Saturday, 24 April 2021

එහෙ පලගත්තත් වට්ටක්කා - මෙහෙ පලගත්තත් වට්ටක්කා



 එහේ පළගත් වට්ටක්කා   (1982-83)

මේ කියන දවස්වෙනකොට මම අවුරුදු 12- 13 ක පාසැල් ශිෂ්‍යයෙක් . ශිෂ්‍යත්වෙත් සමත් වෙලා එහෙම හිටපු නිසා ගියේ පළාතේ තිබූ මධ්‍ය මහා විද්‍යාලයට. ඔය දවස්වල තමයි වැඩිය එළවළු වගාවට හුරුවක් නොතිබූ අපි වගා කටයුතු පටන් ගන්නේ . ගෙදර ඉඳලා මීටර් 500 ක් හයසීයක් දුරින් තිබ්බ පල්ලැහැ වත්ත එළිපෙහිළි කරලා අපි අල, බෝංචි , ගෝවා ආදිය හැදුවා මතකයි. 

ඉඩම තිබුණේ "රිසිවේසම "( ජලපෝෂක කැළෑ රොදා අයිනේ .. වගාව ව්‍යාප්ත වීගෙන යද්දි කැලේ අයිනේ කොටසකුත් එළිපෙහෙළි කරලා ගත්තා මතකයි .  ඒ කෑල්ල බොර, අළු/ අලි බෝඹු , දඹ ආදි ගස් වලින් පිරුණු    දිය සීරාව අධික   කොටසට ඔන්න මෙන්න  වගේ  කිරිවැල් , වැරැල්ල ආදියෙන් වැහිළා තිබ්බ කොටසක්  . අපි අම්මාගේ අනුදැනුම ඇතිව මේ කොටස එළිකරේ මාළු මිරිස් හදන්න... මේ හරියේ පස කළුම කළු පාටයි .. ඒ වගේම සරුයි.. 

මාළු මිරිස් හදලා ඉවරවෙලා ඒ පාත්ති අයිනේ කැලේ දිහාට වෙන්නට එක දිගට වට්ටක්කා මණ්ඩි කීපයක් හැදුවා . ඒක කරේ මේ මමම තමයි මතක විදිහට .. 

කාළයක් යද්දී වට්ට්ක්කා වැල් සරුවටවැවීගෙන ආවා .. කොච්චර වැවුණාද කිව්වොත් ඒවා වත්ත අයිනේ තිබුණ කැලේ අලි බෝඹු ගස් උඩ , දඹ ගස් උඩ ඉඳන් දුවන්න ගත්තා .. 

ඔය කාලේ තමයි අපේ පල්ලැහැ ලොකු අම්ම එහෙම  අල බෝංචි  වගේ දේවල් හදන්න පටන් ගත්තේ . එයාලා හැදුවේ අපේ වත්තෙට එක එල්ලේ වගේ කැලෑ රොදෙන් අනික් පැත්තේ  තිබ්බ ඉඩමක .

ඔන්න දැන් වට්ටක්කා වැල් වල ගෙඩි හැදෙන කාලේ  කොළ පාට ගෙඩියේ පොහොර පොහොර තිබෙන ( කිසියම් රටාවක් සහිත ) වට්ටක්කා වර්ගයක් තමයි හැදුනේ .. ඒ කාලේ අද වගේ නෙවෙයි ගොවියෝ තමන්ගේ බීජ තමන්ම හදාගන්නවා ..මේ වට්ටකත් එහෙම කවුරු හරි අපිට දුන්න ඇට වළින් හදපු ඒවා (එහෙම නැත්නම් කෑමට ගෙනා වට්ටක්කා කෑල්ලේ ඇට වලින් පැලකරපුවා ).

පසේ සරුසාර බව කොච්චරද කියනවා නම් එක වට්ටක්කා ගෙඩියක් කිළෝ පහළොවක් විස්සක් විතර බරයි . ඒ වගේ වට්ටක්කා ගෙඩි අඩුම ගානේ පහළොවක් විස්සක් වත් හැදෙන්න ඇති අපි හදපු වට්ටක්කා මණ්ඩි තුනේ.. ඒ වට්ටක්කා නගරයේ පොළට ගෙනියද්දී එක එක ගෙඩි කරෙන් ගෙනිහින් ගෝණි වලට දැම්මේ උඩහා පාරෙදි . එළවළු වෑන් එක එන හරියෙදි .. එහෙම ගෙඩි දෙකක් හෝ තුනක් තමයි ගෝණියකට ඇල්ලුවේ 

ඔය කාලෙදි පොළේ යන කණ්ඩායමට මම හෝ අය්යා ( හැමදාම අම්මා යන්නේ නෑ) වගේම පල්ලැහැ ලොකු අම්මා , දිය කඩිත්ත ලඟ ගෙදර ආතා වගේ පිරිසක් ඉන්නවා .. ගමේ ඉඳන් නගරයට යන අතරේ   BS  මාමලා   ඩෙලිකා වෑන් එකේ එකම සද්දයක් .. පල්ලැහැ ලොකු අම්මා තමන්ගේ වගාව ගැන පුරා ජේරු කියනවා.... දියකඩිත්ත ලඟ ආතා වගේ අය , අපේ අම්මා හිටියොත් එයා එහෙම හූ මිටි තියනවා ... " කරුණංගී  දන්නවද? ගිය පාර අපේ අල  පාත්තියේ හැදුනනේ   මහා විශාළ අලයක්... කිව්වට විශ්වාස කරන්නේ නෑ එක අලයක් මේ අපේ CH   විතර ඇති "

 "ඒ අලේ බීජ අල කරලා කුඹුරේ හදද්දි පෙති පෙති කැපුවා ... මං හිතන්නේ  එක අළෙන් අල පාත්තියකටම බීජ අල ගන්න පුළුවන් වුණා .."

 ඈ මේ කියන්නේ ඒ කාලේ ගොඩ අළ හදලා ( බීජෙට හදන අල ) ඊට පස්සේ ඒවායෙන් මඩ අළ ( කුඹුරේ  ගොයම් හදන්නේ නැති කන්නයේ එළවලු හද්දද්දී හදන අල )  ලෙස හදනකොට අල ගෙඩි පෙති කපා බීජ අල හදා ගන්නා ක්‍රමය ගැනයි .

අල ගලවන කාලේටත් ලොකු අම්මාගේ පුරාජේරු එහෙමමයි .

".. කරුණංගිට කියන්න ....අපේ ඩිසයිරි අල වල මාර අස්වැන්නක් තිබ්බනේ මේ පාර....  එකට දහයයි දොළහයි.. අල විකුණලා චේන් එකක් ගත්තා නංගී... මෙන්න මෙච්චර ඇති ඒ චේන් පොට " 

අපේ ලොකු අම්මාගේ CH විතර අල මෙන් අතිශෝක්තියක් නොව ඇත්තටම අපේ වට්ටක්කා ගෙඩියක් CH ගේ භාගයක් විතර වූ බව නම් සත්‍යකි.. (ගෙඩි දෙකකින්  හෝ තුනකින් ගෝණියක් පිරෙන්න පුළුවන් වට්ටක්කා ගෙඩියක් ගැන හිතාගන්න ) .

... CH කියන්නේ ඒ කාලේ අවුරුදු දහයක් පමණවූ එතරම් උස නැති එහෙත් තරමක් මහත අපේ ලොකු අම්මාගේ දුවයි. 


මෙහේ පළ ගත්තත් වට්ටක්කා  

අපේ ලොකු අම්මා , දිය කඩිත්ත ලඟ ආතා ආදී බොහෝ පිරිසක් බුදුන් දැක නිවන් දකිනා තව්තිසාවේ වාසය කරන මේ කාලේ අපි තවමත් මහ පොළව සමඟ හැප්පෙන්නෙමු . 

ඒ ඉස්සර වගේ ආර්ථිකයට දායකවීමකට නොව සති අන්තයේ නිවසට වී විවේක පාඩුවේ ඉන්නා අතරේ ගතට සිතට සහනය දෙන වැඩක් ලෙස කරන ගෙවතු වගාවක් ලෙසිණි... 

සතිය පුරා මිනිස්සුන්ගේ මානසික , කායික රෝග මෙන්ම නොයෙකුත් මානසික පීඩාවන් , පවුල් අවුල්  , සේව ස්ථාන වල ගැටළු ආදිය හිසේ පුරවා ගෙන හිඳ ලැබෙන ඇසිල්ලෙන් ගහක් කොළක් සිටුවා .. ඒවා එක්ක කතා කරමින්  කාලය ගත කරන්න ලැබීම මටනම් වෙනමම සතුටකි. ගස් කොළං දළුලා වැඩෙන හැටි බලමින් , ඒවායේ මල් ඵල  හටගන්නා හැටි බලමින්  නිවසේ පිටුපස ඇති කුඩා එළවළු කොරටුවේ  කාලය ගත කරන්නට මා වගේම ගෙදර අනික් දෙන්නාත් ඉතාම ප්‍රිය කරති .

වෙන අවුරුදු වල අපේ ගෙවත්තේ හැදෙන්නේ වට්ටක්කා ගෙඩියක් හෝ දෙකක් පමණක් වුවද මේ අවුරුද්දේ එය තරමක් වෙනස් වී තිබේ.. 

















ජැප් පම්කින් ( පොහොර වට්ටක්කා ) ගෙඩි නවයකුත් . ලංකාවේ අපි රට වට්ටක්කා නමින් හඳුන්වන මෙහේ ක්වින්ස්ලන්ඩ් බ්ලූ  පම්කින්  ලෙස හඳුන්වන නිල්/ අළු පාට වට්ටක්කා ගෙඩි දෙකකුත් , ලංකාවේ ඩුබායි වට්ටක්කා ( බටානා හෙවත්  බටර් නට්) ගෙඩි දෙකකුත් තිබෙන අපේ ගෙවත්ත මෙවර තනිකර වට්ටක්කා යායකි  .. 

වෙන මොනවා නැතත් මේ වට්ටක්කා දිහා බලාගෙන  මගේ සිතුවිළි 1982-3 දිහාට ගිය එකම මදිද සතුටු වෙන්න කාරණයක් විදිහට ..

අපි දැන් මෙහේ පළ ගත් වට්ටක්කා එක එක කඩනවා .. ගෙදර කැල්ලක් උයලා ඉතිර් කොටස් ලඟ පාත ඉන්න ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන හිතවතුන් එක්ක බෙදා  හදා ගන්නවා ( අන්තිමට කඩපු ගෙඩිය කිලෝ හතර හමාරක් ,අපි පවුල් තුනක් අතරේ බෙදා ගත්තා )   

........එහෙනම් කට්ටියම එන්න   වට්ටක්කා කෑල්ලක් අරන යන්න., අපේ ලොකු අම්මලා , දිය කඩිත්ත ලඟ ගෙදර ආතාලා වගේ අයට පිංසිද්ධවෙන්නත් එක්ක  .............



Friday, 23 April 2021

අවවාද අනුශාසනා අංක තුන : ඇත්තද මේ කියන්නේ

 



පසුගිය කළාපයෙන් (ඇත්තටම මේ කොටස ලිව්වේ 2018 වගේ)



දියකඩිත්ත ලඟ ගෙදර ආතම්මා සහ අපේ අම්මා ජයංගනීලා අම්මාට අවවාද දීමත් , ඒ ආත්තම්මාගේ ලොකුපුතා මට පැය දෙකක පමණ දේශණයක් දීමත් අවසාන වී ටික දවසක් ගතවී ගියේ කිසි හාවක් හූවක් නැති ගාණටයි . 

උදේ පාසැලේ උගන්වන්නට යන මම හවස කුඹුරේ වැඩටත් , සතියට වතාවක් දෙකක් හෝ ජයංගනී මුණගැසෙන්නට ( පාසැල් ඇරෙන වෙලාවට ) නගරයට යන්නට පුරුදු වී සිටියෙමි. ගෙදර අයගෙනුත් ලොකුවට කළබලයක් නොපෙනුනේ නිසා නිදහසේ ජීවිතෙ ගලා ගියේය.. 

අපේ නංගිලා , අක්කලා වගේම ඇතිමලේ බාප්පලා දුවලා දෙන්නා එක්ක එහෙම එකට පාසැල් බසයේ ගමන් කරන ජ‍යංගනී ඒ ඒ අයගෙන් ඇයට ලැබෙන විවිධාකාරයේ ප්‍රතිචාර වලට මුහුණදෙන්නට ඇත.  ඒ කිසිවක් මා හට නොකියන්නට ඈ වගබලාගත් නිසා ඒවා මොනවාද යන්නත් මට දැනගන්න ලැබෙන්නේ අවුරුදු දහයක් පහළොවක් ගතවූ තැන මුහුණු පොතෙන් අපට හමුවූ ඇයගේ සමකාළීන පාසැල් සිසුවියන්ගෙනි.

ඔය කාලයේ සතිඅන්තයට මම ගමේ පංසලට යාම අනිවාර්යයෙන්ම සිද්ධවෙන දෙයකි.. ටික දවසක් පංසලේ මම සාමාන්‍ය පෙළ සිසුන්ට පංතියක් කල නිසාත් . පංතිය දෙමළ ඉස්කෝලේ තියෙන කාලේ වුණත් පංසලේ පොඩි හාමුදුරුවෝ මුණගැහෙන්නත් මම පංසලට යාම ඒම පුරුද්දක් කරගෙන සිටියෙමි.

ඒ කාලේ පංසලේ වැඩ සිටි පොඩි හාමුදුරුවෝ අපේ සමවයසේ කෙනෙක් නොවේ .. උන්වහන්සේ ඒ වනවිටත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්  ගෞරව උපාධියක් එහෙම ලබාගෙන පළාතේ පිරිවෙනේ ආචාර්ය වරයෙක් ලෙස සේවය කරමින් සිටි කෙනෙකි . එමෙන්ම උන්වහන්සේ ඒ වනවිට දිස්ත්‍රික්කයේ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරීන් වහන්සේ වශයෙන්ද කටයුතු කල සේක .

ඒ පොඩි හාමුදුරුවෝ අපේ ගමේ පංසලේ වැඩවාසය කලද ඉපදී හැදී වැඩී තිබුණේ අපේ ගමට කිලෝමීටර් හත අටක් දුරින් පිහිටි වෙනත් ගමකයි .  පංසල් දෙකම එකම ප්‍රධාන පංසලක් යා සම්බන්ධ නිසා උන්වහන්සේ අපේ ගමේ පංසලට එවා තිබුණේ ලොකු හාමුදුරුවන්ගෙන් පසු පංසල භාරදෙන බලාපොරොත්තුවද ඇතුවයි.. 

මේ කියන දවසෙත් මම  පුරුදු පරිදි පංසලට ගියේ පොඩි හාමුදුරුවෝ එක්ක වගේම ලොකු හාමුදුරුවෝ එක්කත් ටිකක් කතාබහ කරන්නත් , ඒ කාලේ පංසලේ සිටි ගෝලයා එක්ක කය්යක් ගහන්නත් හිතාගෙනයි ,  කොටින්ම කිව්වොත් නිකං ගෙදර ඉන්න ගමන් ඒ පැත්තට යන්න හිතුණු  නිසයි.

මා පංසලට යනවිට පොඩි හාමුදුරුවෝ සිටියේ බුදු ගෙයත් ඝණ්ටාර කුළුණත් අතර කොටසේ සක්මන් කරමිණි.. 

දුඹුරු පාට ඉරි ඉරි සහිත පිජාමා සරමකුත් , ඊටම ගැලපෙන ලා දුඹුරු පැහැති ක්‍රොකඩයිල් ටී ෂර්ට් එකකුත් ඇඳගෙන පයේ රතු/දුඹුරු පැහැති ලෙදර් සෙරෙප්පු දෙකකුත් දාගෙන මා එහි ගොස් සිටියේ පංසලට වුණත් ඉතා පිළිවෙලට සැරසී එන තරුණයෙකු විලසිණි.. ( මඟදී ජයංගනී හෝ පවුළේ කෙනෙක් හමුවණු ඇතැයිද සමහර විට පංසලේ   බෝධි පූජාවකට හෝ ඔවුන් එනු ඇතැයිද සිතන්නට ඇත්තේ  මා නොව මගේ යටිසිත විය යුතුය ).

"හා කොහොමද ?  අම්මා තාත්තා එහෙම ගෙදරද? " මට වඩා අවුරුදු දහයක් දොළහක් වයසින් වැඩි පොඩි හාමුදුරුවෝ කතාවට ප්‍රවිශ්ඨ වන්නේ මගේ නම හෝ "අය්යා" , "මල්ලී "වැනි නෑදැ කමක් හෝ නොකියමිණි.

"හොඳින් ඉන්නවා හාමුදුරුවනේ අම්මලාත්  ගෙදර ඉන්නවා. මම නිකං ඉන්න ගමන් පංසල පැත්තේ ඇවිල්ලා යන්න ආවා . බෝධි පූජාව හරි මල් පහන් පූජාව හරි තිබුණොත් ඒකටත් ඉඳලා යන්න.. " 

හොරෙන් බෝධිය දිහා බලමින් මම හැසිරෙන්නේ නියම උපාසකයෙකු විලසිනි... කතාව යන අතරේ එක්වරම හාමුදුරුවෝ තම තට්ටය අතගාන්නට පටන්ගත්තේය .. ඒ කාලේ උන්වහන්සේ එසේ කරන්නේ කිසියම් බැරෑරුම් දිශාවකට සාකච්චාව යොමුවන විටයි .. ටික වෙලාවක් තට්ටය පිරිමදිමින් සිටි උන්වහන්සේ නැවතත් තම හඬ අවධි කළේය ... "මම අහන්නමයි හිටියේ ඔය කට්ටිය කියන කතාව ඇත්තද ? ......ඔයා  අර විමළා ටීචර්ලා දුවත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා කියන එක ? "

හාමුදුරුවන්ටත් කවුරු හරි මොනවා හරි කියලා ... මම උඩ බිම බැලුවේ ඒ කව් රුන් විය හැකි දැයි සිතමිණි.. 

"ඔයා වගේ කෙනෙකුට ගැළපෙන්නේ නෑ නේද ඒ වගේ දෙයක් කරන එක ? ගමේ පිළිගත්ත, යමක් කමක් දන්න තරුණයෙක් වුණාම හොඳ ට ඉන්න ඕනෑ නේද? " 

හාමුදුරුවෝ දිගටම කියවාගෙන යයි ..

"මොන සම්බන්ධයක්ද? කව්ද හාමුදුරුවන්ට කිව්වේ ? " මම ඇසුවේ විමතියෙනි.. 

ගමේ මිනිස්සු බොහෝ දෙනෙක් අපි ගැන දැනගෙන හිටියා වුණත්, දෙන්නාම මිනිස්සු කව්රුත් කැමති , කිසිකෙනෙක් එක්ක අමනාප නැති , ප්‍රිය මනාප තරුණ යුවලක් නිසා සාමාන්‍යයෙන් ගමේ කෙනෙක් විශේෂයෙන් හාමුදුරුවන්ට කියන්නට තිබෙන ඉඩ කඩ ඉතා අඩුය .

"මට කිව්වේ වෙන කව් රුවත් නෙවෙයි  ඔයාලා තාත්තා, නාමරත්න මහත්තයා හරි කණගාටුවෙන් ඉන්නේ ඔයාගේ අනාගතය අඳුරුවෙයි කියලා මේ වගේ වැඩ නිසා .. ඔන්න ඔහේ ඔය ගණුදෙනුව අමතක කරලා දාන්න.. 

දැන් උසස්පෙළත් කරලා නේද  ඉන්නේ ? කැම්පස් ගියාම ඕවා අමතක වෙලා යයි .. ඔයාලගේ දෙමව්පියන් හරියට මහන්සිවෙනවා නේද ඔයාලට යහමඟ යවන්න ? . ඒ මිනිස්සුන්ට දුකක් වෙන දෙයක් කරන්න එපා "

හාමුදුරුවෝ තම අනුශාසනාව අවසන් කලේ එළෙසිණි.

 තට්ටය අතගාමින් හිමින් හිමින් සාකච්චාව කරද්දී මට හැඟීගියේ තාත්තා කියපු නිසා අවවාද කළාට උන්වහන්සේ පෞදගලිකව මට අවවාද දිය යුතු යැයි සිතා සිටියේ නැති බවයි 

එදා හාමුදුරුවන්ගේ අනුශාසනාවත් අසාගෙන හවස මල් පහන් පූජාවටත් සහභාගී නිවසට පැමිණි මා ඇත්තටම සිටියේ තරමක කණස්සල්ලෙනි.. එහෙත් ඒ බව කාටවත් නොපෙන්වූ මම එදිනෙදා වැඩ කටයුතු කරගෙන ගියේ කිසිවක් සිදුනොවූ පරිද්දෙනි.. 

මට එය එතරම් අපහසු වන්නේ කුමකටද   ජයංගනීට සමකාලීන දිනවල සිදු වී ඇති දේවල් එක්ක බලනකොට මා මුහුණ දී තිබුණේ සරළ සිදුවීම් දාමයකය.  

ඒ සිද්ධි දාමයන් මා දැනගන්නාවිට අප හා සම්බන්ධ මේ සිදුවීම් අවසන් වී අවුරුදු විස්සක් වත් ගතවී තිබෙන්නට ඇත.. එතෙක් ඒ සියල්ල තනිව දරාගන්නට ඇය පෙළඹී තිබුණේ මට ඒවා ගැන කියා කරදර කරන්නට අවශ්‍ය නැතැයි ඈ සිතූ නිසාත් සියල්ල තනිව දරාගෙන ජීවිතයට මුහුණදීමේ හැකියාව ඇයට කවදත් තිබූ නිසාත් වියයුතුය ..  ඒ අනුව බලද්දී මා දුර්වලයෙකි  .

මා විශ්ව විද්‍යාලය ගොස් ටික  කලක් යද්දී ගමෙන් ආ ආරංචියකි.. ජයංගනී අතහරින්නැයි මට අනුශාසනා කළ  සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී හාමුදුරුවෝ අපේ ගමේ පන්සලෙන් ගොස්තිබුණේ තමන් දරාසිටි චීවරයටද ආයුබෝවන් කියමිණි.. ඒ ජපුර විශ්වවිද්‍යාලයේ ඉන්නා කාලයේ සිට සම්බන්ධතාවයක් තිබූ තවත් උපාධිධාරිණියක් සමඟයි .. 

මෑතකදී මම උන්වහන්සේ ගැන ආරංචි කර බැලුවෙමි .. අහලා තියෙන හැටියට   පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂක තනතුරක් පවා දරා ඇති ඔහු හෘදයාභාධයකින්  අභාවප්‍රාප්ත වී තිබුණේ වයස අවුරුදු පණස් ගණනක් වාගේ  වෙද්දීය  

Tuesday, 20 April 2021

යළි නො එනා හේමන්තය



 2021 අප්‍රේල් 16 වෙනිදා සේවා ස්ථානයේ ඉඳිද්දී මට දිගින් දිගටම ලැබුණු දුරකතන පණිවිඩ කිහිපයකි.. කාර්යබහුල නිසා උත්තරදෙන්නට නොහැකි වුණත් දිවා ආහාර විවේකය ලැබුණ සැනින් ඇමතුම් දුන් කෙනාට කතා කළෙමි.. 

"ඔයා දන්නවද ඊයේ වෙලා තියෙන දේ? අර සිසිර අය්යලා කොළඹ ඉන්න මල්ලියි එයාගේ පුතයි ගංවතුරකට ගහගෙන ගිහිල්ලා අතුරුදහන් වෙලාලු" එහා පැත්තෙන් කියවාගෙන යන්නේ අපේ පාසැල් සමයේ ගමේ හිටි හිතවතා හේමන්ත සහ ඔහුගේ පුතා ගැනයි.. මම ඒ සැණින් බණ්ඩාරවෙලට (අපේ අම්මලාට ) කතා කලේ වැඩි විස්තර  දැනගන්නා බලාපොරොත්තුවෙනි  

"තාම හම්බවෙලා නෑලු පුතා.. තාත්තලා ඊයේ හවසම හල්දුම්මුල්ලට ගියා බලන්න ... ඔහිය පැත්තෙන් එකපාරම වතුරක් ඇවිල්ලා මේ දෙන්නා ගහගෙන ගියාලු. කොළඹ පාරේ පාළම් දෙක කියන තැනලු  ඔය කට්ටිය නාන්න ගිහින් තියෙන්නේ .. අපරාදේ අවුරුද්දට අම්මා බලන්න ගමේ එන ගමන් තව පැයකින්ගෙදර එන්න හිටපු කට්ටිය නේ මේ නාන්න ගිහිල්ලා තියෙන්නේ " 

හේමන්ත අප කුඩා කාලයේ සිටියේ කිරිඔරුවවිද්‍යාලයේ ගුරුනිවාසයේය.. ඒ ඔහුගේ මව සීලවතී ටීචර් අපේ ඉස්කෝලේ දෙකේ පංතිය ඉගැන්වූ ගුරුවරිය නිසාත් ඇය හේමන්ත සහ ඔහුගේ සහෝදර සහෝදරියන් සමඟ  ජීවත්වූයේ එම ගුරු නිවාසයේම නිසාත්ය.. කුඩා කාලේ අප ඔහු හැඳින්වූයේ  "අම්මී"  යන නමින්. ඒ ඔහුගේ පවුළේ අය ආදරයට වැඩි කමට ඔහුට පාවිච්චි කල නමයි .. වැඩිහිටියෙක් වෙද්දී ඒ නම "බන්ටී " බවට පත්වී තිබේ . එහෙත් සමවයසේ  කොල්ලෝ කුරුට්ටෝ ඔහුට ඇති තැන හේමන්ත යන නමත්  නැති තැන අම්මී හෝ අම්මියා යන නමත් පාවිච්චි කළහ .

පවුළේ බඩපිස්සා වූ ඔහුට අය්යලා අක්කලා සියළුදෙනාගේ සැලකුම් ලැබුණු නිසා කුඩා හේමන්ත ගතකලේ කුමාරයෙක් හා සමාන දිවි පෙවෙතකි. කෙනෙකුට ඔහු තරමක් ආඩම්බර කාරී යැයි සිතුණේ වියහැකි වුවද ඔහු හා ලඟින් ඇසුරු කල අපට නම් ඔහු ගැන ඇත්තේ ඉතා මිහිරි මතකයකි.. පුංචිම කාලේ හේමන්තත් අපත් සියළුම දෙනා පාසැල් ගියේ කිරිඔරුව විද්‍යාලයටයි .. අපට මීටර් දෙතුන් සීයක ගමනක් වූ එය ඔහුටනම් ගෙයින් එළියට අඩි කිහිපයක් පමණක් වූ ගමනකි. එමෙන්ම පාසැලේ  ආචාර්ය මණ්ඩලයේ පැරණිම සාමාජිකාවක් වූ ඔහුගේ මව සීලවතී ටීචර් නිසා  හේමන්තට ගුරු මණ්ඩලයේ හැමෝගෙම  ආදරය කරුණාව හිමිවිය.. මේ අය අතර අපේ අම්මාගේ නංගී සුදු පුංචී ,කිරිඔරුව ඉස්කෝලේ චිත්‍ර ගුරුවරයා වූ අපේ පොඩි බාප්පා (තාත්තගේ මල්ලී ) වගේම බෙන්හොප් වත්තේ සිට පැමිණි කාන්ති ටීචර් ද වූවාය .

ඒ කාලේ අපේ තාත්තා බණ්ඩාරවෙල අධ්‍යාපන කන්තෝරුවේ වැඩ කළ අතර විදුහල්පතිතුමා , සීලවති ටීචර්  ඇතුළු ගුරු මණ්ඩලයේ සියළුම දෙනා අපේ තාත්තාගේද ලඟම හිතවතුන් වූහ  .

ටික කලක් ගතවෙද්දී ගමේ ඉස්කෝලේ ගිය බොහෝ දෙනෙක් නගරයේ පාසැල් වලට යවන්නට ඔවුන්ගේ දෙමව්පියෝ තීරණය කළහ . විශේෂයෙන් රජයේ සේවකයින් වූ බොහෝදෙනෙක් ඔවුන්ගේ දරු දැරියන් බණ්ඩාරවෙල නගරයේ පාසැල් වලට ඇතුල් කළහ . ඒ අනුව මාත් අය්යාත් වගේම හේමන්ත ත් අපේ බාප්පාගේ ලොකු පුතා කමල් සහ තවත් කොල්ලො කුරුට්ටෝ රාශියක් නගරයේ පාසැල් වලට යන්නට පටන් ගත්හ.. 

ඒ දවස්වල පාසැල් බස් රථයේ අපිත් එක්ක ගමන් කළ පිරිසට හේමන්තත් ඔහුගේ ගෙදරම නැවතී සිටි කැළුම් සහ අපේ කමල් මල්ලී ඇතුළු බොහෝ පිරිසක් එකතු වූහ.. උදේ පාසැල් යන ගමනෙදිත් පාසැල් ඇරී නිවසට එන ගමනේදිත් මේ හැමෝම එක පොදියට පාරේ ගමන් කලේ එක එක විහිළු තහළු කරමින් මෙන්ම යම් යම් කෙළි කවට කම් කරමින් වීම විශේෂයකි.. 

නිවෙස් වලට පැමිණ ටික වෙලාවකින් අපි හැමෝම එකතුවන්නේ තෙළිහාවැව  පිට්ටනියටයි . ඒ පිළ් දෙකකට බෙදී ක්‍රිකට් ගහන්න සහ තම තම කණ්ඩායම් වල හැකියාවන් අනෙකුත් කොල්ලන්ට පෙන්නුම් කරන්නටයි.. ඒ කාලේ හේමන්ත ප්‍රසිද්ධ මළල ක්‍රීඩකයෙක් නොවූවත් පසුකාලීනව ඔහු දක්ෂ කෙටි දුර ධාවන ක්‍රීඩකයෙකු වූයේ   උදේ හවස බණ්ඩාරවෙල නගරසභා පිටියේ කළ පුහුණුවීම් වල ප්‍රතිඵලයක් ලෙසයි.. සවස් භාගයේ තෙළිහාවැවේ  කළ ක්‍රිකට් තරඟ වල හේමන්ත කැපී පෙනුණේ දක්ෂම පන්දු යවන්නා ලෙසත් සමහර අවස්ථා වල දක්ෂ පිතිකරුවෙකු ලෙසත්ය .

කමල් , කැළුම් සහ හේමන්ත එක පිළකත්  අපේ අය්යා මම සහ විළියොං මාමලා උපනන්ද ඇතුලු පිරිස අනික් පිළටත් බෙදීයාම ඒකාලේ සාමාන්‍ය සිරිතයි .. වරක් හේමන්ත විසින් තබා තිබූ තෙලිහාවැව පිට්ටනියේ වැඩිම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව අපේ අය්යා විසින් බිඳ හෙලනු ලැබුවේ දිගින් දිගටම එල්ල කළ හතරේ හයේ පහරවල් වලට පිංසිදුවන්නටයි . එදානම් ප්‍රතිවිරුද්ධ පිළේ නායකයා වූ හේමන්ත එතරම් සතුටු වූයේ නැති දවසකි.  

තවත් වසර කිහිපයක් ගතවෙද්දී හේමන්ත තම අවධානය මළල ක්‍රීඩා වෙනුවෙන්ම යොදවන්නට පටන්ගත්තේ ඒ කාලේ බණ්ඩාරවෙලින් බිහිවූ සාෆ් මිටර් සියයේ සූරයා හේමලාල් ප්‍රියංකර ( මල්වත්තේ හේමලාල් අය්යා ) අනුගමනය කරමිනි. අපේ ඉස්කෝලේ ක්‍රීඩා භාර ගුරුවරයා වූ ජයතිස්ස සර් යටතේ ඒදවස්වල පුහුණුවීම කළ පිරිසට හේමලාල් අය්යා , හේමන්ත , හීල් ඔයේ අශෝක සේනාරත්න , අමුණුදෝවේ ගාමිණි රත්නසිරි අය්යා ඇතුළු සාහෙන පිරිසක් වූහ .  

ඒ කාලේ අපි මොනිටර් පොත් දෙකතුනක් අතින් එල්ලා ගෙන ඉස්කෝලේ යද්දී හේමන්ත  යන්නේ අඩිඩාස් බෑග් එකේ ක්‍රීඩා ඇඳුම් ආදිය දාගෙන නියම ක්‍රීඩකයෙකුගේ විළාශයෙනි .. 

උසස්පෙළ කාලය වෙද්දී ( හේමන්ත කලේ  ගණකාධිකරණ විශයන් බවයි මගේ හැඟීම )  හේමන්ත ලා සහ අපි දුරස්ථ වූ අතර . ඔහු අපිට නැවත හමුවන්නේ මුහුණුපොතේ මිතුරෙක් ලෙස මීට වසර ගණනාවකට පෙරයි .. ඒ වනවිට අප ලංකාවෙන් පිටත් වී ගොස් වසර ගණනාවක් වන අතර හේමන්තද    කොළඹට ආසන්න ප්‍රදේශයක පෞද්ගලික බැංකුවක කළමනාකරුවෙකු ලෙස සේවය කළේය .. 

මුහුණු පොතේ හැසිරීමෙන් අපි දෙදෙනාම එක සමාන වූයෙමු .. හේමන්ත  තම  ශාරිරික පෙණුම ගැන බොහෝ උනන්දු වූ අතර ඔහු ඇත්තටම හින්දි  සිනමාවේ දැකිය හැකි නළුවෙකු මෙන් පෙණුනු වාර අනන්තය .. "බොරු කියන්නේ මොකටද මමත් ශාරීරික පෙණුම ගැන සෑහෙන්න උනන්දුයි තමයි .. එකම වෙනස මම නළුවෙක් වගේ පෙණුනොත් ඉතින් දකුණු ඉන්දියානු සිනමාවේ කෙනෙක් වගේ  තමයි ..."

අපි දෙන්නාම තාත්තා පුතාලාගේ චායාරූප එකට දමමින්  පුතා තමන්ගේ හොඳම යාළුවා ලෙස සැලකූ තාත්තලා දෙදෙනෙකි .. අපේ මුහුණුපොතේ හිතවතුන් අප බලන්නට මෙන්ම අපේ පුතාලා බලන්නට මුහුණු පොත පරිහරණය කළ බව නොරහසකි .. වරක් ඔහු පළකල චායාරූපයක් යටින් මම  මෙසේ ලියා තැබුවෙමි ...  " ආ මේ අපේ අම්මියා නේ? " ඔහු එයට සිනාසුණා මිස   තරහක් ඇතිවූ බවක් පෙන්වූයේ නැත ...

මේ ආකාරයට හෝඩියේ දෙකේ පංතිවල සිටම යාළුවන් වූ අපි මුහුණුපොත හරහා ඉතාම සමීප මිතුරන් වූයෙමු .. එහෙත් අවාසනාවකට ඒ මිත්‍රත්වය හදිසියේ අවසන් කරමින් හේමන්ත ඔහුගේ සමීපතම හිතවතා වූ ඔහුගේ පුතා තුල්නිත් " හේමන්තගේ භාෂාවෙන්තුල්ලා " සමඟ හල්දුම්මුල්ල පාළම්දෙක අසලදී වේළි ඔයේ ජළ පහරේ සැඟවී ගියේය .. එය මා පමණක් නොව අපේ පවුළ්වල සියළු දෙනා බලවත් ලෙස ශෝකයට පත් කල සිදුවීමකි.. 



දාසයවෙනිදා හේමන්තගේ සහ ඔහුගේ දයාබර පුත් තුල්නිත් ගේ නිසල දේහයන් වේළිඔයේ ගල්කුළු අතරින් සොයාගන්නා විටත් ඔවුන් දෙදෙනා  එකිනෙකා තදින් අල්ලා ගෙන එකටම සිටි බව ඇසින් දුටු සාක්ෂි කරුවෝ පවසා තිබිණි.... 

අපේ බාල කාලයේ නොමියෙන මතක රැසකුත් , මෑත කාලයේ ඒ හා සමාන මතක රැසකුත් ඉතිරි කර  අපෙන් සමුගන්නා හේමන්තටත් ඔහුගේ ආදරණීය  පුතනුවන් වූ තුල්නිත් ටත් නිවන් සැප ලැබේවායි පතමු 





Friday, 9 April 2021

බිබිලේ බාප්පා


 


අපේ බිබිලේ බාප්පා (අම්මාගේ මද්දුම නංගීගේ මහත්තයා ) ගැන කියන්නට කතා බොහෝමයක් තිබේ.. වෘත්තියෙන් ගුරුවරයෙක් වූ ඔහු බිබිල ප්රදේශයට එන්නේ 1970 ගණන්වල මුල්කාලයේය. එකල ජනශූන්ය පළාතක් වූ බිබිල නගරයට තරමක් දුරින් පිහිටි විශාල ඉඩමක් (ඇත්තෙන්ම කැලෑවක් ) තම නිවහන කරගන්නා ඔහු ඉන් කිලෝමීටර් ගණනාවක් දුරින් පිහිටි මො/ඉළුකාපතන කණිෂ්ඨ විද්යාලයේ උපගුරුවරයෙක් ලෙස වැඩට ගියේ බයිසිකලයෙනි.
උදේ පාන්දරින් නැඟිට පාසැලට යන්නට පෙරත් පාසැළ අවසන් වී නිවසට ආවෙලේ සිට රෑ හත අට වෙනකනුත් නිවස අසළ ගෙවත්තේත් ඊට මඳ දුරකින් පිහිටි ඒ ඉඩමේම අනික් කෙළවරේ ඔහුවිසින්ම අස්වද්දන්නට යෙදුනු කුඹුරේත් වැඩකරන්නට පුරුදු වී සිටි ඔහු කම්මැළි කම කුමක්දැයි වත් දන්නා කෙනෙක් නොවන බව මගේ හැඟීමයි.
අසූවේ මුල්භාගය වගේ වන විට කුඩා දියණියන් තිදෙනෙකු ගේ පියා බවට පත්වූ ඔහු නොසෑහෙන්න මහන්සි වී වැඩකළේ ඒ දියණියන් වෙනුවෙන් සුරක්ෂිත නිවහනක් , යහපත් අනාගතයක් ගොඩ නැඟීමේ අරමුණ පෙරදැරි කරගෙන යැයි මට සිතේ.
තමන් ගෙවත්තේ වගාකළ පොල් , තැඹිළි දෙහි, දොඩම් , අළු කෙසෙල් ආදියත්, කුඹුරෙන් ගත් වී අස්වැන්න කොටා සරිකර ගත් හාල් වලින් පංගුවකුත් අම්මලාගේ පවුළේ හැමෝටම වගේම අපිටත් අරගෙන සිංහල අවුරුද්දට අපේ ගෙවල් වල එන බිබිලේ බාප්පා මේ මාසයේ සිහිවෙන්නට විශේෂ හේතුවක් තිබේ.
1984 අවුරුද්දේ තමන්ගේ වත්තේ බව භෝග වලින් නෙලාගත් අස්වැන්න ලොරියක පටවාගෙන කොළඹ යන්නට ඔහුතීරණය කිරීමත් (බිබිලේ පොළේ ඒවා විකුණනවාට වඩා වැඩි ලාභයක් කෙළින්ම කොළඹ ගොස් විකීණීමෙන් ලාභාගන්නට සිතා), ඒ ලාභයෙන් එතෙක් අත්තිවාරමට පමණක් සීමාවී තිබූ නිවස ගොඩ නැඟීමට සැලසුම් කර තිබීමත් ආදී බාප්පාගේම හිතේ තිබ්බ සිතුවිළි වල ප්රතිඵලයක් ලෙස සිදු වූ අවාසනාවන්ත සිද්ධියක් සිදුවන්නේ 1984 අප්රේල් මාසයේදී වීමයි.
ඒ අවසනාවන්ත දවස උදාවන්නේ 1984 අප්රේල් තිස්වෙනිදිනයි . මේ කියන දවසේ අපේ බිබිලේ බාප්පා තමන්ගේ හොඳම යාළුවාගේ ලොරියේ දෙහි , දොඩම් ,පොල් ,කෙසෙල් ආදිය ( තමන්ගේ වත්තේ අස්වැන්න ) පුරවාගෙන දහ අට වංගුව හරියෙන් යද්දී හොඳම යාළුවා අතින් ලොරිය පෙරළෙනවා . ඒ පෙරලෙන්නේ බාප්පා ගමන් කළ පැත්තට අනතුරින් බාප්පත් ලොරියේ පිටිපස්සේ ගිය ගෝලයත් ( ඔහු දෙහි මිය යන්නේ දොඩම් , දෙහි ගෝනි වලට යටවෙලා ) මිය යනවා .. සිද්ධිය වන විට ලොකු නංගිට අවුරුදු නවයයි .. ඒ සිද්ධිය තදින්ම බලපෑවේ එයාට . පස්සේ ලොකු නංගිලා දෙන්නා අපේගෙදර ඉඳන් ඉස්කෝලේ යන්න එක්කං එනවා .. එක එක හැල හැප්පීම් මැද ගලාගිය ඔවුන්ගේ ජීවිත දැන් සෑහෙන දියුණු වෙලා . තුන් දෙනාම රජයේ රැකියා වල . ලොකු නංගී තාත්තාවගේම ගුරු වෘත්තියට ගිහින් අනික් දෙන්නම හෙදසොයුරියන් ... මේ මෑතකදි ලොකු නංගී මට ෆේස්බුක් හරහා කතාකරලා එයා වැඩ කරන ඉස්කෝලේ ( බිබිලේ මො/සිරිධම්මපාල විද්යාලයේ) පාසැල් උපකරණ ගන්න බැරි ළමුන් පිරිසකට ඒවා ගන්න සහය වෙන්න කියලා අපෙන් ඉල්ලුවා . බාප්පා අපෙන් වෙන්වෙලා අවුරුදු විසිහතක් වෙන දවසේ ඔහුව අනුස්මරණය කරලා පාසැළේ ළමුන්ට පොත්පත් , සපත්තු ආදී උපකරණ පරිත්යාග කරන වැඩක් කරන්න අපි කතාවුණා .

Sunday, 7 March 2021

අපි හැමෝම ෆේල්

 



කෙනෙක් ෆේල් හෙවත් අසමත් කියලා කියනකොට ඒ විභාගවලින් අසමත්වීම හෝ උපාධියක නොගැනීම , ඉංග්රීසි වැනි ජාත්යන්තර භාෂාවක් නොදැනීම වගේ දෙයක් ගැන කියනවා වත්දෝ කියලා හිතෙන්න පුළුවන් .. 

ඒත් අසමත් යන්නේ අර්ථය ඒකම නෙවෙයි .. එක් එක් අය අසමත් යැයි අනෙක් අය හඳුනාගන්නේ ඔහු හෝ ඇය ඉටු කරාවී යැයි අනෙකා හිතාගෙන සිටින දේවල් කිසිවක් සිදු නොවෙන විටයි . ඒවගේම ඒ පුද්ගලයා පෞද්ගලිකව ගන්නා උපාධි ඩිප්ලෝමා ,සහතික ගාන කොතරම් වැඩිවුණත් එයි සමාජයට අබමල් රොණක වත් වැඩක් නොවන්නේ නම් ( තම පවුළ , තමන් වටේ ඉන්න මිනිස්සු , තම ගම , අවසානයේ තම රට හිටපු තැනින් ඉහළට ඔසවන්නට ඔහුට හෝ ඇයට බැරිනම් ) එයා ෆේල් තමයි . 

ඒ අතින් ගත්තම .. අපේ රටේ ඉහළ සිට පහළට ගත්තම සියළු දෙනාම ෆේල් තමයි .. වෙන එකක් තියා මේ කියන මම පවා තරමකට ෆේල් කියලා හිතෙන වෙලාවල් එනවා අපිටත් ඔය ආශ්රය කරන මිනිස්සු /ගැහැණු ගතානුගතිකත්වයෙන් වෙනස් කරන්න බැරිවෙලාවල් එනවා කියලා දැනෙනකොට

Friday, 5 February 2021

අපේ කාලයේ ගණිතඥයා ලලිත් සර්








 1980 ගණන් වල අප සිටියේ  බණ්ඩාරවෙල මහවිද්‍යාලයේ  ද්විතීයික පංතිවලයි. එවකට බණ්ඩාරවෙල කණිස්ඨ විද්‍යාලයෙන්  (දැන් ධර්මාශෝක විද්‍යාලය ) පහ ශ්‍රේණිය දක්වා ඉගෙන ගෙන ආ කොල්ලෝ ගැංසියක්  ඒ පංතිවල ප්‍රමුඛ චරිතවුණා . මම , සාලිය , කටුගහ , වීරවන්නි ඇතුළු පිරිසක් පහේ ශිෂ්‍යත්වයෙන් සමත්ව මහවිද්‍යාලයට ගිය අතර අපත් සමඟ කණ්ෂ්ඨයේ සිටි බොහෝ පිරිසක් මහා විද්‍යලයට ඇතුළ් වුණේ ඒ සඳහා තිබූ ඇතුළ් වීමේ පරීක්ෂණයකට (තවත් විභාගයක්)  සහභාගී වීමෙන් අන්තුරුවයි. අපි හයේ , හතේ පංතිවල ඉද්දී අපට ගණිතය ඉගැන්වූයේ කාන්ති ටීචර් (අපේ චන්දලා අම්මා ) සහ ප්‍රෙඩී සිල්වා ලෙස අපි හැඳින්වූ රත්නායක සර් යන දෙදෙනායි .

හයේ දී ඉගෙනීමට විශාල උනන්දුවක් දැක්වූ පිරිසක් ලෙස එකට සිටි සාලිය , කට්ටා , වීරවන්නි ඇතුළු පිරිසෙන් විශේෂයෙන් සාලිය කැඩී ගියේ අපේ අටේ පංතියට යන කාලයේදී. ඒ වෙනකොට සාලියට උපුල් ලා දෙන්නෙක් එකතු වී සිටියා මතකයි ඒ හයේ සිටම අපත් සමඟ එකට සිටි උපුල් රුවන් කෝණාරත් , අටේ පංතියට දියතලාවේ  ජනානන්දයෙන් පැමිණි උපුල් සිරිවර්ධනත්ය . 

මේ වෙනකොට එතෙක් සිටි සියළු ගණිත ගුරුවරුන්ට අභියෝග කරමින් තමා සිටි පංතියට වඩා පංති දෙක තුනක් ඉහළ පංතිවල ගණන් හැදූ ශිෂ්‍යයෙක් වන මලීන් ප්‍රේමරත්න ( දැන් ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ මහාචාර්යවරයෙක්) අපේ පංතියට ඇවිල්ලා . එතෙක් "ගණන් " කාරයන් වූ  කට්ටලා , සාලියලා ඇතුළු අපි හැමෝටම අභියෝගයකුත් බවට පත්වෙලා.

මීට සමකාලීන කාලයේ බණ්ඩාරවෙල ප්‍රසිද්ධම ගණිත ගුරුවරයෙකු වූ ලලිත් සර් බණ්ඩාරවෙල ලංකා බැංකුවේ උඩ තට්ටුවේ ගණිත පංතියක් කලා මතකයි . ඔහු ඒ වෙනකොට හිටියේ බණ්ඩාරවෙල ධර්මාශෝක ( කළින් කණිස්ඨ ) විද්‍යාලයේ ගුරුවරයෙක් විදිහට . ලලිත් සර්ගේ පංතියට මා  සමඟම සිටි තවත් හිතවතෙක් වූ සාගර , තෙන්නකෝන් ඇතුළු පිරිසක් යන්න පටන්ගත්තේ මේ ප්‍රේමරත්න හරහා ඇතිවුණු ගණිත ප්‍රබෝධයත් එක්කමයි. මමත් දවසක් දෙකක් ඒ පංතියට ගියා වුණත් පසුකාලීනව අපේ ගමේ සිටි තවත් දක්ෂ ගණිත ගුරුවරයෙක් වූ මළිත්තේ විජේරත්න ගුරුතුමා ( අපේතාත්තගේ අය්යගේ පුතා) නිවසේම කළ පංතිය ගිය නිසා මම ලලිත්සර් ගේ පංතිය නතර කරා. 

අපි සාගරලා එහෙම ගණිතය වෙනුවෙන් මහන්සිවෙද්දී ඔය නම් කිවූ අයගෙන් සමහරු ඩබ්ලිව් ඕ ටී ප්‍රනාන්දුගේ ගණිත පොත් එහෙම ගෙනැත් වැඩ පටන්ගත්තා. එවැනි එක් අයෙකුට ( නම දන්නෝ දනිති ) "පයිතගරස්" කියලා නමකුත් පටබැඳුනා .

අටේ පංතිය තමයි අපිත් එක්ක සිටි දෙවර්ගයේම ගණන් කාරයින් එළියට බැස්ස කාලේ. ඔය කාලේම පල්ලැහැ ඉස්කෝලෙ හිටපු ලලිත් සර් අපේ ඉස්කෝලෙට ආවා.  අපේ ගමේ සිටි තවත් ගණිත ගුරුවරයෙකු වූ රාජපක්ෂ සර් ( අපේ ගමේ සුදු බණ්ඩාරේ මාමා /නිළමේ මාමා ) , මෙයා අපේ අම්මගේ පැත්තෙන් අපේ ලඟම නෑදෑයෙක් අපේ ඉස්කෝලට ආවා ලළිත් සර් ඇවිත් කාලෙකට පස්සේ , මට මතක විදිහට.

මලීන් බොහෝ ගණිත ගුරුවරුන්ට අභියෝග එල්ලකළත් ( විශේෂයෙන් කාන්ති ටීචර්ට සහ අටේ නමයේ පංතිවලත් අප සිටි පංති කොටසට  ගණන් ඉගැන්වූ  රත්නායක සර්ට ) අටේ පංතියේදී සාලියලා , උපුල් ලා ඇතූළු පිරිසට ගණන් ඉගැන්වූ ලලිත් සර්ට එතරම් අභියෝග කරන්න ගියේ නෑ. 

ඒ කාලේ ලලිත් සර් ගැන මගේ මතකය නම් ආරෝහ පරිණාහ දේහ ලක්ෂණ ඇති පුද්ගලයෙක් මෙන්ම කොල්ලොන්ටත්  ටිකක් සැර වැර  කරන කෙනෙක්..  එක දවසක් අපි කට්ටලා ඇතුළු කට්ටිය පාසැල් නිමවී ගෙදර යන ඇටම්පිටිය බස් එකට  පස්සෙන් දුවගෙන ඇවිත් ෆුට්බෝඩ් එකේ එල්ලෙන්න ගිය ලලිත් සර් බස් එකෙන් වැටුණා මට මතකයි . 

ඒ වගේම සර් කොච්චර සැර වුණත් අටේ පංතියේ සිටි සර්ගේ "අනික් පැත්තෙන් ගණන් කාර "ගෝලයෝ (සාළිය සහ උපුල් යුගලය ) 

"ඌවේ  ශ්‍රී ගණිත ඥාණ ලලිත් මිස්ට තෙන..... යනුවෙන් ආරම්භ වන කවියක් එහෙම හදලා තිබ්බා. මම හිතන විදිහට කවියේ රචකයා සාළිය නැත්නම් උපුල් රුවන් කෝණාර.

ඔය කාලේ තමයි සාළියලා කට්ටිය 

" බැහැපං දේවා මනුස්සයෙක් එනවා -මං හිතන්නේ අරූ වගේ ,

 ආ ඕකා මොන සොත්තියෙක්ද බං ? මම බෲස් ගාලා බැහැලා එන්නම් " 

කියමින් මංගල සූත්‍රයේ 

 "බහූ දේවා මනුස්සාච - මංගලානී අචින්තයුං , 

ආකංක මාන සොත්ථානං - භෲහි  මංගල මුත්තමං"  

යන කොටසට නව අර්ථකථන දුන්නේ

මේ කතා ටික ඔක්කොම කිව්වේ ලලිත් තෙන්නකෝන්  හෙවත් ඒ කාලේ "ඌවේ ශ්‍රී ගණිත ඥාණ" නමින් අපේම හිතවතුන් හැඳින්වූ දක්ෂ ගණිත ගුරුතුමා මේ දවස්වල පත්වෙලා ඉන්න තත්ත්වය ගැන කියන්න ප්‍රවිශ්ඨයක් විදිහට. 

අපේ ඉස්කෝලේ හිටපු ලලිත් සර්  පසුගිය කාලේ ජීවත්වුණේ කොළඹට ආසන්න ප්‍රදේශයක . බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ කොළඹ ආදි ශිෂ්‍ය සංගමයේ වැඩ කටයුතු හැම එකකටම ක්‍රියාකාරීව සහභාගී වෙමින්. කොළඹ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වන වන අපේ උපුල් සිරිවර්ධන(අටේ පංතියෙදි ලලිත් සර් මුළින්ම පිළිගත්තු කට්ටිය )  එහෙම ලලිත් සර් එක්ක ලඟින්ම වැඩ කරමින් හිටියේ..  

මෑතකදි  කොළඹ පැත්තේ අපේ ආදි සිසුන්ගෙන්  ආපු පණිවිඩ කිහිපයකින් ලලිත් සර් ගැන ඉතා කණගාටුදායක ආරංචියක් තමයි ආවේ . ඒ ලලිත් සර් බරපතළ ලෙස රෝගාතුර වී ඇතිබවත් දැනට ඒ සඳහා කෙරෙන ප්‍රතිකාර වෙනුවෙන් ලොකු වියදමක් යන බවත් ඉන් කියැවුණා. ඒ සඳහා සහය වෙන්න ඔවුන් ආරම්භ කල අරමුදලකට අපේ ආදි සිසුසිසුවියන්ගේ සහය ලබාදෙන ලෙසත් ඉල්ලීම් කෙරුණා.



හිතවතුනි දැන් ලලිත් සර්ට ඔබේ අපේ සහයෝගය අවශ්‍යම මොහොතක් . මේ ලියැවිල්ල අවසානයේ තිබෙන ගිණුම් අංක හරහා ඔබේ සහය ඒ වෙනුවෙන් දෙන්න පුළුවන්.. අපි හැකි පමණින් අපේ පාසැලේ හිටපු දක්ෂම ගණිත ගුරුවරයෙකු වූ ලලිත් සර්ට සහය වෙමු .

ඔබ අපේ උපුල් සිරිවර්ධන ලා කරන කොළඹ එකතුවට  (*බණ්ඩාරවෙල ම.ම.වි විද්යාර්ථීන් ගේ සංගමය-කොළඹ.*

) එකතුවන්නේ නම්  මේ ගිණුමට මුදල් බැර කරන්න 

𝐀𝐂𝐂𝐎𝐔𝐍𝐓 𝐍𝐎. :0218-6000-0129

BANK : 𝐒𝐀𝐌𝐏𝐀𝐓𝐇 𝐁𝐀𝐍𝐊 𝐒𝐔𝐏𝐄𝐑 𝐁𝐑𝐀𝐍𝐂𝐇 𝐎𝐅 𝐁𝐎𝐑𝐄𝐋𝐋𝐀

𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐂𝐈𝐀𝐑𝐘 :

𝐀𝐋𝐔𝐌𝐍𝐈 𝐀𝐒𝐒𝐎𝐂𝐈𝐀𝐓𝐈𝐎𝐍 𝐎𝐅 𝐁𝐀𝐍𝐃𝐀𝐑𝐀𝐖𝐄𝐋𝐀 𝐌𝐀𝐃𝐘𝐀 𝐌𝐀𝐇𝐀 𝐕𝐈𝐃𝐘𝐀𝐋𝐀𝐘𝐀 𝐂𝐎𝐋𝐎𝐌𝐁𝐎)

බණ්ඩාරවෙල ම.මවි 1989 උසස්පෙළ කණ්ඩායම තවත් ගිණුමක් දුන්නා කැමතිනම් ඒකට සහය වෙන්නත් පුළුවන් . දෙකෙම්ම කෙරෙන්නේ ලලිත් සර්ගේ ප්‍රතිකාර වෙනුවෙන් සහය වෙන එකයි

ACC No :100270719854

BANK : National Savings Bank , Homagama

ACC NAME: BMMV 1989 batch

Monday, 1 February 2021

බලහරුවේ ඉංග්‍රීසි ටීචර් සහ චොක්ලට්



මා ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස  රජයේ සේවයට එක්වන්නේ 1991-92 කාලයේදීය . ඒ විශ්ව විද්‍යාලයට යන්නට උසස්පෙළ සමත්වී වසර  තුනක් , හතරක් බලාගෙන ඉන්නට සිදුවූ වකවානුවකි. මා මෙන්ම මගේ පංතියේ සිටි බොහෝ මිතුරු මිතුරියන් රජයේ රැකියාවලට ඉල්ලුම් කල හැකි තරඟ විභාග වලට ඉදිරිපත් වූයේ එසේ නිකං කල්ගත කරන අවුරුදු තුනේ කිසියම් ආදායමක් උපයාගන්නා බලාපොරොත්තුවෙනි.  මේ වනවිට ආබෲ සර්ගේ ඉංග්‍රීසි පංතියේ යාව ජීව සාමාජිකයින් වූ බොහෝ දෙනෙක් ඩෙලික් එක්සෑම් එකට පෙනී සිටියේ ඒ තුලින් ඌව පළාතේ දුෂ්කර පාසැල් වල ඉංග්‍රීසි ගුරුපත්වීම ලබාගන්නට අවස්ථාව සැලසී තිබුණ නිසයි.

ඩෙලික් විභාගයෙන් ඉහළ ලකුණු ගන්නා අය  සති දෙකක ප්‍රී සර්විස් එකකින් පසු කෙලින්ම ගුරුවරුන් බවට පත්කල (ඩිරෙක්ට් පත්වීම්) අතර තරමක් අඩු ලකුණු ගත් අයට මාස තුනක  දිගුකාලීන පුහුණුවක් දී ගුරුපත්වීම්දෙනු ලැබීය .

 බණ්ඩාරවෙල  ප්‍රදේශයේ මේ මාස තුනේ ඩෙලික් කෝස් එක පැවැත්වුණේ  අපේ ඉස්කෝලෙමයි . හැමදාම හවස දෙකට (පාසැල් වෙලාවෙන් පසු ) ආරම්භවෙන මේ   ඉංග්‍රීසි ගුරු පුහුණුව සතියේ දවස් පහේම තිබුණු බවයි මට මතක.  මේකට බණ්ඩාරවෙලින් ඩෙලික් තේරුණ අපේ ඉස්කෝලේ අය වගේම නුවර , කොළඹ , ගාල්ල ආදි ප්‍රදේශවලින් විභාගයට පෙනී ඉඳලා ඌව පළාතේ ඉස්කෝලවලට අනුයුක්ත කරන්න තෝරාගත් අයත් එනවා ඒ දවස්වල

කොහොමහරි 1991 /92 තිබ්බ ඩෙලික් විභාගෙට අපිත් එක්ක ආබෲ සර්ගේ ක්ලාස් ගිය කීපදෙනෙක්ම පෙනී හිටියා ඒ අතරින් මම , තාරක සහ ලංකා මල්ලී යන තුන්දෙනා ඩෙලික් පුහුණුවෙන් තොරව ඩිරෙක්ට් පත්වීම් ලබන්නට සුදුසුකම් සපුරලා තිබ්බා .

මටයි ලංකාටයි ප්‍රී සර්විස් තිබුණේ එකට , ඒ සතිදෙක අපි හිටියේ හාළිඇළ ගුරු විද්‍යාලයේ ( මහා විද්‍යාලයට එහා පැත්තේ තිබුණු ගොඩනැඟිල්ලේ ) ඒක ඩෙලික් කෝස් එකවගේ දිනපතා ගෙදර ඉඳන් එන පාඨමාළාවක් නෙවෙයි නේවාසික පාඨමාළාවක් . අපි රෑ නවතැන්ගත්තෙත් ඒ  ගුරුවිද්‍යාලයේමයි. 

බණ්ඩාරවෙලින් ආපු අපිදෙන්නට අමතරව  කොළඹ, නුවර , ගාල්ල ආදී අනික් පළාත්වලින් ඩිරෙක්ට් පත්වීම් ලබන තවත් තරුණ තරුණියන් 30 ක පමණ පිරිසක් අපිත් එක්ක පුහුණුවට හිටියා .. 

අපි ඩෙලික් විභාගේ පාස්වෙලා ආවට ඉංග්‍රීසි කතා කරලා ලොකු හුරුවක් තිබුණේ නෑ . ඒ නිසා තමයි අපිට ඩිරෙක්ට් ගුරුපත්වීම් හම්බවෙලා ඒ බව ආබෲ සර්ට කියන්න ගියාම එයා අපිට කිව්වේ  " බලන්න, ඔයාලා දැන් ඉංග්‍රීසි ගුරුවරු , සබකෝළය අතහැරලා ඉංග්‍රීස් කතාකරන්න පටන්ගන්න. මම හැමදාම කියනවා වගේ මාත්තෙක්ක ඉංග්‍රීසියෙන්ම කතා කරන්න " කියලා 

අපේ ප්‍රී සර්විස් එකේ හිටපු අයගෙන්මීගමුවේ ආවේ මරියා කන්‍යාරාමයෙන් ආපු චූටි ටීචර්ලාට තමයි හොඳට ඉංග්‍රීසි කතාකරන්න පුළුවන් . හැබැයි එයාලා අපිවගේ කැම්පස් තේරිලා ඉන්න අතරේ තාවකාලිකව ගුරුසේවයට ආපු අය නෙවෙයි දිගටම ගුරුවරු විදිහට වැඩ කරන්න ආපු අය 

උදේපාන්දර හාළිඇල මහාවිද්‍යාලයේ ක්‍රීඩා පිටියට ගිහින් ශරීර සුවතා කරලා එන අපිට උදේ ආහාරය දෙනවා . ඊට පස්සේ අපි එක්කෙනා ලව්වා අනික් ගුරුසිසුවියන්ට උගන්වන වැඩසටහන් කරනවා. 

ඔන්න මගේ වෙලාව ආවා උගන්වන්න . මට මතක හැටියට තිබ්බේ හතේ හෝ අටේ පංතියේ ඉන්ග්‍රීසි පොතෙන් පාඩමක් කරන්න. මම ඒකේ තිබ්බ වචන ලිස්ට් එක කළු ලෑල්ලේ ලියළා අනික් ගුරුසිසුන් ලවා කියවනවා මම කිව්වට පස්සේ  ටේබල් , බුක් වගේ දේවල් කියවලා එකපාරම  "Chocolate" කියන වචනේ කියන්න තිබුණා  මම "චොකොලට්" කියලා කියනවත් එක්කම ආවේ මරියා එකෙන් ආපු චූටි ටීචර්ට බකස් ගාලා හිනාගියා .මම හිතන්නේ "චොක්ලට්" නොකියා "චොකොලට්" කියලා කියපු නිසා වෙන්න ඕනේ . 



එදා හවස වැඩ ඉවරවෙලා කට්ටිය කය්යක් ගහගෙන ඉන්නකොට  එක එක්කෙනා යන ඉස්කෝල ගැන කතා කරනවා . මම තේරිලා තිබුණේ වෙහෙරයාය  කණිස්ටෙට  , බණ්ඩාරවෙල ඉඳන් යනකොට වැල්ලවායට කිට්ටු තැනකට. ආවේ මරියා එකේ ටීචර් තේරිලා තිබුණේ බලහරුව විද්‍යාලයට . ඒක කුඩාඔය , තණමල්විළ අතර තිබෙන ඉස්කෝලයක්. ඒ දවස් වල මේ ඉස්කෝල දෙකටම ජල පහසුකම් , වැසිකිළි පහසුකම් එහෙම තිබුණේ නෑ.  

මම නම් අවුරුද්දක් වෙහෙරයායේ ඉඳලා වෛද්‍ය විද්‍යාලයට ගියා . අර ටීචර් දිගටම ගුරු වෘත්තියේ ඉන්න ඇති  .නමක් ගමක් මොකුත් මතක නෑ .චොක්ලට් කතාව විතරයි මතක  

මට ඔය වගේම වැඩක් වුණා අටේ නවයේ පංතිවල ඉගෙන ගන්න කාලේ. අපි මුල් කාලේ ඉංග්‍රිසි ඉගෙනගත්තේ තනියම . හවසට  ගුවන්විදුළියේ ඉංග්‍රිසි සේවේ අහනවා . ඊටපස්සේ අපිට උගන්වන්න ආපු ආබෲ සර් කිව්වා ඩේලි නිව්ස් පත්තරේ අරන් එඩිටෝරියල් එක කියවන්න ගොඩක් අළුත් වචන ඉගෙනගන්න පුළුවන් කියලා . ඊට පස්සේ මම මාසෙකට සැරයක් දෙසැරයක් ඩේලිනිව්ස් එක ගන්නවා .පත්තරේ සම්පූර්ණයෙන්ම කියවන්න (ඔක්ස්ෆර්ඩ්සහ මළලසේකර ඩික්ෂණරි එක්ක ) මාසයක් විතර යනවනේ. 

ඔන්න දවසක් මම බණ්ඩාරවෙල ජයසිංහ ස්ටෝර්ස් එකට ගිහින්  පත්තරේ ගන්න . "මට ඩේලිනිව්ස් එකක් දෙන්න.." මම මුදලාලිට කිව්වා .එදා හිටියේ කඩේ අයිතිකාරයාමයි 

"What did you say? do you want a daily news or the Island news paper ? which one you want ? " කියලා එයා අහනවා මගෙන් ඉංග්‍රීසියෙන් උත්තර බලා පොරොත්තුවෙන් . මම උත්තර දුන්නේ සිංහලෙන් ."මට ඕනේ ඩේලිනිව්ස් එක" කියලා ඊට පස්සේ එයා කියනවා ළමයෝ ඉංග්‍රීසිපත්තරේ බලනවානම් ඉංග්‍රීසියෙන් කතාකරන්න පුළුවන් වෙන්න එපැයි කියලා  . මම හිනාවෙලා පත්තරේ අරන් යන්න ගියා ,මොකද මම ඒ දවස්වල  තනියෙන්ම මහන්සිවෙලා ඉංග්‍රීසි ඉගෙනගන්න උත්සාහ කල පොඩි කොල්ලෙක් නේ