Saturday, 14 November 2015

පුවක් බාස් -දෙවන කොටස

මම තවමත් වත්තේ ගස් කොළන් සමගය.  එහා ගෙදර වත්තේ  ඇම්බුන් පඳුරු එලි පෙහෙළි කරමින් සිටින පුවක් බාස් මා නෙත ගැටේ.

මා මුලින්ම නිම්මිලා ගෙදර ගිය එදා සෙනසුරාදා දිනයකි.  සති අන්ත නිවාඩුව ගතකිරීමට  නිම්මිත් මමත් මාවනැල්ලේ ඔවුන්ගේ මහ ගෙදරට පැමිණ සිටියෙමු.

ඒ දවස් වල සෙනසුරාදා ඉරිදා මා "පොල් " කැඩුවේ නැත.

 එමෙන්ම මා සිතන හැටියට සතියේ දවස් පහ පොල් පලන්න ගිය පුවක් බාස්ද සති අන්තයේ පොල් පැළුවේ නැත.

එම නිසා ඔහුද එදින මා මෙන්ම වත්තේ පිටියේ වැඩ වල යෙදී සිටියේය.

පුවකා වැඩ කරන්නේ ඔහුගේ ගෙවත්තේය. මා වැඩ කරන්නේ මගේ බිරිඳගේ ගෙවත්තේය.

මෙය පසු කලෙක මගේ බිරිඳගේ නැගණිය ගේ පවුලේ වාසස්ථානය බවට පත් විය.

දැන් එහි ජිවත් වන්නේ නිම්මි ගේ නංගි අමරාත් ,ඇයගේ සැමියා හා දරු දෙදෙනාත් ය. ඒ සමගම නිම්මිගේ අම්මාද  එහි සිටි.

තව දුරටත් නිම්මිලා ගෙවත්ත හෙළි පෙහෙළි කරමින් සිටි මට නිම්මි ගෙන් ලැබුණු ආරාධනාවකි.

" ඒයි යමුද ඇලේ නාන්න ? මම නාන්න යන්න හදන්නේ "

"අම්මා දවල් කෑම හදලා තියෙන්නේ .. නාගෙන ඇවිල්ලා බත් කමු ".

"කොහෙද නාන තැන තියෙන්නේ?  ගොඩක් දුරද ?"

"නෑ.. නෑ මේ රබර් කෑල්ලේ උඩහට ගියාම හරි"

අදහස හොඳ බව තේරුම් ගත් මා "හරි හරි  යමු.. මට ඇඳගෙන එන්න සරමක් ගේන්න " යැයි නිම්මිට කීවෙමි.

නාන්න අඳින චීත්තයක්  , රාණි සබන් කෑල්ලක් ඇතුළු අඩුම කුඩුම ගත් නිම්මි ගමනේ පෙරමුණ ගත්තාය . සරමක් හා තුවායක් කරේ දා ගත් මා ඈ පසු පසින් වැටුනෙමි.

නිම්මිලාගේ පරණ රබර් වත්ත ( මේ වන විට ඔවුන්ගේ නෑදෑ මාමා කෙනෙකුට විකුණා තිබුණු ) මැදින් වැටුණු අඩිපාරේ මීටර් දෙසීයක් පමණ ගිය තැන  මේ නාන තොට හමු වෙයි.

එළිමහනේ නාන්න අඳින ක්‍රමයට  උඩුකය වැසෙන සේ තම චිත්තය  හැඳගත් නිම්මි නෑමට සුදානම්ය .

 ඇලේ ගල් අතර ස්වභාවිකව හැදුන විශාල වලක් හරහා සීරුවෙන් පහළට ගලා යන ශීතල වතුර පහරකි.

මට අරලගංවිල තේ වත්තේ මැද තිබුණ ගල් පීල්ල මතක් වෙයි.

ඒ කාලේ අපේ ගම පැත්තට අම්මාගේ වචනෙන් කිව්වොත් " බැදරැස් කන්න පායන කාලෙට " අපි ගල් පීල්ලට නාන්න යන්නෙමු.

එවැනි දිනවල විමලා අක්කා සහ ජයංගනී නංගිලා ද නානතොටේදී  මට අහම්බෙන් මෙන් මුණ ගැසේ.

" මොනවද කල්පනා කරන්නේ ? වතුර දෙකක් දාන්නද ? " නිම්මි මගේ දැහැන බින්දාය.

"මෙන්න මෙතනින් වාඩි වෙන්න " ඈ මට දිය වල කෙළවරේ වූ විශාල ගල් පොත්තේ කොටසක් පෙන්නුවාය.

එසේ කියන්නේ මගේ ප්‍රිය බිරිඳ වුවද  පොඩි එකෙක් මෙන් නාවනවා යැයි කවුරුත් දැක්කොත් ?  සියුම් ලැජ්ජාවකින් යුත් මා සිත විමසයි

 රබර් කැලයක් මැද ඇති නාන තොටුපළක සිට කෙරෙන මේ රූමත් යුවතියගේ  ඉල්ලීම අහක දාන්නේ කුමන මෝඩයෙක්ද?

නිම්මිත් මමත් විහිළු තහළු මැද   ඔවුන්ගේ ගමේ ඇලෙන් නා ගත්තෙමු .

එදා සිට හැම සති අන්තයකම මාවනැල්ලේ යන අපි බොහෝවිට නෑමට යන්නේ  මේ තොටුපලටයි. සමහරක් දිනවල  දුල්මිණි ලා ගෙට පහළ තිබෙන ලිඳෙන් ද දිය නා ගන්නෙමු.

රබර් වත්තේ සිට ආපසු පැමිණි අප කෙලින්ම ගියේ  දිවා ආහාරය ගැනිමටයි.

නිම්මිලා   අම්මා සකස් කල දිවා ආහාරයට හොඳ කිරිකොස් මාළුවක් සහ කොහිල දළු ද ඇතුලත් වී තිබුණි.  මා කිරි කොස් මාළුවට කැමති බව ඈ දැන ගත්තේ කෙසේදැයි නොදනිමි.

" අම්මා කොහෙන්ද මේ කොස් ? " නිම්මි අසයි.

"ඔයාලා එනවා කියලා කිව්වම දුල්මිණි ලා තාත්තා ගෙනැත් දුන්නා .. මේ පුතාට උයලා දෙන්න කියලා "  අම්මා පැවසුවේ මා වෙත  අත දිගු කරමිනි

නිම්මිලා නිවසට ආ අමුත්තා

කෑමෙන් පසු නිම්මිත් සමග නිවසට වී ටික වෙලාවක් ගත කලෙමි. හවස තුන හතර වෙද්දී හිරුරැස් වල සැර බාල වෙයි. නැවතත්  ගෙවත්තේ ඉහළ පැත්තේ යා යුතුයැයි තීරණය කලෙමි.  

කුස්සිය දෙසට හෙමින් හෙමින් ඇදුනු මා දුටු නිම්මිගේ මව  " ආයෙත් කැලේ යන්න ද ?"

"බන්ටි.. මෙන්න අය්යා කැලේට යනවා.. යන්න .. යන්න එයත් එක්ක.." යැයි පැවසීය. 

ඈ එසේ කීවේ නිම්මිලාගේ සුරතල් බල්ලා බන්ටියා  පුරුදු කාරයෙක් මෙන් මා පසු පස වත්ත පුරා ගමන් කල නිසාය.
ගෙට ඉහළ පැත්තේ වත්ත එලි පෙහිලි කරන මට පහළ සිදුවෙන දේවල් හොඳින් පෙනුනේ නැත. 

එහෙත් ඩිග් .. ඩිග්  ගා  යමෙකු නිවස දෙසට එන හඬත්  කිසියම් ගෙඩි වර්ගයක්  වේගයෙන් පොළවට දමන හඬත් මට ඇසිණි.

නිම්මිලා අම්මා සමග ගොරෝසු එහෙත් පහත් හඬකින් යමෙක් කථා කරන හඬද  මා සවනත වැකුනේය. 

ටික වෙලාවකින් තැඹිලි වීදුරුවක් සහ මැන්ගුස් /රඹුටන් ආදී පළතුරු ගොඩක් රැගෙන මා වෙත එන යුවතියකි.

" ඒයි.. එන්න තැඹිලි බොන්න.. " මේ තව පළතුරුත් තියෙනවා. "

"කොහෙන්ද මේවා ? මම ආසම කෑමක් .. " මම කීවේ  පැණිබේරෙන මැන්ගුස්  මල්ල දුටු  පසුවයි.

"දොස්තර මහත්තයට දෙන්න කියලා දුල්මිණි ලා තාත්තා ගෙනත් දීලා .."

නිම්මි පැවසුවාය.

"කෝ මනුස්සයා .. ? ආපහු ගියාද ..? " මම ඇසුවේ මා ගැන සොයා බලන මේ සොඳුරු මිනිසාට වචනයක් දෙකක්  කථා කීරීමට තිබු බලවත් ආශාවෙනි.

"ඔවු .. ඔවු.. හොරෙන් හොරෙන් වගේ ඇවිත්  ඔය ටික දීලා ගිහිල්ලා..  ඔයාට කතා කරන්න එන්න ලැජ්ජයි මන් හිතන්නේ "

"ඔයාට  රෑට උයලා දෙන්න අල කොලයි .. කතුරු මුරුංගා මලුයි ගෙනැත් දෙයි කියලා අම්මා  කිව්වා ".

නිම්මි පැවසුවේ  පුවක් බාස් නැවතත් සිය නිවසට එන්නට නියමිත බවයි.

පුවක් බාස් නම් පුදුම මිනිහෙකි. ඔහු මගේ ප්‍රියතම කෑම බීම හැම දෙයක් ගැනම දන්නා සෙයකි.


Friday, 13 November 2015

දුල්මිණි ලා තාත්තා හෙවත් පුවක් බාස්



ඒ  දෙදාහේ  නොවැම්බර් -දෙසැම්බර් මාසවල  සෙනසුරාදා දවසකි.  ඒ වන විටත් නිම්මි සමග විවාහ වී සිටි මා ඇගේ නිවසට ගිය මුල්ම දවස් වලින් එකකි.

ඒ කාලේ මට තිබුණේ ටොයෝටා කොරොල්ලා වර්ගයේ කාරයකි.  සුපුරුදු පරිදි නිම්මිලා නිවස දෙසට යන පාරේ මගක් ගිය තැන ඇති ඉඩ කඩ ඇති තැනක කාරය නවතා පයින් ගමන් කළෙමු.

 ඒ කාලේ  අපේ ගෙදරට වගේම නිම්මිලාගේද  ගෙදරටම වාහනයකින් යා නොහැකිය.

කාරය නැවතූ තැන සිට මද දුරක් ගිය පසු ගමන් කල යුත්තේ වෙල මැදින් යන අඩි පාරකිනි.

 නිම්මි අම්මලාට ගත් එළවලු මල්ලද එල්ලා ගෙන මා අසලින් ගමන් කරයි.

අප ඉදිරියට එන දුඹුරු පාට ඉරි ඉරි සරමක් කැහැ පට ගසා ගත් මිනිසෙකි.  උඩුකය නිරාවරිතය.  තොල් රතු පැහැ ගැන්වෙන්නට හේතුව  සපමින් තිබු බුලත් විටයි.

" කොහොමද කාලෙකට පස්සේ  ගෙදර එනවා වගේ " කුලෑටි ගතියකින් යුතුව ඒ ප්‍රශ්නය යොමු කෙරුනේ නිම්මි වෙතය.

ඒ අතර තුර මගේ හිසේ සිට පාදාන්තය දක්වා බැල්මක් හෙලූ ඔහු මා වෙතද හිස ඇල කර සිනා සුනේය.


" ඔවු  අපි මේ අම්මලා බලලා යන්න කියලා " නිම්මි උත්තර දෙයි. දෙදෙනාගෙන්ම අය්යා , නංගි වැනි  නෑදෑ  කම් හෝ නම් ගම් කිසිවක් කියවුනේ නැත.

මට එක්වරම කිසියම් හුරු පුරුදු ගතියක් දැනුනේ ඇයි  දැයි නොදනිමි.

මිනිහා ටිකක්  අපේ කිරඹඔයේ රාජු  මාමාට   සමාන එහෙත් ඊට  වඩා උස රූප කායකින් යුක්ත  අයෙක් විය.

"මම හවසට ඒ පැත්තේ එන්නම් කෝ " අමුත්තා අපගෙන් සමුගෙන වෙල මැදින් කොන්ඩදෙනිය දෙසට  ( ගමේ පහළට) ගමන් කළේය.

"ඒයි.. කවුද ඒ පොර ? "  "මිනිහගේ  නම මොකක්ද?" මම නිම්මිගෙන් ඇසුවෙමි.

"ආ .. ඔය අපේ අල්ලපු ගෙදර මනුස්සයා .. අපි කියන්නේ "දුල්මිණි ලා තාත්තා " කියලා . ගමේ මිනිස්සු නම් කියන්නේ පුවක් බාස් කියලා "

නිම්මි කියාගෙන ගියේය.

" පුවක් බාස්? "  "මාර නමක් නේ"

"නෑ .. නෑ. එයාගේ රස්සාව පුවක් කඩන එකයි  , පොල්ගස් පලන එකයි . ඒකයි ගමේ අය එයාට පුවක් බාස් කියන්නේ. "

"එයාගේ ඇත්ත නම මොකක්ද? "

"අපි දන්නේ නෑ අනේ.. ඔයාට මොකටද එච්චර විස්තර ?"  නිම්මි අසන්නේ  "ගමේ ඉන්න අපි වත් දන්නේ නැති විස්තර පිටගම් කාරයෙකුට මොකටද? "   වැනි  අර්ථයකිනි.

"නෑ නිකන්.. මිනිහා ටිකක් වැඩ කාරයෙක් පාටයි " මම අදහස් කලේ කුමක්දැයි නිම්මිට වැටහුනේ නැති සෙයකි.

"එතකොට දුල්මිණි කියන්නේ?  එයාගේ දුව ද  ? " ඔවු .. ඔවු .. පුවකා ට ඉන්නේ එක දුවෙක් විතරයි. එයාගේ නම තමයි දුල්මිණි. "

නිම්මිලාගේ ගෙවත්ත 

නිවසට ලඟා වූ අප පිළිගත්තේ නිම්මිලාගේ අම්මා විසිනි. මුලින්ම  ඇය සාදා දුන් තේ කෝප්පය සප්පායම් වූ යෙමු.   
අනතුරුව නිම්මි අම්මා සමග දිවා ආහාරය සකස් කරන්නට පටන් ගත්තාය. 

මා වත්තේ පහළට ගමන් කලෙමි.  නිම්මිලගේ බල්ලා බන්ටියා ද මා පසු පස වත්ත පහළට පැමිණියේය.  එය අක්කර දෙකක පමණ ඉඩමකි. පහළින් ගලා යන වතුර ඇල පසු කල පසු එන්නේ පුවක් බාස් ගේ ඉඩමයි.

තැනින් තැන තිබු පොල් ගස් සහ පුවක් ගස් හැරෙන්නට වත්ත පුරාම තිබුණේ කැලෑවකි.

අරලගංවිල  වගා කටයුතු වලින් ඉවත්වී අවුරුදු ගණනාවක් ගතවී ගොසිනි.  මා මේ වන විට අලදෙණියේ  වෙද විදුහලේ වැඩ පටන් ගෙන ගත වී තිබුණේ මාස කිහිපයක් පමණි.  

ඒ වන විට අලදෙණිය -වල්පොල  පාරේ පුද්ගලික බෙහෙත් ශාලාවක් ද කර ගෙන ගියෙමි.   

දොස්තර කෙනෙක් වූ පසු වගාවකට අත ගැසූ කාලයක් මතක නැත. 

එහෙත් ගලා යන දොළ පාරත් සශ්‍රික පසත් දුටු මට නිකම් සිටිය නොහැක.

මේ වන විට නිම්මිගේ නංගි විවාහ වී සිටියේ නැත. අම්මලා දුවලා  ඉවුම් පිහුම් කරන අතර උදළු කෙටියක් සහ වක් පිහියක්  ගත් මා මිදුලෙන් පහල කොටසට ඔට්ටු වෙන්නට තීරණය කලෙමි. 

ටිකෙන් ටික කැලේ කපමින් එළි පෙහෙළි කලෙමි. දැන් දැන් පුවක් ලාගේ ගේ මිදුල පවා නිම්මිලා නිවසට පෙනෙන පරිදි වට පිටාව හෙළි පෙහෙළි වී ඇත.

" පුතේ .. කෑම  ලෑස්තියි....කෑමට එන්ඩෝ .."  නිම්මිලා අම්මා කිහිප සැරයක්ම මට දිවා ආහාරයට ආරාධනා කළේය. 

මේ අතර දුල්මිණි  ලා මිදුලේ සිට යමෙකු මා දෙස එබිකම් කරමින් සිටිනු පෙනේ. එහෙත් ඔහු කෙලින්ම මා වෙත මුහුණ පෙන්වුවේ නැත.

හොඳින් විපරම් කර බැලුවෙමි . " පුවක් බාස් " ගමේ පහළට ගොස් ආපසු ගෙදර පැමිණ තිබේ.

මේ අතර මා වත්තේ පහළ කොටසේ  සෑහෙන වපසරියක් හෙළි පෙහිලි කර අවසන්ය. 

කෙසෙල් ගස් කිහිපයක් වත් හිටෙව්වනම් හරි ..  මගේ සිත කියයි. 

කෙසෙල් වර්ග ලෙස නිම්මිලා ගෙදර තිබුණේ  කනාටු වී ගිය ආනමාළු පඳුරක් හා සීනි කෙහෙල් පඳුරක් පමණි. 

පුවක් ගේ ගෙදර නම් හොඳ ඇම්බුන් පඳුරු ගණනාවක්ම තිබේ.  ජල මොරෙය්යන්  දහයක් දොළහක් එහි තිබෙන්නට ඇත.

"කොහෙද  මේ කට්ටිය කෙසෙල් පැල ඉල්ලන එකක් යැ"

ඔන්න ඔහේ මේවා ම හදනවා  මම හිත හදා ගත්තෙමි.  අපේ කිරඹ ඔයේ මුත්තා කෙසෙල් පැල සැදු හැටි සිහියට නගා ගත්තෙමි.

ලොකු වලවල් තුන හතරක්  කැපුවෙමි.  ඒවායින් අඩක් පිරෙන සේ දිරූ කොළ රොඩු ඇතිරුවෙමි .  සීනි සහ ආනමාළු පඳුරු වල තිබු ජල මොරෙය්යන් ගලවා ඒ වලවල් වල සිට වුයෙමි.

වටේ තිබු පස්ගොඩ වල් නැවත පැලය වට කර ගොඩ කළෙමි.

අසල රබර් වත්තේ  තිබු ග්ලිරිසීඩියා  ගසකින් කොළ කඩා ගෙනවිත් අළුත සිටවූ කෙසෙල් පැල වටේ ඇතිරුවෙමි.

අරලගංවිල මෙන් නොව  මාවනැල්ල ප්‍රදේශයේ  අව්ව තරමක් සැර වැඩි යැයි මට සිතුණි.  මගේ ඉහින් කනින් දහදිය වැගිරෙයි. 

කැලෑව හෙළි වී නැවුම් පස් මතු වූ ප්‍රදේශය දකිත්ම මගේ වෙහෙස මදකට පහව යයි .

මගේ වෙහෙස නිවාලූ තවත් ජීවමාන හේතුවක් විය.

ඒ අනෙකක් නොව සිනා සි සී මා වෙත කුරුම්බා හෝ  සීතල වතුර වීදුරුවක් රැගෙන එන මගේ දයාබර බිරිඳ නිමල්කාය.

මේ අතර  මේ හැම දෙයක්ම වෙන හැටි විමසිල්ලෙන් බලා සිටින අයෙකි.  ඔහු සිටින්නේ ඇලෙන් එගොඩ බැම්ම උඩ තැනු නිවසේ මිදුලට වීය.

ඒ අන් කිසිවෙකු නොව  නිම්මිලාගේ අසල්වැසියා වූ දුල්මිනිලා  තාත්තා හෙවත් පුවක් බාස්ය. 




පුවක් බාස් හෙවත් දුල්මිණි ලා තාත්තා ඒ වනවිට අවුරුදු තිස්පහක් හතළිහක් පමණ වූ  මිනිසෙකි. ඔහුගේ ගම  රඹුක්කන පැත්තේ වූ ගමක් යැයි මා අසා තිබේ.

දුල්මිණිලා අම්මා සමග විවාහ වීමෙන් පසු ඔහු මාවනැල්ලේ  කොන්ඩදෙනිය ගමට පැමිණ ඇත.

මුලින්ම ගමේ පහළ පැත්තේ ගෙදරක කුළියට  ජිවත් වූ ඔහු පසු කලෙක නිම්මිලා ගෙට එපිටහ පැත්තේ වූ දියසිරාවෙන් පිරුණු පර්චස් විස්සක පමණ ඉඩම් කෑල්ලක්  මිලදී ගෙන ඇත.

එම ඉඩම් කොටසේ ඉහළ කෙලවරට වන්නට ඔහු සිය නිවස තනාගෙන තිබේ.  ඒ නිම්මිලා අම්මා  කියන පරිදි  විශාල ගල් කුළු අල්ලා ගැසූ බැම්මක්  මත තැනු ගෙපලකයි.

මේ ගෙපලේ මෙන්ම තනිකර වගුරු බිමක් වූ ඉතිරි බිමකඩේද අද අපි දකින තත්වයේ සංවර්ධනයක්  ඇති කීරීමට පුවක් බාස් සෑහෙන මහන්සියක් ගෙන තිබේ.

පුවක් බාස්ද අපේ රාජු මාමලා , ඇතිමලේ බාප්පලා මෙන් කැත්තේ උදැල්ලේ වැඩට හුරු වූ  හොඳට අත පය වෙහෙසා වැඩ කරන්නට කැමති අයෙකි.

වෙනත් අයුරකින් කියනවානම්  මා කැමතිම වර්ගයේ මිනිසෙකි.  ඔහුගේ ශරීර ස්වභාවයද මෙය කදිමට විද්‍යමාන කළේය.

ඒයින් පෙන්නුම් කෙරුනේ දර දඬු වූ මාංශ පේශි  ගහන ස්වභාවයක් මිස අලසව කල් ගෙවීමෙන් ලැබිය හැකිවූ  තෙල් බේරෙන ස්වභාවයක් නොවේ.

ඒ කාලේ පුවක් බාස් ගේ ප්‍රධාන රැකියාව  පොල් පරාල හැදීමයි.

ඊට අමතරව පුවක් හා පොල් කැඩීමට  ගස් නැගීමද ඔහු රැකියාව ලෙස කළේය.

ඔහුගේ බිරිඳ රැකියාවක් නොකළ අතර ගෙදර දොර වැඩ වලදී ඔහුට උදව් පදව් කළාය .


ඔවුන් දෙදෙනාට සිටියේ එකම එක දියණියකි . ඇය නමින් දුල්මිණි නම විය.

අප කොන්ඩදෙණිය ගම හා සම්බන්ධ වන කාලයේ ඇය අවුරුදු  අටක නවයක  පමණ වයසේ වූ  දැරිවියකි.

නිම්මිලා ගෙදර අය මේ දෙමහල්ලෝ හඳුන්වන්නට පාවිච්චි කලේ දුල්මිණි ලා අම්මා සහ දුල්මිණි ලා තාත්තා යන නම් දෙකයි.

ඒ නිසා අපි කිසි කෙනෙක් ඔවුන් දෙදෙනාගේ මුල් නම් මොනවාදැයි දැන නොසිටියෙමු.

ඊළඟ කොටස මෙතැනින් 

Monday, 9 November 2015

පුෂ්ප රාජා සහ අපේ කථාව - පළමු කොටස



මට මතක හැටියට  ඒ 1991 වසරේ ආරම්භයයි .  මේ වන විට මම සඳතැන්න  විද්‍යාලයේ  ස්වෙච්චා ඉංග්‍රීසි ගුරුවරයා ලෙස සේවය කලෙමි.

ඇත්තටම සේවය ආරම්හ කර ගතවී තිබුණේ දින කිහිපයක් පමණි. එහි එකේ සිට හය වසර දක්වා  පංති තිබු අතර සිසුන් සිටියේ පනහකට  අඩු ප්‍රමාණයකි.   විදුහලට තිබුනේ එක ගොඩනැගිල්ලක් පමණි.

මුලදී විමලරත්න මහතා කී පරිදි  3 සිට 6 වසර දක්වා කාල පරිච්චේද  එක බැගින් ඉංග්‍රීසි ඉගැන්වුයෙමි.  වැඩ නැති වෙලාවට ගුරු විවේක කාමරයට ( ගොඩ නැගිල්ලේ කෙළවරම තිබු කාමරය ) වී සිටිය යුතු විය.

එය මහා කම්මැලි වැඩකි. කුලරත්න සර් ( පහේ පංති භාර ගුරුතුමා ) ගෙන එන පත්තරය  බැලීම හැර වෙන කල හැකි දෙයක්ද නොවිය.

සඳ තැන්නේ තේ වෙලාව


දිනක් තේ වෙලාවේ මම ලොකු සර්ට කතා කලෙමි.

" සර් මට හිතන්නේ බාලාංශය ටයි දෙකේ පන්තියටයිත් ටික ටික ඉංග්‍රීසි හුරු කරා නම් හොඳයි කියලා "

"ඒක නම් හොඳ අදහස කවිඳු සර්" "හැබැයි පෙළ පොතක්   නැති එක තමයි ප්‍රශ්නේ "

විමලරත්න අංකල් අනෙක් ගුරුවරියන් දෙස බලමින් පැවසුවේය.

ඒ පන්ති දෙක භාර ටීචර් ලා දෙදෙනා සතුටින් මගේ අදහස අනුමත කරන බව පෙනිණි.

මේ දිනවල අපේ නංගිලා අම්මා  (පොඩි විමලා ටීචර් ) හිටියේ තුනේ පන්තිය භාරවයි.

ඒ පංතියට  ඒ වන විටත් මම ඉංග්‍රීසි උගන්වමින් සිටියෙමි.

" ඒ , බී,සි,  ඩි අකුරු හඳුන්වා දීලා පටන් ගමු පෙළ පොතක් නැතුවට කමක් නෑ.."

"නැත්නම් හරි කම්මැලියි සර්." මම කීවෙමි.

"මොකද ටීචර්ලා කියන්නේ ?" "එහෙනම් කවිඳු සර්ට පීරියඩ්  එක ගනනේ වෙන් කරමු හැමදාම."

"හරි ලොකු සර් " අපි කැමතියි එකේ පංතිය භාර ටීචර් පැනලා උත්තර දුන්නේ පොඩි කයිවාරුවක් ගහන්න තවත් පැයක් එකතුවන බව දැනගෙන විය යුතුය.

විදුහලේ තේ වෙලාව පැමිණෙන්නේ  උදේ 10.30 ට ළමයින්ට විවේක කාලය ලැබීමත් සමගය.  ඒ දවස් වලත් මම තේ වෙලාවට ගෙනියන්නේ  අම්මා සකස් කර දෙන පාන්  පෙති කිහිපයකි.

පාන් පෙති දෙකක් අතරට අල, ළුණු හෝ ලීක්ස් දමා අම්මා මට කෑම එකක් සදා දෙන්නීය.

වර්තමානයේ  මගේ බිරිඳ නිම්මි මගේ දිවා ආහාරය සකස් කරන්නේද එලෙසටමය.

අල සහ ලීක්ස් එකට දමා සැදු බැදුමක් මැදි කර නිම්මි හදන පාන් ටෝස්ට්  මේ කාලේ මගේ ප්‍රියතම දිවා ආහාරයකි.

ඒ කාලේ මම තේ රැගෙන යන්නේ නැත.  මට තම උණුසුම් බෝතල් වලින් කිරි තේ එකක්  දෙන්නේ අනෙක් ටීචර්ලා විසිනි.   මා පමණක් නොව ලොකු සර්  තේ බොන්නෙත් ඒ ආකාරයටමය.

"මල්ලි මගේ එකෙන් බොන්න " හෝ "පුතා මගෙන් තේ ගන්න"  කියමින් එක එක ටීචර්ලා තම තර්මොස් ප්ලාස්කුව  මා වෙත දික් කරති.

එහෙත් මට උවමනා වුයේ අපේ විමලා අක්කා  ගේ ආරාධනා වයි.  ඇයට එහායින් වූ පුටුවේ වැඩිවී සිටි මට  "හ්ම්.  මේකෙන් ගන්න එහෙනම් " යැයි  ඇය බෝතලය දිගු කාලය

ඒ අනුව පාසැල් ගිය ප්‍රථම දිනයේ සිට මා තේ බිව්වේ ඇගේ ප්ලාස්කුවෙනි.

මෙසේ දින කිහිපයක් ගත වුයේ විශේෂ යමක් සිදු වීමකින් තොරවයි.

සුපුරුදු පරිදි එදා තේ වෙලාවේත්  විමලා අක්කගේ  ප්ලාස්කුව ගන්නට අත දිගු කලෙමි.

කරුමෙක මහත.... මගේ අත වැදුණු උණුසුම් බෝතලය  මේසයෙන් බිමට වැටුණි.

"ස්ලාන්ග්...". යන හඬක් නගමින් වීදුරු කෑලි පොළව පුරා විසිරී ගියේය.

එදා අක්කා මලෝ දෙදෙනාටම තේ බොන්න වුයේ අනෙක් ටීචර්ලා ගේ ප්ලාස්කුවලිනි.

"ඕක ගණන් ගන්න එපා "කියමින්  ඇය මා අස්වැසුවාය. මේ වනවිට  ඇය මා හට " මල්ලි " යන වචනය වැඩි පුර භාවිතා කලේ නැත.

හවස නිවසට එන අතරේ වෙනදා මෙන්ම වල් පල් කතා කරමින් පැමිණියෙමි.  ඇය මගේ වගා කටුයුතු ආදිය ගැනත් විමසුවාය.

ජයරත්න අය්යා ( සිය සැමියා ) ළඟ කටුගස්තොට නම් හොඳ කොලපාට බෝංචි ඇට වර්ගයක්ද තිබෙන  බව මෙහිදී සඳහන් කෙරිණි.

" ඔයාටත්  ඇට ටිකක් ගෙනත් දෙන්නම් කෝ බෝ කර ගන්න"  විමලා අක්කා පැවසුවේ මගේ වගා කටුයුතු වල දියුණුව ගැන  සැබෑ උවමනාවකිනි.

අපේ නංගිලා  ගෙදරට ගිය මුල්ම ගමන

පාසැල නිමවී පැමිණි මා හවස එක පමණ වන විට නිවසට ලඟා වුයෙමි .

" අම්මා අද මාර වැඩේනේ වුණේ  ඉස්කෝලෙදි.." මා පිළිගැනීමට පැමිණි අම්මාට  උණුවතුර බෝතල් කතාව පැවසුයෙමි.
"උඹත් හරි වැඩනේ කරන්නේ චුටි පුතා " "දැන්  ඒ මනුස්සයට තේ ගෙනියන්න විදිහක් නෑනේ ". අම්මාගේ අදහස වුයේ වහාම ඇයට උණුවතුර බෝතලයක් අරන් දිය යුතු බවයි.

"අද කුඹුරේ යන්න ඕනේ නෑ "  "ගිහිල්ලා ගුණසිරියෙන් හරි විජේසිරියෙන් හරි  උණු වතුර බෝතලයක් ගෙනෙන් "  

යැයි ඈ පැවසුවේ  මගේ  සාමාන්‍ය දින චර්යාව  වන්නේ හවස දෙකෙන් පසු  මාර ගස් වැල්ල කුඹුරේ  තක්කාලි කොටුවට  යෑමබව දන්නා නිසාය.

 "එතකොට පුෂ්පේ අවොත්..?"

මා පෙරලා ප්‍රශ්න  කලේ  එකල මගේ අතවැසියා අක්කර පනහේ ලැයිමේ   පුෂ්ප රාජා ගැනයි.  

"පුෂ්පරාජා මම තනියෙන් කුඹුරේ යවන්නම්." "උඹ හවස හය වෙනකන්  අරලගංවිල පැලවෙන්නේ නෑ නේ.."

"බෝතලේ ගෙනත් තියලා කුඹුරේ යන්න පුළුවන් නේ " අම්මා හවස් වරුවේ වැඩ සටහන මට පැහැදිලි කළාය.

"ඊට පස්සේ හෙට උදේම ඒක ඒ මනුස්සයාට  ගිහින් දීපන් " . අම්මා මට විමලා අක්කලා ගෙදරටම යන්නටද යෝජනා කරයි.

මම අම්මා  කියූ පරිදිම වැඩ සටහන ක්‍රියාත්මක කලෙමි.  අලුතින් එකතු කලේ ඉතා සුළු කොටසක් පමණි. 

එහෙත් ඒ කොටස  මගේ ඒ කාලේ දින චර්යාවේ ඉතා වැදගත් අංගයකි.  

අම්මා කිවූ පරිදි අරලගන්විල ගුනසිරියෙන් තැඹිලි පාට උණුවතුර බෝතලයක් ගත්තෙමි.  

එයත් රැගෙන හානි හනිකට දිව ආවේ 2.10 පල්ලෙවෙල බසය  (29 ශ්‍රී 1984) වෙතයි.  

මේ වන විටත්  බනිස් , ඇතිමලේ බාප්පලා නංගිලා ඇතුළු සුජාතාවෝ මෙන්ම  පුස් බනිස් , දොළුවේ නංගි ඇතුළු පුදමු කුසුම් බාලිකාවෝද  තම තම පාසැල් බස් වෙත ඇදෙමින් සිටියහ.

1984  බසයේ අන්තිමේ සිට දෙවැනි සිට් එක අල්ලාගත් මා  බලා සිටියේ " අපේ නංගි " ඒ වෙත ලඟා වන තෙක්ය.  සුපුරුදු පරිදි ඈ සමග කතාවක් දා ගෙන ගෙදර ආවෙමි.  

තම මවගේ උණු වතුර බෝතලය බිඳීමත් එම නිසා හෙට උදේම ඇයගේ නිවසට එන ප්‍රථම ගමන ගැනත් සාකච්චා කරන්නට අමතක නොකලෙමි.

"හෙට ඔයාලා ගෙදර එනවා ..මොනවද මට දෙන්නේ ..?"

 "හරි වැඩක්නේ .. අපේ ගෙදර එන්නේ මාව බලන්න යැ .. අම්මා මුණ ගැහෙන්න නේ .."

"හරි හරි ඒ වුනාට ඔයත් ගෙදර ඉන්නවනේ.."

"හා .. එන්නකෝ බලන්න මොනවා හරි දෙන්න බැරියැ..."

පසුදාට පහන් විය.  ජැන්ඩි පහට ඇඳුමක් දා ගත්තෙමි. විමලා අක්කගේ  අලුත්ම අලුත් උණුවතුර බෝතලයත් රැගෙන මල්දෙණියේ කන්දේ ගෙදර දෙසට ගමන් කලෙමි.

බුරුස් මාමල  කඩේ පැත්තේ පාරෙන් පැමිණි මා නතර කරන්නට හදන උන බම්බු තුනක් දමා හැදු ගේට්ටුවකි.


උඩම  ලීය ඉවත් කර කඩුල්ල පැන්නෙමි.



"මල් තුනක්  පිපී ඇත ..කිව්වට කණු තුනක් නේ  තිබුණේ ඉස්සරහට.. "  

 දින කිහිපයකට පසු මුණ ගැසුණු "අපේ නංගිට"  මා මේ කඩුල්ල අර්ථ දැක්වුයේ එලෙසය. 

පපුව ඩිග්.. ඩිග්..  ගා ගැහෙන්නේ උණු වතුර බෝතලය දෙන්නේ කෙසේද කියා නම් නොවේ..

හෙමින් හෙමින් නිවස අසලට ලඟා වුනෙමි.

මැද  කාමරයේ ජනේලෙන් මෑත් වුණේ මා එහි එන බව දැන සිටි එකම තැනැත්තියයි.

 මිදුලේ තඩි ගිරා අඹ ගසකි.  එයත් පසු කර ගිය තැන ඉස්සරහ දොර හමුවෙයි..

"ක්‍රින් .. ක්‍රින්.."

"ආ .. මම මේ කවුද බැලුවා  මේ නාමරත්න මාමලා මල්ලිනේ.. "  දොර ඇරියේ  ජයරත්න අය්යා විසිනි.

. "කෝ අක්කා ඉන්නවද..?" මම ආපු කාරණය පැහැදිලි කලෙමි.

"ආ කොහොමද  ඉස්සර වෙලා වාඩි වෙන්නකෝ."

"තේ එකක්  බොමු නේද මල්ලී "

"පොඩි දුව මෙන්න කවිඳු අය්යා ඇවිල්ලා . එයාට තේ එකක් හදා ගෙන එන්න පුතේ.."

විමලා අක්කා මා හමුවට ආවේ එලෙසිනි.

" පිස්සුද ළමයෝ ... මට උණුවතුර බෝතල් ඕන නෑ .. මේක ඔයා තියා ගන්න හෙට ඉඳන් තේ ගේන්න "

ඇය මගේ උණුවතුර බෝතලය ගත්තේ නැත.

ඒ වෙනුවට අපේ නංගි ප්‍රථම වරට තම දැතින් හදා දුන් කිරි කෝප්පයක් මට ලැබිණි.

ඇයගේ  පිළිගනිම හැම දෙයකටම වඩා උණුසුම්  බව තේරුම් ගන්නට මට අපහසු නොවිය.

ලොකු නංගිත් , ජානක මල්ලිත් හොරෙන් හොරෙන් සාලයට එබී බලා ඉවත්ව ගියහ.

ජයරත්න අය්යා මගේ වගා කටයුතු ගැන සාකච්චා  කළේය.

  "අක්කා කිව්වා ඔයාට බෝංචි ඇට ටිකක් දෙන්න ඕනා කියලා .. "

කියමින් සුදුම සුදු කටුගස්තොට  බෝංචි ඇට හුන්ඩුවක් පමණ ඔහු මා අත තැබිය.

පැය භාගයක් පමණ එහි ගත කල මා අක්කාට හා අය්යාට සමුදී ගෙදර ආවෙමි.

උණුවතුර බෝතලය නොගත් කතාවද අම්මාට  කීවෙමි.

ජයරත්න අය්යා දුන් කටුගස්තොට බෝංචි ඇට ටිකත් ඇයට දුන්නේ

 "මේවගේ පලදාව හරි හොඳයිලු අම්මා " කියමිනි.

සිතේ ඇතිවූ අපමණ ප්‍රීතියකින් යුතුව දවස ගත වුනා කිවොත් නිවැරදිය.

මගේ දින චර්යාවේ අවසන් කොටසට ලඟා වෙමින් තිබිණි ..

අම්මා  රාත්‍රී  ආහාරය පිළියෙළ කරමින් සිටියි.

මම  සුපුරුදු පරිදි ලිප ළඟ බන්කුවට වී තේ දර කඩ කඩා ලිපට දමමින් සිටියෙමි .

අම්මලා පුතාලගේ  දිනයේ වැඩ ගැන සංවාදය බොහෝ විට සිදුවන්නේ මේ වටපිටාව තුලයි.

එදා සාකච්චාව හදිසියේම වෙන පැත්තකට යොමු කෙරුනේ මටත් නොදැනීමය.

" අම්මා.. ඇයි සමහර මිනිස්සු  තේ එකට කිරියි  සීනියි  ගොඩාක්  දාලා හදලා දෙන්නේ..?"

මා ඇගෙන් ඇසුවේ නිකමට වගේය.

"ඒ තේ එක බොන කෙනාට තියෙන ආදරේ වැඩි කමට නේ පුතා.."

ඇයත්  පිළිතුරු දුන්නේ  එසේ තේ එකක්  ලැබුනේ කොහෙන්දැයි මගෙන්  විමසීමක් නොකරමිනි.














Wednesday, 4 November 2015

වෙන්ඩ නැන්දම්මා හෙවත් අක්ක නැන්දා






ඒ 1990 වසරයි . මම ඒ දිනවල  උසස් පෙළ විභාගය අවසන් කර  ගෙදරට වී සිටියෙමි.  ඒ අතර සුපුරුදු පරිදි  වගා කටුයුතුත් දෙමළ ඉස්කෝලේ පංතියත් කරගෙන ගියෙමි.

මේ වන විට ගතවෙමින් තිබුනේ මගෙත්  ජයා නංගිගේත්  ඇයිහොඳයිකම්  හෙමින් හෙමින් දළුලා වැඩෙන  කාලයකි.

මේ කාලයේ කවිඳු- ජයංගනී ආදර අන්දරය  මල්දෙණිය අවට කාටත් රහසක් නොවීය.

එහෙත් පුදුමාකාර ලෙස අපේ අම්මා , තාත්තා ඇතුළු සොයුරු සොයුරියන් මේ ගැන  දන්නා වගක් වත්  මට  නොපෙන්වා සිටියහ.

ඇත්තෙන්ම   කියනවානම්  ඔවුන්  ඒ බවක්  මා වෙත නොහඟවා ඉන්නට උත්සහා ගත් බවක් පෙනෙන්නට තිබිණි.

කාලය මෙසේ ගලා යන  අතර අපේ බාලම නංගි නිම්මි  නිතර නිතර  ජයංගනී ලා ගේ ගෙදර යන්නට වුවාය.

ජයංගනී මෙන්ම අපේ නිම්මිත් ඒ දවස් වල ගියේ  අරලගංවිල සුජාතා බාලිකා එකටයි.

දිනක් එසේ ගොස් පැමිණි නිම්මි ඇයගේ ඇල්බම් එක මට දිගු කලේ " චුටි අය්යා මෙන්න මේක බලනවා "කියමිනි.

මම ඇයගේ චායා රුප පොත පෙරලමින් මේකේ මොනවා බලන්නද මම ..යැයි  සිතුවා පමණි.

මගේ දෑස්  ආදරයෙන් අන්ධ කල ඒ රූපය එක්වරම එහි දිස්වන්නට විය.

" නිම්මි තමුසෙට කොහෙන්ද මේක?"

මම විමසා සිටියේ ජයංගනී ගේ සහ ඇගේ හොඳම යෙහෙළියගේ  චායාරූපයක් නිම්මිගේ  ඇල්බමයේ  තිබෙනු දැකීමත් සමගයි.

" මම ඉල්ලනෙත් නැතුව ජයංගනී මට ඕක දුන්නා. මට දෙන මුවාවෙන් ඔයාට බලන්න තමයි ඕක දීල තියෙන්නේ"

"දැන් සද්ද නොකර ගිහින් ඕක තමන්ගේ පොතක් අස්සේ දාගන්නවා."

නිම්මි නංගි   තමා බළල් අතක් ලෙස භාවිතා කර ඇති බව වටහාගෙන මෙන් පැවසුවාය.

"මට ඕනෑ නෑ තමුන්ට දුන්න දේ තමුන් තියා ගන්නවා".  මම පැවසුවේ ජයංගනී ගැන මගේ එතරම් කැමැත්තක් නැති පරිද්දෙනි.

එහෙත් එදින රාත්‍රියේ  පාඩම් කරන අතර නිම්මි කිවූ පරිදිම ඒ ෆොටෝ එක මගේ පොත් මේසයට රැගෙන ආවෙමි.  ඒ ගෙනාවේ නිම්මිට හෝ වෙන කිසිවෙකුට හෝ නොපෙනෙන පරිද්දෙනි.
ජයංගනී විසින් මා ඇයගේ පින්තුරයක්  ඉල්ලා සිටි එකට ප්‍රතිචාර දක්වා ඇත. ඒ අරලගංවිල  සිල්වා ස්ටුඩියෝවට  ගොස්  ම වෙනුවෙන්ම  පින්තූරයක්  ගැනීම මගිනි.

 එය තනියෙන්  නොඉඳ  තම හොඳම යෙහෙළියත් සමග අරගෙන ඇත්තේ ආරක්‍ෂිත උපක්‍රමයක්  වශයෙනි.

මමද ජයංගනීට දෙන්නට චායා රූපයක්  ගත්තෙමි . ඒ අරලගංවිල  "සිරිල්ස්" ස්ටුඩියෝ වේදී  ගත්  කළු සුදු චායා රූපයකි.




සඳතැන්න විද්‍යාලයේ ස්වෙච්චා ගුරු සේවය



මේ අතර අපේ තාත්තා මට රස්සාවක් හොයා දෙන්නට සිතා ගෙන ඇති සෙයකි. 

" චුටි පුතා . කැමතිද සඳතැන්නේ ඉස්කෝලේ ඉංග්‍රීසි උගන්වන්න.?"  " ඒකෙ විදුහල්පති විමලරත්න මහත්තයා මගේ යාළුවෙක්  , ඔයා  එහේට එවන්නම් කියලා මම කිව්වා ."

වගා කටුයුතු නිසා ගෙදරට වී නිකන් සිටියේ නැති වුවද අදහස හොඳ බැවින් මමද එයට  එකඟ වූයෙමි.

ස්වෙච්චා ගුරුවරුන්  ස්ථිර කරන්නට යන ආරංචිය අනුව තාත්තා මේ අදහසට පැමිණ තිබේ.  ඒ අනුව දිනපතා මගේ පාසැල් පැමිණීම විදුහල් පති ලවා අත්සන් කර ගන්නටද යෝජනා කෙරිණි.

අපේ ගෙදර සිට කිලෝමීටර් දෙකක පමණ දුරකින් පිහිටියේ වුවද ඒ වනතෙක්  මම සඳතැන්න ඉස්කෝලේ තියෙන තැනක් වත් දැන සිටියේ නැත.

" උදේට පල්ලැහැ විමලා ටීචර් ලාගේ ගේ ලඟට යන්න . එයත් යන්නේ ඒ ඉස්කෝලෙට තමයි."

තාත්තා කියන්නේ සඳතැන්නේ බාලාංශයට ඉගැන්වූ දියවල ළඟ ගෙදර විමලා වති  පුංචි ගැනයි.

විමලා පුංචි සමග ඉස්කෝලේට ලඟා වූයෙමි. විදුහල්පති තුමා ඉතා අහිංසක පෙනුමැති   කෙනෙකි. ඔහු මාව ගුරු  මන්ඩලයට හඳුන්වා දුන්නේය.

"මේ කවිඳු ජයසිංහ ,  අපේ මල්දෙනියේ නාමේගේ  පොඩි පුතා.   අර යෝධ ඇල  කලාප කාර්යාලයේ වැඩ කරන්නේ.. එයාගේ පුතා." විමලරත්න මහත්මා කිවේය,

"මේ පුතා ගොඩක් වෙලාවට විශ්ව විද්‍යාලේ  යයි"

" අය්යාත් දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා. "

  "අපේ මහත්තයලගේ  ළඟ නෑදෑයෝ  "

දියවලේ විමලාද තම කටහඬ අවදි කලාය. ඒ ඇයගේ දුර නෑදෑ කම ගැනද මතක් කරමිනි.

මේ අතර තුනේ පන්තියට උගන් වමින් සිටි හුරු පුරුදු ගතියක් පෙන්වූ මුහුණකි,

ඇය එක එල්ලේම අලුත් ගුරුතුමා හඳුනා ගන්නට ආවේ නැත.

 එහෙත් මා දෙස කිහිප වරක්ම හොරෙන් බලන බව දැක්කෙමි.

එහෙත් එවැනිම මුහුණක් හිමි යුවතියක්  සමග පෙමින් බැඳී සිටි මට ඇය හඳුනා ගැනීම අපහසු නොවීය.

ඒ මල්දෙනියේ සිට එන අනෙක් විමලාවතී ගුරුතුමියයි.

වෙන විදිහකින් කියනවා නම් මගේ  වෙන්ඩ නන්දම්මාය.  ගමේ කොල්ලන්ගේ භාෂාවෙන් නම්  "අක්ක නැන්දාය "

මට එක් වරම ජයංගනී ගේ සමරු පොතේ  මෑතකදී තැබූ සටහනක් මතක් විය.  ඒ සටහනේ  වචනයක් වචනයක්  පාසා විග්‍රහ කරමින් ජයා සමග සිනහසුන හැටි ද මතක් වෙයි.

මේ ඉන්නේ ඒ සටහන තැබූ මාතාවයි. එය ලියා තිබුනේ මේ  ආකාරයෙනි.


මල් තුනක් පිපී  ඇත
වෙලා ගෙන මගේ සිත
පණ මෙන්  සුරකිනා 

ඔබ ඉන් එකකි පොඩි දුවේ..

කුමක් දෝ බයක් ඇත
සිත් කොනක හැංගිලා....

නොතලන්න කිසිදාක 
මගේ සිත පොඩි දුවේ 
කරගන්න ඉගෙනීම 
මල්දමක් ලෙස ගෙලේ...


විමලා අක්කා  ඒ වන විටත් සිය බාල දියණිය මා සමග ගනු දෙනු කරන බව දැනගෙන සිටියාය.

එදා උදේ දියවල ළඟ විමලා සමග පාසැල් ගිය මා ආපසු ආවේ  කන්දේ ගෙදර විමලා ටීචර් සමගයි.

එමෙන්ම එදා සිට සඳ තැන්නේ ගිය හැම දිනකම වාගේ  මා ආවේ ගියේ  ඇය  පාසැල් ගිය පාරෙනි.





එහෙත් මුලදී ඇය තම දුව ගැන කිසිත් මා සමග කථා නොකර  සිටින්නට වග බලා ගත්තාය.

එක් දිනක් විමලා අක්කා මාතෘකාවට පිවිසුනාය.  ඒ මෙලෙසිනි.

මල්ලි " අපේ පොඩි දුව ඉස්සර හරි එකතුයි තාත්තා එක්ක .. හැබැයි ළඟක ඉඳලා එයා හරි වෙනස්"

දැන්  ඉස්සර වගේ තාත්තගේ කරේ එල්ලෙන්නේ එහෙම නෑ.. එයා.
" මොකක්  හරි ලොකු වෙනසක් වෙලා තියෙනවා "

මම එය විහිළුවකට ගන්නට උත්සහා කලේ කොක් හඬලා සිනාසෙන ගමන් ...

" ඉතින් අවුරුදු 14-15 ගෑනු ළමයි තාත්තලා කරේ එල්ලෙන්නේ නෑනේ  කොහොමත් " කියමිනි.

එහෙත් ඇය තම අදහසටම  පිවිසුනේ  " එහෙම නෙවෙයි.. මේ පොඩි ළමයා කවුරු හරි රවට්ටගෙන තියෙනවා"  .කියමින් හොරැහින්  මා දෙස බලමිනි.

" මොකද නිකන් මං දිහා හොරෙක් දිහා බලනවා වගේ බලන්නේ. හරියට මම වැරද්දක්  කරලා වගේ ?." මමත් විහිළුවෙන්ම ඇසුවෙමි.

"මට බොරු කරන්න  එපා මල්ලී . මේක දැන් මුළු ගමම දන්නවා ."

"මම තමයි වැරැද්ද කර ගත්තේ.....පංති යවනවා කියලා  ගින්දරයි පුළුනුයි  ලං කරලා"

ඇය මා ලවා සිද්ධිය ස්ථිර කර ගත්තේ එලෙසිනි.

තව සති කිහිපයකට පසු ඇය තම දියණියන් දෙදෙනා මගේත් සුගත් ගේත්  පංතියෙන් අස්කර  අරලගංවිල "සුදර්ශියට" දැම්මාය.

ඒ තව දුරටත් ගින්දර අසලින් පුළුන් තියන්නට අකමැති නිසාම  නොව  ගමේ හැමෝටම පෙනී පෙනී එසේ කරන්නට තිබු අකමැත්ත නිසාය.




Saturday, 31 October 2015

මා ලියු ප්‍රථම නිසදැස

අපි එතකොට සිටියේ අරලගංවිල මහා විද්‍යාලයේ 13  සී  පංතියේය.  උසස් පෙළ විභාගයට ඔන්න මෙන්න කියා තිබු කාලයකි.
පාසලේදි මෙන්ම  සමන් අය්යාගේ පංතියේදී නිතර හමුවන හිතවතෙකි  නාරද අමරසිංහ. නාරද ඒ කාලේ  79 වැලිකන්ද බසයේ ගමන් කල ප්‍රමුඛ සාමාජිකයෙකි.

දිනක් සමන් අය්යාගේ පංතියේ දී මාවෙත  පැමිණි නාරද.  " මචං කිටී.. මම උඹ හම්බවෙනකන් හිටියේ"

"ඇයි මචං මොකුත් ප්‍රශ්නයක් ද ?" මම ඇසුවේ නාරදයා ඒ  කාලේ මට එතරම් අවවාද දුන් කෙනක් නොවූ බැවිනි.

"මචං .. උඹ ඔයිට වඩා හොඳට ලියන්න පුළුවන් එකෙක්..  හොඳට හිතලා බලලා සමාජයට යමක් දෙන්න පුළුවන් දෙයක් ලියපන් බං" යැයි නාරද මට එක්වරම පැවසීය.

ටිකක් කල්පනා කර බැලුවෙමි. මොකක්ද  මම ලියපු හරි නැති දේ... මා කල වැරදි යැයි කිවහැකි  කිසිවක් මතකයට නොනැගේ.

"මොකක්ද මචං මම ලියපු හරි නැති එක ? "  බැරිම තැන නාරද ගෙන් ආපසු ඇසුවේ ඔහු අකමැති ලියවිල්ල ඔහුට අමතක නොවන නිසයි.

" මොනාද බන් උඹ ලියන බොලඳ කවි..? " ඔයිට වඩා හොඳ දෙයක් ලියපන්කෝ.."

නාරදයා කියාගෙන ගියේය.

ඒ වන විට ජයංගනී නංගි  සහ මගේ හාද කම් ගැන නාරද හාන්කවිසියක්  වත් දැනගැන හිටියේ නැත.

ඔහු මේ කියන්නේ මම " අපේ නංගි " වෙනුවෙන් ලියු පළමු නිසදැස් කාව්‍යය  " රැජින " පත්තරේ පලවී තිබු බව දැකීමෙන් පසුවයි.

මට මතක හැටියට එය ලියවී තිබුනේ මේ අයුරිණි.

" සඳේ  තනියට පුංචි තරුවක්
 ඈත  අහසේ පායලා...

හදේ  අඳුරට  සහන් එළියක්
 පහන් වැට සේ දැල්විලා...

 මා  පුබුදු කල පුංචි තරුවේ
 හද අහස් තල හිනැහිලා...

ඉතින් ඉන්නම් සදා මේ ලෙස

ඔබේ වත දැක සැනසිලා..."

නාරදට කේන්ති ගොස් තිබුනේ  1989-90 වකවානුවේ  උසස් පෙළ සිසුන්  වූ අපට මෙවැනි නිර්මාණ  කරනවාට වඩා කල හැකිව තිබු නිර්මාණ ගැන සිහි වීමෙන් විය යුතුය.

" හරි මචං .. මේක පලවෙනි එකනේ.. " මම ඇඟ බේරාගත්තේ  කවියේ නිමිත්ත කුමක්දැයි  නාරදයට  පැවසිමකින් තොරවයි.

කෙසේ වෙතත් මා එතෙක් මෙතෙක් ලියු එකම නිසදැස එයයි.

එයින් පසු කවි. නිසදැස්  හෝ එවැනි කිසිවක් නොලියන්නට මා සිතුවේ ඇයිදැයි  අදටත් හිතා ගත නොහැකිය.








Friday, 30 October 2015

බෙස්ට් සිලෙක්ෂන් ( හොඳම තෝරාගැනීම) - දෙවන කොටස


මේ වනවිට  අසුනමය අවුරුද්දේ අග භාගය  ආරම්භ වී තිබිණි. රටේ කලබල ස්වභාවය  එන්න එන්නම වැඩි වෙමින් තිබූ කාලයකි ඒ.

මේ අතර අපි තුන්දෙනා ( චමින්ද , සුරාජ් සහ මම ) අපේ දින චර්යාව  පුරුදු පරිදි පවත්වා ගත්තෙමු.

ඉන් ප්‍රධාන තැනක් ගත්තේ   උදේ පාන්දර පාසැල් බසයෙන් ( 314, බෙලගන්වැව)   අරලගන්විල දක්වා ගිය ගමනයි .

මෙහිදී අපේ ප්‍රධානම අරමුණ වුයේ සුජාතා එකේ සහ අනෙක් බාලිකාවට ගිය  අපේ හිතවතියන්  දැකගනිමයි.

ඒ කාලේ යලට මහට ඉස්කෝලේ ගිය අපි සමහරක් දිනවල පාසැලට ගොස්  අධ්‍යාපන කටයුතු වල යෙදුනෙමු.

තවත් දිනෙක සුගත්ලා ගේ කට්ටියත්  සමග රජයේ මර්ධනයට විරුද්ධව උද්ඝෝෂණ කළෙමු.

ඒ මොනවා කලත් මේ කාලයේ වැඩි පුර තිබුනේ අරලගන්විලට  ගොස් හැරෙන තැපෑලෙන්  ගෙද ර ආ දවස්ය.

එසේ ආපසු එන අප හවස පංති යනතෙක් හෝ දවස ඉවර වන තෙක් හෝ   කලේ චමින්දලා ගෙදරට වී පාඩම් කිරීමයි.

චමින්දලා ගෙදර උසස් පෙළ සාකච්චා

ඒ දවස්වල මම මගේ කාමරේ පාඩම් කරන්නට ඇඳ ඉස්සරහින් කළු ලැල්ලක් ගසා තිබුණා මතකය. 

ඒ කළු ලෑල්ලත් ඉස්කෝලේ ඒවා වාගේම බැටරි කූඩු, කෙසෙල් මුවකින් ගත් කහට ආදිය යොදා කළු කරගත් එකකි. 

මේ කළු ලෑල්ලේ  දින පතා එකිනෙකට වෙනස රසායන හා භවුතික විද්‍යා සමීකරණ ලියා තැබුවේ ඉබේම කට පාඩම් වන්නටය..

එපමනක් නොව සිවිලිමේ  හරියටම මගේ ඇඳ උඩින් වූ කොටසේද සමීකරණ ලියා තැබුවා මතකය.

මේ වා දැක තිබු  චමින්ද ඔවුන්ගේ ගෙදරද කළු ලැල්ලක් සකස් කළේ ඔහුට පාඩම් කරන්නටය.

එම කළු ලෑල්ල සවි කර තිබුනේ ඔවුන්ගේ ගෙදර ඉස්සරහ බිත්තියේ කොනකයි.

සමහර දිනවල යහළුවන් තිදෙනා පාඩම් කරන්නට සුදානම් වූ විට චමින්දගේ මේ කළු ලෑල්ල  යොදා ගන්නා අවස්ථාද තිබේ.

එවිට එක් අයෙක් උගන්වන අතර අනෙක් දෙදෙනා ඔහු කියා දෙන දෙය අවධානයෙන් අසා සිටිය යුතුය.

එහෙත් විශේෂයෙන් බණ්ඩාත්, සමහර විට චමින්දත් මමත් උගන්වන කෙනාට විහිළු කරමින් බාධා  කරන්නට පුරුදු වී සිටියේය.

" අද පාඩම  මඩු ශාකය ගැන" චමින්ද කළු ලෑල්ල අසල සිට කියයි.  ඉදිරියේ සිටින බණ්ඩා 

" මඩු  ද .. එහෙනම් බඩු තමයි  " කියමින් චමින්ද විහිළුවකට ගන්නට සැර සෙයි.

"හිටපන් මුගේ කට වහන්න.." කියමින් චමින්ද  " ගල් බනිස්" කියා කළු ලෑල්ලේ  කොනක ලියයි.

"ඔන්න උඹේ නංගිගේ නම කළු ලෑල්ලේ ලිව්වා... දැන් වත් කට වහගෙන කියන දේ අහගෙන හිටපන්."

ඇයි උගේ නංගිගේ නම විතරක්  කියා චෝක් කෑල්ල  ගන්නා මා ලෑල්ලේ අනෙක් කොනේ " පුස් බනිස්" කියා ලියන්නෙමි.

ටික වෙලාවක් මඩු ශාකයේ විද්‍යාත්මක පැත්ත කථා කරන අපි නැවතත් නංගිලා ගැන සාකච්ඡාවට යන්නෙමු.

"මචං කිටී.  උඹට මොකද බන් ඔච්චරම අර නංගිලාගේ පවුල ගැන තියෙන කැක්කුම.."
චමින්ද අසයි.

"මේකාට ඒ නංගි නෙවෙයි ගෙදර වෙන කවුරු හරි කොහේදී හරි දැක්කත් මාර සතුටක් නේ එන්නේ"

සුරාජ් හු මිටි තබයි.

මගේ සගයින් දෙදෙනා මේ කියන්නේ  " අපේ නංගි" හෙවත් ජයංගනී සහ ඇයගේ පවුලේ අයට මගේ තිබු ලැදියාව ගැනයි.

මේ වන විට බනිස් , පුස් බනිස් යන අය අතරට "අපේ නංගි" පැමිණ ගත වී තිබුනේ කෙටි කාලයකි.

මේ අතර සුරාජ් "ඇයි අපි දෙන්නගේ  අය විතරක්... කිටියගේ කෑල්ලත් මෙතැන ඉන්න එපැයි බං "

කියමින්  " අපේ නංගි "  කියා කළු ලෑල්ලේ පහලින් ලියයි.

මට ගුරුවරයා චරිතය ලැබුණු පසු කරන්නේද  තව තවත් මගේ සගයින් ඇවිස්සිමයි.

විෂය කරුණු ලෑල්ලේ ලියන අතර  අත පසුවීමකින් මෙන් " ගල් බනිස් "  ගල් බවට පත් කෙරුවෙමි.

මෙයින් ඇවිස්සෙන සුරාජ් ඇවිත්  " අපේ නංගි " මකා දමයි.  නැවතත් සාකච්චාව ඉදිරියට ඇදෙයි.

මම ආයිත්  චමින්ද අවුස්සනෙමි . ඒ  ඔහුගේ නංගී  "පුස් බනිස්" ගැන ලියු දෙයක් මකා දැමීමෙනි.

බෙස්ට් සිලෙක්ෂන් එක සහ පොඩි බණ්ඩාර  මාමලා නැන්දා

ඒ වන විට වයස අවුරුදු 19 ක් වුවද  කෙල්ලෙක් හා හාද වූ පසු එය පවත්වාගෙන  යාම  කරන්නේ කෙසේදැයි මට හරි වැටහීමක් තිබුනේ නැත.

නිතර හමුවීම  හමුවී  ඔහේ කතා කර කර සිටිම  වැනි කවුරුත් කල දේවල් කරමින් පසුවුයෙමි..

මේ වන විට "අපේ නංගි ට " යන්තම් අවුරුදු පහළොවක් වුවා පමණි.    එසේ වුවද අළුත් පෙම්වතා වූ මට ඇය වෙත ඇති මගේ  පැවති   ආදරය හා සෙනෙහස පවසන්නට අවශ්‍ය විය.

ලියුම් ලිවීම, පාසැල් බසයේ පිටුපසම ආසනයට ඉදිරි අසුනේ වාඩිවී කතා කර කර යෑම. සති අන්ත වල  පංති යෑමට පෙර රේල් පාර දිගේ  ගමන් කිරීම ආදිය මා ඒ වෙනුවෙන් තෝරා ගත් ක්‍රියා මාර්ග වලින්  සමහරකි.

එහෙත් පෙම් හසුනකින් හැරෙන්නට අනෙක් ක්‍රම දෙකෙන්ම කෙරුනේ මගේ ඇත්ත නංගිලා , යාළුවෝ ආදීන් ගැන වල් පල්  කථා කරමින් එකිනෙකා  ලඟට වී සිටීම පමණි.

 හිතේ තිබෙන දේ බොහෝය.   ඒවා  ඇය වෙත කියන්නට සුදුසු ක්‍රමයක්  සිතමින් ලත වු අවස්ථාද  බොහෝය..

අරලගංවිල නගරයේ තිබු "ගිහාන්ස් රෙකෝඩ් බාර්" එක සිහියට නැගුනේ ඔය අතරයි.




ඒ කාලේ ගිහාන්ස් එකේ හෙවත් අරලගංවිල " සිංදු කඩේ "  සේවය කලේ අපේ ගමේම යුවතියකි.

ඒ මල්දෙණියේ ඩිංගිරි බණ්ඩා මාමගේ දුවක්  වූ ප්‍රේමා අක්කාය.

ප්‍රේමා අක්කාට සිංදු ලිස්ට් එකක් ලියා දී TDK 60 කැසට් පටයක ඒවා පටිගත කර ගත්තෙමි.

කැසට් එක ආරම්භ වන්නේ  නන්දා මාලනීගේ " ඔබයි රම්‍ය  සඳ කිරණ " ගීතයෙනි.


ප්‍රේමා අක්කාට " මිදී යුෂ යැයි  රැවටී හලා හල විෂ .." කොටස ඉවත් කරන්නට අමතක වී තිබිණි. ඒක යම් තරමකට  මගේ අදහස අවුල් කරන්නක්    වුවත්  සිංදුව එසේම තිබෙන්නට හැරියෙමි.

ඊළඟට එන්නේ.. සෝමතිලක ජයමහගේ  " නුගසේවනක් සේ ඔබට.." ගීතයයි.



මේ ගීත එකතුවට බොහෝ ගායකයින්ගේ ගීත දෙක බැගින් තෝරා ගත්බව මතකය. එසේ තේරු සෝමතිලක ජයමහගේ අනෙක් ගීය  වුයේ ඔබ මලක් වෙලා... ගීතයයි


 

අපේ ප්‍රියතම ගායකයා මිල්ටන් ගේ ගීත දෙකක් සහ  ෂර්ලි ව්‍යිජයන්ත ගේ ගීත දෙකක්ද 
කැසට් එකට ඇතුල් කලෙමි. 
කැසට් පටයේ "බී"   හෙවත් අනෙක් පැත්තේ මුලටම තිබුනේ මිල්ටන් ගේ සුන්දරත්වයෙන් පිරී... ගීතයයි.





මිල්ටන්ගේ  චමින්දත් මමත් දෙදෙනාම ප්‍රිය කල "සිහිනෙන් ඔබ මට"  ගීතය මගේ  මේ කැසට් පටයට  නොගෙන ඉන්නේ කෙසේද?  එයත් මෙම  ගීත එකතුවට  ඇතුලත් කලෙමි.



අබේ වර්ධන බාලසුරියගේ  "රැලකින් තනිවී වනමැද  සරනා ... " මෙහි තිබු තවත් අරුත්බර  ගීතයකි.

මට මතක හැටියට මේ ගීතය සමන්තත් ඔහුගේ "බෙස්ට් සිලෙක්ෂන්" එකකට එකතු කර ගෙන තිබු එකකි.





මෙහි ගීත 12 ක්  තිබුණ අතර වික්ටර් රත්නායකගේ  ගීත දෙකක්ද  එයට  ඇතුලත් විය.

ඉන් පලමු ගීතය  " සීතල පිණි බිංදු බිංදු.." නම් වූ අතර අනෙක් ගීතය  බණ්ඩාර කේ . විජේතුංග ලියු   " සඟවා ගනු මැන ඔබේ රුව.. "  ගීතයයි.

මේ ගීත අඩංගු TDK කැසට් පටය  මම මුලින්ම " අපේ නංගිට"  දුන්නේ  " මේක අහලා මට පස්සේ ගෙනත් දෙන්නකෝ " කියමිනි.

ඇය සතියක් දෙකක් ගතවූ පසු  කැසට් එක මට නැවත ලබා දුන්නේ ය. එතැන් පටන් දිනපතා අපේ ගෙදර කැසට් යන්ත්‍රයේ  උපරිම ශබ්දයෙන් මේ ගීත වාදනය විය.
එමෙන්ම තුන්දෙනාගේ  කල්ලිය ගැවසෙන තැන් වලටද මෙය රැගෙන ගියෙමු.

ඉන් ප්‍රධානම තැනක් වුයේ මැදපුරණේ මහගෙදර  හෙවත් කුඩා බණ්ඩාර මාමලා ගෙදරයි.

ඒ  චමින්දලා පොඩි බාප්පා  විවාහ වූ අළුත බව මගේ හැඟීමයි.   මාමා ඒ දිනවල කුඩා තේ වතු එකේ වැඩට ගිය අතර දවල් කාලයේ ගෙදර හිටියේ  ඒ නැන්දා  සහ අනෙක් අයයි.

"මචන්ලා දැන් පාඩම් කරා ඇති වරෙල්ලා  බාප්පලා ගෙදර ගිහින් එන්න.."

යැයි චමින්ද කියාත්ම  චමින්දලා ගෙදර පාඩම් කරමින් සිටි අප තිදෙනා  හිටි හැටියේ  කුඩා බණ්ඩාර මාමලා ගෙදර යන්නෙමු.

ඒ  යන ගමනේදී  අප බොහෝවිට ගෙනයන දෙයක් තිබේ. ඒ මගේ " බෙස්ට් සිලෙක්ෂන් " TDK 60  කැසට් පටයයි..

කුඩා බණ්ඩාර  මාමගේ නැන්දා  ද අප සමග එකතු වී මේ ගීත වලට සවන්  දෙන්නීය.
ඒ වනවිට ඉතා තරුණ වියේ සිටි ඈ  කොල්ලෝ තුන්දෙනාගේ  නංගිලා  ගැන කතා ද දැන සිටියාය.


අවසානයේ  ඇය මෙහි අයිතිකාරයා  වූ කවිඳුට මෙසේ පැවසුවාය.. " පුතා සිංදු ටික නම් ශෝක් හැබැයි සමහර සිංදු ටිකක් අමුතුයි නේද? අහන් ඉන්න ටිකක් ...මොකක්ද වගේ  නේද?
"
ඇය එසේ කිව්වේ  මේ " සඟවා ගනු මැන  ඔබේ රුව.." ගීතය සම්බන්ධයෙනි.






















කෙසේ වුවත්  එම ගීතය හැරෙන්නට අනෙක් ගීත බොහොමයකම  මට අවශ්‍ය පණිවිඩය  ගැබ්වී තිබුනා යැයි කිවොත් නිවැරදිය.






ජයංගනී නංගි සතියක් හෝ දෙකක්  මගේ  ගීත එකතුවට  සවන් දෙන්නට ඇත.

සති කිහිපයකට පසු  උදා වූ දිනක .. " මේක  අහලා ගෙනත් දෙන්න "  කියමින් ඇය ඇයගේ  බෙස්ට් කලෙක්ෂන්  එක  මා අත තැබුවාය.

එහි තිබු පලමුවෙනි  ගීතය මගේ සිතට තදින්ම  කා වැදුනේ ඇයි දැයි පැහැදිලි නැත. එය තවමත් මගේ හිසේ කියැවෙනවා මෙන් දැනෙන ගීතයකි.

සුනිල් එදිරිසිංහ ගයන " ශීතල දිය පිරී..සුනිලවිලයි.. " ජයා නංගිගේ කැසට් පටයේ තිබු පළමුවෙනි ගීතයයි.


ඇයගේ කැසට් පටයේ තිබු හැම ගිතයකින්ම මට විශේෂ පණිවිඩයක් දුන් බව නම් හොඳින් මතකේ තිබේ.
ඒ කාලේ මම අකමැතිම ගායකයා  ( එහෙත් දැන්නම් මම ඔහුගේ සමහරක් ගීතවලට බොහෝ ප්‍රියකරමි ) ගේ ගීතයක්ද ඇය තෝරාගෙන තිබිණි.

 හේතුව කුමක්දැයි නොදනිමි, එහෙත්  ජෝතිගේ  සුදේහිනියේ...... නම්  ඒ ගීතයත් තවමත් මා සිත  පතුලේ රැව්  පිළිරැව් දෙන්නකි.



Wednesday, 28 October 2015

බෙස්ට් සිලෙක්ෂන් ( හොඳම තෝරාගැනීම) - පළමු කොටස





පසුගිය  කළාපයෙන්  

මේ කියන්නේ 1989 වසරේ මැද භාගය ගැනයි.   මේ වන විට මම අපොස  උ.පෙ  පන්තියේ ඉන්න කාලයයි.  එළවලු වගාවට අමතරව දෙමල ඉස්කෝලේ විද්‍යා පංතියත් , ජිනදාස මාමලා ගෙදර පංතිත්  කලේ මේ දිනවලයි.

දෙමළ ඉස්කෝලේ පංතිය සහ ජයංගනී නංගි.


දෙමල ඉස්කෝලේ පංතියට අපේ ගෙවල් තිබු මල්දෙණිය පැත්තෙනුත්, චමින්දලා ගෙවල් තිබු කිරඹ ඔය පැත්තෙනුත් සිසු සිසුවියන් 10-15 ක් පමණ පැමිණියහ.

මේ අය අතර චමින්දගේ මල්ලි කුමාර සහ අපේ ඇතිමලේ බාප්පලා දුවලා දෙන්නාද වුහ. මම බාප්පලා නංගිලාගෙන්   මුදල් අය නොකලෙමි.

අනෙක් අයගෙන් අය කල පංති ගාස්තුව වුයේ මසකට  රුපියල් 25 කි.

මේ සිසු සිසුවියන් අතරට මල්දෙණිය පැත්තෙන් පැමිණි සුවිශේෂී අක්කා නගෝ දෙදෙනෙකි.  ඒ අයත්  ඇතිමලේ නංගිලා දෙදෙනා සමගම අරලගංවිල සුජාතාවට ගිය අය අයයි.

වැඩිමහල් නංගි ඉන්ද්‍රා ලාලනී හිටියේ ඇතිමලේ ලොකු නංගිගේ පන්තියේමය. ඒ අතර පොඩි නංගි  ජයංගනී   සිටියේ ඇතිමලේ පොඩි නංගි රන්දුගේ පන්තියෙයි.

මේ දෙදෙනා බෝනික්කියන් දෙදෙනෙක් වැනි යැයි  අපේ ගමේ කොල්ලෝ කොච්චර වත් කියනු මට ඇසී තිබේ.

එමෙන්ම කොල්ලෝ  මේ දෙදෙනාගේ තාත්තා  වූ ජයරත්න අය්යාටද   නමක් පට බැඳ තිබුනා මතකය.

ජයරත්න  අය්යාට වැඩිවිය පැමිණි  දුවලා දෙදෙනෙක් සිටියද ඔහු ගමේ කොල්ලෝ හැම එකෙකුටම මල්ලී කියා අමතන්නට පුරුදු වී සිටියේය.

වෙනෙකක් තබා ඔහුත් ඔහුගේ බිරිඳත් අපේ අම්මාට හා තාත්තාට  ආමන්ත්‍රණය කලේ ද   මාමා  හා නැන්දා යනුවෙනි,

ගුරුවරියක වූ ඔහුගේ බිරිඳට අපි කිව්වේ විමලා අක්කා  ( ඇයගේ නමත් අපේ අම්මාගේ නමමය  ) කියලයි.

මේ ආමන්ත්‍රණ එසේ තිබුනද ජයරත්න අය්යාට ගමේ කොල්ලෝ " අය්යා මාමා " කියා කිව්වේ ඇයි දැයි කෙනෙකුට ප්‍රශ්නයක්  ඇතිවිය හැක.

හේතුව  ඔහුගේ  දියණියන් දෙනෙනායි.

මගේ පන්තියට ආ ඔහුගේ දුවලා ඇමතීමට " අය්යා මාමගේ ලොකු දුව  සහ පොඩි දුව "යන යෙදුම ගමේ ගැටවරයින්  අතර නිතර භාවිතා වුයේ එබැවිනි..

ගමේ කොල්ලෝ බොහෝ දෙනෙක් මේ දෙදෙනා ගැන උනන්දුවෙන් පසු වුවද ඒ වනතෙක් කිසිවෙකුටත් ඔවුන්ට ලං වන්නට හැකි වී තිබුනේ නැත.

එහෙත් කවිඳු ජයසිංහ ට නම් දෙන දෙය්යෝ ගෙදර ළඟටම කට්ටිය ගෙනත් දී තිබුණි .

හැබැයි ඒ ගුරු ගෝල  සම්බන්ධයක්  සඳහා පමණි.

සති කිහිපයක් පංතිය කරගෙන ගියෙමි.

කිසියම්  හේතුවක් නිසා විමලා අක්කා තම ලොකු දුව ගණිතය විෂයට පමණක් එවන්නට තීරණය කලාය.

එහෙත් ඇය පොඩි දුව ජයංගනී  පංති දෙකටම සහභාගී කලාය. ඒ අනුව  විද්‍යාව ඉගැන්වූ මට මුණ ගැසුනේ  ජයා  නංගි පමණි.

සුරේඛා  අදහසද පහව ගොස් තිබුණි. මල්දෙණියේ කොල්ලෝ එකෙක් දෙන්නෙක් නොව කිහිප දෙනෙක්ම අය්යා මාමාගේ දුවලා  මගේ පංති පැමිණීම ගැන මට මතක් කර දුන්හ.

ඒයි කවිඳු  " අර බෝනික්කි  ඔයාගේ පංති එනවා නේද ?" දවසක් අපේ ලොකු තාත්තගේ පුතා  ශ්‍රියන්ත මගෙන් ඇසුවේය.

" බෝනික්කි..? ඒ කවුද? ඇයි අය්යා මාමාගේ  පොඩි දුව? " ශ්‍රියන්ත කියන්නේ ජයංගනී ගැනයි.

ඔයින්  මෙයින්  මගේ ඇස පංතියට  එන ජයංගනී දෙස වැඩි පුර  යොමුවෙන්නට පටන් ගත්තේය..

මේ අතර ඒ පන්තියටම කිරවනබිස්සේ සිට පැමිණි ලක්ශේ මල්ලී සහ අපේ ගෙදරට අල්ලපු ගෙදර සිටි ස්වර්ණපාල මල්ලිගේ ඇසුත් ඈ  දෙසටම යොමුවනු දුටුවෙමි.

දිනක් චමින්ද සහ සුරාජ්  හමු වූ මා සිද්ධිය ඔවුන්ට පැහැදිලි කලෙමි.

ඔවුන් දෙදෙනාගේම අදහස වුයේ තවත් ප්‍රමාද  කල හොත් පසුතැවෙන්නට සිදු වනු ඇති බවයි.

මම ගුරුවරයෙක්  ලෙස මගේ සිසුවියට  ආදරවන්තියක් වෙන්නැයි  ඉල්ලන් නේ කෙසේදැයි  දහ අතේ කල්පනා  කලෙමි.

අපහසුව චමින්දටත් දැනුම් දුන්නෙමි.

ත්‍රි පුද්ගල කමිටුව ඉතා වැදගත් සාකච්චා වට කිහිපයක්ම  මේ වෙනුවෙන්ම වැය  කලා මතකය.

චමින්දගේ කපුකම


කමිටුවේ අවසන් තීරණය ඉදිරිපත් කලේ චමින්ද විසිනි. 

" කවිඳු ඔහොම බය වෙලා කොහොමද බන් "  " උඹට ඇත්තටම  එයා යාළු කර ගන්න ඕනෙද.. ? "

"හරි මම කරන්නම් වැඩේ මේ සෙනසුරාදා කෙල්ල පංති එයි නේද?"

"නැති වෙන්න හේතුවක්  නෑ. "

යටි හිතේ සතුට , බිය සහ කුකුස මිශ්‍ර වූ  තත්වය  පිටට නොපෙන්වමින්  මා පැවසුයෙමි.

සෙනසුරාදාට උදා විය.  මම සුපුරුදු ලෙස පන්තියට ගියෙමි.  ජයංගනී පමණක් නොව ස්වර්ණපාල, ලක්ශේ  , රන්දු ඇතුළු  බොහෝ දෙනෙක් පංතියට  පැමිණ සිටියහ.

කොල්ලෝ කෙල්ලෝ දෙමල ඉස්කෝලේ මිදුලේ කතා කර කර සිටිති.  චමින්දයා එනවා නම්  හොඳ වෙලාව දැන් ය.

චමින්දයෙක් පෙනෙන තෙක් මානයක නැත.  මම ආයුබෝවන් කියා පාඩමට  බැස්සෙමි.

ප්‍රභා සංස්ලේෂණය  එදා  මාතෘකාව යි.   හිරු එලිය,  කාබන්ඩයොක්සයිඩ් වායුව ආදී සංඝටක  ගැන කියමින් පසු වූයෙමි.

මේ වනවිට චමින්ද එනවා ඇත්තේ පංතිය අවසාන වෙන වෙලාවට  විය යුතුයි  කියා සිතාගෙන සිටියෙමි.

" මචං  කිටී.. කියාගෙන චමින්දයා පංතිය මැදට කඩා පැන්නේ මේ අතරයි"

කොල්ලෝ කෙල්ලෝ යමක් ඉව වැටුන ගතියක් පෙන්වුයේ එකිනෙකා සමග කුටු කුටු
 ගෑම ආරම්භ කරමිනි.

" මට  මේ නංගිට පොඩ්ඩක් කතා කරන්න ඕනෑ.." චමින්ද පැවසුයේ ජයංගනී දෙසට අත දිගු කරමිනි.

"නංගි පොඩ්ඩක් එලියට එන්න."  චමින්ද කියයි.  කියනකම් සිටියා වාගේ  සිටි ජයන්ගනී  ද සැනෙන් එලියට ගියාය.

සසල වූ සිතින් වුවත් කිසිත් නොවූ පරිදි පංතිය කරගෙන ගියෙමි. විනාඩි කිහිපයක් චමින්දගේ බණ අසමින් සිටි ජයා නංගි බීම බලාගෙන විත් පංතියේ වාඩි වුවාය.

කිසිත් නොවූ පරිද්දෙන් දිනයේ පාඩම අවසන් කලෙමි.

"කවිඳු අය්යා එන්නැද්ද අපිත් එක්ක යන්න "  ස්වර්ණපාල මල්ලි අසයි.

සාමාන්‍යයෙන් මා ආපසු ගෙදර යන්නේ එහා ගෙදර ස්වර්ණපාල මල්ලිත් සමගය.

"නෑ මල්ලිලා යන්න මම අද සිරිමල්වත්තට  ගිහිල්ලා එන්නේ"

මම කිවේ චමින්දලා ගෙදරටත් ගොඩවී  යන්නට ඇති නොනිත් ආශාව සඟවා ගෙනයි.

ළමයින්ට ආපහු ගෙවල් බලා යන්න හැරි මා ඩන්ලොප් වත්තෙන් පැන පිම්මේ දුව ගියේ මගේ සගයින් දෙදෙනා වෙතයි.

" ඔය එන්නේ මනමාල සර්"  "දීපන් අපිට මොනවා හරි"

චමින්දයා කල වැඩේට  තෑගි ඉල්ලන්නේ  වෙන කවුරුත් නොව අපේ බණ්ඩාය.

ඉතින් කියපන් මොකද වුනේ?  මම චමින්ද දෙසට හැරුනෙමි.

"වැඩේ හරි යයි වගේ "  "ටිකක් ඉවසපන්කෝ "

."..කියපන් කියපන් උඹ මොනාද එයාට ඔච්චර වෙලා කිව්වේ ? "

 නොඉවසිල්ලෙන් සිටි මා ඇසුවේ චමින්ද ගේ හැටි දන්නා නිසාය.

" අපේ කිටී ගැන මම වග කියනවා.. මිනිහ ඔයා අමතක කරොත් මම බලාගන්නම් ...

ඔන්න නංගි  ඔයාගේ වචනේ අකුරටම රකින්න බලා ගන්න ඕනේ.. "

චමින්ද මහදෑනමුත්තෙකු  වගේ කියා තිබුනේ  එදා ගැන නොව අපේ ඉදිරි අනාගතය ගැනය..


Best selection

Best selection  කියා කීවේ  මේ  යුවතියට වත්  දෝයි ඔබ සිතන බව මම දනිමි.  එය ඊළඟ පොස්ටුවෙන් හෙළි කරන්නෙමි.

එතෙක් මේ ගීතය ඔබට බෙස්ට් සිලෙක්ෂන් එක ගැන යම් අදහසක් ලබා දෙනු ඇත.

1. මගේ සිත පිරී තිබෙන්නේ.









ඊළඟ  කොටස--  මෙන්න  මගේ  පළමු බෙස්ට් සිලෙක්ෂන්  එක