Friday, 22 February 2019

ලේ වල සීනි (දියවැඩියාව ) හැදෙන්නේ සීනී කෑමෙන්ද?


ලේ වල සීනි (දියවැඩියාව ) ඇතිවන්නේ අපි වැඩිපුර සීනි කන නිසාද? එහෙම නැත්නම් අපිකන අනෙක් කෑම වර්ග නිසාද කියලා හොයලා බලන්න වටිනවා. දියවැඩියාව කියන රෝග තත්ත්වයේදි සිදුවෙන්නේ අපේ ලේ වල තියෙන ග්ලුකෝස් ප්‍රමාණය ඉහළ යෑමයි.

අප ආහාරයට ගන්නා බත් , පාන් , අල , බතල ආදීයේ තිබෙන පිශ්ඨය (පිටි ) ශරීරය තුලදී සීනි (ග්ලුකෝස්) බවට හැරෙනවා. ආහාරයෙන් එන ග්ලුකෝස් මුලින්ම එකතුවන්නේ ලේ වලට. ලේ වලතිබෙන ග්ලූකෝස් අපේ සෛලවල (විශේෂයෙන් මාංශ පේශිවල) ශක්තිය නිපදවන්න යොදාගන්නවා.

දියවැඩියාව  සහ ඉන්සියුලින් අතර ඇති සම්බන්ධය මොනවගේද?


ශරීරයට එකතුවෙන ග්ලුකෝස් ලේ වලින් සෛලවලට යොමුකරන්න ඉන්සියුලින්  නම් හෝමෝනයක් තියෙනවා . අපේ ශරීරයේ නිපදවෙන ඉන්සියුලින් ප්‍රමාණය අඩු වුණොත් මොකද වෙන්නේ? අපි ගත්ත ආහාර වල තිබෙන ග්ලුකෝස් සෛලවලට ඇතුල්කරගන්න බැරිව ලේ වල රැඳී සංසරණය වෙනවා. මෙහෙම වුණාම තමයි අපේ ලේ වල සීනිවැඩිවෙලා දියවැඩියාව ඇතිවෙන්නේ.

ඒ කියන්නේ දියවැඩියාව කියන්නේ අපේ ශරීරයේ නිපදවෙන ඉන්සුලින් ප්‍රමාණය අඩුවීම නිසා ඇතිවෙන තත්වයක්. ඉන්සුලින් නිපදවන්නේ අපේ ආමාශයට පිටුපසින් තියෙන අග්න්‍යාශය නම් ග්‍රන්ථියක් මඟින්. මෙසේ නිපදවෙන ඉන්සුලින් මඟින් කරන්නේ අපේ ඇඟේ තිබෙන ග්ලුකෝස් පාලනය කිරීමක් . අපේ ආහාරයේ තිබෙන ග්ලුකෝස් සෛලවලට අවශ්‍ය ශක්තිය ලබාගන්නට යොමුකිරීම තමයි ඉන්සියුලින් මඟින් සිදුවන්නේ.

ආහාර , ව්‍යායාම සහ රැධිරයේ සීනී (ග්ලූකෝස්) පාලනය එකට සම්බන්ධවෙන හැටි බලන්න


සෛල ශක්තිය නිපදවන්න ඔනේ මොනවෙලාවටද? ඒවායේ ක්‍රියාකාරීත්වය වැඩිවෙන්න ඕන වුණාම . ඒ කියන්නේ අපි මහන්සිවෙන වෙලාවට , අපි ඇවිදිනකොට , දුවනකොට , පඩිපෙළ් නඟින කොට සෛලවල වැඩිපුර ග්ලුකෝස් දහනයවෙනවා ශක්තිය නිපදවන්න.

ඒ වගේම අපි එකතැන වාඩිවෙලාම ඉන්නවානම් එහෙම නැත්නම්  මෝටර්සයිකල්,ත්‍රීවීල් , කාර් බස්වලින්ම ගමන්කරමින් පයින් යන දුරප්‍රමාණය අඩුම කරනවානම් අපි ගත්ත ආහාරයේ තිබ්බ සීනි (ග්ලුකෝස්) එසේ දහනය වීම අඩුවෙනවා.කාලයක් තිස්සේ මෙහෙම වුණාම ඉන්සියුලින් වලටත් පාලනය කරගන්න බැරිතරම් අපේ ඇඟේ සීනි වැඩිවෙනවා . ඒ ආකාරයත් අපිට දියවැඩියාව ඇතිවෙන්න පුළුවන්.

ඔබේ වෛද්‍යවරයා , හෙදනිළධාරිනිය ඔබට නිතරම කෑම පාලනය කරන්න වැඩිපුර ව්‍යායාම කරන්න කිය කියා කියන්නේ ඇයිද කියලා දැන් තේරෙණවා නේද?

 දියවැඩියාව ඇතිවීම ප්‍රමාද කිරීමටත්, තිබෙන දියවැඩියාව පාලනය කිරීමටත් හොඳම ක්‍රමය  අපේ ආහාරයේ ඇති පිශ්ඨය සහ සීනි ප්‍රමාණය අඩු කිරීමත් එදිනෙදා කරන ක්‍රියාකාරකම් ප්‍රමාණය වැඩි කිරීමත්  තමයි.

දියවැඩියා රෝග තත්ත්වය දෙයාකාරයි. "පළමුවර්ගයේ දියවැඩියාව" ඇතිවෙන්නේ තරුණ අයට සහ කුඩා ළමයින්ට. ඔවුන්ගේ අග්න්‍යාශයේ නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය ඉතාම අල්පවීම නිසා තමයි ඔවුන්ට දියවැඩියාව ඇතිවෙන්නේ .මේ අයගේ අග්න්‍යාශයේ සෛලවලට ශරීරයේ ප්‍රතිදේහජනක පද්ධතිය මඟින්ම සිදුවන හානියක් නිසා තමයි කුඩා දරුවන්ට හා තරුණතරුණියන්ට ඇතිවන "පළමු වර්ගයේ දියවැඩියාව" අතිවෙන්නේ. මෙයාලට ජීවත්වෙන්න නම් ජීවිත කාලය පුරාම ඉන්සියුලින්  එන්නතක් විදිහට දෙන්න වෙනවා.

"දෙවන වර්ගයේ දියවැඩියාව"  ඇතිවන්නේ අවුරුදු තිහ හතළිහ වගේ වයසෙදි. ලෝකයේ දියවැඩියාව තියෙන අයෙගෙන් සියයට අනූවක් පමණම ඉන්නේ මේ දෙවන වර්ගයේ දියවැඩියාව තියෙන කට්ටිය.  දෙවන වර්ගයේ දියවැඩියාව දකින්නට ලැබෙන්නෙ අවුරුදු තිහ, හතළිහට වැඩි, තරබාරු එමෙන්ම තමන්ගන්න ආහාරයේ අධික පිෂ්ඨය සහ මේදය අඩංගු දේවල් තිබෙන මිනිසුන් අතර. මුල් කාලයේදි දෙවන වර්ගයේ දියවැඩියාව තනිකරම ආහාර සහ ව්‍යායාම මඟින් පාලනය කරන්න පුළුවන්. මේ දෙක හරියට නොකෙරුණුත් දියවැඩියා පාලන පෙති (මෙත්ෆෝමින් වැනි) ගන්නවෙනවා. කාලයක් යද්දී මේ අයටත්  ඉන්සියුලින් ගන්න සිද්ධවෙන්න පුළුවන් හරිහමන් දියවැඩියා පාලනයක් නැතිවුණොත්.

දියවැඩියාවේ රෝග ලක්ෂණ මොනවාද?



දියවැඩියාවත් එක්තරා ආකාරයකට අධිරුදිර පීඩනය (ප්‍රෙශර් එක) වගේ තත්ත්වයක් ලේ වල සීනි ප්‍රමාණය සෑහෙන්න වැඩිවෙන තෙක් කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නෑ. මේ අර්ථයෙන් ගත්තහම දියවැඩියාව කියන්නේ නිහඬ් මාරයෙක් කිව්වොත් නිවැරදියි.  

එහෙම නම් අපිට දියවැඩියාව තියෙනවද නැද්ද කියලා දැනගන්නේ කොහොමද? 

ඔබේ මව පියා , සහෝදරයා හෝ සහෝදරිය , පෙම්වතා පෙම්වතිය තරමක් තරබාරුනම්, තරමක් අලසව ඇඟපත වෙහෙසා වැඩ නොකරන කෙනෙක් නම්, නිතරම වාහනවලින් ගමන් කරන වැඩිපුර  පයින් ගමන් නොකරන කෙනෙක්නම් ඔවුන්  වෛද්‍යවරයෙක් වෙතට  රැගෙන ගිහින් රුධිරයේ ග්ලුකෝස් පරීක්ෂාවක් (රාත්‍රීකෑමෙන්පසු කිසිවක් ආහාරයට නොගෙන කරන) හෝ පසුගිය මාස තුනක කාලයේ රුධිරයේ සීනි මට්ටම පාලනය වූ අයුරු පෙන්වන "එච් බී ඒ වන් සී"/HbA1C පරීක්ෂාව කරගන්න ඕනේ . මේ පරීක්ශා දෙකෙන් ඔහුට ඇයට දියවැඩියාව තියෙනවද  (විශේෂයෙන් දෙවන වර්ගයේ දියවැඩියාව )කියලා හොයාගන්න පුළුවන්.

රුධිරයේ ග්ලුකෝස් මට්ටම සෑහෙන්න ඉහළගිය පසු (බොහෝ විට පළමුවර්ගයේ දියවැඩියාව හඳුනාගන්නේ මෙහෙමයී) රෝගලක්ෂණ සමූහයක් දකින්න පුලුවන්.


නිතර නිතර වැඩිපුර මුත්‍රා පිට කිරීම (පැයෙන් පැයට වගේ)
රාත්‍රී කාලයෙත් කිහිපවරක් මුත්‍රා පිට කිරීම
අධික පිපාසය
මහන්සිය සහ ශක්තිය නැතිගතිය
සුවනොවන තුවාල
නිතර නිතර ආසාදන (හමේ සහ පෙනහළු වල වගේ) ඇතිවීම
බර අඩුවීම (මෙය සිදුවන්නේ පළමුවර්ගයේ දියවැඩියාවෙදී 
සමහර විට ලිංගාශ්‍රිත ප්‍රදේශ වල කැසීම 
උච්චාවචනය වන  මනෝභාවය (මූඩ් එක)

Tuesday, 15 January 2019

Drawing a Rail Bridge Using Coloured Pens. (දෙමෝදර ආරුක්කු නවයේ පාළම )

ගියමාසේ මැද හරියේ අපි හිටියේ ලංකාවේ . බණ්ඩාරවෙල ගිය දවසේ පහුවදාම අපේ පුතාට  දෙමෝදර ආරුක්කු නවයේ පාළම බලන්න යන්න ඕනෑවුණා . උදේ පාන්දර වාහනේට නැගුණු අපි පැය භාගයක් වගේ කාලයක් ඇතුලත දෙමෝදරට ලඟා වුණා . එහිදි දෙමෝදර පාළමේ චායාරූපගොඩක් ගත්තු අපේ පුතා නැවත ඔස්ට්‍රේලියාවට ආපු ගමන් කරේ ඒ පාළම චිත්‍රයට නඟන එක . මේ තියෙන්නේ ඒ චිත්‍රය..

Saturday, 12 January 2019

බ්ලොග් ලියැවිල්ලක් හරහා හමුවූ අව්‍යාජ මනුෂ්‍යත්ත්වය




වජිර ද සිල්වා (මෙල්බන් සිටින වජිර මල්ලී) මට මුණගැහුණේ අහම්බෙන්.2015 මැද භාගයේ අප කිරිඔරුවේ  රංජිත් රාජපක්ෂගේ නිවසේ වැඩ ගැන ලියපු බ්ලොග් පෝස්ට් එකක් යට " මේ වගේ සමාජ සත්කාරක වැඩ වලට මම හරි කැමතියි . ඊලඟ වැඩේට මමත් මුදල් පරිත්‍යාගයකින් සහය වෙනවා . ඊලඟ සමාජ සත්කාරය ගැන මට කියන්න " කියලා කමෙන්ටුවක් දාලා තිබ්බා වජිර. එදා සිට මේ දක්වා අප කල සියළු වැඩවලට මුල්‍යමය වශයෙන් වගේම අදහස් සහ යෝජනා වලින් සහය වුණු වජිර මේ වෙනකොට අපේ නවතම ව්‍යාපෘති සැලසුම් කිරීමේ සිට ඒවාගේ මුදල් හුවමාරු කළමනාකරණය , ලංකාවේ අපේ වැඩ  කරවන නියෝජිතයින් සමඟ ගණුදෙනු ඇතුළු සියල්ල සිදු කරනවා. අපේ සමාජ සත්කාර වලට උදව් උපකාර කරන අයට නම් වජිර කියන්නේ හුරු පුරුදු නමක්. මගේ නමටත් වඩා. මෙච්චර ලොකු වැඩ කොටසක් කරගෙන ගිය වජිරයි මමයි ජීවිතේ පළමු වතාවට මුහුණට මුහුණ හමුවුණේ ඊයේ  (12/01/2019) වජිරගේ චූටි දූ සෙසඳිගේ පළමු උපන්දිනය දා...

Saturday, 22 September 2018

බුද්ධියට ඉඩ දෙන්න අවස්ථාවක්

වල් ඌරන්, වැලි මුවන් , මොණරුන් වගේම මෑතකදි අධික ලෙස තම ගහණය වැඩි කරගත රිලවුන් නිසා ගහක කොළක කිසිවක් බේරා ගත නොහැකි බව බණ්ඩාරවෙල සහ කෑගල්ලේ අපේ ගෙවල් වල කට්ටිය කියනවා. අප අදහන ආගමක් ඉස්සරහට දමා මිනිසුන්ගේ ජීවනෝපායට වින කරන සතුන් රැකිය යුතු යැයි නියමයක් නෑ. ක්‍රමානුකූල සතුන් දඩයමක් මඟින්(mass killing / culling රජය මඟින් කරනවා නම් වඩාත් හොඳයි)  එය පාලනය කලයුතුයි. විශේෂයෙන් රිලා වසංගතය තුරන් කල යුතුයි. බුද්ධියට ඉඩ දිය යුතු තැනුත් තියෙනවා හැම දේටම ආවේගශීලී නොවී...
කඩපිළ් ගානේ රස්තියාදු ගගහා හිටපු අපේ ගම්වල අය්යලා දඩාවතේ යන බල්ලන්ගේ කරේ රෙදිපටි ගහපු හැටි මට මතක් වෙනවා සෞඛ්‍ය අමාත්‍යාන්ංශයේ අදහසක් අනුව දඩාවතේ යන බල්ලන් විනාශ කරන්නට එන බලුවෑන් එක එනකොට අසූගණන් වල අපි පොඩි කාලේ .. පිස්සු බලු රෝගය Rabies  ගැන ඒ ගමේ අය්යලා දැනගෙන ඉන්න නැතිව ඇති.. රිලවුන් වගේ සතුන්ගෙනුත්   Rabies බෝවෙනවා

Wednesday, 29 August 2018

කසාය එහෙම නැද්ද ?


පසුගිය ලිපියෙන් අපේ පුතා අම්මා සමඟ හෙමිබිරිස්සාව ගැන වාද කල හැටි ලිව්වා .

මේ පාර ලියවෙන්නේ එතැනින් පස්සේ සිදු වෙච්ච දේවල්.

මට හොඳටම හෙම්බිරිස්සාව නිසා ගෙදරට වී විවේක පාඩුවේ හිටියට අපේ පුතා එක්ක ඒ වැඩ හරියන්නේ නෑ. එයාට යාළුවොත් එක්ක ටෙනිස්, ටේබල් ටෙනිස් හෝ බැරිම වුණොත් බැඩ්මින්ටන් ගහන්න හරි යන්න ඕනෑ.

නිම්මී නම් ඒකට කියන්නේ  "කහඹිලියා ගාය"  කියලා.

 නැත්නම් " මෙයාට පොඩ්ඩක් ගෙදර පුටුවකට වෙලා වාඩිවෙලා ඉන්න එහෙම බෑ ඇයි එයාගේ ඇඟ කහනවා නේ ඇඟේ පතේ හිරි ඇරගන්න බැරිවුණොත්"  කියලා විහිළු කරනවා.

කොහොමින් කොහොම හරි ඒ සෙනසුරාදාත් ඉරිදාත් දවස් දෙකේම සුපුන්ට බැඩ්මින්ටන් ගහන්න යන්න ඕනෑ වුණා. මමත් බැරි මර ගාතේ ජර්සි ජැකට් ඇඳගෙන ඉහේ ඉඳන් පොරවාගෙන හරි ගිහින් එයාව බැඩිමින්ටන් ගහන ගෘහස්ථ ක්‍රීඩාංගනයට එයා ගිහින් දානවා.
ලොකු පොඩි හැමෝමත් එක්ක එයාට සෙල්ලම් කරන්න හැරලා ගෙදර ඇවිත් ආපහු ගිහින් එක්කං එනවා.

එන යන ගමන් අපි ලංකාවේ දේශපාලනය ගැන, ආර්ථිකය  ගැන , දුප්පත් කම තුරන් කරන්න සුපුන් කරන යෝජනා ගැන වගේම ඉස්කොලේ යාළුවෝ , කෙල්ලො ඉන්න කොල්ලෝ ආදී වැදගත් අවැදගත් සියළු දේවල් කතා කරනවා.

අපේ ගෙදරත් ක්‍රීඩාංගණයත් අතර දුර කිලෝමීටර් දහයක් විතර වෙන නිසා මේ ටික යන්න වාහනයට ගතවෙන කාලය අනුව අපේ සාකච්චා සම්මන්ත්‍රණ වලට සැලකිය යුතු ඉඩක් එනවා.

 මේ වතාවේ මට හෙම්බිරිස්සාව හැදී සිටි නිසා මම ඉන්න ගමන් අපේ හාදයට එයාගෙම අදහස් මතක් කරලා අනතුරු හඟවනවා.

"හරි දැන් ඔයා මාවත් ඇදගෙන කාර් එකේ එහා මෙහා යන්නකෝ ඔයාටත් ලඟදීම බෝගේ එයි"

(අපි හෙම්බිරිස්සාවට බෝගේ කියන්නේ අපේ අම්මාගේ වචනයක් කුලියට අරං එයා පොඩි කාලේ මට කියනවා

"පලයංකෝ ඔය එක එක ගෙවල් වල රිංගන්න. උන් ගේ ගෙදර ඔක්කොටම හෙම්බිරිස්සාවලු . උඹටත් බෝගේ දෙයි ඔවුන්" කියලා )

"තාත්තා හිතන්නේ කාර් එකේ එකට යන ටිකෙන් විතරයි කියලද හෙම්බිරිස්සාව බෝ වෙන්නේ? ඔයා ගෙදර ඉද්දි දොරවල් අල්ලනවා . කෑම මේසේ අත ගෑවෙනවා. කුස්සියේ ගිහින් තේ හදද්දි මගේ කෝප්පෙ අල්ලනවා. වලං පිඟන් අතපත ගානවා . ඔය හැමවෙලාවේම  බෝගය පැතිරෙණ වෛරස් එක කෙනෙක් ගෙන් කෙනෙක්ට මාරුවෙන්න පුළුවන් "

අපේ හාදයා මට හෙම්බිරිස්සාව බෝවෙන ක්‍රම ගැන උගන්වනවා.

" හරි හරි ඒක තමයි කෑම කන්න, කෑම හදන්න ඉස්සෙල්ලා වගේම ටොයිලට් ගියාට පස්සේ හෙම්බා හැදිලා නම් නහය හීරුවට පස්සේ එහෙම හොඳට සබන් දාලා අත හෝදන්න කියන්නේ. ඔයා දන්නවද අත් හේදීම මගින් ගොඩාක් ලෙඩ වර්ග බෝවෙන එක නවත්තන්න පුළුවන් "

මමත් මගේ "දොස්තර තොප්පිය දාගන්න ගමන්" සුපුන් ට ලෙක්චර් එකක් දුන්නා.

සති අන්තය ගෙවිලා සඳුදාට එළිය වැටිලා . මම තවමත් ලෙඩ නිවාඩු පිට නිසා ඇඳට වෙලා ඉන්නවා. අම්මයි පුතයි දෙන්න කුස්සියේ . ඇයි ඉස්කෝලෙ දවසක් නේ සුපුන්ට.

ඔන්න සඳුදා උදේ පාන්දරම කුස්සිය පැත්තෙන් සද්දයක් එනවා. නිම්මියි අපේ පුත්‍රයයි අතර සාකච්චාව පටන් අරන්. නිම්මි සුපුන්ටයි මටයි උදේට කෑම හදන අතරේ සුපුන් එයාට ඉන්න තැනට ඉස්සරහ තියෙන මේසේට වෙලා තේ එක බොනවා.  ඒ අතරේ හුස් හුස් ගාමින් නහයත් ඉහළට අදිනවා.

"අම්මා කසාය එහෙම නැද්ද ගෙදර ? "



ඇයි මොකද? එපා කියද්දි තාත්තත් එක්ක කාර් එකේ රවුම් ගහලා ඔයත් බෝගේ හදා ගත්තද?"

(අපි නිතරම කියන වචන  අහලා නිම්මිත් තම නැන්දම්මාගේ වචනේ භාවිතයට අරන්)

"කසාය ගෙදර  නෑ නේ පුතා අපිට ලඟකදි සිංහල කඩේ යන්න බැරිවුණානේ තාත්තට දිගටම වැඩනිසා"

එහෙනම් පැනඩෝල් එකක් දෙන්න. සුපුන්ට හෙම්බිරිස්සාව දරුණු වෙන්නට ඉස්සෙල්ලා කඩා ගන්න ඕනෑවෙලා බව හොඳට තේරෙනවා. එයා එක එක ප්‍රතිකාර නිම්මිගෙන් ඉල්ලනවා.

නිම්මි සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික හෙදියක් වගේමයි.

" එච්චර පැනඩෝල් බොන්න හොඳ නෑ ළමයෝ චුට්ටක් ඉන්නවා ලෙඩේ ඇත්තටම එනකම්" කියමින් සුපුන්ව  බේත් හේත් වලින් ඈත් කරන්න බලනවා.

"ඒක නෙවෙයි හෙම්බිරිස්සාව වගේ නම් ඉස්කෝලේ නොයා ඉන්න තියෙන්නෙ අද , මොකද අනික් කොල්ලොන්ටත් ඇතිනේ ඕක මේ දවස්වල ? "

නිම්මි සාම්ප්‍රදායික ලාංකික මවකගේ චරිතය රඟ දක්වනවා.

"හහ් හහ් හා .. අම්මා මොක්ක්ද මේ කියන්නේ? මම ගෙදර හිටියත් බෝගේ එනවා. ඉස්කොලේ ගියත් බෝගේ එන්න පුළුවන් ඇයි තාත්තටත් හෙම්බිරිස්සාව නේ ? ඔන්න ඔහේ මම ඉස්කෝලේ යනවා "

සුපුන් නැවතත් තමන්ට ඕනි දේ කරගන්නේ කොහොමද යන්න මටත් පෙන්වා දෙමින් පැවසුවා.


හරි හරි ඔයා ඉස්කෝලෙ යන්න මම තාත්තත් එක්ක මෙල්බන් ගිහින් හාල් තුනපහ බඩුත් අරගෙන ඔයාට බොන්න කසායත් අරගෙන එන්නම්කෝ නිම්මි තම පුත්‍රයාට නැවතත් වරක්  ජයගන්නට ඉඩ හරිමින් පැවසුවා.

මේ අතරේ ලිපේ ඉඟුරු , සුදුළුණු , කොත්තමල්ලි සහ වෙනිවැල් ගැට සහිත කසාය මුට්ටියක් තැම්බෙනවා මට පෙනෙනවා ( පස් පංගුව පැකට් ගෙදර නැතිනිසා නිම්මි ගෙදර හැදූ කසායක් තම්බනවා ) .

ඔන්න ඕකයි කසාය  මුට්ටිය පිලිබඳ අපේ කතාව