Saturday 11 February 2017

කබලෙන් ලිපට



සුමීර   දැඩි සත්කාර ඒකකයට  ගෙන යෑමට තරම් බරපතළ වූ හදිසි අනතුර ගැන පසුගිය පොස්ටුවෙන්  ඔබ හා කතා කලෙමි.

එහි සඳහන් කල පරිදි නිම්මිත් මමත් දිනපතා වැඩට යන ගමන් හෝ වැඩ ඇරී එන ගමන් ඔහු ගේ විස්තර බලා එන්නට අමතක නොකළෙමු.

මෙසේ දින අටක් හෝ දහයක් ගත වෙද්දී  සුමීරට සිහිය ආ  බව නිම්මිට දැනගන්නට ලැබී තිබුණි.

අපේ කුඩා මිතුරාට  නැවතත් පියවි සිහිය ලැබීම ගැන සතුටු වූ අප ඔහු බලන්නට ගියේ ඔහු කුමන ආකාරයකින් අප හඳුනා ගනියිදෝ යන දෙගිඩියාවෙන් යුතුවයි.

සිහිය ආ මුල් දවස් වල සුමීරට  රිය අනතුර හෝ ඊට ආසන්නයේ සිදුවූ දේවල් පිළිබඳව හෝ මතකයක් තිබුනේ නැත.

ඒ නිසාම ඔහුට නිම්මි අක්කගේ හෝ ඇයගේ ස්වාමියාගේ විශේෂ වැදගත් කමක්ද පෙනුණේද නැත.

දොස්තරවරුන්ගේ මතය වුයේ සුමීර ගේ  මස්තිෂ්කයේ හැඟීම් පාලනය කරන කොටස වූ පුර්ව මස්තිෂ්කය  (frontal lobe) කොටසට හානි වීම නිසා ඔහුගේ හැසිරීමේ බරපතළ වෙනස් කම් විය හැකි බවයි.



මේ වෙනස් කම් වලට සමාජශීලි වීමේ වෙනස්කම් , මිනිසුන් සමග හැඟීම් හුවමාරු කරගැනීමේ වෙනස්කම් ආදිය ඇතුළත්ය.

ඒ කෙසේ වෙතත් සුමීර නැවත පියවි  සිහිය ලැබීම ගැන ඔවුන්ගේ පවුලේ අය වගේම අපිද සතුටු වූයෙමු.

සුමීර අප සමග අනතුරට පෙර දැක්වූ ඇඟලුම් කමෙහි අඩුවක් නොවුනද  ඔහු අප හා කතා බහ කරද්දී  මෙම සමාජශීලි නොවන ගතිය කැපී පෙනුණා කිවොත් නිවැරදිය.





මෙසේ  ක්‍රම ක්‍රමයෙන් සනීප වූ සුමීර නැවත ඔහුගේ දෙමව්පියන් සමග කුලියාපිටියේ නිවසට ගිය අතර.  මාස ගණනාවක් යන තෙක්ම අපට ඔහු ගැන හෝ ඔහුගේ පවුලේ අය ගැන හෝ ආරංචියක් ලැබුනේ නැත.

අපට නැවතත් සුමීර මුණගැසෙන්නේ  2004 වසරේදීය . ඒ  පශ්චාත් උපාධිය සඳහා  ශිෂ්‍යත්වයක් ලැබ නෙදර්ලන්තයට  ගිය මා සමග නිම්මිත් සුපුනුත්  එකතු වීමත් සමගයි.

එතෙක් අපේ නුවර කුලී නිවසේ තිබු සියළුම බඩු භාණ්ඩ ( පුටුසෙට් , අල්මාරි , ශීතකරණය ආදිය) නිම්මිලා නිවසට ගෙනත් දාන්නට අපි තීරණය කළෙමු.

පාරේ සිට නිම්මිලා ගෙදරට බඩු අදින්නට ආ පිරිසේ පුවක් බාස්, සුමිරගේ තාත්තා ලීල් මෙන්ම අපේ කුඩා හිතවතා සුමිරද වුහ.

කුලීවැඩ කිරීමෙන්ම ඇඟ පත හැදී පාංශු දේහධාරියෙකු  ලෙස දිස්වූ  ලීල් පුවක් බාස් මෙන්ම කඩිසර අයෙකි.

 මේ කියන දවසේ බඩු අදිමින් සිටි ලීල්  අපේ  ෆ්‍රිජ් එක තනියම කරේ තියාගෙන නියර දිගේ ආ හැටි මට තාමත් මතකය.

ලීල් ගේ පස්සෙන්  නිම්මිගේ  කුඩා කැසට් රේඩියෝව රැගත් සුමිර එනවා දුටුවෙමි.

එසේ අපේ බඩු අදින්නට පැමිණ සිටි  සුමිර  අපට හමුවන විට ඔහු සැහෙන්න සාමාන්‍ය අතට හැරී සිටියේය.

එහෙත් මාත්සමග වගා කරද්දී තරම් කුළුපග බවක් ඒ වන විටත්  සුමීරගෙන් දිස්වූයේ නැත.

 ඒ   වසර කිහිපයකට පෙර සිදු වූ හදිසි අනතුරේ බලපෑම නිසා විය යුතුය.

මේ වන විට සුමිරලා අම්මා නැවතත්  මැද පෙරදිග ගොස් සිටි අතර  (ආරංචියේ හැටියට ඈ සුමිරගේ  හදිසි අනතුරින් ටික දවසකට පසු නැවත මැදපෙරදිග ගොස් තිබේ)  එවර රටින් පිටවූ ඈ කිසි දිනක නැවතත් ලංකාවට පැමිණ නැත.

2004 වනවිටත්  අම්මා නැති සුමිර , ඔහුගේ මල්ලි සහ නංගි සමග  මාවනැල්ලේ ආතම්මා ළඟ ජිවත් වුයේ ඒ  නිසාය.

ඒ වනවිට  සුමිරගේ තාත්තා  ඔවුන් සමග සිටියද  දවල් කාලයේ කුලී වැඩ කර ලැබෙන මුදලින් හවස් වෙද්දී   කසිප්පු හෝ අරක්කු වලින් සප්පායම් වන්නට පුරුදු වී සිටියේය.

2004  රටින් පිටවූ අපට සුමීරලා ගැන නැවත දැනගන්නට ලැබුණේ නිම්මි සහ අමරා අතර සිදු වූ දුරකථන සාකච්චා වලදී පමණි.

ඒ කාරණා අතර  පුවක් බාස් ගේ දියණියගේ වයසේ වූ සුමිරගේ නංගි අඩු වයසින් විවාහ කර දීම සහ  සමීරගේ මල්ලිගේ දඩබ්බර ක්‍රියා නිසා ගමේ අනෙක් අයට සිදු අලාභ ආදිය ගැන විස්තරද විය.

සුමිරලා  කබලෙන් ළිපට 

මේ කියන කාලය වන විට අප සිටියේ  නෙදර්ලන්තයේ නොව ඕස්ට්‍රේලියාවේය.  

හරියටම කියනවා නම්  මේ කාලය වෙද්දී අපේ  ගම නැගුම , මග නැගුම ආදී මාවනැල්ලේ සියලු සංවර්ධන කටයුතු අවසාන කර වසර දෙකක්  වත් ගතවී තිබිණි.

මා එසේ කියන්නේ අපේ ගම නැගුමේ වැඩ වල වැඩ කල සගයින් ( දිනපතා වැටුපට )  අතර  පුවක් බාස්, ගනේවත්ත , සුසන්ත පමණක් නොව සුමීරගේ පියා ද වූ නිසාය. 

එදා හදිසියේ අමරාගෙන්  නිම්මිට ලැබුණු දුරකථන ඇමතුමකි. 

" හලෝ  කොහොමද ? මොනවද විස්තර ඔය පැත්තේ ? "

"විස්තර තමයි හරි වැඩේනේ    අන්න ලීල් හදිසියේම පපුවේ අමාරුවක් හැදිලා මැරිලා "

" මොනවා අර සුමිරගේ තාත්තා ?"

" ඔව් ඔව් ඒ ලීල් තමයි.  අද දවල් පල්ලැහැ පැත්තේ කුඹුරක වැඩ කර කර ඉද්දි එක පාරම පපුව රිදෙනවා කියලා . 

එවෙලේම ඉස්පිරිතාලෙට ගෙනිච්ච්ලු . ඒත් යනකොටත් පණ ගිහිල්ලලු "

"අපරාදේ දැන් සුමිරලාට අම්මාත් නෑ , තාත්තාත් නෑ . 

පවු අසරණ ළමයි " .

දුරකථන සංවාදය අවසන් වුයේ සුමිරලාට අම්මා පමණක් නොව තාත්තාද නැතුව ගිය නරක ආරංචිය අප වෙත  ලබා දෙමිනි.

අපි නැවතත් සුමිර ලා පවුල ගැන ශෝක වූයෙමු . 

9 comments:

  1. මේක හැමදාම ඛේදාන්තයකින් කෙලවර වෙන වගේ.

    මොනව උනත් ඔය වගේ දුක් කරදර වලට මූන දීපු කොල්ලො ඒ වෙලාවෙදි වැටෙන්නැතුව හිටියොත් ඉස්සරහට ඕනම තත්වයක් යටතේ සමාජයේ ජීවත් වෙන්න හුරු වෙනව.

    ReplyDelete
    Replies
    1. මටත් ඔය දේම හිතුණා. ඒත් ඉතිං වැඩ සිද්ධ වුණේ ඔය විදිහටනේ ? ඉදිරියේදී හොඳ වෙයි කියවන්න .

      Delete
    2. //මොනව උනත් ඔය වගේ දුක් කරදර වලට මූන දීපු කොල්ලො ඒ වෙලාවෙදි වැටෙන්නැතුව හිටියොත් ඉස්සරහට ඕනම තත්වයක් යටතේ සමාජයේ ජීවත් වෙන්න හුරු වෙනව.// හරියට හරි ප්‍රසන්න , සමීර ඉදිරියේ කරන වැඩ කියවමු.

      Delete
  2. Replies
    1. සුමීර, සුමීර කලින් මට පැටලිලා සමීර කියලා ලියලා..

      Delete
  3. මේ වගේ කොල්ලෝ වැටෙන්නේ නෑ. සමාජ අත්දැකීම් එක්ක පදම් වෙනවා.

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත.. මල්ලි හරි මල්ලී

      Delete
  4. සුමීරට යහපතක්වේ යැයි සිතමි.

    ReplyDelete