Friday, 10 April 2015

අපේ ගෙදරට නයෙක් ඇවිත්...



පසුගිය සතියේ දිනක මගේ හිතවත් අයෙකුගෙන් ලැබුන කෙටි පණිවිඩයක සඳහන් වුයේ "  මට ගොඩාක් සමීපව හිටපු මගේ ආච්චි අම්මා නැතිවුණා. 

මම හරි කණගාටුවෙන් ඉන්නේ මේ දවස් වල.. තව ටික දවසක් යනකන් අන්තර් ජාලයේ කතා බලන්න වෙන්නේ නෑ....ඒත් ලියල තියන්න " යනුවෙනි. ඇයට ඇයගේ ආත්තම්මා බොහෝ ආදරය කල සෙයකි.

...ඒකට අපේ ආත්තම්මා....මට අපගේ ආත්තම්මලා සිහි වෙයි.  අම්මලා පැත්තේ  ආත්තම්මා නම් අප කුඩා කල ජිවතුන් අතර සිටියාය. නමුත්  අපේ තාත්තගේ අම්මා මා උපදින විටත් මෙලොව හැර ගොසිනි.

ඇය දැකුම් කළු පැහැයකින් යුතු වූ අතර අපේ අම්මලා පැත්තේ  මුත්තා අපට නිතර මතක් කරන "මොර ගෙඩි" වැනි ඇස් අපට ලැබුනේ ඇයගෙන් විය යුතුය.  

මා එසේ සිතුවේ පොඩි බාප්පලා ගෙදර තිබු..සුවඳේ  අය්යා විසින් අදින ලද ඇයගේ චායා රුපයක් දුටුවාට පසුවයි.



කනිෂ්ටයෙන් ජෙස්ටයට


මේ එක්දාස් නමසිය අසු ගනන් වල මුල් භාගයයි. 

මම කනිෂ්ටයෙන්  මධ්‍ය මහා විදයලයට පැමිනෙන්නේ මේ දිනවලයි..  

ශිස්‍යත්වයෙන් සමත්  ගැට්ටා, ජාලිය, වන්නි වැනි අය උඩහ පාසැලට ගොස් ජෙෂ්ටයින් බවට පත්වී සිටි.

මහා විද්‍යාලයේ  ඇතුල් වීමේ විභාගය නොලියා  ශිස්‍යත්වයෙන්ම එහි යාමට සිටි මට පත්වීමේ ලිපිය ලැබෙන්නේ සති කීපයකට පසුවයි. 

වම්බොට්ටලා  උහනේ  පුතාලා වගේ උන්ට නවක  සංග්‍රහ ලැබෙද්දී.. මම පන්ති ලඟින් යනවිට ජාලිය , ගැට්ටා ආදීහු මචන් අපේ පන්තියට වරෙන් කියමින් මට අඩ ගසති.

මේ වනවිට අපේ  තාත්තා ලිපිකරුවෙක්  හෙවත් ලියන්නෙකි.

අලුත් ඉස්කෝලේ උප විදුහල් පතිතුමා අපේ තාත්තා මෙන්ම පළාතේ රිදී සීනුවකි.  

එමෙන්ම ඔහුගේ  දේශපාලන බලය තිබු කාලයේ හොඳ ගජයෙකි.


මම අම්මා සමග නිල්පාට බෑග් එකත් පිටේ එල්ලගෙන අලුත් ඉස්කෝලෙට ඇවිත් උප විදුහල් පති ළඟය. 

අම්මා තාත්තා විසින් ඔහුට ලියු ලිපියක් ඔහු අත තබයි.

 " හිතවත් උප විදුහල් පතිතුමනි.. 

මම මල්දෙනියේ නාමරත්න .. දන්නවා ඇති නේ.  මෙය රැගෙන එන මගේ පුත්‍රයාට පුටුවක් ලබා දෙන ලෙස කරුනාවෙන් ඉල්ලා සිටිමි"

උප විදුහල් පති "හිල් පනාවක්" දමා අම්මා දෙසට හැරී.. 

"මේ කවුද? මෙයා මම දන්නේ නැ.. 

ලියුම් වලින් කමක් නෑ  පුටුවක් ගෙදරින් ගෙනාවේ නැත්නම් ළමයට හිටගෙන ඉන්න වෙයි "



කියමින්  ලිපිය පසෙකට දැමීය.


මේ උප විදුහල් පති තුමා ඒ කාලේ සුදු සරම් ඇඳ යමහා මෝටර් ස්යිකලයක් පැද්ද කෙනෙකි.

ඔහුගේ පුතාද අපට සම වයසේ වූ අතර පාසැල් ගියේ  ප්‍රදේශයේ තිබු  ගෙවන පාසැලක්  වූ  ශාන්ත  පීතර විද්‍යාලයටයි. 

එහෙත් අම්මාට  ඉහත වාක්‍ය  කියමින් උපහාසයෙන්   මා දෙස බැලු එතුමා නොදැන සිටි කාරණය වුයේ පන්ති හතරේම බාගෙට බාගයක් හිටියේ මගේ සගයින් බවයි.

මුල්ම දිනයේ  ජාලිය ගේ පුටුවෙන් බාගයක්.. දෙවැනි දිනයේ ගැට්ටා ආදී වශයෙන් කොල්ලෝ මගේ පුටු බාගයේ ප්‍රශ්නය විසඳා දුන්හ.

නව මිතුරන් පිරිසක් දා හඳුනා ගන්නා මට මෙතැන් සිට  මට චමින්ද නිතර මුණ ගැසෙන්නේ නැත්තේ අපි පාසැල් දෙකක ඉගෙන ගන්නා සිසුන් බැවිනි.


නිවසට ආ අමුත්තා


අපේ නිවසේ කාලයද සෙමින් ගලා යයි..මේ අතර එක් දිනක් අම්මා සහ අක්කා නිවසේ ගේ දොරකඩට වී කතා කරමින් සිටින මොහොතකි . මමත් මිදුලේ කුමක් හෝ කරමින් සිටියෙමි.

 "අම්මා.. මෙන්න ගැරඬියෙක්" කියමින් අක්කා මිදුලේ කෙලවර වූ කොස් ගහ දෙසට ඇත දිගු කරයි... අම්මා ඒ දෙස විමසිල්ලෙන් බලා ඒගැරඬියෙක් නොව පෙනේ නොකරන නයෙක් හෙවත් හැපින්නක් බව හඳුනා ගනියි.

කලබගැනිය ඇසුණු පල්ලෑහැ ගෙදර ජේන් අක්කාද දැන් එතනය.

 " මෙතන කිරි සප්පයෝ ඉන්න තැනක් නේ.. නයි හාමි කරුණා කරලා මෙතනින් යන්න." ජේන් අක්කා පින් සේන්ඩු වෙයි.




හැපින්න නොවේ අඟලක් වත් හෙලවුනේ....එදින රැබෝවී අප නිදා ගන්නා තුරුම ඇය එතන රැදුන බව මගේ මතකය කියයි.

 පසුදා දහවල් කෑමෙන් පසුවද අපට අමුත්තා දර්ශනය විය ඒ නිවසේ දොරකඩ ළඟය.

මෙසේ කාලය ගත වෙද්දී  ඇය අපේ නිවසේ පල පදියම් වුයේ වරෙක වහලේ යට ලියෙන්ද තවත් වරෙක කුස්සියේ වහලයෙන්ද ආදී වශයෙනි.

 අම්මා අමුත්තා එලවීමේ සරල ක්‍රම වූ  භුමි තෙල් හැලීම, වැලි මතුරා දැමීම හා බිත්තර තැබීම වැනි  ඒවා ඵල රහිත වූ තැන හැරුනේ මෑතක ශ්‍රී ලංකාවේ ඉහලම තැන් වල පවා සැලකුම් ලත් සාස්තර කලාව වෙතයි.

අපේ ගමේ සාස්තර කලාව

අම්මා උදැසනම  ජේන් අක්කා සමඟ බුලත් හුරුල්ලක්ද රැගෙන පිටත් වුයේ අමුත්තා කවුද... ඇය අපේ නිවසට එව්වේ කව්ද?  වැනි දැවෙන ප්‍රශ්න වලට ටක්කෙටම විසදුම් සොයා ගන්නා අටියෙනි...

මේ අතර අමුත්තා තවමත් කුඩා ළමයින් පිරිසක් ගැවසෙන මේ නිවස අවට හැමදාමත් අපට පෙනෙන තෙක් මානයේ ගැවසෙයි.

දවල් වෙද්දී අම්මා හති දමමින් කන්ද නැග පැමිණ නයා එන පැත්ත දෙසට ගියේ.....

" කෝ ඕකි.. කවුරු හොයා ගෙනද  දැන් මෙතන ඇවිත් මගේ දරුවෝ ටික බය කරනවා .. මනුස්සයත් නැති ගෙදර " කියමින් කෑ ගසමිනි.

මෙතෙක් අපට නොපෙනෙන තැනක සිටි නයා එක වරම කොස් ගස දෙසින් මතු වන්නට විය.

අම්මා සාස්තර කාරයාගේ කතාව තරයේම විශ්වාස කරයි..ඒ අනුව මේ ඉන්නේ අපේ පල්ලහැ අත්තම්මාය.

රාජපක්ෂ වරුන් සාස්තර පිට සාස්තර අහන මේ සමයේ  අපේ අම්මා ද රාජපක්ෂ කෙනෙක් බව අප අමතක නොකලයුතු වෙමු.

තවත් දිනයක අපේ ගෙදර ලොක්කා වූ අපේ අය්යා නයාට අභියෝගය කල හැටි මට තාමත් මතකය.

අම්මා , අක්කා ඇතුළු අපි හැමෝම ගෙදර සිටි වෙලාවක 

" උඹ එච්චර ලොකු නයෙක් නම් දැන් කක්කුස්ස්සි වල ලඟින් මතු වෙයන් "යැයි අය්යා කිවේ නයාගේ සාමාන්‍ය ගමන් මග වුයේ කොස් ගහ ලඟින් මිදුලේ ඉහලට ඇවිත් ඉස්සරහ දොර ලඟට එන එක වීම නිසාය.

 නයාද අප වැනිම අයෙකි. අභියෝගය බාර ගැනුනේ කිසි සද්දයක් නැතිවයි.  

හිනා වෙමින් සිටි  අය්යාගේ සහ අපේ ඇස් උඩ ඉන්ඳ වුනේ වැසිකිලියේ ප්ලේට් එක ළඟ ගුලකින් මතුවන නාග රාජයා දැකීමෙනි.

නයත් අපිත් නිතර දකින ජේන් අක්කද සාස්තරය  විස්වාස කරමින් පැවසුයේ

 " නංගි මෙයා මේ ළමයින්ට හරි ආදරෙයි එකයි මෙහෙම ළඟටම ඇවිත් බලන් ඉන්නේ" යනුවෙනි..

ජේන් අක්කගේ කතාවට හොඳම සාක්ෂිය සැපයු දවස අද වාගේ මතකය. ඒ වන විට වයස අවුරුදු 2-3 අතර සිටි අපේ  පොඩි නංගි මිදුලේ සෙල්ලම් කිරීමට පැදුරක් මත තබා අම්මා ඇය බලා ගැනීම අක්කට බාර කර තිබුණි. 

කෙසේ හෝ අක්කා මම ඇතුළු අප මොහොතකට නංගි තනි කර දමා එතනින් එහා මෙහා වී තිබුණි. අප එක වරම ඒ දෙසට දිව ගියේ අක්කාගේ කැ ගැසීමත් සමගිනි

 " අම්ම මෙන්න නයා පොඩි නංගි ළඟ."  අම්මා කෑ ගසමින් එතැනට  පැමිණ නැවතත් නයාට බනින්නට වුවාය. "අපිට කරදර නොකර පලයන්.. උඹලගේ කවුරුවත් දැන් මෙහෙ නෑ... මායි මගේ දරුවෝ ටිකයි විතරයි ඉන්නේ... අනිත් අය කොළඹ"

ඔබ මෙය විශ්වාස නොකරන බව මම දනිමි එහෙත් මුළු රටක් පහු ගිය වකවානුවේ විස්වාස කල සාස්තර කලාව අවිශ්වාස කරන්නේ කෙලෙසද?
නයා හින් සීරුවේ එතනින් ඉවත් වුයේ නංගි ගේ නිය පොත්තකටවත් හානියක් නොකරමිනි.


අපේ දැවෙන ප්‍රශ්න වලට විසඳුම් ලැබෙයිද?

මේ වන විට තාත්තා ගම පැත්ත පළාතක හිටියේ නැත. දරුවන්ට කොයි මොහොතේ හෝ අනතුරක්  සිදු විය හැකි යැයි ඉවෙන් මෙන් වටහා ගත් අම්මා හොඳින් හෝ නරකින් හෝ නයා එළවීම ඉක්මන් කල යුතු යැයි තීරණය කලාය.

විසඳුම සොයා යන ගමනට මමද එක් වුයෙමි. අප ගියේ ගලෙන් බිඳුණු වැව පහත් බිමක තිබුණ තැනකටයි. කට්ටඩියා ජාතික ඇඳුම හැඳි තලත්තැනී මහත්මයෙකි. ඇත්ත වශයෙන්ම පාසල් ගුරුවරයෙකි.

ඔහුගේ පුත්‍රයා එකල කැලණිය ව්‍යිද්‍ය පිඨයේ සිස්යයෙක් බව එතැනදී අම්ම සමග  ඇතිවූ සුහද කතා බහේදී ඔහු සඳහන් කළේය. "මලින් උපන් කුමරා" යැයි නමකින් යුතු මේ පුත්‍රයා නමට හෝ අප ප්‍රදේශයේ  ජනතා සේවයට යොමු වන්නට ඇත්තේ ඒ තාත්තගේ අභාෂය නිසා විය යුතුය.

අම්මා අපට තිබුණු ප්‍රධාන ප්‍රශ්ණ දෙකම ගුරුතුමා  ඉදිරියේ තැබුවාය. ඔහුගේ විසඳුම් සෙවීමේ මාර්ගය පිළිබඳව සාකච්චාව මට අද වගේ මතකය.

" නයා එලවන්න පුළුවන් හැබැයි එකෙන් ඔයාලට අවාසියි. මහත්තයා ගෙදරට ගෙනල්ල දෙන්නත්  පුළුවන් ... හැබැයි එතනත්  පොඩි කොස්සක් තියෙනවා... එයාගේ රස්සාව නැති වෙන්න ඉඩ තියෙනවා" .

අම්මා මේ දෙකටම එකඟ වුයේ  කොල්ලන්ගේ තාත්තගේ රස්සාව නැති වුනත් අපේ ගැටළු විසඳා ගැනීම ඊට වඩා වැදගත් බව පසක් වූ නිසාවෙන් විය යුතුය.


මහා දෙහි කැපීමේ මංගල්ලය




කට්ටඩි ගුරුතුමා කියූ පරිදිම වැඩ කරන්නට අම්මා තීරණය කලාය. දෙහි ගෙඩි 7 බැගින් නිවසේ සියලු දෙනාගේ හිස සිට දෙපතුල දක්වා ස්ථාන හතක තබා කපන්නටත්. තාත්තට මේ කිසිවක් නොදැනෙන ලෙස කරන්නටත් ඔහු උපදෙස් දුන්නේය.

තාත්තට හොරෙන් ඔහුගේ කොට්ටය යට යමක් තබන්නත් උපදෙස් ලැබුණි. රුපෙට රුපයක් ඉල්ලුවාදැයි මට මතක නැත.
දෙහි කැපීම සිදු වුයේ අපේ නෑදෑයින්ටත් නොදැනෙන පරිද්දෙනි.

අම්මාගේ අත් උදව්වට එනම් දෙහි සැපයීමේ සිට ඒ දිනයේ සිදු විය යුතු සියලු ආව තේව කිරීම සඳහා කාටත් හොරෙන් අපේ ගෙදරට ආවේ  අපේ පවුල් දෙකෙන්ම මාගේ බලවත් අගය කිරීමට කවදත් පාත්‍ර වූ  ඊට ටික කලකට පසු අවාසනාවන්ත ලෙස අපෙන් වෙන් වූ  ඇතිමලේ බාප්පාය.

සීරුවෙන් සිට ගෙන සිටි මා ඉදිරියේ දෙහි ගෙඩි හතක් ගිරයෙන් පුවක් කපන්නා සේ  කැපු ඇතිමලේ බාප්පා මගේ වස් දොස්දුරු කිරීමට අමතරව ඔහුගේ ආත්මීය ගුණාංග ද මට ලබා දුන්නා  යැයි මම අදටත් විශ්වාස කරමි.

අපේ බලවත්ම ගැටලුවට විසඳුම්

දෙහි කැපීමෙන් පසු ගත වුයේ දින කීපයකි. තාත්තා වැ. ත. ලිපිකරු වී (වැඩ නැතිවී ) ගෙදර ආවේය. 
කාලෙකින් පසු ගෙදර සියලුම දෙන සිටි  එදා මගේ කකුලේ තිබුණ ඉදිමිමකට  "මැග් සල්" බදින්නට අම්මාත් තාත්තාත් එක්වී වැඩ කරනු මට තාමත් මතකය.  

ඒ  දුටු මට සුළු තරහකින් පසු යාලු වී සිටින මගේ බිරිඳත් මාත් දැකීමෙන් සුපුන්ට පහල වන සතුට වැනිම සතුටක් දැනුනා යැයි කිවොත් නිවැරදිය.

අපි නිදහස් බව දත් නිසාදෝ නාග රාජ තොමෝ නැවතත් අප බලන්නට අවේ නැත. මුදලින් අඩු පාඩු වුවත් අපේ ආසන්නම ප්‍රශ්න විසඳි ඇත. 

සමහර රාජපක්ෂලා තවමත් සාස්තර විශ්වාස කරන්නේ ඇයි දැයි ඔබට දැන් වැටහෙනු ඇත.


දෙලොවක විසු දේව දත්තලා



ගති ගුණ වලට ජාති ,ආගම්, කුල බේද නැති අපේ ලෝකය


 මේ මෑතකදී අප සිටින රටේ  පුද්ගලික පාසලක ඉගෙනුම ලබන මගේ එකම පුතා මා සමග දොඩමලු වෙමින් පැවසුයේ වරක් ක්‍රීඩා පිටියේදී ඔහු නොකළ සුළු වරදකට ගුරුතුමිය ඔහු මත වරද පැටවූ අයුරුයි.
 මෙහිදී සිද්ධිය  කල "සුදු බණ්ඩා" කපටි කමින් ගැලවී ඇත්තේ අපේ සුපුන් එයට සම්බන්ද කිරීමෙනි. 

මෙයට කිසිම "සුදු මැණිකේ" කෙනෙක් සම්බන්ධ නැති බව ඔබට මුලින්ම පවසන්නේ  ඉදිරියේදී සන්ධි ගැලපීමේදී ගැටළු ඇති විය හැකි බැවිනි. 

 මගේ නිරන්තර ඇල්ම බැල්ම යටතේ හැදෙන වැඩන ඔහු මෙහි සිටින බොහෝ ශ්‍රී ලාංකික පුතුන් මෙන් නිකන්ම නිකන් පරිගණක ගේම් පුතෙක් නොවේ.

 ඉතා කුඩා අවදියේ සිටම කැලේ කොලේ සතා සීපාවා ගේ මෙන්ම ඇලේ දොලේ සුවඳ හොඳින් හදුනන අයෙකි.

 වෙනෙකක් තබා ලංකාවේ අපි උදලු මිටක් හදන්නේ කෙසේද කියා පවා ප්‍රයෝගිකවම අත් විඳින්නට පින් කල  ඒ කාලේ " පහ නෙලුම් " පන්තියේ සිටි මා වගේම කැත්තේ උදැල්ලේ වැඩ දන්නා කෙනෙකි. 

එසේම පාසලේදී මෙන්ම නිවසේදීද ඔහු අපේ අය්යා සමන්තට කුඩා කාලයේ තිබු සමහරක් ලක්ෂණ පෙන්නුම් කල අයෙකි.

සිද්ධි දෙක එකිනෙකට හරියටම සමාන නොවුවත් ඔහුගේ හිත සනසනු වස් 1980 දී ඔහුට සම වයසේ වූ මා නැවතත් අපේ ගමට ගියෙමි.







අද කණිෂ්ටයේ  දැල් ගැසූ බිල්ඩිම අසල විවේක කාලය පැමිණ ඇත.   

ඒ  හතර මානෙල් බජව් කල්ලියේ ඉඳ පහට ආ  ප්‍රියංකසමන් හා මා යන තුන්කට්ටුව එකටම ගැවසුණු කාලයකි.   

ඒ දවස් වල අප තිදෙනාට ..ඒක පාර්ශ්විය වුවත් අනෙකුත් කොල්ලන් අතර කිසියම් තරමක ප්‍රසිද්දියක්  ඇති   "විරුද්ධ ලිංග පද තුනක්" තිබුණි.  

 අප මෙන්ම එම තිදෙනාද ගමන් බිමන් ගියේ ,දවල්ට කෑම කෑවේ පඩිපෙල් අසල රංචු ගැහුනේ  එකටමය.

 සමන් හා ප්‍රියංක මේ සිද්යේධිදී බලවතුන් වුවද මා නම් මෙතනදී  තරමක් දුර්වල අංකයයි. 

එය පෙනුමින්ද, ඇඳුමින්ද නො එසේනම් තම  බල පුළුවන් කාර කමින්ද යැයි  මම නොදනිමි. 

එබැවින් මට විරුද්ධ පද තුනේ දුර්වල අංකය නිතරගයෙන් හිමි වූ අතර ප්‍රියංකට ප්‍රභලම අංකය හිමි විය. 

ප්‍රියංක දිනක් කළු ලෑල්ලේ "නෙළුම් " කියා  ඇයගේ නම පවා ලියුවේ ඔහුගේ තිබු මේ ප්‍රභලත්වය මොනවට කීය පාමිනි.

 මේ කරුණු මෙසේ වුවද ඒ තුන් කට්ටුව අසල එහෙන් මෙහෙන් ගැවසුණ  අඩුම ගානේ අපේ නාමරත්න ගොය්යා වත් වත් හැරී නොබලන තව කෙනෙක් සිටියාය. 

ඒ නිසාම ඒ "නොම්මරයට"  යකා නැග සිටියා යැයි කිව්වොත් නිවැරදිය.  

මම ජාලියට මගේම නමක්  කිව්වා සේම ඇයටද නමක් තබා තිබුන මතකය .

ඒ මුණ හතරැස් , ගමේ භාෂාවෙන් කිව්වොත් දැක්කොත් කැඳ උගුරක් ලැබෙන්නේ නැති වර්ගයේ අයෙක් නිසාය. 

කෙසේ වුවද මෙතුමිය දවසක් මට හොඳ වැඩක් කලාය.

එදා පන්ති බාර නන්දා ටීචර් ගෙන් මට හදිසි ඇමතුමක් ලැබුණි.

 " මොකද මේ ඔය ළමයා එක එක ගනු ගෑණු ළමයිට  දොර මුල්ලවල්  වලටයි  , එක එක තැන්වලටයි  එන්න කියලා පණිවිඩ  යවනවා කියන්නේ? "

නන්දා ටීචර්  ඇසුවේ මා හොල්මන් කරවන ප්‍රශ්නයකි.  මම ප්‍රියංකලා ගේ  ගැන්සියේ  රැඳෙන්න  අවශ්‍ය නිසා කෙල්ලෙක් ගේ නම ඈඳ  ගත්තද  ඒ ළමයා ට එච්චර කැමැත්තක්  දැක්වුයේ නැත. 

මේ ප්‍රශ්නය  මා උඩ ගොස් බිම වැටෙන  වර්ගයේ එකක් වුයේ එබැවිණි. 

මට අර කොයි වෙලෙත් මා දිහාට ඔරවන දුෂ්ට මුහුණ මැවී පෙනෙයි.

 සැකය සනාථ කරමින් "මට අහවල තමයි මේ කතාව කිව්වේ" කියමින් නන්දා ටීචර් තව දුරටත් කියා ගෙන ගියාය.

සති අන්ත වලදී මම සුපුන්ට  ජාතක කථා කියා දෙන  විට බොහෝ කතා වල කතාවේ මගකදී 

"ඔය නම් එකත් එකටම දේව  දත්ත වෙන්න ඕනෑ "

කියා ඔහු කියයි  .  

මම එදා අපේ කාලයේ චිංචි මානවිකාවත්මෙදා අප සිටින වත්මන් රටේ  නැවත උපන් හම සුදු දේවදත්තත් පුර්ව අපර සන්ධි ගලපා සුපුන්ට කියා දුන්නේ කාගේ කාගේත් පහන් සංවේගය පිණිසය.

පස්ස පැත්තට ඉන්ජෙක්ෂන් වෙනුවට වේ වැල් පහර.


මිට දින දෙක තුනකට පෙර විදුහල් පති තුමාගෙන් ප්‍රියංක, චමින්ද හා මට අපේ දෙමාපියන්ද කැටුව ඔහු හමුවන ලෙස නියෝගයක් නිකුත් කර තිබුනේ අපේ මෑතකදී කල වික්‍රමයේ ප්‍රතිඵලයක් ලෙසිනි. 

උදේ පාන්දර මා අම්මා සමගත්,  චමින්ද ඔහුගේ අම්මා සමගත් හිස් අතින් පැමිණි අතර ප්‍රියංක පැමිණ තිබුනේ මානාව හිස පීරා ජැන්ඩියට හැද පැළඳ සිටි ඔහුගේ ලොකු අය්යා සමගයි..

අපේ බවලතුන් දෙදෙනාට වඩා ඉදිරියෙන් සිටි ඔහු ඇත තිබුනේ  BOP තේ කොළ බෑග් දෙකකි.

 " සර් ඩඩිට එන්න විදිහක් නැ කිව්වා මේක දෙන්න කිව්වා " කියමින් අය්යා BOP පැකට් දෙක ලොක්කා ගේ මේසය මතින් තැබුවේය. 

ඔය ළමය යන්න පංතියට කියමින් වේවැල අතේ තිබුනද එය ප්‍රියංකට පාවිච්චි නොකළ  ලොකු සර් චමින්ද දෙසට හැරී " බුදු සර් ගහන්න එපා " කියද්දී පහර දෙකක් දුන්නේය.

දැන් මගේ වාරයයි.. 

එහෙත්  "මේ නාමරත්න  මහත්තයාගේ  පුතා නේද ඉන්නවකෝ  තාත්තට කියන්න " කීයා අරලගංවිල නොව හත් ගව්වකින් එහා සිටින අප පියාගේ නම කියමින්  ප්‍රථමයෙන් මට  අනතුරු හැඟවීමක් කල   ලොකු සර්.. දෙවනුව චන්දනට දුන් තෑග්ගම මටද ලබා දුන්නේය...BOP වලට ඒ තරම් වැඩ කල හැකි බව මම එදා ඉගෙන ගතිමි.



මුත්තාටත් තට්ටමට ඉන්ජෙක්ෂන්




විදුහල් පති මෙන්ම බොහෝ ගුරුවරියන්ද හොඳින් දන්නා රජයේ ලිය්යනකු වූ නාමරත්න  මහත්තයා අපේ මුත්තාට ( චමින්දලා මුත්තාගේ මල්ලී) නම් එතරම් ලොක්කෙකු වුයේ නැත. 

සිය බිරිඳ හා දරුවන් ගෙන් වෙන්කර "සයිබීරියාවට" යවා තිබු ඔහු දයාව  ..කරුණාව මෙන්ම කුහකත්වයද එකසේ  පිරි තිබුණු එකල අපේ ලෝකයේ යම් තරමකට අතරමං වන්නට වැඩි කලක් ගතවුයේ නැත. 

එවැනිම "සයිබීරියාවක සිටි චමින්දලා තාත්තා සමාන්තර ලෝකයේ කෙතරම්  අතරමං වුවාදැයි මා දන්නේ නැත.

තත්වය එසේ වුවද  තරමකට  හොඳ මෙන්ම නරක ගති වලද සම්මිශ්‍රණයක් වූ අපේ මුත්තා මේවායේ ප්‍රතිඵලයක් වූ අපේ දුෂ්කර ක්‍රියා කාලය සරදමට  ලක් කල අවස්තාවක් මගේ සිහියට නැගේ. 

ඒ මට සම වයසේ සිටි ඔහුගේ බාලම දියණිය මල්කා ( මල්කාට මම ජීවිතේට පුංචි අම්මා කියා කියා  නැත ඇය  ඒ කාලයේ එකට සෙල්ලම් කල මාගේ මිතුරියයි )  ලවා  අය්යාටත් මටත් පහත කවියෙන් දිනපතා සංග්‍රහ කර වීමෙනි.

"අප්පා ලියන්නා - පුතා හිගන්නා
කොස් ඇට කන්නා- පුටු පුටු යන්නා"

ඔහු එය හිතා මතා කලාද නැත්නම් ගමේ මල්දෙනිය පැත්තේ අපේ තාත්තගේ සමහර  නෑදෑයින් වගේ යම්තරමක සියුම් උපහාසයකින් කලාද කියන්නට මා දන්නේ නැත.

පසු කලෙක මුත්තා ඔත්පල විය. අය්යා කොළඹ    මහා රෝහලේ සීමාවාසික දොස්‌තර වරයෙකි. මම කරගම්පිටියේ  3-4 වසර වල පොඩි දොස්‌තර කෙනෙකි

ඒ වන විට අප කර දඬු මහත්වී  සිටි ගජ ඉලන්දාරින්ය.  

ඒ කාලේ "අප දෙස නොබලන කෙල්ලන්ගේ  දෑස්  කුමටද? " 

  කියන්නා වැනි කඩවසම්  පෙනුමක් අප දෙදෙනාටම  තිබුනා කිවොත් එය අතිශෝක්තියක්  නොවේ 

කෙසේ වුවත් ගෙදර  එන වාරයක් පාසා මුත්තා බලන්නට කිරඹ ඔයට යෑමටද අප පුරුදු වී සිටියෙමු.


සති අන්තයේ මාරුවෙන් මාරුවට අරලගංවිල එන අපි දෙන්නා  ගමේ ඇවිත් නෑදෑයින් මුණ ගැසෙන අතරම  මුත්තා බලන්නට යන්නත් අමතක  නොකළෙමු. 

එසේ ඔහු හමුවී  කට්ටි පැනීම නිසා චමින්දටත් මටත් අහිමිවූ අන්තර් පේශි  ඉන්ජෙක්ෂන් මුත්තාට ලබා දුන්නේ  ඒ වන විට දිරාපත් වෙමින් තිබු ඔහුගේ ශරීරයේ යකඩ ප්‍රමානයද බිංදුවටම බැස තිබු හෙයිනි.

මුත්තාගේ කුඹුරු බදු දීම


චමින්දලා මුත්තාගේ මල්ලි වූ  මේ පුංචි බණ්ඩර මහත්තයා අපට කල නොයෙකුත් සැර වැර කිරීම් අතර මගේ මතකයේ සදා රැදුණු එක් දිනයක් පමණක් මෙහි සටහන් කරමි. අපේ තාත්තාගේ රැකියාව අහිමි වන්නට ආසන්න කාලයයි.

මේ  දින වලදී අපේ මුත්තා 

" අර මිනිහගේ රස්සාව නැති වෙන්න යනවා .. තොපි අය්ය මලෝ දෙන්නට කොච්චර වත් පත්තරේ... බිත්තරේ"

කියා කිවේ අය්යත් මමත් මොනවා වුනත් මිහිර, විජය, සුකිරි, මි පැණි රන්කැටි යන පත්තර පහම සති පතා මිලදී ගන්නා නිසාවෙනි.

තාත්තා ගෙදර පැමිණි ඒ  අදුරු දිනයේ මම අම්මට යෝජනාවක් කලෙමි. 

ඒ අපේ වත්තේ උක් ගස් වවා තිබුනේ පල්ලැහැ කෑල්ලේ ඉඩ තිබු තැනක මිරිස් පැල තුනක් සිටවීමෙන් පසුවයි.

 " අපි එළවලු හදලා හරි මෙතනින් ගොඩ යමු " යන්න ඒ  යෝජනාවේ සංක්ෂිප්ත යයි.





මුත්තාට ගම පුරා ඉඩම් තිබුණි. ඒ වනවිටත් අම්මා ඇගේ අදහස ඔහුට කියා තිබිණි. ඒ මාර ගස් වැල්ලේ මහා කුඹුරේ ලියදි කීපයක් අපිට එළවලු හදන්නට දෙන ලෙසයි.

අපට ලියදි කෑල්ලක් නොදෙන බව නොකිය කියූ මුත්තා මහා ලියද්දෙන් පහල කැල්ල අල හදන්නට දී තිබුනේ ඔහුගේ පරණ හිතවතියක් වූ බිම්තැන්නේ කොන්ත නෝනටය. 

එවකට කොළඹ විස්ව විද්‍යාලයේ නීතිය හැදෑරු කොන්ත නෝනා ගේ පුතා දැන් අප සමග හිතවත් හිටපු  පළාත් සභා මන්ත්‍රී කෙනෙකි. 

සිද්දෙයෙන් පසුබෑමට ලක් නොවූ අපේ අම්මා ඊ ලඟට මාත් සමග ගියේ පේර  ගහ වත්තේ නැන්දා සහ ඤන්   ඤඋන්  ආතා ළඟටය.  

ඤන්   ඤඋන්  ආතලා එකාලෙත් ගමේම දුප්පත්ම පවුල වුවද ඔවුන් අපට වඩා පොහොසත් ව සිටියේ  කුඹුරු හිමි  අය වූ නිසයි. 

මෙයින් ඤන්   ඤඋන් ආතා අපට ඇයගේ කුඹුරු කැල්ලක් කන්නයකට  රුපියල් 300 ක් වන්නට බදු දුන්නාය.




අපි පළමු වරට පාසලෙන් පැන්න දිනය

අපි ඉස්කෝලෙන් පැන්න හැටි.....


එදා සතියේ මුල් හරියේ දිනයකි. කනිෂ්ඨ විද්‍යාලයේ පහේ පන්තිය කිණිගම පාරට අසන්නයේ උඩ බාගය දැලින් කල ගොඩනැගිල්ලේ පැවැත්වුණ කාලයයි. 

මම දැන් පහ නෙළුම් එකේ කොල්ලෙකි. 

මගේ එවකට  කල්‍යාණ මිත්‍ර චමින්ද පහ රෝස පන්තියේ සිටියි.

අපි උදේට ඉස්කෝලේ යන්නේ හැමදාමත් පරක්කු වී පාසැල ලඟට යන මකුළ්  ඇල්ල බස් එකෙනි. 

බසයේ රියැදුරා අපේ පාසැල් දෙකේම ශිෂ්‍යයන් මෙන්ම බසයෙන් පාසල් ආ ගුරුවරියන්ද අකමැති තට්ටය සහිත  කෙනෙකි.

ඔහු අපිට පස්සට යන්න යැයි බනින අතර පාසැලේ ගුරුවරියන් පවා ඉඳිද්දී අමු කුණු හරුපයෙන් සමහර ශිෂ්‍යයන්ට බනින අවස්ථා එමටය. 

 නගරයේ බසය පරක්කු කරමින් සිටි තවත් එක් දිනකදී මෙලෙස සිදුවිය. 

අපේ බසයේ වීරයෙකු වූ නන්දපාල අය්යා  "හිටපන් හොඳ වැඩක් කරන්න" කියමින්  සටනට එක් වුවේය.  

බසයේ බෙල් එක දිගටම නාද වන්නට විය. නන්දපාල අය්යාගේ විරෝධය ප්‍රේමේ ට එල්ල කළේ එලෙසයි. 


එක් වරම ආවේශ වූ තට්ට ප්‍රේමේ.." බෙල් එක ගහපු එකාට තියෙන්නේ.. තාත්තා ගස් බැදලා ...." ආදී වශයෙන්  අමු කුණුහරුප වරුෂාවක් මුදා හල හැටි තාමත් මා මතකයේ රැඳී පවතී.

පස්ස පැත්තට එන්නතක්.


අපි කෙසේ හෝ පාසැලට පැමිණ විනාඩි කිහිපයක් අල්ලාප සල්ලාපයේ යෙදෙන්නට ඉඩ ලැබුණු දිනයකි. එදා රියදුරා ප්‍රේමේ නොවෙන්නට ඉඩ තිබුණි. 

එහෙන් මෙහෙන් කොල්ලන් අතර අද  දිනය ගැන කසු කුසුවක් ඇසේ. මේ අතර චමින්දයා මාව සොයාගෙන කදී මුඩියෙන් දිව එයි..

"මචං  කිටීයෝ.... මාර වැඩේනේ බන්..උඹ දන්නවද ? අද අපිට ඉන්ජෙක්ෂන් එකක් ගහනවලු......"  ඉතින්... උඹ බයද?"  මෙයට කලින් අපේ ගෙදර ඔක්කොටම වාගේ රජයේ රෝහලින් Penicllin විද තිබු බව දත් මම නිර්භය වීමි. 

හැබැයි මටත් දැන් දැන් ඉස්පිරිතාලේ ගොජ ගොජ ගා තම්බෙමින් තිබු ඉන්ජෙක්ෂන්  කටු මතක් වෙයි. එදා  අන්තර් පේශි එන්නත ලැබෙන කොට ඇඩු හැටි සිහියට නැගුනේ නිතැතින්මය.

"යකෝ උඹ නම් කියයි... පස්ස පැත්තටලු  ඩො ගහන්නේ.. මටනම් බෑ... මම යනවා ගෙදර යන්න ...උඹත් එනවා නම් වරෙන්..." චමින්ද හොඳටම කලබල වී කියයි.....  අපි ප්‍රථම වතාවට පාසැලින්පැන යාමට තීරණය කළෙමු. 

චමින්ද හා මා මෙන්ම බජව් කල්ලියේ ලොක්කා, දඹේතැන්න වත්තේ "වත්තේ  මහත්තයකූ" ගේ පුත්වූ ප්‍රියංකද පාසෙලෙන් පැන්න අය අතර විය. 

ප්‍රියංකයා අපෙන් වෙන් වූ පසු කෙසේ ගෙදර ගියාදැයි මට මතක නැත.

හැබැයි අපි දෙන්නා කල කීදේ අකුරක් නෑර මතකය.

බය්සිකලේ බය්සිකලේ දුප්පත් අපගේ බය්සිකලේ .


චමින්දත් මමත් නගරය හරහා විත් ඇටම්පිටිය පාර දිගේ අපේ ගෙවල් බලා පයින්ම ගමන ඇරඹුයේ හවස පාසැල් ඇරෙන වෙලාව වෙද්දී නිවෙස් බලා එන අටියෙනි.. අපි ice creem කන "කිරිස්ටීස්" එක පහු කර කුඩා අප  " වෙලාව කීයද ?"කියලා විහිලුවට අහන්න පුරුදු වී සිටි  චීන දත් බඳින ස්ථානයද පසු කරත්ත්දී අප සමග අසන්කද විය.

ඉන්පසු නගරය මැදින් ගමන් කර...ඉදිරියටම යන චමින්දත් මමත් දැන් ඇටම්පිටිය පාරේ මහවන්ගුවට අසන්න වෙමින් සිටිමු... නගරය දෙස  සිට වේගයෙන් පුෂ් බයිසිකලයක් එනු පෙනේ.. එය අප පසු කරත්ම කට කාරයෙකු වූ චමින්ද " අය්යා අපි දෙන්නවත් ගෙන යන්නකෝ " යැයි කෑ ගැසුවේය. සරමක් කමිසයක් ඇද සිටි අපි නොදන්නා මේ අය්යා  අපට බයිසිකලය නවත්තුවේය. 

 " හා හා මල්ලිලා නගින්න.. කොහාටද යන්නේ.." අසමින් අය්යා අපව වහනයට දා ගත්තේය.  චන්දන luggage එකෙත් මම ඉස්සරහ බාර් එකෙත් වාඩි වූ පසු අය්යා නැවත ගමන ඇරඹීය.

දැන් බයිසිකලය වේගයෙන් නගරයේ සිට    අපේ ගම දෙසට ඇති පල්ලම බසී.. බාර් එක උඩ ඉන්න මවත් සට සට ගා ගැස්සේ... අය්යා එක පාරම මගෙන්" මල්ලී මොනවද කරන්නේ.... මම බලනවා ඇයි මේ බයිසිකලේ වේගේ අඩුවෙන්නේ කියලා .. "යැයි ඇසුවේ . දෙතුන් වතාවක් බයිසිකලය ගැස්සී ගැස්සී නවතින්නට බැලු බව ඔහුට තේරුනාට පසුව විය යුතුය.. මම බයටම ඉස්සරහ බ්‍රේක් එක ම්රිකූ බව ඔහුට තේරී ඇති සෙයකි...

මේ අය්යා එතරම් කළු නොවුනාට අපේ ගමේ දත් උල් දිසානායකට වගේ එකක් නොව උල් දත් දෙකක් ම තිබු අයෙකි..චමින්ද  ඒ වන විට ඔහු දැන සිටියාදැයි මම නොදනිමි නමුත් තවමත් ඒ අය්යා කොන්තේ හෙළ පැත්තේ ඉන්න බව මම දැන් දනිමි.

මල්වත්තටම යනවා කියා බයිසිකලයට ගොඩවූ අපි. පල්ලම ඉවර වී කන්ද පටන් ගන්නවත් සමගම අමුණුදෝව සමුපකාරය ලඟදි දත් උල් අය්යාගෙන් සමුගත්තෙමු..

 චමින්දත් මමත් තවත් කිලෝමීටර එක හමාරක් පමණ බය්සිකලය තල්ලු කිරීමේ රාජකාරියෙන් ගැලවී ගිය බව ඔහුට තේරුම් යන්නට නැති බව මගේ හැඟීමයි.....

දවල් කෑම තේ ගහක් යටදී..


දැන් අපි දෙන්නා  අමුණුදෝව තාර පාරෙන් මෑත් වී කිරවනා බිස්ස හරහා අපේ ගම දෙසට එන්නට පටන් ගත්තෙමු.. එක පැත්තකින් තේ වත්තත් අනෙක් පැත්තෙන්  අමුණුදෝව පන්සලත් තියෙන හරියේ අපේ පළමු විඩා නිවන තැනයි..

චමින්දගේ කෑම පෙට්ටිය එලිට ගත් ඔහු .". මචං අපි මේක දැන් කාලා උඹේ කෑම එක ඊළඟට කමු" යැයි යෝජනා කළේය.  

තේ ගසක් යට වාඩිවූ අපි චමින්දලා බාප්පලා කඩේ විකුනන්න තියන වඩේ සහ ආප්ප වලින් සමන්විත වූ..ඔහුගේ දහවල් කෑම පංගුව එලියට ගත්තෙමු... 

මම දැන් හැමදාම වුවත් ඉස්කෝලෙන් පනින්න තරම් ආශාවකින් පෙළෙන්නෙකු වුයෙමි....ඒ වඩේ සහ ආප්ප දැකීමෙන් පසුවය... ටික වෙලාවකින් නැවත ගමන් ඇරඹු අපි චන්දන ලා ගෙවල් ලඟට කිට්ටු වෙද්දී නැවතත් තේ වත්තේ ඇඳි ගත්තේ මගේ බත් පෙට්ටියට වග කියන්නටය.

තාත්තා ගෙදර ඉන්න කාලයේ දිනපතාම පාන් ගෙඩි දෙකක් නිවසට පැමිණියද දැන් තාත්තා කොළඹ පළාත් පාලනයේ වැඩ කරන කාලයයි..  දැන් අපේ තාත්තාගේ සහ එම නිසා අපේ දුෂ්කර ක්‍රියා කාලය එළඹී ඇත.. මම පොලොස් හෝ දළු අප්පුහමිලට දොස් නොනගමි...මේ දිනවල තාත්තා  නිවසට එන්නේ මාසෙකට වරක් හෝ දෙවරක් පමණි..

මේ හේතුව නිසා මට අම්ම දවල්ට හැමදාම දෙන්නේ රතුපාට බත් පෙට්ටියට දැමු බත් එකට ලුණු මිරිස් හෝ වෙන එළවළුවක් දමා සකස් කල ආහාරයකි.. ඒ මම ඉතා උනන්දුවෙන් පහේ සිස්‍යත්වට පෙනී සිට්මට සුදානම් වන නිසයි. 

චමින්ද  සිස්‍යත්වයෙන් සමත් වුවාදැයි මට මතක නැත... මා හිතන්නේ.. ඔහු සමත් වුයේ පළමු කොටසින් පමණි. මාත්, වන්නි,  ගැට්ටා, HP, චන්දිම නාමරත්න සහ තවත් එක් අයෙක් කොටස් දෙකෙන්ම සමත් වූ බව මට මතකය.


අපේ ගමන නිම වීමට ඇත්තේ තව ටික වේලාවකි.. අප එකිනාගෙන් සමුගෙන නිවෙස් බලා ළඟ වනවිට වෙනාදා එන වෙලාවම වන්න ඇත..

මම හීන්සීරුවේ දිනය අමතක කර ගෙදර සිටියේ... හෙටක් උදා නොවන ගානටය..

පශ්චාත් මැතිවරණ ප්‍රතිඵල..


මැතිවරණයට පසුදා හිමිදිරි පාන්දර.


1977 මහා මැතිවරණය අවසන්  වී අපේ ප්‍රදේශයට  පසුදා පහන් වුයේ  තුන් පැත්තකින් අපේ ගම දෙසට ඇදෙන ජයගෝෂා හඩ සමගිනි. 

අපේ ගෙදර  අම්මාත් කුඩා දරු පැටවුන් පස්දෙනෙකුත්  (වැඩිමලා වූ සමන්ත නම් හිටිවන කවියාට යන්තම් අවුරුදු 11කි , බාලම ළමයා ඊට මාස දෙකකට  පෙර මෙලොව එලිය දුටු අපේ පොඩි නංගියාය)  එක පොදියට ගල්ගැසී සිටිති.

දින කීපයකට පෙර සිය ගණනක් ගම් වැසියන් ගැවසුන ගමේ දේශපාලන බලකොටුවක් අද අන්ත අසරණ තත්වයකට පත්ව ඇත.
සෙන්පතියා  පොලොස් අප්පුහාමි  මන්ත්‍රීතුමාගේ  නිවසේ පසුවෙයි.

දුකට සැපට කවදත් සිටි ජේන් අක්කාද පරාණ භීතියෙන් අප හැර දමා  ගමේ පල්ලෙහාට ගොසිනි.  
අපේ අම්මා මුවැත්තියක් සේ අසරණව සිටියායැයි ඔබ සිතනු ඇත.

දරුවන් පහක් සමග සැමියාද නොමැතිව තාවකාලිකව තනි වුවද පරාජයෙන් සැගවී ගන්නේ  අපේ අම්මා නොවේ.

අහල ගම් තුන හතරක් අවි අමෝරා අපෙන් පළිගන්නට එද්දී අපේ අම්මා  තනිවම සටනට බැස්සාය.

ඒ  බව මට පසක් වුයේ ඒ දිනයේ සිදුවූ අනෙකුත් ක්‍රියා දාමයන් සියල්ල මතකයට නැගීමත් සමගයි. 


ලේ වල ඝණකම වතුරට වඩා වැඩියිලු




උදේ පාන්දර සිට බොහෝ  නරක ආරංචි අපේ අම්මාගේ කනට වැටේ.

අපේ දේට ගිනි තියන්නට යැයි කියා දළු අප්පුහාමිගේ සහචරයින් පුරවා ගෙන පැමිණි ලොරියක් ගැන කතාව ඉන් එකකි. 

ගමේම පෝසතා වූ සහ මගේ අනුමනයේ හැටියට විපක්ෂයේ චන්ද වැඩ වලට මුදලින් පවා ආධාර කල  බාස් මාමා විසින් එය  ආපසු හරවා යවා තිබුණේය.

කවි කියපු කොල්ලා පැහැර ගන්නට  කට්ටියක් එන බව තවත් ආරංචියකි. 

ජේන් අක්කාගේ  "කොල්ලා ඉවරයි දෙය්යනේ" යන ඉඟිය හැරෙන්නට  හරස් ගෙදර  මද්දුම බණ්ඩාරේ ලා,  චමින්දලා  ලා බාප්පලා ඇතුළු පිරිස මල්වත්තේ කඩේදී කල කුමන්ත්‍රණය ගැන හාන්කවිසියක් වත් අම්මා දෑන සිටියේ නැත.

කුඩා ළමුන් පස් දෙනෙකුගේ ජිවිත ආරක්ෂා කිරීමත් , තමා සහ තම ස්වාමියා මෙතෙක් හරි හම්බ කල සේසතම යට කර හැදු නිවස ආරක්ෂා කිරීමත් ඈ හමුවේ ඇති ප්‍රභලම අභියෝගයන්ය.

අරුමයකි., එතෙක් මෙතෙක් දුටු ශ්‍රී ලංකා UNP දෙපැත්තේම උන් අපේ නෑදෑ පරපුරේ සමගි සම්ම්පන්නම දිනය එදින උදා විය.   

කුඩා ළමයින් සියලු දෙනාම තාත්තලා  මහ ගෙදරට අල්ලපු වත්තේ තිබු ලොකු තාත්තලා ගෙදරට රැගෙන යන ලදී.

රාජපක්‍ෂ කෙනෙකු වූ හින්නි මාමා ඔහුගේ පතොරොම් තුවක්කුවත් පුරවා ගෙන අපේ ගෙදර ඉස්සරැහ තිබුණු කෙහෙල් පඳුරේ ස්ථාන ගත විය. 

එවකට අප පාසැලේ අ. පො. ස.( උ. පෙ.)  විද්‍යා විෂයන් හැදෑරු පල්ලැහැ ලොකු තාත්තලා (අප එදින රැගෙන ගියේ ඔවුන්ගේ ගෙදරටයි) රාජා අය්යාද ඔහුගේ රසායන විද්‍යා දැනුම උපයෝගී කර ගනිමින් කිසියම් පිපිරීමක් අපේ වත්තේ එතරම් නොගැඹුරු ලිඳ ඇතුලේ අත් හදා බැලුවේ එළඹෙන අවිනිස්චිත රාත්‍රියට මුහුණ දීමටයි.

දැන් වටගමුව පැත්තෙන් පැමිණි පෙළපාලිය සොහොන් කන්ද දිශාවෙන් අපි සගවා සිටි  නිවස  දෙසට ඇදේ.

මල්වත්තෙන් ඇස්කින්වත්ත හරහා එන පෙලිපාලිය තාමත් අපට එතරම් සමීප නැත. 

සොහොන් කන්ද පැත්තෙන් ජයටම සටන් පාඨ හඬ මගේ කුඩා දෙසවන් හාරවමින් නින්නාද වෙයි.

ඒවා හතර නෙලුම් හි සිටි ජනහිතේ   නිමලසිරි පසුව (1980දි) පන්තියේදී පැවසු  සටන් පාඨයට වඩා සැහෙන්න වෙනස් ඒවා විය.

 නිමලසිරි කීවේ 

"අපේ පාට කොළ.. අපි නෑ කල බල.... කෙරුවොත් කලබල... කවනවා තන කොළ.." 

කියාය. 

සොහොන් කන්ද පැත්තෙන් ඇසුනේ.

 "හොර සුමනෙයා එලියට වර.... පගා මරුවා එලියට වර... හොර නාමේයා එලියට වර "


වැනි පුද්ගල කේන්ද්‍රීය සටන් පාඨ පමණි. 

හොර සුමනෙයා යනුවෙන් හැඳින්වුණේ  ජේ. ඇම්. සුමනසේකර නමැති අපේ පොඩි බාප්පාය.

ඔහු  එකල බ/ කිරිඔරුව  විද්‍යාලයේ ගුරුවරයෙකි. 

ඔහු පසු කලෙක ජූලි වැඩ වර්ජනයෙන් රැකියාව අහිමි කර ගත් අතර ගම අත හැර පුංචි අම්මාගේ ගමට ගොස් හොරණ ශ්‍රී පාලියේ විදුහල්පති ලෙස විශ්‍රාම ගත්තේය. 


ළමුන් ආරක්ෂාවට තම මස්සිනාගේ නිවසේ තබා  අම්මා තනියම පෙළපාලි කරුවන් හා මුහුණට මුහුණ සටනට  ගියාය. 

එසේ යන ගමනේදී ඇයට උදව්වට ගියේ පොඩි බාප්පා සහ මෑතකදී මිය ගිය ජිනවති ලොකු අම්මාය.


වැහැපන් ගල් වරුසා    




සොහොන් කන්දෙන් පැමිණි පෙළ පාලිය බුරුස් මාමලා කඩේ ලඟින් පහලට හැරී මල්වත්ත දෙසට පල්ලම් බසී. 

ලොකු තාත්තලා ගෙදර මාස 2 ක් වයසැති පොඩි නංගි තුරුළු කර ගත් අක්කා සිටියාය. ඇයගේ තනියට ලොකු නංගීද ඒ අසල  සිටි. 

බියෙන් වෙව්ලමින් සිටි අපේ බිය දෙගුණ තෙගුණ කරමින් දඩාන් යන හෙන හඬක් ලොකු තාත්තලාගේ ටකරන් වහලයෙන් ඇසුනි.

කවුරු අවවාද කරා දැයි මට මතක් නැත.

පොඩි නංගි අතට ගත අක්කා එක ඇඳක් යටය. 

බියේ වෙව්ලන කවිකාර ලොකු අය්යා සහ මම අනිත් ඇඳ යටය. 

අම්මලා තවමත් පෙළ පාලි කරුවන් සමග මුහුණට මුහුණ කතාවකය.

අම්මලා සමග වාද කරන පෙළපාලියේ මුල් හරිය එසේ තියෙද්දී මැද හරියෙන් අප දෙසට ගල් විසි කරන්නට විය. 

දැන් තව තවත් ගල් වරුසා  අපේ ඇඳන් වලට උඩින් වහලයට වදිනු ඇසේ.

චුටි පුතාට බියටම කකුල් දෙක දිගේ සීතල යමක් ගලා යනු දැනුනේ මේ වේලාවේය.

මරණ බිය කුමක් දැයි මට ප්‍රථම වතාවට දැනුනේ 1977 ජුලි 23  වෙනිදා ලොකු තාත්තලා ඇද යට දීය.

ඊට පසු තව දෙවතාවක් මම ඒ බිය අත් දැක ඇත්තෙමි. 

මේ මොහොතේ දෙවියන් වැනි මිනිසුන් තවමත්  අප  අතර සිටින බව පසක් කරන සිදුවීමක් සිද්ධ විය. 

අප සොයා ලොකු තාත්තලාගේ නිවසට පැමිණියේ ඩිංගිරි බන්ඩේ මාමා හෙවත් ජේන් අක්කගේ ලොකුඅය්යාය.
    
"ඉස්සෙල්ලම  කොල්ලෝ දෙන්නා බේරාගෙන ඉමු .  

ඔය වසවර්තියන්ට මේ කොල්ලෝ එහෙම අහුවුනොත් මොනවයින් මොනවා කරයිද දන්නෑ.

මම කෝකටත් මේ ළමයි දෙන්නෑ අපේ  ගෙදරට අරන් යනවා "

යැයි ලොකු තාත්තලා ගෙදර අයට පැවසු ඔහු  අසල පිහිටි ඔවුන්ගේ නිවසට අප දෙදෙනා කැඳවා ගෙන ගියේය. 

නුහුරු නුපුරුදු එහෙත් මිත්‍ර ශීලි නිවසකට ගිය අය්යත් මමත් පෙළ පාලි හඩට සවන් යොමා ගෙනම එහි  සිටි බව මට තාමත් මතකය.


රාජපක්‍ෂලාගේ කෙලින්වැඩ



එදා කිරිඔරුව  පැත්තෙන් කිසිම පෙලපාලියක් අප දෙසට ආවා දැයි මට මතකයක් නැත.  

කිරිඔරුව යනු රාජපක්‍ෂලාගේ  ගමයි.  අපේ අම්මාද රාජපක්ෂ කෙනෙකි.  කිරිඔරුවේ  හැමෝම වාගේ අම්මාගේ ලඟම නැදෑයින් වන්නේ ඒ හේතුව නිසාවෙනි.

සමහර රාජපක්ෂලා අද මෙන්ම එදත්   කපටි සැලසුම් සකස් කර අනිකකු ලවා ඒවා ක්‍රියාත්මක කලෝය. 

මල්වත්තේ තේ කඩයක් තුල අපට පහර දෙන්නට සැලසුම්  සකස් වුයේ ඒ අනුවය.

අපේ අය්යා පැහැර ගැනීමත් , මග රැක සිට අපේ තාත්තට ගුටි බැට දීමත් ඒ සැලසුම් අතර විය.  

එකල මේ  රාජපක්ෂලා ගමේ බලවතුන් වුහ. 

උදාහරණයක් ලෙස චමින්දලා මුත්තලා අපේ මුත්තලා  (මේ දෙන්නා එක කුස උපන් අය්යා මලෝ වෙති) ට බොහෝ දෙනෙක් ආමන්ත්‍රණය කලේ  "රදිගේ"  හෝ "බණ්ඩාර මහත්තයා"  යනුවෙනි.

එහෙත්  එවැනි එක ආමන්ත්‍රණයක් ඇසු කුඩා මට ඌරු ජුවල් ගිය දවසක් මතකයට නැගේ. 

මේ කියන දිනයේ  මල්වත්තේ බාබර්  සාප්පුවේ කොණ්ඩය කපන්නට ගොස් සිටියෙමි. 

අපේ වෙලාව එනතෙක් වාඩිවී සිටි මට   බාබර් උන්නැහේ යමෙකුට  රදිගේ කියා කියනවා ඇසුණි.

ඔහු එසේ කිවේ  තම රැවුල කපා ගන්නට එහි පැමිණ සිටි කොණ්ඩය බැඳී මුත්තා කෙනෙකුටය


ඒ ඉහළගෙදර මුගටි මුත්තාටය.

අපේ පරම හතුරන්ගෙන් එකෙකුටය.

ඇස්කින් වත්තේදී අපේ තාත්තාට ගහන්නට පැමිණ සිටි අය අතර  ප්‍රමුඛයෙක් වුයේ ඔහුගේ පුතා වූ මද්දුම බණ්ඩාර මාමාය  (වර්තමානයේ  බණ්ඩාරවෙල මහා විද්‍යාලයේ ගණිත ගුරුවරයෙක් ) 

කේන්තියෙන් ගෙදර ආ    මම එදා හවසම  අපේ ටොකු  මුත්තාට මේ අවනඩුව කීවෙමි.

1977 න් පසු අපේ අම්මා වගේම තම පියා ගමින් පිට රැකියාව කරන අතර කුඩා දරුවන් තිදෙනෙක් රැක  බලා ගනිමින් සිටි චන්දනගේ අම්මා මගේ සිහියට නැගේ.  

ඇත්ත වශයෙන්ම  ඇයට චාමර මල්ලී ලැබී මේ වනවිට  ගතවී තිබුනේ මාස හතරක් පහක්  පමණි.

තමන්ගේ ස්වාමියාගේ මල්ලිලා  සැලසුම් හදද්දී  මේ  අලකලංචි ගැන කිසිදු හෝඩුවාවක්  දැනගන්නට  ඇයට හෝ ඇයගේ දරුවන්ට හේතුවක් තිබිය නොහැක. 

රාජපක්ෂලා කට්ටියක් වුවද චමින්දලා මේ වාට කිසිම ආකාරයකින් සම්බන්ධ යැයි මා කිසිදාක නොසිතුවේ මේ නිසාය.

 එකල මේ රාජපක්ෂලා හැර තවත් රාජපක්ෂලා කට්ටියක් කිරිඔරුවේ  සිටියහ.

හින්නි  මාමා,  අපේ අංජු මාමලා දයා  මාමා හෙවත් ගමරාළ මාමා වැනි රාජපක්ෂලා  චන්ද සටනේදී අපේ පැත්තේ සිටි අය වූහ.

චන්දයෙන් පසු අපේ ආරක්ෂාව වෙනුවෙන්ද මේ රාජපක්ෂලා පෙනී සිටියහ. 

වාසනාවකට හෝ අවාසනාවකට අපේ අම්මාගේ මෙන්ම තාත්තගේ නෑදෑයෝ එකා වන්ව අප වෙනුවෙන් නැගී සිටි ප්‍රථම සහ අවසාන දිනයද 1977 පශ්චාත් මැතිවරණ දිනය  විය යුතුය.
   
දින කීපයක ඇවෑමෙන්  අපේ ලොකු අය්යා සහ ලොකු අක්කා කිරිඔරුව  විද්‍යාලයෙන් අස්කර ගත් අම්මා ඔවුන් නමුණුකුලට රැගෙන ගියාය. 

 අනතුරුව ඒ දෙදෙනා  ප්‍රදේශයේ පාසැලකට යැව්වේ උග්‍ර UNP පාක්ෂිකයෙක් වූ නමුණුකුල බාප්පලාගේ නිවසේ ඔවුන් නතර කිරීමෙන් පසුවයි.