Friday, 29 April 2016

කටු ගැසීම



මම  දැනට ශ්‍රී ලංකාවෙන් එපිට රටක  පිහිටි  මූලික රෝහලක සේවය කරන්නෙමි .

ඒ   රෝහල් වයිදය නිලධාරි  (Hospital Medical Officer ) නැමැති තනතුරක් හොබවන්නෙකු ලෙසයි.

එම රෝහලේ විවිධ අංශ වල සේවය කර ඇති මා පසුගිය  සති කිහිපය සේවය කලේ  කායික රෝග වාට්ටුවේ රාත්‍රී ව්‍යිදය වරයා ලෙසයි .

මගේ සේවා මුරය වැටී තිබෙන්නේ  රාත්‍රී නවයේ සිට උදේ නවය දක්වා  වූ පැය දොළහක සේවා මුරයක් වශයෙනි.

මේ පැය දොළහ ඇතුළත වාට්ටුවේ රෝගීන් ට පැන නගින සියළු ගැටළු ගැන මුලින්ම සොයා බලන්නේ මා විසිනි .

අවශ්ය වුවහොත් වාට්ටුවේ රෙජිස්ට්‍රාර් වරයාගෙන් උපදෙස් ලබා ගත යුතුය.

බොහෝ විට එවැන්නක් අවශ්ය නොවුවද ශ්‍රී ලංකා වේ දී මෙන් නොව ඕනෑම  සංකුලතා අවස්ථාවකදී   රෙජිස්ට්‍රාර් වරයා ඉතා පහසුවෙන් සම්බන්ධ කර ගත හැකිය.

පුරුදු පරිදි ඊයේ රාත්‍රියේ සේවය ආරම්භ කලෙමි.

"ක්‍රින් .. ක්‍රින් ... " මගේ රෝහල් දුරකථනය  නාද වෙයි .

"හලෝ  ....ඔය  කවිඳු ද ? මම  එමලි  මෙඩිකල්  වන්  වලින් "

"ඔව් .. ඔව් .. මොකෝ එමලි   ......මම මේ  ආවා විතරයි "

"කරුණා කරල  ඇඳ 25 ඒ  හි සිටින  රෝගියාගේ  බෙහෙත් විදින කටුව පරික්ෂා කරන්න  . එයාට  පොටෑ සියම් බෑග් දෙකක් දෙන්න තියෙනවා "

එහා පැත්තෙන්  එන හෙද සොහොයුරියගේ කටහඩ මගෙන්  ඉල්ලා සිටි.

මම විවේක කාමරයෙන් ඉවත්වී  හෙද හෙදියන්ගේ ඒකකය වෙත පියමැන්නෙමි

"හායි  ..කවිඳු..  කොහොමද  අද  උදේ හොඳට නින්ද ගියාද?"

"මොන?  යන්තම් පැය හතරක්  ඇද ගත්තා .  දවල් දෙක තුනෙන් පස්සේ මට මලාට නින්ද යන්නේ නෑ..

අද ඔයාලගේ කරදර අඩු වුනොත් පොඩි ඇලට් එකක් දා ගත හැකියි . ඒක නෙවෙයි  25 ඒ  නේද  ඇඳ කිව්වේ ?"

"ඔවු ඔවු ...හැබැයි  එයා නම් එච්චර කැමති නෑ ප්‍රතිකාර  ගන්න "

හෙද සොයුරිය තවත් අතිරේක විස්තරයක්  මා   හට පැවසුවාය.

"හරි හරි මම ගිහින් බලන්නම් . මොකක්ද  නම් කිව්වේ ? "

"මිසිස්  ඕ කොනර් .. අවරුදු අසු දෙකක් වෙන නෝනා කෙනෙක්  එයාගේ පොටෑසියම් හොඳටම අඩුයි.

අපි ඉස්සෙල්ලා දුන්න  බෑග්  එක බාගෙට නැවැත්තුවා එයා අත රිදෙනවා කියලා කියපු නිසා කැනියුලා එක
අවුට් වගේ.. කවිඳු  ඒක චෙක්  කරලා දෙන්න ප්ලීස්.."


සුහද හමුවීම 




"මිසිස්  ඕ කොනර්.. කොහොමද ?  මම කවිඳු ඔයාගේ රාත්‍රී ව්‍යිදය වරයා.  සිස්ටර්ලා කිව්වා  ඔයාගේ  කැනියුලා එක අවුට් වගේ කියලා ? කලින් බෙහෙත දෙද්දී අත රිදුනා කිව්වා නේද ?"

"නෑ.. නෑ.. දැන් මගේ අත රිදෙන්නේ නෑ.. "

'ඒක හරි මිසිස්  ඕ කොනර් . දැන් අපි බෙහෙත් දෙන්නේ නැහැනේ.. පොටෑසියම් එක යනකොට තමයි අත රිදෙන්නේ "

මම කැනියුලා එක අවුට් ගොස් ඇති බව ඇයට පැහැදිලි කරන්නට උත්සාහ කලෙමි.


" මම දැන්  හිටියා ඇති කියලා හිතෙනවා කටු ගහලා ගහලා  මගේ අත් දෙක ගන්න දෙයක් නැහැ.  දැන් මගේ අත රිදෙන්නේ නැහැනේ  .. ඕක මාරු කරන්නම ඕනිද?"

ඇය මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නට ඔන්න මෙන්න වැනි හඬකින් පැවසුවාය.



"මේකයි මිසිස්  ඕ කොනර්. ඔයාගේ පොටෑසියම් හොඳටම අඩුයි . 

ඒවා පිටින් නොදුන්නොත්  හර්දය වස්තුවේ ක්‍රියාකාරිත්වයට බල පාන්න පුළුවන් "

"හොඳයි කටුව මාරු නොකලොත් මොකද වෙන්නේ ?  ඔන්න ඔහේ මම මැරිලා ගිය දෙන් "



"එහෙම නෙවෙයි  මිසිස්  ඕ කොනර් .අපි ඇත්තම කතා කරමුකෝ "

මම තමයි අද රාත්‍රියේ ඔයාගේ  රෝගී තත්වයට වග කියන්නේ .

අපි දෙන්නා එකතු වෙලා අද රාත්‍රියේ කිසි ගැටළුවක් ඇති නොවෙන විදිහට වැඩ කරන්න ඕනා .

ඔයා අකැමති නැත් නම් මම මේ කටුව අයින් කරලා වෙන කටුවක් දාන්නම් "



"ඒක නෙවෙයි  ....මිසිස්  ඕ කොනර් කොයි නර්සින් හෝම් එකේද හිටියේ ?  මගේ නෝනත් නර්සින් හෝම් එහෙක නර්ස් කෙනෙක් .

"අය්යෝ මම ඉන්න තැන සැලකිලි නම් ගන්න දෙයක් නැහැ "


"අපේ නෝනා නම් හරි අසාවෙන් රස්සාව කරනවා " එතැන ඉන්න කට්ටිය එයාට හරි කැමතියි. එයත් වැඩට යන්න හරි ආසයි "

"එහෙනම් මට ඔයාගේ නොනගෙන් තමයි උදව් ගන්න වෙන්නේ "



"මට දැන්මම ඔයාට කටුවක් ගහලා බෙහෙත් නොදුන්නොත් අපි දෙන්නට රෑ තිස්සේ දඟලන්න වෙනවා .

මොකද කියන්නේ අපි මේක මාරු කරමුද "



" ඩොක්ටර් මම හරි කැමතියි ඔයාගේ අවංක කමට . ඔයා ඇත්තම තත්ත්වය මට පැහැදිලි කරා .

එහෙනම්  මේ කටුව මාරු කරන්න "

කටු ගැසීම 


දැන් මා ඉදිරියේ ඇති අභියෝග කිහිපයකි.  

මෙම රෝගියා කටු ගැසීමේදී ඇතිවන වේදනාව නිසා  එයට එතරම්ම කැමැත්තක් නැත.  

ඒ නිසා එක වරකින්ම මෙය සිදු කල යුතුය . 

එමෙන්ම අඩුම වේදනාවක් ඇතිවන පරිදි එය සිදු කල යුතුය. අභියෝගය භාර ගන්නට තීරණය කලෙමි .

ශ්‍රී ලංකාවේදී  කැනියුලා දැමීම ප්‍රගුණ කල හැටි මා සිහියට නැගේ. 

මගේ  සිත නිම්මිත් මමත් එකම වාට්ටුවක සේවය කල  කාලය වෙත දිව යයි.

"කොහොමද නිම්මි මිස් ? අද  අම්මලා කියක් ඉන්නවද සින්ටෝ දාන්න ?"

"12 ක් විතර ඉන්නවා ඩොක්ටර් "

"ඔයා මේ හැමෝටම කැනියුලා දාන්න ඕනේ නේද ?"

"ඔවු ඩොක්ටර් ස්ටේජ් රූම් එකේ ඩියුටි කරන හැමදාම එහෙම කරන්න වෙනවා "

"ඒක නෙවෙයි  මේ වෙලාවේ මමත් නිකන් වගේ නේ ඉන්නේ.... අපි දෙන්නා ම එකතු වෙලා  කැනියුලා දාමු.



මම හයක් දාන්නම්  ඔයා ඉතිරි හය දාන්න."


මා එසේ පැවැසුවේ කැනියුලා දැමීමට අත හුරු කර ගැනීම  සඳහාය .

 එමෙන්ම නිම්මිට හැකි අයුරකින් උදව්වක් කරන  ආශාවද මා තුල නොතිබුණා නොවේ. 

අපි දෙදෙනාම එකතු වී  ඉතා කෙටි කලක් තුල සින්ටෝ දමන්නට සිටි සියළුම අම්මලාට  කැනියුලා

දමා ඉවර කළෙමු.

"තැන්ක්යූ ඩොක්ටර්"

"තැන්ක්යූ කියලා විතරක් හරි යන්නේ නෑ"

"එහෙනම් ...  වෙන මොකක්ද කරන්නේ "

"අඩුම ගානේ හවසට තේ  එකක් වත් හදලා දෙන්න වෙනවා "

"හරි හරි හවස තේ බොන වෙලාවට මගේ ගානේ තේ එකක් හදලා දෙන්නම් කෝ "............



"ඩොක්ටර් ... මොකද කල්පනාව ?"

"නෑ මිසිස්  ඕ කොනර් මම මේ  බඩු ටික ලෑස්ති කරන් එන්න හැදුවේ."

"හරි හරි හැබැයි එක පාරයි  . අර නර්ස් ලා නම් හරියට රිදවනවා "

මම ට්‍රොලියත් රැගෙන රෝගියා වෙත පැමිණියෙමි.

ඇගේ අත ඉහලින් තිරිංගයක් දමා පිටි අත්ල පිරී මදින්නට පටන් ගත්තෙමි .

දැන් මගේ අතේ උණුසුමත් තිරිංගයේ  පීඩනයත් හේතුවෙන්   මට අවශ්‍ය ශිරාව ගානට ඉල්පී තිබේ.

මම කැනියුලාව දකුණතට  ගත්තෙමි .

"පොඩි වේදනාවක් .... "

මම කැනියුලාව  තල්ලු කලෙමි.  කිසි අපහසුවකින් තොරව  කටුව ස්ථාන ගත විය. 

"බොහොම ස්තුතියි  මිසිස්  ඕ කොනර්.  

මම සිස්ටර් ලාට කියන්නම් දැන් ඔයාගේ බෙහෙත් එක දෙන්න කියලා "

"පොඩ්ඩක් ඉන්න .. මට කාරණයක් කියන්න තියෙනවා"

"ඇයි මිසිස්  ඕ කොනර් ගොඩක් රිදුනද ? සමාවෙන්න ඕනේ එහෙමනම් "


"මට රිදෙනාවා තියා කටුවක් ගෑවෙනවා වත් දැනුනේ නෑ.. බොහොම ස්තුතියි ඔබට  "

"එහෙනං ?..."

"ඔබට තියෙන්නේ රත්තරන් අත් දෙකක් .. ඒක පරිස්සම් කර ගන්න ".

මේ අතර එමලිද  25 ඒ  ඇඳ වෙත ලඟා වුවාය .

"කොහොමද මිසිස් ඕ කොනර් ඩොක්ටර් හොඳද ? ඔයාට රිදෙව්වේ නෑ නේ මෙයා ?

නියමෙටම තියෙනවා කැනියුලා එක නම්  .

තෑග්ගක් දෙන්න වටිනවා "

"හරිනම්  එමලි තේ එකක්  හදලා දෙන්න ඕනේ අපේ ඩොක්ටර්ට"

"හොඳයි මම එහෙනම් කවිඳුට තේ එකක්  හදලා දෙන්නම්කෝ  ඔයා කියනවනම් "

එමලි  පැවසුවේ  ඕ කොනර් මැතිණිය ගේ අත පිරිමදිමිනි.

Sunday, 24 April 2016

නරක් වෙලා තියෙයි







පසුගිය  කලාප  වලින්  ...

මහා වැස්සක පෙර නිමිති ..


මේ ගුරු පාරේ





එදා ඒ  නා කපන වැස්ස  වැඩි වෙලාවක්  අල්ලා හිටිවී යැයි සිතුවද  විනාඩි කිහිපයකින්ම  එය තුරල් වී ගියේය.

අපි   දෙන්නා  නැවතත්  මල්දෙණිය දෙසට කන්ද නගින්නට පටන් ගත්තෙමු.

 ගමේ නැන්දලා  මාමලා කිහිප දෙනෙක් ම  අප ඉදිරියට හමු වුවද  ඔවුන් ගෙන් අපේ ගමනට  බාධාවක් සිදුවුයේ නැත.



කිරඹ ඔය ඉස්කෝලේ ලඟට එනවිටම  වාගේ   අප ඉදිරියට පැමිණියේ අපේ ලොකු තාත්තා කෙනෙකි.

ඔහු නමින් ජේ .එම්. ධනපාලයි.

නම ධනපාල   වුවද මේ ලොකු තාත්තා ඒ කාලේ  එතරම්  ධනවතෙක් නොවිය.

අපේ තාත්තලා  පමණක් නොව  ගමේ හැමෝම වාගේ ඔහු හැඳින්වුයේ  "පාලේ  අය්යා "  යන නමිනි.

පාලේ ලොකු තාත්තා  මේසන් බාස් කෙනෙක් ලෙස වැඩ කල අතර ඔහුගේ බිරිඳ හින්නි ලොකු අම්මා තේ වත්තේ දළු කඩන්නියක් ලෙස සේවය කළාය.

තාත්තලා පවුලේ සාමාජිකයින් අතරින් වත්තේ දළු කඩන්නට ගිය ලොකු අම්මලා දෙදෙනෙකි .

එක්කෙනෙක් හින්නි ලොකු අම්මාය.

අනිත් එක්කෙනා  විමලේ ලොකු තාත්තාගේ බිරිඳ ජයවතී ලොකු අම්මාය.

අපේ සමන්ත විභාගේ පාස්වූනොත් අල්ලේ කොන්ඩේ බඳිනවා යැයි  කිව්වේ මේ  ලොකු තාත්තා ය.


විමලේ ලොකු තාත්තා මෙන් කට සැර කෙනෙක් නොවූ පාලේ ලොකු තාත්තා අපේ තාත්තලා පවුලේ සිටි අහිංසකම  සාමාජිකයා විය.

අනුන්ගේ දේවල් කිසිවක්  ( තම නෑදෑයින්ගේ වුවද)  ප්‍රශ්න කිරීම ඔහුගේ සිරිත නොවේ.

තමා ඉදිරියට එන තම පොඩි මල්ලිගේ පොඩි පුතා සහ තවත් ගැහැණු ළමයෙක් දෙස අහිංසක සිනාවකින් සංග්‍රහ කර ඔහු තමාගේ ගමන යන්නේ එබැවිනි.

ලොකු තාත්තා අප පසු කර ටික දුරක් ගිය තැන හමු වන්නේ තුන්මං හංදියකි. එයින් වමට හැරෙන පාර  අපේ ගෙවල් පැත්තට යන පාරයි.

ජයා නංගි කෙලින් පාරේ මීටර් සීයක්  හමාරක් ගිය පසු දකුණු පසට හමුවන කඩුල්ලෙන්  ඇතුල් වන්නේ ඔවුන්ගේ  නිවසටයි.

තුන්මං හංදියට පැමිණි අප එකෙනෙකා ගෙන් සමුගන්නට  සැරසෙන මොහොතයි .

" මේ ඔයාගේ ඉතිරි සල්ලි "

ඇය රුපියල් පහේ ඉතිරිය මට දෙන්නට සැරසෙයි .

"මට එපා පිස්සුද.. ඔන්න ඕක තියා ගන්නවා පණ්ඩිතයා නොවී "

"නෑ.. නෑ.. ගන්න ගන්න "

ඇය නැවතත්  මා වෙත මුදල් සහිත දෑත දිගු කරයි

"එපා එපා.. ඔයා ඕක තියා ගන්න "

අප දෙදෙනාගේ ඉතිරි සල්ලි හබය ලෙහෙසියෙන් ඉවර වන පාටක් නැත.

හදිසියේම මගේ ළඟටම පැමිණි  ඈ  තම අතේ ගුලිකර ගත් යමක් මගේ දකුණු කලිසම් සාක්කුවට ඔබන්නට විය.

"ඒයි .. ඒයි මොකද කරන්නේ ?  තමුසෙට පිස්සුද ? "

මෙවර ප්‍රශ්නය නැගුනේ  ඇයගෙන් නොව මගෙන්ය.

"ගමේ ඈයෝ දැක්කොත් ඉඳලා හමාරයි"

එසේ කියමින් මම මුළු වැර යොදා ඇයගේ අත මගේ කලිසම් සාක්කුවෙන් ඉවතට අදින්නට දැඟලුවෙමි.

ගම මැදම වූ තුන්මං හංදියේ  අපේ කලබලය දෙස විමසිල්ලෙන් බලමින් කන්ද නගිනා බවලතෙකි.

ඒ අපේ විමලේ ලොකු තාත්තා ගේ බිරිඳ  ජයවතී ලොකු අම්මාය.

ජයංගනී වහ වහා තම නිවස දෙසට පිය මැන්නාය.  මමද  සාක්කුවට වැටුණු  ඉතිරි සල්ලිත්  රැගෙන ගෙදර ගියෙමි.

ලොකු අම්මා  ඒ වෙලාවේ අපට කිසිවක් කිවේ නැත.

එහෙත් දින කිහිපයකට පසු

"ජයන්ගනිට නරක් වෙලා තියෙයි  දොස්තර කෙනෙක් අල්ලාගෙන "

කියා ගමේ අනික් ගැහැණුන් සමග පැවසූ බව අපට ආරංචි විය.

ඒ වන විට මා උසස් පෙළ සමත්ව සිටියේ නැත.

එහෙත් ලොකු අම්මා මම දොස්තර කෙනෙකු වනු ඇතැයි අනුමාන කරන්නට ඇත්තේ ඒ වන විටත් සමන්ත වෙද විදුහලට ගොස් සිටි නිසා වන්නට ඇත.







Thursday, 21 April 2016

ඤන් ඤඋන් ආතා සහ ඇයගේ දියණියන් දෙදෙනා



මට  1983-1984  කාලයේදී සිදු වූ සිදුවීම් මාලාවක් මතක් වුනා  . එවකට මම  අරලගංවිල මහා විද්‍යාලයේ අට -නවය වසර වල ශිෂ්‍යයෙක්.

ඒ කතාව මතක් වීමට මූලික හේතුව අපේ තාත්තා  මෑතකදී මට එවන ලද චායාරූප කිහිපයක් .



ඒවායින් පෙන්නුම් කරන්නේ මන්ද මානසික අක්ක නගෝ දෙදෙනෙක් අබලන් වූ නිවසක් ඉදිරිපස සිටිනා දර්ශනයක්



මේ චායාරුප වල ඉන්නේ අපේ අම්මාගේ ගම වූ කිරඹ ඔය  ප්‍රදේශයේ  දැනට වාසය කරන වැඩිහිටි කාන්තාවක්  දෙදෙනේක් .

ඔවුන්ගේ  අම්මා , තාත්තා සහ  අය්යා  යන තිදෙනාම දැන් ජිවතුන් අතර නැහැ.

එම නිසා අවිවාහක කාන්තාවන් වූ මේ දෙන්නා දැන් මේ ගෙදර ජිවත් වන්නේ තනියමයි.



මේ දෙදෙනාගේ  මව අප කුඩා කල හැඳින් වුයේ "ඤන්   ඤඋන්"  ආතා  යන නමින්.

ඤන්   ඤඋන්   හඬින්  ( නහයෙන් කතා කරමින්) මිනිසුන් අමතන නිසා කිරඹ ඔයේ අය ඇයට මේ නම පටබැඳ තිබුණා.

එතරම් උස නැති  එමෙන්ම කෙට්ටු ශරීරයකට හිමිකම් කී ඇය  අපේ ගෙවල් වල එන්නේ  කුඩා පන් මල්ලක්

කිහිල්ලේ රුවාගෙනයි.

චිත්තයද  තරමක් කොටට හැඳ සිටින ඤන්   ඤඋන්   ආතා වැනි චරිත බොහෝ ටෙලිනාට්‍ය වල දකින්නට ලැබෙනවා.

ඔවුන් ගේ  පියා "හුලං " මුත්තා . එයා  කෙට්ටුම කෙට්ටු මනුස්සයෙක්.

හුලඟකට වුනත් ගහගෙන යන්න තරම්  සැහැල්ලු මිනිහෙක් නිසා එයාට ගම්මු හුලං  කියලා කිව්වා.

හුලං මුත්තා මිය ඇදිලා ගොඩක් කල්. හැබැයි ඤන්   ඤඋන් නැතිවුනේ මේ ළඟදී කියලයි ආරංචි.

එයාගේ තුන්මාසේ දානේ දෙන්න යද්දී වැස්ස එනකොට වහලෙට උඩින් ඉටිරෙදි දාලා තමයි දානේ දීලා තියෙන්නේ.

"බිඩි විමලේ" නමින් හැඳින් වුන විමලරත්න මාමා තමයි ඔවුන්ගේ අය්යා.

ඔහු බිඩි  බිම නිසා ඇතිවූ හදවත් රෝගයට  බියවී සියදිවි නසාගත්තා.

චමින්දලා අප්පච්චිගේ  කඩේ  ලෑලි බන්කුවට වී   ගංගා බිඩි කිහිපයක් සාක්කුවේ රුවාගෙන  බිඩි බොන විමලේ මාමා එකල  සුලභ දර්ශනයක්.



කිරඹඔය ගමේ බොහෝ දෙනෙක් ගේ වගේම  මේ දෙදෙනගේද නම් අවසන් වන්නේ "රාජපක්ෂ" යන පෙළපත් නාමයෙන් .

අපේ අම්මා මෙන්ම   කුඩා කල සිට මේ දක්වාම  පැවතෙන කල්‍යාණ මිත්‍ර සම්පත්තියකට  උරුම කම් කියන
චමින්ද   ගේත් නම් අවසන් කෙරෙන්නේ  "රාජපක්ෂ" කෑල්ලකින්.

පසුගිය දිනක අපේ ප්‍රජා සත්කාර වැඩ ගැන කතා කල චමින්ද   ඤන්   ඤඋන්  ආතා ගේ  දියණියන් දෙදෙනා ජිවත් වන  මේ නිවසේ වහලය අබලන් වී ඇති බවත් ඒ නිසා  ඒ වෙනුවෙන් අප දෙදෙනා මැදිහත් විය යුතු බවත් සඳහන් කළා.

"ඒක නෙවෙයි මචං... අපේ අර ගෙවල් දෙකේ කපරාරු වට යි  ජනෙල් වලටයි කියලා ඩොලර් 1100 ක්  දුන්නා අපේ ඉස්කෝලේ යාළුවෙක්"

"මිනිහා මෙහෙ ඉන්න  GP කෙනෙක් "

මම චමින්ද එක්ක කිව්වේ අපේ  අපේ ප්‍රජා සත්කාර වැඩ වලට මෑතකදී  ලැබුණු ලොකු ආධාරයක් ගැනයි.

"මචං කිටී.. ඕකෙන් ටිකක් දාපන්කෝ බං අර  විමලේ මාමලා ගෙදර වහලේ හරි ගස්සලා දෙන්න.."

"එහෙම බැහැනේ බං, .......  කාලිංගයා යි  සෙව්වන්දියි  මේ සල්ලි දුන්නේ අර ගෙවල් දෙකට  ..අපි  මේකට වෙනම සල්ලි හොයමු "

"උඹලා අක්කටත් කියපන් ගානක් දෙන්න කියලා "

මම නැවතත්  වහලේ ගණුදෙනුව චමින්දගේ ඇඟේ ගසමින් පැවසුවෙමි.

"උඹලා චාමර මල්ලිගේ  අකවුන්ට් එකට සල්ලි දාමු . අපි ඉස්සෙල්ලාම  අර කලුලා ගෙදර වැඩේ පටන් ගත්තෙත් එහෙමම මනේ "

"මම අපේ තාත්තා සෙට් කරලා දෙන්නම්  මල්දෙණිය පැත්තෙන් වැඩේට බහින්න . කිරඹ ඔයෙන් උඹලා මල්ලියි  හෙළ ගෙදර අමරේ මාමයි ගමු."

මම වැඩේ කෙරෙනා හැටි  චමින්දට පැහැදිලි කළෙමි.

සාකච්චාව අවසන් කල මා අප සිටිනා රටේම පදිංචි චමින්දගේ අක්කා  නිම්නා අක්කාට  දුරකථන ඇමතුමක් ගත්තෙමි.

"හරි මල්ලී මම ඩොලර් 150 ක්  දාන්නම්" .

 පළමු ලන්සුව නිම්නා අක්කාගෙනි.

අනතුරුව  ගමේ පන්සලේ හාමුදුරුවෝ රුපියල් 2000ක් සහ  චමින්ද ගේ සහභාගිත්වයත් ඇතුව  අර මුදල  දැන් රුපියල් 27000ක්  වී තිබේ.

තාත්තා සහ අමරේ මාමා එකතුවී   වහළයට සෙවිලි ගැනීමට සහ අනෙකුත් දේවල් වලට යන වියදම් සලකා බලා ඇස්තමේන්තුවක්  සකස් කර ඇත.

ඒ අනුව මේ සඳහා වැය වන්නේ  රුපියල් 80000- 90000 ක් අතර ප්‍රමාණයකි.


ලැබෙන ආධාර රැස් කෙරෙන්නේ චාමර මල්ලිගේ  BOC අකවුන්ට් එකේය.

චාමර මල්ලිගේ ගිණුමේ විස්තර පහළින් :

ගිණුමේ නම :   

ගිණුම් අංකය:  

බැංකුව සහ ශාඛාව:  ලංකා බැංකුව  , බණ්ඩාරවෙල 


කරුණා කර ඔබට දිය හැකි ආධාරයක් මේ ගිණුමට යොමු කරන්න. ඒ  අතර ඒ බව මට මුහුණු පොතෙන් හෝ මෙම බ්ලොගය තුලින් දැනුම් දෙන්න.

කිරඹ ඔය- මල්දෙණිය දෙගම් වාසින් ශ්‍රමධානයක් මගින් මේ වැඩේ කරන්නට සුදානම් . අපි හැකි ඉකමනින් මුදල් එකතු කර දෙමු.

ඤන්   ඤඋන්  ආතා අපේ කුඩා කාලයට සම්බන්ධ වූ හැටි ඊළඟ පොස්ට් එකෙන්..


ඔබ සැමට  ජය!!!

මේ  ගෙදර  කල මුල්ම ශ්‍රමදානය ගැන ලිව්වා.. මෙන්න මේක කියවන්න

23/07/2016

මේ ගෙදර වහලයෙන් පස්සේ බිත්ති  සුදු කීරීමට සහ  වයරින් එක අලුත් වැඩියා කිරීමට උවමනා බව තාත්තා කිව්වා..
එයාලා කපරාරුව දැන් කරගෙන යනවා . බාසුන්නැහෙලා  හොයාගන්න බැරිව ටිකක් ප්‍රමාද වුණා.



Sunday, 17 April 2016

මහා වැස්සක පෙර නිමිති



පසුගිය කොටසෙන් .......

මේ ගුරු පාරේ


කඩේ ලොකු අය්යා අපට වාහනය නැවැත්වීමෙන් පසු නැවතත් ගමන් ඇරඹු අප දැන් ඩන් ලොප් වත්ත පසුකරමින් සිටින්නෙමු.

මේ තේ  වත්තේ  පිහිටීම විස්තර කළහොත්  අම්බලම ළඟ කන්ද පසු කිරීමෙන් එන තැනිතලාවේ මැද හරියේදී  "බෝටි " මහත්තයට අයත් මේ වත්ත හමුවෙයි.

වත්ත මැදින් යන ගුරු පාර දිවෙන්නේ ජයන්ගනිත් මමත් දෙදනාම ජිවත් වූ මල් දෙණිය ගමටයි.

පාර දෙපස කොළ පාටින් පිරිණු තේ ගස් හැරෙන්නට ඇත්තේ වත්තේ මැදට වන්නට වූ මාර ගස් දෙක තුනක් පමණි.

ජයංගනී පොත් මිටියත් ළයට තුරුළු කරගෙන ගමනේ යෙදෙයි . ඇතින් පෙනෙන කඳු මුදුන දෙස බැලුවිට දිස්වන්නේ අපේ නිවස පිහිටි ප්‍රදේශයයි.

ඩන් ලොප් වත්තට කෙලින්ම අපේ ගෙදර නොපෙනුනත් ඊට ගෙවල් දෙකකට පහළින් ඇති සැම්සන් අය්යලා ගෙදර එක එල්ලේම දිස්වේ.

අපේ අම්මා සැම්සන් අක්කා සමග කදයක් දාගන්න ඇවිත් සිටියහොත් කළු සුදු කුඩා තිත් දෙකක් මෙන් අප දෙදෙනා දිස්වනු ඇත.

මේ නිවසේ දසුනට වඩා ඒ කන්ද දෙස බලන මා හට එදා දිස්වූයේ වෙනත් දසුනකි.  ඒ  කළු කළුම වලා කුළු  පොදී පිටින් ඒ පැත්තට එකතු වන දසුනයි.

"ඒයි  අන්න  අර පැත්තෙන් කළු කරගෙන එනවා  .. මහා වැස්සක් එන්න වගේ ලෑස්තිය"

"ඔයා ගාව කුඩයක් තියෙනවද ? මා ගාව නම් මොකවත් නෑ.."

මම හොරැහින් ජයන්ගනිගේ  පොත් මිටිය දෙස බැලුවෙමි.

"තියෙනවා .. ඇයි මොකෝ...? එකේ  දෙන්නෙකුට ඉඩ නෑ .."

සාමාන්‍යයෙන් ජයංගනී පංති ගොස් එනවිට අව්වට කුඩයක් ඔසවා ගනී.

එහෙත්  හිසට ආවරණයක් නැති මාත් සමග යනවිට ඇය කොතරම් අව්ව තිබුනත් ඒ කුඩය ඔසවන්නේ නැත.

ඒ මම වේලි වේලි යද්දී ඇය කුඩේ යටින් යන එක හරි නැති නිසා යැයි මට සිතේ.

මහා වැස්සක් කඩා හැලෙයි


ඩන් ලොප් වත්තේ මැද හරියට එද්දී  ගුරුපාර  පල්ලමකට  ගමන් කරයි  .

වත්ත අවසානයේ හමුවන්නේ චමින්දලා කුඹුරපිහිටි  බැවුමත්, මල්දෙණියේ නාන පීල්ලත් ඇති ප්‍රදේශයයි.

අපි ඒ දෙසට ඇති බෑවුම බහින්න පටන් ගැනීමත් සමගම ...

  අපේ ගෙවල් පැත්තෙන් "ස්රාස් .."  ගාමින් මහා හඬක් සහිතව පැමිණි වැස්ස ජයන්ගනිත් මමත් තෙත බරිත කරන්නට පටන් ගත්තේය.

මෙතෙක් තම ළය තුරුලේ තිබු නිල් පාට මල් මල් කුඩය එළියට ගත් ජයා නංගි එය දිග හැරියාය.

මම තවමත් තෙමෙමින් ඉදිරියට ඇදුනෙමි. මගේ ඉත්තෑ කූරු වැනි කොන්ඩේ තෙමි මුහුණට වතුර බේරේ....

"මේ  සෙල්ලම් නැතුව එනවා මේ කුඩේ යටට " ජයංගනී මට පැවසුවේ ඔලොක්කුවට මෙනි.

ඉබ්බා දියට දාන්න හදද්දී  ඇන්නෑවයි බොලේ  කීවේලු....

මම හෙමින්ම ඇගේ කුඩේ යටට ඇදුනෙමි .



නාකපන වැස්ස  මගේ ශරීරයේ පහළ භාගය සම්පුර්නයෙන්ම තෙමා හමාරය.

අහල පහළ මිනිස් පුළුටක් දක්නට නැත..

මෙතෙක්  සබකෝලයෙන් පසුවූ මගේ සිත දැන් වෙනත් හැඟීම් වලින් පිරීයයි.  මේ අපි ඉන්නේ අපේ  ගමට යන ප්‍රධාන පාරේ බවද මට අමතක වූ සෙයකි.

වමතේ ඇති පොත එසේ තිබෙද්දී මගේ දකුණත ජයන්ගනිගේ  කරවට වැටෙන්නට වැඩි වෙලාවක් ගත වුයේ නැත.

" මේ තමුසෙට පිස්සුද?  කවුරු හරි දැක්කොත් එහෙම විසුමක් වෙන්න නෑ.. "

ඇය වහාම මගේ අත ගසා දැම්මාය.






Friday, 15 April 2016

මේ ගුරු පාරේ














(ටික කලක් ලියන්න අතපසු වුණු කතාවක්)

එදා සුදර්ශියේ  විද්‍යා පංති ගිහින් එන ජයංගනී සහ ඇය කැඳවා ගෙන ගම දෙසට එන මම එක බස් එකේ ආ තවත් දවසක්.

ෆැක්ටරිය ළගින් බස් එකෙන් බැස්ස අපි මල්දෙණිය දෙසට එන ගුරු පාරේ ගමන් ගන්න පටන් ගත්තා විතරයි.

"ඒයි කවුද අද ටොෆි ගන්නේ ? " මම ජයංගනී ගෙන් ඇසුවේ අපි දෙන්නාගේ ඒ කාලේ සිරිතක් ගැනයි.

ඒ අප යන ගුරු පාර ආරම්භ  වෙන තැනම ඇති චමින්දලා කඩෙන්  (මැදපුරණේ කඩෙන් ) යමක් රැගෙන බෙදා හදා ගෙන කෑම අපේ පුරුද්දක්ව තිබුණ නිසයි.

"මගේ ළඟ නම් සල්ලි නෑ.. "

අදත් "ඩොට් ටොෆිද"  ගන්නේ ? ඔයා ඉතින් ආසම ඩොට් වලටනේ?"

ජයංගනී මට පැවසුවාය.

ඇය තම අතේ ඇති පොත් මිටිය ලයට තුරුළු කරගෙන රෝස පාට ලේන්සුවක් අනෙක් අතින් කරකවමින් සිටියි.

ඇය හැඳ සිටි ලා කහපාට  ගවුමේ පොත් මිටියට හිරවෙන හරියේ ලියා ඇති "ROCK"  නම් අකුරු ටික පොත් මිටිය අතරින් මා දෙනෙතට හසුවේ.

"මෙන්න මගේ ගානේ රුපියල් පහක් ... පියදාස මාම නේද කඩේ ඉන්නේ . ඕකෙන් ඩොට් දහයක්  අරන් එනවා කෝලම් නොකර"

මම රුපියල් පහේ කොලයක් ජයංගනී අත තැබුවෙමි.



ඒ කාලේ ඩොට් එකක් ශත විසිපහක් පමණි.  ටොෆි රැගෙන මා වෙත එකතු වූ ජයංගනී මට ටොෆි කිහිපයක් දුන්නාය .

මම එකක් කටේ දමාගෙන ඉතිරිය සාක්කුවේ දමා ගත්තෙමි.

"ඉතිරි සල්ලි..?

" ඔයා ඕක තියා ගන්න ළමයෝ ඊළඟ දවසකට මොනා හරි ගන්න "

මා අතට ඉතිරි සල්ලි දෙන්න  පොරකන ජයන්ගනිට කීවෙමි.

නැවතත් ගමන ඇරඹු අප දැන් ඉන්ජින් ඩ්‍රයිවර් ගේ  කඩේ පසු කරමින් සිටින්නෙමු.

අම්බලම දෙසට කන්ද  නගිමින් යන ජයංගනී මා හා බට්ටිච්චියක් මෙන් වල් පල් දොඩවමින් ගමන් කරයි.

" බ්‍රාස්..."

අප පසු කර මද දුරක් ගොස් නතර වුයේ නිල් පාට ඩෙලිකා එකකි.

ජයංගනී භය බිරාන්තවී මා දෙස බලනු පෙනේ.

රියදුරු අසුනට විරුද්ධ පැත්තේ ඇති අදින දොර විවුර්ත විය .

රියදුරු අසුනෙන් අපේ තාත්තාගේ  ගොරහැඩි , සැරපරුෂ හඬ දැන් දැන් ඇසෙනු ඇතැයි......

 ඈ සිතනා බව ජයන්ගනිගේ මුවත්තියක් වැනි  අහිංසක බැල්ම මට කියයි.

"මල්ලී නගින්න .. නගින්න .. දෙන්නම එන්න මම ගිහින් බස්සවන්නම් "

ඇසුණේ ළාමක තරුණ කටහඬකි.

ඒ පුංචිරාළ මාමගේ ලොකු පුතා කේෂන් කඩේ ලොකු අය්යාය.

"අය්යලා යන්න අපි හෙමිහිට එන්නම්"  මම ඩෙලිකා එක පිටත් කර හැරියෙමි.

"හම්මෝ මම බයවෙච්ච  තරමක්  .. දැනුයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ "  ජයංගනී සැනසුම් සුසුමක් හෙළුවාය.

"බය වුනා නේද .. හොඳ වැඩේ "  මම බඩ අල්ලා ගෙන සිනා සෙමින් පැවසුවෙමි.

ඒ වනවිට අපේ තාත්තගේ ගුරු හරුකම් ලබා ගත් කඩේ ලොකු අය්යත් , චුටි අය්යත් දෙදෙනාම රියදුරන් වී සිටියහ.

ඒ සෙනසුරාදා තාත්තා ඇතිමලේ බාප්පාගේ දානෙට ගොස් සිටි බව මා දැන සිටියද ජයංගනී ඒ බව දන්නේ නැත.

ජයංගනී නැවතත්  ඩොට් එකක් හපමින් කතාව පටන් ගත්තාය.




ඊළඟ කොටස මෙතනින් කියවන්න 

Tuesday, 12 April 2016

බක්මහ උළෙල සහ චමින්දගේ බීම කඩේ



කොහෝ කොහෝ  කොහේ ඉඳන්  කොහෝ කියනවදෝ  .......

අවුරුද්දට අපේ දිහා නෑ ගම්  එනවදෝ   .....

රේඩියෝවෙන්   ඇසෙන්නේ  සනත් නන්දසිරි ඇතුළු පිරිස ගයන මේ  ගීතයයි.




කොළතැන්නේ  ලැයිමේ  ගෙදර පැත්තෙන් ......


"උඩින් උඩින් වර  පෙත්තප්පු- බිමින් බිමින් වර පෙත්තපු

උඩින් උඩින් වර බිමින් බිමින් වර - කැවුම් කන්න වර  පෙත්තපු "



යන හඬින්  රබන් වාදනයක්  ගම පුරා පැතිර යයි.

අක්කත් මමත්  කුඩු දවුල කොළ,  සමර  බෑග්  , හුණු  බෑග්  සහ ඩිස්ටැම්පර්  ටින් එහෙම අරගෙන   අපේ  ගේ කල එලි කරන්නට  ලක ලැහැස්ති වන්නෙමු.

අම්මා  පල්ලැහැ ගෙදර ජේන් අක්කා ඇතුළු පිරිස සමුපකාරයට  යන්නේ  මල් මල් චීත්ත රෙදි සහ  ඉරි ඉරි පිජාමා සරම් රෙදි රැගෙන එන්නටය. මේවායින් සමහරක තිබුණ නැවුම් සුවඳ  "ලාම්පුතෙල් "  සුවඳක්  මෙන් දැනුණා මතකය.

ජේන් අක්කා ගේ  අක්කා වූ කුමා අක්කාට  මේ  කාලේ  මාර  ඉල්ලුමක් තිබේ.. ඇය කුඩු දවුල කොළ  වල  නානු දමමින්  "ආස්මි " හදන්න හැකි ගම්  ගොඩේ සිටි එකම කාන්තාව වීම  මේ  ඉල්ලුමට හේතුවයි.

මේ අතර පල්ලැහැ කුමාර අය්යලා  ,සිරිල් අය්යලා ඇතුළු "ශ්‍රී සිද්දාර්ථ  එකමුතු යව්වන සමාජය "  ගමපුරා ඇවිදිමින් ආධාර  පත්‍රයකට  මුදල්  එකතු කරති.

අපේ ගමට   සිංහල  හා හින්දු අළුත් අවුරුද්ද එළැඹෙන්නේ  මේ ආකාරයටයි.



අපේ සමන්ත එකමුතු යව්වන  සමාජයේ   යාව ජීව  සාමාජිකයෙකු වුවද  මම  එහි රැස්වීමකට  ගියේ  එක වරක්  පමණි .

ඒ  පල්ලැහැ  කුමාර අය්යා සහ කොළතැන්නේ  චුට්ටි අය්යා ගේ  පෙරැත්ත වල්ටට්යි. එහෙත් ඔවුන් කල ශ්‍රමධාන  , අවුරුදු උත්සව, නාට්‍ය , සංගීත  සංදර්ශන හැම එකකටම  මමද සහභාගි  වුනෙමි.

මහා බක් මහා උළෙල 


ඒ  1989  බක්  හෙවත් අප්‍රේල්  මාසයයි.

මේ වනවිට   චමින්ද  , සුරාජ්  සහ  මා එකම කල්ලියක් ලෙස උසස් පෙළ විද්‍යා  විෂයන්ට  පාඩම්  කරමින් සිටියෙමු.

ජයංගනී නංගි , සීනි බනිස් , පුස් බනිස් ඇතුළු  තිදෙනෙක්ද  අපේ  කතාවල  චරිත වී  සිටියේ  මේ  කාල වකවානුවේමය.

දිනක්  සමන් අය්යාගේ  පංති ඇරී එන ගමන් චමින්දයා  අපේ  අවුරුදු උත්සව සැලසුම සාකච්චා කලේ මෙසේය.

"මචං  කවිඳු ... මේ පාර අවුරුදු උත්සවේට දාමුකෝ බං  කඩයක් "

"මම  අප්පච්චිගේ  කඩෙන් බඩු ටිකකුයි  මගේ ගානේ තව බඩු ටික කුයි අරන් දෙන්නම්"

" මචං එහෙම වුනාම අපි කඩේට හිරවෙනවනේ ?"

"ජයන්ගනිලා  ගල් බනිස්ලා  එහෙම ආවත් බලන්න වත් වෙන්නේ නැහැනේ "  මමත් සුරාජයත් මැසිවිලි නැගුවෙමු.

"ඉතින් මචං  අපි තුන්දෙනෙක් ඉන්නවනේ  මාරුවෙන් මාරුවට කඩේ ඉමු "

" මම කුමාර අය්යා ගෙන්  අහන්නම් කෝ  කඩේයක්  දාන්න අවසර දෙනවද කියලා "

චමින්දයා ඒ කාලෙත් හොඳ සටකපට බිස්නස් කාරයෙකි.

මගෙත් සුරාජ්ගේත් වැඩි කැමැත්තක් නොතිබුණද   මල්දෙණිය - කිරඹ ඔය  බක්මහ  උළෙලේ  වෙළදාමක් කිරීමේ අදහස ඔහු ස්ථිර කර ගත්තේ එලෙසිනි.

"උඹ ඉතින් ඔය ඉස්කෝලේ බිස්නස් කරලා තියෙනවනේ ?"

චමින්දයා මට මතක් කර දුන්නේ මම හතේ  පන්තියේ ඉන්දැද්දී "සැඟවුණු දයිවය "  නාට්‍ය දවසේ කල    ටොෆි සිගරට් බිස්නස් එක  ගැනයි.

ඒ වන විට  මම එළවළු වගා කප්පිත්තෙක් වුවද  ඊට  චමින්දයා එළවලු වැවීමට අමතරව උගේ අප්පච්චිගේ කඩේ ඇතුලේ බැටරි චාජරයක් හෙම තාබාගෙන  සියිඩ් බිස්නස් එකක්ද කළේය.

මම  හතේ- අටේ පංති  වලදී  සාර්ථක බිස්නස් කරුවෙක් වුවද මේ  කාලයේ මම සිදුකලේ එළවලු වගාවත්  ජයංගනී ලා ඇතුළු ළමයින් රැලකට  ටියුෂන් පංති කිරීමත් පමණි.

අපේ ගමේ බක් මහා උළෙලේ ප්‍රධානම අංගයක් වුයේ  "ගම හරහා දිවීමේ" තරඟ යයි. ඊට අමතරව අසු ගණන්වල  අග භාගයේ ප්‍රසිද්ධ වෙමින් ගිය අනිත් අංගය  "මහා වොලිබෝල්" තරඟාවලියයි.

සිධාර්ථ එකමුතු කණ්ඩායම, අමුණුදෝව ශ්‍රී විජය කණ්ඩායම සහ  කේෂන් වත්තේ  දෙමළ ක්‍රීඩකයින් සහ දම්බගොල්ලේ සිංහල ක්‍රීඩකයින් ගෙන් සැදුම් ලත් කණ්ඩායම් තුන මෙයට සහභාගී වූ ප්‍රබලම කණ්ඩායම් විය.

විශ්ව විද්‍යාලයට යන්නට පෙර මේ තරඟ සියල්ලේ නිවේදන කටයුතු කලේ එකල පළාතේ ප්‍රසිද්ධ නිවේදකයෙකයකු වූ අපේ අය්යා සමන්ත   විසිනි.

එහෙත්  මේ වනවිට සමන්ත ගමේ නොසිටි නිසා  අවස්ථාවක්  ලැබුනොත් ඔහුගේ  තැන ගැනීමට සුදානමක් සහිතව සිටියෙමි.

පළාතේ ප්‍රසිද්ධ    දේශපාලන කථිකයෙකු වූ  "නාමරත්න මහත්තයාගේ " පොඩි පුතා ලෙස මටද  යමක් කල හැකි වේයැයි තද බල විශ්වාශයක් මා තුල තිබුණි.


මට මතක හැටියට කුමාර අය්යාද  මේ ගැන මා සමග කතා කර තිබුණේය .

"චුටි මල්ලී ... සමන්ත ගමේ නැති නිසා ඔයාට පුළුවන් නේද  අපේ අනවුන්සින් කරන්න"

"බලන්ඩ කෝ  කුමාර අය්යා මේ චමින්දයා කඩයක්  දාන්න හදනවනේ  මගෙනුත් සපෝර්ට් එකක් ඉල්ලුවා "

"මටත් ටික වෙලාවක්  කඩේ ඉන්න වෙනවා  ....එහෙම වුනොත් වොලිබෝල් මැච් එක විතරක් වත් කරලා දෙන්නම් "

චමින්දයා කඩ කෙරුවාව පටන් ගන්නට පෙර නම් මම සිතා සිටියේ ජයන්ගනිලා ඇතුළු ගමටම පෙනෙන්නට  නිවේදකයෙක් ලෙස කල එලි බසින්නටයි.

එහෙත් දැන් සිදුවන්නේ  කඩේ බිස්නස් කරන අතර අවස්ථාවක් ලදහොත් වොලිබෝල් මැච් එක ආවරණය කරන්නටයි.


බිම කඩේ සහ වොලිබෝල් මැච් එක



අවුරුදු උත්සවය පැවැත්වෙන දවස උදාවිය.  

"ප්‍රදේශවාසී මව් වරුනි , පියවරුනි , සහෝදර සහෝදරයනි ... මේ ඔබ අමතන්නේ  කිරඹ ඔය- මල්දෙණිය ශ්‍රී සිදුහත් එකමුතු යව්වන සමිතියයි "

යන හඬත් සමග උළෙලේ මුල්ම අංගය "ගම හරහා දිවීමේ තරගය " ආරම්භයට  සුදානම් වන බව සඳහන් කල හඬ  පල්ලැහැ සිරිල් අය්යගේය .

අපේ සමන්තගේ මෙන්  තීව්‍ර නොවුනත් වෙලාවේ හැටියට නරකම නැති හඬක් සිරිල්ට තිබිණි.  

මම තරඟ අරඹන තැනට (ඉස්කෝලේ ගේට්ටුව ලඟට )  යන්නට  නොනිත් අසාවෙන් සිටියෙමි.

එහෙත්  ඉස්කෝලේ වත්තේ තිබු  ලොකට්  ගස යට  ( හෝඩියේ පංතිය  පැත්තට වන්නට )  චමින්දයා  අටවා තිබු ටකරන් මඩුවේ  බිම බෝතල් ආදිය  අස්පස් කරමින් සිටි මට ඒ සඳහා  ඉඩක් ලැබුනේ නැත. 


චමින්ද සුරාජ්  සහ මම ඇතුළු තුන් කට්ටුව මේ වන විට කඩියන් මෙන්  අපේ අවුරුදු වෙළඳ සැල පිළිවෙලක් කරමින් සිටියෙමු. 


කයිවාරු  මාමලා ශාන්ත , එහගෙදර පොඩි රාජා  සහ  කන්දෙගෙදර  පොඩි ඇතුළු මැරතන් සුරයන්  එක පෙළකට සිටිනු කඩේ අස් පස් කරන මට පෙනේ.

තවමත් උදේ හත පසුවුණා පමණි . එහෙත් සිරිල් අය්යා ඉල්ලා සිටි පරිදිම දැන් එකා දෙන්නා  කිරඹ  ඔය පාසැල් ක්‍රීඩාංගනය වෙත ඇදී එමින් පවතී.

ඒ අතර සිටි මට වඩා අවුරුදු හතක් අටක් බාල කොලු ගැටයෙකි. ඒ ජයන්ගනිගේ මල්ලී ( මගේ පාසැල් ගමන් සගයා ) ජානක මල්ලියාය.

ඔහු චමින්දලගේ බලවත් හිතවතෙක් නොවුනද මගේ හිතවත් කම නිසාම කඩේ වැඩ වලට උදව් වෙන්නට ආවේය.

උදේ අට නමය වන විට  කොට්ට පොර ගැසීම, කනා මුට්ටිය බිඳීම , රබන් ගැසීම  වැනි තරඟද ආරම්භ විය.



අපේ කඩේ අලියා බිම, වෙෆස්  , smak ආදී වෙළඳ භාණ්ඩද සීග්‍රයෙන් අලෙවී වෙමින් පවතී.

මේ අතර චමින්දයත් සුරාජයත් වරින් වර ජානක මල්ලී සහ  මා පමණක්  බීම කඩේට හිරකර තබා  බනිස්ලා  හෝ  ගල් බනිස්ලා  ඇවිත් ඇද්දැයි බලන්නට යති. ඒ අතරම  අවුරුදු උත්සවයේ විවිධ අංග නරඹති.

තවමත්  අවුරුදු උත්සවයේ  ජනප්‍රියම අංගය  "මහා වොලිබෝල් තරඟා වලිය " ආරම්භ වී නැත. 

එහෙත්   ප්‍රසිද්ධ වොලිබෝල් ක්‍රීඩකයින් වූ කේෂන් වත්තේ  "එගම්බරම්"  කේෂන් කඩේ පුන්චිරාල  මාමලා උපාලි ආදීන්අපේ කඩේට ඇවිත්  නෙක්ටෝ  එහෙම   රැගෙන යමින් සිටියහ.

වෙලාව දවල් දෙක පමණ වන්නට ඇත.  විද්‍යාල ක්‍රීඩා පිටිය එකම හිස් ගොඩකි . ජයංගනී අපේ නිම්මි නංගි ඇතුළු කෙල්ලෝ කට්ටියද එහෙ මෙහෙ යනු පෙනේ.

සුරාජ් හෝ චමින්දයා  පෙනෙන තෙක් මානයක වත් නැත.  මගේ තනියට සිටියේ අපේ ජානක මල්ලියා පමණි.  
මම smak දෙකක් කඩා ජානක මල්ලිට එකකුත් මට එකකුත් ගත්තෙමි.

"මෙන්න ඔබ සැම පුල පුලා බලා සිටි අවස්තාව දැන් උදාවෙනවා.. මේ සටහන් වන්නේ මහා වොලිබෝල් තරඟාවලියයයි."

නිවේදකයා බෙරිහන් දෙයි.

දැන් තරඟයේ නිවේදන කටයුතු සඳහා මිය්ක්රෆොනය භාර දෙනවා  අපේ චමින්ද රාජපක්ෂ මල්ලීට..

"ආයුබෝවන් මේ ඇරයුම ප්‍රථම කණ්ඩායම් දෙකටයි . කරුණා කර  අමුණුදෝව ශ්‍රී විජය කණ්ඩායම සහ කේෂන් රන්තරු කණ්ඩායම  පිටියට වාර්තා කරන්න.."

චමින්දගේ  හඬ ලවුඩස්පිකරයෙන්  ඇසෙන්නට විය.

අවුරුදු නිවේදනය


"අපිට තව අලියා බීම දෙකකුයි  වේෆස් පැකට් එකකුයි දෙන්න " අපේ ගැනුම් කරුවෝ  වෙළඳ සැලට පැමිණ සිටිති .

ජානක මල්ලියා  අලියා බිම කඩනා අතර මම වේෆස් පැකට් දෙක පරිභෝගිකාවන්ට දුන්නෙමි.

ඔවුන් එතැනින් ඉවත් වීමත් සමග තවත් දිවුල් රස smak බෝතල් දෙකක්  කැඩුවේ ජානකටත් මටත් සප්පායම් වන්නටයි.


"වක්කරපාන් ... වක්කරපන්"

  කියමින්  සමහර  නරඹන්නෝ  කේෂන් පිලේ දැල අසලම සිට බෝලය පහලට දමන එගම්බරම් සහ දඹගොල්ලේ පියතිලක ව උනන්දු කරනු ඇසේ .

"ඔන්න දැන් පන්දුව පිරිනැමුවා . පන්දුව පිරිනැමුවේ  රන්තරු පිලේ උපාලි වීරසිංහ විසින් ..  විජය පිලේ පිළිගැනීම සාර්ථකයි...

පන්දුව නැවතත් රන්තරු පිලට... එම පිලේ "එගම්බරම්" විසින් පන්දුව ඔසවා දෙනවා.. අංක 7 පියතිලක dash පහරක් එල්ල කරනවා.. "

"අතිසාර්ථක   dash පහරක්!!!  ඒ  ලකුණත්  ගෝල්ඩන් ස්ටාර් කණ්ඩායමට "



චමින්දයා දිගටම කියවා ගෙන යයි .  සුරාජ් ආගිය අතක් නැත.. මම කඩයට වී ක්‍රීඩා විස්තර විචාරයට සවන් දුන්නෙමි.

මගේ තනියට සිටියේ ජයන්ගනිගේ මල්ලී , ජානක මල්ලියා පමණි 

පසු සටහන:  බලාපොරොත්තු  බිඳ වැටුනද  මිතුරාගේ විශ්වාසය  කඩ නොකරන්න.   ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක්  වේවා !!! 


Thursday, 24 March 2016

අප්පච්චි නෑති උන නිසා මට ආයෙත් ඉස්කොලේ යන්න බෑරි වෙයිද අම්මේ



මේ කතාව මට කිව්වේ ආටිගේත් මගෙත් මිතුරෙක් වන කමල් නාමරත්න විසින් ... ඔහුත් අපි වගේම  ආටිගේ ගුණවත් කමට ගරුකරන ආටිගේ සහෝදර ඉංජිනේරුවෙක් !!!)

මේ  පින්තූරේ  තියෙන්නේ  එකල  ගුරුවරයෙක්  වූ  අපේ තාත්තා  මා අවුරුදු පහක හයක  කුඩා ළමයෙක් කාලයේ  පාවිච්චි කල  වාහනයට සමාන එකක් .



ඒ කාලේ  අපට තිබුණේ  EN  -8958  අංක දරණ මෙවැනිම  A-30  වර්ගයේ  කාර් එකක් .  මේ වන විට අපේ අප්පච්චි පාසැල් ගුරුවරයෙක් වගේම ඉඩම් හිමි වැවිලි කරුවෙක්.

අපේ අම්මා ඒ කාලේ  තරුණ ගුරුවරියක්.

තාත්තා මෙන් නොව ඇය ඒ වන විට ගුරු වුර්තියට අළුතින් එකතු වූ කෙනෙක්

මාව  මිට අවුරුදු තිස් පහක් -හතලිහක් වැනි අතීතයකට ගෙන යන්නට සමත්වූයේ  මෑතකදී සිදු වූ අවාසනාවන්ත මරණයක්.

ඒ අපේ හිතවත් විශ්ව විද්‍යාල මිතුරෙකු වූ රුවන් ආටිගලගේ හදිසි අභාවයයි.

ආටිගේ  හදිසි අභාවයෙන් පසු  මාත් කොළඹ සිටි අපේ අනෙක් මිතුරනුත්  දින කිහිපයක්ම ඔහුගේ ගොඩගම පිහිටි නිවසට ගොඩවුනා.

එහිදී ආටිගේ  එකොළොස් වියැති පුතාත්  නව හැවිරිදි දියණියත් දකින වාරයක් පාසා මගේ හිත අතීතයට ඇදී ගියා.

එසේ එහි ගොස් සිටි එක් දිනක මගේ කණ වැකුණු සාකච්චාවක්  මගේ සිත පසාරු කරමින් එහි පතුලටම කිඳා බැස්සා.

ආටිගේ  එකොළොස් හැවිරිදි පුතා  ( පවුලේ වැඩිමලා) ඔහුගේ අම්මා සමග කල කතාබහකුයි ඒ .

"අම්මේ .. ඇයි අම්මා අඬන්නේ ?  "

"අප්පච්චි  නැති වුන එක හරි පාඩුවක් නේද  ? "

"අපි හැමදාම උදේට ඉස්කෝලේ අරන් යන්නේ අප්පච්චි නේ... දැන්  කැබ් එක එලවන්න කෙනෙක් නැතිවෙයි නේද..?"

" ඒ කියන්නේ  අප්පච්චි  නැති වුන නිසා මට ඉස්කෝලේ  යන්නත් බැරිවෙයිද දන්නේ නෑ...?"

මේ වෙලාවේ මගේ සිත වේගයෙන් අවුරුදු හතළිහක් පිටුපසට ගමන් කලා.



අපේ අම්මාගේ   හදිසි අභාවය



රුවන් ආටිගල ගොදුරු වූ රෝගයටම  (ලියුකීමියාව) ගොදුරු වූ අපේ අදාරණිය අම්මා අප හැර යනවිට මගේ වයස යන්තම් අවුරුදු හයක් වුනා විතරයි.

ඒ වෙනකොට මට  රුවන්ගේ පුතාට තරම් තේරුමක්  තිබුණේ නෑ.  අපේ අක්කලා පුංචි අම්මලා හඬන විටත් මම මිදුලේ සෙල්ලම් කරමින් සිටියා මතකයි.

හරියට ආටිගලගේ පුංචි දුව වගේ.

මිදුල පුරා කල ගොක්කොළ සැරසිළි, සුදු කොඩි , "අනිච්චාවත සංඛාරා " කියලා පොල්ගෙඩි අකුරින් ලියපු බැනර්   ..

මේ හැම දෙයක්ම මට හොඳින් මතක තියෙනවා.

අම්මාගේ මිනිය සොහොනට ගෙනියන්න ඔසවද්දී  අපේ පුංචි  අම්මලා ඉකි ගහ ගහ හඬපු හැටිත් මගේ හිතේ තවමත් රැඳිලා තියෙනවා.

ඒ  වන විට කුඩා දරුවෙකු වූ මට අම්මාගේ මරණයේ ඇති බරපතලකම  හරිහැටි වැටහුණේ නැත.

මා සිතුවේ අම්මා කිසියම් දිනෙක නැවත ගෙදර පැමිණෙනු ඇති බවයි.

ඒ යලි කිසිදිනෙක නොඑනා ගමනක් ගිය බව මගේ පුංචි සිතට වැටහුනේම නැති ගානය.

මගේ අක්කලා දෙන්නත් මට බාල නංගිත් තනිකර අපේ අම්මා ගිය මේ ගමනේ බරක් පතලක් මට තෙරුනේම  නැහැ.

ඒ කාලේ අපටත් ආටිගේ දරුවන්ට මෙන් හොඳ නිවසක්,  පාසැල් යන්න වාහනයක්  ආදිය තිබුනා.  

එපමණක් නොව වතුපිටිවලින් හොඳ අදායමකුත් අපේ තාත්තට තිබුණ කාලයක් ඒ .  

අද ආටිගේ ළමයින් ගැන අප සමහරක් සිතනවා මෙන් ගමේ අනෙක් අය අප ගැන සිතන්නට ඇති.

"ළමයින්ගේ තාත්තා හොඳ රස්සාවක් කරන  කෙනෙක් .. සැහෙන්න ඉතුරු කරලා ඇති.. ගේ දොර යාන වාහනත් තියෙනවනේ ?"

"අම්මා නැති වුනාට පොඩි උන්ට හොඳ කලක් යයි.  ඉස්කෝලේ මහත්තයා ළමයි හතරදෙනා හොඳට හදා ගනියි ."


සියල්ල වෙනස් වන සුළුයි 



අම්මා ජීවත්ව සිටියදී උපරිම සැප සම්පත් විඳි අපේ නරක කාලය උදා වෙන්න පටන් ගත්තේ ඇගේ අකල් මරණයෙන් අවුරුදු දෙකක් යන්නත් පෙරාතුවයි.

තාත්තගේ වතු පිටි වලින් ලැබුණු ආදායම එන්න එන්නම අඩු වුණා.

මට දැන් හිතෙනවා  ගේ දොර වතුපිටි පාලනය සකසුරුවමින් කල අපේ අම්මා නැතිවිමම  මෙයට හේතු වන්නට ඇති කියලා.

අම්මාගේ සහයෝගය නැතිව අපේ තාත්තට එවා තනියම කර ගන්න බැරිවෙන්න ඇති. 

ඉස්කෝලේ ගුරු කමෙන් ලැබුණු ආදායම වාහන නඩත්තු කරන්න තරම් ප්‍රමාණවත් නැති නිසාදෝ අපේ කාර් එකත් විකුණා දමන්න  තාත්තා තීරණය කළා.

අවුරුදු හතක-අටක ළමයෙකු වූ මට මතක තිබුණේ මේ කරුණු දෙක පමණක් වුවත් මීට වඩා  ගොඩක් දේවල් ඒ  කාලේ සිදුවෙන්න ඇති.

කුඩා ළමයකු වූ මා හට ඉකමණින්  බඩගිනි වනබව ආච්චිට සහ නැන්දලාට  නොදැනුන නිසා  හෝ  එම නිවසේ සේවය කල සේවකයින් රාශියකට ත් සමග කරනා ආහාර පිළියෙළ කිරීම ටිකක් කල් ගතවන වැඩක් නිසා හෝ  මට කෑම ලැබීම පරක්කු වුනා.

මේ දවල් ආහාරය ලැබෙන්නට පරක්කු වීම මට ටිකක් ඉවසන්නට අපහසු දෙයක් වුනා.

ඒ කාලේ අපි හිටියේ තාත්තලා මහගෙදර.  

ආච්චි  හෝ නැන්දලා කෑම  හදා දෙන තෙක් දැනුණු තද කුසගින්න මට නිතර නිතර මගේ ආදරණිය අම්මා සිහිකර දෙන හේතුවක් වුනා.

ආච්චිලා ගෙදර කෑම ලැබෙන්න පරක්කු වෙන බව දැනුන විගස මම අසළ ඇති නෑදෑ  ගෙදරකට දිව යනවා.

ඒ  අම්මාගේ පැත්තෙන්  නැද කමට අම්මාගේ බාප්පා වන මුත්තා කෙනෙකුගේ ගෙදර.  එයා ඒ දවස් වල නිතර නිතර ගමන් බිමන් යන්නට අපේ කාර් එක අරගෙන යනවා.

ඔහු ඒ වෙනුවෙන් කවදාවත් තාත්තට හයර් එකකට කියා මුදල් ගෙවන්නේ නැහැ.

ඒ මුත්තා ටිකක් සැරපරුෂ  කෙනෙක් වුනාට මට කොහොමත් කාරුණිකයි.

අපේ අම්මා ආටිගල වගේම  ලියුකිමියාව හැදී අසාධ්‍යව රෝහල් ගතවී සිටි කාලයේ මම ඒ මුත්තලා ගෙදර නතර වී සිටියා මතකයි.

වෙලාවකට  ඒ මුත්තා " අර පොඩි එකා කාලා නෑ නේද ? බත් ටිකක් දීපන් ඒ ළමයට " යැයි පුංචි අම්මාට  කියනු ඇසුනු අවස්ථා තිබුනා.
මම ඒ විදිහට  කී වතාවක්  කෑම  කා තිබේදැයි  හරියටම නිච්චියක්  නැහැ.  එත් එක දවසක් ඒ පුංචි අම්මා

"මෙයා හැමදාම  මෙහෙ එනවනේ  කෑම හොයාගෙන "  කියලා කියනවා ඇහුණා.

ඒ වෙනකොට මම ඉස්කෝලේ යන ළමයෙක් නෙවෙයි.

ඒත්  මම පුංචි කමට එදා ඉගෙන ගත්තු දෙයක් තමයි මගේ  පුද්ගලික ප්‍රශ්න වලට අනෙක් අයට කරදර කරන්න හොඳ නැහැ කියන එක.

එදායින් පසු කිසිම දවසක මම  කොච්චර බඩගිනි වුනත් කිසි කෙනෙකුට ඒ  ගැන  කරදර කලේ නැහැ.

ඒත් ඉතින් බඩගිනි හැදුනු අවස්ථා  නම් එමටයි.

//ඉර  පායා  ඉර මුදුනට  එන්ට එපා

සඳ පායා  සඳ මුදුනට  එන්ට එපා

පෑදී දියට බොර දිය එක් වන්ට එපා

අම්මා නැති අපට බඩගිනි වන්ට එපා //



අපේ අක්කලා  නංගිලා  ඒ කාලේ  දවස ගත කලේ කොහොමදැයි  මට මතක  නැහැ.


දෙමව්පියන්ගේ  නෑ හිත මිතුරන් කොපමණ කාරුණික වුණත්,  තවත් කෙනෙකුට සැලකීමේ හැකියාව ඒ උදවියට තිබුනත් නැතත්   තවත් දුකට පත් කෙනෙකුට  අත්වැලක් වන සමාජ පසුබිමක්  අද වගේම එදා තිබුනෙත්  නෑ...


මෙසේ කාලය ගත වෙද්දී පුංචි අපේ වගකීම ගන්න ඉතිරි වුණේ තාත්තත්  ඔහුගේ  පියා ( අපේ මුත්තා ) ත් පමණයි.


මට ආටිගේ  දරුවන් ගැන සියුම් බියක් දෑනෙන්නේ  මේ කාරණාව නිසයි.




ඒ කාලේ අම්මා නැති අපේ රෙදි සෝදන්න කරදර බව බාප්පලා  සහ නැන්දලා තාත්තට නිතර කියනවා.

අපේ රෙදි සියල්ල එකතු කරගෙන "ඩෝබිට" ගෙනිච්ච හැටිත් තාත්තා සමග  ඩෝබි මාමලා ගෙදරට ගොස් සේදු රෙදි රැගෙන එන හැටිත් මට අද වගේ මතකයි.

තවත් අවුරුදු දෙකක් ගෙවී යද්දී  (මට යන්තම් අවුරුදු අටක් වෙද්දී ) තාත්තා අපිට දෙවැනි  අම්මා කෙනෙක් රැගෙන ආවා.

අසරණ අපට මවක් වන්නෙමියි සිතා පැමිණි මේ දෙවැනි අම්මාට පෘතග්ජන , කුහක ලෝකයේ එසේ විම ලෙහෙසි පහසු දෙයක්  නොවන බව අප කාටත් කෙටි කලකින්ම තේරම් ගියා.

මේ බව අපි කාට කාටත් කෙටි කලකින්ම වැටහුනත්  නැවත හැරෙන්න හෝ ගොඩ යන්න බැරි සංකීර්ණ  තැනක අපි කවුරුත් හිරවෙලා ඉන්න බව  පමණක් අපි හොමෝම තේරුම් ගත්තා.


කෙටි කලකින් අපේ පවුලට ආදරණිය පොඩි මල්ලී පැමිණීම   හැරෙන්නට  සහ අපි තවත් අසරණ වීම හැරෙන්නට විශේයයෙන් කිවයුතු වෙන යමක් ඒ කාලේ සිදුවුයේ නැහැ.
.
මේ සිදුවීම්  සමග තාත්තගේ ජීවිතය තව තවත් සකිර්ණ වුවා මිසක ඔහුට කිසි පහසුවක් වුණේ  නෑ.

අපේ පවට තවත් කොටස් කාරයින් දෙදෙනෙක් එකතු වීම හැර මේ  කාල වකවානුවේදී  කියන්න තරම් වැදගත් යමක් සිදුවුනේ නැහැ.

ඒත් මම අදටත් ඒ අම්මාට සලකන්නේ මගේ අම්මා හැටියට .

මල්ලී මගේම මල්ලී කෙනෙක් ලෙස අදටත් මගෙන් උදව් උපකාර ලබනවා.

ළඟ එන සිංහල අවුරුද්දේදී  මම අම්මා කියලා තෑගි බෝග අරන් යන්නේ මේ දෙවැනි අම්මාටයි.

අම්මේ  කියා කකුල් දෙක අල්ලා දණගසා වඳින්නේ මේ අම්මාටමයි.


දෙවැනි අම්මා එයාගේ අලුත් ලෝකයේ අප මෙන්ම අසරණ වීමත්  මුත්තලා ට  අපට සරණ වීමට ශක්තියක් නැති වීමත්  සමගම   මම ගෙදරට නොවැදඅපේ ගත් කෙනෙක් බවට පත්වුණා.

ගෙදර ඉඳලා පාසැලට තිබුණ කිලෝමීටර් හතරක දුර  බෝඩිමක ඉඳන් යන්නට සිදුවන්නේ ඒ අනුවයි.

හැම සෙනසුරාදාවකම  සහ ඉරිදා උදය වරුවකම  තාත්තා එනතෙක් බෝඩිමට වී පාර බලන් සිටිය හැටි...

අනෙක් යාලුවන්ගේ ගෙවල් වලින් ගෙනෙන කෑම වලින් මට ලැබෙන කොටස රස බලන නමුත්  රහසින් අම්මා සිහි කල හැටි...


මගේ හිතේ මැවෙන්නේ බොඳවුණු සිහිනයක් වගේ.

හැම සෙනසුරාදාවකම  සහ ඉරිදා උදය වරුවකම මග බලාගෙන  සිටියත්  යහළුවන් බලන්නට  එන අනික් අය අපේ තාත්තා යැයි මුලින් සිතා පසුව අපේක්ෂා බංගත්වයට පත්වී ඇඬුවත්

අපේ තාත්තා මා බලන්නට ආවේ සති දෙකකට හෝ තුනකට වතාවක් පමණයි.

එත් හැම සති අන්තයේම එන අනෙක් යහළුවන්ගේ දෙමව්පියන් දුටු විට මට එය දරා ගන්නට අපහසු වුණා.

මගේ දුක නිතර ම කඳුළු බවට හැරුනේ  ඒ නිසා වෙන්න ඇති. 


අග හිඟකම් තවත් වැඩිවෙයි 


මෙසේ නිවස අසලම බෝඩිමකට වී පාසැල් ගිය අපට තවත් කරදර ඇති වන්නට ගත වුයේ ඉතා සුළු කාලයකි.

අප සිටි බෝඩිමෙන් මෙන්ම එතෙක් ඉතා සතුටින් ගිය පාසැලෙන් ද අපව අස්කර ගන්නට තාත්තා තීරණය කරලා.

හේතුව  ඒ වනවිට ඇතිවී තිබු මුල්‍යමය අපහසුතාවයයි. 

මුදල් අගහිඟකම් තම දරුවන් පිටින් යවනවා හැරෙන්නට වෙන විකල්පයක් ඔහුට තිබෙන්නෙට නැතුව ඇති.

අප නැවතත් තාත්තලා මහගෙදරට ගෙන එන්නේ ඒ නිසා විය යුතුය.

අනතුරුව එළඹී දුෂ්කර සමය  ......

අප සියළු දෙනාට නිතර නිතර පාසැල් මාරු කරන්නත්  නවාතැන් මාරු කරන්නත් හේතු වූ කාලයක්  විය.

එමෙන්ම බෝඩිමක මෙන් නොව මුදල් නොගෙවා නතර වී සිටි  නිවෙස් වල නොයෙක් බැල මෙහෙවරකම් කරන්නටද අපට සිදුවිය.

මිදුල අතුගෑම, වතුර ඇදීම, වලං සේදීම වැනි ගේ දොර වැඩ කර දීමෙන් නොනැවතී නිවැසියන් කිසියම් කරුණකට කෝප වූ විට ඔවුන්ගේ බැනුම් දෝෂාරෝපණ  වලට භාජනය වන්නටද අපට සිදු විය.

ඒ සියල්ල විඳ දරා ගනිමින් පාසැල් යන්නට මට බල කරන්නට ඇත්තේ අකාලයේ අපෙන් වෙන්වූ ආදරණිය අම්මාගේ නොනිමි සෙනෙහස වෙන්නට ඇති.

අප සිටි සමහර නිවෙස් වල අය මට සැලකුවේ ළමා සේවකයෙක් ගානට .  

කුසපිරවෙන්න කෑම ලැබුණත් හිත හැම වෙලේම තිබුණේ "අපේ අම්මා නැති වූ නිසා නේද මේ " කියනා දුක්බර සිතිවිල්ලෙන් පිරිලා.

 මේ වනවිට  ප්‍රාථමික පංති නිමකර සිටි මා පංතියේ හිටපු දක්ෂම ළමයින් දෙදෙනාගෙන් එක්කෙනක් .

මේ කාලයේ  අනෙක් ළමයින් කික්ස්, අඩිඩාස්  ආදී සපත්තු පැළඳ පාසැල් එද්දී මම ගියේ ඉලාස්ටෝ  සෙරෙප්පු දෙකක් දාගෙන.

අග හිඟ කම් අධිකම  කාල වලදී මම ඇඳගෙන ගියේ අණ්ඩ දැමු ඉස්ත්රික් නොකළ කමිස  , ඉරුණු ඇඳුම් ආදිය.

ඒ කාලේ මගේ අක්කලා සහ නංගිලා  කොහොම ඉස්කෝලේ ගියාද කියලා ඇත්තටම මට මතක නැහැ.

වෙලාවට අසලම තිබු අනෙක් පාසලේ විදුහල්පතිවරයා මෙන්  ඇඳුම් පැළඳුම් ගැන හොයන්න අපේ විදුහල්පතිතුමා පෙළඹුනේ නැහැ.

මෙලෙස දුෂ්කර ලෙස පාසැල් යන්නත්   හවස අමතර පංතිවලට යද්දී දවාලට වතුර  පමණක්  ආහාරය ලෙස ගන්නත් මට සිදුවුණා. 

මිය යන විට අපේ අම්මා ගුරුවරියක් වුවත් ඇයගේ සේවා කාලය කෙටි නිසා ඇයට විශ්‍රාම වැටුපක් හිමි වුයේ නැහැ.

ඒ නිසා කුඩා අපට ඇයගේ මරණින් පසු කිසිවක් හිමිවුයේ නැහැ.

අපේ දෙමව්පියන්ගේ නෑදෑයින් එතරම් පොහොසත් අය නෙවෙයි. ඔවුන් අපේ තාත්තටත් වඩා අසරණ නිසා ඒ කිසිවෙකුට අපි හතර දෙනාට උදව් කරන්න තරම් ශක්තියක් තිබුණේ නැහැ.

 අග හිඟකම් මැද පාසැල් ගිය අප අතරින් වඩාත්ම අපහසුවට පත්වුණේ අපේ නංගි.

අපට වඩා ඉහළ පාසලකට ගිය ඇය අනෙක් ළමයින්ගේ සරදමට ලක්වූ වාර අනන්තයි.



ආටිගේ දරුවන් සහ අපි

පුතේ.. මේ අංකල් ගේ කතාව ඉතාම කෙටියෙන්.. 

අද මම ඔබේ පියා වැනිම ඉහළ තලයේ රැකියාවක් ලබන්නටත් , ඔහු මෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්නටත්  හේතුව වුයේ සියළු භාදක මැද මා ලබා ගත් අධ්‍යාපනයයි.

මගේ සොහොයුරියන්  මා මෙන් විශ්ව විද්‍යාලයට යන්නට වාසනාවන්ත වුයේ නැහැ.  

මගේ සොහොයුරියන් ලැබූ දුක් වේදනා ඔබ හෝ ඔබේ නැගණිය ලබනවාට මම කැමති නැහැ.

ඔවුන්ට එසේ දුක් වේදනා ලැබීමට සිදුවුයේ අපේ තාත්තා කරගත් දෙවැනි විවාහය නිසයි.

ඒ නිසාමයි   ඔබේ මව දෙවැනි විවාහයක් කර නොගනියි කියා අස්වැසිල්ලක් ලබන්නට මා  සිත පෙළැම්බෙන්නේ.

  

පුතේ .... ඔබ සහ ඔබේ නැගණිය වෙනුවෙන් ලංකා බැංකුවේ ටිකිරි ගිණුම් දෙකක් ආරම්භ කරන්නට  අප්පච්චිගේ යාළුවන් පෙරමුණ ගත් බව ආරංචි වුණා.

ඔබේ අප්පච්චිට ආදරේ කරන ඔහුගේ අසීමිත මනුස්සකමට ගරු කරන මිනිසුන් ඔබ දෙදෙනාගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප කල මේ ගිණුමට දායක වෙයි කියල මං හිතනවා. 

ඒ මුදල් ඔබේ අධ්‍යාපනයට සහ  ස්වස්ථතතාව වෙනුවෙන් පමණක්ම යොදා ගැනීමට තීරණය කල නිසා එය ඔබේ අනාගතයට පිටිවහලක් වේවි.

ආටිගල අපට කියා දුන් නිහතමානීකම, පරිත්‍යාගශීලීත්වය , මානව දයාව  වැනි උතුම් මානුෂිය ගුණාංග ඔහුගේ අකල් මරණයත් සමග අවසන් වන එකක් නැහැ..


මම ඔබේ පියාට ආදරය කරන මිතුරෙක්.....




(මේ කතාව මට කිව්වේ ආටිගේත් මගෙත් මිතුරෙක් වන කමල් නාමරත්න විසින් ... ඔහුත් අපි වගේම  ආටිගේ ගුණවත් කමට ගරුකරන ආටිගේ සහෝදර ඉංජිනේරුවෙක් !!!)




ඔබ දෙදෙනාගේ  ගිණුම් අංකත්   මෙහි සඳහන් කරන්න තීරණය කළා.


1. පුතා ගේ ගිණුම් විස්තර ..


Account name: 
Account number: 
Bank: 

2. දුවගේ ගිණුම් විස්තර ..


Account name: 
Account number: 
Bank: 


3. ඔබ දෙදෙනාගේ සහයට ඕස්ට්‍රේලියාවේ  ඉන්නා අයට  මුදල් තැන්පත් කිරීම සඳහාම විවුර්ත කල  ගිණුම  ( මෙය ඔබේ ලොකු නැන්දා වන චමින්ද්‍රා ආටිගල/කොඩිතුවක්කු නමින් මේ කාරණය වෙනුවෙන්ම පටන් ගත් ගිණුමක්)


Account name: 
BSB: 
Account number: 
Bank: