පෙරළු නැවුම් පස (අපරාජිත චරිත ගොඩනැඟෙන හැටි ගැන පෙරවදනක්):
ඒ 1982, අපේ බාප්පා ( ඒවෙනකොට ජූලි වැඩ වර්ජනයෙන් මට්ටුවෙලා නැවත රැකියාව ලැබිලා ) තමන්ගේ බිරිඳගේ ගම වූ හොරණ ප්‍රදේශයට යන්න තීරණය කරපු කාලේ..
අපේ බාප්පා ඒ කාලේ බණ්ඩාරවෙල සීවලී විද්‍යාලයේ චිත්‍රකර්ම ගුරුවරයා ජූලි වර්ජනයට එක්වෙලා හිටපු කෙනෙක් .. තාත්තලා වගේම බාප්පත් ප්‍රගතිශීලි දේශපාලනයේ (එකල ශ්‍රී ලනිප ) යෙදුන කෙනෙක් අසුදෙකේ ජනපතිවරණයේ කොබ්බෑකඩුව , විජය කුමාරණතුංග එහෙම ආපුරැස්වීම සංවිධානය කරේ තාත්තා , බාප්පා ඇතුළු පිරිස . බාප්පා තමයි ඒ රැස්වීමේ කථිකයින් හඳුනව දුන්නේ...
කියන්න යන කතාව පටන්ගනිමුකෝ. බාප්පා ගමරට අතෑරලා හොරණට යද්දි (අපේ බාප්පා විශ්‍රාම ගියේ හොරණ තක්ශිලාවේ විදුහල්පති විදිහට ) අපේ තාත්තාට එයාලා හිටපු ගෙදර තාත්තලා මහගෙදර භාරදීලා ගියා .. අපි හිටපු ගෙදර වහලා අපි ගමේ පල්ලැහට ආවා ජීවත්වෙන්න. ඒ ගෙදර සහ ගෙදර වත්ත බාප්පයි පුංචි අම්මයි ඒ තරම් ප්‍රයෝජනයට අරං තිබුණේ නෑ. මේ දවස්වල අපේ තාත්තත් රජයේ සේවයේ නෑ බාප්පා වගේම එයත් වැඩ තහනම්වෙලා හිටියේ. ඒ ගෙදරට යනකොට මගේ වයස අවුරුදු දොළහයි , අය්යට දාසයයි එයා සාමාන්‍යපෙළ ලියන්න ලෑස්ති. මහගෙදර ඉඳන් පාඩම්කරන්න බෑ රෑට හොල්මන් සද්ද ඇහෙනවා කියලා අය්යා අඹදන්ඩේගම (බඹරගම ) අපේ නැන්දලා ගෙදර ගියා මමයි අක්කයි නංගිලා දෙන්නයි තමයි අම්මලා එක්ක ඒ ගෙදර හිටියේ ..
ආතම්මාගේ සහ මුත්තාගේ ජීවමාන ප්‍රමාණයේ උඩුකය පිංතූර දෙකක් මේ ගෙදර සාලේ එල්ලලා තිබුණා . ඒ දෙක දිහා බලන්න අපි ඔක්කොම භයයි ඒ දවස්වල . රෑට සාලයෙන් එහා මෙහා යන්නේ බිම බලාගෙන ඒ ආත්තම්මයි මුත්තයි හොල්මන් කරයි කියලා . අපේ අයියා ගෙදරත් අතෑරලා ගියාට අපි ඒ ගෙදර ඉඳන් මහ වැඩ ගොඩක් කරා .. උදේම ඉස්කෝලේ ගිහින් ගෙදර ආවට පස්සේ අම්මා සහ තාත්තා එක්ක අපෙ බාප්පලා වත්තට යනවා . ඒ වත්තේ නැති ගස් ජාතියක් නැති තරම් . බාප්පලාට ඒ සල්ලි උල්පත නොපෙනුනාට අපිට එහෙම වුණේ නෑ . දවසින් දෙකෙන් අපි වැඩේට බැස්සා.
අම්මයි තාත්තයි ගෙට උඩහින් තිබුණ තේ කෑල්ලට ඔට්ටුවුණා .වදුලට තිබුණ වැඩි ටර්පන්ටයින් ගස්වල අතු පෑහලා දර යාර ගහලා විකුණුවා . අම්මා තාත්තා අපි හැමෝම තේ වත්තේ පෙට්ටි කාණු කපලා පස් ගොඩදාලා තේවත්ත පිළිවෙලක් කරා .
තේ වත්තේ තිබුණු ජෑම්පේර ගස්ටිකට මගේ ඇහැ ගියා නංගිලා එකෙකුට වත් ජෑම්පේර අල්ලන්න දෙන්නේ නෑ මම ඒ දවස්වල ඒවා ඔක්කොම ගමේ ජෑම් කෝඩියල් එහෙම හදන සීලවතී ටීචර්ලා ගෙදරට විකුණනවා මම. ඒ පේරහුණ්ඩුවක් ශතවිසිපහක් ගානේ. ඒ මුදලට අමතරව නොමිලේ ජෑම්බෝතලයක් සහ කෝඩියල් බෝතලයකුත් මට දෙනවා ඒ ටිචගේ මහත්තයා (එයාතමයි ඒ කාලේ ජෑම්, කෝඩියල් වැඩේ කලේ).
ඔය අතරේ තාත්තලාට තවත් දෙයක් අහුවුණා බාප්පලා වත්තේ ඒ තමයි කුස්සියට එහායින් තිබ්බ කිතුල් ගහ . ඒ කිතුලේ පළමුවෙනි වරට මලක් පීදුනා අපි එහාට ගිය අළුතම . ඒකටත් තාත්තලා අත තිබ්බා ඒ කිරිඔරුවේ ඉන්න අප්පච්චි මුත්තා ලවා කිතුලට බෙහෙත් තියලා . ඊට පස්සේ අපි හකුරුහදන්නත් පටන්ගත්තා අපි බාප්පලා ගෙදර ... එතැනින් වැඩේ නැවතුනේ නෑ වත්තේ තිබුණ ලොකු ගිරා අඹගහ ටත් කිට්ටු කලා වසරට දෙවතාවක් මේ ගහ පිරෙන්න ගෙඩි හැදෙනවා ඒවා ගමේ කොල්ලොගෙන්වලා කඩවලා විකුණන්න ගත්තා .. වත්තේ තිබුණ අලිපේර ගස් තවත් ආදායම් මාර්ගයක් වුණා . ගෙට පහළින් තිබ්බ කොටසේ තමයි මගේ ගණුදෙනු වැඩිපුරම තිබුණේ .. හවස හතරට විතර වත්ත පහළට යන මම නැවත ගෙදර එන්නේ රෑ හතට අටට විතර . ඒ හරියේ තිබුණ එනසාල් පඳුරු ,කෙසෙල් පඳුරු , කෝපිගස් ආදී සියළු දේවල්වලට සාත්තු කරන්නේ මම තමයි ඒ කාලේ .මේ හැමදේම සුළු කාලෙකින් සල්ලි බවට හැරවුණා.. එනසාල් , කෝපි වලට එහෙම හොඳ මිලක් තිබුණා ඒ කාලේ.
මේ වෙලඳ භෝග සාත්තුවට අමතර බෝංචි තක්කාලි මාළු මිරිස් වගේ එලවළුත් වෙනකක් තබා කූර තම්පලා වැනි පළාවර්ගත් පාත්ති දාලා හැදුවා ඒ පහළ කොටසේ .. ඒ වැඩ වැඩිහරියක් කරේ මමයි අක්කයි තමයි ..
වැඩ ඉවරවෙලා නානකොට (වත්තේ පහළ තිබුණ ලිඳෙන්) එහාගෙදර ඉන්න ලොකුතාත්තා යනවා ඔයහරියෙන් .. කළුවරේ නාන පොඩි කොල්ලා දැකලා (හැමදාම මම නාන කොට රෑහත හතහමාර වෙනවා ) ලොකුතාත්තා මෙහෙම කියනවා
" ආ චූටිපුතා දැන්ද නාන්නේ? "අයිසේ තමුසේ මාරළමයෙක් නේ හලෝ? .. මට එහෙම ඔයවගේ කොල්ලෙක් හිටියානම් මමත් මිනිහෙක් තමයි .. අපිට නෑනේ ඔහොම කොල්ලෝ "
ටික දවසක් යද්දි ඔහේ කැලෑවට ගිහින් වගේ තිබ්බ ගුණසේකර ඉස්කෝලේ මහත්තයාගේ ගෙවත්ත දළුකඩන , එළවළු පළතුරු කැඩෙන වෙන එකක් තබා කුඩා කුකුළු පාලනයකුත් කෙරෙන ගෙවත්තක් බව ගම පුරා පැතිරෙනවා .. ආරංචිය හොරණටත් යනවා .. යන්නේ හොඳ විදිහට නෙවෙයි
"වැඩිකල් නොගිහින් ඔයාගේ ඉඩම විජේරත්න මහත්තයයි එයාගේ පවුළයි අල්ලාගනියි "
කියලා තමයි බාප්පාව භය කරන්නේ කට්ටිය .. ඉතිං බාප්පා අපේ තාත්තාට ආපහු ගේ භාරදීලා අපේ උඩහා තියෙන ගෙදරට යන්න කියනවා. ඒ ගෙදර වත්ත ඒ කාලේ බාප්පලා ගෙවත්ත වගේ සශ්‍රීක නෑ මුත්තා හදපු ගිරා අඹ පැළයකුයි ජෑම්පේර පැලයකුයි එක කොස් ගහකුයි තමයි ගස් කොළන් විදිහට තිබුණේ..
අපේ අම්මා මේ වැඩේ ගැන හරියට දුක්වුණා . අපි ඔක්කොම එකතුවෙලා ගොඩ නංවපු ගෙවත්තනේ එයාට කණගාටුයි. අද වගේම ඒ කාලෙත් අම්මට සමීපම දරුවා මම තමයි .. මම අම්මාට යෝජානවක් ගෙනාවා . අපි පල්ලැහැ වත්තේ තිබුණ ගස් කොළං වර්ග හැම එකක්ම අපේ වත්තේ හදමු. බාප්පා දීලා තිබුණ අවසාන දිනය ලංවෙනකොට අපේ උඩහා ගෙදරවත්තේ තාත්තලා මහගෙදර වත්තෙත් නැති ගස් හැදුනා . ගෙට පහළින් එනසාල් මණ්ඩි කිහිපයක් හැදුවේ මගේම දෑතින් ඒ හරියෙම මාළු කෙසෙල් පැළ , වතුපාළු , සුවඳෙල් කෙසෙල් පැලත් හැදුවා .. ගමේ උඩහරියේ කොහේවත් ඒ දවස් වල කිතුළ් තිබුණේ නෑ . අය්යයි මමයි කිරිඔරුවේ ගිහින් එන ගමන් ගෙනැත් කිතුළ් පැල දෙකකුත් හැදුවා තවමත් පැණි ගන්නවා ඒ කිතුල්ගස්වල , කෝපි , කොස් අඹ අලිපේර මේ ඔක්කොම පැල ජාති හැදුවා. මට මතකයි අපේ අක්කයි මමයි අපේ වත්තේ උඩ හරියේ මායිම දිගටම කොස් ඇට පේළියක් පැළ කරන් ගියා අද ඒවා ඔක්කොම ලොකු ගස්.. අය්යයි මමයි ඒ වැටේම හණගස් දෙකකුත් කිරිඔරුවෙන් ගෙනැත් හිටවව්වා... පෙයාස් , පීචස් , ගස්තක්කාලි , දෙළුම් ඔය හැමජාතියම හැදුවා..
දවසක් බණ්ඩාරවෙල සෙන්ට්‍රල් එකේ දැන් පිට්ටනිය හදන තැන තිබුණ හාතාවාරිය වැලක් යාළුවෙක් පෙන්නුවා මට
" මචං කිටී ඔය හාතාවාරිය ඕක බෙහෙතට ගන්න ගහක් .. "
මම ඒ හාතාවාරිය පඳුරෙන් අළයක් ගෙනැත් අපේ ගෙදර ඉස්සරහා අඹගහ මුළ ඉන්දුවා අද ගිහින් බැළුවම අපේ ගෙවත්තේ බාප්පලා ගෙදර තිබ්බ හෑම වර්ගයකම ගස්කොළං තියෙනවා අම්මලා ඒ කාලෙම අපේ ගෙවත්තේ තේ හැදුවා දැන් එතනෙ පොඩි තේවත්තකුත් තියෙනවා...
ඒ අවස්ථා සම්බන්ධය පෙන්වා දුන් හිතවතා මේ කතාව ඇයට පෙන්වනු ඇතැයි සිතනවා අපරාජිත චරිතයක් ඒ පැත්තෙනුන් ගොඩනැඟෙනු ඇතැයි යන්නයි අපේ බලාපොරොත්තුව