පසුගිය කළාපයෙන් (ඇත්තටම මේ කොටස ලිව්වේ 2018 වගේ)
දියකඩිත්ත ලඟ ගෙදර ආතම්මා සහ අපේ අම්මා ජයංගනීලා අම්මාට අවවාද දීමත් , ඒ ආත්තම්මාගේ ලොකුපුතා මට පැය දෙකක පමණ දේශණයක් දීමත් අවසාන වී ටික දවසක් ගතවී ගියේ කිසි හාවක් හූවක් නැති ගාණටයි .
උදේ පාසැලේ උගන්වන්නට යන මම හවස කුඹුරේ වැඩටත් , සතියට වතාවක් දෙකක් හෝ ජයංගනී මුණගැසෙන්නට ( පාසැල් ඇරෙන වෙලාවට ) නගරයට යන්නට පුරුදු වී සිටියෙමි. ගෙදර අයගෙනුත් ලොකුවට කළබලයක් නොපෙනුනේ නිසා නිදහසේ ජීවිතෙ ගලා ගියේය..
අපේ නංගිලා , අක්කලා වගේම ඇතිමලේ බාප්පලා දුවලා දෙන්නා එක්ක එහෙම එකට පාසැල් බසයේ ගමන් කරන ජයංගනී ඒ ඒ අයගෙන් ඇයට ලැබෙන විවිධාකාරයේ ප්‍රතිචාර වලට මුහුණදෙන්නට ඇත. ඒ කිසිවක් මා හට නොකියන්නට ඈ වගබලාගත් නිසා ඒවා මොනවාද යන්නත් මට දැනගන්න ලැබෙන්නේ අවුරුදු දහයක් පහළොවක් ගතවූ තැන මුහුණු පොතෙන් අපට හමුවූ ඇයගේ සමකාළීන පාසැල් සිසුවියන්ගෙනි.
ඔය කාලයේ සතිඅන්තයට මම ගමේ පංසලට යාම අනිවාර්යයෙන්ම සිද්ධවෙන දෙයකි.. ටික දවසක් පංසලේ මම සාමාන්‍ය පෙළ සිසුන්ට පංතියක් කල නිසාත් . පංතිය දෙමළ ඉස්කෝලේ තියෙන කාලේ වුණත් පංසලේ පොඩි හාමුදුරුවෝ මුණගැහෙන්නත් මම පංසලට යාම ඒම පුරුද්දක් කරගෙන සිටියෙමි.
ඒ කාලේ පංසලේ වැඩ සිටි පොඩි හාමුදුරුවෝ අපේ සමවයසේ කෙනෙක් නොවේ .. උන්වහන්සේ ඒ වනවිටත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ගෞරව උපාධියක් එහෙම ලබාගෙන පළාතේ පිරිවෙනේ ආචාර්ය වරයෙක් ලෙස සේවය කරමින් සිටි කෙනෙකි . එමෙන්ම උන්වහන්සේ ඒ වනවිට දිස්ත්‍රික්කයේ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරීන් වහන්සේ වශයෙන්ද කටයුතු කල සේක .
ඒ පොඩි හාමුදුරුවෝ අපේ ගමේ පංසලේ වැඩවාසය කලද ඉපදී හැදී වැඩී තිබුණේ අපේ ගමට කිලෝමීටර් හත අටක් දුරින් පිහිටි වෙනත් ගමකයි . පංසල් දෙකම එකම ප්‍රධාන පංසලක් යා සම්බන්ධ නිසා උන්වහන්සේ අපේ ගමේ පංසලට එවා තිබුණේ ලොකු හාමුදුරුවන්ගෙන් පසු පංසල භාරදෙන බලාපොරොත්තුවද ඇතුවයි..
මේ කියන දවසෙත් මම පුරුදු පරිදි පංසලට ගියේ පොඩි හාමුදුරුවෝ එක්ක වගේම ලොකු හාමුදුරුවෝ එක්කත් ටිකක් කතාබහ කරන්නත් , ඒ කාලේ පංසලේ සිටි ගෝලයා එක්ක කය්යක් ගහන්නත් හිතාගෙනයි , කොටින්ම කිව්වොත් නිකං ගෙදර ඉන්න ගමන් ඒ පැත්තට යන්න හිතුණු නිසයි.
මා පංසලට යනවිට පොඩි හාමුදුරුවෝ සිටියේ බුදු ගෙයත් ඝණ්ටාර කුළුණත් අතර කොටසේ සක්මන් කරමිණි..
දුඹුරු පාට ඉරි ඉරි සහිත පිජාමා සරමකුත් , ඊටම ගැලපෙන ලා දුඹුරු පැහැති ක්‍රොකඩයිල් ටී ෂර්ට් එකකුත් ඇඳගෙන පයේ රතු/දුඹුරු පැහැති ලෙදර් සෙරෙප්පු දෙකකුත් දාගෙන මා එහි ගොස් සිටියේ පංසලට වුණත් ඉතා පිළිවෙලට සැරසී එන තරුණයෙකු විලසිණි.. ( මඟදී ජයංගනී හෝ පවුළේ කෙනෙක් හමුවණු ඇතැයිද සමහර විට පංසලේ බෝධි පූජාවකට හෝ ඔවුන් එනු ඇතැයිද සිතන්නට ඇත්තේ මා නොව මගේ යටිසිත විය යුතුය ).
"හා කොහොමද ? අම්මා තාත්තා එහෙම ගෙදරද? " මට වඩා අවුරුදු දහයක් දොළහක් වයසින් වැඩි පොඩි හාමුදුරුවෝ කතාවට ප්‍රවිශ්ඨ වන්නේ මගේ නම හෝ "අය්යා" , "මල්ලී "වැනි නෑදැ කමක් හෝ නොකියමිණි.
"හොඳින් ඉන්නවා හාමුදුරුවනේ අම්මලාත් ගෙදර ඉන්නවා. මම නිකං ඉන්න ගමන් පංසල පැත්තේ ඇවිල්ලා යන්න ආවා . බෝධි පූජාව හරි මල් පහන් පූජාව හරි තිබුණොත් ඒකටත් ඉඳලා යන්න.. "
හොරෙන් බෝධිය දිහා බලමින් මම හැසිරෙන්නේ නියම උපාසකයෙකු විලසිනි... කතාව යන අතරේ එක්වරම හාමුදුරුවෝ තම තට්ටය අතගාන්නට පටන්ගත්තේය .. ඒ කාලේ උන්වහන්සේ එසේ කරන්නේ කිසියම් බැරෑරුම් දිශාවකට සාකච්චාව යොමුවන විටයි .. ටික වෙලාවක් තට්ටය පිරිමදිමින් සිටි උන්වහන්සේ නැවතත් තම හඬ අවධි කළේය ... "මම අහන්නමයි හිටියේ ඔය කට්ටිය කියන කතාව ඇත්තද ? ......ඔයා අර විමළා ටීචර්ලා දුවත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා කියන එක ? "
හාමුදුරුවන්ටත් කවුරු හරි මොනවා හරි කියලා ... මම උඩ බිම බැලුවේ ඒ කව් රුන් විය හැකි දැයි සිතමිණි..
"ඔයා වගේ කෙනෙකුට ගැළපෙන්නේ නෑ නේද ඒ වගේ දෙයක් කරන එක ? ගමේ පිළිගත්ත, යමක් කමක් දන්න තරුණයෙක් වුණාම හොඳ ට ඉන්න ඕනෑ නේද? "
හාමුදුරුවෝ දිගටම කියවාගෙන යයි ..
"මොන සම්බන්ධයක්ද? කව්ද හාමුදුරුවන්ට කිව්වේ ? " මම ඇසුවේ විමතියෙනි..
ගමේ මිනිස්සු බොහෝ දෙනෙක් අපි ගැන දැනගෙන හිටියා වුණත්, දෙන්නාම මිනිස්සු කව්රුත් කැමති , කිසිකෙනෙක් එක්ක අමනාප නැති , ප්‍රිය මනාප තරුණ යුවලක් නිසා සාමාන්‍යයෙන් ගමේ කෙනෙක් විශේෂයෙන් හාමුදුරුවන්ට කියන්නට තිබෙන ඉඩ කඩ ඉතා අඩුය .
"මට කිව්වේ වෙන කව් රුවත් නෙවෙයි ඔයාලා තාත්තා, නාමරත්න මහත්තයා හරි කණගාටුවෙන් ඉන්නේ ඔයාගේ අනාගතය අඳුරුවෙයි කියලා මේ වගේ වැඩ නිසා .. ඔන්න ඔහේ ඔය ගණුදෙනුව අමතක කරලා දාන්න..
දැන් උසස්පෙළත් කරලා නේද ඉන්නේ ? කැම්පස් ගියාම ඕවා අමතක වෙලා යයි .. ඔයාලගේ දෙමව්පියන් හරියට මහන්සිවෙනවා නේද ඔයාලට යහමඟ යවන්න ? . ඒ මිනිස්සුන්ට දුකක් වෙන දෙයක් කරන්න එපා "
හාමුදුරුවෝ තම අනුශාසනාව අවසන් කලේ එළෙසිණි.
තට්ටය අතගාමින් හිමින් හිමින් සාකච්චාව කරද්දී මට හැඟීගියේ තාත්තා කියපු නිසා අවවාද කළාට උන්වහන්සේ පෞදගලිකව මට අවවාද දිය යුතු යැයි සිතා සිටියේ නැති බවයි
එදා හාමුදුරුවන්ගේ අනුශාසනාවත් අසාගෙන හවස මල් පහන් පූජාවටත් සහභාගී නිවසට පැමිණි මා ඇත්තටම සිටියේ තරමක කණස්සල්ලෙනි.. එහෙත් ඒ බව කාටවත් නොපෙන්වූ මම එදිනෙදා වැඩ කටයුතු කරගෙන ගියේ කිසිවක් සිදුනොවූ පරිද්දෙනි..
මට එය එතරම් අපහසු වන්නේ කුමකටද ජයංගනීට සමකාලීන දිනවල සිදු වී ඇති දේවල් එක්ක බලනකොට මා මුහුණ දී තිබුණේ සරළ සිදුවීම් දාමයකය.
ඒ සිද්ධි දාමයන් මා දැනගන්නාවිට අප හා සම්බන්ධ මේ සිදුවීම් අවසන් වී අවුරුදු විස්සක් වත් ගතවී තිබෙන්නට ඇත.. එතෙක් ඒ සියල්ල තනිව දරාගන්නට ඇය පෙළඹී තිබුණේ මට ඒවා ගැන කියා කරදර කරන්නට අවශ්‍ය නැතැයි ඈ සිතූ නිසාත් සියල්ල තනිව දරාගෙන ජීවිතයට මුහුණදීමේ හැකියාව ඇයට කවදත් තිබූ නිසාත් වියයුතුය .. ඒ අනුව බලද්දී මා දුර්වලයෙකි .
මා විශ්ව විද්‍යාලය ගොස් ටික කලක් යද්දී ගමෙන් ආ ආරංචියකි.. ජයංගනී අතහරින්නැයි මට අනුශාසනා කළ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී හාමුදුරුවෝ අපේ ගමේ පන්සලෙන් ගොස්තිබුණේ තමන් දරාසිටි චීවරයටද ආයුබෝවන් කියමිණි.. ඒ ජපුර විශ්වවිද්‍යාලයේ ඉන්නා කාලයේ සිට සම්බන්ධතාවයක් තිබූ තවත් උපාධිධාරිණියක් සමඟයි ..
මෑතකදී මම උන්වහන්සේ ගැන ආරංචි කර බැලුවෙමි .. අහලා තියෙන හැටියට පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂක තනතුරක් පවා දරා ඇති ඔහු හෘදයාභාධයකින් අභාවප්‍රාප්ත වී තිබුණේ වයස අවුරුදු පණස් ගණනක් වාගේ වෙද්දීය
No comments:
Post a Comment