලැබූ ලොකු ජයග්‍රහණයක්.

ප්‍රධාන කාර්යාලයේ වගේම බණ්ඩාරවෙල පිහිටි අනෙකුත් කාර්යාල /ආයතන වල නිලධාරි මහත්ම මහත්මීන් බොහෝ දෙනෙක් මේ වෙනුවෙන් සහයෝගය දුන්නා.

කොන්ත්‍රාත් කරුවන් සෙවීම 




ව්‍යාපෘතිය අනුමත වීමෙන් පසු එළැඹියේ එය කිරීමට කැමති කොන්ත්‍රාත් කරුවෙක් සොයාගැනීමයි. බාලගිරි දෙවැනි වතාවට  අප සොයා ආවේ මේ අවධියේදී. 

මා දන්නා මිතුරු මිතුරියන් ගෙන් මෙන්ම තාත්තා දැන සිටි අයගෙන් ලැබුණු අවවාද ඔස්සේ කොන්ත්‍රාත් කරුවන් කිහිප දෙනෙකුටම කතා කලා.

එහෙත් පාර බලන්නට පැමිණි බොහෝ කොන්ත්‍රාත් කරුවන් කියා සිටියේ අදාළ ව්‍යාපෘතිය ප්‍රාදේශීය සභාව හරහා ලැබෙන්නේ නම් තමන් එය කරන්නට කැමති බවයි.

එහෙත් ව්‍යාපෘතිය අනුමත වී තිබුණේ මාර්ග සංවර්ධන අධිකාරය හරහා කෙරෙන ව්‍යාපෘතියක් ලෙස.

එයට හේතුව ලෙස ඔවුන් පැවසුවේ මාර්ග සංවර්ධන අධිකාරය සමඟ ගණුදෙනු එතරම පහසු නැති බවත් විශේෂයෙන් මුදල අනුමත වෙන්නට මාස ගණනක් වුව ගතවිය හැකි බවත්ය.

මේ අතර මා හා තාත්තා වරින් වර සෙවූ කොන්ත්‍රාත් කරුවන් හෙමින් හෙමින් මග හැර යද්දී එක් අයෙක් ගැන තාත්තාගේ අවධානය යොමුවුණා. මමත් මෙහි සිටි කිහිප වතාවක්ම ඔහුට දුරකතයෙන් කතා කලා.

"ඩොක්ටර් RDA එකේ ප්‍රොජෙක්ට් කරලා සල්ලි ගන්න අමාරුයි හැබැයි"

ඔහුත් පරණ කතාවම කියන්න ගත්තා.

"හරි හරි මම කොහොම හරි ඉක්මනට සල්ලි අරන් දෙන්නම් .

ඔයා හිරවුනොත් අපි උදව් කරනවා බය වෙන්න එපා .

වැඩේ පටන් ගන්න  "

මම ඔහුව උනන්දු කෙරෙව්වා.

එසේ කීමෙන්  මම අදහස් කලේ වැඩ ඉවර කරලත් ඔහුගේ මුදල් නොලැබුනොත් ඔහු ට ඉදිරියට කර ගන්නට ඇති වැඩ වෙනුවෙන් ණයක් වුනත් දෙන්නට මා සුදානම් බවයි.



දුරකථන ඇමතුම් දහයක් පහළොවක් දුන් පසු සති දෙක තුනක්ම ගතවුණා.

වැඩේ පටන් ගන්න පාටක් නෑ.

මම තාත්තාටත්  කොන්ත්‍රාත් කාරයටත් මාරුවෙන් මාරුවට කරදර කලා .


 අවසානයේ  පාරේ මුලික පස් සකස් කිරිමට පස් කපන යන්ත්‍රයක් එවන්න කොන්ත්‍රාත් කරු තීරණය කලා.




මේ තියෙන්නේ පාරේ වැඩ කෙරෙන මුල් අවස්ථාවේ ගත් චායාරූප ...





















දවස් දෙකක් ඇතුලත පාර මට්ටම් කල කොන්ත්‍රාත් කරු තාත්තට අළුත් යෝජනාවක් කලා.

" මේ දවස් වල මගේ අතේ සල්ලි නෑ. RDA වැඩ කරාම තවත් සල්ලි හිරවෙනවා .


 කියුබ් එකක් අහවල් ගාන ගානේ කොන්ක්‍රීට් ගෙනැත් දෙන කම්පැනියක් තියෙනවා.

 මේ මීටර් ගාන කරන්න ලක්ෂ හයක විතර කොන්ක්‍රීට් ඕනේ .

දොස්තර මහත්තයට කියන්න කොන්ක්‍රීට් වලට යන සල්ලි මට ලෝන් එකක් විදිහට දෙන්න කියලා

එහෙම වුනොත් සතියෙන් දෙකෙන් මේ පාර ඉවර කරලා දෙන්න පුළුවන්"


තාත්තා යෝජනාව මා වෙත ගෙනාවා.

"අපි සල්ලි දානවා නම් අපිටම කොන්ත්‍රාත් එක ගන්න තිබ්බනේ

මට නයට සල්ලි දෙන්න විදිහක් නෑ .

එයා ගේ අනික් වැඩ ඉවර වෙලා කරන්න කියමු "

 ඒ අනුව අපේ වැඩේ නතර කල කොන්ත්‍රාත් කරු තව මාසයක් ඒක හමාරක් යන තෙක්ම වැඩේ කල් දමමින් හිටියා.

"තව පොඩි වැඩ ටිකක් තියෙනවා . ඉවර කරලා එන්නම් "

 හැමදාම තාත්තා කතා කරද්දී යන පිළිතුර ඔහු දෙන්නට පුරුදු වුණා.


මම නිතර නිතර තාත්තාගෙන් අහනවා කවද්ද කොන්ත්‍රාත් කාරය ආපහු එන්නේ කියලා

"එයාට තව පොඩි වැඩ ටිකක් තියෙනවලු . ඉවර කරලා අද හෙටම එයි "

ඔහු බලාපොරොත්තු සහගතව පවසනවා.

මෙහෙම මාසයකට ආසන්න කාලයක් ගෙවී ගියා ..

මගේ පැත්තේ ඉවසීමේ සීමාවත් ඉක්මවා යන්න ලඟයි.

මම තවත් වතාවක් කොන්ත්‍රාත් කාරයට කතා කලා

" ඒක නෙවෙයි . තාත්තා කියනවා ඔයා තව සතියකින් එනවා,  දෙකකින් එනවා කියලා ඇත්තටම කවද්ද එන්නේ ?

මට කෙලින්ම ඇත්ත කියන්න ඔයා මේ වැඩේ කරන්න අකමැතියි නේද ?"

"නෑ ඩොක්ටර් මට පොඩි වැඩ වගයක් තිබුණා. "

ඔහු තව තවත් වැඩේ කල් දාන අරමුණෙන් වගේ කතා කරනවා.

"හරි ඒකට කමක් නෑ .

මම ළඟ මිනිහෙක් ඉන්නවා .

ඔයා භාගෙට කරපු ටිකට පස්සේ සල්ලි දෙන්නම් අපි ඒ මනුස්සයා දාල වැඩේ කරන්නද ?"

"හරි ඩොක්ටර් කමක් නෑ . එයා දාලා කරවන්න . මට ඩෝසර් කරපු සල්ලි පස්සේ ගන්න බැරියැ"

ඔහු ඒක පයින්ම මගේ යෝජනාවට කැමති වුණා.

මේ වෙනකොට අපේ අම්මලා ගෙදර තාප්පයක් බඳින්න මේසන් බාස් කෙනෙකුට දීලා තිබුනා

ඔහු අසල ලැයිමක ජිවත් වූ රාමන් නමැති  තරුණ මේසන් කෙනෙක් .


මම මේ මේසන් බාස් එක්ක කතා කරලා ඔහු වැඩේට කැමතිද ඇසුවා.


"රාමන් ඔයා මේ කොන්ත්‍රාත් එක බාර ගන්න හදිස්සියක් වුනොත් මම උදව් කරනවා "

ඒ අනුව රාමන් වැඩේ පටන් ගත්තා .

මමත් , අපේ අය්යා , අක්කා ඇතුළු හැමෝමත් එකතු කරගත් තාත්තා  රාමන් ට සිමෙන්ති, වැලි සහ කළුගල් වලට ගිය මුලික වියදම ණයක් ලෙස ලබා දුන්නා.

ඒ මුදල  රුපියල් ලක්ෂ හය හමාරක් හතක් විතර වුණා.


අවසානයේ  දවස් දහයක් වැනි කාලයකින් පාරේ වැඩ ඉවර කරන්නට මේ තරුණ මේසන් වරයා සහ ඔහුගේ සගයින් සමත් වුණා.


RDA එකේ තාක්ෂණික නිලධාරීන් , ඉංජිනේරුවන් ඇතුළු සියලු දෙනා ඔහු ඉතාම ඉහල ප්‍රමිතියකින් යුතුව පාර නිමකර ඇති බව සනාථ කලා.



මේ තියෙන්නේ ඒ දෙවන පියවරේදී ගත්  චායාරූප

















රාමන් ඇතුළු පිරිස පාරේ වැඩ කරමින්















Sunday, 8 October 2017

ජිවිත රැසක් බේරන්නට දැන දැනම දිවි පිදු සොඳුරු මිනිසෙක්


දිනය ඔක්තෝබර් දෙවැනිදා.  කීර්ති බණ්ඩාර තම සුපුරුදු රැකියාවට ( බණ්ඩාරවෙල ඩිපෝවේ බස් රථ රියදුරු)  පිටත් වුණේ තම දරු දෙදෙනා සහ ආදරණීය බිරිඳව දකින්නට නිවසට එන බලාපොරොත්තුවෙන්.

කීර්ති වැඩ කලේ බණ්ඩාරවෙල සිට හපුතල හරහා "ඌව කොස්ගම" දක්වා ධාවනය කෙරෙන බස් රථයේ.

මේ කියන වෙලාවේ  මගින් විස්සත් -තිහත් අතර පිරිසක් රැගත්  බස් රථය කීර්ති විසින් කොළඹ - බදුල්ල මාර්ගයේ ඌව කොස්ගම දෙසට ධාවනය කරමිනුයි සිටියේ.

බසය තිබුණේ හපුතලත් බෙරගල හන්දියත් අතර දැඩි වංගු සහිත කවුරුත් බෙරගල පල්ලම ලෙස හඳුන්වන කොටසේ.

වම් පසින් හපුතල කඳු බෑවුමත් (කොස්ලන්ද දෙසට ඇති)  දකුණු පසින්  උස වේල්ලත් තිබෙන කොටසක්.

මගීන් බොහෝ දෙනෙක් තම දවසේ වැඩ නිමවී ගෙදර යමින් සිටියේ ප්‍රිය අඹු දරුවන් දැක බලා ගන්නටයි.

කීර්ති වුණත් ඉන්නට ඇත්තේ "ටර්න්" එක ඉවර වී බසය නවතා දමා නිවසට යන බලාපොරොත්තු වෙන්මයි.

බසය ඇතුළේ තිබු සාමකාමී වාතාවරණය බිඳ හෙලමින්  යමෙක් උස්හඬින් කෑ ගසනු ඇසුණා.


"බස් එකේ බ්රේක් නෑ.. හැමෝම පිටිපස්සට යන්න .. හැමෝම පිටිපස්සට යන්න "


කියමින් රියදුරු කීර්ති බණ්ඩාර  කෑ ගසනවා.

 පල්ලැහැහින් පෙනෙන  පල්ලම දකින ඕනෑම කෙනෙකුට දෙවියන් සිහිවෙන මොහොතක්.

සියළුම මගීන් බස් රථයේ පිටිපස්සටම ඇදුනා.

ඒ අතරේ බසය අධික වේගයෙන් බෙරගල පල්ලමේ පහළට ඇදෙනවා.

රියදුරු කීර්ති බණ්ඩාර  බසය   පල්ලම දෙසට යන්නට නොදී   පාලනය කර ගන්නට උපරිම වෙර දරනවා.

අවසානයේ අධික වංගු සහිත මාර්ගයේ බසය පල්ලමට යා නොදී වලක්වන්නට ගත හැකි හොඳම ක්‍රියා මාර්ගය ගන්නට කීර්ති තීරණය කරනවා.

ඒ බසය රියදුරු අසුන පැත්තේ ( දකුණු පැත්තේ ) වූ වේල්ලට අල්ලා නවත්වන්නට තීරණය කිරීමෙන් .

අනිවාර්යයෙන් තමන්ගේ ජීවිතය අනතුරේ බව දැන දැනත් ඔහු මේ තීරණය ගන්නේ බසය අනික් පස පල්ලමට අල්ලා දකුණු පස රියදුරුට ඇති "හදිසි දොරටුවෙන්" පැනගන්නට  තමාට හැකි බව හොඳින් දැනගෙනමයි.

මේ වෙලාවේ කීර්ති බණ්ඩාරට තම දහය වසරේ ඉගෙන ගන්න වැඩිමහල් දරුවත්  දෙක වසරේ සිටිනා බාල  දියණියත්  සිහිවන්නට ඇති.

එහෙත්  තමාගේ  ජීවිතය පරදුවට තබන  මේ සොඳුරු මිනිසා තව ජිවිත විසි ගණනක් බේරා අපෙන් සමු ගන්නවා.

ඒ තම රාජකාරිය දේව කාරියක් ලෙස ජිවිතයේ අවසානය දක්වා ඉටු කරමින්.

"ජිවිත රැසක් ඔබ අතේය " අපි පාසැල් යන කාලේ බණ්ඩාරවෙල ඩිපෝවේ බස් වල රියදුරු  පිටුපස බලන කණ්නාඩියේ  ගසා තිබුණා මට මතකයි.

අපි පාසැල් ගියේ  මාර්ග අංක 320 ඇටම්පිටිය -බණ්ඩාරවෙල බස් රථයෙන්

අධික කඳු බෑවුම් සහිත බණ්ඩාරවෙල- ඇටම්පිටිය මාර්ගයේ  මේ 320 බස්රථය වංගුවක්   ගන්නා වාරයක් පාසා  "ජිවිත රැසක් ඔබ අතේය " කියන  වාක්‍යය ඛණ්ඩය රතු පැහැයෙන් වර්ණ ගැන්වෙනවා.

කීර්ති බණ්ඩාර පැදවූ බස් රථයේ එවැනි වාක්‍යයක් ලියා තිබුණත් නැතත් ඔහු එදා  ක්‍රියාකර තිබුණේ ජිවිත රැසක් ඔබ අතේය යන්න  ඔහුගේ හදවතේම සටහන් කර තිබු පරිද්දෙන්.

කීර්ති බණ්ඩාරගේ මේ පරාර්ථකාමීත්වය අගය කරමින් පසුගියදා මම මුහුණු පොතේ කෙටි සටහනක් දැම්මා.

එය දුටු අපේ ගමේ මල්ලී කෙනෙක්

"අය්යා මේ මගේ පංතියේ ඉන්න ළමයෙක් ගේ තාත්තා .

 දන්නා හැටියට පෙන්ෂන් එකකුත් නෑ.. 

ඉස්කෝලේ යන ළමයි දෙන්නෙකුත් ඉන්නවා ... 

අපි මොනවා හරි කරමු"  

කියලා පණිවිඩයක් එව්වා..

හරි මල්ලි අපි මොනවා හරි කරමු මට අකවුන්ට් නම්බර්ස් එවන්න 

මම පිළිතුරු දුන්නා

අපේ කාර්ය භාරය

දැන් එළැඹි තිබෙන්නේ අපට කල හැක්කේ කුමක්ද යන්න සිතීමේ වෙලාවයි.  

මා හා මගේ බිරිඳත් .. මුහුණු පොතේ හා බ්ලොග් කියවන අපේ හිතවතුනුත් එකතු කරගෙන අප මින් පෙර සිදු කලාක් මෙන් හැකි උපකාරයක්  කිර්තිගේ පවුලට කලයුතු යැයි හිතුණා. 

ගමේ හිතවතා කිර්තිගේ ළමයෙකුගේ පංති භාර ගුරුවරයා ද වන නිසා  ඔහු හරහා  අපේ සහය  කීර්ති බණ්ඩාරගේ පවුලේ අයට ලැබෙන්න සැලස්විය හැකියි.


ඔබ කිසියම් මුදලක් බැර කළහොත් ඒ බව මගේ මුහුණු පොතෙන්  හෝ මේ බ්ලොග් පොස්ට් එකෙන් දන්වන්න....


කීර්ති බණ්ඩාර මහතාගේ බිරිඳ නිල්මිණි තෙන්නකෝන් මහත්මිය ගේ බැංකු ගිණුමේ විස්තර



මේ අතර බණ්ඩාරවෙල රජ යේ රොහලේ සේවය් කරන අපෙ හිතවත් වෛද්‍යවරයෙක් මේ සිදුවීම ගැන උනන්දු වුණා.
ඔහු තමා හඳුනන  බණ්ඩාරවෙල ඩිපෝවේ සේවක මහතෙකුගෙන්  කීර්ති බණ්ඩාර පවුලේ විස්තර විශේෂයෙන් ඔවුන්ට උදව් කල හැකි ආකාරය ගැන විස්තර අසා තිබුණා.

එහි ප්‍රතිඵලයක් ලෙස කීර්ති බණ්ඩාර මහතාගේ බිරිඳ නිල්මිණි තෙන්නකෝන් මහත්මිය නමට හල්දුමුල්ල
ලංකා බැංකුවේ ඇති ගිණුමක විස්තර අපේ හිතවතාට ලැබී තිබුණා.


දැන් අප සියලු දෙනාට නිල්මිණි මහත්මියගේ නමට ඇති මේ බැංකු ගිණුමට අපේ සහයෝගය පළ කරන්න පුලුවන්.


ගිණුමේ නම:  T.M. P.W. Nilmini Tennakoon

බැංකු ශාඛාව: ලංකා බැංකුව, හල්දුම්මුල්ල


ගිණුම් අංකය: 81720917


රුපියල් සියයකින් හරි කමක් නෑ උදව් කරමු.

මේ මිනිසා කල වීර ක්‍රියාව ඇගයීමට. අපි හැමෝම සුලුවෙන් හෝ උදව් කල විත් ඔහුගේ දරුවන් දෙදෙනාටත් බිරිඳටත් එය ලොකු උදව්වක් ලෙස දැනේවි.


 බැංකු විස්තර මුලින්ම ලබා දුන් බණ්ඩාරවෙල රෝහලේ වෛද්‍ය "සරණ පෙරේරා අය්යා" ටත් ස්තුතියි.

2017/11/22...

දැන් අප සියලු දෙනාට නිල්මිණි මහත්මියගේ නමට ඇති මේ බැංකු ගිණුමටත් අපේ සහයෝගය පළ කරන්න පුලුවන්.





Monday, 18 September 2017

ස්වර්ණා ගේ අමුතු හිසේ කැක්කුම




ස්වර්ණා විවාහක කාන්තාවකි. මැදිවියේ පසු වූ ඇය පාසැල් වයසේ වු දරුවන් දෙදෙනෙකු ගේ මවකි.

ස්වර්ණාගේ සැමියා මෑතක රජයේ රැකියාවකට ඇතුල් වූයේ තරඟ විභාගයකින් සමත් වීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

රැකියාව ලැබීමට  පෙර නිවසේ අසලම පිහිටි කුඹුරු යායේ වගා කටයුතු කල ඔහු රජයේ රැකියාවක නිරත වූ ස්වර්ණාගේ ගේ දොර වැඩ වලටද  උදව් කලේය.

සැමියාගේ නව රැකියාව කාර්යාලයක ලිපිකරු තනතුරකි.

එතෙක් ඇඟ පත වෙහෙසා වැඩ කරමින් සිටි ස්වර්ණාගේ සැමියා බලා ඉඳිද්දී තරබාරු වන්නට පටන් ගත්තේ අලුත් රැකියාවේ තිබූ වැඩ අධික කමත් , රෑ බෝ වන තුරු අතිකාල සේවයේ යෙදීමත් නිසා ඉස්සර මෙන් අත පය වෙහෙසා කරන කිසිදු වැඩක් කරන්නට ඔහු හට වෙලාවක් නැති නිසා විය යුතුය.

එමෙන්ම ඉස්සර මෙන් තම බිරිඳගේ ඉවුම් පිහුම් වලට තබා ලමයින්ගේ වැඩ කටයුතු ගැන  හොයා  බලන්නට වත් ඔහුට වෙලාවක් නොතිබිණි.

සැමියාගේ නව රැකියාවත් ළමුන්ගේ අධ්‍යාපන කටයුතුත් නිසා ස්වර්ණාගේ ජීවිතය  ඉස්සරට වඩා කාර්යබහුල වන්නට විය.

"ඔයා අදත් වැඩ ඇරෙද්දි රෑ වෙනවද?  "

"ඔව් ඔව් මට අද පැය දෙක තුනක් ඕ ටී කරන්න වෙනවා. "

"අද මම පොඩිදුව පන්ති ගෙනියන්නත් ඕනේ.

ලොකුදුවගේ ඉස්කෝලෙ රැස්වීමට යන්නත් තියෙනවා අද"

"හරි හරි ස්වර්ණා  මටත් කන්තෝරුවේ වැඩ ගොඩගැහිලා ඔයා කොහොමහරි යන්න බලන්නකෝ"

සැමියා නව රැකියාව ඉතා උවමනාවෙන් කරන්නෙකි.

ඒ නිසාම  මෑතක සිට ස්වර්ණා කලයුතු වැඩ රාජාකාරි අධික වී ඇති බවවත් ඔහුට නොවැටහේ.

වෙනදාට වඩා වෙහෙස වී  වැඩ කිරීමටත් කිසිවකුගේ උදව්වක් නැතිව ගේ දොර වැඩ කිරිමටත් දැන් ස්වර්ණා ට සිදු වී තිබේ.

අම්මලා තාත්තලා නිතර නිතර ඈ හා කතා කළත් මෙවැනි දුෂ්කරතාවයක් ඇති බවක් ඇය ඔවුන් සමඟ වත් පැවසුයේ නැත.

කාලය හෙමින් හෙමින් ගලා ගියේ ස්වර්ණා  සහ පවුලට තවත් ගැටලුවක් ඇති කරමිනි.

මෙතෙක් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කල ඇයගේ සැමියා හදිසි හෘදය ආබාධයකට ගොදුරු වන්නේ මේ අතරයි.



ස්වර්ණා ගේ ප්‍රශ්න ගොන්නට සැමියා ගේ අනාගත හෘදයාබාධ ඇතිවීමේ අවධානමද එකතු විය.


සැමියාගේ හදිසි රෝගී තත්ත්වය නිසා ඔහුට සතියක් පමණ රෝහල් ගතවී සිටින්නටද සිදු විය.

වෛද්‍ය ප්‍රතිකාර ලබා නිවසට පැමිණි සැමියා පුරුදු පරිදි තම රැකියාව පටන් ගත්තේය.

ලමයින් දෙදෙනා ද ඉගෙනීමේ වැඩ හොඳින් කරගෙන යති.

 ස්වර්ණා ගේ නිවසේ කටයුතු නැවතත් සාමාන්‍ය අතට හැරෙමින් පවතී.

එහෙත් ස්වර්ණාට කිසියම් අමුත්තක් දැනෙන්නට විය.

හිසේ ඇතුලින් ඇති වූ කැක්කුමක් ම යැයි කිවනොහැකි අමුතු ගතියක් ඇයට දැනෙන්නට ගත්තේ මේ අතරයි.

"මගේ ඔලුව රිදෙනවා ඒයි. කැක්කුමකටත් වඩා නිකන් බර ගතියක් වගේ තමයි දැනෙන්නේ . "

ඇය තම හිසේ කැක්කුම ගැන සිය ස්වාමියාට සැලකර සිටියාය.

"පැනඩෝල් දෙකක් අරන් බැලුවේ නැද්ද ? හෙම්බිරිස්සාව වත් හැදෙන්න එනවද දන්නේ නෑ?"

  ඔහු ඇයට යෝජනා කලේ මේ පොඩි ඔලුවේ කැක්කුමක් විය යුතු යැයි සිතමිනි.

"පැන්ඩෝල් , ඩිස්ප්‍රීන් හැම එකම ගත්තා .

දැන් සෑහෙන දවසක් වෙනවා මේ කැක්කුමට.

ඔයාට වැඩත්  වැඩියි , ක්ලිනික් යන්න අරවා මේවා කරදරත් වැඩි නිසා මම කියන්නැතුව හිටියා. "

"එහෙම නම් බලා ඉඳලා හරියන්නේ නෑ ස්පෙෂලිස්ට් කෙනෙක් වත් අල්ලමු.

මම ආරෝග්‍යා එකේ වෙලාවක් ඉල්ලගන්නම්"

මුලින්ම කායික රෝග විශේෂඥයෙක් දෙවනුව ස්නායු රෝග ආදි වශයෙන් බොහෝ වෛද්‍ය වරුන් චැනල් කෙරිණි.

එහෙත් ස්වර්ණා ගේ හිස් කැක්කුම එසේමය.

මේ අතර ඇගේ හිතවත් නැන්දා කෙනෙක් මේ හිසේරදය ගැන දැන ගත්තාය.

ඇයගේ පුතා වෛද්‍යවරයෙකි.

"ඉන්නකෝ දුවේ මම අපේ පුතාගෙන් අහලා බලන්න කවුද මේකට අල්ලන්න හොඳම ස්පෙෂලිස්ට් කියලා ?

 ඔයාලා හොයන්නේ ඊඑන් ටී සර්ජන් කෙනෙක් ගැන් කිව්වා නේද?

මම  අපේ පුතාගෙන් අහලා බලන්නම්කෝ කවුද මේ හිස් කැක්කුම ගැන බලන්න හොඳ කියලා"

මේ ආකාරයට ස්වර්ණා ගේ හිසේ කැක්කුම  ඇගේ හිතවත් වෛද්‍යවරයෙකු  අතට පැමිණියේය.

ඔහු තම මවට පැවසුවේ තමාට  ස්වර්ණා  අක්කා සමඟ පෞද්ගලිකව කතා කල යුතු බවත්, ඉන් අනතුරුව ඇය යායුතු  විශේෂඥ වෛද්‍යවරයා ගැන තීරණය කල හැකි බවත්ය.

මේ වනවිටත් ඈ යායුතු වන්නේ මානසික රෝග විශේෂඥයකු වෙත විය හැකි බවට ඔහු තම මවට ඉඟි පලකලේය.

අනතුරුව එළැඹියේ මේ නෑදෑ දොස්තර මල්ලී සහ ස්වර්ණා අක්කා අතර ඇතිවූ කතා බහයි.

"අක්කේ කොහොමද?

අපේ අම්මා කිව්වා ඔයාට කාලෙක ඉඳලා අඩුවෙන්නේ නැති හිසේ කැක්කුමක් තියෙනවා කියලා?

ඩොක්ටර්ස්ලා කිහිප දෙනෙක් ගාවටම ගියාලු නේද?"

"ඔව් මල්ලී දැන් සෑහෙන කාලයක් වෙනවා. අය්ය ලෙඩ වුණ දවස් වල වගේ තමයි තදටම දැනුණේ."

ඔහුට තමා මවට කල ඉඟිය හරි විය හැකි බව වැටහෙන්නට විය . කෙලින්ම කතාවට බැසිය යුතු යැයි ඔහු තීරණය කලේ ඒ අනුවයි.

අක්කේ මේ කෝල් එකෙන් කතා කරන දේවල් දන්නේ අපි දෙන්නා විතරයි.

අපි කතාකරන දේවල් කිසි දෙයක් මම අම්මාට වත් වෙන කාට වත් කියන්නේ නෑ.

ඔයාගේ හෝ වෙන කෙනෙකුගේ ජීවිතයට අනතුරක් වෙන දෙයක් කියවුණොත් විතරයි මට මේ ගැන තව කෙනෙකුට කියන්න වෙන්නේ .

දැන් මම අහන ප්‍රශ්න වලට ඇත්තම උත්තර දෙන්න ඔයාගෙ ඩොක්ටර්ට කියනවා වගේ හිතලා.

"ඔයාට ඔළුවේ මේ අමුතු ගතිය දැනෙන්න පටන් අරන් කොච්චර කල් වෙනවද?  "

"මාස දෙක -තුනක් විතර"

"ඒක කක්කුමක්ම නෙවෙයි කිව්වනේ? එහෙමනම් මොනවගේද ඔයාට දැනෙන්නේ? "

"කියන්න තේරෙන්නේ නෑ මල්ලී  හරි අමුතු ගතියක් "

"එහෙමනම් මම මෙහෙම ඇහුවට කලබල වෙන්න එපා මට ඇත්තටම ඔයාට දැනෙන දේ දැනගනන ඕනෑ . ඒකයි මම මේ ප්‍රශ්න අහන්නේ."

"ඔයාට තද කණගාටුවක් ඔක්කොම එපාවෙලා වගේ හැඟීමක් දැනෙනවාද? "

" ඔව් මල්ලි මට එහෙම දැනෙනවා "

" භය හිතෙන දේවල් දැනෙනවද? මෙහෙම ඉන්නවට වඩා හොඳයි මැරිලා ගියානම් වගේ කියලා එහෙම හිතෙන ගතියක් ?"

"ඔව් ඔව් එහෙමත් හිතෙනවා . කිසිදෙයක් කරන්න හිතෙන්නේ නෑ . ඔක්කොම එපා වෙලා වගේ හිතෙනවා. "

"මම මෙහෙම ඇහුවට මොකුත් හිතන්න එපා මම හිතන රෝග තත්තවයද තියෙන්නේ කියලා දැනගන්නයි අහන්නේ
මහත්තයා එක්ක එකතු වෙන්න වත් වැඩි කැමැත්තක් නෑ වගේද හිතෙන්නේ "

" හරියට හරි මල්ලී ඒකටත් මේ මාස දෙක තුන පුරාම කිසි කැමැත්තක් නැති ගතියක් තමයි දැනුනේ "

"ඔයා කිව්වනේ මැරිලා ගියා නම් හොඳයි කියලා හිතුණා කියලා  ඒක කරන්නේ කොහොමද කියලා හිතල බැලුවද ? සැලසුම් මොනවා හරි සකස් කරනවා වගේ ?"

" නෑ .. මට නිතර නිතර එහෙම හිතෙන කොට භය හිතුණා . ඒකයි මම අය්යට කිව්වේ මගේ ඔලුවේ අමුතු ගතියක් තියෙනවා කියලා "

"මට හිතෙන්නේ ඔයාට විශාදය (depression ) කියන තත්ත්වය වගෙයි ඇතිවෙලා තියෙන්නේ .

ඒක මොළයේ රසායනික ද්‍රව්‍ය වල වෙනස් කමක් සිදුවිමෙනුයි ඇතිවෙන්නේ .

මේකත් අපිට ශරීරයේ ඇති වන ලෙඩ වගේම එකක් .

හැබැයි රසායනික වෙනස් කම බලපාන්නේ අපේ මනසට .

ඒ නිසා තමයි ඔය ඔයාට ඔය අධික කණගාටුවක් , හැමදේම එපා වෙලා වගේ දැනීමක් වගේම  සියදිවි හානි කරගන්න එක වඩා හොඳයි වගේ දේවල් දැනෙන්නේ .

මේකට  මානසික රෝග විශේෂඥකෙනෙක් මුණ ගැහෙන ඒකයි කරන්න ඕනේ .

මම දන්නා කෙනෙක් ඉන්නවා .

 එයා කෙලින්ම ගිහින් හම්බවෙලා කතා කරන්න .

එයා ඔක්කොම කරලා දෙයි.

තව දෙයක්,  ඔය වගේ  ලෙඩක් තියෙනවා කියලා අනික් අයට කියන්න  ගොඩක් මිනිස්සු කැමති නෑ.

ඒත් ඔයාට සමීප කිහිප දෙනෙක් මේක දැනගන්න එක හොඳයි.

 විශේෂයෙන් ඔයාගේ මහත්තයයි අම්මා තාත්තා දෙන්න වගේ "

මේ සාකච්චාවෙන් පසුව  ස්වර්ණා මානසික යෙකු වෙත යොමු වූ අතර ඇයගේ  මගපෙන්වීම යටතේ  ප්‍රතිකාර පටන් ගැනුණි.

ඇයගේ සේවා ආයතනයෙන්   ස්වර්ණාට නිවාඩු ලබා ගැනීමට අවසර ලැබුණි ( වැළඳුන රෝගය කුමක්දැයි ඔවුන්ට පැවසීමට අවශ්‍ය වුයේ නැත ).

සති කිහිපයක් ප්‍රතිකාර ලබද්දී ඇයගේ හිසේ තිබු අමුතු ගතිය අඩු වූ අතර ඇය නැවතත් පුරුදු පරිදි වැඩට ගියාය .


විශාදය ඇති බව දැනගන්නේ කොහොමද  ( ඊළඟ කොටසින්) 

Wednesday, 30 August 2017

සුවබර හෙටක් සොයනා දිරිය මවක්



මම ඇය හඳුනන්නේ නැත. කාගේ කවුරුදැයි යන්න දන්නේද නැත. ඈ ගැන දැන්ගත්තේ මෑතකදී අපේ ගමේ කෙනෙක් සමග කතා කරද්දීය.

එයත් ගමේ මිනිසුන් නිතර ගැවසෙන  තැනක සිදු වූ කතාවක් හරහාය.

"දන්නවද අහවලා? 

මම හරි කැමතියි එයාට ඔයාලට පුලුවන්ද අඩුම ගානේ පුවක් කොටයක් හරියට පාගගන්න? 

ඒකට අහවලා? 

උදේ පාන්දර බෙහෙත් ටැංකිය පිටේ බැඳන් කුඹුරට යනවා. 

බෙහෙත් ගහලා ඇවිත් ළමයි තුන්දෙනා ලෑස්ති කරලා ඉස්කෝලෙ යවනවා.ඊට පස්සේ කුඹුරු ගානේ ඇවිදලා පළා ජාති, අල කොල, වට්ටක්කා දළු වගේ දේවල් හොයාගෙන එනවා. 

ඒවා හන්දියට ගෙනිහින් තියාගෙන විකුණනවා. 

ඔයාලත් ගෑණු නේ බලන්නකෝ ඒකෙන් සීයට පහක් වත් ඔයාලා අතින් කෙරෙනවද කියලා? 

මම නම් හරි කැමතියි එයාට. 

අන්න ගෑණු."

අදහස් දැක්වීම ගමේ වැදගත් තැනක් "හිමි" අයෙකු අතින් සිදු වූවකි.

අනවශ්‍ය ඕපාදූපයක් මෙන් හැඟුනද  අවංකවම කිව්වොත් මා වුවද ඔහුගේ කීම අනුමත කරමි.

ඒ එවැනි කාන්තාවක් සිටින පවුලක් අනිවාර්යයෙන්ම දියුණුව කරා පිය නඟන බව හොඳින් දන්නා නිසයි.

අපේ අම්මා








දිරිය කාන්තාවක් සිටිනා පවුල දියුණුවෙන් දියුණුවට පත්වන බව  ක්‍රියාවෙන් පෙන්වූ හොඳම චරිතය මට ඉතාම සමීප  එකකි.  

එක් දහස් නමසිය අසූ ගණන් වල කුඩා දරු දැරියන් පිරිසක් සමඟ මේ කතාවේ එන කතා නායිකාවට සමාන භූමිකාවක් ඉටු කල ඒ චරිතය අන් කවරකුගේ වත් නොව අපේ අම්මාගේය.

"හේස් ප්‍රේ" ටැංකිය පිටේ බැඳන් කුඹුරට බැස්ස ඈ ඉතා ඉක්මණින් මා සහ අපේ අක්කා  ඒ රාජකාරියට පුහුණු කළාය. 

මේ කතාවේ එන නැඟණිය ද ඒ චරිතයෙන් පාඩමක් ගනු ඇතැයි සිතමි. 

ඒ අනුව ඇයගේ දරු දැරියන්ද අප මෙන් හැඩ ගස්වණු ඇතැයි බලාපොරුත්තුවක් මා තුල ඇතිවෙයි.

මේ නැඟණිය මෙන් පාර අයිනේ වෙළඳාමට  නොගියද අපේ අම්මා මා සහ අපේ අය්යා හරහා තමා නිපදවූ එළවලු වර්ග බණ්ඩාරවෙල සතිපොළට යවන්නට වග බලා ගත්තාය. 

එසේ සොයාගත් මුදල් අර පරිස්සමින් වියදම් කර තම දරුවන් ගේ අධ්‍යාපනයත් , ගේ දොර අලංකාරව තබා ගැනීමත්  , අවශ්‍ය ගෘහභාණ්ඩ  මිලදී ගැනීම පමණක් නොව මසකට වරක් හෝ දෙවරක් ළමයි ටිකත් රැගෙන එත්විල් එකට හෝ සීගිරියට ගොස් චිත්‍රපටියක් බලන්නටත් ඇයට මුදල් හදල් මෙන්ම වෙලාවද ඉතුරු වී තිබිණි.

මේ කියන කාලය වනවිට අපේ අම්මා වයස තිස් පහ -හතලිහ අතර වයසක පසු වූවාය.

මේ කතාවට පාදක වන අපේ ගමේ සිටිනා වර්තමාන දිරිය කාන්තාවද එවැනි වයසක පසුවන්නියක් බව මට ඈ ගැන තොරතුරු ලබා දුන් අය පවසා සිටී.

අපේ ගමේ වර්තමාන දිරිය මව සහ අපේ කාර්යභාරය





 ගමට යන හන්දියේ ඇති අපේ කතානායිකාව ගේ එලවළු තට්ටුව.



අපේ අම්මා අසූ ගණන් වල මදි නොකියා මහන්සි වීමේ ප්‍රතිඵල අද සැනසිළි සුවයෙන් භුක්ති විඳිමින් සිටියි. 

ඇයගේ දූ දරුවන් සියළු දෙනා අද තම තම රැකියා අංශ වල හිණිපෙත්තටම ගොස් හෝ ඊට ආසන්නයේ පසුවෙති. 

ගමක්,රටක් වෙනස් කළ හැකි තත්ත්වයේ දරු දැරියන් ඒ අතර සිටී.

 එදා අසූ ගණන් වල අම්මා සමඟ එක් වී දුටු සිහිනය මෙන්  අදටත්  (සැමදාමත්) මා දකිනා සිහිනයක් තිබේ . 

ඒ අපි සහ අපේ අම්මා  එකතු වී කල වික්‍රමය කල හැකි තව තව පවුල් අප උපන් ගම් ප්‍රදේශය පුරා බිහිවනු දැකීමේ සිහිනයයි.

එවිට තම අසල්වැසියාගේ බෙල්ල කපා හෝ පොඩි පොඩි දේශපාලකයින්ට ගැතිකම් පා  කේලාම් කියා යමක් කමක් උපයා ගන්නා ගැහැණුන් හා මිනිසුන් වෙනුවට අභිමානයෙන් ලෝකයට මුහුණ දිය හැකි ජනතාවක් අපේ ගම් වලද බිහිවනු ඇත.

ඒ සිහිනය සිත් හි රඳවා ගෙන කටයුතු කරද්දී හැකි පමණින් එවැනි නැඟී එන පවුල් සොයා ගොස් ඔවුනට නැගිටින්නට අතදීම මාගේ යුතුකම යැයි මට සිතේ.

මේ කතාවේ කතානායිකාවට සහ ඇගේ දරු දැරියන්ටද කිසියම් හෝ ආකාරයකින් අතදීමක් කල යුතුය. 

දැනට මම ඒ ගැන සිතමින් පසුවෙමි. 

 ස්වයං රැකියාවකට හෝ ඇය දැනට කරනා පාර අයිනේ වෙලඳාම දියුණු කර ගැනීමට හෝ උදව් උපකාර කල යුතු යැයි මට සිතේ .


අපේ බ්ලොග් පොස්ට් කියවන ඔබගේ අදහස් ද මේ සඳහා ප්‍රයෝජනවත් විය හැකිය.

ඔබේ අදහස් මෙහි පළ කරන්න.

ඉදිරි පොස්ට් එකකින් කළ හැකි/කලයුතු දේ මෙන්ම කල නොහැකි දේවල් ගැනත් කතා කරමු.

Wednesday, 5 July 2017

වසන්තයේ පුරවර වෙනුවෙන් සටන් කරන කවුද මේ වසන්ත



"වසන්තයේ පුරවර" එහෙම නැත්නම් බණ්ඩාරවෙල අපි කවුරුත් ආශා කරන නගරයක්.

වසර පුරා පැතිරුණු සෞම්‍ය කාලගුණයත්, පළාතේ ජීවත් වන මිනිසුන්ගේ කලබළ කාරී නොවන ජීවන රටාවත්, දේශිය විදේශීය සංචාරකයින් බණ්ඩාරවෙලට ඇදී එන්නට ප්‍රධාන හේතුවක්.




බණ්ඩාරවෙල රටටම එළවළු සහ මල් සපයන පළාත් අතරින් ප්‍රධානයි.

ශීතල දුරුතු මාසයේ සුදෝ සුදු මීදුම් වළාවෙන් වැසී යන බණ්ඩාරවෙල අවට ඇති කඳු මුදුන් එයට අමුතු චමත්කාරයක් එක් කරනවා.

බණ්ඩාරවෙල අවටින් ගලා යන දිය කඳුරු එක් වී වැලිමඩ සානුවෙන් පහලට වැටෙද්දී බිහිවන රාවණා , දුන්හිඳ සහ දියළුම දිය ඇලි හරිම සිත්ගන්නා සුළුයි.






මෙවන් සුන්දර දසුන් වලට උරුමකම් කියන බණ්ඩාරවෙල ප්‍රදේශය අද පවතින්නේ ඉතාම අවිනිශ්චිත සහ ශෝචනීය තත්ත්වයක.

වසර සිය ගනණක් පැරණි බණ්ඩාරවෙල නගරයට හරියටම යටින් දිවෙන උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතියේ උමං පද්ධතිය නිසා බණ්ඩාරවෙලට ඇතිවිය හැකි අහිතකර බලපෑම් ඉතා දරුණු විය හැකි විම ඊට
හේතුවයි.

මේ වනවිටත් බණ්ඩාරවෙල ප්‍රධාන පාසැල් හතරක්, පන්සල් , පල්ලි මෙන්ම ගෙවල් දහස් ගණනක් පුපුරා ඉරිතලා ගිහින්.


 දෙදහස්  අටේ ශ්‍රී ලංකා රජය සහ ඉරාන රජය අතර ඇති වූ ගිවිසුමක්  සහ  ඉරාන රජයේ ආධාර මත ආරම්භ වූ උමාඔය ව්‍යාපෘතිය මගින්  වැලිමඩ ප්‍රදේශයෙන් ගලායන උමා ඔය බණ්ඩාරවෙලට යටින් දිවෙන උමගක් තුළින් වැල්ලවායේ අලිකොට ආර දෙසට හැරවෙනවා.

මෙහිදී බණ්ඩාරවෙල අවට පරිසරයට විය හැකි තදබල හානි ගැන මුලසිටම විශාල ආන්දෝලනයක් ඇති වුණා.

විශේෂයෙන් "උමා ඔය සුරැකීමේ සංවිධානය"  නමින් පළාතට ලැදි පරිසර හිතකාමී පිරිසක් එක් වී පිහිටුවා ගත් සංවිධානයකින්  මේ ව්‍යාපෘතියේ ඇති අහිතකර බලපෑම් ගැන රජයට දන්වා සිටියේ ව්‍යාපෘතිය ආරම්භ වීමටත් පෙර ( 2007 ) සිටයි.

අපේ කථානායකයා  වසන්ත සංජීව කරළියට එන්නේ මේ උමා ඔය සුරැකීමේ සංවිධානය පිහිටුවීමත් සමග.

වසන්ත උමා ඔය සුරැකීමේ සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙක්.

උමා ඔය සුරැකීමේ සංවිධානයේ සභාපති වරුන් වූයේ කුරුකුදේ ජිනානන්ද හිමි සහ  කොටවර  කස්සප හිමියි.

මෙහි කැඳවුම් කරු වූයේ අද උමා ඔය සටනෙන් වෙන් කල නොහැකි ලෙස බැඳුනු චරිතයක් වූ සමන්ත විද්‍යාරත්නයි.

වසන්ත සංජීව එම සංවිධානයේ හොබවන්නේ සම ලේකම්  තනතුරයි.

වසන්ත සංජීව උමාඔය සුරකීමේ සටනේදී  එහි කැඳවුම්කරු  සමන්ත විද්‍යාරත්න තරමටම  ක්‍රියාකාරී සාමාජිකයෙක් .


එදා 2007 මෙම ව්‍යාපෘති යෝජනාව කඩිමුඩියේ රැගෙන එද්දී බණ්ඩාර වෙල සිටියේ රාජාභිෂේක අපේක්ෂාවෙන් සිටි රාජපක්ෂ වරු කියු ඕනෑම දෙයක් හිස් මුදුනෙන් පිළිගන්නා ජනතාවකි.


2007 දී උමා ඔය ව්‍යාපෘතිය පරිසරයට ඉතා හානිකර විය හැකි බවත් විශේෂයෙන් එය බණ්ඩාරවෙල නගරය අවට ප්‍රදේශයට බරපතල තර්ජනයක් විය හැකිබවත් කියමින්  බණ්ඩාරවෙල ජනතාව දැනුවත් කරන්නට සමන්ත සමග මුලින්ම පාරට බැස්සේ වසන්ත සංජීව සහ තවත් පරිසර හිතකාමීන් පිරිසකුයි.

එදා වසන්ත , සමන්ත සහ පෙරකී හිමිවරුන්  ජනතාව දැනුවත් කරන්නට මිරහවත්ත ප්‍රදේශයට යද්දී

" මෙන්න ජේ. වී. පී . කාරයෝ ඇවිල්ලා . මුන් සංවර්ධනයට කැමති නෑ . එලවපියව්!!! "

කියමින් මිරහවත්තේ ජනතාව වසන්තලාට බෝලත්තෙන්  පහර දෙන්න හැදුවාලු.

මේ ලියන දිනය වනවිට වසන්ත ලා ඒ අප්‍රසන්න අත්දැකීමට මුහුණදීලා අවුරුදු දහයක්  ගතවෙලා.

දැන් බණ්ඩාරවෙල මිනිස්සුන්ට වතුර බෙදන්නේ බවුසර් වලින්, ඇලවල්, දොලවල් , ලිං පොකුණු , කුඩා වැව්  ඔක්කොම හිඳිලා ගිහින්.

එදා රාජාභිශේක ලබන්නට සිටි අයට බණ්ඩාරවෙල මිනිස්සු දැන් හෙණ ඉල්ලනවා.

සමන්තලා වසන්තලා 2015 හොල්ලපු ගහෙන් ගෙඩි අහුලාගත් හරීන්ලා කොළඹට මාරුවෙලා එහෙ ඉඳන් ප්‍රකාෂ නිකුත් කරනවා.

ව්‍යාපෘතිය නැවතත් යහපාලන ආණ්ඩුවෙන් දිගටම කරගෙන යද්දි හරීන් , චමින්ද,චාමර,  ඇතුළු යහපාලන කණ්ඩායම් සද්ද නැතිව ඉන්නවා.

දැන් සමන්ත බණ්ඩාරවෙල මිනිස්සුන්ගේ ගැලවුම්කරුවා වෙලා.

අපේ ගමේ අය වුණත් වසන්ත ගැන එහෙම කතා කරන්නේ හරි ගෞරවයකින් .

බණ්ඩාරවෙල මිනිස්සු වසර දහයක් තුල අංශක 180 කින් හැරුනත් වසන්ත සංජීවලා දිගටම එම අදහසේම සිටිමින් උමා ඔය අහිතකර බලපෑම් ගැන කතාකලා.

ගමින් ගමට ගියා. රැස්වීම්, පෙළපාලි,  උද්ඝෝෂණ සංවිධානය කලා.

ඒ හරහා ව්‍යාපෘතියෙන් අගතියට පත්වුණ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටියා.

2017 ජුලී 28 වෙනිදා බණ්ඩාරවෙල මිනිසුන් එකාවන්ව වසන්ත සන්ජීවලා සමන්තලා ගෙනගිය සටන හරි බව පිළිගත්තා.

වසර දහයක් තිස්සේ සමන්තලා , වසන්තලා ඇතුළු උමා ඔය සුරකීමේ සංවිධානය ඉතා කැපවීමෙන් සහ විශ්වාශ කල නොහැකි තරමේ ඉවසීමකින් කරගෙන ගිය අරගලය තමන් වෙනුවෙන් කල උතුම් කැපවීමක් බව එදා බණ්ඩාරවෙල නගරයට රැස් වූ මහා ජනකායක් පිළිගත්තා.

දැන් අපේ ගම් වල මිනිස්සු, අපේ නෑදෑ හිතවත්තු වසන්තලා ගැන් අපෙන් අහනවා. මේ ඉටු කරන්නේ ඒ අයගේ ඉල්ලීම.

එහෙනම්  අපි බලමු කවුද මේ වසන්ත සංජීව කියන උමා ඔය සටනේ නොසැලෙන පුරුක කියලා.



කවුද මේ වසන්ත 



වසන්ත සංජීව බණ්ඩාරවෙල හීල් ඔය එගොඩගම ප්‍රදේශයේ උපන් අයෙක්. වසන්තගේ අම්මලා තාත්තලා පාරම්පරික එලවළු ගොවියෝ. 

බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වූ වසන්ත කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්. 

බණ්ඩාරවෙල ධර්මපාල මහා විද්‍යාලයේ චිත්‍ර කර්මය සහ සන්නිවේදනය පිලිබඳ ගුරුවරයා ලෙසයි වසන්ත සේවය කරන්නේ. 

ඔහු ජීවත් වෙන්නේ උමා ඔය ව්‍යාපෘතියෙන් වැඩිපුරම බලපෑමකට ලක්වූ හීල් ඔය ප්‍රදේශයේමයි. 

එදා වසන්තලාගේ විරෝධය මැද ආරම්භවූ උමා ඔය ව්‍යාපෘතිය නිසා වසන්තලා ගමේ එලවළු වගාවටත් කණකොකා හඬලා.  

හීල් ඔය හිඳිලා . ඒ පැත්තේ ලිං හිඳිලා , ගෙවල් පුපුරලා. මේ ව්‍යසනය ගැන බණ්ඩාරවෙල දැනුවත් කරන්න වෙහෙසෙන වසන්තලත් මේකේ බලපෑමෙන් බැට කනවා. 

ඒ මොනවා වුණත්  වසන්ත  තවමත්  2007 ආරම්භ කල ජවයෙන්ම උමාඔය සටන වෙනුවෙන් කැපවෙනවා.

බණ්ඩාරවෙල ඉන්නා අපේ හිතවතුන් කියනා හැටියට උමා ඔය සටනේ වසන්තගේ කාර්ය භාරය දෙවැනි වුණොත් දෙවැනි වන්නේ සමන්තට පමණයි .


2007 වසන්තලා , සමන්තලා කල අනතුරු ඇඟවීම් ගණනකට නොගත් බණ්ඩාරවෙල ජනතාවත්  දැන් අවධිවෙලා.

අපේ ගම්වල අපිත් සමග මුහුණු පොතේ ගණුදෙනු කරන මිනිස්සු දිනපතා අපට වත්මන් තත්වය ගැන දැනුවත් කිරීම් කරනවා.

ඒත් මේ වෙනකොට  උමාඔය ව්‍යාපෘතියේ වැඩ සියයට අසූවක්ම වාගේ අවසන්.

එදා කලින්ම අනතුර දැක්ක වසන්තලා තමන් කී දේ නෑසූ ජනතාව වෙනුවෙන් තවමත් පෙනී සිටිනවා.

ඒ උමා ඔය ව්‍යාපෘතියෙන් තම ජීවිත උඩු යටිකුරු වූ ජනතාවට ලැබිය යුතු දේවල් ලබා ගැනීමට සටන් කරමින්.

මේ කෙටි ලියවිල්ල ඒ  නොනිමි කැපවීම  වෙනුවෙන් ලියවුණු සුළු සටහනක් පමණයි.  

උමා ඔය සටන මිරහවත්තේ ජනතාව වසන්තලා ලඟටම ගෙනාවා සේම  මුලු රටම ඔවුන්ට ඇහුන්කම් දෙන තැනකට ගෙනෙනු ඇත. 


එදාට අපි වසන්තලා ගැන ගැන නැවතත් කතා කරමු.






Monday, 5 June 2017

කොච්චරක් බොනවද? (පවුලේ වෛද්‍යවරයා ගේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යභාරය)



පහුගිය දවස් ටිකේම  බ්ලොග් පැත්තට එන්න බැරි වුණා.

හේතු කිහිපයක්ම තිබුණා එහෙම වෙන්න. එකක් තමයි රාජකාරිය (දින කිහිපයක් එක දිගට වැඩ කරන්න වුණාම බ්ලොග් කියවන්න , ලියන්න , කමෙන්ට්ස් ලියන්න වෙන්නේ හරිම අඩුවෙන්) .

තවත් හේතුවක් තමයි අපි හැමෝගෙම සිත් සසල කරමින් , ජීවිත දේපල හානි කරමින් සිදුවු ගංවතුරක් කල විනාශය.

තවත් හේතුවක් තියෙනවා . ඒක නම් පෞද්ගලික හේතුවක් . ඒ පවුලේ වෛද්‍ය වරයකු  ලෙස ඔස්ට්‍රේලියාවේ සේවය කරන්නට සිතූ නිසා සිදූ වූ දෙයක්.

ඒක තමයි  අපේ වෘත්තියට අදාල පොත්පත් වල වැඩ කටයුතු වලට ඉස්සරට වඩා කාලයක් යොමුකරන්නට සිදු වීම.

ඒ පොත් කියවීම නිසාම තමයි අද මේ ලියන බ්ලොග් පොස්ට් එක ලියවෙන්නේ.

අද උදේ පාන්දර ඇඳට වෙලා ඉස්සරහ කාමරේ පෙනෙන පරිගණකයෙන්  මුහුණු පොත් ගත නොවී කියවු කාරනා ඔස්ට්‍රේලියාවේ පමණක් නොවෙයි ශ්‍රී ලංකාවේ පවුලේ වෛද්‍යවරුන් ( සමහරුන් කියන විදිහට පී පී කරන අපේ වෘත්තිකයන්) ටත් වැදගත් වෙයි කියලා හිතුණා.

මාතෘකාව - පී පී එකේදී සෞඛ්‍යානූකූල ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීම  ( Promoting healthy life style in General Practice) 







මේ ගැන කියවන් යද්දී මම ලංකාවේ ඉද්දි කල පී පී කෙරුවාවත් මතකයට නැගුනා. 

මිනිස්සුන් ගේ ජීවන රටාව ගැන ඔවුන් සමග පුද්ගලික බෙහෙත් ශාලාවේදී කතා කිරීම හරි පරිස්සමින් කල යුතු දෙයක් . 

මට මතකයි මම බෙහෙත් ශාලාව පවත්වාගෙන ගිය පළාතේ තිබුණ "කසිප්පු සහ හෙරොයින්" උවදුර ගැන මට මගේ හිතවත් සේවාදායක/දායිකාවන් විසින්ම පවසා තිබුණා. 

මේ මත් ද්‍රව්‍ය උවදුර නිසාම  මගේ බෙහෙත් ශාලාව තිබූ මේ පළාත (පේරාදෙණියට ආසන්න ප්‍රදේශයක් වුනත්)   තරමක නරක නාමයක් තමයි අරන් තිබුණේ.

කසිප්පු විකුනණ තැනැත්තාගේ පවුලේ අයත් , කුඩු විකුනණවා යැයි ප්‍රසිද්ධ පුද්ගලයාගේ පවුලේ අයත් මගේ ගනු දෙනු කරුවන් (කසිප්පු කරුවා පළාතේ නමගිය සිංහල බෞද්ධ දායකයෙක් වූ අතර කුඩු මුදලාලි ඒ ගමේම අනික් පැත්තේ ජීවත් වූ මුස්ලිම් හාදයෙක් ).

මේ දෙන්නාගෙන්ම තමන් කරන රැකියාව කුමක්ද යන්න එහෙම මම කලින්ම අහලා තිබුණා. 

කසිප්පු මුදලාලි ගොවි තැන් කිරීමත්  කුඩු මුදලාලි හරක් බැලීමත් තමයි තමන්ගේ ප්‍රාතමික රැකියාව විදිහට කලේ .

ඒ වගේ ඇඟපත වෙහෙසා කරන රැකියා ඉතා හොඳ බවත් සමහරුන් ඉතා පහසුවෙන් දියුණු වෙන්නට සිතා මත්ද්‍රව්‍ය විකීනීම වැනි දේවල් කරනා බවත් , එවැනි දේවල් නිසා දරු පවුල් අනාථ වෙන බවත් ආදී කරුනු ටිකෙන් ටික මේ දෙදෙනාටම කියන්නටත් මම අවස්තාවන් උදාකර ගත්තා. 

එහෙත් පළාතේ මත්ද්‍රව්‍ය උවදුර නම් අඩු වෙන පාටක් පෙනුණේ නෑ. 

හවස් වෙද්දී මගේ බෙහෙත් ශාලාව ඉස්සරහම වාගේ තිබුණ ගෙදරක ( මගේ ගනුදෙණු කරුවන් නොවන පවුලක්) එකම පිරිමි දරුවා  ( හෙරොයින් වලට ඇබ්බැහි වී සිටි කෙනෙක්ලු ) පාර මැදට වී හතර අතට වඳිමින් "සූර්ය වන්දනාව " කරනවා.

රෑ නමය දහය වෙද්දී ගමේ පංසල පැත්තෙන් කසිප්පු පදම වැඩිවීම නිසා සුද්ධ සිංහලෙන් ජාතිය අමතන කෙනෙක් ගේ හඬ ඇහෙනවා. 
මේ දිනවල මා නතර වී සිටියේ ඒ ගමේම තිබු විශ්ව විද්‍යාලයේ සරප් වරයෙකුගේ නිවසේ ඇනෙක්ස් එකේ. 

පහුවදාට සරප් මහත්තයා ලැජ්ජාවෙන් වගේ මා දිහා නොබලා වැඩට යන්නේ රාත්‍රී "ජාතිය ඇමතීම" මටත් ඇසෙන්නට ඇති බව දැනුන නිසාමයි.

මෙහෙම ටික දවසක් ගත වුණා. බෙහෙත් ශාලාවෙදි ගමේ බවලත් උදවිය අරක්කු/කසිප්පු බොන ස්වාමි පුරුෂයින් ගැන කියනවා. ගම්පොල පැත්තේ මන්ත්‍රී කෙනෙක් ගෙන් ගෙනත් ගමේ කුඩු විකුනණ හරක් බලන්නා ගැන කියනවා.

මම අපේ ගෙදර අයිති සරප් මහත්තයාට කතා කලා.

"ගුඩ් මෝනිං මිස්ට සුනන්ද"

"ගුඩ් මෝනිං ඩොක්ටර් කොහොමද විස්තර ? දැන් ක්ලිනික් එකට කට්ට්ය හොඳට පුරුදු වෙලා නේද?"

"ඔව් ඔව් දැන් දවසට පහලොවක් විස්සක් විතර වගේ කට්ටියක් එනවා මාව හම්බවෙන්න."

"ඒක නෙවෙයි සුනන්ද මහත්තයා. මේ ගමේ පංසල කොහෙද තියෙන්නේ?"

"මට පංසලේ ලොකු හාමුදුරුවෝ හම්බවෙන්න ඕන වෙලාවක."

"නියමයි ඩොක්ටර් අපි යමුකෝ වෙලාවක පංසල පැත්තේ .

ලොකු හාමුදුරුවොත් හරි සතුටින් ලු ඉන්නේ ඩොක්ටර්  කෙනෙක් අපේ ගමේම පදිංචි වෙලා ඉන්න එක ගැන."

කොහොම හරි ඒ දිනවල යෙදී තිබුණු වෙනත් වැඩ රාජකාරි නිසාම  මට පංසල පැත්තේ යන්න වෙලාවක් ලැබුණේ නෑ .

ඒ අතරේ දවසක් සුදෝ සුදු ඇඳුමක් ඇඳගත් උපාසක මහත්තයෙක් මගේ ඩිස්පැන්සරියේ පඩිපෙළ නගිනවා.

ඒත් එක්කම වඩින්නේ මැදිවියේ පසු වන හාමුදුරුවන් වහන්සේ කෙනෙක්.

මම ඉක්මණින්  මගේ  කබඩ් එක ඇතුලේ තිබුණු සුදු රෙද්දක් අරන් මා ලඟ ඇති රෝගීන්ට වෙන් කල පුටුවට දැම්මා.

"අපේ මහත්තයා කොහොමද? "

"හොඳින් ඉන්නවා ලොකු උන්නැහේ. මේ අපේ පංසලේ ලොකු හාමුදුරුවෝ වෙන්ඩ ඕනේ?"

"එහෙමයි එහෙමයි උන්නාස්සේට උණ හෙම්බිරිස්සාව හැදිලා බෙහෙත් ටිකක් ගන්ට කියලා එක්කන් ආවා."

"හාමුදුරුවනේ මෙහෙන් වාඩි වෙන්නකෝ .

අපි හම්බවෙන පලමුවෙනි වතාව මට හිතෙන හැටියට.

මම සුනන්ද මහත්තයා එක්ක කිය කිය හිටියේ පංසල පැත්තේ එන්න ඕනේ කියලා.

කොහෙද තවම වෙලාවක් හොයා ගන්න බැරි වුණානේ."

"ඒකට කමක් නෑ මහත්තයා . අපිට හරි සන්තෝශයි මහත්තයා වගේ කෙනෙක් ලඟ ඉන්න එක ගැන .

ගම්මු හැමෝම සුනන්ද මහත්තයාට පිං දෙනවා දොස්තර කෙනෙක් ගමටම ගෙනාවා කියලා."

"ඒක නම් ඇත්ත අපේ හාමුදුරුවනේ දැන් රාත්තිරි ජාමේ හදිස්සියක් වුනත් බය නෑ ගමේම දොස්තර මෙනෙම් ඉන්නවා නේ . "

උපාසක තැනත් ලොකු හාමුදුරුවන්ගේ කතාවට හූමිටි තිබ්බා.

මේ අතරේ මගේ සිත මම මුලින්ම පංසල ට යන්න හිතූ කාරණය වෙත ඇදී ගියා.


කසිප්පු , කුඩු සහ ඉන් මගේ සේවාදායක පවුල් වලට ඇතිවන අහිතකර බලපෑම්. 


මම සැනෙකින් අදාල මාතෘකාවට අවතීර්ණ වුණා.

"හාමුදුරුවනේ ගමේ  ඉන්න තියෙන එක නම් හොඳ දෙයක් තමයි ඒ වුණාට මත්කුඩු , මත්පැන් වගේ දුරාචාර වලට මිනිස්සු පෙළඹිලා නේ.

මේ ඊයේ පෙරේදත් මට ඇහුණා පංසල පැත්තේ බීපු මනුස්සයෙක් කෑ ගහනවා  මහා රෑ ජාමේ?

ඔය කසිප්පු විකුණන එක්කෙනා පංසල ලඟමලු නේද ඉන්නේ?"

"කසිප්පු කාරයෝ ඉන්නවා නම් තමයි ඒ හිටියට පංසලට නම් එයාලගෙන් කිසි කරදරයක්  නෑ මහත්තයෝ"

කියමින් හාමුදුරුවන්ට පෙර මට උත්තර බැන්දේ උපාසක තැන විසිණි.

"එහෙම කියලා හරියනවද නේද අපේ හාමුදුරුවනේ  පංසල කියන්නේ ගමේ මූලිකම ස්තානය ගමේ අකටයුතුකම් සිද්ද වෙනවා නම් දුරාචාර සිද්ධ වෙනවා නම් පංසලෙන් ඒවා නැති කරන්න ක්‍රියා මාර්ග ගැනෙන්න ඕනේ .

පළාතේ මිනිස්සුගේ වෛද්‍යවරයා ලෙස මටත් වග කීමක් තියෙනවා මේ ගැන මිනිස්සු දැනුවත් කරන්න.

ඔය කාරෙනෙත් හිතේ තියාගෙන තමයි මම පංසලෙට එන්න හිතුවේ.

ලොකු හාමුදුරුවෝ අවවාදයක් දුන්නම ගමේ මිනිස්සු ඒක පිළිගන්නවා.

ඒක නිසා ඔය කසිප්පු වෙළදාම කරන අයට ඔබ වහන්සේ අවවාද කරන්න.

ගමේ දුසිරිත් අඩුවෙන එක ගමටත් පංසලටත් දෙකටම හොඳයිනේ "

මම කියාගෙන ගියා.

"ඔව් ඔව් මහත්තයා කියන එක හරි අපි බලමුකෝ මොකද මේ ගැන කරන්න පුලුවන් කියලා. "

එසේ කියමින් මගෙන් සමුගන්නට සැරසුන පංසලේ ලොකු හාමුදුරුවෝ  රුපියල් අසූවක් වු මගේ ගාස්තුව මාවෙත ගෙවන්නට හැදුවේය.

මම එයෙ කාරුණිකව ප්‍රතික්ෂේප කලේ හාමුදුරුවන් ගෙන් ගාස්තුවක් අය කිරීමට මම කැමති නැති බව කියමිනි.

එදා මගෙන් බෙහෙත් රැගෙන ගිය පංසලේ හාමුදුරුවෝ නැවත වතාවක් අසනීප නොවූ නිසාදෝ යලි කිසි දිනක මගේ බෙහෙත් ශාලාවට වැඩම කලේ නැත.

මම මට හැකි පමණින් ගමේ සිදුවන අයහපත් ක්‍රියාකාරකම් ගැන පංසලේ හාමුදුරුවන් දැනුවත් කිරීමට හැකි වීම ගැන සතුටු වූයෙමි.

ඒ එදා මම ගමේ සෞඛ්‍ය ප්‍රවර්ධනයට පංසලේ හාමුදුරුවන් ගේ සේවය ලබා ගන්නට උත්සාහ කලහැටි.





අපි දැන් බලමු ඔස්ට්‍රේලියාවේ පවුලේ වෛද්‍යවරුන්  සෞඛ්‍ය ප්‍රවර්ධනය කල යුතු ආකාරය ගැන කියාදෙන හැටි.

මෙහි   ජනගහණයෙන් සියයට අසූවක් වසරකට එක් වතාවක්  වත් පවුලේ වෛද්‍ය වරයෙකුට ලඟට යනවා.

සාමාන්‍යක් ලෙස එක්කෙනෙක්වසරකට පස් වතාවක් පමණ තම වෛද්‍යවරයා හමුවෙනවා. ඒ නිසා ජනතාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා විශාල කාර්ය භාරයක් වෛද්‍යවරයාට කරන්න පුළුවන් .

වෛද්‍යවරයා ජනතාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා තමන්ට කලහැකි දේවල් ගැනත්, ඒ ගැන සාකච්චා කරන්නට තමන්ට උදාවෙන අවස්ථා ගැනත් සෑහෙන අවදියකින් ඉන්න ඕනේ.

මේ අවස්ථා උදාවෙන්නේ රෝගියා සමඟ තමා  පැමිණි කාරනය ගැන කතා බහ කරන අතරතුරමයි.

පවුලේ වෛද්‍යවරුන්ට මේ සම්බන්ධව තීරණ ගැනිමෙදී ප්‍රයොජනවත් වෙන ලියවිල්ලක් තමයි සෞඛ්‍ය ප්‍රවර්ධන  අරමුණු සහ ඉලක්ක  ගැන රජයෙ කමිටුවකින්  සකස් කර ඇති ලියවිල්ල.

ප්‍රධාන සෞඛ්‍ය ප්‍රවර්ධන  අරමුණු සහ ඉලක්ක කෙලින්ම යොමුවන කාරණා කිහිපයක් මීට ඇතුලත්.

ඒවා කෙටියෙන් මෙලෙස දැක්විය හැකියි.

1. ජනගහණයේ ගති ලක්ෂණ




ඔබේ සේවාදායකයා ( රෝගියා) කුමන සමාජ ආර්ථීක පසුබිමකින් එන කෙනෙක්ද ? 

ඔහු සමාජ වශයෙන් අවාසි සහගත කණ්ඩායමට අයත් කෙනෙක්ද? 

වැනි කාරණා පවුලේ වෛද්‍යවරයා සැලකිල්ලට ගන්න ඕන.

ගැමියෙක්ද? වතු කම්කරුවෙක්ද, පැල්පත්/මුඩුක්කු වාසියෙක්ද? යන කරුණු අපට සෞඛ්‍ය ප්‍රවර්ධන්යෙදී ඉතා ප්‍රයෝජනවත්.

ඔබේ රෝගියාගේ වයස, ගැහැණු - පිරිමි, බාල-මහළු ආදී ජීවිතයේ විවිධ අවස්ථාද ඔබට ප්‍රයෝජනවත් වෙනවා ඔවුන්ගේ සෞඛ්‍යය ඉහළ නැංවීමේදි. 


2. රෝගී වීමට හෝ මරණය ඇති කිරීමට ප්‍රධාන හේතු



හෘදරෝග සහ අංශභාග තත්වයන්, පිළිකා රෝග ( මුඛ, ස්වසන, පියයුරු, ගැබ්ගෙල,මහාඅන්ත්‍රය, සමේ), හදිසි අනතුරු සහ ආපදා, බෝවන රෝග, දියවැඩියාව,ඇදුම සහ මානසික රෝග( විශාදය, සියදිවි නසා ගැනීම්)


3. අනතුරුදායක තත්ත්ව සහ ගතිසිරිත් 



පෝෂණතත්ත්වය ( ඔබේ සේවාදායකයාට ප්‍රමාණවත් පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාරයක් ලැබෙන්නේද? )

ශාරීරික (ක්‍රියාකාරකම් ඔහු/ඇය ප්‍රමාණවත් ලෙස ව්‍යායාම වල යෙදෙයිද?),

අධි රුධිර පීඩනය, ලේ වල අධික කොලෙස්ටරෝල් තිබීම

ඔහුගේ/ඇයගේ ලිංගික ක්‍රියාකාරකම් (අනාරක්ෂිත  ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙයිද?) 

මත් පැන් සහ මත් ද්‍රව්‍ය භාවිතය (සිගරට්, දුම්කොළ, අරක්කු අවභාවිතය , කසිප්පු, වයින්, බියර් ආදියේ අවභාවිතය, ගංජා/මරිජුවානා, අයිස් වැනි නීත්‍යානූකූල නොවන ද්‍රව්‍ය භාවිතය)







ඔබ හමුවට එන සේවාදායකයා සමඟ මෙම කරුණු සාකච්චා කිරීමත් ඉන් අනතුරුව ඔහුගේ/ඇයගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමට ඔබට ඇති අවස්තා/ ප්‍රවර්ධනය විය යුතු පැති ගැන සිතාගැනීමත් පවුලේ වෛද්‍ය වරයා ලෙස ඔබේ/ අපේ වගකීමයි. 

මේ එක් එක් මාතෘකා ගැඹුරින් සලකා බැලෙන තවත් කොටසක්  ඉදිරියේදී

Thursday, 27 April 2017

මිහිරි සිහිනයක දැවටුණු මිහිරි ගීතයක් වාගේ





මේ වතාවේ මම ලංකාවට පැමිණි ගමනේදී මා හැදුනු වැඩුණු බණ්ඩාරවෙල පැත්තට කිහිපවරක්ම යන්නට අවස්තාව ලැබුණා.

සාමාන්‍යයෙන්  අම්මා සහ තාත්තා බලන්නට යන මුල්ම ගමන අප රටට පාතබා දිනක්  හෝ දෙකක්  ඇතුලත සිදු කිරීම මගේ සිරිතක් .

අප ගුවන් තොටුපළෙන් කෙලින්ම නිම්මිලාගේ මහගෙදරට යනනිසා එහි එක රැයක් ගතකර මගේ දෙමව්පියන් බැලීමට යෑමයි අපේ සිරිත.

මේ වතාවෙත් අපේ බණ්ඩාරවෙල යෑම සිදුවුනේ ඒ විදිහටමයි.

වෙනදාට වඩා වෙනසකට තිබුණේ අප වසර ගනණාවකින් වන් දැක නොතිබූ පවුල් හතරකට ගෙවල් හදා ගැනීමට සහය වී තිබීමත් , ඒ නිසාම ඔවුන්ගේ නිවාස බලන්නට යෑමට මට අවශ්‍ය වීමත්ය.

මේ ගමන් ගැන මගෙ සිතේ  තිබුණත් වසර ගනණාවකින් සියරට පැමිණි තම සොහොයුරා තම තම නිවාස වල කෑම වේල් වලට පැමිණෙන තෙක් බලා හිඳිනා අපේ සොහොයුරියන්  මට මග හැරිය නොහැකිය.







විශේෂයෙන් අපේ පුත්‍රයා සුපුන්  බණ්ඩාරවෙල ගමනෙදී ආවරණය කරන්නට යොදාගෙන තිබූ  රාවණා, දුන්හිඳ , දියලුම දියඇලි, හොර්ටන් තැන්න ආදී ගමන් බිමන් රාශියකි.

සුපුන්ගේ උපන්දිනය වෙනුවෙන් සූදානම් කර තිබූ  දාන මාන කටයුතු ද යොදාගෙන තිබුනේ මේ ගමන්වාරයටමය

රාජකාරී රාශියකි. හැමෝම සතුටුවන ලෙස ඒවා පෙළගැස්විය යුතුය.

සියල්ල ඉතා පරිස්සමින් කල යුතු විය. පොඩ්ඩ එහෙ මෙහෙ වුවහොත් සාමය කඩවිය හැකිය.

අප ලංකාවට පැමිණ සිටින්නේ නිවාඩු ගතකරන්නටය.

මගේ සිතැඟි ආශාවන්ට පමණක් මුල්තැන දිය නොහැකිය.

මේ කතාවට පාදක වන්නේ එසේ අපේ ගමට ගිය පළමු වතාවේ විනෝදචාරිකා, නෑදෑ හිතවතුන්ගේ ආරාධනා  ආදී නොයෙකුත් රාජකාරි මැද මගේ හිතට සතුටක් දෙන අනෙකුත් දේවල් වෙත මා යොමු වූ හැටියි.



$&# අපේ ගෙදර ඇවිත්




මේ කියන දවසේ මහ ගෙදර පැමිණි අපි අම්මා තාත්තා ඇතුලු පවුලේ අයත් සමග විස්තර කතා කරමිනුයි සිටියේ.

මගේ ජංගම දුරකතනය නොනවත්වා නාද වෙනවා.

මේ අතරේ කිසියම් නෙත් දෙකක් කලබළයෙන් මෙන්  මගෙ දුරකතනය දෙස තම අවධානය යොමුකරනවා.

"හලෝ දොස්තර මහත්තයා කොහොමද? "

එහා පැත්තෙන් කතා කරන්නේ කිරිඔරුවේ $&# රාජපක්ෂ , අපි උදව් කල හතරවෙනි නිවසේ අයිතිකාරයා.

"ගමේ ආවා කියලා නම් ආරංචි වුණා. ඒත් ඉතිං   අපට  තාම හරියට බලාගන්න බැරිවුණානේ .

දොස්තර මහත්තයාට මෙහෙ එන්න වෙලා නැතිව ඇති . අපි එන්නද ඔය පැත්තේ ඇවිත් යන්න? "

$&# මට පිළිතුරක් ගලපාගන්න ඉඩ නොදීම කියාගෙන යනවා.

"ආ $&# කොහොමද ? කොහෙන්ද නොම්මරේ හොයාගත්තේ?

අපි ඉතිං මෙහාට ආවා විතරයිනේ ? හිමිහිට හම්බවෙමු "

"නොම්මරේ නම් දුන්නේ @%%$&# . ඒත් ඉතිං ඔච්චර උදව්වක් කරපු එකේ අපිට ආසයි පොඩ්ඩක් දැකලා කතා කරලා යන්න.

මම ළමයිනුත් එක්ක ඉක්මනට ඔහාට ඇවිල්ලා යන්න එන්නම් "

$&# ගෙන් ගැලවීමක් නැති පාටය.

"හරි හරි පොඩ්ඩක් ඉන්න .

මම අනුන්ගේ ගෙදරකනේ ඉන්නේ අම්මාගෙන් අහලා බලලා කියන්නම් උදේ පාන්දර අමුත්තෝ ආවට කමක් නැද්ද කියලා. "

මම ගමන අනුමත කිරීමෙන් පසු විනාඩි කිහිපයක් ඇතුලත $&# සහ ඔහුගේ දරු දෙදෙනා අප නිවසට ලඟා විය.

නිම්මී කඩිමුඩියේ රටින් ගෙනා චොක්ලට් ආදිය කුඩා දරුවන් දෙදෙනාට බෙදා දුන්නාය.

මා අසලට වන් $&#තොරතෝංචියක් නැතිව කියවයි.

වහලය ගසා ගන්නට නොහැකිව තමා අවුරුදු දහයක් පමණ ලතවූ හැටි , හදිසියේ @%%$&# විසින් අප ඔහුගේ නිවසේ වැඩ වලට යොමු කල හැටි ආදී නිම්මී අසා නොතිබූ කතා රාශියක් ඒ අතර විය.

"ඒක නෙවෙයි දොස්තර මහත්තයා. @%%$&#ලා ගේ ගෙදර බලන්න ගියේ නැත්ද තවම?

ඒකත් හරි ලස්සනට තියෙනවා.  $&# මා තවත් අමාරුවක දමන්නට සූදානම්ය. "

මගේ අපහසුව තේරුම් ගත් තාත්තා ..

"නෑ තවම ගියේ නෑ අද දවල් වෙලා ඔය ගෙවල් ටික ඔක්කෝම බලන්න යන්න තමයි ඉන්නේ "

යැයි පිළිතුරු දුන්නේය.

ටික වෙලාවක් අපේ ගෙදර ගැවසුණු $&# සහ ඔහුගේ ළමයින් අපගෙන් සමුගත්තේ ඒ පැත්තේ එන ලෙස මට ආරාධනාවක්ද කරමිණි.

ඔවුන් පිටත් වී ටික වෙලාවකින් උදෑසන ආහාරය ගත් අප දිනයේ වැඩ කටයුතු ගැන සාකච්චා කලෙමු.

සුපුන් දියඇලි බලන්නට යා යුතු යැයි කියයි.

නිම්මිද ඒ අදහසට හූමිටි තැබුවේ.

"මෙහෙම ගියොත් මිනිස්සු එක්ක කතා කර කරම කාලේ ගතවෙයි ඔය කොහේවත් යාගන්න බැරිවෙයි"
 කියමිනි.

කට්ටිය එසේ කීවද අම්මලා පුතාලාට  ගමනක් යාමට සූදානම් වීමට අඩුම තරමින් පැයක් දෙකක් වත් ගතවේ

මේ අතර තාත්තා කදිම යෝජනාවක් ගෙනාවේය.

"චුටි පුතා වෙලාවල් බල බලා හිටියොත්  ඔය කොහේවත් යන්න බැරි වෙනවා.

දුවයි , සුපුන් පුතයි ලෑස්ති වෙනකම් අපි ටක් ගාලා අර ගෙවල් ටික බලලා එමුද?

එක ගෙදරකට විනාඩි පහයි.

තේ බි බී එහෙම ඉන්න ඕනෙ නෑ .

ගියා

ගෙදර වැඩ හොඳට කරලාද බැලුවා.

වචනයක් දෙකක් කතා කලා .

ආපහු ආවා. "

අපේ කඩිමුඩියට ගැලපෙන පන්නයේ ඒ යෝජනාව මගේ සිත්ගත්තේ  සියලු ගමන් බිමන් කරන අතරේ අපේ හිතවත් නිවාස හිමියන් මුණගැහෙන්නට වෙනත් හොඳ ක්‍රමයක් සිතට නොනැගුණු බැවිණි

මිහිරි සිහිනයක දැවටුණු මිහිරි ගීතයක් වාගේ






දණි පණි ගා ඩෙනිමක් සහ ටීසර්ට් එකක් දමා ගත් මම ගමනට සූදානම් වීමි.  

සරමක් කමිසයක් ඇඳගෙන  පොඩි කාලේ වගේ ගම මැදින් පයින් ගොස් කිරිඔරුවේ මහ පේළිය කුඹුරු යාය හරහා $&# ලා ගෙදර පැත්තට යන්නට මගේ හිත කීවද  මා වටා ඇති "පවුරු වළලු" බිඳින්නට මට සිත් නොදේ. 

"චුටි පුතා ඔයාට පිස්සුද? හොඳ ඇඳුමක් දාගෙන යන්න. රටකින් රටකට ඇවිල්ලා ඔහොමද ගමනක් යන්නේ  ?"

අම්මා විමසනු නොඅනුමාණය. 

"මල කෝළං මෙන්න මෙයා පොඩි එකා වෙන්න හදනවා"

තව කෙනෙක් කියනු ඇත. 

මම කළබල , කතාබහ අඩුම ක්‍රමය තෝරාගත්තෙමි.  

කාරය පණගන්වා ගත් මම තාත්තාත් සමග කිරිඔරුව පැත්තට එය ධාවනය කලෙමි.

වාහනය පාරට ගනිත්ම තාත්තා මට ගමන් මාර්ගය සහ එක් එක් නිවසේ ගට කරණ කාලය ගැන හැඳින්වීමක් කලේය.

ඊට අනුකූලව අපට මුලින්ම යාමට තිබුණේ  @%%$&#  සහ &##යුවලගේ නිවසටයි .

වෙනත්  විදිහකින්  කියනවානම් නිම්මී , මා  සහ සුපුන් ලංකාවට එනතුරු වැඩිපුරම උනන්දුවෙන් බලා සිටි නිවස වෙතයි .

මම මාරබැද්ද- මල්වත්ත පාරෙන් &##ලා නිවසට දිවෙන අඩිපාර අසල වාහනය නැවත්තුවෙමි.

"මතකයිනේ චුටි පුතා තේ බිබී එහෙම ඉන්න බෑ ඔන්න  .

ගෙදර බැලුවා.

චුට්ටක් කතා කලා .

ඕනෑම නම් ෆොටෝ එකක් දෙකක් ගත්තා .

ආපහු ආවා. "

තාත්තා මට කල්තියාම කාලය පිළිබඳව අනතුරු ඇඟෙව්වේය.

ඒ මම යමෙක් සමග කතාවට වැටුණ පසු කාලය පිළිබඳ එතරම් තැකීමක් නොකරන බව ඔහු හොඳින් දන්නා බැවිණි.

චමින්දලා කුඹුර මැදින්  ගොස් @%%$&# නව නිවසට ගොඩ වුයෙමු. අප දැකීමෙන් &## සහඇයගේ දරු තිදෙනා බෙහෙවින් සතුටු වූ බව පෙනෙන්නට තිබිණි .




@%%$&#  සහ &##ගේ නිවසේ චායාරූපයක් 




වසර විස්සකටත් වැඩි කාලයක්  හැබහින් දැක නොතිබූ නමුත්  ඔවුන්ගේ හිසට වහලක්  සපයා දීමට වෙහෙස වූ කෙනෙක් නිවසේ එළිපැත්තටම  පැමිණ තිබීම ඊට හෙතුවන්නට ඇත.

"සීයා වාඩි වෙන්න  , වාඩි වෙන්න චූටි මාමා , තේ එකක් හදන්නම් බොන්න? "

"ඒක නෙවෙයි  කෝ නෝනයි සුපුන් බබයි එහෙම?  ඇයි එයාලා ආවේ නැත්තේ ?"

කළු ආගන්තුක සත්කාරයට සැරසෙයි

( අප &##ලාට කිසිම ආකරයකින් නෑදෑයින් නොවුනද &##ලා කුඩා කල නිතරම සිටියේ අපේ අසල්වැසි ජේන් අක්කා ගේ ගෙදරයි. ජේන් අක්කා &## ගේ ආච්චී නිසා ඔවුන් පුරුද්දකට වාගේ අපේ අම්මාට "ආච්චි" කියන්න්ත් අපට "නැන්දා , මාමා " වැනි "නෑදෑකම්"  කියන්නත් පටන්ගත්හ) 

"තේ බි බී ඉන්න බෑ . අපිට යන්න තියෙනවා .

$&#ත්ලා ගෙදරටයි එයාලා අක්කලා ගෙදරටයි  ඒ ගෙවල් දෙකටත් යන්න තියෙනවානේ "

තාත්තා සුපුරුදු "ගමන් හදිස්සිය"  ඉදිරියට දැම්මේ මටද අනතුරු හැඟවීමක් ලෙසිණි.

තාත්තා සහ &## ආගිය තොරතුරු කතා කරනා අතරේ  මම අප සෑදූ මුල්ම නිවසේ විස්තර බලමින් මිදුලට බැස්සෙමි.

අනතුරුව චමින්දලා අප්පච්චී විසින් &## ලා ට වෙන්කර දී තිබූ ඉඩම් කොටස සහ එහි සිට මහපාර දක්වා දිවෙන අඩිපාර අධ්‍යනය කලෙමි.

අධික බෑවුමක් සහිත අඩිපාර අලුතින් වල් ගස් කපා දමා පිළිවෙලක් කර තිබුණත් අල්ලපු වත්තේ වැටට හිටවා ඇති ගසක අත්තක් දෙකක් මගේ ගමනට අකුල් හෙලූ අවස්ථාද තිබූ බව මතකය.



මේ අඩිපාර කෙලින්ම පහළට ගොස් වැටෙන්නේ චමින්දලා කුඹුරත් තවලම්පොළ සුගත් අය්යලා කුඹුරත් වෙන් කරන ඇල වේල්ල ලඟටය.



ඒ ඇල කණ්ඩිය දිගේ ගොස්  $&#ත්ලා ගේ කුඹුරට ලඟා විය හැකිය.

ඒ කාලේ  (නමසිය අසූගණන් වල ) මමත් අපේ අය්යාත් $&#ත්ලා කුඹුරේ පැල් රකින්න ගියේ මේ කියන ඇල වේල්ල  දිගේ ඉහළට ගමන් කිරීමෙනි.

ඒ කැහපට ගස ගසා ගත් ඉරි ඉරි සරමත් රෑ සීතලට ඔරොත්තු දෙන ලෙස අම්මා සකස් කර දුන්  කහපාට බේල් " ජර්සියත් " යන  ඇඳුම් ආයිත්තම් වලින් සැරසීගෙනයි.

පැල් රකින්න යන ඒ ගමනේදී මගෙ එක අතක ටෝච් එකත් අනික් අතේ අපේ මුරකාර සහායක ටොමියා ගැටගැසූ දම්වැලත් තිබුණා මතකය.

මා සිත ඉතා වේගයෙන්  සිහිනයක් බඳු ඒ සුන්දර කාලයට ඇදී ගියේය.

ටොමියාත් රැගෙන   යන ගමනේදී පයේලා තිබූ සීපා සෙරෙප්පු දෙකෙන් චිරි චිරි ගේ මඩ පාගමින් ,  සෙරෙප්පු පටි දෙකේ මඩ ගැල්වී වැඩි වූ විටෙක ලිස්සා වැටෙමින්,  ගිය මුර සංචාරය නැවතත් යන්නට මගේ සිත මට බල කරන්නට විය

කැහැපට ගැසූ සරම් සහ සීපා සෙරෙප්පු නොව ඔස්ට්‍රේලියානු රෙදි සාප්පු වලින් ගත් ඩෙනිම් සහ නවීන පන්නයේ සපත්තු පැලඳ සිටින බව මට මොහොතකට අමතක විය.

එමෙන්ම හැකි ඉක්මණින් නිවස බලා යෑමට බලා සිටින තාත්තා කළුලා ගෙදරට වී සිටිනා බවද ඒ අයුරින්ම අමතක විය.

මම ඇල කණ්ඩිය දිගේ ඉහළට ගමන් කලෙමි.

ඇල කණ්ඩියේ වැවී තිබූ ලා තණපත් මත රැඳි මුතුවන් පිණිකැට මගේ පාවහන් පමණක් නොව කලිසමේ පහළම කොටස්ද හිමින් හිමින් තෙතබරිත කළේ ය.

මම $&#  කුඹුර අසලට ළඟා වුණෙමි.

මේ කුඹුරු වල ගොයම් කන්නය අහවර  වී එලවළු  වගා කර තිබුණු කාලයක්.

$&#තුත් තමන්ගේ කුඹුරේ බෝංචි හදලා තිබුණා.


















අපි ඒ කාලේ අල හදලා තිබ්බ මහලියද්ද පුරාම නිලට නිලේ දිලිසෙන බෝංචි යායක්.

මම බෝංචි කොටුව අයිනෙන් තව ටිකක් උඩහට ගමන් කරා.

 $&#ත්ගේ පැල..............






අය්යත් මමත් ඒ කාලේ  පැල හදපු තැනම  (ගොඩ ලියද්දේ කෙලවරට වෙන්නට  ) හදලා තියෙනවා.

මට ටොමියා පැල් කණුවක බැඳ තබා  , පැලේ බිම ගිනි මැලයක් හෙම  ගසා (අල මුරකරන මුවාවෙන්)  හිතේ හැටියට නිදාගත් හැටි මතක් වෙනවා.




අතේ තිබ්බ ජංගම දුරකතනයෙන් $&#ත්ගේ පැලෙත් , බෝංචි කොටුවෙත් චායාරූප ගැණුනේ ඉබේටමයි.


$&#ත්ගෙ බෝංචි කොටුව


$&#කුඹුරේ හිටියේ නෑ . ඒත් අල්ලපු කුඹුරු වල එලවළු වලට පස් දාමින් කට්ටියක් ඉන්නවා. මම ඉබේටම ඒ පැත්තට ඇදුනා.

රත්පහේ බණ්ඩාරේ, හෙලතැන්නේ පොඩ්ඩේ අය්යා , රාළහාමී අය්යා ඇතුළු අපේ ජලේ ඉඳන් ම ගමේ එලවලු හදන කාණ්ඩයක් .


 ඒ අයත් එක්ක කතාවට වැටුණා.

මේ අතරේ මගේ දුරකතනය නොනැවතී නාද වෙනවා. එක පාරක් තාත්තා , අනික් පාර &## .. මම ඒවාට උත්තර නොදී අතීතයත් වර්තමානයත් යා කෙරෙන ඒ මොහොත රස විඳිනවා.

කොහොමෙන් කොහොම හරි පැය භාගයක්-පැයක් විතර කාලයක් කිරිඔරුවේ කුඹුරු යාය මැද ගතවෙද්දී තාත්තා &## හදා දුන් තේ එක එහෙම බීලා නොඉවසිල්ලෙන් මට ඇමතුම් දෙනවා.


"චුටි පුතා මේ තේ එකත් නිවෙනවා . ඔයා කොහෙද ඉන්නේ? "

හරි හරි මේ එනවා. පරණ යාළුවො කට්ටියක් හම්බ වුණානේ "

මම  &##ලා ගෙවල් පැත්තට යන අතරේ එයාලගේ ලොකුපුතා මාව හොයාගෙන පල්ලැහැට බහිනවා.




&## ගේ කුඩා එලවලු පාත්තිය



"දැන් අනික් ගෙවල් වල යන්න වෙලාවක් නෑ .

අරෙහේ අම්මලා පුතාලා බලාගෙන ඇති .

අපි කෙලින්ම ගෙදර යමු තාත්තා .

පස්සේ වෙලාවක $&#ත්ලා ගෙවල් පැත්තේ එන්න බැරියැ.  "

"චුටිමාමා... මේ තේ එක?"

&##ගේ තේ කෝප්පයත් සප්පායම් වූ මම තාත්තා සමග වාහනය පැත්තට ගමන් කලා.











මා බ්ලොග් වසන්තය ට ලියූ අනෙක් ලිපි

1. අවුරුදු සූදානම (අවුරුද්දට කෙසෙල් ඉදවූ හැටි)


2. අපේ කුණුවල 







Friday, 21 April 2017

අපේ කුණු වල



මෑතක සිදු වූ මිතොටමුල්ලේ  කුණු කන්ද නාය යෑම සහ ඒ නිසා සිදු වූ ජිවිත හා දේපළ හානිය ගැන කවුරුත් කතා කරන්නේ අධික කම්පනයකින් යුතුවයි.

මේ අවාසනාවන්ත සිද්ධිය නිසා කවුරු කවුරුත් කසළ බැහැර කීරීම, පොලිතීන් සහ සිලිමළු අඩුවෙන් පාවිච්චි කිරීම, දිරාපත් වන කසළ යොදාගෙන කොම්පෝස්ට් හැදීම වගේ දේවල් මෙන්ම කුඩා කාලයේදීම  කුණු ක්‍රමානුකූලව බැහැර කරන්නට අපේ දුවා දරුවන්ට උගන්වන්නටත් කතා වෙනවා.

කාලීන මාතෘකා ගැන කතා නොකර අතීත ආවර්ජනාවේ යෙදීම  අපට තරම් නොවේ යැයි සිතුණු නිසා  මා දන්නා  පොඩි පොඩි කුණු කතා ටිකක් බ්ලොග් වසන්තය සමයේ එළි දක්වන්නට සිතුණා.

මුලින්ම අපේ කුඩා කාලයේ අපේ නිවස සහ ඒ අවට කසළ බැහැර කිරීම සම්බන්ධ මේ කතාවට යොමුවෙමු.


 

ගෙවත්තේ කුණු වල සහ අපේ මල් , එළවලු වගාව 




අවුරුද්දකට වතාවක් හෝ ගෙවල් වටා එළිපෙහෙළි කරන එක ඒ කාලේ අපේ ගම බිම් වල සිරිතක් . 

ඒ සිංහල අවුරුද්ද  ඉලක්ක කර ගෙන.  ඉස්කෝලේ නිවාඩු කාලෙටත් එවැනිම එලි පෙහෙළි කිරීමක් කරන්න අපේ ගෙදර අය අමතක කරන්නේ නෑ. 

ඒ මිදුලේ සහ ඒ අවට ඇති මල් පාත්ති සහ එළවළු පාත්ති අලුත් මුහුණුවරකින් සකස් කරන එකත් මේ වැඩේට ඇතුළත්.

අක්කලා , නංගිලා  මල් පාත්ති වටේ ගල් අල්ලා සකස් කරද්දී  ගෙදර කුණු වල ගොඩ දැමීම කරන්නේ  කොල්ලෝ දෙන්නගෙන් කෙනෙක්. 

බොහෝ වෙලාවට මේ රාජකාරිය පැවරෙන්නේ මට .  අම්මා දිනපතා කුස්සියෙන් ඉවත් කරන තේ කොළ, බිත්තර කටු , කොස් කටු, එළවලු  පලතුරු වල ප්‍රයෝජනයට ගත නොහැකි කොටස් ආදී සියලු අප ද්‍රව්‍ය අපේ කුණු වලට එකතු වෙනවා.

ඒ විතරක් යැ අම්මා කුස්සියේ එලවලු කපද්දී ඒවා හෝදන්න පාවිච්චි කරපු වතුර කොරහත් විසි කරන්නේ ඔය කුණු වල දිහාවට. ඒකේ රටබටු තක්කාලි ඇට, මිරිස්  ඇට , වට්ටක්කා ඇට වගේ ජාතිත් පිරිලා තියෙනවා. 

ඊට අමතරව වැඩිපුරම නැතත්  පොඩි පොඩි පොලිතීන් කෑලි, බැටරි කෑලි , කඩදාසි වගේ දේවලුත් මේ කුණු වලේම තියෙනවා.

ඉතිං ඔය කියන ශ්‍රමදානය වෙලාවේ  කුණු වල අදින අපි මුලින්ම හොඳින් දිරාපත් වී කලු පැහැ ගැන්වුණු හ්‍යුමස් බවට පත් වූ  පස් මුලින්ම එක පැත්තකට ගොඩ කරනවා.

එහෙම කරද්දි විශාල කම්බිලි පණුවෝ එහෙම දිරා පත් වන කුණු ගොඩේ හරියට ඉන්නවා පෙනෙනවා. ඒ වෙලාවට අපේ අක්කා , අය්යා එහෙම මට උපදෙස් දෙන්නේ ඒ කම්බිලි පණුවෝ සේරමත් පස් ගොඩටම දාන්න කියලා තමයි. ඒ කියන්නේ ඒ වෙනකොටත් එයාලා දැන්ගෙන ඉඳලා තියෙනවා දිරා පත් වන ද්‍රව්‍ය කොම්පොස්ට් කරද්දී මේ පණුවෝ  හරි වැදගත් කියලා.

කොහොම හරි  දිරාපු කලුම කලු පස් තෝර තෝරා පැත්තකට කරන අපිට මේ වෙලාවේ තව තව දේවල් හම්බ වෙනවා. සැමන් ටින්,  ප්ලාස්ටික් කෑලි, පරණ සෙල්ලම් බඩු , ටොෆ්ස් කොළ , පොලිතීන් කෑලි වගේ දේවල් ඒ අතරේ තියෙනවා.

එක්කෙනෙක් ඒ දිරාපත් නොවන කුණු වෙනම පැත්තකට එකතු කරන අතරේ අනික් අය අර කලු පස් ගෝනි පිටකට දමා ඇදගෙන යන්නේ මල් පාත්ති, එලවළු පාත්ති වලට එහෙම පුරවන්න.


මේ විදිහට පොහොරවූ පස් සහ දිරාපත් නොවෙන කුණු අයින් කල කුණුවලත් අපේ මල් පාත්ති වගේම අවුරුදු කාලෙට/නිවාඩු කාලෙට අලුත් වෙනවා.

එසේ අලුත් වූ කුණුවල පහුවදා සිට නැවත අම්මා කුස්සියෙන් ඉවත් කරන අප ද්‍රව්‍ය වලින් පිරෙන්නට ගන්නවා.
සතියක් දෙකක් ගත වෙද්දී අර කලු පස් වැටිච්ච මල් පාත්ති , එලවලු පාත්ති කොල පාටින් බැබලෙන්න පටන් ගන්නවා.

කූර කොළ, මුකුණුවැන්න, බටු, මිරිස්, තක්කාලි වගේ ම වට්ටක්කා පැල එහෙමත් මේ පාත්ති අතරින් මතු වෙනවා දකින්න පුලුවන් . ඔන්න ඔහොමයි ඒ කාලේ අපේ ගෙදර කුණු වල අපි ප්‍රයොජනයට ගත්තේ.





Tuesday, 18 April 2017

අවුරුදු සුදානම (අවුරුද්දට කෙසෙල් ඉදවූ හැටි)


මෙවර සිංහල අවුරුදු සමයේ මා කණ වැකුණු දුරකථන සංවාදයක්  මේ පොස්ටුවට ලියන්නට මා පෙලඹවූවා කීවොත් නිවැරදියි.

ඇමතුම ආවේ ලංකාවේ අපේ නෑදැ නිවසකින් . අවුරුද්දට කෙසෙල් ගන්නට පළතුරු කඩේ ගිය කතාවත් කෙසෙල් කිලෝව බර ගණනක් වූ බවත් ඒ අන්තයෙන් කියවුණා.

එක යායට  කැලේ වැවී ඇති ගෙවත්තේ කෙසෙල් ගසක් දෙකක් හදා ගන්නට බැරි ඇයිදෝ යන පැනය මා සිත පැන නැගුණත් ගමේ රටේ සාමය වෙනුවෙන් ඒ ප්‍රශ්නය නොනගා සිටියා.

එහෙත් අපේ කාලේ අවුරුද්දට කෙසෙල් ඉදවූ හැටි ගැන සාකච්චාවක්  ඇති වන්නට මේ දුරකථන සංවාදය ප්‍රමාණවත් වුණා.

එහෙමනම්  දැන් නවසිය අසු ගණන් වල අපේ අවුරුදු සුදානම් වීමට යොමුවෙමු

අවුරුද්දට කෙසෙල් ඉදවූ හැටි




බක් මාසය හෙවත් අවුරුදු මාසය ආරම්භ වෙද්දී අපේ ගෙදර හැමෝටම අතිරේක වැඩ පවරන්නට අපේ අම්මා පුරුදු වී සිටියාය. 

ගෙදර බිත්ති ඩිස්ටැම්පර් , හුණු හෝ සමර ගා   අලුත් කිරීමේ රාජකාරිය සාමාන්‍යයෙන් ලොකු අක්කාට පැවරේ. 

මිදුල වතුපිටි කල එළි කිරීම සහ මල් පාත්ති සකස් කිරීම මටත් නංගිටත් පැවරෙන රාජකාරියයි. 

වත්තේ ඉහල ඇති වතුපාළු කෙසෙල් කැන් දෙකක්  හෝ තුනක් ඉදවීම බොහෝ විට මට පැවරෙන්නේ අම්මා විශ්වාස කල පරිදි කෙසෙල් කැන කපන්නාගේ අත් ගුණය ද කෙසෙල් ඉදීමට බල පෑ හැකි බැවිණි.

මේ රාජකාරියට අක්කා සහ අනික් අයද හවුල් වන අතර වැඩි වැඩ කොටස ඉටු කෙරෙන්නේ මගේ අතිනි.

"චුටි පුතා උඹ තවම කෙසෙල් කැන් කැපුවේ නෑ නේද? ඔය අක්කත් එක්කන් ගිහින් කෙසෙල් කැනක් කපාගෙන වරෙං"


සවස්  භාගයේ නිවසට වී සිටින මට අම්මා මගේ අවුරුදු රාජකාරිය මතක් කර දෙයි.

මම කුස්සියේ තිබෙණ වක් පිහියත් රැගෙන උඩහ වත්තට යන්නෙ ඇසිල්ලකින් 

උඩහ වත්තේ ඇති වතු පාළු පඳුර වෙත ලඟා වෙන අක්කා සහ මම එහි ඇති හොඳින් පැහුණු කෙසෙල් කැන් දෙකක් තෝරා ගන්නවා.

"ඒයි චුටි පුතා,  උඹ කෙසෙල් ගහ කපපං . මම කැණ අල්ල ගන්නම්. "

මගේ උදව්වට ආ අපේ අක්කා කෙසෙල් කැණ කුඩු පට්ටම් නොවී බේරා දීමේ භාර දුර කටයුත්තට අත ගැහුවේ ස්වෙච්ඡාවෙන්මයි.

වතු පාළු ගහේ බඩ මැදට මගේ අතින් එල්ල වන වක්  පිහි පාරත් සමග කෙසෙල් ගහ පර.. පර.. හඬක් සමගින් අක්කා සිටි පැත්තට පහත් වෙනවා.






හරී කියමින් කෙසෙල් කැනේ කෙසෙල් මුව පැත්තට වූ බණ්ඩර වහල්ලෙන් අල්ලා ගන්නා ඇය කෙසෙල් කැණ බේරා ගැනිම ගැන සතුටු වෙනවා.

මෙසේ කෙසෙල් කැන් දෙකක් හෝ තුන්ක් කපා ගත්තාට පසු අපි කෙසෙල් ඉදවීමට අවශ්‍ය අනෙක් කළමනා හොයා ගන්න යොමුවෙනවා.

කපා දැමූ කෙසෙල් ගස් වලම ඇති කෙසෙල් පඬරැල් ඉන් එක් වර්ගයක්

මම කෙසෙල් පඬරැල් ඉන් එක් වර්ගයක් කඩන අතරේ අක්කාව අනෙක් අමුද්‍රව්‍ය සොයන්නට යවන්නේ

"ඒයි චූටි ගිහිල්ලා අර උඩහ සපු ගහෙන් සපු කොළ ටිකක් කඩං වරෙංකෝ  "

කියමින් .

කෙසෙළ් වල දැමීම සහ දුම් ගැසීම 






මෙසේ අවශ්‍ය කළමනා එකතු කර ගන්නා අපි ඉන් පසුව යොමුවන්නේ කෙසෙල් වලක් කැපිමේ රාජකාරියටයි. 

ගෙට ඉහළ වත්තේ මිදුලට ආසන්න හොඳ තැනක් බලා කෙසෙල් වල කැපීම බොහෝවිට සිදුවන්නේ මගේ අතින්මයි. 

වේල්ලක් ඇති පාත්ති කොනක කපන අඩි 1.5X පමන කෙසෙල් වලට  වේල්ල පැත්තෙන් හිලක් හාරන්න මම අමතක කරන්නේ නෑ.ඒ වේල්ලේ හාරන සිදුර තමයි  දිනපතා කෙසෙල් වලට දුම් ගහන්න යොදා ගන්නේ. 

හොඳින් සකස් කල කෙසෙල් වල තුලට  මුලින්ම වියලුනු කෙසෙල් පරඬැල් සහ වියලුනු සවුක්කු කොළ ආදිය දමා ගිනි තැබීම අපේ සිරිතක්.
ඒ කෙසෙල් වල හොඳින් උනුසුම් කර ගන්නා අදහසින් .

අනතුරුව සපුකොල සහ කෙසෙල් පරඬැල් කෙසෙල් වල පුර අතුරණවා. 

දැන් කෙසෙල් කැන් කෙසෙල් වලේ පිළිවෙලට අඩුක්කරන්න ඕනේ. 

ඒ අතර කෙසෙල් ඇවරි අතරට සපු කොල සහ ඔබන්නත් අමතක කරන්න නරකයි. 

මේ වැඩ ටික මම කරන අතරේ අපේ අක්කා පිට පළු , අමු කෙසෙල් කොළ හෝ යුරියා බෑග් කෑලී වැනි අනෙක් අමු ද්‍රව්‍ය එකතු කරනවා. 

කෙසෙල් කැන් වලේ තැන්පත් කළාට පස්සේ උඩිනුත් ඇති පදම් සපුකොල සහ යොදන්න මම වග බලා ගන්නවා. 

අනතුරුව වලේ ගැටි අතර පිට පළු අතුරා ඊට උඩින් යුරියා බෑග් හෝ අමු කෙසෙල් කොළ ආස්තරණයක් යොදනවා. 

කෙසෙල් වල කපද්දී ගොඩ ඇද්ද පස් ආපහු කෙසෙල් වල වහන්න යොදා ගන්න මම උදලු කෙටියක් අරන් අර පිටපලු , කෙසෙල් කොළ ආස්තරණය වසමින් පස් ගොඩ කරනවා. 

කෙසෙල් වලේ පස් වලින්ම මැටි ගොඩක් අනාගන්නා අපේ අක්කා වලේ ගැටි වටා මැටි ගසමින් දුම් කාන්දු විය හැකි තැන් වස් දමනවා. 
මේ මැටි ගොඩ පළමු දුම් ගැසීමේදී ඉතා ප්‍රයෝජන්වත් වෙනවා. 

ඊලඟට යෙදෙන්නෙ මම කැමතිම රාජකාරිය. ඒ කියන්නෙ කෙසෙල් වලට දුම් ගැසීම. 

දණි පණි ගා කුස්සියට දුවන මම ආපහු කෙසෙල් වල ලඟට එන්නේ  අඟුරු පොල් කට්ටකුත් අරගෙනයි. 
ඊට අමතරව කුස්සියේ ඇති පන් කොළ වට්ටියකුත් අපේ වැඩේට අවශ්‍ය වෙනවා. 

වෙන වෙලාවට මට  වට්ටියක් අහලට වත් යන්න නොදෙන අපේ අම්මා කෙසෙල් ඉදවන්න වට්ටියක් දෙන්නෙ කිසිම පැකිළීමකින් තොරවයි. 

කෙසෙල් වලේ පැත්තකින් හාරා ඇති දුම් දමන හිලට අඟුරු ටික හලන මම ඒමතට  වියලුනු සවුක්කු කොල ආදිය දමා හොඳ දුමක් ඇති කරනවා. 
දැන් වට්ටිය එහා මෙහා වනමින් කෙසෙල් වල තුලට දුම යොමු කරනවා. 

ටික වෙලාවක් යද්දි කෙසෙල් වලේ උඩ ගොඩ කල පස් අතරින් එහෙන් මෙන් දුම් එන්න පටන් ගන්නවා.  

මේක දකින අක්කටත් මටත් හරි සතුටුයි. ඒ කියන්නේ වල පුරාම දුම පිරිලා කියන එකනේ. 

අර පසෙක තබා තිබ්බ මැටි ගොඩට ආයිත් වතුර ටිකක් ඉහින අපේ අක්කා දුම් ලීක් වෙන තැන් බල බලා මැටි ගහනවා. 
මම ඉතිං දිගටම දුම් ගහනවා. සියලුම දුම් කාන්දු වෙන තැන් වැහෙනකම්. 

කෙසෙල් වල කාන්දු එහෙම වහලා පිලිවෙළක් කරන කොට හොඳට කලුවර වෙලා. 

පහුවදා පාන්දරම අඟුරු පොල් කට්ටයි වට්ටියයි අරං කෙසෙල් වලට යන මට කිසිම දුම් කාන්දු වීමක් නැති බව දැක්කාම හරිම සතුටුයි.