Stories of my life from childhood , experiences I had as a child as well as an adult ....මට මතක ඇති අතීතයේ සිදු වූ රසබර සිදුවීම් වල එකතුවක්
Tuesday, 30 June 2020
ආච්චිට උදව් කරන චූටි පුතා
අපි පොඩි කාලේ බණ්ඩාරවෙල කිරිඔරුව ගමේ මේ විදිහට කුඹුරු වල වැඩකරා .. අද අපි ලොකේ ඉහළම තැන්වල හිටියත් ඒ "සොඳුරු අතීතය තවම මතකයි "සොඳුරු අතීතයෙන් බිඳක්" බ්ලොග් එක කියවන්න
Saturday, 30 May 2020
අධ්‍යාපනයයි ව්‍යවසායකත්වයයි එකට කරන්නේ කොහොමද? (පළමු කොටස ප්‍රාථමික පංති ව්‍යවසායක්ත්වය )
සරස්වතියටයි ලක්ෂමියටයි එකට එක පාරේ යන්න අමාරුයි .ඒ "මුදලුත් හොයමින් අධ්‍යාපනයේ යෙදෙමු" යැයි යෝජනාවූ ප්‍රකාශයකට මුහුණු පොතේ පළවූ අදහසක්.. පිළිගැනීම්, මති මතාන්තර, සමාජයක මුල්බැසගිය ආකල්ප ආදිය නිසා අලුතින් යමක් කරන්නට සිතන්නන් නැවතත් අඩියක් පස්සට තියන්නත් පුළුවන්..
අද අපි කතා කරන්න යන්නේ කුඩා දරුවෙකුගේ සිටි සමාජයේ වෙනස් කමක් කළහැකි මට්ටමේ රැකියාවක් කරන තෙක්ම හෝ ඊටත් පසුව ව්‍යවසායක්ත්වයට අතිරේක දේවල් කිරීමට යමෙක් පෙළඹෙන්නේ කොහොමද යන්න සාකච්චා කරන්නයි ..
කුඩා දරුවෙකු ගොඩනැංවෙන පරිසරයේ විශේෂයෙන් ඔහුගේ/ඇයගේ පවුළේ අයගේ ආකලප් සහ ඔවුන් ඒවා දරුවෙකුට කාවද්දන ආකාරය අනුවත් ඔහු /ඇය ගොඩනැංවෙන පරිසරයෙන් ගමෙන් නගරයෙන් ඔහුට /ඇයට එකතුකරගන්නට පුළුවන් අත්දැකීම් අනුවත් ඔවුන්ගේ ජීවිතය හැඩගැස්වෙන ආකාරය තීරණය වෙනවා.
මේ ගැන අදහසක් ගැනීමට මා කුඩා කාලයේ හැදුන වැඩුන හැටිත් එහිදී මා දැනට තෝරාගෙන ඇති ජීවන මාර්ගය වෙනුවට අවශ්‍ය නම් තව රැකියා කීයක් වෙත යොමුවිය හැකිව තිබුණාද යන්නත් සලකා බලමු
පාසැල්වයස (ප්‍රාථමික පංති )
මා මුලින්ම මගේම යැයි ආදායමක් උපයන විට මගේ වයස යන්තම් අවුරුදු දහයක් -දොළහක් වූවා පමණි .. රජයේ කාර්යාලකය ලිපිකරුවෙකුවූ අපේ තාත්තා (අපේ ගමේ සිටි රජයේ රැකියා කල අතලොස්සකගෙන් කෙනෙක් ) මට කල යෝජනාවක් අනුව මගෙ මුල්ම ව්‍යවසායක්ත්ව අත්පොත තැබුවෙමි..
ගමේ තරුණ තරුණියන් එක්ව රඟ දැක්වූ "සැගවුණු දෛවය " නම් වේදිකා නාට්‍යය අවස්ථාවේ නාට්‍ය ප්‍රදර්ශන දින තුනේ රසික රසිකාවියන්ගේ රසකැවිලි , දුම්වැටි අවශ්‍යතා සැපයීම මුදල් ඉපයීමේ අවස්ථාවක් ලෙස දැකීමෙන් මෙය ආරම්භ විය.. 1980 ලංකාවේ ඇතිවූ බ්‍රිස්ටල් , ත්‍රී රෝසස් , ෆෝ ඒසස් ආදී දුම්වැටි හිඟය වෙලඳ අවස්ථාවක් ලෙස දැකීමටත් ඒ වෙනුවෙට විකල්පයක් ලෙස මතුවූ 555 නම් සිගරට් වර්ගය මගේ වෙලඳාමට ගැණුම් කරුවන් ආකර්ෂණය කරගැනීමේ ප්‍රවේශයක් ලෙස පෙනීමත් මෙහිදී විශේෂ වේ.. නගරයෙන් තොගමිලට ශත 16 ට ගන්නා බර්නී ටොෆීයක් ගමේ නාට්‍ය වෙලාවේ ශත තිහකට මිළකරන්නට සිතීමත් තවත් වෙළඳ ප්‍රයෝගයකි..ඒ අපේ නිවසින් අපට ලැබුණු ආභාෂයයි.
ඒ අතර ගමේ නැගීඑන ව්‍යවසාසයකයෙක් වූ මාරබැද්දේ අනුර අය්යා ( වත්මන් බණ්ඩාරවෙල නගරාධිපතිගේ/පොඩි මන්ත්‍රීගේ පියා ) ඔහුගේ තාත්තාත් සමඟ අසල ගම් දෙක පුරා ගෝනියක් කරේ එල්ලාගෙන ගෙන්ගෙට ගොස් එළවලු එකතු කරන ආකාරයද දුටුවෙමි.. ඒ ඔස්සේ දිනතුනේ ව්‍යවසායක්ත්වය ඊලඟපියවරකට ගෙන යන්නේ කෙලෙසද යන්න ගැනත් හොඳ අදහසක් ඇති කරගත්තෙමි.
දිනතුනේ වෙලඳාමෙන් පාසැල් අඳින්න නිල්පාට කොටකලිසම් දෙකක් මහගන්න මට අනුර අය්යා දෙස බලා තවත් වෙලඳ අදහස් පහළ වීම වෙලෙන්දෙක් ලෙස ඉදිරියට යන්නට ප්‍රජෝයනවත්විය . ඉන් අනතුරුව ගත වූ අවුරුදු කිහිපයේ මගේ ව්‍යවසාකයත්වය ඉදිරියට යන්නේ ඉතා ක්‍රමානුකූලවය. එකින් එකට පාදක වූ සිදුවීම් විස්තර කරන්නට ගියොත් ලියවිල්ල ඉතා දිගුවිය හැකි නිසා ඒවා ලැයිස්තුගත කරන්නට සිතුවා .එහෙත් ඔබ කැමතිනම් අදාල ලින්ක් හරහා "සොඳුරු අතීතයෙන් බිඳක් " බ්ලොග් ලියැවිල්ලට යන්න එහි එක් එක් වෙලඳාම් වඩා විස්තර සහිතව ඉදිරිපත් කර තිබෙනවා
1. ගෙදරවත්තේ තිබුණු සීනි කෙසෙල් , වතුපාළු ආදි කෙසෙල් වර්ග අසල ඇති කේෂන් වත්තේ පඩි දෙනදාට ගමේ නිවසක වල්කපන කොල්ලෙක් ලෙස වැඩ කළ කේෂන් වත්තේ නඩරාජා සමඟ එක්වී විකිණීම (වත්තේ පඩිපොළේ වෙලෙන්දෙක් ලෙස )
2. තාත්තලා මහගෙදර වත්තේ තිබූ මාළු කෙසෙල් කැන ඇවරි ගසා ගමේ ගෙයින් ගෙට ගොස් විකිණීම
3. තාත්තලා මහගෙදර වත්තේ තිබූ ජෑම් පේර ගස් වල ගෙඩි , අපේ ගෙදරවත්තේ තාත්තා සහ මා එකතුවී හැදූ පැෂන් ෆෘට් වැලේ ගෙඩි එකල ගමේ නිවසක වෙලඳාම පිණිස ජෑම් සහ කෝඩියල් හැදූ පොරෝළිස් මහත්තයාට විකිණීම. මේ වෙනුවෙන් පේර හුණ්ඩුවකටශත විසිපහක් සහ වැල්දොඩම් ගෙඩියකට ශත විසිපහක් ගානේ මට ගෙවන ලදී . එමෙන්ම මාසය අවසානයේ නොමිලයේ කෝඩියල් බෝතලයක් සහ ජැම් බෝතලයක් ද ප්‍රධානය කිරීමට මගේ ගැනුම් කරුවා පරිත්‍යාගශීලී විය
5.ඒ කාලයේ රටපුරා ඇතිවූ පුවක් හිඟයත් කිරිඔරුවේ උක්කුපුංචිලා ගෙදර තිබූ පුවක් ගහකත් අතර දුටු ව්‍යාපාරික අවස්ථාව කුඩාදරුවෙක් ලෙස ප්‍රයෝනයට ගත් ආකාරයද අතිශය රසවත් කතාවකි .. බිස්නස් කාරයාට යන යන තැන බිස්නස් අවස්ථා පෙනෙන බවව හොඳම උදාහරණය මෙහිතිබේ . ව්‍යවසායක්ත්වය සහ අධ්‍යාපනය කෙතරම් දුරට එකෙනෙක සමපාත වී ගෙන යා හැකිදයන්න ඒ පුවක් ව්‍යාපාරය අවසානයේ එවකට ඇහැළියගොඩ ප්‍රදේශයේ පාසැලක සිටි උපාධි ගුරුවරයෙකු වූ කිරිඔරුවේ අමරසිංහ මාමා ( අපේ අම්මාගේ ලොකු තාත්තගේ පුතා ) මා ගැන කළ අනාවැකියෙන්ම පැහැදිළි වෙනුඇත.
මේ කාලය වනවිට අපේ අල්ලපු ගෙදර සිටි බන්දුපාල අය්යා ( තේ වත්තේ වැඩකල කම්කරු යුවලකගේ පුත්‍රයෙක්/ ඔයකියපු මල්ලිකා අක්කාගේ මාමගෙ පුතා) හදිසියේම කුරුණෑගල උහුමිය ප්‍රදේශයට යනවා අලුතින් බිස්නස් එකක් පටන්ගන්න.. එහේ ප්‍රසිද්ධ වෙන්නේ " මාතර මුදලාලා නමින්" අටේ කණුව පොල්වෙලඳ සැල කියලා පටන්ගන්න ඔහුගේ ව්‍යාපාරය පොල්වලින් ගොඩනැඟිලි ද්‍රව්‍ය වෙලඳාමට වෙනස් වෙනවා.. ටිකෙන් ටික පොහොසත් වෙන බන්දු අය්යා අවුරුද්දට ගෙදර එන හැම වතාවෙම අපේ තාත්තා බලන්නත් එනවා.
එකසැරයක් එනකොට මම පාසැල් කාළයෙන් පස්සේ බඩු විකුණන්න පොඩි කඩයක් දාලා ගෙදර.. ඒ වගේම ඊට ටික දවසකට කලින් තිබ්බ පහේ ශිෂ්‍යත්වයෙනුත් සමත් වෙලා .. බන්දු අය්යා මටත් කතා කරලා ගිහින් තාත්තා එක්ක කතාව..
"මාමා චූටි මල්ලී බිස්නස්වලට උනන්දුයි නේද? හැබැයි ඉගෙනගන්නත් ඒ වගේම දක්ෂයි නේද? නරකද ඉගෙනගන්න පැත්තෙන් සමන්ත මල්ලි (අපේ අය්යා , දැන් ඔස්ට්‍රේලියාවේ මහාචාර්යවරයෙක් ) යවලා චූටිමල්ලී බිස්නස්වලින් ඉස්සරහට දැම්මොත් ? අපිටත් පුළුවන් පොඩි උදව්වක් කරන්න.."
ඒ වනවිටත් බණ්ඩාරවෙල මහාවිද්‍යාලයේ හයේ පංතියේ එක දෙක ස්ථාන වල සිටි මට අධ්‍යාපනයෙනුත් සමන්ත වගේම ගමණක් පෙනේ..
බිස්නස්වලින් බන්දු අය්යා වගේ වීමත් නරකම නැත . මොකද බන්දු අය්යා ඒ වෙනකොටත් 1210 ලොරිදෙකක් , අළුත්ම අළුත් හයි ඒස් වෑන් එකක් එහෙම තිබුණ "උහුමියේ මාතර මුදලාලි" බවට පත්වී සිටි අයෙකි..
මේ ලියැවිල්ල ගොණු කෙරෙන්නේ ටෙක් ජොබ්ස් ආයතනයෙන් කෙරෙන නව ව්‍යවසායක්තවයන් ප්‍රවර්ධනයට ආකල්මය වෙනස්වීම් ප්‍රයෝජනවත් කරගන්නේ කෙලෙසද යන අදහස වෙනුවෙනි.. ඉදිරියේදි ද්වීතියික පංතිවල සහ උපාධිය ලබාගැනීමෙන් පසු සිදුකල හැකි නව රැකියා අවස්ථා ගැන කතා කරමු
Sunday, 17 May 2020
Monday, 11 May 2020
ඩී ඩී 21 : බණ්ඩාරවෙල - වැල්ලවාය

එක්දාස් අ නමසිය අසූ එක අසූදෙක කාලේ මගේ වයස යන්තම් අවුරුදු එකොළහ පිරුණා විතරයි ඒත් ඒකාලෙත් මම සැලකිය යුතු තරමක ව්‍යවසායකයෙක් . මේ කාලේ මම අපේ තාත්තාගේ ඒ කාලේ තාවකාලික රැකියාව වූ ඩී ඩී 21 ඉසුසු වෑන් එකේ රියැදුරු කම උපයෝගි කරගෙන මගේ බිස්නස් වැඩ බණ්ඩාරවෙලින් වැල්ලවායට පැතිරවූ හැටියි මේ කතාවෙන් කියැවෙන්නේ.
ඒකාලේ අපිට කලාතුරකින් උදාවූ "නරක කාලයක්" උදාවෙලා තිබුණා කිව්වොත් නිවැරදියි . මොකද අසූවේ තමන්කරපු රජයේ රැකියාව අහිමිවී සිටි අපේ තාත්තා වෙනත් රැකියාකරලා අපව පෝෂණය කරන්න හදපු කාලේ තමයි අසූව දශකයේ මුල්භාගය කියන්නේ. ඔහු අම්මාත් අක්කා මම ඇතුළු අපි කිහිපදෙනාත් සහයට අරන් එළවළු වගාව පටන්ගත්තෙත් මේ කාලේම තමයි. අපේ අම්මා වගේ නෙවෙයි තාත්තා එයා එච්චරම වගාවට කැමති කෙනෙක් නෙවෙයි. ඉතිං ඒ නිසාම දෝ කොහෙද ඔහු අපිට වගාකටයුතු කරන්නට හැරලා පාරේ මිනිස්සු අදින වෑන් වල වැඩ කරන්නට පටන්ගත්තා වැඩිකල් යන්න නොදීම. ඔහු දියතලාව- බණ්ඩාරවෙල , පල්ලේවෙල බණ්ඩාරවෙල ( ජයමඟ ) රූට්වල ඉතා කෙටිකලක් වැඩකලා .. ඊට පස්සේ නැවතත් ගෙදරට වෙලා ඉද්දි තමයි අපේ බඹරගම නැන්දා වාහනයක් ගත්තේ .
එහෙමනම් අපි බඹරගම නැන්දලා හයි ඒස් එකෙන් ඩී ඩී විසි එකට එමු
ඔන්න එක දවසක් මෙතෙක් අනුන්ගේ වාහන එළවමින් සිටි අපේ තාත්තා දුඹුරුපාට (චොකලට් පාට) ඇළුත්ම අළුත් හයි ඒස් එකකින් ගෙදර එනවා. අම්මා අපි ඇතුළු හැමෝම වටවෙලා විස්තර අහනවා.. වෑන් එක අරන් තියෙන්නේ අපේ බඹරගම නැන්දලා ( තාත්තගේ ලොකු නංගී ), කතාවේ හැටියට ෆිනෑන්ස් කරලා තමයි අරන් තියෙන්නේ .. මාළිගාතැන්න බණ්ඩාරවෙල රූට් එකේ දුවලා ෆිනෑන්ස් එක ගෙවන්න තමයි සැලසුම. ඒ දවස්වල හැමදාම රෑ වෙද්දි අළුත්ම අළුත් වාහනේ අපේ ගෙට උඩහ හන්දියේ නවත්තලා තියෙනවා. අපේ අංජු මාමත් මමත් වාහනේ බලාගන්න ඒකේ මැදසීට් දෙකේ නිදාගන්න යනවා ඒ දවස්වල..
අළුත් හයි ඒස් එකත් එක්ක ඔහොම කාලයක් ගෙවිලා ගියාකියමුකෝ. ඒ පාර අපේ තාත්තා ඊටවඩා පරණ කොළපාට රුක්මණී මොඩ්ල් හයි ඒස් එකකින් ගෙදර එනවා.. අම්මා එක්ක යන කතාබහින් තමයි හේතුව එළිවෙන්නේ.. ෆිනෑන්ස් ගෙවාගන්න බැරිනිසා කොම්පැණියෙන් අළුත් වෑන් එක අරන්ගිහින් නැන්දලාට ගෙවපු ගාණටයි ඉදිරි වාරිකවලටයි ගැලපෙන්න පරණ මොඩ්ල් (රුක්මණී මොඩ්ල් ) වෑන් එකක් දීලා..
කොහොමින් කොහොම හරි බඹරගම නැන්දලා වැඩි කාලයක් වාහන රස්සාව කරන්නේ නෑ ඒ වාහනේ අපේ තාත්තගේ අක්කගේ මහත්තයා ( චන්දරේ මාමා ) ගත්තා කියලා ආරංචි වෙනවා.. මම හිතන හැටියට නැන්දලාට තිබ්බ ෆිනෑන්ස් එකත් එක්කම .. චන්දරේ මාමා ඉන්නෙත් අපේ ගමේමයි. වෑන් එක ඊට පස්සේ ගාල්කරන්නේ චන්දරේ මාමලා ගෙදර . ඒ නිසා එදා ඉඳලා අපිට අපේ වගේ තිබ්බ වාහනේ නිදාගන්න තිබ්බ අවස්ථාව එහෙම නැතිවෙනවා.චන්දරේ මාමා බඹරගම කට්ටිය වගේ නෙවෙයි ශූර ව්‍යාපාරිකයෙක් . රුක්මණී මොඩල් වාහනේ දිගටම තියාගන්නා ඔහු එහි රියැදුරා කරන්නේ අපේ තාත්තාමයි . ඒ අතරේ වෑන් එකේ ගෝලයා විදිහට ඔහුගේ පුත් චූටි අය්යා වැඩට යොදාගන්නවා.
දැන් ඩ්‍රයිවර් අපේ තාත්තා ගෝලයා චන්දරේ මාමලා චූටි අය්යා පරණ හයි ඒස් එකේ මාළිගාතැන්න - බණ්ඩාරවෙල මිනිස්සු අදිනවා. තාත්තත් තමන්ගේ අක්කගේ වාහනේ නිසා හරි උනන්දුවෙන් වැඩ.ඔහුගේ බෑනා චූටි අය්යත් හරිඋනන්දුවෙන් පුළුවන් තරම් කෑලි එකතු කරගන්න බලනවා ඇටම්පිටිය පාරේ ලංගම බස්වලට කපාගෙන යනගමන්.
මාමා බෑනා සුසංයෝගය සාර්ථකවෙද්දි චන්දරේ මාමා තීරණයකට එළැඹෙනවා. ඒ මාලිගාතැන්න බණ්ඩාරවෙල වෙනුවෙට මෙතෙක් පෞද්ගලික වාහනයක් නොගිය පාරක්වූ බණ්ඩාරවෙල වැල්ලවාය පාර ආක්‍රමණය කරන්න.. හැබැයි අර රුක්මණී මොඩ්ල් වෑන් කෞවෙන් නෙමෙයි අළුත්ම අළුත් ඉසුසු එල්ෆ් වෑන් එකකින්. කහපාට වෑන් එකක් වූ ඒක ඉස්සෙල්ලාම වැල්ලවාය පාරට දැම්මේ ගරාජ් නම්බර් එකකින් .. ඒ අංකේ තමයි ඩී ඩී විසි එක කියන්නේ.
ඒ කාලේ බණ්ඩාරවෙල වැල්ලවාය පළවෙනි බස් එක තමයි මර්ග අංක 31 යටතේ බණ්ඩාරවෙල සහ මාතර අතර දුවන මාතර බස් එක . මේක බණ්ඩාරවෙල ඩිපෝවෙන් ගිය ප්‍රධාන බස්වලින් එකක් .. උදේට ශීට් පිරෙන්න සෙනඟ ඉන්න බස් එකක් තාත්තයි චූටි අය්යයි ඩී ඩී විසි එකෙන් උදේ පාන්දර හය වෙද්දී පිටත් වෙනවා මට මතකයි . ඒ මාතර බස් එකට කපාගෙන වැල්ලවායට යන බලාපොරොත්තුවෙන්. "31 මාතර" මගේ පුද්ගලික ඉතිහාසයටත් ගොඩක් සම්බන්ධයි මොකද මම වෙහෙරයාය ඉස්කෝලේ ගුරුවරයෙක් කාලෙත් ඒ වගේම කරාපිටියේ වෛද්‍යශිෂ්යයෙක් කාලෙත් මාව බණ්ඩාරවෙල සිට ගමනාත්යට අරන් ගියේ එයා නිසා .. අපි වෙහෙරයායෙ ඉන්න කාලෙත් කරාපිටියේ ඉන්න කාලෙත් 31 හැඳින්වුවේ "කහ කුරුල්ලා කියලා . ඉතිං එවන් කහකුරුල්ලෙකුට කපාගෙන තමයි තාත්තලා චූටි අය්යලා ඩී ඩී විසි එක අරන් ගියේ.
බණ්ඩාරවෙලින් වැල්ලවායට ගිය ව්‍යවසායක්ත්වය
තාත්තා ඩී ඩී විසි එකේ වැඩකරද්දී මම හිටියේ හයේ -හතේ පංතිවල.. ඒකාලේ හවසට අම්මගේ එළවළුවගාවට උදව්වෙනවා වගේම පොඩි පොඩි සයිඩ්බිස්නස් කරන එකත් මගේ සිරිතක්.. මගේ වැඩ දන්නා තාත්තා ( හරියට මම අපේ සුපුන් එක්ක දැන් කරනවා වගේ) මට එක එක වෙලඳ යෝජනා ගෙනෙනවා ඒ දවස්වල.. වැල්ලවායේ සියළු එලවළු පළතුරු වර්ගවල මිල බණ්ඩාරවෙලට වඩා වැඩිවීම ඔහු මගේ කුඩා ව්‍යවසායික මනසට ඇතුල් කරනවා..
"චූටිපුතා ඔයා ඔය මෙහේ කඩවල් වලට දෙන චව්, අළිපේර එහෙම වැල්ලවායට ගෙනිච්චොත් දෙගුණයක් හම්බකරතහැකියි"
"ඒ කොහොමද? "
"එහේ අලිපේර එහෙම බෙහෙතකටවත් හොයාගන්න නෑ.. ඔයා බඩු ටික එකතුකරලා උදේට වෑන් එකට දාන්නකෝ මම චූටි ලවා වැල්ලවායේ පොළට යවලා විකුණලා දෙන්නම්"
තාත්තාගේ යෝජනාව හිස්මුදුනෙන් පිළිගත් මම ඊලඟට වැඩේට බහිනවා.. මගේ ගමේ ගැංසියේ ඉන්න නඩරාජා , ප්‍රියන්ත වගේ කොල්ලෝ ලවා අලිපේර කඩවාගෙන උදේවෙද්දී ඩී ඩී 21 ට පටවනවා.. හවසට තාත්තා මගේ අලාභය ගෙනැත් දෙනවා..
බිස්නස් නැගලා යද්දී චන්දරේ මාමටත් වැඩේ ඉව වැටෙනවා සමහර විට චූටි අය්යා . "ආන් අරහේ උඩහ චූටිමල්ලියා තාත්තාගේ ඩ්‍රය්වර් වැඩේ අස්සෙට් සයිඩ් බිස්නස් එකක් ගෙනියනවා" කියලා කියනවා ඇති .
එක දවසක් තාත්තාට කතාකරන චන්දරේ මාමා වෑන් එකේ මගේ බඩු ගෙනියන්න එපා කියලා අවවාදයක් දෙනවා.. මට ඒක ගාණක් නැතිවුණාට තාත්තගේ හිතරිදෙන්න ඇති.. තවටික කාලයකින් තාත්තා ඩී ඩී 21 එකෙන් සමුගන්නවා.. ඒ වෙනකොට එයා චූටි අය්යාට ගුරුමුශ්ටි නැතුවම රියැදුරු ශිල්පය කියාදීලා ඉවරයි.
ප; ළි: අද ඒ අපි කොහෙද? චන්දරේ මාමා ගෙවල්ලඟ පොඩි පෙට්ටිකඩයක් කරනවා . චූටිඅය්යා මල්වත්තේ ටිකක් ලොකු කඩයක් කරනවා..සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නැවත සේවයේ පිහිටවූ තාත්තා මම අය්යා අක්කා නංගිලා දෙන්නා ( අපි හැමෝම ) තම තම රැකියා අංශවල ඉහළම ස්තරවල ඉන්න හැටි බලමින් විශ්‍රාම සුවයෙන් ගෙදර ඉන්නවා.. මේ කතාව ලියැවෙන්නේ තිලකසිත ලියන තිලකසිරි අය්යා මෑතකදී පටන් ගත් ටෙක් ජොබ්ස්වැඩේට ඌණපුරණයක් විදිහටයි.. ව්‍යවසායකත්වයට, අලුත් රැකියාවලට මංපෙත් බොහොමයි මෙහි වෛද්‍යවරයෙක් , විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් වන මමත් ඒ කාලෙත් රජයේ නිළධාරියෙක් වූ අපේ තාත්තත් ඒ බවපෙන්වලා තියෙනවා.. කොවිඩ් -19 කළබල අස්සේ රැකියා අවස්ථා එහාමෙහා වූ ඔබටත් හිතන්න ඉඩක් මෙහි ඇතැයි කියලා හිතනවා. අපේ තාත්තාවගේ විවෘත මනසින් රැකියා දෙස බලන්න .. ඇත්තටම කිව්වොත් "කලනොහැක්කක් නොමැත"
Friday, 1 May 2020
ලකිරි ටිතා ( හැත්තෑහයේ කිරිඔරුවේ ඉස්කෝලේ කෙල්ලෙක් )
දිනය එක්දාස් නමසිය හැත්තෑහයේ ජනවාරි මාසයේ මුල දවසක් . ස්ථානය බණ්ඩාරවෙල මාරබැද්දේ නිවසක් , අවස්ථාව එදා උදේ හා හා පුරා කියලා ඉස්කොලේ ගිය නිවසේ කණිටු පුත්‍රයා එකලොහ හමාරට ඉස්කෝලේ ඇරිලා ගෙදර ඇවිත් .අම්මයි අක්කයි අම්මගේ මල්ලිලා දෙන්නයි (ලොකු මාමා සහ පොඩ්ඩේ මාමා ) කොළුවා ව වට කරගෙන ඉස්කෝලේ ගැන විස්තර අහනවා .. ලොකුමාමා : චූටිපුතා කොහොමද ඉස්කෝලේ ? අළුත් යාළුවෝ එහෙම හම්බවුණාද? කොළුවා උත්තරයක් දෙන පාටක් නෑ.. චූටිපුතා ඉතිං කියන්න කෝ කවුද ඔයාට හම්බවුණ යාළුවෝ එහෙම? අම්මත් අහනවා අක්කත් අහනවා .. කොළුවාගෙන් තවම උත්තරයක් නෑ .. හරි හරි අඩුමගානේ අපිට කියන්නකෝ යාළුවා පිරිමි ළමයෙද්ද , ගෑණු ලමයෙක්ද කියලා ? ඒ වෙනකොට අවුරුදු විසිගාණක වගේ ඉලංදාරියෙක් වන ලොකු මාමා ආයෙත් අහනවා .. අනික් අය වැඩේ අතෑරලා දැම්මත් ලොකුමාමා වැඩේ අතාරින්නෙම නෑ .. චූටිපුතා කියන්නකෝ බලන්න ඔයාගේ හොඳම යාළුවා කව්ද කියලා එයා ආයිත් ආයිත් අහනවා.. මේ මේ......මගේ යාළුවා තමයි ........අන්තිමට ඔන්න කොල්ලාගේ කට ඇරෙනවා .. හා ඔන්න අපිට කියන්න හදන්නේ ෂ් ...ෂ් උඹලා සද්ද නැතිව ඉඳපල්ලකෝ මම අහගන්නම් කෝ අලුත් යාළුවා කවුද කියලා .... ලොකුමාමා සභාව නිශ්ෂබ්ධ කරනවා ... ම් ..... ම් . ම්. අද ඉස්සෙල්ලාම මට හම්බවුණ යාළුවා තමයි.... ටිකිරි ලතා...
හ හ් හා .. ලොකුමාමයි පොඩ්ඩේ මාමයි අම්මලා ඇතුළුසියළුම දෙනා මහා හය්යෙන් හිනාවෙනවා .. කොල්ලාට තේරුණේ නෑ ඇත්තටම ඇයි කියලා එයාට රත්නකුමරු, තිලකා ඉන්ද්‍රාණි , අජිත්ලාල් කුමාර , චන්ද්‍රලතා කියන පංතියේ අනික් යාළුවන්ගේ නම් හුරුවෙන්නේ පස්සේ . ඒ වුණාට මුල්දවසේම ටිකිරිලතාගේ නම මතකයි.. හිනාවෙලා ඉවරවුණ ලොකුමාමා චුටිපුතා ගේ මුල්ම අන්වර්ථනාමය දෙනවා ඒ තමයි ලකිරිටිතා .. ඊට ටිකකාලෙකට පස්සේ ඒ නම තව ටිකක් කෙටිවෙනවා "ඒයි ලකිරි ඔය උදැල්ල මෙහාට ගෙනැත් දියන් වගේ යෙදුම් යොදමින්.. මට මතක හැටියට අපි ගජ ඉලන්දාරිවෙලා ලොකු මාමලා රාජු මාමල එක්ක කුඹුරු කොටද්දි එහෙමත් එයා ඒ කොලුවට ( මේ මට ) කතා කරන්නේ එහෙමයි
මේ සිද්ධිය සිදුවෙන්නේ මම මුලින්ම ඉස්කෝලෙ ගිය දවසේ 1976 ( අපේ තාත්තා ඉස්කොලේ ලොකු මහත්තයා අඳුරන නිසා මම අඩුවයසෙන් අවුරුදු හයෙන් ඉස්කෝලේ ගියා) එදා දැක්ක ලකිරිටිතා කළු හීන්දෑරි කෙල්ලෙක් , සෙරෙප්පු එහෙමත් නැතිව තමයි ඉස්කොලේ ආවේ. ඇත්තටම ඇත්තටම ටිකිරිලතා ගේ කිසිම විශේෂයක් අපේ කතානායකයාට තිබුණේ නෑ .. කට්ටිය පෙරැත්ත කර කර නම් අහනකොට කියැවුණාට.. කාලයගෙවී ගිහිල්ලා අපි ගමේ ඉස්කෝලෙන් බණ්ඩාරවෙල කණිශ්ඨට එනවා ඒ 1979 වගේ කාලේ එතකොට ඔය කියන ඉඳුළින් කණිෂ්ඨයේ ඉඳලා වෙන ඉස්කෝලෙකට මාරුවෙලා ගිහිල්ලා මම හිතන්නේ තණමල්විළට .. අපි කණිෂ්ඨයෙන් ශිෂ්‍යත්වය සමත්වී මහ විද්යාලයට එහෙම ගිහිල්ලා විශ්වවිද්‍යාල ප්‍රවේශයත් සමත්වෙනවා .. එතෙක් මේ කියපු ටිකිරිලතා ඉන්නේ කොහේද කරන්නේ මොනාද මොකවත් දන්නේ නෑ .. ඒ ගැන අවධානයක් ඇතිවුණොත් නෑ වත්තේදි කුඹුරෙදි ලොකුමාමගේ විහිළුවට ලක්වෙන නමකට උරුමකම් කීවට..
ඔන්න උසස්පෙළ ඉවරවෙලා විශ්වවිද්‍යාල පටග්ගන්නා තෙක් අපි කට්ටියම ඩෙලික් විභාගය කරනවා කරලා ඉංග්‍රීසි උපගුරුවරු ලෙසට අපට පත්වීම් එහෙමත් ලැබෙනවා . මුලින්ම වෙහෙරයායේ කණිස්ඨයට පත්වීම ලැබුණත් මාසකිහිපයක් ගියතැන තාත්තා මට ගම ලඟ ඉස්කෝලෙකට මාරුවක් අරන්දෙනවා. ඒ අපේ ගෙවල් වල සිට බණ්ඩාරවෙලපැත්තට නෙවෙයි අනික්පැත්තට පයින් ගියාම හම්බවෙන ඉස්කෝලේකට . ඒ කියන්නේ හාලිඇල අධ්‍යාපන කොට්ඨාශයේ කෙළවරේම තියෙන බ/මහතැන්න ප්‍රාථමික විද්‍යාලයට.. එකදවසක් මම මහතැන්නට වැඩට යන අපේ ගමේ තවත්ටීච කෙනෙක් එක්ක තේ වත්ත පාරේ පයින් යන ගමන්.. කළු හීන්දෑරි ගෑණු කෙනෙක් දළුකඩන කම්කරැ කණ්ඩායමේ ගැහැණු කෙනෙක් අපි දිහා හොඳට බලන් ඉන්නවා.. ඒ කවුද දන්නවද? එදා ඉස්කෝලේ ගිය මුල්මදවසේ නම මතක්වුණ ටිකිරිලතා .. අපි කැම්පස් යන්න ඉද්දි එයා තේවත්තේ දළු නෙලන්නියක් වෙලා .. මට 1976 මතක්වුණා.. කාලය මැවු වෙනසක අරුමේ
Sunday, 12 April 2020
කෙළපාර, පඩික්කම
ක්‍රෑෂ් තුෂ්.. මම බස් එකට නගින්න ඉද්දී අහල පහලින් මෙවැනි සද්දයක් ඇහෙනවා .. මම යන පාරේ බස් එකකට නඟින්න ඉන්න මාමා කෙනෙක් මට පොඩ්ඩක් එහා ඉඳන් කාරලා කෙළ පාරක් ගහනවා .. ඒ සද්දේ තමයි මට ඒ ඇහිලා තියෙන්නේ.. හඬ ආදෙස බැලූ මට ඇත්තටම ආවේ පිළිකුලක් . ඇයි වදේ තමන් ඉන්න තැනම බිමට කෙළ ගහනවා... අහළ පහළ ඉන්න අය ගැනත් වගක් වත් නෑ .
මේ මම කියන්නේ අපේ තරුණ කාලේ අපොස උසස්පෙළපංති වල ඉද්දි වගේ නිරීක්ෂණය කරපු දෙයක් .. සමහරවිට අපේ රටේ දැන් එහෙම නැතුව ඇති ඒ කාලේ නම් තැන තැන කෙළ ගහන අය හරියට හිටියා බලන් ඉන්න අයට පිළිකුල් වුණාට මේ වැඩේ කරන අය නම් ඔය කෙළ ගහන එක කරන්නේ නිකං පුරුද්දකට වගේ.. මම හිතන හැටියට ලංකාවේ ඔහේ තැන තැන කෙළ ගහන වැඩේ වැඩියෙම කරන්නේ මැදි හෝ මහළු වයසේ ඉන්න පිරිමි අය . අනික් අය මේ වැඩේ කරනවා හරි අඩුයි ..
තැන තැන කෙළ ගැසීම කෙළ හා බිඳිති මඟින් ඉතා සීග්‍රයෙන් පැතිරී යා හැකි කොරෝනා වෛරසය ලෝකෙ පුරා පැතිරී යන මේ මොහොතේ කතා කල යුතුම මාතෘකාවක්..
කොරෝනා වෛරසය ලී , ගල් , ගඩොල් වැනි තද මතුපිටවල් වල දින ගණනාවක්ම ජීවත්විය හැකි වෛරසයක් කියලයි කියන්නේ .. එය කෙනෙකුගේ කිවිසුමකින් වගේ වාතයට එකතුවුණාම වාතයේ රැඳෙන්නේ පැය තුනක් හතරක් වැනි අඩු කාලයක් .. ඉතිං මුවවැස්ම පළඳින එක , එකෙනෙකාගෙන් මීටර් එකමහාරකට වඩා දුරින් ඉඳීම වගේම තවත් වැදගත් එකක් තමයි තැන තැන කෙළ ගැසීමෙන් වැලකීම
ඉස්සර කාලේ ගමේ ගෙවල්වල පිත්තල පඩික්කමක් දෙකක් තියෙනවා බුලත් විටක් කාලා හරි නිකම්ම හරි කෙළ ගහන්න ඕනා නම් ..
අපේ ගෙදර තාත්තා ගේ ඇඳ ලඟත් , පංසලෙ ලොකුහාමුදුරුවන්ගේ ආවාස ගේ ඇඳ ලඟත් පඩික්කමක් තියෙනවා කුඩා කාලේ අපි දැකලා තියෙනවා ..
සතියකට වතාවක් ගෙදර ලමයින්ට පැවරෙන වැඩ අතර ඔය පඩික්කම , අනෙකුත් පිත්තල මල්පෝච්චිආදිය ඇඹුල් දින්න කොළ වලින් අතුල්ලා හොඳට දිලිසෙන්න හෝදලා මැදීමත් ත් ප්‍රධානයි. කුඩා අපට ඒ පැවරෙණ රාජකාරී වලින් එකක් තමයි පඩික්කම පිරිසිදු කිරීම
.. අනික් වැඩ තමයි ලාම්පුවල චිමිනියේ දැලිහෝදල ලාම්පුතෙල් පුරවල හවස් වෙද්දි ගෙදර ලාම්පු ටික පත්තු කරන එක සහ හවසට පහන් අ පත්තු කරලා බුදුන් වඳින එක වගේ වැඩ.. ගොඩක් වෙලාවට ඔය පඩික්කම් මල්පෝච්චි මඳින වැඩේ කරන්නේ අපේ අක්ක , පහන තියන රාජකාරිය පැවරිල තිබුණේ මට .. ලාම්පු චිමිනි සුද්ද කරලා පත්තු කරන වැඩේ අපි තුන්දෙනෙක් අතර රොස්ටර් එකක් (දිනපතා සේවකයා මාරුවෙන විදිහට ) දාලා කරවපු වැඩක්
Monday, 30 March 2020
ගමේ කොල්ලු තලාවී .... පැසී ගොයම් වගාවේ
පෙබරවාරී මාර්තු කියන්නේ අපි ගමේ හිටපු කාලේ කොල්ලු වාරයයි.. ඌව පළාතට කොල්ලු වැහි හෙවත් මෝසම් වැසි වැටෙන මේ කාලයේ අපේ අම්මා අපිත් ඵෙක්ක එකතුවෙලා උඩහාවත්තේ කොල්ලු ඉහිනවා.. කිරිඔරුවේ ආතාත් (අම්මගේ අම්මත් ) මේ කාලෙම කොල්ලු ටිකක් වගා කරනවා මට මතකයි..
කොල්ලු ඉහීමේ ක්‍රියාවලිය ඉතාම සරළ වැඩකි.. තරමක් වල් වැවී ඇති පොළවේ කොල්ලු ඇට ටික ඔහේ විසිකරලා ඊට පස්සේ උදළු කෙටියක් ගෙන ඒ වල් උදළු ගෑම මඟින් බීජ කොල්ලු පස්වලට යටවෙන්නට සලස්වයි.. ලොකුවට බිම් සෑකසීමක් , පොහොර දැමීමක් එහෙම සිදුවෙන්නේම නැතිගාණය.
පෙබරවාරී ,මාර්තු කාලයේ අපේ ගෙවල් තියෙන මාරබැද්දෙත් ආතලා ගෙවල් තියෙන කිරිඔරුවෙත් බොහෝ ගෙවල් අසල කොල්ලු හුණ්ඩුවක් දෙකක් සමහරවිට සේරුවක් ඉහීම සාමාන්‍ය දෙයක්.
බෝංචි , මෑකරල් , මුංඇට, කව්පි වාගේම රනිල කුළයේ භෝගයක් වන කොල්ලු පැල කොල්ලු වැහි එක වැටෙනකොට නිල්පාටින් පීදිගෙන එද්දි සිතට ගෙන එන්නේ නැවුම් බලාපොරොත්තුවකි .. ඒ සිංහල අවුරුද්ද කිට්ටුවෙනකොට අපට කොල්ලු තලන්නට අවස්ථාවක් ලැබෙන බව දැනී එනසතුටත් මුසුවූ බලාපොරොත්තු සහගත බවකි.
බෝංචි , මෑකරල් , මුංඇට, කව්පි වාගේම රනිල කුළයේ භෝගයක් වන කොල්ලු පැල කොල්ලු වැහි එක වැටෙනකොට නිල්පාටින් පීදිගෙන එද්දි සිතට ගෙන එන්නේ නැවුම් බලාපොරොත්තුවකි .. ඒ සිංහල අවුරුද්ද කිට්ටුවෙනකොට අපට කොල්ලු තලන්නට අවස්ථාවක් ලැබෙන බව දැනී එනසතුටත් මුසුවූ බලාපොරොත්තු සහගත බවකි.
කොල්ලු වැහි දෙක තුනකින් පස්සේ නැවතත් එන්නේ බැදරැස් කන්න පායන කාලයක් වුණත් කොල්ලු හැදෙන්නට එය භාදාවක් නොවේ.
අප්‍රේල් මාසේ රටට ඉර මුදුන්වීමත් සමඟ කොල්ලු කරල් හැදී අවසන් ව අස්වනු නෙලන කාලය ලංවෙයි..
" වරෙල්ලා අද කොල්ලු ගලවන්න "කියා මායි අක්කයි නංගියි එහෙම එකතු කරගන්නා අම්මා කොල්ලු ටික ගලවා මිදුලේ එකතැනක ගොඩගස්වන්නීය. එතන කොල්ලු ගොඩ වේලිද්දි හොන්දටම වේලුනු නැති එහෙත් මෝරපු කොල්ලු කරල් වල ඇට ගලවා කෑමට ගන්න එක කුඩා ළමුන් වූ අප හැමෝටම ආශ්වාදයක් ගෙන දෙන්නක් විය.
මිදුලේ එක තැනක ගොමගා කුඩා කමතක් ලෙස හදාගන්නේ අම්ම සහ අක්කා එකතුවයි..
අනතුරුව කොල්ලු ගොඩ ඒ කමත හරියට දමන්නේ කොල්ලු තැලීමට පෙර සූදානමක් ලෙසයි.. අනතුරුව වත්තෙන් කපාගත් පේර, ට්‍රපන්ටයින් පොළු එහෙම අරගෙන අප සූදානම් වන්නේ කොල්ලු තැලීමටයි .තුන්දෙනා තුන්පත්තෙන් හිඳ දෑතබදා කොල්ලු ගස් ගොඩට පහරදීමත් සමඟ කරල් පුපුරා කොල්ලු ඇට බිමට වැටෙයි . පසුව භාගෙට තැලූ කොල්ලු ගොඩ ඉවත්කර අඩියට බේරී ඇති ඇට ඉවත්කර ගැනීම සිදුවේ.. පසුව මේ කොල්ලු ඇට අව්වේ වේලා අවුරුදු මේසේ කොල්ලු ව්‍යංජනයක් හදන්නට ගන්නා තෙක් අම්මාගේ ගබඩා කාමරයේ කොල්ලු මුට්ටියක් තැන්පත්වෙයි ..
ඒඅ අවුරුද්දක කොල්ලු වාරයේ අපේ ආතා කොල්ලු තැලූ කතාව කිව්වේ නැත්නම් කොල්ලුවංශකතාවට ලොකු අඩුවක් සේ ඇයි සිතුණි.ඒ නිසා ආතා කොල්ලු තැලූ හැටි මතක්කරන්නට සිතුවෙමි.. අපේ ගෙදරවගේම කිරිඔරුවේ මැදගෙදර මිදුලේද කොල්ලු කමතක් සූදානම් වී තිබුණා මතකය..
ඒ කාලේ අපේ අම්මත් කිරිඔරුවේ ආතත් වැඩකරන්නේ තරඟයකට වාගේ යැයි හැඟීමක් අපහට කාවැදී තිබුණේ දෙන්නට දෙන්නා එච්චරම හිතවත් නොවූ අවස්ථාද අප දැක තිබූ නිසයි.. ඔන්න ඔය කියන දවසේ ආතා කොල්ලු තලන්නට සූදානම් වී සිටියේ හොඳ වර්ගයේ පොළු රාජයෙක් ද සූදානම් කරගෙනයි .. ආතා දෑතබදා කොල්ලු ගොඩට පහරදෙද්දී වරින්වර නැඟී ආ ඥාව් ඥාව් හඬ ඇයට ඇසී තිබුණේ නැත .. ආතලා ගෙදර සිටි කලුයි සුදුයි පුල්ලි තිබ්බ පූස් පැටියා ආතා අතින් පොළු පහර කා මියගොස් සිටියේ ඉතා අවාසනාවන්ත ලෙසයි .." බලපල්ලකෝ තියෙන දුෂ්ඨකමක මහත අර පූස්පැටියා මරාගත්තනේ.. "කියා කිව්වේ අපේ අම්මා නම් නෙවෙයි මං හිතන්නේ
Subscribe to:
Posts (Atom)










