Friday, 6 November 2020

අපේ "ස" කමුද ආප්ප එක්ක ලුණු මිරිස්



 එක්දාස් නමසිය අනූතුන - අනූහත කාලය අප මහමෝදර වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගරයේ ගතකල කාලයයි . අවුරුදු 23 ක තරුණයෙක් ලෙස නේවාසිකාගරයට ගිය මට ආශ්‍රය කරන්න ලැබුණේ ඒ සමවයසේ සහ ආසන්න වයස්වල පිරිසකි.. අවුරුදු ගණනාවක් විභාගය කරමින් සිටි අපට වඩා වයසින් ගොඩක් වැඩි කිහිපදෙනෙකුත් එහි සිටියේ වුවද අපේ ආශ්‍රය වැඩියෙන්ම තිබුණේ අපට එකක් හෝ දෙකක් ඉහළ ශිෂ්‍ය කණ්ඩායම් සහ එකක් අඩු ශිෂ්‍ය කණ්ඩායම සමඟයි .. මහමෝදර අපේ කණ්ඩායමේ අය සිටියේ ඉතාම අඩුවෙන් (තුන්දෙනෙක් ) නිසා අපේ ලඟම හිතවතුන් වූයේ දොළොස්වන කණ්ඩායමේ අය කිහිපදෙනෙකි.. විශේෂයෙන් දොළහේ බුලත් , ජගත් රණවක , සෙට්ටි දිමන්ත ඇතුළු අම්පාරේ කට්ටිය ( මගේ එක රූමෙක් අම්පාරේ කෙනෙක්නිසා )  අපට ඉතා සමීපව ඇසුරු කරන්නට ලැබුණු  පිරිස අතර වූහ

නේවාසිකාගාරයේ වැඩි පිරිසක් එකළ ආහාර ගත්තේ මහමෝදර රෝහළ පිටිපස්සේම නිවසක ජීවත්වු මුස්ලිම් ඇන්ටී (තම්බි ඇන්ටී) ලාගේ ගෙදරින්.. රෑ හතට විතර එහිගොස් ඇති පදම් බත් , කොස් මාළු හොදි හරක් මස් ( බොහෝ විට හරක්ගේ වැඩිපුර ආහාරයට නොගන්න කොටස් අඩංගු ) පරිප්පු ආදිය සහිත සප්පායම් වෙන අපි නැවත් හොස්ටල් එකට ඇවිත් දඬුබස්නාමානය , රාත්‍රී ප්‍රවෘත්ති ආදිය රූපවාහිනියෙන් බලන්නෙමු.. ඉන්පසු හෙමින් හෙමින් එකා දෙන්නා පාඩම් කරන්නට තම කාමරවලට ඇදෙයි .. හිටි ගමන් බුලත් ගේ තබ්ලා වාදනයක් ආදිය ඇහුණත් සාමාන්‍යයෙන් පරිසරය සාමකාමීය .. 

හිටි ගමන් රාත්‍රියක  සමහරවිට රෑ එකොළහට දොළහට අපි කොළඹ පාර දිගේ ටිකක් දුර ගොස් රාත්‍රී කඩයකින් ආප්ප කන්නට පුරුදුවී සිටියෙමු .. බිල් ගෙව්වේ තමතමන්ද කින්ද මන්ද කියා මතක නැතත් ජගත් රණවක, අපේ තුන්දෙනා ( සමන් , බණ්ඩාර සහ මම ) සෙට්ටි , දිමන්ත , බුලත් වැනි අය සෙට් වී මේ ආප්ප කෑම සඳහා පිටවූ බව මතකය .. මේ කඩෙන් වාගෙම සමහර විට අබේසේකර එකෙනුත් අපි ආප්ප , ළුණු මිරිස් , කොත්තු ආදිය ගත් බව මට මතකය ... සාමාන්‍යයෙන් දිග කළිසම් හැඳ , ශර්ට් උඩින් දමා තරමක් පිළිවෙලට සූදානම් වන අප වැඩිපුර කැමති ඒ ඇඳුමට බාටා දෙකක් පැලඳ  ගත්විට ලැබෙන සැහැල්ලු ගතියටයි අසළින් තිබෙන මුහුදු වෙරළෙන් එන ශීතල සුළඟත් විදිමින් යන මේ ගමන සෑහෙන්න විනෝදමත් එකකි .. මේ කඩ කාරයෝ දෙන්නම අපි කව්ද යන්න දන්නාමුත් ( අසල ජීවත්වන වෛද්‍ය සිසුන් ) ඕනාවට වඩා වැඩි පුර අපත් සමඟ භජනයට එන්නේ නැත . 

එහෙත් අපේ ආප්ප කෑමේ රටාවත්  හෝටල් කරුවන් ගේ සාත්තු සප්පායමුත් වෙනස් වූ සිද්ධිය සිදුවූයේ ද මේ කාලයේමය . ඒ මහමෝදර රෝහලත් මුස්ලිම් ඇන්ටිලා ගෙදරත් අතර කුඩා බිම්තීරුවක පාර අයිනේ අළුතින් ආරම්භ කල ආප්ප කඩයත් සමඟයි .. ඒ අසළම පිහිටි නිවසක ජීවත්වූ තරුණ යුවළක් ආරම්භ කල ඒ ආප්ප කඩය කුඩා පෙට්ටි කඩයක් වුණත් ඉතාම පිළිවෙළට සකස්කල එකකි. ස්වාමියා ආප්ප කඩේ වැඩකරන අතර බිරිඳ නිවසින් සීනි සම්බල් , ළුණු මිරිස් ආදිය සාදවා ගෙනැත් තැබුවාය .. ගැණුම් කරුවන්ට වාඩිවෙන්නට කුඩා ලී බංකු දෙකක් සහ ලී මේසයක් සකස්කර තිබූ එහි තිබූ පිරිසිදු කම සිත් ඇදගන්නා සුළුය .. තරුණ සැමියා තරමක ගණන් කාරයෙකු බව දන්නා ගැණුම් කරුවෝ කිසිවෙක් දෙන්නගෙන් එක්කෙනෙකුට වත් පාර්ට් දාන්න ගියේද නැත..

මෙතෙක් අබේසේකර කොත්තු හෝ අනික් හෝටලයෙන් ආප්ප කකා හිටි ජගත් , බුලත් ඇතුළු අපි හැමෝම මේ අළුත් ආප්ප කඩයට හුරුවුණේ  ඉබේටමය ..




 "මූණා , සංජේ , ලසඳා  වරෙව් ආප්ප කන්න යන්න " ආරාධනාව ජගත් ගෙන් හෝ බුලත්ගෙන්ය .. 

ආප්ප කඩේට යන අපේ ජේෂ්ඨයෝ   " මුදලාලි බිත්තර ආප්ප පහයි ප්ලෙන් ආප්ප දහයයි දාන්න " කියා කියන්නේ ලෝකයක් වටිනා යමක් ඇණ්වුම් කරන්නාක් මෙනි.. 

ඇත්තටම අපට පෙනි පෙනී හදන මේ කඩේ ආප්ප   ඉතා රස ඒවාය..  ලුණු මිරිසද ඉහින් කණින් දාඩිය දාන ගාණට සැරට හදා තිබූ එකකි.. 

 අප එකිනෙකා ලඟට ආප්ප සහ ලුණු මිරිස් භාජන ගෙනැත් තබනා මුදලාලිත් අබේසේකරලාට වඩා වෙනස්ය.. 

"සර් කොහොමද ? ඊයේ රෑ එකදෙක වෙනකම් පාර්ටි නේද?  අපට ඇහුණා සාජ්ජේ බරටම යනවා?"  . මේ කියන්නේ එක එක හේතු මත බොහෝවිට සිකුරාදා රාත්‍රී වලට නේවාසිකාගාරයේ පවතින සාජ්ජ ගැනයි ..

උඩ තට්ටුවේ ඉස්සරහම කොටසේ  නේවාසිකාගාර පාළක ගමගේ මහත්තයාගේ කාමරයට උඩින් කෑල්ලට එකතුවෙන් අපි ( මුලින්ම බුලත්ගේ තබ්ලාවත් ඊට පස්සේ ටිකෙන් ටික බටනලා ගිටාර් ආදියත් මෙතැනට  එයි ) සිංදු කියමින් විනෝදවෙන හැටි  අසා සිටි මුදලාලි ඒ ගැන අපත් සමඟ කතාකරන්නට මැළිවන්නේ නැත.


කොහොමටත් කට පුරා "සර් " කියා අප අමතන එකට හිතයටින් අප බොහෝදෙනෙක් කැමතිවූයෙමු.. අප ජීවත්වූයේ ඉතාමත් සරළ සාමාන්‍ය ඇවතුම් , පැවතුම් ඇති පිරිසක් ලෙස වුණත් මේ ඉන්නේ පොඩි දොස්තර මහත්තුරු බව ඔහු දන්නා බව අපට ඒත්තු ගැන්වූ තරුණ මුදලාලි අපේ සිත් ඇදගත්තේ නිතැතින්මය.. 

ඔහු ආප්ප කඩේ පටන් ගැනීමත් සමඟ අපේ ආප්ප කෑමේ රාත්‍රී ගණනද එන්න එන්නම වැඩි වෙන්න විය ..

"ඉහින් කණින් දාඩිය එනකං ආප්ප කෑවා බං " කියමින් බඩ අතගගා හොස්ටල් එකේ පඩිපෙළ නඟිනා අම්පාරේ ජගත්ගේ රුව මට තවමත් මැවී පෙන්නෙනේඒ සියළු රසබර මතකයන් අවදිකරවමිනි 

6 comments:

  1. සැර ළුණු මිරිසත් එක්ක ආප්ප කාලා අන්තිමට බොන වැඩි සීනී ප්ලේන්ටිය තමයි මරු

    ReplyDelete
  2. අලුත් මුදලාලි කට්ටියව ගානට අල්ගෙන වගෙයි.

    ReplyDelete
    Replies

    1. අහුවුණා අහුවුණා ඉස්සර වගේම ඔය හොස්ටල් එකේ හිටපු ගොඩක් කට්ටිය ගිය නොවැම්බරෙත් අළුත් මුදලාලි කෙනෙකුට අහුවුණා

      Delete
  3. මුදලාලි හාමිනේ ගැන විස්තරයක් නෑ .......

    ReplyDelete
    Replies
    1. මුදලාලි ගණන්කාරයා නිසා හාමිනේ ගැන කිසිම මතකයක් අපිට ඇතිනොවෙන්න තරම් ඔහු අපේ අවධානය දිනාගත්තු බව තමයි කියන්න තියෙන්නේ .. නිතර කඩේට ලුණු මිරිස් , මාළු හොදි එහෙම හදාගෙන හාමිනෙත් එනවා.. උඩුරැවුල් කාර තරුණ හාදයෙක් වූ මුදලාලි තමයි සම්පූර්ණ අවධානය දිනාගෙන තියෙන්නේ

      Delete