Tuesday, 15 November 2016

ලලිත කලා සහ කලාත්මක වෛද්‍ය ශිෂ්‍යයා






මේ සිද්ධිය සිදුවුණේ  මම නුවරට ඇවිත් මාස කිහිපයක් ඇතුළත.

ඒ වනවිට මම කඩුගන්නාව පාරෙන් කුලියට ගෙයක්  හොයාගෙන ගතවී තිබුනේ  දින කිහිපයක් පමණයි.

 එමෙන්ම මා නැවතී සිටි නිවසේ සරප් මහතා හා සාකච්චා කර ගත් පරිදි ප්‍රධාන පාර අයිනේ කඩයක උඩ තට්ටුව  මගේ පුද්ගලික බෙහෙත් ශාලාව ආරම්භ කරන තැන ලෙස තෝරාගෙනයි හිටියේ.

බෙහෙත් ශාලාවට ලැබුණු ගොඩනැගිල්ල අළුතින්ම සදා කළු පැහැති දිග විදුරු දැමු ලස්සන තැනක්.

ඒ නිසාම වෙන්න ඇති අයිතිකාර මුදලාලි මගෙන් මාසික කුලිය විදිහට රුපියල් 3500ක් අය කරන්න තීරණය කලෙත්.

පොලේ ඉදිරි වැඩ කටුයුතු ගැන සාකච්චා කරන්න මම දවසක් මා සිටි නිවසේ උඩ තට්ටුවට  පිය මැන්නා .

"තාත්තේ  මෙන්න ඩොක්ටර් අය්යා ඇවිත් " සුනන්ද මහත්තයා ( සරප් මහතා ) ගේ පොඩි දුව මා පැමිණි බව ඔහුට දැනුම් දුන්නා.

" ආ.. එන්ට ඩොක්ටර් වාඩි වෙන්න . කොහොමද අලුත් ගොඩනැගිල්ල බලන්ට ගියාද ? "

"ඔව් ඔව් සුනන්ද මහත්තයා.  ඒ ගැන කතා කරගන්නත් තමයි මම මේ ආවේ "

" ඒ කිව්වේ ඩොක්ටර් ? තැන හරි නැද්ද ? "

" නෑ .. නෑ තැන හොඳයි . ඒකෙ පොඩි වැඩ ටිකක් තියෙනවා කරගන්න "

"පළවෙනි එක ඒ කාමරේ පාටිෂන් කර ගන්න ඕනේ.  මම ඉන්න තැනයි . ලෙඩ්ඩු බලන තැනයි වෙන් කරලා .

තව එකක් බිල්ඩිමට වතුර සප්ලයි එක තිබ්බට  මගේ කාමරේට සින්ක් එකක් නෑ ඒක හදා ගන්න ඕනේ"

"හරි ඩොක්ටර් මට මතක් වුණා .

ඕකට හරියනම මනුස්සයා තමයි අර කැම්පස් එකේ වැඩ කරන සෝමදාස වඩු බාසුන්නැහැ.

අපි මිනිහට කියමු එයා ඔය වැඩ ටික කරලා දෙයි.  ඩොක්ටර් කැමති නම් මම කතා කරන්නම් . "

සුනන්ද මහත්තයා මා වෙනුවෙන් ඒ ගණුදෙනුව කතා කර ගන්නට පොරුන්දුවිය.



"ඒක නෙවෙයි ඩොක්ටර් ඕකට ලස්සන බෝඩ් එකකුත් දාන්න වෙයි නේද ?

සුදුපාට එළිය පෙට්ටියක් වගේ බෝඩ් එකක් දැම්මා නම් ඈතට පෙනෙන විදිහට ? "

සුනන්ද මහත්තයා මා කතා කරන්නට පැමිණි අනික් කාරණය මටත් කලින්ම  සාකච්චා මේසයට ගෙනාවේය.

"ඔව් ඔව් මමත් ඔය ගැන හිතුවා .  බෝඩ් අඳින්න හොඳ තැනක් හොයාගන්න ඕනේ .

මම අද හවස කිරිබත්කුඹුරේ ගියාම දුමි අය්යා ගෙන් අහන්නම් මිනිහා දන්නවා ඇති"

'ඩොක්ටර් නමක් එහෙම හිතලද තියෙන්නේ ? "

" ඔව් ඔව් මම හිතුවා  Family Care Medical Center  නම දාන්න  .ඒක හොඳයි නේද ? "











"හොඳයි හොඳයි ඩොක්ටර් එහෙනම් මෙහෙම කරමු .

මම සෝමදාස බාස් එක්ක  කාමරේ පිළිවෙලක් කරන එක කතා කරන්නම් ඩොක්ටර් බෝඩ් එකේ වැඩේ බලන්නකෝ "

ඒ අනුව සුනන්ද මහත්තයා මගේ පොල අලංකාර කිරීමේ ගණුදෙනුව සෝමාදාස බාසුන්නැහැට භාර දී තිබුනේ රුපියල් දහදාහකටය.

ඒ ගාස්තුවට   හාර්ඩ් බෝර්ඩ් ගසා කාමරය පාටිෂන් කිරීමත් , කොලපාට තිර දමා එය අලංකාර කිරීමත් , අත් සේදීමට සින්ක් එකක් සහ ලෙඩ බැලීමට ලෙඩ ඇඳක් සකස් කිරීමත් ඇතුලත් විය .

අනෙකුත් අවශ්‍ය උපකරණ වූ  වෛද්‍යවරයාගේ මේසය සහ හාන්සි පුටුව මම   නුවර ගෘහ භාණ්ඩ කඩයකින් මිලදී  ගත්තෙමි.

ලලිත කලා  කලා ආයතනය

සුනන්ද මහත්තයා  සමග කතිකා කරගත් පරිදිම බෝඩ් ඇඳීම ගැන විමසන්නට මම දුමි අය්යා හමු වුනෙමි.

"ආ මල්ලි කොහොමද ?  කාලෙකින් ?  උඹලට අලුත් තැන් හම්බ වුණාම අපි අමතකයි ආ ? "

දුමියා පුරුදු භාෂාවෙන් මා ඇමතුවේ වින්කලයේ වැඩ මදකට නවතා  රෙදි කඩ මාල්ලකින් අත පිහින ගමන්මය. 

" නෑ දුමි අය්යා කැම්පස් එකේ වැඩයි   අලුත් ප්‍රයිවෙට් එක පටන් ගන්න එකේ වැඩයි නිසා මේ පැත්තේ එන්න වෙලාවක් වුනේ නෑ "

" කොහොමද උඹ දැන් පොළ පටන් ගත්තද මචං ? 

ඔන්න පටන් ගත්තු ගමන් කියන්ට ඕනෑ.

අපිත් එනවා පොඩි උන් දෙන්නට එහෙම උඹෙන් බෙහෙත් ගන්ට ඈ "

"හරි හරි ඒවා බැරියැ පස්සේ ඉස්සෙල්ලා මට බෝඩ් එකක් ඇඳ ගන්ඩ තැනක් කියපන්කෝ ? "

මම දුමි අය්යාට මා ඔහු හමුවීමට පැමිණි කාරණය පැහැදිලි කලෙමි. 

" මල්ලි ඔය කිරිබත්කුඹුරේ හන්දියේම ලලිතකලා කියලා බෝඩ් එකක් ගහලා පොඩි කඩයක් තියෙනවා උඹට මතකද? "

" ඔව් ඔව් අර බස් හෝල්ට් එකට පොඩ්ඩක් උඩහින් තියෙන්නේ ?"

"ඔතන ඉන්න පොර බෝඩ් අඳිනවා මචං . හැබැයි පොර ගෑණිට බයයි  ගෑණි හා කිව්වොත් තමයි මෑන් වැඩේ බාර ගන්නේ "

" ඉතිං අය්යා මම ගෑණි තියා මිනිහා වත් අඳුරන්නේ නෑ නේ ? "

" හරි හරි හිටපන්කෝ ඉතිං කියනකන්  පනින්නේ නැතිව . 

මම උඹත් එක්ක ඇවිල්ලා කට්ටිය අඳුන්වලා දෙන්නම් . හැබැයි ඉතිරි හරිය උඹට කරගන්න  වෙයි මස්සිනා "

දුමි අය්යා කියාගෙන ගියේ නියම වින්කල් බාස් කෙනෙක්ගේ භාෂාවෙනි. 

"මල්ලි මෙන්න මේක පොඩ්ඩක් බලා ගනින් අපි ලලිතකලා ලගේ ගෙදරට ගිහින් එනකං " දුමියා වින්කලේ සිටි කොලුවෙකුට පැවසුවේ ඔහුගේ යමහා සුපර් කබ් එකට නගින ගමන්මය.

දුමියා ගේ බයික් එකේ පිටිපස්සේ එල්ලුණු මම ඔහුත් සමග කිරිබත්කුඹුර හංදියට ගියෙමි.

" ගෙදර කවුද ? ගෙදර කවුද ? "

කොළඹ- නුවර පාරේ  තිබු ලලිතකලා ගෙදර/කඩේ දොර ලෑලි දෙකක් ඉවත් කල තැනින් ඔලුව දැමු දුමි අය්යා නිවැසියන් ඇමතුවේය.

" ආ මම මේ කවුද බැලුවා දුමින්ද මල්ලිනේ එන්න එන්න "

"කෝ අය්යා ? "

එයා අන්න පිටිපස්සේ බෝඩ් වගයක් අඳිනවා .

"මේ මගේ යාළු දොස්තර මහත්තයෙක් එයත් ලයනල් අය්යාට කියලා බෝඩ් එකක් හදව ගන්න ආවේ "

දුමි ගෙදර ගෘහ මුලිකාවට මා හඳුන්වා දුන්නේය.

"එන්න මහත්තයා වාඩි වෙන්න මං ලයනල් ට එන්ට කියන්නම් "

" නෑ නෑ ඕනේ නෑ එයා වැඩ කරන තැනට අපි එන්නම් කෝ " කියමින් මම බෝඩ් අඳින්නා සිටි ඇතුල් කාමරය දෙසට පිය මැන්නෙමි .

ඉරි ඉරි සරමක් හැඳ ගත්  කුඩා මිනිසෙක් බිම දන ගසාගෙන ලොකු නාම පුවරුවක් අඳිමින් සිටියි.

දුමි අය්යා ලයනල් ට අප පැමිණි කාරණය කියන්නට විය .

"මේකයි අය්යා ඩොක්ටර් ට ඕනේ කියන්නේ අර ටියුබ් ලයිට් දෙකක් ඇතුලට දාලා හදන ලස්සන සුදුපාට බෝර්ඩ් එකක් .

සයිඩ් එකෙනුත් පොඩි එකක් එල්ලන්න පුළුවන් නම් හොඳයි නේද මල්ලි ? "

යැයි ඔහු මා ගෙන් විමසුවේ පාරේ ඈතට පෙනෙන්නට එල්ලන දැන්වීම් පුවරුවක් ගැනයි.

අවසානයේ  එලෙස බෝඩ් දෙකක් සකස් කරදෙන ලෙස ලලිතකලා ට ඕඩරයක් භාර දුන්නෙමු.



ඒ අතර මා නෙත ගැටුනේ  කාමරයේ අනෙක් කොණේ  ලයනල්ට උදව්වට බෝඩ් අඳිනා තරුණ කොළු ගැටයෙකි.

ඔහු සිටියේ බිම බලාගත් වනම නිසා මුහුණුවර හරියට පෙනුණේ නැත.

"ලයනල්ට උදව්වට කෙනෙකුත් ඉන්නවා වගේ ? "

කියමින් මම  නිහැඬියාව බින්දේ තරුණයාගේ මුහුණ බලා ගන්නට අවශ්‍ය වූ නිසයි .

බොකුටු හිසකෙස් සහිත ඒ හීන්දෑරි  කොළු ගැටයා මගේ ගැටයට අසුවුයේ එක් වරම හිස ඔසවා බැලිය.

"සර්"

"ආ ඔයා කොහෙද මෙහේ ? ඔයා අපේ ෆස්ට් ඉයර් එකේ ස්ටුඩන්ට් කෙනෙක් නේද? "

තරුණයා හඳුනාගත් මම විමතියට පත්වුනෙමි.

"ඔව් සර්  මගේ ගෙවල් නම් මෙහේ නෙවෙයි ගම්පොළ  .

හවසට හවසට පොඩි පාර්ට් ටයිම් එකක් කරනවා සර්  ලයනල් අංකල් ට උදව් කරනවට මට පොඩි ගෙවීමක් කරනවා "

ඔහු ලලිතකලා ළඟ කලා කරුවෙක් ලෙස අතිරේක රැකියාවක් කරනා බව මා සමග පැවසිය.

හොඳයි හොඳයි එහෙනම් අංකල් එක්ක එකතුවෙලා මගේ වැඩේ කරලා දෙන්නකෝ .

කියමින් මා  එතනින් සමුගත්තේ මගේ ශිෂ්‍යයෙක්  ලලිතකලා ළඟ වැඩ කරන බව දුමිටද ඒත්තු ගන්වමිනි.

ගුරු ගෝල ගණුදෙනු

පසුදා විශ්ව විද්‍යාලයට ගිය මා වෙනදාට වඩා උවමනාවෙන් සිසුන් දෙස බැලුවා කිවොත් නිවැරදිය .

 ඒ ගම්පොළ පැත්තේ සිට එන බොකුටු කොණ්ඩයක් ඇති උස කෙට්ටු සිසුවා සොයා ගන්නා  අරමුණ ඇතිවයි.

උදේ වරුවම ගතවුයේ මගේ උත්සාහයේ කිසිදු ප්‍රතිඵලයක් නැතිවයි. 

වැඩේ හරියන පාටක් නැතිබව දැනගත් මම මගේ හිතවතා ප්‍රේමදාස ගේ සහය පතන්නට තීරණය කලෙමි.

ප්‍රේමදාසත් වැඩට එන්නේ ගම්පොළ පැත්තේ සිට නිසා වැඩේ සාර්ථක විය හැකිය.

"ප්‍රේමේ මෙහේ එනවකෝ ? "

"ඇයි සර් හදිස්සියක්ද? "

" නෑ නෑ මට ස්ටුඩන්ට් මහත්තයෙක් හොයා ගන්න ඕනේ "

" සර් අර කාර් විකුණන මහත්තයද ? එයා නම් නිතරම කැම්පස් එන්නේ නෑනේ " 

" නෑ නෑ අයිසේ මම නම නම් දන්නේ නෑ.

 ගම්පොළ පැත්තේ ඉඳලා එන්නේ උස සුදු කොන්ඩේ පොකුටු ස්ටුඩන්ට් කෙනෙක් , ෆස්ට් ඉයර් එකේ ඉන්නවා කිව්වේ ."

හරි සර් අද හවස ප්‍රැක්ටිකල් එක තියෙනවා නේ එකේදී බලමු මම සර්ට පෙන්නන්නම් කෝ ගම්පොළ ඉදන් එන මහත්තුරු ටික "

අන්න හරි තමුසේ එනවා අද ප්‍රැක්ටිකල් එකට අපි එකතුවෙලා හොයමු මෑන්ස් ව ."

දිවආහාරය ගත් මම  ප්‍රායෝගික පංති තිබෙන ගොඩනැගිල්ල වෙත පියමැන්නෙමි. කතා කරගත් පරිදි ප්‍රේමදාසද  ඒ පැත්තේ කැරකෙමින් සිටිනු දුටුවෙමි.

"සර් සර් අර මහත්තයද බලන්න "

ප්‍රේමදාස මට අවශ්‍ය පුද්ගලයා යැයි කිව හැකි ශිෂ්‍යයෙක් වෙත මගේ අවධානය යොමු කළේය.

"ඔව් ඔව් මට හිතෙන්නේ මෑන්ස් තමයි . ප්‍රේමේ ගිහිල්ලා ඒ සර්ව මෙහාට එක්කං එන්නකෝ "

"කවිඳු සර් මට කතා කලාද? "

" කොහොමද ඔයා නේද ඊයේ කිරිබත්කුඹුරෙදි මට මුණ ගැහුණේ ?"

"ලලිතකලා එකේදී නේද සර් ?  ඔව් මම තමයි ."

" ඔයා එතන වැඩ කරනවට හොඳට ගෙවනවද ? "

"පොඩි ගාණක් දෙනවා සර් . එදිනෙදා වියදමට ඇති ඉතිං "

"ඒක නෙවෙයි . ඔයා තනියෙන් වැඩ භාර ගන්නේ නැද්ද ? 

මගේ ප්‍රයිවෙට් එකේ විදුරුවල අකුරු ලියන්න වැඩකුත් තියෙනවා "

"නෑ සර් දැනට නම් ලයනල් අංකල් ගේ වැඩ වලට උදව් වෙන එක තමයි කරන්නේ "

"හරි ළමයා ලයනල්ට දෙන මුළු ගානම මම ඔයට දෙන්නම්.

 ඇවිල්ලා මගේ පොලේ ලේ මුත්‍රා පරික්ෂා කරනවා, ඊ සී ජී කරනවා  එහෙම කියලා අකුරු ටිකක් වීදුරුවේ ගහනවා "

එහෙනම් අද හවසට එනවද තැන බලන්න. ඊට පස්සේ මම ඔයාට වැඩේ භාර දෙන්නම්."

ඒ අනුව ලොකු බෝර්ඩ් දෙක ලලිත කලාට  භාරදුන් මා ඉතිරි වැඩ ටික මගේ ශිෂ්‍ය යාට කෙලින්ම භාර දුන්නෙමි. 

එදින හවස  මා කුලියට ගත් අළුත් බිල්ඩිමට පැමිණි ඔහු දින කිහිපයක් තුල 

" ලේ සහ මුත්‍රා පරික්ෂා කරනු ලැබේ ",  

"නෙබියුල්යිස්ර් ප්‍රතිකාර , රුධිර සීනි පරික්ෂාව , පවුල්සැලසුම් එන්නත් " 

කරනු ලැබේ වැනි   වාක්‍ය  රාශියක් පාරට පෙනෙන ලෙස කළු විදුරු මත ඇන්දේය. 

මා  ඊට අදාළ මුදල් මා අතින් කෙලින්ම ඔහුවෙත ලබාදුන්නේ  ලලිතකලා අයකරනු ලබන කොටසද ඔහුටම ලබා ගන්නට ඉඩ සලසාදෙමිනි. 






33 comments:

  1. Kavindu, මං දන්නව ඒ වෛද්‍ය ශිෂ්‍යපොකුටා, එයාගෙ පුතාත් හොඳ චිත්‍රශිල්පියෙක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි!!!
      එයා කිසි කලබලයක් නැතිව විභාග එහෙම පාස් වුණා කියලා මතකයි . ඒ ගොල්ලෝ තුන්වන වසරේ ඉද්දි මම ලංකාවෙන් පිටත් වුණා නේ . ඊට පස්සේ එයා වැඩ කලේ කොහෙද එහෙම කියන්න මම දන්නේ නෑ. දන්නවා නම් මුහුණු පොතේ විස්තර එවන්න

      Delete
  2. \\නියමයි මද්දා.. මට හමුවුණු නියම අතිරේක රැකියාවක් කල ව්‍යිදය ශිෂ්‍යයෙක් ගැන කතාවක් තියෙනවා\\

    මේ ඒකද?

    ReplyDelete
    Replies
    1. ඔව් මද්දා මේ කතවා ඔබ වෙනුවෙන් ලියවෙච්ච එකක් කලින් පොස්ට් එකේ මේ ගැන කියපු නිසා කාර් ගැන තව කතා නොකර මේ ස්ටුඩන්ට් මහත්තයා ගැන කියන්න හිතුනා මද්දා වෙනුවන් .. "කියවන්නන් ගේ ඉල්ලීම් තීරය" යටතේ හි.හි..

      Delete
    2. එලනේ ජය වේවා!

      Delete
  3. කවිඳු අලුතෙන් ඩොකාටිස්ට් කෙනෙකුත් හදල අරන් වගේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසන්න .. ගොඩක් ශිෂ්‍ය කණ්ඩායම් වල ඔහොම ටැලන්ට්ස් තියෙන අය ඉන්නවා . හදලා ගන්න එක බැචාලා අතින් සහ ගුරුවරු අතින් වෙනවා හොඳ කට්ටිය ඒ තැන්වල හිටියොත්.. කරුමෙට වගේ අපි ඉගෙන ගනිද්දී අපේ විශ්ව විද්යාලේ අපිත් එක්ක හිටිය බැචාලයි උගන්වපු ගුරුවරුයි ඔක්කොම පටු දේශපාලන කල්ලි කණ්ඩායම් භේද වලින් භේද බින්න වී අපේ කණඩායම් වල තිබු ඔවැනි දක්ෂතා නිකන්ම යටපත් වෙලා ගියා. ප්‍රතිඵල දැන් පෙනෙනවා ඇති කට්ටියට .. පේරාදෙණිය කොහොමටත් නිපුනතා , කුසලතා හොඳින් වර්ධනය කරවන තෝතැන්නක් ඒක කාටත් පිළිගත හැකි සත්‍යයක්

      Delete
  4. කැම්පස් කාලේ මේ වගේ පොඩි පොඩි පාටි ටයිම් වැඩ මමත් කලා. ඇත්තටම ඒක හොඳ අත්දැකීමක්.

    ReplyDelete
    Replies
    1. හේනේ මල්ලි මල්ලි හරි මල්ලි . එහෙම තමයි ඉන්න ඕනේ . මමනම් කරේ ලැබිච්ච මහපොළ අරපරිස්සමින් වියදම් කරලා ඉතිරි කරපු එක විතරයි . කිසි පාර්ට් ටයිම් කිරිල්ලක් වුනේ නෑ . ඒකටත් එක්ක ඉස්කෝලේ කාලේ පාර්ට් ටයිම් එළවලු වගාව , පුද්ගලික පංති කෙරුවාව විතරක් නෙවෙයි පොඩි පොඩි බිස්නස් පවා කරලා තියෙනවා . බ්ලොග් එකේ මුල් හරිය කියවන්නකෝ ..

      Delete
  5. ෆැමිලි කෙයා මැඩිකල් සැන්ටර්

    අල්ලා ගැනීමට අපහසු ඕනෑම ලෙඩක් එවෙලේම අල්ලා දෙනු ලැබේ.

    ReplyDelete
    Replies
    1. ලෙඩ සුව නොවුනොත් මුදල් ආපසු . අත්දුටුවයි සත්‍යයි !!!

      Delete
    2. බැලුවා . නියමයි කලින් බලලා තිබුනේ නෑ.

      Delete
  6. /* පවුල්සැලසුම් එන්නත් */


    මොනවා? ඒ මොනවාද?

    ReplyDelete
    Replies
    1. මේ රට වල පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස භාවිතා නොවුනට ඩිපෝ ප්‍රොවේරා එන්නත් මාස තුනකට සැරයක් විද ගන්න ගොඩක් කාන්තාවන් එනවා ලංකාවේ පොල් වලට .. අපේ ෆැමිලි කෙයා එකේ ඒ එන්නත් සහ ගිලින පෙති කාන්තාවන්ට ගත හැකිව තිබුණා.

      Delete
  7. අපෙත් හොඳ දක්ෂ කලාකාරයෝ හිටිය , අදටත් ඉන්නවා ඒහෙම අය වෛද්‍ය ශිෂ්‍යයෝ අතර ඉන්න බව මතක් කරපු එක හොඳයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ශාෂේන් ඔයාලා බැච් වල හිටපු දක්ෂම නිවේදකයෙක් , ලියන්නෙක් මගේ අය්යා වීම මටත් ආඩම්බරයට කාරණයක්. මම ඉහලින් කෙනෙකුට කිව්වා වගේ අපිට තිබ්බ දක්ෂතා මොනාද කියලා වත් හොයා බලන්න අපේ බැචාලා , සිනියස්ල හෝ ගුරුවරුන්ට ඉස්පාසුවක් තිබුනේ නෑ . ඒ කට්ටිය දේශපාලනය සහ පටු කල්ලි කණ්ඩායම් භේද හදාගෙන එවැනි දක්ෂතා යටපත් වෙන්න හැරියා. දැනටත් අපේ බැච් එකේ මුහුණු පොතේ ඔය වගේ කල්ලි කාරයෝ ගොන්පාර්ට් දමමින් ඉන්නවා. මම හිතන හැටියට අපේ "සමාජ සත්කාර " පොස්ට් එකක කිසියම් අලුත් බ්ලොග් නමකින් "ජෝක් එකක්" දැම්මෙත් එහෙම එකෙක්

      Delete
    2. ඒකෙන් , දේශපාලනය කෑල්ල ගලවලා ගත්තාම ඒකාලේ ඊට ඒ කියන්නේ සෞන්දර්යාත්මක පැත්තට වඩා ප්‍රමුඛතා තිබ්බා ඒ නිසා ඊට ඉඩක් තිබුනේ නෑ කියා මට හිතෙනවා.

      Delete
  8. බොසාට පිටින් තනියෙන් වැඩ අරන් කලා කියල පාට් ටයිම් එකටත් කෙල වෙනවා ආරංචි උනා නම්.. හෙහ් හෙහ්
    කැම්පස් වටේට ෆැක්ටරි වලට පාට් ටයිම් ජොබ් දෙනව නම් බදු අඩු කරනවා වගේ දේවල් දීල පාට් ටයිම් ජොබ් සංස්කෘතිය උස්සල ගත්තනම් ශිෂ්‍ය ප්‍රශ්න සෑහෙන්න අඩුවේවි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස් , බොසාට පිටින් වැඩ කරා කියලා බොසා ට නෙවෙයි බොසාගේ මාය්යට අහුවුණා නම් තමයි පොකුටු මල්ලිට හොම්බෙන් යන්න වෙන්නේ. බොසා නම් හරි අහිංසක ඩයල් එකක් . එයාගේ නෝනා ටිකක් කටසැර අම්මණ්ඩි කෙනෙක්. මගේ බෝඩ් අඳින්න පරක්කු වෙනකොට ඒ ගැන අහන්න ගියාමත් ඒ නෝනා තමයි හේතු පැහැදිලි කරන්න එන්නේ . ලයනල් අය්යා නෙවෙයි

      Delete
    2. ඔව් ඔව් පාර්ට් ටයිම් සංස්කෘතිය නග්ගලා ගත්තනම් වටිනවා තමයි. මේ රටවල් වල නම් කැම්පස් ළඟ තියෙන සුපර් මාර්කට්, පෙට්‍රල් ෂෙඩ් , බොහෝ ආයතන වල පිරිසිදු කිරීම් එහෙම ඔක්කොම කරන්නේ ස්ටුඩන්ට් මහත්තුරු තමයි. එයාලා හරි අභිමානයකින් යුතුව ඒ වැඩේ කරනවා. මට නිතරම අපේ සිශ්යයෝ මෙහේ කඩවල් වලදී හම්බ වෙනවා.

      Delete
    3. ඇත්තටම මම මේ හිතුවේ මේ රටවල්වල යුනිවසිටි ස්ටුඩන්ට්ස්ලා කොච්චර නම් පාට්ටයිම් රස්සාවල් කරනවද කියලා. මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා මැක්ඩොනල්ඩ්ස්, කේඑෆ්සී විතරක් නෙමේ පෙට්‍රල් ස්ටේශන් වලත් වැඩ. මම දන්න කොල්ලෙක් හිටියා මහ පාන්දර නිව්ස් පේපර් ඩිලිවරි කරලා උදේට යුනි යනවා. අපේ දුව කොච්චර නම් රස්සාවල් කරන්න ඇද්ද යුනි යන කාලේ,අපිට කරදර කරන්න බැහැ කියලා. මේක ආකල්ප චොර කරගැනීමේ ගැටලුවක් කවිඳු.

      Delete
    4. ආයතන හිමියො කැමතිත් නෑ ඉගන ගන්න ළමයි වැඩට ගන්න.කම්කරු අයිතිවාසිකම් ඇදගෙන ප්‍රශ්න ඇතිවෙයි කියලා.වගකීමකින් සිස්ටම් එකක් හඳුන්වලා දෙන්න ඕන වෙලා තියෙන්නෙ ඒකයි.

      Delete
    5. ස්තුතියි අරුණ ඇත්ත තමයි මේ රට වල ළමයි තාවකාලික රස්සා කරලා තමයි ඉගෙන ගන්නේ . මට මතකයි මගේ ඉස්සර හිටපු බොස් (නියුරෝලොජිස්ට් කෙනෙක් ) කිව්වා එයා මෙඩිසින් කරද්දී සිඩ්නි වල ටැක්සියක් එලෙව්වා කයලා . අපේ රටේ අය ආකල්ප "චොර" කර ගන්නා නිසා තමයි ඔය සිද්ධිය අපේ අය අතර අඩු හැබැයි ඒඑහෙම කිව්වට සමහර මෙඩිකල් ස්ටුඩන්ට්ලා වැඩ කරා මට මතකයි . ඇයි ඉතිං මමත් නෙදර්ලන්තේ ඉද්දි උදේ පාන්දර හතරට විතර පත්තර දාලා ඇවිත් තමයි යුනිවර්සිටි ගියේ මුල්ම කාලේ. පස්සේ අපේ නිම්මි ඒ රස්සාවට ගියා මම සුපුන් බලන් ගෙදරට වෙලා පාඩම් කරද්දී. ඒකට සැලකීමක් විදිහට තමයි මම "මග නැගුම " සිරිස් එකේ ලියපු පාර හැදුවේ ලක්ෂ හත අටක් වියදම් කරලා

      Delete
  9. https://www.healthgrades.com/group-directory/ca-california/poway/highly-artistic-surgery-y3kh6y

    ReplyDelete
    Replies
    1. බැලුවා නියම මාකටින් පාර. ජයවේවා !!!

      Delete
  10. ලංකාවෙත් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට කරන්න පාට්ටයිම් ජොබ් නැතුව නෙවෙයි. කාටත් කරන්න ඒ වගෙ වැඩ තියෙනවා. නමුත් අවුල තියෙන්නෙ තමුන්ගෙ සමාජයත් එක්කයි. කොල්ලෙක් හවස්වරුවට හාඩ්වෙයාර් එකක බඩු පැටෙව්වොත් එකට ඉන්න එවුං ඌට නාටාමියා කියල කාඩ්ඩෙක ගහල ඇදල දානව බිමටම. නැත්තං ඌ වැඩකරන තැනට ගිහිං පීචං කරලම දානව. ඒ හංදා ටියුෂන් එකක් කරනව ඇරෙන්න ඉන් එහාට යන්න අපේ අය හිතන්නෙ නෑ. නමුත් තමුංගෙ දක්ෂකමට ගැලපෙන රස්සාවක් දිහා බලාගෙන හූල්ල හූල්ලා එතැන පහුකරගෙන යන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුරංග. ඔය කියන දේ ලංකාවේ වෙන්න පුළුවන් තමයි. සමාජය ට බයේ සිටිය යුතු නැති බවයි මම නම් කියන්නේ . එත් අපි දන්නා ගොඩක් ලොකු තැන්වල ඉන්නා අය ඉන්නවා හරි රසවත් කතා හංගාගෙන "සමාජයට " බයේ.

      Delete
  11. මේ කතා ටික කලින් දැක්කා වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙඩුසා. පුද්ගලික බෙහෙත් ශාලාව සහ කුලී නිවාසය හිමිකරු ගැන එහෙම කලින් කියලා තියෙනවා . ඒත් ලලිත කලා එකයි . බෝඩ් අඳින සිශ්‍යා ගැනයි කියන්නේ මේ පොස්ට් එකේ විතරයි.

      Delete
  12. මට කැම්පස් යන්න ලකුණු දෙතුන් සීයක් මදි වෙච්චි නිසා, ෆුල් ටයිම් වැඩ කරන ගමන් පාට් ටයිම් ඉගෙන ගත්ත, හොද වෙලාවට අපේ පවුලෙ අනිත් එවුන්ට මට වඩා මොළේ තිබ්බ 🙂

    ReplyDelete
  13. කොච්චර දෙයක්ද ඒ දක්ෂයට නිසි තැනක් සමග වැඩිපුර මුදල් ලැබෙන විදියක් දුන්නු එක. එහෙම උදව් කරන අය අඩුයි.

    ReplyDelete