Saturday, 7 May 2016

රබන් සුරල්




පසුගියදා අපේ අක්කගේ පුතා එවූ දියතලාවේ අවුරුදු උත්සවයක  රබන් වයන දර්ශනයක් දැක මෙය ලියන්නට සිත් විය .



ඒ කාලේ අපේ ගමට අවුරුදු උදාවන්නේ ගමේ දෙපැත්තේ ඇති ගෙවල් දෙකකින්  තරඟයට කෙරෙන රබන්  වැයිම් හඬත් සමගිනි.

"දොන්ත බබක්කට දෙන්න දෙයක් නැත - පෙට්ටගමක් උඩ තුට්ටු දෙකක් ඇත."

අපේ ගෙට සමාන්තර  එගොඩ ගොඩේ කඳු මුදුනක පිහිටි ලැයිමේ ගෙදරින් ඇසේ.


"එගොඩ ගොඩෙත්  රත්තරං - මෙගොඩ ගොඩෙත් රත්තරං

එගොඩ ගොඩෙත්  මෙගොඩ ගොඩෙත් -ඇතෙක් බරට රත්තරං"

පිළිතුරු රබන් පදේ වයන්නේ ගමේ පල්ලැහැ  පැත්තට වන්නට අනෙක් පස කඳු බැවුමක පිහිටි  ටේලර් මාමලා ගෙදර රබානෙනි.



"උඩින්  උඩින් වර පෙත්තප්පු - බිමින් බිමින් වර පෙත්තප්පු

උඩින් උඩින් වර බිමින් බිමින් වර - කැවුම් කන්න වර පෙත්තප්පු "


තවත් අලුත් පදයක්  ලැයිමේ ගෙදර රබන්  වාදනයට එකතු වේ .


"තෙලෙන් බැද්දත්  කොබෙය්යා- කිරෙන් බැද්දත්  කොබෙය්යා

තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් - කොහොම බැද්දත් කොබෙය්යා "

ටේලර් ගෙදර පැත්තේ  හඬ වෙනස් වන්නේ  මේ තාලය ටය.



"පිලවක්කන් කැත්ත දොදොන් - පිලවටකර  කැත්ත දොදොන්

"රාන් රූන්  කැත්ත දොදෙන් - රාන් රූන්  කැත්ත දොදෙන්"

නව තාලයකින්  ලැයිමේ ගෙදර කට්ටිය රබාන ට  තඩි බාති.



"කැත්තක් අරගෙන වත්තට යනකොට පෙත්තෙක් ඉඳගෙන කජු කනවා

පුංචි ළමයි ගමට යන්න ඇඳුම් අඳිනවා - තකදොන් ඇඳුම් අඳිනවා "

මෙවැනි තාලයක් මල්දෙණිය - කිරඹ ඔය වා තලයට මුසු වන්නේ  ටේලර් මාමලා ගෙදර පැත්තෙන්ය.


"රන් රඹුටන් ගස්‌ දෙකයි  - වළිකුකුළන් පස්‌දෙනයි
උන්ගෙ කරේ බොත්තමයි -  බලන්න හරි ලස්‌සනයි"



බක් මාසේ මුල්ම දින කිහිපයේ අපි උදෑසන මුහුණ හෝදන්නේ මෙවැනි තාල වලට ඇහුම්කන්  දෙමිනි.

මේ මට මතක ඇති රබන් පද ටිකයි . මීට වඩා ගොඩක් වෙනස්  තාල  මේ රබන් සුරල් තරඟයේ  තිබුනා යැයි මට සිතේ.

ප. ලි..  ඔබ අසා ඇති රබන් පද  මෙහි සටහන් කළහොත් මගේ මතකයද  අලුත් කර ගත හැකිය..

14 comments:

  1. තුන් තුඹ ගෙඩි
    තුනයි - තුනයි
    තිත්ත කැකිරි
    දෙකයි - දෙකයි
    තුන් තුඹ ගෙඩි දෙක
    නැන්දට දීපන්
    තිත්ත කැකිරි දෙක
    මාමට දීපන්

    ReplyDelete
  2. රන් රඹුටන් ගස්‌ දෙකයි
    වළිකුකුළන් පස්‌දෙනයි
    උන්ගෙ කරේ බොත්තමයි
    බලන්න හරි ලස්‌සනයි
    රන් රඹුටන් ගස්‌ දෙක යට
    වළි කුකුළන් පස්‌දෙනයි
    උන්ට කන්න බත් දෙනකොට
    උනුත් එක්‌ක ලස්‌සනයි

    ReplyDelete
  3. දැන්නං අවුරුදු උත්සවවලවත් රබන් ගහන්නෙ බොහොම අඩුවෙන්.

    http://www.sinhalajanakavi.com/2012/06/blog-post.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. Praසන්ன.. ඔබේ ලින්ක් එකේ සෑහෙන රබන් පද තියෙනවා...

      Delete
  4. ඇත්තටම සොඳුරු මතකයක්..

    පානදුරේ ලඟ පාන් කඩේ ලඟ ගෑණු හරක් බදිතෙයි
    මෙච්චර මේ රට පිරිමි ඉදිද්දිත් ගෑණු හරක් බදිතෙයි...
    තෙතෙයි තෙයි ගෑණු හරක් බදිතෙයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. රබන් රත් කරන්නේ හෙණ ගිනි ගොඩක් එහෙම ගහලා ඒ කාලේ...

      Delete
  5. කාලෙකින් රබන් පද ටිකක් ඇහුවා...අපූරුයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.. තව මතක් වෙන ඒවා ලියන්නම්..

      Delete
  6. උඩපල ගත්තත් පෙත්තප්පු
    බිම පලගත්තත් පෙත්තප්පු
    උඩ පල ගත්තත් බිම පල ගත්තත්
    උඩින් බිමින් වර පෙත්තප්පු..

    ඕ යේ....
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අමුතු රබන් පදයක් නොවැ.... උඩ හැදුනත් ගස් ලබු- බිම හැදුනත් ගස් ලබු , උඩ හැදුනත් බිම හැදුනත් කොහේ හැදුනත් ගස් ලබු.... වගේ එකක්

      Delete
  7. අපේ බබානෝනා ආච්චිත් (තාත්තගෙත් ආච්චි ) ගමට හිටිය හොඳ රබන් කාරියක්. දත් නැති හින්දා පද කියවෙන්නේ නැහැ. කිසි මහන්සියක් නැහැ කහට බිබී රබන් ගහනවා වරු ගනන් ගෑනු වටකරගෙන ඉස්සර.

    ReplyDelete
    Replies
    1. බබා නෝනා ආච්චි ගැන දැන ගන්න ලැබීම ගැන සතුටුයි...ඔව් .ඔව් ඒ කාලේ බවලත්තු එහෙම තමයි.. කිසි මහන්සියක් නොපෙන්වා තමන් කරනදේ විනෝදයෙන් කරනවා...

      Delete
  8. රබන් ගහනවා දකින්නෙත් දැන් කලාතුරකින්..

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. සියයට සුභ පැතුම්.

      Delete