Wednesday, 24 June 2015

ඒ තීරණාත්මක දිනය



අපේ  අක්කා මගේ පෙරමගට පැමිණි එදා  උදේ හත හමාර වනවිට මම අපේ පාසැල වෙත ලඟා වීමි.

අරලගංවිල මහා විද්‍යාලයේ එල් හැඩයට පිහිටි ප්‍රධාන ශාලාව අපේ විභාග මධ්‍යස්ථානයයි. වන්නි, ගැට්ටා, ජාලිය , කණ්ඩුල මෙන්ම හරීන් සෝමරත්න ද උදෙන්ම ඇවිත් හා හා පුරා කියා විභාගයට මුහුණ දෙන්න බලා සිටිති.

අපි තැන තැන කල්ලි ගැසී අවසන් මොහොතේ වෙන සුදානම් වීම් කරමින් සිටියෙමු.
විභාග ශාලාධිපති තුමා අපි හැමෝටම ප්‍රධාන ශාලාවට ඇතුල් වන්නැයි උපදෙස් දුන්නා පමණි.

" සතර වට සිය බලය පතුරා....යනාදී වශයෙන් මගේ ඔළුවේ අර පනංගල මාමා දුන් කවිය කියවෙයි. ඉස්සරහ දොරෙන් ශාලාවේ ඇතුලට ගිය මා 7759 නම් විභාග අංකය තිබු මේසය වෙත ඇදුනෙමි. එය තිබුනේ ශාලාවේ මැදට වන්නටය.

සිංහල ප්‍රශ්න පත්‍රය තිබුණු එදා මට ලොකු අපහසුවක් තේරුණේ නැත. මනුතාපයේ අවස්ථා සම්භන්දය ආදිය ඉතා ලෙහෙසියෙන් ලියවුනා යැයි මම සිතුවෙමි. එදා සිදුවූ මතකයේ සදා රැදුණු සිද්ධිය සිදුවුයේ. දිනයේ විභාගය අවසන් වන්නට විනාඩි විස්සක් පමණ තිබියදීය.

"ටක්.. ටක්... ටක්...."  හඬ ඇසෙන්නේ  මගේ වම් පසින් මදක් ඉදිරියට වන්නට තිබුණු මේසයකිනි.  අපි සාමාන්‍යයෙන් විභාගය ලියද්දි ඔළුව උස්සන්නේ වත් නැත. කෙසේ වෙතත් සද්දයේ තරම නිසා ඉබේම හිස එසවිණි.
ඒ හඬ එන්නේ මාලිගාවත්ත ලී මොලෙන් නොව අපේ සගයෙක්ගේ මේසයෙනි.

විභාග ශාලාවේ සේවයේ නියුතු ගුරුතුමෙක් ඒ මේසය වෙත දිව එයි.  මෙතෙක් වෙලා සද්ද නැතිව සිංහල ප්‍රශ්න පත්‍රයට උත්තර ලියු හරීන්  සෝමරත්න තම හඬ අවදි කළේය.

"සර්... මට උත්තර වැරදුනා.."

තම අත ඇති ඔරලෝසුව දෙස බැලු ගුරුතුමා.  "පුතා තව විනාඩි විස්සයි තියෙන්නේ කමක් නෑ ඔය උත්තර පත්තරේම දෙන්න "
ගුරුතුමා හරීන් කවුදැයි හරියටම දන්නේ නැති පාටය.

"නෑ.. නෑ..මට අලුත් පේපර් එකක් දෙන්න .. මං ටක් ගාලා ලියලා දෙන්නම්" හරීන් පවසයි.

අවසානයේ ගුරුතුමා අකමැත්තෙන් එකඟ වෙයි..

කිසි ගානක් නැතිව නැවතත් ලියන්නට පටන් ගත් හරීන් අපත් සමගම තම උත්තර පත්තරය ගුරු තුමාට බාර දුන්නා මතකය.

අපි හැමෝම දැන් බලා සිටින්නේ හරින්ට ඩි අට අහිමි වෙයිද නැත්ද යන්නයි.  අහිමි වුවොත් වෙන්නේ සිංහල නිසා බවද අප දැන සිටියෙමු.

විද්‍යාව ප්‍රශ්න පත්‍රය දා

විභාගයේ දෙවැනි දවසේ පැවැත්වුනේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයයි. මාපා සර්ගේ පන්තිය අතර මග නැවත වූ මමත් එහි දිගු කාලින සාමාජිකයකු වූ කරඹේත් අපි හැමෝටම වැදගත් දවසකි මේ.

මාපා සර් ඇයි ඒ.. ඒ ඇයි.. යනුවෙන් හඳුන්වමින් අපට කියා දුන් විද්‍යාත්මක හේතු අපි දෙන්නටම මතකය.

 මම අපේ එළවලු වගාවෙන් අත්දැකීමෙන් ලත් විද්‍යාත්මක හේතු දැනුමද අද පරික්ෂා කරනු ඇත.

අලුතින් තක්කාලි පැල හැදු පසු තුන් වරක් වතුර දාන්නේ ඇයි? ..
.
ඒවා වැරැල්ල කොළ වලින් අඩුම ගානේ දවස් තුනක් වත් වසා තබන්නේ ඇයි? ...

වදුලේ හැදෙන පැලයක් ඉර එලිය දෙසට නැමෙන්නේ ඇයි?

වැනි මෙකි නොකී විද්‍යාත්මක හේතු මම ප්‍රයෝගිකවම අත් විඳි ඒවා විය.

ප්‍රශ්න පත්‍රය අතට ලැබුනා මතකය. දිගට හරහට ලියන්නට ගත්තෙමි.

විද්‍යාත්මක හේතු කොටසට ලඟා වුනා විතරයි.. විභාග ශාලාවේ වැඩ කරන සර් කෙනෙක් මම ලියන හැටි උරහිසට උඩින් බලා ගෙන සිටි.. මේ කැල්ල නම් කජු කනවා වගේ ලේසියි. මම සිතුවෙමි.

සර්ට පේන්නත් එක්ක හේතු පහද පහදා ලිව්වෙමි.

ටික දිනකට පසු කන්තෝරුවේදී තාත්තා හමුවන අමුත්තෙකි.

"නාමරත්න මහත්තයා.... පොඩි පුතා නම් ඉහලින්ම විභාගේ පාස් වෙයි. මම එයා විද්‍යාව පේපර් එක ලියන දවසේ ශාලාවේ හිටියා. මිනිහා ලිව්වා ලිවිල්ලක් ... මාර දක්ෂයි නේද?"

ප්‍රතිඵල ඇවිත්.

ප්‍රතිඵල නිකුත් වූ ආරංචිය සිසුන් අතර පැතිර ගියේය. අපි හැමෝම කාර්යාලය ළඟ ගැවසුණේ කට්ටියගේ ප්‍රතිඵල බලන්නටත්, ඩි අටේ ඒවා කියක් තිබේද බලන්නත්ය.

හැමෝම සිතු පරිදි හරින්  ඩි අටක් ලබා සමත් වී තිබුණි. එදා විනාඩි විස්සෙන් ලියු සිංහලයටද ඔහුට විශිස්ට සම්මානයක් ලැබී තිබුණි.

කණ්ඩුල සහ මාලිනි රත්නායක ඩි හතක් ගත් සිසුන් දෙදෙනා වුහ.

මට තිබුණේ ඩි පහක් හා  සි තුනකි. සිංහල , ඉංග්‍රීසි  හා ගණිතයට මට තිබුණේ සි සාමාර්ථයන්ය.

ආරංචි වූ හැටියට ඌව පළාතේ විද්‍යාවට ඩි තිබුණේ  අටක් හෝ දහයක් වැනි ගණනකි  . ඒ අය අතර මාත් හරිනුත් සිටි බව අදටත් මා මතකයේ රැඳී  තිබේ.

ඩි හයේ පිරිස් අතර ගැට්ටා සහ  වන්නි සිටියා මට මතකය. කරඹේ ගත්තේ ඩි තුනයි සි පහයි බව මාගේ හැඟීමයි.




Tuesday, 23 June 2015

පළමු පිම්ම හෙවත් සා. පෙ. (තුන්වන කොටස) - විභාගය අතලඟ



අපේ අම්මා තරම් අපේ ඉගෙනීම ගැන උනන්දු වූ වෙන කෙනෙක් මා දැන සිටියේ නැත. ඇය අපේ සමන්ත පාඩම් කරන්නට නැගිට්ටවන්නේ උදේ පාන්දර තුනට පමණය. කොච්චර උනන්දු ශිෂ්‍යයෙක් වුනත් අපේ අය්යා උදේට නැගිටින්නේ හරිම කම්මැලිකමකිනි.

දිනක් අපේ අම්මා  ඔරලෝසුවේ බෙල් වදිද්දිත් ගණන් නොගෙන සිටි එකට සමන්තට තරවටු කල හැටි මට තාමත් මතකය.

" සමන්ත.... හොඳින් කියන්නේ උඹ නැගිටිනවද නැද්ද ?"

කියමින් ඇය ඇඳේ මෙට්ටය ඔසවනවා දුටුවෙමි.

ටික වෙලාවකින් ඇඳේ පහලම හරියෙන් ඇඳ පොල්ලක් ගත් ඈ... මට එහායින් ඇඳේ ගුලි වී සිටි අය්යාට ඉන් තඩි බෑවේ පාඩම් කිරීමේ අගය හොඳින් දැන සිටි නිසාය.

මේ සද්දයෙන්ම උදේට අවදිවෙන මම වැඩක් තිබුනත් නැතත් අය්යා එක්කම පාඩම් කරන්නට පුරුදු වී සිටියෙමි.

විභාගය අතළඟ තියෙද්දත් වගා සටනේ.


අපේ අම්මා ඇඳ පොලු අරන් හරඹ කරන්නේ අපට තිබු බලවත් ආදරය නිසාමය.

ඒ  දොස්තරලා බවට පත්වූ බොහෝ දෙනෙකුට කුඩා කල නොලැබුණු අත්දැකීම්  අප‍ට ලැබුණු නිසා විය යුතුය.

ඒ කාලේ ඉස්කෝලේ ඇරිලා ගෙදර ආ ගමන් අපි එළවළු කොරටුවේ වැඩට යන්නෙමු.

සමහරවිට රෑ  හත -අට වෙන තුරු නිවසට නොපැමිණෙන අපට නිදා ගන්නට පෙර පාඩම් කරන්නට අවස්ථාවක් නොලැබේ.

සෙනසුරාදා , ඉරිදාත්  මුළු දවස පුරාම වාගේ අපි වගා සටනේ නිරත වූයෙමු.

තම දු දරුවන් මෙවැනි පරිසරයක හැදෙන්නට ඉඩ හැරිය  අපේ  අම්මා ගුණමකු කාන්තාවක නොවේ.

ඇය අප වෙනුවෙන් දුටු සිහිනයේ රැඳී තිබුනේ කවදා හෝ තම පුතුන් රටේ ලෝකයේ ඉහළ තැන් වලට යැවීමේ බලාපොරොත්තුවයි.

විභාගයට සෙත් කවියක්


අම්මා මට ඒ තරම් සැර වැර නොකළේ මගේ ඇති කිසි හොඳ කමක් නිසා නොවේ. මම දහයේ පන්තියට එනවිට මා කල යුත්තේ කුමක්දැයි අය්යා විසින් මට ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වා තිබුනේය. එහෙත් මම විභාගකදී කුමක් කරාවිදැයි කිසිවෙකුට විශ්වාස කල නොහැකි තත්වයක් තිබුණු බව රහසක් නොවේ.

අවශ්‍ය වන්නේ කුමක්ද යන්න අපේ අම්මා හරියටම දැනගෙන සිටියාය. ලොකු පුතා මෙන් පොත් ගුල්ලෙකු නොවූ මේ දඟයාට ඉල්ලා සිටිය යුත්තේ "දෙවියන්ගේම පිහිට" පමණි.

අම්මා  අ.පො. ස. (සා. පෙ. ) විභාගයට ටික දවසක් තිබියදී මම පනන්ගල පැත්තේ ගෙදරටකට එක්කන් ගියාය.

එහි සිටියේ  සුදු රෙදි ඇඳ ඉනේ සහ හිසේ රතු පටි බඳින මාමා කෙනෙකි.

මගේ උපන් වෙලාව බැලු  ඔහු .....

"පුතේ මෙන්න මේ කවිය හොඳට පාඩම් කර ගන්න.

මේක අද ඉඳලා හැම කෙම්මුර දවසකම ගෙදර පහන තිබ්බට පස්සේ කියන්න ඕනෑ."

ඔහු අදහන්නේ කතරගම දෙවියන් බවත් මගේ වෙලාව අනුව මගේ ඉටු දෙවි වන්නේත් උන් වහන්සේ බවත් පැවසුවේය.
මෙයට අමතරව විභාග ශාලාවේ දොරටුවෙන් ඇතුල් වෙන කොටම ඒ කවිය හිතෙන් කියන ලෙසත් උපදෙස් ලැබිණි.
කොහොමටත් දින පතා ගෙදර පහන තියන රාජකාරිය පැවරී තිබුනේ මටය.

එදා සිට අද දක්වාම මම ඒ මාමා දුන් සෙත් කවිය පහන තියද්දි මෙනෙහි කරන්නෙමි.

මගේ විභාගය දා


ඒ ශීතල දෙසැම්බරයේ තවත් එක් දවසකි. අම්මා වට කරගත් අපි පස්දෙනා සිටි කැදැල්ල වටා ඝන මිදුම් වලා වන් රැඳෙන්නේ මේ කාලයටයි.
එදා උදෙන්ම අවදිවූ අම්මා ...

"චුටි පුතා මේ වැදගත් දවසේ දෙවියන් බුදුන් සිහි කරලා යන්න ඕනෑ" කියා මාව ඒ සඳහා යොමු කලාය.

"කවුරු මගේ දරුවාගේ ඉස්සරහට ඒවිද දන්නේ නෑ බස් එක ලඟට යන අතරේ.." කියා මදක් කල්පනා කල ඇය අක්කා දෙසට හැරුණාය.

" චුටි අර කලේ හෝදලා අරන් උදෙන්ම ළිදට පලයන්"

" මල්ලි ගෙදරින් එලියට බහින වෙලාවට වතුර කලෙත් අරන් එයාගේ ඉස්සරහට එන්න ඕනේ"

කලේට දමන්නට කියා සුදෝ සුදු පිච්ච මල් අහුරක් අක්කා අතට දෙමින් අම්මා කීවාය.

අම්මා සිය අසීමිත ආදරය කැටි කොට හැදු කිරිබතින් සප්පායම් වූ මා දැන් ගමනට සුදානම්ය.

දකුණු පය පෙරට තියා මිදුලට බැස්සෙමි.

" ඩි අටක්.. ඩි අටක්" කියමින් චුටි නංගි හිකි හිකි  ගා සිනහවෙයි.

"උඹ කට පියාගෙන හිටපන් මගේ කොල්ලට වරදින්නේ නෑ ".

එදා සමන්ත සහ තාත්තා ගෙදර සිටි බවට මතකයක් ම සිතේ රැඳී නොමැත.

ඔවුන් බොහෝ විට වෙන කොහේ හෝ සිටියා විය හැකිය.

අපේ දෙළුම් පැල දෙක (ඩිංගිරි බන්ඩේ මාමා අය්යටයි මටයි දුන්නු) පසු කර මම අසල්වැසි  #$% අක්කලා ගෙවල් වලට උඩින් පල්ලම් බැස්සෙමි.

අම්මාට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වුයේ මගේ ඉස්සරහට #$%  අක්කගේ දුව  @#$%  වාගේ කෙනෙක් එන එක වලක් වන්නටයි.

අවුරුදු දහයක් පල්ලම් බැස්ස පාර අද මහා වෙනසක ලකුණු පෙන්වයි.

මම අදටත් දකින්න ආසම කරන සුදෝ සුදු දත් දෙපලත් දැකුම්කළු සිනහවත් මා ඉදිරියට එයි.

දිගු වරලස කරල් දෙකට ගොතා සිය උකුලේ රැඳුනු කල ගෙඩියත් රැගෙන එන කළු එහෙත් දැකුම්කලු යුවතියකි.

මා මුණ ගැසෙත්ම තම උකුලේ තිබු කලයට අත දැමු ඈ ඉන් සමන් පිච්ච මල් කීපයක් රැගෙන විහිලුවට මෙන් මගේ මුහුණට දමා ගැසුවාය.

චුටි නංගි වාගේ ඔලොක්කුවටම  නොවුනත්  ඈ මට කට පුරා සිනාසුණාය.

හැමදා   මතකේ රැඳෙන ආදරණිය වූ සිනහවක් රැගෙන මේ එන්නේ මගේ සදාදර අක්කණ්ඩියයි.


Monday, 22 June 2015

පළමු පිම්ම හෙවත් සා. පෙ. (දෙවන කොටස)

දියමන්ති ටීචර්ලා ගෙදර රාත්‍රී ඉංග්‍රීසි පන්තිය

ගැට්ටලා ඇතුළු  අපි ඩි අටක් ගන්න දඟලන මේ කාලයේ අපේ අය්යා සමන්ත උසස් පෙළ සමත්ව ගෙදර සිටියා මතකය. ඔහු මුදුන් හෙළ  ටයර් කඩයක වැඩ කලේ මේ දිනවලය. අය්යත් සමගම වාණිජ අංශයෙන් රුහුණ විශ්ව විද්‍යාලයට තේරී සිටි අයෙක්ද අපේ ගමට අසන්න ගමක සිටියේය. ඒ සඳ තැන්නේ හේමසිරි අප්පුහාමි නොහොත් පැටිස් අය්යාය.

මේ කාලයේ අපේ අය්යටත්  හේමසිරි අය්යටත් ඉංග්‍රීසි උගන්වන්නට ස්වේච්චාවෙන් ඉදිරිපත්වූ අයෙකි. ඒ අපිට තුනේ පංතියේදී ( කිරඹ ඔය විද්‍යාලයේ ) ඉංග්‍රීසි ඉගැන්වූ දියමන්ති ටීචර් ගේ මහත්තයා ය. ඔහු ඒ කාලයේ තම ඉංග්‍රීසි භාෂාව පිළිබඳව මාස්ටර් උපාධිය අවසන් කර නිවසට වී සිටි අයෙකි.

අය්යලාගේ මේ ඉංග්‍රීසි පන්තියට මටත් සහභාගී වන්නට අවස්ථාව උදා වුයේ  අහම්බයකින්ම නොවේ. ඒ කාලේ අපේ සමන්ත කල ඕනෑම දෙයකට මාවත් ගාවා ගැනීම සිරිතක්ව තිබිණි.  ඒ වාගේම මම දියමන්ති ටිච්ර්ගේ කිරඹ ඔය විද්‍යාලයේ හිටපු හොඳම ගෝලයෙක් වීමද මෙයට බල පෑවේය.

ඒ කාලේ තම නිවසටම කැඳවා අපි තුන්දෙනාට නොමිලේ ඉංග්‍රීසි ඉගැන්වූ ගාමිණී ෆොන්සේකා මහතා දැන් ඉංග්‍රීසි භාෂාව පිලිබඳ මහාචාර්ය වරයෙකි. ඔහු වත්මන් රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ අංශ අධිපති ලෙස කටයුතු කරයි.

කිරඹ ඔය -දෝව අතර  මහා රෑ සංචාරය

අපේ පන්තිය පටන් ගත්තේ ගාමිණී  සර්ට විවේක තිබු වෙලාවට මිසක් අපට ඕන වෙලාවකට නොවේ. නිකන් දෙන අශ්වයාගේ දත් හොයන පුරුද්දක් සමන්තට වත් මටවත් නොතිබීම අපේ පෙර වාසනාවකි.  මෙයටම තකට තක මෙන් සිටි අනිත් පුද්ගලයා හේමසිරි අය්යාය. ඔහුත් ඕනෑම දේකට ඔට්ටු අපි වාගේම කොල්ලෙකි.

අපි තුන්දෙනා දෝවේ කොලතැන්න කන්දේ බැවුමේ තිබු දියමන්ති ටීචර් ලා ගෙදරට ලඟා වන්නේ රාත්‍රී හත හමාර වන විටයි.  නමය හමාර විතර වෙන තෙක් ගාමිණී සර් අපට ඉංග්‍රීසි කියා දෙයි. ඒ අපේ ටිචර් ගේ ආදරණිය තේ පැන් සංග්‍රහය හෙම ලැබීමෙන් අනතුරුවයි.

ඇත්තම ඇත්ත කියනවා නම් ඒ ඉගෙනගත් දේවල් ගැන මට දැන් කිසි දෙයක් මතක නැත ( ඉංග්‍රීසි සාහිත්‍යට ඔහු විශේෂ ඇල්මක් දැක්වූ බව මට මතකය.) . එහෙත් දෝවේ සිට කිරඹ ඔය දෙසට ආපසු එද්දී අප කල හපන්කම් නම් අද ඊයේ වගේ ම සිතේ රැඳී ඇත.

මෙයින් ම සිත් ගත් එක් රාත්‍රියක් මා ඔබ හමුවේ තබන්නෙමි.  ඒ කාලේ නැගී එන ශිෂ්‍යයන් ලෙස අපි කොතරම් විනෝද වුවාදැයි සිතා ගැනීම ඔබට බාර කරමි.

සුපුරුදු පරිදි අප තිදෙනා  නිවෙස් බලා එමින් සිටියෙමු. අපිට එලිය දුන්නේ ඉටිපන්දමක්  පොල්කට්ටක් ඇතුලේ ගසා හදා ගත් දේශීය පහනකිනි.

අපේ සමන්ත ඒ කාලේ මටත් වඩා පෙනුමෙන් පොඩි කොල්ලෙකි. එහෙත් හේමසිරි අය්යා හතර රියනක් උස දිගන්චියෙකි.  ඒ මදිවාට හේමසිරි පළඳින්නේ හෙන තඩි බුට්ස් දෙකකි.
ගම් තුලානේ රෑ පානේ ඇවිදින කොට වන අකරතැබ්බ අතර ප්‍රධාන තැනක් ගන්නේ බල්ලන්ගෙන් සිදුවන කරදරයයි.
හැම ගෙදරකම වාගේ ඉන්න බල්ලෝ අපට බුහ්.. බුහ්.. ගා පොඩි සද්දයක් දැමීම සාමාන්‍ය දෙයකි.

 එහෙත් අප කිරඹ ඔය හරියට ලඟා වීමත් සමගම හමුවන පියුම් මාමලාගේ බල්ලා එහෙම එකෙක් නොවිය.

ජේ. ආර්. යන සුරතල් නාමයෙන් හැදින්වුණු මේ බල්ලා අපි තුන් දෙනා පන්න පන්නා බුරන්නට පුරුදු වී සිටියේය.
මේ කියන දවසෙත් ජේ. ආර්.  අපේ පස්සෙන් එන්නට විය. අපි හේමසිරි අය්යා පියුම් මාමලා ගෙවල් පැත්තට වෙන ලෙස පාරේ ගමන් කරමින් සිටියෙමු.

පියුම් මාමගේ ගේ තියෙන්නේ මහා පාරෙන් අඩි දහයක් දොළහක් පහලිනි. පාරත් ගෙපොලත් වෙන් කරන්නේ එතරම් උස්‌ වේල්ලකිනි.

දැන් බල්ලා මහා පාරේ අපේ පස්සෙන් පන්නන වෙලාවයි. ඉවසීමේ සිමාව ඉක්මවා ගිය හේමසිරි අය්යා ..

"හිටපන් උඹට"

කියමින් අර තඩි බුට්ස් දැමු කකුලෙන් වේගවත් පා පහරක් ජේ. ආර්.  වෙත එල්ල කළේය.

කුන්.. කුන්.. යැයි හඬක් නැගිණි . බල්ලා පාරේ කොහෙවත් පේන්නට නැත.

ජේ. ආර්.  මලාවත්දෑයි භය වූ අපි ටිකක් විපරම් කර බැලුවෙමු. කළු පාට ගුලියක් පියුම් මාමලා මිදුලේ ඒ මේ  අත පෙරළෙනවා පෙනෙයි.

දුවමු.. දුවමු.. කියමින් අපි පස්ස නොබලා ගෙවල් පැත්තට ගියෙමු.

පසුදා අපි මාර ගස් වැල්ල කුඹුර දෙසට යන විට මම ඉතා ඕනෑකමෙන් පියුම මාමලා ගෙවල් දෙස බැලුවෙමි. හේමසිරිගේ පා පහර කෑ ජේ. ආර්.  තාමත් ජිවතුන් අතරය.



Sunday, 21 June 2015

පළමු පිම්ම හෙවත් සා. පෙ.

අපි දැන් වදෙන් පොරෙන් දහයේ පන්තියට ( එකොළහ වසරට ) පැමිණ සිටින වකවානුවයි.  මේ වන විට කවිඳුට සඳමාලි ලා වැනි චරිත  ඉන්නේ කොහේද කියා වත් ගානක් නැත. ඔළුවේ තිබෙන්නේ එකම දෙයකි. ඒ අවුරුද්ද අවසානයේ එන අ. පො. ස. (සා. පෙ.) විභාගයයි.

එකම අරමුණක් හෙවත් ඩි අටක් කරා.

අරලගංවිල මහා විද්‍යාලයේ ඒ සිට ඩි දක්වා සියළුම පන්තිවල සිසුන් අධික තරගයක යෙදී සිටින කාලයයි මේ. අපේ කොටසේ සිටි ගැට්ටා, කණ්ඩුල ඇතුළු අපි සැම සමාජ අධ්‍යයනය,  බුද්ධ ධර්මය වැනි විෂයන් ගැන පවා උනන්දුවෙන් පසු වුනෙමු.

ඒ කාලේ අපි ගණිතය හැර කිසිම විෂයයක් සඳහා උපකාරක පන්ති ගියේද නැත. අපේ  අමතර  ගණිතය ඉගෙන ගත්තේ අරලගංවිල ලංකා බැංකු ගොඩනැගිල්ලේ පන්ති පැවැත්වූ දිලිත් සර් ගෙනි. දිලිත් සර් අපේ පාසලේම ඉගැන්වූ ගුරුවරයෙකි.

ජාලියලා කණ්ඩායම   " ඌවේ ශ්‍රී ගණිත මාන  දීලිත් මිස්ට තෙන...  ගණිත පොතත් පසෙක තබා රේණු ලඟට ගෙන ... යනුවෙන් සීපද ගෙතුවේ මේ දිලිත් සර්ටය.

දිලිත් සර්  පංති පැවැත් වූයේ සවස් වරුවේය. සවස පාසැල අරුණු පසු බිංගේ උඩ කඩේට යන අපි පාන් කාලක් හා වඩේ එකක් ශත හැත්තෑ පහකට මිලදී ගන්නෙමු.

 හාල් මිටියක් හෝ සිනි මිටියක් උඩට වී එය සප්පායම් වූයෙමු.  අනතුරුව   තට්ට සොමේගේ කරවනැල්ල බස් එකෙන් අරලන්ගන්විල නගරයට සේන්දු වන අප ලලිත් සර්ගේ කැලෑසියේ ස්ථාන ගත වන්නෙමු.


ගණිතයට පන්ති ගියත් මම විද්‍යාවට පන්ති නොයා යුතු යැයි තීරණය කරගෙන සිටියෙමි. එහෙත් අපේ පංතියට අළුතින් පැමිණි සොමිල කරඹවත්ත මට දවසක් යෝජනාවක් ගෙනාවේය.

"මචං කිටී නියම විද්‍යා පංතියක් තියනවා යමුද? "

" මම විද්‍යාව තනියෙන් කරනවා කියලා හිතුවේ " මම කීවෙමි.  "උඹ වරෙන්කො යන්න මාර දක්ෂ කෙල්ලෝ ටිකකුත් එනවා " සොමිල පවසන්නේ හොඳ තරඟකාරී පරිසරයක් ගැනයි.

ඒ බාලිකා පාසැල් දෙකක කෙල්ලන්ගෙන් පිරුණු විද්‍යා පංතියක් පිළිබඳවයි. එය පැවැත් වුනේ අරලගංවිල සුදු නෙළුම් බාලිකා  විද්‍යාලයට යාබද ගොඩනැගිල්ලකයි.

ගුරුවරයා මාපා සර් නම් නාඹර තරුණයෙකි. මාපා ගේ විද්‍යා පන්තියේ සිසු සිසුවියන්  හැත්තෑ පහක් පමණ සිටියහ. ඒ  අතර එහි කොල්ලන්ට සිටියේ සොමිලත් තවත් එක් අයෙකුත් පමණි.

සොමිලගේ පෙරැත්තය මත එහි ගිය මට ප්‍රථම වතාවට කෙල්ලන් බහුතරයක් සිටි පන්තියක් ඉගෙන ගන්නට අවස්ථාව උදා විය.

සොමිල කිව්වා සේම අරලගන්විල තිබු අනිත් බාලිකාවේ  (සුජාතා විද්‍යාලයේ) සිටි සුරේකා නම් කටකාර කෙල්ලෙක් මෙහි සිටියාය. ඇය මාපාගේ විද්‍යාත්මක හේතු පැහැදිමේ කොටසට පැන පැන උත්තර දුන් හැටි මට තාමත් මතකය.

සුරේකා පසු කලෙක අපත් සමග එකට මහා විද්‍යාලයේ උසස් පෙළ පන්ති වල සිටියත් ඇය සරසවි වරම් ලැබුවේ නැත.
ටික දවසක් මාපාගේ පංතියට ගිය මට මාසිකව ගෙවන්නට සිදුවූ රුපියල් විසි පහ හැම මාසෙම තාත්තාගෙන් ලැබුනේ නැත. මම ඔහු මට මුදල් දුන් මාස වලදීත් මාපාට මුදල් නොගෙව්වෙමි. ඒ කඩින් කඩ දෙනවාට වඩා නොදීම සිටීම හොඳ යැයි මට සිතුන බැවිනි.
ඇත්තටම මාපා සර් උගන්වන දේවල් මට පෙළ පොත කියවීමෙන්ම තේරුම් ගත හැකි විය.

දවසක් මම සොමිලට මෙසේ කිව්වෙමි.
"මචං මාපා කාරයා කරන දේ මටත් කරන්න පුළුවන්. විද්‍යා පොතම අකුරක් නෑර ආපහු උගන් වන එක".

"මම ලබන සතියේ ඉඳන් පන්ති එන්නේ නෑ." කිව්වා වගේම  මම දහයේ විභාගය තෙක්ම ආයේ පන්ති නොගියෙමි.

 සොමිල නම් උනන්දුවා

ඉගෙනීමට තද බල ආශාවක් දැක්වුවද සොමිල කරඹවත්ත අපේ උනන්දු ගැන්සිය මෙන් පන්තියේ මුල් තැනට ආවේ නැත. ඔහු ඉංග්‍රීසි වලට තේරුණේ තාබ්රු සර්ගේ පන්තියට නොවේ.

අද විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙකු සහ අංශ ප්‍රධානියෙකු වන කරඹේ එච්චර දුරක් යනු ඇතැයි අපි කවුරුවත් හිනෙකින්  වත් හිතුවේ නැත.

එහෙත් සොමිල ඉන් පසුබැස්සේ නැත. වර්තමානයේ ඔස්ට්‍රලියාවේ ඉංජිනේරුවෙක් ලෙස වැඩ කරන සිසිතට ( ඒ කාලේ අපේ පංති සගයා) සොමිල යෝජනාවක් ගෙනාවේය.

"මචං අපි ඉංග්‍රීසි බැහැ කියලා පස්ස ගහලා හරියන්නේ නෑ. කොහොම හරි තාබ්රු සර්ගේ පන්තියට පැන ගන්න බලමු. මම යනවා සර්ව හම්බවෙලා මේ ගැන කතා කරන්න. "
පසු දිනෙක සිසිත වෙත ලඟා වෙන මදක් හඬ පහත වූ එහෙත් තම උනන්දුව එසේම හඬේ රැඳුනු ශිෂ්‍යයෙකි.

"වැඩේ  හරි ගියේ නෑ බන් තාබ්රු කාරයා අපිව පන්තියට ගන්න බෑ කිව්වා" කරඹේ බලාපොරොත්තු බිඳ වැටුණු හඬකින් කියයි.

"එහෙම කියලා අපි පස්ස ගහලා හරියන්නේ නෑ . අපි ටික අපේ ගෙදරට එකතුවෙලා වෙනම ඉංග්‍රීසි කරමු."

කරඹේ සහ සිසිතලා ( දෙවන පෙළ ඉංග්‍රීසි සිසුන්) නව ඉංග්‍රීසි ඉගෙන ගැනීමේ ව්‍යාපාරයක් අරඹන්නේ එලෙසිනි.


Saturday, 30 May 2015

බ/ කිරඹඔය විද්‍යාලයේ නව විදුහල් පති සහ අපි.



බ/ කිරඹ ඔය විද්‍යාලයට නව විදුහල් පති කෙනෙක්.



පසුගිය සතියේ මා කණ වැකුණු ආරංචියක් නිසා මට මුලින් සතුටකුත් දෙවනුව කනගාටුවකුත් ඇති වුවා මතකය.  මගේ අපමණ සතුටට  කාරණය  වුයේ කුඩා කාලයේ අපත් සමග එකට පාසැල් ගිය සරණ සිරි අය්යා නව විදුහල් පති ලෙස කිරඹ ඔය විද්‍යාලයට  පත්වීමයි.

ඒ කාලේ සරණ සිරි අය්යා පාසැල් ගියේ මාත් සමන්ත අය්යාත් සමග එකම පාසැල් බසයෙනි.

දඹදිව විසු අසිත තවුසාට සිදුවුවා මෙන් එකවරම කනගාටුවකුත් මා සිතට පැන නැගුණි.

එයට හේතුව වුයේ සරණේ පාසැලට පත්වූ දිනයේම ගම් වාසී ගුරුවරයෙක් ඇතුළු පිරිසක් එයට විරුද්ධව පෙත්සමක් ඉදිරි පත් කිරිමයි.

සරණේ ගමේ එකා නිසා ගම්මු අකමැති වුවා වත්ද?

කෙසේ වෙතත් විරුද්ධ වුවන් අතර විශ්‍රාම ගිය රජතුමා නැවත ගෙන්වන්නට වලිකන පිරිස් ප්‍රමුකත්වය ගෙන ඇති බවයි ආරංචි වන්නේ.

සරණේ අය්යාත් අපේ සමන්ත අය්යාත් එකම උපන් දිනයකට හිමිකම් කියන්නෝ වෙති.

අපේ අම්මා සමන්ත හම්බ වෙන්න රෝහලේ ඉඳිද්දී එහා ඇඳේ හිටියේ සරණේ අය්යලා අම්මා බව මා අසා තිබේ.

එලෙස එකට උපන් මේ දෙදෙනා  පසුකාලීනව එක ළඟ පන්ති දෙකක ඉගෙන ගත් අය වෙති.  එකම පන්තියේ නොවී එක ළඟ පන්ති වලට වැටුනේ කෙසේදැයි අයෙකුට ප්‍රශ්නයක් ඇති විය හැකිය.

සමන්ත කිරඹඔය විද්‍යාලයට ඇතුල් වූ හැටි


ඒ කාලේ කිරඹ ඔය විද්‍යාලයේ විදුහල් පති තුමා ලෙස සිට ඇත්තේ රණසිංහ මහත්තයාය.  ඔහු පසු කලෙක කණිස්ටයෙදී චමින්දත් මමත්  වේවැල් පහරට බදුන් කල විදුහල්පති වරයාය.

රණසිංහ මහතා අපේ සමන්ත අඩු වයසින් කිරඹ ඔය  ඉස්කෝලේ හෝඩියේ පන්තියට  බාර ගත් දිනය  ගැන අම්මා සිහි කරයි.

 ඒ එදිනම සරණ සිරි අය්යාද රැගෙන ඔවුන්ගේ දෙමාපියන් ඉස්කෝලෙට පැමිණීම නිසාවෙනි.

රණසිංහ මහත්තයා සමන්ත බාර ගත්තත් සරණ සිරි බාර ගෙන තිබුනේ නැත.

එමෙන්ම අද මෙන්ම එදත් පොත පතේ වැඩ වලට දක්ෂයෙකු වූ  සමන්ත double promotion ලබා සරණ සිරිට වඩා එක පන්තියක් ඉහලට ගිය බව මා අසා තිබේ.

කෙසේ වුවත් අද සමන්ත වත් මම වත් මල්දෙණිය-කිරඹඔය පළාතකවත් නැත.

එහෙත් සරණ සිරිට ස්වර්ණමය අවස්ථාවක් උදා වී තිබේ. ඒ අපි සැම මුලින්ම අකුරු කල පාසලේ විදුහල් පති වීමේ අවස්ථාවයි.

සිසුන් නොදැන සිටියත් දෙමව්පියන් විසින් ඇති කල සිසු අරගල


අපේ අම්මලාට සමන්ත වගේම සරණේ ගේ දෙමව්පියන්ට ඔහු උගතෙක් කිරීමේ අවශ්‍යතාවය තදින්ම තිබෙන්නට ඇත.

සරණේ අය්යාගේ තාත්තා අපි බන්ඩේ මාමා ලෙස හඳුනා ගෙන සිටියෙමු. ඔහු අපේ අසල්වැසි ජේන් අක්කා ගේ බාල මලණුවන්ය.

බන්ඩේ මාමා ජේන් අක්කා වගේම කාටත් ඉතා ලෙන්ගතු මනුස්සයෙකි. ඒ කාලේ අම්මත් මමත් ඉරිදා පොලේ ගිය විට අරලගංවිල දී අපට හමුවන හිතවතෙකි.

"ආ..විමලා නංගි කොහොමද ?" බුලත් කහට පෙන්වමින් කට පුරා හිනාවෙන   ඔහු අසයි.   "ඔහේ ඉන්නවා අය්යා.." අපේ අම්මා කියයි.

" මේ චුටි පුතත් ඇවිත් ඉන්නේ සන්දේ පොලට..."  "යමුද තේ එකක්  බොන්න? " ඔහු අපට ආරාධනා කරයි.
අරලගංවිල "හිදායා" හෝටලයට  ගොඩවෙන අපි  සීනි බනිස් සහ කිරි කහට වලින් සප්පායම් වන්නෙමු. ඒ හිතවතාගේ  අනුග්‍රහයෙනි.


අද වගේ කාලෙක නම් ඔහුගේ බිරිඳ ඔහුට මහා ගෝරනාඩුවක් නගනු ඇත.  එහෙත් ගමේ ගොඩේ ඒ කාලේ හිතවත් කම් හරි පිරිසිදු ඒවා විය.


" අම්මා .. කවුද ඒ අපිට තේ අරන් දුන්න මාමා ?" මම අම්මාගෙන් ඇසුවෙමි. "ඒ බන්ඩේ මාමානේ පුතා . ජේන් අක්කගේ මල්ලි" අම්මා පිළිතුරු දෙයි.

මෙවැනි අව්‍යාජ ගතිගුණ පිරුණු අයෙක් වුවත් බන්ඩේ මාමාත්  ඔහුගේ බිරිඳත්  අපේ සමන්ත ත් සමග හරි හරියට තරඟ කරන්නට  සරණසිරිව පොළඹවා තිබේ.

ආරම්භය වන්නේ සමන්ත පාසැල් ගිය මුල් දිනයයි.  සමන්ත ඉස්කෝලෙට භාර දුන් වග කණ වැකුණු සැනින් සරණ සිරිවත් පාසැලට ගෙනෙන්නේ ඒ අනුවයි.

පසුකාලීනව සමන්තට වඩා පන්තියක්  පහලින් සිටි සරණ සිරි අය්යා ඉගෙනීමට ඉතා උනන්දු වූ අයෙකි.

විද්‍යා විෂයයන් වලින් උසස් පෙළ හැදෑරු ඔහු විශ්ව විද්‍යාලයට යනු ඇතැයි ගැමියන් බොහෝ දෙනෙක් සිතුහ.

අවාසනාවකට ඔහු විශ්ව විද්‍යාලයට තේරුණේ නැත. එහෙත් ගුරු වරයෙක් ලෙස සේවය ඇරඹු ඔහු අද අපේ ගමේ ඉස්කෝලේ විදුහල් පති වරයාය .

මේ පත්වීම ගැන ඉමහත් සතුටට පත් සමන්ත අය්යාත් මමත් සරණසිරි අය්යට උණුසුම් සුභ පැතුම් පිරිනැමුවෙමු.

ඒ ඉදිරියේදී කිරඹ ඔය විද්‍යාලය අරලගංවිල තිබෙන හොඳම ඉස්කෝල වලින් එකක් කරන්නට ඔහුට සහය වන පොරොන්දුවද සමගිනි.

සරණේ ටත් හිටපු රජුගෙන් උපදෙස්


දැන් නව විදුහල් පති තුමා මගෙන් ඉස්කෝලෙට නව ගේට්ටුවක් තැනීම සඳහා උදව් ඉල්ලයි.

මල්ලි මිනිස්සුන්ට ඕනේ ෂෝ .. එක  නේ ඔහු කියයි.


ෂෝ .. එක නෙවෙයි වැඩ පෙන්නන්න යැයි මම ඔහුට යෝජනා කලෙමි.

 ළමුන් අටක් ඉන්නා පහේ පන්තියේ දෙදෙනෙක් වත් ශිෂ්‍යත්වයෙන් සමත් කර දෙන ලෙස ඉල්ලා සිටියෙමි.

එය එසේ වුවහොත් රුපියල් 75000 ක් වැය කර ඉස්කෝලෙ ගේට්ටුව හදා දීමට මට සිදුවේ.

මම මගේ  බ්ලොග් රසිකයන්ටත් අවස්ථාවක් දෙන්නට අදහස් කරගෙන සිටිමි. අපි ශිෂ්‍යත්වයෙන් පසු කතා කරමු.

Sunday, 17 May 2015

මැදුම් පිළිවෙත ... පළමු කොටස.. (නම් ගම් මනඃකල්පිතයි)



නවකයින් ලෙස කරගම්පිටිය (නම් ගම් මනඃකල්පිතයි )

ඒ වසරේ අරලගංවිල මහා විදුහලෙන් වෙද විදුහලට තේරුණු ගණන පහළොවකි. ඉන් තුන් දෙනෙක් පේරාදෙනියටත්  එක්කෙනෙක්  ජයවර්ධනපුරටත්  ඉතිරි සියළු දෙනාම රුහුණටත් තෝරා ගෙන තිබුණි. මින් මා සහ අපේ පන්තියේම සිටි සොමිල ජයමාන්න  සුහද මාරු මගින් රුහුණෙන් කරගම්පිටියට මාරු වූ දෙදෙනා විය.  

අප ඇතුළු වුයේ කරගම්පිටිය වෙද විදුහලේ හතරවෙනි වෙනි කණ්ඩායමටයි. එය  සිසුන් 120 කින් යුතු එකකි.  අරලගන්විලින් කරගම්පිටියට  ගියේ මමත් මහා විද්‍යාලයේ මාත් අපේ 12 සී පන්තියේ  සිටි ඉන්ද්‍රානිත්  එක්ක එකට physics ගණන් හැදු සොමිල  ජයමාන්නත්ය. 

දැන් කරගම්පිටිය ෆැකල්ටියට කිට්ටුවෙන් බෝඩිමක් හොයන කාලයයි.  වැල්ලවායේ වෙහෙරයාය  ඉස්කෝලේ මා සමග වැඩ කල සිරිතිලක ලවා මුලින්ම නවාතැන් සෙව්වෙමි.  එය එතරම් සාර්ථක නොවීය.

මගේ ගොවිතැනේ ප්‍රතිඵල ප්‍රයෝජනවත් වුනේ මෙතැනයි. අරලගංවිල පොලේ එළවලු වෙළදාමට සති පතා කරගම්පිටියේ සිට පැමිණෙන  කේ. පී. මුදලාලි මට සිහි වුනේ හොඳ වෙලාවටයි.
සති කිහිපයක් මේ වෙනුවෙන් වැයකර අවසානයේදී රාගම කේ. පී. මුදලාලිගේ යාළුවෙකු ගේ ගෙදරක් බෝඩිම ලෙස තෝරා ගතිමි. එම නිවස පිහිටා තිබුණේ නා ඉටිපේ පළමු පටුමගෙහිය.

ඒ කාලයේ සමාජ සබඳතා වලින් මා තරම් නොපොහොසත් අයෙකු වූ සොමිලට තනියෙන් නවාතැනක් සෙවීම අපහසු විය.  ඔහු සුපුරුදු අහිංසකත්වයෙන්ම උඹ බලන බෝඩිමෙන්ම මටත් කාමරයක් බලපන් කියා මට කිව්වේ ඒ නිසා විය යුතුය.

බෝඩිමේ අන්කල් කරගම්පිටිය නගර සභාවේ එකල විපක්ෂයේ (ශ්‍රී ලංකා) නාගරික මන්තිවරයෙකි . බඩ මහත තට්ටය සහිත ඔහුට මිනිස්සු කිවේ  “ලොකු මහත්තයා” කියාය. ඔහුද කේ. පී.  මුදලාලිත් එක්ක එකට  කරගම්පිටිය පොලේ එළවලු විකුණමින් සිට දේශපාලනය නිසා බිස්නස් වලින් විශ්‍රාම ගත් අයෙකි.

අන්කල් හා ඇන්ටි මට  ඉස්සරහම තිබු කාමරය පෙන්වුයේ ( මේ මම කරගම්පිටියට එන්නට පෙර වැල්ලවායේ වෙහෙරයාය කනිස්ටයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස සේවය කරන කාලයයි) අරලගංවිල සර් වූ මාත් එහි ගිය සිරිතිලක  හෙවත් ගාල්ලේ සර්වත් පුදුමයට පත් කරවමිනි.

 එක ඇඳක්.. මේසයක් , පුටුවක් ආදිය තිබු කාමරය එක කොල්ලෙකුට හොඳට අත පය දිගැරලා ඉන්න පුළුවන් එකකි.  


කවිඳුගේ තුල සැඟවී තිබු නොමේරු එහෙත් අහිංසක   තාරුණ්‍ය මතුවන්නේ මෙතනදීය.

" අන්කල් මට තව යාලුවෙක් ගෙන්න ගන්න ඕනේ.. එයටත් මාත් එක්කම ඉන්න ඕනේ කිව්වා.. හරි අහිංසක කොල්ලෙක්.." කියමින් මේ කුඩා කාමරයට ඇඳන් දෙකක් දමා දෙන ලෙස මා ඉල්ලන්නේ සොමිල වෙත දැනුන අව්‍යාජ සහෝදරත්වය නිසාමය.

ඉබ්බා දියට දාන්නද කියා ඇසු විට ඇන්නෑවයි බොලේ ...කිව්වේලු. 

ලොකු මහත්තයා “ හරි හරි පුතා අපි ඇදන් දෙකක් දාලා දෙන්නම්කෝ” කියා මා සැනසුවේ අතළඟ තිබෙන වාසිය නොදන්නා පරිද්දෙනි.

සොමිලටත් වඩා මට අනුකම්පාව තිබුණේ සොමිලගේ අම්මා ගැනය. ඇය හපුගස්තලාවේ සමුපකාරයක මැනේජර් කමක් කලාය.  එය ඔවුන්ගේ පවුලේ එකම අදායම් මාර්ගයයි.

ඇය සොමිල හා ඒ පවුල වෙනුවෙන් විඳි දුක් කියාපෑවේ  කෙසඟ සිරුරත් ,  දුකම උරුම වූ ඇගේ අහිංසක සිනාවත්ය. 

අම්මා එසේ වුවද පුතාලා දෙදෙනා  ඒ වයසේ බොහෝ තරුණයින් මෙන් විනෝදයට බර අය වුහ. 



කැම්පස් එකේ මුල්ම මාස තුන...

අපි දැන් කරගම්පිටිය වයිදය පීටයේ  ඉංග්‍රීසි ඉගෙන ගන්නා කාලයයි.  මේ සඳහා අවට පාසැල් වල දක්ෂ ඉංග්‍රීසි ගුරුවරුන් පිරිසක් යොදවා තිබුණි.

අපේ කොටසේ ඉංග්‍රීසි ඉගැන් වූ ගුරුතුමිය තරමක් වයසක කාන්තාවකි. ඩයස් මැතිණිය නමින් හැඳින් වූ ඈ එකල ව්‍යිදය පීටයේ ජනප්‍රිය ආචාර්ය වරයෙකු ගැන නිතර සඳහන් කලාය. “ඩොක්ටර් අල්විස් හරි හොඳ මනුස්සයා” “එයා නවක වදයට හරි විරුද්ධයි”  කියමින් ඇය ඔහු වර්ණනා කලාය.  මේ කතා කලේ ඒ කාලේ කායික විද්‍යා අංශයේ අංශ අධිපතිව සිටි සුචරිත් අල්විස් මහතා ගැනයි.

සුචරිත් අල්විස් මහතාට නවක වදය වහ කදුරු වැනි විය . ඔහු sadism සහ masochism ගැන අපට මුලින්ම කියා දුන්නේ මේ කාලයේදීය. 

ආරෝහ පරිණාහ දේහයකිනුත් සිත් ඇද ගන්නා සුළු කතාවකිනුත් යුත් සුචරිත් සර්ට විරුද්ධ වන්නට කිසිම හේතුවක් අපට තිබුණේ නැත.

අපේ තාබ්රු සර් නොමිලේ ඉගැන්වූ "මෙඩිකල් ටම්ස් "වලින් සන්නද්ධ වී සිටි මට එතුමියගේ ඉංග්‍රීසි ලොකු දෙයක් නොවීය.  
ඇය “මෙඩල්ලා  ඔබ්ලන්ගටා” කියමින් මහප්‍රාණ ටයනු  කියන විට මම ඒ පිළිබඳව ආචාර්ය උපාදියක් කරනු ඇතියි හීනෙන් වත් හිතුනේ නැත.

දිනක් ඩයස් නෝනා අපෙන් තම  විනෝදංශ මොනවාදැයි සෙසු සිසුන්ට ඉංග්‍රීසියෙන් කියන ලෙස ඉල්ලා සිටියාය.  මාතරින් පැමිණි සමදරා..  “මම සමදරා සේක්කුහැන්නදි  මගේ
විනෝදාංශය සුරතල් බල්ලන් ඇති කිරීම යැයි කීවාය.

“මම ගාල්ලේසිට පැමිණි බන්දුල කැටපේ ආරච්චි  මම විනෝදයට කරන්නේ රැම් පාර්ට් එකේ බයිසිකල් පැදීම”. එසේ කීවේ සිරිතිලකත් එක්ක රාගම රාජපක්ෂ එකේ ඉගෙනගත් පසුව හතරේ කණ්ඩායමේ කරගම්පිටිය කල්ලියේ ප්‍රමුකයෙකු වූ කැටයාය.

ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට ගොස් මම වැඩ වරද්දාගත් හැටි තාමත් මතකය."මම අරලගංවිල මහා විද්‍යාලයෙන් පැමිණි කවිඳු. මගේ විනෝදංශ අතර ප්‍රධාන තැනක් ගන්නේ පොත් කියවීම හා එළවලු වැවීමයි"

ඉංග්‍රිසි ගුරුතුමියට ඉංග්‍රීසි අමතක වුවා වත්ද?

"හා .. ඔයාල තමයි එහෙනම් අපිට වස කවන්නේ... ඔයාලට කන්න වෙනම එළවලු හදාගෙන අපිට වස කවපු උඩරට එළවලු එවනවලු නේද? " කියමින් ඇය පරල වුවාය.

 පසු කලෙක හතරේ කණ්ඩායමේ වැඩ වලදී අපට මහා හිසරදයක් වූ උඩ .. පහතරට.. ඌව.. බස්නාහිර.. දකුණේ සමාජවාදීන් .. ආදී මෙකි නොකී .. නොයෙක් බේද  බින්න වලට මුලික විය හැකි අදහසක් අප අතරට ආවේ එලෙසිනි.

මේ මුල් කාලය තුලදීම අප හතරේ කාණ්ඩය නැත්තට නැති වන ලෙස බේද කල කණ්ඩායමක් වුහ. 

ඒ  පසුකලෙක මට කරගම්පිටිය පැත්තට වත් යාම එපා වීමට හේතුවක් වූ   අපේ ජේස්ට උත්තමයින් හෙවත්  3 කණ්ඩායමයි.

ඔවුන්ගේ කරගම්පිටිය කල්ලිය අපි ඔවුන්ට යටත් වැසියන් විය යුතුයැයි සිතු අතර ඉන් වැඩි පිරිසක් සිසුන්ට හිතවත් නැති “අජිත්  සමරසේන”  වැනි ගුරුවරුන්ගේ කීකරු ගෝලයෝ වුහ.

මේ අය අපේ  නියෝජිතයා කරන්න හැදුවේ කණ්ඩායමේ සිටි  මට්ටකුලිය ඩිපෝවේ  බස් ඩ්‍රයිවර් කෙනෙකුට ගැලපෙන මුණක්  ඇති අයෙකි.  

එමෙන්ම තුනේ කණඩායමේ බලවත් කල්ලිය ( කෙන්ගල්ලේ හා මාතර සිසුන්ගෙන් සමන්විත වූ පිරිස )  ඔවුන්ට කීකරු  අයෙක් බලෙන් යොදා  අපිව පාලනය කරන්නට කැස කැවුහ.


 නා ඉටිපේ පළමු පටු මගේ හවස් කාලයට කරක් ගහන අපි දෙන්නාට  හිටි ගමන් තුනේ සිසුන් හමුවේ.  
මෙසේ යන තවත් දිනක "කරා තුනේ" ටිකක් අහිංසක පාට තුන් දෙනෙක් හමු වුනේ අහම්බෙනි. 

බිබිල පැත්තේ සිට පැමිණ සිටි ඔවුන් සිටියේ එකම බෝඩිමකය.

මින් එක් අයෙක්  සොමිලට වැඩි පුර කිට්ටු කලේ සොමිලට වඩා ඔහුගේ ඉංග්‍රීසි කණ්ඩායමේ සිටි කෙල්ලෙකුට තිබු අකර්ශනයටයි.

සොමිලටත් මටත් කිසිම නවක වදයක් නොදුන් ඔවුන් හිමින් හිමින් සොමිල ලවා කෙන්ගල්ලේ ශිරාණි අල්ලාගන්නට බැලුහ.

සොමිල ලේසි පාසු සගයෙක් නොවන බව මා දැනගත්තේ ශිරාණි මුල් සති කීපයේදීම ඔහු විසින්ම දැලේ දා ගැනීමත් සමගය.

නවක පෙම්වතාට තුනේ කණ්ඩායමේ අළුත් නමක් ලැබුණි.  සොමිල  නොහොත් " පෙමා" උපදින්නේ මෙලෙසිනි..

දැන් දැන් පෙමා  මුල් කාලයේදීම කරගම්පිටියට හුරුවූ ලකුණු පෙන්නුම් කරයි. හවසට ශිරාණි සමග කොටුව දෙසට පවා ගමන් කරයි.

මේ අතර අලුත් බෝඩිමේ යසට හිටි සොමිලට.. තව බෝඩිමක් සෙවීමේ උණක් පහල විය.  
ඔහු හේතුව ලෙස  මට කිවේ..

"මචං මට පීනසේ තියෙනවා .. ඒක නිසා තමයි මේ කොන්ඩේ සුදුවෙන්නෙත්,..මට ළිදක් තියෙන බෝඩිමක් සොයාගන්න් ඕනේ" යනුවෙනි..

කෑම හා නෑමට ලිඳක්  සහිත බෝඩිමක් සොයා.

අප මෙයින් පසු දිනපතා.. බෝඩිම් සොයා ලොකු මහත්තයාල ගෙදර අවට පයින් යන දුරින් පිහිටි නා නා ප්‍රකාර ගෙවල් ( විශේෂයෙන් ලිඳක් පෙනෙන ගෙවල්) වලට ගියෙමු.

එලෙස  “බෝඩින් කාරයෝ ගන්නවාද “ අසමින් අපේ හවස් කාලය සහ සති අන්තය ගතකලෙමු.
ලිං තිබුන ගෙවල් හමුවුනද සොමිලයා ඒවාටත් අකමැති වීමට යම් යම් හේතු ඉදිරිපත් කළේය.

දැන් දැන් මෙගේ ඉවසීමේ සිමාව ද ( මගේ සගයාට සරිලන බෝඩිමක් සෙවීමේ)  ඉක්මවා යමින් පවතී.
ඒ මදිවට ඔහු මට පෙනෙන්න බැරි මුනත්තහඩුව සහිත හාදයා  සිටි රාගම කල්ලියටද එකතු වුයේය.

එක් දිනක් මේ අරලගංවිල පුතාල දෙන්නා හවස සාමාන්‍ය  චාරිකාව ( නෑම, කෑම සහිත බෝඩිම සෙවීමේ මෙහෙයුම) නිමකර ගෙදර ආවේ හොඳටම හෙම්බත් වී අත පය කොර ගසමිනි.

ඒ  "කාමර ඇත" කියා බෝඩ් එකක් ලිං ගැට්ටේම ගසා තිබු ලොකු ඉඩමක තනියෙන් තිබු නිවසකට යාමෙනි.

පසුව අප කණ්ඩායමේ (කරා 4) කෙන්ගල්ලේ අපේ සගයින් පස් දෙනෙකුට උරුමවූ මෙහි ඒ වනවිට ඉඳ තිබුනේ  කෙන්ගල්ලේ 3 කණ්ඩායමේ ජේස්ට උත්තමයින් 5 දෙනෙකි.

ගොදුරු දෙකක් අතටම ලැබුණු මේ පිරිස  පෙමාටත්  මටත් හොඳ හැටි සැලකුවේ

 " හා තොපිට කෑමයි.. නෑමයි.. ..ලෑමයි තියෙන බෝඩින් නේද" එච්චරයි අඩු කියමිනි.

මොවුන් අපට කරන්නට කි සමහර දේවල් වලට මට පිටි පස්ස පැත්තෙන් හිනා පහල වුවා යැයි කිවොත් නිවැරදිය. 
ඒ     කුඹුරේ,  වත්තේ,  කැලේ, කොලේ ගැවසී පැමිණි මට ඒවා මහා ලොකු කජ්ජවල් නොවුණු නිසාය.

මෙහිදී සිදුවූ සමහරක් දේ අතර මගේ බෙල්ලට දිලිසෙන පිහියක් තියා තුනේ උතුමෙක් කරපු වික්‍රමය  මට තවමත් සිහිවේ.

තමන් අසහාය විප්ලව වාදියාගේ ගමේ අය යැයි ආඩම්බර වූ මේ උතුමන් නොදැන සිටි කාරණයක්  විය.  

ඒ ඔවුන් ටත් වඩා පර හිතකාමී විප්ලවීය මිනිසෙක් ඔවුන් ඉදිරියේ සිටින බවයි. 

ඒ දෑ හිතකාමියාට මෙවැනිම දිළිසෙන රම්බෝ පිහියක් එල්ල වන්නේ සිය පාසැල් කාලයේ අවසාන මාස කිහිපයේදීය.


මල්දෙණියේ කවියා සහ හෙළ තල්පේ කවියා

ලිඳ ළඟ බෝඩිමේ නවක සංග්‍රහයේ මා සිත් ගත් අංගයක්ද විය. ඒ පෙමා ඔහුගේ ගම වූ හෙළ තල්පේ කවියා වීමත් මම මල්දෙණියේ කවියා වීමත්ය.

අප දෙදෙනාට අසැබි වදන් සහිත කවි කොළ දෙකක ලැබිණි. ඒ වා වරින් වර හඬ නගා කීමට අණ කෙරුණි. මම කවදත් කවියට සින්දුවට ආශා කල බව මා හොඳින් හඳුනන්නෝ දනිති. තල්පේ කවියා එක කවියක් කියා අවසන් කළා පමණි.

හා.. හා  කෝ මල්දෙණියේ කවියා ජේස්ට උතුමෙක් පවසයි.. මම රැල් බුරුල් හැර පටන් ගතිමි.. මහා බඹු නිදැල්ලේ....ඒ ඒ ....ගමටම ඇහෙන්න ශබ්ද කලෙමි.  බෝඩිම අසල පාරට පෙනෙන දුරින් පිහිටි එකකි ..

“ඒයි ඒයි හිමිහිට කියහන් බන්... පාරේ යන උන්ට ඇහෙයි”. අපේ උතුමානන්ලා  කලබල වුහ.

පසු කලෙක මා දැන ගත පරිදි ලිඳ ළග බෝඩිමේ  සිටියේ තුනේ කණ්ඩායමේ කෙන්ගල්ලේ කට්ටියකි.

කෙන්ගල්ලේ, මාතර හා කඹුරුපිටියේ  අය එකතු වී ඔවුන්ට යටහත් අයෙක් හතරේ නියෝජිතයා කිරීමට උත්සාහ කල බව ප්‍රසිද්ධ රහසකි.

එකල තුනේ නියෝජිතයා වූ සුජිත් හෙවත් කදෝපැණියා මේ වනවිට සිටියේ  තුම්මෝදර හොස්ටල් එකේය. ඔහු කැකනදුර ප්‍රදේශයෙන් අපේ විශ්ව විද්‍යාලයට පැමිණි අයෙකි.

මේ අයත් සොමිලයා හෙත්තුවූ පැත්තේ තුනේ අයත් හරි හරියට එක්වී "කරා හතර" බේද බින්න කර දැමුහ. 

ඒ   අජිත්  සමරසේන වැනි අයගේ ආශිර්වාදයද නොමදව ලබමින්  බව මගේ පිළිගැනීමයි.

අප වැනි කල්ලි සැදිය නොහැකි එකා දෙන්නා සම්පුර්ණයෙන් නොසලකා හැරිනි. අපේ සාමුහිකත්වය පිලිබඳ අදහස් විමසිමක්වත් නොකෙරුණි.

මේ දෙපිරිසේම අය තම තම ගම් වල මල්ලිලාට පොත් පත් දී  උදව් කළහ. 

නංගිලාට බොහෝ විට ඒ පළාත් වල අක්කලගෙනුත් යාලු වෙන්න දඟලන අය්යලගෙනුත් උදවු ලැබුණි.

පෙමා , මා මෙන්ම තනියෙන් පැමිණි මොණරාගල යසරත්න බණ්ඩාර උහනේ විමල් සතිස්චන්ද්‍ර වැනි උන් නොසලකා හැරිණි. 

ඒ  අපි කල්ලි දෙකටම නොවැදගත් යයි සිතු නිසා විය හැකිය.

ඒ මදිවට.. අපේ කරුමයට දෝ අරලගන්විලින් කලින් පැමිණි සිටි අයගෙන් අපට කිසි සරණක් නොවීය. 

ඔවුන් අප වැනිම කණ්ඩායමකට එකා දෙන්නා බැගින් පැමිණි  අපේ පාසලේ අය්යලා අක්කලා වුහ. 

මේ අයට අර කල්ලි දෙක මෙන් අපව හැසිරවීමේ හෝ අප ගැන සොයා බැලීමේ හෝ උවමනාවක් නොතිබුණි.



දෙවියන්ගේ කැමැත්ත-තුම්මෝදර

දිනක් කැන්ටිමේ තිබු දැන්වීමක් දුටු මම අවසාන තීරණයට එළඹුනෙමි. 

පෙමාට ඕනෑ කුදයක් ගහ ගන්නයි කියා තුම්මෝදර  ශිෂ්‍ය නේවාසිකාගාරයට  යන්නට ඉල්ලුම්පතක් දැම්මේ .. ඒ ගැන මෙලොව හසරක් නොදැනය.

තුම්මෝදර ප්‍රසිද්ද වී තිබුනේ කෙන්ගල්ලේ බෝඩිමටත් අන්ත සහෝදරවරුන් ගහන සහෝදර ගුලාවක් හැටියටය. 

එහෙත් එය නවීන පහසුකම් සහිත වැසිකිළි , කාමර ආදියෙන් සමන්ත විත වුවක්  විය.

 කරා තුනේ සගයින් සහ කට ඇති සිසුන්ට බය පිරිස්  විසින් බය කර තිබු අපේ බැචාලා එහි නොගොස් අඩු පහසුකම් ඇති තැන්වල දුක් වින්දාහ.

අපේ කණ්ඩායමේ එකෙක් වත් රැග් සීසන් එකේ මුලම මෙවැනි ඇඟ කිලිපොලා යන තීරණයක් අර ගත්තේ නැත. ඔවුන් අඩු පහසුකම් ඇති පොඩි පොඩි බෝඩිම් වලට වී තම තම ගම පළාත් වල අය්යලා ගේ උපදෙස් මත පොත පතේ වැඩ කළහ.

 අරලගංවිල නම් කවුරුත් වැඩි පුරා ගණන් නොගන්නා ප්‍රදේශයකින් පැමිනි අප දෙදෙනාට එවැනි අය්යලා නැත.

පෙමා  ටික ටික කරගම්පිටිය කල්ලියට සම්බන්ද වුවද උන් වැඩි හරියක් අන්ත ගුණමකුවන් ගෙන් පිරි තිබුණු කල්ලියකි. 

ඔවුන්ට පෙමාට කල දෙයක් නැත . හොඳට රහ මෙර සප්පායම් වීමට ඉඩ සැලසුවා පමණි.

පසු කලෙක දෙවැනි වසරේ විභාගයෙන් විෂයයන් තුනම අසමත් වූ පෙමාට බෝඩිමටම ගොස් කුප්පි දුන්නේ මා විසින්මය.

 මගේ කාමරේ දෙකට බෙදා මගේ විහින් ම ලඟට ගත් මගේ පාසැල් සගයා (මොහු ජාලියලා , ගැට්ටලා වාගේ මා සමග උරෙනුර ගැටී සිටි අයෙක් නොවීය)   මාව එලවා දමන්නට හදයි. 

මේ වන විට වෙනත්  විකල්පයක් නැති තැනට පත් වී සිටියෙමි.  

අවසානයේ  ඕන දෙයකට ඔට්ටුයි සිතමින් තුම්මෝදරට පා නැගුවෙමි. 



මට මගේ "ස්වයං පාලනය" ගැන ලොකු විශ්වාශයක් තිබීම මේ තීරණයට එළඹීමට තුඩු දුන් අනික්  හේතුවයි. 

ඒ වනවිට මම සහෝදරයෙක් වූවොත් වෙන්නේ කාට වත් ඕන නිසා නොව මට හිතුනොත් පමණි යන්න අවධාරණය කරගෙන සිටියෙමි. 

ඒ අදහස ගලේ කොටා තිබුණාක් මෙන් මා සිතට කා වැදී තිබුණි.

ඇත්ත වශයෙන්ම  කවිඳු ජයසිංහ යනු අපේ වැනි විශ්ව විද්යලවල එකල පුරෝගාමී සහෝදයරන් ගේ ක්‍රියා කලාපය තදින් විවේචනය කල අයෙකි. 

ඔහු  ඔවුන්ගේ වත්මන් ක්‍රියාවන් පිළිබඳව  ඒ  කාලයේදීම ඉඟි පල කල, ඒ බොරු සහෝදරයින් තඹයකට වත් මායිම් නොකළ අයෙක් විය.


එහෙත්  කණ්ඩායමේ බහුතර  දෙපිරිසට අයත් කරගම්පිටිය හතරේ  අපේ උන් සිතුවේ වෙනෙකකි. 

ඔවුන් මෙවැනි නිර්පාක්ෂිකයකු වූ අහිංසක මා ඉබේම සහෝදර වරුන් ගොඩට ඇද දැම්මෝය.

ඒ මගේ ඇත්ත පාක්සිකත්වය කුමක්දැයි මගෙන් වත්   නොවිමසාය.

කෙන්ගල්ලේ හතරේ සගයෝ මෙන්ම අජිත්  සමරසේන වැනි තම රැකියාව හරියට හඳුනා නොගත් ගුරුවරු සිතුවේද මෙයමය. 

අජිත් යනු හුදී ජනයාගේ කරුමෙට consultant කෙනෙකු වූ එහෙත් තදබල හීනමානයකින් පෙළුණු අයෙක් බව මම අදටත් විශ්වාස කරමි. 

තුම්මෝදරදී මට ලැබුනේ කදෝපැණියාගේ කාමරයට ඉස්සරහ කාමරයයි. එක වරම තට්ට තනියම කඩා පාත්වූ මේ නිර්භීත හතරේ එකා දැක එහි සිටි ජෙෂ්ටයන් පුදුම වූ බවක් පෙනෙන්නට තිබුණි.  ඔවුන්ට දෙන්නට නවක වද සීතා ගන්නට බැරි වූ ගානය.  මට කිව්වේ නවක වද සමයේ  සිදුවන රසවත් දේවල් කිරිමටයි.

ඒවා අතර හොස්ටල් එකේ සියල්ලන්ම හඳුනාගත හැකි අංගයක් විය . ඒ වෙස්මුහුණක් පමණක් පැළඳ රැ එකොළහත් දොළහත් අතර කාමර වලට බලෙන් එබීමයි. අනතුරුව ඒ ඒ කාමර වලදී ලැබෙන අංග රඟ දැක්විය යුතු විය.

කවි මෙන්ම සින්දුද මෙහිදී  ගායනා කරන්නට සිදු විය. මම ඒවා ඉතා කැමැත්තෙන් සිදු කලේ  එහි සිටි වැඩි පිරිසක් ඉතා හිත හොඳ සගයින් බව වටහා ගනිමිනි. 

පසු කලෙක මගේ ළඟම මිතුරන් බවට පත්වූ කිහිප දෙනෙක්ම මෙහි අප සමග දුක සැප බෙදා ගත් ජේස්ට හා  කනිෂ්ට සොහොයුරන්ය.

දිනක් රාත්‍රියේ කදෝ සහ ඔහුගේ කණ්ඩායමේ තුම්මෝදර  කට්ටිය මා සමග බරපතල සාකච්චාවකට සහභාගී වුහ.  මාතෘකාව වුයේ හතර කණ්ඩායමේ නියෝජිත තනතුරයි.

“වෙස්මුනා ... උඹ කැමතිද  හතරේ නියෝජිතයා වෙන්න?”  “අපි උදවු කරනවා බය වෙන්න එපා “
 රාගම අය බදුගේ  නම් අයෙක් ඉදිරියට ගෙනෙන බවද මට පැහැදිලි කෙරිණි.

ඇත්ත වශයෙන්ම කියනවා නම් මම එම තනතුරට කැමැත්තෙන් පසු වුයෙමි. ඒ කවදත් මගේ තිබු අන්‍ය සේවයට ඇති කැමැත්තයි. 

අරලගංවිල විද්‍යාලයේදී අපි ඕනෑ තරම් හොඳ නායකයෝ දැක ආශ්‍රය කර තිබු බව සත්‍යයයකි.

එහෙත් මේ වන විටත්  කරගම්පිටිය වයිද්ද්‍ය පිටයට පිළිලයක් ව තිබු මේ කල්ලි කෙරුවාව හොඳින් දැන සිටියෙමි.

 මා ඒ යෝජනාව කදෝපැණියාට ඉතා කාරුණික වෙමින්   වුවත් හිතට එකඟව එක හෙලා ප්‍රතික්ෂේප කලෙමි.

Friday, 15 May 2015

ටොකු මුත්තා සහ පේර මුත්තා



අපි කුඩා කාලයේ අපේ ගෙදර ආ ගිය අය අතර සිටි අපේ සිත් ගත් පුදගලයින් දෙදෙනෙකි. ඒ අපේ මුත්තලා දෙන්නාය. එක් අයෙක් අපේ අම්මාගේ  පියාණන් වූ ආර්. ඇම්. සුභේරත්න බණ්ඩාර හෙවත් අපේ කිරඹ ඔයේ  මුත්තාය. අනෙක් මුත්තා ජේ. ඇම්. ලොකුබණ්ඩා හෙවත් අපේ තාත්තාගේ පියාණන්ය. ලොකු බණ්ඩා මහතා  ජීවත් වුයේ අපේ ගම වූ මල්දෙණිය ප්‍රදේශයේය.

කිරඹ ඔයේ මුත්තා.


කිරඹ ඔයේ මුත්තා හෙවත් අපේ අම්මාගේ පියා සුභේරත්න බණ්ඩාර යන නමින් හැඳින් විනි. ඔහු චමින්දලාගේ මුත්තාගේ බාලම මල්ලීට පෙර උපන් සහෝදරයායි. අපේ මුත්තාගේ අය්යලා හැම දෙනාම කොන්ඩේ බැන්ද අය වූ අතර කොන්ඩේ කැපු එකම රාජපක්ෂ සහෝදරයා ඔහු විය. එමෙන්ම රත් පැහැ හමකින් යුක්ත වූ නිසා ගැමියන් සමහර විට ඔහු "රත්තා" නමින්ද හැඳින් වූ බව මා ආසා තිබේ.
 වරක් අපේ  ලොකු නැන්දාගෙන් මා ඇසු පැනයකි.

 "නැන්දා අර හින්නි මාමගේ නළලේ පැල්ලමක් වගේ තියෙන්නේ මොකක්ද?"
 "ඒ ඉතින් රත්තාගේ වැඩ තමයි."

"රත්තා කියලා කිව්වේ ?"

"ඇයි තොපේ රත්තා මුත්තා .. කිරඹ ඔයේ ඉන්නේ..?" ඇය දුන් පිළිතුරයි.

හින්නි මාමා සමග සිය තරුණ කාලයේ ඇති වූ අරෝවකදී "හින්නාගේ නළලට රත්තා විසින් පොරෝ පහරක් එල්ල කර ඇති බව"  පොත පතේ සඳහන් වන බව ලොකු නැන්දා මා සමග කීවාය.

මේ පිබඳව අම්මාට කිවූ පසු ඇය අපේ මුත්තාගේ රත්තා නාමය ගැන ඒ සිද්ධියම මතක් කරමින් කියා  දුන්නා මතකය.


අපේ මුත්තා ඒ කාලේ සුද්දන්ගේ තේ වතු වලට මානං සැපයු කොන්ත්‍රාත් කරුවෙකි. එම නිසා එවකට ගම්මුන් ඔහුට තවත් නමක් පට බැඳ තිබුණි. ඒ "මානං බාස් " යන නාමයයි. ඔහුගේ යටතේ අපේ අම්මා හා තාත්තාද සති අන්තවල මානං සැපයුම් කරුවන් ලෙස වැඩකළ බව මා අසා තිබේ.

මුත්තා එකල ගමේ බලවත් මනුස්සයෙක් බව මට තේරුම් ගිය එක අවස්ථාවක් මගේ සිහියට නැගේ.

මාත් අය්යත් පන්සලේ ගිය දවසකි. අපට පන්සලේ ලොකු හාමුදුරුවන් මල් ආසනය ළඟ ඉඳන් පන්සිල් දී අවසන් වුවා පමණි. ලොකු හාමුදුරුවෝ කොහොමද සමන්ත කියමින් අය්යත් එක්ක කථාව පටන් ගත් සේක.  මගේ නෙත ගියේ බුදු පිළිමයට පහළින් තිබු මල් ආසනය වෙතයි.

එහි තිබු රතු අකුරින් ලියු නම් දෙකකි.  "පන්නල බුද්ධ රක්ඛිත ස්ථවිර " යැයි  උඩින්  ලියා තිබුණි. ඊට පහළින් "ආර්. ඇම්. සුභේ රත්න බණ්ඩාර" යනුවෙන් අපේ මුත්තාගේ නම දැකගත හැකි විය.

"මේන් අපේ මුත්තාගේ නම" මට කියවුනේ ඉබේටමය.

"ළමයා.. තමුන්ගේ මුත්තා තමයි මේ පිළිමයේ තැන්පත් කරලා තියෙන ධාතු අපිට ලබා දුන්නේ" .

පන්නල බුද්ධ රක්ඛිත ස්ථවිරයෝ එසේ පවසා සිටියේ මගේ ප්‍රශ්නයට පිළිතුරක් වශයෙනි.

ටොකු මුත්තා


ගමේ අය එක එක නම් වලින් අපේ මුත්තා හැඳින් වුවද අපි ඔහු මල්දෙනියේ මුත්තාගෙන් වෙන්කර හඳුනා ගත්තේ වෙනත් නමක් හේතුවෙනි. අපේ අය්යත් අක්කාත් කිරඹ ඔයේ මුත්තා හැඳින්වුයේ  "ටොකු මුත්තා " යන අන්වර්ථ නාමයෙනි. එයට හේතුව ඔහු අපිත් සමග තරහා ගිය විට අපිට ටොකු අනින්නෙක් වීමයි.

වරෙක මල්දෙනියේ අපේ ගෙදර එන ඔහු  "මම ටික දවසක් ලොකු කෙලීලා ගෙදර ඉන්නවා " කියා අපත් සමග නවතියි.  මෙය අපේ වත්තේ කෙසෙල් පඳුරු , කෝපි ගස් ආදියට හොඳ කල දසාවක් ලබන කාලයකි. ටොකු මුත්තා වෙලාවකට අපට ටොකු අනිමින් වැඩ ගන්නේ කෙසෙල් පඳුරු බත් දාන් කන්න පුළුවන් තරමට සුද්ද කරමිනි.  මුලින් මැරුණු කෙසෙල් කොළ කපා  ඉවත් කරන ඔහු ඉන් පසු  ඒවා වටා ලස්සනට පස් ගොඩ කරයි.


ඉතාමත් පිළිවෙලට අදින පළදින කෙනෙක් වූ අපේ ටොකු මුත්තා කෙරෙහි බොහෝ පිරිස් ආකර්ෂණය වී සිටි බව මා අසා තිබේ.

කාලයක් ඔහු  කහට ගහ වත්ත නම් ඉඩමේ තනියම පැලකට වී ජිවත් වුයේය.  තම ගෙදර සිට කිලෝ මිටර තුන්කාලක් පමණ දුරකින් වූ මෙහි මුත්තා  උයා පිහා ගත් අවස්ථාද තිබුණි.  බොහෝ දිනවල ආතම්මා බැඳ දෙන බත් මුල කහට ගහ වත්තට අරන් යාමේ රාජකාරිය කුඩා අපට පැවරේ.

ඇයගේ එළවලු රස මදි නිසාදෝ මුත්තා අසල ඇති රටබටු තක්කාලි ගසෙන් ගෙඩි කීපයක් කඩා තෙල් දා ගනියි.
අපටත් මඩක්කුවකට බත් ටිකක ලැබෙන බව දන්නා මා කෙළ ගිල ගිල බලා සිටින්නේ මේ රට බටු ඇඹුල රස බැලීමටයි.



කිරඹ ඔයේ කවි මඩුව


අපේ රත්තා මුත්තා ඒ දිනවල රහ මෙර පානය කල බවක් හෝ සුරුට්ටු පාවිච්චි කල බවක් හෝ මා දැක නොමැත. සියළු දුසිරිතෙන් තොර එහෙත් කිසිදාක පන්සලේ සිල් ගන්න නොගිය කෙනෙක් ලෙස මට ඔහු මතක තිබේ.

කහටගහ වත්තේ සිට අපේ අම්මලා මහා ගෙවල් පැත්තට එද්දී අපට හමු වන්නේ අළුත් ගෙදරයි. අළුත් ගෙදර ආතම්මා මියගොස් සිටි අතර එහි ජීවත් වුයේ බෝගොන් මුත්තා පමණි.
බෝගොන් මුත්තා දිළිසෙන තට්ටයකින් සහ බුරුසුවක් වැනි උඩු රැවුලකින්  යුක්ත අයෙකි.  එමෙන්ම හතරේ හයේ පුද්ගලයෙකු වූ තට්ට බෝගොන්  කොටු  කොටු සරමට තඩි රිදී හවඩියක් බැඳ සුදු අත් කොට බැනියම ඇන්දහම ඇත්තේ අමුතු අලංකාරයකි.

හවස් වෙද්දී රා කට්ටකින් සප්පායම් වෙන මොහුගේ සමාගමට  රා නොබිව්වද අපේ කිරඹ ඔයේ මුත්තාද එකතු වේ.  එවිට ආරම්භ වන්නේ හිටිවන කවි මඩුවකි. බෝගොන් බොහෝ විට කිවේ දෙපැත්ත කැපෙන වචන ඇති සීපදයි. එකල අවුරුදු පහක් හයක් වයස චු කොල්ලෙක් වූ මට ඒ සීපද වල තේරුමක් දැනුනේම නැත. එහෙත් පසු කලෙක ඒවා බොහොමයක් නොසරුප් වචන සහිත ඒවා බව තේරුම් ගතිමි.

මල්දෙණියේ මුත්තා


අපේ තාත්තගේ තාත්තා ඒ දවස් වල ජිවත් වුනේ පල්ලැහැ තිබු පොඩි බාප්පලා ගෙදරයි. සුභේරත්න මුත්තා මෙන් රතුම රතු නොවුණට මේ මුත්තාද අපට වඩා පැහැපත් පෙනුමකින් යුක්ත විය.  ජේ. ඇම්. ලොකුබණ්ඩා යන නමින් හැඳින් වූ මොහු නුවර කඩුගන්නාව ප්‍රදේශයේ සිට අරලන්ගවිලට ඇවිත් තිබුණේ සුද්දාගේ බංගලාවේ ප්‍රධාන කෝකියා ලෙස සේවය කිරීමටයි.

අපේ තාත්තා කුඩා කාලයේ බංගලාව අසල ගැවසෙන විට දෙමල මිනිසුන් විසින් ඔහු "දොරේ දොරේ " කියමින් සුරතල් කල බව මා අසා තිබේ. අපේ තාත්තට දැනටත් ගමේ සමහරු "දොරේ මාමා" කියා අමතන්නේ මේ හේතුව නිසාවෙනි.

මල්දෙනියේ මුත්තාට කිරඹ ඔයේ මුත්තාට රත්තා කීවා මෙන් "සුද්දා" වැනි නමක් ගම්මුන් පට බැඳ තිබු බවක් මා අසා නැත. එහෙත් අය්යා අක්කා ඇතුළු අපි කට්ටිය ඔහුට කීවේ "පේර මුත්තා" කියාය. අපේ තාත්තා මෙන් සැර  පෙනුමක් නොව ඉතා ලගන්නා සුළු සිනහවක් සහිත වූ මේ පේර මුත්තා 1980 දශකයේ මුල් භාගයේදී අප හැර එලොව ගියේය. මේ මුත්තාද මත්පැන් බිඩි, සුරුට්ටු ආදී කිසිවක් පාවිච්චි නොකළ ආදර්ශමත් පුද්ගලයෙකි.

අප තාත්තලාගේ මහ ගෙදර ගිය අවස්ථාවල අපට රතුම රතු ජෑම් පේර දෙන්නෙක් නිසා ඔහු "පේර මුත්තා" විය.



අපේ මේ පල්ලැහැ මුත්තාද කිරඹ ඔයේ මුත්තා මෙන් අපේ ගෙදර අවට වැඩ වලට අප යොදා ගත්තේය. එහෙත් ඔහු ටොකු වෙනුවට අපට දුන්නේ පේර නිසා අපි ඔහුට මේ  නම්බු නාමය ලබා දුන්නෙමු.

මල් දෙණියේ මුත්තා ගැන සොඳුරු මතක රාශියක් තිබුනද මට වඩාත්ම ඔහු මතක් වන්නේ ඔහුගේ මරණ යත් සමගිනි.

මුත්තා ලෙඩ ඇඳේ සිටිද්දී වඩාත්ම ශෝක වූ පුද්ගලයා වුයේ අපේ තාත්තාය. අම්මා කිව් ආකාරයට අපේ පේර මුත්තාගේ පණ ගිහින් තිබුණේ අපේ තාත්තගේ අත් දෙක මතය. ඒ අවාසනාවන්ත දිනයේදී තාත්තා හොඳටම ඇඬුව  බව අපේ අම්මා අපට පැවසුවාය.

මේ ගැන කිසිම ගානක් නැතිව සිටි මා මුත්තාගේ මරණේ පෙට්ටියෙන් එකයි කියන්නා සේ බලා සිටියේ අවසන් කටයුතු කෙරෙන දිනය ගැනයි.

එදා පොඩි බාප්පාගේ ලොකු පුතා අමල් ටත් මටත් පුදුම විනෝද ජනක දිනයකි.  අවුරුද්දක වෙනසකින් මට මල්ලී වූ අමල්ද එකල මා වැනිම අණ්ඩපාලයෙකි. අපි දෙදෙනා මළ ගෙදර කල වැඩක් නොමැත.කල එකමදේ  එහි තිබු අමුත්තන්ට සංග්‍රහ කරන්නට ගෙනා දේ වලට වග කීමයි.

ශාන්ති අක්කලා අපේ අක්කලා වැනි යුවතියන් පැමිණි පිරිසට ඔරේන්ජ් බාර්ලි විදුරු තැබූ බන්දේසි අල්ලමින් සිටියහ.
ඒ ශෝක ජනක දිනයේ අමල් හා මම නයිස් බිස්කට් කමින් තරගයට ඔරේන්ජ් බාර්ලි බිව්වේ  බන්දේසි එන එන පැත්තට ගොසිණි.