Friday, 27 November 2015

සල්පිල සහ මල්වට්ටි වෙන්දේසිය

ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානය 




කිරඹඔය ශ්‍රී ආනන්දාරාමය යනු අපේ ගමේ පන්සලයි. මෙය  මල්දෙණිය- කිරඹඔය දෙගම් වාසින්ට  වැඳුම් පිදුම් කීරීමට තිබු එකම  පන්සල විය .

එයට  චමින්දලා සහ අපේ ආතම්මලා ගෙවල් පැත්තේ අයද , මල්දෙණියේ අයද  හීල් දානය සහ දහවල් දානය රැගෙන ආහ.

මල්දෙනියෙන් පැමිණි දායක කාරකාදීන්  අතර අපේ තාත්තලා  පවුලේ අය මෙන්ම ජයංගනී නංගිලා ආතම්මලා ( කන්දේ ගෙදර නැන්දලා) ද වූහ.

මේ කියන කාලය 1975-1976  වසර දෙකින් එකකි . මේ වනවිට මම  අවුරුදු පහක හයක කොල්ලෙකි.

ඒ අනුව සිතා බලන විට ජයංගනී නංගි පසුවූයේ කිරිබොන  ළදරු වයසකයි.

මේ කාලයේදී  ඔවුන් සිටියේ වැලිකන්දේ ඔවුන්ගේ පියාගේ ගමේ බව මගේ විශ්වාසයයි.

එකල පන්සලේ ලොකු හාමුදුරුවෝ  වූ පන්නල බුද්ධ රක්ඛිත හිමි  අපේ පවුලේ ඉතා සමීප හිතවතෙක් විය.

අද මෙන් නොව ඒ කාලේ හාමුදුරුවෝ තාත්තා මුණ ගැහෙන්නට අපේ ගෙදරට පවා වඩින්නට පුරුදු වී සිටියහ.

1976-1977 කාලයේ රටේ පාලනය සමගි පෙරමුණු ආණ්ඩුවට තිබු අතර දායක සභාව කලේ එයට සමීප ගමේ අය වූ අපේ තාත්තලා ඇතුළු පිරිස විසිනි.

අපේ තාත්තා ඒ කාලේ පන්සලේ දායක සභාවේ සභාපතිත්වය දැරු බව මට මතකය.

තාත්තා පමණක් නොව අපේ අම්මාද පන්සලේ කටයුතු වලට ඉහලින්ම දායක වූ කාලයකි ඒ.

තාත්තා දායක සභාවේ සභා පති වූ ඒ කාලයේ අපේ අම්මා   ශ්‍රී විශාකා කුලඟන සමිතියේ ලේකම් ධුරය දැරුවාය.


අපේ අම්මා සහ ශ්‍රී විශාකා කුලඟන සමිතිය 



ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ  හැම ඉරිදාවකම  හවස දෙකට පැවති රැස්වීමකි.  

ශ්‍රී විශාකා කුලඟන සමිතිය ලෙස හැඳින්වූ එයට සහභාගී වූ වේ අපේ ගම් දෙකේ සිටි කාන්තාවන් පමණි .  

සාමාජික ගාස්තුව වුයේ හාල් සේරු භාගයක් සහ ශත පණහකි.

ගමේ බවලතුන් සැහෙන පිරිසක් එහි සාමාජිකාවන් වූ නිසා සැලකිය යුතු මුදලක්  ආධාර වශයෙන් ලැබු බව මාගේ හැඟීමයි.

එසේ එකතුවන සාමාජික මුදල්  ලොකු හාමුදුරුවන් අතට දෙන්නේ අපේ අම්මා  හෝ ආතම්මා විසිනි.
මුල්‍ය ආධාර එසේ හාමුදුරුවන්ට දුන්නද  එකතුවන සහල් කෙලින්ම පන්සලේ තබන්නේ නැත.
සමිතිය අවසානයේ එකතුවන හාල් සේරු විසි තිස් ගණනක සාමාජික ගාස්තුව මුලින්ම ගරු භාණ්ඩාගාරික තුමියගේ නිවසට යයි. 

ඊළඟ සතියේ රැස්වීමට පෙර මේ සහල් මුදල් කිරීම සිදුවේ.

ඒවා බොහෝවිට සමිතියේ නිලධාරී මණ්ඩලයේ ගෙවල් වල හෝ ඔවුන්ගේ හිතවතියන් ගේ ගෙවල් වල පරිභෝජනයට ගැනේ.

ඊළඟ සමිති වාරයට පෙර සහල් වල මුදල් භාණ්ඩාගාරික තුමිය වෙත ලබා දිය යුතුය.

සහල් වලින් ලැබෙන අදායම  සතියේ වාර්තාවට ඇතුලත් කරන්නේ ගරු ලේකම් තුමිය විසිනි 

ගරු ලේකම් තනතුර හෙබවූ අපේ අම්මා ගේ මුළු නම රාජපක්ෂ මුදියන්සේලාගේ විමලාවතී කුමාරිහාමිය. 

ඇය කිරඹ ඔය රාජපක්ෂ පරපුරේ බලවත්ම පවුලක වැඩිමහල් දියණියයි.

ඇගේ මව හෙවත් අපේ ආත්තම්මා  රාජපක්ෂ මුදියන්සේලාගේ සිරිනාවති කුමාරිහාමි මැතිණියයි.  

ඇය තම දෙටු දියණිය ලේකම් වූ කුලඟන සමිතියේ භාණ්ඩාගාරික තනතුර හෙබවූවාය. 

සමිතියේ සභාපතිත්වය දැරුවේ  ජයසේගෙදර ජයසුන්දර මුදියන්සේලාගේ  බාල කුමාරිහාමි  නොහොත් හෙළ ගෙදර ආතම්මාය. 

ඇය මුගටි මුත්තාගේ බිරිඳ වූ අතර ඔවුන්ගේ පුත් මද්දුම බණ්ඩාර රාජපක්ෂ  ගැන මම කලින් සඳහන් කළා මතකය.

1977 චන්දයෙන් පසු අපේ තාත්තාට ඩන් ලොප්  වත්ත හරියේදී මග රැක පහර දුන්නේ ඔහු සහ තවත් යූ. ඇන් . පී. සගයින් පිරිසක්  විසිනි.

මද්දුම බණ්ඩාර මාම අදටත් අරලගංවිල මහා විද්‍යාලයේ ගණිත ගුරුවරයා ලෙස සේවය කරයි.

තාත්තාගේ අභාෂය නිසා අම්මත් අපේ ආතම්මත් හොඳ ශ්‍රී ලංකා කාරියන් වූ අතර  ජේ.ජේ. ඇම්. බාල කුමාරිහාමි මැතිණිය  අමුම අමු  යූ. ඇන් . පී. කාරියක් විය.

ඒ කාලේ අම්මාගේ ලඟම හිතවතා වූ මා  ඈ යන හැම තැනකම රැගෙන අම්මාගේ සිරිතකි. 

ශ්‍රී විශාකා කුලඟන සමිතියද  ඒ අතර  තිබු තවත් එක් ස්ථානයකි.

සතිපතා ඉරිදා හවසට පැවති මේ කාන්තා සමිතියේ යාව ජීව සාමාජිකයෙක් වන්නට කවිඳු ජයසිංහ කුල කුමරුවාට අවස්ථාවක් උදා වන්නේ මේ අනුවයි.

කුලඟන  සමිතියේ වාර්ථාව


ඉරිදා හවස රැස්වීමේ මුලසුන හෙබ වුයේ  පන්සලේ ලොකු හාමුදුරුවෝ  වූ පන්නල බුද්ධ රක්ඛිත හිමියන් විසිනි.

සෑම සමිති වාරයකම  කුලඟනන්  පංච ශීලයෙහි  පිහිටු වීම මුලින්ම උන්වහන්සේ  අතින් සිදුවෙයි.

මේ අතර  "සභාවෙන් අවසරයි . කරුණා කර නිශ්ශ්බ්ධ වන්න "  කියමින් සභාපති තුමිය   තමා  මෙහි කුලඟන පාර්ශවයේ ප්‍රධානියා බව සභාවට හඟවන්නිය.

මුගටි ආතම්මාට මෙසේ සභාව නිශ්ෂබ්ද කරන්නට සිදුවන්නේ දියවල ළඟ ආතම්මා , කන්දේ ගෙදර නැන්දලා වගේ අයගේ කච කචය නවත්වන්නටය.

සිල්ගත් දවසේදී මෙන් දියවල ළඟ අතම්මලා  මෙහිදීද  කරන්නේ ගමේ ගොඩේ සිදු වූ  දේවල් ගැන ඕපාදුප කීමයි.

අනතුරුව තිබෙන්නේ ලේකම්තුමිය විසින්  පසුගිය සමිතියේ වාර්ථාව  කියවීමයි.

අපේ අම්මා විසින්  කරන වාර්ථාව කියවීම  අවසාන වන්නේ   "සභා තොමෝ සතුටින් විසිර ගියහ"

යන වාක්‍ය ඛණ්ඩයෙන්ය.

අම්මා ආඩම්බරයෙන් කියවන මේ වාර්ථාව    ලියන්නේ සෙනසුරාදා රාත්‍රීයෙදිය.

ඒ අපේ සමන්ත හෝ ලොකු අක්කා විසිනි. සමහර විට අපේ රාජු මාමාද මේ වැඩබලන ලේකම් තනතුර දරන්නේය.

වාර්ථාවට පසු ගිය වාරයේ එකතු වූ අරමුදල් ප්‍රමාණය, හාල් සේරු ගණන වැනි කරුණු මෙන්ම  දියවල ළඟ ආතා වැනි "කුලාංගනාවන් " කල යෝජනා ආදියද ඇතුලත් වේ.

සාලයේ පුටුවක හාන්සි වී අම්මා කියවන වාර්ථාව ලියන අපේ කට්ටියට ඇය අවසාන වාක්‍ය කියන්නේ.. "ලොකු පුතා සභා තොමෝ සතුටින් විසිර ගියහ කියලා ලියපන් " යනුවෙනි.

වාර්ථාව අවසාන වන්නේ ගරු ලේකම් සහ සභාපති තුමියන්ගේ අත්සන් තැබුමට ඉඩ තැබූ තිත් ඉරි සහිත කොටසකිනි.

මෙහි ගරු ලේකම් .... යන ස්ථානයේ විමලා රාජපක්ෂ ලෙස අපේ අම්මා අත්සන් කළාය.

ගරු සභාපති .... යන ස්ථානයේ අත්සන් කරන හෙළ ගෙදර ආතම්මා  තම අත්සන යොදන්නේ " සභාපත්‍රී" යනුවෙනි. ඇය එහි කවදාවත් ඇගේ නම ලියන්නේ නැත.

සභාපත්‍රී  ආතම්මා ඒ කාලේ සමිතියේ කථා පවත් වත්දී  නිතර කියන කියමනක් වන්නේ  අපේ සමිතියේ බලාපොරොත්තු ව  " වටමාලේ වැඩ කරගෙන " ඉදිරියට යාමයි යන්නය.

මෙයින් ඇය අදහස් කලේ පන්සලේ බුදුගෙය වටා ඉදිකරමින් තිබු " වට මාලයට" ආධාර එකතු කරගැනීමයි.

වට මාලයට කුලඟන සමිතියෙන් එකතු වුයේ සුළු මුදලක් වුවත් එය හැම සතියකම පවතී නිසා ගමේ අඟනුන්  වටමාලේ වැඩට සෑහෙන දායකත්වයක් සැපයු බව සත්‍යයකි.

පන්සලේ ඉදිරි වැඩ කටයුතු වලට ආධාර හොයාගත් ප්‍රධාන ක්‍රමයක් වුයේ  මාස කිහිපයකට වරක් පැවති සල්පිල සහ මල්වට්ටි වෙන්දෙසියයි.

ශ්‍රී ආනන්දාරාමයේ  සල්පිල සහ මල්වට්ටි වෙන්දේසිය

"ඔබේ රාගී  මන කැළඹේදෝ... පිවිතුරු හදවත පෑරේදෝ..." මොහිදීන් බෙග් ගේ මේ ගීතයත්  සමග  පන්සලේ පැවැත්වෙන  සල්පිල ගැන ආරංචිය  ගම පුරා පැතිරේ. 

"කාරුණික පිණ්වත්නි.. මේ ඔබ අමතන්නේ  ශ්‍රී ආනන්දාරාම දායක සභාවයි "  

කියමින් පණිවිඩය අහල ගම්වලටත්  ළඟ ඇති රජයේ තේ වත්තේ ලැයිම් වලටත් ලබා දීම සිදුවේ.

නිවේදකයා  ජේ. එම් . නාමරත්න හෙවත් අපේ තාත්තා ය.  

 ඒ කාලේ අපේ  තාත්තාට මයික්‍රෆොනයක් අහුවුනොත් ලේසියෙන් අතහරින්නේ නැත.

"මෙයාට යකඩ කටක් අහුවුනොත්  නම් නොකා නොබී හරි  අල්ලා ගෙන ඉඳියි.. " අම්මා කියන්නේ මේ නිවේදක රෝගය ගැනය.

මේ අතර තවත් නැගී එන නිවේදකන් කිහිප පොලක් විය.  මේ අයට නිවේදක තනතුර ලබා ගන්නට පහසු නැත.

එහෙත්  අසල තේ වත්තේ කංකානිකු වූ සැම්සන් අය්යා වැනි අයට කළා තුරකින් මේ අවස්ථාව හිමිවේ. 


ඒ තාත්තා වැඩට ගොස් ඇති විටෙක හෝ  ගමෙන් පිටත  ගිය අවස්ථාවකයි.

එවිට සැම්සන් අය්යා ජනතාව අමතන්නේ 

" බවුද්ධ සාධුනි... මේ ඔබ අමතන්නේ ශ්‍රී ආනන්දාරාම දායක සභාවයි " යනුවෙනි.

කෙසේ ඇමතුවත් හවස හය හත වෙත්දී දෙගම් වාසි කොල්ලෝ කුරුට්ටෝ, දායක දායිකාවෝ මෙන්ම සඳතැන්න , වටගමුව , සිරිමල්වත්ත ගම්වාසීන්ද  පන්සලේ බණ මඩුවට එකතු වෙති . 

ඒ හැම කෙනෙක්ම වාගේ සල්පිලට තැබීමට යමක් රැගෙන ඒමට අමතක නොකරති.
මෙසේ ගෙනෙන සල්පිල් භාණ්ඩ අතර රෙක්සෝනා කැට, සන්ලයිට්  හෝ ලයිෆ් බෝයි සබන් කැට , කෙල්ලන් විසින් ගෙනත් තබන රෝස පාට කොටු කොටු ලේන්සුද වෙති.

මීට අමතරව  පාන් ගෙඩි, බත් පාර්සල්  නොයෙකුත් පලතුරු වර්ග  වැනි ආහාරයට ගත හැකි දේවල්ද වෙයි.

 එ පමණක් නොව අසල පිහිටි තේ වත්තේ ද්‍රවිඩ කම්කරුවෝ සැහෙන පිරිසක්ද  අපේ පන්සල වෙත ඇදී එන්නේ මේ සල්පිලේ කොටස් කාරයන් වන්නටය.

ඔවුන් සල්පිලට බඩු ගෙනත් තබන්නේ කලාතුරකින් වුවද සමහරක් කම්කරුවන් වඩේ  හෝ ඉට්ලි පාර්සල් මෙන්ම තේ කොළ බෑග් ද සල්පිලට ගෙනත් තැබූ බව මට මතකය.

තාත්තා සමග කලින්ම පංසලට යන සමන්තටත් මටත් මේ බඩු හොඳින් දැක ගත හැකි විය.

හතර වට මිනිසුන් , ගැහැනුන් සහ ළමා ළපටින් ගෙන් පිරී ගිය බණ මඩුවේ මැදට වන්නට ලස්සනට සැරසු මල් වට්ටිය සහ සල්පිල් භාණ්ඩ තබා තිබේ..

මුලින්ම ආරම්භ වන්නේ සල්පිල් වෙන්දෙසියයි. 

කිසියම් භාණ්ඩයක් අතට ගන්නා තාත්තා සමහර විට කවියක් හෝ එයට අදාල කතාවක් කියා ( ගෙනත් දුන් බවලතා ගැන හෝ ) 

 "ආ..තියන්න බලන්න ලන්සුවක් කියමින් සල්පිල ආරම්භ කරයි."

"ශත විසි පහයි " පළමු ලංසුව තබන්නේ එක් පත්තකිනි. අනික් පැත්තෙන් " ශත තිහයි " කියවේ.. මේ තරම් කලින් ඈවරයි.. දෑවරයි... කියන්නට තාත්තා සුදානම් නැත.

තව මිල ඉහල නග්ගන ලෙස ඔහු විවිධ කණ්ඩායම් අවුස්සයි. ටිකෙන් ටික ගාන වැඩිවී ගොස් ලංසුව සත අනූ වක් දක්වා පැමිණ තිබේ.

එක් වරම තාත්තා  "ඕරු රුවා අන්ද පක්කම් " කියමින් වතු කම්කරුවන් සිටි පැත්තට අත දික් කළා මතකය. 

අපේ අය්යත් මමත් වට පිට බැලුවේ සිදු වුයේ කුමක්ද යන්න දැන ගැනීමටයි.

ටික වෙලාවකින් තාත්තා

"රුපියල ..ඕරු රුවා.. රුපියල ඔරුරුවා.."

"රුපියලයි ඈවරයි, රුපියලයි දෑවරයි... තව කව්රුත් ඉන්නවද..???   "

"රුපියලයි.. රුපියලයි.. රු.. පි.... ය... ල,,, යි..රුපියලයි තුන් ඈවරයි. "

  කියමින් සල්පිල් භාණ්ඩය දෙමළ අය්යලා සිටි පැත්තට විසි කළේය.

ඒ අනුව අපි තේරුම් ගත්තේ  "ඕරු රුවා අන්ද පක්කම් " කියා තාත්තා කිවේ " මේ පැත්තෙන් රුපියලයි " යන්න බවයි.

අනතුරුව එළඹියේ මල්වට්ටි වෙන්දෙසියයි  සත 25 බැගින් යොමු කරමින් මල්වට්ටිය ගැනීමට මුදලේ අගය වැඩි කල හැකිය .

මෙහිදී බොහෝ විට අසල ගම් වල පොහොසත් අය මල් බදුන ගන්නට පොර කනු දක්නට ලැබේ. 

අපේ ගමේ වෙනුර අය්යා ( වෙනුර මුදලාලි) සහ සඳ තැන්නේ ප්‍රේමසිරි අය්යලා හෝ සඳ තැන්නේ පොඩි අප්පුහාමි මාමලා ( ලොකු අල කොටු කාරයින් ) හැප්පෙනවා දකින්නට ලැබෙන්නේ මෙහිදීය.

"වෙනුර" කියමින් වෙනුර අය්යා මුදල් යොමු කරන අතර සඳ තැන්නේ කට්ටිය " සඳ තැන්න " කියමින් මල් බඳුනට ලන්සු තබති.

මේ අතර ගමේ කොල්ලෝ " පුලිටි පුටේ පුටි පුලිටේ " හෝ "එක කළු කුකුළාට එක කුකුල් කකුලයි " වැනි තාත්තගේ දිව උලුක් වන යෙදුම් කියවා ගනිති,

ඒ මල් බඳුන ගන්නටම නොව  හුදු විනෝදය සඳහා පමණය.

මේ අතර තම පුතා නාවික හමුදාවේ  සෙබෙලෙක් වන  කළු ආතම්මා  "සත විසිපහයි  නාවික හමුදාව " කියා වරින් වර තාත්තා ලවා කියවන්නේ ඒ වෙනුවෙන් මුදල් යොදවමිනි.
මේ අතර " බෝට්ටුවේ ජොලි.. ජොලී.." කියා සත විසිපහක් වැටුනා මතකය.

මිනිසුන් නැවතත් මුහුණින් මුහුණ බැලුවේ සිද්ධිය පැහැදිලි නැති නිසාය.

ටික වෙලාවකින් තවත් සත විසිපහක් වැටුනේ " බේබි නෝනා  ..බෝට්ටුවේ ජොලි.. ජොලී " කියමිනි.
තාත්තාද හිනහ වෙමින්  උපාසක උපාසිකාවන් කියන ඒවා යකඩ කටින් කියවනු දක්නට ලැබිණි.

බෝට්ටු කතාව කුමක්දැයි ආරංචි වුයේ ඉස්කෝලේ ලොකු අය්යලා ගේ කතා වලට සවන් දීමෙන් අනතුරුවයි.

ටික කලකට පෙර කිරඹ ඔය විද්‍යාලයෙන් ගිය  විනෝද චාරිකාවකදී බේබි නෝනා නම් යුවතියක් සහ තවත් තරුණයෙක් මුල් කරගෙන සිදු වූ සිද්ධියක්   මේ කතාවට පාදක වී තිබිණි.





Tuesday, 24 November 2015

බ්ලැක් නයිට් සහ බ්ලැක් ඇන්ඩ් වයිට් ..




අද  මට නිවාඩු දවසකි.  පහු ගිය දවස් වල උදේ පාන්දරින්  ගෙදරින් පිටත් වූ නිසා  සුපුන් පාසැල් පිටත් වන මොහොතේ ගෙදර හිටියේ නැති තරම්ය.

පුරුදු පරිදි  කාර්යාල කාමරයට වී  බෙඩ් ටී එක ලැබෙන තෙක් සිටියෙමි.

උදේ පාන්දර  කුස්සිය පැත්තෙන් කාල ගෝට්ටියක් ඇසේ..

" මේ මොකද ඔළුව පුරා ක්‍රීම් නාලා "  "ඒයි කවිඳු  මේ බලන්නකෝ මෙයා .. " නිම්මිගේ හඬින්  පරිගණකයෙන් ඈත් වුනෙමි.

දැන් අවුරුදු දොළහ සපිරෙන  සුපුන්  " මොඩ්" කරන්නට  පටන්ගෙන තිබෙන්නේ  මුහුණේ ගාන්න ගෙනා ක්‍රීම් යොදා කොණ්ඩා මෝස්තරයක් දැමීමෙනි.

නිම්මි අද කඩේ ගිහින් සුපුන්ට ඉස්තරම් වර්ගයේ හෙයා ජෙල් එකක් ගෙනෙනු ඇත.

එහෙත්  අද සුපුන්ලා අම්මලාට මෙන් කියන පමාවෙන් දේවල් ගෙනත් දෙන්න අපේ අම්මලාට  හැකියාවක් තිබුණේ නැත.

අපි කුඩා කාලේ  සමාන සිදුවීම් මීට වඩා තරමක් වෙනස් ආකාරයක් ගත්තේ ඒ නිසාය.

" පුතා ඉස්සර තාත්තත් ඔය වගේ වැඩ කරනවා.. " මම අතීත කතාව සුපුන්ට සහ නිම්මිට කියන්න තීරණය කලෙමි.

උදේ පාන්දර සිදු වූ  අම්මලා පුතාලගේ ආරෝවත්  සමගම  මගේ සිත වේගයෙන් ඇදී ගියේ  මල්දෙණියේ අපේ නිවස වෙතයි.


බ්ලැක් නයිට් හෙයා ජෙල්...



ඒ නමසිය අසු ගණන් වල මුල් භාගයයි. ඒ කාලේ අපේ තාත්තා පසු කරමින් සිටියේ මගේ වර්තමාන වයසට සමාන වයසකි.

අප මෙන් (දැකුම්) කළු පෙනුමකින් හෙබි ඔහු ඒ වන විට පස් දරු පියෙකි.

එවකට    මැදි වයසේ තරුණයෙක් වු නාමරත්න  ක්ලාක් මහත්තයා සෑහෙන්න  මෝස්තරයට බර කෙනෙකි.

වැඩට යන්නට පෙර කණ්නාඩිය ළඟ සෑහෙන වෙලාවක් ගත කිරීම ඔහුගේ දිනචරියාවේ කොටසක් වී තිබිණි.

හොඳින් රැවුල බා තොල් දෙකට උඩින් ගිණි කූරූ කට් එකක් ඉතිරි කර තැබීම ඔහුගේ සිරිතයි.

රැවුල කැපීමෙන් අනතුරුව මුහුණේ ක්‍රීම් සහ පවුඩර් ආලේප කිරීමද සිදුවේ.

ඔහු ඒ කාලේ පාවිච්චි කල රුපලාවන්‍ය කළමණා අතර තිබුණු  තවත් වැදගත් දෙයක් වුයේ බ්ලැක් නයිට් හෙයා ක්‍රීම්/ජෙල් එකයි.

හොඳින් හෙයා ක්‍රීම් ආලේප කර තම හිසකෙස් සකසන ඔහු ලොකු "බම්ප් " එකක් සහිත කොණ්ඩ මෝස්තරයක් දමන්නට පුරුදු වී සිටියේය..

කවිඳුගේ කොණ්ඩා මෝස්‌තර


මේ වන විට මා සිටියේ අරලගන්විල කනිස්ටයේ ( දැන් බිම්බිසාර මහා විද්‍යාලයේ ) හතර නෙළුම් පංතියේය.

ඒ කාලේ පන්තියේ සිටි හොඳම මොඩ් කරන්නන් වුයේ දඹේතැන්නේ  ප්‍රියංක , "අරලගංවිල " නිමාලි ගෙස්ට් හවුස් එකේ දිලිත් වැනි යයි.

මොවුන් දෙදෙනාගේම  කොණ්ඩා ඉස්සරහට රැල්ලක් එන ලෙස සකස් කල තරමක් කැරලි ගැසුණු ඒවා විය.

ඒ කාලේ කවිඳුගේ හිස කේස් ඉත්තෑ කූරු මෙන් ඉහලට එසවී තිබුණේ අපේ "වන්නියා" ගේ  කූරු කොණ්ඩෙට පමණක් දෙවැනි වන පරිද්දෙනි.

මම ප්‍රියංක ලාගේ උපදෙස් මත එක එක රුපලාවන්‍ය ක්‍රම අත්හදා බැලු සැටි තාමත් මතකය.

ඉන් එකක් වුයේ අම්මලාට හොරෙන් උදේ පාන්දරම ජේන් අක්කලා ගෙවල් ළඟ  ලිඳට ගිය ගමනයි.

ගෙදරින් බිත්ත්රයක්ද රැගෙන ගිය ඒ ගමනේ අභිලාෂය වුයේ බිත්තර සාරු ගල්වා හිස සෝදා ගැනීමයි.

එමෙන්ම වරක් මගේ කොන්ඩේ ගැන කතා කරද්දී ප්‍රියංකයා දුන් උපදෙස් කිහිපයකි.

" මචං කවිඳු .. උඹ කොහෙන්ද කොන්ඩේ කපන්නේ.. ?"

"අරලගංවිල අලුත් සුපර් මාර්කට් එකෙන් "

"ඉතින් ඊළඟ පාර ගියාම බාබර්ට කියපන් සැගී කට් එකක් කරන්න කියලා.."

කල්ලියේ සිටි තවකෙකු වූ සනත් කිවේ " එක්කෝ තට්ටේ ගෑවා නම් හරි .. ඊළඟ පාර කොන්ඩේ ක්‍රේල් වෙලා එනවා" යනුවෙනි.

මේ සාකච්චා  වලින් පසු තාත්තා මාව බාබර් සාප්පුවට අරන් ගියේ ඉරිදා උදසනකයි.

" බබා කොහොමද කොන්ඩේ කපන්නේ..?"

"සැගී  කපන්න .. "

බාබර් ගේ ඇස් උඩ ගියේය.. ඔහු තාත්තට ඉඟියක් ද කළා මතකය.

එදා කොන්ඩේ කැපුනේ ද වෙනදා පුරුදු ආකාරයටමය.


මෙසේ කොන්ඩේ හදා ගන්නට වෙහෙසෙමින් සිටි මට  මට තාත්තගේ හෙයා ක්‍රීම් එක හොඳ  රුපලාවන්‍ය මෙවලමක් විය.

සාමානයෙන් උදෑසන පාසැල් යන්නට සැරසෙන මා තාත්තගේ කාමරයට එබීම පුරුද්දක් කරගෙන සිටියෙමි.

තාත්තගේ සාක්කුවෙන් සත විසි පහේ , පනහේ කාසි කිහිපයක් මාටියා ගැසීම  එහි ප්‍රධාන අරමුණයි.

තාත්තාගේ රුපලාවන්‍ය වැඩ ගැන උනන්දුවෙන් සිටි මා හට හෙයා ක්‍රීම් පාවිච්චියට දොළදුකක් ඇති වුයේ මේ අතරය.

පුරුදු පරිදි එදා උදැසනත්  තාත්තගේ කාමරයට රිංගුවෙමි.   එදා මට අවශ්‍ය වුයේ මාරු කාසි නොව ඔහුගේ හෙයා ක්‍රීම් එකයි.

වට පිට බලමින් කාමරයට ගිය මා ඩප්පිය ඇර ක්‍රීම් තලියක් ගත්තෙමි.

ලහි ලහියේ කන්නාඩිය ලඟට ගොස් ක්‍රීම් අතුල්ලා හිසකේ සැකසිම ඇරඹුවෙමි.

 ඒ කාලේ මගේ හිසකෙස් තිබුණේ ඉත්තෑ කූරු ගොඩක් එකට තැබුවා මෙනි. වැඩේ ලේසි පහසු එකක් නොවුයේ  ඒ බැවිනි.

 කොන්ඩේ හද හදා ඉන්න වෙලාවක් නැත.

" චුටි පුතා උඹ අද ඉස්කෝලේ යන්නේ නැද්ද.. ? පරක්කු වෙනවා "  අම්මා සිය හඬ අවදි කළාය.

"හරි හරි .. මම යන්න ලැහැස්තියි..."

මම හැල්මේ දුව ගියේ  සිරිමල්වත්තෙන් පාසැල් බසයක්  අල්ලා ගන්නා අදහසිනි.

පාසල් බසය මතක හැටියට 29 ශ්‍රී 1984 පල්ලෙවෙල  බස් රථයයි..  උදේ හත පමණ වී ඇති නිසා බසයේ සෙනග ද තරමක් වැඩිය.

"හා.. හා.. ඔය ළමයා පස්සට යනවා.."

කුඩා මම බසයේ මැද හරියට ගියේ  කොන්දා පස්සට යන්න කියමින් කෑ ගැසූ නිසාය.

අවාසනාවකට මට යන්නට සිදු වුයේ බ/සාන්ත පීතර විද්‍යාලයට යන ලොකු අය්යලා ගොඩක් ළඟටයි..

අප මෙන් නිල් පාට කොට කලිසම් නොව සුදු දිග කලිසම් හැඳ සිටි ඔවුන් එම විද්‍යාලයේ උසස් පෙළ පංති වල සිටි  අය වුහ.

ලොකු කොල්ලෝ හතර පස් දෙනා ඔවුන්ගේ වල් පල් කතා කරමින් බසයේ ගමන් කළහ.

මේ අය අතර සිටි පනංගල  පැත්තේ ඉඳලා එන "ජා" අය්යා කෙනෙකී.

ඔහුගේ නම මට නිච්චියක් නැති වුවත් මුහුණුවර තාමත් මතකය.

මේ "ජා" අය්යා මම හිතන  හැටියට  අපේ පාසැල් බසයේ හිතවතෙක් වූ ඇලන් පකීර් ගේ  අය්යා කෙනෙක්  විය හැකිය.

ඔබ බොහෝ දෙනෙක් දන්නා පරිදි  "ජා " යන වචනයෙන් හඳුන් වන්නේ මැලේ ජාතිකයින්ය.

ඔවුන් ශ්‍රී ලංකාවේ වෙසෙන මුස්ලිම් වරුන් ගෙන් කොටසකි.

ඒ කාලේ අපේ ගෙවල් පැත්තේද මෙවැනි ජා පවුල් කිහිපයක් වාසය කළහ.

ඔවුන්ට තිබුණේ අපට මෙන්  අඳුරු පැහැති සමක් නොව  යුරෝපීයයන්ට මෙන් වූ පැහැපත් සමකි.

වෙනත් අයුරකින් කියනවනම් බ්ලැක් නයිට් ක්‍රීම් ගා මම ගිය පාසැල් බසයේ  කළු  අපි මෙන්ම සුදු "ජා " අය්යලාද  ගමන් කළහ.

"ඒක නෙවෙයි මොකක්ද මේ සුවඳ ?"  කොල්ලෝ කල්ලියේ එකෙක් ඇසුවේ මා අසලම  සිටගෙන සිටිනා අතරය.

"මචං  .. මාර ඕඩිකොලොන්  ගඳක්  එනවා.."  " මෙන්න මේ පැත්තෙන් එන්නේ බන් " අර  ජා අය්යා එක් වරම හුස්.. හුස්.. ගාමින් යමක් ඉව කරන්නට විය..

මා සිතුවේ මේ අය බසයේ සිටි වෙනත් අයෙකු ගැන කතා  කරනවා ඇති කියාය.  මම හිමිහිට හැරී බැලුවෙමි.

මගේ අදහස වැරදිය. ජා අය්යා  ඔඩිකොලෝන් ගඳ එනවා කියමින්  බලන්නේ මගේ හිස දෙසය.

 ඔහු තමාට වඩා උසින් අඩු මගේ හිස ඉහලින් හුස් .. හුස්..  කියන බව තේරුම් ගියේ  බසය තවත්  වංගු කිහිපයක් ගත්තාට පසුවයි.

මගේ හිස ඉවකරමින්   සිටි  සුදු "ජා " අය්යා ට එදා දැනුනේ   තාත්තගේ  බ්ලැක් නයිට් හෙයා ජෙල් එකේ සුවඳය.











Thursday, 19 November 2015

පුංචි අම්මාගේ විවාහය සහ අම්මාගේ යෝජනාව- අවසාන කොටස

 වැලිකන්ද පැත්තේ කඳු මුදුනින් හිරු මුවාවී  හෝරාවකටත්  වැඩිය . පල්ලැහැ  විමලා අක්කලා මගුල් ගෙදර ගිය උදවිය  තවමත් එන පාටක් නැත.  මම තට්ට තනියම ගෙදරට වී සිටියෙමි.

ජයංගනී සහ මගේ  හෙට දවස ගැන හිතන්න හොඳ වෙලාවකි.



කටයුතු සිදුවෙමින් පවතින ආකාරය අනුව නම්  අප හට විවරව ඇත්තේ  රෝසමල් ඇතිරූ මාවතක් ම විය නොහැකිය.

මෑතකදී තාත්තා අපේ අපේ අම්මා සමග කියූ කතාවක් මට මතක් වුයේ මේ අතරයි .

" අපේ එකාලුනේ පස්සෙන් යන්නේ. මට ජයරත්න කිව්වනේ " යන වාක්‍යයෙන් එය අවසාන වූ බවත් මතක් විය.

ඒ කියන්නේ සිද්ධිය දැන්  නාමරත්න දෙමහල්ලන් අතරටද පැමිණ තිබේ . ඒ මට අවාසි සහගත වන ආකාරයකටය.

එහෙත් මේ වන තෙක්ම අම්මා හෝ තාත්තා ජයංගනී ගැන මගෙන් විමසා තිබුණේ නැත.

ජයරත්න අය්යා තාත්තා සමග අප ගැන පවසා තිබුනද " ඕවා මේ පොඩි එවුන්ගේ වැඩ අපි දැන්මම කලබල වෙන්න ඕනා නෑ විමලෝ " කියා වත් තාත්තා අම්මාට කියන්නට ඇත.

සුදානම් ශරීරය කෝකටත් හොඳය. ජයංගනී සමග ප්‍රසිද්ධියේ කරන ගමන් බිමන් අඩු කල යුතුය.



අඳුර හාත්පසින්ම මා වට කරද්දී  මතු වූ අපේ තාත්තගේ හඬින් මම කල්පනා ලොවෙන් මිදුනෙමි.

"චුටි පුතා ඔයාටත් පුළුවන් නේ  අර  ඉස්කෝලේ මහත්තයා වගේ කරන්න "

 "මම කිව්වේ  ස්වප්නා දුව බැන්ද මහත්තයා  වැලිකන්ද පැත්තේ ඉංග්‍රීසි ගුරුවරයෙක් "  "එයා  හරි සල්ලියක් හොයන පාටයි ."

 "ගේ  වටේම ටකරන් මඩු ගහලා පංති කරන්න .. ළමයිනුත්  සීයක් හමාරක් එනවලු .."

තාත්තා ගෙට ගොඩ වුයේ  විමලා අක්කලා නංගි ස්වප්නගේ අළුත ගෙනා මනමාලයා ගැන වර්ණනා කරන ගමන්ය.

"ඉතින් ඔයා.. ඒ ළමයා  වැලිකන්දේ පංති නවත්තලා වටගමුව ඉස්කෝලෙට  ඇවිත් මොනවා කරන්නද ?"

අම්මා ආසන්නේ අනාගතයේ ඔහු පංති පවත් වන්නේ කෙසේද කියාය.

"එහේ පංති මල්ලිට භාර දෙනවා කිව්වා .  ඊට පස්සේ මෙයා මල්දෙණියේ පංතියක් පටන් ගනියි "

"මට කිව්වා ළඟ ඉස්කෝලෙකට මාරුවක් හදලා දෙන්නත්  කියලා. ඒකයි මම වටගමුව ගැන හිතුවේ "

 අපේ තාත්තා  වැලිකන්දෙන්  අරලගන්විලට කෙරුන ඔහුගේ ස්ථාන මාරුවද  සකස් කර දෙන්නට පොරුන්දු වී ඇත.

"හැමෝටම හරි සතුටුයි අපි ඔක්කොම ගිය එක ගැන "

අපි කන්දේගෙදර  අයගේ මගුල් ගෙදරකට ගියාමයිනේ ඔය "

අගස්ති මාලය සහ අතේ තිබු වළලු ටික ගලවා  අල්මාරියට දමමින් සිටි අම්මා ද මගුල් ගෙදර ගැන පවසන්නට විය.

"ඔයාගේ ප්‍රින්සිපල් එහෙමත් හම්බවුනා .. හිමිජ්ජා වගේ හිටියට එයා කුදාර් වෙන්න බොනවා නේද..?"

කියමින් අම්මා තවදුරටත් පැවසුවේ සඳතැන්නේ ගුරුමණ්ඩලය  එහෙම පිටින්ම එහි පැමිණ සිටි බවයි.

ඔච්චර ලොකු මගුල් ගෙදරක ගිහින් මට මගුල් කේක් කෑල්ලක් වත් ගෙනැත් තිබුණේ නැත.

නැතහොත්  විමලා අක්කලා කවිඳු මල්ලිට දෙන්න යැයි කියා එසේ කේක් එවා තිබුණේ නැත.


අම්මා රෑ බත් උයන අතර මම පුරුදු පරිදි ලිප උඩට වී සිටියෙමි.

දෙවැනි මනමාළියට හිඳ තිබුණේ  ජයංගනී ගේ අක්කා   රත්නා ලාලනී  නංගි බව ඇය අතින් කියවුනා මතකය.

එහෙත් ජයංගනී ගැන කිසිවක් නොකියා ඉන්නට අම්මා ප්‍රවේශම් වුවාය.

මගුල් ගෙදරදී  අපේ ලොකු සර් මෙන්ම තාත්තාද ජයරත්න අය්යා සහ  එකතු වී මධුවිතින් සප්පායම් වූ බවද එහිදී හෙළි විය.


උදේ පාන්දරින් පැමිණි  හිතවතිය



ගල උඩ පුටුව දෙසින් ලා හිරු රැස් වැටෙමින් තිබිණි . උඩහ තේ වත්තේ සවුක්කු ගස් අතරින් එන හිරු කිරණ   අපේ වත්තේ ඊතල මෙන් වූ  රටා  මවමින් තිබිණි.

"විමලා නැන්දා.. විමලා නැන්දා" උදේ පාන්දරම හුරු පුරුදු කාන්තා කට හඬක් ඉස්සර දොර පැත්තෙන් ඇසෙන්නට විය. 

මා ඉස්සරහ දොර වෙත ඇදුනේ පුරුද්දට මෙනි .  අපේ නංගිලා අම්මා විමලා අක්කා  අම්මා හොයාගෙන පැමිණ ඇත. 

" කෝ අම්මා ඉන්නවද?" 

ඇය මගෙන් ඇසුවාය .   " අම්මා කුස්සියේ ඉන්නවා  එන්න.. එන්න.." කියමින් මා ඇය අම්මා වෙත  කැඳවා ගෙන ගියෙමි.

ඒ හිතේ කිසියම් චකිතයක් ද නැතිවම නොවේ.

"මගුල් ගෙදරට ගිය නිසා ස්තුති කරන්නට එන්න ඇති" මම කලබල වූ මගේ සිත අස්වසන්නට උත්සාහ කලෙමි.  

මට කතා වෙන්නේ මොනවාදැයි දැන ගන්නම සිතේ. විනාඩි කිහිපයක් කාමරයට වී සිටි මා නැවතත් කුස්සිය දෙසට ගියෙමි.

අම්මා ලිප ළඟ පුටුවේ ඉඳන් තරමක් වේගයෙන් දර කඩයි. විමලා අක්කා මිරිස්ගල ළඟ තියෙන පුටුවේ වාඩිවී සිටියි.   

ඒ වන විටත් දෙදෙනා අතර බරපතළ  සාකච්චාව අවසාන වී නැත. 

"නැන්දා  මම ආවේ වැදගත් දෙයක් කතා කරන්න. මේ කටයුතු එකලාසයක් කරලා  දාමු කියන්නයි මම ආවේ 
විමලා අක්කා කියු වදන් විදුළියක් මෙන් විත්  මා සවනත වැකිණි. 

" කැවුම් ගෙනාවම අපි හිතුවේ ඇත්තටම කැමතියි කියලා " 

විමලා අක්කා අතින් කියවෙනවා  මට හොඳින්ම ඇහුනු තවත් කොටසකි.

මගේ සිත අපේ දෙමව්පියන් කෙරෙහි ඇතිවූ භීතියත් , විමලා අක්කා කෙරෙහි උපන් තරහත් , ජයංගනී සහ මා ගැන ඇතිවූ අප්‍රමාණ අනුකම්පාවත් වැනි   සිතිවිලි ගොන්නක පැටලී ගියේය.

පැයක පමණ සාකච්චාවකින් පසු මුහුණ බිමට හරවා ගත් විමලා ටීචර් පල්ලම් බසින අයුරු දුටුවෙමි.

මම සිදු වුයේ කුමක් දැයි දැන ගන්නා අටියෙන් කුස්සිය දෙසට ගියෙමි.

" ඔන්න පේනවනේ වැඩේ කෙල්ලොත් එක්ක පාරවල් ගානේ රස්තියාදු ගැහැව්වම වෙන දේ  " 

 "ඔන්න උඹේ නල්ල මලේ අක්කා උඹට මගුලක් කතා කරන්න ඇවිල්ලා"  

අම්මා තම සාධාරණ කේන්තිය  මා මතින් පිට කරන්නට පටන් ගත්තාය .

" මල්ලිට දැන් රස්සාවකුත් තියනවනේ.. අනික එයා හොඳට එළවලු වලිනුත් අදායම් ගන්න කෙනෙක් නේ .. ඒක නිසා අපි මේ කටුයුතු එකලාසයක් කරමු."

ඈ අම්මා හට පැවසූ කතාවේ සාරාංශය එයයි.

එදා සනිටුහන්  වූයේ අපේ නිවසේ හැමෝම මගේ සහ ජයංගනීගේ  සම්බන්ධයට අකුල් හෙලීමේ ක්‍රියාවලියේ ඉතා වැදගත් සංධිස්ථානයකි.

එමෙන්ම  අපේ තාත්තා ඇතුළු පවුලේ අය  ජයංගනීලා අම්මා ඇතුළු ඒ පවුලෙන් පන්න පන්නා පලි ගැනීමේ සිද්ධි දාමයේ ආරම්භය ද එදිනයි.


මාවනැල්ලේ ගෙවතු වගාව (පුවක් බාස් -තුන්වන කොටස)

මාත්  නිම්මිත්  අලදෙණිය- වල්පොල  පාරේ කුලී නිවසක ජිවත්  වූ ඒ කාලේ හැම සති අන්තයකම  අපි මාවනැල්ලේ ගියෙමු.

ඒ මාවනැල්ලේ ගිය දෙවන වතාවයි. තම අම්මා, නංගි සහ බන්ටියා දැකීම නිම්මිගේ අරමුණ විය .

ගියවර  වගා කල කෙසෙල්  ගස් බැලීමත්, ගෙවත්තේ වැඩ වල තව පියවරක් ඉදිරියට යෑමත්, නිම්මි සමග නැවතත්  රබර් කැලේ මැද පිහිටි දොළ පාරට යෑමත් මගේ  අරමුණු විය.

එමෙන්ම අවස්ථාවක්  ලැබුනොත් පුවක් බාස් කතාවට අල්ලා ගන්නටද මට අවශ්‍ය  වී තිබු බව අසත්‍යක් නොවේ

අළුත හඳුනා ගත් අය්යා  සමග කැලේ  ගැවසීමත්  අවශ්‍ය වුවහොත් ඔහුගේ උදව්වට පැමිණීමත්  බන්ටියාගේ අරමුණ වන්නට ඇත.

නිම්මිලා අම්මා සහ නංගි අලුතින් කඩා පාත් වූ මේ නෑදෑයා  ගේ වැඩ පිළිවෙල තේරුම් ගන්නට උත්සහා ගනිමින් ඉන්නට ඇත.

එහෙත් මේ සිදුවීම් වල වඩාත්ම  වැදගත් චරිතය වූ පුවක් බාස්  අපේ ගනු දෙනු වලින් බල පොරොත්තු වුයේ කුමක් දැයි මට පැහැදිලි නැත.


නිම්මිලා ගෙවත්තේ තව දවසක් 


පුරුදු පරිදි රෝයල් මෝල් එකෙන් නිම්මිලා අම්මාට ගත් මාළු පාන්  ආදිය රැගෙන අපි මාවනැල්ලේ  මහ ගෙදරට ලඟා වීමු.

අප එහි යනවිට වෙලාව උදේ අට  හමාර පමණ වන්නට ඇත.

වැඩට ගියත් නැතත් උදේ පහ හමාරට-හයට පමණ අවදි  වීම අපේ සිරිතකි.

එබැවින් වේලාසනින්  මාවනැල්ල බලා පිටත් වීම එතරම් අපහසු දෙයක්  වන්නේ  නැත.

නිම්මි අම්මා සමග කුස්සියට වී කතාව පටන් ගත්තාය.

අපේ පොල් කඩේ විස්තරත් අප නැවතී සිටි ගෙදර විස්තරත් සාකච්චා වෙනවා මට මතකය.

අම්මා තේ එකක් හදන තෙක් මම වත්තට පැන්නෙමි.

"මගේ කෙසෙල් පැලවල මුල් අල්ලලා ඇති " යැයි සිතමින් කුස්සියෙන් එලියට අඩිය තිබ්බා පමණි.

අසල පරිසරයේ ගිය සතියට වඩා පැහැදිලි වෙනසක් මට පෙනේ.

"අම්මා.. කවුද මේ ඇම්බුන් පැලේ මෙතන හිටවව්වේ ? "  මා ඇසුවේ මේ වෙනස සිදුවුයේ කෙසේද යන්න දැන ගැනීමේ අටියෙනි.

"ආ.. ඕක අල්ලපු ගෙදර දුල්මිණි ලා තාත්තා ඇවිත් ඔතන හිටවලා ගියා"

" තව ගහක්  අර වෙරළු ගහට එහයිනුත් හිටෙව්වා .. ඒක මාළු කෙසෙල් පැලයක් කියලා කිව්වා "

පුවකා මගේ කෙසෙල් පැල අතර තමන්ගේ කෙසෙල් පැල දෙකකුත් සිටුවා ඇත.

මට ඉල්ලා ගන්නට ඇත්නම් යැයි සිතුනු ඇම්බුන් පැලය ඉන් එකකි.

මා කුස්සියේ දොරෙන් එලියට ගිය මොහොතේ පටන් බන්ටියා මා පස්සෙන් වැටේ.

ඌ හුස්.. හුස්.. ගා ඇම්බුන් ගහ වටේ ඉව කරමින් නැවුම් පසේ සුවඳ  විඳිනු මට පෙනේ.

"පුතේ එන්න තේ බිලා  යන්න.. " නිම්මිලා අම්මා මා අමතයි.

බන්ටියත් මමත් තේ බොන්නට ගෙට ගොඩ වූයෙමු.

" ආ .. බන්ටිට අලුත් අය්යා කෙනෙක් හම්බ වෙලා නේ .. දැන් අපි මතක නෑ නේද?" නිම්මි බන්ටිගේ බෙල්ල කසමින් පැවසූ වේ මේ වෙලාවී දිය.

" එයා අය්යත් එක්ක එකතුයි.. අදත් කැලේ යනවද අය්යත් එක්ක?" නිම්මිලා අම්මත් කතාවට එක් වුවාය.

තේ පානයෙන් පසු අගුවේ වූ මඩු ගෙයට ගිය මා උදැල්ලක් , පිකැස් එකක් සහ අලවංගුවක් රැගෙන ගෙට ඉහලින් වූ  ඉඩම් කොටසට ගොඩ වුයෙමි .


පුරුදු පරිදි බන්ටියා මා සමගම ඒ පැත්තට ලඟා විය.  පහල කොටසට වඩා මේ කොටසේ කැලෑ ගතිය වැඩිය. උදළු පහර කිහිපයක් ගසා කුඩා කොටසක් එලි පෙහෙළි කර ගත්තෙමි.

මගේ අඩුම කුඩුම ටික ඒ හරියේ තිබු මා නැවතත් කුස්සිය දෙසට ගියෙමි.

"අම්මා .. කැත්තක් නැද්ද.? කැලේ ටිකක්  ඝන කම වැඩියි වාගේ.."

"අපේ ගෙදර කැත්තක්  නෑ මන් හිතන්නේ..  ඉන්ඩ මන් එහා ගෙදර මල්ලී ගෙන්  අහලා එන්නම් "

ඈ කීවේ පුවක් බාස් ලා ගෙදර කැත්තක් තිබිය හැකි බවයි.

අම්මා කැත්තක් රැගෙන එන තෙක් නැවතත් කැලේ සමග ඔට්ටු වෙන්නට සිතුවෙමි.

උදැල්ල රැගෙන වෙර යොදා කෙටුවොත් ඝන කමින් වැඩි ගස්ද  කැපී යයි.

මේ අතර බන්ටියා  මම ගහන  සෑම උදළු පාරක් පාසාම බුරමින් කැලේ  දෙසට පනියි.

" මුට පිස්සුද මන්දා .. බෙල්ලත් කෙටිලා යනවා  තව චුට්ටෙන් ."

මම සිතුවේ බන්ටියා ගේ මේ අමුතු පැනීමේ පිළිවෙල මට එච්චර ඇල්ලුවේ නැති නිසාය.

තව තවත් කැලය එලි කරමින් ඒ තුලට ගමන් කලෙමි.

බන්ටියා කරදරයක් යැයි සිතුනු වාර අපමණය.

විටෙක ඌ මගේ කකුල් දෙකේ වදියි. නැවතත් උදැල්ල අසලින්ම කැලේට පනියි...

කෙසේ හෝ වදෙන් පොරෙන් කැලෙන් සෑහෙන කොටසක් හෙළි කලෙමි.

වත්තේ ඉහළ කොටසෙන් ඩිග් .. ඩිග්  ගා යමෙකු ගෙඩි කඩන හඬ ඇසේ ..  කවුරු හරි  පොල් හෝ කුරුම්බා  කඩන හඬයි ඒ . පුවකා ඇවිත් වත්ද ?

ටික වෙලාවකින් නිම්මිලා නංගි අමරා  මා වෙත ආවේ ඒ ගෙඩි වලින් ගත් වතුරත්  රැගෙනයි.

" කවුද කුරුම්බා කැඩුවේ  නංගි..?" මම ඇසුවෙමි.

"දුල්මිණි ලා තාත්ත ආවා..  අය්යට උයලා දෙන්න කියලා පොලොස් ගෙඩි දෙකකුත්  අරගෙන . ඊට පස්සේ කුරුම්බා කැඩුවා බොන්න දෙන්න කියලා "

අමරා නංගි පැවසුයේ මගේ අනුමානය සනාථ කරමිනි.

අම්මා කැත්තක් ඉල්ලන්න ගිය වෙලාවේ පුවක් බාස් මා ගෙවත්තේ වැඩ බව දැන ගන්නට ඇත.

ඉන්පසු ඔහු මාගේ වෙහෙස නිවන්නට මෙන්ම දිවා ආහාරයට අවශ්‍ය දේවල් ද සපයා දී තිබේ.

කුරුම්බා පානයෙන් පසු නැවතත් වැඩට බැස්සෙමි.  දැන් පුවකා ගෙනැත් දුන්න කැත්තද  ඒ සඳහා යොදා ගත හැකිය.
 කැත්තෙන් භාගෙට එලි පෙහිලි කල කොටසකට උදළු පහර ගසමින් සිටියෙමි.

බන්ටියා නැවතත් බුරමින් ඒ දෙසට පනියි.

කැලේ කොටන්නට කියා උදැල්ල ඔසවත්ම බන්ටියා එය පහත් වන්නට නොදී ඒ දෙසට පැන්නේය... ඌ බුරනවාට අමතරව හුස්.. හුස්.. නහය අතුල්ලමින් ඒ දෙසට යයි.

"මේකට පිස්සුද මන්දා .. කියමින් ඒ දෙස බැලුවෙමි..."

කිසියම් දෙයක් .. දුඹුරු පාට ගුලියක් මෙන් මා දෙකකුල් අසලම  තිබෙනු දුටුවෙමි.

තවත් විමසිල්ලෙන් බැලුවේ බන්ටියාද පසෙකට තල්ලු කරමිනි.

දරණ ගැසී නින්දේ මෙන් සිටි සතාගේ ඇඟේ සත පහ , සත පහ වැනි ලකුණු පෙනෙන්නට තිබේ.

වෙද විදුහලේ  දී රාජසූරිය මැඩම් කියා දුන් අනෙක් ලක්ෂණය තිබේ දැයි බැලුවෙමි.

වී හැඩයේ ලකුණක් හිස මත දක්නට ලැබේ.. මගේ ඇඟ කිළිපොලා ගියේ සත්වයා හඳුනා ගැනීමෙනි..

 වෙද විදුහලේ වීදුරු පෙට්ටියේ පොළගෙක් දැක තිබුනද දාර පොළගෙක් මා  අබියසම  දුටු ප්‍රථම අවස්ථාව මෙයයි.

" මෙන්න  පොළන්ගෙක් "  මම කෑගැසුවෙමි.

මුලින්ම දුවගෙන ආවේ නිම්මිලා නංගි අමරා ය..

" මරන්න .. මරන්න.. " ඈ කෑ ගැසුවාය.

විෂඝෝර සර්පයෙක් වුවත්  නිශ්චල ව නින්දේ පසු වූ සතාට  හානියක් කරන්නට මට සිතුනේ නැත.

එහෙත් මෙතනින් එහාට  එලි පෙහෙළි කරන්න නම් ඌ ඉවත් කල යුතුය.

මා කල්පනා කරමින් සිටියේ ඒ ගැනයි.

"මොනවද  බල බලා ඉන්නේ.. මෙන්න මෙහාට දෙන්න ඕක " යැයි කියමින් මා අත තිබු උදැල්ල උදුරා ගත් අමරා පොළොන් රාජයා පරලෝසැපත් කළාය.








Tuesday, 17 November 2015

පුංචි අම්මාගේ විවාහය සහ අම්මාගේ යෝජනාව-දෙවන කොටස



මගුල්  ගෙදරට සුදානම් වෙමින්  සිටි විමලා අක්කා  සඳ තැන්න  ඉස්කෝලේ ළමයින්ට මල් ගෙනැත් දෙන ලෙස කියා තිබිණි.

මගුල් ගෙදර හෙටයි කියා තිබු දිනයේ පාසලේ කිසියම් උත්සවයක් පැවැත්විණි . මට මතක හැටියට ඒ සඳ තැන්න විද්‍යාලයේ තිබු ප්‍රථම නිවාසාන්තර ක්‍රීඩා තරඟයයි.

එදා පාසල් වැඩ නිමාවන විට හවස හය හමාර පමණ විය.

විමලා අක්කාට තම නංගි ගේ මගුල් ගෙදරට අවශ්‍ය මල්  ගොඩ මෙන්ම නිවාස තරඟයට ගෙදරින් ගෙනා බඩුද  රැගෙන යාමට අවශ්‍ය විය.

ඇය බඩු ගොඩ ඉහින් කනින් එල්ලා ගත් අතර  ඈ සමග මගක් දුරට යන මා ළමුන් ගෙනා විශාල මල් තොගය ගත්තෙමි.

අප මල්දෙණියට  ලඟා වනවිට  හොඳටම කරුවල වැටෙමින් තිබුණි.  තම නිවස  දක්වා ඇති ඉතිරි මීටර් 500 ක  පමණ දුර තනියෙන් යන්නට ඈ බිය වූ ගතියක් පෙනෙන්නට තිබිණි.

එමෙන්ම තම අතේ ඇති බඩු  ගොඩත් සමග මගේ අතේ ඇති මල් පොදිය ගන්නට ඇයට ඉඩක් තිබුනේද නැත.

"  යමු මම ගෙවල් ලඟට ගිහින් ඇරලවන්නම් "  ඇයගේ බිය මුසු මුහුණ  දුටු මා පැවසුයෙමි.

හෙට තියෙන මගුල් ගෙදරට මට ආරාධනා නොකිරීම ගැන  මා සිතේ කිසි අමනාපයක් තිබුනේ නැත.

තිබුනා නම් ඔයා යන විදිහකට ගෙදර යන එකයි ඇත්තේ කියා මා මගේ ගමන යනු ඇත.

" කවුරුත් දැක්කොත් හරි නෑ... ඒත් මට ඇත්තටම තනියෙන් යන්න බයයි."

විමලා අක්කා පැවසුවාය.

 "හරි.. හරි  මම ඔයා ගේට්ටුව ලඟට ඇරලවලා ගෙදර යන්නම් "

කියා මම කිවේ විමලා අක්කා මම ඇගේ නිවසට එනවාට අකමැති බව තේරුම් ගනිමිනි.

තව එකක්  ඇය සිය නැගණියගේ මංගල්‍යය ට  මට ආරාධනා කර තිබුනේද නැත.

ඒ කෙසේ වෙතත්  ඇය තම නිවස දක්වා රැගෙන යෑමට  මම තීරණය කලෙමි.

නිවාසාන්තර උත්සවේ ගැන ආගිය තොරතුරු කතා කරමින්  මල්දෙණිය දෙසට යමින් සිටියෙමු.

බුරුස් මාමලා  කඩේ පහුවුනා පමණි.

"බොහොම පින් මල්ලි...  ඔයා දැන්  ගෙදර යන්න මම ඉතිරි ටික පල්ලැහැට යන්නම් "
කියා ඇය මාගෙන් සමුගත්තාය .

ඒ මල් පොදියත් කෙසේ හෝ තම ලයට තුරුළු කර ගනිමිනි.

ඇගෙන් සමුගත් මා රෑ හත  හමාර පමණ වන විට අපේ ගෙදරට ළඟාවූ යෙමි.

මගුල් ගෙදරට කැවුම් සැපයීම.

මා නිවසට ලඟා වනවිට නිවසේ එකම කළබලයකි. අපේ අම්මා , අක්කා සහ පල්ලැහැ  ගෙදර ජේන් අක්කා ඇතුළු පිරිස කුස්සියේ කෑ කෝ  ගසමින් වැඩ කරනු පෙනේ.

ඉස්කෝලේ ගෙනිච්ච  පොත් මල්ල පසෙකෙට දැමු මම කුස්සිය වෙත ඇදුනෙමි.

" හා පොඩි ඉස්කෝලේ මහත්තයා මොකද පරක්කු..? අපි මේ පල්ලැහැ  විමලා ඉස්කෝලේ නෝනලා  ගෙදර ගෙනි යන්න කැවුම් උයනවා" 

කියමින් තරමක් උපහාසාත්මක  හඬකින් පැවසුයේ  අපේ ජේන් අක්කා විසිනි.

"හොඳයි . හොඳයි ... වෙඩින්  එක ඉස්කෝලේ  අයටත්  කියලා තිබුණා"

මමත්  ඇඟට පතට නොදනී පිළිතුරු දුන්නෙමි. 

අම්මලා හදමින්  සිටියේ අතිරස කැවුම්ය.

විමලා දුවලා ගේ මගුල් ගෙදර  කැවුම්  ගෙන යායුතු යැයි තීරණය කර තිබුනේ අපේ අම්මා විසිනි.
මට නොහඟවා සිටියද මේ වන විටත් ජයරත්න අය්යා විසින් මගේ සහ ජයංගනී ගේ  සම්බන්ධය ගැන අපේ තාත්තා හා කතා කර තිබුණි.

එය තාත්තා  මා හා පැවසුවේ මේ ලියන මොහොතට පැය කිහිපයකට පෙරාතුවයි. 

එනම් සාකච්චාව සිදුවී වසර 23 කට පසුවයි.

තාත්තා ගේ වචන වලින් කිව්වොත් ඔහු එදා පිළිතුරු දී ඇත්තේ " ඒවා කෙරෙන වැඩ නෙවෙයි  " යනුවෙනි.

ස්වප්නා  අක්කගේ මගුල් දවස  සහ ඊට පසුදා

එදා සෙනසුරාදා දිනයකි. උදේ පාන්දරින්ම කැවුම් කදත් රැගත්  ජයසිංහ දෙමහල්ලෝ සහ ඔවුන් ගේ දියණියන්  විමලා ටීචර් ලාගේ මගුල් ගෙදරට පිටත් වුහ.

අපේ අක්කා එහි ගියේ මනමාලිය ගේ යෙහෙලියක් වශයෙනි. නංගිලා දෙදෙනා ජයමංගල කියන කණ්ඩායමට අයත් වුහ.

නාමරත්න මහතා මගුල් මේසයේ ප්‍රධාන කථිකයා  සහ මගුලේ ගිය මල්දෙණිය කණ්ඩායමේ නායකයා විය.

වැලිකන්දෙන් පැමිණි මනමාලයා ( ඉංග්‍රීසි ගුරුවරයෙකි) සහ ඔහුගේ පවුලේ අය  නාමරත්න මහතා සමග බෙහෙවින් කුළුපග වී තිබේ.

අපේ තාත්තා ද මනමාලයා ගේ පුද්ගලික පංතිය ආදිය ගැන බෙහෙවින් සතුටු වූ බවක් පෙනෙන්නට තිබිණි.

කොටින්ම කිවතොත් මගුල් ගෙදරින් පසු ජයරත්න පවුලත් ජයසිංහ පවුලත් බෙහෙවින් සමීප  වූ බවක් පෙනෙන්නට තිබිණි.



Monday, 16 November 2015

පුංචි අම්මාගේ විවාහය සහ අම්මාගේ යෝජනාව



මගෙත් ජයංගනී ගේත් සබඳතාවයට  කපුකම්  කලේ අපේ චමින්දයා බව ඔබට මතක ඇතැයි සිතමි.

එහෙත්  ජයංගනී සමග සබඳතාවයක්  ගොඩ නගා ගත යුතු බව මා තීරණය කලේ ආවට ගියාට නොවේ.
කල් යල් බලා ගත්  මේ තීරණයට  එළඹීමට පෙර මා විසින් සැලකිල්ලට ගත්  කරුණු ගණනාවකි.
ඒහැම දෙයකින්ම  මට  අවශ්‍ය  වුයේ අම්මා හා තාත්තගේ  විරෝධයක්  ඇති නොවන  වර්ගයේ කෙල්ලක් සමග යහළු වීමටයි.

මේ වන අපේ දෙමව්පියන් ඉතා තදබල ලෙස  සමන්තගේ සහ අපේ අක්කාගේ  ප්‍රේම සබඳතා වලට විරුද්ධ  වී තිබීම මගේ මේ ප්‍රවේශයට ප්‍රධාන හේතුවක් විය,

අපේ අම්මාට මගේ තිබු නොනිමි ආදරය සහ ඇගේ සිත රිදවීමට තිබු බලවත් අකමැත්ත තවත් හේතුවකි.

මේ නිසා ජයංගනී සමග යහළු වීමට පෙර මම පස් මහා බැලුම් බැලුවා යැයි කිවොත් නිවැරදිය.

විමලා අක්කලා සහ අපේ දෙමව්පියෝ එකල ඉතා හිතවත්  පවුල් දෙකක් වුහ.

එපමණක් නොව විමලා අක්කත් ජයරත්න අය්යත් අපේ අම්මලාට  සැහෙන්න ගරු සරු ඇතිව සැලකු අයද වුහ.

ඒ පවුලේ නෑදෑයින් ගේ කියන්නට තරම් වරදක් ද නොවීය.

 අවුලකට තිබුනේ ජයරත්න අය්යා ගේ රහ මෙර පානයයි. එයිනුත් ගමේ කාටවත් කරදරයක් වූ බවක් මා අසා නැත.

බීම නිසා ඔහු මොණරවිල ඩිපෝවේ කල රස්සාව ගැස්සී ගිය බව අපේ අම්මා කියනු මා අසා තිබේ.

කෙසේ වෙතත්  ඒ කාලේ  සහ ඊට පෙර  කාල වල අපේ තාත්තා ඔහුට වඩා මේ අන්තයෙන්  ( රහමෙර පානය සහ එහි ආදීනව  අතින් ) ඉදිරියෙන් සිටියා මතකය.

එබැවින්  ජයරත්න අය්යාගේ බිමත් කම  ඔහුගේ  දියණිය  හා හාද වීමට ප්‍රශ්නයක්  කර ගත යුතු යැයි මා සිතුවේ නැත.

ජයසිංහ ලාගේ  ගෙවල් වල මෙන් නොව  විමලා අක්කලා ඇත්තටම ඔවුන්ගේ ළමයින් තුන් දෙනා හැදුවේ   මල් වගේ ය.

 " මල් තුනක් පිපී ඇත වෙලා ගෙන මගේ හද"  යැයි ඈ ලියු කවියෙහි වරදක් මා නොදකින්නේ එබැවිනි.

ජයංගනී නංගි වත්  ඇයගේ අක්කා වත්  අම්මා තාත්තා සමග මිස තනියෙන් ගමන් ගිය අය නොවුහ.

පාසැල් යද්දීද අක්කා නගෝ දෙදෙනා ගමන් කලේ එකටමය. ජානක මල්ලී අක්කලා සමග පැමිණ මගදී මා ප්‍රමුඛ කොළු රෑනට එකතු විය.

ජානක මල්ලි ඊට වසර කිහිපයකට පෙර සිටම  පාසැල් බසයේ ගිය මගේලඟම හිතවතුන් ගෙන් කෙනෙක්  විය.

මේ කරුණු සියල්ල සලකා බැලු මා අවසානයේ තීරණය කලේ ජයංගනී වගේ "වැදගත් පවුලක වැදගත් ළමයෙකු" හා හාද වීම අපේ පවුලේ අයට ප්‍රශ්නයක් නොවනු ඇති බවයි.

මේ පදනම මත සිට  ඉතා බැරෑරුම් ලෙස සිතා බලා ගත් තීරණයක් ලෙස මම චමින්දට මගේ අදහස කීවෙමි.

අවසාන ප්‍රතිඵලය  අපි දෙදෙනා  පෙම්වතුන් වීමයි.

ඉන් අනතුරුව සිදු වූ දේවල්  දැන් අතීතයට භාර වී හමාරය .

කෙනෙකුට ඉන් අප්‍රමාණ දුකක් කණගාටුවක් ඇති විය හැකිය .

එහෙත් ඒවා ලේඛන ගත කර තැබීමේ ඇති වරදක් මට නම් නොපෙනේ.

" කොහෙද  ඉතින් උඹට ඕක මුලුගමටම  ගමටම පේන්න කරන්න  ඕනෑ වුනානේ ..?"

යැයි චමින්ද මට පසු කලෙක චෝදනා  කල පරිදිම මුළු ලෝකයටම පෙනෙන ලෙස මේ ආශ්‍රය කර ගෙන යන්නට මම තීරණය කලෙමි.

බය වෙන්නේ  කුමටද  ජයංගනී ලා අපේ නංගිලා ගේ පාසැල් මිතුරියෝය.

එයාලා පුංචි අම්මා අපේ අක්කාගේ හොඳම මිතුරියකි.  අම්මලා තාත්තලා පමණක් නොව සීයලා ආච්චිලද  එකෙනෙකාට හිතවත් අයය.

මම වැරදි පදනමක පිහිටා හරි තීරණයක් ගත්තෙමි.

ජයංගනී ලා අපි ගැන කාටවත් වසන් කරන්නට අවශ්‍ය නැත යන්න ඒ තීරණයයි.

ජයංගනී නංගිලා පුංචි අම්මාගේ විවාහය.


ඒ  වන විට මම මේ පය්රුපාසනම  පටන්ගෙන වසර දෙකක් හෝ තුනක්  ගත වී තිබුණි.

මේ වන විට මුළු මල්දෙණිය ගමත්  අපත් සමග පාසැල් ගිය සිසු සිසුවියන් බොහෝමයකුත්  කවිඳු- ජයංගනී පෙම් යුවල ගැන දැනගෙන සිටියහ .

මේ අතරට අපේ පවුලේ හැමෝමත් ජයංගනී නංගිලා පවුල් වල හැමෝමත් ඇතුලත් වුහ.

මේ අතර ජයංගනී ලා අම්මා අපේ අම්මාගේ සිට්ටුවක කොටස්  කාරියක්ද  වී සිටියාය. සමහර වෙලාවට මාසික සීට්ටු සල්ලි රැගෙන ආවේ ජයංගනී විසිනි.

ගින්දර සහ පුළුන්  ආසන්න වෙමින් තිබිණි . එහෙත් කිසි කෙනෙක් කිසි දෙයක වැරද්දක් හෝ ඇදයක් නොදුටුවෝය.

වෙනත් අයුරකින් කියනවානම්  පසුවෙමින් තිබුනේ සියලු දෙනා  උගුරට හොරා බෙහෙත් කමින් සිටි කාලයක් විය.

මේ අතර එක දවසක්  විමලා අක්කා අපේ අම්මා මුණ ගැහෙන්නට  ආවාය.

" විමලා නැන්දා .. අපේ නංගි  ස්වප්නා  ලඟදි කසාද බඳිනවා " .

"නැන්දටයි මාමටයි  මගුලේ යන්න එන්න කියන්නයි ආවේ "

"කොහාටද දුව ස්වප්නා දුව බන්දල දෙන්නේ ?"

"වැලිකන්දට  නැන්දා  .. ඒ මල්ලි ඉංග්‍රීසි ගුරුවරයෙක් "

" දොරේ මාමා  එන්නම ඕනේ .. අපේ පැත්තෙන් මගුල්  මේසේ  කථාව  කරන්න."

විමලා අක්කා කියන්නේ  ඔවුන්ගේ නෑයින්  වෙනුවෙන් කරන කථාව  අපේ තාත්තාට පවරමිනි.

"හරි හරි අපි එන්නම් කෝ "  අම්මා විමලා අක්කා අස්වසමින් පැවසුවාය.

ඇයත්  සමග එකම ගුරු මණ්ඩලයේ සේවය කල  කවිඳු මල්ලිට  මංගල ආරාධනාව ලැබුනේ නැත .

අපේ අක්කා , අම්මා , තාත්තා  ඇතුළු සියළු දෙනාට මගුල් ගෙදර එන ලෙස ඇරයුම් කෙරිණි.
එමෙන්ම සඳතැන්න විද්‍යාලයේ ගුරු මණ්ඩලයේ සියළු දෙනාටම ( ඉංග්‍රීසි ගුරුතුමා හැරෙන්නට ) මගුල් ගෙදර ට  බුලත් දෙනු ලැබීය.





Saturday, 14 November 2015

පුවක් බාස් -දෙවන කොටස

මම තවමත් වත්තේ ගස් කොළන් සමගය.  එහා ගෙදර වත්තේ  ඇම්බුන් පඳුරු එලි පෙහෙළි කරමින් සිටින පුවක් බාස් මා නෙත ගැටේ.

මා මුලින්ම නිම්මිලා ගෙදර ගිය එදා සෙනසුරාදා දිනයකි.  සති අන්ත නිවාඩුව ගතකිරීමට  නිම්මිත් මමත් මාවනැල්ලේ ඔවුන්ගේ මහ ගෙදරට පැමිණ සිටියෙමු.

ඒ දවස් වල සෙනසුරාදා ඉරිදා මා "පොල් " කැඩුවේ නැත.

 එමෙන්ම මා සිතන හැටියට සතියේ දවස් පහ පොල් පලන්න ගිය පුවක් බාස්ද සති අන්තයේ පොල් පැළුවේ නැත.

එම නිසා ඔහුද එදින මා මෙන්ම වත්තේ පිටියේ වැඩ වල යෙදී සිටියේය.

පුවකා වැඩ කරන්නේ ඔහුගේ ගෙවත්තේය. මා වැඩ කරන්නේ මගේ බිරිඳගේ ගෙවත්තේය.

මෙය පසු කලෙක මගේ බිරිඳගේ නැගණිය ගේ පවුලේ වාසස්ථානය බවට පත් විය.

දැන් එහි ජිවත් වන්නේ නිම්මි ගේ නංගි අමරාත් ,ඇයගේ සැමියා හා දරු දෙදෙනාත් ය. ඒ සමගම නිම්මිගේ අම්මාද  එහි සිටි.

තව දුරටත් නිම්මිලා ගෙවත්ත හෙළි පෙහෙළි කරමින් සිටි මට නිම්මි ගෙන් ලැබුණු ආරාධනාවකි.

" ඒයි යමුද ඇලේ නාන්න ? මම නාන්න යන්න හදන්නේ "

"අම්මා දවල් කෑම හදලා තියෙන්නේ .. නාගෙන ඇවිල්ලා බත් කමු ".

"කොහෙද නාන තැන තියෙන්නේ?  ගොඩක් දුරද ?"

"නෑ.. නෑ මේ රබර් කෑල්ලේ උඩහට ගියාම හරි"

අදහස හොඳ බව තේරුම් ගත් මා "හරි හරි  යමු.. මට ඇඳගෙන එන්න සරමක් ගේන්න " යැයි නිම්මිට කීවෙමි.

නාන්න අඳින චීත්තයක්  , රාණි සබන් කෑල්ලක් ඇතුළු අඩුම කුඩුම ගත් නිම්මි ගමනේ පෙරමුණ ගත්තාය . සරමක් හා තුවායක් කරේ දා ගත් මා ඈ පසු පසින් වැටුනෙමි.

නිම්මිලාගේ පරණ රබර් වත්ත ( මේ වන විට ඔවුන්ගේ නෑදෑ මාමා කෙනෙකුට විකුණා තිබුණු ) මැදින් වැටුණු අඩිපාරේ මීටර් දෙසීයක් පමණ ගිය තැන  මේ නාන තොට හමු වෙයි.

එළිමහනේ නාන්න අඳින ක්‍රමයට  උඩුකය වැසෙන සේ තම චිත්තය  හැඳගත් නිම්මි නෑමට සුදානම්ය .

 ඇලේ ගල් අතර ස්වභාවිකව හැදුන විශාල වලක් හරහා සීරුවෙන් පහළට ගලා යන ශීතල වතුර පහරකි.

මට අරලගංවිල තේ වත්තේ මැද තිබුණ ගල් පීල්ල මතක් වෙයි.

ඒ කාලේ අපේ ගම පැත්තට අම්මාගේ වචනෙන් කිව්වොත් " බැදරැස් කන්න පායන කාලෙට " අපි ගල් පීල්ලට නාන්න යන්නෙමු.

එවැනි දිනවල විමලා අක්කා සහ ජයංගනී නංගිලා ද නානතොටේදී  මට අහම්බෙන් මෙන් මුණ ගැසේ.

" මොනවද කල්පනා කරන්නේ ? වතුර දෙකක් දාන්නද ? " නිම්මි මගේ දැහැන බින්දාය.

"මෙන්න මෙතනින් වාඩි වෙන්න " ඈ මට දිය වල කෙළවරේ වූ විශාල ගල් පොත්තේ කොටසක් පෙන්නුවාය.

එසේ කියන්නේ මගේ ප්‍රිය බිරිඳ වුවද  පොඩි එකෙක් මෙන් නාවනවා යැයි කවුරුත් දැක්කොත් ?  සියුම් ලැජ්ජාවකින් යුත් මා සිත විමසයි

 රබර් කැලයක් මැද ඇති නාන තොටුපළක සිට කෙරෙන මේ රූමත් යුවතියගේ  ඉල්ලීම අහක දාන්නේ කුමන මෝඩයෙක්ද?

නිම්මිත් මමත් විහිළු තහළු මැද   ඔවුන්ගේ ගමේ ඇලෙන් නා ගත්තෙමු .

එදා සිට හැම සති අන්තයකම මාවනැල්ලේ යන අපි බොහෝවිට නෑමට යන්නේ  මේ තොටුපලටයි. සමහරක් දිනවල  දුල්මිණි ලා ගෙට පහළ තිබෙන ලිඳෙන් ද දිය නා ගන්නෙමු.

රබර් වත්තේ සිට ආපසු පැමිණි අප කෙලින්ම ගියේ  දිවා ආහාරය ගැනිමටයි.

නිම්මිලා   අම්මා සකස් කල දිවා ආහාරයට හොඳ කිරිකොස් මාළුවක් සහ කොහිල දළු ද ඇතුලත් වී තිබුණි.  මා කිරි කොස් මාළුවට කැමති බව ඈ දැන ගත්තේ කෙසේදැයි නොදනිමි.

" අම්මා කොහෙන්ද මේ කොස් ? " නිම්මි අසයි.

"ඔයාලා එනවා කියලා කිව්වම දුල්මිණි ලා තාත්තා ගෙනැත් දුන්නා .. මේ පුතාට උයලා දෙන්න කියලා "  අම්මා පැවසුවේ මා වෙත  අත දිගු කරමිනි

නිම්මිලා නිවසට ආ අමුත්තා

කෑමෙන් පසු නිම්මිත් සමග නිවසට වී ටික වෙලාවක් ගත කලෙමි. හවස තුන හතර වෙද්දී හිරුරැස් වල සැර බාල වෙයි. නැවතත්  ගෙවත්තේ ඉහළ පැත්තේ යා යුතුයැයි තීරණය කලෙමි.  

කුස්සිය දෙසට හෙමින් හෙමින් ඇදුනු මා දුටු නිම්මිගේ මව  " ආයෙත් කැලේ යන්න ද ?"

"බන්ටි.. මෙන්න අය්යා කැලේට යනවා.. යන්න .. යන්න එයත් එක්ක.." යැයි පැවසීය. 

ඈ එසේ කීවේ නිම්මිලාගේ සුරතල් බල්ලා බන්ටියා  පුරුදු කාරයෙක් මෙන් මා පසු පස වත්ත පුරා ගමන් කල නිසාය.
ගෙට ඉහළ පැත්තේ වත්ත එලි පෙහිලි කරන මට පහළ සිදුවෙන දේවල් හොඳින් පෙනුනේ නැත. 

එහෙත් ඩිග් .. ඩිග්  ගා  යමෙකු නිවස දෙසට එන හඬත්  කිසියම් ගෙඩි වර්ගයක්  වේගයෙන් පොළවට දමන හඬත් මට ඇසිණි.

නිම්මිලා අම්මා සමග ගොරෝසු එහෙත් පහත් හඬකින් යමෙක් කථා කරන හඬද  මා සවනත වැකුනේය. 

ටික වෙලාවකින් තැඹිලි වීදුරුවක් සහ මැන්ගුස් /රඹුටන් ආදී පළතුරු ගොඩක් රැගෙන මා වෙත එන යුවතියකි.

" ඒයි.. එන්න තැඹිලි බොන්න.. " මේ තව පළතුරුත් තියෙනවා. "

"කොහෙන්ද මේවා ? මම ආසම කෑමක් .. " මම කීවේ  පැණිබේරෙන මැන්ගුස්  මල්ල දුටු  පසුවයි.

"දොස්තර මහත්තයට දෙන්න කියලා දුල්මිණි ලා තාත්තා ගෙනත් දීලා .."

නිම්මි පැවසුවාය.

"කෝ මනුස්සයා .. ? ආපහු ගියාද ..? " මම ඇසුවේ මා ගැන සොයා බලන මේ සොඳුරු මිනිසාට වචනයක් දෙකක්  කථා කීරීමට තිබු බලවත් ආශාවෙනි.

"ඔවු .. ඔවු.. හොරෙන් හොරෙන් වගේ ඇවිත්  ඔය ටික දීලා ගිහිල්ලා..  ඔයාට කතා කරන්න එන්න ලැජ්ජයි මන් හිතන්නේ "

"ඔයාට  රෑට උයලා දෙන්න අල කොලයි .. කතුරු මුරුංගා මලුයි ගෙනැත් දෙයි කියලා අම්මා  කිව්වා ".

නිම්මි පැවසුවේ  පුවක් බාස් නැවතත් සිය නිවසට එන්නට නියමිත බවයි.

පුවක් බාස් නම් පුදුම මිනිහෙකි. ඔහු මගේ ප්‍රියතම කෑම බීම හැම දෙයක් ගැනම දන්නා සෙයකි.