Tuesday, 28 February 2017

අල වගේද ගෝවා



මේ කියන්න යන්නේ මට සිදු වූ ඇබැද්දියක් සහ ඒ ඇබැද්දිය නිසා මම සූපවේදියෙක් වුණ හැටි ගැන කතාවක්.

දිනය 2014 අගෝස්තුමාසේ දිනයක්. මේ වෙනකොට මම අපේ පළමු නිවාස ව්‍යාපෘතියට බැහැලම වැඩ.

ඒ මදිවට වැඩ කළේ නිවසේ සිට කිලෝමිටර් 200 ක් දුරින් පිහිටි රෝහලක.

සතියට දෙවතාවක් විතර ගෙදර එන මම ආපු වෙලේ ඉඳන් කරන්නේ පරිගනකය ලඟට වී නිවාස ව්‍යාපෘතිය ගැන ලියන එක හෝ මුහුණු පොතේ මිතුරන් මිතුරියන් ඊට උනන්දු කරවන එක

මේ අතර සමහර "මිතුරියන්"  ව්‍යාපෘතියට උදව් කරන අතරම මගේ ගුණ වයමින් බ්ලොග් වල හෝ මුහුණු පොතේ කමෙන්ට්ස් එහෙමත් දානවා.

කලින් කියන්න බැරි වුණා මම මුලින්ම බ්ලොග් ලියන්න පටන් ගත්තේ කලු සහ අලෙක්ස් පවුල වෙනුවෙන් අපි පටන් ගත් නිවාස ව්‍යපෘතියට මිනිස් රැස් කර ගන්න

මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටි නිම්මි ටිකෙන් ටික මගේ සමාජ සේවා වැඩ ගැන කළබල වෙනවා.

ඇයි යකඩෝ කොයි නෝනද කැමති තමන්ගේ මහත්තයා කලාතුරකින් ගෙදර ඇවිත් මුහුනට මුහුන හමුවී නැති මිනිස්සුන්ට ගෙවල් හදන්න ස්යිබර් අවකාශයේ හමුවු එවැනිම නොදුටු මිතුරු මිතුරියන් ඇසුරු කරමින් කල් ගෙවනවාට.

මේ කලබළ ගතිය නිසාම මේ කියන දවසේ

 "මට බෑ අද උයන්න . පුලුවන් විදිහට කෑම හදාගෙන කන එකයි තියෙන්නේ .කොච්චර වත් අහක ඉන්න මිනිස්සු ගැන හොයනවා. ගෙදර ඉන්න මිනිස්සු ගැන වගක් නෑ"

කියමින් එදින මගේ දවල් ආහාරය පිලියෙල නොකල නිම්මි කාමරයට වි සිටියා.

මේ වෙනකොටත් වාද විවාද කොට සිටි මම

" මම ආශ කරන දේවල් තමයි මම කරන්නේ. 

මේ ගෙදර හදන වැඩේට මම ආශයි. ඒවට භාදා කරන්න එපා " 

යැයි කියමින් ඇය තව තවත් තරහා ගන්වලයි තිබුණේ.

......දැන් ඉතින් මොනවා කරන්නද?

පුලුවන් විදිහකට මොනවා හරි හදනවා......

රයිස් කුකර් එකේ බතක් ගැසු මම ශීතකරණය ඇරියේ  මොනවා හරි එක එලවලුවක් හදනවා ‍යැයි සිතමින්.

අතට අහුවුණේ ලොකු ගෝවා බෑයක්.

අද අලුත් ක්‍රමෙකට ගෝවා එකක් හදන්න ඕනේ .. මම වැඩ පටන් ගත්තා.

මෙන්න මේවා තමයි මම යොදා ගත් දෙවල්

1. හොඳින් කොල තද වුණ ගෝවා බෑයක්
2. හොඳට ඉදුනු තක්කාලි ගෙඩියක්
3. ලොකු රතුලූණු ගෙඩියක් (රතුපාට බී ලුණු ගෙඩියක් )
4. සුදුලූනු, කරපිංචා,අබ ,අමු මිරිස්, උලුහාල්,  කහ සහ ගම්මිරිස් කුඩු
5. උම්බලකඩ ස්වල්පයක්





මුලින්ම අපේ අම්මා කියන "ගොන්කුට්ටි වගේ" සයිස් එකට ගෝවා කෑල්ල කපා ගත්තා. 




ඊට පස්සෙ තක්කාලි, ලූනු ආදියත් මේ විදිහට කපා ගත්තා.










කපාගත් ගෝවා එකට කහකුඩු යහමින් එකතු කලා, ගම්මිරිස් කුඩු ස්වලපයකුත් උම්බලකඩත් ඒකටම දැම්මා.




මේ අතරේ තක්කාලි, අම්මුමිරිස්, ලූනු සහ සුදුලූනු වෙනම තියා ගත්තා.

ෆ්‍රයින්  පෑන් එකක් අරන් යහමින් තෙල් දමා  රත්වෙන්න තිබ්බා.



හොඳට රත් වු තෙල්  එකට "චෝස්" යන චයිනිස් හඬ එන පරිදි තක්කාලි, ලූනු , අමු මිරිස් සහ කරපිංචා මිශ්‍රණය එකතු කලා.



හැන්දක් අරන් මිශ්‍රණය එහා මෙහා කරන අතරේ ගෝවා ටික ලිප ලඟට ගත්තා.
 විනාඩි දෙකක් පමන තක්කාලි මිස්‍රනය බැදුණු පසු ගෝවා ටික ඒකට එකතු කලා.




තව විනාඩි පහක් පමණ ගෝවා ටික හැන්දෙන් එහා මෙහා කරමින්  තැම්බෙන්න තිබ්බා.

අවසානයේ නියම ගෝවා බැදුමක් එක්ක බත් කෑවා.

ටික වෙලාවකට පසු කුස්සියට පැමිණි නිම්මී මගේ ගෝවා එක සමඟ බත් කනවා දැක්කත් එහි ගුණ අගුණ එදා දැන ගන්න බැරි වුණා.

"ඒයි අර වගේ ගෝවා එකක් හදන්න කෝ ආයෙත්"

කියමින් ඈ මගේ සූප සාස්ත්‍රය වර්ණනා කලේ මම ඊලඟ වතාවේ නිවාඩු ආවහම.


මේ තියෙන්නේ ඒ මගේම රෙසිපියට ගෝවා එකක හදන හැටි . මේක හැදුවේ  2017 පෙබරවාරි  28වෙනිදා

Saturday, 25 February 2017

ඔස්ට්‍රේලියානු වෛද්‍ය කවුන්සිල විභාගය පලමු කොටස ( AMC part 1)





පසුගිය කළාපයෙන් මා මිත්‍ර දිමුතු විභාගයෙන් සමත් වූ ආකාරය ඔබ වෙත ගෙන ආවෙමි.

විභාගය සමත්වී  සිටි දිමුතු   නගරයේ සිට  කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි පළාතක රැකියාවක් ලබා පිටත්  වී ගියේ  ශ්‍රී ලාංකික බොහෝ දෙනෙක් සතුටට පත් කරමිණි.


දිමුතුට එසේ  පළමු කොටස අවසානයේ රැකියාවකට යා හකිවුයේ තවත් කාරණා දෙකක් සම්පුර්ණ කිරීමෙන් පසුවයි.

ඊට ආසන්නම කාලයෙදී  අවුරුදු දෙකක් හෝ තුනක් ලංකාවේ "පවුලේ වෛද්‍ය වරයෙකු" (GP) ලෙස වැඩ කර තිබීමත්  IELTS විභාගයෙන් ලකුණු 7 කට වඩා ලබා ගැනිමත් ඒ කාරණා දෙකයි .

මෙම මූලික අවශ්‍යතා සම්පුර්ණ කිරිමෙන් පසු දිමුතුට  ඔස්ට්‍රේලියානු වෛද්‍ය මණ්ඩලයේ තාවකාලික ලියාපදිංචිය (provisional registration with AHPRA)  ලැබුණේය.

ඒ අනුව ඔහු පුහුණුවන "පවුලේ වෛද්‍ය වරයෙකු"  ( trainee GP)  ලෙස සේවය ආරම්භ කලේ සැලකිය යුතු වැටුපක් ලබමිණි


 ඉන් ටික  කලකට පසු  ආචාර්ය උපාධිය අවසන් කල මම  (2009 ඔක්තෝබර් වෙද්දී) ඉතිරිව තිබු විසා කාලය  (දෙසැම්බර් දක්වා)  AMC විභාගයේ පළමු කොටසට වැය කරන්නට සිතා ගත්තෙමි.

මේ වන විටත් මගේ අදායම් මාර්ග වී තිබුණේ වෛද්‍ය  සිසුන්ට ඉගැන්වීම  සහ නිම්මි ගේ  අතිරේක රැකියාවල  ආදායමයි.

 ඒවායින් විභාග ගාස්තු ගෙවා විභාගයට ලියාපදිංචි වන්නට් මට හැකිවුයේ   රුහුණු විශ්ව විද්‍යාලයෙන් මගේ උපාධිය සනාථ කිරීමෙන් පසුවයි (Primary course verification ).

ඒ අනුව මට AMC පලමු කොටසට මුළු වැර යොදා සුදානම් වීමට ලැබුණේ මාස කිහිපයක් පමණි.

කෙසේ වෙතත්  සිසුන්ට ඉගැන්වූ මානසික රෝග, ස්නායු රෝග සහ පේශි සහ අස්ථි සමබන්ධ  ඒකක මට අලුතින් පාඩම් කරන්නට අවශ්‍ය වුයේ නැත.

විභාගය යට  යන බව දැන සිටි අය අතර නිතර නිතර ඒ ගැන අසමින් සිටි අයෙක් වුයේ අපේ ලඟම හිතවතා  බුද්ධි ප්‍රසන්නයි.

දිමුතුගෙන් පසු  බිහිවන ඊළඟ දොස්තර (ඕස්ට්‍රේලියාවේ වැඩ කරන්නට හැකි) මා විය යුතු යැයි බුද්ධි තදින්ම විශ්වාස කළේය.

අපේ නිම්මිට අනුව නම් බුද්ධි මගේ "අය්යා " විය.

" කවිඳු කොහොමද ? දැන් විභාගෙට ලෑස්තිද ? ඔය පොඩි පොඩි වැඩ නවත්තලා විභාගෙට බර දාන්න "

යැයි පවසමින් බුද්ධි මට දුරකථන ඇමතුම් දෙනවිට

අන්න ඔයාගේ අය්යා කතා කරනවා කියමින් නිම්මි මට විහිළු කරයි.

ඇත්තම කියනවා නම් ඇඩිලේඩ් නුවර මෝටර් කාර්මික ශිල්පියෙක් ලෙස සේවය කල බුද්ධි  එක කුස උපන් සොහොයුරෙකු මෙන් මගේ දියුණුව ගැන සොයා බැලුවේය.

ඒ නිසාම මා විභාගයට යන දිනය මෙන්ම ඒ වෙනුවෙන් මගේ ඇති සුදානම ගැනද   බුද්ධිව නිතර නිතර දැනුවත්  කරන්නට  මමද පුරුදු වුයෙමි.


විභාගය දා


කාලය ගතවී ගොස් විභාගය පැවැත්වෙන දිනයද උදාවිය.  විභාගයට කලින් දවසේ බුද්ධි ගෙන් මට සුබ පතා දුරකථන ඇමතුමක් ද ලැබිණි, 

"කවිඳු  හොඳට විභාගේ කරන්න ඕනේ. භයවෙන්න එපා ඔයාට පුළුවන්  . දිමුතුත් කරපු එකේ  ඔයාට බැරි වෙන්න හේතුවක් නෑ "

ඔහු මා අස්වසාලමින් පැවසුවේය. 

උදේ පාන්දරම  නිම්මි සකස් කර දුන් කිරිබත් සහ ලුණු මිරිස් වල රස බැලු මම ඇඩිලේඩ් බලා යන බසයකට ගොඩ වුයෙමි.

විභාග ශාලාව තිබුණේ  King William Road එකේමය. ගොඩනැගිල්ලේ පහළ තට්ටුවට වී සිටි පිරිස අතර සිටි හඳුනන මුහුණකි.

"හලෝ කොහොමද? ඇලන් මේ පාර විභාගේ කරන්නේ නැද්ද?  "

මම ඇයගෙන් ඇසුවෙමි.

"අනේ නෑ කවිඳු.  ගිය පාර අපි දෙන්නම කරලා බැරිවුණා නේ . 

විභාග ගාස්තුවත් බර ගාණක් වෙනවනේ . 

අපි කතා වුණා මේ පාර මම විතරක් කරලා ඇලන් මාස කිහිපයකට පස්සේ විභාගේ කරා නම් හොඳයි කියලා .

එයා අද වැඩ.  මම මේ පාර වත් ගොඩ ගියොත් හොඳයි.  මට හරි බයයි අනේ මම මේ පාරත් ෆේල් වෙයි කියලා "

අපේ මිතුරියගේ මුහුණ දහඩියෙන් පිරී ගොසිණි . ඇය ඇත්ත වශයෙන්ම "විභාග ආතතියෙන් " පෙළෙන බව දක්නට තිබිණි. 

" හරි හරි භය වෙන්න එපා විභාග තියෙන්නේ අපි වගේ මිනිස්සුන්ට කරන්න නේ . 

ෆේල් වුනොත් ආපහු කරමු . ඕක එච්චර හිතට ගන්න එපා "

මම අපේ සහ දිමුතුගේ මිත්‍රයා වූ ඇලන්ගේ බිරිඳ අස්වසමින් පැවසුවෙමි. 

විභාගය ඇරඹිණි . පරිගණක ගත ප්‍රශ්න එකින් එක තිරයේ දිස්වෙන අතර විනාඩි දෙකක් තුල ප්‍රශ්නය කියවා පිළිතුරු සැපයිය යුතු විය. 

මම සිටි ස්ථානය පිහිටියේ කිංග් විලියම් පාර අයිනේ ජනේලයක් අද්දරට වන්නටයි. 

x ray චායාරුප සහිත ප්‍රශ්න දහයක් පමණ විභාගයට ඇතුලත් විය. 

ජනේලයෙන් වැටෙන හිරු රශ්මිය නිසා  පරිගණක තිරය දිලිසීම මගේ x කිරණ  ප්‍රශ්න  වලට උත්තර සැපයීම  සංකුල කිරීමට හේතුවක් විය.

කෙසේ වෙතත් නියමිත කාලය අවසන් වන විට සියලු ප්‍රශ්න වලට දන්නා හැටියට පිළිතුරු සැපයුවෙමි. 

විභාගය නිමවී ගෙට ගොඩ වන විටම නිම්මි අපට ලැබුණු ආරධනාවක් ගැන පැවසුවාය . 

ඒ බුද්ධි ප්‍රසන්නලා නිවසේ රාතී‍්‍ර කෑමකට  එන්නැයි කල ආරාධනාවයි. 

එදා රෑ නිම්මිත් සුපුනුත් සමග  බුද්ධි ලා ගෙදර ගිය මම බුද්ධි ගේ සහ ශිරාණි ගේ විහිළු තහළු මැද සියළු  විභාග ආතති මුදා හැරියෙමි.

විභාගය සමත් වීමෙන් පසු කල හැකි/ කල යුතු දේවල් ගැන කතා බස් කරන්නටද අපි අමතක නොකළෙමු. 

ඇලන් ගේ බිරිඳද මා සමගම විභාගයට පෙනී සිටි බව දැනගත් බුද්ධි ලා ඇලන්ගේ බිරිඳද විභාගයෙන් සමත් විය යුතු යැයි ඉත සිතින්ම ප්‍රර්ථනා කළහ. 

ප්‍රතිඵල ඇවිත්



ඒ වන විට ගතවෙමින් තිබුණේ මම ශිෂ්‍යයෙක්  ගත කල අවසන් කාලයයි.  

අධ්‍යාපන කටයුතු  අවසන්  නිසා ඇඩිලේඩ් පංසල සමග  මෙන්ම ශ්‍රී ලංකික හිතවතුන් කල අනෙකුත් සමාජ ක්‍රියාකාරකම් සමගද සමිප සබඳතාවක්  ඇති කර ගත්තෙමි.

මා සහ සුපුන් එක් වී වගා කල අබ කොළ , වට්ටක්කා දළු සහ ලාංකික හිත්වතෙකුගෙන් ලබාගෙන තවන් දැමු තිබ්බටු පැල හිතවතුන් අතර බෙදා හැරුණේ ඒ අනුවයි.

දැන් දැන් මට සහ නිම්මිටද පැරණි ඇඩිලේඩ් වාසි ශ්‍රී ලාංකිකයින් අතර තරමක පිළිගැනීමක් ගොඩ නැගෙමින් පවතී ( සිසුන් කාලයේ අපට සමීප වුයේ  බුද්ධි, සුමින්ද අය්යලා සහ සුරාජ්ලා  ආදී පවුල් කිහිපයක් පමණි).

මෙසේ කාලය ගත වෙද්දී  ඒ තීරණාත්මක දිනය පැමිණියේය.  උදේ දහයයි තිහ වෙද්දී  AMC අන්තර්ජාල පිටුව බැලු  නිම්මිත් මමත් අධික ලෙස සතුටට පත් වූයෙමු.

ඒ මගේ විභාග අංකයත්  විභාගය සමත් පිරිස අතරේ තිබුණ බව ස්ථිරවම දැනගන්නට ලැබීමත් සමගයි.

මම වහාම මගේ ජංගම දුරකථනයට  අත පෙව්වෙමි.

"හලෝ කවිඳු කොහොමද ? මොකක්ද ආරංචිය  " 

එහා පැත්තෙන්  මගේ හොඳම හිතවතා ( නිම්මිට අනුව මගේ අය්යා ) නොඉවසිල්ලෙන් මෙන් අසයි 

"ඔන්න මං ඔයාට ඕන දේ කළා.  මේක නම් ඔයා වෙනුවෙන්ම  කරපු දෙයක් "

"මොකක්ද අප්පා මන් වෙනුවෙන් කරපු දේ ? 

ශිරාණි ට අළුත් රස්සාවක් වත්ද ?  

එයා තවමත් කවිඳු අල්ලලා දුන්න පත්තර පාර කරනවා "

"නෑ නෑ.. මං විභාගේ පාස්.

 මං කිව්වා වගේ මම මේ විභාගේ කරේ ඔයාගේ උවමනාවටමයි "

"නෑ .. හෙහ් .. හෙහ් හෙහ්..  හෙහ්... නියමයිනේ  කවිඳු . 

ඕක තමයි මං කිව්වේ ඔයාට ඕක බැරිවෙන්නේ නෑ කියලා 

දැන් ඉතිං දිමුතුට වගේ හොඳ ජොබ් එකකට යන්නයි තියෙන්නේ "

බුද්ධි ගේ හඬ වෙනදා මෙන්ම ලයාන්විතය.  මගේ සාර්ථකත්වය  ගැන ඔහු ඉතාමත් සතුටට පත් වී තිබේ.  

වාහන විදුලි පද්ධති  අස්සේ තම කාලය ගෙවනා ඔහු  වෙනදා මෙන් ලහිලහියේ  මගේ ඇමතුමට සමුදෙන්නට අද  සුදානම් නැත. 
 "බුද්ධි ඔයා වැඩනේ මම තියන්නම්.  

හවසට ගෙවල් පැත්තේ එන්නම් කෝ කතා කරන්න "

අනුන්ගේ දියුණුව ගැන හදවතින්ම සතුටුවන මේ අහිංසක මිනිසා 

"මගේම සොයුරෙක් මෙන් "  නොවේදැයි සිතු මගේ නෙතට කඳුලක් නැගිණි.

සතුටු කඳුළු පිසගත් මා නැවතත් නිම්මි වෙත පියමැන්නෙමි. 

Friday, 24 February 2017

ඔස්ට්‍රේලියානු වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි විමේ තොරතුරු (මා ආ මාවත පළමු කොටස)




ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය වරයෙක් ලෙස ලියාපදිංචි වීමේ අදහසක් මට පහල වන්නේ 2009 වසරේදී.

ඒ අදහස මා තුය මුලින්ම ඇතිකලේ මට අහම්බෙන් හමුවු තවත් ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක්.

 ඔහු  දිමුතු මුණසිංහ නම් කොළඹ  විශ්ව විද්‍යාලයෙන් පිටවු අයෙක්.


දිමුතු  ඒ වනවිට ඔස්ට්‍රේලියාවට ඇවිත් ගතවී තිබුණේ සති කිහිපයක් පමණයි.

දරු දෙදෙනාත් බිරිඳත් ජීවත් කරවීමට  ක්‍රමයක් හොයමිනුයි ඔහු සිටියේ.  මම මා දැන සිටි හොඳම ක්‍රමය "කොළ දැමිම " ඔහුට අල්ලා දුන්නෙමි.

ඒ මා කොළ බෙදන පාරක සිටි "ශ්‍රි ලාංකික ඉංජිනේරුවෙක්" මගෙන් කල ඉල්ලිමක ප්‍රතිඵලයක් වශයෙනි.

දිමුතු සොයාගෙන මා ඔහුගේ නිවසට ගිය මුල්ම  දිනයේ ඔහුගේ අසල්වැසියා අපේ තවත් හිතවතෙක් වු බුද්ධි බව දැන ගත්තෙමි.

අප මෙන් අලුත  ලංකාවෙන් පැමිණි අයට බොහෝ උදව් උපකාර කල බුද්ධි දිමුතුලාටද සෑහෙන උදව් කල අයෙකි.

මෙසේ  මා හා සම්බන්ධ වු  දිමුතු තම සී වී එක හැදීම ආදිය සඳහා මා නිවසට පැමිණියේය.

මගේ පරිගණකය පාවිච්චි කර තම ලියකියවිලි සකස් කල ඔහු ඒ වන විට පී එච් ඩී සිසුවෙක් වු මා සායනික වෛද්‍ය මාවතට හරවන්නට අඩිතාලම දම්මේ මෙලෙසයි.

මේ කියන කාලයේ දී  දිමුතුට මා  සොයා දුන් රැකියාවට අමතරව තවත් සුලු සුලු රැකියා ලැබී තිබුණු අතර තවත් ශ්‍රී ලාංකික පවුල් කිහිපයක්  මිතුරන් ලෙස එක් වී තිබිණි

"මචන් කවිඳු මම උඹට කියන්නමයි හිටියේ. .  මෙහේ ඉන්න  ලංකාවේ උන් මහ අමුතු පොරවල් .

මේ ලඟදි මට එකෙක් කියනවා  මම නිකම් පැන්ශන් ගිය පොලිස් කාරයා වගේලු.

දොස්තර කම නොකරන දොස්තරලා ඒ වගෙයි කියලා අපිට සවුත්තුව දානවා බන් මේ යක්කු.

 මම කොහොම හරි විභාගේ දාගන්නවා  ඔවුන්ට උණ ගැනෙන්න. ඔය යක්කු උඹටත් එක එක කතා කියනවා මං හිතන්නේ.

ඔය  PhD තියෙද්දි උඹත්  AMC exam කරපන්  කෝ බන්. අපි දෙන්නට එකට පාඩම් කරන්නත් පුලුවන් එතකොට. "

'උන් මොනාද බං දන්නේ . ඔය ගොඩ දෙනෙක් මිකැනික් හරි අසියිලම් අරන් හරි ආපු අයනේ.

මෙඩිසින් වල තියෙන එක එක පැති ගැන ලොකු දැනුමක් උන්ට නෑ ඔහේ කටට එන පලියට එක එක දේවල් කිව්වට.

 උඹ ඕවා ගණන් ගන්න එපා බං . උඹේ පාඩුවේ විභාගේ කරපං.

මමත් ටික ටික AMC එකට වැඩ කරන්නම් . හැබැයි මම විභාගේ කරන්නේ PhD එක ඉවර වෙලා. ලන්කාවෙ එවුන් ඕන දෙයක් කියා ගද්දෙන්  "

"හහ් හහ්  හා ඒ වා මම දන්නේනෑ .

ඔය කවිඳුවා ලෙඩ්ඩු බලන්න බයයි. ඒකයි ඔය කැම්පස් එකට වෙලා ඉන්නේ 

කියලා තමයි ලන්කාවේ උන් උඹ ගැන නම් කියන්නේ"

මෙසේ දිමුතු ගෙන් ලැබුණු අධික බල කිරීම නිසාම  PhD එකේ අවසාන හරිය කරමින් සිටි මම  ඔස්ට්‍රේලියානු වෛද්‍ය කවුන්සිලයේ (AMC)  විභාගයට සූදානම් වන්නට තිරණය කලෙමි.

ඔස්ට්‍රේලියානු වෛද්‍ය කවුන්සිලයේ විස්තර 



ඔස්ට්‍රේලියානු වෛද්‍ය කවුන්සිලය (AMC)  යනු ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය වරුන් ලියාපදිංචි කරන ආයතනයයි .

එය ශ්‍රී ලංකාවේ වෛද්‍ය කවුන්සිලයට ( Sri Lanka Medical Council)  සමාන සේවාවක් සලසන ආයතනයකි. 

ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරයෙක් ලෙස ලියාපදිංචි වීමට නම් දිමුතුත් මමත් දෙදෙනාම (අප විදේශ උපාධි ලබා ගත් අය නිසා ) මේ විභාගයෙන් සමත් විය යුතුය. 

ඒ වන විට අප සිටියේ අඩිලේඩ් පුරවරයේ. 

ඇඩිලේඩ් යනු විභාගයට සූදානම් වන පිරිස් ( ලන්කාවේ මෙන්ම ඉන්දියාව, බන්ග්ලාදේශය වැනි රටවල දොස්තරවරු ) අඩුවෙන්ම සිටින පළාතක්.  

විභාග සුදානම් විමේ පහසුකම් වුණත් හරි අඩුයි.

මේ විභාගය කරන බොහෝ දෙනෙක් මෙල්බන් හරි සිඩ්නි හරි යන්න පෙලඹෙනවා.

හේතුව ඒ නගර දෙකේ AMC exam කරන අය වැඩි වීමත් , ඒ වෙනුවෙන් ඇති පහසුකම් වැඩි වීමත්,  යන කරුණු දෙකයි ( විශේෂයෙන් මෙල්බන් නුවර )

මට PhD එක නිසා විභාගෙට වැඩ කරන්න වුණේ අඩුවෙන්.

දිමුතු "ඇලන්" නම් තවත් ශ්‍රි ලාංකික දොස්තර කෙනෙක් ( රුසියානු  උපාධිධාරියෙක්)  සහ ඔහුගේ බිරිඳ  (තවත් රුසියානු උපාධි ධාරිණියක් ) සමග පාඩම් කලා.

මේ නව සම්බන්ධතා සමගා දිමුතු මගෙන් ඈත්වී ගිය අතර මම තනියම විභාගයට වැඩ කරන්න පටන් ගත්තා.

ඔස්ට්‍රේලියානු වෛද්‍ය කවුන්සිලය  හරහා  ලියාපදිංචි වීමට අප විසින්  AMC part 1 and  Part 2 නම් විභාග දෙකක් කල යුතු වුණා.
මුලින්ම තිබුණු part 1 එකට බහුවරණ ප්‍රශ්ණ 300ක් තිබුණා. වර්ත්මානයේ එය 150ක් දක්වා අඩු කරලා තියෙන්නේ.

එය පරිගණක ගත විභාගයකින් කල යුතුයි. විභාග ගාස්තුවම ඩොලර් 2000ක් වගේ මට මතක

මමත් දිමුතුත් මුලින්ම වැඩ කලේ මේ පළමු කොටස කරන්න.

AMC exam පළමු කොටස කරන්න අපට ඉඩ ලැබෙන්නේ අපේ උපාධි පිළිගත් වෛද්‍ය විද්‍යාලයකින් ලබා ගෙන ඇති බව තහවුරු කර ගැනිමෙන් පසුවයි.

Primary course verification නම් වු මේ ක්‍රියාවලියට මස දෙක තුන්ක් හෝ ඊට වැඩි කාලයක් ගතවෙන්න පුලුවන් (ඔබ උපාධිය ගත් විශ්ව විද්‍යාලයේ කාර්යක්ෂමතාවය අනුව ).

දිමුතු සහ ඇලන් මට පෙරාතුව විභාගයට පෙන සිටි අතර මම reasech එක කරන අතරේ හෙමින් හෙමින් විභාගයට සූදානම් වුණා.

ඒ තවත් ශ්‍රී ලාංකික වෛද්‍යවරියක් ලබා දුන් පැරණි බහුවරණ ප්‍රශ්න පත්‍ර උපයෝගී කරගෙන.

ඊට අමතරව විශ්ව විද්‍යෑලයේ පුස්තකාලයෙන් බහුවරණ ප්‍රශ්ණ පොත් සහ අනෙකුත් පොත් ගෙනැත් බැලුවා.

මේ අතර ඒ වන විට පත්තර බෙදීම නවතා වැඩිහිටියන් බලාගන්නා තැනක වැඩ කල දිමුතු රාත්‍රී සේවය් මුර වැඩියෙන් කරන්නට වුණා.

 හේතුව ලෙස ඔහු කිව්වේ සියලු නේවාසිකයින් නින්දට ගිය පසු ඔහුට විභාගයට පාඩම් කරන්නට ගොඩාක් ඉඩ ලැබෙන බවයි .

ටික කලක් මෙසේ ගෙවී යද්දී ඇලන් යුවලත්  දිමුතුත් විභාගයට පෙනී සිටි බව මට ආරංචි වුණා.

මේ  වන විට මමත් ටිකෙන් ටික විභාග කරන මාවතට පිවිස සිටි අතර මා ඉගෙනගත් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ට කල "පාර්ට් ටයිම්"  ඉගැන්විමත් මගේ විභාග සූදානමට බෙහෙවින් ප්‍රයොජනවත් වුණා. 

මෙසේ මාස දෙක තුනක් ගෙවී යද්දී මට දුරකතන ඇමතුමක් ලැබුණා.

ඒ දිමුතුලා නිවසට අල්ලපු නිවසේ සිටි   බුද්ධි ප්‍රසන්න නම් අපෙ හිතවතා ගෙන් .

"කවිඳු අන්න ඔයාගේ යාලුවා දිමුතු විභාගෙන් පාස් වෙලා .

හෙට අනිද්දාම  ඩොක්ට කෙනෙක් විදිහට වැඩ පටන් ගන්නලු යන්නේ.

මමනම් කියන්නේ ඔයාටත් ඔය විභාගේ කරන්නයි තියෙන්නේ .

දිමුතුට පුලුවන් නම් ඔයාට තවත් හොඳට පාස් වෙන්න පුලුවන්නේ.

 ඔයා කැම්පස් කොල්ලොන්ටත් උගන්නන එකේ"


දිමුතුටත් වඩා මා විභාගය වෙනුවෙන් උනන්දු කල අනෙක්  පුද්ගලයා වූ  "බුද්ධි" මා හට පැවසුවේය.

"නියමයි බුද්ධි දිමුතුවාට නම් දැන් හරි.

ඒක නෙවෙයි ඇලන්ලට කොහොමද?  ඒ දෙන්නත් ගොඩ ගියානම් නියමයි නේද? "

"නෑනේ ඒ දෙන්නම ෆේල් වෙලානේ .හැබැයි ආපහු කරයි"

මට දිමුතු ගැන අධික සතුටක් දැනුණු අතර මටත් විභාගය කල හැකි බවක් ද දැනෙන්නට වුණා.

ඇලන් ලා අසමත් වීම ගැනත් කනගාටුවක්  දැනුණේ ඔවුන් දෙදෙනාත්  දිමුතුලා වගේම අලුත් රටක අලුත් ජීවන රටාවකට හුරුවෙන අතරේ සුලු සුලු රැකියා කරමින් සිටි අය බව මා හොඳින් දැන සිටි නිසයි .

AMC සංඛ්‍යා ලේඛණ වලට අනුව  විභාගයේදී ශ්‍රී ලන්කා උපාධිදාරින් රුසියානු උපාධිධාරීන්ට වඩා  ඉදිරියෙන් ඉන්නා බවත් සනාථ වී තිබුණා.








ඊලඟ කොටස ( AMC- part 1) මෙතැනින්

Tuesday, 21 February 2017

&*%$ නිවසේ දැන් තත්වය











අනාරක්ෂිත වහලයක් යට කුඩා දරු දැරියන් තිදෙනක් සිටී නිවසක් ගැන මම ඔබට කිව්වේ මිට මාස කිහිපයකට පෙරයි.

ඒ අපේ ගමේ පාරම්පරික ඉඩම් හිමිව තිබී පසුව ඒවා ටිකින් ටික අහිමි වී ගිය &&*%$ සහ ඔහුගේ පවුලේ විස්තරයයි.




රංජිත්ගේ නිවස අප සමබන්ධ වන විට තිබුණේ මෙහෙමයි 

තරුණ එළවලු ගොවියෙකු ලෙස මා &*%$ත්ලාගේ කුඹුරේ එළවළු හැදු සැටිත් වසර දෙකක් අප එසේ කරනු බලා සිටි &*%$ ඉන් පන්නරය ලබා එලවලු වගාවට බැස්ස හැටිත් මම ඔබට කීවෙමි.

මේ කතා සියල්ලෙන් අනතුරුව අපි &*%$ ලාගේ නිවස ළමයින් සහ ඔහුට ආරක්ෂිතව ජිවත් විය හැකි තත්වයකට ගොඩනගන්නට තීරණය කළෙමු.

අවශ්‍ය ප්‍රතිපාදන මගෙන් සහ මගේ බ්ලොග්  සහ මුහුණු පොතේ හිතවතුන්ගෙන් .

අපි ලඟදි ලංකාවට ගිය වෙලාවේ &*%$ ලා මුණ ගැහෙන්න ගියා . අපේ බ්ලොග් හිතවතා "ලොකු පුතා " දුන්න ෆිලර් එහෙම අරගෙන.

&*%$ ගේ ළමයින්ට තෑගිබෝග එහෙම අරගෙන අපේ නිම්මිත් මා සමග ගියා.

මේ චයාරුප වලින් පෙනෙන්නේ &*%$ නිවසේ අලුත්ම තත්වය. පෙනෙන හැටියට එයාලට කුස්සිය කපරාරු කරගන්න සහ වයරින් එක ඉවර කර ගන්න බැරිවෙලා තාම ..


&*%$ නිවසේ ඉදිරිපස  පෙනුම



කුස්සිය (  කපරාරු කරවන්න බැරිවුණ)


&*%$ ගේ බිරිඳ කුස්සියේ ( මෙසේ යට තියෙන්නේ ලොකුපුතා දුන්න ෆිලර් ටින් දෙක/කළු පාට බැරල් දෙක  )


කාමරයක් , &*%$ත්ගේ එළවළු වලට බෙහෙත් ගහන ටැංකිය පසෙකින් 



ළමයි පාඩම් කරන මේසය  ( භාගෙට කල වයරින් එකත් සමග ) 


  විසිත්ත කාමරය 



Sunday, 19 February 2017

'The Path to Sigiriya' a Painting by Lasith Kulasekara!

මා ආ මගට පෙර වදනක් ( කුඩා කල මට හමුවු දොස්තරලා)



පසුගිය කාලපයෙන් 

මා මේ කියන්නට යන කතාව ගොඩනැගෙන්නේ මගේ ලමා කාලයත් තරුන කාලයත් අතර සිදුවු සිද්ධි දාමයක් මුල් කරගෙනයි.

මට දොස්තර වරයෙක් සමග මුලින්ම ගනුදෙනු කරන්නට ලැබෙන්නේ මට වයස හයක්-හතක් පමන වු කාලයකයි.

ඒ කාලයේ අපේ තාත්තා දුශ්කර සේවය නිසා නිවසින් බැහැර ගොස් සිටි අතර අප බලාගත්තේ අම්මා විසිනි.

මට හමුවු මුල්ම  දොස්තර 


ඒ නමසිය හැත්තැ හතේ වසරයි. ජේ. ආර්. ජය්වර්ධන මැතිතුමා රට භාරගත් අලුතම වාගේ දවසක්.

කුඩා දරු දැරියන් කිහිප දෙනෙක් සමග පැමිනි මවක් ඉස්පිරිතාලේ ලඟින් බස් එකෙන් බැස්සා.

ලමුන් ටිකත් ඇදගෙන ඈ මුලින්ම පිය නගන්නේ අසල ඇති හෙලමුදුනේ කඩයට"




මුදලාලි මට ශත විසිපහේ මුද්දර දෙකක් දෙන්න"

"ඇයි   නන්ගි පුතාලාට බෙනේත් ගන්නද? "

ඔව් මුදලාලි මේ ලමයින්ට තුවාල වගයක් හැදිලා .   ඒවා දැන් පැසවා ගෙන එනවා වගේ. "

මුද්දර ටිකත් රැගෙන ලඟ ඇති රෝහල වෙත පිය මනින ඇය බෙහෙත් ගන්න ආ රෝගින් සිටි පෝලිමට එකතු වුනා. 

 (ඒ කාලේ ආන්ඩුවේ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්නට යද්දී ශත විසිපහේ මුද්දරයක් රැගෙන ආ යුතුය)


පෝලිම කෙලවරේ වෙන තැන  මේසයක  ඉන්නේ ඇටෙන්ඩන් නෝනා කෙනෙක්. 

මුද්දර ටික අතට ගත් ඇටෙන්ඩන් නෝනා හා කතාවට පිවිසෙන ඒ මව (අපේ අම්මා) 

"අද කවුද ඉන්නේ? ලොකු මහත්තයද? දෙවෙනි මහත්තයද?  යැයි ඇයගෙන් විමසා සිටියාය. 

"මේ වෙලාවේ ඉන්නේ දෙවෙනි මහත්තයා. 

ඩීඇම්මෝ මහත්තයා වෝඩ් රවුන්ඩ් ඉවරවෙලා තමයි ඔපීඩියට එන්නේ"

පෝලිම ටිකෙන් ටික කෙටි වී  ගොස් අප දැන් සිටින්නේ  වෛද්‍ය වරයා සිටින  ස්ථානයට  ආසන්නවය. 

එතනත් තව ඇටෙන්ඩන් කෙනෙකි. 

"ඔයාලගේ වෙලාව හොඳයි. මේ දැන් ඩීඇම්මෝ මහත්තයා වෝඩ් රවුන්ඩ් ඉවරවෙලා ආවේ."

අප පරික්ශා කල  දොස්තර මහතා අපේ තුවාල  ආසාධනය වී ඇති බවත්  ඒ හරහා වකුගඩු ආදියට හානි විය හැකි බවත් අම්මාට පැවසුවේය. 


"මේ ලමයින්ට ඉන්ජෙක්ශන් කෝස් එකක් දෙන්න වෙනවා"  

යැයි අම්මාට පැවසු ඔහු අප හට පෙනිසිලින් එන්නත නිර්දේශ කලේය. 


ඒ අනුව  මට හමුවු මුල්ම දොස්තර මහතා DMO  (District Medical Officer) කෙනෙක් වු අතර  රජයේ විශ්ව විද්‍යාලයක උපාධිය ලැබු MBBS වෛද්‍ය වරයෙක් විය. 

ඒ කාලේ අපේ ඉස්පිරිතාලේ ඔපීඩි එකේ ( Out Patient Department ) වැඩිපුරම හිටියේ  දෙවැනි මහත්වරුන්ය. 

ඔවුන් වාට්ටුවේ රොගීන් බැලුවේ  DMO නිවාඩු ගිය විට පමනි.  

රොහලේ බාහිර රෝගී අන්ශය පාලනය කල ඔවුන්ට  මහතාට වඩා රෝගින් සමග ගනුදෙනු කරන්නට අවස්තාව ලැබී තිබුනි.

රෝගීන් සමඟ තිබුන මේ සමීප බව නිසාම  ඊට කලින් අපේ ඉස්පිරිතාලේ සිටි දෙවැනි මහත්තයා රෝහල් සේවයෙන් ඉවත් වී සිටියේය. 

ඒ තමාගේම පුද්ගලික බෙහෙත් ශාලාවක් දමා ගැනීම සඳහායි. 

එසේ රජයේ සේවයෙන් සම්පුර්ණයෙන් ඉවත් වී හැත්තෑ ගණන් වලම අපේ පැත්තේ ප්‍රයිවෙට් කලේ පරන්ජෝති නම් ද්‍රවිඩ වෛද්‍ය වරයෙකි .

සාමාන්‍ය මිනිසුන්ට මේ දෙගොල්ලන්ම දොස්තර වරු වුවද මේ අයගේ වෛද්‍ය අධ්‍යාපණයේ මූලික වෙනස් කම් රාශියක් තිබේ. 

ඒ  ගැන කියන්නට පෙර මට හමුවු දෙවැනි දොස්තර ගැන කියවමු.

මට හමුවු දෙවැනි දොස්තර


මේ සිදුවිම් මාලාව වන විට මගේ වයස අවුරුදු දහයක්  හෝ එකොලහක්.

කුඩා කාලයේම වෙළ්ඳාමට හුරු වූ මම වෙසක් සැමරීමට සුදානම් වෙමිනුයි හිටියේ.

වෙසක් එකට මගේ ප්ලෑන් එක වුණේ වෙසක් කාඩ් කඩයක් දාන එක.

අපේ වත්ත පහලින් පාරේ යන සෝමෙගේ ලමයින්ට එහෙම වෙසක් කාඩ් විකුණන්නයි බලාපොරොත්තු වුණේ.

වත්තේ පල්ලැහැට ගිල මම  ටර්පන්ටයින් අත්තක් කපන්න ගත්තේ වෙසක් කාඩ් කඩේ වහලේ හරස් ලීයට දාන්න හිතාගෙන.

ලියේ උඩ දණහිස තියා ගත් මම ඒ කෙලවරට ගහපු වක් පිහිපාර කෙලින්ම මගේ දකුණු දණහිස පසාරු කළා.

මතකේ හැටියට එච්චර ලේ ආවේ නෑ.

මම වක් පිහියත් අතින් අරගෙන තුවාලයත් අතින් වහාගෙන කුස්සිය දිහාවට කන්ද නැග්ගා.

අඩිය තියන වාරයක් පාසා "චර චර" ගාමින් මගේ දණහිස සද්ද වෙනවා.

ලොකු තුවාලයක් තිබුණත් මට බයස් දැණුනේම නෑ.

"අම්මා මගේ කකුල කැපුනා"

දෙය්යනේ!!  ලොකු තුවාලයක්  නේ. චුටි පුතා උඹ මොනාද මේ කරගත්තේ?

තුවාලේ තරම දැක්ක අම්මා හොඳටම භයවුණා.

එතකොට වෙලාව හවස හය හමාරට විතර ඇති.

හරිනම් ඒ   වෙනකොට  තාත්තා වෑන් එකේ වැඩ ඉවර කරලා පුන්චිරාළ මාමලා කඩේට ඇවිත් ඉන්න ඕනේ.

"චුටි දුවලා ගිහිං බලපන් තාත්තා පුංචි රාළ මාමලා කඩේද ඉන්නේ කියලා.

ඉක්මනට එන්න කියපං මල්ලි ඉස්පිරිතාලේ ගෙනියන්න.

මේකා හුඟක් යටට කපාගෙන. ඉස්පිරිතාලේ නවත්තන්නත් වෙයිද දන්නේ නෑ . ඉක්මනට පලයන් ඔතන බලා ඉන්නේ නැතිව. "

අම්මා වහ වහා අක්කා වෑන් එක ගේන්න පිටත් කර යැව්වා.



ටික වෙලාවකින් පුංචි රාළ මාමලා වෑන් එකත් අරගෙන තාත්තා ආවා. ඉස්සරහ සිට් එකේ පුංචි රාළ මාමත් හිටියා.

දෙන්නම තරමක් අනුමත වී තිබුණු බවයි පෙන්න තිබුණේ.

"හා නගින්න නගින්න පුතා "  මාමා මාව ඉක්මන් කෙරෙව්වා.

"බලන්නකෝ අය්යා මේ කොල්ලත් කර ගන්න දේවල් .

ගියා මහා ලොකුවට වෙසක් කාඩ් කඩ දාන්න "

අම්මා  මගේ ඔළුව අතගාමින් පැවසුවා.

"ලොකු තුවාලයක් අය්යා . මෙයාට නම් ගාණක් වත් නෑ.  අච්චර දුරක් ඇවිදන් ආවනේ සද්දයක් වත් නැතිව

හිරිවැටිලා වෙන්න ඇති මයේ හිතේ "

 ඇය මම මෙතරම් ගැඹුරු තුවාලයක් තබාගෙන මීටර් 100-200ක් ඇවිදගෙන ආ එක ගැන පුදුම වෙමින් පැවසුවා.

" හරි අපි යන් එහෙනම් . නංගි එන්න ඕනේ නෑ . අපි දෙන්නා ගිහින් එන්නම් "

පුංචි රාළ මාමා අම්මාට පවසනවාත් සමගම ඩෙලිකා එක නගරය බලා පිටත් වුණා.

හෙලමුදුන ඉස්පිරිතාලේ ලං වෙද්දී  පුංචි රාළ මාමා තම හඬ අවදි කළා.

"දොරේ අපි විජයජෝති එකට යන් . දැන් ඉස්පිරිතාලේ ගියොත් ඔතන ගොඩක් වෙලා බලන් ඉන්න වෙනවා.

මහත්තයා තව ටිකක් රෑ වෙනකන් දිස්පැන්සරියේ ඉන්නවා"

තාත්තාත් කිසිත් නොකියා තම හාම්පුතාගේ අදහසට එකඟවෙමින් වෑන් එක නගරය බලා ධාවනය කළා.

පුංචි රාළ මාමා ලොකු මුදලාලි කෙනෙක් නිසා ඒ කාලේ බෙහෙත් ගත්තේ "විජයජෝති එකෙන්"

ඒක  ඉස්සර ඉස්පිරිතාලේ හිටපු විජයජෝති කියන දෙවැනි මහත්තයා ගේ බෙහෙත් සාප්පුව.

"ඉන්න දොරේ මම මහත්තයා ඉන්නවද බලලා එන්නම් "

බෙහෙත් සාප්පුව ලඟට ගිය සැණින් පුංචි රාළ මාමා ඉස්සර වුණා.

මමත් තාත්තාත් වෑන් එකට වෙලා ඉන්නවා.

"දොරේ මහත්තයා නම් ඉන්නවා. හැබැයි ටිකක් බීලා ඉන්නේ .

 පුතා එක්කං එන්න කිව්වා බලන්න."

මාමා ගේ හිතවත් කම නිසා දොස්තර මහතා මා බලන්නට එකඟ වූ සෙයකි.

තාත්තාත් මමත්  මාමා පසුපසින් විජයජෝති එක ඇතුළට ගියෙමු.

"කෝ වාඩි වෙන්න බලන්න " දොස්තර මහතා මා පරික්ෂා කරන්න පටන් ගත්තා.

" පිහියේ තුඩ නේද වැදුනා කිව්වේ?

ටිකක් ඇතුළට කැපිලා.  මේකට මැහුම් දාන්න වෙනවා.

ලෝකල් දිදී ඉන්න ගියොත් තවත් රිදෙනවා. අපි මෙහෙම්මම මහලා දාමු "

දොස්තර මහතා අමු අමුවේම මගේ තුවාලය මහන්නයි සුදානම.

"මිසී ඔය සුචර් ට්‍රේ එක ලැස්ති කරන්න.  ලෝකල් ඕනේ නෑ "

තාත්තාගේ  හෝ මාගේ විරෝධයක් නැති බව දුටු ඔහු වැඩට බැස්සා.

මතක හැටියට විජයජෝති බැලුවේ තුවාලේ ගැන විතරයි.

 රුධිර සැපයුම ,ස්නායු හෝ පේශි ක්‍රියාකාරිත්වය වැනි දේවල් චෙක් කිරීමක් විජයජෝති අතින් සිදු වුණේ නෑ.

මගේ නහයට ඔහුගේ මුවින් පිටවන මධ්‍යසාර ගඳ වහනය වෙද්දී  ( මින් යම් තරමක නිර්වින්දනයක්  සිදුවන්නට ඇති )  විජයජෝති  ජරබර ගා මගේ තුවාලය මැහුම් හතරකින් වසා දැම්මා.

තම ඉදිකට්ටට ලොකු බයිට් එකක් නොගත් ඔහු මැහුම් දැම්මේ සමේ උඩම ස්ථරයට පමණයි.

  මෙය  සනාථ වුයේ සති කිහිපයක් ගත වෙද්දී තුවාලය සනීප වුවද මගේ දණහිස කොට්ට ගෙදයක් මෙන් ඉදිමෙන්නට ගැනීමත් සමගයි.

මැහුම් දැමීමෙන් පසු බෙහෙත් කරල් තොගයක්  මට ලියා දුන් ඔහු මැහුම් කපන්නට දවස් හතකින් එන ලෙස පවසා අප පිටත් කලා.

"රුපියල් එකසිය පනහයි . " ගාණ කියද්දී තාත්තා උඩ ගිය බව පෙනුණත් පුංචිරාළ මාමා ඔහුගේ බිය තුනී කලේ

"දොරේ මම බිල ගෙවන්නම් " කියමින්.

කාලය ගෙවී ගොස් තුවාලය වියලුනු අතර විජයජෝති මහතා මැහුම් කැපීමෙන් පසු අපි ඔහුගෙන් ඉවත් වුණා.

එහෙත් මගේ දකුණු දණහිස වමට වඩා ඉදිමෙන්නට පටන් ගත්තා. ලොකු කැක්කුමක් තිබුණේ නැති නිසා මම පුරුදු පරිදි පාසල් යන්නත්  ගොවි තැන් වැඩ කරන්නත් පටන් ගත්තා.

ඉදිමුම පෙනන්න ගියේ තවත් දොස්තර මහත්තයෙක් ලඟට ඒ  අපේ පැත්තේ MOH (Medical Officer of  Health)මහත්තයා ඔහුගේ නිලනිවසේ ගරාජයේ කල ප්‍රයිවට් එකට.

සතිපතා ඔහු ලඟට යන අපට බෙහෙත් කරල් පොදියක් (amoxcyllin සහ cloxacillin) දෙන ඔහු

"මේ බෙහෙත් ටික බීලා බලමු ඉදිමුම් බහියි"කියමින් අප අස්වැසුවා.

මාස දෙක තුනක් ගිය තැන ඉදිමුම අඩු නැති නිසා තාත්තා මාව බදුල්ලේ central එකට අරන් ගියේ ස්ර්ජන් කෙනෙකුට පෙනන්න.

"මේක  අයින් කරන්න ඕනේ.  හෙට සර්ජරි එක කරනවා අද 18 වාටුවට ඇතුල්වෙන්න"

මගේ දණහිස  පරික්ෂා කල ස්ර්ජන් මහත්තයා පැවසුවා.

මගේ වර්තමාන දැනුම අනුව සිද්ධිය මෙසේ සම්පිණ්ඩනය කල හැකියි. :

දණහිස අවට ඇති පටක වර්ග , සම සහ අනිකුත් ස්තර ගැන කිසිදු අවභෝදයක් නොතිබූ පරන්ජෝති

(ඇපොතිකරි පාඨමාලවට  ගොඩක් human anatomy උගන් වන්නේ නැත)  යටින් ඇති ස්තර සියල්ල අමතක කර  හමේ ඉහල ස්ථරය පමණක් මසා තිබේ.

එහෙත් මගේ වක් පිහි පහර කෙලින්ම දණහිස් සංදියේ ඇති  ලසිකා පටලයද සිදුරු කර හංදිය තුලටම ගොස් තිබේ.

මට ඇතිවී තිබුණේ එම පටල අතර ලේ එකතු වීම නිසා ඇතිවූ joint effusion එකකි.

මගේ වෙලාවට එය ආසාදනය නොවී තිබුණි.

 MOH දුන් ප්‍රතිජීවක එම ආරක්ෂාවට හේතුව වුවද  නිට්ටාවටම සුව වීමට අවශ්‍ය ශල්‍යකර්ම ගැන MOH වත් සිතුවේ නැත.

හංදිය අසාදනය වී septic arthritis නම් තත්වයට ගියා නම් අද මෙය ලියන්නට කවිඳු කෙනෙක් නැත.


කව්ද මේ දෙවැනි මහත්වරු (ඇපොතිකරි වරු ) ?

මා දන්නා හැටියට දෙවනි මහත්වරු හෙවත් AMP වරු තෝරාගත්තේ  උසස් පෙළ වැඩ 3ක් සමත් අයගෙනි.  

මැතිවරණ කොට්ටශයකින් එක් අයෙක් මේ සඳහා බඳවා ගත් අතර ඔවුන්ට අවුරුදු දෙක හමාරක පුහුණුවක් ලබා දෙන ලදී. 

මගේ මතකය නිවැරදි නම් ඔවුන් පුහුණු කෙරුණේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ ආයතනයකයිනි. 

සමන්තත්  සමග උසස් පෙළ කල ඔහුගේ පන්ති සගයෙක් 1984 දී අපේ ගමෙන්  AMP කෝස් එකට තේරුණා මතකය. 

ඒ කාලේ අපේ සමන්ත කිව හැටියට  (උසස්පෙළ ප්‍රතිඵල මේඩිසින් යන්න මදි වේවි යැයි සිතු සමන්තද  AMP ට්‍රයි කලා මට මතකය)  පළාතේ මන්ත්‍රී තුමාගේ අත්සන මේ අයදුම් පත්‍රයට අත්‍යවශ්‍ය විය.

ඒ අනුව ශ්‍රී ලංකා කාරයකු වූ සමන්තට නොලැබුණු මන්තී‍්‍ර අත්සන ආර්. ඇම්. අප්පුහාමි මහතා ගෙන් ලබා ගත් සුමින්ද අය්යා අපේ පළාතෙන් AMP කෝස් එක කරන්නට ගියේය.  (සුමින්දට තිබුණේ වැඩ හතරකි).

සුමින්දට වඩා හොඳ ප්‍රතිඵල ගත් අපේ සමන්ත පේරාදෙණියේ රජයේ විශ්ව විද්‍යාල උපාධිය සඳහා තේරුණේ අප කාගේත් සිත් සතුටු කරමිණි. 

මේ AMP වරු තේරෙන ක්‍රමය ගැන එක් කතාවක් පමණි. 

ඊට පෙර වසරක අපේ පැත්තෙන් AMP ගොස් තිබුණේ  ශ්‍රී ලංකා එකේ ප්‍රභල සාමාජිකයෙකු ගේ පුත් රුවනකි ( පසු කලෙක එම ශ්‍රී ලංකා සාමාජිකයා ඌව පළාත් සභා මන්ත්‍රී කෙනෙක් වුණා මට මතකය ) 

පැවති රජය යුඇන්පී වුවද තාත්තගේ සම්බන්ධ කම් හරහා මේ කියන තැනැත්තා  AMP යන්නට ඇත. 

මුල් කාලයේ වතු දොස්තර වරු ලෙසත් , පසුව රෝහල් බාහිර රෝගී අංශ වලත් සේවය කල මේ AMP වරු පසුකාලීනව  පුද්ගලික අංශයට  හෝ ත්‍රිවිධ හමුදා ආදියට අනුයුක්ත වුහ. 

මම පේරාදෙණිය වෛද්‍යපීටයේ උගන්වන කාලය වනවිට AMP පාඨමාලව නවතා දමා තිබිණි. 

ප. ලි. 

බ්ලොග්, මුහුණු පොත් ආදියේ හෝ ඔබ අපට එදිනෙදා හමුවන "දොස්තර මහතුන්"අතර AMP මහත්වරු වේ නම් ඒ අය 

මේ විජයජෝති මහතා වැනි සහ  මන්ත්‍රී චිට් වලින් අපේ ගමෙන් ගිය අය්යලා දෙන්නා වැනි අය  විය හැකි බවද/ සමහර විට එසේ නොවිය හැකි බවද කරුණාවෙන් සලකන්න.

ඊලඟ  කොටස මෙතනින් 

Saturday, 18 February 2017

මා ආ මග (මම ඔස්ට්‍රේලියාවේ සායනික වෛද්‍ය වරයෙක් වෙන්නට කල දේවල්)


මේ දිනවල ලන්කාවේ  වැඩිපුරම  කතාවෙන  මතෘකාව  තමයි පෞද්ගලික  අධ්‍යාපනය  සහ  එය  ප්‍රමිතිගත කිරීම.

සායනික වෛද්‍ය වරයෙක් වෙන්නට කල යුතු  දේවල් මොනවාද යන්න ගැන හරි අවබෝධයක් නොමැති අය පවා  බ්ලොග් අවකාශයේ වෛද්‍ය වරුන් දැඩිලෙස විවේචනය කරන අයුරුද දුටුවෙමි.

මේ බ්ලොග් පොස්ට් මාලාව වෛද්‍ය අධ්‍යාපනයේ විවිධ පැති ගැන සාකච්චා කිරිමට යොදා ගන්නට සිතුවේ එබැවිනි.

මේ කතාබහට  ශ්‍රි ලන්කාවේ දැනට වෛද්‍යවරුන් ලෙස වැඩ කරන/හඳුනා ගන්නා කන්ඩායම් කිහිපයක් ගැනත් කියන්නයි මගේ බලාපොරොත්තුව


"පොදු, පෞද්ගලික හෝ විදේශගත" යන කුමන අකාරයකින් කලත් වෛද්‍ය අධ්‍යාපනය ලෙහෙසි පහසු එකක් නොවේ.

මේ කන්ඩායම් වලින්  සමහරකට (විදෙස් උපාධි ලබා ගත් අය අයට)  ඊටත් වඩා අමාරු  වන්නේ සායනික වෛද්‍යවරයෙක් ලෙස ලන්කාවේ ලියාපදින්චි විමේ කටයුත්තයි.

ඒ අපහසුතාවට ඒ අකාරයෙන්ම හෝ ඊටත් වඩා වැඩියෙන් ලන්කාවෙන් විදේශගත වන වෛද්‍ය වරුනට  මුහුන දෙන්නට සිදුවන හැටි  ඉදිරියේදි  ..

අනාගත විදෙස් රැකියා බලාපොරොත්තුවෙන්   වෛද්‍ය අධ්‍යාපනය ලබන ඔබටත් මෙය මහඟු පිටිවහලක් වේවි!!!

ඊලග කොටස මෙතැනින් ( මා අග මගට පෙර වදනක් )

ඔස්ට්‍රේලියානු වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි විමේ තොරතුරු 

ඔස්ට්‍රේලියානු වෛද්‍ය කවුන්සිල  විභාගය පලමු කොටස  ( AMC part 1)