දැන් කාලේ අපේ රටේ චන්දයක් තිබ්බොත් එය කුඩා යුද්ධයක ස්වරුපය ගන්නා බව නොරහසකි.
අපේ අම්මලා තාත්තලා කියන්නේ 1977 ට පෙර තිබු චන්ද ව්‍යපාර ඉතා විනෝදජනක ඒවා වූ බවයි.
අවාසනාවකට මට සහ අපේ පවුලේ සියළු දරු දැරියන්ට මතකයේ රැඳී ඇත්තේ 1977 ජන්දය සහ ඉන් පසුව පැවති ලාම්පු -කළගෙඩි ජන්දය වැනි යම් යම් කළබල කාරී සිදුවීම් ඇතුළත් ජන්ද ව්‍යාපාරයි.
ඔබ දැන් මා නැවතත් දේශපාලනය සම්බන්ධ ලියවිල්ලකට යොමුවනවා යැයි හිතනවා ඇති.
නෑ මේ කියන්න යන්නේ අපේ සමන්ත , අක්කා , චුටි නංගි සහ මා සම්න්ධ වූ "පුංචි චන්දයක් " ගැනයි.
ඒ වනවිට කුඩා දරුවන් වූ අප නිවසේදී එකිනෙකට වෙනස් ආකාරයේ සෙල්ලම් වල යෙදෙන්නෙමු.
"ඒයි චුටි , චුටි පුතා වරෙල්ලා සෙල්ලම් කරන්න "
කණඩායමේ නායකයා වූ සමන්ත අය්යා අප සෙල්ලමට කැ ඳවුයේය.
"අද මොකක්ද අපි කරන සෙල්ලම? "
"අපි මගුල් ගෙදරක් තියමු " යෝජනාව අපේ චුටි නංගි ගෙනි.
" නෑ ඒක හරියන්නේ නෑ ඒකට මනමාලියෙක් , මනමාලයෙක් වගේම අෂ්ටක කියන්න කට්ටියත් එපැයි.
මල්කා, කළු එහෙම මෙහේ ආපු දවසක ඒ සෙල්ලම කරමු.
අද අපි වෙන සෙල්ලමක් කරමු. "
සමන්ත චුටි නංගි ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා වෙනුවට එය ක්‍රියාත්මක කිරීම පසුවට කල් දැම්මේය.
"ඒයි ශාන්ත ඒක නෙවෙයි අපි අද චන්දයක් තියමුද? "
යෝජනාව ලොකු අක්කා ගෙනි.
"අන්න හොඳයි . අපි චන්දයක් කරමු .
හරි දැන් පක්ෂ දෙකට කට්ටිය බෙදෙන්න වරෙල්ලා "
සමන්ත අය්යා අපි කට්ටිය චන්දයට සහභාගී වන පක්ෂ දෙකට වෙන් කල යුතු බව සඳහන් කළේය.
චන්ද සෙල්ලමට අප කණ්ඩායම් දෙකකට බෙදිය යුතු විය.
බොහෝ විට පිරිසේ නපුරුම සහ ගණන් කාරම සාමාජිකයා වන්නේ වයෙසෙන් වැඩිම කෙනා වූ සමන්තයි.
ඔහු අප සියළු දෙනා භය කරගෙන ඉන්නා නිසා මා බොහෝවිට සිට ගන්නේ අක්කා සමගය.
එදත් මම ඉක්මණින්ම අක්කාගේ පක්ෂයට එකතු වුයේ චුටි නංගිට විකල්ප පක්ෂයක් ඉතිරි නොකරමිනි.
ඇය වෙනදා මෙන්ම එදත් සමන්තගේ පැත්තේ කණ්ඩායමට එකතුවුවාය.
ප්‍රධාන පක්ෂ දෙක එක්සත් මහජන පක්ෂය සහ ශ්‍රී ලංකා මහජන පෙරමුණ වැනි අමුතු නම් දෙකක් ලබා දෙමින් වෙන් කෙරුවේ සමන්ත විසිනි.
ලොකු අක්කා එක්සත් මහජන පක්ෂයේ නායිකාව වුවාය . මම එම පක්ෂයේ ලේකම් තුමා වුයෙමි.
සමන්ත පෙරමුණේ සභාපති වූ අතර චුටි නංගි එහි ලේකම් තුමිය වුවාය.
ඉන් අනතරුව සිදු වුයේ පක්ෂ ලකුණු තෝරා ගැනීමයි. එය පක්ෂ නායකයාට අයිති කාර්යක් බව ශ්‍රී ලංකා මහජන පෙරමුණේ සභාපති තුමා විසින් දැනුම් දුන්නා පමණි.
"අපේ පක්ෂේ ලකුණ බෝතලය " ලොකු අක්කා වහාම තම පක්ෂ ලකුණ සභාවට හෙළි කලාය.
" සමන්ත උඹලා ගේ පක්ෂේ ලකුණ මොකක්ද ? " ඇය තම ප්‍රතිවාදියා ගෙන් විමසා සිටියාය .
"අපි තවම ලකුණක් ගැන හිතනවා . නේද ලොකු අය්යා ? "
චුටි නංගි හඬ ඉස්සර කලාය.
"හු... හු .. මෙන්න මුන් දැන්මම පැරදිලා . තවම තමන්ගේ පක්ෂේ ලකුණ ගැනවත් හිතලා නෑ. "
මම චන්දය ආරම්භ වන්නටත් මත්තෙන් අපේ පැත්තේ සටන් ව්‍යාපාරය පටන් ගත්තෙමි.
"අනේ පලයන් බන් යන්න . බෝතලේ දිනන්නේ කොහෙද ?
අපි ලකුණක් හිතා ගෙන හිටියේ අපේ ලේකම් තුමියට දැනුම් දෙන්න බැරිවුණාට.
අපේ ලකුණ තමයි පනාව.
අපි පාටකුත් තේරුවා අපේ පාට නිල් "
සමන්ත මට සමච්චල් කරමින් සිය පක්ෂයේ චන්ද ලකුණ සහ වර්ණය ජනතාව හමුවේ තැබීය.
"උඹලා එහෙමනම් කොළ පාට ගනිල්ලා " ඔහු අපේ පක්ෂයේ පාටද තීරණය කර තිබිණි.
"හා.. හා නිල් පනාව ? හරියට පල්ලැහැ පොඩි බාප්පාගේ හිල් පනාව වගේ "
මම නැවතත් සමන්තලා ගේ චන්ද ලකුණ සමච්චලයට ලක් කෙළේ අපේ තාත්තගේ මල්ලි කට කොණකින් දානා සමච්චල් හිනාවද මතක් කරමිනි.
"හරි හරි බලමුකෝ පනාවද බෝතලේද දිනන්නේ කියලා. නේද ලොකු අය්යා ? "
"නිල් පනාව" පක්ෂයේ ලේකම් තුමිය පක්ෂ දෙකේම ලොක්කා වූ සමන්ත දෙස බලමින් පැවසුවාය.
ඇය කවදත් ලොක්කා සමග එකතු වුයේ ඔහුට ඇති භය වගේම ඔහු හොඳින් හෝ නරකින් සෙල්ලම් ගෙදර ජයග්‍රාහකයා වන බවද හොඳින් දන්නා නිසාය.
චන්ද සටන ඇරඹේ
මුලික පක්ෂ වැඩ වලින් පසුව එළැඹියේ චන්ද ප්රචාරක වැඩ පිළිවෙලයි. පුංචි චන්දයක් වුවද මහා චන්දයකට නොදෙවිනි පෝස්ටර් ව්‍යාපාරයක් ආරම්භ කෙරිණි.
සුදු පාට හාෆ් ෂිට් කොළ ඉවර වෙන තෙක් නිල් පාටින්
"පනාව දිනවමු",
"පනාවට ජය"
"අපි පනාවට , පනාව අපිට " වැනි සටන් පාඨ ලියවුණේ මුතු කැට වන් අකුරිනි.
ඒ පක්ෂ නායක සමන්තගේ අත් අකුරුය.
අපේ පැත්තේ සටන් පාඨ සකස් කලේ අක්කා විසිනි
සමන්තලාගේ මෙන් තම චන්ද ලකුණ ඉල්ලක්ක කර නොගත් ඒවා විරුද්ධ පක්ෂයේ ලකුණට මඩ ගහන වර්ගයේ ඒවා විය .
හාෆ් ෂිට් එකක් පුරා
"හිල් පනාව අපට එපා "
"කුණු පනාව අපට එපා"
වැනි සටන් පාඨ ලියන ලෙස මට උපදෙස් දුන්නේ සභාපති අක්කා විසිනි.
මමත් සමන්තට නොදෙවිනි මුතුකැට අකුරින් අපේ පක්ෂයේ පෝස්ටර ව්‍යාපාරය ආරම්භ කලෙමි.
ගෙදර එළිය පැත්තේ බිත්ති වල , කක්කුස්සියේ බිත්තිය ආදී තැන් වල පෝස්ටර් ඇල වීම සිදු විය.
අප පෝස්ටර් ඇලවූ වහාම නිල් පක්ෂයේ කට්ටිය ඒ දෙස බලා ගෙන ගියේ අධික කෝපයකිනි.
හේතුව අප ඔවුන්ගේ චන්ද ලකුණ අපහාසයට ලක් කිරීමයි .
අක්කත් මමත් අපේ පක්ෂ කාර්යාලය ( ලොකු කනප්පුව උඩින් රෙද්දක් දමා සකස් කල ) අසලට වී සිටිද්දී කෝපයට පත් අනෙක් පක්ෂයේ අය වහ වහා පෝස්ටර් අඳිනු පෙනුණි.
සුළු මොහතකින් දෙවන වටයේ පෝස්ටර් ව්‍යාපාරය ඇරඹුණේ තරමක් සැර බර සටන් පාඨ වලිනි.
ඉන් මගේ සිත්ගත් සටන් පාටයක් වුයේ සමන්ත විසින් නිර්මාණය කල බෝතලයක් ඇඳ ඒ වටා
"බෝතලයට ගූ පුරවමු "
යන ආකර්ශනීය චන්ද පෝස්ටරයේ වූ සටන් පාඨ යයි.
පෝස්ටර් බලමින් යන අතරේ මේ දුටු සභාපති අක්කා වහ වහා අපේ කනප්පු කාර්යාලය වෙත දුව ගියාය.
මම ලියන්නටත් පෙර කොලපාට පැලැටිග් නම් එක අතට ගත් ඈ පොල්ගෙඩි අකුරින් හාෆ් ෂිට් ගණනාවකම තම පිළිතුරු පෝස්ටරය ඇන්දාය.
බෝතල් සටන් පාඨය මෙන්ම ආකර්ශනිය වූ එම පෝස්ටරයේ ලියා තිබුනේ
"පනාව කක්කුස්සියට දමමු " කියාය.
පනාවේ සහ බෝතලයේ ගුණ අගුණ විස්තර කරමින් රැස් වීම් කිහිපයක් ද මේ වන විට පැවැත් වී තිබුණි.
එහෙත් වලියට බර පෝස්ටර් ව්‍යාපාරය නිසා චන්දය පවත්වන්නත් පෙර උදා වුයේ චන්ද ගැටුම් ව්‍යාපාරයයි .
කුස්සිය පැත්තේ අගුව දෙසට ගිය අපේ පක්ෂ සාමාජිකයින් බිත්තිය මුල්ලට වී සැඟවී සිටියේ අනෙක් පක්ෂයේ අයට පහර දීමටයි.
සැඟවී සිට පහර දීමෙන් ආරම්භ වූ චන්ද ගැටුම් උත්සන්න වීම නිසා සෙල්ලම් කිරීම නවතා පැනයාමට මුලින්ම තීරණය කලේ චුටි නංගි විසිණි.
දෙවනුව සමන්තත් ඉවත් වීමත් සමග පුංචි චන්දයේ වැඩ කටයුතු නිමාවට පත් විය.
ඕකනෙ ඔයාල තමයි එහෙනම් මේ ක්‍රමය මහජනතාවට පුරුදු කරල තියෙන්නෙ.
ReplyDeleteස්තුතියි මද්දා .. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා කියනවනේ. ඒකයි එහෙම කලේ
Deleteසුන්දර අතීතයක් ඇත්තටම....
ReplyDeleteස්තුතියි පොකුරු , පහුගිය සතිදෙකේ වැඩ නිසා මොකුත් ලියන්න බැරිවුණා.
Deleteපෝස්ටර් ගහලා තියෙන තැන් නම් නියමයි. සටන් පාඨ ඊටත් වඩා නියමයි.
ReplyDeleteදැන් ඔය මඟුල් ගෙවල්වල මනමාලයා වෙන්නේ කවිඳුදද? :P
ස්තුතියි මෙඩුසා , මගුල් ගෙදර කතාව වෙනම කියන්නද ? හරියට හරි මනමාලි මල්කා පුංචි මම තමයි මනමාලයා වුණේ
Deleteඔය 80s හරි early 90s ද චන්ද බරපතල විදහට සමාජගත වුනේ 80 ට පස්සේ නේද
ReplyDelete80 මුල් හරියේ තමයි .හැත්තෑ අට -නවය වගේ වෙන්නත් පුලුවන්.මොකද මට ඒ වෙනකොට අවුරුදු අටක් -නවයක් ඇති වැඩිම වුණොත්
Deleteහෙක්.. හෙක්... මදැයි ඔහොම බේරුනා. නැත්තං පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා වලක්වන්න ඉහල පාර්ෂවයකින් මැදිහත් වෙන්න වෙනව.
ReplyDeleteඅර වගේ අඩිය ඇතුලට එබිල තියෙන බෝතල් වලට කාලයක් ලොකු මිලක් තිබුණ නේද?
ස්තුතියි ප්‍රසන්න , ඔව් ඔව් පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා වැඩි වෙන්න පෙර මැතිවරණය නතර වුණා. ගේ බිත්ති වලට මුවා වී විරුද්ධ කණ්ඩායමේ අය එනකං හැංගිලා ඉදලා ප්‍රහාර එල්ල කරපු එක තමයි හොඳම හරිය වැඩියෙන් ගුටි කාපු අය කලින්ම තරඟයෙන් ඉවත් වුණා.
Deleteඔය කියන වර්ගයේ බෝතල් වලද අර voc ලාංචන හොයා හොයා කට්ටිය දැඟලුවේ ?
මේ මේකේ චූටි නංගි කියන්නේ උදේනිද
ReplyDeleteකුරහන් චුටි නංගි දැන් අපේ පැත්තේ ප්‍රාදේශීය සභාවක ලේකම් විදිහට වැඩ කරන්නේ . එයාගේ නම් උදේනි නෙවෙයි
ReplyDeleteසෙල්ලමට හරි පක්ෂ ලේකම් කෙනෙක් වුනා නේද.....සෙල්ලං ද කොල්ලෝ..
ReplyDeleteසෙල්ලං ද කොල්ලෝ කියලත් අහනවා. පස්සේ කාලේ සමන්තත් මමත් දෙන්නම පොඩ්ඩක් විතර දේශපාලනයට ගෑවෙන්න ගියත් ඒ කාලේ දේශපාලනය භිෂනය දෙසට ඇදී යාමත් සමග අපි දෙන්නාම( මුලින් අපේ අය්යත්, දෙවනුව මමත් ) නිස්ශබ්ධ වුණා. ඒ යහපත් සිහියේ ප්‍රතිඵලයක් ලෙස අපි මේ කතා කියන්න ඉතුරු වී සිටිනවා.
Deleteඑළ කතාව!
ReplyDeleteමට මිස් වෙලා අදයි කියෙව්වේ.
ස්තුතියි රසික, ඔව් ඒ කාලේ ඔහොම සෙල්ලම් තමයි අපි කලේ. මගුල් ගෙදර විස්තරෙත් ලියන්න ඕනේ
Deleteපුංචි කාලේ ඉඳන්ම දේශපාලනේ..අනේ අපොයි...
ReplyDeleteකියලා වැඩක් නෑ .. තවමත් දඟලනවා...
Delete