Sunday, 22 November 2020

අළකොළ මාළුවක් ( ව්‍යංජනයක් )/ඇඹුලක් හදන හැටි.

 


අවශ්ය ද්රව්ය : වෙළ් අළ කොල ලපටි දළු සහ දඬු , ගොරකා කෑළි කිහිපයක් , සුදුළුණු යහමින්, රතුළුණු , උම්බලකඩ ස්වල්පයක් , අබ , උළුහාල් , මිරිස් කුඩු , තුනපහ කුඩු , කහ කුඩු.. ගම්මිරිස්





මුළින්ම මැටි ඇතිළියක් ගෙන එහි වතුර උතුරන්නට තබා එයට මිරිස් , තුනපහ , කහ , සුදුළුණු , ගොරකා කැබැළි දෙක තුනක් ආදිය දමා වතුර උණුවෙන්න හරින්න
ඒ අතරේ අළකොළ දඬු සහ දළුවල පිටත සිවිය නියපොත්තෙන් කඩා බෝංචි වල නූල් හරින්නා වාගේ පිටත සිවිය ඉවත් කරන්න.. ඊට පසු අළකොළ දළු සහ දඬු හීනියට කපාගන්න.. එසේ කපා ගත් අලකොල නටන වතුර තිබෙන ඇතිළියට දාන්න..

කෙළින්ම කපලා උයන්නේ නැතිව දවසක් දෙකක් වට්ටියක දමා පවණේ වේලලත් අළකොළ උයන්න පුලුවන් . ඉස්සර අපේ ගෙදරට පල්ලැහැ ගෙදර ජීවත්වූ ජේන් අක්කා අළකොළ උයන්නේ එහෙම පවනේ වේලලා .

දැන් ලුණු ස්වල්පයක් ද එක්කර අලකොළ අර වතුරේ හොඳටම තැම්බෙන්න හරින්න .. අලකොළ උයද්දී හැන්ද ගහන්න එපා කියලා තමයි අපේ අම්මා කියන්නේ ඒ නිසා හැඳි ගෑමෙන් සම්පූර්ණයෙන්ම වලකින්න අළකොළ හොඳට බෙරිවෙන්න ඉදෙනකම්.. ඊට පස්සේ හොඳින් ඉදුනු අලකොල ටික භාජනයකට දාලා අර ඇතිළියට යහමින් පොල්තෙල්/ ඔලිව් තෙල් / සූර්යකාන්ත තෙල් ( ඕනෑම තෙල් වර්ගයක්) දාලා හොඳින් තලා ගත් සුදුළුණු. බික් කිහිපයක් සහ අබ ස්වල්පයක් දමා තෙල් හොඳට කරවූ පසු අර අළකොල ටික තෙලට දමන්න .. දැන් ඉතිං තියෙන්නේ බත් , රොටී හෝ පාන් එක්ක අළකොළ සප්පායම් වෙන්න තමයි..

ආ.. තව එකක් අළකොළ කාලා ඇල්වතුර බොන්න එපා කට කහන්න පුලුවන්, උණුවතුරම බොන්න

Saturday, 21 November 2020

වෙල් අලකොළ මාළුව ... ඔරිජිනල් එක වාගෙමයි

 



ගෙවල් අතර මාළු පිණි හුවමාරු කරගන්නා එක අපි කුඩා කාළයේ අපේ ගෙවල් පැත්තේ තිබුණ සිරිතක් .. විශේෂයෙන් දවල් කෑම වෙලාවට වගේ සහ හවස් වෙද්දී රෑ කෑමට පෙර පල්ලැහැ ගෙදර ජේන් අක්කලා ගෙදරත් අපේ ගෙදරත් මේ මාළු ගෙනියන වැඩේ සිද්ධ වෙනවා ..

අම්මා උයපු බෝංචි , කැරට් , වට්ටක්කා , අවර , මුකුණු වැන්න වගේ ජාති සහ තාත්තා පොළෙන් ගෙනෙන වැටකොළු , පතෝල , ඉන්නල වගේ මාළුවක් ජේන් අක්කලා ගෙදරට අරන් ගියාම ගෙනිච්ච භාජනේ පුරවලාම කොස් , දෙල් , රුබා, නිවිති දාපු පරිප්පු වගේම ජේන් අක්කාගෙ ඉවුම් පිහුම් වල අපි කැමතිම මාළුව .. අලකොළ මාළුව අපිට ගෙනියන්න දෙනවා ... අපි කෑදර කමට අළකොළ , රුබා වගේ කෑම ජාති පැන පැන කනකොට ( මේ දෙජාතියම ජේන් අක්කලාගේ උඩහ පීල්ල ලඟ වත්තේ යහමින් තිබුණා ) අම්මා කෑ ගහනවා "ඕවා වැඩිය කන්න එපල්ලා බං ලේ බඩ යන්න පුළුවන්" කියලා .



ඒ මොනාකිව්වත් ජේන් අක්කා ගේ අළකොළ මාළුවටයි , ඒ විදිහටම උයන රුබා කොළ ( රුබාබ්) මාළුවටයි ඒ වගේම තෙල් දාලා හදන කොස් මාළුවටයි ගහන්න කෑමක් හතර දිග්බාගයකම තිබ්බේ නෑ.



ඊයේ වට්ස් ඇප් තාක්ෂණය හරහා අම්මාගෙන් සජීවී උපදෙස් ගනිමින් හැදූ මේ අලකොළ මාළුව හදලා ඉවර වෙලා රහ බල්ද්දී මට ජේන් අක්කා මතක් වුණා . මම ඒ බව ලෝභ නැතිවම අම්මාටත් කිව්වා ..




අළකොල ඇඹුලක් (මාළුවක්/ව්‍යංජනයක් ) හදන හැටි ඊලඟ කොටසින්

පෝස්ටර් ව්‍යාපාරය



වයස අවුරුදු 23 සිට 27-28 දක්වා වූ තරුණ ජීවිතයේ වටිනාම කාලවකවාණුවක් මා ගෙවා දැම්මේ ගාල්ලේ මහමෝදර රෝහල ආශ්‍රිතවයි . ඒ වෛද්‍ය සිශ්‍යයෙක් ලෙස කරාපිටියේ පිහිටි රුහුණු වෛද්‍යපීටයට යන්න එන්න ටිකක් දුරබැහැර වුණත් නිදහස අතින් උපරිම වූ අපේ ආදරණීය ශිෂ්‍ය නේවාසිකාගාරය පිහිටා තිබුණේ මහමෝදර රෝහල් බිමේම කොටසක නිසයි.

අප මහමෝදර ජීවත්වූ කාලය රසකතා , භයානක කතා සහ සදානොමැකෙන මතක සටහන් වලින් පිරී ඉතිරී ගිය කාලයකි. සාමාන්‍යයෙන් මම ගැටුම්කාරි ගණුදෙණු වලට මැදිහත්වන්නෙක් නොවූවද මේ කියන්නට යන්නේ මහමෝදර අහම්බයෙන් මෙන් සිදුවෙන්නට ගිය ගැටුම් කිහිපයක විස්තරයි. 

ඒ කාලේ කරාපිටිය අවට බෝඩිම් වල රුපියල් අටසීය දාහ අතර මුදලක් අය කළ අතර විශේෂයෙන් අපේ බැච් එකේ අය වැඩි පිරිසක් රුපියල් 30 ක මාසික ගාස්තුවක් අය කළ මහමෝදර වෙනුවට තෝරාගත්තේ ඔය කියන පෞද්ගලික නිවාසමයි. ඔවුන්ගේ තර්කය වූයේ මහමෝදර හොස්ටල් ගියොත් වල බහින්න වෙන බවත් , පාඩම් කරන්නට වෙලාවක් නොලැබෙන බවත්ය.  එමෙන්ම ඒ කාලේ වනවිට මහමෝදර ශිෂ්‍ය දේශපාලනයට සම්බන්ධ අය ( විශේෂයෙන් 13 කණ්ඩායමේ ) සිටි තැනක් ලෙසද ප්‍රසිද්ධ වී තිබුණි.

ඒ නිසා 14 වන කණ්ඩායමේ කිසිවෙක් මහමෝදරට යන්නට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත. මේ සිරිත වෙනස් කරමින් මා මහමෝදරට යන්නට තීරණය කලේ   රැග් සීසන් එකේදීමය. ඒ සීනියර්ස්ලා ගේ රැග් වලට , දේශපාළන ගණුදෙනු වලට භය වෙනවාට වඩා මට මගේ දෙමව්පියන්ට කරදර නොකර මහපොළෙන් පමණක් ජීවත්වීමට හොඳම සහ පහසුම ක්‍රමය මහමෝදර පදිංචියට යාමබව වැටහුණු නිසයි. මුලින්ම තනියෙන්ම මහමෝදර විසූ මගේ තනියට තව බැචාලා දෙන්නෙක් පසු කාලීනව එකතු වූහ. කෙසේ වුවත් අදටත් පවතින වාර්තාවක් ලෙස සිශ්‍ය කණ්ඩායමක අඩුම නියෝජනයක් මහමෝදරට දෙන්නට  ඇත්තේ 14 වන කණ්ඩායම බව මාගේ විශ්වාසයයි.

මේ අවම සිසුන් සංඛ්‍යාවක් සිටින කණ්ඩායමක් වීම සමහරවිට වාසි සහගත විය හැකිවුවත් අනෙක් කණ්ඩායම් වල අයට  බලය , සවිය පෙන්වීමේදි අවාසි සහගතවිය හැකිය .. මේ කියන්නට යන්නේ එවැනි තදබල ලෙස අවාසි සහගත බව පෙනී ගිය අවස්තාවක් ගැනයි.

 තනියෙන් ජීවත් වුවද , විශාල කණ්ඩායමක් ලෙස ජීවත් වුවද ජේෂ්ඨ කණ්ඩායම් වල සිසුන්ට ඉහළින් නොයන්නට , ඔවුන්ට අදාළ ගෞරවය ලබාදෙන්නට සහ සමහර විට ඔවුන්ගේ කීමට අවනත වෙන්නට හුරුවූ ජීවන රටාවක් එකළ මහමෝදර තිබුණා කිව්වොත් නිවැරදියි. 


උදාහරණයක් ලෙස හොස්ටල් එකේ තිබූ හොඳම කාමර ( දොර අගුල්දමා යා හැකි , වෙනායෙකොට වහලේ උඩින් එන්නට බැරි , සින්ක් එකක් තිබූ කාමර ආදිය ) පාවිච්චි කලේ එකල සිටි ජේෂ්ඨම සිසුන් විසිනි. අප හොස්ටල් යන කාලයේ ඒවායේ සිටියේ වසර ගණනක් විභාග ෆේල් වෙමින් සිටි " ක්‍රොනික් වෙමින් සිටි " අය්යලා පිරිසකි. එකින් එක මේ කාමර හිස් වෙද්දී ජේෂ්ඨත්වයේ පිළිවෙලට ඒව අනෙකුත්  කණ්ඩායම් වල සිසුන්ට  හිමි වුණා . 

ඒ අනුව සින්ක් එකක් තිබ්බ කාමරය බුලත්ටත් , සෙමා නමින් ප්‍රසිද්ධව සිටි වසර ගණනාවක්  (දහයක් හෝ දොළහක්) වෛද්‍යපීටයේ සිටි අයෙක් භාවිත කල යටතට්ටුවේ කුඩා  කාමරයක් මටත් හිමිවුණා.. උඩ තට්ටුවේ  12 සහ 13 කණ්ඩායම් වල අයගේ  ගණුදෙනුවලට  වැඩි කැමැත්තක් දැක්වූ මගේ රූමා මේ සිද්ධියෙන් තරමක් හිත් අමනාප කර ගත්තත් මා මගේ පෞද්ගලිකත්වය අගය කල නිසා ගත් තීරණයක් ඒ අලුත් කාමරයකට යෑම . 

අප කළින් සිටි කාමර උඩින් විවෘත ලෑලි ගසා වෙන්කල කාමර වී අතර දොර උඩ වතුර කෝප්පයක් සෙට් කර බකට් කිරීම , අවශ්‍ය නම් උඩින් අනෙක් කාමර වලට යෑමට හැකිවීම සහ මැද මිදුළේ එහා පැත්තේ සිට කෑ ගසා පාඩම් කිරීමට භාධා කිරීම වැනි දේවල් කල හැකි වුණා. 

මා හොස්ටල් ගිය මුල්ම කාලයේ සිදුවූ යම් සිද්ධියක් මීට උදාහරණයක් ලෙස දක්වන්න පුළුවන්. මගේ කාමරයේ ඒ දවස්වල හිටියේ මම විතරයි ඊට ටික කලකට පස්සේ තමයි මගේ රූමා ඒකට එන්නේ..

 ඔන්න මම දවසක් මැද මිදුල පැත්තට වෙන්න තිබ්බ මේසේ ලඟට වෙලා හිස්ටොලොජි පොතක් කියවමින් ඉන්නවා. එක පාරම එහා පැත්තේ ජනේලෙකින් ඔලුව දාපු කෙනෙක් 

" අඩෝ මූණා උඹ මොනවටද ඔච්චර ක්‍රෑම දෙන්නේ.. පොඩ්ඩක් සෙල්ලම් කරළා එහෙම හිටපන් බං " 

කියලා කෑගහනවා.. මම ඔළුව පහත්කරගෙන පාඩම්  කරනවා . මේ කියන කෙනා අපේ කාමරේට ඉස්සරහ කාමරේට නිතර යන එන අය්යා කෙනෙක් .. 

මම "%& අය්යා මම  පොඩ්ඩක් පාඩම් කරන්න හිතුවා " කියලා හිනා වෙවී වැඩේ කරගෙන යනවා .. විනාඩියක් දෙකක් යන්නත් පෙර %& අය්යා මගේ පිටිපස්සේ මොකද මම දොර ලොක් කරලා තිබුණේ නෑ.. 

මගේ උරහිස උඩින් පොතට එබුණු ඔහු එක පාරම " මෙන්න මූණා හිස්ටෝ අදිනවෝ" කියලා මුළු හොස්ටල් එකටම ඇහෙන්න කෑ ගහනවා..  

මේ  කාලේ %& අපිට වඩා බැචස් තුනක් විතර සීනියර් කෙනෙක්  . කාගෙත් ගෞරවය දිනාගත්ත කෙනෙක් ලෙස පෙනී හිටියේ .  ලැජ්ජාවට පත්වූ මම පොත බැලිල්ල නවත්වා පත්තර මේසය දිහාට ගියා වගේ මතකයි.. 

ඔහුගේ හිතේ තිබ්බේ මොකක්ද දන්නේ නෑ සමහර විට කොල්ලෝ වුණාම ටිකක එළියට පහළියට ගිහින් ඉන්න ඕනේ වගේ අදහසක් වෙන්න පුළුවන් ..

හරි එකෙන් කමක් නෑ . කියන්න හිතපු කතාව කියමුකෝ. සිද්ධිය වුණේ අපි තුන්වන වසරේ ඉන්න කාලේ. අපේ තුන්වන වසරේ විභාගේ කට ලඟටම ඇවිල්ලා .. ඔන්න මම හිටපු කාමරේ ( යට තට්ටුවේ හොස්ටල් එකේ පොදු මුළුතැන්ගෙයට අල්ලපු කාමරේ ) ට වෙලා මම පාඩම් කර කර ඉන්නවා . කුස්සිය පැත්තෙන් පොඩි පොඩි සද්ද ටිකක්  ඇහුණත් මම ගණන් ගන්නේ නැතිව වැඩ . ඔන්න එක පාරම " කිමද සුමිහිරියේ මේ අරුමේ .." කියමින් සිංදුවක් ඇහෙනවා ඒ පැත්තෙන් . බැලින්නම් කොල්ලෝ කිහිපදෙනෙක්  කුස්සියේ මේසයකට තට්ටු දදා සිංදු කියනවා.. විභාගෙ අතලඟ නිසා මටත් වැඩ හිරවෙලා හිටියේ .. " උඹලා මොකද  මෙතන කරන්නේ ? අපිට පාඩම් කරන්න භාදා වෙනවා කියලා තේරෙන්නෙ නැද්ද? කියන සිංදුවක් වෙන දිහාක ගිහින් කියාගනිල්ලා මට පාඩම් කර ගන්න තියෙනවා "

 මම සද්දයක් දැම්මා .. බලනකොට කට්ටියක් කුස්සියේ බිම එළාගෙන පෝස්ටර් අඳිනවා ( මතක හැටියට ඒ කාලේ මහමෝදර තිබ්බ වෛද්‍ය - හෙදි ගැටුමේ කොටසක් විදිහට ගහපු පෝස්ටරයක් හරි එහෙමත් නැත්නම් මාතරින් ආපි ශිෂ්‍ය සංගම් පෝස්ටරයක් හරි ) . ඒ කාලේ කිසියම් කණ්ඩායමකට විභාගයක් තිබුණ කාලයක නම් භාදාවෙන ලෙස සද්ද බද්ද නොකරන සිරිතක් නේවාසිකාගාරයේ තිබ්බා . ඒ සිරිත කඩවීම ගැනයි මම විරෝධය පළකරේ . අනික වැඩේ කරන්නෙත් අපේ කණ්ෂ්ඨ සිශ්‍යයෝ වගයක් නේ . ඒ නිසාත් මම ජේෂ්ඨයා නිසා තනියෙන්ම තමයි සටනට ගියේ.

මෙතන පොඩි @# යා ඇතුළු අපේ ජූනියර් කණ්ඩායම් දෙකක සෙට් එක තමයි හිටියේ . හැමෝම පොඩ්ඩක් තුෂ්ණිම්භූත වෙලා ගියා වෙන්න ඕනේ කැම්පස් එකේ වැඩටකට /දේශපාලන වැඩකට ( ශිෂ්‍ය සංගම් වැඩකට ) මම විරුද්ධ වෙන කොට . මතක හැටියට කව් රු හරි කිව්වා මතකයි .. " මේක පොදු වැඩක් . අපි කරන්නේ ඔය හැමෝම වෙනුවෙන් කරන වැඩක් . ඒකයි අපි කුස්සිය තෝරගත්තේ " කියලා ..  පොදු වැඩක් නම් කොමන් රූම් එකට පළයල්ලා ඕකත් අරන්, කොමන් රූම් තියෙන්නේ ඒකට තමයි " මම ආයිත් සටනට  ගියා 

 .. මට  කොහොමටත් ඒ දවස්වල පොඩි @# ඇතුළු පිරිස පෙන්නන්න බෑ .. හේතුව දැන් කියන්න පුළුවන් ඒ කාලේ නොකිව්වාට .. අපි හැමෝම රැග් කාලා ජේෂ්ඨයන්ගෙන් වාතවෙලා ආපු තැනට ඔහු ආවේ අය්යා ශිෂ්‍ය සභාවේ සභාපති නිසා තිබ්බ @#අය්යාගේ මල්ලී කියන ගැම්මෙන්, මම ඒකට කැමතිම නෑ .. මොකද අපි හැමදාම හිතුවේ සමානාත්ම තාවයෙන් සළකනවා කිව්වාම අරයෙගේ මල්ලී මෙයාගේ අය්යා කියලා විශේෂයක් නෑ  පාරම්පරිකව කල විදිහට පිළිගැනීම් සිදුවිය යුතු බවයි . 

මාසතුනක් ජූනියස්ලා ගණන් ගන්නේ නැත්නම් ඒක සිශ්‍ය සභාවේ සබාපතිගේ මල්ලිටත් අදාලයි .. ඉතිං මගේ එක රූමේක් "@#අය්යා , @#අය්යා " කියමින් නැලවුණාට මට වැඩේ ඇල්ලුවේ නෑ මම මාස තුනක් නොව බොහෝ කලක් පොඩි @# නොසලකා හැරියා ( @#ලා දෙන්නා මේක කියවනවා නම් ඔන්න දැන් තේරුම් ගන්න පුළුවන් වෙයි හේතුව ) තවත් එකක් මගේ මෙ නොරුස්ණා ගතිය තවත් වැඩි කරමින් ඔහුත් මා හමුවන හැම තැනම " හා "කට්ටිය"   ...  කොහොමද කියමින් මට "කට්ටිය " යැයි ආමන්ත්‍රණය කරන්න ගත්තා . 

විශේෂයෙන් 13 අය සහ %& අය්යා @# මල්ලීට දැක්වූ කරුණාව අපට නොපෙන්වූ එකක් නිසා මම දිගටම මේ නොරුස්ණා ගතිය පවත්වා ගෙන ගියා මතකයි.. ඒවා මතක් වෙනකොට දැන් හිනා කාලා පණ ගියත් ඒ කාලයේ සිද්දි ඔහොමයි ඉතිං .. @# ලා දෙන්නම නරක එවුන් නෙවෙයි තරුණ කාලේ අපිට එහෙම පෙනුණට වැඩිහිටියන් ලෙස ඔවුන්ගේ ලොකු වැරැද්දක් පෙනෙන්නේ නෑ  (ඒ කාලේ පෙනී හිටි  දේශපාලන මත වලට හාත්පසින්ම විරුද්ධ මත දැරීම විතරයි ඉතිං වෙනසකට තියෙන්නේ).

පෝස්ටර් ලියමින් සිටි කට්ටිය සිංදුව නවතා ටිකකින් විසිර ගියා   ඊට ටික වෙලාවකට පස්සේ හෙන ගැංසියක් ( අපේ සීනියර් බැච් එකේ/13  සෙට් එකක්ම ) එනවා මාව හොයාගෙන. "මුණා මොකෝ උඹ මේ අපේ කට්ටියගේ පෝස්ටර් වැඩේ භාධා කරනවා කියන්නේ?" කට්ටියගේ ප්‍රධානියා ඒ කාලේ එම කණ්ඩායමේ සිශ්‍ය සංගම් නියෝජිතයා මගෙන් අහනවා .. මම කාරණේ පැහැදිළි කරා "මට විභාගයක් තියෙනවා පොදු වැඩ පෝස්ටර් වැඩ ඕනෙ දෙයක් අපිට භාධා නොවෙන විදිහට කරගත්තට කමක් නෑ .. කට්ටිය මෙතන කෑ ගහන්න ගත්තා ඒකයි විරුද්ධ වුණේ. .. ඉතිං මුන්ට පුළුවන්නේ කොමන් රූම් එකට ගිහින් පෝස්ටර් අඳින්න .." මම මගේ සින්නන්ට උත්තර දුන්නා.. එතන කොහොමටත් දහපහළොස් දෙනෙක් ( සීනියර් , ජූනියර් ඔක්කොම ඉන්න ඇති ) මම හිටියේ තනියෙන්. 

"ඇයි උන් කොමන් රූම් යන්නේ ? උඹ තනි මිනිහනේ උඹ ගියානම් ඉවරනේ .."

 ජේෂ්ඨ කණ්ඩායමේ තවත් කෙනෙක් කිව්වා . දැන් සමහරු අත්දෙක බැඳගෙන එහෙම මා දිහා බලන් ඉන්නවා . සීනියර් බැච් එකේ කටකාරයෝ දෙන්නෙක් මාත් එක්ක හෝ ගාලා කතාව . ලොකු ගැටුමකට   එන  ලකුණක් නම් පෙනුණේ  නෑ .  කොහොම වුණත් මාත් අතහැරියේ නෑ .. 

"එහෙම කොහොමද  තනි , ලොකු කණ්ඩායම් කියලා වෙනසක් නෑ  විභාගේ කරන එකාට ප්‍රමුඛතාවය තියෙන්න ඕනේ .. උඹලා  කව් රු කොහොම කිව්වත් මෙතන ආයි සද්ද කරන්න දෙන්නේ නෑ . අරන් පලයල්ලා උඹලා ගේ පෝස්ටර් කොමන් රූම් එකට මම මගේ රූම් එකේම තමයි පාඩම් කරන්නේ "

මගේ මතකය නම් කට්ටිය පෝස්ටර් අඳින්න වෙන තැනක් ( කොමන් රූම් හරි වෙන කාමරයක් හරි ) හොයාගෙන ගිය බවයි . එහෙම නැත්නම් කුස්සියේම පෝස්ටර් ඇන්ද සද්ද නොකර .. කොහොමහරි පස්සේ දවසක අපේ ජේෂ්ඨ කණ්ඩායමේ නියෝජිතයා මාත්තෙක්ක මේ කතාව කිව්වා..

" මචං උඹනම් මරු පොරක් අපි අච්චර සෙනඟක් ඇවිල්ලත් උඹ සරෙන්ඩර් වුණේ නෑ නේ අපිට එහෙම වෙන්නත් හෙන ගටක් තියෙන්න ඕන බං  "

( මෙසේ කිව්වේ ඒ කාලේ සටන්කාමී සිශ්‍යයෙක් ලෙස පෙනී සිටි දැන් දේශපාලන/පෞද්ගලික හේතුමත ඊට හාත්පසින්ම  විරුද්ධ මත දරණ කෙනෙක් , ඒත් මනුස්සයෙක් හැටියට හරි හොඳ ගති පැවතුම් තියෙන කෙනෙක් ).. 

ඊට පස්සේ තමයි මාත් හිතලා බැලුවේ  කට්ටියම එකතුවෙලා මට සටනක් දුන්නානම් තනි මම මොනවා කරන්නද?

 හැබැයි උන් එහෙම කලෙත් නෑ . තර්කය පිළි අරන් අයින් වුණා 


Saturday, 14 November 2020

පිරිත් සාජ්ජය

 



අපේ අය්යා ලංකාවෙන් යන දවසේ අම්මයි තාත්තයි දෙන්නම හෝ ගාලා ඇඬුවා .. ඒ කාලේ කෙනෙක් පිටරටකට යනවා කිව්වහම තමන් අතහැරලා යනවා වගේ හැඟීමක්නේ එන්නේ.. ඒ නිසාද එහෙමත් නැත්නම් තමන්ගේ බලාපොරොත්තුව , තමන් ගැන හොයාබලන්න ඉන්න ලොකුපුතා තමන්ගෙන් දුරස්වෙලා යන නිසා ඇඬුවද කියලා දන්නේ ඒ දෙන්නම තමයි  .. 

මම ලංකාවෙන් යනවා කිව්වහම අම්මලා හඬුවේ නෑ සන්තෝෂ වුණා . ලංකාවේ හිටියානම් එතෙක් ගත්තාවගේ දඩබ්බර තීරණ තවත්ගනියි කියලා හිතිලද  , මෙයා රටගියොත් අපේ අනික් දරු දැරියන්ට සහ ඔවුන්ගේ ස්වාමි පුරුෂයින්ට සහ ඒ පවුල්වල දරුවන්ට හොඳක් වෙයි කියලා හිතලද , එහෙමත් නැත්නම් මම ලංකාවෙන් ගියේ අය්යා රට හැරගිය කාලේම නොව  අවුරුදු පහකට පස්සේ  නිසාද යන්නත් දන්නේ ඒ දෙන්නම තමයි.. කොහොමවුණත්  මම  වැඩිදුර අධ්‍යාපනය සඳහා නෝර්වේ රාජ්‍යට යන්න යනවා කියන්න මමත් නිම්මිත්  බණ්ඩාරවෙල ආ අන්තිම  වතාවේ එයාලා හොඳ  වැඩ සටහන් ටිකක් ලෑස්ති කරලා තිබ්බා .මේ කතාව ඒ ගැනයි.

මේ වෙනකොට මට විදෙස්ගත වෙන්න අවශ්‍ය සියළු කටයුතු සූදානම් වී තිබිණි. විශ්ව විද්‍යාලයේ නිවාඩු අනුමැතියේ සිට නොර්වේ දේශයෙන් ලැබිය යුතු විද්‍යුත් තැපැල් පණිවිඩ , ලියුම් කියුම් සියල්ලද  ලැබී තිබිණි.. එද හවස වැඩ ඇරිලා ඇවිත් ගෙදර ඉද්දී එන දුරකතන ඇමතුමකි ..

"චුටි පුතා , මේ සති අන්තේ මේ පැත්තේ එන්නද ඉන්නේ ?"  තාත්තා අහන්නේ මම ගෙදර එන දවසක් වෙලාවක් නොකියා හිතුණ ගමන් ගෙදර එන්නට පුරුදු වූ සිටි කෙනෙක් බව ඔහු පලපුරුද්දෙන්ම දන්නා නිසයි .." යන්න ඉස්සෙල්ලා ගෙදර එන අන්තිම පාරනේ කලින් කියලා එන්න.." .. "ඇයි ලොකු පාටියක් වත් සෙට් කරනවද තාත්තලා ? " " නෑ පාටියක්ම නෙවෙයි නෑදෑයෝ ටිකට ඔයාට කතාකරන්න වැඩක් ලෑස්ති කරා  . රටින් පිටත්වෙන්න ඉස්සෙල්ලා එහෙම කරන එක හොඳයිනේ? " අම්මයි තාත්තයි කිසියම් හෝ වැඩකට අර  අදිති. දෙන්නාට දෙන්නා තම තම නෑදෑ පරපුර අපට මුණගස්වන්නට යමක් සංවිධානය කරණු පෙනේ..

 "ඒයි ඒක නෙවෙයි අන්න කට්ටිය දවසක් දෙකක එහේ ඉඳලා නෑදෑයෝ එක්ක කතා කරන්න ලෑස්තිවෙලා එන්න කියනවා " මම නිම්මීට කීවෙමි.. "ලොකුතැන මොනවද දන්නේ නෑ ලෑස්ති කරන්නේ පුතණ්ඩියට? හරි එහෙනම් යමුකෝ බලන්න"  නිම්මිත් ඔල්ලොකුවට මෙන් කියයි..

අපේ දාහත ශ්‍රී ටොයෝටා ඩීඑක්ස් වැගන් එ  බණ්ඩාරවෙල යන්නට අවශ්‍ය බඩු පුරවා ගත්තෙමි.. රන්දෙනිගල රජමාවත හරහා ගමන ආරම්භ කලෙමු. මුළින්ම නුවර ආසන්නයේම තිබෙන රජයේ පශු ගොවිපොළේ කිරි කඩයෙන් මී කිරිත්  ඉන් පසු මග දිගට හමුවණ ඉරිඟු , අඹ , දෙල් , පළාවර්ග , එළවළු ආදිය විකුණන ළමා සහ ගැහැණු වෙලඳ  සමූහයාගෙන් බඩු ගැනීම නිම්මිගෙත් මගෙත් ගමන් චර්යාවේ ප්‍රධාන අංගයකි .. මහියංගණට ආසන්න වෙද්දී කොට්ට පුළුන් විකුණන වෙලඳුන් ගෙන් කොට්ට පුළුන්ද වරක් රැගෙන ගියේ අම්මලාට කොට්ට හදාගන්නයි.. බණ්ඩාරවෙල පැත්තට යද්දී එහේ අයටත් නුවර පැත්තට එද්දී කෑගල්ලේ අයටත් දෙන්නට මාර්ගස්ථ වෙලඳුන්ගෙන් එළවළු පළතුරු හා වෙනත් බඩු ගැනීමේ අපදෙදෙනාම ඉතා ආශාවෙන් කල දෙයකි. 

මග දිගට තාත්තාගෙන් දුරකථන ඇමතුම් එයි "දැන් කොහෙද? දවල්ට උයලා තියන්නද? මොනවද හදලා තියන්නේ?"  ඔවැනි ප්‍රශ්න රැළකි . මඥඥොක්කා කොළ කිරිහොදිත් එක්ක  , කොස්, වට්ටක්කා දළු , අළකොළ මගේ ලිස්ට් එකේ උඩින්ම තියෙන කෑම වර්ග බව  අම්මා සහ තාත්තා හොඳින් දනිති.

හවස්වෙද්දී නිම්මිත් මමත් බණ්ඩාරවෙල නිවසට ලඟා වීමූ .. හාත්පස මීදුමෙන් වැසුණු තේවතු පාරේ වාහනයෙන් වගේම පයින් යන්නත් අප දෙදෙනාම දැක්වූවේ දැඩි කැමැත්තකි .. ගෙ උඩහා පාරේ ( ඒ කාලේ අපේ නිවසටම යන්නට පාරක් තිබ්බේ නැත , පසු කලෙක පාර හැදුවේද මගේ  අනුග්‍රහයෙනි ) වාහනය දමා තේවත්තේ නෙත්ති කාණුව දිගේ පල්ලැහැහට බහින ටිකට එන ශීතලත් , හාත්පස වෙලාගන්නා මීදුමත් අප නුවර කොළඹ ආදී ප්‍රදේශ වල අප විඳි පරිසරයට හාත්පසින්ම වෙනස් පරිසරයක් අපට මවාපායි.

ගෙදරට එන විටත් සාළයේ මුල්ලක එක විස්තරයකි. තාත්තගේ අක්කගේ පුතා පණ්ඩිතේ අය්යා මනරම් පිරිත් මණ්ඩප්පයක් හදමින් සිටියි .. තාත්තා , මේ මොකද මේ? නෑ ඔයා රට යන එකටයි , ඔයදෙන්නට සුභ පතන්නයි පොඩි පිරිතක් ලෑස්ති කරා . හම්බවෙන්න ඉන්න දරුවටත් හොඳයි නේ .. ඒ වනවිට අපේ පුතා සුපුන් මාස හතරක පහක කළලයකි තාත්තා කියන්නේ ඔහුට ආශිර්වාදයක්වෙන්නත් එක්ක පිරිතක් කියවන බවයි. 

අපේ නැන්දගේ පුතා වන පණ්ඩිතේ අය්යා පළාතේම ඉන්න දක්ෂම කළාකාරයෙකි , චිත්‍ර , මූර්ති , පිරිත් මණ්ඩප වගේම තොරණ් ඇතුළු ආගමික වැඩසටහන් වලට ඔහු ප්‍රසිද්ධය.. ඒ වගේම පළාතේ හොඳම කැටයම් ශිල්පියා ලෙසද ඔහු ප්‍රසිද්ධියක් උසුළයි.

"ආ...චූටි මල්ලී දැන්ද ආවේ? "කියමින් පණ්ඩිතේ අය්යාද කතාවට එක් වෙයි . ඔහු තාත්තලා පැත්තේ කෙනෙකි . එහෙත් අපේ ගෙදර වැඩවල වැඩි ඉඩකඩ ලැබෙන්නේ කිරිඔරුවේ අම්මගේ පැත්තේ කට්ටියටය කුස්සිය පැත්තට යද්දී ලොකු මාමා , පොඩ්ඩේ මාමා , පොඩි පුංචී සහ අපේ පොඩිම මාමා ඇතුළු  බජාර් එකම එහි පැමිණ සිටියහ . 

නිම්මිත් අම්මලාත් ගේ ඇතුළෙ ඉද්දී මම එළියට ගියෙමි  ලොකු මාමත් පොඩ්ඩේ මාමත් මාත් සමඟ කතාවට එක්වූහ .. "නියමයිනේ රට යන්න තියෙන එක ? කොච්චර දෙයක්ද  මේවගේ වැටිලා ඉන්නවට වඩා ? "  ලොකුමාමා කියයි .. පොඩ්ඩේ මාමා ඊට වඩා එහාට කල්පනා කර තිබිණි .. " දැන් ගියාම ඉස්සර පැල්වල ගිය ඒවා එහෙම අමතක වෙයිද දන්නේ නෑ? "

" මොන පිස්සුද?  ඕවා හැමදාම මතක තියනවා  .. මතකද පන්සල පහුවෙච්ච ගමන් තියෙන හරස්ගෙදරවත්ත මැදින් යද්දී බීඩියක් පත්තු කරගන්න හැටි .. මේ උඹ මේවා ගිහින් ලොකු අක්කගේ කණේ එහෙම තියෙනවා නෙමෙයි කියකියා ?  මම පොඩ්ඩෙ මාමාට ඔහුගේ තරුණ කාලයේ දඩබ්බර වැඩ මතක්කර දුන්නෙමි.. පොඩ්ඩේ මාමා කිරිඔරුවේ මහගෙදර දඩබ්බරම චරිතයයි.. බීඩී බීම , ගෙදරින් හොරෙන් පැනලා ගිහින් මැණික් ගැරීම,මැණික් සල්ලි වලින් කිරිඔරුවට මුලින්ම කැසට් රේඩියෝවක් ගෙන ඒම , මල්වත්තේ සැළුන් එකට ගිහින් කොණ්ඩේ ක්‍රේල් කිරීම  වගේ ඒ කාලේ අපිට පෙනුණ අළුත් දේවල් වැඩිපුර කලේ  පොඩ්ඩේ මාමාය. 

"කොහොමද වතුරට ෆයිට් කරගත්ත හැටි ? " මම ලොකු මාමාට අපි එළවළු හදද්දී සිදු වූ වතුර ගැටුම් මතක් කර දුන්නෙමි. පොඩි පොඩි සිද්ධි තිබුණාට කිරිඔරුවේ මාමාලා සෙට් එක  අපේ ළමා හා තරුණ කාලයේ අපේ ලොකුම ශක්තියයි.. අපි හැදී වැඩුණේ ඔවුන් ඇසුරේය .. පොඩ්ඩේ මාමා බීඩි බිව්වට අපිට බීඩි  පෙව්වේ නැත .. 1989 රැඩිකල්  දේශපාලනයට අපි ඔවුන්ගෙන් සමහරෙක් ඇදගත්තා මිස ඔවුන් අපිව කිසිම අනතුරුදායක දෙයකට යොමුනොකලේ ලොකු අක්කාට ඔවුන්ගේ තිබුණ බලවත් ගෞරවයත් භයපක්ෂපාත කමත් නිසාය.. 

අද අප මෙන්ම ඔවුනුත් ජීවිතයේ ලබාගත යුතු දේවල් සියල්ලක් ලභා සැනසීමෙන් කල් ගෙවන්නේ 1989/90 භීමසමයේ රාත්‍රී ගණන් කිරිඔරුවේ හූරියගස්වැල්ල කුඹුරු යායේ පැල්වල ,භියෙන් , සැකයෙන් ජීවත්වූ අතීතයකටද හිමිකම් කියමිණි . පොඩ්ඩේ මාමා මට මතක් කර දෙන්නේ  තම අක්කා විසින් කොල්ලෝ දෙන්නා බේරාදෙන ලෙස සියළුම වගකීම් ඔවුන්ට පවරාදී තිබූ ඒ කාළය ගැනයි .

කතාබස් එකෙන්ම වෙලාව ගතවී ගෙන යයි  රෑ අට අටහමාර වෙද්දි කිරිඔරුවේ සියල්ලෝමත් මාරබැද්දේ සහ කොළතැන්නේ පවුල්වල අයත් වරින්වර අපේ ගෙදරට ලඟාවෙති. 

ඒ අතරේ  පුදුමයක් සිදුවෙයි අපේ ජීවිත කාලෙටම අපේ ගෙදරට පය තබා නොතිබූ පිරිසක්ද ඒ අතර සිටිති .. ඒ ගමේතිබූ ප්‍රධාන ගිහි පිරිත් කණ්ඩායම් දෙකක් එකක සාමාජිකයින්වන කිරිඔරුවේ සමරේ මාමා දඹකොටේ  සිරිසේනමාමා , පල්ලැහැ විළියොන් මාමා ඇතුළු එම කණ්ඩායමේ නායක එස් ආර් කිරිබණ්ඩේ මාමා ඇතුළු පිරිසයි.. 

මේ අය අපේ තාත්තා නායක්ත්වය දැරෑ ගිහි පිරිත් කණ්ඩායමට ආරාධනානොකරන තැන්වල ( විශේෂයෙන් කිරිඔරුවේ ) පිරිත් කියන කණ්ඩායමයි..  තාත්තලා කණ්ඩායම ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා කාරයන්ගෙන් සමන්විත් වූ එකකි කිරිබණ්ඩේ මාමලා කණ්ඩායම ඒ කාලේ තද යූඑන්පී එකකි ( දැන් නම් සමරේ මාමා ඇතුළු බොහොදෙනෙක් පොහොට්ටු කරුවන් වී සිටිතී.

  අර ඉංග්‍රීසියෙන් "ෆිටින්ග්ලි "  කියලා කියන්නා වගේ  මේ අය සැපත්වී තිබුණේ අපේ ගෙදර ඉන්නා  පක්ෂ, පාට , ලොකු පොඩි උස්පහත් භේද කිසිවක් නොසළකන , පසුගිය අමනාපකම් කිසිවක් හිතේ තියාගෙන ඒවා පස්සේ පන්නන්නේ නැති එකම සාමාජිකායාගේ ආශිර්වාද පිරිත් සජ්ජායනයටයි .. ඒ බව හැඟවෙන හරබර අනුශාසනාවක්  එස් ආර් කිරිබංඩේ මාමා  අතින් කෙරුණේ ඒ නිසා විය යුතුය.. 

තාත්තලා ගේ වැඩ වලට සාමාන්‍යෙන් විරුද්ධ වෙන ගතියක් මගේ තිබුණත් එදා පිරිත් මුළු පැය දහයම නිදි නොලබා අසන්නට මම තීරණය කළෙමි. නිම්මීද මුළු රෑම පිරිත් කොටුවේ දොර ලඟම මා අසලින් වාඩිවී සිටියාය. 

  මව් කුසේ සිටම පිරිත් ඇසූ පුරුද්දට දෝ මන්දා වයස දාහතක් වෙලත්, උපන්දා සිට වැඩි හරියක් ලංකාවෙන් පිට ජීවත් වෙලත් අපේ සුපුන් තවමත් නිදාගන්නේ මහපිරිත අසමිනි

Friday, 6 November 2020

අපේ "ස" කමුද ආප්ප එක්ක ලුණු මිරිස්



 එක්දාස් නමසිය අනූතුන - අනූහත කාලය අප මහමෝදර වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගරයේ ගතකල කාලයයි . අවුරුදු 23 ක තරුණයෙක් ලෙස නේවාසිකාගරයට ගිය මට ආශ්‍රය කරන්න ලැබුණේ ඒ සමවයසේ සහ ආසන්න වයස්වල පිරිසකි.. අවුරුදු ගණනාවක් විභාගය කරමින් සිටි අපට වඩා වයසින් ගොඩක් වැඩි කිහිපදෙනෙකුත් එහි සිටියේ වුවද අපේ ආශ්‍රය වැඩියෙන්ම තිබුණේ අපට එකක් හෝ දෙකක් ඉහළ ශිෂ්‍ය කණ්ඩායම් සහ එකක් අඩු ශිෂ්‍ය කණ්ඩායම සමඟයි .. මහමෝදර අපේ කණ්ඩායමේ අය සිටියේ ඉතාම අඩුවෙන් (තුන්දෙනෙක් ) නිසා අපේ ලඟම හිතවතුන් වූයේ දොළොස්වන කණ්ඩායමේ අය කිහිපදෙනෙකි.. විශේෂයෙන් දොළහේ බුලත් , ජගත් රණවක , සෙට්ටි දිමන්ත ඇතුළු අම්පාරේ කට්ටිය ( මගේ එක රූමෙක් අම්පාරේ කෙනෙක්නිසා )  අපට ඉතා සමීපව ඇසුරු කරන්නට ලැබුණු  පිරිස අතර වූහ

නේවාසිකාගාරයේ වැඩි පිරිසක් එකළ ආහාර ගත්තේ මහමෝදර රෝහළ පිටිපස්සේම නිවසක ජීවත්වු මුස්ලිම් ඇන්ටී (තම්බි ඇන්ටී) ලාගේ ගෙදරින්.. රෑ හතට විතර එහිගොස් ඇති පදම් බත් , කොස් මාළු හොදි හරක් මස් ( බොහෝ විට හරක්ගේ වැඩිපුර ආහාරයට නොගන්න කොටස් අඩංගු ) පරිප්පු ආදිය සහිත සප්පායම් වෙන අපි නැවත් හොස්ටල් එකට ඇවිත් දඬුබස්නාමානය , රාත්‍රී ප්‍රවෘත්ති ආදිය රූපවාහිනියෙන් බලන්නෙමු.. ඉන්පසු හෙමින් හෙමින් එකා දෙන්නා පාඩම් කරන්නට තම කාමරවලට ඇදෙයි .. හිටි ගමන් බුලත් ගේ තබ්ලා වාදනයක් ආදිය ඇහුණත් සාමාන්‍යයෙන් පරිසරය සාමකාමීය .. 

හිටි ගමන් රාත්‍රියක  සමහරවිට රෑ එකොළහට දොළහට අපි කොළඹ පාර දිගේ ටිකක් දුර ගොස් රාත්‍රී කඩයකින් ආප්ප කන්නට පුරුදුවී සිටියෙමු .. බිල් ගෙව්වේ තමතමන්ද කින්ද මන්ද කියා මතක නැතත් ජගත් රණවක, අපේ තුන්දෙනා ( සමන් , බණ්ඩාර සහ මම ) සෙට්ටි , දිමන්ත , බුලත් වැනි අය සෙට් වී මේ ආප්ප කෑම සඳහා පිටවූ බව මතකය .. මේ කඩෙන් වාගෙම සමහර විට අබේසේකර එකෙනුත් අපි ආප්ප , ළුණු මිරිස් , කොත්තු ආදිය ගත් බව මට මතකය ... සාමාන්‍යයෙන් දිග කළිසම් හැඳ , ශර්ට් උඩින් දමා තරමක් පිළිවෙලට සූදානම් වන අප වැඩිපුර කැමති ඒ ඇඳුමට බාටා දෙකක් පැලඳ  ගත්විට ලැබෙන සැහැල්ලු ගතියටයි අසළින් තිබෙන මුහුදු වෙරළෙන් එන ශීතල සුළඟත් විදිමින් යන මේ ගමන සෑහෙන්න විනෝදමත් එකකි .. මේ කඩ කාරයෝ දෙන්නම අපි කව්ද යන්න දන්නාමුත් ( අසල ජීවත්වන වෛද්‍ය සිසුන් ) ඕනාවට වඩා වැඩි පුර අපත් සමඟ භජනයට එන්නේ නැත . 

එහෙත් අපේ ආප්ප කෑමේ රටාවත්  හෝටල් කරුවන් ගේ සාත්තු සප්පායමුත් වෙනස් වූ සිද්ධිය සිදුවූයේ ද මේ කාලයේමය . ඒ මහමෝදර රෝහලත් මුස්ලිම් ඇන්ටිලා ගෙදරත් අතර කුඩා බිම්තීරුවක පාර අයිනේ අළුතින් ආරම්භ කල ආප්ප කඩයත් සමඟයි .. ඒ අසළම පිහිටි නිවසක ජීවත්වූ තරුණ යුවළක් ආරම්භ කල ඒ ආප්ප කඩය කුඩා පෙට්ටි කඩයක් වුණත් ඉතාම පිළිවෙළට සකස්කල එකකි. ස්වාමියා ආප්ප කඩේ වැඩකරන අතර බිරිඳ නිවසින් සීනි සම්බල් , ළුණු මිරිස් ආදිය සාදවා ගෙනැත් තැබුවාය .. ගැණුම් කරුවන්ට වාඩිවෙන්නට කුඩා ලී බංකු දෙකක් සහ ලී මේසයක් සකස්කර තිබූ එහි තිබූ පිරිසිදු කම සිත් ඇදගන්නා සුළුය .. තරුණ සැමියා තරමක ගණන් කාරයෙකු බව දන්නා ගැණුම් කරුවෝ කිසිවෙක් දෙන්නගෙන් එක්කෙනෙකුට වත් පාර්ට් දාන්න ගියේද නැත..

මෙතෙක් අබේසේකර කොත්තු හෝ අනික් හෝටලයෙන් ආප්ප කකා හිටි ජගත් , බුලත් ඇතුළු අපි හැමෝම මේ අළුත් ආප්ප කඩයට හුරුවුණේ  ඉබේටමය ..




 "මූණා , සංජේ , ලසඳා  වරෙව් ආප්ප කන්න යන්න " ආරාධනාව ජගත් ගෙන් හෝ බුලත්ගෙන්ය .. 

ආප්ප කඩේට යන අපේ ජේෂ්ඨයෝ   " මුදලාලි බිත්තර ආප්ප පහයි ප්ලෙන් ආප්ප දහයයි දාන්න " කියා කියන්නේ ලෝකයක් වටිනා යමක් ඇණ්වුම් කරන්නාක් මෙනි.. 

ඇත්තටම අපට පෙනි පෙනී හදන මේ කඩේ ආප්ප   ඉතා රස ඒවාය..  ලුණු මිරිසද ඉහින් කණින් දාඩිය දාන ගාණට සැරට හදා තිබූ එකකි.. 

 අප එකිනෙකා ලඟට ආප්ප සහ ලුණු මිරිස් භාජන ගෙනැත් තබනා මුදලාලිත් අබේසේකරලාට වඩා වෙනස්ය.. 

"සර් කොහොමද ? ඊයේ රෑ එකදෙක වෙනකම් පාර්ටි නේද?  අපට ඇහුණා සාජ්ජේ බරටම යනවා?"  . මේ කියන්නේ එක එක හේතු මත බොහෝවිට සිකුරාදා රාත්‍රී වලට නේවාසිකාගාරයේ පවතින සාජ්ජ ගැනයි ..

උඩ තට්ටුවේ ඉස්සරහම කොටසේ  නේවාසිකාගාර පාළක ගමගේ මහත්තයාගේ කාමරයට උඩින් කෑල්ලට එකතුවෙන් අපි ( මුලින්ම බුලත්ගේ තබ්ලාවත් ඊට පස්සේ ටිකෙන් ටික බටනලා ගිටාර් ආදියත් මෙතැනට  එයි ) සිංදු කියමින් විනෝදවෙන හැටි  අසා සිටි මුදලාලි ඒ ගැන අපත් සමඟ කතාකරන්නට මැළිවන්නේ නැත.


කොහොමටත් කට පුරා "සර් " කියා අප අමතන එකට හිතයටින් අප බොහෝදෙනෙක් කැමතිවූයෙමු.. අප ජීවත්වූයේ ඉතාමත් සරළ සාමාන්‍ය ඇවතුම් , පැවතුම් ඇති පිරිසක් ලෙස වුණත් මේ ඉන්නේ පොඩි දොස්තර මහත්තුරු බව ඔහු දන්නා බව අපට ඒත්තු ගැන්වූ තරුණ මුදලාලි අපේ සිත් ඇදගත්තේ නිතැතින්මය.. 

ඔහු ආප්ප කඩේ පටන් ගැනීමත් සමඟ අපේ ආප්ප කෑමේ රාත්‍රී ගණනද එන්න එන්නම වැඩි වෙන්න විය ..

"ඉහින් කණින් දාඩිය එනකං ආප්ප කෑවා බං " කියමින් බඩ අතගගා හොස්ටල් එකේ පඩිපෙළ නඟිනා අම්පාරේ ජගත්ගේ රුව මට තවමත් මැවී පෙන්නෙනේඒ සියළු රසබර මතකයන් අවදිකරවමිනි