Sunday, 19 March 2017

අපේ බිග් මැච් එක සහ postive advocacy



ඊයෙයි පෙරේදයි බණ්ඩාරවෙල පැත්තේ හැමෝම බොහොම සතුටින් ගත කරපු දවස් දෙකක්.

ප්‍රදේශයේ ජනප්‍රියම පාසැල් දෙකක් අතර  වාර්ෂික මහා ක්‍රිකට් තරඟය  පැවැත්වුණේ පහුගිය දවස් දෙකේ.

අපේ පාසැල් යාළුවෝ  වගේම නෑදෑ හිතවතුන් බොහෝ දෙනෙකුත් බිග් මැච් බලන්න ගොස් සිටි බව මුහුණු පොතේ  පෙනෙන්නට තිබුණා.

පාසැල් දෙකේ පාට ටී ෂර්ට් ඇඳලා  අවු කණ්නාඩි එහෙම දාලා කට්ටිය විනෝදෙන් ඉන්නවා දකිනකොට පොඩි ඉරිසියාවකුත් හිතට ආවේ නැත්තේම නෑ.

ඇත්තටම සතුටුයි ඒ කාලේ අපිත් එක්ක පාසැල් ගිය යාළුවො දැන් පළාතේ වග කිවයුතු නිලතල දරමින් ඉන්නා අතරේ මෙහෙම විනෝද වෙනවා දකින්න ලැබීම ගැන.

ඒ කාලේ පොඩියට හිටිය සමහරු දැන් හමුදාවේ ඉහළම නිලතල දරන අය, ඒ වගේම තවත් සමහරෙක් පළාතේම සේවය කරන ප්‍රසිද්ධ වෛද්‍යවරු , ඉංජිනේරුවරු, ලොකු ලොකු මුදලාලිලා වෙලා.

ඒ විතරක් නෙවෙයි පළාතේ දේශපාලනය කරන්නෙත් ( ප්‍රධාන පක්ෂ තුනෙන්ම )  අපේ පාසැල් දෙකේ ආදී ශිෂ්‍ය  පිරිසක් විසින්මයි .

පළාතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වර්තමාන මහා ඇමති වගේම වර්තමාන පළාත් සභා මන්ත්‍රී වරු කිහිප දෙනෙක්ම මේ පාසැල් වල ආදී ශිෂ්‍ය යින්.



සියල්ල සතුටු දායකව අවසන් වන්නට ඇති බව මගේ විශ්වාස යයි. ආරංචියේ හැටියට තරඟය ජය පරාජයෙන් තොරවයි නිමා වෙලා තිබුණේ. 

ආරාධිත අමුත්තන් අතර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් වගේම  මම මුලින් කී දේශපාලක ආදී ශිෂ්‍ය භවතුන් ද ඉන්නවා දක්නට ලැබුණා. 


බිග් මැච් කතාව මෙසේ සිදු වෙද්දී මුහුණු පොතේ පහත චායාරුපය පලවී තිබුණා . ඒ  සමාරම්භක උළෙලේ චායාරුපයක් හැටියට . 

මුහුණුපොත් ගිණුමේ හිමිකරු එක විද්‍යාලයක ප්‍රභල ආදී ශිෂ්‍යයෙක් වගේම  වත්මන් බණ්ඩාරවෙල පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ සහ හිටපු මහා ඇමතිතුමාගේ ලඟම හිතවතෙක්.  ඒ වගේම  අපේ නෑදැයෙක්. 



මෙය දුටු අපේ තවත් හිතවතෙක් ඒ චායාරුපය ගැන අදහස් පළකර තිබුණේ ක්‍රීඩා පිට්ටනියේ තිබු අඩු පාඩු නිරීක්ෂණය කරමින් .

''හරිම සතුටුයි මේක දකිනකොට,ඊටත් වඩා දුකයි ග්‍රවුන්එක දකිනකොට, වලවල් හැම තැනම, ජනාධිපති වැල්ලවායට ආ‌පු උත්සවය කෝටි ගානක් වියඳම් කරනව, දරැවනේ කල්පනා කරපල්ල මේ පාලකයො උඹලට සෙල්ලම් කරන්න සුදුසු පිට්ටනියක් දෙන්නවත් උනන්දුවක් නැහැ.

 හැබැයි ඌ‌වෙ මහ ඇ‌මතිතුමා පාසැල්වලට ගිහිල්ල පොර ටෝක් නම් දෙනව.මේ ක්‍රමය වෙනස් නොකරොත් හැමදාම මෙහෙම තමයි. ක්‍රිකට් ගහන්න වෙන්නෙ වලවල් වල තමයි" 

මෙය මගේම අදහසක් නොවෙනමුත් ඒ තුලින් කියවෙන බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනයේ වත්මන් තත්වය ගැන නම් මටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි.

වසරක් පාසා පළාතේ සියළුම ඉහල නිලතල දරන්නන් ඇතුළු ප්‍රභූවරු එක් රොක්වෙන ස්ථානය ඇත්තටම පවතින්නේ හරිම දුක්බර තත්වයක.

ඒ එක් එක් ප්‍රභූවරයා තම තම හැකි පමණින් ඉහළ දේශපාලනයට බලපෑම් කලා නම්  මේ ක්‍රීඩාංගනය මිට වඩා හොඳ තත්වයකට ගන්නට ඉඩ තිබුණ බව මගේ හැඟීමයි.

විශේෂයෙන්  බිග්මැච් බලන්නට එන පළාත් මන්ත්‍රීවරු , ඇමතිවරු ආදීන්ට  මේ වලවල් නොපෙනවා විය නොහැකියි.

ඒ අය සමග  ක්‍රීඩකයින් හඳුනාගන්නට යන අතරදී හෝ විශේෂ නැරඹුම්  මැදිරියේ සිට තරඟය නරඹන අතරේදී හෝ කතා කළහැකි/ කතා කල යුතු  මාතෘකාවක් සංවිධායක මඩුල්ල අතින් ගිලිහි ගොස් ඇති සෙයකි.


Positive advocacy





advocacy යන්නෙන් අදහස් වන්නේ  යම් කිසි දෙයක් කරවා ගැනීමට දේශපාලන හෝ බලය හිමි පිරිස් පොළඹවන  එකයි.

මා පෙර සඳහන් කල මුහුණු පොත් පොස්ට් එක දැමු මල්ලි වගේම  අනෙකුත් බොහෝ ඉහල තනතුරු දරන ආදී ශිෂ්‍ය පිරිස්  සිටින්නේ ඉතා පහසුවෙන්  අදාළ බලධාරින් පෙළඹවිය හැකි ස්ථාන වලයි.



අපේ ශ්‍රී ලාංකික හිතවතුන්  negative advocacy  වලට නම් ඉතාම ප්‍රසිද්ධ අයවළුන් වෙති.

විරුද්ධ දේශපාලන අදහස් දරන පිරිසකට ලැබෙන්නට යන  පාරක් හෝ  විදුලිබල සැපයුමක් වැනි දෙයක් නවතා දමන්නට ඔවුන්ට ගතවන්නේ ඉතා සුළු වේලාවකි.

අපේ ගමේ එදා මෙන්ම අදත් සිදුවන සිදුවීම්  දෙස බැලු විට අපේ අය තවමත් negative advocacy වල පෙරමුණේම සිටිනා බව පෙනෙන්නට තිබේ.

පවතින රාජ්‍ය පාලනය ප්‍රධාන පක්ෂ දෙකේම එකතුවක් වීම වත් ඊට බාධාවක් කර නොගන්නට තරම්  අපේ අය ඒ අතින් ඉදිරියට ගොස් සිටිති.




අවසානාවකට  positive advocacy  පැත්ත ඒ තරම්ම ඉදිරියට ගොස් නැත.

 එසේ වූවානම්  බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනය තවමත් වැස්සට වතුර පිරෙන/ වල ගොඩැලි පිරුණු තැනක් නොවනු ඇත.

අපේ විවෘත ආරාධනය ඉහතකී  පළාතේ යමක් කල හැකි පිරිසටයි.





කරුණාකර ඊළඟ වසරේ බිග් මැච් එකට පෙර තම තමන්ගේ positive advocacy  හැකියාව පෙන්වන්න.

බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණය ඒකට කියාපුම තැනයි...


Tuesday, 14 March 2017

ජීවක වෛද්‍යවරු ( පළමු කොටස)




මේ දිනවල අපට නිතර අසන්නට දකින්නට ලැබෙන්නේ බොහෝවිට සිත කළබල කරවන/කම්පාකරවන ප්‍රවෘත්ති සහ දසුන්ය.
විශේෂයෙන් අප රැකියාවේ නියැලී සිටින අනෙකුත් සගයින්ගේ වැරදි හෝ අඩු පාඩුකම් පුනපුනා කියවෙන බ්ලොග් පොස්ට්  රාශියක්ම  මේ මෑතකදී කල එළි බැස්සේ ය.

සමහර විවේචන වලට අනුව අපේ සගයින් නිකන්ම "පැනඩෝල් දොස්තරලා " වෙති.

ඔවුන්ගේ රැකියාව සහ ඔවුන් සපයන සේවාව ඊට වඩා හොඳට ඖෂධ සංයෝජකයෙකු ලවා කරගත හැකිය.



වෛද්‍යය වෘත්තිය ගැන මෙවැනි "පටු අදහස්" ඉදිරිපත් වීමට ප්‍රධානම හේතුවක් වී ඇත්තේ අපෙ වෘත්තිකයින් සමහරක් විසින් සිදු කරන පුද්ගලික බෙහෙත් සාප්පු මුදල් මතම පදනම් වූ බිස්නස් ලෙස නිරීක්ෂණය වීමයි.

එමෙන්ම මේ වෘත්තියේ යෙදී සිටින සමහර දෙනෙක්  වෙනත් රැකියා කරන්නන් පහත් කොට සැලකීම , ඔවුන්ගේ වෘත්තීයමය දියුණුවට අකුල් හෙලීම සහ වෘත්තියමය  ඊර්ෂ්‍යාව , කුහකකම් සහ තම රැකියාවෙන්ම  තමා තුල  ඇති කරගන්නා මාන්නය  නිසා ඔවුන්ට අදාල නොවන දේවල් වලට  අත දැමීම් ද කරති

( සම සෞඛ්‍ය උපාධියට අත දැමීම, හෙද සේවය/වින්නඹු මාතා සේවය වැනි සෞඛ්‍ය සේවයේ සමාන්තර සේවා වල පුහුණුවට ඇඟිලි ගැසීම වැනි දේවල්).

මෙවැනි පටු අදහස් දරන වෛද්‍යවරුන් පිරිස සංඛ්‍යාවෙන් තරමක් අඩු වුවද කිසිවක් නොකියා තමන්ගේ පාඩුවේඉන්න පිරිසේ වැඩිකම නිසා බහුතරයක් ලෙස සමාජයට විද්‍යාමාන වේ.



කරුණු එසේ වුවද තම රාජකාරිය මෙන්ම වෛද්‍යවරෙයෙක් ලෙස රාජකාරියෙන් බැහැරව සිටියදී පවා අප විසින් සමාජයට කල යුතු කාර්යභාරය ගැන මනාව අවබෝධ කරගත් සගයින් ද අප අතර සිටිති .

මේ ලියවිල්ල එවැනි ජීවක වෛද්‍යවරුන් ගැනයි.

පොලොන්නරුවේ බණ්ඩාර


බණ්ඩාර මට මුලින්ම හමුවන්නේ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ මාත් සමගම සිටි ඩිමොන්ස්ට්‍රේටර් කෙනෙක් හැටියටයි.

බණ්ඩාර අපට සමාන්තර කණ්ඩායමක පේරාදෙණිය වෛද්‍ය පිඨයේ ඉගෙනගත් සිසුවෙක්.

රුහුණේ උගත් සිසුවෙක් වු මට පේරාදෙණි යන්න සිදුවන්නේ මගේ උවමනාවකටම නොවේ.

ඒ වන විට අවිවාහකව සිටි අපේ අය්යාගේ තනි රැකීමට  මා එහි ගෙන යන්නට ඔහු තීරණය කර තිබුණා.

එමෙන්ම  එසේ ඔහුට සහයට පේරාදෙණි  යන ලෙස අපේ අම්මාද මට යෝජනා කලා.

එලෙස  පේරාදෙණි ගිය මට   වෛද්‍ය පීඨයේ ඩිමොන්ස්ට්‍රේටර් රැකියාව සකස් කර දුන්නේ  ඔහු විසින්මයි.

මම රුහුණේ සිට පේරාදෙණියට එද්දී මට කලින් එම දෙපාර්තමේන්තුවට බැඳුනු ඩිමෝලා පස් දෙනෙක් එහි සිටියා.

මුල් සති කිහිපයෙදී අලුත් තැනක අලුත් මිනිසුන් සමග ගත කල කාලය තරමක් අපහසු එකක් වුණා.

 මේ  අතර පොලොන්නරුවේ සිට පැමිණි ඩිමෝ කෙනෙක් අනෙක් අයට වඩා මා සමග හිත්වත් වුණා.

"මචං කොහොමද ? මගේ නම බණ්ඩාර . කොල්ලෝ ගොඩ දෙනෙක් මට කියන්නේ ඇබෝ කියලා.

ඔහොම සයිඩ් ගහලා ඉන්න එපා බං.

උඹට මෙහේ පුරුදුත් නැතිව ඇතිනේ?"

වරෙන් මම උඹ කැන්ටිමට එක්කං යන්න.

ප්‍රධාන පිරිසෙන් තරමක් වෙනස් ස්වරුපයක් මට පෙන්වූ මේ හිතවතා මගේ අපහසුතාවය හොඳින් තේරුම් ගෙන තිබුණා.

"ඔය එකෙක් දෙන්නෙක් ලොකුකම් පෙන්නුවාට උඹ ගනණ් ගන්න එපා.

උඹත් අපි වගේම කොලිෆයි වෙච්ච එකෙක් නේ.

ටිකක් පපුව ඉස්සරහට දාලා හිටපං "

මෙසේ  මා හා කුළුපග වූ  බණ්ඩාර වැඩි කල් නොගොස්ම පේරා සිටි මගේ හොඳම හිතවතා බවට පත් වුණා.

අනෙක් අය තම නිවෙස් වලින් ගෙනා කෑම ගනිද්දී මමත් බණ්ඩාරත් වෛද්‍ය පිඨ ආපන ශාලාවෙන් කෑම ගන්න පුරුදු වුණා.

බණ්ඩාර මට බොහෝ සෙයින් උදව් උපකාර කල අවස්තාවක් වුයේ මා පේරාදෙනියේ සිටි කාලයෙදිම සිදුවු මගේ සොයුරාගේ විවාහයයි.

නුවර ප්‍රසිද්ධ හෝටලයක ගත් "හෝම් කමිං"  එකෙ වැඩ වැඩි හරියක් මා පිට පැටවී තිබු අතර ඒවා හැම එකකටම බණ්ඩාර සහය වූයේ තමාගේම සොහුයුරෙකුට සහය වෙන පරිද්දෙන්.

 

බණ්ඩාර හසලක ගිහින්



මාස කිහිපයක් මෙසේ  ගත කල අප සීමාවාසික පුහුණුව සඳහා  දිවයිනේ විවිධ පළාත් වලට විසිර ගියා.

ඒ සමගම බණ්ඩාර සහ මා අතර තිබු සබඳතාවයට තාවකාලිකව  සමු දෙන්නට අපට සිදුවුණා.

සීමාවාසික පුහුණුව සඳහාත් අය්යාගේ යෝජනාව පිළිගත්  මම කොළඹ ළමා හා කාන්තා රොහල් දෙකට යොමු වෙද්දී බණ්ඩාර පේරාදෙණිය ශික්ෂණ රොහලේ සීමාවාසික කාලය ගත කර තිබුණා.

කොළඹ වසරක සීමාවාසික පුහුණුවෙන් පසු මම නැවතත් පේරාදෙණියේ එම දෙපාර්තමේන්තුවටම පැමිණියා.

ඒ කතිකාචාර්ය වරයෙක් ( පරිවාස ) ලෙස.

මම ටිකෙන් ටික පේරාදෙණියේ වටපිටාවට හුරුවුණේ කුඩා පුද්ගලික බෙහෙත් ශාලාවක් ආදිය අරම්භ කරන අතරේමයි.

මේ අතර මගේ හිතවතා බණ්ඩාර ශල්‍යවෛද්‍ය වරයෙක් වන බලාපොරොත්තු වෙන් නුවරම සිටි බවත් දැනගන්න ලැබුණත් මට ඔහු නුවරදී හමුවූයේ නැහැ.

දිනක් අපේ දෙපාර්තමේන්තුවේ සිටි ජේෂ්ඨ කතිකාචාර්ය වරියක් වු සුරේඛා බණ්ඩාර ගැන අපට මතක් කර දුන්නා.

''ඒයි  ඔයාලට මතකද අර  බණ්ඩාර?  පොළොන්නරුවේ ඉඳලා මෙඩිසින් ආපු ළමයා.

අර අපේ ඩිමෝ හිටියේ ගිය අවුරුද්දේ?  "

"ආ ඔය කියන්නේ  මේ කවිඳු එක්කම හිටිය එක්කෙනා නේ .

එයා සජරි කරනවා කියලා නේද කිව්වේ? "

පිළිතුර තවත් ජේෂ්ඨ කතිකාචාර්ය වරියකගෙනි.

"මොන සජරිද අනේ අන්න එයා ඔක්කොම දමලා ගහලා හෙන ඈතකට ගිහිල්ලලු .

කියපු හැටියට නම් හසලකටද කොහෙද  ගිහිල්ලා තියෙන්නේ"

"බණ්ඩාර හරි දක්ෂ ළමයෙක් සජරි කරා නම් උඩින්ම පාස් වෙනවා.

 ඇයි දන්නේ නෑ එයාට ඒක එපා වුණේ ? "

ඒක නම් දන්නේ නෑ එයාට මොනවා හිතිලද දන්නේ නෑ ඔච්චර දුරකට ගියේ .

අයිලන්ඩ් රෑන්ක් එකෙත් උඩම හරියේ හිටපු එක්කෙනෙක් නේ  හසලක වගේ දුරකට නම් ඉල්ලලාම තමයි යන්න ඈත්තේ "

එයා ටිකක් අමුතු ළමයෙක් නේද ?

මතකද ස්ටාෆ් ඉන්න ගමන් ( ඩිමෝ කාලේ ) එයා  අමුතු වැඩ කරලා තිබ්බා.

ඇයි මතක නැද්ද අලුත් ලමයින්ට අරවා මේවා කිව්වා කියලා කියපු සිද්ධිය? "

සුරේඛා බණ්ඩාර හසලක වැනි දුෂ්කර පළාතකට යන්නට ඇත්තේ යම් සිත් කලකිරීමකින් හෝ කිසියම් අයෙකු හා අමනාපයෙන් විය හැකි බවටද ඉඟි පළකලා.

කතාවේ හැටියට ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්නට පුහුණුවට ඇතුල්වන බලාපොරොත්තුවෙන් නුවරට වී සිටි බණ්ඩාර හදිසියේම හසලක දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ලෙස පිටත්ව ගොස් ඇත.

මා මේ කියන්නේ වසර දෙදහස් එකේ දී අපේ විශ්ව විද්‍යාලයේ  සහෝදර  කතිකාචාර්ය වරියන් දෙදෙනෙක් අතර ඇති වු කතා බහක් ගැනයි.

හසලක  වෙනස් කල  ජීවක වෛද්‍යවරයා




දෙදහස් එකේ හසලක ගිය බණ්ඩාර ගැන මගේ මතකය හෙමින් හෙමින් යටපත් වී ගියේ නව මිතුරන් , නව සිදුවිම් අපේ ජිවිතයට එකතු වීමත් සමගයි. 

දෙදහස් දොලහේ වගේ මෑත කාලෙක අපේ පැරණි මිතුරා මගේ මතකය  නැවතත්  අවදි කරන්නේ  ඉරිදා පුවත්පතක පලවූ

 "  ජීවක වෛද්‍යවරයාට හසලක උපහාරය   " නම් පුවතත් සමගයි.

දහස් ගනණක් සහභාගී වූ පෙරහරක ඉදිරියෙන්ම ගමන් ගන්නා අපේ බණ්ඩාර සහ පළාතේ මහා සංඝරත්නය ප්‍රමුඛ ප්‍රභුවරුන් පිරිසක් සිටි  චායා රූපයකින් ඒ ප්‍රවෘත්තිය අලංකාර වී තිබුණා.

යකෝ මේ අපේ ඇබෝ නේ? මම තවත් උනන්දුවෙන් විස්තරේ කියවන්නට පටන් ගත්තා.

හසලක රෝහලටත් , එහි සේවය ලබා ගන්නට ආ රෝගින්ටත් කල අපරිමිත සේවය් මෙන්ම පොදුවේ හසලක ප්‍රදේශයට කල අති මහත්  සේවය වෙනුවෙන් වෛද්‍ය බණ්ඩාර උපහාරයට ලක්වුණු බව ඒ පුවතේ සඳහන් වී තිබුණා.

බණ්ඩාර එළ කොල්ලෙක් නේ. සජරි නොකලට මිනිහා අපි කාටවත් කරන්න බැරි වූ දෙයක් හසලක වගේ දුප්පත් ගොවීන් ඉන්නා පළාතකට ඉටු කරලා වගෙයි. මගේ හිත බණ්ඩාර ගේ නවතම වත ගොත සොයා බලන්නට මට බල කලා.

වහාම නොවුණත් වැඩි කලක් ගත වෙන්නට පෙර මට මගේ පැරණි මිතුරා සමග සම්බන්ධ වන්නට අවස්තාවක් උදා වුණා.
ඒ මුහුණු පොතේ සහ වයිබර් තාක්ෂණයේ පිහිටෙන්.

"ආ මල්ලී කොහොමද විස්තර? මම මේ කවිඳු කතා කරන්නේ "

"හොඳින් ඉන්නවා මචං. කොහොමද උඹේ විස්තර ? දැන් ලංකාවේ නෑ නේද?

 නෑ නෑ. අපි ලංකාවෙන් පිටත් වෙලා ටික කාලයක් වෙනවා.  "

"මට උඹ පේරාදෙණියේ ඩිපාර්ට්මන්ට් ආවා කියලා නම් ආරංචි වුණා . රට ගියේ කොයි කාලෙද කියලා නම් දැන ගන්න ළැබුණේ නෑ"

"මම නම් දැක්කා උඹ පෙරහරකින් අරන් ගිහිං උපහාර දක්වනවා. දැන් හරි දියුණුයි වගේ නායක හාමුදුරුවන්ගෙන් පවා පැසසුම් ලබන කට්ටිය ආ....."

"නෑ මචං ඔය මම හසලක ඉඳලා මාරුවිම අරං මෙහාට එනකොට තිබ්බ සමුගැනිමේ උත්සවේ ෆොටෝ වගයක් නේ . උඹ කොහෙන්ද දැක්කේ.?"

"කොහෙන්ද ඉතිං පත්තරෙන් මිසක්.  හහ් හහ් හා... ඇයි උඹ නෙවෙයිද පත්තරේට විස්තරේ දුන්නේ ?

ඒක නෙවෙයි ඒ පැත්තේ මිනිස්සු උඹට ඔච්චර සලකන්න තරම් හේතුව මොකක්ද?

උඹ දිගට හරහට මෙඩිකල් සටිෆිකෙට් වත් දුන්නද?  ඒත් වෙන්න බෑ ඔය පැත්තේ වැඩිපුර ඉන්නේ ගොවිතැන් කරන මිනිස්සු නේද? "

"ඇත්තටම මචං  ඒ පැත්තේ ඉන්නේ හරි අහිංසක මිනිස්සු ටිකක්.

 උඹ කිව්වා වගේ  වැඩිපුර ඉන්නේ ගොවිතැන් කරන මිනිස්සුම තමයි.

හසලක වැඩි හරියක් ඉන්නේ ගොවිතැන් කරන අහිංසක මිනිස්සු මචං.  අපේ අම්මලා තාත්තලා වගේම තමයි . හරියට මහන්සිවෙන ඒත් ඒ මහන්සියෙන් ලොකු ප්‍රතිඵලයක් නොදකින මිනිස්සු ."

"ඒ කියන්නේ උඹ පොලක් එහෙම කලේ නෑ?

ඉතිං ඔච්චර උපහාර එහෙම කරන්න තරම් මොනවද උඹෙන් ඒ මිනිස්සුන්ට වෙච්ච සේවය ? උඹ මොකක් කියලාද හිතන්නේ? "
"නැත්තේ නෑ මචං . මම හොස්පිට් ල් එකෙත් හොඳටම වැඩ කළා. ඒ වගේම පොලකුත් කළා."

මෙහෙමයි මචං . මම වන්න ඉස්සෙල්ලා එහේ ඉඳල තිබුණේ ඇපොතිකරි අයයි ෆොරින් ග්‍රැජුඒට්ලයි .

එයාලා හොස්පිටල් එකෙත් වැඩ කරන ගමන් පොලකුත් කරලා තිබ්බා .

ඉතිං මිනිස්සු මගෙනුත් ඒ දේම බලාපොරුත්තු වුණා.

ගොවියෝ විතරක්ම නෙවෙයි එහේ ආණ්ඩුවේ රස්සා කරන මිනිස්සු , මුදලාලිලා එහෙමත් ඉන්නවනේ.

ඉතිං මම පොඩියට ඩිස්පෙන්සරියකුත් පටන් ගත්තා.

හැබැයි මට වැඩි කල් යන්න ඉස්සෙල්ලා තේරුණා හසලක ඉන්න මිනිස්සුන්ගේ ක්‍රොනික් ලෙඩ ( නිදන්ගත රෝග ) එකක් වත් හරියට මැනෙජ් වෙලා නෑ කියලා.


මගේ ක්‍රොනික් ලෙඩ්ඩු ඔක්කොම ඔහේ මාස් පතා කිලිනික් එනවා බෙහෙත් පොදියක් අරන්යනවා.

මුලික පරික්ෂණ, ලෙඩේ කොච්චර ඔඩු දුවලද කියලා බලන්න කරන එකෝ ස්කෑන් වගේ පරික්ෂණ මොකුත් නැතිව ඔහේ බෙහෙත් බොනවා හාර්ට් ෆේලිය,දියවැඩියාව, ප්‍රෙශර් , ආතරයිටිස්  තියෙන ලෙඩ්ඩු එහෙම.

මේක මට හොස්පිටල් කිලින්ක් එකෙයි  , ඩිස්පෙන්සරියෙයි දෙකේදිම පෙනුණා.

මම පේරාදෙණියෙයි නුවරයි වැඩ කරන කාලේ අඳුර ගත්තා බොසාලට, අනෙක් කන්ස්ලටන්ට්ලට  එහෙම කතා කරා . 

ටිකෙන් ටික ඒ වගේ ලෙඩ්ඩු නුවර පේරාදෙණි යවලා සොර්ට් අවුට් කරා .ඒ කාලේ සතියට සැරයක් හසලක ඉඳලා වාහනයක් නුවරට යනවා, එහෙම විශේෂඥ සායන වලට යන අපේ ලෙඩ්ඩු අරගෙන.

ගොඩක් වයසක අම්මලාට , තාත්තලාට එහෙම වාහනේට දෙන්න වත් සල්ලි නෑ මචං. එහෙම වුණාම ඒ අයගේ කුලිය මම ම ගෙවනවා.

ෂා උඹනම්  ජීවකයෙක්ම තමයි බං . ඒත් එහෙනම් පොල් කැඩුවේ ?

පොලෙත් හැමෝගෙන්ම සල්ලි ගත්තේ නෑ බං .

සමහර දුප්පත් අම්මලා එහෙම පොලට ඇවිල්ලා මට සල්ලි දෙන්න චීත්තේ ගැටේ ලිහලා පොඩි පොඩි සල්ලි කොල එකතු කරනකොට මට පපුව හෝස් ගාලා යනවා  බං .

මං එහෙම අම්මලා , තාත්තලා ට නිකම්ම බෙහෙත් දීලා බස් එකටත් ගාණක් අතට දීලා තමයි යවන්නේ.

ඉතිං ඔහොම කරාම උඹට පොලෙන් හරි පාඩු ඇතිනේ ? ඒ වෙනුවෙන් ගත වෙන කාලයත් එක්ක බැලුවහම?

එහෙමමත්  නෑ මචං බෙහෙත් ගන්න සල්ලි තියෙන මිනිස්සුත් එනවනේ?

අනික මම හරියට වැඩේ කරගෙන යනකොට නිකන්ම එන සෙනඟ ප්‍රමාණෙත් වැඩි වුණා. "

"නියමයි බණ්ඩාරේ උඹ අපේ රස්සාව කරන අනිත් උන්ට ආදර්ශයක්.

ඒක නෙවෙයි හසලකින් මාරුවක් අරන් ආවට පස්සේ කොහෙද දැන් ඉන්නේ? "

"මචං මම මේ දවස් වල රඹුක්කන වැඩ කරන්නේ . මාවනැල්ල පැත්තෙන් ලොකු ඉඩමකුත් ගත්තා .

ගේත් ඒකෙම හදාගෙන වගාවකුත් දාන්න හිතාගෙන."

"ෂා නියමයිනේ අපේ නිම්මිගේ ගමත් ඒ පැත්තේ අපි එන්නම් කෝ

උඹලව  බලන්න ඊලඟ පාර ලංකාවට ආවහම"

"එන්න මචං ටිකක් කතා කර කර ඉඳලා කෑම ටිකක් එහෙම කාලා යන්නත් එක්ක.  "

"ඔව් ඔව් මට උඹේ හසලක කතාවේ තව විස්තර දැන ගන්නත් ඕනෑ එහෙනම් වෙලාවක හම්බවෙලාම කතාකරමු. "







පි බණ්ඩාර ගේ කතාවේ දෙවැනි කොටසින් හමුවෙමු.......
  

Friday, 10 March 2017

සටනක ඇරඹුම


වර්ෂය 1980 . යන්තමින් අවුරුදු දහයක් පිරුණු කොල්ලෙක් අම්මාත් අක්කා සහ අය්යාත් අතර ඇතිවන තීරණාත්මක සාකච්චාවකට  සවන් යොමා ගෙන සිටිනවා.

"තාත්තාගේ රස්සාව නැතිවෙන්න ලු යන්නේ . උඹලා ට ටිකක් කරදර වෙන්න වෙයි . ඉස්සර වගේ අරකට මේකට සල්ලි ඕනේ කියලා කරදර කරනවා එහෙම නෙවෙයි "

"අපි නෙවෙයි මෙයානේ වැඩිපුරම පත්තර ගන්න එහෙම සල්ලි ඉල්ලන්නේ . ඒක තමයි මේ ලඟදි මුත්තාගෙනුත් බැනුම් ඇහුවේ "

අක්කා තමා නිදොස් බව හැඟවූයේ අසල සිටි අය්යා ප්‍රධාන වැරදි කාරයා කරමිණි.

"ඔව් ඔව් මුත්තා මට බැන්න නේ තොපිට ඉතිං කොච්චර වත් පත්තරේ - බිත්තරේ  දැන්වත් ඔය මිනිහට කරදර කරන එක නවත්තපල්ලා "  කියලා .

අය්යා අක්කා කිවූ කාරණය අනුමත කරමින් පැවසුවේය.

මේ අතර දස වියැති කොලුවා නුදුරු අනාගතයේ එළැඹෙන්නට  නියමිත ආර්ථික අපහසුතා වලින් මිදෙන පාරක් ගැන සිතන්නට විය.

ඔහුට වහාම මතක් වූයේ හෙලතන්නේ පොඩ්ඩේ අය්යලා ගැනයි.

තම තම ඉඩ කඩම් පුරා එලවළු  වවන පොඩ්ඩේ අය්යාලා ගෙදර අගහිඟ කම් නැතිතරම් ය.

ඒ ඔවුන් කිසි කම්මැලි කමක් නොමැතිව එලවළු වගාව ජයටම කරන අය්යමලෝ තිදෙනෙක් වීමයි.

මමත් පොඩ්ඩේ අය්යලා  චුට්ටේ අය්යලා වගේ වගාවට බහිනවා.

එසේ සිතා ගත් ඔහු ගෙදර තිබූ උදලු කෙටියත් අරන් වත්තේ පල්ලැහැට ගමන් කලේය.

ඒ වෙනකොට පල්ලැහැ වත්තේ   තිබුණේ තාත්තා විසින් වවා  තිබුනු උක් ගස් ගොඩක්.

ඒ වායින් අපේ ගෙදරම හකුරැ හදා ගත්තේ මල්වත්තේ උක්මෝලෙන්  උක්ගස් අඹරවා ගත්තට පස්සේ.

මෙතන හොඳයි මගේ වගාව පටන් ගන්න.

උක් ගස් වගාව මැදට වන්නට තිබූ පාලු කොටසක් උදලු ගාමින් ඔහු හිතන්නට වුණා.

අපේ කතානායකයා එදා රෑබෝ වනතෙක් වත්තේ පල්ලැහැ ගැවසී ගෙදරට ගොඩවුණේ හවස හයට හය හමාරට විතර.

 ඒ වෙනකොට උක්ගස් වගාවට මැදි වූ පුංචි බිම් කඩක ගෙදර කුණු වලෙන් සොයා ගත් අමු මිරිස් පැල තුනක් සිට වී තිබුණා.



"අපිත් අංජු මාමලා , පොඩ්ඩේ අය්යලා එහෙම කරනවා වගේ  වත්තේ මොනවා හරි හදමු අම්මා  .

තාත්තාගේ රස්සාව නැතිවුණාටකමක් නෑ. එලවලු වලින් සල්ලි හොයන්න පුළුවන් වෙයි"

 ඔහු අම්මාට කිව්වා.

ඌව පළාතේ කඳුකර පරිසරයක මෙතෙක් ඒ ගම්මානයෙන් බිහිවූ සාර්ථකම ගොවි තරුණයෙක්  වගා සටන ඇරඹුවේ එලෙසයි.

අද  ඔහු ආර්ථික භෝග වගාවෙන් ඈත් වී තම නිවසේ විනෝදයට එලවලු ටිකක් හදා ගන්නා ඔස්ට්‍රේලියානු පුරවැසියෙක්.













එදා දෙමව්පියන් ගේ සහයට  අවුරුදු දහයක් වැනි කුඩා වයසකදී වගා සටනට බට ඔහු අද වෘත්තියෙන් විශ්ව විද්යාල කතිකාචාර්ය වරෙයෙක් සහ සායනික වෛද්‍යවරයෙක්.


Saturday, 4 March 2017

ඉතිං හදමු අපි පරිප්පුවක් !!!





අපි කවුරුත් ජීවිතේ එක් වතාවක් වත් පරිප්පු  කෑමට අවස්තාව ලද්දෝ වෙමු .

සමහරක් කැමැත්තෙන් පරිප්පු කන අතර සමහරෙකුට අකමැති වුණත් පරිප්පු කන්නට සිදුවේ.

පරිප්පු ඒ තරම් ම සාමාන්‍ය කෑමක් වීම එයට හේතුවයි.

1988-89 භීම සමයේ උසස් පෙළ සිසුන් වූ අප අතර තවත් වර්ගයක පරිප්පු කෑමක් ප්‍රසිද්ධ වී තිබුණා.

අප අතර   රජයේ හමුදා  අත් අඩංගුවට පත් වීම ඒ දිනවල හැඳින්වුණේ "පරිප්පු කෑම" ලෙසයි.

මීට ආසන්න කාලයකදී අන්තර් පාසැල් ක්‍රීඩා උත්සව දිනවල  අපි " සෙන්ට් ජොශප් පරිප්පූ " නමින් අපේ සහෝදර පාසැලකට විහිලු කලේ ඔවුන්  "What's the Collage - St. Joshep " කියා කෑ ගසද්දී.

ඒ ඒ අයට ඒ ඒ පරිප්පු 



1988-89 භීම සමයේ දිනක උසස් පෙළ විභාගයට පාඩම් කරද්දී අපේ චමින්දයා හැදූ පරිප්පුවක් "ගොඩ හොද්දක්" බවට පරිවර්තනය වූ කතාව ඔබට මතක ඇතැයි  සිතමි. 

එදා  චමින්ද හැදූ පරිප්පු හොද්දට එක් කල අඩුම කුඩුම අතර නිවිති සහ කුරුඳු පොතුද අඩංගු වී තිබුණා. 

පසු කාලීනව ආකාර දෙකකට පරිප්පු ඉවීමට මා ඉගෙන ගත්තේ  සමන්තගේ උදව්වට පේරාදෙණිය ජයතිලකයේ නැවතී සිටි කාලයේ ( ඒවන විට මම උසස් පෙළ සමත් වී නිවසට වී සිටි කාලයක් ) සහ නිම්මි සහ මම කිරිබත්කුඹුරේ නැවතී සිටි කාලයේ  ( අපි විවාහ වූ අලුත ).

ඒ කාලේ මම වැඩිපුරම පරිප්පු හැදුවේ දිය කිරි සහ මිටි කිරි දමා හදන පරිප්පු හොද්දක් ලෙසයි.  

ඒ 

"හොඳ ළමයා වගේ පරිප්පුවක් හදලා තියන්න මම උදේට වැඩ ඇරිලා එනකොට ගමනායක ගේ කඩෙන් පාන් ගෙඩියක් ගේන්නම්"

යයි කියමින් රාත්‍රී සේවා මුරයට යන නිම්මි ගේ ඉල්ලීම ඉටු කරන්නයි.



පරිප්පුවක් කිරට හදමු




පාන් සහ රොටී වගේම  බත් එකකට පවා සෑහෙන "කිරට හදන පරිප්පු"  මගේ ප්‍රියතම කෑමක්. 

වෙන කිසිම එලවලුවක් නොමැතිව වුවත් බත් සමග කෑමට හැකිවීම පරිප්පු කා අතරත් ජනප්‍රිය වෙන්න  ප්‍රධානම හේතුවක්. 

මා පරිප්පුවක් කිරට හදන්නේ මෙන්න මේ ක්‍රමයට.

මුලින්ම අවශ්‍ය ප්‍රමාණයට  පරිප්පු ටිකක් භාජනයකට ගන්නවා. 

ඊලඟට ඒවා ඇල් වතුරෙන් හොඳට සෝදා ගෙන පරිප්පු ටික වැහෙන්න තරම් වතුර ඒ භාජනයට දානවා. 

මේ භාජනයටම මිරිස් කුඩු, කහකුඩු , තුන පහ කුඩු සහ උම්බලකඩත් එකතු කරනවා. 


මීට අමතරව තලා ගත් සුදු ලුණු බිකි දෙකක්, රතු ලූණු, රම්පේ , කරපිංචා, අමු මිරිස් සහ තක්කාලි ටිකක් සූදානම් කර තබා ගන්න.



දැන් තක්කාලී  හැර අනෙකුත් අඩුම කුඩුම සියල්ල පරිප්පු තිබෙන භානජනයට දමා ලිපෙන් තබන්න. 




මතක තබා ගන්න ඕනම දෙයක් තමයි  මේ වෙලාවේ පරිප්පු එකට ලුණු දමන්න හොඳ නැති බව. අපේ අම්මාගේ ක්‍රමය අනුව ලුණු දමන්න ඕනේ පරිප්පු හොඳට තැම්බුනාට පසුව පමණයි. 

ලුණු දමන අවස්ථාවට ආසන්න වෙත්ම අර හීනියට කපාගත් තක්කාලි ටිකත් මේ භාජනයට එකතු කරනවා. 


අපට අවශ්‍ය තරමට පරිප්පු ඇට තැම්බීගෙන එන විට පරිප්පුවට පොල්කිරි එකතු කරන්න ඕනේ.  

ලංකාවේ නම් මුලින් දිය කිරිත් පසුව මිටිකිරිත් ලෙස පොල් කිරි එකතු කලත් මෙහේදි අපි කිරි දාන්නේ මිටිකිරි ලෙස ලිපෙන් බාගන්න ආසන්න අවස්ථාවේදී පමණයි. 

ඔය පහළ කමෙන්ටුවක් දමා තිබෙන අපේ "කයි මල්ලී " කියන්නා වගේ පොල්කිරි දැම්මට පස්සේ පරිප්පුව දිගටම හැඳි ගෑවිලා යන්න  හැන්දෙන් කාල් ගාන්න ඕනේ. නැතිනම් පොල් කිරි කැටි ගහන්න බලනවා. 

Tuesday, 28 February 2017

අල වගේද ගෝවා



මේ කියන්න යන්නේ මට සිදු වූ ඇබැද්දියක් සහ ඒ ඇබැද්දිය නිසා මම සූපවේදියෙක් වුණ හැටි ගැන කතාවක්.

දිනය 2014 අගෝස්තුමාසේ දිනයක්. මේ වෙනකොට මම අපේ පළමු නිවාස ව්‍යාපෘතියට බැහැලම වැඩ.

ඒ මදිවට වැඩ කළේ නිවසේ සිට කිලෝමිටර් 200 ක් දුරින් පිහිටි රෝහලක.

සතියට දෙවතාවක් විතර ගෙදර එන මම ආපු වෙලේ ඉඳන් කරන්නේ පරිගනකය ලඟට වී නිවාස ව්‍යාපෘතිය ගැන ලියන එක හෝ මුහුණු පොතේ මිතුරන් මිතුරියන් ඊට උනන්දු කරවන එක

මේ අතර සමහර "මිතුරියන්"  ව්‍යාපෘතියට උදව් කරන අතරම මගේ ගුණ වයමින් බ්ලොග් වල හෝ මුහුණු පොතේ කමෙන්ට්ස් එහෙමත් දානවා.

කලින් කියන්න බැරි වුණා මම මුලින්ම බ්ලොග් ලියන්න පටන් ගත්තේ කලු සහ අලෙක්ස් පවුල වෙනුවෙන් අපි පටන් ගත් නිවාස ව්‍යපෘතියට මිනිස් රැස් කර ගන්න

මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටි නිම්මි ටිකෙන් ටික මගේ සමාජ සේවා වැඩ ගැන කළබල වෙනවා.

ඇයි යකඩෝ කොයි නෝනද කැමති තමන්ගේ මහත්තයා කලාතුරකින් ගෙදර ඇවිත් මුහුනට මුහුන හමුවී නැති මිනිස්සුන්ට ගෙවල් හදන්න ස්යිබර් අවකාශයේ හමුවු එවැනිම නොදුටු මිතුරු මිතුරියන් ඇසුරු කරමින් කල් ගෙවනවාට.

මේ කලබළ ගතිය නිසාම මේ කියන දවසේ

 "මට බෑ අද උයන්න . පුලුවන් විදිහට කෑම හදාගෙන කන එකයි තියෙන්නේ .කොච්චර වත් අහක ඉන්න මිනිස්සු ගැන හොයනවා. ගෙදර ඉන්න මිනිස්සු ගැන වගක් නෑ"

කියමින් එදින මගේ දවල් ආහාරය පිලියෙල නොකල නිම්මි කාමරයට වි සිටියා.

මේ වෙනකොටත් වාද විවාද කොට සිටි මම

" මම ආශ කරන දේවල් තමයි මම කරන්නේ. 

මේ ගෙදර හදන වැඩේට මම ආශයි. ඒවට භාදා කරන්න එපා " 

යැයි කියමින් ඇය තව තවත් තරහා ගන්වලයි තිබුණේ.

......දැන් ඉතින් මොනවා කරන්නද?

පුලුවන් විදිහකට මොනවා හරි හදනවා......

රයිස් කුකර් එකේ බතක් ගැසු මම ශීතකරණය ඇරියේ  මොනවා හරි එක එලවලුවක් හදනවා ‍යැයි සිතමින්.

අතට අහුවුණේ ලොකු ගෝවා බෑයක්.

අද අලුත් ක්‍රමෙකට ගෝවා එකක් හදන්න ඕනේ .. මම වැඩ පටන් ගත්තා.

මෙන්න මේවා තමයි මම යොදා ගත් දෙවල්

1. හොඳින් කොල තද වුණ ගෝවා බෑයක්
2. හොඳට ඉදුනු තක්කාලි ගෙඩියක්
3. ලොකු රතුලූණු ගෙඩියක් (රතුපාට බී ලුණු ගෙඩියක් )
4. සුදුලූනු, කරපිංචා,අබ ,අමු මිරිස්, උලුහාල්,  කහ සහ ගම්මිරිස් කුඩු
5. උම්බලකඩ ස්වල්පයක්





මුලින්ම අපේ අම්මා කියන "ගොන්කුට්ටි වගේ" සයිස් එකට ගෝවා කෑල්ල කපා ගත්තා. 




ඊට පස්සෙ තක්කාලි, ලූනු ආදියත් මේ විදිහට කපා ගත්තා.










කපාගත් ගෝවා එකට කහකුඩු යහමින් එකතු කලා, ගම්මිරිස් කුඩු ස්වලපයකුත් උම්බලකඩත් ඒකටම දැම්මා.




මේ අතරේ තක්කාලි, අම්මුමිරිස්, ලූනු සහ සුදුලූනු වෙනම තියා ගත්තා.

ෆ්‍රයින්  පෑන් එකක් අරන් යහමින් තෙල් දමා  රත්වෙන්න තිබ්බා.



හොඳට රත් වු තෙල්  එකට "චෝස්" යන චයිනිස් හඬ එන පරිදි තක්කාලි, ලූනු , අමු මිරිස් සහ කරපිංචා මිශ්‍රණය එකතු කලා.



හැන්දක් අරන් මිශ්‍රණය එහා මෙහා කරන අතරේ ගෝවා ටික ලිප ලඟට ගත්තා.
 විනාඩි දෙකක් පමන තක්කාලි මිස්‍රනය බැදුණු පසු ගෝවා ටික ඒකට එකතු කලා.




තව විනාඩි පහක් පමණ ගෝවා ටික හැන්දෙන් එහා මෙහා කරමින්  තැම්බෙන්න තිබ්බා.

අවසානයේ නියම ගෝවා බැදුමක් එක්ක බත් කෑවා.

ටික වෙලාවකට පසු කුස්සියට පැමිණි නිම්මී මගේ ගෝවා එක සමඟ බත් කනවා දැක්කත් එහි ගුණ අගුණ එදා දැන ගන්න බැරි වුණා.

"ඒයි අර වගේ ගෝවා එකක් හදන්න කෝ ආයෙත්"

කියමින් ඈ මගේ සූප සාස්ත්‍රය වර්ණනා කලේ මම ඊලඟ වතාවේ නිවාඩු ආවහම.


මේ තියෙන්නේ ඒ මගේම රෙසිපියට ගෝවා එකක හදන හැටි . මේක හැදුවේ  2017 පෙබරවාරි  28වෙනිදා

Saturday, 25 February 2017

ඔස්ට්‍රේලියානු වෛද්‍ය කවුන්සිල විභාගය පලමු කොටස ( AMC part 1)





පසුගිය කළාපයෙන් මා මිත්‍ර දිමුතු විභාගයෙන් සමත් වූ ආකාරය ඔබ වෙත ගෙන ආවෙමි.

විභාගය සමත්වී  සිටි දිමුතු   නගරයේ සිට  කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි පළාතක රැකියාවක් ලබා පිටත්  වී ගියේ  ශ්‍රී ලාංකික බොහෝ දෙනෙක් සතුටට පත් කරමිණි.


දිමුතුට එසේ  පළමු කොටස අවසානයේ රැකියාවකට යා හකිවුයේ තවත් කාරණා දෙකක් සම්පුර්ණ කිරීමෙන් පසුවයි.

ඊට ආසන්නම කාලයෙදී  අවුරුදු දෙකක් හෝ තුනක් ලංකාවේ "පවුලේ වෛද්‍ය වරයෙකු" (GP) ලෙස වැඩ කර තිබීමත්  IELTS විභාගයෙන් ලකුණු 7 කට වඩා ලබා ගැනිමත් ඒ කාරණා දෙකයි .

මෙම මූලික අවශ්‍යතා සම්පුර්ණ කිරිමෙන් පසු දිමුතුට  ඔස්ට්‍රේලියානු වෛද්‍ය මණ්ඩලයේ තාවකාලික ලියාපදිංචිය (provisional registration with AHPRA)  ලැබුණේය.

ඒ අනුව ඔහු පුහුණුවන "පවුලේ වෛද්‍ය වරයෙකු"  ( trainee GP)  ලෙස සේවය ආරම්භ කලේ සැලකිය යුතු වැටුපක් ලබමිණි


 ඉන් ටික  කලකට පසු  ආචාර්ය උපාධිය අවසන් කල මම  (2009 ඔක්තෝබර් වෙද්දී) ඉතිරිව තිබු විසා කාලය  (දෙසැම්බර් දක්වා)  AMC විභාගයේ පළමු කොටසට වැය කරන්නට සිතා ගත්තෙමි.

මේ වන විටත් මගේ අදායම් මාර්ග වී තිබුණේ වෛද්‍ය  සිසුන්ට ඉගැන්වීම  සහ නිම්මි ගේ  අතිරේක රැකියාවල  ආදායමයි.

 ඒවායින් විභාග ගාස්තු ගෙවා විභාගයට ලියාපදිංචි වන්නට් මට හැකිවුයේ   රුහුණු විශ්ව විද්‍යාලයෙන් මගේ උපාධිය සනාථ කිරීමෙන් පසුවයි (Primary course verification ).

ඒ අනුව මට AMC පලමු කොටසට මුළු වැර යොදා සුදානම් වීමට ලැබුණේ මාස කිහිපයක් පමණි.

කෙසේ වෙතත්  සිසුන්ට ඉගැන්වූ මානසික රෝග, ස්නායු රෝග සහ පේශි සහ අස්ථි සමබන්ධ  ඒකක මට අලුතින් පාඩම් කරන්නට අවශ්‍ය වුයේ නැත.

විභාගය යට  යන බව දැන සිටි අය අතර නිතර නිතර ඒ ගැන අසමින් සිටි අයෙක් වුයේ අපේ ලඟම හිතවතා  බුද්ධි ප්‍රසන්නයි.

දිමුතුගෙන් පසු  බිහිවන ඊළඟ දොස්තර (ඕස්ට්‍රේලියාවේ වැඩ කරන්නට හැකි) මා විය යුතු යැයි බුද්ධි තදින්ම විශ්වාස කළේය.

අපේ නිම්මිට අනුව නම් බුද්ධි මගේ "අය්යා " විය.

" කවිඳු කොහොමද ? දැන් විභාගෙට ලෑස්තිද ? ඔය පොඩි පොඩි වැඩ නවත්තලා විභාගෙට බර දාන්න "

යැයි පවසමින් බුද්ධි මට දුරකථන ඇමතුම් දෙනවිට

අන්න ඔයාගේ අය්යා කතා කරනවා කියමින් නිම්මි මට විහිළු කරයි.

ඇත්තම කියනවා නම් ඇඩිලේඩ් නුවර මෝටර් කාර්මික ශිල්පියෙක් ලෙස සේවය කල බුද්ධි  එක කුස උපන් සොහොයුරෙකු මෙන් මගේ දියුණුව ගැන සොයා බැලුවේය.

ඒ නිසාම මා විභාගයට යන දිනය මෙන්ම ඒ වෙනුවෙන් මගේ ඇති සුදානම ගැනද   බුද්ධිව නිතර නිතර දැනුවත්  කරන්නට  මමද පුරුදු වුයෙමි.


විභාගය දා


කාලය ගතවී ගොස් විභාගය පැවැත්වෙන දිනයද උදාවිය.  විභාගයට කලින් දවසේ බුද්ධි ගෙන් මට සුබ පතා දුරකථන ඇමතුමක් ද ලැබිණි, 

"කවිඳු  හොඳට විභාගේ කරන්න ඕනේ. භයවෙන්න එපා ඔයාට පුළුවන්  . දිමුතුත් කරපු එකේ  ඔයාට බැරි වෙන්න හේතුවක් නෑ "

ඔහු මා අස්වසාලමින් පැවසුවේය. 

උදේ පාන්දරම  නිම්මි සකස් කර දුන් කිරිබත් සහ ලුණු මිරිස් වල රස බැලු මම ඇඩිලේඩ් බලා යන බසයකට ගොඩ වුයෙමි.

විභාග ශාලාව තිබුණේ  King William Road එකේමය. ගොඩනැගිල්ලේ පහළ තට්ටුවට වී සිටි පිරිස අතර සිටි හඳුනන මුහුණකි.

"හලෝ කොහොමද? ඇලන් මේ පාර විභාගේ කරන්නේ නැද්ද?  "

මම ඇයගෙන් ඇසුවෙමි.

"අනේ නෑ කවිඳු.  ගිය පාර අපි දෙන්නම කරලා බැරිවුණා නේ . 

විභාග ගාස්තුවත් බර ගාණක් වෙනවනේ . 

අපි කතා වුණා මේ පාර මම විතරක් කරලා ඇලන් මාස කිහිපයකට පස්සේ විභාගේ කරා නම් හොඳයි කියලා .

එයා අද වැඩ.  මම මේ පාර වත් ගොඩ ගියොත් හොඳයි.  මට හරි බයයි අනේ මම මේ පාරත් ෆේල් වෙයි කියලා "

අපේ මිතුරියගේ මුහුණ දහඩියෙන් පිරී ගොසිණි . ඇය ඇත්ත වශයෙන්ම "විභාග ආතතියෙන් " පෙළෙන බව දක්නට තිබිණි. 

" හරි හරි භය වෙන්න එපා විභාග තියෙන්නේ අපි වගේ මිනිස්සුන්ට කරන්න නේ . 

ෆේල් වුනොත් ආපහු කරමු . ඕක එච්චර හිතට ගන්න එපා "

මම අපේ සහ දිමුතුගේ මිත්‍රයා වූ ඇලන්ගේ බිරිඳ අස්වසමින් පැවසුවෙමි. 

විභාගය ඇරඹිණි . පරිගණක ගත ප්‍රශ්න එකින් එක තිරයේ දිස්වෙන අතර විනාඩි දෙකක් තුල ප්‍රශ්නය කියවා පිළිතුරු සැපයිය යුතු විය. 

මම සිටි ස්ථානය පිහිටියේ කිංග් විලියම් පාර අයිනේ ජනේලයක් අද්දරට වන්නටයි. 

x ray චායාරුප සහිත ප්‍රශ්න දහයක් පමණ විභාගයට ඇතුලත් විය. 

ජනේලයෙන් වැටෙන හිරු රශ්මිය නිසා  පරිගණක තිරය දිලිසීම මගේ x කිරණ  ප්‍රශ්න  වලට උත්තර සැපයීම  සංකුල කිරීමට හේතුවක් විය.

කෙසේ වෙතත් නියමිත කාලය අවසන් වන විට සියලු ප්‍රශ්න වලට දන්නා හැටියට පිළිතුරු සැපයුවෙමි. 

විභාගය නිමවී ගෙට ගොඩ වන විටම නිම්මි අපට ලැබුණු ආරධනාවක් ගැන පැවසුවාය . 

ඒ බුද්ධි ප්‍රසන්නලා නිවසේ රාතී‍්‍ර කෑමකට  එන්නැයි කල ආරාධනාවයි. 

එදා රෑ නිම්මිත් සුපුනුත් සමග  බුද්ධි ලා ගෙදර ගිය මම බුද්ධි ගේ සහ ශිරාණි ගේ විහිළු තහළු මැද සියළු  විභාග ආතති මුදා හැරියෙමි.

විභාගය සමත් වීමෙන් පසු කල හැකි/ කල යුතු දේවල් ගැන කතා බස් කරන්නටද අපි අමතක නොකළෙමු. 

ඇලන් ගේ බිරිඳද මා සමගම විභාගයට පෙනී සිටි බව දැනගත් බුද්ධි ලා ඇලන්ගේ බිරිඳද විභාගයෙන් සමත් විය යුතු යැයි ඉත සිතින්ම ප්‍රර්ථනා කළහ. 

ප්‍රතිඵල ඇවිත්



ඒ වන විට ගතවෙමින් තිබුණේ මම ශිෂ්‍යයෙක්  ගත කල අවසන් කාලයයි.  

අධ්‍යාපන කටයුතු  අවසන්  නිසා ඇඩිලේඩ් පංසල සමග  මෙන්ම ශ්‍රී ලංකික හිතවතුන් කල අනෙකුත් සමාජ ක්‍රියාකාරකම් සමගද සමිප සබඳතාවක්  ඇති කර ගත්තෙමි.

මා සහ සුපුන් එක් වී වගා කල අබ කොළ , වට්ටක්කා දළු සහ ලාංකික හිත්වතෙකුගෙන් ලබාගෙන තවන් දැමු තිබ්බටු පැල හිතවතුන් අතර බෙදා හැරුණේ ඒ අනුවයි.

දැන් දැන් මට සහ නිම්මිටද පැරණි ඇඩිලේඩ් වාසි ශ්‍රී ලාංකිකයින් අතර තරමක පිළිගැනීමක් ගොඩ නැගෙමින් පවතී ( සිසුන් කාලයේ අපට සමීප වුයේ  බුද්ධි, සුමින්ද අය්යලා සහ සුරාජ්ලා  ආදී පවුල් කිහිපයක් පමණි).

මෙසේ කාලය ගත වෙද්දී  ඒ තීරණාත්මක දිනය පැමිණියේය.  උදේ දහයයි තිහ වෙද්දී  AMC අන්තර්ජාල පිටුව බැලු  නිම්මිත් මමත් අධික ලෙස සතුටට පත් වූයෙමු.

ඒ මගේ විභාග අංකයත්  විභාගය සමත් පිරිස අතරේ තිබුණ බව ස්ථිරවම දැනගන්නට ලැබීමත් සමගයි.

මම වහාම මගේ ජංගම දුරකථනයට  අත පෙව්වෙමි.

"හලෝ කවිඳු කොහොමද ? මොකක්ද ආරංචිය  " 

එහා පැත්තෙන්  මගේ හොඳම හිතවතා ( නිම්මිට අනුව මගේ අය්යා ) නොඉවසිල්ලෙන් මෙන් අසයි 

"ඔන්න මං ඔයාට ඕන දේ කළා.  මේක නම් ඔයා වෙනුවෙන්ම  කරපු දෙයක් "

"මොකක්ද අප්පා මන් වෙනුවෙන් කරපු දේ ? 

ශිරාණි ට අළුත් රස්සාවක් වත්ද ?  

එයා තවමත් කවිඳු අල්ලලා දුන්න පත්තර පාර කරනවා "

"නෑ නෑ.. මං විභාගේ පාස්.

 මං කිව්වා වගේ මම මේ විභාගේ කරේ ඔයාගේ උවමනාවටමයි "

"නෑ .. හෙහ් .. හෙහ් හෙහ්..  හෙහ්... නියමයිනේ  කවිඳු . 

ඕක තමයි මං කිව්වේ ඔයාට ඕක බැරිවෙන්නේ නෑ කියලා 

දැන් ඉතිං දිමුතුට වගේ හොඳ ජොබ් එකකට යන්නයි තියෙන්නේ "

බුද්ධි ගේ හඬ වෙනදා මෙන්ම ලයාන්විතය.  මගේ සාර්ථකත්වය  ගැන ඔහු ඉතාමත් සතුටට පත් වී තිබේ.  

වාහන විදුලි පද්ධති  අස්සේ තම කාලය ගෙවනා ඔහු  වෙනදා මෙන් ලහිලහියේ  මගේ ඇමතුමට සමුදෙන්නට අද  සුදානම් නැත. 
 "බුද්ධි ඔයා වැඩනේ මම තියන්නම්.  

හවසට ගෙවල් පැත්තේ එන්නම් කෝ කතා කරන්න "

අනුන්ගේ දියුණුව ගැන හදවතින්ම සතුටුවන මේ අහිංසක මිනිසා 

"මගේම සොයුරෙක් මෙන් "  නොවේදැයි සිතු මගේ නෙතට කඳුලක් නැගිණි.

සතුටු කඳුළු පිසගත් මා නැවතත් නිම්මි වෙත පියමැන්නෙමි.