මම අප කුඩා කල අපේ නිවස සිහි කරන්නෙමි.
කන්තෝරුවේ කුරුටු ගා ගෙදර එන තාත්තා එන තෙක් උණු උණු තේ එකක් හදා ගෙන සිටින්නි අපේ අම්මාය.
"අද හරි මහන්සියි විමලෝ.. " කියමින් තම කන්තෝරු මල්ල මේසය උඩට විසි කරන ඔහු ඇඳේ හෝ හාන්සි පුටුවේ වැඩිවෙයි.
ඒ මල්දෙණියේ කන්ද නැගීමෙන් ඇතිවූ විඩාව නිවා ගන්නට අම්ම හැදු තේ කෝප්පයත් තොල ගාමිනි.
ඒ අතර අම්මා ඔහුගේ සපත්තු සහ මේස් ගලවා දමයි.
ඒ එක්දාස් නමසිය බර ගණන් වල ශ්‍රී ලාංකික ගෘහනියයි.
අද තත්වය ඊට හාත්පසින්ම වෙනස්ය. අද රැකියාවක් නොකරන ගෘහනියන් විරල වීම එක හේතුවකි.
එමෙන්ම මේ වෙනසට බලපාන තවත් හේතු වකි. අද අපි ඒ ගැන සොයා බලමු.
ඉස්සර මෙන් වැඩ ඇරී නිවසට එන සැමියා සහ හවස පාසැල් පංති අවසන් කර නිවසට එන දුවා දරුවන් පිළිගන්නේ ආදරණිය මව විසින් නොවේ.
ඒ වෙනුවට විඩාබර ඔවුන්ගේ නෙත ගැටෙන්නේ ඇය හරහා ඔවුන් වෙත බලා සිටින රුපවාහිනී තිරය විසිනි.
ආදරණිය මව ඔවුනට පිටුපා සමහරවිට හඬමින් එසේත් නැතිනම් තිරයේ දිස්වන ඕලාකර විගඩම් වලට සිනහ වෙමින් ඉන්නා ගමන්ය.
ඇයගේ අවධානය වෙනතකට ගැනීමට නම් සෑහෙන වෙහෙසක් දැරිය යුතුය .
හේතුව මේ වනවිට ශ්‍රී ලංකාව පුරා ඇති පැතිරෙමින් පවතින වසංගතයකි.
එහි ආදීනව කෙසේද යත් හවස හය හතේ සිට රෑ නමය දහය වනතෙක් ගේ දොර හොරු ගෙන ගියත් නොදන්නා තරමට නිවැසියන් රූපවාහිනියට ඇලි ගැලී සිටිති.
අද ශ්‍රී ලංකා සමාජයට පිළිලයක් වී ඇති නොනවතින රැල්ල "රුපවාහිනී නාට්‍ය හෙවත් ටෙලි නාට්‍ය " අද දවසේ මාතෘකාවයි.
මා දුටු ශ්‍රී ලංකික ටෙලි නාට්‍ය
මම නැවතත් 1989-90 කාලයට පියමන් කරන්නෙමි . ඒ දිනවල අපේ ගෙවල් වල තිබුණේ කළු සුදු රුපවාහිනියකි.
නිවසට විදුලිය නොතිබුන නිසා එය ක්‍රියාත්මක කෙරුනේ කාර් බැටරියක ආධාරයෙනි.
සමන්ත තමාගේ පළමු තක්කාලි කොටුවෙන් ලැබුණු ආදායම යොදවා ගෙනා ටීවී එක සහ සුදු පාට කාර් බැටරියක් අපේ ටෙලි නාට්‍ය බැලීමට උපකාරී විය.
එමෙන්ම කාගෙන් හෝ ලැබුණු තඩි කළු කාර් බැටරියක්ද අපේ ගෙදර තිබුනා මතකය.
මේ බැටරි දෙක මාරුවෙන් මාරුවට චාජ් කිරීමෙන් රුපවාහිනිය පැන් ගැන්වූයෙමු.
අපි බැටරි චාජ් කිරීමට රැගෙන යන්නේ උඩහ තේ වත්තේ ලැයිමකටයි.
අනිවාර්යෙන් සිකුරාදා හවස් වන විට එක බැටරියක් හොඳ තත්වයේ තබා ගැනීමට අම්මා වග බලා ගත්තාය.
"ඒයි චුටි පුතා ලයිමට ගිහිල්ලා මේ බැටරිය චාජ් කරන වරෙන් " අම්මා මට පවසයි .
මා නොමැති වෙලාවක මේ රාජකාරිය පැවරෙන්නේ අපේ අක්කාටය.
හතරට නැමූ තුවායක් කරේ දමා ඒ මත බැටරිය තබා ගන්නා මම ලැයිමට ගාටන්නේ මා නොබලන එහෙත් ගෙදර අනෙක් හැමෝම තලු මර මරා බලන ටෙලි නාට්‍යක් වෙනුවෙනි.
ඒ සෝමවීර සේනානායකගේ තිර රචනයෙන් සහ නාලන් මෙන්ඩිස් ගේ නිෂ්පාදන දායකත්වයෙන් අප නිවසට වැඩි "දු දරුවෝ " ටෙලි නාට්‍යයි.
දුදරුවෝ
(ලියන්නේ : සෝමවීර සේනානායක , නිෂ්පාදනය : නාලන් මෙන්ඩිස් )
අද මෙන් දිනපතා නොව එකල ටෙලි නාට්‍ය තිබුණේ සෙනසුරාදා සහ ඉරිදා පමණි.
සෙනසුරාදා රාත්‍රී ආහාරයෙන් පසු අම්මා , තාත්තා , අක්කා, නංගිලා ඇතුළු සැවොම දුදරුවෝ බලන්නට සාලයට එති.
උසස් පෙළ විභාගයට පාඩම් කරමින් සිටි මම "ඔය ටීවී එකේ සද්දේ අඩු කරපල්ලා " කියමින් කෑ ගසන්නෙමි.
ඒ ඉස්සරහ කාමරයේ ඇති මගේ ඇඳට වී පොතක් බලනා අතරයි. සම්පත්, සුදු මාමා මෙන්ම දීප්ති වැනි චරිත සංවාදයේ යෙදෙනු මට ඇසේ.
මම නැවතත් අම්මලාට බණිමින් කොට්ටයකින් ඔළුව වහ ගන්නෙමි.
එහෙත් දුදරුවන්ගේ හැල හැප්පීම් වල විස්තර මගේ කණටත් වැටෙන්නේ මගේ කාමරයත් සාලයේ ඇති ටීවී එකත් අතර මහා දුරක් නැති හෙයිනි.
කල්ගත වත්ම අපේ කට්ටියට විරෝධයක් වශයෙන් සාලයට නොගියද දු දරුවෝ කථාවට සවන් යොමන්නට පුරුදු වුයෙමි.
එහි මගේ සිත් ගත් චරිතය වුයේ සුදු සීයා ගේ චරිතයයි. හෙන්රි ජයසේනයන් විසින් පනපෙවු එහි මගේ අනාගතයටත් කිසියම් සබඳතාවයක් ඇතැයි එදා මට සිතුනේ නැත.
ඒ දිනවල දුදරුවෝ බැලුවේ අපේ ගෙදර පමණක් නොවේ.
සඳතැන්න පාසැල ඇරී නිවසට එන ගමනේදී පසුගිය සතියේ කොටස විශ්ලේෂණය කිරීම අපේ විමලා අක්කා නොවැරදීම කල දෙයකි.
තාත්තා සහ මා අතර ඇතිවූ සමහ මත ගැටුම් ගැන ඇසු ඈ . "ඔයත් හරියට සම්පත් වගේ " යැයි දුදරුවෝ ආශ්‍රයෙන් අපේ ගැටුම පැහැදිලි කළාය.
දඬුබස්නාමානය
මගේ මතකයේ රැඳුනු දෙවැනි ටෙලි නාට්‍ය එන්නේ 1990 ගණන් වල මැද හරියේ දිය. එවකට මම වෙද සිසුවෙක් ලෙස තුම්මෝදර නේවාසිකාගාරයේ වාසය කලෙමි.
ජයන්ත චන්ද්‍රසිරි ගේ නිර්මයක් වූ එයද ශ්‍රී ලංකා ජාතික රුපවාහිනියේ විකාශය වුවකි.
එකල බදදා හවස හත හමාර වන විට හොස්ටල් එකේ එහා පැත්තේ බුලතා ගේ කාමරයෙන් ඇසෙන ගී හඬකි.
"රකිනා දෙවි සිත වග වැලහින්නේ .. " යනුවෙන් ඇරඹෙන එයාට දෙවැනි පදය එකතු වන්නේ යට තට්ටුවේ සිටි අජිත් අය්යලාගෙනි
"අඩෝ බොග දම දමාම ඉන්නේ නැතිව වරෙව්... ඒයි මුණා, ලලිතා , සංජේ වරෙල්ලා දඬුබස්නාමානය බලන්න "
බුලත් තෙමේ නැවතත් හඬ අවදි කරයි. අපි හැමෝම ටීවී කාමරයට දිව එන්නේ ඉස්සරහම පුටුවක් අල්ලා ගන්නටය.
බුලත් ,අජිත් අය්යා වැනි අය රුපවාහිනිය අසලම බිම වාඩිවෙති . ප්‍රමාද වී පැමිණෙන සේමා වැනි අය දොරෙන් එළියේ සිට දඬුබස්නාමානය බැලුහ.
ශ්‍රී ලංකාවට අවේනික සටන් කලාවක් වූ අංගම් පොර සහ සටන් කලාව එකම නෑදෑ පරපුරක් තුල තබා ගැනීමට දැරූ අසාර්ථක උත්සහයක් පිලිබඳ ඒ කතාවේ තිබු බව මට මතකය.