Sunday, 3 May 2015

මහා කළු කඩ්ඩෙකුගේආගමනය.



අරලගංවිල මහා විද්‍යාලයේ ඉංග්‍රීසි කලාව


අප අටේ සිට නවයට එද්දී පාසැලේ සිදුවූ තවත් තීරණාත්මක  ආගමනයක් මගේ සිහියට නැගේ.  එය කොළඹ සිට දඬුවම් මාරුවකින් කිංස්ලි සර් (අපේ සාර්ථකම විදුහල්පතිතුමා ) පැමිණියා සේම අපේ ගමන් මග වෙනස් කල සිදුවිමකි.


ස්වභාවිකවම ගැට්ටා, කණ්ඩුල, හරීන් සහ මා වැනි උනන්දුවන් බොහොමයක් ඉංග්‍රීසි භාෂාවටද සැලකිය යුතු දක්ෂතාවයක් දැක්වුයෙමු.  ඒ බව පෙන්නුම් කෙරුනේ පංති වල එක දෙක වීමෙන් පමණක් නොව අපේ වාර විභාග වල ඉංග්‍රීසි ලකුණු ද පනහකට වඩා තිබීම මගිනි.


මේ දක්වා අපට හමුවූ චරිත වලට අමතරව නවය ඒ පන්තියේ සිටි තිලාන් , මාලිනි.වැනි අයද , නවය දහයේ මාගේ අල්ලපු පුටුවේ සිටි තාරක වැනි වුන්ද එකල ඉංග්‍රීසියෙහි  නිපුණයෝ වුහ. මේ අය බොහෝ දෙනෙක් පසුකාලීනව විශ්ව විද්‍යාලයට ගියේ එයට පෙර ටික කාලයක් ඌව පළාත පුරා ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස සේවය කිරීමෙන් පසුවයි.



මෙම ඉංග්‍රීසි හැකියාව හරහා අපව වෙනත් මගකට රැගෙන යෑමට විදුහල්පති කිංස්ලිට අවශ්‍ය වී තිබුණි. එය ඉටු කෙරුනේ හරි අපුරු ආකාරයකටයි.

මහා කළු කඩ්ඩෙකුගේ ආගමනය

 නවයේ අවසාන වාර පරීක්ෂණයෙන්  පන්ති පහේම ඉංග්‍රීසි ලකුණු ශ්‍රේණිගත කර වැඩිම ලකුණු ගත් හතලිස් දෙනා තෝරා ගැනිණි. අනතුරුව එළැඹෙන අවුරුද්දේ මේ හැමෝම එකම පන්තියක ඉංගිරිසි ඉගෙන ගන්නා බව  සඳහන් කල කිංස්ලි සර් ඒ පන්තියට උගන් වන්නේ එතෙක් ඉගැන්වූ සිරි තිලක වැනි ගුරුවරු නොවන බවද කිවේය. කණ්ඩුල, මම , ගැට්ටා මෙන්ම අනිකුත් ඉංග්‍රීසි කාරයෝ බොහෝ දෙනෙක් මෙම ඒකකයට ඇතුලත් වුහ.

පිලිවෙලින්  ඉංග්‍රීසි ලකුණු අඩුවන සේ  තවත් ඉංග්‍රීසි ඒකක හතරක්ද  සකස් කෙරිණි. බොට්ටා , වන්නි , සිසිත වැනි අය දක්ෂයන් වුවද ඉංග්‍රිසියෙහි කෙළ  පැමිණි අය නොවූ හෙයින් වැටුනේ දෙවැනි හෝ තුන්වැනි ඒකක වලටය.
වසරේ මුල්ම සතියේ ඉංග්‍රීසි පාඩමට සුදානම් වෙමින් සිටියෙමු.  ආසන්න දිනවලදී විදුහල්පති කාර්යාලය ළඟ ගැවසුන කොළපාට බජාජ් ස්කුටරයකි.

"නිවිහනහිල්ලේ ගමනක් යන්නට - කදිම පහසු ක්‍රමයයි.
බජාජ් ස්කුටරයයි- ඔවු එය හරි කදිමයි.
සුවපහසූවයි -අරපිරිමැස්මයි- කැපිලා පෙනීමයි.
බජාජ් ස්කුටර කදිමයි- හරි කදිමයි "

එයින් බැස එන්නේ හයේ හතරේ කළුම කළු මනුස්සයෙකි.  තඩි නිල් ඩෙනිම් කලිසමකින් සහ උඩින් දැමු නිල් කොටු කොටු අත්කොට කමිසයකින් සැරසි  පි. වී. සි බැගයක් ද අතින් එල්ලා ගත්තෙකි.



නිරාවරිත අත් දෙක පුරා දිග කළු මවිල් ගහන, දුටු පමණින් කෙල්ලෝ පමණක් නොව ඕනෑම දඟ කොල්ලෙක් වුවත් හොඳටම  බයවෙන පෙනුමකි.


 මේ "අයිවෝ දී තාබ්‍රෙව්" හෙවත් අපේ මහා කළු කඩ්ඩාය. ඔහු අරලගංවිල ඉංග්‍රීසි හපනුන්ගේ කඩුව තවත් මුවහත් කරන්නට ස්වේච්චාවෙන්ම  අරලගන්විලට ගොඩබැස්ස කඩු රාජයා විය.
විදුහල්පති තුමා නරියාට කුකුල් කොටුව දෙන්නා සේ කවිඳු ඇතුළු උනන්දුවෝ පිරිස තාබ්‍රෙව් මහතාට භාර දුන්නේ ඔවුන් හැම බය බිරාන්ත වී සිටියදීය.

තාබ්‍රෙව් ගේ පළමු ඉංග්‍රීසි පන්තිය
තාබ්‍රෙව් සර් පන්තියට එද්දී ගැට්ටා, කණ්ඩුල, තිලාන් ,තාරක සහ මමද කෙල්ලන්ගේ පැත්තෙන් නිලන්ති පිරිස් සහ  මාලිනි ඇතුළුහැමෝම ගැස්සී ගිය බව මට මතකය. 

මුලින්ම තමා ස්වීඩනයේ ගුවන් නියමුවෙකුව සිටි බවත්, පැවත එන්නේ බවුද්ධ කොඩිය නිර්මාණයට පවා දායක වූ පානදුරේ තාබ්‍රෙව්  පරම්පරාවෙන් බවත් සඳහන් කෙරිනි. අද සිට අප කිසිවෙකු පන්තියේදී සිංහලෙන් කථා නොකළ යුතු බවද අවධාරණය විය. 

අනතුරුව පැමිණියේ අපි අපිව හඳුන්වා දෙන අවස්ථාවයි. තමා කවුද? තමාගේ අභිලාශය/බලාපොරොත්තුව?  කුමක්දැයි ඉංග්‍රීසියෙන් පැවසීමට අවශ්‍ය විය 

"මම තිලාන් මාගේ අබිලාශය දොස්තර කෙනෙක් වීමයි.."තිලාන් කිවේය. 

  " මම චන්දික වරුණ කිර්ති ගැටමාන්න " මාගේ බලාපොරොත්තුවත්  දොස්තර කෙනෙක් වීමටයි" ගැට්ටා පැවසුයේ ඔහු මෙන්ම අපි හැමෝම බලාපොරොත්තුවූ  දෙයයි. 

"මාගේ නම චන්දිම දයාරත්න.....  "බලාපොරොත්තුව ඉංජිනේරුවෙකු වීමටයි". අරලගංවිල පිහිටි පවුද්ගලික පාසලකින් අපේ ඉස්කෝලෙට ලඟදි සැපත්වූ චන්දිම පැවසිය.

"හරි දැන් තමාගේ වාරය"..තාබ්‍රෙව් මා දෙසට ඇඟිල්ල දිගු කරයි..

මම ගණන් වලට නම් එච්චරම කැමති නැත. එහෙත් දොස්තරයෙක්  වීමත් ලේසි පහසු කටයුත්තක් නොවේ..
ඔන්න ඔහේ ගැට්ටා වගේම දොස්තර කතාව කියනවා. 

" මම කවිඳු"  .. මට  අවශ්‍ය වන්නේ දොස්තර කෙනෙකු වීමටයි.. වෙන දෙයක් වෙච්චාවේ කියා හිත හදා ගත් මා තෙපර බෑවෙමි. 
මාලිනි දොස්තර සහ ඈන් නිලන්ති ඉංජිනේරු කථාව කිව් බව මතකය.

මෙසේ කිව් අය අතරින් වැඩි පිරිසක් තම අභිලාෂයන් මුදුන්පත් කර ගත්තේ  තම උත්සාහය මෙන්ම තාබ්‍රෙව් මහතාගේ ඇල්ම බැල්ම  ඒ අය වෙනුවෙන් නොමදව ලැබුණු නිසාවෙනි. 

සමන්තගේ ප්‍රතිඵල ඇවිත්.

දවසක් සිසිත සහ ගැට්ටා ඇතුළු අපේ කට්ටිය හදිසියෙන් මාවෙත පැමිණියේ අපේ අය්යා පන්තිය පැත්තේ මාව සොයන බව කියන්නටයි.
 ඉහේ මලක් පිපුනා සේ සන්තෝෂයකින් සමන්ත අය්යා මා සොයා ආවේ ඔහු උසස් පෙළ ඉතා ඉහලින් සමත් වී ඇති වග දන්වන්නටය.

ගමේදී " ඔන්න අපේ දොස්තර එනවා... කාණුවට බැහැපල්ලා..." යැයි කලින්ම මේ ගැන අනාවැකි පලකල ලොකු තාත්තලා සුනිල් අය්යත් හෙළතැන්නේ චුට්ටි අය්යත් මට සිහිවෙයි. මේ අය නම් නියම සාස්තර  කාරයෝ  විය යුතුය. මේ  කාලේ රාජපක්ෂලාට කිට්ටු කලා නම් ගානක් හොයාගන්නත් තිබුණි.

අපේ ඉස්කෝලෙන් ඒ කාලේ මහා ගොඩක් විශ්ව විද්‍යාලයට ගියේ නැත.  එවර මුළු අරලගන්විල මහා විද්‍යාලයෙන්ම  වෙද විදුහල් යෑමට තරම් ඉහලින් සමත් වුයේ සමන්තත්  බඩල් කුඹුරේ අක්කා කෙනෙකුත් පමණි.

සිසිතලා වන්නිලා ඇතුළු කොල්ලෝ බර ගනනක් මටද සුභ පැතුවෝය. මේ වන විටත් ගැට්ටාගේ අක්කා සිටියේ රුහුණ වෙද විදුහලේය. ගැට්ටා ටත් හරි සතුටුය.

"මචං ඊ ලඟට අපේ වාරේ .. උඹේ පිස්සු වැඩ ටිකක් අඩු කරන්න වෙයි.."  යැයි  ගැට්ටා එදා කිව් වග  මට හොඳට මතකය.

දැන් සමන්තගේ දොස්තර සිහිනය සැබෑ වී ගෙන එයි..මේ අතර  විභාගයට දවසක් තිබෙද්දී ඔහුගේ තැපැල් හෑඳුණුම් පත නැතිවූ සිද්දියක්  මට මතක් වෙයි..

එදා අම්මා , සමන්ත ඇතුළු අපි හැමෝම ගේ පෙරලමින් අයිඩෙන්ටිය හොයමින් සිටියෙමු.

අල්ලපු ගෙදර සිටි දයා ලොකු තාත්තා කඩිනමින්අම්මා වෙත දුව එයි.   අම්මාට පැත්තකට කතා කල ඔහු  අපි නොදන්නා රහසක් හෙළි කළේය..

"නංගි.. මම සමන්තත් එක්ක විද්‍යාත්මක කරුණු වගයක් සාකච්චා කළා මේ ලඟදි. මිනිහට මම අහපු එක ප්‍රස්නයකට වත්  උත්තර දෙන්න බැරිවුණා."

"මම කැට තියලා කියන්නම්,  මිනිහා අයිඩෙන්ටිය හංගලා විභාගෙට බයේ."

"අද කිව්වා කියලා හිතේ තියා ගන්න, මනුස්සයා විභාගේ පස්වූනොත් මම අල්ලේ කොන්ඩේ බඳිනවා "  කියමින් හිල් පනාවක් දැමු ලොකු තාත්තා තම දකුණු අත්ල අපට පෙන්නුවේය.

කාලය විදුලි වේගයෙන් හඹා යයි. දැන් ලොකු තාත්තා සුර ලොව සිට සමන්තත් මාත් දෙස බලා සිටිනවා විය යුතුය. අපි දෙන්නා ලංකාවේ පමණක් නොව ලෝකේ පුරාම කරක් ගහන දොස්තරලා බව දැන් ඔහුට දිවැසින් පෙනේ.

ඔහු මෙන්ම මිය පරලොව ගිය ගමේ බොහෝ නෑදෑයින් අපිට තව තවත් ආශීර්වාද කරනවා වැනි හැඟීමක් මගේ යටි සිතට දැනේ.. මා එම ප්‍රීතිය ඔබ සමග බෙදා ගනිමි.

කිරඹ ඔයේ ඉංග්‍රීසි කාරයෝ

ඒ අපේ කිරඹ ඔයේ ලොකු මාමා කරෙයිනගර් නාවික හමුදා කඳවුරේ නාවික සෙබලෙක් ලෙස සේවය කල කාලයයි. පොඩ්ඩේ මාමා මැණික් කාලේ බයිලා සින්දු ගෙනා කතාව ඔබට මතක ඇතැයි සිතමි. 


අපේ ලොකු මාමා ඒ කාලේ ඇහුවේ Bonny- M හා ABBA සංගීත කණ්ඩායම් වල ගීතයි. ඔය කාලයේ සමන්ත අය්යත් මමත් ඇහුවෙත් "one way ticket" "ra..ra. Rasputin " Daddy cool " වැනි ඉංග්‍රීසි ගීතයි. 




නැවක වැඩ කල ලොකු මාමා  නිවාඩුවට   ගමේ එන්නේ කොට්ට කෙලංගු සහ තල් හකුරුත් අරගෙනයි.

ඒ කාලයේ මල්දෙනියේ අපට වඩා නමුණුකුල කට්ටියට ප්‍රිය කල ඔහු නමුණුකුල සීතා අක්කාට වැඩි ඇල්මක් දැක්වුයේය.  ගමේ අවොත් නමුණුකුල යන මාමා නැවත අරලගංවිල එන්නේ සීතා අක්කාත් කැටුවය.

අපේ අම්මලා නෑදෑයින්ගෙන් මා ඉතා ප්‍රිය කල චරිතයක් වන සීතා අක්කා තොන්දොල් වෙනවා වැඩි යැයි අපේ අම්මා කියයි.  එහෙත් මා වඩාත්ම ප්‍රිය කලේ "අනේ චූටි මල්ලී" කියමින් කරනා ඇයගේ ඒ තොන්දොල් කථා විලාශය අසන්නටය.



ලොකුමාමා ඒ කාලයේ කිරඹ ඔයේ හිටපු හොඳම brake dance කාරයා කිව්වොත් නිවැරදිය. අපේ ගෙවල් වල නොයෙකුත් සාද වලට පැමිණෙන ඔහු ඇඹරි ඇඹරි... බිම පෙරලෙමින් නටන හැටි තාමත් මට මැවී මැවී පෙනේ.



නාවික භටයෙකුට උචිත ලෙස ලස්සනට රැවුල වවා සිටි ඔහු ඇත්තටම වරක් නොව දෙවරක් බලන්නට හිතෙන විදිහේ රුප කායකින් යුක්ත විය .


ඔහු අපේ සුභේරත්න මුත්තාගේ පළමු පුත්‍ර රත්නයයි.  ඔහුගෙන් දිස්වූයේ තරුණ කාලයේ කාන්තා වශියක් වැනි වූ සුභේ මුත්තාගේ  තිරිහන් අවතාරයයි.




Saturday, 2 May 2015

මා සූදු අන්තුවෙක් වූ හැටි







සිංහල භාෂාවේ අගය.





දැන් අපි නමයේ පන්තියේ ඉන්නා නාඹර ඉලන්දාරියෝ වෙමු. 

අපේ පන්ති භාර ගුරුතුමා ජයසේකර නම් අයෙකි.  

ඔහු පන්තිභාර  ගුරුකමට අමතරව අපට සිංහල භාෂාවද ඉගැන්වුවේය.  ඒ නිසා කොල්ලෝ ඔහු සිංහලයා යන නමින්ද හඳුන්වන්නට
රුදු වී සිටියහ.

ජයසේකර මහතා පිළිබඳව අපේ මතක සටහන් රාශියකි.  ඒ අතර මගේ ඔහු ගැන ඇති මතකය නම් ඒ තරම් හොඳ එකක් වුයේ නැත.

ඔහු මාගේ රචනා ලිවීමට දිගටම දුන්නේ අඩු ලකුණු වන අතර ඒ නිසාමදෝ මගේ සිංහල භාෂාවට තිබු උනන්දුවද ඉතා අඩු විය.

අපොස සාපෙළ විභාගයේදී මට  සිංහල සඳහා සම්මානයක් පමණක් ලැබීමට මේ උනන්දුව අඩු කමද හේතු වන්නට ඇත.

ලාලනී ටීචර්ලා මෙන් නොවූ ඔහු මා ගැන එතරම් විශේෂයක් නොදැක්වූ ගුරුවරයෙකි.

ගුරුවරයාගේ ළමුන් කෙරෙහි ඇති බැඳීම අඩුවූ තැන ළමුන් ඔහුගේ ඉගැන්වීම් ගැන යොදනා අවධානයද අඩුවේ.  

හොඳම උදාහරණය අපේ සිංහල සර් හා අප අතර තිබු ගණුදෙනුවයි.

කරුණු එසේ වුවද ඔහුට සිටි දියණියන් දෙදෙනා ගැන නම් අපි හොඳින් දැන සිටියෙමු. 

ලොකු දුව ඉස්කෝලේ සැවොම දන්නා තරම් රූ සපුවකින් හෙබි අයෙකි.

ඇය අපේ පන්තියේ සිටි සෙව්වන්දි, සුජීවා වැනි අය මෙන් ඉනෙන් ටිකක් පහළට වෙන්නට රැලි ඇල්ලු සුදු ගවුමක් ඇන්දාය. 

ලොකු දුව අපට ඉහළ පන්තියේ සිටි අතර එවැනිම රැලි දැමු ගවුමකින් සැරසුණු කුඩා සිංහල දියණිය අපිට පන්ති දෙක තුනක් පහලින් වාසය කලාය.

තම සිංහල නොහැකියාවට ජයසේකරත් හේතුවක් බව සිතු අපේ පන්තියේ සිටි රංගජීව අය්යා ඔහුට ලියු කවියක් මට යන්තමින් මතකය. 

රංගේ එම පන්තියේම වරක් අසමත්ව සිටි අයෙකි. 

දෙවන වාරය අවසානයේ අප සිංහල ප්‍රශ්න පත්‍රයේ රංගජීව ලියා තිබු සිවුපදය අවසාන කර තිබුනේ 

“ දුන්නා දොඹෙන් කැර කෙන්නට සිංහලයා “ 

යන පදයෙනි.

තරමක නිහඬ චරිතයක් වූ අපේ සිංහල ගුරුතුමා ඔහේ කාලය ගෙවන්නට කැමති වර්ගයේ ගුරුතුමෙක් බව මගේ මතකය පවසයි. 



සංගීතයට හිත ඇදී ගිහින්




අටේ පන්තියේ සිටි අවසාන කාලයේ මම පාසැල් ගියේ අපේ ගෙදර සිට නොව කිරඹ ඔයේ අම්මලා මහා ගෙදර සිටයි. කලතුරකින් අම්මා හැරදා ගෙදරින් පිටතට යන මම මේ පියවර ගැනීමට හේතුව කිරඹ ඔයේ මල්කා පුංචිත් මමත් එකට පාඩම් කල යුතු යැයි සුභේරත්න මුත්තා තීරණය කිරීමයි.  

 මල්කා සිටියේ මට එක පන්තියක් පහලින් වූ අතර ඇය ගියේ අරලගංවිල කණිෂ්ඨ විදයලයටයි . 

මේ වනවිට කණිෂ්ඨය බිම්බිසාර මහා විද්‍යාලය ලෙස අලුත් නමක් ලබා තිබුනේය.

පුංචි කෙනෙකුයි පුතෙකුටයි වඩා සම වයසේ යහළුවන් ලෙස හැසිරුණු අප රාත්‍රියට පාඩම් කරේ එකම මේසයකයි. අතම්මලා ගෙදර මම අකමැතිම සිද්දිය වූ පරක්කු වී රාත්‍රී ආහාරය ලබා දීම මට තාමත් මතකය. 

මේ හේතුවෙන් මල්කාත් මමත් ගණන් හැදීම , සිංහල ලිවිම ආදිය මදකට නවතා සංගීතයට සිත යොමු කරන්නේ මේ දෙගොඩහරි ජාමයටයි.



“මල නොතලා රොන් ගන්නා.... බඹර කැලා බල රඟමේ
ගුම් ගුම් නාදෙන් නලවා .. මලේ රසය බොයි බඹරා
හොඳ පාඩමකි අප හට තිරිසන් වූ මේ බඹරා
අපිද අපේ සැම වැඩ පල කරමු අනුන් සිත නොතලා.”



අපි දෙදෙනා මහා හඬින් මේ ගීත කණ්ඩය ගයනා කරන්නේ  බිලාවල් රාගය පුරුදු වීමටයි . 

මෙය ඇසෙන අතම්මත් මුත්තත් කෑ ගසන්නේ 

"... ඒයි මල්කා.. ඒයි චුටි පුතා... උඹලා දෙන්නා සින්දු කිය කිය ඉන්නේ පාඩම් කරන්නේ නැද්ද? "

යනුවෙනි.


එය ගණන් නොගන්නා අපි  



“ජනක බිලාවල හැම ස්වර සුදුවේ ... ග ප ධ නි ස යන ස්වර සන්ගත් වේ..ද්යිවථ වාදී... ගා සංවාදී.....”  



යනුවෙන් දිගින් දිගටම බිලාවල් රාගය පුරුදු වූයෙමු.



ආශාවන් ඇත හැරීම



අප නාමයේ පන්තියට පැමිණීමත් සමග එතෙක් විෂයයන් නවයක් හැදෑරු අපට එක් විෂයයක් අත හරින්නැයි උපදෙස් ලැබුණි. ඒ තාක්ෂණික විෂයයක් හෝ  සවුන්දර්ය විෂයක් යන දෙකින් එකක් පමණක් තෝරා ගැනීමෙනි. 

උ.පෙ විද්‍යා විෂයයන් හැදෑරීමේ බලා පොරොත්තුවෙන් උන් මා එකල සිතුවේ සංගීතය තෝරා ගතහොත් උසස් පෙළට කලා විෂයන් කරන්නට සිදුවනු ඇති බවයි. 


එම නිසා මාගේ ප්‍රියතම විෂයයක් වූ සංගීතය අත්හල මා විද්‍යාව යන වචනය අඩංගු කෘෂි විද්‍යාව තෝරා ගත්තේ එමගින් මට උසස් පෙළ විද්‍යා කිරීමේ අවස්ථාව ලඟා කර ගැනීමටයි. 



 මාමලා සමග සුදුවේ හිනි පෙත්තට.





කිරඹ ඔයේ මල්කා සමග පාඩම් කල ඒ කාලේ සමහර දිනවල මට ඈ සමග පාඩම් වැඩ කිරීමට බැරි වෙයි. 


ඒ අපේ රාජු මාමත්, ලොකු මාමත් අල්ලපු ගෙදර සමරේ මාමත් නිසාය.

අල්ලපුගෙදර සමරසිංහ මාමා අපේ මාමලා දෙන්නා සොයාගෙන රෑ හතට අටට පමණ අම්මලා මහ ගෙදරට පැමිණේ . 

ඒ කාඩ් අතක් ගැහීම සඳහාය.  ඔවුන්ගේ කාර්ඩ් සෙල්ලමට හතර දෙනෙක් අවශ්‍ය වේ. 

ඔවුන් කරන්නේ ඕඹි ක්‍රීඩාවයි.හතර වන ක්‍රීඩකයා ලෙස මාව තෝරාගන්නා මේ මාමලා ටික නිසා  කුඩා මම සුදු අන්තුවෙකු වෙන්නට වැඩි කලක් ගත වුයේ නැත. 

හේරා සිලෙක්කේ... හාරත බුරුවා ආදී පද මාගේ ව්‍යවහාර භාෂාවට එකතු වන්නේ මේ දින වලය. 

මාස කීපයක් ගතවත්ම  මා පළපුරුදු බුරු කප්පිත්තෙකු වුයේ මාමලා තිදෙනාද පුදුමයට පත් කරවමිනි.


වගා සටනත් හෙමින් හෙමින් ඉදිරියට



මේ කාලයේ අපි එළවලු හැදුවේ කිරඹඔයත් මල්දෙනියත් බෙදෙන සිමාවේ තිබු කන් කුන් ආතලාගේ දනක් මඩේ එරෙන කුඹුරේය.  

මේ දිනවල මම සතියේ හැමදාම මල්කලා ගෙදර නොසිටි යෙමි.  එබැවින්  මා අපේ ගෙදර සිටි දිනවල හවස් කාලයේ අම්මාත් අක්කත් සමග කුඹුරේ වැඩ කලා මට මතකය. අපි මේ කුඹුරේ අල, තක්කාලි, බෝංචි සහ තක්කාලි වගා කළෙමු. පොඩි ගෝවා පාත්ති දෙකක්ද තිබුනා මට මතකය. 

අපේ කිරඹ ඔයේ මුත්තා මෙහි අසවනු නෙලන කාලයේ අම්මලාට හොරෙන් සියළුම එළවලු වර්ගවල සාම්පල  මා ලවා ගෙන්වා ගත්තේය. 

ඒ  අරලගංවිල නගරය කිට්ටුව විසු ඔහුගේසුදු දුවට යැවීමටයි. 

මමද මුත්තාගේ උපදෙස් පරිදි අම්මලාගේ අනුදැනුමක් නැතිව වුවද සියළුම එලවලු වර්ග සතිපතා මුත්තාට ගෙනත් දුන්නෙමි.

මේ කාලයේ කුඹුරේ අල රකින්නට ගියේ මමත් එකල නැවතත් අප නිවසේ සිටි සමන්ත අය්යාත්ය. අපේ තනියට පැලේ ගිය අනිත් සගයා වුයේ අපේ ටොමියාය.


ටොමියා නෑවීම




අපේ අල ලියැද්ද තිබුණේ කුඹුරේ උඩහ කෙලවරට වන්නටය. ඒ කන්දේ ගෙදර බණ්ඩාරේලාගේ කුඹුරට පහලිනි. 

හැමදාම පැලේ යන අපි මුණ ගැසෙන්නට  එන මිතුරන් පිරිසකි. 

ඒ  දෙහිවත්තේ සුජිත් , හෙළ තැන්නේ චුට්ටි, කන්දේ ගෙදර බණ්ඩාරේ ඇතුළු අසල පැල්වල සිටින කොල්ලෝ කල්ලියයි. 

ඔවුන්   සමග අපේ පැලේ උණුකරන තේ බී කයිවාරුවක් ගසන අපි පැය දෙකක් එසේ ගත කොට නින්දට වැටෙන්නෙමු. 

ඒ අපේ ටොමියා පැලේ මැද කණුවේ ගැට ගැසීමෙන් අනතුරුවයි. 


ටොමියාට චුටිටිලා, බණ්ඩාරේලා ඔරොත්තු දුන්නද සුජිත්ව පෙන්නන්න බැරිය. 

ඌ හව්.. හව් ... ගාමින් සුජිත්ට කඩා පනින්න්නේ තිදෙනාගෙන් අහිංසකම සගයා සුජිත් බව නොදැන විය යුතුය.


හැමදාම උදේ පාන්දරින් නැගිටින සමන්තත් මමත් කුඹුර වටේ ඇවිද බලන්නේ රාත්‍රියේදී සොර කමක් හෝ ඌරන් හාවුන් වැනි සතුන්ගෙන් වගා හානියක් සිදු වී ඇත්දැයි කියාය.

දිනක් අප දුටු දෙයින් හොඳටම කේන්ති ගත්තේ සමන්ත අය්යාය. 

උඩහ කෙලවරේ අල පාත්තියේ කොනකට ඌරෝ ගසා තිබුණි. ටොමියා වාත පිටකරමින් නිදියව්වේ යැයි බනිමින් උදේ පාන්දරම ටොමියාට කෝටු පාර දුන්අපි සිද්දිය අම්මාට අහු වෙන තුරු ඒ ගැන කතා නොකළෙමු.   

අපි දෙන්නා පැලේ එද්දී ටොමියා දම්වැල කින් ගැට ගසා රැගෙන එන්නේ මා විසිනි.  

කුඹුරට ඌරෝ ගැසූ දින පසුවදා මල්දෙණිය-සිරිමල්වත්ත පාර දිගේ පැමිණුන අප චමින්දලා කුඹුරේ නියර දිගේ ඉහලට එමින් සිටියෙමු. 

ටොමියා ගැන තවමත් තරහින් පසුවූ සමන්ත අය්යා මට යෝජනාවක් කළේය. 

"චුටි පුතා.. මේකා අපේ ගිනි මැලේ රස්නෙට හොඳට නිදියන්න පුරුදුවෙලා ...


" හොඳ වැඩක් කරමු අද.. මෙතන ඉඳන් තියෙන හැම වතුර වලකින්ම අපි ටොමියා නාවාගෙන යමු " 

ඒ කාලේ අපි ජේන් අක්කට අක්කා කිව්වේ අපේ අම්මලා කියන නිසාය .. ඒ වගේම අපේ අය්යලා මට චුටි පුතා කිව්වෙත් අම්මලා මට  කියන්නේ චුටි පුතා කියා නිසාය. 

මම ටොමියා පස්සා ගාතෙන් බිම වාඩිවී බෙල්ල පස්සට අදිමින් අදි මදි කරද්දී ඌ දන් වැලෙන් එල්ල එල්ලා වතුරට දමන්නෙමි.  


ටොමියා සට සට ගාමින් කන් පට සලන්නේ අපි දෙන්නාටද ජල බින්දු විසි කරවිමිනි. 


අවසානයේ පැලට ලඟා වූ අප ටොමියා කණුවේ ගැට ගසා  එදින ඌ අඩුවෙන් නිදා ගනීවි යැයි සිතා සිටියෙමු. 

එහෙත් ටොමියා පැලට ලඟා වූ වහාම සුපුරුදු පරිදි වක ගැසි නිදා ගත්තේ තම හොම්බ වලිගයේ සඟවා ගනිමිනි.