මා තුම්මෝදරට ගොස් සති කිහිපයක් ගතවූ තැන තවත් හතරේ කණ්ඩායමේ සගයෙක් එහි එන්නට කැමැත්ත පල කළේය. එතෙක් පාසැල්ගුරුවරියක වූ තම අක්කාගේ නිවසේ සිට කරගම්පිටියට පැමිණි ඔහු අම්පාර ඩි එස් එකේ සිසුවෙකි.
ඔහු දන්නා හඳුනන ජේෂ්ට ඩි එස් සිසුවෝ තිදෙනෙක් නේවාසිකාගාරයේ උඩු මහලේ තිබු මගේ කාමරයට අල්ලපු කාමරයේ වාසය කළහ.
ඔවුන් කදෝපැනියලට පෙර වසරේ ( කරා දෙකේ) තිදෙනෙකි. නිලන්ත හෙවත් රිලවා , මංචනායක හෙවත් මංචියා සහ සුගත් රණවක තුම්මෝදර අම්පාර ගැන්සියේ අය වුහ.
කදෝලට හාත්පසින්ම විරුද්ධ අදහස් දැරූ මොවුන් තුම්මෝදර ප්‍රසිද්ධ වී තිබුණු අනිත් කාරණය ( වල බැසීමේ කටයුතු ) ඉහලින්ම පෙන්නුම් කල අය වුහ.
මන්චියාලා මගේ අල්ලපු කාමරයට වී රෑ බෝ වෙන තෙක් ශබ්ද කරන්නට පුරුදු වී සිටියහ.
ඒ බොහෝවිට පාරේදී හමුවූ කෙල්ලන් ගැන හෝ අපේ වෙද විදුහලේ කෙල්ලන් ගැනය.
කරුණු එසේ වුවත් මේ තිදෙනා අතර හුන් සුගත් රණවක තමා ඉගෙනිමටද දක්ෂයෙක් බව ඒ දිනවලද පෙන්නුම කළේය.
දෙවන වසර අවසාන විභාගයෙන් දෙවන පෙළ ( පහළ) සාමාර්ථයක් ලැබීමෙන් ඔහු ඒ බව පෙන්නුම් කළේය.
තුම්මෝදර වල ගැන්සියේ යාව ජීව සාමාජිකයෙකු වූ සුගත් අද පශ්චාත් උපාධිය හමාර කල දක්ෂ වෙදැදුරන් අතර ප්‍රමුඛයෙකි.
නිලන්ත තරමකට ඉංග්‍රීසියට සහ බටහිර පන්නයට ආවැඩු සිසුවෙකි. ඉතා විනෝදයෙන් සහ සැහැල්ලුවෙන් තම කාලය ගෙවූ නිලන්ත ඉංග්‍රීසි පිලිබඳ හසල දැනුමක් ඇතියෙක් ලෙස හැසිරුණේය.
මෙම හැසිරීම බොහෝවිට කදෝපැනියලාගේ උපහාසයටද හේතුවක් විය.
"What is love.... baby don't hurt me... no more..."
කියමින් කෑ ගසනා නිලන්තගේ දසුන එකල නේවාසිකාගාරයේ අපේ කොටසේ නිතරම දක්නට ලැබුණු දසුනකි.
නිලන්තලා මෙන් නොව මේ හතරේ අපි තවමත් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කරමින් සිටින කාලයයි මේ . ඒ වන විට හතරේ දෙවැනි සාමාජිකයාද දැන් තුම්මොදරට සැපත් වී සිටියි.
සතිස්චන්ද්‍ර නම් ඔහු කදෝ පැනියලගේ කාමරේ ඉදිරි පස වූ මගේ කාමරයටම ඇතුල් කිරීමට මිස්ට ගිනිගේ වග බලාගත්තේය. ගිනිගේ යනු තුම්මෝදර නේවාසිකා ගාරයේ අනධ්‍යන පාලක වරයායි.
එකල අපේ අධ්‍යන පාලක වරයා වුයේ ජිව රසායන අංශයේ කථිකාචාර්ය වරයෙකු වූ නෙළුම් කුමාර මහත්මායි. නෙළුම් කුමාර මගේ මතකයේ රැඳුනේ ඔහු ඕනෑම දේශනයක් පටන්ගන්නා විලාශය එකම ආකාරයක් ගත් බැවිනි.
නෙළුම් කුමාරට තුම්මෝදර කොල්ලෝ ගබඩා යැයි නමක්ද පට බැඳ තිබුණි. එහෙත් එහි අර්ථය කුමක් විය හැකිදැයි ඔබ ඇසුවොත් "අදටත් මා ඒ ගැන සොයමින් පසුවෙමි යැයි මට කියන්නටසිදුවේ.
ගබඩා මුලින්ම අපට දේශනයක් කල දින මා මතකයට නැගේ.. අපි දේශන ශාලාවේ අසුන් ගෙන සිටියෙමු. තුම්මෝදරදී දැක තිබු හුරු පුරුදු මුහුණක් ප්‍රොජෙක්ටරයඅසලට පැමිණෙයි.
දැන් හා හා පුරා කියා දේශනය ආරම්භ කරන්නට සුදානම් වන මොහොතයි.. "As I told you earlier..." කියමින් ඔහු දෙසුම ආරම්භ කළේය.
හතරේ අපි බොහෝ දෙනෙක් අන්දුන් කුන්දුන් වූ බවක් පෙනෙන්නට තිබුණි. " මේ යකා මේ කියන්නේ තුනේ එවුන්ට කියලා දුන්න දෙයක් ගැන වත්ද" ඉන් සමහරක් සිතන්නට ඇත. එහෙත් ඉන් පසු සෑම දිනකම ගබඩා සිය දෙසුම ආරම්භ කලේ "As I told you earlier..." කියමිනි. අපේ අදහස වැරදි බවත් ඒ ගබඩාට ආවේණික යෙදුම බවත් අපි වටහා ගතිමු.
තුම්මෝදර සාජ්ජ සහ බුලතා
අම්පාරේ ජේස්ට සිසුන් සිටි කාමරයට ඉදිරියෙන් ඇති කාමරය තනි සිසුවෙක් විසින් පරිහරණය කරන ලද්දකි. එහි රාත්‍රී දෙගොඩ හරි ජාමයේ මියුරු තබ්ලා වාදනයක් හෝ බටනලා වාදනයක් නොඇසුනේනම් පුදුමයකි. එහි සිටියේ කරා දෙකේ කරා පොරක් වූ බුලත් අය්යයි.
ඔහු නේවාසිකාගාරයේදී කිසිම දිනක උඩු කය වැසෙන්නට යමක් ඇඳ සිටිනවා මා දැක නැත. කොලපාට ඉරී ඉරී සරම ඔහුගේ ජාතික ඇඳුමයි. ආර්ය සිංහල ලීලාවෙන් බුලත් විට කෑ ඔහුගේ කාමරය වටා රතු පැහැ පැල්ලම් වැටි තිබුනේ බුලතා යනු කවරෙක්දැයි ලොවටම කියා පාමිනි.
මා තුම්මෝදරට ගිය පළමු දිනයේ වෙස් මුණු නාඩගම ඇතුළු අනෙකුත් සිදුවීම් සංවිධානය කිරීමේදී
බුලතාගෙන් සැහෙන සහයක් ලබා ගැනීමට කදෝ ඇතුළු පිරිස සමත් වුහ. ඔහුගේ කණ්ඩායම් සගයින් වූ මන්චියාලා මෙන් කරා තුනේ කට්ටියට හැම විටම විරුද්ධ නොවූ බුලතා මා ගොඩක් ප්‍රිය කල චරිතයකි.
බුලතාගේ කාමරයට පහලින් ඔහුගේ කාමරයේ සිට මිටර් අටක් දහයක් දුරින් තිබුනේ තුම්මෝදර රෝහලේ සේවය කල හෙදියන්ගේ නේවාසිකාගාරයයි.
මේ අතර අප කණ්ඩායමේ තුම්මෝදරට පැමිණි තුන්වන සහ අවසාන සගයාද මගේ කාමරයට පැමිණියේය.
මට පාසැලෙන් පිට වීමේ සිට මේ දක්වා ජීවිතයේදී හමුවූ හොඳම මිනිසා තුම්මෝදරට පැමිණියේමොණරාගල ප්‍රදේශයෙනි. ඔහු නමින් යසරත්න බණ්ඩාර නම් විය.
ඉතාමත් අහිංසක කොල්ලෙකු වූ ඔහුට "ලලිතා" යැයි කාන්තා නමක් පට බැන්දේ කරා තුනේ කල්ලිය විසිනි.
ඒ නම ලබා දීමට ප්‍රධාන හේතුවක් වුයේ ඉහල කණඩායම් වල සිසුන් නවක වධ කාලයේ කොමපන සැර වැර කලත් ඔහු ඔවුන්ට ඉතා අහිංසක ලෙස සිනාසුන නිසාය.
කාන්තාවක් මෙන් කුලෑටි බවක් පෙන්වූ නිසා ඔහු "ලලිතා " ලෙස නම් කරන්නට තුනේ කණ්ඩායම තීරණය කළේය.
මිට අමතරව තුම්මෝදර විසු බොහෝ දෙනෙක් ඔහුට බණ්ඩා කියා කියන්නටද පුරුදු වුහ.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හිතවතෙක් යැයි කිව හැකි වූ බණ්ඩාර මා වෙනුවෙන් බොහෝ කරදර වින්ද අයෙකි.
ඔහු ළඟ පාතක පවුලේ කිසිවෙක් නැති මා හට තවත් සහෝදරයෙකු මෙන් විය.
ඒ නිසාම බණ්ඩාර ගැන අදටත් මට ඇතිවන්නේ මගේම සොහොයුරෙකු කෙරෙහි ඇතිවන ගනයේ ලෙන්ගතු කමකි.