Friday, 19 April 2019

ටොමියා


එක්දාස් නමසිය අසූ ගණන්වල බණ්ඩාරවෙල අපේ ගම් පැත්තේ මේ වගේ දර්ශන හරි සාමාන්යයයි.
බෝංචි ගෝණියක්, වම්බටු ගෝණියක්මෙහෙම හිසින් අරන් එන සිංහල , දෙමළ ගොවියෝ, ගෙවිළියෝ හරියට හිටියා අපේ පැත්තේ.
උදැල්ල කටින් අරන් නොගියාට අපිටත් මේ වගේම හිතවත් බල්ලෙක් හිටියා ටොමියා කියලා . කුඹුරට , වතුපිටිවලට අපිත් එක්ක උදේහවා ගමන් කරන. ඒ දවස් වල ටොමියා අල කොටු, තක්කාලි කොටුවල පැල් රකින්න ගියහැටි මතක්වෙනකොටත් හිනායනවා.

Friday, 22 February 2019

ලේ වල සීනි (දියවැඩියාව ) හැදෙන්නේ සීනී කෑමෙන්ද?


ලේ වල සීනි (දියවැඩියාව ) ඇතිවන්නේ අපි වැඩිපුර සීනි කන නිසාද? එහෙම නැත්නම් අපිකන අනෙක් කෑම වර්ග නිසාද කියලා හොයලා බලන්න වටිනවා. දියවැඩියාව කියන රෝග තත්ත්වයේදි සිදුවෙන්නේ අපේ ලේ වල තියෙන ග්ලුකෝස් ප්‍රමාණය ඉහළ යෑමයි.

අප ආහාරයට ගන්නා බත් , පාන් , අල , බතල ආදීයේ තිබෙන පිශ්ඨය (පිටි ) ශරීරය තුලදී සීනි (ග්ලුකෝස්) බවට හැරෙනවා. ආහාරයෙන් එන ග්ලුකෝස් මුලින්ම එකතුවන්නේ ලේ වලට. ලේ වලතිබෙන ග්ලූකෝස් අපේ සෛලවල (විශේෂයෙන් මාංශ පේශිවල) ශක්තිය නිපදවන්න යොදාගන්නවා.

දියවැඩියාව  සහ ඉන්සියුලින් අතර ඇති සම්බන්ධය මොනවගේද?


ශරීරයට එකතුවෙන ග්ලුකෝස් ලේ වලින් සෛලවලට යොමුකරන්න ඉන්සියුලින්  නම් හෝමෝනයක් තියෙනවා . අපේ ශරීරයේ නිපදවෙන ඉන්සියුලින් ප්‍රමාණය අඩු වුණොත් මොකද වෙන්නේ? අපි ගත්ත ආහාර වල තිබෙන ග්ලුකෝස් සෛලවලට ඇතුල්කරගන්න බැරිව ලේ වල රැඳී සංසරණය වෙනවා. මෙහෙම වුණාම තමයි අපේ ලේ වල සීනිවැඩිවෙලා දියවැඩියාව ඇතිවෙන්නේ.

ඒ කියන්නේ දියවැඩියාව කියන්නේ අපේ ශරීරයේ නිපදවෙන ඉන්සුලින් ප්‍රමාණය අඩුවීම නිසා ඇතිවෙන තත්වයක්. ඉන්සුලින් නිපදවන්නේ අපේ ආමාශයට පිටුපසින් තියෙන අග්න්‍යාශය නම් ග්‍රන්ථියක් මඟින්. මෙසේ නිපදවෙන ඉන්සුලින් මඟින් කරන්නේ අපේ ඇඟේ තිබෙන ග්ලුකෝස් පාලනය කිරීමක් . අපේ ආහාරයේ තිබෙන ග්ලුකෝස් සෛලවලට අවශ්‍ය ශක්තිය ලබාගන්නට යොමුකිරීම තමයි ඉන්සියුලින් මඟින් සිදුවන්නේ.

ආහාර , ව්‍යායාම සහ රැධිරයේ සීනී (ග්ලූකෝස්) පාලනය එකට සම්බන්ධවෙන හැටි බලන්න


සෛල ශක්තිය නිපදවන්න ඔනේ මොනවෙලාවටද? ඒවායේ ක්‍රියාකාරීත්වය වැඩිවෙන්න ඕන වුණාම . ඒ කියන්නේ අපි මහන්සිවෙන වෙලාවට , අපි ඇවිදිනකොට , දුවනකොට , පඩිපෙළ් නඟින කොට සෛලවල වැඩිපුර ග්ලුකෝස් දහනයවෙනවා ශක්තිය නිපදවන්න.

ඒ වගේම අපි එකතැන වාඩිවෙලාම ඉන්නවානම් එහෙම නැත්නම්  මෝටර්සයිකල්,ත්‍රීවීල් , කාර් බස්වලින්ම ගමන්කරමින් පයින් යන දුරප්‍රමාණය අඩුම කරනවානම් අපි ගත්ත ආහාරයේ තිබ්බ සීනි (ග්ලුකෝස්) එසේ දහනය වීම අඩුවෙනවා.කාලයක් තිස්සේ මෙහෙම වුණාම ඉන්සියුලින් වලටත් පාලනය කරගන්න බැරිතරම් අපේ ඇඟේ සීනි වැඩිවෙනවා . ඒ ආකාරයත් අපිට දියවැඩියාව ඇතිවෙන්න පුළුවන්.

ඔබේ වෛද්‍යවරයා , හෙදනිළධාරිනිය ඔබට නිතරම කෑම පාලනය කරන්න වැඩිපුර ව්‍යායාම කරන්න කිය කියා කියන්නේ ඇයිද කියලා දැන් තේරෙණවා නේද?

 දියවැඩියාව ඇතිවීම ප්‍රමාද කිරීමටත්, තිබෙන දියවැඩියාව පාලනය කිරීමටත් හොඳම ක්‍රමය  අපේ ආහාරයේ ඇති පිශ්ඨය සහ සීනි ප්‍රමාණය අඩු කිරීමත් එදිනෙදා කරන ක්‍රියාකාරකම් ප්‍රමාණය වැඩි කිරීමත්  තමයි.

දියවැඩියා රෝග තත්ත්වය දෙයාකාරයි. "පළමුවර්ගයේ දියවැඩියාව" ඇතිවෙන්නේ තරුණ අයට සහ කුඩා ළමයින්ට. ඔවුන්ගේ අග්න්‍යාශයේ නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය ඉතාම අල්පවීම නිසා තමයි ඔවුන්ට දියවැඩියාව ඇතිවෙන්නේ .මේ අයගේ අග්න්‍යාශයේ සෛලවලට ශරීරයේ ප්‍රතිදේහජනක පද්ධතිය මඟින්ම සිදුවන හානියක් නිසා තමයි කුඩා දරුවන්ට හා තරුණතරුණියන්ට ඇතිවන "පළමු වර්ගයේ දියවැඩියාව" අතිවෙන්නේ. මෙයාලට ජීවත්වෙන්න නම් ජීවිත කාලය පුරාම ඉන්සියුලින්  එන්නතක් විදිහට දෙන්න වෙනවා.

"දෙවන වර්ගයේ දියවැඩියාව"  ඇතිවන්නේ අවුරුදු තිහ හතළිහ වගේ වයසෙදි. ලෝකයේ දියවැඩියාව තියෙන අයෙගෙන් සියයට අනූවක් පමණම ඉන්නේ මේ දෙවන වර්ගයේ දියවැඩියාව තියෙන කට්ටිය.  දෙවන වර්ගයේ දියවැඩියාව දකින්නට ලැබෙන්නෙ අවුරුදු තිහ, හතළිහට වැඩි, තරබාරු එමෙන්ම තමන්ගන්න ආහාරයේ අධික පිෂ්ඨය සහ මේදය අඩංගු දේවල් තිබෙන මිනිසුන් අතර. මුල් කාලයේදි දෙවන වර්ගයේ දියවැඩියාව තනිකරම ආහාර සහ ව්‍යායාම මඟින් පාලනය කරන්න පුළුවන්. මේ දෙක හරියට නොකෙරුණුත් දියවැඩියා පාලන පෙති (මෙත්ෆෝමින් වැනි) ගන්නවෙනවා. කාලයක් යද්දී මේ අයටත්  ඉන්සියුලින් ගන්න සිද්ධවෙන්න පුළුවන් හරිහමන් දියවැඩියා පාලනයක් නැතිවුණොත්.

දියවැඩියාවේ රෝග ලක්ෂණ මොනවාද?



දියවැඩියාවත් එක්තරා ආකාරයකට අධිරුදිර පීඩනය (ප්‍රෙශර් එක) වගේ තත්ත්වයක් ලේ වල සීනි ප්‍රමාණය සෑහෙන්න වැඩිවෙන තෙක් කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නෑ. මේ අර්ථයෙන් ගත්තහම දියවැඩියාව කියන්නේ නිහඬ් මාරයෙක් කිව්වොත් නිවැරදියි.  

එහෙම නම් අපිට දියවැඩියාව තියෙනවද නැද්ද කියලා දැනගන්නේ කොහොමද? 

ඔබේ මව පියා , සහෝදරයා හෝ සහෝදරිය , පෙම්වතා පෙම්වතිය තරමක් තරබාරුනම්, තරමක් අලසව ඇඟපත වෙහෙසා වැඩ නොකරන කෙනෙක් නම්, නිතරම වාහනවලින් ගමන් කරන වැඩිපුර  පයින් ගමන් නොකරන කෙනෙක්නම් ඔවුන්  වෛද්‍යවරයෙක් වෙතට  රැගෙන ගිහින් රුධිරයේ ග්ලුකෝස් පරීක්ෂාවක් (රාත්‍රීකෑමෙන්පසු කිසිවක් ආහාරයට නොගෙන කරන) හෝ පසුගිය මාස තුනක කාලයේ රුධිරයේ සීනි මට්ටම පාලනය වූ අයුරු පෙන්වන "එච් බී ඒ වන් සී"/HbA1C පරීක්ෂාව කරගන්න ඕනේ . මේ පරීක්ශා දෙකෙන් ඔහුට ඇයට දියවැඩියාව තියෙනවද  (විශේෂයෙන් දෙවන වර්ගයේ දියවැඩියාව )කියලා හොයාගන්න පුළුවන්.

රුධිරයේ ග්ලුකෝස් මට්ටම සෑහෙන්න ඉහළගිය පසු (බොහෝ විට පළමුවර්ගයේ දියවැඩියාව හඳුනාගන්නේ මෙහෙමයී) රෝගලක්ෂණ සමූහයක් දකින්න පුලුවන්.


නිතර නිතර වැඩිපුර මුත්‍රා පිට කිරීම (පැයෙන් පැයට වගේ)
රාත්‍රී කාලයෙත් කිහිපවරක් මුත්‍රා පිට කිරීම
අධික පිපාසය
මහන්සිය සහ ශක්තිය නැතිගතිය
සුවනොවන තුවාල
නිතර නිතර ආසාදන (හමේ සහ පෙනහළු වල වගේ) ඇතිවීම
බර අඩුවීම (මෙය සිදුවන්නේ පළමුවර්ගයේ දියවැඩියාවෙදී 
සමහර විට ලිංගාශ්‍රිත ප්‍රදේශ වල කැසීම 
උච්චාවචනය වන  මනෝභාවය (මූඩ් එක)

Tuesday, 15 January 2019

Drawing a Rail Bridge Using Coloured Pens. (දෙමෝදර ආරුක්කු නවයේ පාළම )

ගියමාසේ මැද හරියේ අපි හිටියේ ලංකාවේ . බණ්ඩාරවෙල ගිය දවසේ පහුවදාම අපේ පුතාට  දෙමෝදර ආරුක්කු නවයේ පාළම බලන්න යන්න ඕනෑවුණා . උදේ පාන්දර වාහනේට නැගුණු අපි පැය භාගයක් වගේ කාලයක් ඇතුලත දෙමෝදරට ලඟා වුණා . එහිදි දෙමෝදර පාළමේ චායාරූපගොඩක් ගත්තු අපේ පුතා නැවත ඔස්ට්‍රේලියාවට ආපු ගමන් කරේ ඒ පාළම චිත්‍රයට නඟන එක . මේ තියෙන්නේ ඒ චිත්‍රය..

Saturday, 12 January 2019

බ්ලොග් ලියැවිල්ලක් හරහා හමුවූ අව්‍යාජ මනුෂ්‍යත්ත්වය




වජිර ද සිල්වා (මෙල්බන් සිටින වජිර මල්ලී) මට මුණගැහුණේ අහම්බෙන්.2015 මැද භාගයේ අප කිරිඔරුවේ  රංජිත් රාජපක්ෂගේ නිවසේ වැඩ ගැන ලියපු බ්ලොග් පෝස්ට් එකක් යට " මේ වගේ සමාජ සත්කාරක වැඩ වලට මම හරි කැමතියි . ඊලඟ වැඩේට මමත් මුදල් පරිත්‍යාගයකින් සහය වෙනවා . ඊලඟ සමාජ සත්කාරය ගැන මට කියන්න " කියලා කමෙන්ටුවක් දාලා තිබ්බා වජිර. එදා සිට මේ දක්වා අප කල සියළු වැඩවලට මුල්‍යමය වශයෙන් වගේම අදහස් සහ යෝජනා වලින් සහය වුණු වජිර මේ වෙනකොට අපේ නවතම ව්‍යාපෘති සැලසුම් කිරීමේ සිට ඒවාගේ මුදල් හුවමාරු කළමනාකරණය , ලංකාවේ අපේ වැඩ  කරවන නියෝජිතයින් සමඟ ගණුදෙනු ඇතුළු සියල්ල සිදු කරනවා. අපේ සමාජ සත්කාර වලට උදව් උපකාර කරන අයට නම් වජිර කියන්නේ හුරු පුරුදු නමක්. මගේ නමටත් වඩා. මෙච්චර ලොකු වැඩ කොටසක් කරගෙන ගිය වජිරයි මමයි ජීවිතේ පළමු වතාවට මුහුණට මුහුණ හමුවුණේ ඊයේ  (12/01/2019) වජිරගේ චූටි දූ සෙසඳිගේ පළමු උපන්දිනය දා...