Monday, 30 March 2020

ගමේ කොල්ලු තලාවී .... පැසී ගොයම් වගාවේ


පෙබරවාරී මාර්තු කියන්නේ අපි ගමේ හිටපු කාලේ කොල්ලු වාරයයි.. ඌව පළාතට කොල්ලු වැහි හෙවත් මෝසම් වැසි  වැටෙන මේ කාලයේ අපේ අම්මා අපිත් ඵෙක්ක එකතුවෙලා උඩහාවත්තේ කොල්ලු ඉහිනවා.. කිරිඔරුවේ ආතාත් (අම්මගේ අම්මත් ) මේ කාලෙම කොල්ලු ටිකක් වගා කරනවා මට මතකයි..

කොල්ලු ඉහීමේ ක්‍රියාවලිය ඉතාම සරළ වැඩකි.. තරමක් වල් වැවී ඇති පොළවේ කොල්ලු ඇට ටික ඔහේ විසිකරලා ඊට පස්සේ උදළු කෙටියක් ගෙන ඒ වල් උදළු ගෑම මඟින් බීජ කොල්ලු පස්වලට යටවෙන්නට සලස්වයි.. ලොකුවට බිම් සෑකසීමක් , පොහොර දැමීමක් එහෙම සිදුවෙන්නේම නැතිගාණය.

පෙබරවාරී ,මාර්තු කාලයේ අපේ ගෙවල් තියෙන මාරබැද්දෙත් ආතලා ගෙවල් තියෙන කිරිඔරුවෙත් බොහෝ ගෙවල් අසල කොල්ලු හුණ්ඩුවක් දෙකක් සමහරවිට සේරුවක් ඉහීම සාමාන්‍ය දෙයක්.

බෝංචි , මෑකරල් , මුංඇට, කව්පි වාගේම රනිල කුළයේ භෝගයක් වන කොල්ලු පැල කොල්ලු වැහි එක වැටෙනකොට නිල්පාටින් පීදිගෙන එද්දි සිතට ගෙන එන්නේ නැවුම් බලාපොරොත්තුවකි .. ඒ සිංහල අවුරුද්ද කිට්ටුවෙනකොට අපට කොල්ලු තලන්නට අවස්ථාවක් ලැබෙන බව දැනී එනසතුටත් මුසුවූ බලාපොරොත්තු සහගත බවකි.


බෝංචි , මෑකරල් , මුංඇට, කව්පි වාගේම රනිල කුළයේ භෝගයක් වන කොල්ලු පැල කොල්ලු වැහි එක වැටෙනකොට නිල්පාටින් පීදිගෙන එද්දි සිතට ගෙන එන්නේ නැවුම් බලාපොරොත්තුවකි .. ඒ සිංහල අවුරුද්ද කිට්ටුවෙනකොට අපට කොල්ලු තලන්නට අවස්ථාවක් ලැබෙන බව දැනී එනසතුටත් මුසුවූ බලාපොරොත්තු සහගත බවකි.

කොල්ලු වැහි දෙක තුනකින් පස්සේ නැවතත් එන්නේ බැදරැස් කන්න පායන කාලයක් වුණත් කොල්ලු හැදෙන්නට  එය භාදාවක්  නොවේ.

අප්‍රේල් මාසේ රටට  ඉර මුදුන්වීමත් සමඟ කොල්ලු කරල් හැදී අවසන් ව අස්වනු නෙලන කාලය ලංවෙයි..
 " වරෙල්ලා අද කොල්ලු ගලවන්න "කියා මායි අක්කයි නංගියි එහෙම එකතු කරගන්නා අම්මා කොල්ලු ටික ගලවා මිදුලේ එකතැනක ගොඩගස්වන්නීය.  එතන කොල්ලු ගොඩ වේලිද්දි හොන්දටම වේලුනු නැති එහෙත් මෝරපු කොල්ලු කරල් වල ඇට ගලවා කෑමට ගන්න එක කුඩා ළමුන්  වූ අප හැමෝටම ආශ්වාදයක් ගෙන දෙන්නක් විය.
මිදුලේ එක තැනක ගොමගා කුඩා කමතක් ලෙස හදාගන්නේ අම්ම සහ අක්කා එකතුවයි..


අනතුරුව කොල්ලු ගොඩ ඒ කමත හරියට දමන්නේ  කොල්ලු තැලීමට පෙර සූදානමක් ලෙසයි.. අනතුරුව වත්තෙන් කපාගත් පේර, ට්‍රපන්ටයින් පොළු එහෙම අරගෙන අප සූදානම් වන්නේ කොල්ලු තැලීමටයි .තුන්දෙනා තුන්පත්තෙන් හිඳ දෑතබදා කොල්ලු ගස් ගොඩට පහරදීමත් සමඟ  කරල් පුපුරා කොල්ලු ඇට බිමට වැටෙයි . පසුව භාගෙට තැලූ කොල්ලු ගොඩ ඉවත්කර  අඩියට බේරී ඇති ඇට ඉවත්කර ගැනීම සිදුවේ.. පසුව මේ කොල්ලු ඇට අව්වේ වේලා අවුරුදු මේසේ කොල්ලු ව්‍යංජනයක් හදන්නට ගන්නා තෙක්  අම්මාගේ ගබඩා කාමරයේ කොල්ලු මුට්ටියක් තැන්පත්වෙයි ..

ඒඅ අවුරුද්දක කොල්ලු වාරයේ අපේ ආතා  කොල්ලු තැලූ කතාව කිව්වේ නැත්නම් කොල්ලුවංශකතාවට ලොකු අඩුවක් සේ ඇයි සිතුණි.ඒ නිසා ආතා කොල්ලු තැලූ හැටි මතක්කරන්නට සිතුවෙමි.. අපේ ගෙදරවගේම කිරිඔරුවේ මැදගෙදර මිදුලේද කොල්ලු කමතක් සූදානම් වී තිබුණා මතකය..

ඒ කාලේ අපේ අම්මත්  කිරිඔරුවේ ආතත් වැඩකරන්නේ තරඟයකට වාගේ යැයි හැඟීමක් අපහට කාවැදී තිබුණේ දෙන්නට දෙන්නා එච්චරම හිතවත් නොවූ අවස්ථාද   අප දැක තිබූ නිසයි.. ඔන්න ඔය කියන දවසේ ආතා  කොල්ලු තලන්නට සූදානම් වී සිටියේ හොඳ වර්ගයේ පොළු රාජයෙක් ද සූදානම් කරගෙනයි .. ආතා දෑතබදා කොල්ලු ගොඩට පහරදෙද්දී වරින්වර නැඟී ආ ඥාව්  ඥාව් හඬ ඇයට ඇසී තිබුණේ නැත .. ආතලා ගෙදර සිටි කලුයි සුදුයි පුල්ලි තිබ්බ පූස් පැටියා ආතා අතින්  පොළු පහර කා මියගොස් සිටියේ ඉතා අවාසනාවන්ත ලෙසයි .." බලපල්ලකෝ තියෙන දුෂ්ඨකමක මහත අර පූස්පැටියා මරාගත්තනේ.. "කියා කිව්වේ අපේ අම්මා නම් නෙවෙයි මං හිතන්නේ

14 comments:

  1. කවිඳු, මම බදුල්ලේ උපන්නේ, අවුරුදු දහයේදී කොළඹට ආවා. කොල්ලු වවලා, තලලා නැහැ, ඒත් මදිය නොකියන්න කාලා නම් තියෙනවා. මේ දැනුත් කොල්ලු බදින වෙලාවේ සුවඳ දැනෙනවා වගෙයි.

    ඉස්සර බදුල්ලේ මඟුල් ගෙදරකට වුණත්, මේසයට කොල්ලු මාළුවා නොතිබ්බොත් අංග සම්පූර්ණ නැති විදිහය කියලා කිව්වේ අපේ අම්මගේ නංගී 'සෝමා පුංචි'.

    ReplyDelete
    Replies
    1. ඔව් කොල්ලු බැදලා , වංගෙඩියේ දාලා කුඩු කරලා .. ඊට පස්සේපරිප්පුවක් උයනවා වාගේ තමයි උයන්නේ.. මාර සුවඳයි තමයි .. මම උපතේ ඉඳන් වෛද්‍ය විද්‍යාලයට යනකම් ( 1970-93) බණ්ඩාරවෙල හිටියා .. ඊට පස්සේ නිවාඩුවට ගෙදර යනවා එනවා විතරයි

      Delete
  2. අතිශය සුන්දර කථාවක්! අදයි අහම්බෙන් ඔබේ බ්ලොග් අඩවිය දැක්කේ! ඉඩක් ලද විටෙක අපේ අහත් ගොඩ වදින්න!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි . එන්නම් ඒ පැත්තේ

      Delete
  3. මම හිතුවේ කොල්ලු රටින් ගෙන්නනවා කියලා.... දැන්නෙ දන්නේ මෙහේ වවනවා කියලා..... එල.....

    කොල්ලු දැකලා තිබ්බට කාලා නෑ.....
    තම්බලා කන්න පුළුවන් ද ? නැත්තං උයන්නෙ මුං ඇට, කව්පි උයන විදිහටම ද ?

    ReplyDelete
    Replies
    1. කොල්ලු උයන්නේ බැදලා , වංගෙඩියේ දාලා කොටලා , පියලි/පිටි කරලා ටිකක පරිප්පු උයනවා වගේ ක්‍රමේකට . මුං ඇටත් ඒ විදිහටත් උයනවා.. ඔව් දැන් නම් කොල්ලු එනවා ඇත්තේ ඉන්දියාවෙන් හරි චීනෙන් හරි තමයි

      Delete
  4. හපොයි. මෙහෙ මිනිස්සුන්ට ඕකයි මයියොක්ක කොළ මැල්ලුමයි (ඒකට තව තිත්ත තිබ්බටුත් දානව. නැත්තං තිත්ත හිටින්න පැනඩෝල් හරි දානව ඇති) ඇර වෙනිං කෑමක් නෑ.

    ReplyDelete
    Replies
    1. මඥොක්කා කොළ තිබ්බටුත් එක්කයි , කොල්ලුයි , වට්ටක්කාදළුයි , කොස් තෙල් දාලා, වෙල් අලකොළ වගේ කෑම තමයි මගෙත් ප්‍රියතම කෑම . අපි ඉතිං බදුල්ලේ කොල්ලොනේ

      Delete
  5. කොල්ලු වගාව ඔය ආකාරයෙන්ම අපිත් කරා ගේ වැටෙයි ඉස්සරහ පතනෙයි. ඒත් එක්කම කුඹුරේ පල්ලහ ලියදිවල කුරක්කන් ඉස්සා. මොකද කුරක්කන් තලප හා කොල්ලු තකට තක නිසා . ලස්සන අතීතාවර්ජනයක්

    ReplyDelete
    Replies
    1. ඔව් අය්යා ,දැන් නම් කොල්ලු වවන අය හරි අඩුයි අපේ පැත්තෙත්. ගොඩක් තරුණයොත් දැන් ත්‍රී වීල් එළවනවා වගේ වැඩනේ කරන්නේ

      Delete
  6. අතීතයට ආපසු ගියා

    ReplyDelete
  7. දැන් කොල්ලු හොයා ගන්න පුළුවන් කොයි පලාත්වලද

    ReplyDelete
    Replies
    1. අපේ පැතිවල තාම තියෙනවා මං හිතන්නේ

      Delete