Monday, 30 May 2016

පුවක් බාස්ගේ තෙසක් රිය


පසුගියදා  අපේ සහෝදර බ්ලොග් කරුවෙක්  වූ ඉකොනමැට්ටා  විසින් ලංකාවේ  තෙසක් රිය  (ත්‍රී වීලර් ) භාවිතය  පිළිබඳ  ලියු හරවත්  ලිපියක් පළවිය.

එය  කියවමින්  සිටිනා  අතරේ මා මාවනැල්ලේ දී  සිදු වූ සිදුවීමක්  වෙත ඇදී ගියේ  ඉබේටමය.

ඒ 2006  අවුරුද්දේ ආරම්භක දිනවලින්  එකකි.  අපේ මග නැගුම  වැඩ සටහන අවසන් වී  ගත වුයේ  දින කිහිපයක් පමණි.

අපට නැවතත්  අප සිටි රට  බලා පිටත් වීමට තිබුනේ  මාසයක  පමණ  කාලයකි. පාරේ වැඩ අවසන් කල අප නැවතත්  පොල් වගා වැඩ වල යෙදෙමින් සිටියෙමු.

ඒ එවැනි දවසක් අවසන් කර සිටි අවස්ථාවකි.  වෙලාව  රාත්‍රී  අට අට හමාර පමණ වන්නට ඇත.

මමත් ලෙනදොර ත්  සාලයට  වී ලයිව් ඇට් එයිට්  බලමින් සිටියෙමු. 

ඩිග්. ඩිග්  . ඩිග්  අළුත  කැපු පාර  අපේ  මිදුලට  වැටෙන හරියෙන් වගේ ඇසෙනා  අඩි  ශබ්දයකි.

එය  අපි සිටිනා සාලය  පැත්ත  පසු කර නිම්මිලා  කුස්සිය  පැත්තට  ඇදී  නැති වී  ගියේය.
සුළු  මොහොතකින්  අප  දෙදෙනා  සිටි දෙසට  දිව  ආ  නිම්මිගේ  නංගි  අමරා..

" අන්න  යාළුවෙක්  ඇවිල්ලා දොස්තර මහත්තයා  හොයාගෙන   " යැයි පැවසුවාය.

"කවුද ? කවුද?  පුවක්  ද?"  ලෙනදොර  ඇසුවේ ඒ දිනවල  අපේ  හොඳම  මිතුරා  ඔහු  බැවිණි.

"ඔව් .... ඔව්  ... එයා තමයි හොඳටම බිලා  . දොස්තර  මහත්තයා  එක්ක වැදගත්  කාරණයක්  කතා කර ගන්න තියෙනවා  කියන්නේ "

" වැදගත්  කාරණා කතා කරන්න  බිලා  ඇවිල්ලා  හරියන වැයි?   සාකච්චාවකට  නම් හොඳ  සිහියෙන්න  එන්න  එපැයි.?"

මා පැවසුවේ  පුවකාට  ඇති අකමැත්තකට වඩා  රෑ  බෝ වෙද්දී  බිමත්  ම්නිසුන්  ගෙවල්  වලට ගෙන්වීම  ගැන මා හට  නිම්මි ලා ගෙන් දොස් අසන්නට  සිදු විය  හැකි බව ඉවෙන් මෙන් දැනගැනීම නිසාය.

"මොකක්දෝ  බෑග් එකකුත්  ගෙනැල්ලා හංග ගෙන  ඉන්නවා.  අපිට පෙන්නන්නේ  නෑ . දොස්තර මහත්තයට  පෙන්නන්න ගෙනාවැයි  කියන්නේ ?"

අමරා  නෝක්කාඩුව කට  මෙන් මා දෙස බැලීය.  අවුරුදු ගණනාවක්  අසල්වාසීන් වූ ඔවුන්ට වඩා  පිටගම් කාර  මා වෙත  පුවක් බාස්ගේ  ගේ ඇති ආකර්ෂණය ඇයට ගැටළුවක්  වී ඇති සෙයකි.

මේ අතර  ඇතුල් කාමරයේ  සිට අප වෙත පැමිණි නිම්මි..  " මේ කියන්න තියෙන දෙයක්  අහගෙන ඉක්මණට ආපහු යවනවා.. " යැයි මට පුර්ව අවවාදයක්  සැපයුවාය.

" යමු මල්ලි මොකක්ද මිනිහා කියන්නේ බලන්න.. "  මම  ලෙනදොරත්  සමග  කුස්සියට  පියමැන්නෙමි.

" කොහොමද ප්‍රේමරත්න  දැන්  අළුත් පාරේ  යනවා නේද කට්ටිය  අත පය දිගෑරලා ? "

"ඔව් .. ඔව් .. ඔය  සමහරු වැඩේ  හොඳ කම  ගැනත් කියන්නේ,  හිත ඇත්නම් කරන්න බැරි දෙයක්  නෑ කියලා එහෙම "

"කවුද කවුද  ඔය අපි කරපු  දේවල් වල  හොඳ කියන  අය  ?"

"බිලින්ගහ වත්තේ  ජයසේකර  අය්යා මා දැක්ක  කිව්වා  ඒ වගේ කතාවක්. "

"ඉතින්  මොනවද මේ  මට පෙන්නන්න  ගෙනාවා කිව්වේ ?"

එතෙක්  මා සමග  දොඩමලු වූ  පුවකා එක්වරම  හැඟුම් බර විය .

තමා රැගෙන  ආ  "ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට්" ප්ලාස්ටික්  මල්ලට  අත දමද්දී  ඔහුගේ නෙතඟ  රැදුණු කඳුළු බිඳුවක් යන්තමට මෙන් දිස් වනු දුටුවෙමි.

" මෙන්න  .. "  ප්‍රේමරත්න බිම බලාගෙනම  මල්ලෙන් යමක්  ඇද මා අත  තැබිය.

"මේ මොකක්ද  මේ  ?  පාස් පොර්ට් එකක් නේ ?"

මම මා අතට දුන් කුඩා  කුණු ලේ පැහැති කුඩා  පොත් පිංච පෙරලන්නට  වුයෙමි.

" රැකියාව : බරවාහන   රියදුරු  ..  ඇතුල්විය හැකි රටවල් : සියළුම  රටවල්   " එහි සඳහන් වී තිබිණි.

මේ අතර කිසිත් නොදෙඩු පුවකා තවත් පොත් පිංචක්  මා අත තැබීය.

" මේ  බැංකු  පොතක් නේ  . මට  මොකටද  බැංකු පොත්  දැන්  ?  අපි පාර කපලා  ඉවරයි නේ "

මා  එසේ කීවද  පුවකා ගේ හැටි දන්නා මා  මේ එන්නේ වෙන පොටකට  විය හැකි බව ඉවෙන් මෙන් තේරුම් ගෙන සිටියෙමි.

එසේ  කියමින්  ජාතික ඉතිරි  කිරීමේ  මේ බැංකුවේ  තිබූ ප්‍රේමරත්නගේ   ගිණුමේ  විස්තර  වෙත  මගේ දෙනෙත් යොමු කලෙමි.

සති පතා  මුදල් තැන්පත්  කල  විස්තර  සඳහන් පේලි අතර මගේ දෙනෙත් ඉබිගමනින්  දිව යන අතර සිත අවුරුදු  දහයක්  පහළොවක්  පිටිපසට වේගයෙන් දිව ගියේය.

දිවගොස් නැවතුනේ  මගේ මුල්ම  බැංකු පොත මාරගස්වැල්ල  කුඹුරේ එළවලු වගාවෙන් සහ  ගමේ ළමුන්ට   උපකාරක  පංති කිරීමෙන් ලද   මුදලින් සෙමින් සෙමින් පිරවුන  තැනයි.

මදක් එහි සැරිසැරූ මා නැවතත් වර්තමානයට  පැමිණියෙමි.

" සෝමරත්නට  මොකද දැන් අපේ කෙරෙන්න  ඕනෑ...?"

කිසිත් නොකියා බිම බලා  තම පාදයේ  මහපට  ඇඟිල්ලෙන්  පොලවේ රටා  අඳින  පුවකා ගෙන්  ඇසුවෙමි.

"දොස්තර මහත්තයා  අපේ පාර  හදා දුන්නා  . දැන් මට මගේ  හිතේ තිබුණ අනික් හීනය හැබෑ කර ගන්න උදව් කරන්න ඕනේ."

"ඔය බැංකු පොතේ ලක්ෂ  එක හමාරක් තියෙනවා  . මට රෝද  හතරක්  ගන්න උදව් කරන්න,"

ලෙනදොර, අමරා  , කරුණා අක්කා නොහොත් නිම්මිලා අම්මා ඇතුළු පිරිස  ගල් ගැසී මෙන්  මා කුමන පිළිතුරක්  දේදැයි බලා සිටිති.

මට මේ අහිංසක හැබෑ දිරිය ගති ඇති මිනිසාගේ  ඉල්ලීමට  පිටු පෑ  නොහැක.  එහෙත් හදිසියේ ලක්ෂ  හත අටක්  වැනි මුදලක් මොහු වෙත ප්‍රධානය  කරන්නට  හැකියාවක් ද  නැත.

මා  බලා සිටින්නේද   මුල්මාස කිහිපයේ  ඉතා දුෂ්කර විය හැකි ඔස්ට්‍රලියාවේ  උසස් අධ්‍යාපන  ශිෂ්‍ය ජිවිතයක් වෙත යන්නටය.

ඒ සියල්ල සිතේ සක්මන් කරද්දී   මම පුවාකාට  පිළිතුරු දුන්නෙමි.

"දැන් ප්‍රේමරත්නට වාහනයක්  මොකටද?  පොල් පලන එක අතහැරලා වෙන බිස්නස් එකකට යන්න ද ?"

" නෑ  .. නෑ  .. මම දිගටම පොල්  පලන එක කරනවා ඒකෙ  ආදායම හොඳයිනේ . ඒ අතරේ හයර් අවොත් වාහනේ දුවනවා. "

"ඒ කියන්නේ වාහනේ  ගන්නේ ගෙදර නවත්තලා තියන්න ?"

"ඔවු  ගොඩක් දවස් වල  ගෙදර තියෙයි.  වැඩකට   හයර් එකකට   දුර යන්න  වුනොත් වාහනේ  යනවා.

පස්සේ  කාලෙක  පොල් පලන්න  මැෂින් එකක් ගන්නත් හිතන්  ඉන්නවා . එහෙම වුනොත් වාහනයක්  තියෙන එක හොඳයිනේ  ඒක එහා මෙහා ගෙනියන්න "

මම නැවතත් කල්පනාවට  වැටුනෙමි.

වැඩිපුර  ගෙදර  නවතා තබමින් අත්‍යවශ්‍ය අවස්ථාවකදී  වැඩට යන්න ( පොල් පලන්න යන්න). ගස් කපන යන්තරයක් වැනි දෙයක්  රැගෙන යන්නට කියාපු වාහනය  ත්‍රී විලරයයි.

"ඒක  නෙවෙයි  ප්‍රේමරත්න රෝද  හතරක් නෙවෙයි  තුනක් ගත්තොත්  ඔය වැඩේම  කර ගන්න පුළුවන් නේද ? පෙට්‍රල්  වලට එහෙම වියදම් වෙන ගානත්  අඩුයිනේ?"

"ත්‍රී විලරයක් ගන්න තව කියක් විතර  යනවද"

"ලක්ෂ තුනක් විතර වෙයි අලුත් එකක් .."

"හරි අපි එහෙනම්  මෙහෙම කරමු.  මම ඔයාට රුපියල් ලක්ෂයක්  ණයට දෙන්නම්  මාසෙට  රුපියල්  දහ දාහ  ගානේ මගේ බැංකු පොතට  දාලා  ඒක ගෙවන්න .."

ඔයාගේ සල්ලියි මම දෙන සල්ලියි දාලා  රෝද තුනක් ගමු ඉස්සෙල්ලා.. පස්සේ බලමු රෝද හතරක් ගැන...
දින කිහිපයකට පසු   සෝමරත්න  සමග බැංකුවට ගිය මම ඔහුට මගේ සම්පත්  බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂයක්  රැගෙන දුන්නෙමි

ඊට දින කිහිපයකට පසුව  පුවකා කොළ පැහැති  තෙසක් රියක්  රැගෙන  ආවේය.





Monday, 23 May 2016

අප ලංකාවේ සෑදු දෙවන නිවස.













අප   ගම්  ප්‍රදේශයේ  මේ වන විට  නිවාස හෝ  ඉඩම්  නැති  පවුල් ඇත්තේ  අතළොස්සකි .

එයින් සමහරක් පවුල් තමන්ගේ  නෑදෑ යනට  ඉඩම්  ඕසේට තිබෙද්ද්දී  පර්චස් කිහිපයක්  වත් ඔවුන්ට නොලැබුන  අයයි.

මෙවැනි  පවුලක් අප හා  මුලින්ම  සම්බන්ධ කලේ  අපේ  තාත්තා විසිනි . ඒ 2014  මැද භාගයේදීය.   ඒ  ප්‍රේමේ අය්යාගේ  දුවගේ  පවුලයි .



ප්‍රේමේ අය්යාගේ දුව "&##" සහ ඇයගේ ස්වාමියා ට  දරුවන් තිදෙනෙකි. ඔවුන් හැමෝම පාසැල් යන්නේ  මම හතරේ පංතිය තෙක්  අකුරු කල බ/ කිරඹඔය විදුහලටයි.

"&##"ලා නිවසේ වැඩ  තරමක්  දුරට කරගෙන යද්දී අපේ උදව් උපකාර සොයා පැමිණි  දෙවන පවුල  ( HM චමින්ද පවුල ) තාත්තා   අප වෙත යොමු කළේය.

චමින්ද අපේ  මහගෙදරට  ආසන්නයේ ඇති  ආණ්ඩුවේ වත්තේ  කම්කරුවෙකි.  ඔහු විවාහ වී සිටින්නේ  ද්‍රවිඩ  කාන්තාවක්  සමගය.  මේ  දෙදෙනාද දරු  තිදෙනෙකුගේ   දෙමව්පියන් වෙති.


දැනට ඔවුන් පදිංචි  පැල්පතට  පැමිණීමට  පෙර  චමින්ද  පවුල   ජිවත් වුණේ  ආණ්ඩුවේ වත්තේ  තිබුණ ලැයිමේ  කාමරයකයි.

පසුව  තම  වුර්තිය  සමිති  බලය යොදා  ( චමින්ද  ඌවෙ  වත්මන් මහා ඇමතිට සම්බන්ධ  වතු සමිතියක  සභාපති  හෙවත් තලවර්ය )  තේ වත්ත අයිනේ  මහා පාරට  යාබද  පර්චස් කිහිපයක ඉඩමක් අල්ලාගන්නට  චමින්ද සමත් වී තිබේ.

වත්තේ  අදායමෙන්  ඒ ඉඩමේ  කොන්ක්‍රීට්  කණු ටිකක් ගැසූ චමින්ද අප හමුවන විට  ඒ  කණු ටිකට   අවුරුදු දහයක්  ගතවී තිබිණි.


චමින්දලා  මෑතක්  වනතුරු  ජිවත්  වූ  පැල්පත.

අපේ  තාත්තා  කලුලා  නිවසේ  වැඩ අතරමග  සිදුවෙද්දී  මා  චමින්දලා  නිවසට  යොමු කළේය.   පවුල් දෙකම  ළමයින් තිදෙනා බැගින් සිටිනා  නිසා ආර්ථික  අපහසුතා වලින් පෙලෙන්නෝ වෙති.  

ඔවුන්ට  දුප්පත්  යැයි  කියන්නට  මා අකමැති බව  මා සමග ළගින් ඇසුරු කරන්නෝ දනිති.  

ආර්ථික  අපහසුතා  නිසා  අමාරුවෙන් දිවි ගෙවුවද  ඔවුන්ද  ඔබ අප මෙන් රටේ ආර්ථිකයට  දායක වන්නෝ වෙති.

කෙසේ වෙතත් අපි චමින්ද නිවසේ ප්‍රගතිය බලමු.

මම  බ්ලොග් පොස්ට් එකක් සහ මුහුණු පොතේ පින්තුර කිහිපයක් දමා වැඩේ ආරම්භ කලෙමි.

ලඟ  ලඟම  කල දෙවැනි  නිවාස ව්‍යාපෘතියක් නිසා ආධාර ලැබුනේ  ඉතා සෙමින්ය .  එහෙත්  බ්ලොග් ගල්  , වැලි සිමෙන්ති  ගන්නට  තරම්  මුදලක්  එකතු විය.

මුලින්ම  කෙරුනේ  චමින්ද  දමා තිබු කොන්ක්‍රීට් කණු යා කරමින් ස්ලැබ් එකක් දැමිමයි.

මතක  හැටියට  රුපියල් ලක්ෂයකට වඩා එයට වියදම් විය.(සියළු ගණුදෙනු වියදම් තාත්තා ළඟ තිබේ ). 







තාත්තා  ඒ  අසලම සිටි නිසා වැඩේ පහසු විය.  ඔහු සියළු  විය  හියදම්  අකුරට  ගණන්  හදා තබා ගත්තේය.


චමින්දගේ  පැල්පත  ළඟ  වසර ගණනක්  තිබු  කොන්ක්‍රීට්  කණු මත අප දැමු සැල්බ් එක උඩ  කාමර දෙකක්  ගොඩ නැගෙමින්. 

චමින්ද ද  &##ලා  මෙන් නොව නිතර නිතර අපේ තාත්තා හමු  වී  තව උදව් අවශ්ය බව කියා සිටියේය  ( තාත්තා  කියන පරිදි වැඩේට  ඇති උනන්දුව පෙන්නුවේය ) .

&##ලා  අප දුන් දෙයකින් වැඩ  කළා මිස එතරම්  අපෙන් ඉල්ලීම් කලේ නැත. ( ඉන් පෙනෙන්නේ අලසකමකට  වඩා නිකන් දෙන දේ බලෙන් ඉල්ලා නොසිටීමේ  ගතියක්  බව මගේ පුද්ගලික හැඟීමයි ).

කෙසේ වෙතත්  චමින්දගේ උනන්දුවත්   අපේ තාත්තගේ උද්යෝගයත්  මගේ මිතුරන්ගේ  හොඳ හිතත් එක්වී  චමින්ද නිවසේ බිත්ති ඉහලට එසවිය.





බූරුවෙක්

පෙනෙන  අපගේ සහ අප මිතුරන්ගේ  සරණට  වඩා  නොපෙනන  සරණක්  ද  ලැබෙන බවක්  නිවසේ   ප්‍රගතියත්  සමග පෙනෙන්නට  විය  

පාරට  මුහුණලා ඇති  බිත්තිය.



(මේ පින්තුරයේ  ඇති  ලයිට් කනුව චමින්දගේ  නිවසට ඇති භාදකයකි.

එය ඉවත්  කර  ගැනීම  වෙනුවෙන් අපේ තාත්තා  සමන්ත විද්‍යාරත්න ( ඌව  පළාත් සභා මන්ත්‍රී ) සෑහෙන වදයක් දුන්නේය )


මේ වන විට  අපට  රුපියල් ලක්ෂ එක  හමාරක්  පමණ එකතු වී  ආධාර  ගලා ඒමද  අඩු වෙන්නට  විය.  චමින්ද  මෙන්ම  අපේ  තාත්තාද  තරමක්  නොසන්සුන් වූ  බවක් පෙනිණි.

එහෙත්  අපේ තාත්තා මා වැනිම අයෙකි.  පටන් ගත් දෙයක් ලෙහෙසියෙන් අතෑරලා යෑම ඔහු අකමැතිම දෙයකි.

මා මුහුණු පොතේ සහ බ්ලොග් අවකාශයේ ඉල්ලීම් කරන අතර තාත්තා තමන් සභාපතිත්වය  දරන ප්‍රදේශයේ විශ්‍රාමික  සංගමය  ඇමතුවේය.

තම හිතවත් සමාජිකයින් ගෙන්  චමින්දගේ  කාමර දෙකේ නිවසට අවශ්‍ය සෙවිලි තහඩු වලට උපකාර ලබා ගන්නට  ඔහු සමත් විය .



අපේ  අම්මා  චමින්දලා  ගෙදර  ගිහින්  අලුත්  වහලේ  චයාරුප  ගනිද්දී ඇයවත්  කැමරාවට  හසුවී . 


මේ අතර චමින්ද  ගම පුරා ගොස්  තම වහලයට අවශ්‍ය  යටලි, පරාල ආදිය එකතු කර ගත්තේය.  ඒ අනුව මුල්‍යමය උපකාර  අපේ හිතවතුන්  ලබා දෙද්දී  චමින්ද  තමන්ට  හැකි පමනින්  තම නිවස වෙනුවෙන් වෙහෙසුණේය.

දෙවන වටයෙන් පසු නැවතත්   යම්  මන්දගාමී බවක් දුටු මම භාගෙට වැඩ කල නිවසේ පදිංචි වෙන ලෙස ( ගෙට ගෙවදින ලෙස  ) චමින්දට උපදෙස් දෙනමෙන් තාත්තාගෙන් ඉල්ලා සිටියෙමි.












පන්සලේ  හාමුදුරුවෝ  සහ  තාත්තලා විශ්‍රාම සමිතියේ  සාමාජික මහතෙකුද  උත්සවයට  සහභාගී වූහ. 



අසල් වාසීන්   අතර  සිටි  පුෂ්ප රාජාගේ  බිරිඳද   ගෙවදීමේ  උළෙලට ඇවිත්  ( උළුවස්ස  අසලම  ඉන්නේ  පුෂ්පෙගේ බිරිඳයි ) 

චමින්දලා  ගෙට ගෙවදීමේ  චයාරුපද   මගේ මුහුණු පොතේ පළකලෙමි. ඒ  මගේ ප්‍රචාරයකට  ඇති කැමැත්තට වඩා උදව් උපකාර කල මිතුරන්ට  දැන ගැනීම  සඳහාය.  

ඊට අමතරව  ප්‍රගතිය දැක සතුටු වන එහෙත් සහභාගී නොවූ පිරිස් ඇවිස්සිමක්ද ඉන් බලාපොරොත්තු වුයෙමි. 

කාලය  කෙමෙන් ගෙවී ගොස්  අප්‍රේල් මාස්යටද  ලඟා විය. හදිසියේ මට ලැබුණු දුරකථන  ඇමතුමකි .

ඒ  අප සමග  එකට පාසැල් ගොස් එකම වෙද විදුහලටද  ගිය හිතවතෙකුගෙනි.  

"මචං කවිඳු  ..උඹේ අර ගෙවල් දෙකේ වැඩ ඉවරද?"  එහා පැත්තෙන් ඇසෙන්නේ  කාලිංග ප්‍රනාන්දු  නම්  පවුලේ  ව්‍යිදය වරයෙකුගේ  ( GP)  කටහඬයි.

" නෑ මචං... දෙකම  භාගෙට කරලා  ඇදගෙන යනවා.. "

"මට සුද්දියෙක්  $ 1100ක් ගෙනැත් දුන්නා  ඊයේ.. කාලිංග  මේක  ඔයාගේ  යාළුවගේ  ලංකාවේ  වැඩ වලට  ගන්න කියලා  "

"නියමයි නේ  මචං  ගෙවල්  දෙකේ  කපරාරුවයි  .. ජනෙල්  දොරවල්  , වයරින් වැඩ  තාම තියෙනවා ඒවාට  යොදා ගනිමු."

මේ අනුව නැවත තාත්තා ඇමතු මා  රුපියල්  57000 ක පමණ මුදලකින්  චමින්ද නිවසේ මේ වැඩ කරන්න  පුළුවන් දැයි ඇසුවෙමි.

$ 1100 කතාව අපේ චමින්ද රාජපක්ෂටද  කිව්වෙමි. 

" නියමයිනේ  මචාන්හ්...  බැරිද බන් ඕකෙන් කියක් හරි  අර  ඤන් ඤඋන් ආතාලා  
වහලේ  හදවන්න  දාන්න "

චමින්දයා තවත්  මරාලයක්  මගේ ඇඟට  දැම්මේය.. ඒ හා සම්බන්ධ සිදුවීම්  වෙන බ්ලොග් පොස්ට් එකක පළකලෙමි. 

ඔක්කොම නැතත්  කාලිංග දුන් මුදලෙන් රුපියල් 10000 ක් අපේ  චමින්දයා  කිව් දෙයට යොමු කලෙමි.

ඒ අනුව H M චමින්ද  නිවසට  දෙන්නට හැකිවුයේ රුපියල්  50000 ක් පමණි. 


ඒ මුදලින් මට  අවශ්‍ය වුයේ හැකිනම් කපරාරුව සහ ජනෙල්
පමණකි.

එහෙත් තාත්තා ඒ මුදලින් වයරින් ජනෙල් සහ කපරාරු යන වැඩ තුනම  කර ගත්තේය.










  
මේ චමින්දගේ  කාමර දෙකේ  නිවසේ  අද  තත්වයයි.  

Sunday, 15 May 2016

සමන්ත විද්‍යාරත්න නම් "සොඳුරු මිනිසා "





සමන්ත විද්‍යාරත්න යන නම් මට මුලින්ම ඇසෙන්නේ 2010 මම ලංකාවට ඇවිත් අපේ මහ ගෙදර ගොස් සිටිද්දීය. ඒ වනවිට සමන්ත චන්ද්‍රිකා රජයේ සංස්කෘතික නියෝජය අමාත්‍ය ධුරය දරා අවසන් කර බදුලු දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් ලෙස සිටි කාලයයි . "මල්ලී සමන්ත ගැන අහලා තියෙනවද ? හරි දක්ෂ කථිකයා" සාකච්චාව ආරම්භ කලේ උග්‍ර ශ්‍රී ලංකා කාරයෙකු වූ අපේ සමරනායක අය්යාය ( අපේ අක්කගේ මහත්තයා ). "එච්චර ගානක් නෑ අය්යා . විමල් විරවංශ ගැන නම් නිතර දකිනවා " මම පිළිතුරු දුන්නෙමි. "විරවංශ කවුද සමන්තනේ කථිකයා . හරියට කරුණු කාරනා හොයලා කතා කරන්නේ . අර නිල්ගල කැලේ ගැන එයා පාර්ලිමේන්තුවේ කරපු කථාව බැලුවද මල්ලී?"


"ගහකොළ , සතා සීපාවා ගැන මාර දැනුමක් සමන්තට තියෙන්නේ "

අක්කලා අය්යා මට අපේ කථානායකයා ගැන තවත් විස්තර කරන්නට විය.
"ඒත් මිනිස්සු කියනවා සමන්තට නම් පිස්සු කියලා " අපේ අක්කා ද කතාවට එකතු වුවාය. "ඇයි ඒ..? මිනිහා මොනවද කරන පිස්සු වැඩ " මම කුතුහලයෙන් යුතුව විමසුවෙමි. 
"නියෝජ්‍ය ඇමති කෙනෙකුත් වෙලා ඉඳගෙන හවස් වෙද්දී ගමේ බෝක්කු ගානේ ඉඳගෙන ඉන්නවා කියන්නේ " . අක්කා සමන්ත මන්ත්‍රී තුමෙකුට තරම් නොවටිනා වැඩක් කිරීම ගැන අමනාපයෙන් මෙන් කීවාය.

මේ කතා බහ සිදු වී දින කිහිපයකින් අපි අපේ  ගමට ආයුබෝවන්  කියා නිම්මිලා ගමට  පැමිණියෙමු.

එහි දින කිහිපයක් ගෙවා  නැවත  ගුවන් ගත වුයේ  සමන්ත ගැන  වූ  කතා බහ ද මුළු මනින්ම  අමතක කරමිනි.

ඌවේ රිදිසීනුව  නැවත කරලියට 



එදිනෙදා විශ්ව විද්‍යාල  සිසුන්ගේ  කටයුතු  කරමින් කාලය ගෙවී  ගියේ  2014  වසරටද  ලඟා වෙමිනි.

අපේ අය්යා සමන්ත ( දැනට  අප ඉන්නා රටේ මහාචාර්ය වරයෙක් ) තමන්ගේ  මුහුණු පොතේ  සමන්ත විද්‍යා රත්නගේ   කථාවක්  පලකලේ 

 "කලකට පසු ඌවෙන් බිහිවූ  ගමට රටට හිතැති සැබෑ නායකයෙක් "  

යන හෙඩිම යටතේයි.

ඒ නිසාම මම පළමු වතාවට  සමන්තගේ කථාවකට සම්පුරණයෙන් සවන් දුන්නෙමි.

එය  තමන් උපන් ගම් පළාතේ අස්සක් මුල්ලක් නෑර  දන්නා සැබෑ ජනතා  සේවයෙකුගෙන් ඇසෙන වර්ගයේ  කථාවකි.





ශ්‍රී ලංකා නිදහස් පක්ෂ  දිස්ත්‍රික් බල මණ්ඩල ලේකම්  කෙනෙකුගේ  ( අපේ තාත්තා )  නිවසේ හැදුනු මා මෙවැනි අර්ථවත් , අපේ  පළාත ගැන සත්‍ය තත්වය මැනවින් පැහැදිලි කල කතාවක්  අසා තිබුනේ නැත.

මේ නිසාම ඒ කතාව මගේ මුහුණු පොතේ  පල කල මා තව තවත් සමන්ත විද්‍යාරත්න ගැන  සොයන්නට පෙළඹුනෙමි.

දුෂ්කර  කුඩා  කාලයක් 


සමන්තගේ  කුඩා කාලයද  අපේ  ළමා කාලය මෙන් විවිධ  දුෂ්කරතා  මද්‍යයේ   ගෙවී  ගිය එකකි.


දරුවන් සිවු දෙනෙකුගෙන් යුත් පවුලක එකම පිරිමි දරුවා ලෙස ඔහු  උපන්නේ බදුල්ලේ තිබෙන දුෂ්කරම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක් වූ  රිදීමාලියද්ද   ප්‍රදේශයේය.


වැඩිමහල්  සොහොයුරියක්  සහ බාල සොහොයුරියන් දෙදෙනෙක්  ඔහුගේ පවුලේ සිටි අනෙක්  සාමාජිකාවෝ  වුහ.

ඔහු ඉතා කුඩා කාලයේදී  ඔවුන්ගේ පියාණන්  මිය පරළොව ගොස් තිබේ.  ඒත් සමගම සමන්තලාගේ  දුෂ්කර ක්‍රියා කාලය ආරම්භ වී ඇත. 

පියා නැති දරුවන් හතර දෙනෙක් රක්ෂා කිරීම වෙනුවෙන්  සටනට බට තම මෑණියන්ට  සවියක් වන්නට ඔහු තීරණය කළේය.

අම්මා සමග අඳ කුඹුරේ වැඩ කළේය. හේන් කෙටුවේය.  අම්මා සමග ගඩොල් කපා විකුණුවේය.

තම සොහොයුරියන්ගේ සහ තමාගේ අධ්‍යාපනය වෙනුවෙන්  නොවිනිදිනා දුක් විඳිමින් වැඩ කළේය..


ගමේ පාසලෙන්  අධ්‍යාපනය  ලබා  විශ්ව විද්‍යාලයට  ගියේය.  උපාධියක් ලබා නැවතත්  ගමට පැමිණ එහි පාසැලක සේවය කළේය.  

පසුව දේශපාලනයට  පිවිසි ඔහු දෙදහස් පහ මහා මැතිවරණයේ  බදුලු දිස්ත්‍රික්කයේ  වැඩිම  මනාප චන්ද ලබාගෙන පාර්ලිමේන්තුවට  ගියේය. 

ඒ  රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් සමග එකඟතාවයකින් පිහිට වූ සන්ධානයකින්  චන්දයට  මුහුණ දෙමිනි. 

එදා එසේ නියෝජ්‍ය ඇමතිකම් පවා ලැබුවද  ඔහු අදටත්  එදා මෙන් සරල මිනිසෙක් ලෙස ජිවත් වෙයි. 



ඔහු තෝරා ගත් දේශපාලන ගමන් මග වෙනම දෙයකි.


මා කතා කරන්නේ සමන්ත විද්‍යාරත්න නම් සොඳුරු මිනිසා ගැන පමණි. 

සමන්ත ගැන මේ  පොස්ට් එක ලියන්න හිතුනේ  මෑතකදී  ජාතික රුපවාහිනියේ   විකාශනය  වූ අව්‍යාජ  සම්මුඛ සාකච්චාවක්.

 එහි සිටි කලාකරුවා ජයලාල්  රෝහණ  තමාගේ කුඩා කාලය ගැන කල හෙළිදරව්ව  මගේ හිත අපෙත්, සමන්තලා වැනි දේශපලනයේ දී  කලාතුරකින්  හමුවන අව්‍යාජ  මිනිසුන්ගේත්  අතීතයට  ගෙන යන්නට හේතු වුනා. 


මෙය දෙස පක්ෂ දේශපාලනයට  ආවේණික වූ  පාට කන්නාඩි වලින් නොබලා  ඉතිරි  කොටසට  සුදානම්  වන්න.....

Saturday, 7 May 2016

රබන් සුරල්




පසුගියදා අපේ අක්කගේ පුතා එවූ දියතලාවේ අවුරුදු උත්සවයක  රබන් වයන දර්ශනයක් දැක මෙය ලියන්නට සිත් විය .



ඒ කාලේ අපේ ගමට අවුරුදු උදාවන්නේ ගමේ දෙපැත්තේ ඇති ගෙවල් දෙකකින්  තරඟයට කෙරෙන රබන්  වැයිම් හඬත් සමගිනි.

"දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත - පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත."

අපේ ගෙට සමාන්තර  එගොඩ ගොඩේ කඳු මුදුනක පිහිටි ලැයිමේ ගෙදරින් ඇසේ.


"එගොඩ ගොඩෙත්  රත්තරං - මෙගොඩ ගොඩෙත් රත්තරං

එගොඩ ගොඩෙත්  මෙගොඩ ගොඩෙත් -ඇතෙක් බරට රත්තරං"

පිළිතුරු රබන් පදේ වයන්නේ ගමේ පල්ලැහැ  පැත්තට වන්නට අනෙක් පස කඳු බැවුමක පිහිටි  ටේලර් මාමලා ගෙදර රබානෙනි.



"උඩින්  උඩින් වර පෙත්තප්පු - බිමින් බිමින් වර පෙත්තප්පු

උඩින් උඩින් වර බිමින් බිමින් වර - කැවුම් කන්න වර පෙත්තප්පු "


තවත් අලුත් පදයක්  ලැයිමේ ගෙදර රබන්  වාදනයට එකතු වේ .


"තෙලෙන් බැද්දත්  කොබෙය්යා- කිරෙන් බැද්දත්  කොබෙය්යා

තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් - කොහොම බැද්දත් කොබෙය්යා "

ටේලර් ගෙදර පැත්තේ  හඬ වෙනස් වන්නේ  මේ තාලය ටය.



"පිලවක්කන් කැත්ත දොදොන් - පිලවටකර  කැත්ත දොදොන්

"රාන් රූන්  කැත්ත දොදෙන් - රාන් රූන්  කැත්ත දොදෙන්"

නව තාලයකින්  ලැයිමේ ගෙදර කට්ටිය රබාන ට  තඩි බාති.



"කැත්තක් අරගෙන වත්තට යනකොට පෙත්තෙක් ඉඳගෙන කජු කනවා

පුංචි ළමයි ගමට යන්න ඇඳුම් අඳිනවා - තකදොන් ඇඳුම් අඳිනවා "

මෙවැනි තාලයක් මල්දෙණිය - කිරඹ ඔය වා තලයට මුසු වන්නේ  ටේලර් මාමලා ගෙදර පැත්තෙන්ය.


"රන් රඹුටන් ගස්‌ දෙකයි  - වළිකුකුළන් පස්‌දෙනයි
උන්ගෙ කරේ බොත්තමයි -  බලන්න හරි ලස්‌සනයි"



බක් මාසේ මුල්ම දින කිහිපයේ අපි උදෑසන මුහුණ හෝදන්නේ මෙවැනි තාල වලට ඇහුම්කන්  දෙමිනි.

මේ මට මතක ඇති රබන් පද ටිකයි . මීට වඩා ගොඩක් වෙනස්  තාල  මේ රබන් සුරල් තරඟයේ  තිබුනා යැයි මට සිතේ.

ප. ලි..  ඔබ අසා ඇති රබන් පද  මෙහි සටහන් කළහොත් මගේ මතකයද  අලුත් කර ගත හැකිය..

Friday, 29 April 2016

කටු ගැසීම



මම  දැනට ශ්‍රී ලංකාවෙන් එපිට රටක  පිහිටි  මූලික රෝහලක සේවය කරන්නෙමි .

ඒ   රෝහල් වයිදය නිලධාරි  (Hospital Medical Officer ) නැමැති තනතුරක් හොබවන්නෙකු ලෙසයි.

එම රෝහලේ විවිධ අංශ වල සේවය කර ඇති මා පසුගිය  සති කිහිපය සේවය කලේ  කායික රෝග වාට්ටුවේ රාත්‍රී ව්‍යිදය වරයා ලෙසයි .

මගේ සේවා මුරය වැටී තිබෙන්නේ  රාත්‍රී නවයේ සිට උදේ නවය දක්වා  වූ පැය දොළහක සේවා මුරයක් වශයෙනි.

මේ පැය දොළහ ඇතුළත වාට්ටුවේ රෝගීන් ට පැන නගින සියළු ගැටළු ගැන මුලින්ම සොයා බලන්නේ මා විසිනි .

අවශ්ය වුවහොත් වාට්ටුවේ රෙජිස්ට්‍රාර් වරයාගෙන් උපදෙස් ලබා ගත යුතුය.

බොහෝ විට එවැන්නක් අවශ්ය නොවුවද ශ්‍රී ලංකා වේ දී මෙන් නොව ඕනෑම  සංකුලතා අවස්ථාවකදී   රෙජිස්ට්‍රාර් වරයා ඉතා පහසුවෙන් සම්බන්ධ කර ගත හැකිය.

පුරුදු පරිදි ඊයේ රාත්‍රියේ සේවය ආරම්භ කලෙමි.

"ක්‍රින් .. ක්‍රින් ... " මගේ රෝහල් දුරකථනය  නාද වෙයි .

"හලෝ  ....ඔය  කවිඳු ද ? මම  එමලි  මෙඩිකල්  වන්  වලින් "

"ඔව් .. ඔව් .. මොකෝ එමලි   ......මම මේ  ආවා විතරයි "

"කරුණා කරල  ඇඳ 25 ඒ  හි සිටින  රෝගියාගේ  බෙහෙත් විදින කටුව පරික්ෂා කරන්න  . එයාට  පොටෑ සියම් බෑග් දෙකක් දෙන්න තියෙනවා "

එහා පැත්තෙන්  එන හෙද සොහොයුරියගේ කටහඩ මගෙන්  ඉල්ලා සිටි.

මම විවේක කාමරයෙන් ඉවත්වී  හෙද හෙදියන්ගේ ඒකකය වෙත පියමැන්නෙමි

"හායි  ..කවිඳු..  කොහොමද  අද  උදේ හොඳට නින්ද ගියාද?"

"මොන?  යන්තම් පැය හතරක්  ඇද ගත්තා .  දවල් දෙක තුනෙන් පස්සේ මට මලාට නින්ද යන්නේ නෑ..

අද ඔයාලගේ කරදර අඩු වුනොත් පොඩි ඇලට් එකක් දා ගත හැකියි . ඒක නෙවෙයි  25 ඒ  නේද  ඇඳ කිව්වේ ?"

"ඔවු ඔවු ...හැබැයි  එයා නම් එච්චර කැමති නෑ ප්‍රතිකාර  ගන්න "

හෙද සොයුරිය තවත් අතිරේක විස්තරයක්  මා   හට පැවසුවාය.

"හරි හරි මම ගිහින් බලන්නම් . මොකක්ද  නම් කිව්වේ ? "

"මිසිස්  ඕ කොනර් .. අවරුදු අසු දෙකක් වෙන නෝනා කෙනෙක්  එයාගේ පොටෑසියම් හොඳටම අඩුයි.

අපි ඉස්සෙල්ලා දුන්න  බෑග්  එක බාගෙට නැවැත්තුවා එයා අත රිදෙනවා කියලා කියපු නිසා කැනියුලා එක
අවුට් වගේ.. කවිඳු  ඒක චෙක්  කරලා දෙන්න ප්ලීස්.."


සුහද හමුවීම 




"මිසිස්  ඕ කොනර්.. කොහොමද ?  මම කවිඳු ඔයාගේ රාත්‍රී ව්‍යිදය වරයා.  සිස්ටර්ලා කිව්වා  ඔයාගේ  කැනියුලා එක අවුට් වගේ කියලා ? කලින් බෙහෙත දෙද්දී අත රිදුනා කිව්වා නේද ?"

"නෑ.. නෑ.. දැන් මගේ අත රිදෙන්නේ නෑ.. "

'ඒක හරි මිසිස්  ඕ කොනර් . දැන් අපි බෙහෙත් දෙන්නේ නැහැනේ.. පොටෑසියම් එක යනකොට තමයි අත රිදෙන්නේ "

මම කැනියුලා එක අවුට් ගොස් ඇති බව ඇයට පැහැදිලි කරන්නට උත්සාහ කලෙමි.


" මම දැන්  හිටියා ඇති කියලා හිතෙනවා කටු ගහලා ගහලා  මගේ අත් දෙක ගන්න දෙයක් නැහැ.  දැන් මගේ අත රිදෙන්නේ නැහැනේ  .. ඕක මාරු කරන්නම ඕනිද?"

ඇය මගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නට ඔන්න මෙන්න වැනි හඬකින් පැවසුවාය.



"මේකයි මිසිස්  ඕ කොනර්. ඔයාගේ පොටෑසියම් හොඳටම අඩුයි . 

ඒවා පිටින් නොදුන්නොත්  හර්දය වස්තුවේ ක්‍රියාකාරිත්වයට බල පාන්න පුළුවන් "

"හොඳයි කටුව මාරු නොකලොත් මොකද වෙන්නේ ?  ඔන්න ඔහේ මම මැරිලා ගිය දෙන් "



"එහෙම නෙවෙයි  මිසිස්  ඕ කොනර් .අපි ඇත්තම කතා කරමුකෝ "

මම තමයි අද රාත්‍රියේ ඔයාගේ  රෝගී තත්වයට වග කියන්නේ .

අපි දෙන්නා එකතු වෙලා අද රාත්‍රියේ කිසි ගැටළුවක් ඇති නොවෙන විදිහට වැඩ කරන්න ඕනා .

ඔයා අකැමති නැත් නම් මම මේ කටුව අයින් කරලා වෙන කටුවක් දාන්නම් "



"ඒක නෙවෙයි  ....මිසිස්  ඕ කොනර් කොයි නර්සින් හෝම් එකේද හිටියේ ?  මගේ නෝනත් නර්සින් හෝම් එහෙක නර්ස් කෙනෙක් .

"අය්යෝ මම ඉන්න තැන සැලකිලි නම් ගන්න දෙයක් නැහැ "


"අපේ නෝනා නම් හරි අසාවෙන් රස්සාව කරනවා " එතැන ඉන්න කට්ටිය එයාට හරි කැමතියි. එයත් වැඩට යන්න හරි ආසයි "

"එහෙනම් මට ඔයාගේ නොනගෙන් තමයි උදව් ගන්න වෙන්නේ "



"මට දැන්මම ඔයාට කටුවක් ගහලා බෙහෙත් නොදුන්නොත් අපි දෙන්නට රෑ තිස්සේ දඟලන්න වෙනවා .

මොකද කියන්නේ අපි මේක මාරු කරමුද "



" ඩොක්ටර් මම හරි කැමතියි ඔයාගේ අවංක කමට . ඔයා ඇත්තම තත්ත්වය මට පැහැදිලි කරා .

එහෙනම්  මේ කටුව මාරු කරන්න "

කටු ගැසීම 


දැන් මා ඉදිරියේ ඇති අභියෝග කිහිපයකි.  

මෙම රෝගියා කටු ගැසීමේදී ඇතිවන වේදනාව නිසා  එයට එතරම්ම කැමැත්තක් නැත.  

ඒ නිසා එක වරකින්ම මෙය සිදු කල යුතුය . 

එමෙන්ම අඩුම වේදනාවක් ඇතිවන පරිදි එය සිදු කල යුතුය. අභියෝගය භාර ගන්නට තීරණය කලෙමි .

ශ්‍රී ලංකාවේදී  කැනියුලා දැමීම ප්‍රගුණ කල හැටි මා සිහියට නැගේ. 

මගේ  සිත නිම්මිත් මමත් එකම වාට්ටුවක සේවය කල  කාලය වෙත දිව යයි.

"කොහොමද නිම්මි මිස් ? අද  අම්මලා කියක් ඉන්නවද සින්ටෝ දාන්න ?"

"12 ක් විතර ඉන්නවා ඩොක්ටර් "

"ඔයා මේ හැමෝටම කැනියුලා දාන්න ඕනේ නේද ?"

"ඔවු ඩොක්ටර් ස්ටේජ් රූම් එකේ ඩියුටි කරන හැමදාම එහෙම කරන්න වෙනවා "

"ඒක නෙවෙයි  මේ වෙලාවේ මමත් නිකන් වගේ නේ ඉන්නේ.... අපි දෙන්නා ම එකතු වෙලා  කැනියුලා දාමු.



මම හයක් දාන්නම්  ඔයා ඉතිරි හය දාන්න."


මා එසේ පැවැසුවේ කැනියුලා දැමීමට අත හුරු කර ගැනීම  සඳහාය .

 එමෙන්ම නිම්මිට හැකි අයුරකින් උදව්වක් කරන  ආශාවද මා තුල නොතිබුණා නොවේ. 

අපි දෙදෙනාම එකතු වී  ඉතා කෙටි කලක් තුල සින්ටෝ දමන්නට සිටි සියළුම අම්මලාට  කැනියුලා

දමා ඉවර කළෙමු.

"තැන්ක්යූ ඩොක්ටර්"

"තැන්ක්යූ කියලා විතරක් හරි යන්නේ නෑ"

"එහෙනම් ...  වෙන මොකක්ද කරන්නේ "

"අඩුම ගානේ හවසට තේ  එකක් වත් හදලා දෙන්න වෙනවා "

"හරි හරි හවස තේ බොන වෙලාවට මගේ ගානේ තේ එකක් හදලා දෙන්නම් කෝ "............



"ඩොක්ටර් ... මොකද කල්පනාව ?"

"නෑ මිසිස්  ඕ කොනර් මම මේ  බඩු ටික ලෑස්ති කරන් එන්න හැදුවේ."

"හරි හරි හැබැයි එක පාරයි  . අර නර්ස් ලා නම් හරියට රිදවනවා "

මම ට්‍රොලියත් රැගෙන රෝගියා වෙත පැමිණියෙමි.

ඇගේ අත ඉහලින් තිරිංගයක් දමා පිටි අත්ල පිරී මදින්නට පටන් ගත්තෙමි .

දැන් මගේ අතේ උණුසුමත් තිරිංගයේ  පීඩනයත් හේතුවෙන්   මට අවශ්‍ය ශිරාව ගානට ඉල්පී තිබේ.

මම කැනියුලාව දකුණතට  ගත්තෙමි .

"පොඩි වේදනාවක් .... "

මම කැනියුලාව  තල්ලු කලෙමි.  කිසි අපහසුවකින් තොරව  කටුව ස්ථාන ගත විය. 

"බොහොම ස්තුතියි  මිසිස්  ඕ කොනර්.  

මම සිස්ටර් ලාට කියන්නම් දැන් ඔයාගේ බෙහෙත් එක දෙන්න කියලා "

"පොඩ්ඩක් ඉන්න .. මට කාරණයක් කියන්න තියෙනවා"

"ඇයි මිසිස්  ඕ කොනර් ගොඩක් රිදුනද ? සමාවෙන්න ඕනේ එහෙමනම් "


"මට රිදෙනාවා තියා කටුවක් ගෑවෙනවා වත් දැනුනේ නෑ.. බොහොම ස්තුතියි ඔබට  "

"එහෙනං ?..."

"ඔබට තියෙන්නේ රත්තරන් අත් දෙකක් .. ඒක පරිස්සම් කර ගන්න ".

මේ අතර එමලිද  25 ඒ  ඇඳ වෙත ලඟා වුවාය .

"කොහොමද මිසිස් ඕ කොනර් ඩොක්ටර් හොඳද ? ඔයාට රිදෙව්වේ නෑ නේ මෙයා ?

නියමෙටම තියෙනවා කැනියුලා එක නම්  .

තෑග්ගක් දෙන්න වටිනවා "

"හරිනම්  එමලි තේ එකක්  හදලා දෙන්න ඕනේ අපේ ඩොක්ටර්ට"

"හොඳයි මම එහෙනම් කවිඳුට තේ එකක්  හදලා දෙන්නම්කෝ  ඔයා කියනවනම් "

එමලි  පැවසුවේ  ඕ කොනර් මැතිණිය ගේ අත පිරිමදිමිනි.

Sunday, 24 April 2016

නරක් වෙලා තියෙයි







පසුගිය  කලාප  වලින්  ...

මහා වැස්සක පෙර නිමිති ..


මේ ගුරු පාරේ





එදා ඒ  නා කපන වැස්ස  වැඩි වෙලාවක්  අල්ලා හිටිවී යැයි සිතුවද  විනාඩි කිහිපයකින්ම  එය තුරල් වී ගියේය.

අපි   දෙන්නා  නැවතත්  මල්දෙණිය දෙසට කන්ද නගින්නට පටන් ගත්තෙමු.

 ගමේ නැන්දලා  මාමලා කිහිප දෙනෙක් ම  අප ඉදිරියට හමු වුවද  ඔවුන් ගෙන් අපේ ගමනට  බාධාවක් සිදුවුයේ නැත.



කිරඹ ඔය ඉස්කෝලේ ලඟට එනවිටම  වාගේ   අප ඉදිරියට පැමිණියේ අපේ ලොකු තාත්තා කෙනෙකි.

ඔහු නමින් ජේ .එම්. ධනපාලයි.

නම ධනපාල   වුවද මේ ලොකු තාත්තා ඒ කාලේ  එතරම්  ධනවතෙක් නොවිය.

අපේ තාත්තලා  පමණක් නොව  ගමේ හැමෝම වාගේ ඔහු හැඳින්වුයේ  "පාලේ  අය්යා "  යන නමිනි.

පාලේ ලොකු තාත්තා  මේසන් බාස් කෙනෙක් ලෙස වැඩ කල අතර ඔහුගේ බිරිඳ හින්නි ලොකු අම්මා තේ වත්තේ දළු කඩන්නියක් ලෙස සේවය කළාය.

තාත්තලා පවුලේ සාමාජිකයින් අතරින් වත්තේ දළු කඩන්නට ගිය ලොකු අම්මලා දෙදෙනෙකි .

එක්කෙනෙක් හින්නි ලොකු අම්මාය.

අනිත් එක්කෙනා  විමලේ ලොකු තාත්තාගේ බිරිඳ ජයවතී ලොකු අම්මාය.

අපේ සමන්ත විභාගේ පාස්වූනොත් අල්ලේ කොන්ඩේ බඳිනවා යැයි  කිව්වේ මේ  ලොකු තාත්තා ය.


විමලේ ලොකු තාත්තා මෙන් කට සැර කෙනෙක් නොවූ පාලේ ලොකු තාත්තා අපේ තාත්තලා පවුලේ සිටි අහිංසකම  සාමාජිකයා විය.

අනුන්ගේ දේවල් කිසිවක්  ( තම නෑදෑයින්ගේ වුවද)  ප්‍රශ්න කිරීම ඔහුගේ සිරිත නොවේ.

තමා ඉදිරියට එන තම පොඩි මල්ලිගේ පොඩි පුතා සහ තවත් ගැහැණු ළමයෙක් දෙස අහිංසක සිනාවකින් සංග්‍රහ කර ඔහු තමාගේ ගමන යන්නේ එබැවිනි.

ලොකු තාත්තා අප පසු කර ටික දුරක් ගිය තැන හමු වන්නේ තුන්මං හංදියකි. එයින් වමට හැරෙන පාර  අපේ ගෙවල් පැත්තට යන පාරයි.

ජයා නංගි කෙලින් පාරේ මීටර් සීයක්  හමාරක් ගිය පසු දකුණු පසට හමුවන කඩුල්ලෙන්  ඇතුල් වන්නේ ඔවුන්ගේ  නිවසටයි.

තුන්මං හංදියට පැමිණි අප එකෙනෙකා ගෙන් සමුගන්නට  සැරසෙන මොහොතයි .

" මේ ඔයාගේ ඉතිරි සල්ලි "

ඇය රුපියල් පහේ ඉතිරිය මට දෙන්නට සැරසෙයි .

"මට එපා පිස්සුද.. ඔන්න ඕක තියා ගන්නවා පණ්ඩිතයා නොවී "

"නෑ.. නෑ.. ගන්න ගන්න "

ඇය නැවතත්  මා වෙත මුදල් සහිත දෑත දිගු කරයි

"එපා එපා.. ඔයා ඕක තියා ගන්න "

අප දෙදෙනාගේ ඉතිරි සල්ලි හබය ලෙහෙසියෙන් ඉවර වන පාටක් නැත.

හදිසියේම මගේ ළඟටම පැමිණි  ඈ  තම අතේ ගුලිකර ගත් යමක් මගේ දකුණු කලිසම් සාක්කුවට ඔබන්නට විය.

"ඒයි .. ඒයි මොකද කරන්නේ ?  තමුසෙට පිස්සුද ? "

මෙවර ප්‍රශ්නය නැගුනේ  ඇයගෙන් නොව මගෙන්ය.

"ගමේ ඈයෝ දැක්කොත් ඉඳලා හමාරයි"

එසේ කියමින් මම මුළු වැර යොදා ඇයගේ අත මගේ කලිසම් සාක්කුවෙන් ඉවතට අදින්නට දැඟලුවෙමි.

ගම මැදම වූ තුන්මං හංදියේ  අපේ කලබලය දෙස විමසිල්ලෙන් බලමින් කන්ද නගිනා බවලතෙකි.

ඒ අපේ විමලේ ලොකු තාත්තා ගේ බිරිඳ  ජයවතී ලොකු අම්මාය.

ජයංගනී වහ වහා තම නිවස දෙසට පිය මැන්නාය.  මමද  සාක්කුවට වැටුණු  ඉතිරි සල්ලිත්  රැගෙන ගෙදර ගියෙමි.

ලොකු අම්මා  ඒ වෙලාවේ අපට කිසිවක් කිවේ නැත.

එහෙත් දින කිහිපයකට පසු

"ජයන්ගනිට නරක් වෙලා තියෙයි  දොස්තර කෙනෙක් අල්ලාගෙන "

කියා ගමේ අනික් ගැහැණුන් සමග පැවසූ බව අපට ආරංචි විය.

ඒ වන විට මා උසස් පෙළ සමත්ව සිටියේ නැත.

එහෙත් ලොකු අම්මා මම දොස්තර කෙනෙකු වනු ඇතැයි අනුමාන කරන්නට ඇත්තේ ඒ වන විටත් සමන්ත වෙද විදුහලට ගොස් සිටි නිසා වන්නට ඇත.







Thursday, 21 April 2016

ඤන් ඤඋන් ආතා සහ ඇයගේ දියණියන් දෙදෙනා



මට  1983-1984  කාලයේදී සිදු වූ සිදුවීම් මාලාවක් මතක් වුනා  . එවකට මම  අරලගංවිල මහා විද්‍යාලයේ අට -නවය වසර වල ශිෂ්‍යයෙක්.

ඒ කතාව මතක් වීමට මූලික හේතුව අපේ තාත්තා  මෑතකදී මට එවන ලද චායාරූප කිහිපයක් .



ඒවායින් පෙන්නුම් කරන්නේ මන්ද මානසික අක්ක නගෝ දෙදෙනෙක් අබලන් වූ නිවසක් ඉදිරිපස සිටිනා දර්ශනයක්



මේ චායාරුප වල ඉන්නේ අපේ අම්මාගේ ගම වූ කිරඹ ඔය  ප්‍රදේශයේ  දැනට වාසය කරන වැඩිහිටි කාන්තාවක්  දෙදෙනේක් .

ඔවුන්ගේ  අම්මා , තාත්තා සහ  අය්යා  යන තිදෙනාම දැන් ජිවතුන් අතර නැහැ.

එම නිසා අවිවාහක කාන්තාවන් වූ මේ දෙන්නා දැන් මේ ගෙදර ජිවත් වන්නේ තනියමයි.



මේ දෙදෙනාගේ  මව අප කුඩා කල හැඳින් වුයේ "ඤන්   ඤඋන්"  ආතා  යන නමින්.

ඤන්   ඤඋන්   හඬින්  ( නහයෙන් කතා කරමින්) මිනිසුන් අමතන නිසා කිරඹ ඔයේ අය ඇයට මේ නම පටබැඳ තිබුණා.

එතරම් උස නැති  එමෙන්ම කෙට්ටු ශරීරයකට හිමිකම් කී ඇය  අපේ ගෙවල් වල එන්නේ  කුඩා පන් මල්ලක්

කිහිල්ලේ රුවාගෙනයි.

චිත්තයද  තරමක් කොටට හැඳ සිටින ඤන්   ඤඋන්   ආතා වැනි චරිත බොහෝ ටෙලිනාට්‍ය වල දකින්නට ලැබෙනවා.

ඔවුන් ගේ  පියා "හුලං " මුත්තා . එයා  කෙට්ටුම කෙට්ටු මනුස්සයෙක්.

හුලඟකට වුනත් ගහගෙන යන්න තරම්  සැහැල්ලු මිනිහෙක් නිසා එයාට ගම්මු හුලං  කියලා කිව්වා.

හුලං මුත්තා මිය ඇදිලා ගොඩක් කල්. හැබැයි ඤන්   ඤඋන් නැතිවුනේ මේ ළඟදී කියලයි ආරංචි.

එයාගේ තුන්මාසේ දානේ දෙන්න යද්දී වැස්ස එනකොට වහලෙට උඩින් ඉටිරෙදි දාලා තමයි දානේ දීලා තියෙන්නේ.

"බිඩි විමලේ" නමින් හැඳින් වුන විමලරත්න මාමා තමයි ඔවුන්ගේ අය්යා.

ඔහු බිඩි  බිම නිසා ඇතිවූ හදවත් රෝගයට  බියවී සියදිවි නසාගත්තා.

චමින්දලා අප්පච්චිගේ  කඩේ  ලෑලි බන්කුවට වී   ගංගා බිඩි කිහිපයක් සාක්කුවේ රුවාගෙන  බිඩි බොන විමලේ මාමා එකල  සුලභ දර්ශනයක්.



කිරඹඔය ගමේ බොහෝ දෙනෙක් ගේ වගේම  මේ දෙදෙනගේද නම් අවසන් වන්නේ "රාජපක්ෂ" යන පෙළපත් නාමයෙන් .

අපේ අම්මා මෙන්ම   කුඩා කල සිට මේ දක්වාම  පැවතෙන කල්‍යාණ මිත්‍ර සම්පත්තියකට  උරුම කම් කියන
චමින්ද   ගේත් නම් අවසන් කෙරෙන්නේ  "රාජපක්ෂ" කෑල්ලකින්.

පසුගිය දිනක අපේ ප්‍රජා සත්කාර වැඩ ගැන කතා කල චමින්ද   ඤන්   ඤඋන්  ආතා ගේ  දියණියන් දෙදෙනා ජිවත් වන  මේ නිවසේ වහලය අබලන් වී ඇති බවත් ඒ නිසා  ඒ වෙනුවෙන් අප දෙදෙනා මැදිහත් විය යුතු බවත් සඳහන් කළා.

"ඒක නෙවෙයි මචං... අපේ අර ගෙවල් දෙකේ කපරාරු වට යි  ජනෙල් වලටයි කියලා ඩොලර් 1100 ක්  දුන්නා අපේ ඉස්කෝලේ යාළුවෙක්"

"මිනිහා මෙහෙ ඉන්න  GP කෙනෙක් "

මම චමින්ද එක්ක කිව්වේ අපේ  අපේ ප්‍රජා සත්කාර වැඩ වලට මෑතකදී  ලැබුණු ලොකු ආධාරයක් ගැනයි.

"මචං කිටී.. ඕකෙන් ටිකක් දාපන්කෝ බං අර  විමලේ මාමලා ගෙදර වහලේ හරි ගස්සලා දෙන්න.."

"එහෙම බැහැනේ බං, .......  කාලිංගයා යි  සෙව්වන්දියි  මේ සල්ලි දුන්නේ අර ගෙවල් දෙකට  ..අපි  මේකට වෙනම සල්ලි හොයමු "

"උඹලා අක්කටත් කියපන් ගානක් දෙන්න කියලා "

මම නැවතත්  වහලේ ගණුදෙනුව චමින්දගේ ඇඟේ ගසමින් පැවසුවෙමි.

"උඹලා චාමර මල්ලිගේ  අකවුන්ට් එකට සල්ලි දාමු . අපි ඉස්සෙල්ලාම  අර කලුලා ගෙදර වැඩේ පටන් ගත්තෙත් එහෙමම මනේ "

"මම අපේ තාත්තා සෙට් කරලා දෙන්නම්  මල්දෙණිය පැත්තෙන් වැඩේට බහින්න . කිරඹ ඔයෙන් උඹලා මල්ලියි  හෙළ ගෙදර අමරේ මාමයි ගමු."

මම වැඩේ කෙරෙනා හැටි  චමින්දට පැහැදිලි කළෙමි.

සාකච්චාව අවසන් කල මා අප සිටිනා රටේම පදිංචි චමින්දගේ අක්කා  නිම්නා අක්කාට  දුරකථන ඇමතුමක් ගත්තෙමි.

"හරි මල්ලී මම ඩොලර් 150 ක්  දාන්නම්" .

 පළමු ලන්සුව නිම්නා අක්කාගෙනි.

අනතුරුව  ගමේ පන්සලේ හාමුදුරුවෝ රුපියල් 2000ක් සහ  චමින්ද ගේ සහභාගිත්වයත් ඇතුව  අර මුදල  දැන් රුපියල් 27000ක්  වී තිබේ.

තාත්තා සහ අමරේ මාමා එකතුවී   වහළයට සෙවිලි ගැනීමට සහ අනෙකුත් දේවල් වලට යන වියදම් සලකා බලා ඇස්තමේන්තුවක්  සකස් කර ඇත.

ඒ අනුව මේ සඳහා වැය වන්නේ  රුපියල් 80000- 90000 ක් අතර ප්‍රමාණයකි.


ලැබෙන ආධාර රැස් කෙරෙන්නේ චාමර මල්ලිගේ  BOC අකවුන්ට් එකේය.

චාමර මල්ලිගේ ගිණුමේ විස්තර පහළින් :

ගිණුමේ නම :   

ගිණුම් අංකය:  

බැංකුව සහ ශාඛාව:  ලංකා බැංකුව  , බණ්ඩාරවෙල 


කරුණා කර ඔබට දිය හැකි ආධාරයක් මේ ගිණුමට යොමු කරන්න. ඒ  අතර ඒ බව මට මුහුණු පොතෙන් හෝ මෙම බ්ලොගය තුලින් දැනුම් දෙන්න.

කිරඹ ඔය- මල්දෙණිය දෙගම් වාසින් ශ්‍රමධානයක් මගින් මේ වැඩේ කරන්නට සුදානම් . අපි හැකි ඉකමනින් මුදල් එකතු කර දෙමු.

ඤන්   ඤඋන්  ආතා අපේ කුඩා කාලයට සම්බන්ධ වූ හැටි ඊළඟ පොස්ට් එකෙන්..


ඔබ සැමට  ජය!!!

මේ  ගෙදර  කල මුල්ම ශ්‍රමදානය ගැන ලිව්වා.. මෙන්න මේක කියවන්න

23/07/2016

මේ ගෙදර වහලයෙන් පස්සේ බිත්ති  සුදු කීරීමට සහ  වයරින් එක අලුත් වැඩියා කිරීමට උවමනා බව තාත්තා කිව්වා..
එයාලා කපරාරුව දැන් කරගෙන යනවා . බාසුන්නැහෙලා  හොයාගන්න බැරිව ටිකක් ප්‍රමාද වුණා.