ඩෙන්න ඩෙනා ඩෙන නා ඩෙන ඩෙන්නෝ
ඩෙන්න ඩෙනා ඩෙන නා ඩෙන ඩෙන්නෝ
ආයුබෝ වේවා !!!
ඇයිද යකුනි තොපි ...පිට්ටු නොකන්නේ.......
ලුණු නැති පිට්ටුව ..... කොහොමද කන්නේ ...
ආයිබෝ වේවා !!!
කොස් ගහ මුදුනේ ... ටකේ බඳින්නේ.....
කඹේ නටන කොට.... ටකේ වදින්නේ....
ආයිබෝ වේවා !!!
"ඔන්න ආයිත් එහා ගෙදර තොවිළයක්ද කොහෙද? කොයි එකීටද? දන්නේ නෑ මේපාර කළු කුමාරයා වැහිලා තියෙන්නේ?" අම්මා කියන්නේ මේ තොවිල් සද්දය ඇහීමත් සමඟයි .. ඒ අපේ අල්ලපු ගෙදර කුසුමක්කලා ගෙදර ඒ කාලේ නිතර නිතර සිදුවූ බළි තොවිල්ගැන අපේ අම්මාගේ කියැවීමයි .. "අම්මා මම යනවා තොවිළේ බලන්න කියමින් අපේ අය්යා වැට පැන්නේ සූකිරි අය්යලා (කුසුමක්කලා ) ගෙදරට යන්නටයි . චූටිපුතා උඹ එහෙම යනවා නෙවෙයි ඔය පැත්තේ ඔය මිනිස්සු හූනියම් කපනවා අරවා මේවා කරනවා කියලා මොනවා කරනවද කව්ද දන්නේ?
අපේ ගෙදර එහා පැත්තේ අපි කියනවිදිහට "එහා ගෙදර " හිටියේ රජයේ තේවත්තේ තේ දළු කඩන පවුලක් . ඇත්තටම එයාලා ලැයිමේ ඉඳලා අපේ ගෙට එහා පැත්තෙන් ගෙනත් නවත්තලා තියෙන්නේ තාත්තගේ අය්යා කෙනෙක් වන කරුණේ ලොකු තාත්තා ..
"මල්ලීගේ තනියට කියලා අය්යා කරපු හපන්කමනේ ඔය. මෙහාට ගෙනැත් දාලා ලැයිමෙ හිටපු විදිහට ඉන්න දෙන්නේ නැතිව" අම්මා ආඩපාළි කියන්නේ ඒ කාලේ නිතරනිතර හදි හූනියම් කැපීම් , තොවිළ් පවිල් කිරීම් එහාගෙදරසිදුවූ නිසයි.
මාතර වේරදූවේ සිට බණ්ඩාරවෙලට පැමිණ සිටි පවුලක් වූ මේ අය "ඩබ්ලිව් ඩී ලා කට්ටිය" ලෙස හඳුන්වන්නට ගම්වාසීන් පුරුදු වී සිටියහ . ඒ වේරදූව ධනපාලලාගේ නම් වාසගමක් සහිත නම් ඔවුන්ට තිබුණු නිසාය.
අම්මා ඔය කට්ටිය මාතර කට්ටියක් කියන්නේ ඇත්තද? කට්ටඩියෝ එහෙම හොඳට දන්න කට්ටියක් කියනවනේ? " පැණය අක්කාගෙනි. .. "
"උං මාතර කියලා අපි බයවෙයි .. අපේ ආතම්මත් මාතර කැකණදුරේ ගෑනියෙක් බොලව් !! අපෙත් මාතර ලේ තියෙනවා ".. අපේ අම්මා ඒ කියන්නේ දුවන හේවාගේ ගිමාරාහාමි නමින් බණ්ඩාරවෙල කිරිඔරුවට දීග ආ අම්මා ගේ ආත්තම්මා ගැනයි . ගිමාරාහාමි විවාහ වී තිබුණේ කිරිඔරුවේ පැරණිම පවුල්වලඉන් එකක් වන කහටගහවත්ත පවුළේ "කහටගහවත්තේ මුත්තා" නමින් හැඳින්වූ අම්මාගේ මුත්තා සමඟයි. ඔහු රාජපක්ෂ කෙනෙකි.. කොඩිවිණ , තොවිල් පවිල් කරන මාතර කට්ටියට ඇති භය නැති කරගන්නට අම්මා යොදාගන්නේ මාතර ම උපන් ඇගේ අත්තම්මා, දෝන ගිමාරාහාමි ආත්තම්මාගේ සම්බන්ධයයි.
පසුව අපේ අය්යාගෙන් දනගත් පරිදි එදා තොවිළය කරලා තිබුණේ එහා ගෙදර කුසුමා අක්කාටයි .. පුහුළ් ගෙඩිය කපන්න සොහොනට අරන් ගිය බවත් , කුකුළ් බිල්ලේ බෙල්ල කැඩීමත් සමඟ ආතුරයා (කුසුමා අක්කා) ගේ ඇඟට වැහී සිටි යකා එහා ගෙදර කොස් ගහේ අත්තක්ද බිඳගෙන පිටවූ බවත් අපේ අය්යා කියනවා මා අහගෙනය ..
ඒ කාලේ එහා ගෙදර වගේම තොවිල් පවිල් , හදි හූනියම් කැපීම් කල තවත් ගෙදරක් අපේ ගමේ තිබිණි . ඒ අපට ගෙවල් කිහිපයක් පහළින් තිබූ විමල් නැන්දලා ගෙදරයි
වරින් වර විමල් නැන්දලා ගෙදරට එක එක ගුරුන්නාසේ ලා පැමිණෙන අතර වරක් එහි පැමිණ තරුණ ගුරුන්නාන්සේ කෙනෙක් ගැන මට සෑහෙන මතකයක් තිබේ .. සුදු හීන්දෑරි කෙනෙක් වූ ඔහු වයස විසිපහක් -තිහක් අතරේ වූ අයෙකි .. ගමේ අයට විමල්නැන්දලා මේ ගුරුන්නාන්සේ හඳුන්වා දී තිබුණේ දෙය්යෝ නමිනි.. ඔහුට ගුරුන්නාන්සේ කියනවාට අකැමති බවත් ඔහු දෙය්යෝ නමින් හැඳින්විය යුතු බවත් කියා තිබුණි. ඒ කාලේ දෙය්යෝ ( මට මතක හැටියට බණ්ඩාරවෙල වටගමුවේ පවුළකට සම්බන්ධ කෙනෙක්) නිතර නිතර ඒ පළාතේ ගෙවල් වල තොවිල් පවිල් කලේය . ඒ ඔහුට ලැබී තිබුණු කාලි අම්මාගේ වරයක් හෝ වෙසමුණි වරමක් හෝ රාවණා වරමක් වැනි යමක් නිසා ඔහුට ලැබී තිබුණා යැයි කිවූ බලයක් පාවිච්චි කරමිනි.. නිතර නිතර විමල් නැන්දලා ගෙදර ආ ගිය දෙය්යෝ නිසා ආවේශ වූ විමල්නැන්දාගේ දුවක් පසුකලෙක දේවතාවියක් වෙන්න නියමිත බවට කසුකුසුවක් තිබුණා මතකය .
ටික කලක් බණ්ඩාරවෙල ගැවසුණු දෙය්යෝ ගැන කිසි ආරංචියක් නැතුව ගිය අතර ඔහු විවාහ වී වැල්ලවාය ප්‍රදේශයට ගිය බව දනගන්නට ලැබුණි .
ඒ කාලේ දෙය්යෝ එන්නේ සුදු සරමක් හා කමිසයක් ඇඳ බඳ වටා රතු පටියකුත් හිසේ එක පැත්තකට එල්ලෙන සේ බැඳ ගත් තවත් රතු පටියකුත් බැඳගෙනයි ..
දෙය්යෝ වැල්ලවායට ගොස් පවුල් පංසල් වී දරු දැරියන් තිදෙනෙක් ද හදාවඩා ගෙන සිට තිබේ .. ඔහු ගැන අපට නැවත ආරංචි වෙන්නේ පත්තර වල පොල්ගෙඩි අකුරින් වැටුණු ප්‍රවෘත්තියක් නිසාය .
බණ්ඩාරවෙල තොවිළ් පවිල් කරගෙන දැහැමින් සෙමින් සිටි දෙය්යෝ වැල්ලවායේදීද දෙවිකම අතහැර නැත . අවාසනාවකට ඔහු හදි හූනියම් කර හෝ හදි හූනියම් කපා තිබුණේ වැරදි මිනිසුන්ටය .
දෙවියෝ , දෙවියන්ගේ බිරිඳ , දරු තිදෙනා කපා කොටා මරා දමා දෙය්යෝ වාසය කල පැල් කොටේටම දමා ගිනිතබා තිබුණේ ඔහු හූනියමක් කලා යැයි සැකපිට හූනියම වැදුනු පවුළක් විසින්ම යැයි පුවත් පතේ සඳහන් වී තිබිණි ..
වෙලාවට දෙය්යන්ට වැහී තිබූ කාලි අම්මා හෝ වෙසමුණියා එහි පැමිණ නොතිබිණි නැත්නම් ඔවුන්ටත් අත්වනු ඇත්තේ දෙය්යන්ට සහ පවුළට අත්වූ ශෝචණීය ඉරණමමය..