ලැබුවාවූ 2018 වසර අපේ හිතවතුන් සියළු දෙනාගේම සිතුම පැතුම් සඵල වන යහපත් වසරක් වේවායි පතමු.
ඊයේ හවස ලැබුණු ආරංචියක් නිසා ගමේ සිදුවූ පොඩි දේශපාලන අලකලංචියක් ගැන ලියන්නට සිදුවුණා . එහි පළවූ කමෙන්ටුවක් මේ සිදුවිම මගේ සිහියට නැගෙන්නට හේතුවක් වුණා.
එදා 2017 ජනවාරි මුලම දවසක්. ඊට දින කිහිපයකට පෙර ලංකාවට ලඟා වූ අපි කෑගල්ලේ සිට බණ්ඩාරවෙල දක්වා යමින් සිටින මොහොතක්.
මම මාසික කුළියකට මලිකි එකෙන් ගත හොණ්ඩා වෙස්ල් එක මගේ වගේ එලවන ගමන්.
අපේ සුපුන් එහා පැත්තේ නිම්මි පිටිපස්සේ.
අපේ වාහනේ නුවර සිට රන්දෙණිගල පාරෙන් ඇවිත් බදුල්ල හරහා බණ්ඩාරවෙලට එන ගමන්.
කෑගල්ලේ සිටම පාර දෙපස ඇති ගස්වැල්, කඩපිල් , හරකබාන , කොල්ලෝ කුරුට්ටෝ , එහාට මෙහාට දුවන බල්ලෝ බළල්ලු දෙස බලමින් එන අපේ සුපුන් යමක් කියන්නට මෙන් සුදානම් වුයේ ඇල්ල ප්‍රාදේශීය සභාවට අයත් හෙල හල්පේ හරියේදී.
මාත් එක්ක දිගටම කතා බස් එකේ ආපු ඔහු වැදගත් කියා කිව හැකි යමක් කියපු එක අවස්ථාවක් නිසා මේ සිද්ධිය මට හොඳට මතකයි.
අප මෙන් නොව තමා පසු කර යන ජීව , අජීව වස්තු ගැන ඉතා හොඳ කල්පනාවකින් ගමන් කල ඔහු මෙය අප දෙදෙනාටවත් කිව යුතුයි කියා සිතන්නට ඇති.
රට හදන හැටි
"පුතා මොකෝ කල්පනාව ඔස්ට්‍රේලියාව වගේ නෙවෙයි ලංකාව හරි ලස්සනයි නේද ? "
විමතියෙන් මෙන් වට පිට සිදුවන හැමදේම නිරීක්ෂණය කරනා සුපුන් ගෙන් මම ඇසුවේ ඔහුගේ කට අවුස්සා ගන්නා රිසියෙන්.
"ලංකාව හොඳයි . හරි ලස්සනයි හැබැයි පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න "
අපේ ලොක්කා දේශනාව පටන් ගත්තා .
"හරි හරි කියමුකෝ බලන්න මොනාද කරන්න ඕනේ කියලා ? " නිම්මි පිටිපස්සේ ඉඳන් කතාවට එකතුවුණා.
" මේ පාරේ හැමතැනම කුණු දාන එකයි, හරක් පාරට එවන එකයි නවත්තලා පාරේ එහාට මෙහාට දුවන බල්ලෝ පූසෝ ගෙවල් වල තියාගන්න ක්‍රමයක් හැදුවානම් ලංකාව මීටත් වඩා ලස්සණයි"
මගේ වාහනය හෙල හල්පේ හරියෙන් යද්දී සුපුන් තම ගම නගරය හදන යෝජනා මාලාවෙන් කොටසක් අප දෙදෙනා හමුවේ තැබුවේ එලෙසයි.