Monday, 28 June 2021

දසුන්ගේ කතාව දෙවන කොටස ( එකලත් භවං )

 


මේ කතාවේ මුල් කොටස ලියැවිලා ටික කාලයක් වෙනවා . ඒකට මෙතැනින් ගිහින් එන්න .

එදා හවස එහෙම පල්ලැහැ වත්තේ ඉඳන් නියඟලා අල කාලා ආපු දසුන් රෑ කෑමෙන් පස්සේ කාටත් නොකියා නිදා ගත්තේ "හෙට උදේ වෙද්දි මම ජීවතුන් අතර නැතිවෙයි " යන සිතිවිල්ලත් සමඟයි.  පුදුමෙකට වගේ ඔහුට නියඟලා නිසා වමනේ ගියේවත් බඩ රිදුනේවත් නෑ . හැබැයි යඩබන තත්ත්වය තවත් වැඩිවුණා .(එහෙම වැඩිපුර යඩ බන්න හේතුව නියඟලා වල තියෙන "කොල්චිසීන්"  නම් රසායනික ද්‍රව්‍යය බව දැන ගන්නකොට දසුන් සෑහෙන දුරක් ගිහිල්ලා ). 

කොහොම හරි ඔන්න පහුවදාට එළිවුණා කියමුකෝ . වෙනදා  තම පොඩි පුතත් එක්කං එහා ගමේ වගාකරන මාළු මිරිස් කොටුවට යන දසුන්ගේ අම්මා එදා උදෙන්ම කොටුවට පිටත් වුණේ තනියමයි . ඒ මාළු මිරිස් කොටුවට පස් දාන්න. පොඩි පුතා හිටියානම් කඩියා වගේ වැඩකරලා ඇයට උදව් කරනා බව දැනුනත් ඔහුගේ  බඩ එළිය යන රෝග තත්ත්වය නිසා ඔහුව නිවසේ නවතා යන්නට ඇය තීරණය කළා ඒ තනියට දසුන්ගේ ලොකු අය්යත් නංගීයි මල්ලියි දෙන්නත්  තියලා යන ගමන්මයි . ලොකු අය්යා ඒ කාලේ  වැඩිය කුඹුරු වතු පිටි වල යන කෙනෙක් නෙවෙයි . එයා ඉගෙන ගන්න වැඩ තමයි වැඩි පුර කරන්නේ.

 මේ දවස් වල දසුන්ගේ තාත්තා පාරේ මිනිස්සු අදින වාහනේක ( අසල නගරයක ජීවත්වූ මුස්ලිම් මුදලාලි කෙනෙකුගේ වාහනයක් )  වැඩ,  එයත් උදේ පාන්දරම ඒ රස්සාවට ගිහිල්ලා .

අම්මයි තාත්තයි දෙන්නම ගෙදර නැති අල්ලපනල්ලේ  දැන් නංගියි මල්ලියි ලොකු අය්යයි තමයි දසුන් තනියට ගෙදර ඉන්නේ.

නැවතත් ලොකු අය්යයි , නංගියි මල්ලියි එක පැත්තකටත් , දසුන් අනික් පැත්තටත් බෙදිලා සටන පටන් ගන්නවා . 

"යඩ බන්නා , යඩ බන්නා , දහතුන් පාරක් ඇඳ හුජ්ජා " ලොකු අය්යා දසුන්ට කොලොප්පම් කරන්න ගත්තා .  ඒ කාලෙ දසුන්ට හරියට කේන්තිත් යනවා .. අවුරුදු දහතුනක ළමයෙක් විදිහට ඉස්කෝලේ නමක් එහෙම දිනාගෙන සිටි ඔහු තම අය්යා විසින් බිංදුවට්ම බස්සා කතා කිරීම ඒක තවත් තීව්‍ර කරන්න හේතුවක් වුණා ..

දසුන් එකපාරම අය්යා ට ගහන්න පැන්නා .  අය්යා දසුන්ට වඩා ඉක්මණ් , ඔහු කරේ දසුන් සාලෙන් එළියට තල්ලු කරලා දොර වහගන්න එක .. කුස්සියේ දොරත් එයා නංගී ලවා අගුළු දම්මලා .

දැන් දසුන් එළියේ අනික් තුන්දෙනා ඇතුළේ .. එයා කෑ ගහ ගහ ඉස්සරහ දොරට ගහනවා  

"අඩෝ ලෙබ්බෙයා, හොඳ හිතින් දොර ඇරපං , මං උඹට ගහන්නේ නෑ  මට කක්කුස්සියට යන්න ඕනේ . 

"හූ හූ යඩ බන්නා , යඩ බන්නා මෙන්න මූට ආයෙත් යඩ බනවළු , ඔය කොහේ හරි එළියට පළයං" 

අය්යත් අගුලු දැමූ දොරට ඇතුළේ සිට කෑ ගහනවා..

දැන් දසුන්ට කරගන්න දෙයක් නෑ දර පොල්ලක් අරන් ඉස්සරහ දොරට ගහනවා , ආයි මිදුළේ අනික් පැත්තෙන් ගිහින් කුස්සියේ කළු තඩි දොරට ගහනවා . ඇතුළේ ඉන්න අයත් භය බිරාන්ත වෙලා දොර අරින්නෙම නෑ . ඇයි දසුනයා දරපොල්ලකුත් අරන් ගේ ඇතුළට ඇවිත් මොනවයින් මොනවා කරයිද දන්නෑනේ... ඔන්න ඔහොම කෝපයෙන් කෑ ගහ ගහ ගිය දසුන් එක පාරම සද්ද නැතිවෙනවා .. ඊට පස්සේ එයා යන්නේ අගුව පැත්තට ..

 එහෙම යද්දි එයාට එක පාරම පෙනෙනවා අම්මා අගුවේ වේල්ලේ හාරපු වළක තියලා තියෙන දේවල් , වීදුරු කටු , කණ්ණාඩි කෑලී අරවා මේවා අතරේ දසුන්ට දිස්වෙනවා තවත් දෙයක් " මෙතමෙඩිෆොස්" කියලා ලියලා ලේබලයක් අලවපු බෝතලයක්. එයා එක උගුරට ඒකෙන් සෑහෙන්න ප්‍රමාණයක් උගුරට හලා ගන්නවා .. එක පාරම උගුරෙන් පහළ ඔක්කොම පිච්චිලා යනවා වගේ එයාට දැනෙනවා . ඊට පස්සේ වේල්ලට කකුලක් හේත්තු කරගෙන හිටගන්න ඔහු .. අර බෝතලේ ලේබල් එක කීතු කීතු වලට ඉරනවා.. 


වයස දහතුනයි , ලොකු තේරුමක් , බරක් පතළක් තේරෙන්නෙත් නෑ හැබැයි වෛද්‍ය වරයෙකුට අවශ්‍ය වැදගත්ම සාක්ෂිය ඔහු නැති කරනවා... ඊට පස්සේ වැනි වැනී ඉස්සර දොරලඟට එන ඔහු වෙව්ලන ස්වරයෙන් තම ආදරණීය අය්යාට කතා කරනවා .. 

"#$%@.. දැන්වත් දොර ඇරපං , මං වස බිව්වා " ...

අය්යා මුලින්ම හිතන්නේ මල්ලී විහිළුවක් කරනවා කියලා , හැබැයි අවුරුදු දාහතක් වෙන කෙනෙක් නිසා සමහර විට තේරුම් ගන්නත් ඇති මල්ලීගේ ස්වරය එන්න එන්නම දුර්වල වෙනකොට ඔහු දොර අරිනවා .. හැබැයි මල්ලීට වාරු නෑ .. මල්ලී කොහොම හරි වත්තං කරගෙන කුස්සිය පැත්තේ රෙදි හෝදන ගල ලඟට අරන් යන ඔහු 

"උඹට පිස්සුද යකෝ? , උඹ මොනාද මේ කරගත්තේ? "  

කියමින් තම දකුණු අත මල්ලීගේ අමාශය දෙසටම යවනවා , ඒ මල්ලීට බලෙන් වමනේ කරවන්න .. ඒ වැඩේ තරමක් සාර්ථක වෙනවා නිල්පාට මෙතමෙඩිෆොස් සහිත ආමාශ ද්‍රව්‍ය සෑහෙන ප්‍රමාණයක් එළියට එනවා . ඒ අතර නංගියි මල්ලියි අපේ පොඩි අය්යා වස බිව්වා , පොඩි අය්යා වස බිව්වා කියමින් ගමේ පහළට දුවනවා . දසුන්ගේ වෙලාවට අම්මා තාත්තා නැතත් අහල පහළ ඉන්න අය එක් රොක් වෙනවා .

පල්ලැහැ ගෙදර අක්කා දුවගෙන එන්නේ " $%@. මල්ලී සබන් වතුර පොවන්න , සබන් වතුර පොවන්න කියමින් " 

ඔය අතර දසුන් ගේ තවත් ගැලවුම් කාරයෙක් එනවා . ඒ තමයි  ලී ඉරණ ප්‍රේමේ අය්යා , එයා ඒ වෙලාවේ ඊට ටිකක් පහළින් ගෙදරක ගහලා තිබ්බ පලංචියේ ලී ඉර ඉරයි ඉඳලා තිබ්බේ .. 

"ඕවා කර කර ඉඳලා හරියන්නේ නෑ . කෝ කොල්ලා දියල්ලා මෙහාට .. "පියේ මල්ලී , දුවලා ගිහිං වෙනුර මුදලාලිගේ වාහනේ තියෙනවද බලපං,  මං කොල්ලා අරන්  එනවා උඹේ පස්සෙන් .. වාහනේ ටවුමට යන්න ඉස්සෙල්ලා නවත්තා ගනිං   &*# මල්ලියා වස බීලා කියපං . ඉක්මණින් ඉස්පිරිතාලෙට අරන් යන්න ඕනේ කියපං "  ප්‍රේමේ අය්යා තම පලංචියේ ලී ඉරණා අනික් සගයාට උපදෙස් දෙනවා ..

 ප්‍රේමෙ අය්යා දසුන් කරට ගනිද්දී එයාට සිහිය නෑ .. කෙසෙල් කඳක් වගේ ඔහුගේ දකුණු කර හරහා කඩා වැටිලා තමයි එයා ඉන්නේ .. ඔන්න ප්‍රේමේ දැන් දසුනුත් කරේ දාගෙන ගමේ පල්ලැහැට යන අඩිපාර දිගේ දුවනවා .. දසුන්ට එක පාරම දැනෙනවා තමන්ගේ ඔළුව බඹරයක් වගේ කැරකෙනාවා " බෲම් ම් " ගාලා සද්දයක් එනවා වගෙත්  එයාට දැනෙනවා .. මේ මොහොතකට සිහිය ආව වෙලාවක් එතකොට එයාට පේනවා තමන් ඇඳගෙන ඉන්නේ රතුපාට කොටු කොටු සරමක් සහ අඩිය හිල් වෙන්න ඔන්න මෙන්න බාටා දෙකක් බව . 

  "ප්‍රේමෙ අය්යා,  කොහෙද මාව අරං යන්නේ ?"  ඉස්පිරිතාලෙට මිසක් වෙන කොහාටද?  මොනවද මල්ලී මේ කරන ගොං වැඩ? කොච්චර වටින ජීවිතයක්ද මේ ? සාකච්චාව අතර දසුන්ට ආයිත් සිහි නැතිවෙනවා තවමත් ප්‍රේමේ අය්යා කන්දේ පහළට දුවන ගමන් .. 

ඔන්න ටික දුරක් යද්දී දසුන්ට ආයිත් පොඩ්ඩක් සිහිය එනවා "ප්‍රේමේ අය්යා , මගේ සෙරෙප්පුව , මගේ  සෙරෙප්පුව ", දසුන්ගේ පයේලා සිටි සෙරෙප්පු දෙකෙන් එකක් කකුලෙන් ලිස්සා වැටෙනවා ඔහුට දැනිලා .. "මොන සෙරෙප්පුද මල්ලී මේ වෙලාවේ ඉස්සෙල්ලා ඔයාගේ පණ බේරගෙන ඉඳිමු සෙරෙප්පු එකට දෙකක් ගන්න බැරියැයි ".. ප්‍රේමේ ඇත්තටම කොල්ලා ගේ පණ කෙන්ද බේරාගන්නේ කෙලෙසෙදැයි වෙහෙසෙයි , ඒත් කොල්ලාට ලොකු සෙරෙප්පුවයි.. 

ඔන්න ආයිත් දසුන්ගේ සිහිය විකල්වී ගිය මොහොතක් , ඔහුට පාරේ ඒ කොටස මතකයේ රැඳෙන්නේ නෑ ..කොහොමින් කොහොම හරි දසුනුත් රැගෙන එන ප්‍රේමේ අය්යා ගමේ ඉස්කෝල ලඟට ඇවිත්  කියමුකෝ.

ඔන්න ආයිත් එයාට සිහිය එනවා .. දැන් දසුන්ට ඉස්කෝලේ ලඟ තියෙන පියතිලක අය්යලා කඩේ පෙනෙනවා .. වාහනේ තියෙන ගෙදරට තව ටික දුරයි . ඔය අතරේ ගමේ සියළු විස්තර පෝය දවසේ සිල්ගත්තම එහෙම කතා කරන ආත්තම්මා කෙනෙක් ප්‍රේමේ අය්යට කතා කරනවා .. මොන මොනවා හරි ගොඩක් කියලා  අන්තිමට "අපි කොහොමද දැනගන්නේ ?  " කියලා කෑල්ලක් එයා අහනවා දසුන්ට යන්තම් මතකයි ... එතකොටත් දසුන්ට සිහිය නෑ (එහෙම නැත්නම් සිහිය එනවා යනවා වගේ තත්ත්වයක්) . එකපාරම එයාට මාර නිදහසක් දැනෙනවා . දැන් එයා ඉන්නේ පියතිලක අය්යලා කඩේට උඩ අහසේ පාවෙමින්වගේ එහෙම ඉද්දි තමයි අර ආතම්මා ප්‍රේමේ අය්යගෙන් විස්තර අහන්නේ.

දසුන් එහෙම ඉහල  අහසේ සැහැල්ලුවෙන්  ඉන්න ගමන්ම ආතම්මට උත්තර දෙනවා

" ඇයි මේ බිත්තියේ සුදු පාට තියෙන්නේ ? ඇයි ඔය කාක්කෝ , උළමෝ එහෙම ඉන්නේ අඬන්න? " කියලා

ඊට පස්සේ එයා ට එයාගේ ඔළුවෙම කවියක් ගාථාවක් වගේ එකක්  ඇහෙනවා ... එක පදයක් ඉවරවෙන්නේ "එකලත් භවං"   කියලා  තව තව පද තියෙනවා ඒ වා ඉවර වෙන්නේ කවියක එළිසමය වගේ ... සමහර විට එකලත් භවං කිව්වේ එක ආත්ම භවයක් වගේ වෙන්න   ඇති කියලා එයාට හිතෙනවා .. ඒ පාර අර ඔළුවේ ඇතුළේ වේගයෙන් වෙන භ්‍රමණය වීමත් සමඟ එයාට ආයිත් සිහිය නැතිවෙනවා .. 

ආයි සිහිය එද්දී එයා නගරයේ දිස්ත්‍රික් රෝහළේ එළියේ කාණුවක් අයිනේ පඩියක වාඩි කරවලා ඇටෙන්ඩන් මහත්තයෙක් සබන් වතුර පොව පොවා වමනේ කරවනවා ... 



ඊට පස්සේ මොනවා වෙයිද ? කියවමු ඊලඟ කොටසින් 

 

 

Friday, 11 June 2021

දිගනා





 පළමුකොට ශුද්ධ වූ බුද්ධ පූජාව සිද්ධ කිරීමෙන් හා.... යහපත් ශ්‍රද්ධාභ්‍යාශයෙන් යුක්තව පිළියෙල කරන ලද්දා වූ ... මෙම දානයෙන් ලැබිය යුතූ .... සකළ කුසළ පුණ්‍ය සම්භාරයන් හේතුකොට ගෙන ... දිව්‍ය ලෝක , මනුශ්‍ය ලෝක වල ඉපිදෙනා කාලයක් ඉපිද ... සිතූ පැතූ සැප සම්පත් , යානවාහන උපභෝහ පරිභෝග ආදිය ලබා.... අවසානයේ තුන්තරා බෝධියෙන් පැතූ යම් බෝධියක ඉපිද....

කිරිඔරුව ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ දාන ශාලාවේ සිට   පංසලේ ලොකු හාමුදුරුවෝ මෙසේ දානය ගෙනා දායකයා ඇතුළු පවුළේ සැමට පින් අනුමෝදන් කරති.. දායකයා දානය තැන්පත් කල කොට මේසය අසල බිම හිඳගෙන වැඳගෙන  සිටින්නේ එකත්පස ඉරියව්වෙනි.. දන් පිළිගැන්වීමෙ ක්‍රියාවලියේ දීර්ග ස්වභාවය නිසා කුඩා දායකයා ( අවුරුදු දහයක දොළහක කොළුවෙකි ) සිටින්නේ වාඩිවී සිටිනා ඉරියව්ව  වරින් වර වෙනස් කරමිනි (ඇත්තටම කිව්වොත් ඒ මේ අත ඇඹරෙමිනි )... දන් පිළිගැන්වීම දිගටම කෙරෙද්දී  එක පාරම යමෙක් තොළ කට ලෙවකමින් කෙළගිළින ශබ්දයක් ඇසේ .එදා එහි සිටිකුඩා දායකයා වූ මම වට පිට බැළුවේ කෙල ගිල්ලේ ලොකු හාමුදුරුවෝ වත්දැයි සිතමිනි.. 

මට එහා පැත්තෙන් ඉස්සර කකුල් දෙක ඉදිරියට තබා පිටිපස්සේ කකුල් දෙක එක ඇලයකට දමාගෙන තවත් දායකයෙක් එකත්පස ව සිටිනුපෙනේ .. ශබ්දය ඇත්තටම ආවේ ඒ පැත්තෙනි.   

ඒ දෙස හැරී බලන මට පෙනුනේ  එකල පංසලේ සුරතලා වූ දිගනා මට එහා පැත්තේ සිට දන් පිළිගැන්වීමට සහභාගී වන බවයි.  එමෙන්ම   දානය පිළිගන්වන අවස්ථාවේ තමන්ද එහි ඉන්නා බව හාමුදුරුවන්ටත් දායකයාටත් දැනුම් දෙන්නට  සිතා  මේ ශබ්දය කරන්නට ඇති  බවයි.

අපේ අම්මා ගමේ පංසලේ දම්මුරේ දවසට කෑම සකස්කරන හැටි දැක්කාම දිගනාට පමණක් නොව හාමුදුරුවන්ට වුවද කටට කෙළ උනනා එක පුදුමයක් නොවේ. උම්බලකඩ , රම්පේ කරපිංච ආදි සියළු අඩුම කුඩුම යහමින් දමා ඇය සකස්කරන හීල් දානයට , බෝංචි බැදුමක් , අලහොද්දක් , අළුත් මාළු හෝ බිත්තර වැනි පිළිහුඩුවක්ද ඇතුළත් වෙයි.. එදා උදේ කෑමට අපට ලැබෙන රසම රස කෑම එක රහ බලන මම ඇයට ආඩපාළි කියන්නේ. .. "පංසලට ගෙනියන්න නම් රසට උයනවා අපිටත් ඒ වගේ රස කෑම හැමදාම දෙන්න බැරි ඇයි " දැයි අසමිණි .

 එසේ අම්මා සකස් කර දෙන දානේ එක උඩින් පපඩම් මල්ලකුත් තියාගෙන එක අතකින් අර තට්ටු තුනේ බාස්කට් එකත් අනික් අතින් බත්ගෙඩියටත් අරන් යන කුඩා අප පිළිගන්නට මුලින්ම එන්නේ පංසලේ සුරතලා වූ දිගනාය.. කී කූං ගාමින් මුළින්ම ඉස්සරහ කකුල් දෙකට බර දී අප දෙස බලන ඌ ඉන්පසු ප්‍රීතියෙන් ප්‍රමෝදයට පත්වූ බව අපට පෙන්වන්නේ  එහාට මෙහාට රවුම් කිහිපයක් දුවලා ඝණ්ඨාර කුළුන් දෙසට ඇදෙමිනි.. 

උගේ කෝළම් ඔක්කොම බල බලා මිදුළ අමදිමින් ඉන්න ලොකු හාමුදුරුවෝ. "හා.. හා ඔහොම හිටු ඔහොම හිටු.."  කියද්දී ඌ තවත් කුලප්පු වෙයි . දිගනා ගේ මේ කෝළම් ඔක්කොම හොඳ වුණත් කවදත් බල්ලන්ට භය චරිතයක් වූ මට පෙන්නන්නම බැරි එක වැඩක් වූයේ දුවගෙන දුවගෙන ඇවිත් අපේ කරටම ඉස්සරහ කකුල් දෙක තබා හිටගනිමින් ඌ හැසිරෙන ආකාරයයි 

".. හා හා ඔයළමයා භය වෙන්න එපා.  දිගනා ඔය ළමයට තියෙන ආදරේනේ ඔය පෙන්වන්නේ .. " ලොකු හාමුදුරුවෝ මා හට පවසන්නේ මගේ භය තුරන් කරන්නටයි.. 

එහෙත් වරක් දෙවරක් මේ කරේ නගින්න එන වැඩේ වෙනවා දුටු මම  දානේ ගිහින් දීලා ගෙදර ආවේ අම්මාට කෑ ගසමිණි.. 

"අම්මා  මටනම් බෑ ආයි දානේ ගෙනියන්න අර දිග බළු කොටියා අදත් මගේ කරට පැන්නා  . ලොකු හාමුදුරුවෝ උගේ හුරතළ් බල බල ඉන්නවා . අම්මා ඊලඟ දවසේ කුළගණ සමිතියට ගියාම එයාට කියන්න අපේ දානේ දවස්ට ඌව බැඳලා තියන්න කියලා . නැත්නම් දානේ එක නැතිවෙයි කියලත් කියන්න " 

දිගංචියා මොන මොන කෝලම් කරත් පංසලේ ලොකු හාමුදුරුවන්ට නම් ගාණක් වත් නැත.. පංසලට එන දායක දායිකාවන්ටද එහෙමය,. මා හෙන දිග බළු දන්ඩෙක් දුවගෙන දුවගෙන විත් විහිළුවට හරි ඇඟට පනින වැඩේ නොරිස්සුවද ගමේ අනෙක් කොල්ලො කුරුට්ටෝ ඌ සුරතළ් කරමින් විනෝද වන්නට පුරුදු වී සිටියහ .. 

තනි ලා දුඹුරු පාට සතෙක් වූ ඌ අපේ අම්මලා ඇතුළු දායක කාරකාදීන් ගෙනිහින් දෙන රස ගුණ පිරි දානය වැලඳීම නිසාදෝ  අනෙකුත් ගමේ බල්ලන්ට වඩා පින් පාට එකෙකි.. උගේ තරමක් අමුතු හැසිරීම දුඩු ගමේ බොහෝ දෙනෙක්  

" මේ සතා නම් හරි පිං වන්තයි , මේ මෙයාගේ අන්තිම තිරිසන් ආත්මය වෙන්න ඕනැ " වැනි අදහස් පළ කළහ.. 

ඒ අන්තිම තිරිසන් ආත්මය කතාව ඔවුන් විස්තර කරන්නේ සතෙක් තනි පාටකින් ඉපදී සිටිනවා නම් ඊලඟ වතාවේ ඌ මිනිස් ආත්මයක් ලබන්නට පෙරුම් පුරණවා වැනි අදහසකිනි.. 

සමහරු අපේ රත්තීට කීවේද මේ කතාවමය..

Saturday, 22 May 2021

බස් රස බස්

 



29 ශ්රී 1984 පල්ලේවෙල ( කුරුකුදේගම ) සිට බණ්ඩාරවෙලට යන බස් එක පටන්ගත්තේ 1980 මුල් හරියේ .. අපි ඒ කාලේ ඉස්කෝලේයද්දි බණ්ඩාරවෙල ධර්මාශෝක සහ මධ්ය මහා විද්යාලයට , එතෙක් මල්වත්තේ අයිස්ලෙබි ෆැක්ටරිය ලඟින් බස් එකට ගොඩවෙන අපට තිබුණේ 320 ඇට්ම්පිටිය - බණ්ඩාරවෙල , 224 නෙළුව හරහා බදුල්ල - බණ්ඩාරවෙල සහ වරකාදණ්ඩෙන් උදේට සහ පාසැල් ඇරෙන වෙලාවට ගිය 318 වරකාදණ්ඩ - කිණිගම පාසැල් බස් රථ විතරයි .
මේ බස්වලින් ඇටම්පිටිය සහ නෙළුව බස් මල්වත්තට ලඟා වෙද්දිත් සෑහෙන්න පිරිලා නිසා හෝ එහෙමත් නැත්නම් සිල්වා අන්කල් , නෙළුව බස් එකේ "පයිලට් "වැනි රියදුරන් ඔවුන්ට හිතුණොත් විතරක් මල්වත්තෙන් සෙනඟ ගන්නා රටාවක් පෙන්වූ නිසා බොහෝ විට ඒ බස් අපිට නොනවත්වා යනවා.. උදේ හත හතයි කාල වගේ වෙද්දී ඔයවෙලාවටම මේ පල්ලේවෙල ඉඳලා එන බස් එකත් මල්වත්තට ලඟා වෙනවා.. අළුත දාපු බස් එකේ දවස් 15 ක් වැඩ කරන්නේ මේ දෙන්නා ; අමුණුදෝවේ සුගතේ මාමයි , අපේ ගමේ ජයසුන්දර මාමයි .
ජයසුන්දර මාමා කියන්නේ අපේ අම්මලාගේ මහගෙදරත් එක්ක එක වහළෙන් සම්බන්ධ වෙලා තිබ්බ අනික්ගෙදර ( අම්මගේලොකු තාත්තලා ගෙදර ) ලොකුම පුතා .. නැදෑ කමෙන්ම අපේ මාමා.
සුගතේ මාමා අමුණුදෝවේ ලොකු පවුළක පොඩිම පුතා වෙන්න ඕනේ . එයාගේ අය්යත් වරකාදණ්ඩ- කිණිගම බස් එකේ රියැදුරා විදිහට වැඩකළා ඒ කාලේ . සුගතේ- ජය්සුන්දර ද්විත්වය ඒ කාලේ පල්ලේවෙල බස් එකේ අයිතිකාරයෝ වගේ තමයි.. හැබැයි කොච්චර සෙනඟ පුරවන් ආවත් මල්වත්තෙත් නවත්තලා අපිව දාගෙන යනවා.. ජයසුන්දර මාමා එහෙම සෙනඟ ඉන්න වෙලාවක අපිට පස්සට යන්න කියන්නේ.. " මොකද හිනාවෙන්නේ ? අඳුරනවද? ඒ ඇඳුරුම් කම් නෑදෑ කම් වලින් වැඩක් නෑ .. යනවා , යනවා පස්සට" කියමින් .. ඊට පස්සේ කිරිඔරුවේ මැදගෙදර ( අම්මලාගෙයි , එයාලගෙයි මහගෙදර දි වැඩ නැති දවසට හම්බ වුණාම ඊට වඩා ටිකක් පිළිවෙලට කතා කරනවා .. ඒත් ටිකක් සැරෙන් වැරෙන් තමයි.. ගමේදිත් පොඩි බස් ඌෂ්ණයක් තිබුණා ..

පස්සේ කාලෙදි අපි අම්මත් එක්ක එලවළු හදද්දී අපේ වගා වැඩ ගැන ආරංචි වෙනකොට ( ඒත් අපි හතේ - අටේ පංතිවල ඉද්දී තමයි ) එයා අපිට එයාගේ රත්පහේ තිබුණු සිංහල උළුවහපු ගෙට එහා පැත්තේ වත්තෙත් , ඊලඟට කිරිඔරුවේ මහවත්තේ තිබුණ එයාගේ කුඹුරු කෑල්ලෙත් තක්කාළි , මාළු මිරිස් , බටු මිරිස් ( බෙල් පෙපර් ) එහෙම හදන්න දුන්නා..



ඒ කාලේ සුගතේ බස් එක එලවද්දි හරි වේගයෙන් යනවා " ඕන් බලාපල්ලා උඹලගේ පයිලට් ලා දැන් කැලේ " කියමින්.. එයා එහෙම කියන්නේ එතෙක් ඒ පැත්තේ වේගවත්ම බස් රියැදුරාව සිටි පයිලට් ට වඩා වේගයෙන් එයා යන බව කියන්න ..මේ පිංතුරේ ඉන්නේ ඔය කියපු අපේ කුඩා කාළයේ වීරයෝ දෙන්නා ( සුගතේ සහ ජයසුන්දර යුගලය )

Friday, 7 May 2021

කොවිඩ් එන්නත් සහ කොරෝනා

 


කොවිඩ් එන්නත් මාත්රා දෙකම ගත්තත් , ඇස්ට්රාසෙනෙකා හෝ ෆයිසර් හෝ වෙනත් කුමණ වැක්සීන් වර්ගයක් ගත්තත් සීයට සීයක් කොරෝනා හැදීමෙන් වලකිනවා කියලා කියන්න බෑ .. ඇස්ට්රා සෙනෙකා 75% යි පීෆර් 90% වගේ ආවරණයක් දෙනවා කියලයි විශ්වාස කරන්නේ .. ඉතිරි සියයට ගණන් වලට බරපතල ලෙසම කොරෝනා වැලඳෙන්න පුළුවන්.

වැක්සීන් වලින් ආවරණය ලැබුණා කියන්නේ කොරෝනා හැදුනත් ඒ හැදෙන එක එතරම් බරපතළ නැති පොඩි හෙම්බිරිස්සාවක් වගේ තත්ත්වයකින් අවසන් විය හැකි බවයි .. වැක්සීන් ගත්තාම කොරෝනා හැදෙන්නේම නෑ කියන්න තාම කල් මදි...



ඒ නිසා දිගටම මීටර් දෙකේ දුරස්ථ භාවය, මුවවැස්මක් පැළඳීම , නිතර අත් සේදීම , අනවශ්ය ගමන් බිමන් නොයෑම කියන කරුණු ඔක්කොම පිළිපඳින්න ඕනේ...
අපිට දුන්නේ ඇස්ට්රාසෙනෙකා .. ඒක මේ රටේ සෞඛ්ය බළධාරීන් සහ පාළකයින් එක්වී ගත්තු තීරණයක් . වයස පණහට අඩු අයට ෆයිසර්වැක්සීන් එක දෙන්න යන්නේ ඇස්ට්රාසෙනෙකා වලින් ලේ කැටි ගැහෙන්න ඉඩකඩ වැඩිනිසා ..


ස්පුට්නික් සහ චීන වැක්සීන් එකත් දෙන රටවල් රාශියක් තියෙනවා.. හොඳම මොන වරගයද කියන එක දැනගන්න වෙන්නේ අනාගතයෙදි...


හොඳම දේ කොරෝනා වලට භාජනය වීමට තිබෙන ඉඩ ඇහීරීමයි , අනවශ්ය ලෙස මිනිසුන් සමඟ ගැවසීම අඩුකිරීමයි . සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමයි..මුව ආවරණ පැළඳීමයි..



Wednesday, 5 May 2021

මුවවැස්මක් ( මාස්ක්) පළඳනවිට එය හරික්‍රමයට පළදින්න පුරුදුවෙමු



 කොරෝනා පැතිරීම වලක්වන්න මුවවැස්මක් ( මාස්ක්) පළඳනවිට එය හරික්‍රමයට පළදින්න පුරුදුවෙමු.. එය මුඛය විතරක් වැහෙන්න පැළඳීම , කතාකරන විට බෙල්ලේ එල්ලාගෙන සිටීම කියන ක්‍රම දෙකම වැරදියි.. 

හරි ක්‍රමයට නම් මුවවැස්ම නාසයත් මුඛයත් දෙකම වැහෙන්න පළඳින්න ඕනේ .. ඒ වගේම කතා කරද්දී අනිවාර්යයයෙන්ම මුවවැස්ම ඒ විදිහට පැලඳගෙනම ඉන්න ඕනේ .. 

මොකද කතා කරද්දී කෙළ බිඳිති විසිවෙන්න තියෙන ඉඩකඩ වැඩියි .. 

කතාකරද්දී මාස්ක් එකක් දාගෙන ඉඳීම අනික් කෙනාට කරන අගෞරවයක් නෙවෙයි ..අනික් කෙනා ගැන හිතලා කරන වැඩක් 

Saturday, 24 April 2021

එහෙ පලගත්තත් වට්ටක්කා - මෙහෙ පලගත්තත් වට්ටක්කා



 එහේ පළගත් වට්ටක්කා   (1982-83)

මේ කියන දවස්වෙනකොට මම අවුරුදු 12- 13 ක පාසැල් ශිෂ්‍යයෙක් . ශිෂ්‍යත්වෙත් සමත් වෙලා එහෙම හිටපු නිසා ගියේ පළාතේ තිබූ මධ්‍ය මහා විද්‍යාලයට. ඔය දවස්වල තමයි වැඩිය එළවළු වගාවට හුරුවක් නොතිබූ අපි වගා කටයුතු පටන් ගන්නේ . ගෙදර ඉඳලා මීටර් 500 ක් හයසීයක් දුරින් තිබ්බ පල්ලැහැ වත්ත එළිපෙහිළි කරලා අපි අල, බෝංචි , ගෝවා ආදිය හැදුවා මතකයි. 

ඉඩම තිබුණේ "රිසිවේසම "( ජලපෝෂක කැළෑ රොදා අයිනේ .. වගාව ව්‍යාප්ත වීගෙන යද්දි කැලේ අයිනේ කොටසකුත් එළිපෙහෙළි කරලා ගත්තා මතකයි .  ඒ කෑල්ල බොර, අළු/ අලි බෝඹු , දඹ ආදි ගස් වලින් පිරුණු    දිය සීරාව අධික   කොටසට ඔන්න මෙන්න  වගේ  කිරිවැල් , වැරැල්ල ආදියෙන් වැහිළා තිබ්බ කොටසක්  . අපි අම්මාගේ අනුදැනුම ඇතිව මේ කොටස එළිකරේ මාළු මිරිස් හදන්න... මේ හරියේ පස කළුම කළු පාටයි .. ඒ වගේම සරුයි.. 

මාළු මිරිස් හදලා ඉවරවෙලා ඒ පාත්ති අයිනේ කැලේ දිහාට වෙන්නට එක දිගට වට්ටක්කා මණ්ඩි කීපයක් හැදුවා . ඒක කරේ මේ මමම තමයි මතක විදිහට .. 

කාළයක් යද්දී වට්ට්ක්කා වැල් සරුවටවැවීගෙන ආවා .. කොච්චර වැවුණාද කිව්වොත් ඒවා වත්ත අයිනේ තිබුණ කැලේ අලි බෝඹු ගස් උඩ , දඹ ගස් උඩ ඉඳන් දුවන්න ගත්තා .. 

ඔය කාලේ තමයි අපේ පල්ලැහැ ලොකු අම්ම එහෙම  අල බෝංචි  වගේ දේවල් හදන්න පටන් ගත්තේ . එයාලා හැදුවේ අපේ වත්තෙට එක එල්ලේ වගේ කැලෑ රොදෙන් අනික් පැත්තේ  තිබ්බ ඉඩමක .

ඔන්න දැන් වට්ටක්කා වැල් වල ගෙඩි හැදෙන කාලේ  කොළ පාට ගෙඩියේ පොහොර පොහොර තිබෙන ( කිසියම් රටාවක් සහිත ) වට්ටක්කා වර්ගයක් තමයි හැදුනේ .. ඒ කාලේ අද වගේ නෙවෙයි ගොවියෝ තමන්ගේ බීජ තමන්ම හදාගන්නවා ..මේ වට්ටකත් එහෙම කවුරු හරි අපිට දුන්න ඇට වළින් හදපු ඒවා (එහෙම නැත්නම් කෑමට ගෙනා වට්ටක්කා කෑල්ලේ ඇට වලින් පැලකරපුවා ).

පසේ සරුසාර බව කොච්චරද කියනවා නම් එක වට්ටක්කා ගෙඩියක් කිළෝ පහළොවක් විස්සක් විතර බරයි . ඒ වගේ වට්ටක්කා ගෙඩි අඩුම ගානේ පහළොවක් විස්සක් වත් හැදෙන්න ඇති අපි හදපු වට්ටක්කා මණ්ඩි තුනේ.. ඒ වට්ටක්කා නගරයේ පොළට ගෙනියද්දී එක එක ගෙඩි කරෙන් ගෙනිහින් ගෝණි වලට දැම්මේ උඩහා පාරෙදි . එළවළු වෑන් එක එන හරියෙදි .. එහෙම ගෙඩි දෙකක් හෝ තුනක් තමයි ගෝණියකට ඇල්ලුවේ 

ඔය කාලෙදි පොළේ යන කණ්ඩායමට මම හෝ අය්යා ( හැමදාම අම්මා යන්නේ නෑ) වගේම පල්ලැහැ ලොකු අම්මා , දිය කඩිත්ත ලඟ ගෙදර ආතා වගේ පිරිසක් ඉන්නවා .. ගමේ ඉඳන් නගරයට යන අතරේ   BS  මාමලා   ඩෙලිකා වෑන් එකේ එකම සද්දයක් .. පල්ලැහැ ලොකු අම්මා තමන්ගේ වගාව ගැන පුරා ජේරු කියනවා.... දියකඩිත්ත ලඟ ආතා වගේ අය , අපේ අම්මා හිටියොත් එයා එහෙම හූ මිටි තියනවා ... " කරුණංගී  දන්නවද? ගිය පාර අපේ අල  පාත්තියේ හැදුනනේ   මහා විශාළ අලයක්... කිව්වට විශ්වාස කරන්නේ නෑ එක අලයක් මේ අපේ CH   විතර ඇති "

 "ඒ අලේ බීජ අල කරලා කුඹුරේ හදද්දි පෙති පෙති කැපුවා ... මං හිතන්නේ  එක අළෙන් අල පාත්තියකටම බීජ අල ගන්න පුළුවන් වුණා .."

 ඈ මේ කියන්නේ ඒ කාලේ ගොඩ අළ හදලා ( බීජෙට හදන අල ) ඊට පස්සේ ඒවායෙන් මඩ අළ ( කුඹුරේ  ගොයම් හදන්නේ නැති කන්නයේ එළවලු හද්දද්දී හදන අල )  ලෙස හදනකොට අල ගෙඩි පෙති කපා බීජ අල හදා ගන්නා ක්‍රමය ගැනයි .

අල ගලවන කාලේටත් ලොකු අම්මාගේ පුරාජේරු එහෙමමයි .

".. කරුණංගිට කියන්න ....අපේ ඩිසයිරි අල වල මාර අස්වැන්නක් තිබ්බනේ මේ පාර....  එකට දහයයි දොළහයි.. අල විකුණලා චේන් එකක් ගත්තා නංගී... මෙන්න මෙච්චර ඇති ඒ චේන් පොට " 

අපේ ලොකු අම්මාගේ CH විතර අල මෙන් අතිශෝක්තියක් නොව ඇත්තටම අපේ වට්ටක්කා ගෙඩියක් CH ගේ භාගයක් විතර වූ බව නම් සත්‍යකි.. (ගෙඩි දෙකකින්  හෝ තුනකින් ගෝණියක් පිරෙන්න පුළුවන් වට්ටක්කා ගෙඩියක් ගැන හිතාගන්න ) .

... CH කියන්නේ ඒ කාලේ අවුරුදු දහයක් පමණවූ එතරම් උස නැති එහෙත් තරමක් මහත අපේ ලොකු අම්මාගේ දුවයි. 


මෙහේ පළ ගත්තත් වට්ටක්කා  

අපේ ලොකු අම්මා , දිය කඩිත්ත ලඟ ආතා ආදී බොහෝ පිරිසක් බුදුන් දැක නිවන් දකිනා තව්තිසාවේ වාසය කරන මේ කාලේ අපි තවමත් මහ පොළව සමඟ හැප්පෙන්නෙමු . 

ඒ ඉස්සර වගේ ආර්ථිකයට දායකවීමකට නොව සති අන්තයේ නිවසට වී විවේක පාඩුවේ ඉන්නා අතරේ ගතට සිතට සහනය දෙන වැඩක් ලෙස කරන ගෙවතු වගාවක් ලෙසිණි... 

සතිය පුරා මිනිස්සුන්ගේ මානසික , කායික රෝග මෙන්ම නොයෙකුත් මානසික පීඩාවන් , පවුල් අවුල්  , සේව ස්ථාන වල ගැටළු ආදිය හිසේ පුරවා ගෙන හිඳ ලැබෙන ඇසිල්ලෙන් ගහක් කොළක් සිටුවා .. ඒවා එක්ක කතා කරමින්  කාලය ගත කරන්න ලැබීම මටනම් වෙනමම සතුටකි. ගස් කොළං දළුලා වැඩෙන හැටි බලමින් , ඒවායේ මල් ඵල  හටගන්නා හැටි බලමින්  නිවසේ පිටුපස ඇති කුඩා එළවළු කොරටුවේ  කාලය ගත කරන්නට මා වගේම ගෙදර අනික් දෙන්නාත් ඉතාම ප්‍රිය කරති .

වෙන අවුරුදු වල අපේ ගෙවත්තේ හැදෙන්නේ වට්ටක්කා ගෙඩියක් හෝ දෙකක් පමණක් වුවද මේ අවුරුද්දේ එය තරමක් වෙනස් වී තිබේ.. 

















ජැප් පම්කින් ( පොහොර වට්ටක්කා ) ගෙඩි නවයකුත් . ලංකාවේ අපි රට වට්ටක්කා නමින් හඳුන්වන මෙහේ ක්වින්ස්ලන්ඩ් බ්ලූ  පම්කින්  ලෙස හඳුන්වන නිල්/ අළු පාට වට්ටක්කා ගෙඩි දෙකකුත් , ලංකාවේ ඩුබායි වට්ටක්කා ( බටානා හෙවත්  බටර් නට්) ගෙඩි දෙකකුත් තිබෙන අපේ ගෙවත්ත මෙවර තනිකර වට්ටක්කා යායකි  .. 

වෙන මොනවා නැතත් මේ වට්ටක්කා දිහා බලාගෙන  මගේ සිතුවිළි 1982-3 දිහාට ගිය එකම මදිද සතුටු වෙන්න කාරණයක් විදිහට ..

අපි දැන් මෙහේ පළ ගත් වට්ටක්කා එක එක කඩනවා .. ගෙදර කැල්ලක් උයලා ඉතිර් කොටස් ලඟ පාත ඉන්න ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන හිතවතුන් එක්ක බෙදා  හදා ගන්නවා ( අන්තිමට කඩපු ගෙඩිය කිලෝ හතර හමාරක් ,අපි පවුල් තුනක් අතරේ බෙදා ගත්තා )   

........එහෙනම් කට්ටියම එන්න   වට්ටක්කා කෑල්ලක් අරන යන්න., අපේ ලොකු අම්මලා , දිය කඩිත්ත ලඟ ගෙදර ආතාලා වගේ අයට පිංසිද්ධවෙන්නත් එක්ක  .............



Friday, 23 April 2021

අවවාද අනුශාසනා අංක තුන : ඇත්තද මේ කියන්නේ

 



පසුගිය කළාපයෙන් (ඇත්තටම මේ කොටස ලිව්වේ 2018 වගේ)



දියකඩිත්ත ලඟ ගෙදර ආතම්මා සහ අපේ අම්මා ජයංගනීලා අම්මාට අවවාද දීමත් , ඒ ආත්තම්මාගේ ලොකුපුතා මට පැය දෙකක පමණ දේශණයක් දීමත් අවසාන වී ටික දවසක් ගතවී ගියේ කිසි හාවක් හූවක් නැති ගාණටයි . 

උදේ පාසැලේ උගන්වන්නට යන මම හවස කුඹුරේ වැඩටත් , සතියට වතාවක් දෙකක් හෝ ජයංගනී මුණගැසෙන්නට ( පාසැල් ඇරෙන වෙලාවට ) නගරයට යන්නට පුරුදු වී සිටියෙමි. ගෙදර අයගෙනුත් ලොකුවට කළබලයක් නොපෙනුනේ නිසා නිදහසේ ජීවිතෙ ගලා ගියේය.. 

අපේ නංගිලා , අක්කලා වගේම ඇතිමලේ බාප්පලා දුවලා දෙන්නා එක්ක එහෙම එකට පාසැල් බසයේ ගමන් කරන ජ‍යංගනී ඒ ඒ අයගෙන් ඇයට ලැබෙන විවිධාකාරයේ ප්‍රතිචාර වලට මුහුණදෙන්නට ඇත.  ඒ කිසිවක් මා හට නොකියන්නට ඈ වගබලාගත් නිසා ඒවා මොනවාද යන්නත් මට දැනගන්න ලැබෙන්නේ අවුරුදු දහයක් පහළොවක් ගතවූ තැන මුහුණු පොතෙන් අපට හමුවූ ඇයගේ සමකාළීන පාසැල් සිසුවියන්ගෙනි.

ඔය කාලයේ සතිඅන්තයට මම ගමේ පංසලට යාම අනිවාර්යයෙන්ම සිද්ධවෙන දෙයකි.. ටික දවසක් පංසලේ මම සාමාන්‍ය පෙළ සිසුන්ට පංතියක් කල නිසාත් . පංතිය දෙමළ ඉස්කෝලේ තියෙන කාලේ වුණත් පංසලේ පොඩි හාමුදුරුවෝ මුණගැහෙන්නත් මම පංසලට යාම ඒම පුරුද්දක් කරගෙන සිටියෙමි.

ඒ කාලේ පංසලේ වැඩ සිටි පොඩි හාමුදුරුවෝ අපේ සමවයසේ කෙනෙක් නොවේ .. උන්වහන්සේ ඒ වනවිටත් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන්  ගෞරව උපාධියක් එහෙම ලබාගෙන පළාතේ පිරිවෙනේ ආචාර්ය වරයෙක් ලෙස සේවය කරමින් සිටි කෙනෙකි . එමෙන්ම උන්වහන්සේ ඒ වනවිට දිස්ත්‍රික්කයේ සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරීන් වහන්සේ වශයෙන්ද කටයුතු කල සේක .

ඒ පොඩි හාමුදුරුවෝ අපේ ගමේ පංසලේ වැඩවාසය කලද ඉපදී හැදී වැඩී තිබුණේ අපේ ගමට කිලෝමීටර් හත අටක් දුරින් පිහිටි වෙනත් ගමකයි .  පංසල් දෙකම එකම ප්‍රධාන පංසලක් යා සම්බන්ධ නිසා උන්වහන්සේ අපේ ගමේ පංසලට එවා තිබුණේ ලොකු හාමුදුරුවන්ගෙන් පසු පංසල භාරදෙන බලාපොරොත්තුවද ඇතුවයි.. 

මේ කියන දවසෙත් මම  පුරුදු පරිදි පංසලට ගියේ පොඩි හාමුදුරුවෝ එක්ක වගේම ලොකු හාමුදුරුවෝ එක්කත් ටිකක් කතාබහ කරන්නත් , ඒ කාලේ පංසලේ සිටි ගෝලයා එක්ක කය්යක් ගහන්නත් හිතාගෙනයි ,  කොටින්ම කිව්වොත් නිකං ගෙදර ඉන්න ගමන් ඒ පැත්තට යන්න හිතුණු  නිසයි.

මා පංසලට යනවිට පොඩි හාමුදුරුවෝ සිටියේ බුදු ගෙයත් ඝණ්ටාර කුළුණත් අතර කොටසේ සක්මන් කරමිණි.. 

දුඹුරු පාට ඉරි ඉරි සහිත පිජාමා සරමකුත් , ඊටම ගැලපෙන ලා දුඹුරු පැහැති ක්‍රොකඩයිල් ටී ෂර්ට් එකකුත් ඇඳගෙන පයේ රතු/දුඹුරු පැහැති ලෙදර් සෙරෙප්පු දෙකකුත් දාගෙන මා එහි ගොස් සිටියේ පංසලට වුණත් ඉතා පිළිවෙලට සැරසී එන තරුණයෙකු විලසිණි.. ( මඟදී ජයංගනී හෝ පවුළේ කෙනෙක් හමුවණු ඇතැයිද සමහර විට පංසලේ   බෝධි පූජාවකට හෝ ඔවුන් එනු ඇතැයිද සිතන්නට ඇත්තේ  මා නොව මගේ යටිසිත විය යුතුය ).

"හා කොහොමද ?  අම්මා තාත්තා එහෙම ගෙදරද? " මට වඩා අවුරුදු දහයක් දොළහක් වයසින් වැඩි පොඩි හාමුදුරුවෝ කතාවට ප්‍රවිශ්ඨ වන්නේ මගේ නම හෝ "අය්යා" , "මල්ලී "වැනි නෑදැ කමක් හෝ නොකියමිණි.

"හොඳින් ඉන්නවා හාමුදුරුවනේ අම්මලාත්  ගෙදර ඉන්නවා. මම නිකං ඉන්න ගමන් පංසල පැත්තේ ඇවිල්ලා යන්න ආවා . බෝධි පූජාව හරි මල් පහන් පූජාව හරි තිබුණොත් ඒකටත් ඉඳලා යන්න.. " 

හොරෙන් බෝධිය දිහා බලමින් මම හැසිරෙන්නේ නියම උපාසකයෙකු විලසිනි... කතාව යන අතරේ එක්වරම හාමුදුරුවෝ තම තට්ටය අතගාන්නට පටන්ගත්තේය .. ඒ කාලේ උන්වහන්සේ එසේ කරන්නේ කිසියම් බැරෑරුම් දිශාවකට සාකච්චාව යොමුවන විටයි .. ටික වෙලාවක් තට්ටය පිරිමදිමින් සිටි උන්වහන්සේ නැවතත් තම හඬ අවධි කළේය ... "මම අහන්නමයි හිටියේ ඔය කට්ටිය කියන කතාව ඇත්තද ? ......ඔයා  අර විමළා ටීචර්ලා දුවත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා කියන එක ? "

හාමුදුරුවන්ටත් කවුරු හරි මොනවා හරි කියලා ... මම උඩ බිම බැලුවේ ඒ කව් රුන් විය හැකි දැයි සිතමිණි.. 

"ඔයා වගේ කෙනෙකුට ගැළපෙන්නේ නෑ නේද ඒ වගේ දෙයක් කරන එක ? ගමේ පිළිගත්ත, යමක් කමක් දන්න තරුණයෙක් වුණාම හොඳ ට ඉන්න ඕනෑ නේද? " 

හාමුදුරුවෝ දිගටම කියවාගෙන යයි ..

"මොන සම්බන්ධයක්ද? කව්ද හාමුදුරුවන්ට කිව්වේ ? " මම ඇසුවේ විමතියෙනි.. 

ගමේ මිනිස්සු බොහෝ දෙනෙක් අපි ගැන දැනගෙන හිටියා වුණත්, දෙන්නාම මිනිස්සු කව්රුත් කැමති , කිසිකෙනෙක් එක්ක අමනාප නැති , ප්‍රිය මනාප තරුණ යුවලක් නිසා සාමාන්‍යයෙන් ගමේ කෙනෙක් විශේෂයෙන් හාමුදුරුවන්ට කියන්නට තිබෙන ඉඩ කඩ ඉතා අඩුය .

"මට කිව්වේ වෙන කව් රුවත් නෙවෙයි  ඔයාලා තාත්තා, නාමරත්න මහත්තයා හරි කණගාටුවෙන් ඉන්නේ ඔයාගේ අනාගතය අඳුරුවෙයි කියලා මේ වගේ වැඩ නිසා .. ඔන්න ඔහේ ඔය ගණුදෙනුව අමතක කරලා දාන්න.. 

දැන් උසස්පෙළත් කරලා නේද  ඉන්නේ ? කැම්පස් ගියාම ඕවා අමතක වෙලා යයි .. ඔයාලගේ දෙමව්පියන් හරියට මහන්සිවෙනවා නේද ඔයාලට යහමඟ යවන්න ? . ඒ මිනිස්සුන්ට දුකක් වෙන දෙයක් කරන්න එපා "

හාමුදුරුවෝ තම අනුශාසනාව අවසන් කලේ එළෙසිණි.

 තට්ටය අතගාමින් හිමින් හිමින් සාකච්චාව කරද්දී මට හැඟීගියේ තාත්තා කියපු නිසා අවවාද කළාට උන්වහන්සේ පෞදගලිකව මට අවවාද දිය යුතු යැයි සිතා සිටියේ නැති බවයි 

එදා හාමුදුරුවන්ගේ අනුශාසනාවත් අසාගෙන හවස මල් පහන් පූජාවටත් සහභාගී නිවසට පැමිණි මා ඇත්තටම සිටියේ තරමක කණස්සල්ලෙනි.. එහෙත් ඒ බව කාටවත් නොපෙන්වූ මම එදිනෙදා වැඩ කටයුතු කරගෙන ගියේ කිසිවක් සිදුනොවූ පරිද්දෙනි.. 

මට එය එතරම් අපහසු වන්නේ කුමකටද   ජයංගනීට සමකාලීන දිනවල සිදු වී ඇති දේවල් එක්ක බලනකොට මා මුහුණ දී තිබුණේ සරළ සිදුවීම් දාමයකය.  

ඒ සිද්ධි දාමයන් මා දැනගන්නාවිට අප හා සම්බන්ධ මේ සිදුවීම් අවසන් වී අවුරුදු විස්සක් වත් ගතවී තිබෙන්නට ඇත.. එතෙක් ඒ සියල්ල තනිව දරාගන්නට ඇය පෙළඹී තිබුණේ මට ඒවා ගැන කියා කරදර කරන්නට අවශ්‍ය නැතැයි ඈ සිතූ නිසාත් සියල්ල තනිව දරාගෙන ජීවිතයට මුහුණදීමේ හැකියාව ඇයට කවදත් තිබූ නිසාත් වියයුතුය ..  ඒ අනුව බලද්දී මා දුර්වලයෙකි  .

මා විශ්ව විද්‍යාලය ගොස් ටික  කලක් යද්දී ගමෙන් ආ ආරංචියකි.. ජයංගනී අතහරින්නැයි මට අනුශාසනා කළ  සාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී හාමුදුරුවෝ අපේ ගමේ පන්සලෙන් ගොස්තිබුණේ තමන් දරාසිටි චීවරයටද ආයුබෝවන් කියමිණි.. ඒ ජපුර විශ්වවිද්‍යාලයේ ඉන්නා කාලයේ සිට සම්බන්ධතාවයක් තිබූ තවත් උපාධිධාරිණියක් සමඟයි .. 

මෑතකදී මම උන්වහන්සේ ගැන ආරංචි කර බැලුවෙමි .. අහලා තියෙන හැටියට   පළාතේ අධ්‍යාපන අධ්‍යක්ෂක තනතුරක් පවා දරා ඇති ඔහු හෘදයාභාධයකින්  අභාවප්‍රාප්ත වී තිබුණේ වයස අවුරුදු පණස් ගණනක් වාගේ  වෙද්දීය